Tuesday, March 20, 2018

හිටිගමන් මතුවී පෙනී නොපෙනී යන අබිරහස් නෞකා රැසක්....(ghost ships අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

අෑත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරෙන් එක්වරම මතු වී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත් කරමින් එම නෞකා එකවරම අතුරුදන් වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා 'භූත නැව්' ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලැඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ 'භූත නැව්' ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.
චිලෝටා ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව සැමදා රාත්‍රියෙහි චිලෝයි දූපත් අසලට පැමිණෙන අබිරහස් නෞකාවක් ඇත. එම ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි එම නෞකාව මීට බොහෝ කලකට පෙර මුහුදුබත් වූවකි. නෞකාව දර්ශනය වනවිට නැවේ සිට ගිලී මියගිය මිනිසුන්ගේ භූතාත්මද ඒ සමඟ දර්ශනය වන බව පැවැසේ. නෞකාව හැමවිටම සාදවල වැයෙන සංගීතරාවයෙන්ද, සිනා හ¾ඩින්ද පිරී ඉතිරී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් එලෙස මෙම නෞකාව දර්ශනය වන්නේ සුළු වේලාවකට පමණි. සුළු වේලාවකින් නෞකාව අතුරුදන් වේ. සමහරුන් පවසන්නේ නෞකාව නැවැත මුහුදු පත්ලට යන බවය. කෙසේ නමුත් මේ සිදුවීම අදටත් අබිරහසක් බව පැවැසේ. වර්ෂ 1906දී තවත් මෙවැනි පුවතක් වාර්තා වී ඇත. එස්.එස්. වැලන්සියා නම් නෞකාව වර්ෂ 1906දී මුහුදුබත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙන්ඩොසිනො නමැති තුඩුව ආසන්නයේදීය. මෙහිදී මගීහු සැම දෙනාම පාහේ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජීවිතය බේරා ගැනීමට සමත් වූහ. නමුත් එක් පුද්ගලයෙක් අතුරුදන් විය. එයින් පසු බොහෝ මසුන් මරන්නන් පවසා සිටියේ එක් මිනිස් ඇටසැකිල්ලක් සහිත 'භූත නෞකාවක්' ඔවුන් දුටු බවයි. මෙම නෞකාවද දර්ශනය වී සුළු මොහොතකින් එකවර අතුරුදන් වීම විශේෂත්වයකි. 'වැලන්සියා' නෞකාව මුහුදුබත් වී බොහෝ වසර ගණනාවකට පසුවද මෙම අබිරහස් ඇටසැකිල්ල සහිත නෞකාව දර්ශනය වීම විශේෂත්වයකි. පෙර සිදුවීමේ පරිදිම මේ නෞකාවේ අබිරහසද මෙතෙක් විසඳී නැත.
1926 වර්ෂයේ නිපදවන ලද බෙෂිමෝ නම් නෞකාව 1931දී ඇලස්කාව ආසන්නයේ අයිස් කන්දක හිර විණි. නෞකාව ගලවා ගැනීමට කිසිම මඟක් නොවූ හෙයින් එය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට හිමිකරුවන්ට සිදු විය. නමුත් පුදුමයට මෙන් එයින් වසර 38ක් ගතවන තුරුත් මෙම නෞකාව වරින්වර විවිධ පුද්ගලයන්ට දර්ශනය වී ඇත. ඒ ඇලස්කාව ආසන්න මුහුදු තීරයේය. ඔවුන් දැක තිබුණේ අරමුණක් රහිතව ගමන් කරන නෞකාවය. කෙසේ වෙතත් 1969න් පසු නෞකාව දර්ශනය වීම සම්පූර්ණයෙන් නතර වී ඇත. තවත් මෙවැනි කුතුහලය දනවන පුවතක් වාර්තා වී ඇත්තේ 1748දීය. වර්ෂ 1748 පෙම්වතුන්ගේ දිනයට පෙරදා 'ලොවිබොන්ඩ් ආර්යාව' නමැති නෞකාවේ නැව්පතියාගේ විවාහ සංවත්සරය සැමරිණි. නැව් කපිතාන්ගේ බිරියට කපිතාන්ගේ යහළුවාද ප්‍රේම කළ බව සඳහන් වේ. මේ තුන්කොන් ආදරය හේතුවෙන් කපිතාන්ගේ යහළුවා නැව හිතාමතා මුහුදුබත් කළ බව කියැවේ. මේ හේතුවෙන් නැවේ සිටි සියල්ලෝම මරණයට පත් වූහ. එයින් පසු සෑම වසර 50කට වරක් මේ නැව නැවත දර්ශනය වූ සඳහන් වේ. වර්ෂ 1798, 1848, 1898, 1948 යන වර්ෂවලදී එසේ නෞකාව දර්ශනය වී ඇත. මෙම නැව දර්ශනය වූ සමහර වාරවලදී අනතුරට පත් වූ නැවක් යැයි සිතා සමහර නෞකා ජීවිතාරක්ෂක බෝට්ටු පවා ඒ වෙත යවා තිබිණි. නමුත් සුළු මොහොතකින් නැව එකවරම අතුරුදන් වී ඇත. මෙම සිදුවීම අදටද ඉතිහාසය කලඹන්නක් වී ඇත.
'ෆලයිං ඩච්මන්' නම් නෞකාවද මේ අන්දමින් වාර්තා පොතට එක් වූවකි. එය පාදක කොට ගනිමින් චිත්‍ර, නවකතා, ඔපෙරා, චිත්‍රපට යනාදිය පවා බිහි වී ඇත. නැඟෙනහිර ඉන්දියාව වෙත යාත්‍රා කළ මේ නෞකාව අයහපත් කාලගුණයට හසුවිය. නැව් කපිතාන්වරයා ගුඩ්හෝස් තුඩුව පසුකර නැව ඉදිරියට ධාවනය කරවීමට හැකි හැම උත්සාහයක්ම දැරුවද අසාර්ථක විය. අවසානයේ නැව මුහුදුබත් විය. එදා සිට අද දක්වාම සිය ගණන් ධීවරයන්ට මෙම නෞකාව තම නොනවතින ගමන ගමන් කරන අයුරු දර්ශනය වී ඇත. විශේෂත්වය වන්නේ දර්ශනය වී සුළු මොහොතකින් නැව අතුරුදන් වීමයි. ඉතිහාසයේ සිට මේ දක්වා මෙලෙස අබිරහස් ලෙස දර්ශනය වන නෞකාවන්හි රහස මෙතෙක් හෙළි කර ගැනීමට කිසිවෙක් සමත් වී නැත.
එල්. ජයසේකර
mawbima.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, March 19, 2018

විලෙන් මතුවුණු හොල්මන් නගරය....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries lake city)

කිලෝ මීටර් 400 ක් පමණ ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ පහළ ඇති දේ ඡුායාරූපයට නැගීමස සිදු කරයි. පෘථිවියේ පහළ සිදුවන භූමියේ වෙනස් වීම්, කාලගුණ පෙරැුළි ආදී සියල්ල ඉහළ සිට නෙත් හෙළන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති අති සුපැහැදිලි කැමරාවලට දකින්න ලැබේ. 2012 වසරේ, අභ්‍යවකාශ නැවැතුම්පොළ ලතින් ඇමෙරිකාවේ (දකුණු ඇමෙරිකාව* ආජන්ටිනාවට ඉහළින් ගමන් කරමින් තිබුණි. ආජන්ටිනාවේ, ජනගහනයෙන් වැඩිම නගරය බුවනෝස් අයර්ස් වෙයි. මෙම නගරයේ සිට සැතපුම් 300 ක් නිරිතදෙසින් පිහිටි විශාල විලක් සහ ඒ අවට භූමිය ද අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇති කැමරා ඡුායාරූපයටනැගීය. බැලූ බැල්මට කිසිදු අමුත්තක් දකින්න නොලැබුණි.
ඉන් වසර තුනකට පසු, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අවේක්ෂණ චන්ද්‍රිකාවක් මෙම විල සහ ඒ අවට භූමිය ඡුායාරූපයට නැගුවේය. එම අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් කාගේත් නෙත ගැටුණි. විලේ ජල කඳ දෙබෑ කර ගනිමින් නටබුන් වී ගිය ‘හොල්මන් නගරයක්’ ඉහළට මතුවී පෙනෙන්න තිබුණි. චන්ද්‍රිකා ඡුායාරූප අනුව නගරයේ ඉතිරිව ඇත්තේ සුන්බුන් බව දකින්න ලැබුණි.
ඇමෙරිකන් ජාතික ආචාර්ය මයික් පැවැලෙක් ඉතිහාසඥයෙකි. ඔහු චන්ද්‍රිකා ඡුායාරූල අනුව මේ ‘හොල්මන් නගරය’ ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. පැවැලෙක් හමුදා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයෙකි. යුද ගැටුම් පවතින ප‍්‍රදේශයක විනාශය සිදුවන්නේ කෙසේදැයි ඔහු හොඳින් දනී. චන්ද්‍රිකා ඡුායාරූප අනුව මෙම හොල්මන් නගරයේ ද දකින්න ලැබෙන්නේ එවැනි විනාශයකි. 
‘මුලින්ම චන්ද්‍රිකා ඡුායාරූප දකින්න ලැබුණු වෙලාවේ මම පුදුම වුණා. ඡුායාරූපයේ දකින්න ලැබුණේ නටබුන් වුණු නිවාස සහ ගොඩනැගිලි. මහා විනාශයක් සිදුවෙලා. ඒත් මේ විල කේන්ද්‍රකොට ගනිමින් යුද්ධයක් හටගත්තේ නැහැ. ජලයෙන් මතුවී ඇති මේ අබිරහස් නගරය ගැන දැනගන්න මට  ඕනෑ වුණා.’ යැයි පැවැලෙක් කියයි. චන්ද්‍රිකා ඡුායාරූපවලින් පැවැලෙක්ට වැඩි යමක් පැහැදිලි කර ගැනීමට නොහැකි විය. හොල්මන් නගරය සියැසින් දැක ගැනීමට ඔහු සැතපුම් 4,000 ක ගුවන් ගමනින් පසු ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර බලා ගියේය. ඉන්පසු යේය. කුලියට ගත් පිකප් රියක නැගුණු ඔහු ඉන්පසු දකුණුදෙසින් පිහිටි මෙම අබිරහස් ‘හොල්මන් නගරය’ බලා ගමන් ආරම්භ කළේය. පැවැලෙක් විලට ආසන්න වෙද්දී හිරු බැස යමින් තිබුණි. කෙමෙන් කෙමෙන් පරිසරයේ ස්වභාවය වෙනස් වන බව පැවැලෙක්ට දකින්න ලැබුණි.
එතැන මහ මූසල තැනක් විය. නටබුන් වුණු නගරය බලා යන මාර්ගය ද ඉරි තැලී අබලන් වී තිබුණි.  අවට වහල නැති නිවාස සහ ගොඩනැගිලිවල ඉතිරි වුණු බිත්ති මූසල පෙනුමට දකින්න ලැබුණි. නගරය මැදට යද්දී පැවැලෙක්ට සිදුවී ඇති විනාශයේ තරම හොඳහැටි පැහැදිලි විය. චන්ද්‍රිකා ඡුායාරූපයෙන් දකින්න ලැබුණාටත් වඩා මහා පරිමාණයේ ව්‍යසනයක් පැවැලෙක්ට පෙනෙන්න විය. එය පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු දකින්න ලැබෙන ව්‍යසනයක් වැනිය. තැනින් තැන මියගිය ගස් කඳන් දකින්න ලැබේ. මිනිස් පුළුටක් දකින්න නොලැබෙයි. සතකු යැයි කීමට හැක්කේ
ඉදහිට දකින්න ලැබෙන ලිහිණියකු පමණි.  ඇඟ කිළිපොළා යන නිහඬතාවක් දසත රජයන මේ ගුප්ත මෙන්ම මූසල නගරයේ නම ‘එපෙක්වෙන්’ ය. මෙම නගරය මෙසේ මහා ව්‍යසනයකට ලක් වී ඇත්තේ 1985 වසරේ නොවැම්බර් 10 වැනිදාය. එදා මුළු නගරයම අසුරු සැණින් විලට බිලි විය. වසර 25 කට පසු ජලය සෙමින් සෙමින් බැස යන්න වූ හෙයින් නගරයේ නටබුන් මතු වී තිබේ. සාමාන්‍යයෙන් මහා පරිමාණයේ ආපදාවක් සිදුවුණු ස්ථානයක දකින්න නොලැබෙන විදියේ අසාමාන්‍ය දෙයක් නටපුන් වී ගිය නගරය පුරා ඇවිද යද්දී පැවැලෙක්ට දකින්න ලැබුණි. නිවෙස්වල බිත්ති කොටස්වල, මැරුණු ගස්වල අසාමාන්‍ය සුදු පැහැ කුඩු (පවුඩර් වැනි* වර්ගයකින් වැසී තිබේ.
‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි සොයා සුලමුල දැන ගැනීමේ අටියෙන්, පැවැලෙක් ප‍්‍රාදේශිය භාෂා පරිවර්තනකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඔහු ගීෂා ලෝන්ගී නමැත්තාය. ගීෂා ලෝන්ගී ‘එපෙක්වෙන්’ නගරයට නුදුරින් පිහිටා ඇති ‘කාර්වේ’ නමැති කුඩා නගරයට පැවැලෙක් රැුගෙන ගියේය. හොල්මන් නගරයට ආසනන්තම මිනිස් වාසය මෙම ‘කාර්වේ’ නගරයයි.
ගීෂා පවසන පරිදි, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණු විනාශය සහ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් මත පවතී. පැවැලෙක් සහ ගීෂා හමුවීමට ගියේ නීතීඥවරයෙකි. ඔහුගේ නම එසීකිල් එන්සීනා බාසෝ නමැත්තාය. නීතීඥ බාසෝ මීට වසර ගණනාවකට පෙර, ‘එපෙක්වෙන්’ නගරයේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් නගරය අතහැර පලා ගිය නගර වැසියන්ගෙන් කටඋත්තර සටහන් කරගත් නීතීඥවරයා වෙයි.
විල නගරය ගිලගන්න පෙර, විලේ ජලයට ඉහළින් අමුතු විදියේ දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න වුණැයි ‘එපෙක්වෙන්’ නගරයේ ඇතැම් පදිංචිකරුවන් තමාට පැවැසූ බව බාසෝ කියයි. ‘විලෙන් අමුතු විදියේ අද්භූත එළියක් විහිදෙන්න වුණා යැයි බොහෝ දෙනෙක් මා සමඟ පැවැසුවා. ඒත් මට නම් එහෙම එළියක් දකින්න ලැබිලා නැහැ.’ බාසෝ පැහැදිලි කරයි. විලෙන් ආ මහා ජල කඳ නගරය ගිල ගත් බව පැවැසෙන්නේ එම දීප්තිමත් ආලෝකයෙන් පසුවය. නගරය මුළුමනින්ම විනාශ කර ඇත්තේ සුනාමියක් සේ ආ විලේ ජල කඳය. භූගෝලීය පෙරැුළියක් නිසා මේ මහා විනාශය සිදුවුණු බව පැවැලෙක්ට වැටහිණි. කෙසේ නමුත් විලෙන් දීප්තිමත් ආලෝකයක් විහිදීම සම්බන්ධයෙන් ඔහු අන්දුන් කුන්දුන් විය. ආජන්ටිනාවේ සිටි පැවැලෙක් ඔහුගේ මිතුරකු මෙන්ම භූ විද්‍යාඥයකු ද වන ඇලන් ලෙස්ටර්ට
වීඩියෝ ඇමැතුමක් ලබා දී, ‘එපෙක්වෙන්’ නගරය ගැනත්, විලෙන් විහිදුණු ආලෝකය ගැනත්, නගරය ජලයෙන් යටවීම ගැනත් විස්තර පැවැසීය.
‘ආලෝකයක් විහිදුණැයි කීම නම් පුදුමයට කාරණාවක්. කොහොම නමුත් අසාමාන්‍ය භූගෝලීය සන්සිද්ධියක් තිබෙනවා. අප එය හඳුන්වන්නේ ‘ඊ.කියු.එල්’ යන නමින්. සරලව කීවොත් භූ කම්පන එළි. ඒ කියන්නේ, ඇතැම් භූමි කම්පා සිදුවෙද්දී, දීප්තිමත් ආලෝකයක් පොළොවෙන් විහිදීමක් සිදුවී තිබෙනවා. මේ ගැන ඇසින් දුටු සාක්ෂි රැුසක් ලැබී තිබෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයන්ට තවමත් පැහැදිලි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඇතැම් විට ආලෝකයක් දිස්වන්නේ භූමි කම්පා සමඟ තාපය හෝ විදුලිය නිපදවීමක් සිදුවීමෙන් යැයි අප සැක කරනවා. ඒත් ඒක තහවුරු වෙලා නැහැ.’ යැයි භූ විද්‍යාඥ ඇලන් ලෙස්ටර් පැවැසීය. පුදුමයට කාරණාවක් නම්, ‘එපෙක්වෙන්’ පිහිටා ඇත්තේ භූමි කම්පාවක් හටගන්නා ස්ථානයක නොවේ. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් එකිනෙකා මත ගැටෙද්දීය. භූමි කම්පා හටගන්නේ භූ තැටි මායිම් ඇති ස්ථානවල පමණි. ‘එපෙක්වෙන්’ නගරයට ආසන්නතම භූ තැටි මායිම ඇත්තේ සැතපුම් 600 කට වඩා දුරිනි. භූ විද්‍යාඥයන්ට මෙම නගරය ආශි‍්‍රතව ජල ගැලීම් සිදුවෙද්දී, කිසිදු භූ චලනයක් ගැන වාර්තා වී නැත. 
‘එපෙක්වෙන්’ නගරයට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණ ඇතිව දිගටම සෝදිසි කිරීම් සිදුවිය. තොරතුරු රැුස් කෙරුණි. ‘මපූචි’ නමැති ස්වදේශීය ගෝති‍්‍රකයන් ගැන ගීෂාගෙන් පැවැලෙක් දැනගත්තේය. ‘මපූචි’ ගෝති‍්‍රකයන් කිහිප දෙනකු නගරයේ ඈත කෙළවර නටබුන් වූ ප‍්‍රදේශයේ ජීවත් වෙන බව ඔවුන්ට දැනගන්න ලැබුණි. ඔවුන් හමුවීමට ගිය පැවැලෙක්, භාෂා පරිවර්තක සගයා ගීෂාගේ උදවු ඇතිව ඔවුන්ගෙන් කරුණු කාරණා විමසීමක් කළේය. පැවැලෙක් සමඟ කථාබහට එක් වූයේ ‘මපූචි’ ගෝති‍්‍රක කාන්තාවක සහ පිරිමියෙකි. කාන්තාව මැදිවියේ තැනැත්තියකි. ඔවුන් පෙන්වා දුන්නේ විලේ ගුප්ත මැජික් බලයක් ඇති බවය. මපූචි ගෝති‍්‍රකයන්ගේ ඇදහිලි සහ විශ්වාස අනුව, ‘එපෙක්වෙන්’ නගරයේ අබිරහස විසඳීමට හැකිවේවි යැයි යන සිතුවිල්ලෙන් පැවැලෙක් ඔවුන් කියන දේ  අසා සිටියේය.
මපූචි යනු ආන්ටිනාවේ ජීවත්වන පැරැුණිතම ගෝ
ත‍්‍රයකි. ඔවුන්ගේ ආරම්භය සිදුවී ඇත්තේ අන්දීස් කඳු වැටිය කේන්ද්‍රකොට ගනිමිනි. ‘එපෙක්වෙන්’ නගරය අයත් භූමිය සහ විල ඔවුන්ගේ ගුප්ත ඇදහිලිවලට අයත් ශුද්ධ වූ ස්ථානයක් වෙයි. රෝග සුව කිරීමේ සුවිශේෂී හැකියාවක් මේ විලේ ඇති බව මපූචි ගෝති‍්‍රක කාන්තාව පැවැලෙක්ට පැහැදිලි කළාය. විලේ වතුර ඔවුන්ට ඔසුවකි. වැඩිදුර සොයා බලද්දී විල කරදිය විලක් බව දැනගන්න ලැබුණි. ලොව සෙසු සාගරවලට වඩා 10 ගුණයකින් ලවණතාවක් ඇති බව තහවුරු කර ගන්නා ලදී.
‘මේ විලේ වතුර උණුසුම් එමෙන්ම ලූණු ගතිය වැඩියි. බොහෝ වෙලාවක් වතුරේ බැහැලා සිටියොත් සිරුරේ පැහැය වෙනස් වෙනවා. සුදු පැහැ ගැන්වෙනවා. ඒ තරමට මේ විලේ ලූණු වැඩියි’ යැයි පැවැලෙක් කියයි. නගරයේ නටබුන් සුදු කුඩුවලින් වැසී පවතින්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. එම සුදු කුඩු ලූණුය. ලවණ ප‍්‍රමාණය වැඩි නිසා මපූචි ගෝති‍්‍රකයන් විලේ වතුරේ ඇතැයි විශ්වස කරන රෝග සුව කිරීමේ බලය සම්බන්ධයෙන්ම පැහැදිලි කිරීමක් ලැබුණි. කෙසේ නමුත් විල සම්බන්ධයෙන් මපූචි වැසියන් කියන්නේ මහ අමුතු විදියේ කථාවකි. ‘අපේ පැරැුන්නෝ දැක්කා හීනයක්. ඔවුන් දැක්කා විල මේ නගරය ගිල ගන්නවා. මෙහෙම ව්‍යසනයක් වේවි කල්තියා ඔවුන් දැනගත්තා. ඔවුන් නගර වැසියන්ට ඒ ගැන අනතුරු ඇඟවීම් කළා. ඒත් ඔවුන් කිසිම කෙනෙක් ඊට කන් දුන්නේ නැහැ.’ යැයි මපූචි කාන්තාව පැවැලෙක්ට පැවැසුවාය. නපුරු භූතාත්මයක් විල අරක්ගෙන සිටින බව ද ‘මපූචි’ ගෝති‍්‍රකයන්ගේ විශ්වාසයයි. මේ භූතාත්මය සතුටු කළ යුතු වෙයි. එසේ නැතිනම් විල ගොඩ ගලා අවට ඇති සියල්ල ගිල ගනී. විලෙන් යමක් ලබා ගන්නේ නම් ඒ වෙනුවෙන් තුටු පඬුරු ලබා දීමක් කළ යුතු වෙයි. එසේ නොකළොත් විල ගොඩ ගලා සියල්ල විනාශ කරනවා යැයි මපූචි ගෝති‍්‍රකයෝ විශ්වාස කරති.
මිථ්‍යා විශ්වාස නොව, සැබැවින්ම සිදුවුණේ කුමක්දැයි සොයා අබිරහසට විසඳුමක් දීම පැවැලෙක්ගේ අරමුණ විය. විලේ ජලයෙන් යටවී නගරය විනාශ වූ බව සත්‍යයකි. විලෙන් ආලෝකයක් නිකුත් වීම නොවිසඳුණු අබිරහසකි. වසර 25 කට පෙර, සිදුවුණේ කුමක්දැයි ඉතිහාස වාර්තා, පුවත් වාර්තා, පැරැුණි ඡුායාරූප ආදියෙන් සොයා දැන ගැනීමේ අරමුණ ඇතිව පැවැලෙක් විස්තර
සෙවීම ඇරැුඹීය.
පැවැලෙක් ඒ සඳහා ගියේ අසල්වැසි නගරයේ පුස්තකාලයටය. එහිදී විද්‍යාත්මක වාර්තා කියවා බැලීමට පැවැලෙක්ට හැකිවිය. ඒවායේ සටහන් වී තිබුණේ අසාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් හේතුවෙන් ජල ගැලීමක් සිදුවුණු බවය. ‘නොකඩවා ප‍්‍රචණ්ඩ මහ වැසි ඇද හැළෙද්දී, නොගැඹුරු විල්වල ජලය කැළැඹෙනවා. දෙපැත්තට පැද්දෙනවා. ඒ, ප‍්‍රචණ්ඩ සුළංවල බලපෑමෙන්. එවිට ඉවුරු යට වෙනවා. ‘එපෙක්වෙන්’ නගරයට සිදුවන්න ඇත්තේ එවැන්නක් බවයි විද්‍යාත්මක පැහැදිලි කිරීම්වල සටහන් වී තිබෙන්නේ.’ යැයි පැවැලෙක් පැහැදිලි කරයි. ඒත් විලේ ජලය ප‍්‍රචණ්ඩ ආකාරයෙන් කැළැඹී යෑමට නම්, නායයෑමක් වැනි කුමක් හෝ දෙයක් සිදුවිය යුතුය. කෙසේ නමුත්, ජල ගැලීම සිදුවීමට පෙර එවැනි නායයෑමක් විල ආසන්නයේ සිදුවී නැත. 
ආජන්ටිනා රජය ‘එපෙක්වෙන්’ නගරයට ඔබ්බෙන් විලේ ඉදි කරන ලද කුඩා ප‍්‍රමාණයේ වේල්ලක් ගැන විස්තර වාර්තාවක් පැවැලෙක් ට දකින්න ලැබුණේ එවිටය. වේල්ල ඉදිකර ඇත්තේ ජල ගැලීමට වසර කීපයකට පෙරය. වේල්ල නගරයට ඔබ්නේ විලේ ඉදි කළ එකකි. වේල්ල ඉදි කෙරුණේ ජලය රැුස් කිරීමට නොව, නගරය ආරක්ෂා කිරීමට පවුරක් ලෙසය. වේල්ල ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයටය. නගරය යටවීමෙන් පැහැදිලි වන්නේ වේල්ල අසාර්ථක වුණු බවය. එය සිදුවූයේ කෙසේදැයි දැනගැනීම පැවැලෙක්ගේ මීළඟ කාර්යය විය. චන්ද්‍රිකා ඡුායාරූප අනුව යමින්, නගර වැසියකු ඒ අවට ජීවත් වෙනවාදැයි පැවැලෙක් සොයා බලන්න විය. එහිදී නගරයට ඔබ්බෙන් එක් කුඩා නිවසක කවුරුන් හෝ පදිංචි වෙන බව පැවැලෙක්ට අවබෝධ විය. එම ස්ථානයට යද්දී, එහි නිවාස සහ සෙසු ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවැතියත් එතැත අතහැර දැමූ තැනක් නොවිණි. එහි පදිංචි වී සිටියේ ‘එපෙක්වෙන්’ නගරයෙන් ඉතිරි වූ වැසියෙකි. ඔහු 85 හැවිරිදි පාබ්ලෝ නෝවැක්ය. 
ජල ගැලීමට පෙර වේල්ල බිඳී යෑම සිදුවුණේ ඇයිදැයි සහ කොහොමදැයි විස්තර දැන ගැනීමට සිටින එකම කෙනා මේ මහල්ලාය. ඔහු සියල්ල පැහැදිලි කළේය. ‘ඔවුන් වේල්ලක් තැනුවා. අඩි 20 ක් උසයි. හැඩය අශ්ව ලාඩමක් වගේ. අවුරුදු 4 ක් වේල්ල හොඳින් තිබුණා. වේල්ල හැදුවේ වැඩිපුර වතුර නගරයට කඩා වැදීම වළක්වන්නයි. ඒ වුණාට ලොකු ගැටළුවකට මූණ දෙන්න සිද්ධ වුණා’ යැයි පාබ්ලෝ පැහැදිලි කළේය. වේල්ල ඉදි කිරීමෙන් පසු වසර ගණනාවක් එකදිගට නගරයට ශීත කාලයේදී මහ වැසි ඇද හැළෙන්න විය. එය අනපේක්ෂිත සිදුවීමකි. ‘එපෙක්වෙන්’ නගරය
වැසියන් මෙවැනි මහ වැස්සක් මීට පෙර දැක තිබුණේ ද නැත. නගරයේ සාමාන්‍ය වර්ෂාපතනය වසරකට අඩි දෙකක් පමණක් විය. ඒත් මේ වසර කිහිපයේ වසරකට අඩි පහකට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තා වුණු බව පාබ්ලෝ කියා සිටී. ඉදිකළ වේල්ල නිසිලෙස නඩත්තු කිරීමක් නොකෙරුණු අතර, අධික වර්ෂාවත් සමඟ විලට එක්වීමට නියමිත මහා ජල කඳ වේල්ලේ කොටු විය.
1985 වසරේ නොවැම්බර් 10 වැනිදා, පීඩනයට ඔරොත්තු නොදුන් වේල්ල පුපුරා කැඞී ගියේය. ඒ, සමඟ නගරයෙන් එක් කොටසක් අසුරු සැණින් ජලයෙන් යටවිය. අඩි 30 ක් උසට ජලය නැග ගියේය. දිවි ගලවා ගත්තේ පිහිනීමට සමත් වුණු අතලොස්සක් පමණි. නිවාසවල ඉතිරි වූයේ වහල පමණි. නගරය විලට බිලි වීම වැළැක්වීමට කළ හැකි දෙයක් ද නොතිබුණි. පාබ්ලෝ ඇතුළු නගර වැසියන් නිවසකින් තවත් නිවසකට ගොස් ඇත්තේ බෝට්ටුවලිනි.  දැනගත් විස්තර අනුව, හටගත් ජල ගැලීම සුළුපටු එකක් නොවන බව පැවැලෙක්ට අවබෝධ විය. දිනෙන් දින ජල මට්ටම ඉහළ ගොස් අවසානයේ දී මුළු නගරයම ජලයෙන් වැසී ගියේය. සෙමින් බොහොම ක‍්‍රමාණුකූලව විල නගරය ගිලගත්තේය. දවස් දෙක තුනක් යද්දී නගරවැසියන්ට සියල්ල අහිමි වී තිබේ. පාබ්ලෝ කළ විස්තරය අනුව ජල ගැලීම හටගත්තේ විලේ සිදුවුණු අසාමාන්‍ය කැළැඹීමකිනි. මහා ව්‍යසනයක් සිදුකළ ජල ගැලීම ගැන සාක්ෂි රැුසක් දැන් පැවැලෙක් සතුව ඇත. කෙසේ නමුත් විලට ඉහළින් විහිදුණැයි පැවැසෙන දීප්තිමත් ආලෝකය කුමක්දැයි පැහැදිලි කර ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. එය ලොව නොවිඳුණු අබිරහස් අතරට එක් විය.
ලුසිත ජයමාන්න
ඩිස්කවරි නාළිකාවේ 
‘වොට් ඔන් අර්ත්’ ඇසුරිනි
wijeya.lk
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, March 18, 2018

තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි......(thowil අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අත්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී.
මේවා සාර්ථක වන්නේ එම අත්භූත සිදුවීම් පිළිබඳ යශෝරාවය පැතිර යාමත් සමඟිනි. යක්තොවිලයක අළුයම් යාමයේ යක්ෂයා එම ආතුරයා හෝ නිවස හැර ගිය බව හඟවන ප්‍රධාන සාධකයක් තිබේ. එනම් ‘ලකුණක් පෙන්වාගෙන පලයන්‘ යනුවෙන් යකැදුරු තැන කරන විධානයට අනුව තොවිලය සිදු කළ රාත්‍රියේ අළුයම්  යාමයේදී එම නිවස අද්දර ඇති කිරි ගසක අත්තක් අත්භූත ලෙස කඩා වැටීමෙනි.
මෙම අත්භූත ජනක සිදුවීම සාමාන්‍ය ලක් වැසියන්ගේ පමණක් නොව විද්වතුන්ගේ පවා මවිතයට හේතු වූ බවට සපයා ගත හැකි සාක්ෂි කිහිපයක් ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඕලන්ද සම්භවයකින් යුත් විද්වතෙකු සහ විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකකු වන ආර්.එල්. බ්‍රෝහියර් ලියු Discovering Ceylon කෘතියේ එන එක් සඳහනක් මගේ මතකයට නැඟේ. එහි සඳහන් අන්දමට චින්තා නමැති යුවතියකට ආරූඩ වූ ‘කළු කුමාර යක්ෂයා‘ පළවා හැරීමේ ශාන්ති කර්මයක් බ්‍රෝහියර් විද්වතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත.
සුමනසිංහ නම් යකැදුරෙකු විසින් කරනු ලැබූ එම ශාන්ති කර්මයේ එළිවන ජාමය ඔහු සිය කෘතියේ විස්තර කරන්නේ මෙලෙසිනි.
‘තෙල් සහ දුම්මල දමා පන්දම් නැවත ආලෝකමත් කෙරිණ. සුමනසිංහගේ ආරූඩය උච්ච ස්ථානයකට පත් වූ බව ඔහුගේ හැසිරීම් වලින් මනාව පසක් විණි.
කස පහර මෙන් තියුණු ඔහුගේ වදන් ද ශීඝ්‍රයෙන් උච්ච වෙමින් තිබිණ. ‘කළු කුමාර යක්ෂයා ; මට ලකුණක් පෙන්නපන් ලකුණක්! ලකුණක්!‘ හිමිදිරියට හෝරාවක් පමණ තිබියදී ඔහුගේ මුවෙන් නැගි අණකිරීමක් බදු මෙම ආයචනාත්මක ඉල්ලීම හාත්පස රැව්පිළි රැව් දෙන්නට විය. එවිටම එහි සිටි සියළුම දෙනාගේ සිත් භ්‍රැන්ත කරවන සිදුවීමක් සිදුවිය.
එනම් යක්ෂයා බැඳ තිබූ කොස්ගසෙහි අත්තක් හිටි හැටියේ මහ හඬ නඟමින් කඩා වැටීමය. එම සිද්ධියත් සමඟම යක්ෂයා එළවීම අතිශයින් සාර්ථක වූ බව සියල්ලෝම වටහා ගත්හ.
තමන් මින් පෙර මෙබඳු සුවිශේෂ අවස්ථාවක් දැක නොමැති බව එහි සිටි කවුරුත් කීහ.
ඒ මොහොතේම චින්තා යක්ෂ ග්‍රහණයෙන් අත්මිදුණාය. ....
මෙහි අතිශයෙන් විස්මය එළවන දෙය නම් විශාල කොස් අත්තක් හිටි හැටියේ බිම ඇද වැටීමය. එය කපා නොදැමූ බව පැහැදිලිවම දක්නට ලැබිණ. නමුත් ඒ අත්භූත රහස වටහා ගැනීමට මටද නොහැකි විය.
බ්‍රෝහියර් ශූරීන් එසේ කීවද මෙම ශාන්ති කර්ම කලාවේ අප බොහෝ දෙනෙකුට එක්වරම නොවැටහෙන විධිමත් සවිමත් නිහඬ යාන්ත්‍රණයක් තිබේ.
මේ සියළු සංසිද්ධීන් සිදුවන්නේ ඒ ඔස්සේය. මෙම යකැදුරු කම් සිදු කිරිමට ප්‍රධාන යකැදුරා, යකැදුරාගේ නායකත්වයෙන් යුතු අඩුම තරමින් පස් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවසට පැමිණෙති. ඒ එම ශාන්ති කර්මය සිදු කිරීමට දිනකට හමාරකට කලිනි. කොට්ටෝරුවන් හෙවත් ශාන්ති කර්මයේ ගබඩා බාරකරුවන් ඇතුළු එම කණ්ඩායමේ කණිටු සාමාජිකයන් ලෙස හැඳින්වෙන කොළු කුරුට්ටෙකු දෙදෙනෙක් නොවැරදීම පැමිණෙති.
බැලූ බැල්මට ආවතේව කරුවන් සේ පෙනෙන මොවුන් නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් එම ශාන්තිකර්මයේ ‘බුද්ධි අංශ සාමාජිකයන්ය‘ එම ශාන්ති කර්මය පැවැත්වෙන නිවසේ වට පිටාව සේම ඔවුන්ගේ පවුල් පසුබිම පුද්ගල විස්තර ආදීය සියුම් ලෙස නිරීක්ෂණය කරන ඔවුන් ඒවා ශාන්ති කර්මයට පෙර කාටත් රහසින් ප්‍රධාන ඇදුරාගේ කනේ තියති.
එවිට එම තොරතුරු අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් ශාන්ති කර්මයේ දී ඒවා අවශ්‍ය පරිදි භාවිතයට ගැනීම යකැදුරාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ආකාරයට යකැදුරා ‘ලකුණක් පෙන්නපන්! ලකුණක් පෙන්පන්!‘ යනුවෙන් යක්ෂයාට අණ දෙනුයේ එළිවෙන ජාමයේදීය.
ඒ වන විට එම නිවසියන් ඇතුළු ශාන්ති කර්මයට එක් වූ සියළුම දෙනා පසුවෙනුයේ දැඩි වෙහෙසකින් හා නිදිමතකිනි. ඒ අතර වාරයේ මා ඉහත සඳහන් කළ කොළු කුරුට්ටන් දෙදෙනා මඳ වේලාවකට දර්ශන පථයෙන් ඉවත්ව සිටීම බෙහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවේ.
ඔවුන් එසේ ඉවත් වනුයේ එම ගෙවත්තේ ඇති කොස් ගසක් වැනි කිරි ගසක පොළවට අඩි 10ක් 15ක් උසින් යුතු  අත්තක් සොයා එහි එල්ලී සිටීමටය. ඇදුරා ‘ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන්‘ යනුවෙන් කෑ ගසන්නේ ඒ මෙහොතේ ඊට තරමක් දුරින් සිටින ඔවුන්ට ඇසෙන පරිදිය.
ඒ වන විට කොස් අත්තේ එල්ලී සිටින කොළු කුරුට්ටන් දෙදෙනා එහි එල්ලී හැකි තාක් පදවමින් එය බිමට ඇද දමා සුරුස් ගා පස්ස දොරින් එම තොවිලය පැවැත්වෙන තැනට හීන් සීරුවෙම ළං විය යුතුය.
මේ සඳහා තොරාගන්නා කොළු කරුට්ටන් ගස් නැගීමේ කලාවේ විශාරදයන් විය යුතුය. නැතිනම් පොඩ්ඩ වැරදුණොත් යකාගේ පලා යාම වෙනුවට ශාන්ති කර්මයේ සිටින්නවුන්ට අසන්නට ලැබෙනුයේ ගසකින් වැටී කොන්ද කඩා ගත් කොලු කුරුට්ටකුගේ මර ලතෝනියකි.
කෙසේ හෝ යක්ෂාරූඩය නමැති තත්වයක් ඇති බවත් මෙම ශාන්ති කර්මයේදී පිළිගැනෙන අතර ඉන් අත්මිදීම මෙසේ කොස් අත්තක් කඩා වැටීම ඔස්සේ සංකේතනය කිරීම නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමයකි. එමෙන්ම තමන්ට ආරූඩ වූ හෝ නිවසට අරක් ගත් යක්ෂයා පලවා ගියේය යන දැඩි විශ්වාසය එම සංකේතනය මගින් වටහා ගන්නා නිවැසියන්ගේ මානසික ආතතිය, පීඩාව සහ විඝටනකාරී ස්වරූපය ඒ ඔස්සේම දුරු වීමේ ප්‍රබල හැකියාවක් තිබේ.
තිලක් සේනාසිංහ
.lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 27, 2018

මාඔයේ අංගංවැල්ලෙන් උණපහුරට ගොඩවූ මහසොහොන් සමයම (mahasona ma oya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මෙම අපූරු කතාව මා සමඟ පවසන ලද්දේ දියගම්පල පදිංචි මහවැලියේ රියැදුරු මහතෙක් වූ විජේතුංගයි. ඔහු කියන ලද විස්තරයට අනුව අංගංවැල්ල පිහිටා තිබුණේ මේ කියන දියගම්පල කිට්ටුවයි. මෙය ඉතා විශාල වැලිතලාවකි. නමුත් අද වැලි කොන්ත්‍රාත්කරුවන් මේ වැලි නිධිය රහසිගතව පටවා අවසන් කර ඇත.  
 මෙම වැලි තලාවට අංගංවැල්ල යයි නමක් පටබැඳුණේ පුරාණයේදී මෙහි ගැටවරයන් අංගම්පොර සටන් පුරුදු කළ නිසාය. අංගං ගුරුවරු තම ශිෂ්‍ය පිරිස සමඟවිත් දෙවියන්ට යාතිකා කර මෙහි අංගම් පොර පුහුණුවීම් කරන අතර විශාල වැලිතලාවේ රැඳී සිටින ජනතාව ඒ සටන් පුහුණුවන අයුරු බලමින් විනෝද වූ බවත් කියැවේ.  
මේ ප්‍රදේශයේ මාඔය ඉවුරුවල අතිවිශාල උණ පඳුරු වැවී මාඔයට බරවී තිබී ඇත. එසේම මෙම අංගංවැල්ල ප්‍රදේශය අද්භූත සිදුවීම්වලින්ද පිරීගත් ප්‍රදේශයකි. හවස හයෙන් පසුව තනිපංගලමේ කිසිවෙක් මෙම ප්‍රදේශයේ ගැවසුණේ නැත. එයට හේතුව මේ ඉසව්වේ තිබූ අමුතු බලවේගයන් පිළිබඳ විශ්වාසයයි.  
 ඇතැම් දිනවල රාත්‍රී කාලයේ අංගංවැල්ල ප්‍රදේශයේ දියබුංගසමින් නාන ශබ්දය ඇසෙන බවත් ගොස් බැලූවිට කිසිවකු නැති බවත් ඒ පිළිබඳව විමසා බැලූවන්ගෙන් දැනගන්නට ලැබී ඇත.  
අංගංවැල්ලේ මහසොහොන් සමයමක් පිළිබඳවද කතා අසන්නට ලැබේ. වරක් මේ ප්‍රදේශයේ ගොවිතැන් කළ අයෙක් වී බිස්සක් සකසා එයට වට මැටි ආදිය ගසා අටු නංවා සකස්කළේ වී ගබඩා කරතැබීම සඳහාය. බිහිපට්ටලය තබන්නේ කළුගල් කණු හතරක් උඩයි. මේ කණු අළු සහ වැලි කලවම් කර යොදාගත් මිශ්‍රණයක් ඉස ඒ අතර සාදාගත් තැන්වල කණු සිටුවා ගැනීමෙන් වේයන් වළක්වාගත හැකි බවට උපදෙස් ලැබුණ නිසා අළු කලවම් කිරීමට වැලි ප්‍රමාණයක් ඕනෑවිය.  

ඔහුගේ බිරිඳ කීවේ දිය නෑම සඳහා ඔයට ගිය විට අංගංවැල්ලෙන් වැලිගොට්ටක් රැගෙන එන ලෙසයි. බිරිඳ කී ලෙසට කොළපත් ගොටුවක්ද රැගෙන ඔයට ගිය ඔහු දිය නා අහවරකොට අර කොළපත් ගොටුවට වැලි පුරවාගෙන ගෙදර ගෙන ආවේය. පසුදා අළු කලවම් කොට වැලි ඉසින තුරු එම වැලිගොට්ට බිහි පට්ටලය උඩ තබා තම ඉතිරි වැඩ කටයුතු කළේය.  
 රාත්‍රී ආහාර ගෙන සුපුරුදු ලෙස නින්දට ගිය ඔහුට එදා නින්ද යන පාටක් නැත. එනිසාම විට දෙක තුනක් ද හැපුවේය. මෙසේ ඉන්නා අතර යාන්තම් ඇස් පියවීගෙන එනවිට ලොමින් වැසුණ අයෙක් පෙනීසිට කීවේ ‘‘තෝ ඔය අංගංවැල්ලෙන් ගෙනා වැලි වහාම එතැනටම ගෙන ගොස් දමපිය’’ කියායි.  

මේ පුද්ගලයාද ටිකක් බය නැති අයෙකි. යළිත් ඇඳේ දිගාවුණ ඔහුට යාන්තමින් නින්ද යාගෙන ආවේය. නැවතත් අර ලොම්වලින් සිරුර වැසීගත් මිනිහා පෙනී සිට කීවේ ‘‘තෝ අර වැලි ගොට්ට තිබුණ තැනටම ගිහිං නොදැම්මොත් බලාගං තොට කරන දේ’’ කියායි.  
 මෙවර ඔහුට බියක් ඇතිවුණි. ‘‘මේ මහ රෑ ඔයට යා නොහැකිය. මම හෙට උදේම වැලිගොට්ට ආපසු ගිහිං දාන්නං එතෙක් අවසර දෙන්ට’’ යයි බැගෑපත් ලෙස ඉල්ලා සිටියේය.  
දුම් වලාවක් බඳු එම රූපය නොපෙනී ගියේය. ඔහුට ඉන්පසු නින්ද ගියේය. එහෙත් හදවතේ බියක් ඇතිවී තිබුණි. පසුදා හිමිදිරියේම වැලිගොට්ට ගත් තැනටම ගොස් හලා ආවේය. එම සිද්ධිය ඔහු කිසිවකුටත් කීවේ නැත.  

බොහොම ඉස්සර කොච්චිකඩේට හා දංකොටුවට උණගස් ප්‍රවාහනය කළේ මාඔයෙන්. උණ ගස් සියයක පමණ මිටියක් පහුරක් සේ බැඳ සකසා, ඔයේ පාකරගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ක්‍රමයක් තිබුණේය. ඒ ජලය මතින් පාකරගෙන යාමේ පහසුව තිබූ නිසාය. එසේම ඒ යුගයේ අදමෙන් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ නොවිණි.  
කොච්චිකඩේ හා තෝප්පුව යන ප්‍රදේශවල මෙම උණ ගස් වෙළෙඳාම එදා සිදුවුණ අතර ඒ සඳහා පළපුරුදු උණ පහුරුකරුවෝ සිටියහ. සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මේ සඳහා හවුල් වේ.  
නොයෙකුත් ඉදිකිරීම් ආදියේදී පලංචි බැඳගැනීම සඳහා උණ ගස් යොදාගත් අතර ඊට අවශ්‍ය වූ උණ ගස් ලබාගැනීම සිදුකළේ මේ අයුරින් මාඔය දිගේ පහුරු බැඳ ගෙන්වා ගැනීමෙන්ය. ඒ යුගයේ උණගසක සාමාන්‍ය මිල ශත පනහක් පමණ විය.   

මේ පිළිබඳව පැරැන්නෝ අපට අදහස් පළකළහ.  
බොහොම පැරණි යුගයේ උණ ලී පහුරු බැන්ඳ යාළුවෝ තුන්දෙනෙක් මේ අංගංවැල්ල පැත්තේ ඉඳ තිබෙනවා. එක් අයෙක් සීටිං, අනෙක් කෙනා හෙන්දප්පු. මේ තිදෙනා සමග සිටි දක්ෂ පහුරු පැදුම්කරු තමා අන්දිරිස්.  
දින හත අටක් මහන්සිවෙලා කපන උණගස් මිටිකර බැඳීමත් අමාරු කටයුත්තක්. මේ තුන්දෙනා උණගස් හාරසීයක් පමණ එක් පහුරකට බඳිනවා. දවසක් මොවුහූ උණ පහුරක් හදාගෙන මීගොමු යන්ට තීරණය කරගත්තා. මේ ගමන යන්නෙ රාත්‍රී කාලයෙ. රාත්‍රී කාලයෙ යන්නෙ පහසුවට. රෑ යන නිසා ලන්තෑරුම් දෙක තුනකුත් පත්තු කරගන්නවා. හොඳ විට මල්ලකුත් හදාගන්නවා මෙහෙම යනකොට සීපදේකුත් කියනවා කාන්සියට.  

එදා අන්දිරිසුයි, හෙන්දප්පුයි කලින්ම රාත්‍රී කෑම අරගෙන ගමන යාමට සූදානම් වුණා. දෙන්න ලන්තෑරුම් දෙකක් පත්තු කරගත්තා. ඒත් තාම සීටිං නෑ. වෙනද මේ ගමන පිටත්වෙන්ඩ කලින්ම එන මිනිහ තමයි සීටිං. ඒත් එදා සීටිං පරක්කුයි. හෙන්දප්පුයි, අන්දිරිසුයි ඔයට බැහැල පහුර දෙකොනේ ලන්තෑරුම් බැන්දා.  
ඔන්න එත​කොටම සීටිං පහුරට ගොඩවුණේ. මිනිහා කීව ‘‘හා හරි හරි යමල්ල. යමල්ල මං ටිකක් සුනංගු වුණා’’ කියලා අන්දිරිස් ලණුපට ගලෝල පහුරට දිය පාරෙ පාවෙන්ට අතින් ටිකක් තල්ලු කරල පහුරට ගොඩවුණා. මේ අය යන්නෙ අමුඩෙ ගහගෙන ආපහු එනකොට අදින සරොං කමිස කැටිකොරල මල්ලක දාගෙන තමයි යන්නෙ.  

හා හරි ඕං රිටි ගහල අල්ලමු. ඒ කීවෙ සීටිං. දැං අනිත් දෙන්නත් දහිරිය දාල වැඩේ පටන්ගත්තා. ඔන්න ඔහොම තුන්දෙනා පහුර පැදං කොච්චිකඩේ යන්ඩ පටන්ගත්තා. හෙන්දප්පු සීපද කියන්ඩ හරිම දක්ෂයි. ඒ වගේම කටහඬත් මිහිරියි. කට්ට කරුවලේ හිතේ බය යන්ඩත් එක්ක දන්න සීපදයක් පටන්ගත්තා.  

කෑම බීම හිඟ මග දුප්පත්  අපට  
දිය කඳ තමයි පාරුව පැදුමට  පිහිට  
උණ ලීයෙන් ලැබෙන සොච්චම හැරුණ  කොට  
මොන පිහිටක්ද? වෙන පොඩිඋන් අඬන කොට

රිටි ගසමින් නියමිත ලෙස හරවාගනිමින් උණපහුර පැදයාම බොහොම වීර ක්‍රියාවක්. තුන්දෙනා තරඟයට වගේ දැන් වැඩේ කරනව. තෝප්පුව ළංවෙනකොට ඔයේ සැඩ පාරත් එක්ක වංගුවකුත් තියෙනව. මෙන්න මෙතනදී බොහොම පරිස්සමෙන් පහුර පදින්න ඕනෑ. වංගුව ළංවෙනකොටම අග කෙළවරේ ඉන්න සීටිංට හෙන්දප්පු කෑගැහුව හරෝපං හරෝපං කියල.  

දැං පහුර කෙළින්මයි යන්නෙ හැරවීමක් නෑ ටිකක් තරහගිය හෙන්දප්පුව යකෝ සීටියො ඇහෙන්නැද්ද? බොල හරෝපිය නැත්තං පහුර අයිනෙ තියන පටහිඟුරු ගොල්ලෙ හිරවෙයි.  
 එහෙම කීවත් සීටිං නෙමේ කීව දේ කළේ. පස්සෙ මහ වතුරට පැන්න සීටිං නොපෙනී ගිහිං තියෙනවා.  

කොහොමිං හරි බොහොම අමාරුවෙන් උණ පහුර අයින් කරල ගැටගහල උදේ එළිවුනාම සල්ලිත් අරං රාත් බීල හෙන්දප්පුයි, අන්දිරිසුයි ගමට ආව. ගමට කිට්ටුවෙනකොට ටිකක් අමුතුයි. ගමේ මළගෙයක්. ඊයෙ රාත්‍රි යනකොට එහෙම දෙයක් ගමේ තිබුණේ නෑ. මොකද්ද මේ කියල දෙන්න ගමේ අයෙක් එක්ක කතාවට වැටුණා. ගමේ මනුස්සය කීවෙ මෙන්න මෙහෙම කතාවක්.  
ඇයි දන්නැද්ද සීටිං අයියට යකෙක් ගහල මැරිලනෙ ඊයෙ රාත්‍රියෙ. මීගමු යන්ඩ උණපහුර ළඟට යනකොටලු වැඩේ වෙලා තියෙන්නෙ. බෙල්ල පැත්තටලු යකා ගහල තියෙන්නෙ. ඇඟිලි පාරත් තියෙනවලු.  
මේ කතාව ඇසූ හෙන්දප්පු අන්දිරිස්ට කිට්ටු කර ඇසුවේ ඈ බං මලයො එතකොට කව්ද අපිත් එක්ක උණපහුර පැදගෙන ගියේ. ඒ සීටිං නොවෙයිද? කියායි.  

ඇයි උඹ අහල නැද්ද ඔහොම දේවල් සිද්ධ වුණහම මහසොහොන් අවතාරෙ ඒ විදිහට එනවලු. එහෙම වෙන්නෙ හරියට ජාම වෙලාව ආවිටලුයි කී අන්දිරිස් ඉවත බලාගත්තේය.  
මම නං ආයෙ කවදාවත්ම උණපහුරු පදින්ට යන්ට එන්නෙ නෑ. මට බෑ මහසොහොන් අවතාරත් එක්ක පයුරු පාසං, හෙන්දප්පු කිව්වා.  
ඈ බං අන්දිරිස් අයියෙ පහුරෙ කෙළවරේ හිටි එකා අපිත් එක්ක කතා කළත් එක්කනෙ. උෟත් හරියටම සීටිය වගේමයි.  
ඔව් බං අවතාර එහෙම තමා අපට හොයාගන්ඩ බැරි විදිහට වෙස්ගන්නවා කියමින් සීටිංගේ මළ ගෙදරට ගොස් මේ සම්පූර්ණ සිද්ධිය එහි සිටි අයට කීවෝය.  

මළගෙදර සිටි උදවිය ගල් ගැසී බලාසිටියේ මෙය අදහාගත නොහැකි සිද්ධියක් නිසාය.
ධර්මරත්න තෙන්නකෝන්
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 10, 2018

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා.....(nidan harima අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

“සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ”   නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි.  පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය.  නිධන් හොරුන් නිධානය ගොඩගැනීමට යන තැනට නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කැලේ ඇතුළට කිලෝමීටර් පහක පමණ දුරක් යා යුතුය.   එය අතිශය දුෂ්කර ගමන් මගකි. වැටලීම සිදුකළේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   

අලි ඇතුන්, විෂඝෝර සර්පයන් බහුල වශයෙන් ගැවසෙන මහා වනාන්තරයට පොලිස් කණ්ඩායම ඇතුල් වන විටත් හතර වටින් සැඳෑ අඳුර ගලා එමින් තිබුණේය.    පොලිස් කණ්ඩායම මහා වනාන්තරය තුළට ඇතුළු වූයේ ජීවිත අවදානම දෝතින් දරාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි.  නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක පමණ දුරක් ගෙවා පොලිස් කණ්ඩායම නිධානය ඇතැයි කියන ගල්තලාවක සහිත පොකුණ සමීපයට යන විට පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇත.   එතනින් එහාට වෙච්ච දේවල් පමණක් නොව අරුම පුදුම අද්භූත සිද්ධියක් ගැන ද තොරතුරු හෙළිකළේ මෙම වැටලීමට නායකත්වය දුන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද මහතාය.   

“මගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබුණ නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ නිධානයක් ගොඩගන්න යනවා කියා. ලැබුණු මේ තොරතුරු ගැන අපේ උසස් පොලිස් නිලධාරින්ටත් දැනුම් දීලා නිධන් හොරුන් අල්ලන්න වැටලීමක් සැලසුම් කළා. නිධන් හොරු පසුගිය සඳුදා කැලෑවට එනවා කියා තොරතුරක් ලැබුණු නිසා කැලෑවට ගිහින් රැක සිටියත් ඔවුන් ආවේ නැහැ. ආයෙත් තොරතුරක් ලැබුණා මේ කට්ටිය 8 වැනිදා එනවා කියා. ඒ අනුව මම තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ක රැලපනාවේ ඉඳලා කිලෝමීටර් පහක් පමණ කැලෑව ඇතුළට ගිහින් නිධානය තියෙනවා යැයි කියන ස්ථානයේ සැඟවී සිටියා.   

සුදු හැඳගත් දෙන්නෙක් ගල් තලාවේ පොකුණ ළඟ හිටගෙන යාතිකා කරන්න පටන් ගත්තා. විනාඩි 20 ක් විතර දෙන්නා මේ විදිහට යාතිකා වුණා. ඊට පස්​ෙස් දෙන්නාම ඒ පොකුණට බැහැලා ප්ලාස්ටික් කෑන් දෙකකින් වතුර ඉසීමට පටන් ගත්තා. වතුර ඉස්සාට පස්​ෙස් එතැනින් කළුගලකින් නෙළන ලද නෙළුම් මලක් මතුවුණා. එක් අයෙක් ඒ මලට කුළු ගෙඩියකින් ගසා කඩා දැමුවා. තවත් කෙනෙක් යකඩ ඉන්නකින් ගසමින් බොහෝම අමාරුවෙන් කළුගලකින් නිමවන ලද ලෑල්ලක් වැනි දෙයක් ඉවත් කළා. ඒත් එක්කම කළු පැහැති ලොකු දුමාරයක් ඉහළට විහිදී ගියා. ඒ දුමාරයත් එක්කම වාගේ සඳුන් සුවඳට සමාන සුවඳක් අවට ප්‍රදේශය පුරාම පැතිර ගියා. ඒ සුවඳ සෑහෙන වේලාවක් යනකම්ම තිබුණා.   

නිධන් හොරුන් දෙදෙනාම එම කළුගල් පියන ඉවත්කර ඒ තුළ තිබූ ගල ඉවත්කර ගත්තා. ඒත් එක්කම අපි එතැනට කඩා වැදිලා දෙන්නම අල්ලාගත්තා” යැයි පොලිස් පරික්ෂක දයානන්ද මහතා කීය.   ඊට පස්සේ වෙච්ච දෙයක් ගැන කිව්වේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාය.   
“මෙම වැටලීමට නායකත්වය දුන් පොලිස් පරීක්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට එක් අයෙක් රුපියල් කෝටියක් දෙන්නම් දෙන්නම මුදාහරින්න කියා තිබෙනවා. ඔහු කෝටියක මුදල ගැන ප්‍රතික්ෂේප කළායින් පස්සේ නිධානයෙන් ගොඩගත්ත ගල දෙන්නම් කියා තිබෙනවා. මේ ගල මිලකළ නොහැකි වටිනාකමක් තිබෙන එකක් බවත් පවසා තිබෙනවා. ඔහු ගල ලබාගැනීමත් ප්‍රතික්ෂේප කරලා තමා දෙන්නාම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෝටියක පගාවක් ප්‍රතික්ෂේප කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක දයානන්ද මහතා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්”  අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ ද අනෙකා නිට්ටඹුව ප්‍රදේශයේද පදිංචි අයෙකි.   
මොවුන් දෙන්නාම ධනවත් ව්‍යාපාරිකයෝ වෙති.   වැඩිදුරටත් මේ හා සම්බන්ධව කරුණු කාරණා අනාවරණය කරමින් නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි කතාවකි.   

“මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරුට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන බව ඔහුගෙන් මා ප්‍රශ්න කළ අවස්ථාවේ කියා සිටියා. නවගත්​ෙත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් ටික කාලයකට ඉහත දී මොහුට කතාකර නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ ගල්තලාවක කුඩා පොකුණක නිධානයක් ඇති බවට පවසා තිබෙනවා. තමාට ඇති බලවේගය ඉදිරියේ එය ඇත්තක් ද කියා බැලූ අවස්ථාවේ එතැන නිධානයක් තිබෙන බවට ඔහුට පෙනී ගියා කියා පැවසුවා. මේ ඔත්තුව දුන්නට ඔත්තුකරුට මාතර පුද්ගලයාගෙන් ලක්ෂ 50 ක් ඉල්ලා තිබෙනවා. ඔහු එයට කැමැත්ත ප්‍රකාශ කර අත්තිකාරම් මුදලක් වශයෙන් ලක්ෂ පහක මුදලක් ලබාදී තිබෙනවා. නිධානය ගොඩගන්න කලින් මාතර පුද්ගලයා මාස තුනක විතර කාලයක් යාතිකා වෙමින් ඉඳලා තමා මේ වැඩේට බැහැල තියෙන්නේ. ඔහු මතක අති කාලයක ඉඳලා මස් මාළු කරවල කන්නේ නොමැති බවත් එළවළු පමණක් ආහාරයට ගන්නා බවත් කිව්වා. අනෙකා ඔහුගේ මිතුරෙක්. ඔහු මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාකාරයෙක් බව ප්‍රශ්නකර අප හෙළිකර ගත්තා”   

වර්ණවත් ගල ඔබා තිබුණේ වංගෙඩියක හැඩයකින් යුතු ගල්තලාවේම තිබුණ වළක් තුළ බහාය. එම ගල වටා පරිවාර ගල් දෙකක්ද තිබියදී පොලිසිය සොයාගෙන ඇත.   නිධානය ගොඩ ගැනීමට යොදාගත් කුළු ගෙඩිය හා යකඩ ඉන්නද පොලිස් භාරයට ගෙන තිබේ. අපි නැවතත් පොලිස් පරික්ෂක දයානන්ද මහත්තයා කියන කතාවට සවන් දෙමු.   

 “මෙම ගල ගොඩට ගත්තාට පස්සේ මම ඒක අල්ලා බලන්න හැදුවා. ඔවුන් කිව්වා දැන්ම ඒක අල්ලන්න එපා ඒතරම්ම බලගතු මැණිකක් කියා. ඒ නිසා මම ඒ වෙලාවේ ඇල්ලුවේ නැහැ. පස්සේ තමා ඇල්ලුවේ. මෙම ගල ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියට පරික්ෂණ සඳහා ඉදිරිපත් කර පරික්ෂණයක් සිදුකරනවා. මෙය නිල් පැහැති ග්‍රෑම් 250 ක් පමණ බරකින් යුක්ත බව හෙළිවුණා. මෙය ගොඩගත්තාට පස්සේ ලොකු වැස්සක් පතිත වුණා.   
 නිධානය ගොඩගත්ත ස්ථානය හා ඒ අවට මම ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගත්තා. මගේ ඒ කැමරාවේ අමුතු තාලයේ දීප්තිමත් එළියක් දක්නට ලැබුණා” යැයිද පොලිස් පරික්ෂකවරයා කීය.  සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 දක්වා රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.   

 වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන සහ සහකාර පොලිස් අධිකාරි එස්.බී.එම්. සන්දනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද, උපපොලිස් පරික්ෂක පී,එම්.එල්. පතිරණ යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.   
 පොලිස් සැරයන් ධර්මසිරි (41440), කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), මුදියන්සේ (63079), කැලුම් (71232), නිදර්ශන් (38593) සහ රාජකරුණා (55080) යන මහත්වරුද මෙම පරික්ෂණවලට හවුල් වී සිටිති.  
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවූ වර්ණවත් ගල මැණිකක් නොවන බව දන්වා ඇති බවද දැනගන්නට ලැබිණ. 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  ලංකාදීප පුවත්පත
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, January 6, 2018

2018 ලග්න පලාපල‍ ටොලමියානු ජ්‍යොතිෂ ගණනය කිරීම් අනුව.....(2018 Lagna palapala අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ජනවාරි පළමුවැනිදාට අලුත් අවුරුදු ලග්න පලාපල කිව හැකි කිසිම සිද්ධාන්තයක් ලොව පවතින කවර ම හෝ ජ්‍යොතිෂ ක්‍රමයක භාවිතා නොවෙයි.
ඊට හේතුව වන්නේ ජනවාරි 01 දා අලුත් අවුරුදු උදාවක් ලෙස ජ්‍යොතිෂය විසින් නොසලකනු ලැබීමයි. ජ්‍යොතිෂය අනුව අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ඕනෑම වසරක රවි ග්‍රහයා අස්විද නැකතේ ගමන් ආරම්භ කිරීමත් සමඟ ය. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ අප්‍රේල් 12-13-14-15 යන දින ආශ්‍රිතවයි.
එහෙත් ජනවාරි පළමුවැනිදා නව වසරක උදාව ලෙස සමස්ත ලෝකයම විසින් ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් 'උදා වූ නව වසර ' සම්බන්ධයෙන් ලග්න පලාපල කීමේ පුරුද්දක් අපරදිග මෙන් ම පෙරදිග රටවල ද කාලයක සිට සිදු වෙයි. එහිලා වාර්ෂික ලග්න පලාපල කීම සඳහා උපයෝගී කැර ගැනෙන්නේ ඉදිරි ග්‍රහ ගෝචරය යි. ඒ අනුව ගත්තද ලොව වසන සෑම සියලු දෙනාටම එක ලෙස ම ඒ ග්‍රහ ගෝචරය බලපාන්නේ නැත. මන්ද එක් එක් අයගේ ජන්ම ග්‍රහ පිහිටීම් එක හා සමාන නොවන හෙයිනි. මෙහිදී සිදු කෙරෙන්නේ ජන්මියා උපන් ලග්නය පමණක් කේන්ද්‍ර කොට ගෙන පොදු පුරෝකථනයක් සිදු කිරීමයි.
එය ඔබේ ජීවිතයේ ඉරණම පිළිබඳ අවසන් තීන්දුව නොවන්නේ ය. මෙහි මතුවට සිදුකරන පුරෝකථතනය ඔබේ ජීවන ගමනට මාර්ග සිතියමක් ලෙස සලකා ඉන් විහිදෙන ආලෝකය දැකීම මැනවි.
මේෂ - උන්නතිකාමය තීව්‍ර කරයි
මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන හතරම පූර්ණත්වයට පත්ව උත්තේජනය වෙමින් තිබියදී ය. ලග්නයේ යුරේනස් ද 4 වැන්නේ රාහු ද 7 වැන්නේ ගුරු ද 10 වැන්නේ කේතු ද තැන්පත්ව සිටි. සෙනසුරු සහ ප්ලූටෝ 09 වැන්නේ ද නෙප්චූන් 11 වැන්නේ ද ගමන් ගනී. කෙටියෙන් ම කිවහොත් මේ වනාහී උද්වේගකර ග්‍රහ සිත්තමකි. ලග්න ශීර්ෂය මත සිටින යුරේනස් ඔබ තුළ ඇති සටන්කාමී ගිනි බලය උපරිමයෙන් අවුළුවයි. එයින් අංශක 90 ක දෘෂ්ටිය ඇතිව 4 වැන්නේ රාහු ඔබේ සිත තුළ ඇති උන්නතිකාමය නම් කලබලය තීව්‍ර කරයි. අංශක 180 දෘෂ්ටිය ඇතිව ගුරු 7 වැන්නේ සිටිමින් ඔබ තුළ ඇති තාර්කික ප්‍රඥාව නම් වේගය ජනිත කරයි. ලග්නයට අංශක 90 ක් සමීපව 10 වැන්නේ සිටින කේතු නැවත ඔබ තුළ ඇති කාර්යක්ෂමතාව නම් වේගවත් ගිනි බලය ම මතු කරයි. 09 වැන්නේ ත්‍රිකෝණස්ථානයේ සිටින සෙනසුරු සහ ප්ලූටෝ අළු යට ගිනි පුපුරු මෙන් එතැන ද ඔබ තුළ ඇති යුක්තිය සහ අරගලය පිළිබඳ ගිනි බලය නිර්මාණය කරයි. 11 වැන්නේ නෙප්චූන් මේ සියල්ල මැද ඔබ තුළින් ඔබට උරුම විප්ලවකාරී දාර්ශනික භූමිකාවක් ගොඩනගයි. මේ සාධක ඇසුරින් 2018 වසරේ ග්‍රහ චලනය විසින් ඔබ තුළින් මතු කරවනු ලබන්නේ කුමන ස්වරූපයක් ද ? කුමන ක්‍රියාකාරීත්වයක් ද ? ඒ කුමක් වූවත් මේ ඉස්මතු වන්නේ ඔබේ ම සහජ ප්‍රකෘතියයි.
සමස්තයක් වශයෙන් ගත් කල ටොලමියානු ජ්‍යොතිෂ ගණනය කිරීම් අනුව ඔබේ ජීවිතයේ හතර මායිම හෙවත් 1-4-7- 10 යන කේන්ද්‍රස්ථාන සහ ඔබේ පෞරුෂය කියාපාන ත්‍රිකෝණස්ථාන තුළින් ගිනි + වායු බල සංයෝගය උපරිමයෙන් උත්තේජනය වන අතර ගිනි බලය 3/4 කි. අධි වේගයෙන් ධාවනය වන වාහනයක වේගය අඩු කිරීම හෝ එය නතර කිරීම හෝ කළ හැක්කේ එකී වාහනය තුළම ඇති යන්ත්‍රණයෙන් පමණි. නැතහොත් යම් කිසිවක ගැටීමෙන් හෝ පෙරළීමෙන් හෝ වාහනය නතර වනු ඇත.
මේ වර්ෂය පුරා ම ඔබ විසින් මුහුණ දෙනු ලබන්නේ එකකට එකක් වෙනස් සුළි සුළඟක් බඳු උද්වේගකර සිදුවීම් මාලාවකට බව පෙනෙයි. ඊට සමාන්තරව මෙතෙක් පැවති ඔබේ ජීවන රිද්මය උඩු යටිකුරු පරිවර්තනයකට ලක්වෙයි. පැරණි බොහෝ දේ ඉවත්ව අලුත් ම අලුත් දේ ජීවිතයට ළඟා වෙයි. 2017 ට වඩා 2018 ඔබට සැමතින් ම වැඩදායක ය. එහෙත් අධි වේගය පාලනය කරගත යුතුය. විවාහය ගෘහස්ථය රැකියාව සහ ඔබේ පෞරුෂය යන සියල්ල ම ඉදිරි කාලයේදී උද්වේගකර අවස්ථාවන්ට මැදිවෙයි. මේ ඔබ හිතන සහ කරන දේ පිළිබඳව දැඩි ලෙස පරිණතභාවය ම පෙන්විය යුතු අවස්ථාවකි.
වෘෂභ - දුෂ්කරතා දැඩි වූවත් සහනය ලැබිය හැකිය
අනම්‍ය පඨවි බලයෙන් යුතු ඔබට මේ වසර උදාවන්නේ ඔබේ කේන්දරයේ 06-08-12 යන මර්මස්ථාන ත්‍රිත්වය ම පීඩනයකට ගොදුරු වෙමින් තිබියදී ය. ගුරු 06 වැන්නේ ද සෙනසුරු 08 වැන්නේ ද යුරේනස් 12 වැන්නේ ද වෙති. මේ එතරම් හිතකර ග්‍රහ චලනයක් නොවේ. 06 වැන්නේ ගුරු ඔබට නිධන්ගත රෝගාබාධ ඉස්මතු කරවන අතර 08 වැන්නේ සෙනසුරු අවාසනාව සහ පීඩනය ගෙන දෙයි. 12 වැන්නේ යුරේනස් විනාශය තීව්‍ර කරයි. එහෙත් ඔබ මේ කිසිවකින් කම්පාවට හෝ පසුබැස්මට හෝ පත්විය යුතු නොවේ. 03 වැන්නේ රාහු සහ 09 වැන්නේ කේතු විසින් එකී පීඩනය සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරයි. 2018 මාර්තු 06 දා සිට සෙනසුරු සිකුරුගේ නැකතේ ගමන් ගන්නා කෙටි කාලය ද ඔබට සුබදායක වෙයි. 10 වැන්නේ නෙප්චූන් ඔබේ වෘත්තීය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය උදාසීනභාවයට පත් කරයි. ඔබට සහජයෙන් ම සතුරු ගිනි සහ වායු බලය ඔබට අති සතුරු මර්මස්ථාන ත්‍රිත්වය උත්තේජනය කිරීම ද අභියෝගාත්මක අවස්ථාවක් වෙයි.
2018 වසරේදී ඔබේ කේන්දරයේ ගිනි සහ වායූ බලය 60 % කි. ඔබට හිතකර පඨවි සහ ජල බලය විසින් ඉතිරි 40 % ආවරණය කරන මුත් එකී ශක්ති කලාප ද්විත්වය ද උත්තේජනය වන්නේ විකෘති ආකාරයකිනි. එහෙත් මෙහි නොපෙනෙන වාසනාවක් ද සැඟවී පවතී. ගුරු සහ සෙනසුරු 2018 වසරේ අවස්ථා දෙකකදී වක්‍ර වෙයි. ටොලමියානු ජ්‍යොතිෂය හැම විටම වක්‍ර ග්‍රහයා පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වයි. ඒ අනුව එකී ග්‍රහයන් දෙදෙනා 06 සහ 08 වැන්නේ වක්‍ර වන අතරේ 03 වැන්නේ රාහු විසින් එකී අවස්ථාව ඔබේ වාසියට පරිවර්තනය කරනු ලබයි. එහි තේරුම වන්නේ හාත්පස දිගුකාලීන ඉඩෝරයක් පවතින මුත් අනපේක්ෂිතව මහවැසි ඇද හැලී ජල උල්පත් පිටාර ගලා යන බවයි. එවැනි අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට මේ දුෂ්කර කෙටි කාලය ඉතා පහසුවෙන් ගත කළ හැකි වෙයි. දුෂ්කරතාව කොතෙක් දැඩි වූවත් එයින් ඔබට සහනය ලැබිය හැකිය. ඒ සඳහා ඇවැසි වන්නේ ඉවසීම සහ අධිෂ්ඨානය පමණි. යුගදිවියේ තෘප්තිය හීන විය හැකි නමුත් එය විවාහය බිඳී යෑමට හේතුවක් නොවේ. දියවැඩියාව අක්මාවේ තෙල් තැන්පත්වීම අධික ස්ථූලතාව රුධිරගත මේදය ඉහළ යෑම ආදී රෝග ඉස්මතු විය හැකි නමුත් ඔබගේ ඇවතුම් පැවතුම් මගින් ඒවා වළක්වාගත හැකිය. රැකියාව ව්‍යාපාරය ආශ්‍රිත අනපේක්ෂිත කඩාවැටීම් සිදු වූවත් ඒ අතරම රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව අනපේක්ෂිත වාසිදායක තත්ත්වයන් ද නිර්මාණය වෙයි. එසේ නමුත් අලුත් ආයෝජන කිරීමට වඩා දැනට පවතින දෙයෙහි පාඩුව සහ පීඩනය අවම කැර ගැනීමට උත්සුකවීම වඩාත් ප්‍රායෝගික වෙයි.
මිථුන - අසීරුව සීරුවෙන් ජය ගනී
සංවේදී වායු බලැති මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ වසර උදාවන්නේ සෙනසුරු සහ ප්ලූටෝ 7 වැන්නේ ද කේතු 8 වැන්නේ ද නෙප්චූන් 9 වැන්නේ ද යුරේනස් 11 වැන්නේ ද රාහු 2 වැන්නේ ද ගුරු 5 වැන්නේ ද පිහිටා සිටින සංකීර්ණ ග්‍රහ සිත්තමක් සමගිනි. වායූ බලැති යුරේනස් සහ රාහු අතර අංශක 90 පිහිටීමක් සහිතව කේන්දරයේ නැගෙනහිර අර්ධය මුළුමනින් ම ඔවුන් දෙදෙනාගේ පාලනයට නතුව තිබේ. කේන්දරයේ බටහිර අර්ධය ගුරු සෙනසුරු ප්ලුටෝ කේතු නෙප්චූන් යන ග්‍රහයන් 5 දෙනා විසින් පාලනය කරනු ලැබේ.ආංශිකව ගතහොත් කේන්දරයේ ඊශානට යුරේනස් ගිනිකොණට රාහු නිරිතට ගුරු බටහිරට සෙනසුරු සහ ප්ලුටෝ වයඹට කේතු -නෙප්චූන් යන ග්‍රහයන් ස්ථානගත වෙයි. ඔබේ ජීවිතයේ මෙතෙක් පැවති සාපේක්ෂ සමතුලනය බිඳී යෑමට සහ ඉලක්කගත සැලසුමක් මත මෙතෙක් ගෙන ගිය ජීවන රටාව වෙනස් කිරීමට ප්‍රබල කරුණු යෙදෙයි. මෙහි සැලකිය යුතු පීඩනයක් එල්ල වන්නේ රස්සාව සහ පරස්තාව යන දෙකට ය. විවාහයෙන් පිටත සමාජමය හෝ විකල්ප සබඳතාවන් කෙරෙහි නැඹුරුවීම සහ රැකියාව හෝ තනතුරු ආශ්‍රිතව වෙනස්කම්වලට මුහුණ පෑමට සිදුවෙයි. මෙහි ආරම්භය පීඩාකාරී ලෙස මතු වූවද වසරේ මැද භාගයේ සිට තත්ත්වය ප්‍රගතිදායක වෙයි.
කඩිනමට වඩා කලබලය ද වේගයට වඩා ආවේගය ද තීරණයට වඩා අතීරණය ද කිව යුත්තට වඩා නොකිව යුත්ත ද යන උභතෝකෝටික අවස්ථාවලදී නිසි දේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබ තරමක් හෝ සාර්ථක වන්නේ 8 සහ 9 අධිපති 7 වැන්නේ ගමන් ගැනීම නිසාය. මාර්තු මාසයෙන් පසුව ඔබ මේ සම්බන්ධයෙන් දැඩි ලෙස පරිස්සම් විය යුතුය. සෙනසුරු සහ ගුරු වක්‍රවන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි. නීතී ගැටලු මතු නොවන ලෙස ඇඟ බේරාගෙන වැඩ කිරීම මැනවි. 02-07-08 යන මර්මස්ථාන ත්‍රිත්වයේ පිළිවෙළින් රාහු සෙනසුරු ප්ලුටෝ කේතු යන ග්‍රහ ගෝචරය හිතකර නොවේ. හදිසි ආපදා ඉස්මතු කරවන ග්‍රහචාරයකි. එහෙත් ත්‍රිකෝණස්ථානගත ගුරු සහ නෙප්චූන් බලවත් හෙයින් ද 11 වැන්නේ යුරේනස් අධික්‍රියාකාරීත්වයෙන් යුතු හෙයින් ද ඔබගේ කටයුතු පිළිබඳව ජන ආකර්ෂණය ලබා ගන්නාවූ බලයක් නිර්මාණය වෙයි. ඒවා ප්‍රතිඵලදායක ආයෝජන බවට පරිවර්තනය කැර ගැනීමට ඔබ උපායෙන් සහ ඥානයෙන් පොහොසත් විය යුතුය. ඔබට මිතුරු වායු සහ ගිනි බලය 50 % කි. ඔබට සතුරු ජල සහ පඨවි බලය 50 % කි. එහෙත් 02 සහ 08 වැන්නේ උත්තේජනය නිසා ඔබට වාසිදායක තත්ත්වය පවා දෝලනය වන සුලුය. අසීරුව ජයගත යුත්තේ සීරූවෙන් යන පණිවිඩය 2018 වසර පුරා සිහි තබා ගන්න.
කටක - දැළි පිහියෙන් කිරි කෑම
ජල බලයෙන් යුත් කටක ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන සියල්ල ම උත්තේජනය වෙමින් තිබියදී ය. රාහු ලග්නයේද ගුරු 4 වැන්නේ ද කේතු 7 වැන්නේ ද යුරේනස් 10 වැන්නේ ද සිටී. සෙනසුරු ප්ලුටෝ 6 වැන්නේ ද නෙප්චූන් 8 වැන්නේ ද වෙයි. එසේ ගත් කල 6-7-8 යන මර්මස්ථාන ත්‍රිත්වය ද උත්තේජනය වෙයි. 10 වැන්නේ හෙවත් ආලෝක දෘශ්‍යාර්ධය මුදුනේ සිටින යුරේනස් ඔබේ වෘත්තීය තනතුරු සහ සමාජ බලය කැපී පෙනෙන ලෙස ඉහළට ම ඔසවයි. එය අනභිබවනීය වන අතර 4 වැන්නේ ගුරු විසින් එකී තත්ත්වය සම්භාවනීය ස්වරූපයකට පරිවර්තනය කරයි. එහෙත් ලග්නයේ රාහු සහ 7 වැන්නේ කේතු යට කී බලය විපරිවර්තනය කරයි. ටොලමියානු ජ්‍යොතිෂය අවබෝධ කැර ගැනීමට උත්සුක වන විද්‍යාර්ථීන්ට මේ කදිම අභ්‍යාසයකි. බලන්න. 4-10 (තුලා+මේෂ) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වීම ජන්මියාට උසස් බලයක් ගෙන දෙයි. එහෙත් 1-7 (කටක+මකර) පරම ප්‍රතිපෝෂක රාශි ද්විත්වය උත්තේජනය වන්නේ ජන්මියාට පරම සතුරු වූ වායු සහ ගිනි හෙවත් රාහු - කේතු අක්ෂයෙනි. එහි ප්‍රතිඵලය වන්නේ ජන්මියාට පෙර ලැබුණු උසස් බලය හේතු කොට ගෙන ඔහුගේ
පෞරුෂ ප්‍රතිරූපය සහ සමාජ සම්බන්ධතා ඉතා භයානක ලෙස පිරිහීමට ලක්වීමයි . එය දිගුකාලීනව ජන්මියාට බලවත් අවාසියකි. 06 වැන්නේ සෙනසුරු බලවත් ය. එහෙයින් ජන්මියා අපරාජික වෙයි. මේ නිසා කටක ලග්න හිමියා මේ කාලයේදී ක්‍රියාකරන්නේ සක්විති රාජ ලීලාවෙනි. ඒ අනුව ඔහුට තම අඩුපාඩු වටහා ගැනීමට ද අවස්ථාවක් නො ලැබෙයි. ඔහු හෝ ඇය බලයෙන් මත් වූ මායා ලොවක ජීවත්වන අතර 08 වැන්නෙ නෙප්චූන් විසින් ඊට උපරිම අනුබලය සපයනු ලැබේ. එසේ නමුත් ගුරු සහ සෙනසුරු වක්‍ර වූ විට හෝ රාහු කේතු අක්ෂය 6 සහ 12 වැන්නට සමීප වූ විගස සියල්ල ආපිට කැරකෙන භූමරංගයක් බවට පත්වෙයි. කටක ලග්න හිමියා මේ පවතින ස්වභාවය යථා නුවණින් වටහාගත යුතුය. දැළි පිහියෙන් කිරි කනවාක් මෙන් පරෙස්සම් විය යුතුය.
සමස්තයක් වශයෙන් ගත් කල කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ගිනි සහ වායු බලයේ එකතුව 80 % කි. අති ධාවනකාරී උන්නතිකාමී ගමනක යෙදෙයි. එහෙත් ඒ වේගය ඔබට ඔරොත්තු දෙන්නේ සීමිත කාලයකට බව හැම විටම මතක තබාගතහොත් ඔබේ සාර්ථකත්වය සුරැකෙනු ඇත.
සිංහ - වෙස්වළාගත් ආශීර්වාදයක්
ගිනි බලයෙන් යුත් සිංහ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ සෙනසුරු 5 වැන්නේ ද යුරේනස් 9 වැන්නේ ද සිටින බලවත් ත්‍රිකෝණ බලයක් සහිතවයි. ගුරු 3 වැන්නේය. රාහු 12 වැන්නේය. කේතු 6 වැන්නේ ද නෙප්චූන් 7 වැන්නේ ද වෙයි. ඔබගේ ලෞකික භෞතික දියුණුව සම්බන්ධයෙන් ගත් කල නම් මේ වනාහී ඉතා දුර්වල ග්‍රහ ගෝචරයකි. විශේෂයෙන්ම විවාහය, හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදියෙහිදී එකී දුබලතාව කැපී පෙනෙයි. ඒ සියල්ලටමත් වඩා බලවත් ම පීඩාව පෙන්නුම් කරන්නේ රැකියාව සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙනි. ලබන මාර්තු මාසයෙන් පසු ඔබේ රැකියාව ආශ්‍රිත කැපී පෙනෙන වෙනස්වීම් හටගනී. කේන්දරයේ 05-09 ගිනි ත්‍රිකෝණස්ථාන සෙනසුරු සහ යුරේනස් විසින් උත්තේජනය කරනු ලබන අතර එයද එතරම් ප්‍රසන්න තත්ත්වයක් නොවේ. එහෙත් 3 වැන්නේ ගුරු විසින් සෙනසුරු සහ යුරේනස් අතර ත්‍රිකෝණ දෘෂ්ටි සම්බන්ධය නිර්මාණය කරන හෙයින් සියලු අමිහිරි බාධක ඉවසමින් ප්‍රඥාව පෙරටුව ක්‍රියාකිරීමේ හැකියාව වර්ධනය කරයි. ඒ සමගම ඔබ තුළ අදෘශ්‍යමාන බලයක් ආරෝපණය කරයි. මේ වාසිදායක තත්ත්වය නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඔබට බොහෝ ජයග්‍රහණ ලැබිය හැකිවෙයි.
එහෙත් 7 වැන්නේ නෙප්චූන් ඔබේ සමාජ සබඳතා කෙරෙහි කිසිසේත් හිතකර නොවන්නා සේම විවාහය හෝ කලත්‍රයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වැරදි වැටහීම් ගෙන දෙයි. සෙනසුරුගේ 3 වැනි දෘෂ්ටියෙන් පීඩිතවන නෙප්චූන් කිසියම් විකාරරූපී තත්ත්වයකට පත්වන්නා සේම නෙප්චූන් වෙත එල්ලවන ගුරුගේ අංශක 120 සුබ දෘෂ්ටිය හේතු කොටගෙන එකී අවාසිය පවා ඔබට වෙස්වළාගත් ආශීර්වාදයක් බවට පරිවර්තනය වෙයි. කේන්දරයේ ඊශාන අක්ෂය මුළුමනින්ම පාහේ රාහුගේ බලයට නතුවෙයි. නිරිත අක්ෂය සෙනසුරු කේතු ප්ලූටෝ යන ග්‍රහයන් තිදෙනා අතර බෙදී යන අතර නිරිත අක්ෂය එක් අතකින් බලවත් වන අතර අනෙක් අතින් පීඩනයට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ බලය සහ පීඩනය අතර ඔබ ඉතා සුළු ප්‍රතිලාභයක් පමණක් ලබා ගන්නා බවයි. ඔබ කිසියම් නිධන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් ඔබේ ඇවතුම් පැවතුම් සහ ආහාරපාන පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. ගුරු සහ සෙනසුරු වක්‍රව ගමන් කරන අවස්ථා ඒ අතරින් විශේෂිත වෙයි.
සමස්තයක් වශයෙන් ගත් කල ටොලමියානු ශක්ති චක්‍ර අනුව මේ වසරේ ඔබේ ගිනි සහ වායූ බලය 70 % කි. ජල බලය 20 % කි පඨවි බලය 10 % කි. උද්වේගකර සහ අස්ථාවර ජීවන රිද්මයකි. තව ලෙසකට කිවහොත් බොහෝ දේ සඳහා දායක වන මුත් ඉතිරිවන දෙයක් ඇත්තේම නැත. එහෙත් එය කදිම අනාගත පෙරහුරුවක් හෝ ආයෝජනයක් බව අමතක නොකළ යුතුය.
කන්‍යා - තනතුරු සහ බලය වැඩේ
පඨවි බලයෙන් යුත් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ කේන්දරයේ දෘශ්‍යාර්ධය මුළුමනින්ම පාහේ රාහු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනාගේ පාලනයට නතුව තිබියදීය. ඔබට ප්‍රතිපෝෂක වූ 11 වැන්නේ රාහු ඉතා බලවත් වෙයි. මෙතෙක් ඔබට අහිමිව හෝ භුක්ති විඳීමට ඉඩ නො ලැබුණු තනතුරු බලය සහ අවස්ථාවන් වේගයෙන් ඔබ කරා ළඟාවෙයි. භෞතිකමය සැප සහ සමාජ බලය වර්ධනය වෙයි. 08 වැන්නේ ගමන් කරන යුරේනස් ද යට කී වාසිදායක වාතාවරණය උද්දීපනය කරමින් විශේෂයෙන්ම රැකියාව තනතුරු සහ බලය සම්බන්ධයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයන් හිමිකර දෙයි. 02 වැන්නේ ගුරු එහි ප්‍රතිලාභ තහවුරු කරයි. ඒ සමඟම ඔබේ කේන්දරයේ ආලෝක මුදුන වූ බලවත් 10 වැන්න වෙත ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටිය පතිත වෙයි. මේ පවතින තත්ත්වය ඔබට ඉතා වාසිදායක නමුත් ඒ තුළ අදෘශ්‍යමාන අනතුරක් සහ ක්ෂණික කඩාවැටීමක් ගෙන දීමට අවශ්‍ය සාධක සැඟවී තිබෙන බැව් වටහාගත යුතුය. 10 වැන්නෙන් 2 වූ 11 වැන්නේ රාහු සහ 10 වැන්නෙන් 11 වැන්න වූ 8 වැන්නේ යුරේනස් අතර හටගන්නා අංශක 90 සම්බන්ධය අවදානම් සහගත වෙයි. බාහිර හෝ අභ්‍යන්තර පිපිරීම් කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැව් සිහි තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. කේන්දරයෙන් 08 වැන්නේ ගිනි රාශි මර්මස්ථානයේ ගමන් ගන්නා යුරේනස් යනු කාල බෝම්බයකි. ඉදිරි වසර 7 පුරාම එකී අවදානම පවතී. ඔබේ කේන්දරයේ ඊශාන අක්ෂය රාහුට ද නිරිත අක්ෂය කේතු සහ නෙප්චූන්ට ද හිමිවෙයි. ගලා හැලෙන දිය
දහරාවක් මෙන් ජයග්‍රහණ වාසි පොදියක් ඔබ විනිවිද ගමන් කරන මුත් ඒ කිසිවක් ඔබ සතුව දිගුකාලීනව රැඳෙන්නේ නැත. ගිනි බලයට අයත් 4 වැන්න සෙනසුරුට හිමිවන්නා සේම ඔහු එකවර ඔබේ සිතිවිලි සහ ක්‍රියාව යන දෙකටම මහත් බලපෑමක් ගෙන දෙයි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 05 සහ 06 අධිපති වෙයි. අති ධාවනකාරී හිතුවක්කාර ගති ඉස්මතු කොට ඒ හරහා ම ඔබේ කටයුතු අවුල් කිරීම සෙනසුරුගේ භූමිකාව බව අමතක නොකරන්න. 06 සහ 08 අතර පවතින නෙප්චූන් සහ යුරේනස් සම්බන්ධය අහිතකරය. එහි පීඩනය තවත් උත්සන්න කෙරෙනුයේ කේන්දරයේ 7 වැන්නටය. සමාජ සබඳතා විවාහය හවුල් ව්‍යාපාර ආදියෙහිදී රැවටීම්වලට ලක්වීම මෙන්ම උද්වේගකර ගැටුම්කාරී අවස්ථාවන් එමගින් නිර්මාණය කරයි.
සමස්ථතයක් වශයෙන් ගත් කල ඔබේ කේන්දරයේ ඔබට සතුරු වායු බලය 60 %කි. ගිනි බලය 20 %කි. බලයෙන් සහ රැවටීමෙන් නොමග ගියහොත් එහි ප්‍රතිඵලය වන්නේ සිටියාටත් වඩා පහත් අඩියකට ඇද වැටීමය. ඔබ යන ගමන කල්පනාවෙන් යා යුතුය.
තුලා ලග්නය
ප්‍රබල වායු බලයෙන් යුත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදා වන්නේ ඔබේ කේන්දරයේ දෘෂ්‍යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ රාහුගේ බලය විහිදෙමින් තිබියදීය. මෙතෙක් ඔබ තුළ යටපත් ව තිබූ වේගය ආවේගය සහ අධි ක්‍රියාකාරීත්වය මෙන්ම අණසක පැතිරවීම නිර්භීත්බව ඉස්මතු වෙයි. කේන්දරයේ උතුරු දෙස මතු නොව සමස්ත දෘෂ්‍යාර්ධයම රාහු සහ ගුරු විසින් පාලනය කරනු ලැබේ.ගුරු සහ රාහු අංශක 90 පිහිටීමකි. උගත්චණ්ඩියකු මෙන් ක්‍රියාකරනවා පමණක් නොව ආන්දෝලනාත්මක සහ මතභේදාත්මක සිදුවීම් නිර්මාණය කිරීමට ද යොමුවන කාලයකි. යුක්තිය උදෙසා පෞද්ගලික ලාබය නොතකා කිසියම් පොදු සමාජමය හැඟීමකින් ක්‍රියාකරන්නට ගනී. ඒ වෙනුවට විශාල අභියෝග සහ තර්ජන මතුව එන මුත් ඔබ ඒ කටයුතු ආපසු හරවන්නේ නැත. 7 වැන්නේ යුරේනස් යට කී තත්ත්වය අපේක්ෂාවෙන් සිටිනවා පමණක් නොව එකී තත්ත්වය නිර්මාණය කිරීමට ද ඍජුවම දායක වෙයි. මෙතෙක් ඔබ සමග සිටි බොහෝ දෙනා ඔබ වෙතින් ඉවත්ව යන අතර අලුත් පිරිස් සමීප වෙයි. හවුල් ව්‍යාපාර විවාහය කලත්‍රයා සහ සමාජ සම්බන්ධතා පිළිබඳව විපරිවර්තනයක් හටගනී. ඉදිරි වසර පුරාම ඔබේ කේන්දරයේ අදෘෂ්‍යාර්ධය බලවත් ය. 7 වැන්නේ යුරේනස් 5 වැන්නේ නෙප්චූන් 4 වැන්නේ කේතු සහ තුන්වැන්නේ
සෙනසුරු සමඟ ප්ලූටෝ සිටී. මෙහි එක් විපාකයක් වන්නේ ඔබ බොහෝ වේලාවක් නිහඬව සහ ගුප්ත රහසිගත ඉරියව්වෙන් සැලසුම් සකස් කරන්නා සේම ඔබට එරෙහි අය ද එලෙසින් ම රහසිගත සැලසුම් සකස් කරන බවයි. එහෙත් ජය පරාජය තීරණය කරන සෙනසුරු ඉතා බලවත්ව සහ ගුණවත්ව ඔබේ කේන්දරයේ 3 වැන්නේ පිහිටන හෙයින් අවසන් ජයග්‍රහණය ඔබට ම හිමිවෙයි. 3 වැන්නේ සෙනසුරු සහ ලග්නයේ ගුරු අතර අංශක 60 අති ප්‍රබල දෘෂ්ටි සංයෝගයකි. එහෙයින් ඔබ අපරාජිතවනවා පමණක් නොව කිර්තියෙන් සහ බල පරාක්‍රමයෙන් අද්විතීය ජයග්‍රාහකයකු බවට පත්වෙයි. වසර අටකට පසුව ඔබේ ජීවිතයට උදාවන අභියෝගාත්මක සහ ස්වර්ණමය අවස්ථාවකි. ඔබේ කේන්දරයේ 3-4-5 ගිනිකොණ දකුණ සහ නිරිත යන දිසා අතර සෙනසුරු කේතු නෙප්චූන් යන ග්‍රහයන් තිදෙනා එකම අක්ෂයක පිහිටයි. මෙය දැඩි මානසික ආතතිය සහ ගුප්තමය මායා මානසිකත්වයකට තල්ලු කරනු ලබන පිහිටීමකි. එහෙයින් ශාරීරික සහ මානසික සුවතාව පිළිබඳ අභ්‍යාසයන් අත්‍යවශ්‍ය වෙයි.
ඔබේ කේන්ද්‍රයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන පිළිවෙළින් ගුරු කේතු යුරේනස් රාහු යන ග්‍රහයන් වෙතින් ප්‍රබලව උත්තේජනය වෙයි. 1සහ 7 අක්ෂය ප්‍රතිපෝෂකවන අතර එහි ගුරු සහ යුරේනස් වෙයි. 1 ඔබේ ප්‍රතිරූපය වන අතර 7 ඔබේ අනෙකා හෙවත් ප්‍රතිවාදියා වෙයි. ඔබ ජීවත්වන පරිසරය කුමක් වූවත් ඔබ කරන රැකියාව කුමක් වූවත් ඔබ මේ තැන් දෙකෙහිම අලුත් බලවත් නිර්මාණාත්මක නායකත්ව භූමිකාවකට පත්වෙයි. යුක්තිය උදෙසා සටන් වදින්නකු සහ ඉන් ජය ලබන්නකු බවට පත්වෙයි. ඒ අතරම අලුත්ම සංකල්ප හෝ නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන්නකු බවට පත්වන අතර අගතිදායක බොහෝ දේවල් විනාශ කිරීමට අරගල කරන්නකු බවට ද පත්වෙයි. ඒ වෙනුවෙන් බොහෝ දේ අහිමි කර ගන්නට ද ඔබට සිදුවෙයි. ඔබේ කේන්දරයේ 4-10 ප්‍රතිපෝෂක රාශි ද්විත්වය රාහු කේතු අක්ෂයට මුළුමනින්ම යටත්වන අතර ඔබ හිතන හැටි සහ කරන හැටි එමගින් තීරණය වෙයි. 4 හිතන තැනය. 10 කරන තැනය. ඔබගේ බොහෝ ක්‍රියාකාරකම් මතභේදාත්මක තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක්කේ මේ හෙයිනි. කේතු දේවල් හකුළුවන ග්‍රහයා යැයි සාම්ප්‍රදායික කියමනක් එන මුත් කේතු බලවත් බව අතින් දෙවැනි වන්නේ රවි ග්‍රහයාට පමණි. බලය තේජස අග්නිය සහ නිර්මල සූක්ෂ්ම ක්‍රියාකාරීත්වය අතින් ගත් කළ කේතු අසම සම ග්‍රහයෙකි. අන්න ඒ කේතු දැන් පිහිටන්නේ ඔබේ සිතිවිලි තීරණ ජනිත කරන ස්ථානයේ වන අතර එය සංයමයෙන් යුත් විප්ලවකාරී රාශියක් ද වෙයි.
සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති බල ගණනය අනුව ඔබේ වායු +ගිනි බලය 75 % කි. ජල බලය 5 % ක් වන අතර පඨවි බලය 20 % කි. මේ ඔබේ ජීවිතයට කාලයකට පසුව උදා වූ බලවත් ග්‍රහචාරයකි. 2018 ඔබේ ජිවිතය එක් අතකින් ප්‍රදීපාගාරයක් මෙන් වෙයි. එය තනිව හුදෙකලාව හාත්පස මග පෙන්වමින් ආලෝකය විහිදුවන නමුත් ප්‍රදීපාගාරය පාමුල ඇතැම් විට ආලෝකයෙන් තොර වෙයි. තමා ගැන නොසිතා පරෝපාකාරයේ යෙදුණොත් ඔබ කිසිවකින් පරදින්නේ නැත. දෛවය විසින් ඔබෙන් අපේක්ෂා කරනු ලබන දෙය කුමක් දැයි නිසි ලෙස වටහා ගන්න.
වෘශ්චික ලග්නය
ජල බලයට අයත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ අපූරූ ග්‍රහ පිහිටීමක් සමගිනි. 2 සහ 3 වැන්නේ සෙනසුරු ප්ලූටෝ කේතු ද 6 වැන්නේ යුරේනස් ද 9 වැන්නේ රාහු ද 12 වැන්නේ ගුරු ද පිහිටයි. එනම් කේන්දරයේ ඊශාන ගිනිකොන නිරිත සහ වයඹ යන අනු දිසා හතර ප්‍රබලව උත්තේජනය වෙයි. ඒ අතර ම කේන්ද්‍ර අදෘශ්‍යාර්ධය ප්‍රබල වෙයි. ජීවිතයේ අවරෝහණය හෝ ආපිට කැරකීම එයින් පෙන්නුම් කරන අතර සිතිවිලි අධික එහෙත් ක්‍රියාකාරකම් හීන කරවන ග්‍රහ පිහිටීමකි. ඊශානේ ගුරු තැන්පත්ව සිටින හෙයින් මේ ඔබගේ ජීවිතයේ අභ්‍යන්තර චෛතසික වෙනසකට යොමු කරවන අවස්ථාවක් මෙන් ම අතීත වැරදී නිවරදි කැර ගැනීමට දෛවයෙන් හිමිකර දී තිබෙන දුලබ අවස්ථාවක් වෙයි. 12 සහ 02 වැන්න අතර ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටියක් පතිත වෙත්දී ඒ ඔබගේ ලග්නයෙන් දෙපැත්ත වෙයි. මෙය ඉතාම කලාතුරකින් ඔබට ලැබෙන අමරණීය අවස්ථාවක් වෙයි. උපේක්ෂාව සහ දේවල් අත්හැරීම පිළිබඳ ප්‍රඥාව අවදි කැර ගැනීමට එමගින් ඔබට තෙරපුමක් එල්ල වන්නේ ය. ලෞකික ආශාවන් සැප සම්පත් වෙනුවට ආධ්‍යාත්මික සතුට උසස්ම ධනය වන බැව් ඔබට ඒත්තු ගැන්වෙයි. ඒ පණිවිඩය එලෙසම ග්‍රහණය කැර ගත්තේ නම් ඔබ කිසි විටෙක මේ වසරේදී කිසිවකින් පරාජය වන්නේ නැත. තැන්පත් ධනය
ආගමික / වන්දනා ගමන් සඳහා වැය කිරීමට සිදුවන කාලයකි. නීතිමය ගැටලු පටලවා නොගැනීමට ඔබ පරෙස්සම් විය යුතුය. ගුරු ඔබගේ 02 සහ 05 වැන්න අධිපතියා ලෙස 12 වැන්නේ ගමන් ගැනීම රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හිතකර නොවේ. ඒ ආශ්‍රිත ක්ෂණික කඩා වැටීම් සිදුවිය හැක. 06 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි මර්මස්ථානය උත්තේජනය කරන යුරේනස් ඔබේ යටිබඩ මුත්‍රාශය ප්‍රජනක ඉන්ද්‍රියයන් ආශ්‍රිත රෝග පීඩා මෙන්ම ශරීරයේ අභ්‍යන්තර තාපය ඉස්මතු කරවයි. සමේ රෝග සහ අසාත්මිකතා මතුවිය හැකිය. 4 වැන්නේ තැන්පත් නෙප්චූන් ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ සිතිවිලි සහ හැඟීම් කිසියම් මායාමය ස්වරූපයකට විපරිවර්තනය වීමයි. එහි හොඳ නරක දෙකම තිබේ. රාහු කේතු අක්ෂය හැරෙන්නට අනෙක් සියලුම ග්‍රහයන් ස්ථානගතව සිටින්නේ ඔබට සතුරු ගිනි සහ වායූ රාශීන්වලය. ඔබට එරෙහිව මේ වසර පුරා නොයෙකුත් බාධා අවහිරකම් සහ අභියෝග මතුව එන බවට ඒ ප්‍රබල සංඥාවකි.
සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති සූත්‍ර අනුව ඔබේ කේන්දරයේ 60%ක් වායූ +ගිනි බලයටත් 25 % ක් පඨවි බලයටත් 15% ක් ජල බලයටත් අයත්වෙයි. විශ්ව සංඥාවන් නිසි ලෙස වටහාගෙන ඊට අනුගත වුවහොත් ඔබ පරදින්නේ නැත. නො පරදින්නට නම් කළ යුත්තේ තරගයක් ගැටුමක් ඇති නොවන ලෙස ක්‍රියාකිරීමය.
ධනු ලග්නය
ගිනි බලයෙන් යුත් ධනු ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ ගුරු 11 වැන්නේ ද සෙනසුරු සහ ප්ලූටෝ ලග්නයේ ද කේතු 2 වැන්නේ ද නෙප්චූන් 3 වැන්නේ ද පිහිටන ග්‍රහචාරයකිනි. ඒ අනුව කේන්ද්‍රයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ යන දිසා තුනත් ලග්නය ආශ්‍රීත නැගෙනහිර අක්ෂයත් බලවත් වී තිබේ. 11 වැන්නේ ගුරු සහ ලග්නයේ සෙනසුරු අතර වූ අංශක 60 ප්‍රබල සුබ දෘෂ්ටිය ඒ අතරින් කැපී පෙනෙයි. සංයමය පරිණතබව සහ ප්‍රඥාව එමගින් නිවේදනය කරයි. ඔරොත්තුදීම සහ අභියෝග ජයගැනීමේ ශක්තිය තීව්‍ර කරයි. ස්ථිර අරමුණකින් ස්ථාවර වේගයෙන් ඉලක්ක ජය ගන්නා අතර මාර්තු 06 දායින් පසුව ඒ බැව් වඩාත් ප්‍රකට වෙයි. ජීවිතයේ අරමුණු සහ රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව පෙරළිකාර ප්‍රවණතා හටගනී. බොහෝ විට ඒවා යහපත් අතට පරිවර්තනය වන්නේ දැනට පවතින රැකියාව හෝ ව්‍යාපාරය අත් හරින්නට සිදුවන වාතාවරණයකයි. විදෙස්ගතවීම් ඒ අතරින් කැපී පෙනෙයි. 5 වැන්නේ යුරේනස් විසින් ප්‍රේම සම්බන්ධතා මෙන්ම රැකියාවේ ස්වභාවය විප්ලවකාරී වෙනසකට හරවන අතර
8 වැන්නේ රාහු එකී වෙනස සඳහා අනපේක්ෂිත හදිසි අවස්ථා උදාකර දෙයි. 3 වැන්නේ නෙප්චූන් ඔබගේ නිර්මාණාත්මක හැකියාව ඔප් නංවයි. එහෙත් 8 වැන්නේ රාහු ඔබේ ජිවිතයේ රිද්මය බිඳීමින් සෞඛ්‍ය තර්ජන ඉස්මතු කරවන්නේය. ලග්නයේ සෙනසුරු සහ 2 වැන්නේ කේතු අතර අංශක 45 දෘෂ්ටියක් හටගන්නා අතර එය දෙපැත්ත කැපෙන අවියකි. එකී බලය නිසි ලෙස හසුරුවා ගතහොත් අසිරිමත් ගුප්ත ශක්තියක් ඔබ තුළින් මතුවෙයි. එහෙත් එකී බලය අනිසි ලෙස අයාලේ යෑමට ඔබ විසින් ඉඩ දෙනු ලැබුවොත් එහි බලපෑම ඔබට එරෙහිව මතුව එයි. ශමනකාරක පිළියම් අත්‍යවශ්‍ය වේ.
සෙනසුරුගේ අංශක 180 දෘෂ්ටිය ද ගුරුගේ බලවත් අංශක 120 දෘෂ්ටිය ද ඔබේ කේන්දරයේ 7 වැන්න වෙත පතිත වීමෙන් එතැන නැවත ගුරු ශනි සංයෝගය හටගනී. එහි විපාකය කුමක් වෙයිද සම්මත විවාහ සංස්ථාවට එය අභියෝගයක් වන්නා සේම පරස්පරතා විවිධාකාර ලෙසින් ඉස්මතු වෙයි. අනෙක් අතින් සම්භාවනීය හෝ ආධ්‍යාත්මික හෝ නව සබඳතා නිර්මාණය කරයි. ඔබේ වයස බුද්ධිය ධනය බලය ආදී කොයි ලෙසකින් හෝ උසස් අය ජීවිතයට එක්වෙයි.
සමස්ථයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති කලාප අනුව ඔබේ කේන්ද්‍රයේ ගිනි +වායු බලය 90 %කි. ජල සහ පඨවි බලය 10 % ක් වෙයි. අධිවේගී සිදුවීම් බහුල පෙරළිකාර වසරකි.
මකර ලග්නය
පඨවි බලයෙන් යුතු මකර ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ 1-4-7-10 කේන්ද්‍රස්ථාන සියල්ල ම ග්‍රහයන් පිරී සිටින අතර සහ ඒවා ප්‍රබලව උත්තේජනය වෙමින් තිබියදීය. කේතු ලග්නයේ ද යුරේනස් 4 වැන්නේ ද රාහු 7 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද වෙයි. හැල හැප්පීම් සහ උච්චාවචනයන් බහුල කාලයක් වන මුත් ඔබට සුවිශේෂ ජයග්‍රහණ ලැබිය හැකි කාලයකි. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කිරීම පිළිබඳව ඔබ අනියත භීතියක් ඇති කැරගත යුතු නොවේ. එහෙත් ආත්ම සංයමය ඇතිව දුර දක්නා නුවණින් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙයි. 10 සහ 12 අතර පවතින ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටිය සහ ඔබේ කේන්දරයේ දෘශ්‍යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ සිටින ගුරු විසින් ඉදිරි කාලයේදී ඔබේ ජීවිතයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණයක් අරඹයි. එය මෙතෙක් නොතිබූ ගුණාත්මක පරිවර්තනයක් වන අතර රැකියාව හෝ ව්‍යාපාරය හෝ ඔබගේ ක්‍රියා කෞෂල්‍ය මුල්කොට ගෙන එකී වෙනස්වීම් සිදුවෙයි. මාර්තු මාසයෙන් පසුව එහි පූර්ව නිමිති පහළ වෙයි. ඔබේ ලග්නය මත සහ එහි දෙපස පීඩනයකි. එයින්
නිවේදනය වන්නේ කුමන දේ කරන්නට ගියත් ඔබ තුළ අසහනකාරීත්වය අතීරණය සහ නොසිතු බාධක මතුව එන බවයි. කේන්දරයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ දිසා ආශ්‍රිතව ඇති කරන උත්තේජනය එතරම් හිතකර නොවේ, ඒ සඳහා ශමනකාරක පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වෙයි.
ඔබගේ විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදිය පිළිබඳව ඉවසිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ ඒ ආශ්‍රිත දුබලතා පෙන්නුම් කරන හෙයිනි. කල්ත්‍රයා සහ යුගදිවියේ තෘප්තිය හීන කරවන පිහිටීමකි. එහෙත් එය තාවකාළික පසුබෑමක් බව මතක තබා ගන්න. ඉක්මන් තීරණ ගැනීම් අවාසිදායක වෙයි. 4 වැන්නේ යුරේනස් ඔබ තුළ ජනිත කරවන උද්වේගකර කැළඹීම හේතු කොට ගෙන එය එක එල්ලේ ඔබේ රැකියාව සහ පරස්තාව යන දෙකට ම බලපෑම් කරයි.
සමස්තයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ ගිනි-වායු /ජල -පඨවි යන ශක්ති කලාප 4 ම 25 % ක අගයක් ගනී. කිසිම අංශයකින් ශීග්‍ර වේගයක් නොපෙන්වන අතර හිතකර සහ අහිතකර විපාක යන දෙක ද මධ්‍යස්ථ වෙයි. එයින් නිවේදනය වන්නේ ඔබ හැකිතාක් සමබරව ඔබේ ජීවන රිද්මය පවත්වා ගත යුතු බවයි. ඊයේ ඔබට බරපතළ හානියක් අවාසියක් සිදු වූවා නම් ඒ පිළිබඳව කලකිරීමකට පත්විය යුතු නැති වන්නේ හෙට දිනයේදී වෙනත් හිතකර වාසියක් මගින් හානි පූරණය කරන හෙයිනි.
කුම්භ ලග්නය
වායූ බලයෙන් යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ ඔබේ කේන්ද්‍රයේ දෘශ්‍යාර්ධය සහ 9 වැන්නේ ත්‍රිකෝණස්ථානය ඉතා බලවත් ව තිබියදීය. 9 වැන්නේ ගුරු ද 11 වැන්නේ සෙනසුරු ප්ලූටෝ ද 12 වැන්නේ කේතු ද පිහිටයි. ඔබේ කේන්ද්‍රයේ ඊශාන දිසාව වායූ + ගිනි බලයෙන් අති ප්‍රබලව උත්තේජනය වෙයි. එමගින් වේගවත් ලැබීම් සහ ඔබගේ අභ්‍යන්තර ශක්තියේ පරිමාව ඉහළ යයි. ඒ සමඟ ම 9 වැන්නේ ප්‍රබල ගුරු එකී ලාභය සහ යසස තව දුරටත් තහවුරු කරයි. එහෙත් අති ධාවනකාරී නොවීමට වග බලා ගන්න. පසුගිය කාලය පුරා තිබූ පීඩනය පරාජය සහ වේදනාව දුරුවෙයි. වසර තිහකට පසුව ඔබට උදා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මේ කාලය ප්‍රයෝජනයට ගන්න. 06 වැන්නේ රාහු කේන්ද්‍රයේ අදෘශ්‍යාර්ධය ද බලවත් කරමින් අරිටු දොස් නසමින් ඔබේ යහපත පිණිස ක්‍රියාත්මක වෙයි.
එහෙත් 3 වැන්නේ යුරේනස් ඔබට බාධක ගෙන දෙන අතර ම 9 වැන්නේ ගුරු සහ යුරේනස් අතර හට ගන්නා අංශක 180 දෘෂ්ටිය දෙපැත්ත කැපෙන අවියකි. විප්ලවයන්ට මුල පුරයි. එහෙත් අධි තක්සේරුව මත තීරණ නොගත යුතුය. නිසි කලට නිසි පිළිවෙළට විප්ලවය දියත් කෙළේ නම් ඔබ විශිෂ්ටත්වයට පත්වෙයි. ලග්නයේ නෙප්චූන් සෙනසුරු සහ ගුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එය එක් අතකින් පීඩනයකි. අනෙක් අතින් අපූරූ සංකල්පනා පහළ කරවයි. එහෙත් ප්‍රායෝගික තලය ඉක්මවා ගිය ෆැන්ටසි පමණ ඉක්මවා හිසට නොගත යුතුය. විශේෂයෙන්ම විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර ආදියෙහිදි රැවටීම් ප්‍රයෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කළ 2018 වසරේ විජයග්‍රාකයා වන්නේ කුම්භ ලග්න හිමියන් ය. විවාහය හැරුණු විට අනෙක් සෑම අංශයකින් ම ඔබට විශිෂ්ට ලාබ හිමිවෙයි. කේන්ද්‍රයේ ඔබට මිතුරු වායු +ගිනි බලය 90 % කි. මාර්තු මාසයේ සිට ඔබ ජීවිත ගමනේ මෙතෙක් නොගිය සුව පහසු බලවත් තැන් කරා පිවිසෙන ගමන ආරම්භ කරයි.
මීන ලග්නය
2018 ඉතාම අභියෝගාත්මක වර්ෂයකි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් ගැනීම යහපත් නොවේ. ඔබේ රැකියාව ආශ්‍රිත ගැටලු මතුවිය හැක.
රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්නේ ගමන් කිරීම නිසා ඉහත කී පීඩාව තව දුරටත් තීව්‍ර වෙයි. ඔබ සතු බොහෝ දේ අහිමි විය හැකි අවදානමක් ඉස්මතුවන හෙයින් කල්පනාකාරීවන්න. ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්නට පැමිණීම ද අභාග්‍යසම්පන්න සිදුවීමකි.
යුරේනස් ඔබේ ලග්නයෙන් දෙවැන්නේ ගමන් ගැනීම ද පීඩාදායක වෙයි. සමස්තයක් වශයෙන් ගත්කළ 2018 වර්ෂය තුළ ඇති ග්‍රහ චලන සියල්ලක්ම ඔබට අවාසිදායකය. එහෙත් ඔබේ උත්සාහය සහ අවධානය මගින් එකී පීඩාවන් බොහෝ දුරට අවම කරගත හැකිය. දිනපතා අභිසම්භිධාන පිරිත සඣායනා කිරීම ප්‍රශස්ත වෙයි.
කේ.සී.ජේ.රත්නායක
සිළුමිණ
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, December 21, 2017

ඉතාලියේ සාපලත් ගම්මානයේ අවාසනාවන්ත කතාව.....(Calabro italy අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිටා ඇති පැරණි ගම්මානයක් වන කොලොබ්‍රාරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙයි. 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියාවු බියාජියෝ විර්ජිලියෝ අසල මැටෙරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය.”මම කියන කතාව බොරුවක් නම් මේ උඩ එල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕනෙ.”ඒ වචනත් සමග චැන්ඩ්ලියර් එක හෙවත් එම පහන බිමට කඩා වැටුණේ විර්ජිලියෝ ගේ ගම්මානය වන කොලොබ්‍රාරෝ වෙත අවාසනාවද කැඳවමිනි.
වර්තමානයේදි කොලොබ්‍රාරෝ ගම්මානය ප්‍රකටව ඇත්තේ එහි නම පවා පැවැසීමෙන් වැලකිය යුතු ගමක් හැටියටය. අවට ගම්මානවල ජනතාව කොලොබ්‍රාරෝ ගැන සඳහන් කරන්නේ “අර පරණ කතාවල එන ගම”යනුවෙනි.ඉන් නොනවතින ඔවුහු වැරදීමකින් හෝ කිසිවෙකු වෙතින් එහි නම කියැවුනොත් වාසනාව පතා කරන සම්ප්‍රදායික කටයුත්තක් වූ ලීයෙන් කල යමක් ස්පර්ශ කරති. මේ ගැන කතා කරන කොලොබ්‍රාරෝ ගම්මානයේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ විර්ජිලියෝ ගමට ගෙනා අවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ අවාසනාව ගැන කතාව එහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි.
“පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුණත්, ටයර් එකක හුළං ගියත් දොස් කියන්නේ ගමට”එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියයි.
කැලබ්‍රියා සහ පුග්ලියා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශය කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝ වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලටද මෙම කලාපය තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායයන් හා මිථ්‍යා විශ්වාසයන්ද මෙම පසුබිම තුළ බහුලය. පහන කඩාවැටීමේ පුරාවෘත්තයට අමතරව කොලොබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් හා මායාකාරියන් ගැන කතන්දරද අසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවැසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හූනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබේ. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලොබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකටවීම අසීරු වූයේද නැත.
මේ සියලු මිථ්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මෙන් 2011 වසරේදී කොලොබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ “ඩී්‍රම් ඔෆ් ද නයිට් ඉන් දැට් වි‍ලේජ්”නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්විණි.ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දෙස්,විදෙස් සංචාරකයින් කොලොබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරශ්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටය. ගම්මානයට ඇතුලු වන විටම පිටතින් එහි පැමිණෙන්නන්ට ගම්මානයේ අවාසනාව ගැන දැනුම්දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙයි. එහි ඇතුළත්වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුනු, දරුවන් ලැබිම සංකේත වත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමය, රූමත් බව හා නරක ආත්ම පලවා හැරීමට රෝස්මරී අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි.
වීදි සංදර්ශනය තුළ දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන “කුඩා පූජකවරයා”ලෙස හැඳින්වෙන ළමා නඵවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවැසෙයි. හාස්‍යයටද බර සියුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටි පතුල් කිතිකැවීම හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටය. ඒවා නැවැත්වීමට නම් කළ යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමය.මේ සංදර්ශනය තුළ තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ද ගතහැකි වෘකයින් ලෙස සැරසුනු පිරිසකි. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කිහිපදෙනෙක් පුන් සඳ පායා ඇති රාත්‍රී කාලයට වෘක වෙස් ගෙන තිබේ. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිස ඉන් ගලවා ගැනීමට කළ යුත්තේ ඇල්පෙනෙත්තක් වැනි යමකින් ඇන ඔවුන්ගෙන් රුධිරය බිඳක් හෝ ගලායාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයෙහි එයි.
කෙසේවුවද මේ සියල්ල මැද කොලොබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුළ කැමැත්තක් තිබේ. මෙම රහස් හෙළිකළොත් ඒවායේ අගය අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයෙකුට ඒවා හෙළිකරන්නේද නැත.එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිථ්‍යා විශ්වාස හා පුරාවෘත්ත රැගෙන කොලොබ්‍රාරෝ ගම්මානය ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතිනු ඇත.
නිශානි දිසානායක
lakbima
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සුකොමළ දෙපා මත ලියැවුණ අපූරු ජීවිත රහස්......(jeewana rahas -අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

කෙනෙකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැති පැවසීම දේහලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ. අතීතයේ විසූ සෘෂිවරු විසින් ස්ත‍්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප‍්‍රමාණය ආදිය පරික්ෂාකොට ඔවුන්ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළි කරනු ලැබිණ. 
යම් ස්ත‍්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතු වෙයිද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද, නියපොතු කුළුවල පිට ඇති ආකාරයෙන්ද පිහිටා ඇත්තේ නම් එම ස්ත‍්‍රීහු වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළම දුක්විඳින්නේය.   
උගතුන්ගෙන් යුක්ත පවුලක හෝ ධනවත් පවුලක හෝ උපත ලැබුවත් ඇය කම්කරු ස්ත‍්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර ප‍්‍රියකරයි. යහපත් පිරිමින්ට ප‍්‍රිය මනාප අයුරින් සිටීමට හෝ ක‍්‍රමානුකූලව ඇඳුම්, පැළඳුම්, වලින් සැරසී සිටීමට හෝ ප‍්‍රිය නොකරයි. කලඑළියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට ප‍්‍රිය කරන්නීය. දරුඵල බහුල වුවත් ගැහැණු දරුවන්ට කැමති වේ. සුළු ශාරීරික වේදනාවක් වුවද විඳ දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතයද සාර්ථක නොවේ. ශිල්ප ශාස්ත‍්‍ර තරමක් දුරට හෝ අධ්‍යාපනය ලැබුවත් ඇය උගත්කම පිටතට ප‍්‍රදර්ශන නොකරන්නීය.   
යම් ස්ත‍්‍රියකගේ පාදය සිනිඳුවද, වට වූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. පා පිට නිර්මලද, නෙළුම් පෙති පියන් සේ මොලොක්වද යුක්ත වූයේ නම් එම ස්ත‍්‍රියද ඉතා වාසනාවන්තය. පාදයේ දෙවෙනි ඇඟිල්ල මැඳගිල්ලට වඩා මදක් දික්ව පොළොව ස්පර්ෂ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබන්නේය.   
දික් සහිත පා හිමිවීමද වාසනාවන්තය. කෙටි පාද කපටිකම හා වංචනික බව ​ෙහලිකරයි. සුළඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නීය. පය සම්පූර්ණයෙන්ම බිම් නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් වාසනාවන්තය. පය කකුළුවකුගේ මෙන්නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩිනම් බොහෝ දරුවන් ලබන්නීය. පාදයෙහි පතුල මැද නැවී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූවිට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ පිහිටියේනම් ඇය දිවි ඇතිතෙක්ම දිළින්දියක් ලෙස කල් ගෙවන්නීය.   
ගමන් කරනවිට එක් පාදයක් ඇළකර තඹමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙයාකාරයෙන්ම හෝ ගමන්කරන ස්තිය මවගෙන් හෝ පියාගෙන් ද‌ායාදයක් නොලබයි. තරුණ වියේදීම ඇය අනාචාරයට පෙළඹෙයි.
විවාහපේක්ෂාවෙන්  ඇසුරුකළ පිරිමිද ඇය අතහැරයති. කොතරම් ඉගෙනීම ලැබවත් ඉන් ප්‍රතිඵලයක් නොලබයි. විවාහයට පත් වූවන් ජීවිතය සාර්ථක නොවෙනු ඇත.   
යම් ස්ත්‍රියකගේ කණ්ඩා යුගලය මනාසේ පරිපූර්ණව පැහැපත් ජවි වර්ණයෙන් යුක්තවීම ලෝම රහිතව ලේ ශිරා මතු වී නොපෙනීම. දෙදන එක සමානවීමද වාසනාවන්තය. ඇයගේ පය ඇඟිලි එක පිට එක ගැසුනාවූ වේනම් ඉතා අසුබය. ඕ තොමෝ සිය සැමියා නසා වෙනත් හිමියන් සමඟ සතුටු වෙන බව කියැවේ. බොහෝවිට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිඳුව වට වූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත වූයේනම් ඇය බොහෝ සම්පත් ලබන්නීය. 
පාද නැමුන ආකාරයෙන් වූයේ නම් ඇය සද‌ාකල්හිම දිළිදු බවින් කල් ගෙවන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුලගිල්ල දක්වා ක්‍රමයෙන් කෙටි වී පිහිටීමද ඉතාමත් සුභ ලක්ෂණයකි. යටිපතුල් රන් පැහැවීමත්. එහි රේඛා අතර මත්ස්‍ය රූප, වී ඇට, දියමන්ති නගුල, කඩුව යනාදී රූප සටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතු වනු ඇත.   
මහපට ඇඟිල්ල දිග්ව මහත්වී තද ගතියෙන් යුක්තනම් ඇය එඩිතරය. අහංකාරය, වැඩිදෙනාගේ අප්‍රසාදයට ලක්වේ. එහෙත් සැප සම්පත් වලට උරුමකම් කියන්නීය. රතු පැහැයෙන් යුතු ඇඟිලි පෙළ පොළොවේ ස්පර්ශවේනම් ඇය විවිධ වූ සම්පත් වලට හිමිකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමිවෙයි. රජ බිසවක්සේ සම්පත්තීන් ලබයි.   
අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවෙනි ඇඟිල්ල මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරුවූයේ නම් දෙමාපිය වැඩිහිටියන්ගේ ගෞරවයට බඳුන්වේ. චරිතය නොකැලැල්ය. කුල සිරිත් රකී. හිමියාගේ නොමද ආදරය ලබයි. සැපවත් යුග දිවියක් හිමිය. පතිභක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපට ඇඟිල්ල වඩා දිග්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඩදබර ඇති කරන්නීය. ඔහුව පාලනය කරන්නීය. අනාමික ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක් දිග්ව පොළව ස්පර්ශ කරයිනම් යහපත් දූ දරුවන් හිමිවේ. සැපවත් දිවියක් හිමිය.   
මුල් ඇඟිලි තුනෙහිම තද කාල වර්ණ රෝම පිහිටියේ නම් දුක් දොම්නස්, ඈ සොයා පැමිණේ. විවාහය සැපතක් නොවේ. පවුලේ සාමය සමගිය ඇයට අහිමිය. ගමනේදී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේනම් ජීවිතයේ සැඳෑ සමයේ දුක් විඳීමට හේතුවේ.   
පිරිමියකුගේ පාදවල ඇඟිලි කෙටිවීම ශුභ නොවේ ඒවා සම දිගින් පිළිවෙළකට පිහිටා තිබීම වාසනාවන්තය. ඇගිලි අතර ලොකු හිඩැස් ඇත්තේ නම් හෙතෙම ගෘහ සේවකයෙකු වන බවට සලකුණක්සේ සැලකිය හැක. කෙනෙකුගේ දෙවෙනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දිගනම් ඔහුට තමාගේ භාර්යාවද අහිමිවීමට ඉඩ ඇත. එය පළමු ඇගිල්ල හා දිගින් සමවේනම් යහපත්ය.
තුන්වෙනි ඇඟිල්ල දිග නම් ඉගෙනීමේ කටයුතු වලට වඩාත් නැඹුරුවෙයි. එය දෙවෙනි ඇඟිල්ලට වඩා කෙටිනම් හෙතෙම පරදාර සේවයේ යෙදෙන්නෙකුවේ. පළමු ඇගිල්ල හතරවෙනි ඇගිල්ලට වඩා දිගුවේ නම් ඔහු සතුටින් කල් ගෙවන මහා සම්පත් ඇත්තෙකුවෙයි. දෙවෙනි ඇගිල්ල බොහොසේ දිගුනම් එවැනි අය සමාජයේ අවමානයට ලක්වේ.   
මාපටඟිල්ලත් පළමු ඇඟිල්ලත් අතර විශාල පරතරයක් ඇත්තේ නම් හේ පුළුල් හදවතක් ඇත්තෙකි. එම පරතරය දෙවෙනි ඇඟිල්ලත් තුන්වෙනි ඇඟිල්ලත් අතර වේ නම් ඔහු අලුත් අදහස් ඉදිරිපත් කිරීමේ සමතෙකි. එම පරතරය තුන්වෙනි ඇඟිල්ලක් හතරවෙනි ඇඟිල්ලත් අතර වේනම් ක්‍රියාවෙන් නිදහස් අයෙකු වන අතර ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නෙකු වේ   
(පැරණි පතපොත ඇසුරිනි)   හිමුටානේ පියතිලක ද අල්විස්  
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya