Sunday, July 31, 2016

පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්....puma punku. අබිරහස් අඩවිය - Abirahas Adawiya

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා මාලාවේ තවත් කොටසක් වේ. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු. අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.
පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. පිරමීඩවලටත් වඩා පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒක පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්. මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. අද අපි සූදානම් වන්නේ පූමාපුංකු ගැන විස්තර කියන්නයි.
පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ 
පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. අපට අසන්න ලැබෙන පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහෙ පැමිණි බවට ඇති ප‍්‍රහෙලිකාවේ ඉතා වැදගත්ම කොටස හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නටඹුන් ලෙස සැලකෙනවා. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටඹුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමාන වෙනවා. ලොව පුරා දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්න පූමාපුංකු සමත් වෙනවා. සැකයක් නැහැ. පූමාපුංකු නගරයේ ඉදිකිරීම් සිදුවුණේ කොහොමදැයි කියන්න මොනම විධියකින්වත් හැකියාවක් ඇත්තේ නැහැ. 

පූමාපුංකු නගරයේ අති දැවැන්ත නිර්මාණ සියල්ල කිසියම් මහා බලවේගයකින් කැබැලි කර දමලයි තිබෙන්නේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කරන ලද ඒවා. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වෙනවා. හරියට පුංචි ඔයාලා සෙල්ලම් කරන්න ගන්නා කැබැලි එකතු කරන ප‍්‍රහේලිකාවක් හා සමානයි. මේ නගරයට කිට්ටුම ගල්වල ඇත්තේ සැතපුම් 7,000 ක් දුරිනුයි. මෙහි ඇති මේ අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි කොහොමද සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට රැගෙන ආවේ? පූමාපුංකු පළමු අබිරහස තමයි, ඒ. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000 ක් උසකිනුයි. නගරය අසල කොහේවත් ගස් ඇත්තේ නැහැ. ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලූ කරගෙන ඒමට ඒ නිසා හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවට දකින්න ලැබෙන්නේ පඳුරු හා තණ කොළ විතරයි. පූමාපුංකු නගරය මොකක්ද? හැදුවේ කොහොමද? ආදී ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු අපට සිතා ගන්නවත් බැහැ.

අයිමාරා ඉන්දියානුවන්
පුරාවිද්‍යාඥයන් කියන්නේ පූමාපුංකු නගරයේ අද නටබුන්ව ඇති නිර්මාණය කළේ ‘අයිමාරා’ කියන ඉන්දියානු ගෝති‍්‍රකයන් කියලයි. ඒත් මේ වගේ අපූරු මහා පරිමාණයේ නිර්මාණ කරන්න නම් සැලසුම් සකස් කරන්න ඕනෑ. සැලැසුම් අඳින්න ඕනෑ. එහෙම නැතිව මේ වාගේ දෙයක් කරන්න බැහැ. පාෂාණ කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කොහොමදැයි මූලික සූදානමක් ඇතිවයි, මේ වගේ නිර්මාණයක් කළ හැකි වෙන්නේ. ඒත් ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් හැමෝම වගේ අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණාවක් තමයි, අයිමාරා ඉන්දියානුවන්ට ලේඛන කලාවක් තිබුණේ නැහැ යන්න. 
එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා. 
කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.
පූමාපුංකු හැදුවේ කොහොමද?

පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග‍්‍රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප‍්‍රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි.
අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප‍්‍රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.








උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අද්භූත විශ්වයේ අද්විතීය කළු කුහර.. (The Black Hole) අබිරහස් අඩවිය - Abirahas Adawiya

කළු කුහර යනු ඝනත්වයෙන් අධික ඉතා විශාල අභ්‍යාවකාශ වස්තූන් වෙයි. කළු කුහර වල පවතින අති විශාල ගුරුත්වාකර්‍ෂණය නිසා ඒවායේ වියෝග ප්‍රවේගය ආලෝකයේ වේගයට වඩා විශාල වෙයි. එනම් ආලෝකය පවා මෙම ගුරුත්වයට හසු වන අතර ආලෝකය ඉන් මිදී පිටතට නොපමිණෙන නිසා අපට මෙම කළු කුහර දෘශ්‍යමාන නොවේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පොදු සාපේක්‍ෂතාවාදයට අනුව දැඩි ලෙස ඝන වූ වස්තුවක ගුරුත්වාකර්‍ෂණ මඟින් ආලෝක කිරණයක් තමන් වෙතින් මිදී යාමට නොහැකි ලෙස ඇද ගත හැක.
එක් යුගයක දී කළු කුහර යන්න සිද්ධාන්තයක් පමණක් විය. එම සිද්ධාන්තයේ ආරඹ්හය වූයේ Rev. John Michell විසින් නිව්ටන්ගේ ගුරුත්වාකර්‍ෂණ නියමය භාවිතා කර කෘෂ්ණ ග්‍රහයින් පැවතීම පිළිබඳ අනාවැකි පළකිරීමයි. ඉන්පසු 1915 දී අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය “Schwartzschild singularities” හෙවත් භ්‍රමණය නොවන කළු කුහර පිළිබඳ අනාවැකි පළකර සිටියා. 1963 දී “Kerr” හෙවත් භ්‍රමණය වන කළු කුහර පිලිබඳ විසදුම සොයා ගනු ලැබූ අතර බොහෝ තාරකා භ්‍රමණය වන නිසාත් එම තාරකා බිඳ වැටුණු පසු ඒවායේ භ්‍රමණ වේගයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන නිසාත් මෙම සොයා ගැනීම ඉතා වැදගත් වුණා. 1967 දී මෙම බිඳ වැටෙන තාරකා කළු කුහර ලෙස නම් කරන ලදී. 
වර්තමානයේ දී මෙම කළු කුහර වල පැවත්ම තහවුරු වී ඇති අතර දැනට සොයාගෙන ඇති කළු කුහර ප්‍රමාණය 33 කි. අපට ආසන්නයෙන්ම පිහිටා ඇත්තේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය මධ්‍යයේ පිහිටා ඇති කළු කුහරයයි. විශාලතම කළු කුහරය පිහිටා ඇත්තේ M106 මන්දාකිණිය මධ්‍යයේය. කළු කුහර වල පැවත්ම සහ පිහිටීම සොයා ගැනීමට ඒවායින් අවට ග්‍රහ වස්තු වලට ඇති ගුරුත්වාකර්ශන බලපාම සහ ඒවයින් නිකුත් වෙන X කිරණ උපයෝගී කර ගනී.


Quantum gravity takes 
singularity out of black holes
කළු කුහර හට ගන්නේ ඉතා විශාල තාරකා (හිරුගේ ස්කන්ධය මෙන් 30 ගුණයකට වැඩි වූ) මිය යාමෙන් හෝ එම තාරකා වල හයිඩ්‍රජන් අවසන් වීමෙන් ඒවා බිඳ වටීම හෝ තම ස්කන්ධය තුළම පුපුරා යාම හේතුවෙනි. මෙසේ බිඳ වැටෙන තරුව “singularity” නමින් හඳුන්වන අපරිමිත ඝනත්වයක් සහිත වූ ලක්‍ෂයක් දක්වා හැකිලී යයි. තාරකාවේ ස්කන්ධය මෙම ලක්‍ෂයට මධ්‍යගත වෙයි. මෙම ලක්‍ෂයේ දී තවදුරටත් සාම්ප්‍රදායික ගණිත ශාස්ත්‍රය භාවිතා කළ නොහැකි වේ. “Singularity” නම් මෙම ලක්‍ෂය වටා “event horizon” නමින් හඳුන්වන චක්‍රාකාර වූ මුදුවක් පවතී. මෙය කළු කුහරයේ ගුරුත්වය බල පැවත්වෙන සීමාවයි. මෙම සීමාව තුළ කිසිඳු වස්තුවකට, ආලෝකයට පවා ගුරුත්වයෙන් මිදී යා නොහැක. මෙම සීමාව අභිබවා ගිය කල්හි නැවත පැමිණීමක් නොමැත.
ගුරුත්වාකර්‍ෂණයට ආලෝකය ඇද ගැනීමට පමණක් නොව, කාලය සහ අවකාශය විකෘති කිරීමට ද හැකියාවක් පවතින බව අයින්ස්ටයින් විසින් සනාථ කර ඇත. “Event horizon” සීමාව තුළ කාලය සහ අවකාශය යන සංකල්පය සම්පූර්ණයෙන් බිඳ වැටෙයි.

V404 Cygni 
තමා අවට පවතින දේ තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් කළු කුහර වලට ඇත. වාසනාවකට මෙන් අප දන්නා කළු කුහර වලින් පෘථිවියට තර්ජනයක් නොමැත. අපට ආසන්නම කළු කුහරය වන V404 Cygni පිහිටා ඇත්තේ ආලෝක වර්‍ෂ 15 ක් පමණ ඈතින් වන අතර විශාලතම කළු කුහරය ඉතා දුරින් පිහිටි මඳාකිණි වලට මායිම්ව පිහිටා ඇත. කළු කුහරයකට අවට වස්තූන් තමා වෙත ඇද ගත හැක්කේ අවට ස්කන්ධය තමාගේ ස්කන්ධයට සම වන තෙක් පමණි.
කළු කුහර හා සම්බන්ධ තවත් බොහෝ සංසිද්ධීන් පවතී. අයින්ස්ටයින්ගේ සමීකරණයට අනුව සෛද්ධාන්තික වශයෙන් කළු කුහර හරහා සමාන්තර ලෝක වලට සම්බන්ධ විය හැක. තවද අප ජීවත් වන විශ්වයට තරමක් වෙනස් වූ තවත් විශ්වයන් පැවතිය හැක. කළු කුහර භාවිතයෙන් කාලය හරහා අතීතයට හා අනාගතයට ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර කළු කුහර දෙකක් යා කෙරෙන “Wormhole” නම් වූ මාර්ග ඔස්සේ ක්‍ෂණයකින් ඉතා දුර ගමන් කිරීමට ද හැක.. මෙම සියල්ල සිද්ධාන්තමය වශයෙන් ඔප්පු කර ඇත.

 Roger Penros
ඔබ කළු කුහරයක “Event horizon” හි කෙළවර සිට අඩියක් කුහරය තුළට පිවිසුනේ යයි සිතන්න. ඔබගේ හිසෙහි හා කකුල් වල ගුරුත්ව වෙනස කෙතරම් වේද යත් ඔබ ක්‍ෂණයකින් රබර් පටියක් මෙන් දෙපසට ඇදී යනු ඇත. ඔබ කුහරය තුළට වැටෙන මොහොතේ හැරී බැලුවහොත් ඔබට අනාගත විශ්වය තම ඇස් ඉදිරිපිට විද්‍යාමාන වනු ඇත. නමුත් ඔබ දුටු කිසිවක් කුහරයෙන් පිටත සිටින්නන්ට පැවසීමට ඔබට නොහැකි වනු ඇත. මන්ද යත් දැන් ඔබ කළු කුහරය තුළට පිවිස ඇති අතර ඉන් පිටවීමක් නොමැති බැවිනි. ඔබ කළු කුහරයේ මධ්‍යය “Singularity” වෙත පිවිසෙත්ම තමා පරමාණුවෙන් පරමාණුව ඉරී යන බව ඔබට දැනෙණු ඇත. කාලය සහ අවකාශය මෙම මොහොතේ දී ඉතා විරූප ආකාරයකට දැනෙනු ඇත. අප මෙතෙක් විශ්වය ගැන දැන සිටි සියළු දේ බිඳී යනු ඇත. සමහරු පවසන ආකාරයට මෙම ස්ථානයේ දී පදාර්ථයේ මූලික අවස්ථා හතර පමණක් පවතිනු ඇත.

කළු කුහරයකින් මුළු ශිෂ්ටාචාරයකම පැවත්ම සඳහා අවශ්‍ය ශක්තිය සපයා ගත හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතඥ “Roger Penrose” පවසයි. Penrose ගේ අදහස වන්නේ ප්‍රථමයෙන් කළු කුහරයක් වටා ශක්ති ප්‍රවාහයක් සැපයිය හැකි උපකරණයක් සවිකිරීමයි. ඉන්පසු ඉන් නිකුත් වන ශක්ති ප්‍රවාහය කුහරයේ “Event horizon” අසළදී කොටස් දෙකකට විඛණ්ඩණය කිරීමයි. එවිට එම එක් කොටසක් කුහරය තුළට අදී යන විට එහි ඉතිරි කොටස ශුද්ධ ශක්ති ධාරාවක් සම්ප්‍රේෂණය කරනු ඇත. එම නිකුත් වන ශක්තිය කළුකුහරය වටා සවි කරන ලද අවශෝෂක උපකරණයකින් එකතු කර ගත හැක.


නමුත් මෙම ක්‍රියාදාමය හේතුවෙන් කළු කුහරයේ භ්‍රමණ වේගය අඩු වන බවත් එම නිසා මෙමඟින් ලබා ගත හකි ශක්තිය සීමා සහිත බවත් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂක “Demetrios Christodoulou” පෙන්වා දෙයි. මෙසේ කුහරය භ්‍රමණය වීම නවතින මොහොතක් උදාවනු ඇති අතර එවිට එහි පවතින ශක්තිය සැපයීමේ හැකියාව නැති වී යනු ඇත.

කළු කුහරයක් අවට ක්‍රියා කරන්නා වූ අසීමිත ශක්තිය දරා ගත හැකි උපකරණයක් නිපදවිය හැකි නම් ඒ අවට ජීවත් වන ඔබට අතීතය, වර්තමානය සහ අනාගතය හරහා විශ්වය පුරා සැරිසැරීමට ද අවස්ථාව උදා වනු ඇත.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

පෘථිවියේ අවසානය සිදු වන හැටි විද්‍යාඥයෝ දකිති....අබිරහස් අඩවිය - Abirahas Adawiya...

ලෝකාවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය තිස්සේ අපි ඇහුවා. ඔබත් අහන්න ඇති. පැරණි පොතපත අවුස්සමින් ලියූ පොතපතින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළදරව්වලින්, පැරණි අභිලේඛන ඇසුරෙන් තමයි, මේ කතා අපට අහන්නට ලැබුණේ. ඉපැරණි මායා කැලැන්ඩරය 2012 වසරෙන් පසු ඉදිරියට ගණනය කරල නැති නිසා එළඹෙන වසරේ ලෝකාවසානය සිදු වන්නේ යැයි කියන අයත් ඉන්නවා. ඒත් දැන් නාසා ආයතනයේ අලූත් ම දත්ත පදනම් කර ගෙන තවත් වසර බිලියන ගණනකින් සිදු වන පෘථිවියෙහි අවසානය කෙබඳු වේදැයි අනුමාන කළ හැකි අත්දැකීමක් ලැබ ගන්නට දැන් තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ. ඒ ප‍්‍රසාරණය වෙමින් මිය යන තරුවක ගිනි දැල්ලට හසුවෙමින් ඇති තවමත් අවසාන වශයෙන් ගිල නොගත් ග‍්‍රහයන් දෙදෙනකු දැක ගැනීමට ලැබීමයි. 
ප‍්‍රංශයේ ටොලූස් හා කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් විශ්ව විද්‍යාලවල තාරකා විද්‍යාඥයන් බ‍්‍රහස්පතී තරම් වූ මේ ග‍්‍රහයන් දෙදෙනා සොයා ගෙන ඇත්තේ වැඩි හරියක් පිළිස්සී තිබියදීයි. 

එම ග‍්‍රහයන්ගේ මව් තරුව කළාක් මෙන් අපේ සූර්යයාද තවත් වසර බිලියන පහක් ගිය තැන යෝධ රතු ග‍්‍රහයකු බවට පත් වෙමින් පෘථිවිය සහමුලින් ම වාෂ්ප කර හරිනු ඇති.

නේචර් සඟරාවේ පළ වී ඇත්තේ අලූතින් සොයා ගත් ග‍්‍රහයන් දෙදෙනා වාෂ්ප නොවී ඉතිරි වී ඇත්තේ ඒවායේ ඇති විශාලත්වය නිසයි.

කේ ඕඅයි 55.01 හා කේ ඕඅයි 55.02 යනුවෙන් නම් කොට ඇති ඒ ග‍්‍රහයන් දෙදෙනා, මේ වන විට රතු යෝධයකුගේ තත්වය පසු කර ඇති, ඔවුන්ගේ මවු තරුවට වඩාත් ආසන්නව පිහිටා තිබීම නිසා ඒවායේ බාහිර ස්තරයන් සියල්ල විනාශ වී තවමත් ඉතිරිව ඇත්තේ දැඩි ඝනත්වයෙන් යුත් මැද කොටස් පමණයි. මෙය උපකුරුමිටි බී ගණයේ තරුවකි. එය පිහිටා ඇත්තේ අපෙන් අලෝක වර්ෂ 4000ක් ඈතිනුයි. ඇමරිකාවේ නාසා ආයතනය විසින් ඈත උඩුගුවනේ රඳවා ඇති අභ්‍යවකාශයේ දුරේක්ෂයෙන් ලත් දත්ත අධ්‍යයනය කරමින් සිටියදී හදිසියේ ම මෙම ග‍්‍රහයන් පිළිබඳ දත්ත හමුවී තිබෙනවා.

ඔවුන් පරීක්ෂාවට ලක් කරමින් සිටියේ කම්පනය වෙමින් ඇති තරුවලින් නිකුත් කෙරෙන ආලෝක කිරණ පිළිබඳ දත්තයන්. ඒ තරුවල ඇති පීඩනය හා ගුරුත්වාකර්ෂණ බලය හේතු කොට ගෙන සිදු වන රිද්මයානුකූල ප‍්‍රසාරණයන් හා හැකිළීම් නිසා ඒවායින් නිකුත් ආලෝක කිරණවල ඇති වන වෙනස්කම් වලින් ඒවායේ සිදු වන දේ මෙහි සිට නිගමනය කළ හැකියි.

උප වාමන බී තරුවක් වූ කේඅයිසී 05807616 තරුවෙන් ලැබෙන ආලෝක සංඥාවල ඇති සුළු වෙනස්කම් blips දෙකකින් ඒ ඉදිරියෙන් කක්ෂයක ග‍්‍රහයන් දෙදෙනකු ගමන් කරන බව නිගමනය කළ හැකි වුණා. 
මෙම නිරීක්ෂණයට එක්වූ අමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ස්ටුවර්ඞ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ආචාර්ය එලිසැබත් ගී‍්‍රන් කියන්නේ ‘අපේ සූර්යයත් මේ විදියට රතු යෝධයකු බවට පත් වන විට අපේ පෘථිවියත් මේ ආකාරයෙන් ම ගිල ගනීවි.’
‘අපේ පොළොව වගේ කුඩා ග‍්‍රහයෙක් ඒ වගේ පරිසරයක වසර බිලියනයක් පමණ ගත කළා නම් නිකම් ම වාෂ්ප වෙලා යනවා. පොළොවට වඩා ඉතා විශාල ස්කන්ධයක් ඇති බ‍්‍රහස්පතී හෝ සෙනසුරු වැනි ග‍්‍රහයකු නම් ඊට වඩා ටිකක් කලක් රැකේවි.’
මේ අවස්ථාවට ළංවන විට තරුවට වඩාත් සමීපව පිහිටන ග‍්‍රහයන් තරුව මගින් නිශ්චිත කක්ෂයක තිබියදී තදින් ග‍්‍රහණය කර ගන්නවා. එවිට ග‍්‍රහයාගේ එක පැත්තක් පමණක් හැම විට ම තරුව දිහාට හැරී තිබෙනවා. හරියට හැම විට ම සඳේ එක පැත්තක් විතරක් අපට පේනවා වාගේ. අපේ සූර්යයට ආසන්න බුද ග‍්‍රහයගේ හිරු දෙසට හැරුණු පැත්තේ තාපය කෙතරම් ද යත් ඊයම් පවා නිකම් ම උණුවෙනවා. ඒ අනුව ඔබට තේරුම් ගත හැකිවේවි, අපේ සූර්යය මෙන් පස් ගුණයකින් වැඩි තාපයක් ඇති ඒ තරුවට අයත් ඒ කුඩා ග‍්‍රහයන් දෙදෙනා එතරම් ළංවී තිබියදී කෙතරම් තාපයකට මුහුණ දෙනවාද කියා.’
‘තරුවක් විසින් ග‍්‍රහයක කක්ෂය ග‍්‍රහණය කර ගත් පසු ඒ තරුව රතු යෝධයකු වීමට ප‍්‍රසාරණය වෙද්දී ඒ තරුව විසින් ඒ ග‍්‍රහය ගිල ගැනීම සිදු වෙනවා.’
ආචාර්ය ගී‍්‍රන් කියන්නේ ග‍්‍රහයකු අවට ඇති වායුමය ආවරණය තරුව දෙසට ඇදගත් විට එයින් තරුවේ විනාශය වේගවත් වන බවයි. ‘තරුවක් ග‍්‍රහයකු ගිල ගත්තාට පස්සෙ එහි ඇති වායුමය හා ද්‍රවමය ස්තර තරුව තුළ ඇති තාප ගෝලය විසින් උකහා ගන්නවා. අන්තිමේ දී ශේෂ වන්නේ අඟුරු වී යන ඝන කොටස් විතරයි.
තවත් පෘථිවියට සමාන ග‍්‍රහ ලෝක දෙකක් හමුවේ...!!!
NASA Found Another Earth (2)
මේ අතර නාසා විද්‍යාඥයන් තවත් අලූත් සොයා ගැනීමක් කළ බව දෙසැම්බර් 22 දා නිවේදනය කළා. ඒ අපේ පොළොවට බොහෝ සේ සමාන ග‍්‍රහයෙක් සෞරග‍්‍රහ මණ්ඩලයට පිටතින් සොයා ගත් බවයි. කෙප්ලර් 20එෆ් ග‍්‍රහ ලෝකය අපේ පෘථිවිය මෙන් 0.03 ගුණයක් පමණ වන බවත් එහි ජල වාෂ්ප සහිත වායුගෝලයක් ඇති බවත් ඔවුන් විසින් නිගමනය කරල තියෙනවා. එය පොළොවට වඩා උෂ්ණත්වයෙන් වැඩි ග‍්‍රහයකු නිසා ජීවයට වැඩිය හැකි මතුපිට දියර ජලය ඇති පරිසරයක් තිබිය නොහැකියැයි ඔවුන් සිතනවා. ඒ ග‍්‍රහ මණ්ඩලයට ම අයත් අපේ පොළොවට ටිකක් කුඩා තවත් තාපාධික ග‍්‍රහයකුත් සොයා ගෙන තියෙනවා. ඒ ග‍්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මෙහි සිට අලෝක වර්ෂ 945ක් ඈතිනි.
කෙප්ලර් දුරේක්ෂය -
නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ තරුවලින් නිකුත් වන ආලෝක කිරණවල ඇති වන අති සියුම් වෙනස්කම් හඳුනාගත හැකි ආකාරයටයි. එහි ඇති ඩිජිටල් කැමරා සංවේදක පෙළක් මගින් දුර ඇති තරු හරහා යන ග‍්‍රහයන් නිසා ඒවා මතුපිට ඇති වන ඉතා සුළු වෙනස්කම් හසු කර ගත හැකියි.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, July 30, 2016

පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස ..(අබිරහස් අඩවිය - Abirahas Adawiya - moi novisadunu abirahas unsolved mysteries )

1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. මේ දූපතට මුලින්ම පය තැබූ යුරෝපීය ජාතිකයා රොගෙවීන්ය. දූපත ‘අයිලා ඞී පැස්කුවා’ (ඊස්ටර් අයිලන්ඞ්) හෙවත් ‘පාස්කු දූපත’ යනුවෙන් නම් කළේ ඔහුයි. මේ පාස්කු දූපත අබිරහස්වලින් පිරුණු තැනක්. ‘මෝයි’ Moai යනුවෙන් හැඳින්වෙන මෙම පිළිම නිසා පාස්කු දූපත අද ලොව පුරා ප‍්‍රසිද්ධයි. මෙය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් World Heritage ලෙසත් නම් කර තිබෙනවා.
ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා” යාකොබ් රොගෙවීන් දූපත සොයා ගැනීමෙන් පසු ලියූ ඔහුගේ වාර්තාවක ලියා තියෙනවා. ”ගස් කොළන් නැති දූපතක එහි සිටින දූපත් වාසීන් යන්ත‍්‍ර නිර්මාණය කිරීමට ශක්තිමත් ලී කොටන් හෝ කඹ හෝ නොමැතිව අඩි 30 ක් තරම් විශාල වූ අධික බරැති මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ”යි රොගෙවීන් විමසනවා. පාස්කු දූපත සම්බන්ධව තවමත් පිළිතුරු නොලැබුණු ප‍්‍රශ්න 4 ක් තිබෙනවා. මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුන්ද? මෝයි පිළිම නෙළුවේ කවුරුන්ද? ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද? මේ නිර්මාණකරුවන්ට සිදු වූයේ කුමක් ද? යනු එම ප‍්‍රශ්න හතරයි. පොලිනීසියානු බස කතා කරන වර්තමාන දූපත්වාසීන් මේ දූපත නම් කරන්නේ ‘රපා නූයී’ කියලයි එහි තේරුම ‘මහා දූපත’ යන්නයි.
මුල් පදිංචිකරුවන් ආවේ පිට සක්වළෙන් ද?

20 වැනි සියවසේදී මේ දූපතට ආ සුප‍්‍රකට නෝර්වීජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් Thor Heyerdahl කියන්නේ දූපතේ සිටි පැරැන්නන් පොලිනීෂියාවෙන් පැමිණි අය නොව දකුණු ඇමෙරිකාවෙන් ආ අය කියලයි. ඒත් ඒ බව තවමත් සනාථ වී නැහැ. ස්විස් ජාතික එරික් වොන් ඩැනිකෙන් ලියූ ලෝ සුපතල ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ Chariots of Gods කෘතියට අනුව මෙම මෝයි පිළිම ඉදිකරන්නට ඇත්තේ දූපතේ අතරමං වූ පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් බවයි. පසුව ඔවුන් දිවි ගළවා ගෙන මෙලෙවින් නික්ම යන්නට ඇතැයි ඒ පොතෙහි සඳහන් වෙනවා. මීට වසර මිලියන 3 කට පෙර සිදු වූ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් නිර්මාණය වූ මේ දූපත කි‍්‍ර.ව. 900 දී පොලිනීෂියානු දේශගවේෂකයන් විසින් සොයා ගනු ලැබුවා. 

මෙය 1888 වසරේ සිට අයිති වෙන්නේ චිලී රාජ්‍යයට වුනත් එය පිහිටා ඇත්තේ එම රාජ්‍යයට සැතපුම් 2,237 ක් දුරින් ගිනිකොනදිග පැසිෆික් සාගරයේයි. මේ දූවේ ප‍්‍රමාණය වර්ග සැතපුම් 63.9 කි. මෝයි පිළිම නෙළන්නට ඇත්තේ අතීතයේ මෙම දූපතේ විසූ ‘රපා නුයී’ නම් ගෝත‍්‍රිකයන් විසින්යැයි විශ්වාස කෙනෙවා. අදටත් මේ දූපතේ උසින් අඩි 1,000ක් පමණ උසැති අකි‍්‍රය ගිනිකඳු තුනක් තිබෙනවා. මේ අකි‍්‍රය යමහල් කුහරවල විල් නිර්මාණය වී තියෙනවා. පාස්කු දිවයිනේ ඇත්තේ සෞම්‍ය දේශගුණයකි. ඉදහිට වැසි ලැබෙන අතර දූපතේ ගංගා ඇළදොළ අඩුය. 
දූපත්වාසීන් ජලය ලබා ගන්නේ උල්පත්, ළිං සහ විල් ආදියෙනි. දූපතේ විශාල ගස් දකින්න නොලැබේ. ඈතට විහිදී යන විශාල තණබිම්වල බැටළුවන් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා. අද මේ දූපතේ පදිංචිව සිටින්නේ පොලිනීසියානු ජන වර්ගයට අයත් ජනයායි. ඔවුන්ගේ පදිංචියත් හංගා රෝහා නම් ප‍්‍රදේශයට පමණක් සීමා වී තියෙනවා. දූපත් වැසියන් කතා කරන්නේ ටහීටි උප භාෂාවක්. ශාන්තිකර සාගරයේ අනෙක් දූපත් වැසියන්ට මෙන්ම මොවුන්ගේ ජීවිතවලටත් නැටුම් ගැයුම් හා සංගීතය එක් වී තියනවා. මුදල්වලට ආශාවක් නොමැති මේ දූපත් වැසියන් ඔවුන් විසින් නිර්මාණය කරන ලී කැටයම්, සැරයටි ආදිය වරින් වර චිලී රාජ්‍යයේ සිට පැමිණෙන නැව්වලට දී ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදියවලට හුවමාරු කර ගන්නවා. තිරිඟුපිටි, සීනි, රෙදිපිළි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ලැබෙන්නේත් චිලී රටෙන්.

පුරාවිද්‍යාත්මක ස්ථානයක් හැටියටත් පාස්කු දූපත හුඟක් ප‍්‍රසිද්ධයි. ඈත අතීතයේ ජීවත් වූ ඉතා උසස් ශිෂ්ටාචාරයක බලමහිමය පෙන්වීමට අද ඉතිරිව ඇත්තේ මෙම නිසල ගල් පිළිම පමණයි. ඒවා 600 ක් විතර තිබෙනවා. ඒවා උසින් අඩි 3 සිට 66 දක්වා වෙනවා. විශාල ම එකක බර සාමාන්‍යයෙන් ටොන් 80ක් පමණ වෙනවා. නෝර්වේජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම දූපතේ පුරාවස්තු සහ ඉතිහාසය ගැන කරුණු කාරණා සොයා බලා පැවැසුවේ මෙම ප‍්‍රතිමා ඉදිකර තිබෙන්නේ රානෝ රාරාකු නම් අකි‍්‍රය වූ ගිනිකන්දේ පාෂාණවලින් බවයි. රානෝ රාරාකු ගිනි කන්ද ඇතුළේ සහ ඒ අවට බාගෙට ඉදිකළ පිළිම ද හමුවී තියෙනවා. දිවයින වටා ‘අහු’ නමින් හැඳින්වෙන විශේෂ වේදිකා මත මේ ඇතැම් ප‍්‍රතිමා තබා තිබෙනවා. ‘අහු’ යනු ඉපැරණි දූපත් වැසියන්ගේ පුද පූජා පැවැත්වූ ස්ථාන ලෙසයි හියඩාල් හඳුන්වන්නේ. ඒ විතරක් නොවේ මේ මෝයි පිළිම නිර්මාණය කරන්නට ඇත්තේ ඉපැරණි දූපත් වැසියන්ගේ මුතුන් මිත්තන් සිහි වීම පිණිස යැයි විශ්වාස කරෙනවා. නමුත් මේ මුතුන් මිත්තන් කවුරුන්දැයි හරියටම කියන්න තවමත් හැකියාවක් ලැබිලා නැහැ.    

පාස්කු දූවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අරුම පුදුම ලෙන් කීපයක් හමුවෙනවා. පරම්පරා කීපයක් තිස්සේ එක් එක් පවුල සතුවූ මේ ලෙන් තුළ මුතුන්මිත්තන්ගේ ඇටසැකිලි, ගල් හා ලී කැටයම් තිබී සොයා ගනු ලැබුවා. ලෙන්වලින් හමුවුණු කෞතුක වස්තු අතර දිවයිනේ ආදිවාසීන්ගේ ‘රොන්ගෝ රොන්ගෝ’ නමින් හැඳින්වෙන චිත‍්‍රාක්ෂර කෙටූ ලී පුවරු විශේෂයක් තියෙනවා. ශාන්තිකර සාගරයේ ‘ ඕෂේනියා’ කලාපයෙන් මෙතෙක් හමුවුණු කෞතුක වස්තූ අතරේ පුරාණ ලේඛන ක‍්‍රමයකට සාක්ෂි වශයෙන් ඉතිරිවෙලා ඇත්තේ මේ ‘රොන්ගෝ රොන්ගෝ’ පුවරු පමණයි. මෙම පුවරුවලින් කියැවෙන්නේ කුමක්දැයි වටහා ගන්න හෝ ඒවා කියවීමට මේ දක්වා හැකිවෙලා නැහැ. මෝයි පිළිම මෙන්ම ඒ චිත‍්‍රාක්ෂරත් ලොකු අබිරහසක්. මේ චිත‍්‍රාක්ෂර ඉපැරණි ඉන්දියානු, මිසර හා කී‍්‍රට අක්ෂරවලට සමානකම් දක්වන බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. ඉන්කා සහ ටහීටි කලා නිර්මාණවල සමානකම් මෝයි පිළිමවල දකින්න ලැබෙන බවත් ඔවුන් කියනවා. නමුත් පාස්කු දිවයිනේ අතීත විස්තර හෙළි කරගන්න තවමත් හැකියාව ලැබී නැහැ. 

රතු ගල් තොප්පි පැලඳුවේ කෙසේද?

පාස්කු දූවේ දැන් විශාල ගස් නැතත් අතීතයේ දී මේ දූපත තල් ගස් විශේෂයකින් පිරී පවතින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඒ කාලයේ හැටියට ලෝකයේ උසම ගස් අතරට වැටුණු මෙම තල් ගසක් හොඳින් වැඩුණු විට උස අඩි 60ක් පමණ වෙතැයි සඳහන් වෙනවා. එවැනි ගසක් වට අඩි 7ක් පමණ වන්නට ඇති. තවමත් අබිරහසක්ව පවතින මේ දූපතේ ආදීමයන් මේ ගස්වල කඳන් ඔරු තැනීමට යොදා ගෙන්නට ඇති. මේ ගස්වල කෙඳිවලින් කඹ අඹරා ගන්නට ඇති. මේ මෝයි පිළිම කෙළින් කරන්නත් මේ ගස්වල කඳන් හා කඹ යොදා ගන්නට ඇති. අද මේ ගස් එකක්වත් පාස්කු දූවේ දක්නට නැහැ. ගස් වඳවී යන්නට ඇත්තේ මේ තරම් විශාල මෝයි පිළිම ප‍්‍රමාණයක් තැනීම නිසා වන්නට ඇති.

පාස්කු දිවයිනේ යෝධ මෝයි ගල් පිළිමවල හිස් මත රතු පැහැ ගල් තොප්පි විශේෂයක් දැක ගන්න පුළුවන්. ඉතා හොඳින් කැපී පෙනෙන මේ ගල් තොප්පි නිර්මාණය කර තියෙන්නේ ගල් පිළිමත් සමඟ නොවෙයි. ඒවා නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ පිළිම නෙළීමට යොදා ගත් පාෂාණ වර්ගයත් නොවෙයි. මේ සුවිශේෂී රතුපැහැති තොප්පි නිර්මාණය කළ අයුරු සහ ඒවා මෝයි පිළිමවල හිස් මත පැලඳවූ අයුරු ගැන බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගිය දිනෙක ගවේෂණයක් කළා. මේ අනුව ඉපැරණි අබිරහසක සුලමුල හෙළිවී තියෙනවා. ඒත් මේ අබිරහස මුළුමනින්ම විසඳීමට ඔවුන්ට හැකිවෙලා නැහැ. යම්තාක් දුරකට හෝ මේ අබිරහසේ සුලමුල හෙළි කර ගන්න ඒ පුරාවිද්‍යාඥ පිරිසට හැකිවුණේ මේ පුංචි දූපතේ කුඩා මාර්ගයක් සොයා ගැනීමත් සමඟයි. 

මේ මාර්ගය දිගේ ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන්ට සැඟවුණු පුරාණ ගිනිකඳු කුහරයක් සොයා ගන්න හැකිවුණා. මේ කුහරයේ තිබුණා ගල්වළක්. මෝයි පිළිමවලට යෙදූ රතු තොප්පි නිර්මාණය කර තිබෙන්නේ මේ ගල්වළේදීයි. මෙම ගල්වලේදී නිර්මාණය කළ රතු ගල් තොප්පි ලී කොටන් මත තබාගෙන හෝ තල්ලූ කරගෙන පිළිම තිබෙන තැනට රැගෙන එන්න ඇතැයි ලන්ඩන් නුවරින් ගිය මැන්චෙස්ටර් සහ යුනිවර්සිටි විද්‍යාල පුරාවිද්‍යාඥ කණ්ඩායම අනුමාන කරනවා. 
පුරාවිද්‍යාඥයන් මේ ටොන් ගණනක් බර ගල් තොප්පි පරීක්ෂා කළා. ඒවා සාදා ඇත්තේ රතු යබොර (යකඩ සහිත පස්) සහ ඝනීභවනය වූ ලාවා පාෂාණවලිනුයි. පොලිනීසියානුවන් මේ තොප්පි වෙරළාසන්නයේ පූජා උත්සව සඳහා ඉදිකළ වේදිකාවල ඇති මෝයි පිළිමවල සිරස් මත තැන්පත් කළේ වසර 500 ක් 750 ක් තරම් ඈත අතීතයේදීයි. තවමත් විසඳීමට නොහැකි ලොකුම ප‍්‍රහේළිකාව මේ තොප්පි ඔසවා පිළිමවල හිස්මත තැබුවේ කෙසේදැයි යන්නයි.








උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Thursday, July 28, 2016

පිටසක්වල ජීවීන් ගැන රහස් එලියට....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens - pitasakwala jeeween)

පිටසක්‌වල ජීවියා ලෝක වාසියාගේ ජන මනස තුළ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජීවත්වන කෙනෙකි. ආදිකල්පික මනුෂ්‍යයා විසින් වසර දහස්‌ ගණනකට පෙර ගල් ගුහාවල අඳින ලද පිටසක්‌වල ජීවීන්ගේ චිත්‍ර ඉන්කා, ඇස්‌ටෙක්‌ වැනි ඉපැරැණි ශිෂ්ටාචාර තිබූ ලතින් ඇමරිකන් රටවලින් හමුවී ඇත. ඊජිප්තුවේද මෙම චිත්‍ර තිබේ. කාලයෙන් කාලයට පිටසක්‌වල ජීවීන් පෘථිවියට එන බවත් මනුෂ්‍ය ජන සමාජය තුළට රිංගා ජීවත් වන බවත් සමහර විද්‍යාඥයන්ගේ මතය ය. තවත් සමහර පිටසක්‌වල ජීවීන් වනගහන තුළට රිංගා පරිසරය අධ්‍යයනය කරමින් එම තොරතුරු ඔවුන්ගේ ලෝකයට සපයන බවද හෙළිවී ඇත.
අළු මිනිස්‌සු හෙවත් Grey People ලෙස හැඳින්වෙන පිටසක්‌වළ ජීවීන් විශේෂය සෙසු සියලු පිටසක්‌වල ජීවීන් අතුරින් විශේෂය. අළු පැහැති සමක්‌ ඇති අඟුටුමිට්‌ටන් විශේෂයක්‌ වන මේ ජීවීන්ට විශාල හිසක්‌ ඇති නමුත් කන් නාසා සහ ලිංගික අවයව යනාදිය නැත. ඔවුන්ගේ ලොකු හිසෙහි ලොකු ඇස්‌ ඇති අතර පපුව කුඩාය. එහි ඇසට පෙනෙන ඉලඇට හෝ මාංශ පේශීන් නැත. ඔවුන්ගේ පාද කෙටිය. සන්ධි, මනුෂ්‍ය ශරීරයේ අවයවවල සන්ධිවලට වඩා වෙනස්‌ය. සිරුරේ හෝ හිසෙහි කිසිදු තැනෙක කිසිදු ලෝමයක්‌ නැත. නාසය සහ කන් තිබිය යුතු තැන කුඩා විවර තිබේ. මුඛය ඉතා කුඩාය. ඇස්‌ බෙහෙවින් කළු පැහැගන්වන අතර ඉංගිරියා නැත. සමහර අළු මිනිසුන්ට මුඛ විවර හෝ නාසිකා විවර ඇත්තේම නැත.
විවිධ රටවල ජනයාට පිටසක්‌වල ජීවීන් හමුවූ අවස්‌ථා තිබේ. ඔස්‌ටේ්‍රලියාවේ හටගත් එබඳු හමුවීම්වලින් 50% කදීම පෘථිවි වාසීන්ට හමුවී ඇත්තේ අළු මිනිස්‌සුය. ඇමරිකාවේදී 43% ක්‌ද, කැනඩාවේදී 90% ක්‌ද, බ්‍රසීලයේදී 60% ක්‌ද යුරෝපාකරයේ දී 20% ක්‌ද, එක්‌සත් රාජධානියේ දී 12% ක්‌ද වශයෙන් අළු මිනිසුන් පෘථිවිවාසීන්ට හමුවී තිබේ. අළු මිනිසා ගැන මුලින්ම ලියන ලද්දේ එච්. ජි. වේල්ස්‌ නමැති විද්‍යා ලේඛකයාය. 1893 දී ඔහු ලියූ Man of the Year Million නමැති විද්‍යා නවකතාවේ සඳහන් වන පරිදි මනුෂ්‍ය වර්ගයා අනාගතයේ දවසක විශාල හිස්‌ සහ කුඩා ශරීර ඇති අළු පැහැති ජීවීන් කොටසක්‌ බවට පරිණාමය වේ. සඳෙහි ජීවයක්‌ ඇතොත් ඒ මිනිසුන්ද අළු පැහැති වන බව වේල්ස්‌ගේ මතය විය. සඳේ ජීවයක්‌ නැති බව අද සොයාගෙන තිබේ. එහෙත් පිටසක්‌වල ජීවීන් සිටියොත් ඔවුන්ගේ ස්‌වරූපය අළු මිනිසුන්ගේ ස්‌වරූපය හා සමාන විය හැකි බවට පූර්ව නිගමනයක්‌ වේල්ස්‌ට තිබිණ. ඔහුට මේ දැනුම ලැබුණේ කොහෙන්ද? ඔහුට රහසිගතව අළු මිනිසුන් හමුවීද?
1961 දී ඇමරිකානුවන් දෙදෙනකු වූ බෙටී හිල් සහ බානි හිල් යන දෙදෙනා හදිසියේම අතුරුදන් වූහ. ඔවුන් පැහැර ගන්නා ලද්දේ අළු මිනිසුන් බවට සාක්‌ෂි තිබිණ. පැහැරගත් දෙදෙනා පීරිසියක හැඩය සහිත යානයක දමාගෙන රැගෙන ගොස්‌ ඇති බවද හෙළිවිය. අළු මිනිසුන් ජීවත් වන ග්‍රහලෝකය පිහිටා ඇත්තේ Zeta Reticuli නමැති තාරකා පද්ධතියේ බව තාරකා විද්‍යාඥයෝ කියති. එම පද්ධතියට අයත් Reticulum සූර්යයාගේ දෙවැනි ග්‍රහලෝකය මිනිසුන්ගේ ජන්ම භූමිය බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
1947 දී ඇමරිකාවේ නිව් මැක්‌සිකෝ ප්‍රදේශයේ රොස්‌වෙල් පළාතට පිටසක්‌වල යානයක්‌ කඩාවැටුණ බවත් මේවායෙහි සිටි ජීවීන් ඇමරිකානු හමුදාව මගින් සිරකර ගෙන සිටින බවත් ප්‍රසිද්ධ කතාවකි. මෙසේ සිර කරගෙන සිටින පිටසක්‌වල මිනිසුන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙයට කලකට පෙර ඇමරිකන් මානව හිමිකම් සංවිධානයක්‌ අධිකරණයට පෙත්සමක්‌ පවා ඉදිරිපත් කර තිබිණි. මෙසේ ඇමරිකන් හමුදාව අතට පත්වූ පිටසක්‌වල ජීවීන් පිරිස අළු මිනිසුන් බවට පිළිගැනීමක්‌ තිබේ.
1947 දී රොස්‌වෙල් ප්‍රදේශයේ දී අල්ලා ගත් අළු මිනිසුන් පසුව මියගිය බවත් ඔවුන්ගේ මරණ පරීක්‌ෂණ පිළිබඳ මි.මී. 16 ප්‍රමාණයේ දළ සේයාපටවලින් වාර්තා චිත්‍රපටයක්‌ තනන ලද බවත් පිළිගැනීමය. එම චිත්‍රපටය රීල් 22 කින් සමන්විත බවද සඳහන්ය. රේ සැන්විලි නමැති අධ්‍යක්‍ෂවරයා විසින් මෙය තැනූ අතර එමගින් විශාල කලබැගෑනියක්‌ ඇතිවනු දුටු අධ්‍යක්‍ෂවරයා තම චිත්‍රපටය ඔරිජිනල් එකක්‌ නොවන බවත් නියම චිත්‍රපටය අපැහැදිලි නිසා එය අනුසාරයෙන් අලුත් දර්ශන තල සහ ආකෘති යොදා චිත්‍රපටය තැනූ බවත් කීය. කෙසේ වුවද මෙහිදී එකක්‌ පැහැදිලි විය. ඒ වූකලී රොස්‌වෙල් සිද්ධිය ඇත්ත බවත් මියගිය අළු මිනිසුන් ගේ මරණ පරීක්‌ෂණ ආශ්‍රයෙන් අපැහැදිලි මට්‌ටමේ හෝ චිත්‍රපටයක්‌ තනන ලද බවත්ය.
අළු මිනිසුන්ගේ හමේ පැහැය ගැනද විවිධ සාක්‌ෂි තිබේ. සමහරුන් කියන්නේ ඔවුන් නිල් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත වන බවය. ඔවුන් දම් පැහැයට හුරු අළු පැහැයෙන් යුක්‌ත බව තම සමහරු කියති. අළු මිනිසුන් සයිබොග්වරුන් (අර්ධ යාන්ත්‍රික සහ අර්ධ මනුෂ්‍ය ශරීර ඇතිව නිපදවන ලද මනුෂ්‍ය වර්ගයකි) කෙනකුගේ මතය ය. ලැබී ඇති සාක්ෂිවලට අනුව ඔවුන්ගේ සිරුරුවල සම ඉතා මෘදුය. එය තුනී රබර් වැස්‌මක්‌ වැනිය. අළු මිනිසුන්ගේ අත්අඩංගුවට පත්වූ පෘථිවි වාසීන් ලිංගික හිංසා ඇතුළු විවිධ වධ බන්ධනවලට ලක්‌ කෙරුණු බවද හෙළිවී තිබේ. එසේ නම් අළු මිනිසාගේ සිතුම් පැතුම්ද ස්‌ථිර වශයෙන්ම පෘථිවි වාසීන්ගේ සිතුම් පැතුම් හා සමාන විය යුතුය. නැත්නම් ඔවුන් තම අත්අඩංගුවේ සිටින අයට ලිංගික වධහිංසා කරන්නේ නැත.
අළු මිනිසුන්ගේ ප්‍රබලම ආයුධය මෝහනයයි. පෘථිවි වැසියකු තමන් අතට පත්වූ විට ඔවුන් ඔහුගේ දෑසට තම විශාල දෑස ළංකර මෝහනය කරන බව හෙළිවී ඇත. ඒ මගින් පෘථිවි වාසීන්ගේ සිත් තුළ ඇති දේ දැන ගැනීමටද ඔවුනට හැකිය. අළු මිනිසුන් හුස්‌ම ගන්නා බවක්‌ නොපෙනෙන බවත් ඔවුන්ගේ ළය උස්‌ පහත් නොවන බවත් ඔවුන්ට හසුවූ අය කියති.
ජීව විද්‍යාඥයකු වන ජැක්‌ කොහෙන් කියන පරිදි අළු මිනිසා ජීවත් වන ලෝකයේ පාරිසරික ස්‌වභාවය පෘථිවියට වෙනස්‌ නිසා අළු මිනිසාගේ ශරීරයද ඊට අනුකූලව හැඩගැසී ඇති බවය. අළු මිනිසුන් සිය බෝවීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ ක්‌ලෝනීකරණය මගින් බව විද්‍යාඥයෝ කියති. වසර දස දහස්‌ ගණනක්‌ තිස්‌සේ ඔවුන් පෘථිවියට පැමිණියේ පහත සඳහන් කරුණු නිසා බව කියනු ලැබේ.

* පුළුල් බුද්ධියක්‌ ඇති නමුදු ඔවුන්ගේ කය ශක්‌තිමත් නැත. පෘථිවි වාසීන් වෙතින් ජාන ලබාගෙන ක්‌ලෝනීකරණය කර ශක්‌තිමත් ජාතියක්‌ බිහිකිරීම ඔවුන්ගේ අරමුණ බව අනුමාන කෙරේ.

* තමන් ජීවත් වන ග්‍රහලෝකයට වඩා පෘථීවිය යහපත් නිසා පෘථිවියෙහි ජනපද ගොඩනැඟීම ඔවුන්ගේ අරමුණ බව එක්‌ මතයකි.

* පෘථිවියෙහි අලුත් දැනුම ලබාගෙන තම වර්ගයා දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ බව ඊළඟ මතයයි.

* පෘථිවි වාසීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අධ්‍යයනය කර ඒ ආකාරයේ ස්‌වාභාවික ක්‍රියාවලියක්‌ තම වර්ගයා වෙනුවෙන්ද ඇති කර ගැනීම. (අළු මිනිසුන් ගැන වීඩියෝ දර්ශන Youtube හරහා Grey People හෝ Grey aliens යන්න ටයිප් කිරීමෙන් අන්තර්ජාලයෙන් ලබාගත හැකිය.)
සුමේරියන් ශිෂ්ටාචාරය වසර 6000 ක්‌ පැරැණි අතර ලොව පැරැණිතම ශිෂ්ටාචාරය ලෙස සැලකේ. මේ ශිෂ්ටාචාරයේ මිනිසුන්ට අනුනකි නමැති දෙවියෙක්‌ සිටියේය. එම දෙවියා පිටසක්‌වල ජීවියෙක්‌ බවත් පෘථිවියට පැමිණ ජීවත් වූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. අප අදටත් පාවිච්චි කරන දින දර්ශනය, ගණිත ශාස්‌ත්‍රය සහ වේලාව බැලීමේ ක්‍රමය සුමේරියානුවන් විසින් හඳුන්වා දෙන ලදී. සෞරග්‍රහ මණ්‌ඩලය ගැන ඔවුන්ට ඉතා හොඳ දැනුමත් තිබූ අතර වෙනත් ග්‍රහලෝකවලින් මෙහි එන ජීවීන්ගේ රුව මැටි පුවරුවල හෝ ගල් ඵලක මත කැටයම් කිරීම ඔවුන් අතින් සිදු විය. “අනුනකි” පෘථිවියට පැමිණියේ අභ්‍යවකාශ යානාවකිනි. එම යානාවේ රූපසටහන්ද ඔවුන් ගල්වල කොටා ඇත
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, July 26, 2016

රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ මොනවාද.....(rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya

එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.
බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. 
දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට ඕනෑ තරම් සාධක ඇත. පුරාාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.
පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්‍ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින් ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උම`ග තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ගී‍්‍රන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සකි‍්‍රය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප‍්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.
පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් ති‍්‍රකෝණාකාරව පෘථිවිය වටා කක්‍ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම ප‍්‍රකාශ කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය කි‍්‍රයාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ‍්‍රමණය වීම සිදුවෙයි.
මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට

තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිදි සත්‍යයක් පැවතිය යුතුය. වේරම්බ වාතය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941දීය. පෘථිවි මට්ටමේ සිට අඩි 25000-30000 උසකින් පෘථිවිය වටා ගමන් කරනා ශක්ති ධාරාවකි. ගුවන් යානා භාෂාවේදී මෙය ජෙට් ස්ටී‍්‍රම් (Jet Stream) ලෙස හඳුන්වනු ලබයි. මෙම වායු ධාරාව තුළ දී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක වේගයක් ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීම සිදුවෙයි. පහළ කක්‍ෂ මට්ටම ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.

රාමායණය තුළ වේරම්බ වාතයේ සැඟවූ රාවණ රජුගේ ආයුධ තුනක් පිළිබඳ කතා කිරීමට හේතුව පැහැදිලිය. යුද්ධයක බලගතුම අවිය වනුයේ තොරතුරුය. ඇමෙරිකාව ලෝකය පුරා සියලූ රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.
රාමායණ කතුවරයාට මෙය අවියක් ලෙසින් සිතන්නට පැහැදිලි හේතුද ඇත. වේරම්බ වාතය යනු පහළම කක්ෂයයි. එනම් මෙහි ස්ථානගත කළ චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් රාවණ රජු භාවිත කළේ යැයි කීම පදනම් විරහිත කතාවක් නොවේ. යුද්ධයක් ජයගැනීමට මෙන්ම ලෝකයම ජනාවාස කළ හෙළයන්ගේ ප‍්‍රධානම අවිය වන්නට ඇත්තේ මෙයයි. 
මෙය බහුතරයකට විහිළුවක් සේ සිතෙනන්ට පුළුවන. එහෙත් පසුගිය කාලයේ ගිලීගිය නැවකින් සොයාගත් වසර දෙදහසකටත් වඩා පැරැණි පරිගණකයක් සේ හඳුනාගත් ඇන්ටිකතිරියා මැෂිම විහිළුවකැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය. එය නූතන විද්‍යාවෙන් ද පිළිගෙන හමාරය. කඩාවැටුණු පිට සක්වළ යානාවක තිබූ පරිගණකයක් සේ යම් මත ඉදිරිපත් වුවත් විද්‍යාඥයන් විසින් ඇන්ටිකතිරියා මැෂිමේ ආකෘතියක් නිර්මාණය කිරීමත් සමග අදින් වසර දහස් ගණනකට පෙර පැවති පරිගණක තාක්‍ෂණ ක‍්‍රමවේදයක් පිළිබඳ නැවත සිතන්නට අවස්ථාව විවර කළේය. බටහිර විද්වතුන් ලංකාවට මෙන්ම ඉන්දියාවට පැමිණ හදාරන ලද්දේ රාවණ ඉතිහාසයයි. ඔවුහු හෙළ දැනුම බටහිරට ගෙන ගොස් තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකයට හෙළි කළහ.
රාමායණයේ සඳහන් වන ලෙසට රාවණ රජතුමා වේරම්බ වාතයේ සැඟවූ ආයුධ ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය. මෙය ඉතා සරල කතාවකි. එහෙත් තාක්ෂණය දන්නා හෙළයන් මෙහි ඇතුළාන්තය ගැන හොඳින් දැන සිටියේය. එවරස්ට් කන්දේ උස අඩි 29029 කි. එනම් හිමාලය හරහා වේරම්බ වාතය වක‍්‍රාකාරව ගලායයි. මෙහිදී ඉතා සියුම් ක‍්‍රමවේදයක් ඔස්සේ චන්ද්‍රකාවක් කක්ෂ ගත කිරීමට හැකියාව පැවතුණි. වේරම්බ වාතය යනු ඒකාකාරීව පෘථිවිය වටා ගමන් කරනා වායු ධාරාවක් බැවින් මෙය නිරන්තරව භ‍්‍රමණය වීම සිදු වෙයි.
අප කතා කරනුයේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සඟවා විස්තර කළ හෙළයන්ගේ දස්කම් ගැනය. පසුගිය දා චීනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමත් සමගම ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඇති වූ උණුසුම් කතාබහ තවමත් කිසිවකුටත් අමතක නැත. එහෙත් එහිදී අවශ්‍ය වන්නේ අපේ රට තුළ නිපදවූ චන්ද්‍රිකාවක් තනන්නට අපේම වුවමනා දැනුම එක්කාසු කරගෙන එවන් නිර්මාණයක් කිරීමය. ඒ අවශ්‍යතාව සහිත යුගය එළැඹ ඇත. මන්ද හෙළයන්ගේ යුගය උදාවී ඇති බැවින.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අබිරහස් සොහොන් බිම්.. (sohon bim අබිරහස් අඩවිය - Abirahas Adawiya)