Sunday, August 14, 2016

පිරමීඩ හදන තක්ෂණය පිටසක්වල ජීවීන් ගෙන්ද.....? (aliens pyramid ) අබිරහස් අඩවිය - Abirahas Adawiya


අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද?
ඒ වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල් කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන් ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ
ස්ටෝන්හෙන්ජ්
පැරැන්නෝ මෙවැනි යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ? පිරමීඩ හැදුවේ කවුද?

අප වඩාත් හොඳින් දන්න, ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුනේ දකින්න ලැබෙන පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියටයි සැළකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු විසි දෙකක කාලසීමක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කළා යැයි විශ්වාස කෙරෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීයි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළකරන අය නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලයි. 
මහා පිරමීඩය අවුරුදු 22 ක් ඇතුළතදී හැදුවා වෙන්න බැහැ. එහෙම කළා නම් පිරමීඩය නිර්මාණය කරන්න නම් ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප‍්‍රවාහණය කරන්න, නිසි ලෙස ගොඩගසන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල්කුට්ටිය බැගින්. සෑම තත්පර 9 කටම වරක්. ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඒත් අපේ අති දක්ෂ විද්‍යාඥයන්ට අති නවීන තාක්ෂණය තිබුණත් අවුරුදු 22 කින් මෙවැනි නිර්මාණයක් කරන්න හැකියාවක් නැහැ. 
ගීසාහි මහා පිරමීඩ
දක්ෂ විද්‍යාඥයන් කියනවා අපට මෙවැනි නිර්මාණයක් අවුරුදු 22 කින් කරලා නිමා කරන්න බැහැ කියලා. ගීසාහි මහා පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පිටසක්වළ ජීවීන්ගේ මැතිහත්වීමක්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සළස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක්වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යයායන් අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් ඇත්ත මොකක්දැයි අපි කිසි කෙනෙක් හරිහැටි දන්නේ නැහැ. එක දෙයක් හොඳින් පැහැදිලියි පිරමීඩ හදලා තිබෙන්නේ ගල් කුට්ටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් එහාමෙහා වීමක්වත් ඒවායේ දකින්න ලැබෙන්නේ නැහැ. 
නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදිව හා සූක්ෂමව නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත හා සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් පුදුමයක් වෙනවා. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත නිර්මාණය කරලා
තිබෙන්නේ ඉතාම පිරිසිදුවයි. ඉතාම නිවැරදිවයි. 
පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව අත්වලින් මෙවැනි නිර්මාණයක් කරන්න ඇත්තටම පුළුවන් වෙන්න ඇතිද? නැත්නම් ඔවුන්ට පිටසක්වළ අමුත්තන්ගේ සහාය ලැබෙන්න ඇතිද? මේ කරුණු හින්දා ඉන්ජිනේරු විස්කමක් ලෙස සැළකෙන ගීසාහි මහා පිරමීඩය, ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නොවේ නේද? මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන කිසිම සැකයක් නැහැ. මා කිසිසේත්ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදූ සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න ඕනෑ. ඔවුන්ට තනිවම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.
මෙහෙම කියන්නේ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකා ජාතික ජේසන් මාටෙල්.

පිටසක්වළ අමුත්තන්ගේ උදව් ලැබුණද?

මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදෙව්වේ සවුරිට් නම් පාරාවෝ විසින් කියලයි. සවුරිට් කියන්නේ හිබෲ ජනයාගේ ඉනොක් නම් තැනැත්තාටයි. ඉනොක් කියලා කියන්නේ පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්තෘවරයෙක්. ඉනොක් ගැන සඳහන වන පතපොත තිබෙනවා.
ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වළ අමුත්තන් හමුවුනා කියලා. ‘බුක් ඔෆ් ඉනොක්’ නම් ඒ පොතෙහි ඔහු කියනවා පිටසක්වළ අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයුරින්. මේ බව කියන්නේ එරික් වොන්ඩැනිකන්. ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. මේ දෙවිවරු පිටසක්වළ ජීවීන් නම් පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ හා තාක්ෂණය දුන්නේ ඔවුන්.

ගීසා පිරමීඩය ඇත්තෙන්ම පුදුමයක් !

ලෝකයේ පුදුම හතෙන් එකක් වන පිරමීඩය පුරාවිද්‍යා අබිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙනවා. ඉතිං එය පුදුම හතට ඇතුළත් වීම පුදුමයක් නොවේ නේද? 1877 වසරේදී ආතර් ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩය වතරක් නොවේ ඒ අසළින් ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකත් පිහිටන්නේ පෘථිවියේ දිගම
අක්ෂංශකය හා දේශාංෂකය හමුවන ස්ථානයේයි. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැළකෙන්නේ ද එතැනයි. ඒ විතරක් නොවේ මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒත් පිරමීඩ හැදුව කාලේ මාලිමා තිබුණේ නැහැ. මාලිමා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. පුදුමයි නේද?
මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ එදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක් විසින්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාරයක්, නිර්මාණකරුවන්ගේ දස්කම් කියන දේ නම් පිළිගන්න ටිකක් අමාරුයි නේද ?
දෙවියන්ගේ පුරය: ටියෝටිවකාන්
තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නොවේ ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබීම. හුදෙකලා වූ පැසිෆික් සාගර දූපත්වල පිරමීඩ ඉදිකර තිබෙනවා, දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ පිරමීඩ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා. පිරමීඩ සෑදීමේ කලාව ලොව පුරා පැතිරුණු උම්මාදයක් වගෙයි පෙනෙන්නේ. එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, කිසිදා එකිනෙකා මුණ නොගැසී, මුහුදින් හා ගොඩබිමින් වෙන්වූ, කොහොමද පිරමීඩ හැදුවේ කියන කාරණාව පුරා විද්‍යාඥයන් පවා මවිතයට පත් කර තිබෙනවා. ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම පොදුයි. මධ්‍යම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටඹුන් දකින්න ලැබෙනවා.
මේ නගරය හැඳින්වෙන්නේ ‘ටියෝටිවකාන්’ කියලයි. එහි අර්ථය දෙයිවන්ගේ පුරවරය යන්නයි. මේ නගරය මැද ඉදිකර තිබෙනවා ‘හිරු’ගේ පිරමීඩය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානයි. ඒක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්ද? නැතිනම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙන්න මේ විධියේ අදහස් ඉදිරිපත් කරනවා.
පුරාණයේ ලෝකය සිව්වරක් විනාශ වෙලා !
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ පිරමීඩ ඉදිකළා කියලා කියන්නේ යෝධයන් පිරිසක්.
ඔවුන් මේ පිරමීඩ දෙක හැදුවේ ලෝකය විනාශ වන මොහොතේදීයි. ඇස්ටෙක් සහ මායාවරුගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකය සිව්වරක් විනාශ වෙලා තිබෙනවා. අයිස්වලින්, ගින්නෙන්, ජලයෙන් තමයි ලෝකය විනාශ වුණු බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.
පිරමීඩ හැදුවේ දැනුම රැස් කරන්නද?
ඇයි පිරමීඩ වැනි මේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකක්ද?සමහරු නම් කියන්නේ පාරොවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට කෞතුකාගාර වගේ. එහෙම නැතිනම් මේ පැරැන්නෝ අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්න ඇති. පැරැණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපට කියන්නයි. මේවා පැරණි මිසර පොත්පතවල සඳහන් වෙනවා. මේ දැනුම අපට කියලා දුන්නේ දෙවියන්. ඒවා නිකම්ම නිකම් මිසර පාරාවන්ගේ සොහොන් ගැබ් නොවේ. විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මවිත කිරීමට සමත් වුණේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරා විද්‍යාත්මක අපූරු නිර්මාණ දහස් ගණනක් අපේ ලොවේ නන්දෙසින් දකින්න ලැබෙනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සප්ත කන්‍යාවේ අබිරහස් ගුවන් අනතූර...(saptha kanya -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


මාර්ටින් එයා නමැති ගුවන් සමාගමට අයත් ඩී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184 ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10 ට අනතුරට පත්වී ඇති බව වාර්තා වල සඳහන් වේ. අනතුරින් එම යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන් කළ 191 දෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.
ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ ඇති සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ (සප්ත කන්‍යා යනු කඳු හතකින් යුක්ත කඳු වැටියකි) ගුවන් යානයේ එක් තටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තටුව ගැටී ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක් සුදුපාට වර්ණයෙන් දිස්ව තිබුණ ද මේ වන විට එය වල් වැදී මැකී ගොස් ඇති අයුරු දැක ගත හැකිය.

එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප දෙනෙක් විසින් පබැදු ගී පද මාලා සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත් කරමිනි. 

කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත් කීප දෙනෙක් අවට ගම්මාන වල සිටිති. වසර 40 ගෙවෙන මොහොතේ අප ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි කොත්තැල්ලෙන නැමැති ගම්මානයට ගියේ ඔවුන්ගේ මතකය අවදි කිරීමටය.
එහිදී අපට මුලින්ම හමුවුණේ, මුරුත්තැන්න තේ වත්තේ වත්මන් අයිතිකරු වන මංජුල එදිරිසිංහ මහතාය. මේ ඔහුගේ හඬය. 

මෙම ගුවන් අනතුර මුලින්ම දුටු අයෙක් මගේ පියා... ඔහු දැනට වසර කීපයකට පෙර මියගියා. අපි තමයි මේ කඳුවැටිය ආසන්නයේම පදිංචි වෙලා ඉන්නේ. මගේ පියා පවසා ඇති විදිහට 1974.12.04 වැනි දින හරියටම රාත‍්‍රි 10.10 ට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අවදිව සිටි බවත් එක් වරම විශාල ශබ්දයක් සමග ප‍්‍රදේශයම ගිගිරුම් දුන් බව පැවසුවා. නිවසින් පිටට ඇවිත් බලන විට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් ඇවිලී යන අයුරු දැක්ක බවත් කීවා. තාත්තා සැනෙකින් නෝටන් බි‍්‍රජ් පොලිසියට කථා කර සිද්ධිය කියා තිබෙනවා. පොලිසිය සුළු වේලාවකින් පැමිණි පසු දැනගෙන තිබෙනවා ගුවන් අනතුරක් සිදුවෙලා කියලා 

මෙම ගුවන් අනතුර සියැසින් දුටු කොත්තැල්ලෙන ගම්වැසියෙක් වන ඊ.ජී. මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
මේ අනතුර සිද්ධවෙනකොට මට අවුරුදු 18යි. මම ගෙදර හිටියේ. හරියටම 10.10ට විශාල ශබ්දයක් ඇහුණා. මුළු පළාතම හෙල්ලිලා දෙදරුම් කෑවා. අපිට හිතාගන්න බැරිවුණා. මම ගෙදර අයත් සමග එළියට ආවා. සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් දැක්කා. ඒ ගින්න ටික වෙලාවකින් කන්ද පුරා පැතිරී ගියා. මගේ බාප්පා එවකට පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස වැඩ කළා. ඔහු නෝටන් බි‍්‍රජ් පොලිසියට දැන්වූවා. රාත‍්‍රී 11.00 වෙනකොට පොලිසිය ආවා. මම රාත‍්‍රියේම ගමේ කීප දෙනෙක් එක්ක කන්ද ළඟට ගියා. පොලිසියේ හතර දෙනෙක් මා සමග ආවා. 
අපිට එදා රාත‍්‍රි මළ සිරුරු හමුවුණේ නෑ. ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තියෙනවා දැක්කා. රාත‍්‍රිය පුරා පට පට ගා ඇවිලෙන සද්දේ ඇහුණා. ඒ ගුවන් යානයේ ඇල්මිනියම් තහඩු පිච්චෙන සද්දේ. ඊට පසු දින පොලිසිය හා හමුදාවෙ මහත්තුරු විශාල පිරිසක් ආවා. මම හමුදාවෙ අය සමග කන්ද උඩටම නැග්ගා. මළ සිරුරුවල කෑලි හැමතැනම විසිවී තිබුණා. ගස් උඩ මළ සිරුරු කෑලි දකින්න ලැබුණා. රතු පාටට හැම තැනම
ලේ. මස් කඩයක් වගේ තිබුණා. ගල උඩ තිබුණ මළ සිරුරු කොටස් හමුදාවෙ අය සමග උඩම වැළලූවා. ඒ අතර රෙදිපිළි හා පෙට්ටි විසිරී තිබුණා
කන්ද පාමුල තිබුණ මළ සිරුරු හා කැබළි ගොඩක්. ඒවා සමූහ මිනී වළක කන්ද පාමුලම වැළලූවා. ගුවන් යානයේ එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුර ඇගේ පෙම්වතා ඇවිත් ගුවනින් ඉන්දුනීසියාවට රැගෙන ගියා. අනිත් ඒවා ඔක්කොම කන්ද පාමුල වැළලූවා. ප්ලේන් එකේ කළු පෙට්ටිය වැටුණ කියලා සැක කරපු කන්දේ උඩ පිහිටි ගල් දෙබොක්කාව ළඟට ආමි එකේ මහත්තුරුත් එක්ක මමත් ගියා. ඒක ගොඩක් ගැඹුරු වළක්. කළු පෙට්ටිය හොයාගන්න ලැබුණේ නෑ. ප්ලේන් එකේ කෑලි මිනිස්සු අරගෙන ගියා. පස්සේ පොලිසියෙන් ඒවා අරගෙන ගිය මිනිසුන්ට නඩු දැම්මා. ඒ කාලේ හැමදාම මේ ස්ථානයට හෙලිකොප්ටර් තුනක් හතරක් එනවා. පරීක්‍ෂණ කළා. ප්ලේන් එකේ ටයර් එකක් හමුවුණා. ඒක නෝටන් පොලිසියේ තියෙනවා. මේ සිද්ධිය බලන්න මිනිස්සු ලක්‍ෂ ගානක් ආවා. වාහන පෝලිම කිලෝමීටර් ගාණක් දුරට තිබුණා.
කොත්තැල්ලෙන ග‍්‍රාමයේ වත්මන් ග‍්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 
සිද්ධිය වෙනකොට මට අවුරුදු 07යි. අපි එදා හිතුවෙ රැ සද්දෙත් එක්ක ලක්‍ෂපාන ගල කඩාගෙන වැටුණ කියලා. වැඩිහිටි අය හිතුවෙ එහෙමයි. සප්ත කන්‍යා කන්දට ගමේ පැරණි අය කියන්නේ ලක්‍ෂපාන ගල කියලයි. රැ එළිවෙනකම් එදා මේ කන්ද ගිනි ගත්තා. ඒ දවස්වල අපිට ඉස්කෝලේ නිවාඩු දීලා වගේ. පාලූ ප‍්‍රදේශයක් වුණ මේ පළාතට මේ සිද්ධියත් එක්ක ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. කන්ද පාමුල සමූහ මිනී වළක අනතුරින් මියගිය අය මිහිදන් කරපු තැන ඉන්දුනීසියාවේ අය පැමිණ ඉතා අලංකාර ලෙස හැදුවා. 
එම ස්ථානයේ අනතුරට පත් ගුවන් යානය අයිති මාර්ටින් එයාර් ගුවන් සමාගමේ නිල ලාංඡනය ස්ථාපිත කර තිබුණා. ඒ අයගේ ගුවන් සමාගමේ ලකුණ වන විශාල ගුරුලකුගේ රුවක් ද ස්මාරකයේ සවිකර තිබුණා. එම ගුරුලාගේ රුව හා නිල ලාංඡුනය මෑතක දී කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. එය ඉතා පහත් ක‍්‍රියාවක්. ගුවන් අනතුරින් මිය ගිය අයගේ ඥාතීන් වසරක් පාසා මෙම ස්ථානයට පැමිණ මළවුන් සිහිකිරීමක් කරනවා. මෙම ස්ථානය දැන් කැලෑ වැදිලා. කිසිවෙක් නඩත්තු කරන්නේ නෑ ඔහු කීය.
මල්ලිකා හෙන්නායක (58) මහත්මිය 
අනතුර සිදුවන අවස්ථාවේ අපි ගොඩක් බයවුණා. විශාල ශබ්දය නිසා මුළු පළාතම දෙදරුම් කෑවා. ගෙදරින් එළියට ඇවිත් බලනකොට සප්ත කන්‍යා කන්ද ගිනිගෙන දැවෙනවා දැක්කා. වැඩිහිටි අය කන්දට ගියා. මගේ මහත්තයාත් බලන්න ගියා. ඔහු එහි තිබී ඩොලර් 10 නෝට්ටුවක් ගෙනවිත් තිබුණා. එය තාම මා ළඟ තිබෙනවා සිද්ධිය මතක් වෙන්න. ප්ලේන් එකේ කෑලි ඒ දවස්වල මිනිස්සු ගෙනියනවා දැක්කා. දැන්නම් ඒවා කා ළඟවත් නෑ. නෝටන් පොලිසිය ඉදිරිපිට ටයරයක් තියෙනවා යැයි පැවසුවාය.
මෙම අනතුරට පත් මාර්ටින් එයාර් ඞී.සී. 08 ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු වන නෙදර්ලන්ත ජාතික පී. ලෑම්ප් මහතාගේ පුත‍්‍රයෙකු වන පී.ඒ. ලෑම්ප් මහතා දැනට වසර තුනකට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම ගුවන් අනතුර පිළිබඳව සොයා බලා සියලූ පාර්ශ්වයන් හමු වී වාර්තාමය වැඩසටහනක් කළ බව අප හා පැවසුවේ නෝටර් බි‍්‍රජ්, කිරිවන්එළිය ප‍්‍රදේශවල පදිංචි සංචාරක මාර්ගෝප දේශකයකු මෙන්ම පරිසරවේදියකු ද වන එම්.ආර්. චමින්ද නිරෝෂණ (නීල්) මහතාය. අපට ඔහු හමුවුණේ ඔහු පදිංචි සප්ත කන්‍යා කඳු පියස අසල දී ය. මේ ඔහු අපට කී දේය. 
දැනට වසර තුනකට පමණ පෙර අනතුරට පත් මාර්ටින් එයා ඩී.සී. 08 ගුවන් යානයේ එක් නියමුවකුගේ පුතා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මට හමුවුණා. ඔහු සමග ඔහුගේ බිරිඳ ද පැමිණියා. මම ඔවුන් සමග ඒ අයගේ වාර්තා වැඩසටහනට සහභාගි වී සිද්ධිය වූ සප්ත කන්‍යා කන්දට ගියා. මෙම ගුවන් අනතුර සිදු වූ ආකාරය පිළිබඳ ඔහුට සමීක්‍ෂණයක් කිරීමයි අභිප‍්‍රාය වී තිබුණේ. ඔහු පී.ඒ.
ලෑම්ප් මහතා. ඔහු මෙහිදී සියලූ සිද්ධීන් කැටිකොට වාර්තාමය සංයුක්ත තැටියක් නිපදවූවා. එහි පිටපතක් මට ද ලබා දුන්නා. මම පරිසරවේදියෙක් ලෙස කඳු නැගීම කරනවා. දැනට වසර කීපයකට පෙර මම සප්ත කන්‍යා කන්ද තරණය කළ අවස්ථාවේ ගුවන් යානයේ පසුපස ටයරයේ කෑල්ලක් හමුවුණා. එය මා රැගෙන ආවා. අනතුරට පත් ස්ථානය පාමුල පිහිටි සමූහ මිනී වළ ළඟ තිබුණු සැමරුම් කොටස් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම ඉතාම අශෝභනයි. ඉදිරි දිනක, ගුවන් අනතුරින් මියගිය අයගේ ඥාතීන් යළි පැමිණියහොත් අප කොතරම් ලජ්ජාශීලි විය යුතුද? මේ ගැන වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි.
අප කොත්තැල්ලෙන ග‍්‍රාමයට ගිය අවස්ථාවේ දී එම ගම්වැසියන් කියූ කතාවක් මෙම ලිපිය අවසන් කිරීමට
ප‍්‍රථම සඳහන් කිරීමට අදහස් කළෙමු. 
මහත්තයෝ මේ ප්ලේන් අනතුරේ දී පළාතේ සමහර අය ප්ලේන් එකේ කෑලි විකුණලා තියෙනවා. ඒ අය කාටවත් හරිගියේ නෑ. ළඟ දී කන්ද පාමුල තියෙන මිනී වළලපු තැන හදලා තියෙන ස්මාරකය කඩල සිහිවටන ඵලක වගයක් ගලවාගෙන ගිහින් තියෙනවා. පොදුවේ ගමේ අපිටත් ඒක අපවාදයක්. එහෙම කරපු අයට කවදාවත් දියුණුවක් නෑ. මේක සමන් දෙයියන්ගෙ අඩවිය මහත්තයෝ  






උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මළයක්ෂණියක්වී පැමිණි උපාසක අම්මා...(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya)


පන්සලේ ප‍්‍රධාන දායිකාව නිසාම ගමේ සියල්ලෝම ඇයට සැලකුවේ මහත් ගෞරවයෙන්. ඇය එතරම්ම දැහැමි විය. බෝධි පූජාවක්, පහන් පූජාවක්, භාවනා වැඩසටහනක් වැනි ඕනෑම පින් අතේ කටයුත්තකදී නිතැතින්ම එයට මුල් වූයේ ඇයයි. ලොකු උපාසක මැණියෝ යන නමින් ගමේ සියල්ලෝ ඇය අමතන්නට වූයේ ද මේ නිසාය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය තම සියලු ඉඩකඩම් තම දරුවන් අතර බෙදා දුන්නේ සියලු වගකීම් වලින් නිදහස් විය යුතු යැයි සිතූ නිසාය. තමන් මෙතෙක් ජීවත් වූ මහගෙය තම එකම පිරිමි දරුවාට ලබා දුන් ඇය ජීවිතයේ අවසන් කාලය ලොකු දුවගේ නිවසේ ගත කිරීමට තීරණය කළාය.
මවක ලෙස තම යුතුකම් මැනවින් ඉටු කරමින් සිය ඉඩකඩම් සම සමව දරු තිදෙනාට බෙදා දුන් ඇය ටික දිනක් ඇවෑමෙන් ලොකු දුවගේ නිවසට පැමිණියාය. නිවසට පැමිණි මුල් කාලයේ ලොකු දුවගෙන් ඇයට ලැබුණු සැලකිලි කල් ගතවත්ම ටිකෙන් ටික අඩු වී ගොස් අවසානයේ ලොකු දුව විසින්ම ඇයට පල නොකියා පලා බෙදන්නට වැඩි දවසක් ගත වූයේ නැත. තම දරුවන්ගේ සියලු කටයුතු අම්මාට පැවරූ ඇය එම කටයුතු මවගෙන් මඟහැරෙන විට අම්මාගේ ඇඟට කඩාගෙන පැන්නේ, ආවේශ වූ යකින්නියකගේ විලසටය. මේ හේතු හමුවේ මෙතෙක් කල් ඇය සිදු කරගෙන ආ ආගමික කටයුතු සීමා කරන්නට උපාසක මෑණියන්ට සිදුවිය. එහෙත් ඇය අඩදබර කර ගැනීමක් හෝ තම දරුවන්ට වෛර කිරීමට උත්සහ නොගත්තේ සත්‍ය ලෙසම ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරගෙන සිටි නිසාය.
මේ ආකාරයට වසරක කාලයක්වත් ඇයට ලොකු දුවගේ නිවසේ සිටීමට අවස්ථාව සැලසුණේ නැත. ඉන්පසු ඇය පොඩි දුවගේ නිවසට පැමිණියේ හිතේ ඇති වුණු කලකිරීමත් පොදි බැඳගෙනය. විදුහල්පතිනියක් ලෙස සේවය කළ මේ උපාසක අම්මාට ප‍්‍රමාණවත් විශ‍්‍රාම වැටුපක්ද හිමිවිය. ඇය එම මුදල් බොහෝ විට වැය කළේ පින් අතේ වැඩවලටය. සිය දරුවන් යහපත් ආර්ථික පසුබිමක සිටි නිසා ඔවුන්ට මුදලින් උපකාර කිරීමට තරම් මේ අම්මා කටයුතු කළේ නැත. බාල දියණියට කෙසේ වෙතත්, ඇයගේ සැමියාට නම් මෙය ඉවසිය හැකි කාරණාවක් නොවීය. හවසට මත්වතුර කටගාගෙන ගෙට ගොඩවදින පොඩි බෑණාගේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වූයේ නැන්දම්මාගේ විශ‍්‍රාම වැටුපය.

මේ ගෑනි මෙහේ ලැගගෙන ලෝකෙට සල්ලි බෙදනවා

ඈ යකෝ අපි මෙහේ දන්සලක් දාලද?

ගෙවල් දුන්නේ වෙන එකෙක්ට. හැබැයි අපි තමයි බලා ගන්ඩ ඕනේ. මේක මාර නීතියක්නේ.

මෙලෙස ඇරඹි වාදය ටිකෙන් ටික වර්ධනය වෙමින් බෑනණ්ඩිය අවසානයේ සිය නැන්දම්මාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම දක්වා දුරදිග යන්නටද විය.
මේ අපවාද අසා ඉන්නට බැරිම තැන ඇය තම විශ‍්‍රාම වැටුපෙන් වැඩි කොටසක් තම පොඩි දුවට දීමට තීරණය කළාය. එහෙත් බෑණාගෙන් ඇතිවන හිත් පීඩා අඩු කිරීමට මෙය ප‍්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ඇය එම නිවසින් ද නික්ම යෑමට තීරණය කළාය. තම එකම පුතාගේ නිවසට නැතහොත් මහගෙදරට යළි ඇය පැමිණියාය. එහෙත් ලොකු පුතාගේ ලේලිය පිළිබඳ නම් ඇය තුළ පැවතියේ යහපත් හැඟීමක් නොවේ. ඇය මහගෙදරින් පිටව දියණියන් වෙත යෑමට තීරණය කිරීමට හේතු වූයේද මෙයයි. එහෙත් අවසානයේ යළි ලේලිය ළඟටම පැමිණීමට ඇයට සිදුවිය. ඇයගේ ලොකු ලේලිය වූ කලී සෙල්ලක්කාර ගති ඇත්තියකි. තම දරුවා රවටමින් සෙල්ලක්කාරී ලෙස ගත කරන ජීවිතයටත් ගම පුරා ඇය පිළිබඳ පැතිර යන කටකතා නිසාත්, මේ අම්මා හසුවූයේ දැඩි කලකිරීමකිනි.
නැන්දම්මාගේ යළි පැමිණීම ලේලියගේ ඇඟේ මාළු නටන්නක් බවට පත් වූයේ, නැන්දම්මාගේ පැමිණීමත් සමගම තම නිදහස සීමා වන බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය. ලේලියගේ වෙනස්කම් ඉවසා සිටීම ඇයට ඉතා අපහසු විය. එයට හේතු වූයේ, තමන් මෙතෙක් ජීවත් වූ නිවසේ සිටම ලේලිය ඇයට දිගින් දිගටම පීඩා කිරීමයි. දහවලට ඇය කුසගින්නේ සිටි දින ගණන ආහාර ගත් දින ගණනට වඩා වැඩි වූයේ ලේලිය තමා ආහාර ගෙන නිම වූ සැණින් භාජනවලට වතුර දමන නිසාය. දහවල් කාලයේ නිවසේ තනි වූයේ නැන්දම්මා හා ලේලිය පමණක් වූ නිසා ලේලියගෙන් ඇය වෙතට එල්ල වූ පීඩාව තව තවත් ඉහළ ගියේය.
හිත් පීඩා හේතුවෙන් ඇය වේගවත්ව දුර්වලව වන්නට විය. ශාරීරිකව ඉතා දුබල වූ අය රෝගියකු බවට පත්වූවාය. අසනීප වී ලෙඩ ඇඳට වූ ඇයට ඇප උපස්ථාන කරන්නට ඇයගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් වූයේ නැත. අවසානයේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කෙරිණි. ඇය එන්න එන්නම දුර්වලව අවසානයේ ඇයගේ ජීවිතය ලෙඩ ඇඳට පමණක්ම සීමා විය. මුල් කාලයේදී මාසයකට වරක් පමණ ඇය බැලීමට වැඩිහිටි නිවාසයට පැමිණි දරුවන් තිදෙනාටද ටිකෙන් ටික ඇය අමතකව ගියේය.
එය සීතල දෙසැම්බරයේ හිමිදිරි උදෑසනකි. ඇයව සෝදා පිරිසුදු කරන වැඩිහිටි නිවාසයේ උපස්ථායිකාව සුපුරුදු ආකාරයට ඇය වෙත පැමිණියේ ඇය සෝදා පිරිසුදු කිරීමටය. වෙනදා සිනාසී තමා පිළිගන්නා මේ වැඩිමහල් අම්මා එදින ඇඳට වකුටු වී නිදා ගන්නේ මන්දැයි සේවිකාව විමසා බැලූවාය. ඇයගේ ශරීරය දරදඬු වී ගොසිණි. ඇත්තටම ඇය මිය ගොස් සිටියාය. මේ ගැන දරුවන්ට දැනුම් දුන් පසු ඔවුහු එක්ව තම මවගේ දේහය මහ ගෙදරට ගෙන ගොස් මහ ඉහළින් අවසන් කටයුතු සිදු කළහ. කාලය ගෙවී ගියේය. ඇයගේ මරණය සිදු වී තුන් මසක්වත් ගෙවී ගියේ නැත.
ලොකු ලේලිය සුපුරුදු ලෙස දහවල් ආහාරයෙන් පසු මඳක් විවේක ගැනීමට නිදි යහනට ගොඩ වූවාය. එක්වනම පරිසරය ටිකෙන් ටික අඳුරු වන බව වැටහුණි. ඒ වැහි බීරමක් විය හැකි බව සිතූ ඇය ඇඳටම වී සිටියාය. ඒ සමගම ඇය අඩ නින්දකට වැටුණාය.

හි......... හි.......... හි
ඇයගේ කාමරය තුළින්ම නැගුණු වියරු හිනා හඬකින් ඇය තිගැස්සී ගියාය. ඒ සමගම ඇය කලබලයෙන් නැගී සිටින්නට තැත් කළාය. එහෙත් ඇයට නැඟී සිටින්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කාමරයේ වහළය දෙකට කැඞී උළු කැට ඇයගේ දෙපා ඉදිරිපිටම බිම පතිත වන්නට විය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය භුමිකම්පාවක් සිදු වන්නේදැයි යන්න සිතා කිසිදු අරමුණකින් තොරව ඇඳ යටට රිංගීමට උත්සහ ගත්තාය. ඒ වනවිටත් ඇය ප‍්‍රමාද වූවා වැඩිය. වහළයේ වූ විසල් පරාලයක් ඇයගේ කකුල් මතට ඇද වැටුණි. ඇයට මතක එපමණය. යළි සිහිය එන විට ඇය සිටියේ රෝහලේය.
පළමුව නිවස පිටිපස වූ විශාල පොල් ගස ඉදිරි නිවසේ යට ලීයද කඩාගෙන නිවසට පතිත වී ඇත. වැස්සක් හෝ හුළඟක් නොතිබුණු ගිනි දවාලක මහා ගසක් මුලින් ඉදිරී බිම පතිත වීම සියල්ලන් තුළම ඇති කළේ පුදුමයකි. හදිසියේ සිදු වූ අනතුරින් ලේලියගේ පා දෙකම බිඳී ගොසිණි. මාස කිහිපයකට ඇයට දෙපයින් නැගී සිටීමට නොහැකි බව වෛද්‍ය නිගමනය විය.
මේ අතරතුර දිනක් ලොකු දුවගේ නිවසේ ඉදිරි දොර දෙසින් කිසිවකු හෝ තට්ටු කරන හඬක් ඇසුනේය. ඒ වෙද්දී වෙලාව පස්වරු හතට පමණ ඇත. ඒ මොහොතේ නිවසේ රැඳි සිටියේ ඇය පමණි. ඇය ඉදිරියට ගොස් දොර හැරියේ පන්ති ගිය තම දරුවා ගෙදර පැමිණ ඇතැයි සිතූ නිසාය. එහෙත් කිසිවෙක් නැත.

ටක්. ටක්. ටක්. යළිත් පිටුපස දොරට තට්ටු කරන හඬ ඇසෙන්නට විය.
පුතා... මොකද වෙලා තියෙන්නේ ඇය ඉදිරි දොර වසා දමා කුස්සියේ දොර ළඟට ගොස් දොර හැරියාය.
බුදු අම්මෝ
ඇය දොර ඇරි වේගයෙන්ම වසා දැමුවාය. දොර අසල සිටියේ කවුද? ඇය කුස්සියෙන් සාලයට වේගයෙන් දිවවිත් පුටුවේ වාඩි වූවාය. හදිසියේම දුටු දසුනින් ඇය කෙතරම් බිය වූවාද යත් ඇය වෙව්ලන්නට වුවාය.

කළු දිග ගවුමකින් සැරසී පහතට කඩා හෙළුෑ දිග කොණ්ඩයකින් හා ගිනි රත් පැහැ ගැන්වුණු ඇස් දෙකකින් යුතුව දොර ළඟ සිටගෙන හුන් රුව ඇයට මැවි මැවී පෙනෙන්නට විය. එම රුව වෛරයෙන් මෙන් තමා දෙස බලා සිටි අයුරු මතක් වනවිට ඇගේ ශරීරයෙන් ඩහදිය ගලා යන්නට විය.

ටක්. ටක්. ටක්.
යළිත් ඉදිරි දොරට තට්ටු කරන හඬ ඇසෙයි. ඇය දෑතින්ම කන් දෙක වසා ගත්තාය.
ටක්. ටක්. ටක්.
ඇය නැගිට්ටේ නැත.
අම්මේ....... අම්මේ........ ඇයගේ හිතට තරමක සහනයක් දැනුණි. ඒ තම පුතාගේ කටහඬය. ඇය බියෙන් බියෙන් ගොස් දොර හැරියේය. පන්ති ගිය දරුවා පැමිණ සිටියේය. දිනෙන් දින ඇගේ නිවසේ මෙවැනි අද්භූත සිදුවීම් ඉහළ යන්නට විය.
මේ අතරතුර පොඩි දුවගේ සැමියාගේ රස්සාවටද හෙනහුරා හඬන්නට පටන්ගෙන තිබුණි. රැකියා ස්ථානයේ ඇති වූ මුදල් වංචාවකට මැදි වී ඔහුගේ රස්සාව අහිමි විය. මේ සමගම ඔහුගේ බේබදුකම ඉහළ ගියේය. දවස තිස්සේ නිවසේ අඬ දබර අවසන් වූයේ ගුටි බැට හුවමාරුවකින්ද පසුවය. ඔවුන්ට ගමේ තිබූ තත්ත්වයද දිනෙන් දිනම පිරිහී යන්නට විය. එළි වන තෙක් අසාගෙන සිටිය නොහැකි අසභ්‍ය වචන කියනා පොඩි දුවගේ සැමියා ගමටම පිළිලයක් වන්නට වැඩි දිනක් ගත වූයේ නැත.
මේ සියලු සිදුවීම් එක දිගට සිදුවීම සියල්ලන්ටම මහත් ගැටලූවක් විය. ගමේ අය මෙයට විවිධ කතා කියන්නට විය. දිනෙන් දින පවුල් තුන තුළම ගැටුම් සහගත තත්ත්වයන් මෙන්ම, ආර්ථික ගැටලු ද වේගයෙන් වර්ධනය වන්නට වූයේ පවුල් අතර සබඳතාව බිඳ දමමිණි.
මේ සියලූ කරදර අතරින් ලොකු උපාසක මැණියන්ගේ තුන් මාසේ දානයද ගෙවී ගියේය. එහෙත් දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ තම මව වෙනුවෙන් කුඩාවට හෝ දානයක් දී පිනක් අනුමෝදන් නොකළහ.
ටිකෙන් ටික පවුල් තුන තුළම ප‍්‍රශ්න ඉහළ යමින් පැවතුණි. එක්තැන් වූ ලේලිය දැඩි ලෙස මානසිකව දුර්වල වන්නට වූයේ, වරින් වර ඇසෙනා ආවේකගාරී අද්භූත හිනා හඬ හේතුවෙනි. ඇයට හැර වෙනත් කිසිවකුට මෙය නොඇසීම හේතුවෙන් ඇය අනතුර නිසා කම්පනයට පත්ව ඇතැයි වෛද්‍යවරු සිතූහ.

අවසානයේ ඔවුන් සාස්තරයක් අසන්නට ගියේ මේ කරදර නිමාවක් නැති නිසාය.
තමුන්ගේ නෑ කෙනෙක් ළඟදී නැති වුණා නේද?
ඔව්
බොහොම පින් කරපු කෙනෙක්. ඒත් තමුන්ලා එක්ක දැඩි වෛරයෙන් ඉන්න මළයකෙක් වෙලා ඉන්නේ. මෙයා පවුල් ඔක්කොම විනාශ කරන්නයි බලන් ඉන්නේ. කවුද ඒ?
අම්මා
එයා පිටද හිටියේ
ඔව්
බොහොම දුක් විඳලා මැරිලා තියෙන්නේ
ලේලිය නිහඬව බලාගෙන සිටියා විනා කිසිවක් කතා කළේ නැත.
උන්දෑ මැරෙන වෙලාවේ අධික තිබහකින් ඉඳලා තියෙන්නේ, වතුර ටිකක් දෙන්නවත් ළමයෙක් නැති එක ගැන අධික තරහක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉඩකඩම් මෙච්චර තිබිලත් අවසානයේ අනාථ නිවාසයක මැරෙන්ඩ වෙච්ච එකන ගැන ලොකු දුකකින් ඉඳලා තියෙනවා.
ඒ හින්දම මළයක් ආත්මයක් බවට පත් වෙලා එයාව ඉවත් කරන්ඩ ගොඩක් අමාරුවෙයි. එයා ගොඩාක් ප‍්‍රබලයි.
සාස්තරකරුගේ ඒ ප‍්‍රකාශයන් ලොකු දුවගේ ඔළුව අවුල් වී ගියා සේ දැනුණි. ඇය කල්පනා කරමින් මාර්ගයට පැමිණියාය. ඇය සමග තනියට ගිය අසල්වාසී නිවසේ කාන්තාව සමග සිදුවීම පිළිබඳ කතා කරමින්ම පාර පැන්නේ බසයට ගොඩවීමටය.
...... පීප් ........
...... ක්රාස් .
හැරෙන්නටවත් මොහොතක් ඇයට ලැබුණේ නැත. පස් ගෙනියන විශාල ලොරියක ගැටුණු ඇය විසි වී ගොස් පාර මැද ඇදගෙන වැටුණේ යළි කිසිදු දිනක නොනැගිටිණ ලෙසටය.
දරුවන්ට යුතුකම් ඉටු කළ, දරුවන්ගෙන් යුතුකම් ඉටු නොවුණු මවගේ ආත්මය තවමත් නිවෙස් තුන අතර වරින් වර ගැවසෙමින් දරුවන් කළ වරදට දඬුවම් දෙමින් සිටියි.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 
   

Saturday, August 13, 2016

බෝතලයට අල්ලා මුහුදට දමන්න යද්දී භූතයා පැනයයි... (holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


භික්ෂුන් වහන්සේත්, ගුරුවරයාත්, වෛද්‍යවරයාත්, යකැදුරාත් අතීතයේ පටන්ම ගම්වැසියන්ට අත්‍යවශ්‍ය පුද්ගලයෝ වූහ. දැන උගත්කමින් යුක්ත වූ ඔවුහු මිනිසාට පමණක් නොව සතා සීපාවාට හා පරිසරයට කරුණාවන්ත වූහ. අනුන්ගේ දුක දැක උණුවන හදවත් ඇත්තෝ වූහ. අනුන් සුවපත් කොට සතුටක් ලැබූහ. එහෙත් සමාජ ධර්ම යටපත් කොටගෙන මුදල් ඉපැයීමේ තණ්හාව සමාජය තුළ ඉස්මතු වූ තැන් පටන් ඔවුන් කෙරෙහි තිබූ ගෞරවයද දියාරු වන්නට විය. විශේෂයෙන් යකැදුරන් මුදලට මුල්තැන දෙමින් කටයුතු කරන්නට පෙලඹීම නිසා අණවින, හූනියම් මඟින් වෛරය, පළිගැනීම මුදලට කොන්ත්‍රාත් දිය හැකි තත්ත්වයකට පත් විය.
ඇදුරෝ භූතයන්ගේ සම්බන්ධය හෙවත් භූතයන් ලවා අවශ්‍යතා ඉටු කර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර භාවිත කරන්නට වූහ. කර්මානුරූපව හෝ බන්ධනයකින් හෝ කෙනකුට හිරිහැර කරන භූතයන් අල්ලා බැඳ බෝතලවල අසුරා කොන්ක්‍රීට් දමා සිර කොට මුහුදු පතුලට යැවීම යකැදුරන් විසින් සිදු කරනු ලැබීම ඊජිප්තු ආදී රටවල පවා අෑත අතීතයේ සිටම සිදුවී ඇත. එසේම යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාකාරකම්වලින් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට හිරිහැර සිදුවන නිසා භූතයෝ යකැදුරන්ට බියක් දක්වති. ඔවුන් දුටු විට පලා යති. දුර්වල භූතයෝ යකැදුරන්ට අසුව දුක් විඳිති. සමහරු කඹුරති. භූතයන් පමණක් නොව සෑම සත්ත්වයකුම තමන්ගේ නිදහස අහිමි වෙනවාට අකැමැතිය. 

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කුසුමා හැට හැවිරිදි විවාහක කාන්තාවකි. දරුවන් පස් දෙනකු බිහි කළ මවකි. ඇගේ දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකුම තුන් වසරක් තුළ මරණයට පත්ව ඇත. ලොකු පුතා මානසික අවුලකට පත්වී සිටි අතර ඔහු වැවට නාන්නට ගොස් ආපසු ගෙදර ආවේ නැත. ඔහුගේ මළ සිරුර වැව් දියේ පාවෙමින් තිබී ගම්මුන්ට දැක ගන්නට ලැබී ගොඩගනු ලැබිණි. දෙවැනි පුතා දුම්රියක් එද්දී රේල් පාර දිගේ කල්පනා කරමින් ගමන් කරමින් සිට එහි හැපී මරණයට පත්ව ඇත. තුන්වැනියා වූ දුව රහසිගතවම ගැබ්ගෙන සමාජයට මුහුණදිය නොහැකිව වස පානය කොට මියගොස් ඇත. කාලයක සිට රාත්‍රියට නිවෙසේ කෙනකු ඇවිදින අඩි සද්ද ඇසෙන්නට විය. කෙනෙකු තදින් හුස්ම ගන්නා සද්ද ඇසෙන්නට විය. සාත්තර අහන්නට ගිය විට මේ ගෙදරට කොඩිවිනයක් කර ඇතැයි කියැවී ඇති බැවින් තොවිල් පවිල් වලට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කළත් පවතින දෝෂ, දුක් කරදර නිමා වී නොතිබිණි. තොවිල් කළත් දින දෙක තුනක් ගතවන විට පෙර පැවැති තත්ත්වයම උදාවිය.

පවුලේ හතරවැනි පුතා චාමර 'මව්බිම' පත්‍රයේ පළ වන 'මළවුන්ගේ හෝරාව' විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය මෑණියන් කැටුව පැමිණියේය. එහිදී ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරියට කුසුමා පැමිණියේ "අනේ බුදු මහත්තයෝ මගේ ඉතුරු දරු දෙදෙනාගේ ජීවිත බේරා දෙන්නැ"යි අඬාගෙනය. තම පවුලට එළැඹී ඇති තත්ත්වය චාමර විස්තර කළේය. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට මේ දෙදෙනාට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවක් පැහැදිලි නොවීය. එහෙත් ඔවුන්ගේ ශක්ති ශරීර කඩතොළු ඇති බව පැහැදිලි විය. 

"ඔබේ අමනුෂ්‍ය දෝෂය සංකීර්ණයි. පැහැදිලි නෑ. මේක සංසාරගත පාපකර්මයක විපාකයක් බවයි පෙනෙන්නට තියෙන්නේ. ඔය දෙදෙනාගේ සිත් දෙකත් අවුල්. ඒක නිසා සිත ඒකාග්‍ර වෙන්න ඕනෑ. එතකොට ශරීරයේ ශක්ති වළල්ල (ඕරා) සකස් වෙනවා. ඒකට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා විසි එකක් පවත්වා නැවැත එන්නැ"යි ගවේෂකවරයා මේ මවටත්, පුතාටත් උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවැත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කුසුමා භූතාවේෂයෙන් ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට වී කෑ ගසන්නටත් අඬන්නටත් වූවාය. 
"කවුද මේ කෑ ගහන්නේ" යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
"මම කමල්"
"කවුද කමල් කියන්නේ"
"මේ මගේ පුංචි අම්මා. මම මෙයාගෙ අක්කගෙ පුතා"
"මොනවා වෙලාද මැරුණෙ" 
"පසුගිය භීෂණ කාලෙ මැරුණෙ. වෙඩි වැදිලා"
"මැරුණට පස්සෙ මොකද වුණේ?"
"මැරුණාට පස්සෙ පාවෙවී හිටියා කාලයක්. ඊට පස්සෙ අම්මව මතක් වුණා. මතක් වෙනකොටම මම ගෙදරට ඇවිත් හිටියා. මට බොහෝ දේවල් කියා ගන්න ඕනෑ වුණා. ඒවා අම්මාට කිව්වාට එයාට ඇහුණේ නෑ. මම අම්මාට ආදරෙයි. මට ඕනෑ වුණා මා ඉන්නා තැනට අම්මාව අරගෙන යන්න. අම්මා අසනීප වුණාම මුන් කට්ටඩි ගෙනැල්ලා මාව බෝතලයකට දාන්න හැදුවා. ඒක කතාවෙනකොට මට දැනුණා. මම ඉස්සර අහලා තිබුණා බෝතලයකට දාලා මූදෙ දාන කතාව. මම මුන්ට අහුනොවෙන අෑතට පැනලා ගියා. ඒත් සැරෙන් සැරේ ඇවිත් එක එකාව පිස්සු වට්ටලා මැරුවා. මම මුන් එක්ක තරහයි. ඒකයි මේ පළිගන්නේ" යි භූතයා කීවේය.
"තමුන් කරන දේ වැරැදියි. මේ මනුෂ්‍ය භාවය ඉතාම වටිනවා. ඉතින් මේ මිනිස් ලෝකයේ ඉන්න අම්මාව මරාගෙන යන්න හිතන එකත් මහා පාපයක්" යැයි ගවේෂකවරයා කීවේය. 
"ඔය බණ මට වැඩක් නෑ. මම මිනිස් ලෝකෙ ඉන්දැද්දිත් දරුණු වැඩ කළ කෙනෙක්. මට ඕවා ඒ තරම් දේවල් නෙමෙයි. මුන් මාව බැඳලා බෝතලේට දැම්මා නම් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙනවා. මම ඒකට පළිගන්නවා. මේකිගෙ පවුලම මරනවා. මාව වළක්වන්න කාටවත් බෑ" 
මේ භූතයා දරුණු වෛරයකින් පෙළෙන බැවින් හොඳින් කතා කළාට නම්‍යශීලී නොවන බව වටහා ගත් ගවේෂකවරයා ආධ්‍යාත්මීය කිරණ ශක්තියෙන් දවාලීය. පුවක් මලක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දිනපතා උදේ හවස නිතර බෝධි පූජා පවත්වන බෝධියක හොඳින් සුවඳ දුම් වදින ඉහළ අත්තක එය එල්ලා තබන ලෙස කුසුමාගේ පවුලේ අයට උපදෙස් දුන්නේය. එසේම සතියක් බෝධි පූජා පවත්වමින් ඔහුට පින් අනුමෝදන් කොට බෝධීන් වහන්සේටත් පුවක් මලටත් සුවඳ දුම් අල්ලා සතිය අවසානයේ පුවක් මල නැවැත රැගෙන එන ලෙස උපදෙස් දුන්නේය. 
බෝධි පූජාව අවසන් කොට ඔවුහු පුවක් මලද රැගෙන නැවැත පැමිණියහ. එදිනද කුසුමා ආවිශ්ට වූ පසු භූතයාගේ වෛරය පළිගැනීමේ අදහස අඩුවක් වී නොතිබුණු බැවින් නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය. 
භූතයා අඬන්නට ගත්තේය. "එපා... එපා... මාව පුච්චන්න එපා. මම යන්නම්. අනේ මට කරදර කරන්න එපා. මම යන්නම්, කියන තැනකට යන්නම්" යැයි බැගෑපත් වූයේය.
පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් ලවාම අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.
කුසුමාටත් පවුලේ සියලු දෙනාටත් කුසුමාගේ අක්කාටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 



සොපි නෝනාගේ අවතාරය...(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැට අටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, සල්ලාලකමත් මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත්, අභාවයට යන ඉපැරැණි වලව්වක් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවාසනාවන්ත ආකාරයටය. 
ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි. 

ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය. 
ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය. 
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය. 

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය. ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය. 

සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ගමට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය. 

අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය. 
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය. 
සොපිනෝනා මියයන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය. 
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය. 
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි. 

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


සප්ත කන්‍යා කඳු වැටියේ ගවේශණය....(.saptha kanya...අබිරහස් අඩවිය - Abirahas Adawiya)

වර්ෂ 1974 දෙසැම්බර් 04 වැනි දින ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටින් පිටත්වුණු මැටිනෙයාර් ඞීසී 8 දරන ගුවන් යානය හජ්ජි වන්දනාකරුවෝ 182 ක් හා කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වූහ. ඉන්ධන ලබා ගනු වස් කටුනායක ගුවන්තොටට ගොඩබැසීමට නියමිතව තිබූ මෙම යානය එදින රාත‍්‍රී 10 පසුවන විට සප්ත කන්‍යා කඳුවැටිය ආසන්නයෙන් පියාසර වෙමින් තිබුණි.
එකෙණෙහිම යානයේ වම් තටුව සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ වැදුණි. වැදුණු වේගයට කන්ද හෑරී ගිය අතර කැරකී ගිය යානයේ දකුණු තටුව අවට විශාල ගස් කපා දැමුවේය. පසුව ආ වේගයෙන්ම ඉදිරියට ගිය යානය සය වැනි කන්දේ මුහුණට මුහුණ වැදුණි. යානයට දරා ගත නොහැකිවූ එම හැපීම නිසා කඳු වැටිය දෙදරා යන මහ හඬින් යානය පුපුරා ගිනි ගෙන දැවුණේ ජීවිත 191 ක් සමගිනි. එම විශාලතම ගුවන් අනතුර පිළිබඳව කිසිත් නොදන්නා සේ සිටින සප්ත කන්‍යාවන් සොයා ගිය ක‍්‍රියාදාමය ඉතා දුෂ්කර කර්තව්‍යයක් විය.
සුපුරුදු පරිදි කොළඹ අවිස්සාවේල්ල හරහා හැටන් පාරේ ගිනිගත්හේන නගරයට අප පැමිණෙන විට වේලාව උදේ 8 ට පමණ විය. තවමත් මීදුම් සළු පොරවාගෙන සිටින දොළොස්බාගේ කඳු සොයා අප නාවලපිටියට ගියේ ගල්බඩ ඇල්ල නැරඹීමටයි. නාවලපිටිය සිට තලවකැලේ මාර්ගයේ පටන් ගැන්මේ හමුවන පාලම පසුකර විගස දකුණට දිවෙන මාර්ගයේ ගල්බඩ දුම්රිය ස්ථානය සොයා යා යුතුය. පසුව ප‍්‍රදේශයේ වැසියන්ගෙන් මග අසාගෙන අප‍්‍රකට මගක් ඔස්සේ ගල්බඩ වත්තට යා යුතුය. 
සාමාන්‍යයෙන් ගලබඩ ඇල්ල නැරඹීමට සුදුසුම ආකාරය දුම්රියයි. දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2 ක පමණ පාගමනකින් පසුව වතු නිවාස ආශ‍්‍රිත අඩි පාරෙන් ගොස් මීටර් 60 ක් පමණ උස ගලබඩ ඇල්ලට ළඟා විය හැකිය. තත්ත්පරයකට ඇසිල්ලෙන් වෙනස් වන ජල ප‍්‍රවාහයක් ඇති මෙම ඇල්ල බලා සිටියදී මුළු පර්වතයම වෙලාගෙන ජලය කඩා වැටේ. ගල්බොඩ ඇල්ලෙන් සමුගෙන තලවකැලේ මාර්ගයේ ඉදිරියට යත්ම කඩියන්ලෙන/කැටඹුලාව ඇල්ල දැක ගත හැකිය. 

මාර්ගය යටින් ගලා යන ජල පහර මීටර් 30 ක් පමණ පහළට වැටෙයි. ඇළ මාර්ගයේ පහළට ගිය පසු සම්පූර්ණ දිය ඇල්ල දැක ගත හැකි අතර එය ඉතා අලංකාර බව එවිට ඔබට වැටහේ. කුඩා ආරුක්කු 3 ක් මැදින් පහළට වැටෙන ජලය තේ වතු පෝෂණය කරමින් ගලායයි.
නැවතත් ආ මගේම ගිනිගත්හේනට ගිය පසු ඉන් හැටන් පාරේ දියගල හන්දිය දක්වා පැමිණ ඉන් දකුණට හැරී ශ්‍රී පාදයට යන මාර්ගයේ කි.මී. 8 ක් පමණ යා යුතුය. නෝටන් බි‍්‍රජ් පසු කළ පසු ලක්ෂපාන ඇල්ල වෙත යන දකුණට දිවෙන මාර්ගයත් ඒ අවම හිඩැස් අවකාශයේ ගුවනට නැගුණු කඳුවැටි 7 කින් යුත් සප්ත කන්‍යා කඳු වැටියත් ඔබට දැක ගත හැකිය.
ප‍්‍රථමයෙන් අපි පඩි 200 ක් පමණ බැස මීටර් 129 ක් පමණ උස ලක්ෂපාන දිය ඇල්ල නැරඹුවෙමු. එය ඉතා අලංකෘත ඇල්ලකි. පෙනුමෙන් ඇබර්ඞීන් ඇල්ලට සමානකම් කියන මෙම ඇල්ල පිටුපස ඇත්තේ සප්ත කන්‍යාවියන්ය. කඳු නැගීමට ප‍්‍රථම උදෑසන ආහාරය ගෙන ස්නානය කළේ ලක්ෂපාන ඇල්ලේ අධික ශීතල ජලයෙනි. පසුව ඔබ මොබ දුව මීදුම් සළුවලින් හෙමිහිට එබිකම් කරන සප්ත කන්‍යාවියන් සොයා යෑමට අපි පටන් ගත්තෙමු.
සප්ත කන්‍යා කන්දට නැගීමට මාර්ග 2 ක් ඇත. එනම් පාලමේ සිට නොම්බර 5 කොළණිය ඔස්සේ නැගීම සහ ලක්ෂපාන හන්දිය පසුකර කොතැල්ලෙන පාසල අවට වතුයාය ඔස්සේය. බොහෝ විට සප්ත කන්‍යා කඳු මුදුන් මීදුමෙන් වැසී ගොසිනි. හිම කැට විසිරී නත්තල් සැරසිල්ලක් සේ විටෙක පෙනෙන මේ කන්ද නැගීම ඉතා දුෂ්කර හා දුර්ලභ කාර්යයකි. සප්ත කන්‍යා හෙවත් කන්‍යාවියන් සත් දෙනෙකු ලෙස සිටින මේ කන්ද තනි දිගැටි කන්දකි. එහි මුදුන ස්ථාන 7 කින් ඉහළට නෙරා ගොස් ඇති නිසා කඳුවැටි 7 කි. ඈත සිට බලන කල පහසුවෙන්ම මේ විශාල කන්දේ කඳු වැටි 7 දැක ගත හැකිය. කන්ද තරණය කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති අතර, ඉතා දුෂ්කර ලෙස මග සාදාගෙන බාධක මැද යා යුතු බව අපට ගම්වැසියන් විසින් පවසන ලදී. එම නිසා අත්‍යවශ්‍ය කළමනා පමණක් රැුගෙන අපි කන්ද නැගීමට සූදානම් වුනෙමු.
කැලයෙන්ම ශක්තිමත් රිටි සාදා ගත් අපි එය අතැතිව මග සාදාගෙන යෑමට සූදානම් වීමු. තේ වත්තක් මැදින් ඉදිරියට යන මාර්ගය පසුව කටු අකුල් පිරි කැළයකට අවතීර්ණ වෙයි. පසුව ඒ සමගම පයින් ගස් පිරුණු ප‍්‍රදේශයකට ඇතුළු විය යුතුය. ආරම්භයේ පටන් සුපුරුදු කූඩැල්ලෝ අපගේ ලේ රස සොයා පැමිණ සිටියහ. ඒ අතර විශාල කූඩැල්ලන් සහ පණුවන්ද සිටියේය. ක‍්‍රමයෙන් අප ඉදිරියට ඇදෙත්ම ඈතින් ඈතට තවත් කඳු දැක ගත හැකි විය. නෝටන් බි‍්‍රජ් මස්කෙළිය හරහා සිරිපා අඩවියට යන මේ පුණ්‍යවන්ත ප‍්‍රදේශය සොබා දහමේ අපූර්වතම නිර්මාණයකි. සරුසාර තේ කඳු වලින්ද හරිත පැහැ වෙළාගත් වටපිටාව සමග එක පොදියට පොර බදින මීදුම් සළු ද මවන්නේ ඇස් අදහාගත නොහැකි දසුන්ය.
පයින් කැලය හරහා ඉහළට යත්ම කන්දේ බෑවුම් කොටසක් දැක ගත හැකිය. යන මග පුරා කඩා වැටුණු පයින් ගස් උඩින් යමින්ද දණ නොපෙනෙන පඳුරු පිරි කටුක මාර්ගයේ ඉදිරියට ඇදෙත්ම හමුවූ ස්ථානයක් අසල ගිමන් හැරියෙමු. මීටර් 400 ක් පමණ ආ නමුත් මෙම කන්දේ පිහිටීම නිසා දෙපාවලට දැනෙන වෙහෙස අධිකය. මාර්ගය කුඩා තැන්නකට අවතීර්ණ වුවද ඉන් පසු උසට වැඞී තිබෙන කටු අකුල් ගස් ඈත් මෑත් කරමින්ද විටෙක රිංගා පැන යමින්ද ගමන් කළ යුතුය. සමහර ස්ථානවල දුටු වසුරු අලි වසුරු දැයි හරියටම නිශ්චය කරගත නොහැකි විය.
උසට වැඩුණු ගස් පඳුරු අතරින් යෑම තරමක් අසීරු විය. මන්ද ගස්වල සිටින සතුන් හා දෙපාවල එල්ලෙන සතුන් බොහෝමයක් වන හෙයිනි. ගස් වැල් මග හරස් කොට නැගී තිබුණු නිසා විටෙක රිංගමින්ද වැල්වල එල්ලීද අපට ගමන් කරන්නට සිදුවිය. වම් පස ප‍්‍රදේශයෙන් සප්ත කන්‍යාවකගේ මුහුණුවර පෙනෙන අතර ඊට එහායින් පෙනෙන්නේ මීදුමෙන් වෙළාගත් කඳු ශිඛරයන්ය. මීටර 200-300 ක් පමණ මෙලෙස බොහෝ දුෂ්කරතා මැද ගමන් කළ යුතුය. ඒ සමගම විශේෂයෙන් ගස් අතරින් රිංගන මීදුම සමගද අපි සටන් කළෙමු.
මෙලෙස තව තවත් ඉහළට යත්ම විශාල පඳුරු හා ගල් වැටියක් මගින් ඉහළට නැගීමට සිදු විය. පසුව මීටර 10 ක් පමණ උස ගල් බිත්තියකට නැග යා යුතුය. ඒ සඳහා ගස් වැල් ආධාර කොටගෙන පරිස්සමින් අපි ඉහළට ඇදුනෙමු. විටින් විට හිරිපොද වැටෙන අතර අහසද වැස්සකට මාන බලන බව අපි දුටුවෙමු. කඳු නගින්නට තරමක් නුහුරු දුෂ්කර කඳු තරණය මෙය බව අපට හැෙඟ්. මෙම කන්දේ කඳු වැටි හතටම ගමන් කිරීම අපගේ අරමුණයි. රැුයක් ගත කිරීමට තැනිතලා නිදහස් ප‍්‍රදේශයක් නොමැති වුවද කූඩාරමක් අනිවාර්යයෙන්ම අටවාගෙන කැලය අසලට වී සිටිය හැකිය. කෙසේ හෝ අප කඳු මුදුනට ළඟා වෙමින් තිබුණි. විටෙක විවිධ රටා මවන හතු වර්ගත් මල් වර්ගත් මෙම කැලයේ අලංකාරය තවත් වැඩි කරන්නට සමත් විය.
පයින් ගස් පිරුණු කැලයෙන් යාමේදී සුළං ප‍්‍රවාහය ගැන සැලකිලිමත් විය යුතුය. එලෙසම ගරා වැටුණ ගස් කඳන් මතින් යෑමට වුවහොත් ගස් බෙන හා ඒ අවට සැරිසරන සර්පයන් පිළිබඳව විමසිලිමත් විය යුතුය. කඳු මුදුනට ලංවත්ම හමුවන හිස් අවකාශ අසලදී අවට පරිසරයේ අපූරු බව දැක ගත හැකිය. කිලෝමීටරයක් පමණ තද බෑවුමක් සමග කන්ද නැගිය යුතුය. මෙහිදී මතක තබා ගත යුතු දේ කිහිපයකි. එනම් මාර්ගයක් නොමැති නිසා දැඩි ශාක ව්‍යාප්තියක් පවතින බැවින් අනතුරුදායක ස්ථාන ළඟට යනතුරු පෙනෙන්නේ නැත. එලෙසම වැසි සහිත අවස්ථාවලදී සත් වැනි කන්දෙන් ගලන දිය දහරා සහ ලිස්සන සුළු මඩ සහිත බුරුල් පසට අඩිය තැබීම සුපරීක්ෂාකාරී විය යුතුය.
තනිකරම වන පියසක් වෙතින් ගමන් කළ යුතු නිසා ඇතැම් විට හමුවන විෂ කටු සහිත පඳුරු සහ ශාක පිළිබඳවද පුංචි අවබෝධයක් තිබීම සෑහේ.
ඉර මුදුන් වන යාමය ලංවෙත්ම අප සප්ත කන්‍යාවියකගේ මුදුනකට නැග්ගෙමු. මෙහිදී 1 සිට 7 දක්වා කඳු වැටි නම් කිරීමට නිශ්චිත ක‍්‍රමයක් නැත. එම නිසා අප සිටි කඳු වැටියේ සිට එහා කෙළවරට අපි ගමන් කළෙමු. මේ යන අතරතුර කඩා වැටුණු ගුවන් යානයේ ඉතිරිව තිබෙන පසට යටවුණු යකඩ කැබලි විය හැකි දෑ දැකිය හැකිය. එලෙසම වැඩි ඉඩකඩක් නොමැති කඳු මුදුන් වළදි පහළ හෙළ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අහස් තලය සිඹින මීදුම් සේල අප දෙසට එන අතර ඒවා සුළඟ සමග ගත දැවටෙන විට දැනෙන සීතල විස්තර කළ නොහැකි තරම්ය.
අපගේ ගමනේදී මීට වසර 40 කට පෙර සිදුවූ අනතුරේ බවට සිතිය හැකි යකඩ කැබලි කිහිපයක් පොළොව යට කිඳා බැස තිබෙනු දිටීය. එකල මහත් ව්‍යසනයක් වූ මෙම සිද්ධිය අදටත් මියගියවුන්ගේ ඥාතීන් බලවත් සොවින් ස්මරණය කරයි. ප‍්‍රබල ඝට්ටනයෙන් පසු යානයේ තෙල් විසිරී අවට වනලැහැබද ගිනිගත් අතර කඳු මුදුනේ සිට කඳු වැටිය පාමුල දක්වා යානයේ සුන්බුන් හා මළ සිරුරු නෙරා ආ කැලෑවෙන් වැසුණු බෑවුමකින් යුක්ත වූ විශාල පාතාලයට වැටුණේය. එදින කිසි කෙනෙකු නොඇසූ ශබ්දයට සප්ත කන්‍යාව අවටත් තෙබර්ටන් වතුයායේ වැසියනුත් ඇහැරිණි. ඔවුන්ගේ සිත් භීතියටත් දුකටත් පත් කරමින් සප්ත කන්‍යාවෝ ගිනිගන්නා දර්ශනය පෙනුණි.
මුහුදු මට්ටමේ සිට අඩි 5143 ක උසින් පිහිටි සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ අක්කර දෙකක පමණ ප‍්‍රදේශයක් පුරා යානයේ සුන්බුන් හා මළකඳන් විසිරී තිබුණි. දෙසැම්බර් 5 වැනි දින රාත‍්‍රියේදීවත් හෙළිකොප්ටරයකින් හමුදාවට කඳු මුදුනට බැසීමට හැකියාවක් නොතිබුණේ ඒ වන විටත් කන්ද ගිනි ගනිමින් තිබුණු නිසාත් කඳු වැටිය රත්වී තිබුණු නිසාත්ය. පැය 24 කට අධික අඛණ්ඩ ගිනි ගැනීම නිසාත් සුන්වූ යානය නිසාත් මතකයකටවත් බේරා ගැනීමට කිසිවක් ඉතිරිව නොතිබුණි. නමුත් එම යානයේ තිබූ එක් රෝදයක් පමණක් සමස්ත මතකයට ඉතිරිව ඇත. එය අදටත් එම වතුයායේ පොදු ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත. අක්කර ගණනක් පුරා යකඩ කැබලි විසිරුණු නිසා කාලයාගේ ඇවෑමෙන් ඒවා පොළෝ තලයට යටපත් වුණා. එලෙස
යටපත් වුණු යකඩ කැබලි අධික වර්ෂාවට පස සේදී යාම නිසා යන්තම් මතුවී තිබෙනු අප කාච ගත කළෙමු.
කෙසේ හෝ අනතුර සිදුවී දින හතරක් යන විටත් මළ සිරුරු සොයා ගත්තේ 100 ක් පමණි. ඉන් බොහෝමයක් තෙබර්ටන් වතුයායේ භූමදාන විය. අනතුර සිදුවූ තැනට ඒ වන විට ගුවන් සමාගමේ නියෝජිතයන් හා මියගිය පිරිසගේ නෑ හිතවතුන් රැසක් පැමිණ සිටියහ. එවන් ජීවිත ගණනක් සඟවා ගත් සප්ත කන්‍යාවෝ අදත් ඒ කඳු ගැටයේ සලකුණ සමග නැගී සිටිති. එලෙසම මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරු වන ලක්ෂපාන ඇල්ලත් සමනොළ මිටියාවතේ නොඉඳුල් දිය දහර හොවාගෙන ගලා ගෙන යයි.
ඉතිහාසගත ඛේදවාචකයට මුල් වූ සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම අපට එම අතීතය ආවර්ජනය කරන්නක් විය. මෙම අනතුරින් මියගිය බොහෝමයක් මුස්ලිම් ජාතිකයෝ වූහ. කෑලි කපන අඳුරක කිලෝමීටර් ගණනක් ඈතට පෙනෙන ලෙස හිස් අවකාශයක තිබෙන මෙම කඳුවැටිය ගිනිගන්නා දර්ශනය සිතෙහි මවා ගත හැක. ඒ මොහොත කෙතරම් බියකරු දැයි අපට සිතා ගත හැක. 
එම නිසාම සප්ත කන්‍යාවියන්ව ආරක්ෂා කරමින් අපි පරිස්සමෙන් තරණය කළෙමු. කඳුකර සීත පරිසර පද්ධතිය හොඳ හැටි හෙබි මෙම කඳුවැටිය ජෛව විවිධත්වයෙන්ද පොහොසත් වී ඇත.
ඉතා දුරින් පිහිටි සමනොළ කඳු මුදුනත් පහතින් ගලා යන ලක්ෂපාන දිය ඇල්ලේ දිය පහරත් මීදුම පහ වන විට දැකිය හැකිය. මස්කෙළිය බගවන්තලාව සහ ලක්ෂපාන නෝටන්බි‍්‍රජ් හරහා ගිනිගත්හේන ආශ‍්‍රිත ප‍්‍රදේශවල මුර බැඳි කඳුවැටි දැකගත හැකිය. අංශක 360 ක වපසරියක් දැක ගත හැකි අතර ඊට විටින් විට බාධා පමුණුවනුුයේ මීදුමය. ඒ කෙසේ නමුත් ඉතිරි කඳු වැටි සොයා අපි හෙමිහිට ගමන් ඇරඹුවෙමු.
එක්තරා අවස්ථාවකදී කඳු වැටි දෙකක් අතරින් ගමන් කිරීම ඉතා දුෂ්කර විය. බැලූ බැල්මට දුර තියා දකින විට පහසුවෙන් කඳු මුදුනේ සිට කඳු වැටි දෙසට ගමන් කිරීම දුෂ්කර නොවෙතැයි සිතුවත් එය සැබවින්ම අවදානම් කාර්යයකි. නමුත් අප කාලය වැය කරමින් ආරක්ෂාකාරීව කඳු වැටි අතර ගමන් කළෙමු. මීට හතලිස් වසරකට පෙර හැපුණු යානය මේ කඳුවැටිය මුදුනක එකම ගිනිගන්නා මුදුනක් බවට පත් කළේය. අක්කර කිහිපයක් පුරා පැතිරුණු ඒ ගින්නත් ඒ රුදුරු ව්‍යසනයත් සඟවාගෙන සප්ත කන්‍යාවෝ අදත් නැගී සිටිති. කෙසේ හෝ ගස් සහ පඳුරු මතින් ගමන් කොට අප කඳු වැටි 5 ක් තරණය කළේ පැය දෙකකටත් අඩු කාලයකිනි. මීටර් 1200 කට වඩා උසැති මෙම කන්ද මෙම ප‍්‍රදේශයේ පැහැදිලිව දැක ගත හැකි එකම කන්දයි. එනම් හතරවටින්ම හිස් අවකාශයක් පවතින හෙයිනි. සමහර අවස්ථාවල දී පහළ හෙළේ පිහිටි ගම්මාන, ගෙවල් සහ මාර්ග දැක ගත හැකිය. නමුත් කඳුවැටිය අයිනටම අපට යාමට නොහැක. ඒ කෙළවර නොපෙනෙන හෙයිනි.
එක් කඳු වැටියක දිය දහරාවක් තිබෙන නමුත් එය නිශ්චිතව නොමැත. කඳු වැටි සියල්ල හරහා අප ගමන් කළ පසු අපට දැනෙන විඩාව නිවාගනු වස් අප බිම අසුන් ගත්තෙමු. ගල් පර්වතයක් අසල වැතිරී ගෙන ආ ආහාරපාන භුක්ති විඳි පසු අප සූදානම් වූයේ කන්ද බැසීමටයි. කන්ද බැසීමේ දී වෙනත් මාර්ගයක් භාවිත කළ අතර එය තරමක් දුෂ්කර බව හැෙඟන්නට අපට වැඩි වෙලා ගියේ නැත. ඒත් කෙසේ හෝ දුෂ්කර බව අභියෝගයකට පෙරළාගත් අපි ළඟ තිබෙන රිටි සහ පිහියා ආදියෙන් සමහර කටු පඳුරු එළිකරමින් ගමන් කළෙමු. නිමක් නැතිව තරගයකට මෙන් එල්ලෙන කූඩැල්ලන් නිසා අපට ඉමහත් කරදරයක් ඇති විය. අකිලගේ කකුලේ දණහිස පමණට නිදැල්ලේ ලේ උරා බී සිටි කූඩැල්ලා ඉතා විශාල වී තිබුණි. කෙසේ හෝ උගේ දළ සමේ නොසිටින ලෙස ඌව කඩා ඉවත් කළ පසු ගලන ලේ නැවැත්වීමට රෙදි පටි භාවිත කළෙමු. ලේ සුවඳට ඇදෙන කූඩැල්ලන් නිසා අපි පය ඉක්මන් කොට පල්ලම් බැසීමට තීරණය කළෙමු. එම නිසාම
වැඩි කාලයක් වැය නොකර සැලකිය යුතු දුෂ්කර මාර්ගය තරණය කිරීමට අපට හැකි විය. පයින් කැලයෙන් ද ගමන් කළ නමුත් මෙම කැලයේ සෙසු කුඩා ශාක ද මහ ගස් හිඩැස් අතර වැවී තිබෙනු දැක ගත හැකි විය.
සූරියකාන්ත, බෝවිටියා, ක්‍රෝටන් සහ මහගස් වසන වැල් රාශියක් සමග නම් නොදන්නා පුෂ්ප වර්ග ද මේ අවට තිබුණි. වල් ඌරන්, හඳුන් දිවියා සහ මුවා මේ පරිසරය ආශ‍්‍රිතව සිටින සතුන් ය.
එලෙසම අප නොදන්නවා වූවාට සමනොළ අඩවිය හා හෝර්ටන්තැන්න ආශ‍්‍රිතව වාසය කරන ප‍්‍රබල මාංශ භක්ෂකයා වන දිවියා ද මෙම කැලෑවල්වල සිටිය හැක. නිතරම සීත හා මීදුම් පිරි කාලගුුණයක් පවතින සප්ත කන්‍යා කඳුවැටියත් ඒ ආශ‍්‍රිත සුන්දර ගම්මානත් සරුසාරය. තේ කඳු සමග තව භෝග කරන මෙම ප‍්‍රදේශ බොහෝ විට වැසි බර අහසින් පිරී තිබේ.
මුහුණු පොතේ තිබෙන Travel in srilanka ¡ sobasiri පිටුව හරහා සම්බන්ධ වී ඔබට මේ නිවාඩු සමයේ දරුවන් සමග එක්ව පුංචි කි‍්‍රයාදාම චාරිකාවක් යෑමට අවශ්‍ය ස්ථාන හා තොරතුරු නොමිලයේම දැනගත හැකිය. නැතහොත් එහි තිබෙන වෙබ් අඩවිය හා දුරකතන අංක සමග සම්බන්ධවී ඕනෑම වෙලාවක තොරතුරු ලබා ගත හැකිය. කඳුකරයේ සුන්දර ස්ථාන හා ගමන් මාර්ග පිළිබඳව අවශ්‍ය විස්තර ලබා ගත හැකිය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya