Thursday, June 27, 2019

කතරගම බෝධියේ එක් අත්තක රන්පත් එන හාස්කම්..... (haskam ,අබිරහස් අඩවිය - Abirahas Adawiya - katharagama)

කතරගම ඇසළ පෙරහැර ආරම්භ වීමට දින 45 කට පෙර කපු සිටුවීම නම් පෞරාණික චාරිත්‍රයක් කතරගම මහා දේවාලයේ මිණි බැදි මණ්පයේ නියමිත ස්ථාන 02කකදී සිදු කරනු ලබයි. දින 45ක් ඉකුත් වූ පසු ඇසළ පෙරහැර ආරම්භ වේ. කප් සිටුවීම සමග පෞරාණික චාරිත්‍රයන්ද ඇරඹේ.

01. යාපනයේ සිට පාද යාත්‍රාවෙන් කතරගම පුදබිම කරා පැමිණෙන බැතිමතුන් ගමන් ආරම්භ කිරීම.

02. දේවාලවල නළලේ ගාන තින්නොරු නම් සුදු පාට කුඩු විශේෂය ලබා ගැනීම සදහා දෙවියන්ට භාරහාරවී තින්නෝරු ලැබෙන වල්ලිමලේ නම් ප්‍ර දේශයේ කැනීම් ආරම්භ කිරීම.

03. කතරගම අෂ්ඨළුල බෝධින් වහන්සේගේ එක් ස්ථානයක රන්වන් බෝපත් හට ගැනීම.

කතරගම අෂ්ඨළුල බෝධින් වහන්සේ
යාපනයේ ආරම්භ කරන ලද පාද යාත්‍රාවේ නැගෙනහිර ප්‍ර දේශයේ කෝවිල් වල රාත්‍රී නවාතැන් ගනිමින් එනවිට අතරමගදී මේ පිරිසට තව තවත් පිරිස එකතුවේ. යාල අභය භූමියට ආසන්න ප්‍ර දේශයේ මහ මුහුද සමීපයේ ඇත. කතරගම දෙවියන්ට පුදපූජාවන් පවත්වන, ඔකදකතරගම දේවාලයට බැතිමතුන් එකතුවී පූජාවන්ට දින ගණනක් සහභාගී වෙයි. බැතිමතුන් එනවිට තමන් අවශ්‍ය ආහාර පාන පිළියෙල කර ගැනීමට දේවල් රැගෙන ඒම විශේෂත්වයකි.
යාල වනෝද්‍යානය හරහා ගමන් කරන ගමනේදී ගල් උඩ ගස් යට කුඹුක්කන්ඔය හා මැණික් ගග ආශ්‍රිතව රාත්‍රිය නවාතැන් ගනී.
එයින් දින ගනනක් මහා කැලෑවේ මැදින් අලි කොටි, වලසුන්ට මුහුණ දෙමින් භක්තියෙන් යුතුව ගමන් කර පුද බිමට පැමිණේ.

හාස්කම්
එක් වර්ෂයක් වැස්ස නොලැබීම නිසා පාද යාත්‍රාෙව් න බැතිමතුන් ජලය නොමැතිව මහත් පීඩාවට පත්වූහ. ගංගා සමීපයට එනතුරු ජල හිගයට මුහුණදුන් බැතිමතුන්ට පිහිට වීමට සාමි කෙනෙකු මහා කැලෑව මැදින් දැක ගත හැකි වීය. රාත්‍රිය එළඹෙන විට ජලය බෙදන සාමි අතුරුදහන් වීය. මෙම සිද්ධිය පයින් කතරගම වර්ෂ කීපයක් කතරගම පැමිණි බැතිමතුන් අත්විද ඇත. ඔවුන් කාරණය කථා කරන්නේ මහත් භක්තියෙන් යුතුවය. කතරගම දෙවියන් පිළිබද දැඩි භක්තියෙන් එන අය ඔවුන්ගේ සිත්තුළට අමුතුම ප්‍රෙබා්ධයක් දානෙන්නේ පාද යාත්‍රා ගමන පුරාම කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන බව ඹවුන්ගේ සිත් තුල ඇත.
රොටී හැදීම
මෙම ගමනේදී මහා වන මැද ගල් උඩ රාත්‍රිය ගත කරන ස්ථානද ඇත. එම ස්ථාන වලදී ඔවුන් රාත්‍රියට ආහාර සදහා රොටී සාදා ගනී. පලමුව දර වලින් ගිනි මැලයක් සාදා ගනී. ටික වේලාවකින් ගිනි මැලය සාදා ගත් දර කැබලි ඉවත් කර කොළ අතු වලින් ගිනි මැලය දැල්වූ ස්ථානය පිරිසිදු කර ගනී. රොටි සාදා රත්වූ ගලේ අලවයි. රොටී ඉක්මනින් රත්වී කෑමට සුදුසු අයුරින් සැකසේ. පිරිසේ සියලුදෙනා මේ ආකාරයෙන් රොටී සාදා ගනී.
රාත්‍රී කාලයේ වැඩිපුර ගත කරන්නේ අවුරුදු ගණනාවක් පාද යාත්‍රාෙවන් පැමිණි අය ලැබූ අත්දැකීම් හා හාස්කම් පිළිබදවයි.

මොන‍රෙකු පැමිණ කළ හාස්කම
එක් වර්ෂයක ඔකද දේවාලය අසලින් යාල වනඋද්‍යානයට ඇතුළු වී කුඹුක්කන් ඔයද පසු කර එන වට පන්සියයකට අධික පාද යාත්‍රා බැතිමතුන් පිරිසකට කැලෑවේ සිටින වල්මීහරක් රංචුවකට මුහුණ දීමට සිදුවීය.
මී හරක් රංචුව පාරේ ඉදිරියට ගමන් කරයි. බැතිමතුන්ද ඔවුන්ගේ ඉදිරියට ගමන් කරයි. බැතිමතුන් අත ර කිසිදු ආයුධයක් නැත. හරෝ හරා කියමින් මෙම පිරිස ඉදිරියට ගමන් කරයි. අන්දෙක කෙලින් කර ගත් වල්මී හරක් රංචුව බැතිමතුන්ට පහරදීමට ඉදිරියට එති. බැතිමතුන්ට ඇත්තේ හරෝ හරා කියන ශබිදයේ ආයුධය පමණි.
මී හරක් රංචුවට ආසන්න වන විට හරෝ හරා ශබ්දය තවතවත් වැඩි විය කිසිම බයක් සැකක් නැතිව බැතිමතුන් ඉදිරියට ගමන් කරති.
කතරගම දෙවියන්ට භාරහිර ඉටු කිරීමට පැමිණෙන මෙම පිරිස දන්නවා මහා කැලෑවේ උනත් කතරගම දෙවියන් මොනම මොහොතක හො තමන්ට පිහිටවන බව.

මේ පිරිස අතර කුඩා දරුවන් ගැබිනි මාතාවන්, වයසක අය මෙන්ම තරුණ අයද සිටිති.
වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්ය්‍ය වරුන් රජයේ නොයෙක් විදියේ නිලතල දරණ අයද පැමිණේ. මේ ගමනේ දී ඔවුන් සියලු දෙනා එකම පවුලක සහෝදර සහෝදරියන් වශයෙන් කාන්තාවන් අමතන්නේ සාමි අම්මා යනුවෙනි. කතරගමට එනතුරු එම කණ්ඩායම එකම පවුලකි. ඔවුන් සියලූම දෙනා සෑම දෙයක්ම එකට බුක්ති විද ගනී. කෑම බීම ජලය පවා එකිනෙකාට හුවමාරු කර ගෙන කටයුතු කරයි.

දුප්පත් පොහොසත් භේදයක් නොමැත. තනතුරු දරණ අය වෙනම නැත. එකට එකත්වී ආහාර පිස ගෙන එකට වාඩි ළුී කෑම බීම ගෙන ජලය හුවමාරු කරගෙන රාත්‍රිෙය් මෙන්ම දවල්ද ගත කරයි.
ප්‍රමාණයෙන් කෙතරම් වුවත් එකිනෙකාට ඇති අඩුපාඩු සොයා බලා හුවමාරු කර ගනී. සියලුම දෙනා ආරක්ෂාවද , කවුරුත් එකමුතුව සලසා ගනිති. මේ කාලය තුල ඔවුන් තුළ ඇත්තේ අමුතුම බැදීමකි.
අම්මා, තාත්තා, මාමා, නැන්දා. අය්යා, නංගී, සාමි, සාමි අම්මා, අණ්නා, තම්බී, අක්කා, තංගච්චි යනුවෙන් අමතන්නේ ඔවුන් තමන්ගේ පවුල් වල සාමාජිකයන් වශයෙනි.
පිරිසක් යාපනය තවත් පිරිසක් ත්‍රීකුණාමලය, මඩකලපුව, කොළඹ, මහනුවර, ගාල්ල, මාතර, හෝ ලංකාවේ වෙනත් ප්‍ර දේශයක අයයි.
නමුත් මෙම ගමනේ දී එකම පවුලක් මෙන් සියලුම දෙනා එකට ගමන් ආරම්භ කරති. එකට නවාතැන් ගනිති. එකට රාත්‍රිය ගත කරති. එකට කෑම බීම ගනිති.

මේ අය අතර ඇත්තේ අමුතුම බැදීමකි. මේ ඉන්නේ බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි යන ආගම් වලට අයත් වුවත් මෙම ගමනේ දී ඔවුන් සෑම දෙයක්ම කරන්නේ එකම පවුලක් ලෙසිනි. මේ බැදීම ලෝකයේ කිසිම ස්ථානයක ඇති නොවේ.
කතරගම දෙවියන්ට පූජෝපහාර දක්වන්නට භාරහාර ඉටුකිරීමට යන පාදයාත්‍රා ගමනේදී පමණි. තමන් ඉන්නේ අලි කොටි වලසුන්ගේ පිරී පවතින මහා වනය මැද ගලක් උඩ ගසක් යට කියා ඔවුන්ට හැගීමක් පහල නොවේ. එකම චේතනය කතරගම දෙවියන්ය. දේව භක්තියට හිරු එළිය, සීතල ඔවුන්ට බාධාවක් නොවේ. සිත සැහැල්ලුය. සිතට කරදර ප්‍රශ්න කිසිවක්නැත. සැහැල්ලුවෙන් රාත්‍රියට නින්ද යති. අලුයම අවදිවී ඊළග දිනයේ ගමනට සූදානම් වෙති. ඔවුන්ගේ සිත් තුළ ඇත්තේ කතරගම දෙවිවන් තුළ දැඩි භක්තියකි.
එක්වරක් හෝ මේ ගමනට එක් වූ අයෙක් ඊළග වර්ෂයේදී මෙම ගමනට එක්වෙති. මේ සැප පහසු ගමනක් නොවේ. දුෂ්කර ගමන්ක නමුත් සිතට දැනෙනා අසීමිත භක්තිය සියලු සැප සමිපත් පරාජය කරයි.

මීහරක් රංචුවේ පරාජය
බැතිමතුනි පිරිස ඉදිරිපිට ගමන් කිරීම නැවතීමක් නැත. වල්මීහරක් රංචුවද පහරදීමට සූදානම්ව ඉදිරියට පැමිණේ.
හදීසියේම කුඩා හෙලි කොප්ටරයක් බිමට බාන අයුරින් විශාල මොනරෙකු මෙම දෙපිරිස අතර, බිමට පත්විය.
මෙම බිමට පාත්වීමෙන් බියට පත්වූ වල්මී හරක් රංචුව කෑලෑව දෙවනත් කරමින් දුවන්නට පටන් ගත්තේ. බැතුමතුන්ගේ හරෝ හරා නාදය මුළු වනය පුරාවට රැවු පිළිරැව් දෙන්නට විය. මුරුගා යනුවෙන් බොහෝ දෙනෙක් ප්‍රකාශ කළේය.
මද වේළාවකින් විශාල මොනරෙකු අහසට ගමන් කළේය. අවශ්‍ය අවස්ථාවකදී කතරගම දෙවියන්ගේ පිහිට ලැබීම දෙවියන්ගේ බලමහිමය පෙන්වූ අවස්ථාවකි.
මෙම සිද්ධිය පසුගිය වර්ෂවල ගමනට එකතුවී මහත් භක්තියෙන් යුතුව කථා කරති.

ආහාරපාන

මහ වනය මැදින් ගල් උඩ ගස් යට නවාතැන් ගනිමින් තමන් ගෙන ආ ද්‍රව්‍ය වලින් නිර්මාංශ ආහාර පිළියෙල කර ගැනීම සිදු කරන අතර, වෙනත් සංවිධාන හෝ පුද්ගලයින් දෙන ආහාර ගැනීම ඔවුන්ගේ කැමැත්තක් නැත. මේ පාද යාත්‍රා ගමන දුෂ්කරව පැමිණ කතරගම දෙවියන්ට භාරහාර භක්තියෙන් යුතුව ඉටු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අහාර ලබා දීම ඔවුන්ගේ ගමනට බාධාවකි. වන මැද තුළදී ජලය පමණක් ලබා දීමට අකමැත්තක් නැත. භක්තියෙන් කතරගම දෙවියන් වෙනුවෙන් ඉටු කරන පාද යාත්‍රා ගමනට ආහාර පාන ලබා දීම මගින් කරන බාධාවට ඔවුන් කැමිති නැත.එසේ ආහාර පාන ලබා නොදෙන්නයි, ඔවුන් ඉල්ලා සිටිති.

දන්සල්
යාල වන මැද කටගමුව ප්‍ර දේශයේ පසු කිරීමෙන් කොච්චි පතාන ප්‍ර දේශයට පැමිණීමෙන් මන මැද පාද යාත්‍රා ගමන අවස්නවෙයි.
කොච්චිපතාන කැලේ දේවාලයේදී පැමිණි සියලු දෙනාට නවාතැන් පහසුකම් මෙන්ම ඔසුපැන් දන්සල් ඇත.
කොච්චිපතාන බුද්ධජයන්ති විහාරස්ථානයේදී පාදයාත්‍රා බැතිමතුන් වෙනුවෙන් මහා බත් දන්සලක් පැවැත්වේ.
එතැන් සිට ඔවුන් කතරගම පුදබිමට පැමිණ දේවාල භූමියේ ඇති අංගනයේ නවාතැන් ගෙන දෙවියන්ට වූ භාරහාර ඔප්පු කරති.
කතරගම පුදබිමේ නවාතැන් ගන්නා සියලූම බැතිමතුන්ට තේවානි අම්මා දේවාල සංකීර්ණයේ දිවා රාත්‍රී බත් දන්සලක්ද තේ කෝපි කිරි දන්සලක්ද පැවැත්වේ . කතරගම පුරාණ ගණ දේවාලයේ බත් හා කිරි කෝපි දන්සලක් පැවැත්වේ. ඇසළ පෙරහැර පැවැත්වෙන දින 15ක් පුරාවට පාද යාත්‍රා වෙන් කතරගමට බැතිමතුන් පැමිණෙති. සියලුම දෙනාට කතරගම පුදබිමෙහි නවාතැන් ගැනීමට ආහාර පාන ලබා ගැනීමටත් පහසුකම් සලසා දෙති. 

කතරගම විශේෂ ඊ.එච්. සෝමපාල
dinamina
========================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, June 26, 2019

සොර බොර තැනූ බුලතා.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - . හෙල පුරාණය ,ශාස්ත්‍රීය ළිපි)

ගැමුණු රජතුමාගේ යුද හමුදාවේ සෙන්පතියන් ලෙස ශූර වීර කම් පෑ දස මහා සෙනෙවියන් ගැන අපේ වංශ කතාවෙහි විස්තර වේ. නන්දිමිත්‍ර, වේළුසුමන, සුරනිමල, ගෝඨයිම්බර දස මහා සෙනෙවියන්ට අමතරව රජුට සේවය කළ තවත් එක් යෝධයෙකු වනුයේ ‘බුලතා’ යෝධයා ය.
කඳුරට උඩ දුම්බර කිරි පට්ටිය නම් ගමේ උපන් බුලතා රාජ මෙහෙවර සඳහා රුහුණට පිවිස ඇත්තේ හිරිමල් තරුණ වියේදී ය. බුලතා ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත බව කිව යුතු නොවේ. සවි බල මිනිසුන් විසි දෙනෙකුගේ පමණ කාය ශක්තියකින් යුත් බුලතා පිළිබඳ විවිධ කතා පුවත් ජන වහරේ ද පවතී.

අපි බුලතා ගැන කියැවුණු ජන කවියක් පළමුව විඳිමු.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
හොර බර වැව නොදුටුව ඇස් මොටද බොලේ

බුලතා දුටු ගැමුණු රජුට ඉතාම කුළුපග මෙන්ම විශ්වාසවන්ත රාජ සේවකයෙකු විය. ගැමුණු රජ වෙත බුලත් සැපයීම මොහුගේ රාජකාරිය විය. දිනකට හත් වතාවක් රජුට බුලත් පිළියෙළ කිරීම නිසා ගැමියන් අතර මොහු හැඳින්වුණේ බුලතා නමිනි.
සොරබොර වැව
එළාර රජු යටතේ අනුරාධපුරයෙහි ආධිපත්‍යය පැතිරුණු ආකාරයත් මේ නිසාම රජ රටෙහි ද්‍රවිඩ රාජ්‍යයක් ගොඩනැගී තිබුණු අයුරුත් අපේ කතාවන්හි විස්තර කෙරේ. කුඩා කල පටන්ම දමිළයන් පළවා හැරීමේ සැබෑ ඕනෑ කමකින් කල් ගෙවූ ගැමුණු රජු පියාණන්ගේ වියෝවෙන් පසු රුහුණේ රජකම භාර ගත්තේය. රට එක් සේසත් කිරීමේ දැඩි අරමුණෙන් දස මහා යෝධයන්ගෙන් සමන්විත මහා බලසේනාවක් සූදානම් කර ගත් ගැමුණු රජු අනුරාධපුරය බලා ගමන් ඇරඹීය.
එකල මහියංගනය දක්වාම දමිළ රාජ්‍යය ව්‍යාප්තව තිබුණි. මහියංගනයෙහි විසල් දමිළ බල කොටුවක්ද තිබුණු වග වංශ කතාවන්හි සඳහන් වේ. ගැමුණු රජුගේ සේනා මහියංගනයේදී මහා සටනක් කර දමිළ බලය බිඳ හෙළූහ. අනුරාධපුර සටනට යන්නට පළමු සතුරන්ගේ විනාශයට ලක්ව තිබූ ඓතිහාසික මහියංගන චෛත්‍යය රාජයාණන් ප්‍රතිසංස්කරණය කරන්නට රජු අවශ්‍ය පියවර ගත්තේය.
චෛත්‍ය කර්මාන්තය කරවන අතර සිය සේවයෙන් පසු ලැබෙන විරාමයේදී බුලතා පළාතේ වන අසිරිය නරඹමින් අවට ඇවිදීමට පුරුදුව සිටියේය. මහියංගනයෙන් උතුරු දෙසට ඇවිද ගෙන යන අවස්ථාවේ ගල් කඳු දෙකක් අතරේ පිහිටි පහත් බිම් තීරුවක් සහ ඒ හරහා ගලා යන නිල්වන් දිය දහරක් දක්නට ලැබුණි.
බුලතා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. මෙම ස්ථානයෙහි වැවක් ගොඩනැගිය හැකි බැව් ඔහු තීරණය කළේය. සිංහලයන්ගේ ලේ තුළ වැව් සංස්කෘතිය පිරී තිබුණු බව දැක්වේ. වැව් බැඳීම මහා පුණ්‍ය කර්මයක් බැව් බෞද්ධ සාහිත්‍ය පත පොත්හි ද දැක්වේ. සිංහලයන්ට වැව් බැඳීමේ සහජ හැකියාවක් ද තිබුණි.
තමන් උපන් දේශය පර සතුරන්ගෙන් මුදා ගැනීමත් තමන්ගේ නිජ බිමට උපරිම ආකාරයෙන් සේවය කිරීමත් තමන්ගේ උතුම් අභිප්‍රාය බව අවබෝධ කර ගෙන බුලතා ලැබෙන විවේකය වැවක් ගොඩනගන්නට කැප කළේය. මේ ගැන සැලවීමෙන් පසු කිරිපට්ටිය ගමේ සිටි බුලතාගේ බිරිය වාපී කර්මාන්තය උදව් දීමටත් බුලතාගේ දුක සැප බැලීමටත් දිනපතා කෙටි මඟකින් පැමිණියා ය. ඇය ද සවි ශක්තිමත් යෝධියක බව කිව යුතු නොවේ. මලය පර්වතය හරහා වැටුණු දුර්ග කපොල්ලක් තුළින් ඈ ගල්පරය ළඟට ආවාය.
දිවා රෑ නොබලා ඔවුහු වෙහෙසී වැඩ කළහ. කෙටි කලෙකින් වැව් බැම්ම සැකසිණි. මෙහා ගල් කන්ද කෙළවරේ එක් තැනක් නිසි ලෙස කපා අපූරු ගල් සොරොව්වක් ද නිර්මාණය කළේය. අනෙක් ගල් කන්ද තවත් තැනකින් කපා වැවේ වැඩි ජලය පිට කිරීම සඳහා ජල පැන්නුමක් සකස් කළේය.
මේ අතර මහියංගණ චෛත්‍ය කර්මාන්තයද නිම වී තිබුණි. අනුරපුර මහා සටනට යාමට පළමු කොත් පැළඳවීමේ පින්කම ද සිදු කෙරිණි. පින්කම අවසානයේ බුලතා ගැමුණු රජු හමුවට ගියේය. චෛත්‍ය කර්මාන්තය කරන අතරතුර තමන් තනිවම මහ වනය මැද පුංචි වැවක් බැන්ද වග පැවසුවේය. බුලතාගේ ඇරයුම මත රජතුමා මහා වනය තුළ ඉදි කර ඇති පුංචි වැව දැක ගන්නට මහා පිරිවරින් ගමන් කළේය.
නිල්වන් ජල දහරෙන් පිරි රැළි පිට රැළි නගන වැව් කොමලිය දුටු රජුට ඇස් අදහා ගත නොහැකි විය. තම රාජකාරිය ද අකුරටම ඉටු කරමින් අංග සම්පූර්ණ පුංචි වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන රජතුමා විස්මය පළ කළේය. මේ නම් මහා විශ්ව කර්මයක් යැයි ආඩම්බරයෙන් පැවසූ ගැමුණු රජු තම ගෙළ බැඳි ඉතා වටිනා මුතුහර බුලතාගේ ගෙළ පැළඳවීය. බුලතාගේ බිරිඳ වෙත ද තෑගි බෝග පිරිනැමීය.
මෙය හරබර වැව් කර්මාන්තයක් යැයි රජතුමන් කී හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව‘ නම් විය. හරබර වැව පසු කලක දී සරබර වැව වශයෙන් ජන වහරට එක් විය. ඉනුත් කලකට පසු සොරබොර වැව නමින් ජන වහරේත් ඉනික්බිති වාරි කර්මාන්ත පත පොතෙහිත් භාවිත විය. මෙයින් අවුරුදු සිය ගණනකට
පළමු බුලතා යෝධයා ගොඩනැගූ සොරබොර වැව මහියංගන ගොවි ජනතාවට ඌවේ ජනතාවට පමණක් නොව මුළු දේශයටම කෘෂිකර්මාන්තය උදෙසා මහා පිටුබලයක් විය.

බන්ධුල ආර්. ගුලවත්ත
dinamina
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, June 17, 2019

ස්පිට්ල්ගේ වැද්දන් සිටි ගල්ගේ සොයාගිය ගමන......(Vanished Trails - මැකී ගිය දඩමං - makigiya dadaman අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ඉර උද‌ාවිය. පිහිලේගොඩ ගල්ගෙයි වැසියෝ තවත් එක් බඩගිනි දවසකට මුහුණ පෑමේ ඉරණම ඇතිව එකිනෙකා අවදිවූහ.   
දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් රචිත Vanished Trails කෘතිය ඒ.පී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. ඒ මැකී ගිය දඩමං නමිනි. මැකී ගිය දඩමං කෘතිය ඒ.පී. ගුණරත්න මහතා ආරම්භ කරන්නේ පිහිලේගොඩ ගල්ගේට ඉර උද‌ාවීමත් සමගය.   
දොස්තර ස්පිට්ල් තම කෘතිය පෙලගස්වන්නේ පිහිලේගොඩ ගල්ගේ වැද්දන්ගේ කතාන්දරයක් ලෙසිනි.   
මහවැදිරට නමින් එකල හැඳින්වූ කඳුවලින් වටවූ නැගෙනහිර පළාතේ මෙන්ම ඌව පළාතේ මහ කැලෑවල ගල්ලෙන්වල මේ වැදි පවුල් ජීවත්වූහ. හීතල වන්නිය, නුවරගල, බලාන, වාලිඹේ හෙළ, බණ්ඩාරදූව, බිංගොඩ, හේනෙබැද්ද, නිල්ගල යන ප්‍රදේශ මේ වැද්දන්ගේ වාසභූමි බවට පත්ව තිබිණි. මේ වැදි කණ්ඩායම් පිළිබඳ ප්‍රථම වරට ලොවට අනාවරණය කරන ලද්දේ සී.ජී. සෙලිග්වාන් නම් බ්‍රිතාන්‍ය ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඒ වර්ෂ 1900 දී පමණය. සෙලිග්මාන් විසින් මේ වැදි කණ්ඩායම් සිය ගල් ගෙවල් තුළදීම දැක බලා ගන්නා ලදී.   
ඔහුගේ The Veddas නම් ග්‍රන්ථයේ ඇති ඡායාරූපවල වැද්දන් සිය ගල් ගෙවල්වල ජීවත්ව සිටි ආකාරය අපට දැක බලාගත හැක. මේ ගල්ගෙවල් සහිත ප්‍රදේශ අදටත් ඝන වනාන්තර වේ.   
නීලා නම් මහවැදිරාලගේ නායකත්වයෙන් යුත් එක් වැදි කණ්ඩායමක් මේ වනාන්තර තම වාස භූමි කරගෙන ජීවත්වූහ. නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නිය නම් ප්‍රදේශය තම වාසභූමිය කරගත්හ.   
වර්තමානයේ ගොඩනගන ලද රඹකැන්ඔය ජලාශයෙන් නැගෙනහිරට වන්නට පිහිටි වනාන්තර ප්‍රදේශය එකල හීතල වන්නිය ලෙස හැඳින්වූ බව සඳහන් වේ.   
නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නියේ මහගල්කුළු අතර දඩයමේ යමින් ඒවා තුළ පිහිටි ගල් ගෙවල්වල ජීවත්වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රධාන ගල්ගෙයක් වන්නේ මනස්කාන්ත රඹකැන් ඔය ජලාශයේ සිට සැතපුම් තුනක් පමණ නැගෙනහිරට වන්නට පිහිටි පිහිලේගොඩ ගල්ගෙයයි. 
පිහිලේගොඩ ගල්ලෙන

මීට අමතරව ඔවුන් ජීවත්වූ අනෙක් ගල්ගෙවල් වන්නේ නුවරගලකන්ද මුදුනේ පිහිටි ගල්ගෙය, දික්ගල්ගෙය, බලාන තලාවේ පිහිටි බලාන ගල්ගෙය සහ වාලිඹේ හෙලේ පිහිටි ගල් ගෙයයි.   
මෙවර අපගේ අරමුණ වූයේ පිහිලේගොඩ ගල්ගේ සොයා යාමයි. උද‌ා හිරුගේ මන්ද‌ාලෝකයත් සමග අපි අපගේ සංචාරය ආරම්භ කළෙමු. අප මහඔයට ළඟාවන විට උදෑසන දහය පසුවී තිබිණි.   
වැද්දන්ගේ තොරතුරු පිළිබඳ පුවත්පත් ලිපි සහ ​ෙපාත් ගණනාවක් පළ කළ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ සඳරුවන් ලොකුහේවා මහතා අපගේ සංචාරයට අවශ්‍ය සියලු දේ පිළියෙළ කර තිබිණි. එතුමා පොල්ලෙබැද්ද ආදිවාසි ගම්මානය අසල නිල්ඔබ නම් ගමේ අද විශ්‍රාම සුවයෙන් දිවිගෙවයි. එතුමා විසින් අපගේ ගමනට මග පෙන්වන්නෙකු ලෙස පොල්ලෙබැද්ද ආදිවාසී සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ද‌ානිගල මහ බණ්ඩාරලගේ අප්පුවලැත්තෝ සහ තවත් වැදි තරුණයකු වන ගමා සූද‌ානම් කර තිබිණි.   
පනස් හත්වන වියේ පසුවන අප්පුවලැත්තෝ සහ හතළිස් හැවිරිදි ගමා නීලගේ වැදි පරපුරෙන් පැවතගෙන එන්නන් වේ.   
වනාන්තරවල අනේක දුක් ගැහැට විඳි මේ ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ මුතුන් මිත්තන් එක්දහස් නවසිය තිස්පහේදී පමණ පොල්ලෙබැද්දේ පදිංචි කරවූයේ දොස්තර ස්පිට්ල්ය.   
 පොල්ලෙබැද්ද ගමේ අමිශ්‍ර වැදි පවුල් 20-25 පමණ වෙසෙන බව අපට දැනගන්නට ලැබිණි.   
අපගේ සංචාරයේ ආරම්භක මාර්ගය පොල්ලෙබැද්ද හරහා රඹකැන් ඔය ජලාශය දක්වා වැටී තිබිණි. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීම නිසා වැද්දන්ගේ මෙන්ම සිංහල ජනයාගේද හේන් ගොවිතැන් දියුණුවූ බව වැද්දන් අප සමග පැවසීය.   
රඹකැන් ඔය ජලාශය දක්වා වැටී ඇති ගුරු පාරට වම්පසින් යෝදයන් සේ ඉහළට නැගි කඳු පන්තීන් තුළ ඇති ගල් ගෙවල්වලද වැද්දෝ ජීවත් වූහ. ඒවායින් එක් ගල් ලෙනක් වන්නේ මුත්තාකඩ ගල්ලෙනයි. එය ගොරිකාන කන්දේ පිහිටා ඇත. මීට පෙර වතාවක අපි එම ගල් ගෙය දැකබලා ගත්තෙමු.   
වැද්දන් ජීවත්වූ නුවරගල කන්ද දක්වා වැටී ඇති මාර්ගයේ මෙම ගල් ගෙය පිහිටා ඇත. අප ගමන් කළ මාර්ගයේ දෙපස පිහිටි වනාන්තර එළිපෙහෙළි කර හේන් ගොවිතැන ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබිණි.   
මීට පෙර වතාවක (වසර 13 කට පෙර) අප පොල්ලෙ බැද්දේ කළ සංචාරයේදී දක්නට ලැබුණු හේන්වලට වඩා මෙවර අප දුටු හේන් වඩාත් විධිමත්ව සශ්‍රීකව සිදුකරන බව අපට දක්නට ලැබිණි.   
අප ගමන් ගත් මාර්ගයට වම්පසින් හේන් යායට ඔබ්බෙන් රඹකැන් ඔය ජලාශයෙන් ගලායන දිය පහර රැගත් රඹකැන් ඔය ගලායයි.
පිහිලේගොඩ ගල්ලෙන
 
අපගේ ගමනේ එක් සංදිස්ථානයක් වන රඹකැන් ඔය ජලාශයට ළඟා වන විට දහවල් දොළහ පසුවී තිබිණි. නිල්වන් රඹකැන් ඔය ජලාශයේ ජලස්කන්ධය ඉපැරණි ගම්මාන වූ කලුවින්න, කුරුඳුවින්න සහ දමනේගම ලංකා සිතියමෙන් මකා දමා ඇත්තේ සිත්පිත් නැති එකෙකු ලෙසයි.   
එද‌ා හීතල වන්නියේ ගල් ගෙවල්වල ජීවත්වූ වැද්දන් ඔවුන්ට අවශ්‍ය ලුණු මිරිස්, වෙඩි බෙහෙත් රෙදිපිළි ආදිය ලබාගැනීමට මේ ගම්මානවලට පැමිණි බව දොස්තර ස්පිට්ල් සඳහන් කරයි. ඔවුන්ට අවශ්‍ය ඊතල සාද‌ා ගැනීමට කලුවින්න නම් ගමේ කම්මල්කරුවෙකු වෙත පැමිණි බව සඳහන් වේ. මේ ගම්මාන අද දක්නට නොමැත. මේ පැරණි ගම්මානවල මතකය හිත් තුළ රඳවා ගනිමින් අපගේ සංචාරයේ දෙවන අදියරය ආරම්භ කළෙමු.   
රඹකැන් ඔය ජලාශයේ වැව් බැම්ම මතින් ගමන් ගත් අප එකල හීතල වන්නිය නම් වැද්දන් ජීවත්වූ වනාන්තර ප්‍රදේශයට ඇතුළු වුණෙමු. රඹකැන් ඔය ජලාශයේ බැම්ම ඉදිකිරීමට මේ වනාන්තර ප්‍රදේශ එළිකර පස් කපා දමා තිබෙන අයුරු දක්නට ලැබිණි. එය අප සමග ගමන්ගත් ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ නොමනාපයට හේතුවක් බව ඔවුන්ගේ මුහුණුවලින් දිස්විය.   
ට්‍රැක්ටර් ගමන් කළ හැකි මාර්ගයක් ඔස්සේ දිවා හිරු රැසින් පීඩා විඳිමින් ගමන්ගත් අපි තරමක් ලඳු කැලෑ භූමියකට අවතීර්ණ වුණෙමු. දැන් අප ඉදිරියේ සැතපුමක් තරම් දුරින් පිහිලේගොඩ ගල්ගේ පිහිටි කන්ද අප සාදරයෙන් පිළිගැනීමට බලා සිටින අයුරු දර්ශනය විය.   
කටු පඳුරු පීරමින් ගමාගේ නායකත්වයෙන් සහ මග පෙන්වීමෙන් දහඩිය මුගුරු දමමින් පිහිලේගොඩ ගල් ගෙය පිහිටි හීතල වන්නිය කඳු පාමුලට අප ළඟා වන විට අපට වනයට ඇතුළු වීමට ඉඩ දෙමින් ඒ මොහොතේම එතැනින් නික්ම ගිය අලියකුගේ සලකුණු දක්නට ලැබිණි.   
කන්ද නැගීමට පෙර තම නෑ යකුන්ගෙන් ගමා වැඳ අවසර ලබාගත්තේ කොළ අතු කඩා අසල පිහිටි කුඩා ගල් කුළක ඒවා රැඳවීමෙනි. පනස් හත් හැවිරිදි අප්පුවලැත්තෝ ශක්තිමත්ව ගමනට එක්වෙමින් අපගේ කාන්සිය නිවා දැමීය. ඒ ඔහු දන්නා වැදි ගී ගයමින් සහ තම මුතුන් මිත්තන්ගේ තොරතුරු අප සමග පැවසීමෙනි.   
අපි කන්ද නැගීම ආරම්භ කළෙමු. දැන් අප පැමිණ ඇත්තේ ගමනේ දුෂ්කරම කොටසට බව ගමා පැවසීය. ගමාට ගල් ගුහාව සොයාගත හැකි දැයි මම කීපවිටක්ම ඇසුවෙමි. ඔහු එක හෙළාම පැවසීයේ එය කිරීමට හැකි බවයි.   
ගල්ලෙනේ ඇති ඉපැරණි වැදි චිත්‍ර
එහිදී මාගේ මතකයට නැගුණේ දොස්තර ස්පිට්ල්ට පිහිලේගොඩ ගල්ගේ පෙන්වීමට උපකාර කළ නීලාගේ පුත්‍රයකු වූ කයිරා නම් වැද්ද‌ාට පිහිලේගොඩ ගල්ගේ සොයාගැනීම තරමක් අපහසු වූ ආකාරයයි.   
දොස්තර ස්පිට්ල් සහ වන්නකු තිසාහාමි නම් වැද්ද‌ාගේ පුත් ටිකිරි ද මේ ගමනට සහභාගි විය. පැයක් පමණ එ් මේ අත ඇවිදමින් සිටි කයිරා පසුව ගල්ගේ සොයා ගත්තේ දැන් මේ පැති හොඳටම වෙනස්වෙලා යැයි පවසමිනි.   
එහෙත් අපගේ මග පෙන්වන්නා වූ ගමා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කැලෑව පීරමින් අප රැගෙන ඉදිරියට ගමන් ගත්තේය.  
එය අපගේ සිහියට නැගුණේ වැද්ද‌ා අඩි සළකුණු ඔස්සේ සතකු එළා ගැනීමට සුපරික්ෂාකාරීව ගමන් කරන ආකාරයයි.  
ස්වල්පවේලාවකින් අපි එක්තරා උස් වටකුරු ගල්තලාවක් අසලට පැමිණියෙමු.  
ගමා තම කටහඬ අවදි කළේ අපගේ සිත් තුළ තිබුණු බිය මදකට අඩු කරමින්ය.  
හූරා මේ තමයි වාඩිපොළ. මෙතෙන්ට වෙළෙන්දෝ එනවා තවලම් බැඳගෙන. ඇවිල්ල ගල්ගේ ඉන්න අපේ ඇත්තන්ට ඇහෙන්න හූ තළනවා. එතකොට ගල්ගේ ඉන්න ඇත්තන් හුවමාරුවට එකතු කරගත් වේළපු මස්, මී පැණි, බිංකොහොඹ, වැහිලිහිණි කූඩු වගේ දේවල් අරන් පල්ලම් බහිනවා. ඒවාට ලුණුමිරිස්, රෙදිපිළි ආදිය හුවමාරු කරගන්නේ මේ වාඩිපොළෙ​්දී.  

අප සියලු දෙනාම ගල මතට නැග්ගෙමු. නැගෙනහිර මුස්ලිම් ගම්මානවල සිට එන වෙළෙන්ඳන් වැද්දන්ගේ බඩු භාණ්ඩ සමග තම බඩු හුවමාරුවට මේ වනාන්තරවලට ඇතුළුවේ. වැද්දන් කිසිදිනෙක තම ගල්ගෙවල්වලට මේ වෙළෙන්ඳන් රැගෙන නොගිය බව සෙල්ග්මාන් සඳහන් කරයි.  
වරක් නීලා වැදිරාල තම පුත්‍රයකු වන පොරමොලාගේ මංගල තෑග්ග වන චීත්තයක් සහ මාල පොටක් මේ ස්ථානයේදී ලබාගත් බව ස්පිට්ල් සඳහන් කරයි.  
ගමා සහ අප්පුවලැත්තෝ
ස්පිට්ල් පිහිලේගොඩ ගල්ගේ පිළිබඳ බොහෝ තොරතුරු ලබාගෙන ඇත්තේ කයිරාගෙන් වන්නට ඇත. එහෙත් ඔහුගේ පොත්වල ගල්ගේ ඡායාරූප කිසිත් දක්නට නොමැත. ස්පිට්ල් වන සංචාරය කරන කාලයේදී (1930 දී පමණ) වැද්දන් ජීවත්ව සිට ඇත්තේ පැල්කොට තුළය.  
එහෙත් සෙලිග්මාන්ට වැද්දන් පිහිලේගොඩ ගල්ගේ තුළ ජීවත්වන අයුරු සියැසින්ම දැකබලා ඡායාරූප ගැනීමට වාසනාව ලැබී ඇත. ඒ වර්ෂ 1900 දී පමණය. එම ඡායාරූප ඔහුගේ වැද්දෝ පොතේ පළ කර ඇත.  
වාඩිපොළෙන් සමුගත් අප අපගේ සංචාරයේ දුෂ්කරම වූද අවසන් භාගයට අවතීර්ණ වුණෙමු. ගල් කුළුවලින් ගහන මේ ප්‍රදේශය පසු කරත්දී දැඩි නිහඬතාවයක් අප අතර පැවතිණි. වැද්දන් පවා ඉතාමත් විමසිල්ලෙන් මේ ප්‍රදේශය පසුකරද්දී අපි බියෙන් ඇළලී සිටිමු. කොයි මොහොතක හෝ වලසකු ගේ ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබිණි.  
පැටවුන් සමග වැලහින්නක් මුණගැසුනි නම් තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ඉඩ තිබෙන බව වැද්දෝ අප සමග පැවසූහ. ගලින් ගලට පනිමින් වැල්වල එල්ලෙමින් කන්ද නැග්ග අප වැද්දන් විසින් එක්තරා ස්ථානයක නවතනු ලැබිණ. ඒ විශාල නුගයක් අසලය.  

ගමා නැවතත් හඬ අවදි කළේය.   
මෙන්න මේ නුගේ යටදී ළමයෙක් ලැබෙන්න හිටිය දැරිවියක් ඒ කාලෙ මැරිල තියෙනව. ඒ අපේ නීල මුත්ත මේ ගල්ගේ ඉන්න කාලෙ.  
එය සිදුවී ඇත්තේ මෙසේය. නීලාගේ වැදි කණ්ඩායම පිහිලේගොඩ ගල් ගෙයි ජීවත්ව සිටි කාලයේ දිනක් රාත්‍රියේ පහළ කැලේ ගැහැනියකුගේ කෙඳිරිලි හඬක් ඇසී ඇත. ගල්ගෙයි වැසියෝ බියෙන් ඇළලී ගියහ. ඒ හැඳයා යැයි සැවොම මිමිනූහ. නිදි නොමැති රාත්‍රියක් ගතකරමින් සිටි ඔවුහු වටින් ගොඩින් එළිය වැටෙන විට නීලා ප්‍රමුඛ පිරිමි ටික පල්ලම් බසින්නට විය. ඔවුන් ගමන් කළේ ඒ කෙඳිරිලි හඬ ආ ඉසව්ව දෙසටය.  
ඔවුන් අතර බණ්ඩාරදුවාරාල නම් නීලාගේ වයසේ සිටි වැද්දෙක් විය. ඔහුද මේ සෙවිල්ලට එකතුවී සිටියේය. අවසානයේ ඉහත කී නුගය අසල මැරී සිටි වයස පහළොවක පමණ තරුණියක් ඔවුන්ට හමුවිය. නිර්වස්ත්‍රයෙන් වකුටුවී සිටි තරුණිය කවුදැයි බැලීමට ඔවුහු නුගය අසලට සමීප වූහ.  
හීතලවන්නිය කඳු
මළ සිරුරට තුරුලු වී අලුත උපන් බිළිඳෙක් ඔවුනට දක්නට ලැබිණි. ඔවුන් වහ වහාම ඒ බිළිඳ‌ා රැගෙන ගල්ගෙට ගියහ. බිළිඳ‌ාගේ හුස්ම යාන්තම් තිබිණි. ගල්ගේ ගිනිමැලයෙන් උණුසුම් වූ බිළිඳ‌ා ක්‍රමයෙන් හුස්ම ගත්තේය. එකියක් බිලිඳ‌ාට තම තන කිරි පෙව්වාය. බිළිඳ‌ා සුවපත්විය. පසු කලෙක කළු වැද්ද‌ා නම් මේ වැදි කණ්ඩායමට නායකත්වය ලබා දුන් ගමා (අපගේ සංචාරයට එක්වූ ගමා නොව ගමා නම් වැද්ද‌ා මේ වැදි කණ්ඩායමට එක්වූයේ එලෙස ගමනේදී උපන් නිසා ගමා යන නම එ් බිළිඳ‌ාට තබන ලදී.  
මේ මියගිය දැරිවිය කාගේ කවුද ඇයට මේ අපරාධය කළේ කවුද යනවග ගල්ගේ වැසියෝ දැන සිටියේ නැත. එහෙත් එක් වැද්දෙක් ඒ කවුද යනවග දැන සිටියේය. ඒ මා මුලින් කියූ බංඩාර දුවාරාලයි. මිය ගිය දැරිවි බංඩාර දුවාරාලගේ පළමු කසාදේ දරුවෙකි. ඇයට මේ අපරාධය කර ඇත්තේ වන්නකු තිසාහාමි නම් පසුකාලයේ රටම බියවැද්දූ මිනීමැරුම් කිහිපයකටම සම්බන්ධ ඇඹිලිනාකුඹුර තම වාසභූමිය කරගෙන සිටි වැද්ද‌ා බව ස්පිට්ල් සඳහන් කරයි.  

බංඩාර දුවාරාල මේ සිද්ධිය තමා පමණක්ම දන්නා රහසක් ලෙස සඟවාගත්තේය.  
ගමනේ අවසානයට අපි ළඟා වුනෙමු. එකිනෙකා ගේ දෑත් පටලවාගෙන ප්‍රපාතාකාර කන්ද නැග්ග අපි පොතපතින් කියවා මනසින් දැකබලාගත් පිහිලේගොඩ ගල්ගේ එළිපත්තට ළඟා වුණෙමු. දැන් පිහිලේගොඩ ගල්ගේ අපගේ ඇස් ඉදිරිපිට විරාජමාන වේ.  
පිහිලේගොඩ ගල්ගේ විශාල ගල්ගෙයකි. එය දිගින් අඩි 30ක් පමණ වේ. එහි උස ඉදිරියෙන් අඩි 10ක් පමණ වේ. පසුපසට වන්නට ක්‍රමයෙන් උස අඩුවේ. මිනිසකුට සිට ගැනීමට පවා අපහසු තරමට පසුපස උසින් අඩුය. ගල් ගෙයි ඉදිරිපස භූමිය සමතලාය. ගල්ගේ ඉහළ සිට පහළට නුගමුල් වැටී තිබිණ. මිනිසකුට ඉහළට නැගීමට තරම් ඒවා ශක්තිමත්ය.  
කයිරා සහ ගමා කුඩා කල බඹර කැඩීමට පුරුදු පුහුණු වන්නේ මේ නුගමුල් දිගේ ඉහළට නැගීමෙන් බව කයිරා ස්පිට්ල්ට විස්තර කරයි. මේ ගල්ගේ කටාරම් කොටා නැත. ඇතුළත බිම බොහෝදුරට සමතලාය. තැනින් තැන සතරැස් පැතලි ගල් දක්නට ඇත. එක් කෙළවරක් තරමක් අඳුරුය. එම අඳුරු ප්‍රදේශයට මා ඇතුළුවීමට දැරූ උත්සහය වැද්දන් විසින් වළකා ලනු ලැබීය. වලස්සු ඇතිහුරා හිටින්න මා ගොහින් බලන්නම් කියා පවසමින් අප්පුලැත්තෝ චෝ චෝ කියා කෑගසමින් එදෙසට ගමන් කළේය.  
පසුපස ගලේ බිත්තියේ වැදි චිත්‍ර දක්නට ලැබිණි. සතකු පිට යන මිනිසකු යැයි සිතිය හැකි රූපයක් සහ තවත් මිනිස් රූප දක්නට ලැබිණි. ඒවා ඉපැරණි ඒවා වන්නට පුළුවන. එකල වැද්දන් ඒවා අඳින්නේ අලු හා කෙළ මිශ්‍ර කර බව පැවසේ. එය එසේ නම් මෙතරම් කාලයක් මේ චිත්‍ර ආරක්ෂාවී පවතීවි යැයි සිතිය නොහැක.  
මාගේ අදහස අනුව නම් තවත් ගලකින් මේ බිත්තිය සූරා ඒවා අඳින්න ඇතැයි සිතිය හැක. මෑතකදී කවුරුන් හෝ අඳින ලද චිත්‍ර යැයි සිතිය නොහැක.  
ගමා මේ මිනිස්සු ඒ කාලේ වතුර ගත්තේ කොහෙන්ද? මේ ළඟ වතුර කොහෙවත් නැහැනේ. මම ඇසීමි. එයට පිළිතුරු දුන්නේ අප්පුවලැත්තෝය. අාං අර බිත්තිය දිගේ වතුර සීරාව වැටෙනව හූරාට පේනවද? ලබුකට්ට ඔතන තබල වතුර එකතු කරනවා. ගල දිගේ වතුර පහළට වෑස්සී එතන දිය සෙවල බැඳී ඇති අයුරු අපි දුටුවෙමු.  
සෙල්ග්මාන්ගේ වැද්ද‌ා කෘතියේ මේ ගල්ගේ පිළිබඳ ඡායාරූප සහිතව මනා විග්‍රහයක් ඔහු විසින් පළ කර ඇත. ඔහු පැහැදිළි කරන අයුරින් මේ ගල්ගේ එක් එක් වැද්ද‌ා විසින් තම කොටස වෙන්කර ගෙන ජීවත්ව සිට ඇත.  
මා මුලින් කියූ අඳුරු කෙළවර නීලාට අයත් කොටසයි. ඊළඟ කොටස කයිරාටයි. ඊළඟට රන්දුනා, පෙමා සහ වේලා තම කොටස් වෙන්කර ගෙන ඇත. දඩයමේ ගොස් පැමිණෙන පිරිමි තම තමන්ට අයත් කොටස්වල තම බිරින්දෑවරු සහ දරුවන් සමග සැතපෙනි.
කිසිදිනක වැද්දන් අඳුරේ ගිනිමැලයක් නොමැතිව රාත්‍රිය ගත නොකරන බව සෙලිග්මාන් පවසයි. 
එද‌ා ගල්ගේ එක් කෙළවරක විශාල තුඹසක් තිබූ බව සෙලිග්මාන් පවසයි. එය ඔහු විසින් ගන්නා ලද ඡායාරූපවල පවා දක්නට ඇත. කිසිම දිනක වැද්දන් තම දුනු ඊතල ඔවුන් නිද‌ාගන්නා කොටසේ තබා නොගනී. ඒවා වෙනමම කොටසක තැන්පත් කරයි. පිහිලේගොඩ ගල්ගේ ඒවා තබා ඇත්තේ මා මුලින් කියූ තුඹස මතය. අදටත් එම තුඹස එද‌ා තරම් විශාලව නොවුණත් දක්නට තිබිණි.  
ගල්ගේ මිදුල වැනි කොටසේ හොඳින් ඉර එළිය වැටුණ ස්ථානයක බඳින ලද මැසිවල ඔවුන් මස් වේළයි.  
මේ ගල්ගෙයි වැදි කණ්ඩායම අතර කන්හෙරලියා යැයි වැද්දෙක් තම බල්ලාත් සමග ජීවත්ව ඇත. දිනක් උදෑසනම අවදිවූ පිරිමින් කෑමට යමක් සොයා යාමට කන්හෙරලියාට කතා කර ඇත. එහෙත් කන්හෙරලියා අවදිවූයේ නැත. කන්හෙරලියා මැරී සිටියේය. ඔහුගේ බල්ලාද අසල මැරී සිටියේය. බල්ලා අසලම විශාල නාගයෙක්ද බල්ලා විසින් හපා දමා මැරී සිටියේය.  
වැදි නඩය කලබල විය. තම සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත් ඔවුහු වහාම එම ගල්ගෙය අත්හැර දමති. නීලා වැදිරාල තීරණයක් ගත්තේය. තම හරුබස්ස පොදි බැඳගත් වැද්දෝ ගල්ගේ අතහැර පල්ලම් බැස්සහ.  
අපටද දැන් පිහිලේගොඩ ගල්ගෙට සමුදීමට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ඒ සවස් ජාමය සතා සීපාවන් එළිබහින වේලාව වීමයි. ඔවුන්ගේ නිජභූමිය ඔවුනට ඉඩදී අප දැන් නික්ම යා යුතුය.  
එද‌ා නීලා වැදිරාලගේ නායකත්වයෙන් යුත් වැදි කණ්ඩායමේ එක් නිවහනක් වූ හීතල වන්නියේ පිහිලේගොඩ ගල්ගේ අප්‍රමාණ සතුටකින් අපි නැරඹුවෙමු. ඔවුන් මේ ගල් ලෙනේ ජීවත්ව සිටි අයුරු මනසින් මවාගනිමින් අපි පිහිලේගොඩ ගල් ගෙට සමුදුනිමු.  
අපගේ සංචාරය සාර්ථක කර ගැනීමට මහඟු ද‌ායකත්වයක් ලබා දුන් ගමාටත් අප්පුවලැත්තන්ටත් සඳරුවන් ලොකු හේවා මහතාටත් මා මිත්‍ර වෛද්‍ය කනිෂ්ක හේරත් මහතාටත් මාගේ හද පිරි ස්තූතිය පුද කරමි.  
වෛද්‍ය චාමිකර මීවද්දන  
ශික්ෂණ රෝහල කුරුණෑගල  
lankadeepa
=====================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, June 8, 2019

රාම රාවණ යුද්ධය සිදුවුණේ ලකේගලද?....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි- rawana )

රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව ද විටෙක හක්ගල කන්ද සහ සීතා එළියේ සීතා කෝවිල සම්බන්ධවද, විටෙක කොත්මලේ හා කොණ්ඩගල අබිරහස් රාවණා දොරටු සම්බන්ධව ද, සීතා දේවිය​ෙග් කඳුළු මාවත වන චැරියට් පාත් මතද සහ ලකේගල හා රිවස්ටන් පුරා ද රාවණා රජුගේ විස්මිත පෙළහර පිළිබඳ කථා පුවත් ජනප්‍රවාද බොහෝමයක් පවතියි. ඉන් ලකේගල යනු ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම්වල යම් අබිරහසක් තවමත් සඟවා ගෙන සිටින බව ගැමියන්ගේ හා ජනප්‍රවාදවල යම් කරුණු මතින් නිශ්චය කළ හැක. එවන් උරුමයක අබිරහස් සොයා විශේෂ සටහනක් මෙලෙස දිග හරින්නෙමි. 
නකල්ස් නොහොත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි. අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසාවෙන් නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන පක්ෂීන් වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය. තවද දිවියා, අලියා, වල් උෟරා, මුවන්, උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් යනු 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සංරක්ෂණ වනාන්තරයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි. සාම්ප්‍රදායික ගම්මාන පනහකට අධික සංඛ්‍යාවක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති. සවානා පතන් ඉළුක් හා තැනිතලා බිම් දහසක් පමණ ද කඳු 40 ක් පමණ ද පිහිටි වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ පිහිටා ඇත. සංචාරයටම සේම ක්‍රියාදාම චාරිකාවනට ද නකල්ස් කදිම තෝතැන්නකි. විශේෂයෙන් වර්තමානය වන විට අධික ජනාකීර්ණ බවින් විනාශයට පවා යන මීමුරේ අාදි ගම් පියස් සංචාරයට ඉවක් බවක් නැතිව විවෘත වීමෙන් ‘යමන්’ කියූ සැණින් අවිධිමත් චාරිකා යන පිරිසක් හේතුවෙන් නකල්ස්හි ඓතිහාසික හා පාරිසරික වටිනාකම නැති වෙමින් පවතියි. 
ල​ෙක්ගල නම් අද මුඛ්‍ය කථා පුවතට සම්බන්ධ කන්ද යනු බැලූ බැල්මට කෙනෙකුට එහි විශේෂත්ව කිහිපයක්ම දැකගත හැකි අසාමාන්‍ය පිහිටීමකින් යුත් කන්දකි. මීමුරේ ගමට මුහුණලා පිහිටි ලකේගල බොහෝ පිරිසගේ නෙත ගැටුණ ද මෙවැනිම හැඩයකින් පිහිටි තවත් කන්දක් ලකේගල පිටුපසින් වෙනමම තිබෙන බව බොහෝ දෙනෙක් නොදනිති. 
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින් පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුවයි. එය ද නකල්ස්හි කොටසකි. පල්ලෙගම, රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විට ඔබට ලකේගල වැනිම තවත් කන්දක් දැකගත හැක. එය නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙස හඳුන්වයි. තවද මීමුරේ ලකේගල සහ කොමලෑවේ ගල අතර පිහිටි තවත් කන්දක් වේ. එය මීරියගොල්ල ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස ලකේගල යනු ගල් තුනක පිහිටීමකි. මෙම ගල් තුනම දැවැන්ත කළු ගල් පාෂාණවලින් පමණක් සෑදී ඇති කිසිදු උස් ශාකයක් නොමැති පිහිටීමකි. ලකේගල හා රාම රාවණ කථා පුවතට මෙම මීමුරේ සහ නාරංගමුව අතර ප්‍රදේශය බලපාන අතර එම ඉසවුව වර්තමානය වන විට ඝන කැලයකින් වටවූ වනජීවී බහුල අවදානම් කලාපයකි. 
ලකේගල අරුම පුදුම පිහිටීම ලංකාවේ වෙනත් කිසිදු කන්දක දැකිය නොහැකි අතර එම නිසාම තිබෙන ගුප්ත බවේ රහස් සොයා දුම්බර වනයේ මැදට පියමැන්නේ රාම රාවණ යුද පුවතට වඩා රාවණා නම් හෙළයේ නිරිදාණන් සතුව තිබූ බලමහිම​ෙය් නෂ්ටාවශේෂ සමග බැඳුණු සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටයි. හුන්නස්ගිරියෙන් ලූල් වත්ත පාර දිගේ මීමුරේ දක්වා යන ගමනේදී දෝතුළුගල, දුම්බානාගල, අලියාවැටුණු ඇළ, ෆීනික්ස් ගල, නකල්ස් කඳු වැටිය සේම දකුණින් කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල, තෙළඹුගල දක්වා හරි අපූරුවට දැකගත හැක. ඒ සියලුම කඳු වක්‍රාකාරව වට වී සිටින්නේ ලකේගලට ආරක්ෂාව දෙන පරිද්දෙනි. උඩවන්නිමාන කන්දට අසල්වැසි කියන වමාරපු ගලට ඉදිරියෙන් පිහිටි ලකේගල මීමුරේ ගම් මැද්දට සමපාද ත්‍රිකෝණයක් ලෙස දැකගත හැක. මීට පෙර ආචාර්ය මිරැන්ඩෝගේ ලිපිවල සඳහන්ව තිබූ ගුහා දෙකක් ලකේගලේ මධ්‍යයේ ඇති බව අප ගනේෂ් මිතුරාගේ මාර්ගයෙන් දැනගත් අතර ඒවා නිශ්චිත වශයෙන් ඇත් දැයි සොයා බැලීමට අපට සහය ලබා දෙනු ලැබුවේ මීමුරේ හොඳම මඟ පෙන්වන්නා වන නවරත්න නොහොත් නවා මාමා විසිනි. සමපාද ත්‍රිකෝණයක් බඳු ලකේගල හරි මැද ගුහා 2 ක් පිහිටා ඇති බවත් ඊට ළඟාවීම අතිශය දුෂ්කර බවත් එ් හා සබැඳි යම් ගුප්ත සිදුවීම් පෙළක් ද නවා මාමා අපට පැවසීය. 
ලකේගල මධ්‍යයේ පිහිටි එක් ගුහාවක එක්තරා පොහොය දිනයකදී ගල් දොරක් විවෘත වන බවත් ඉන් පිටතට ගායන සහ වාදන හඬ ඇසෙන බවත් නමුත් එය ඇසෙන්නේ ගමේ යම්කිසි කිහිප දෙනෙකුට පමණක් බවත් නවා මාමා පැවසුවේ මීට දස වසරකට පමණ පෙර ඔහුට ද එවැනි සිද්ධියක් ඇසුණු හෙයිනි. කෙසේ හෝ ලකේගල මැද පිහිටි ගුහා දෙකෙන් ප්‍රථමයෙන් හමු වූ ගුහාව ලෙනක් වැනි වූ අතර එම පරිශ්‍රය පනහකට පමණ සිටිය හැකි ප්‍රදේශයකි. ලකේගල මධ්‍යයේ පිහිටි කුඩා වන රොද තුළ මෙම ගුහාව සැඟව ඇත. නමුත් අප එහි යන විටත් මීමුරේට පිටස්තරින් පැමිණ සංවේදී පරිසරයේ අනවසර කඳවුරු බඳින කණ්ඩායම එහිද පැමිණ යම් විනාශයන් සිදුකොට ඇති අයුරු දැක ගැනීමට ලැබුණි. 
ප්‍රථම ගුහාවට ඉහළින් තවත් ගුහාවක් ඇති අතර ඊට ළඟාවීමට තිබූ නුග වෘක්ෂය මීට වසර කිහිපයකට පෙර කඩා වැටුණු බැවින් ඉහළින් පිහිටි ගුහාවට නැගීමට හැකියාවක් නොලැබුණි. එම ගුහාවට නැගීමට නම් විශාල ඉණිමඟක් හෝ යම් ක්‍රමානුකූල කඳු නැගීමේ උපකරණ තිබිය යුතු බව අපට වැටහුණි. ඇතැම් විට ආචාර්ය මිරැන්ඩෝ මහතා සඳහන් කළ ගුහාව නවා මාමා පවසන පරිදි එය විය හැක. නමුත් කාලයේ වැලි තලාවෙන් බොහෝමයක් යටව ගොසින් ඇත්තේ සොබාදහමේ බලපෑම් නිසාය. 
කරුණුකාරනා එපරිද්දෙන් වුවද ලකේගල මධ්‍ය ලක්ෂයේ පිහිටි මෙම ගුහාවන් තුළ යම් ගුප්ත බවක් හෝ යම් රහසක් සැඟව නොතිබේ යැයි නිගමනය කළ නොහැක. මන්ද එම යම් ගුහාවක් මාර්ගයෙන් ලකේගල මුදුනට පිවිසුම් දොරක් හෝ වෙනත් ප්‍රදේශයකට යාමට උමඟක් සාදා තිබිය හැකි හෙයිනි. මන්දයත් නාරංගමුව ප්‍රදේශයේ පිහිටි උයන්ගොමුව තුළ ද මෙවැනිම ගුහාවක් තිබෙන බැවිනි. රාමගේ හී සර පහරින් කැඩී විසිරුණු ගස් සියල්ල ​ෙමම උයන්ගොමුවට වැටී පණ ගත් බවත් මෙම උයන්ගොමුව එකල යුද වැදුණු මර්මස්ථානයක් බවටත් පොත පතේ සඳහන්ය. උයන්ගොමුව මේ වන විට විශාල තැන්නක් ලෙස පිහිටුන ද ශාක වැටී සමස්ත ප්‍රදේශයම ගුවනට විවෘත සිදුරුවලින් පැතිර තිබේ. ගල් තලාවන් සමූහයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර අස්වාභාවික ගල් මතින් සෑදුණු ගල් ගුහා හා ජල ගුහා ද පිහිටා තිබීම විශේෂයි. මන්ද නාරංගමුව ලකේගල නොහොත් කොමලෑමේ එක් අන්තයක් වන බැවින් පාෂාණ ස්ථර සහ ස්වභාවික ගල් පිහිටි ගුහා දක්නට ලැබුණි. අධික වර්ෂා සමවලදී උයංගමුව මුළුමනින්ම පාහේ ජලයෙන් වැසෙන අතර, නමුත් එසේ දැකිය හැකි අවස්ථාව අතිශය දුර්ලභය. මන්ද දේශගුණික වශයෙන් නකල්ස් වන පෙත එක් පරිසරයක් වුවද දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි වන පියස තුළ කාලගුණික තත්ත්ව දෙකක් දැකිය හැකි බව අප මීට පෙර තුන්හිස්ගල කඳු තරණයේදී අත් වින්​ෙඳමු. 
එනම් ඉහළට එසවුණු විශාල මොල්ලියක් ලෙස ඇති තුන්හිස්ගල කන්දට බඹරැල්ලේ සිට කේ.එම්.පී. වාඩිය දක්වා වැසිබර තෙත් කාලගුණයක් තිබුණද ඉන් එහාට තුන්හිස්ගල රාගාන කෙටු පතන සිට දූවිලි ඇල්ල ඇටන්වල දක්වා අතිශය වියළි තෙතමනයක් රහිත පරිසරයක් තිබීමය. සමස්ත කඳු ගැටයම කුරු ශාකවලින් වැසුණු තුන්හිස්ගලට ලකේගල පර්වත ත්‍රිත්වය හරි අපූරුවට දැකගත හැක. කෙසේ හෝ උයංගමුව තුළ පිහිටි කපු අටුව පර්වතය යනු සීතා දේවිය හා සබැඳි ස්ථානයක් ලෙස රාවණා පුරාවතේ සඳහන්ය. එනම් කපු අටුව පර්වතය මැද පිහිටි කපු අටුව ලෙන නම් සීතා දේවිය සඟවා තැබූ ස්ථානය වීමයි. කපු අටුව ලෙන පොළොව මට්ටමේ සිට මීටර් 50 ක් පමණ ඉහළ ගලේ පිහිටා ඇති අතර යම් ආයාසයක් දැරීමෙන් ඒ වෙත ළඟා විය හැකිය. එම ලෙන විශාල විවෘත ඉසව්වක් වන අතර කොමලෑවේ ගල සහ ලකේගල වපසරිය හොඳින් දැකගත හැක.
ලකේගල පුරාවත අතර තවත් සබැඳියාවක් දක්වන ඉසව්ව වනුයේ රැහැස්ස නමින් හඳුන්වන ප්‍රදේශයයි. රාමගේ හීසර පහර කොමලෑව ගලට වැදී කුඩු වුණ පර්වත කැබලි වැටී සැදුණු මෙම රැහැස්ස ප්‍රදේශය යනු විශාල ගල් පර්වත පිහිටි ඉසව්වකි. එම ප්‍රදේශයේ ස්වභාවිකව සෑදුණු ගල් ගුහා සහ ලෙන් පිහිටා ඇති අතර රැහැස්ස යනු යම් පූජනීය ප්‍රදේශයක් බවට ඇතැම් පැරණි ගම්වාසීන් ගෞරවයෙන් සිහිපත් කරයි. රැහැස්සේ තිබෙන ගුහාවක් ලකේගල පිහිටි ගුහාවක් හා සම්බන්ධ විය හැකි බවත් යුද අවශ්‍යතාවලදී පලායාමේ උපක්‍රම ලෙස ඒවා යොදාගෙන ඇති බවට ජනප්‍රවාදවල පිහිටයි. තවද අප ඊළඟට කොමලෑවේ නම් අංශක 70 ක ආනතියකින් යුත් ගල් පර්වත තරණය කරන්නට වූයේ කොමලපතනේ සිටය. 
කොමලෑවේ ගල මුදුනට යාමට නම් ප්‍රථමයෙන් මීරියගොල්ල හා කොමලෑවේ ගල් අතර පිහිටි ලබුලැස්ස පතනට යා යුතුය. අධික සුළං ප්‍රවාහය තුළ ලබුලැස්ස පතනට කොමලෑවේ ගල හරහා නැගීම ත්‍රාසජනක හා මරණයේ සුළු ගමනක් විය. මන්ද නිරතුරුවම ගලට බරව අප සිටිය යුතු වීම සහ අනෙක් පස අඟලක පිටුපසට වීමට තැත් කිරීම මීටර් දෙතුන් සියයක හෙළකට වැටී මරණය නියත ගමනක් වූ හෙයිනි. ලබුලැස්ස පතනට පැමිණි අප මඳ විවේකයක් ගත්තේ ගිනි කාෂ්ටක අව්වේය. වැසි බිඳක් වත් නොලද ලබුලැස්සේ වූ මාන පඳුරු යාය මඩ පැහැව තිබුණි. ඉදිරියෙන් වමාරපු ගලත් (කටු කිතුලේ කන්ද), උඩවන්නිමාන සහ ඈතින් තුන්හිස්ගලත් පැහැදිලිව අපට දක්නට ලැබුණි. අනෙක් පසෙන් හසලක හා මහියංගණය සිට වස්ගමුව දක්වා පරිසරයත් මහවැලි ගඟ කිලෝමීටර් 50 කට වැඩි දුරක් තනි කෙළින් ගලා යන ආකාරයක් දැකිය හැකි ස්ථානය මෙම කඳු මුදුන් බව අපට පසක් වුණි. 
පසුව කොමලෑවේ ගලටත් ඉන්පසු මීරියගොල්ලටත් නැගගත් අපට ලකේගල පිටුපස හොඳින් දැකගත හැකි වුණා. ඉතාමත් වෙනස් හැඩයක් ලකේගල පිටුපස පිහිටි අතර මීරියගොල්ල හා ලකේගල යාව තිබුණ ද ලකේගලට එතැනින් නැගීම කිසිසේත් කළ නොහැක්කක් වුණා. මන්ද එහි වූ අඩි පහක පමණ පළල් ගල් තලාවක් මීටර් 100 ක්‍ උස අංශක 90 ක ගලක් වූ හෙයිනි. ලකේගල මුදුණේ අක්කරයක පමණ ඉඩ ඇති බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. මන්ද ලකේගල නැගීම පවා කඹ ආධාරයෙන් කළ යුතු මාරාන්තික ගමනක් වන බැවිනි. පඳුරු බොහෝමයකින් පිරී තිබුණද ලකේගල මුදුණේ කඳවුරු බැඳ සිටීම සිදු කළ හැක. ඉර උදාවත් හිරු අවරට යාමත් දුම්බර වනයේ සතර දික් භාගයත් හොඳින් දැකිය හැකි ලකේගල මුදුන තුළ දැඩි සුළං ප්‍රවාහයකින් යුක්ත විය. 
ලකේගල අබිරහස් සොයා යන ගමනේදී නවා මාමා කියූ වැදගත් කරුණක් විය. එනම් අප රාවණා යනු ලංකාවේ රජ කෙනෙකු බවත් ඔහු පිළිබඳව සාධනීය ආකල්ප හිත් දැරිව මෙම ගමන් යන ලෙසත්ය. මන්ද අදටත් මීමුරේ හා අවට ගම් පියස් තුළ රාවණා පෙළහර සමග ලකේගල පුරාවෘත බැඳී ඇති හෙයිනි. ලොවක් පුදුම කළ ලකේගල පිහිටීම ඇතැම් විට රාවණාගේ නිර්මාණයක් විය හැකි බවටත් එය දඬු මොනරය ගොඩබැස්වීමට හැකි ලෙස යුද ශිල්ප ක්‍රම මඟින් පාලනය කළ බවටත් ජනප්‍රවාදවල තිබෙන හෙයිනි. මන්ද බැලූ බැල්මට ලකේගල මුදුනේ කිසිවෙකුටත් සිටිය නොහැකි ලෙස පෙනුණ ද හෙලිකොප්ටර් කිහිපයක් වුව ගොඩබැස්විය හැකි තරම් ඉඩක් ඇති ලකේගල එදා රාවණගේ හෙළ සටනට පිටිවහලක් වූ බව සිතිය හැකිය. 
තවද රාවණ රජුගේ මියගිය දේහය මෙම ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි යහන්ගල මැද තැන්පත් කර ඇති බවට ද ජනප්‍රවාද තුළ ඇත. මන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස පිහිටා ඇති විශාල කන්දකි. වෙලන්ගොල්ල පතන උඩ විරාජමානව නැගී ඇති යහන්ගල තුළ රාවණ රජුගේ දේහය ඇති බවටත් එය ගලේ බණ්ඩාර දෙවියන් බුහුමන් දැක් වූ ස්ථානයක් බවටත් කතා පුවත් රාවණා ඉතිහාසය තුළ පවතියි. 
කෙසේ හෝ දුම්බර මිටියාවතේ ඇති කඳුවල පිහිටීමත් එ් හා සමානව ආරක්ෂාකාරීව ලකේගල පර්වත ත්‍රිත්වය හා රැහැස්සේ අබිරහස් තුළ සැඟවුණු කථා පුවතක් තවත් නොවිසඳුණු අබිරහස් ගොඩකට ඇඳ වැටුණි. සාම්ප්‍රදායික ගම් පියැසි තුළ තවමත් ජීවත් වන පැරැන්නෝ අදටත් ලකේගල ඔවුන්ගේ ගෞරව බුහුමනට ලක් කරන බව අපට පැවසීය. එසේම දුම්බර මිටියාවත අසංවිධිත පාරිසරික විනාශකාරී සංචාරක ඉසව්වලට ශීඝ්‍ර ලෙස පත්ව ඇති වීම දේශයේ ඉතිරි අබිරහස්වල විනාශය ළඟ බව කියාපාන්නකි. අනවසර කඳවුරු බැඳීම නිසා විනාශ වන ලකේගල ගුහා සහ කපු අටුව ලෙන ද කොමලෑව සහ රැහැස්ස ද ආරක්ෂා කළ යුතුය. රාම රාවණ යුද පිටිය වූ උයංගමුවේ තවමත් වැළලී ඇති ගුහාවල අබිරහස් සොයාගත යුතුය. ජල උද්‍යානයක් බදු උයංගමුව රාවණ ඉතිහාසයේ යුද ශිල්පයේ ප්‍රධාන ස්ථානයක් බව නොඅනුමානය.  

විශේෂ ස්තූතිය මීමුරේ නවරත්න මහතාට සහ විජය රත්නම් ගනේෂ් මහතාට 
සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 
lankadeepa
=============================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya