Friday, August 5, 2016

සීගිරිය සිංහලයන්ගේ නිර්මාණයක් ද...(sigiriya අබිරහස් අඩවිය - Abirahas Adawiya)

මහාචාර්ය සිරි ගුනසිංහ ඉංගිරිසියෙන් ලියූ’Sigiriya Kassapa’s Homage to beauty’ නම් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය පසුගියදා එළිදුටුවේය. සීගිරිය ගැනත් කාශ්‍යප රජු ගැනත් සීගිරි චිත‍්‍ර ගැනත් මහාචාර්ය ගුනසිංහ දක්වන අලුත් මත කීපයක් ම මේ ග‍්‍රන්ථයට ඇතුළත් ය. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමඟ කැරුණු සංලාපයකි.
සීගිරිය බලකොටුවක් නොවෙයි කියන එක ඔබ දක්වන අලුත් අදහසක්?

ඔව්. මේක බලකොටුවක් නෙමෙයි. මේක කාශ්‍යප රජ්ජුරුවන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස හිතන්න පුළුවන්. අනික කාශ්‍යප රජ්ජුරුවෝ සීගිරියේ ඉඳන් රජ කළේ නැහැ. සීගිරිය කියන්නේ මනුස්සයකුට දවස් තුන් සිය හැටපහම ජීවත්වෙලා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. කාශ්‍යප රජ කළේ අනුරාධපුරයේ. අනුරාධපුරේ තමයි අපේ ජාතික සංකේත සියල්ල තිබෙන්නේ. සීගිරිය කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ නිවාඩුවක් ගතකරන්න, විනෝදයක් ගන්න හදාගත්තු තැනක්.

සීගිරියත් සමඟ කුවේර සංකල්පය බද්ධ කරගන්න මහාචාර්ය සෙනරත් පරණවිතානයන් උත්සාහයක් දරා තිබෙනවා. එය කුවේරයාගේ ආලකමන්දාවේ පිහිටි කෛලාස කූඨය බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

මහාචාර්ය සිරි ගුනසිංහ 
රජවරුන් දේවත්වයෙන් සලකන සම්ප‍්‍රදායයක් අපේ රටේ තිබුණේ නැහැ. ඔය පර්වතරාජ, චක‍්‍රවර්ති කියන සංකල්පත් ඒ වගේ. ඒ නිසා ඕවා විශ්වාස කරන්න බැහැ. කොටින්ම ඕවා මිත්‍යාවන්.

සීගිරිය උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගේ බවට අලුත් මතයක් කලකට ඉහත වටද්දර ඤාණිස්සර හිමියන් පළකර තිබුණා. (රිවිරැස 1989 ජනවාරි 29)

එහෙම අදහසක් මම මීට කලින් අහලා නැහැ. ඒක ඉතිං එක්ටැම් ගෙයක් වෙන්න බැහැනේ. ඒකට ඕනෑම කෙනකුට නඟින්න පඩිපෙළවල් හදලා තියෙනවා. ඒක විවෘත තැනක්. කාටත් ඇතුළුවෙන්න පුළුවන් තැනක්. ඔය වගෙ මත ඕනතරම් තියෙනවා. සීගිරිය නෙමෙයි මේක ‘සිහගිරි’ වෙන්න ඕනෑ කියලත් කියනවනේ. ඒක රාජා ද සිල්වාගේ අදහසක්. ඒ කියන්නේ රජු සිහි කිරීමට හදපු තැනක් කියන එක. එහෙත් සීගිරියේ පැහැදිලිවම සිංහ රූප තියෙනවා. ඒ නිසා ඒක ‘සීගිරිය’ වීම ගැන මතභේදයක තිබිය යුතු නැහැ.

සීගිරිය කාශ්‍යප රජුගේ ග‍්‍රහලෝකාගාරය බවටත් මත පළවී තියෙනවා. ආතර් සී. ක්ලාක් ලියූ ‘ෆවුන්ටන් ඔෆ් පැරඩයිස්’ (පාරාදීසයේ උල්පත්) නම් වූ විද්‍යා ප‍්‍රබන්ධයේද සීගිරිය ගැන කියැවෙනවා.

ඒකත් එක්තරා මතයක්. ආතර් සී. ක්ලාක් විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෙක්. ඔහු තමන්ගේ විෂයයට අනුව එබඳු අදහසක් දරනවා වෙන්න පුළුවන්. ඕවා නිකම් කතා කර කර ඉන්න නම් හොඳ මාතෘකා. හැබැයි ඓතිහාසික වශයෙන් නම් කිසිම වැදගත්කමක් නැහැ.
කාශ්‍යප රජ්ජුරුවෝ පීතෘ ඝාතකයෙක් නොවෙයි කියලත් ඔබ කියා තිබෙනවා.
ඔහු පීතෘ ඝාතකයෙක් කියලා මම හිතන්නේ නැහැ. ධාතුසේන රජු මැරීමේ චෝදනාව මා එල්ල කරන්නේ මිගාරටයි. මොකද ඔහුට රජු මරා දමන්න හේතුවක් තිබුණා. ඒ රජු ඔහුගේ මව මැරූ නිසයි. ඒ පලිය තමයි ඔහු ගත්තේ.
සීගිරි චිත‍්‍ර ගැන ඔබේ අලුත් ආකල්පයක් එහෙම තිබෙනවද?
මේ චිත‍්‍ර මාලිගාව සරසන්න, යන එන මාර්ගය ලස්සන කරන්න ඇඳපු නිකම් ගැහැනු රූප. ඉන් එහාට දෙයක් නැහැ.
සීගිරි චිත‍්‍ර ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන ප‍්‍රමුඛ විද්වතුන් එකිනෙකට පරස්පර වූ විවිධ මත පළකරලා තිබෙනවා. ඔබ කියන්නේ ඒවා වැරැදියි කියලද?
මම කියන්නේ මේකයි. මේවා හිතින් මවාගත්තු කල්පිත. මේ චිත‍්‍රවලින් නිරූපණය වන්නේ මේඝලතා හා විජ්ජුලතා යැයි මහාචාර්ය පරණවිතාන කියලා තියෙනවා. ඒ අදහස කල්පිතයක්. කල්පිත මතවල හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. මේක නම් ගන්නම ගන්න දෙයක් නැති කල්පිතයක්. පරණවිතාන කරන්නේ (ඔහු විතරක් නෙමෙයි මේක හුඟදෙනෙක් කරන දෙයක්) කිසියම් නිගමනයකට බැහැලා ඒක තහවුරු කරන්න සාධක හොයාගෙන යන එකයි. හරිනම් මුලින්ම කරන්න ඕනෑ සාධක හොයලා ඒ ඇසුරෙන් කිසියම් නිගමනයකට බහින එක.
පරණවිතාන තරම් මේ රටේ පුරාවිද්‍යාවට සේවය කරපු කෙනෙක් තවත් නැහැ. අපි ඒකට ගරු කරන්න ඕනෑ. එහෙත් ඔහුගේ මත දිහා වුණත් අභියෝගාත්මකව බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මෙතෙක් එහෙම අභියෝගයක් කරලා නැහැ කවුරුත්. ඔහු කියවපු ශිලාලේඛන ගැන වුණත් සීගිරි කුරුටු ගී ගැන වුණත් එහෙමයි. ඒවායින් සියයට අනූවක් ඇත්ත. ඉතිරි සියයට දහය සැක කටයුතුයි. ඒ සියයට දහය ගැන අලුත් කියැවීමක් කවුරුහරි කරන්න ඕනැ.
සීගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන්ය කියන ආනන්ද කුමාරස්වාමිගේ මතය තමයි අපේ රටේ බෙහෙවින්ම ජනප‍්‍රිය මතය.
ඒකත් මම පිළිගන්නේ නැහැ. අපේ රටේ තියෙන එක් වරදක් තමයි කවුරුහරි යමක් කිව්වොත් ඒ ගැන වැඩිදුරටත් හොයන්නෙ බලන්නේ නැතිව ඒ මතයේම එල්බගෙන ඉන්නවා. පොළොන්නරුවේ පොත් ගුල් විහාරයේ තියෙන පිළිමය මහා පරාක‍්‍රමබාහු රජු නිරූපණය වන්නක්ය කියලා කවුරුහරි කිව්වා.
ඊට පස්සේ අනික් ඔක්කෝම පිළිගත්තේ ඒ මතය. මොනව කිව්වත් මිනිස්සු ඒ අදහස වෙනස් කරන්නේ නැහැ.
ඇයි ඒක පරාක‍්‍රමබාහු රජ්ජුරුවන්ගේ ප‍්‍රතිමාව නෙමෙයිද?
නැහැ. ඒ සෘෂිවරයකුගේ පිළිරුවක්. ඒක එක්කෝ අගස්ති සෘෂිවරයාගේ. එහෙමත් නැත්නම් පුලස්ති සෘෂිවරයාගේ. පොත්ගුල් විහාරය පවා හින්දු භක්තිකයන්ගේ මධ්‍යස්ථානයක්ව තිබූ බව පෙනී යනවා. ඒ කොටස විතරක් බෞද්ධ නොවෙයි.
සීගිරිය සොයාගත්තු එච්.සී.පී.බෙල් සීගිරි චිත‍්‍රවලින් සීගිරියට උතුරු දෙසින් පිහිටා ඇති පිදුරංගල විහාරයේ වන්දනාවට යන බිසෝවරුන් හා පරිවාරිකාවන් නිරූපණය වන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අදහස තවදුරටත් වර්ධනය කරන ඊ.බී.හැවල් කියා තිබෙන්නේ ඔවුන් තව්තිසා දෙව්ලොව පිහිටි විහාරයක් වඳින්න යන බිසෝවරුන්ය යන්නයි. ඒ වගේම ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතය තමයි ඔවුන් රජුගේ වියෝවෙන් තැවෙන බිසෝවරුන්ය කියන එක?
ගැහැනු රූපයක් තිබූ පමණින් ඒක අහවල් රජ්ජුරුවන්ගේ බිසවය කියලා කොහොමද කියන්නේ?
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වාගෙත් මහාචාර්ය අභය ආර්යසිංහගේත් මත ඊට වඩා හුඟාක් වෙනස්.
රාජා ද සිල්වා කියන්නේ ඔවුන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිසව වන තාරා දෙවඟන බවයි. ඔවුන් කාශ්‍යප රජ්ජුරුවන්ගේ දූකුමාරිකාවන් වූ බෝධි සහ උප්පලවණ්ණා බව මහාචාර්ය ආර්යසිංහගේ මතයයි.
ඒවත් මම අර කලින් කියාපු විදියේ කල්පිත මත.
ජනශ‍්‍රැතිවල දැක්වෙන ආකාරයට නම් එයින් නිරූපණය වන්නේ රාවණා රජුගේ බිසව වන මන්දෝදරී. පහත එන්නේ ඒ හා සම්බන්ධ තේරවිලි ජනකවියක්.
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරි සිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා
මම නම් ඔය කතාවවත්, කවියවත් අහලා නැහැ. ජනශ‍්‍රැතිවල වැදගත් සමාජ ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. ඒක මම නොපිළිගන්නවා නෙමෙයි. එහෙත් ඔය වගෙ අදහසක් පිළිගන්න අමාරුයි.
ඒ අතර මේ ඔක්කොටම වඩා වෙනස් මතයක් මාර්ටින් වික‍්‍රමසිංහ දරනවා. ඔහු කියන්නේ ඔවුන් දියකෙළින අන්තºපුරයේ බිසෝවරුන් බවයි.
ඒක දියකෙළින දර්ශනයක් නෙමෙයිනේ. අනික වික‍්‍රමසිංහට ඔය ගැන දැනුමක් නැහැ. තමන්ගෙ ඔළුවට ආපු අදහසක් තමයි ඔහු කියලා තියෙන්නේ. වික‍්‍රමසිංහ මේ විෂය ගැන දැනුමක් තියෙන කෙනෙක් නොවන නිසා ඒක විශේෂඥයකුගේ අදහසක් හැටියට ගණන් ගන්න බැහැ.
සීගිරිය නිර්මාණය කිරීමේ කාල නිර්ණය නිවැරැදි යැයි ඔබ හිතනවාද?
සීගිරි චිත‍්‍ර අයිති වෙන්නේ කාශ්‍යප යුගයට තමයි. එහෙත් ඔහු රජවුණායින් පස්සේ සීගිරිය නිර්මාණය කළායි කියලා හිතන එක නිවැරැදි නැහැ. ඔහුට රජකම් කරන්නයි, යුද්ධ කරන්නයි සීගිරිය හදන්නයි මේ ඔක්කොම එකට කරන්න වෙලාවක් නැහැ. ඔහු යුව රජ කෙනෙක් විදියට දක්ෂිණ දේශය පාලනය කරන කාලේ ටික ටික ඕක හදාගෙන එන්න ඇති.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ඉන්දියාවේ අජන්තා ලෙන් චිත‍්‍ර අතරත් සමානතා විද්වතුන් දකිනවා නේද?
කාශ්‍යප රජු
ඔය මතය මුලින්ම පළ කළේ එච්.සී.පී.බෙල්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මම අජන්තා චිත‍්‍ර දැකලා තියෙනවා. රසායන ශාස්ත‍්‍රයට අනුව ගත්තත් අජන්තා චිත‍්‍රවල රසායනික ලක්ෂණ සීගිරි චිත‍්‍රවල නැහැ. ඔතැන වෙලා තියෙන්නේ මේකයි.
බෙල් වගෙ අය සීගිරි චිත‍්‍ර දැක්කට ලංකාව පුරාම තැන් තැන්වල තිබුණු වෙනත් චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. ඔවුන් ගොනාගොල්ල, ඉසුරුමුණිය, කරඹගල වගෙ තැන්වල චිත‍්‍ර දැකලා තිබුණේ නැහැ. දැක්කත් ගණන් ගත්තේ නැහැ. ඒවා බොහෝදුරට සීගිරි චිත‍්‍රවලට සමානයි. ඒවා නොදැක සීගිරි චිත‍්‍ර විතරක් දැක්කම ඔවුන්ට එහි අමුත්තක් පෙනුණා. ඔවුන් ඊට කලින් දැකලා තිබුණේ අජන්තා චිත‍්‍ර විතරයි. ඉතිං ඒවායේ සමානකමක් දැක්කා.
ආනන්ද කුමාරස්වාමි නම් සෘජුවම කියලා තියෙන්නේ සීගිරි චිත‍්‍ර ඉන්දීය ශිල්පීන් විසින් අඳිනු ලැබූ බවයි.
ඒක මම විශ්වාස කරන්නෙ නැහැ. සීගිරි චිත‍්‍ර සිංහලයන්ගේ නිර්මාණයක්. අපේ රටේ අඛණ්ඩ චිත‍්‍ර සම්ප‍්‍රදායයක් තිබුණා. මේ රටේ එක වරදක් තමයි සිංහලයන් යමක් නිර්මාණය කළයි කියලා පිළිගන්න බයයි.
විජය රජ්ජුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි, මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ආවා තමයි බුද්ධාගමත් ඉන්දියාවෙන් ආව තමයි. ඒත් හැම දෙයක්ම ඉන්දියාවෙන් ආවයි කියලා කියන එක නම් අතිශයෝක්තියක්. සීගිරි චිත‍්‍ර ඇඳපු සිත්තරාම එහෙමත් නැත්නම් ඒ පරම්පරාවම තමයි ඉසුරුමුණියේ චිත‍්‍ර ඇන්දෙත්. ඒවායේ යම් යම් සමානකම් තිබෙනවා.
සීගිරි චිත‍්‍ර අතරත් මධ්‍යම ආසියාවේ විශේෂයෙන් පර්සියාවේ චිත‍්‍ර අතරත් යම් යම් සමානකම් තිබෙන බව බෙනිල් ප‍්‍රියන්තගේ අලුත් මතයක්. ඒ මතය වඩාත් තහවුරු වෙන්නේ මහාචාර්ය සිරාන් දැරණියගලගේ එක්තරා ප‍්‍රකාශයකින්. ඔහු කියා ඇත්තේ සීගිරි චිත‍්‍ර ඇඳීමට භාවිත කළ ඇතැම් වර්ණ (නිල්පාට) ඇෆ්ගනිස්ථානයෙන් ගෙන එන ලද බවයි. අජන්තා චිත‍්‍ර පවා පර්සියානුවන් ගේ නිර්මාණ බව පර්සි බ‍්‍රවුන්ගේ අදහස වී තිබෙනවා.
ඔය ගැන බෙනිල් ප‍්‍රියන්ත මාත් එක්ක කතා කර තියෙනවා. ඒත් සමානකම් තිබූ පමණින්ම එහෙම කියන්න බැහැ.
සීගිරි චිත‍්‍ර ඇඳීම සඳහා යොදාගෙන ඇති ශිල්ප ක‍්‍රමය මොකක්ද? විහාර බිතු සිතුවම් කලාවේ ෆෙ‍්‍රස්කෝ (FRESCO)හා ටෙම්පරා (Tempera)යනාදි වශයෙන් රීතින් දෙකක් තිබෙනවනේ.
මේක ටෙම්පරා. ඒ කියන්නේ වියළි බදාමයක් මත ඇඳපු චිත‍්‍ර විදියට ගන්න පුළුවන්.
හිඳගල විහාරයේ බිතුසිතුවම් සීගිරි චිත‍්‍රවල වර්ණ හා ශිල්ප ක‍්‍රමය අනුව නිමවන ලද බව මහාචාර්ය පරණවිතාන කියලා තිබෙනවා. ඔබ මේ චිත‍්‍රවල සමානකමක් දැකලා තිබෙනවද?
මම නම් එහෙම සමානකමක් දැකලා නෑ. පොළොන්නරු යුගයේ වෙනකොටම එතෙක් තිබුණු චිත‍්‍ර සම්ප‍්‍රදායය වෙනස් වෙලා.
සීගිරියට ආසන්න ලෙන්වලත් (විශේෂයෙන් නයි පෙන ගුහාවේ, දැරණියගල ගුහාවේ) චිත‍්‍ර තිබෙනවා. එසේම මේ මෑත (2004 දී) සීගිරියෙන්ම (කැටපත් පවුරේ පිටත බිත්තියේ) තවත් චිත‍්‍ර සටහන් හමුවී තිබෙනවා. මුලින්ම දක්වපු ලෙන් චිත‍්‍ර අතිශය සුවිශේෂත්වයකින් හා විචිත‍්‍රත්වයකින් පරිපූර්ණයි කියා මහාචාර්ය සේනක බණ්ඩාරනායක කියා තිබෙනවා.
සීගිරි ගලේම චිත‍්‍ර 500ක් විතර තිබුණයි කියලා කියනවනේ. ඉතිං ඒ චිත‍්‍රවල යම් යම් රූපසටහන් ඉරිකෑලී වරින් වර මතුවෙන්න පුළුවන්. නයි පෙන ගුහාවෙත් චිත‍්‍ර තිබෙනවා. ඒත් ඒවායේ සමානකම් නම් මම ඒතරම්ම දැක්කේ නැහැ. සමාන වුණත් නැතත් ඒකේ ප‍්‍රශ්නයක් නැහැ. ඒවායින් අලුත් අදහසක් මතුකරගන්න බැහැ.
සංලාපය සුනිල් මිහිඳුකුල
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

පිටසක්වළ ජීවය සොයා...(alliance විශ්වයෙන් ආ අබිරහස් සංඥාව-2 අබිරහස් අඩවිය - Abirahas Adawiya)

පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගින් බව අපි කීවා මතක ඇති. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමකි. සෙටී මෙහෙයුම දියත් කළේ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි. ‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එයට සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණයි.
විශ්වයෙන් ආ අබිරහස් සංඥාව

SETI 
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි. ඇය නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීම් කරද්දී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඒ සංඥා ආයේ විශ්වයේ ඈත කොහේ හෝ ස්ථානයක සිටයි. මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගැනුණා.


සංඥාවේ අබිරහස විසඳෙයි

 Little Green Men 
1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා. ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා. ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්. අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි. විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්. ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති වාතාවරණය අනුවයි. ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ. ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා. අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා. මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත යවා තිබුණා. ‘ස්ටා ටෙ‍්‍රක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා. විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා. මෙවන් තත්වයක් යටතේ පල්සර් තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි. 
පිටසක්වළ ජීවය සොයා ගිය ගවේෂකයෝ

lost in space movie
ක්ෂීර පථය කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි. තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි. ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා. ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා. ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා. මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.
වොයේජර්’ හා ‘පයනියර්’ යානා
අභ්‍යවකාශයේ ඈත කෙළවර බලා යන වොයේජර් සහ පයනියර් යානා ගමන් කරන්නේ පැයට සැතපුම් දස දහසක වේගයකිනි. මේ ගවේෂණ යානා 4 අතරින් වඩාත් වේගයෙන් ගමන් කරන්නේ වොයේජර් 1 යානයයි. එහි වේගය පැයට කිලෝමීටර 64,000 කි. පයනියර් යානාවල පෘෂ්ඨයේ මතුපිට ගැහැනියකගේ සහ පිරිමියකුගේ රූප සිතුවම් කර තිබේ. එමෙන්ම එම යානා සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමින් හැඳින්වෙන ග‍්‍රහලොවේ සිට පැමිණෙන යානා යැයි විස්තර ලියා තිබේ. වොයේජර් යානා පිටසක්වළ ජීවීන් වෙනුවෙන් රැගෙන යන්නේ මීට වෙනස් ආකාරයේ පණිවිඩයකි.
ඒවායේ රන් ආලේපිත තඹ තහඩුවකින් ආවරණය කළ පටි ගත කරන හා වාදනය කරන යන්ත‍්‍රයක් (ටේප් රෙකෝඩරයක්) බැගින් ඇත. ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. පෘථිවියේ වෙසෙන සතුන්ගේ හඬවල්ද එහි ඇත. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

විශ්වයෙන් ආ අබිරහස් සංඥා (අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)

අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.

SETI Institute
මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? අප මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන අලූත් ම තොරතුරයි. ඒවගේ ම පිටසක්වළ ජීවීන් පිළිබඳ අපූරු, අද්භූත රසවත් තොරතුරු රැසක් ද ඒ සමඟ ගෙන එනවා.
පිටසක්වළ ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.
ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.

විශ්වයෙන් ආ අබිරහස් සංඥාව 
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්‍යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.
අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.

‘පුංචි කොළපාට කුරුමිට්ටෝ’
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශ‍්‍රය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.අබිරහස් සංඥාව ගැන උනන්දුවක්
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා. එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද? ඒ ගැන විස්තර තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 2, 2016

අපායේ තවත් දොරටුවක් තුර්කියෙන් හමුවෙයි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

ගී්‍රක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකිවූ බව පසුගියදා ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයකු වන ෆ්‍රැන්සිස්‌කෝ දි අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා. ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන අන්දියා කියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍යයේ නිරිතදිග ප්‍රදේශයෙන්. අතීත රෝම අධිරාජ්‍යයට අයත් හිරාපොලිස්‌ නමැති මේ නිරිතදිග තුර්කි නගරය අද හඳුන්වන්නේ පටුක්‌කේල් යනුවෙන්. මේ ප්‍රදේශයේ උණුදිය උල්පත් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට යැමේදී මේ “අපා දොරටුව” හමුවී තිබෙනවා. මේ දොරටුව පැරැණි රෝමන්වරුන් සකස්‌ කර ඇත්තේ පියගැටපෙළක්‌ සහ කුඩා වෘත්තාකාර ගොඩනැඟිල්ලක්‌ සහිත ස්‌ථානයක්‌ හැටියටයි. එහි පසෙක දොරටුවක්‌ තිබෙනවා. ඒ දොරටුවෙන් නිමක්‌ නොපෙනෙන බිම් ගෙයකට ඇතුළු විය හැකියි. දොරටුවෙන් නිරන්තරයෙන් උණුසුම් විෂ වායු වර්ග පිටවෙනවා.
ක්‍රි. පූ. 64/63 කාලයේදී ස්‌ට්‍රැබෝ නමැති ගී්‍රක භූ විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියූ ලේඛන අදටත් තිබෙනවා. (“මේ දොරටුව වාෂ්ප සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිම්ගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය”) ගුහාවේ කට අසලට යන සතුන් ක්‍ෂණයකින් මැරී වැටෙන බවත්, ඒ අසලින් පියාඹා ගිය කුරුල්ලකු මැරී වැටෙන හැටි තමා දුටු බවත් ඔහු ලියා තිබෙනවා.

මෙම විශේෂ සොයා ගැනීම ගැන මහාචාර්ය අන්ද්‍රියා හෙළි කළේ ඉතාලියේ පැවැති පුරාවිද්‍යාත්මක සමුළුවක්‌ අමතා කළ කතාවකදී.
උමග හමුවූ ස්‌ථානයේ ගරා වැටුණු ස්‌ථම්භ කිහිපයක්‌ තිබුණා. උමග සහ එහි විවරය පාතාල ලෝකයේ දෙවිවරුවන් වන ප්ලූටෝ සහ කෝරේ යන දෙදෙනා වෙනුවෙන් කැප කරන බව ඒවායේ සඳහන් වුණා.
ගුහාවෙන් පිටතට එන විෂ වායු වර්ගවල වැඩිහරියක්‌ තිබෙන්නේ කාබන් ඩයොක්‌සයිඩ්. ක්‍රි. පූ. 64/63 කාලයේදි ස්‌ට්‍රබෝ කියූ ලෙසට, අන්ද්‍රියා මහාචාර්යතුමා උමග සොයා ගන්නා විටත් ඒ අසලින් පියඹා යමින් සිටි කුරුල්ලන් රෑනක්‌ම මැරී වැටුණා.

මේ පුරාවිද්‍යාඥ කණ්‌ඩායම කතෝලිකයන්ගේ ආගමික ඉතිහාසයට අයත් විශිෂ්ට සොයාගැනීමක්‌ වසර 2011 දී කළා. එනම්. ක්‍රිස්‌තුස්‌වහන්සේගේ ප්‍රධාන ගෝලයන් 12 දෙනාගෙන් කෙනකු වන පිලිප් සාන්තුවරයාගේ සොහොන සොයා ගැනීමයි.

ගුහාව පිහිටි නගරය ක්‍රි.පූ. 190 දී 2 වැනි එවුවෙනස්‌ නමැති රජු විසින් ගොඩනංවන ලද්දක්‌. ක්‍රි. පූ. 133 දී රෝමන්වරුන් විසින් නගරය ඩැහැගනු ලැබුවා.
රෝමන් පාලනය යටතේ මේ නගරය ඉතා පුළුල් ලෙස දියුණු කෙරුණා. නගරයේ උණුදිය උල්පත් ගණනාවක්‌ තිබුණා. ඒවා විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ රසායනික දියරයන්ගෙන් පෝෂණය වූ නිසා රෝග සුව කිරීමේ බලයකින් සමන්විත වුණා. ඒ බැවින් මේ උණුදිය උල්පත්වල ස්‌නානය කිරීමට පැමිණි ජනයාගෙන් ප්‍රදේශය නිතර පිරී ගියා. මේ මීට වසර 2100 කට පමණ පෙරයි.
ක්‍රි. ව. 400 වනතුරු මේ නගරය ජනාකීර්ණව පැවැති බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඉන්පසු හටගත් භූමිකම්පා මාලාවක්‌ නිසා නගරය අත්හැර යන්නට ජනයාට මෙන්ම එහි ආ වන්දනාකරුවන්ටත් සිදු වුණා.  




උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සොහොන් කාලි අවතාරයේ සාපය..(sohon kali manio manthara gurukam අබිරහස් අඩවිය - Abirahas Adawiya)

වැඩිහිටියන් සමඟ ඇති අමනාපකම් නොහොඳ නෝක්කාඩුකම්වලට දරුවන්ගෙන් පළිගන්න සමාජ රටාවක සැඟවී සිටින පුද්ගලයන් ඕනෑම ප්‍රදේශයක, ගමක, නගරයක සිටීම නොරහසකි. දිනපතා එළිදකින එවැනි සිද්ධීන්වල පසුබිම පැරැණි අමනාපකම්ය. එය වින්දිතයා සමඟ නොව ඔහුගේ මවුපියන් සමඟ තිබෙන අතීත අමනාපකම් බව හෙළිවන්නේ පොලිස් පොතේ ලියැවුණුදාටය. එවැනි අන්දමේ දාමරිකකම් කරන පුද්ගලයන් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ඇතැම් දේශපාලනඥයන්ද ඉස්සර කරගත් අවස්ථාද එමටය. ආණ්ඩු පෙරැළිවලදී දේශපාලන බල තුලනය ඔවුන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන අවස්ථා මෙන්ම ඔවුන්ගේ රැකවරණය ලබාගන්නා අවස්ථා අතීතය තුළ මෙන්ම අදටත් තිබෙන බව සනාථ වන අවස්ථාද එමටය.
නීතියේ පිළිසරණ නොමැතිව කාලි මෑණියන්ගේ පිහිට පතන හලාවත මුන්නේශ්වරම් මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ වැඩහිඳුවා ඇති කාලි මෑණියන්ගේ කුටිය ඉදිරියේ දිගහැරෙන දුක් අ‍ෙ¼දා්නාවලින් එවැනි සිද්ධීන් කොතෙකුත් එළිදැක තිබේ. එවැනි අන්දමට මවුපියන් සමඟ ඇති පැරැණි අමනාපකම්වලට දරුවන්ගෙන් පළිගෙන ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන සුනුවිසුනු කළ සිද්ධියකදී මැර බලය ගිනි බලයක් බවට පත්කරමින් කාලි මෑණියන් සොහොන් කාලි අවතාරය යවා දඬුවම් දුන් අතීත සිද්ධියක යටගියාව කියන්නට මෙවරද හඬ අවදි කර සිටියේ මහාභද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක සිවපාද සුන්දරම් නොහොත් ගෝපි ස්වාමියි.


මම මේ කියන අය පදිංචිව සිටියේ කදුරුවෙලට නුදුරු ප්‍රදේශයක ගොවි ගමකයි. ඒ අයට මාර්ග අයිනේ වගේම ගමේ ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අයගේ මවුපියන් හරිහම්බ කර පොහොසත් වුණේ ගොඩ මඩ ගොවිතැන්වලින්. ඊට අමතරව සුළුවෙන් පටන්ගත්ත වෙළෙ¼දාමකුත් කරගෙන ගියා. ඒ අය අහල පහළ කාගෙත් මඟුලටත්, මළ ගෙවල්වලටත් ගිහින් උදවු කරමින් ඒ ගෙවල්වල දානමය කටයුතුවලට මිල මුදලින්ද උදවු කළා. මේ මවුපියන්ට හිටිය දරුවන් හතරදෙනාත් හොඳට ඉගෙනගෙන කොළඹ, කටුනායක පළාත්වල රැකියා කළා. පසු කාලෙක මවුපියන් මියගියාට පස්සෙ විවාහ වෙලා හිටිය පිරිමි දරුවන් දෙන්නම ඒ අයගෙ මහගෙදරට ඇවිත් ඒ ඉඩමේ ඉදිකරල තිබුණු ගෙවල් දෙකක පදිංචි වුණා.

ඔවුන් එහෙම පදිංචි වුණේ ඒ අය කරමින් සිටි ස්ථිර රැකියාවන් පවා අතහැරල උපන් ගමේ දේපොළ රැක ගන්නයි. ඒ මොකද මවුපියන් මියයන විට ඒ අය කළ ගොවිතැන් බත් හොඳට කරගෙන යන්න මවුපියන්ට මියයන්නට පෙර පහසුකම් සලසලයි තිබුණෙ. යාය නොපෙනෙන තරමේ කුඹුරු ඉඩකඩම් ප්‍රමාණයක් තිබුණ ඒ අය ට්‍රැක්ටර් මෝටර් රථ දෙකක්ද මිලදී අරන් පවුල් දෙකේම අය හොඳ සමඟියෙන් ජීවත් වුණා. මියගිය මවුපියන් ජීවත්ව සිටියදී ඒ අයගෙ ගොඩඉඩම් අක්කර පහකට බොරුවට අයිතිවාසිකම් කිව්ව තවත් ගමේ පවුලක දරුවන් ඒ අතීත සිද්ධීන් නිතර නිතර අවුස්සමින් මේ අය සමඟ සණ්ඩු කළා. ඒ සිද්ධීන් පසුව ඉඩම් නඩු දක්වා දිග්ගැස්සී ගියා.
මේ අය සමඟ ඉඩම් ආරවුල්වලට වෛර බැඳගෙන හිටිය විරුද්ධවාදී පවුලේ තරුණයන් දෙන්නා පාසල් අධ්‍යාපනයත් මඟදි කඩාකප්පල් කරගෙන මවුපියන් හරිහම්බකරගෙන තිබුණු දේවල් විකුණාගෙන කමින් තමයි ඒ දෙන්නා ජීවත් වුණේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්න කොළඹට නුදුරු ප්‍රදේශයක ප්‍රාදේශීය දේශපාලනඥයකුගෙ පෞද්ගලික ආරක්‍ෂකයන් දෙන්නෙක් හැටියට ඒ අය ළඟට ගියා. ඒ දෙන්නම එහෙම යන්න හැකි වුණේ ඒ අයගෙ අතේ පයේ සමීපයේ අනුන්ට හිංසා කරන මැරයන් දෙන්නෙක් හැටියට නම්දරා සිටි නිසයි. මේ මැර තරුණයන් දෙන්නට කොහෙ හිටියත් මතක් වුණේ එයාලගෙ ගම්පළාතෙ තියෙන මේ ඉඩම් ආරවුල ගැනයි. මේ තරුණයන් දෙන්නා පසුගිය පළාත් සභා මැතිවරණ කාලෙ දේශපාලන හයිය අරගෙන ගමේ ඉන්න අර ගොවිතැන් කරගෙන කුළුබඩු, තොගබඩු බෙදාහැරීමේ යෙදිල හිටිය පවුලේ අයගෙ දේපොළ විනාශ කරන්න නිතරම කුමන්ත්‍රණ කළා. දිනක් මේ දෙන්න කොළඹ පළාතෙ ඒ අය වගේම මැර බලයෙන් ජීවත් වන තරුණයන් දෙතුන් දෙනෙක් එක්ක ජීප් රථයකින් ඇවිත් අර සාමකාමීව ඉන්න ගොවි ගෙවල් දෙකේම ගොඩ වගාවන් විනාශ කරල මායිම් කම්බි කපල බීමතින් කෑගහල බැනල ආයෙත් එනව කියාගෙන පිටත්ව ගියේ මුළු ගමම බියගන්වලයි.
ඒ සිද්ධියෙන් පස්සෙ ඒ ගොවි ගෙවල් දෙකේ අය හිටියෙ හරිම බියෙන්. ඒ නිසාම ඔවුන් ඒ මැර පිරිස විනාශ කළ දේවල්වල පාඩුව විඳදරාගෙන නීතියේ පිළිසරණ පතා යෑමෙන් වැළකී සිටියා. මේ ගොවි පවුලේ සහෝදරයන් දෙන්නා ටිකෙන් ටික දියුණු වෙමින් ඒ අයට අයිති මහපාර අයිනෙ තිබුණු ඉඩමක අලුත් ගොඩනැඟිල්ලක් හදල ඒ අයගෙ ව්‍යාපාර කරගෙන ගියා. මාස දෙකකට සැරයක් කොළඹට ගිහින් කුළුබඩු, සිල්ලර බඩු ලොරියක පටවල ඒ අලුත් ව්‍යාපාරික ස්ථානයට ගෙනැවිත් සහෝදරයන් දෙන්නා සාමකාමීව ව්‍යාපාරය කරගෙන ගියා. කොළඹ පළාතෙ ඉන්න අර මැර තරුණයන් දෙන්නා ඉඳලහිටල ඒ අයගෙ ඥාතීන් බලන්න මේ ගම් පළාතට ආව ගියා. ඒ අය ආව හැම අවස්ථාවකදීම මේ ගොවි පවුලේ තරුණයන්ගේ ගෙවල් ළඟට ඇවිත් මරණ තර්ජනය කරලයි ආපහු ගියේ.
තවත් දිනෙක ඒ දෙන්න තවත් මැර පිරිසක් සමඟ ඇවිත් අර ගොවි ගෙදර තරුණයන්ට අයිති ව්‍යාපාරික ස්ථානයේ ගොඩනැඟිල්ලට අලාභහානි කරල ඒ අයගෙ වාහනයත් පොඩිකරල ගියේ ආයෙත් එනව කියල තර්ජනය කරලයි. මේ සිද්ධිය අර මේ ව්‍යාපාරික ස්ථානයට කොළඹ ඉඳන් බඩු ගේන රියැදුරුට ආරංචි වුණා. ඒ ලොරි රියැදුරා හිටියෙ දඹුල්ලට නුදුරු ගමකයි. ඒ රියැදුරා අපේ කාලි කෝවිලට මාස තුනක හතරකට වරක් එන යන අයෙක්. ඒ අය මේ මැර තර්ජන එල්ලවන ගොවි ගෙදර අය හමුවෙලා. ඒ අයත් එක්ක එයාගෙ මෝටර් රථයෙන් අපේ කාලි කෝවිලට ආවා. ඒ ඇවිත් මේ පවුලේ අයට සිදුවන මැර තර්ජන ගැන කියල කාලි මෑණියන්ට බාරහාර වෙලා පළීගලේ පොල් ගහල කාලි මෑණියන්ගෙන් පිහිටක් ඉල්ලා සිටියා. කාලි මෑණියන් ඒ අයගෙ දුකට පිහිට වුණොත් ඒ අය ත්‍රිෂූලයක් රතු සාරියක්, කිරි බෝතල් 10ක්, රතු මල් මාලයක් කාලි මෑණියන්ට පූජා කරනව කියලයි ඒ අය බාරවුණේ.
ඒ අය එදා හලාවත නවාතැනක නැවැතිලා එතැන ඉඳගෙන බත් පාර්සල් 50ක් පිළියෙල කරගෙන පසුදින දහවල් ආයෙත් අපේ කාලි කෝවිලට ඇවිත් ඒ වන විට කාලි කෝවිලට ඇවිත් හිටිය කාලි බැතිමතුන්ට බෙදල දීලයි ආපහු ගම් බලා ගියේ. ඒ අය ආපසු ගිහින් දින 21ක් යන්න පෙර අර මැරයන් දෙන්නගෙන් එක් අයෙක් ඒ අය ආව ජීප් රථය තවත් මෝටර් රථයක හැපිල මියගියේ මේ ගොවි ගෙවල් දෙක අතරෙදිමයි. අනෙක් මැර තරුණයාගෙ අත්පා කැඩිල රෝද පුටුවකට වැටුණා. වෙනදා ළඟ හිටිය අයගෙ උදවුකාරයොත් ඒ අයගෙන් ඉවත්වුණා. ඒ තරුණයා හැරගියා.
අන්තිමේ රෝද පුටුවෙන් යන මැර තරුණයාට සිදුවුණේ මහමඟ සිඟාකන්නයි. ඒ මැර තරුණයාගෙ දුප්පත් වැඩිහිටි ඥාතියෙක් එයාගෙ හිතවත් දේශපාලනඥයකු මාර්ගයෙන් මේ රෝද පුටුවට වැටුණ තරුණයාව අනුරාධපුර පළාතට අරන් ගිහින් තවත් ඒ වගේ අංගවිකල තරුණයන් කීපදෙනකු ඉන්න නිවෙසක නවත්තල ටික කලක් උපකාර කරමින් සිටියදී ඔහු ඒ නිවෙසේදී හදිසියේ මියගියා. වරදක් නොමැතිව ජීවත් වන අයගෙ ජීවිත අඳුරු කරන්නට විනාශ කරන්න හදන පුද්ගලයන්ට කාලි මෑණියන්ගේ දහසකුත් දෑස් අතරින් විහිද යන අවතාර 14න් සොහොන් කාලි අවතාරයෙන් නියමිත දඬුවම් ලැබෙන බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා.
ප්‍රේමලාල් විජේරත්න
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා....(loch ness monster අබිරහස් අඩවිය - Abirahas Adawiya unsolved mysteries )

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි
.පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා
ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත‍්‍රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක‍්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත‍්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත‍්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප‍්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ.
කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම

මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක‍්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප‍්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි‍්‍රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි‍්‍රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි.


ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...

නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත‍්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප‍්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා.
වෙදරල් කළ බොරුව

‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප‍්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා.
වෛද්‍යවරයාගේ ඡායාරූපය

‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි.
මරණ මංචකයේදී රහස හෙළි කරයි
මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප‍්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරමින් කීවා.
නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි
පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප‍්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා.
නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ
පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප‍්‍රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික‍්‍රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා. 
නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි
1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප‍්‍රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි‍්‍රතාන්‍ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්‍යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී‍්‍රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා.
නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්
1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා. 
නෙසී ගැන අපැහැදිලි නිගමනයන්
සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ.
නෙසී ගැන අලූත් අදහසක් 
2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා. 
නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?
මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප‍්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි. 
නෙසී ගැන අලූත්ම චිත‍්‍රපටය: වෝටර් හෝස්
ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත‍්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.
2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප‍්‍රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ.

නොවිසඳුණු අභිරහස 
නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ස්ටෝන්හෙන්ජ් Stonehenge: පැරැන්නන්ගේ විශ්ව කැලැන්ඩරයේ අබිරහස ....අබිරහස් අඩවිය - Abirahas Adawiya.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්, කැපී පෙනෙන, ශ්‍රේෂ්ඨ නිර්මාණ බි‍්‍රතාන්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. මේ අබිරහස තමයි, ස්ටෝන්හෙන්ජ් Stonehenge ගල්කනු. අද නම් ඒක ස්මාරකයක් ලෙස සැලකෙනවා. ඒක ඇත්තෙන්ම හරිම අපූරුයි. හැබෑම අබිරහසක් බවට කිසිම සැකයක් නැහැ. ඉතිං මොක්කද ඒ අබිරහස? ඒ අබිරහස තමයි, මේ ගල් කනු ස්මාරකය මොකක්ද? කවුද හැදුවේ? මොකටද හැදුවේ? කවදාද හැදුවේ? ආදී ප‍්‍රශ්නවලට හරිහැටි පිළිතුරු ඉදිරිපත් කරන්න විද්‍යාවට නොහැකි වීමයි. නමුත් පුරාවිද්‍යාඥයන් කියන්නේ එය ලොව පැරණිම දින දර්ශනයක් එසේත් නැතිනම් කැලැන්ඩරයක් කියලයි.
ස්ටෝන්හෙන්ජ්: තාරකා විද්‍යා කැලැන්ඩරය

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්ටෝන්හෙන්ජ් ගැන නොයෙක් විධියේ පැහැදිලි කිරීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් ස්ටෝන්හෙන්ජ් ඉදිකළ කාලය ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවුනත් ස්ටෝන්හෙන්ජ් හරියටම කුමක් දැයි කියන්න පැහැදිලි කළ හැකි වී නැහැ. සමහර බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශ්වාස කළේ එය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසයි. සමහරුන් කීවේ පේගන් දෙවියන්ට පුද පූජා පැවැත්වූ දෙවොලක් කියායි. තවත් අය කීවේ සුප‍්‍රකට ආතර් රජුගේ මායාකරු මර්ලින් විසින් නිර්මාණය කරන ලද්දක් කියායි. අතීතයේ කවුරු කොහොම කීවත් ඒත් මෑත කාලයේදී නම් තවත් අපූරු තර්කයක් ඉදිරිපත් වුණා. ඒ ස්ටෝන්හෙන්ජ් උසස් තාක්ෂණික දියුණුවක් ඇති පිටසක්වල ජීවී කොට්ඨාශයකගේ අපූරු නිර්මාණයක් ලෙසයි. වර්තමාන විද්‍යාඥයන්ගේ මතය ස්ටොන්හෙන්ජ් පුරාණ තාරකා විද්‍යාඥයන් විසින් භාවිතා කළ ඉතාමත් සංකීර්ණ දිනදර්ශනයක් යන්නයි.

ස්ටෝන්හෙන්ජ් ගැන වැරදි වැටහීම්

16 වැනි සියවසේ විසූ බි‍්‍රතාන්‍ය පුරාවස්තු රැස්කරන්නන් කීවේ ස්ටෝන්හෙන්ජ් ගල්කනු යනු ඩෲයිඞ් පූජකයන් වැඳුම් පිදුම් කළ පූජනීය දේවාලයක් කියලයි. ඩෲයිඞ් කියලා කියන්නේ කෙල්ටික් පූජකයන් පිරිසකි. කෙල්ටික් සංස්කෘතිය බටහිර යුරෝපයේ මුල් බැසගෙන තිබුණේ රෝම අධිරාජ්‍ය සමයේදීයි. මේ ඩෲයිඞ් පූජකයෝ ඇදහූයේ පේගන් ආගමයි. ඔවුන්ගේ දෙවිවරුන් වුණේ සොබාදහමයි. ගස්වැල්, ගංගා ඇළදොළ, අහස පොළොව ආදිය. ඔවුන් දක්ෂ මායාකරුවන් බවට ප‍්‍රචලිතයි. ඒ නිසා ස්ටෝන්හෙන්ජ් ඩෲයිඞ් උරුමයක් කියලා විශ්වාස කරලා ආදරේ කරන්න බි‍්‍රතාන්‍ය වැසියෝ බොහොමයක් පෙලඹුණා. කවියන් ස්ටෝන්හෙන්ජ් ගැන කවි ලීවා. 1960 දශකයේදී ඩෲයිඞ් පූජකයන්ට ඇලූම් කළ පිරිස් ඔවුන් වගේ දිගු ලෝගුවලින් සැරසිලා සෑම වසරකම ගී‍්‍රස්ම සෘතුවේ ස්ටෝන්හෙන්ජ් වටා එක්රොක් වී පැරැන්නෝ කළාක් මෙන් යාගහෝම උත්සව පවත්වන්න වුණා.
පුරාවිද්‍යාත්මක වටිනාකමක්
පාෂාණධාතු විද්‍යාඥයන්ගේ මතයේ හැටියට ස්ටෝන්හෙන්ජ් හුඟක් පැරණියි. අවස්ථා තුනකදී කොටස් තුනකින් ඉදි වී ඇති එහි මුල් කොටස කි‍්‍රස්තු පූර්ව 3100ට අයත්. ඩෲයිඞ්වරුන් පහළ වෙන්නට බොහොම ඉස්සරින්. එංගලන්තයේ සැලිස්බරිහී සිට කි.මී. 15ක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ටෝන්හෙන්ජ්හී ප‍්‍රධාන ලක්ෂණය වන්නේ දැවැන්ත ගල් කුලූනු පෙළක් කවාකාරව තැන්පත් කර තිබීමයි. මේවා නව ශිලායුගයට (කි‍්‍රස්තු පූර්ව 4500ත් 1500ත් අතර කාලයට) අයත් ඒවා ලෙසයි සැලකෙන්නේ.
ඕබ්රි සිදුරු 
පැරණි කොටසේ තියෙනවා වටකුරුව තැනූ ඉවුරක් හා විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වළක්. එහි විශ්කම්භය මීටර් 10ක් පමණ වෙනවා. ඒ වටා තියෙනවා, වළල්ලක් ආකාරයට විහිදුණු, සෙ.මී 130ක් පළල කුඩා සිදුරු පෙළක්. ඒවා 1666 දී ජෝන් ඕබ්රි විසින් මුලින්ම සොයා ගත් නිසා ‘ඕබ්රි සිදුරු’ කියා හැඳින්වෙනවා. දෙවන අදියරට අයත් මේ සිදුරුවලින් හෙළිවන්නේ මෙහි දැවවලින් කළ දැවැන්ත ඉදිකිරීමක් පැවති බවයි.
ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියර
අද දක්නට ලැබෙන්නේ මේ ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියරයි. එහි දැවැන්ත ගල් කුලූනු 30ක් කවාකාරව තැන්පත් කර තියෙනවා. ඒ කාලයේ රෝදය ගැන දැනීමක් මේවා ඉදි කළ අයට නොතිබුණු නිසා මේවා මෙහි ගෙන ඒමත් විස්මයක්. මේ එකක් මීටර් 4ක් උසයි. මේ තරම් විශාල ගල් කුලූනු මෙහි ගෙන එන්නට ඇතැයි සැලකෙන්නේ මෙහි සිට කි.මී. 40ක් පමණ එපිට ගල්වළකින්. ප‍්‍රධාන කවය ඇතුළේ ඇති අශ්ව ලාඩමක හැඩයට තබා ඇති නිල් පැහැ ගල් විශේෂය මෙහි ගෙනැවිත් ඇත්තේ වේල්සයෙන්. එය කි.මී. 248ක් දුරින් පිහිටි තැනක්.
ජෙරල්ඞ් හෝකින්ස් කියන දේ
1963 දී ජෙරල්ඞ් හෝකින්ස් කියන තාරකා විද්‍යාඥයා විසින් පළ කරන ලද ‘ස්ටෝන්හෙන්ජ් ඩිකෝඩඞ්’ නම් පොතෙන් එයා කරුණු දක්වා තියෙනවා, පැරැන්නන් මේ ස්ටෝන්හෙන්ජ් ඉදි කර ඇත්තේ අහස නිරීක්ෂණය කිරීමට කියා. සූර්යයා කේන්ද්‍ර කර ගෙන ඉදි කර ඇති මෙහි එක් ගල් කුළකින් සූර්යයා සමකයෙන් ඈත්වන අවස්ථා හඳුනා ගත හැකියි. ඔහු දක්වන ආකාරයට මෙය ගල්යුගයේ පැවති සූර්ය කැලැන්ඩරයක්. මේ මගින් පැරණි මිනිසුන් සූර්ය ග‍්‍රහණ සිදුවීම පිළිබඳ අනාවැකි පවා කියන්නට ඇතැයි හෝකින්ස් ඔහුගේ පොතෙන් හෙළිදරවු කර තියෙනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya