Thursday, December 21, 2017

ඉතාලියේ සාපලත් ගම්මානයේ අවාසනාවන්ත කතාව.....(Calabro italy අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිටා ඇති පැරණි ගම්මානයක් වන කොලොබ්‍රාරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙයි. 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියාවු බියාජියෝ විර්ජිලියෝ අසල මැටෙරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය.”මම කියන කතාව බොරුවක් නම් මේ උඩ එල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕනෙ.”ඒ වචනත් සමග චැන්ඩ්ලියර් එක හෙවත් එම පහන බිමට කඩා වැටුණේ විර්ජිලියෝ ගේ ගම්මානය වන කොලොබ්‍රාරෝ වෙත අවාසනාවද කැඳවමිනි.
වර්තමානයේදි කොලොබ්‍රාරෝ ගම්මානය ප්‍රකටව ඇත්තේ එහි නම පවා පැවැසීමෙන් වැලකිය යුතු ගමක් හැටියටය. අවට ගම්මානවල ජනතාව කොලොබ්‍රාරෝ ගැන සඳහන් කරන්නේ “අර පරණ කතාවල එන ගම”යනුවෙනි.ඉන් නොනවතින ඔවුහු වැරදීමකින් හෝ කිසිවෙකු වෙතින් එහි නම කියැවුනොත් වාසනාව පතා කරන සම්ප්‍රදායික කටයුත්තක් වූ ලීයෙන් කල යමක් ස්පර්ශ කරති. මේ ගැන කතා කරන කොලොබ්‍රාරෝ ගම්මානයේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ විර්ජිලියෝ ගමට ගෙනා අවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ අවාසනාව ගැන කතාව එහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි.
“පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුණත්, ටයර් එකක හුළං ගියත් දොස් කියන්නේ ගමට”එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියයි.
කැලබ්‍රියා සහ පුග්ලියා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශය කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝ වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලටද මෙම කලාපය තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායයන් හා මිථ්‍යා විශ්වාසයන්ද මෙම පසුබිම තුළ බහුලය. පහන කඩාවැටීමේ පුරාවෘත්තයට අමතරව කොලොබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් හා මායාකාරියන් ගැන කතන්දරද අසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවැසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හූනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබේ. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලොබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකටවීම අසීරු වූයේද නැත.
මේ සියලු මිථ්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මෙන් 2011 වසරේදී කොලොබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ “ඩී්‍රම් ඔෆ් ද නයිට් ඉන් දැට් වි‍ලේජ්”නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්විණි.ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දෙස්,විදෙස් සංචාරකයින් කොලොබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරශ්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටය. ගම්මානයට ඇතුලු වන විටම පිටතින් එහි පැමිණෙන්නන්ට ගම්මානයේ අවාසනාව ගැන දැනුම්දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙයි. එහි ඇතුළත්වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුනු, දරුවන් ලැබිම සංකේත වත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමය, රූමත් බව හා නරක ආත්ම පලවා හැරීමට රෝස්මරී අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි.
වීදි සංදර්ශනය තුළ දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන “කුඩා පූජකවරයා”ලෙස හැඳින්වෙන ළමා නඵවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවැසෙයි. හාස්‍යයටද බර සියුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටි පතුල් කිතිකැවීම හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටය. ඒවා නැවැත්වීමට නම් කළ යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමය.මේ සංදර්ශනය තුළ තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ද ගතහැකි වෘකයින් ලෙස සැරසුනු පිරිසකි. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කිහිපදෙනෙක් පුන් සඳ පායා ඇති රාත්‍රී කාලයට වෘක වෙස් ගෙන තිබේ. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිස ඉන් ගලවා ගැනීමට කළ යුත්තේ ඇල්පෙනෙත්තක් වැනි යමකින් ඇන ඔවුන්ගෙන් රුධිරය බිඳක් හෝ ගලායාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයෙහි එයි.
කෙසේවුවද මේ සියල්ල මැද කොලොබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුළ කැමැත්තක් තිබේ. මෙම රහස් හෙළිකළොත් ඒවායේ අගය අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයෙකුට ඒවා හෙළිකරන්නේද නැත.එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිථ්‍යා විශ්වාස හා පුරාවෘත්ත රැගෙන කොලොබ්‍රාරෝ ගම්මානය ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතිනු ඇත.
නිශානි දිසානායක
lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සුකොමළ දෙපා මත ලියැවුණ අපූරු ජීවිත රහස්......(jeewana rahas -අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

කෙනෙකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැති පැවසීම දේහලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ. අතීතයේ විසූ සෘෂිවරු විසින් ස්ත‍්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප‍්‍රමාණය ආදිය පරික්ෂාකොට ඔවුන්ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළි කරනු ලැබිණ. 
යම් ස්ත‍්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතු වෙයිද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද, නියපොතු කුළුවල පිට ඇති ආකාරයෙන්ද පිහිටා ඇත්තේ නම් එම ස්ත‍්‍රීහු වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළම දුක්විඳින්නේය.   
උගතුන්ගෙන් යුක්ත පවුලක හෝ ධනවත් පවුලක හෝ උපත ලැබුවත් ඇය කම්කරු ස්ත‍්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර ප‍්‍රියකරයි. යහපත් පිරිමින්ට ප‍්‍රිය මනාප අයුරින් සිටීමට හෝ ක‍්‍රමානුකූලව ඇඳුම්, පැළඳුම්, වලින් සැරසී සිටීමට හෝ ප‍්‍රිය නොකරයි. කලඑළියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට ප‍්‍රිය කරන්නීය. දරුඵල බහුල වුවත් ගැහැණු දරුවන්ට කැමති වේ. සුළු ශාරීරික වේදනාවක් වුවද විඳ දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතයද සාර්ථක නොවේ. ශිල්ප ශාස්ත‍්‍ර තරමක් දුරට හෝ අධ්‍යාපනය ලැබුවත් ඇය උගත්කම පිටතට ප‍්‍රදර්ශන නොකරන්නීය.   
යම් ස්ත‍්‍රියකගේ පාදය සිනිඳුවද, වට වූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. පා පිට නිර්මලද, නෙළුම් පෙති පියන් සේ මොලොක්වද යුක්ත වූයේ නම් එම ස්ත‍්‍රියද ඉතා වාසනාවන්තය. පාදයේ දෙවෙනි ඇඟිල්ල මැඳගිල්ලට වඩා මදක් දික්ව පොළොව ස්පර්ෂ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබන්නේය.   
දික් සහිත පා හිමිවීමද වාසනාවන්තය. කෙටි පාද කපටිකම හා වංචනික බව ​ෙහලිකරයි. සුළඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නීය. පය සම්පූර්ණයෙන්ම බිම් නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් වාසනාවන්තය. පය කකුළුවකුගේ මෙන්නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩිනම් බොහෝ දරුවන් ලබන්නීය. පාදයෙහි පතුල මැද නැවී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූවිට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේනම් ඇය දිවි ඇතිතෙක්ම දිළින්දියක් ලෙස කල් ගෙවන්නීය.   
ගමන් කරනවිට එක් පාදයක් ඇළකර තඹමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙයාකාරයෙන්ම හෝ ගමන්කරන ස්තිය මවගෙන් හෝ පියාගෙන් ද‌ායාදයක් නොලබයි. තරුණ වියේදීම ඇය අනාචාරයට පෙළඹෙයි.
විවාහපේක්ෂාවෙන්  ඇසුරුකළ පිරිමිද ඇය අතහැරයති. කොතරම් ඉගෙනීම ලැබවත් ඉන් ප්‍රතිඵලයක් නොලබයි. විවාහයට පත් වූවන් ජීවිතය සාර්ථක නොවෙනු ඇත.   
යම් ස්ත්‍රියකගේ කණ්ඩා යුගලය මනාසේ පරිපූර්ණව පැහැපත් ජවි වර්ණයෙන් යුක්තවීම ලෝම රහිතව ලේ ශිරා මතු වී නොපෙනීම. දෙදන එක සමානවීමද වාසනාවන්තය. ඇයගේ පය ඇඟිලි එක පිට එක ගැසුනාවූ වේනම් ඉතා අසුබය. ඕ තොමෝ සිය සැමියා නසා වෙනත් හිමියන් සමඟ සතුටු වෙන බව කියැවේ. බොහෝවිට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිඳුව වට වූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත වූයේනම් ඇය බොහෝ සම්පත් ලබන්නීය. 
පාද නැමුන ආකාරයෙන් වූයේ නම් ඇය සද‌ාකල්හිම දිළිදු බවින් කල් ගෙවන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුලගිල්ල දක්වා ක්‍රමයෙන් කෙටි වී පිහිටීමද ඉතාමත් සුභ ලක්ෂණයකි. යටිපතුල් රන් පැහැවීමත්. එහි රේඛා අතර මත්ස්‍ය රූප, වී ඇට, දියමන්ති නගුල, කඩුව යනාදී රූප සටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතු වනු ඇත.   
මහපට ඇඟිල්ල දිග්ව මහත්වී තද ගතියෙන් යුක්තනම් ඇය එඩිතරය. අහංකාරය, වැඩිදෙනාගේ අප්‍රසාදයට ලක්වේ. එහෙත් සැප සම්පත් වලට උරුමකම් කියන්නීය. රතු පැහැයෙන් යුතු ඇඟිලි පෙළ පොළොවේ ස්පර්ශවේනම් ඇය විවිධ වූ සම්පත් වලට හිමිකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමිවෙයි. රජ බිසවක්සේ සම්පත්තීන් ලබයි.   
අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවෙනි ඇඟිල්ල මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරුවූයේ නම් දෙමාපිය වැඩිහිටියන්ගේ ගෞරවයට බඳුන්වේ. චරිතය නොකැලැල්ය. කුල සිරිත් රකී. හිමියාගේ නොමද ආදරය ලබයි. සැපවත් යුග දිවියක් හිමිය. පතිභක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපට ඇඟිල්ල වඩා දිග්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඩදබර ඇති කරන්නීය. ඔහුව පාලනය කරන්නීය. අනාමික ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක් දිග්ව පොළව ස්පර්ශ කරයිනම් යහපත් දූ දරුවන් හිමිවේ. සැපවත් දිවියක් හිමිය.   
මුල් ඇඟිලි තුනෙහිම තද කාල වර්ණ රෝම පිහිටියේ නම් දුක් දොම්නස්, ඈ සොයා පැමිණේ. විවාහය සැපතක් නොවේ. පවුලේ සාමය සමගිය ඇයට අහිමිය. ගමනේදී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේනම් ජීවිතයේ සැඳෑ සමයේ දුක් විඳීමට හේතුවේ.   
පිරිමියකුගේ පාදවල ඇඟිලි කෙටිවීම ශුභ නොවේ ඒවා සම දිගින් පිළිවෙළකට පිහිටා තිබීම වාසනාවන්තය. ඇගිලි අතර ලොකු හිඩැස් ඇත්තේ නම් හෙතෙම ගෘහ සේවකයෙකු වන බවට සලකුණක්සේ සැලකිය හැක. කෙනෙකුගේ දෙවෙනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දිගනම් ඔහුට තමාගේ භාර්යාවද අහිමිවීමට ඉඩ ඇත. එය පළමු ඇගිල්ල හා දිගින් සමවේනම් යහපත්ය.
තුන්වෙනි ඇඟිල්ල දිග නම් ඉගෙනීමේ කටයුතු වලට වඩාත් නැඹුරුවෙයි. එය දෙවෙනි ඇඟිල්ලට වඩා කෙටිනම් හෙතෙම පරදාර සේවයේ යෙදෙන්නෙකුවේ. පළමු ඇගිල්ල හතරවෙනි ඇගිල්ලට වඩා දිගුවේ නම් ඔහු සතුටින් කල් ගෙවන මහා සම්පත් ඇත්තෙකුවෙයි. දෙවෙනි ඇගිල්ල බොහොසේ දිගුනම් එවැනි අය සමාජයේ අවමානයට ලක්වේ.   
මාපටඟිල්ලත් පළමු ඇඟිල්ලත් අතර විශාල පරතරයක් ඇත්තේ නම් හේ පුළුල් හදවතක් ඇත්තෙකි. එම පරතරය දෙවෙනි ඇඟිල්ලත් තුන්වෙනි ඇඟිල්ලත් අතර වේ නම් ඔහු අලුත් අදහස් ඉදිරිපත් කිරීමේ සමතෙකි. එම පරතරය තුන්වෙනි ඇඟිල්ලක් හතරවෙනි ඇඟිල්ලත් අතර වේනම් ක්‍රියාවෙන් නිදහස් අයෙකු වන අතර ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නෙකු වේ   
(පැරණි පතපොත ඇසුරිනි)   හිමුටානේ පියතිලක ද අල්විස්  
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya