Monday, June 17, 2019

ස්පිට්ල්ගේ වැද්දන් සිටි ගල්ගේ සොයාගිය ගමන......(Vanished Trails - මැකී ගිය දඩමං - makigiya dadaman අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ඉර උද‌ාවිය. පිහිලේගොඩ ගල්ගෙයි වැසියෝ තවත් එක් බඩගිනි දවසකට මුහුණ පෑමේ ඉරණම ඇතිව එකිනෙකා අවදිවූහ.   
දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් රචිත Vanished Trails කෘතිය ඒ.පී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. ඒ මැකී ගිය දඩමං නමිනි. මැකී ගිය දඩමං කෘතිය ඒ.පී. ගුණරත්න මහතා ආරම්භ කරන්නේ පිහිලේගොඩ ගල්ගේට ඉර උද‌ාවීමත් සමගය.   
දොස්තර ස්පිට්ල් තම කෘතිය පෙලගස්වන්නේ පිහිලේගොඩ ගල්ගේ වැද්දන්ගේ කතාන්දරයක් ලෙසිනි.   
මහවැදිරට නමින් එකල හැඳින්වූ කඳුවලින් වටවූ නැගෙනහිර පළාතේ මෙන්ම ඌව පළාතේ මහ කැලෑවල ගල්ලෙන්වල මේ වැදි පවුල් ජීවත්වූහ. හීතල වන්නිය, නුවරගල, බලාන, වාලිඹේ හෙළ, බණ්ඩාරදූව, බිංගොඩ, හේනෙබැද්ද, නිල්ගල යන ප්‍රදේශ මේ වැද්දන්ගේ වාසභූමි බවට පත්ව තිබිණි. මේ වැදි කණ්ඩායම් පිළිබඳ ප්‍රථම වරට ලොවට අනාවරණය කරන ලද්දේ සී.ජී. සෙලිග්වාන් නම් බ්‍රිතාන්‍ය ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඒ වර්ෂ 1900 දී පමණය. සෙලිග්මාන් විසින් මේ වැදි කණ්ඩායම් සිය ගල් ගෙවල් තුළදීම දැක බලා ගන්නා ලදී.   
ඔහුගේ The Veddas නම් ග්‍රන්ථයේ ඇති ඡායාරූපවල වැද්දන් සිය ගල් ගෙවල්වල ජීවත්ව සිටි ආකාරය අපට දැක බලාගත හැක. මේ ගල්ගෙවල් සහිත ප්‍රදේශ අදටත් ඝන වනාන්තර වේ.   
නීලා නම් මහවැදිරාලගේ නායකත්වයෙන් යුත් එක් වැදි කණ්ඩායමක් මේ වනාන්තර තම වාස භූමි කරගෙන ජීවත්වූහ. නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නිය නම් ප්‍රදේශය තම වාසභූමිය කරගත්හ.   
වර්තමානයේ ගොඩනගන ලද රඹකැන්ඔය ජලාශයෙන් නැගෙනහිරට වන්නට පිහිටි වනාන්තර ප්‍රදේශය එකල හීතල වන්නිය ලෙස හැඳින්වූ බව සඳහන් වේ.   
නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නියේ මහගල්කුළු අතර දඩයමේ යමින් ඒවා තුළ පිහිටි ගල් ගෙවල්වල ජීවත්වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රධාන ගල්ගෙයක් වන්නේ මනස්කාන්ත රඹකැන් ඔය ජලාශයේ සිට සැතපුම් තුනක් පමණ නැගෙනහිරට වන්නට පිහිටි පිහිලේගොඩ ගල්ගෙයයි. 
පිහිලේගොඩ ගල්ලෙන

මීට අමතරව ඔවුන් ජීවත්වූ අනෙක් ගල්ගෙවල් වන්නේ නුවරගලකන්ද මුදුනේ පිහිටි ගල්ගෙය, දික්ගල්ගෙය, බලාන තලාවේ පිහිටි බලාන ගල්ගෙය සහ වාලිඹේ හෙලේ පිහිටි ගල් ගෙයයි.   
මෙවර අපගේ අරමුණ වූයේ පිහිලේගොඩ ගල්ගේ සොයා යාමයි. උද‌ා හිරුගේ මන්ද‌ාලෝකයත් සමග අපි අපගේ සංචාරය ආරම්භ කළෙමු. අප මහඔයට ළඟාවන විට උදෑසන දහය පසුවී තිබිණි.   
වැද්දන්ගේ තොරතුරු පිළිබඳ පුවත්පත් ලිපි සහ ​ෙපාත් ගණනාවක් පළ කළ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ සඳරුවන් ලොකුහේවා මහතා අපගේ සංචාරයට අවශ්‍ය සියලු දේ පිළියෙළ කර තිබිණි. එතුමා පොල්ලෙබැද්ද ආදිවාසි ගම්මානය අසල නිල්ඔබ නම් ගමේ අද විශ්‍රාම සුවයෙන් දිවිගෙවයි. එතුමා විසින් අපගේ ගමනට මග පෙන්වන්නෙකු ලෙස පොල්ලෙබැද්ද ආදිවාසී සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ද‌ානිගල මහ බණ්ඩාරලගේ අප්පුවලැත්තෝ සහ තවත් වැදි තරුණයකු වන ගමා සූද‌ානම් කර තිබිණි.   
පනස් හත්වන වියේ පසුවන අප්පුවලැත්තෝ සහ හතළිස් හැවිරිදි ගමා නීලගේ වැදි පරපුරෙන් පැවතගෙන එන්නන් වේ.   
වනාන්තරවල අනේක දුක් ගැහැට විඳි මේ ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ මුතුන් මිත්තන් එක්දහස් නවසිය තිස්පහේදී පමණ පොල්ලෙබැද්දේ පදිංචි කරවූයේ දොස්තර ස්පිට්ල්ය.   
 පොල්ලෙබැද්ද ගමේ අමිශ්‍ර වැදි පවුල් 20-25 පමණ වෙසෙන බව අපට දැනගන්නට ලැබිණි.   
අපගේ සංචාරයේ ආරම්භක මාර්ගය පොල්ලෙබැද්ද හරහා රඹකැන් ඔය ජලාශය දක්වා වැටී තිබිණි. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීම නිසා වැද්දන්ගේ මෙන්ම සිංහල ජනයාගේද හේන් ගොවිතැන් දියුණුවූ බව වැද්දන් අප සමග පැවසීය.   
රඹකැන් ඔය ජලාශය දක්වා වැටී ඇති ගුරු පාරට වම්පසින් යෝදයන් සේ ඉහළට නැගි කඳු පන්තීන් තුළ ඇති ගල් ගෙවල්වලද වැද්දෝ ජීවත් වූහ. ඒවායින් එක් ගල් ලෙනක් වන්නේ මුත්තාකඩ ගල්ලෙනයි. එය ගොරිකාන කන්දේ පිහිටා ඇත. මීට පෙර වතාවක අපි එම ගල් ගෙය දැකබලා ගත්තෙමු.   
වැද්දන් ජීවත්වූ නුවරගල කන්ද දක්වා වැටී ඇති මාර්ගයේ මෙම ගල් ගෙය පිහිටා ඇත. අප ගමන් කළ මාර්ගයේ දෙපස පිහිටි වනාන්තර එළිපෙහෙළි කර හේන් ගොවිතැන ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබිණි.   
මීට පෙර වතාවක (වසර 13 කට පෙර) අප පොල්ලෙ බැද්දේ කළ සංචාරයේදී දක්නට ලැබුණු හේන්වලට වඩා මෙවර අප දුටු හේන් වඩාත් විධිමත්ව සශ්‍රීකව සිදුකරන බව අපට දක්නට ලැබිණි.   
අප ගමන් ගත් මාර්ගයට වම්පසින් හේන් යායට ඔබ්බෙන් රඹකැන් ඔය ජලාශයෙන් ගලායන දිය පහර රැගත් රඹකැන් ඔය ගලායයි.
පිහිලේගොඩ ගල්ලෙන
 
අපගේ ගමනේ එක් සංදිස්ථානයක් වන රඹකැන් ඔය ජලාශයට ළඟා වන විට දහවල් දොළහ පසුවී තිබිණි. නිල්වන් රඹකැන් ඔය ජලාශයේ ජලස්කන්ධය ඉපැරණි ගම්මාන වූ කලුවින්න, කුරුඳුවින්න සහ දමනේගම ලංකා සිතියමෙන් මකා දමා ඇත්තේ සිත්පිත් නැති එකෙකු ලෙසයි.   
එද‌ා හීතල වන්නියේ ගල් ගෙවල්වල ජීවත්වූ වැද්දන් ඔවුන්ට අවශ්‍ය ලුණු මිරිස්, වෙඩි බෙහෙත් රෙදිපිළි ආදිය ලබාගැනීමට මේ ගම්මානවලට පැමිණි බව දොස්තර ස්පිට්ල් සඳහන් කරයි. ඔවුන්ට අවශ්‍ය ඊතල සාද‌ා ගැනීමට කලුවින්න නම් ගමේ කම්මල්කරුවෙකු වෙත පැමිණි බව සඳහන් වේ. මේ ගම්මාන අද දක්නට නොමැත. මේ පැරණි ගම්මානවල මතකය හිත් තුළ රඳවා ගනිමින් අපගේ සංචාරයේ දෙවන අදියරය ආරම්භ කළෙමු.   
රඹකැන් ඔය ජලාශයේ වැව් බැම්ම මතින් ගමන් ගත් අප එකල හීතල වන්නිය නම් වැද්දන් ජීවත්වූ වනාන්තර ප්‍රදේශයට ඇතුළු වුණෙමු. රඹකැන් ඔය ජලාශයේ බැම්ම ඉදිකිරීමට මේ වනාන්තර ප්‍රදේශ එළිකර පස් කපා දමා තිබෙන අයුරු දක්නට ලැබිණි. එය අප සමග ගමන්ගත් ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ නොමනාපයට හේතුවක් බව ඔවුන්ගේ මුහුණුවලින් දිස්විය.   
ට්‍රැක්ටර් ගමන් කළ හැකි මාර්ගයක් ඔස්සේ දිවා හිරු රැසින් පීඩා විඳිමින් ගමන්ගත් අපි තරමක් ලඳු කැලෑ භූමියකට අවතීර්ණ වුණෙමු. දැන් අප ඉදිරියේ සැතපුමක් තරම් දුරින් පිහිලේගොඩ ගල්ගේ පිහිටි කන්ද අප සාදරයෙන් පිළිගැනීමට බලා සිටින අයුරු දර්ශනය විය.   
කටු පඳුරු පීරමින් ගමාගේ නායකත්වයෙන් සහ මග පෙන්වීමෙන් දහඩිය මුගුරු දමමින් පිහිලේගොඩ ගල් ගෙය පිහිටි හීතල වන්නිය කඳු පාමුලට අප ළඟා වන විට අපට වනයට ඇතුළු වීමට ඉඩ දෙමින් ඒ මොහොතේම එතැනින් නික්ම ගිය අලියකුගේ සලකුණු දක්නට ලැබිණි.   
කන්ද නැගීමට පෙර තම නෑ යකුන්ගෙන් ගමා වැඳ අවසර ලබාගත්තේ කොළ අතු කඩා අසල පිහිටි කුඩා ගල් කුළක ඒවා රැඳවීමෙනි. පනස් හත් හැවිරිදි අප්පුවලැත්තෝ ශක්තිමත්ව ගමනට එක්වෙමින් අපගේ කාන්සිය නිවා දැමීය. ඒ ඔහු දන්නා වැදි ගී ගයමින් සහ තම මුතුන් මිත්තන්ගේ තොරතුරු අප සමග පැවසීමෙනි.   
අපි කන්ද නැගීම ආරම්භ කළෙමු. දැන් අප පැමිණ ඇත්තේ ගමනේ දුෂ්කරම කොටසට බව ගමා පැවසීය. ගමාට ගල් ගුහාව සොයාගත හැකි දැයි මම කීපවිටක්ම ඇසුවෙමි. ඔහු එක හෙළාම පැවසීයේ එය කිරීමට හැකි බවයි.   
ගල්ලෙනේ ඇති ඉපැරණි වැදි චිත්‍ර
එහිදී මාගේ මතකයට නැගුණේ දොස්තර ස්පිට්ල්ට පිහිලේගොඩ ගල්ගේ පෙන්වීමට උපකාර කළ නීලාගේ පුත්‍රයකු වූ කයිරා නම් වැද්ද‌ාට පිහිලේගොඩ ගල්ගේ සොයාගැනීම තරමක් අපහසු වූ ආකාරයයි.   
දොස්තර ස්පිට්ල් සහ වන්නකු තිසාහාමි නම් වැද්ද‌ාගේ පුත් ටිකිරි ද මේ ගමනට සහභාගි විය. පැයක් පමණ එ් මේ අත ඇවිදමින් සිටි කයිරා පසුව ගල්ගේ සොයා ගත්තේ දැන් මේ පැති හොඳටම වෙනස්වෙලා යැයි පවසමිනි.   
එහෙත් අපගේ මග පෙන්වන්නා වූ ගමා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කැලෑව පීරමින් අප රැගෙන ඉදිරියට ගමන් ගත්තේය.  
එය අපගේ සිහියට නැගුණේ වැද්ද‌ා අඩි සළකුණු ඔස්සේ සතකු එළා ගැනීමට සුපරික්ෂාකාරීව ගමන් කරන ආකාරයයි.  
ස්වල්පවේලාවකින් අපි එක්තරා උස් වටකුරු ගල්තලාවක් අසලට පැමිණියෙමු.  
ගමා තම කටහඬ අවදි කළේ අපගේ සිත් තුළ තිබුණු බිය මදකට අඩු කරමින්ය.  
හූරා මේ තමයි වාඩිපොළ. මෙතෙන්ට වෙළෙන්දෝ එනවා තවලම් බැඳගෙන. ඇවිල්ල ගල්ගේ ඉන්න අපේ ඇත්තන්ට ඇහෙන්න හූ තළනවා. එතකොට ගල්ගේ ඉන්න ඇත්තන් හුවමාරුවට එකතු කරගත් වේළපු මස්, මී පැණි, බිංකොහොඹ, වැහිලිහිණි කූඩු වගේ දේවල් අරන් පල්ලම් බහිනවා. ඒවාට ලුණුමිරිස්, රෙදිපිළි ආදිය හුවමාරු කරගන්නේ මේ වාඩිපොළෙ​්දී.  

අප සියලු දෙනාම ගල මතට නැග්ගෙමු. නැගෙනහිර මුස්ලිම් ගම්මානවල සිට එන වෙළෙන්ඳන් වැද්දන්ගේ බඩු භාණ්ඩ සමග තම බඩු හුවමාරුවට මේ වනාන්තරවලට ඇතුළුවේ. වැද්දන් කිසිදිනෙක තම ගල්ගෙවල්වලට මේ වෙළෙන්ඳන් රැගෙන නොගිය බව සෙල්ග්මාන් සඳහන් කරයි.  
වරක් නීලා වැදිරාල තම පුත්‍රයකු වන පොරමොලාගේ මංගල තෑග්ග වන චීත්තයක් සහ මාල පොටක් මේ ස්ථානයේදී ලබාගත් බව ස්පිට්ල් සඳහන් කරයි.  
ගමා සහ අප්පුවලැත්තෝ
ස්පිට්ල් පිහිලේගොඩ ගල්ගේ පිළිබඳ බොහෝ තොරතුරු ලබාගෙන ඇත්තේ කයිරාගෙන් වන්නට ඇත. එහෙත් ඔහුගේ පොත්වල ගල්ගේ ඡායාරූප කිසිත් දක්නට නොමැත. ස්පිට්ල් වන සංචාරය කරන කාලයේදී (1930 දී පමණ) වැද්දන් ජීවත්ව සිට ඇත්තේ පැල්කොට තුළය.  
එහෙත් සෙලිග්මාන්ට වැද්දන් පිහිලේගොඩ ගල්ගේ තුළ ජීවත්වන අයුරු සියැසින්ම දැකබලා ඡායාරූප ගැනීමට වාසනාව ලැබී ඇත. ඒ වර්ෂ 1900 දී පමණය. එම ඡායාරූප ඔහුගේ වැද්දෝ පොතේ පළ කර ඇත.  
වාඩිපොළෙන් සමුගත් අප අපගේ සංචාරයේ දුෂ්කරම වූද අවසන් භාගයට අවතීර්ණ වුණෙමු. ගල් කුළුවලින් ගහන මේ ප්‍රදේශය පසු කරත්දී දැඩි නිහඬතාවයක් අප අතර පැවතිණි. වැද්දන් පවා ඉතාමත් විමසිල්ලෙන් මේ ප්‍රදේශය පසුකරද්දී අපි බියෙන් ඇළලී සිටිමු. කොයි මොහොතක හෝ වලසකු ගේ ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබිණි.  
පැටවුන් සමග වැලහින්නක් මුණගැසුනි නම් තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ඉඩ තිබෙන බව වැද්දෝ අප සමග පැවසූහ. ගලින් ගලට පනිමින් වැල්වල එල්ලෙමින් කන්ද නැග්ග අප වැද්දන් විසින් එක්තරා ස්ථානයක නවතනු ලැබිණ. ඒ විශාල නුගයක් අසලය.  

ගමා නැවතත් හඬ අවදි කළේය.   
මෙන්න මේ නුගේ යටදී ළමයෙක් ලැබෙන්න හිටිය දැරිවියක් ඒ කාලෙ මැරිල තියෙනව. ඒ අපේ නීල මුත්ත මේ ගල්ගේ ඉන්න කාලෙ.  
එය සිදුවී ඇත්තේ මෙසේය. නීලාගේ වැදි කණ්ඩායම පිහිලේගොඩ ගල් ගෙයි ජීවත්ව සිටි කාලයේ දිනක් රාත්‍රියේ පහළ කැලේ ගැහැනියකුගේ කෙඳිරිලි හඬක් ඇසී ඇත. ගල්ගෙයි වැසියෝ බියෙන් ඇළලී ගියහ. ඒ හැඳයා යැයි සැවොම මිමිනූහ. නිදි නොමැති රාත්‍රියක් ගතකරමින් සිටි ඔවුහු වටින් ගොඩින් එළිය වැටෙන විට නීලා ප්‍රමුඛ පිරිමි ටික පල්ලම් බසින්නට විය. ඔවුන් ගමන් කළේ ඒ කෙඳිරිලි හඬ ආ ඉසව්ව දෙසටය.  
ඔවුන් අතර බණ්ඩාරදුවාරාල නම් නීලාගේ වයසේ සිටි වැද්දෙක් විය. ඔහුද මේ සෙවිල්ලට එකතුවී සිටියේය. අවසානයේ ඉහත කී නුගය අසල මැරී සිටි වයස පහළොවක පමණ තරුණියක් ඔවුන්ට හමුවිය. නිර්වස්ත්‍රයෙන් වකුටුවී සිටි තරුණිය කවුදැයි බැලීමට ඔවුහු නුගය අසලට සමීප වූහ.  
හීතලවන්නිය කඳු
මළ සිරුරට තුරුලු වී අලුත උපන් බිළිඳෙක් ඔවුනට දක්නට ලැබිණි. ඔවුන් වහ වහාම ඒ බිළිඳ‌ා රැගෙන ගල්ගෙට ගියහ. බිළිඳ‌ාගේ හුස්ම යාන්තම් තිබිණි. ගල්ගේ ගිනිමැලයෙන් උණුසුම් වූ බිළිඳ‌ා ක්‍රමයෙන් හුස්ම ගත්තේය. එකියක් බිලිඳ‌ාට තම තන කිරි පෙව්වාය. බිළිඳ‌ා සුවපත්විය. පසු කලෙක කළු වැද්ද‌ා නම් මේ වැදි කණ්ඩායමට නායකත්වය ලබා දුන් ගමා (අපගේ සංචාරයට එක්වූ ගමා නොව ගමා නම් වැද්ද‌ා මේ වැදි කණ්ඩායමට එක්වූයේ එලෙස ගමනේදී උපන් නිසා ගමා යන නම එ් බිළිඳ‌ාට තබන ලදී.  
මේ මියගිය දැරිවිය කාගේ කවුද ඇයට මේ අපරාධය කළේ කවුද යනවග ගල්ගේ වැසියෝ දැන සිටියේ නැත. එහෙත් එක් වැද්දෙක් ඒ කවුද යනවග දැන සිටියේය. ඒ මා මුලින් කියූ බංඩාර දුවාරාලයි. මිය ගිය දැරිවි බංඩාර දුවාරාලගේ පළමු කසාදේ දරුවෙකි. ඇයට මේ අපරාධය කර ඇත්තේ වන්නකු තිසාහාමි නම් පසුකාලයේ රටම බියවැද්දූ මිනීමැරුම් කිහිපයකටම සම්බන්ධ ඇඹිලිනාකුඹුර තම වාසභූමිය කරගෙන සිටි වැද්ද‌ා බව ස්පිට්ල් සඳහන් කරයි.  

බංඩාර දුවාරාල මේ සිද්ධිය තමා පමණක්ම දන්නා රහසක් ලෙස සඟවාගත්තේය.  
ගමනේ අවසානයට අපි ළඟා වුනෙමු. එකිනෙකා ගේ දෑත් පටලවාගෙන ප්‍රපාතාකාර කන්ද නැග්ග අපි පොතපතින් කියවා මනසින් දැකබලාගත් පිහිලේගොඩ ගල්ගේ එළිපත්තට ළඟා වුණෙමු. දැන් පිහිලේගොඩ ගල්ගේ අපගේ ඇස් ඉදිරිපිට විරාජමාන වේ.  
පිහිලේගොඩ ගල්ගේ විශාල ගල්ගෙයකි. එය දිගින් අඩි 30ක් පමණ වේ. එහි උස ඉදිරියෙන් අඩි 10ක් පමණ වේ. පසුපසට වන්නට ක්‍රමයෙන් උස අඩුවේ. මිනිසකුට සිට ගැනීමට පවා අපහසු තරමට පසුපස උසින් අඩුය. ගල් ගෙයි ඉදිරිපස භූමිය සමතලාය. ගල්ගේ ඉහළ සිට පහළට නුගමුල් වැටී තිබිණ. මිනිසකුට ඉහළට නැගීමට තරම් ඒවා ශක්තිමත්ය.  
කයිරා සහ ගමා කුඩා කල බඹර කැඩීමට පුරුදු පුහුණු වන්නේ මේ නුගමුල් දිගේ ඉහළට නැගීමෙන් බව කයිරා ස්පිට්ල්ට විස්තර කරයි. මේ ගල්ගේ කටාරම් කොටා නැත. ඇතුළත බිම බොහෝදුරට සමතලාය. තැනින් තැන සතරැස් පැතලි ගල් දක්නට ඇත. එක් කෙළවරක් තරමක් අඳුරුය. එම අඳුරු ප්‍රදේශයට මා ඇතුළුවීමට දැරූ උත්සහය වැද්දන් විසින් වළකා ලනු ලැබීය. වලස්සු ඇතිහුරා හිටින්න මා ගොහින් බලන්නම් කියා පවසමින් අප්පුලැත්තෝ චෝ චෝ කියා කෑගසමින් එදෙසට ගමන් කළේය.  
පසුපස ගලේ බිත්තියේ වැදි චිත්‍ර දක්නට ලැබිණි. සතකු පිට යන මිනිසකු යැයි සිතිය හැකි රූපයක් සහ තවත් මිනිස් රූප දක්නට ලැබිණි. ඒවා ඉපැරණි ඒවා වන්නට පුළුවන. එකල වැද්දන් ඒවා අඳින්නේ අලු හා කෙළ මිශ්‍ර කර බව පැවසේ. එය එසේ නම් මෙතරම් කාලයක් මේ චිත්‍ර ආරක්ෂාවී පවතීවි යැයි සිතිය නොහැක.  
මාගේ අදහස අනුව නම් තවත් ගලකින් මේ බිත්තිය සූරා ඒවා අඳින්න ඇතැයි සිතිය හැක. මෑතකදී කවුරුන් හෝ අඳින ලද චිත්‍ර යැයි සිතිය නොහැක.  
ගමා මේ මිනිස්සු ඒ කාලේ වතුර ගත්තේ කොහෙන්ද? මේ ළඟ වතුර කොහෙවත් නැහැනේ. මම ඇසීමි. එයට පිළිතුරු දුන්නේ අප්පුවලැත්තෝය. අාං අර බිත්තිය දිගේ වතුර සීරාව වැටෙනව හූරාට පේනවද? ලබුකට්ට ඔතන තබල වතුර එකතු කරනවා. ගල දිගේ වතුර පහළට වෑස්සී එතන දිය සෙවල බැඳී ඇති අයුරු අපි දුටුවෙමු.  
සෙල්ග්මාන්ගේ වැද්ද‌ා කෘතියේ මේ ගල්ගේ පිළිබඳ ඡායාරූප සහිතව මනා විග්‍රහයක් ඔහු විසින් පළ කර ඇත. ඔහු පැහැදිළි කරන අයුරින් මේ ගල්ගේ එක් එක් වැද්ද‌ා විසින් තම කොටස වෙන්කර ගෙන ජීවත්ව සිට ඇත.  
මා මුලින් කියූ අඳුරු කෙළවර නීලාට අයත් කොටසයි. ඊළඟ කොටස කයිරාටයි. ඊළඟට රන්දුනා, පෙමා සහ වේලා තම කොටස් වෙන්කර ගෙන ඇත. දඩයමේ ගොස් පැමිණෙන පිරිමි තම තමන්ට අයත් කොටස්වල තම බිරින්දෑවරු සහ දරුවන් සමග සැතපෙනි.
කිසිදිනක වැද්දන් අඳුරේ ගිනිමැලයක් නොමැතිව රාත්‍රිය ගත නොකරන බව සෙලිග්මාන් පවසයි. 
එද‌ා ගල්ගේ එක් කෙළවරක විශාල තුඹසක් තිබූ බව සෙලිග්මාන් පවසයි. එය ඔහු විසින් ගන්නා ලද ඡායාරූපවල පවා දක්නට ඇත. කිසිම දිනක වැද්දන් තම දුනු ඊතල ඔවුන් නිද‌ාගන්නා කොටසේ තබා නොගනී. ඒවා වෙනමම කොටසක තැන්පත් කරයි. පිහිලේගොඩ ගල්ගේ ඒවා තබා ඇත්තේ මා මුලින් කියූ තුඹස මතය. අදටත් එම තුඹස එද‌ා තරම් විශාලව නොවුණත් දක්නට තිබිණි.  
ගල්ගේ මිදුල වැනි කොටසේ හොඳින් ඉර එළිය වැටුණ ස්ථානයක බඳින ලද මැසිවල ඔවුන් මස් වේළයි.  
මේ ගල්ගෙයි වැදි කණ්ඩායම අතර කන්හෙරලියා යැයි වැද්දෙක් තම බල්ලාත් සමග ජීවත්ව ඇත. දිනක් උදෑසනම අවදිවූ පිරිමින් කෑමට යමක් සොයා යාමට කන්හෙරලියාට කතා කර ඇත. එහෙත් කන්හෙරලියා අවදිවූයේ නැත. කන්හෙරලියා මැරී සිටියේය. ඔහුගේ බල්ලාද අසල මැරී සිටියේය. බල්ලා අසලම විශාල නාගයෙක්ද බල්ලා විසින් හපා දමා මැරී සිටියේය.  
වැදි නඩය කලබල විය. තම සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත් ඔවුහු වහාම එම ගල්ගෙය අත්හැර දමති. නීලා වැදිරාල තීරණයක් ගත්තේය. තම හරුබස්ස පොදි බැඳගත් වැද්දෝ ගල්ගේ අතහැර පල්ලම් බැස්සහ.  
අපටද දැන් පිහිලේගොඩ ගල්ගෙට සමුදීමට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ඒ සවස් ජාමය සතා සීපාවන් එළිබහින වේලාව වීමයි. ඔවුන්ගේ නිජභූමිය ඔවුනට ඉඩදී අප දැන් නික්ම යා යුතුය.  
එද‌ා නීලා වැදිරාලගේ නායකත්වයෙන් යුත් වැදි කණ්ඩායමේ එක් නිවහනක් වූ හීතල වන්නියේ පිහිලේගොඩ ගල්ගේ අප්‍රමාණ සතුටකින් අපි නැරඹුවෙමු. ඔවුන් මේ ගල් ලෙනේ ජීවත්ව සිටි අයුරු මනසින් මවාගනිමින් අපි පිහිලේගොඩ ගල් ගෙට සමුදුනිමු.  
අපගේ සංචාරය සාර්ථක කර ගැනීමට මහඟු ද‌ායකත්වයක් ලබා දුන් ගමාටත් අප්පුවලැත්තන්ටත් සඳරුවන් ලොකු හේවා මහතාටත් මා මිත්‍ර වෛද්‍ය කනිෂ්ක හේරත් මහතාටත් මාගේ හද පිරි ස්තූතිය පුද කරමි.  
වෛද්‍ය චාමිකර මීවද්දන  
ශික්ෂණ රෝහල කුරුණෑගල  
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, June 8, 2019

රාම රාවණ යුද්ධය සිදුවුණේ ලකේගලද?....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි- rawana )

රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව ද විටෙක හක්ගල කන්ද සහ සීතා එළියේ සීතා කෝවිල සම්බන්ධවද, විටෙක කොත්මලේ හා කොණ්ඩගල අබිරහස් රාවණා දොරටු සම්බන්ධව ද, සීතා දේවිය​ෙග් කඳුළු මාවත වන චැරියට් පාත් මතද සහ ලකේගල හා රිවස්ටන් පුරා ද රාවණා රජුගේ විස්මිත පෙළහර පිළිබඳ කථා පුවත් ජනප්‍රවාද බොහෝමයක් පවතියි. ඉන් ලකේගල යනු ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම්වල යම් අබිරහසක් තවමත් සඟවා ගෙන සිටින බව ගැමියන්ගේ හා ජනප්‍රවාදවල යම් කරුණු මතින් නිශ්චය කළ හැක. එවන් උරුමයක අබිරහස් සොයා විශේෂ සටහනක් මෙලෙස දිග හරින්නෙමි. 
නකල්ස් නොහොත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි. අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසාවෙන් නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන පක්ෂීන් වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය. තවද දිවියා, අලියා, වල් උෟරා, මුවන්, උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් යනු 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සංරක්ෂණ වනාන්තරයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි. සාම්ප්‍රදායික ගම්මාන පනහකට අධික සංඛ්‍යාවක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති. සවානා පතන් ඉළුක් හා තැනිතලා බිම් දහසක් පමණ ද කඳු 40 ක් පමණ ද පිහිටි වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ පිහිටා ඇත. සංචාරයටම සේම ක්‍රියාදාම චාරිකාවනට ද නකල්ස් කදිම තෝතැන්නකි. විශේෂයෙන් වර්තමානය වන විට අධික ජනාකීර්ණ බවින් විනාශයට පවා යන මීමුරේ අාදි ගම් පියස් සංචාරයට ඉවක් බවක් නැතිව විවෘත වීමෙන් ‘යමන්’ කියූ සැණින් අවිධිමත් චාරිකා යන පිරිසක් හේතුවෙන් නකල්ස්හි ඓතිහාසික හා පාරිසරික වටිනාකම නැති වෙමින් පවතියි. 
ල​ෙක්ගල නම් අද මුඛ්‍ය කථා පුවතට සම්බන්ධ කන්ද යනු බැලූ බැල්මට කෙනෙකුට එහි විශේෂත්ව කිහිපයක්ම දැකගත හැකි අසාමාන්‍ය පිහිටීමකින් යුත් කන්දකි. මීමුරේ ගමට මුහුණලා පිහිටි ලකේගල බොහෝ පිරිසගේ නෙත ගැටුණ ද මෙවැනිම හැඩයකින් පිහිටි තවත් කන්දක් ලකේගල පිටුපසින් වෙනමම තිබෙන බව බොහෝ දෙනෙක් නොදනිති. 
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින් පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුවයි. එය ද නකල්ස්හි කොටසකි. පල්ලෙගම, රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විට ඔබට ලකේගල වැනිම තවත් කන්දක් දැකගත හැක. එය නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙස හඳුන්වයි. තවද මීමුරේ ලකේගල සහ කොමලෑවේ ගල අතර පිහිටි තවත් කන්දක් වේ. එය මීරියගොල්ල ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස ලකේගල යනු ගල් තුනක පිහිටීමකි. මෙම ගල් තුනම දැවැන්ත කළු ගල් පාෂාණවලින් පමණක් සෑදී ඇති කිසිදු උස් ශාකයක් නොමැති පිහිටීමකි. ලකේගල හා රාම රාවණ කථා පුවතට මෙම මීමුරේ සහ නාරංගමුව අතර ප්‍රදේශය බලපාන අතර එම ඉසවුව වර්තමානය වන විට ඝන කැලයකින් වටවූ වනජීවී බහුල අවදානම් කලාපයකි. 
ලකේගල අරුම පුදුම පිහිටීම ලංකාවේ වෙනත් කිසිදු කන්දක දැකිය නොහැකි අතර එම නිසාම තිබෙන ගුප්ත බවේ රහස් සොයා දුම්බර වනයේ මැදට පියමැන්නේ රාම රාවණ යුද පුවතට වඩා රාවණා නම් හෙළයේ නිරිදාණන් සතුව තිබූ බලමහිම​ෙය් නෂ්ටාවශේෂ සමග බැඳුණු සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටයි. හුන්නස්ගිරියෙන් ලූල් වත්ත පාර දිගේ මීමුරේ දක්වා යන ගමනේදී දෝතුළුගල, දුම්බානාගල, අලියාවැටුණු ඇළ, ෆීනික්ස් ගල, නකල්ස් කඳු වැටිය සේම දකුණින් කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල, තෙළඹුගල දක්වා හරි අපූරුවට දැකගත හැක. ඒ සියලුම කඳු වක්‍රාකාරව වට වී සිටින්නේ ලකේගලට ආරක්ෂාව දෙන පරිද්දෙනි. උඩවන්නිමාන කන්දට අසල්වැසි කියන වමාරපු ගලට ඉදිරියෙන් පිහිටි ලකේගල මීමුරේ ගම් මැද්දට සමපාද ත්‍රිකෝණයක් ලෙස දැකගත හැක. මීට පෙර ආචාර්ය මිරැන්ඩෝගේ ලිපිවල සඳහන්ව තිබූ ගුහා දෙකක් ලකේගලේ මධ්‍යයේ ඇති බව අප ගනේෂ් මිතුරාගේ මාර්ගයෙන් දැනගත් අතර ඒවා නිශ්චිත වශයෙන් ඇත් දැයි සොයා බැලීමට අපට සහය ලබා දෙනු ලැබුවේ මීමුරේ හොඳම මඟ පෙන්වන්නා වන නවරත්න නොහොත් නවා මාමා විසිනි. සමපාද ත්‍රිකෝණයක් බඳු ලකේගල හරි මැද ගුහා 2 ක් පිහිටා ඇති බවත් ඊට ළඟාවීම අතිශය දුෂ්කර බවත් එ් හා සබැඳි යම් ගුප්ත සිදුවීම් පෙළක් ද නවා මාමා අපට පැවසීය. 
ලකේගල මධ්‍යයේ පිහිටි එක් ගුහාවක එක්තරා පොහොය දිනයකදී ගල් දොරක් විවෘත වන බවත් ඉන් පිටතට ගායන සහ වාදන හඬ ඇසෙන බවත් නමුත් එය ඇසෙන්නේ ගමේ යම්කිසි කිහිප දෙනෙකුට පමණක් බවත් නවා මාමා පැවසුවේ මීට දස වසරකට පමණ පෙර ඔහුට ද එවැනි සිද්ධියක් ඇසුණු හෙයිනි. කෙසේ හෝ ලකේගල මැද පිහිටි ගුහා දෙකෙන් ප්‍රථමයෙන් හමු වූ ගුහාව ලෙනක් වැනි වූ අතර එම පරිශ්‍රය පනහකට පමණ සිටිය හැකි ප්‍රදේශයකි. ලකේගල මධ්‍යයේ පිහිටි කුඩා වන රොද තුළ මෙම ගුහාව සැඟව ඇත. නමුත් අප එහි යන විටත් මීමුරේට පිටස්තරින් පැමිණ සංවේදී පරිසරයේ අනවසර කඳවුරු බඳින කණ්ඩායම එහිද පැමිණ යම් විනාශයන් සිදුකොට ඇති අයුරු දැක ගැනීමට ලැබුණි. 
ප්‍රථම ගුහාවට ඉහළින් තවත් ගුහාවක් ඇති අතර ඊට ළඟාවීමට තිබූ නුග වෘක්ෂය මීට වසර කිහිපයකට පෙර කඩා වැටුණු බැවින් ඉහළින් පිහිටි ගුහාවට නැගීමට හැකියාවක් නොලැබුණි. එම ගුහාවට නැගීමට නම් විශාල ඉණිමඟක් හෝ යම් ක්‍රමානුකූල කඳු නැගීමේ උපකරණ තිබිය යුතු බව අපට වැටහුණි. ඇතැම් විට ආචාර්ය මිරැන්ඩෝ මහතා සඳහන් කළ ගුහාව නවා මාමා පවසන පරිදි එය විය හැක. නමුත් කාලයේ වැලි තලාවෙන් බොහෝමයක් යටව ගොසින් ඇත්තේ සොබාදහමේ බලපෑම් නිසාය. 
කරුණුකාරනා එපරිද්දෙන් වුවද ලකේගල මධ්‍ය ලක්ෂයේ පිහිටි මෙම ගුහාවන් තුළ යම් ගුප්ත බවක් හෝ යම් රහසක් සැඟව නොතිබේ යැයි නිගමනය කළ නොහැක. මන්ද එම යම් ගුහාවක් මාර්ගයෙන් ලකේගල මුදුනට පිවිසුම් දොරක් හෝ වෙනත් ප්‍රදේශයකට යාමට උමඟක් සාදා තිබිය හැකි හෙයිනි. මන්දයත් නාරංගමුව ප්‍රදේශයේ පිහිටි උයන්ගොමුව තුළ ද මෙවැනිම ගුහාවක් තිබෙන බැවිනි. රාමගේ හී සර පහරින් කැඩී විසිරුණු ගස් සියල්ල ​ෙමම උයන්ගොමුවට වැටී පණ ගත් බවත් මෙම උයන්ගොමුව එකල යුද වැදුණු මර්මස්ථානයක් බවටත් පොත පතේ සඳහන්ය. උයන්ගොමුව මේ වන විට විශාල තැන්නක් ලෙස පිහිටුන ද ශාක වැටී සමස්ත ප්‍රදේශයම ගුවනට විවෘත සිදුරුවලින් පැතිර තිබේ. ගල් තලාවන් සමූහයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර අස්වාභාවික ගල් මතින් සෑදුණු ගල් ගුහා හා ජල ගුහා ද පිහිටා තිබීම විශේෂයි. මන්ද නාරංගමුව ලකේගල නොහොත් කොමලෑමේ එක් අන්තයක් වන බැවින් පාෂාණ ස්ථර සහ ස්වභාවික ගල් පිහිටි ගුහා දක්නට ලැබුණි. අධික වර්ෂා සමවලදී උයංගමුව මුළුමනින්ම පාහේ ජලයෙන් වැසෙන අතර, නමුත් එසේ දැකිය හැකි අවස්ථාව අතිශය දුර්ලභය. මන්ද දේශගුණික වශයෙන් නකල්ස් වන පෙත එක් පරිසරයක් වුවද දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි වන පියස තුළ කාලගුණික තත්ත්ව දෙකක් දැකිය හැකි බව අප මීට පෙර තුන්හිස්ගල කඳු තරණයේදී අත් වින්​ෙඳමු. 
එනම් ඉහළට එසවුණු විශාල මොල්ලියක් ලෙස ඇති තුන්හිස්ගල කන්දට බඹරැල්ලේ සිට කේ.එම්.පී. වාඩිය දක්වා වැසිබර තෙත් කාලගුණයක් තිබුණද ඉන් එහාට තුන්හිස්ගල රාගාන කෙටු පතන සිට දූවිලි ඇල්ල ඇටන්වල දක්වා අතිශය වියළි තෙතමනයක් රහිත පරිසරයක් තිබීමය. සමස්ත කඳු ගැටයම කුරු ශාකවලින් වැසුණු තුන්හිස්ගලට ලකේගල පර්වත ත්‍රිත්වය හරි අපූරුවට දැකගත හැක. කෙසේ හෝ උයංගමුව තුළ පිහිටි කපු අටුව පර්වතය යනු සීතා දේවිය හා සබැඳි ස්ථානයක් ලෙස රාවණා පුරාවතේ සඳහන්ය. එනම් කපු අටුව පර්වතය මැද පිහිටි කපු අටුව ලෙන නම් සීතා දේවිය සඟවා තැබූ ස්ථානය වීමයි. කපු අටුව ලෙන පොළොව මට්ටමේ සිට මීටර් 50 ක් පමණ ඉහළ ගලේ පිහිටා ඇති අතර යම් ආයාසයක් දැරීමෙන් ඒ වෙත ළඟා විය හැකිය. එම ලෙන විශාල විවෘත ඉසව්වක් වන අතර කොමලෑවේ ගල සහ ලකේගල වපසරිය හොඳින් දැකගත හැක.
ලකේගල පුරාවත අතර තවත් සබැඳියාවක් දක්වන ඉසව්ව වනුයේ රැහැස්ස නමින් හඳුන්වන ප්‍රදේශයයි. රාමගේ හීසර පහර කොමලෑව ගලට වැදී කුඩු වුණ පර්වත කැබලි වැටී සැදුණු මෙම රැහැස්ස ප්‍රදේශය යනු විශාල ගල් පර්වත පිහිටි ඉසව්වකි. එම ප්‍රදේශයේ ස්වභාවිකව සෑදුණු ගල් ගුහා සහ ලෙන් පිහිටා ඇති අතර රැහැස්ස යනු යම් පූජනීය ප්‍රදේශයක් බවට ඇතැම් පැරණි ගම්වාසීන් ගෞරවයෙන් සිහිපත් කරයි. රැහැස්සේ තිබෙන ගුහාවක් ලකේගල පිහිටි ගුහාවක් හා සම්බන්ධ විය හැකි බවත් යුද අවශ්‍යතාවලදී පලායාමේ උපක්‍රම ලෙස ඒවා යොදාගෙන ඇති බවට ජනප්‍රවාදවල පිහිටයි. තවද අප ඊළඟට කොමලෑවේ නම් අංශක 70 ක ආනතියකින් යුත් ගල් පර්වත තරණය කරන්නට වූයේ කොමලපතනේ සිටය. 
කොමලෑවේ ගල මුදුනට යාමට නම් ප්‍රථමයෙන් මීරියගොල්ල හා කොමලෑවේ ගල් අතර පිහිටි ලබුලැස්ස පතනට යා යුතුය. අධික සුළං ප්‍රවාහය තුළ ලබුලැස්ස පතනට කොමලෑවේ ගල හරහා නැගීම ත්‍රාසජනක හා මරණයේ සුළු ගමනක් විය. මන්ද නිරතුරුවම ගලට බරව අප සිටිය යුතු වීම සහ අනෙක් පස අඟලක පිටුපසට වීමට තැත් කිරීම මීටර් දෙතුන් සියයක හෙළකට වැටී මරණය නියත ගමනක් වූ හෙයිනි. ලබුලැස්ස පතනට පැමිණි අප මඳ විවේකයක් ගත්තේ ගිනි කාෂ්ටක අව්වේය. වැසි බිඳක් වත් නොලද ලබුලැස්සේ වූ මාන පඳුරු යාය මඩ පැහැව තිබුණි. ඉදිරියෙන් වමාරපු ගලත් (කටු කිතුලේ කන්ද), උඩවන්නිමාන සහ ඈතින් තුන්හිස්ගලත් පැහැදිලිව අපට දක්නට ලැබුණි. අනෙක් පසෙන් හසලක හා මහියංගණය සිට වස්ගමුව දක්වා පරිසරයත් මහවැලි ගඟ කිලෝමීටර් 50 කට වැඩි දුරක් තනි කෙළින් ගලා යන ආකාරයක් දැකිය හැකි ස්ථානය මෙම කඳු මුදුන් බව අපට පසක් වුණි. 
පසුව කොමලෑවේ ගලටත් ඉන්පසු මීරියගොල්ලටත් නැගගත් අපට ලකේගල පිටුපස හොඳින් දැකගත හැකි වුණා. ඉතාමත් වෙනස් හැඩයක් ලකේගල පිටුපස පිහිටි අතර මීරියගොල්ල හා ලකේගල යාව තිබුණ ද ලකේගලට එතැනින් නැගීම කිසිසේත් කළ නොහැක්කක් වුණා. මන්ද එහි වූ අඩි පහක පමණ පළල් ගල් තලාවක් මීටර් 100 ක්‍ උස අංශක 90 ක ගලක් වූ හෙයිනි. ලකේගල මුදුණේ අක්කරයක පමණ ඉඩ ඇති බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. මන්ද ලකේගල නැගීම පවා කඹ ආධාරයෙන් කළ යුතු මාරාන්තික ගමනක් වන බැවිනි. පඳුරු බොහෝමයකින් පිරී තිබුණද ලකේගල මුදුණේ කඳවුරු බැඳ සිටීම සිදු කළ හැක. ඉර උදාවත් හිරු අවරට යාමත් දුම්බර වනයේ සතර දික් භාගයත් හොඳින් දැකිය හැකි ලකේගල මුදුන තුළ දැඩි සුළං ප්‍රවාහයකින් යුක්ත විය. 
ලකේගල අබිරහස් සොයා යන ගමනේදී නවා මාමා කියූ වැදගත් කරුණක් විය. එනම් අප රාවණා යනු ලංකාවේ රජ කෙනෙකු බවත් ඔහු පිළිබඳව සාධනීය ආකල්ප හිත් දැරිව මෙම ගමන් යන ලෙසත්ය. මන්ද අදටත් මීමුරේ හා අවට ගම් පියස් තුළ රාවණා පෙළහර සමග ලකේගල පුරාවෘත බැඳී ඇති හෙයිනි. ලොවක් පුදුම කළ ලකේගල පිහිටීම ඇතැම් විට රාවණාගේ නිර්මාණයක් විය හැකි බවටත් එය දඬු මොනරය ගොඩබැස්වීමට හැකි ලෙස යුද ශිල්ප ක්‍රම මඟින් පාලනය කළ බවටත් ජනප්‍රවාදවල තිබෙන හෙයිනි. මන්ද බැලූ බැල්මට ලකේගල මුදුනේ කිසිවෙකුටත් සිටිය නොහැකි ලෙස පෙනුණ ද හෙලිකොප්ටර් කිහිපයක් වුව ගොඩබැස්විය හැකි තරම් ඉඩක් ඇති ලකේගල එදා රාවණගේ හෙළ සටනට පිටිවහලක් වූ බව සිතිය හැකිය. 
තවද රාවණ රජුගේ මියගිය දේහය මෙම ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි යහන්ගල මැද තැන්පත් කර ඇති බවට ද ජනප්‍රවාද තුළ ඇත. මන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස පිහිටා ඇති විශාල කන්දකි. වෙලන්ගොල්ල පතන උඩ විරාජමානව නැගී ඇති යහන්ගල තුළ රාවණ රජුගේ දේහය ඇති බවටත් එය ගලේ බණ්ඩාර දෙවියන් බුහුමන් දැක් වූ ස්ථානයක් බවටත් කතා පුවත් රාවණා ඉතිහාසය තුළ පවතියි. 
කෙසේ හෝ දුම්බර මිටියාවතේ ඇති කඳුවල පිහිටීමත් එ් හා සමානව ආරක්ෂාකාරීව ලකේගල පර්වත ත්‍රිත්වය හා රැහැස්සේ අබිරහස් තුළ සැඟවුණු කථා පුවතක් තවත් නොවිසඳුණු අබිරහස් ගොඩකට ඇඳ වැටුණි. සාම්ප්‍රදායික ගම් පියැසි තුළ තවමත් ජීවත් වන පැරැන්නෝ අදටත් ලකේගල ඔවුන්ගේ ගෞරව බුහුමනට ලක් කරන බව අපට පැවසීය. එසේම දුම්බර මිටියාවත අසංවිධිත පාරිසරික විනාශකාරී සංචාරක ඉසව්වලට ශීඝ්‍ර ලෙස පත්ව ඇති වීම දේශයේ ඉතිරි අබිරහස්වල විනාශය ළඟ බව කියාපාන්නකි. අනවසර කඳවුරු බැඳීම නිසා විනාශ වන ලකේගල ගුහා සහ කපු අටුව ලෙන ද කොමලෑව සහ රැහැස්ස ද ආරක්ෂා කළ යුතුය. රාම රාවණ යුද පිටිය වූ උයංගමුවේ තවමත් වැළලී ඇති ගුහාවල අබිරහස් සොයාගත යුතුය. ජල උද්‍යානයක් බදු උයංගමුව රාවණ ඉතිහාසයේ යුද ශිල්පයේ ප්‍රධාන ස්ථානයක් බව නොඅනුමානය.  

විශේෂ ස්තූතිය මීමුරේ නවරත්න මහතාට සහ විජය රත්නම් ගනේෂ් මහතාට 
සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, March 9, 2019

හූනන්, කටුස්‌සන් ඇඟවැටීම ශුභ ද? අශුභ ද?.....(hunan angata watima hunu sasthare huna අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

බොහෝ දුරට සෑම නිවෙසකම සිටිනු දක්‌නට ලැබෙන සතුන් අතරින් හූනාට හිමිවන්නේ ප්‍රධාන ස්‌ථානයකි. එහෙත් කටුස්‌සා නිවෙස්‌වලින් පිටත බොහෝ දුරට ගස්‌වැල්වල ජීවත්වන සත්වයෙක්‌ වශයෙන් හඳුන්වා දීමට පුළුවන. බොහෝ අවස්‌ථාවලද හූනා මෙන් ම කටුස්‌සා අපට පෙර නිමිති කියන්නට ඉදිරිපත්වන සතුන් වශයෙන් ප්‍රකට කරුණකි. සමහර අවස්‌ථාවලදී යම් පුද්ගලයකු නිවසින් පිටවී ගමනක්‌ යන්නට සූදානම් වන විට හූනාගේ හැŽම අශුභ ලක්‍ෂණයක්‌ යෑයි බොහෝ දෙනකු විශ්වාස කරති.
හූනන්, කටුස්‌සන්, ඇඟවැටීම ද අශුභ පෙර නිමිත්තක්‌ යෑයි කවුරුන් වුවද තරමක්‌ බියගුළු බවක්‌ දක්‌වති. නමුත් එය බිය වීමට පත් කරුණක්‌ නොවේ. සුබ අසුබ පල දෙකම උදා කරන අවස්‌ථා ඇත. තිථිය, ලග්නය, නැකත, දවස, දිශාව ආදිය පිළිබඳව ද විමසිලිමත්ව සිතා බලා ප්‍රතිඵල පිළිබඳව නිවැරැදිව තීරණයක්‌ ගත යුතුයි.
හූනෙක්‌ හෝ කටුස්‌සෙක්‌ ඔබේ ඇඟ වැටුණු අවස්‌ථාවේදී එම වේලාව වැටුනේ කොතැනට ද යන්න හොඳින් මතක තබා ගන්න. ඉන් පසුව මෙම ලිපියේ විස්‌තර කර ඇති පරිදි ශුභ අශුභ පිළිබඳව තීරණයක්‌ ගන්න. මුලින් සඳහන් කළ පරිදි තිථිය, ලග්නය, නැකත, දවස ආදිය පිළිබඳ ඔබට වැටහීමක්‌ නොවේ නම් එය දැන ගැනීමට දෛවඥයෙක්‌ ළඟට ගොස්‌ ප්‍රශ්නය විස¹ ගන්න.
හූනා හෝ කටුස්‌සා ඇඟ වැටුනේ ශටවක, අටවක, දොළොස්‌වක, රිට්‌ටා පෝය තිථිවලින් එකක්‌ යෙදී ඇති, ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනක ද බෙරණ කැති, මුවසිරස, අද, අස්‌ලිය, මා, විසා, දෙට මුල, සුවන, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින් එකක්‌ද, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලින් එකක්‌ ද උදා වී පවතින අවස්‌ථාවක නම් අශුභඵල දීමට හේතු වන බව ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. අනෙකුත් තිථි ලග්න නැකැත්වලින් ඇඟ වැටීම ශුභඵල උදාවීම හෝ ප්‍රතිඵල ශූන්‍ය වෙයි.
ඉහත සඳහන් ආකාරයෙන් හූනා ඇඟට වැටුණු ස්‌ථානය පිළිබඳව විග්‍රහ කර බලන කල හිසට වැටීම, කලකෝලාහලයක්‌ ද, මුහුණට වැටීම, ඥාතීන්ගේ පැමිණිමක්‌ ද, නළලට වැටීම නම්බුනාම, තානාන්තර හිමිවීමද, බැම මැදට වැටීම ඥාතීන්ට විපත්ද, බැමට වැටීම රජයෙන් ලාභ ප්‍රයෝජන ගෞරව ලැබීමත්, ඇසට වැටීම හිරේ වැටීමට සිදුවීමක්‌ පෙන්නුම් කරයි. නාසය උඩට වැටීම රෝග පීඩා ද, උඩුතොලට වැටීම වස්‌තුව ධනය විනාශ වීම ද. මුඛයට වැටීම භය, ත්‍රාසය ගෙන දීමත්, යටිතොලට වැටීම වස්‌තුව ලැබීමකි. නිකටට වැටීම රජයෙන් දඬුවම් ලබන වරදකට අසුවෙයි.
කටුස්‌සා වැටුණේ දකුණු කනට නම්, දීර්ඝායුෂ හිමිවීමත්, වම් කනට නම් වෙළෙඳ ව්‍යාපාරවලින් විශේෂ ලාභ ප්‍රයෝජන හිමිවීම ද හිසකෙස්‌වලට වැටීම මරණය සිදුවීමත්, බෙල්ලට වැටීම සතුරන්ගෙන් කරදර බාධක හානි සිදුවීමත්, දකුණු උරහිසට වැටීම නිරෝගී වීමත්, වම් උරහිසට වැටීම ස්‌ත්‍රීන්ගෙන් සැප සම්පත් ලැබීමත්, දකුණු වළලුකරට වැටීම කීර්ති ප්‍රශංසා හිමිවීමද වෙයි. දකුණු අතට වැටීම භයානක මරණයක්‌ද. වම් අතට වැටීම ශෝකී මරණයක්‌ ද, දකුණු අතේ ඇඟිලි වලට වැටීම රජයෙන් ලාභ ප්‍රයෝජන හිමිවීම ද, වම් අත ඇඟිලි වලට වැටීම තම මිත්‍රයන් අමනාප වීම ද සිදුවෙයි. පපුවට වැටීමට ධන ලාභයක්‌ ලැබීම ද, ස්‌ත්‍රීන්ගේ පියයුරු මතට වැටීම ගෞරව සම්මාන හිමිවීම ද, බඩට වැටීම ධාන්‍ය ගොවිතැන්වලින් ලාභ ද, නැබට වැටීම ලාභ ලැබීම ද, දකුණු ඇලයට වැටීම දියුණුවට අවස්‌ථා උදාවීම ද වම් ඇලට වැටීම මරණයද, පිට කොන්දට වැටීම ද්‍රව්‍ය ලාභ ද, පිටට වැටීම ශුභ සම්පත් හිමිවීම ද, ලිංගයට වැටීම දරිද්‍රයද, යෝනියට වැටීම වස්‌තුව ලැබීම ද කලවට වැටීම පියාට විපත් කරදර ඇති වීමට හේතු ද වෙයි.
දකුණු කෙණ්‌ඩවලට වැටුනේ නම් අපේක්‍ෂා නොකළ පාඩු ද, වම් කෙන්ඩයට වැටීම කළකෝලාහල ද, ඇස්‌වටයට වැටීම සැප සම්පත් හිමිවෙයි. දකුණු පාදයට වැටීම දුක්‌ කරදර ද, දකුණු පාදයේ ඇඟිලිවලට වැටීම නඩුහබවලට අසුවීම ද, වම් පාදයේ ඇඟිලිවලට වැටීම වේදනා සහිත රෝග පීඩා බලපෑම ද, නියපොතුවලට වැටීම ධනය හානි වීමට ද හේතු වෙයි. හූනා, කටුස්‌සා ශරීරයේ දිව්වේ නම් දීර්ඝායුෂ හිමිවන බව ද පැරැණි ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
ජ්‍යොතීර්වේදී සාමවිනිසුරු
දයාරත්න මායාදුන්නේ
divaina
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, February 28, 2019

ග්‍රහදොස්‌ බාධක දුරුවෙන්න විෂ්ණු දේව ශාන්තිය නිතර කියන්න.... (vishnu deviyan gatha අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරමින් ආගම් භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන අසරණ ජනතාව මුහුණපාන්නා වූ දුක්‌ කරදරවලට විසඳුම් ලබාදෙමින් සහනය ග්‍රහදොස්‌ බාධක දුරුවෙන්න
උදාකරන්නා වූ දේවාත්මයක්‌ ලෙසින් බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවයටත් භක්‌ත්‍යාදරයටත් පාත්‍ර වී ඇති එකම වෛදික දේවාත්මය ශ්‍රී විෂ්ණු දෙවියන්ය.
බුදුරජාණන් වහන්සේට ඉතාමත් සමීපස්‌ථ දේවාත්මයක්‌ වන ශ්‍රී විෂ්ණු දෙවියන් අප මහා තථාගතයන් වහන්සේගෙන් දහම් ඇසීමට යොමු වී සිටි බෞද්ධ දෙවි කෙනෙකු බවත් ලංකාරක්‍ෂාව සඳහා විජය රජුගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බවත් මහාවංශ කතාපුවතින් හෙළිදරව් වේ.
පිරිනිවන් පෑමට සුදුසු කාලය එළඹ ඇති බව තීරණය කළ බුදුරජාණන් වහන්සේ මාගේ ඇවෑමෙන් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන්නැයි සක්‌ දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේ සක්‌ දෙවිඳුන් එම කාර්යය මහා විෂ්ණු දෙවියන්ට භාර කළ බවත් විජය රජු ප්‍රධාන පිරිස ලක්‌දිවට ගොඩ බට අවස්‌ථාවේ පිරිත් පැන් ඉස පිරිත් නූල් අතේ බැඳ ආරක්‍ෂාව සැලසූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.

එදා සිට අද දක්‌වා සියලු බැතිමතුන් එම විශ්වාසය මත පිහිටා තමන් වෙත පැමිණෙන සියලු ග්‍රහ දොස්‌ හා කරදර බාධක වලින් මිදීමට ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශාන්තිය බලාපොරොත්තුවෙන් විවිධ පුද පූජා තබා කරන ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරදෙන මහා බලවත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාගේ පිහිට ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබටද ඒ සඳහා මෙසේ යොමු වීමෙන් යහපත උදාකර ගත හැකිය.
ශනි දින ශනි හෝරාව තෝරාගෙන (උදෑසන 6-7 අතර) ප්‍රථමයෙන්ම මල් පහන් සුවඳ දුම් පූජා කර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බුදුන් වැඳ සෙත් පිරිත් සඡ්Cධායනා කර විෂ්ණු දෙවියන් උදෙසා නිල්මල් ගිතෙල් හෝ රන්තැඹිලි තෙල් පහනක්‌ සුවඳදුම් හා පත්‍ර පූජාවක්‌ ලෙස මදුරුතලා කොළ මාලයක්‌ පූජා කර වන්දනා මාන කර පිං අනුමෝදන් කර ඔබ වෙත පැමිණ ඇති කරදර බාධක ග්‍රහ දොස්‌ දුරු කර දෙන මෙන් ඉල්ලා සිටිමින් පහත දැක්‌වෙන ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය 21 වරක්‌ ගායනා කිරීමෙන් සියලු දෝෂ දුරුකර ගනිමින් ඔබට සෙත සහනය ශාන්තිය උදාකර ගනිමින් සතුටින් ජීවත්වීමේ භාග්‍යය උදාවනු නියතය.

ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය

නීලාංජන සෞගත ශ්‍රී නාරායන දේවම්

ශ්‍රිකාන්තා වක්‌ෂස්‌ථල නිත්‍යවාස භූතම්

ශ්‍රී හස්‌තායුධ යුග්මාධර කමලා නේත්‍රම්

ප්‍රණම්‍ය සතකං හරිහරදේව පාද පද්මං

ශංබෝධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්

ගංගාධර ප්‍රියංගනා භාතෘ දේව රාඥම්

ශාරීරික නීලාඤ්ජන වර්ණ ජ්‍යෙdaති වර්ණමි

ප්‍රණමාමිත විෂ්ණුදේව ශාන්ති දාන නිත්‍යම්

ශ්‍රී ගෞතම ශාසන රක්‍ෂිත කෘත භූවනත්‍රම්

ශ්‍රී ලංකා ධරණීතල රක්‍ෂිත ජන ගහනම්

ශ්‍රී සෞගත දේවාසුර නර මස්‌තක පාදම්

සඡ්ජිත ශ්‍රී කෘෂ්ණ දේව ආයුවර්ණ දානම්

ශ්‍රී ගණ ශ්‍රී ධර්ම සංඝ පූජන ශ්‍රී පුණ්‍යම්

ශ්‍රී නර ශ්‍රී දිව්‍ය චක්‍ෂුධර උපෙන්ද්‍ර දිව්‍යම්

සර්වොපද්‍ර නිවාරනන්තු දේව දේව රාඥම්

ශ්‍රී ශාන්ති ආයුෂ ශ්‍රී සෞභාග්‍ය දානම්

කේශාන්තජ සීමාකෘත පාදාන්කජ යුග්මං

රෝග අමනුෂ්‍ය දුක්‌ඛ දුර්භික්‍ෂා ප්‍රහනම්

ආපො තේජෝ වායො පඨවි ධාතු දේහම්

රක්‍ෂන්තුච විෂ්ණු දේව රාඥ පාද ප්‍රණමාම්
Divaina
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, February 23, 2019

අම්පාරෙන් මතුවුණේ වඳවුණූ නිට්ටෑවන්ද ?(nittaewo ampara kurumitto අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

අම්පාර තෝට්ටම එච්.ඩී. කරුණාතිලකට කවුරුත් කීවේ කරුණේ කියාය. බඩ රස්සාවට වරාලන්ද යායේ හේන් ගොවිතැන කරනා කරුණේ දවසින් වැඩි හරිය ගෙව්වේ හේනේමය. ඊට හේතුව වූයේ බැද්දේ හතී කොන
කරක් ගහන සතා සීපාවා වගක් විභාගයක් නැතිව හේනට කර ‍පොවා වගාව ආසානාසි කිරීමය. හාවුන්ද, වල් ඌරන්ද කරුණාතිලකලාගේ ලොකුම හතුරෝ වුවත් දඬුවැට බැඳ හෝ උගුල් අටවා උන්ගේ ඒම නතර කළ හැක. එහෙත් අහසේ පියාසලනා කුරුළු සකලයෝ එසේ අඹවන්නට නොහැක. එහෙයින් කරුණාතිලකලාගේ හේන් යායේ ඇත්තෝ දහවල්ද හේන රකිති. ඉරගල වැටී දෙහෝරාවක් යද්දී හේන් යායට එන අලි නිසා රාත්තිරියද පහන් කරන්නේ හේනේ පැ‍ලේමය.
වල් සතුන් හැර වෙන බයක් තෝට්ටම හේන් කරන කරුණේලාගේ රැහේ උදවියට තිබුණේම නැති තරම්ය. ඒ සහනය අදින් දෙතුන් ‍පෝයකට පෙර බිඳී ගියේය. ඒ තමන්ගේ අත්තා මුත්තා පවා නොදුටු සතුරෙක් නිසාය. ඒ කතාව කරුණාතිලක පවසන්නේ මෙසේය.මහත්තයෝ මේ යායේ හේන් කරන අපි කවුරුත් හරි සමගියි. මොකද එකම ඉරණමනේ අපි ඔක්කෝන්ටම තියෙන්නේ. අපි ඉරිඟු කුරහන් ටිකක් වවාගෙන, බතල මයියොක්කා ටිකක් හිටෝගෙන අහස් දියෙන් වී ටිකත් ඉහගෙන කරදරයක් නැතිව මේකේ ජීවත් වුණා.
එහෙම හිටපු අපිට එක සැරේම වුණ විනම්බෑසිය බලන්නකෝ... බුලත් කෙළ පාර ඈතට විදිමින් කරුණේ අයියා පැවැසීය.කරුණේගේ කතාව අසන්නට පුදුමය. එහෙත් එය විශ්වාස නොකරද බැරිය. ඒ බොරු කියන්නට ඔහුට වුවමනාවක් නැති බැවිනි.
එදා මම හේනට එද්දී වෙනදාට වඩා රෑ වුණා. එම රාත්තිරියේ හිත් සෝදිසියෙන් ගහේ පැලට ගොඩ වුණා. මහ රෑ ජාමේ මට ‍පොඩි සද්දයක් ඇහුණා. මං උන්නේ ඌරෝ හරි වෙන වල් සතෙක් හරි කියලා. කෝකටත් මං ටෝච් එක එළිය කළා. ඒ එළියෙන් මම දැක්ක දේ සිහිවෙනකොට කාටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. අඩි දෙකහමාරක් විතර කොට මිනිහෙක් පැල දිහා බලං ඉන්නවා. ඒකා රතු පාටට හුරුයි. හැඩපළු ගැහුන කෙස්ස පිටට වැටිලා තිබුණා. ඒකාගේ තොල් රතුම රතුයි. හරියට සැරට විටක් කාලා වගේ මං උන්නේ දිෂ්ටියක් කියලා. මට එක සැරේට නරක හරුපයක් කියවුණා. ඊට පස්සේ මේකා මගේ පැල් කොටේ නගින ඉනිමඟ ළඟට ආවා. කෝකටත් කියලා මං පැ‍ලේ තිබුණ රතිඤ්ඤා දෙකක් පත්තු කරලා දැම්මා. එතකොට පැනලා දිව්වා.
කරුණාතිලක කියන කුරු මිනිසා ඔහුට පෙර දුටු අයද වෙති. කරුණාතිලක සමග තෝට්ටම වරාලන්දයායේ හේන් කොටන රත්නායක අයියාද මේ කුරු මිනිසා දැක ඇත්තේය. මේ ඔහුගේ කතාවය.
මම දෙවංගියක් ඔය කුරු මිනිහා දැක්කා. කරුණේ කියන කතාව හරි කට රතුපාටයි. කෙස්ස කඩාගෙන පිටට දාලා. මං ළඟට එද්දී ඒකා ආතභූත කඩාගෙන දිව්වා. රාත්තිරිය හින්දා මං පස්සේ එලෙව්වේ නෑ රත්නායක පවසන්නේය.
රාත්‍රී අඳුර සමග පැමිණෙන මිනිස් හඬ ඇසුණ සැනින් පලා යන මේ අද්භූත සත්වයා කවරෙක්ද? ඊට රත්නායක අයියා මෙසේ පිළිතුරු දෙන්නේය. ංඅපේ ආච්චිලා සීයලා කියපු කතා තියෙනවා මේ දිගාමඩුල්‍ලේ හිටපු වානර මිනිස්සු ජාතියක් ගැන නිට්ටෑවෝ කියලා. උංගේ නිය‍පොතු හරි දිගලු. නිය දිග නිට්ටෑ වුණා කියලා අපේ ආච්චිලා සීයලා කියලා කියනවා. අපිට හිතෙනවා. මේ උං කියලා. මේ මහ කැ‍ලේ මොක්කු ඉන්නවාද කවුද දන්නේි රත්නායක තම කතාව ගෙනහැරපාමින් ප්‍රශ්නයක්ද අසන්නේය.
රත්නායකලා මේ කියන නිට්ටෑවා අර්ධ මානව රූපී සත්වයෙකි. ජනප්‍රවාදයේ එන පරිදි නිට්ටෑවන් දිවි ගෙවා ඇත්තේ අම්පාරට නොදුරු කූඩුම්බිගල ගිරි ශිඛරය ආශ්‍රිත වන බූටෑවේය. උසින් අඩි තුන නොඉක්මවන නිට්ටෑවා සිටගත් පසු ඔහුගේ දෑත් දෙදණහිසින් පහළට දික්වීලු. දිගු තියුණු නිය‍පොතු සහිත නිට්ටෑවාගේ සිරුර දළ ලෝමයන්ගෙන් වැසී තිබුණේලු.
දිගාමඩුල්‍ලේ ආදිවාසී වැදි ජනයාගේ පරම හතුරා වූයේ නිට්ටෑවාය. බැද්දේ තනිව යන වැද්දෝ වට කොට මරාගන්නා නිට්ටෑවො සිය දිග නියවලින් වැද්දන්ගේ බඩපලා අතුනු බහන් ඇද කෑ බව වැදි ජන කතාවල එයි.
අවසන නිට්ටෑවන්ගෙන් බේරී ගත නොහැකි වූ මහ ‍ලේනව සහ රන්දුණු බණ්ඩාර වරිගේ වැද්දෝ නිට්ටෑවො ගල් ලෙනකට කොටු කර එහි කට වසා දින තුනක් ගිනි දල්වා නිට්ටෑවන් සමූල ඝාතනය කළ බව කියැවෙයි. කුඩුම්බිගල ප්‍රදේශයේ ඇති නිට්ටෑහෙල එදා නිට්ටෑවන් විසූ ජනපදය බව අදටත් ප්‍රදේශවාසීහු පවසති. නැගෙනහිර මතු නොව රට පුරාම නිට්ටෑවෝ දිවි ගෙවූ බවද ජනප්‍රවාද වෙයි. නිට්ටම්බුව නිට්ටෑ‍පොළ ආදි ග්‍රාම නාම ඊට නිදසුන් බව ඇතැම්හු පවසති.
කෙසේ වෙතත් නිට්ටෑවන් පිළිබඳ කතා ජන සාහිත්‍යයේ එන කට කතා පමණක් විය නොහැක. ඊට හේතුව හියු නෙවිල් වැනි පර්යේෂකයන් පවා නිට්ටෑවන් පිළිබඳ කරුණු සොයා ඇති නිසාය. නෙවිල් තැ‍ප්‍රෝබේනියන් සඟරාව සහ තවත් සඟරා ගණනාවකට නිට්ටෑවන් පිළිබඳ ලිපි සකසා ඇත. ඒවාගෙන් නිට්ටෑවන් ගැන පමණක් නොව සමකාලීන සමාජ තත්ත්වයන් සහ ජන ජීවිතය ගැනද වැදගත් හෝඩුවාවන් රැසක් සොයා ගත හැක.
නිට්ටෑවන් වැද්දන් හා සටන් කොට ඔවුන් මරා දැමුවද වැදි තරුණියන් පිළිබඳ ඊට සානුකම්පිතව බැලූ බවද ජනප්‍රවාදයේ කියැවෙයි. වැද්දන් නිට්ටෑවන් දැඩි වෛරයක් ඇතිවීමට මෙම තත්ත්වයද හේතු වූ බව සිතිය හැක.
කෙසේ වෙතත් තෝට්ටම, තෝරයායේ රත්නායකලා දුටු බව කියා මේ කුරු මිනිසුන් නිට්ටෑවන් දැයි කීමට කිසිවකුටත් නොහැක. ඒ නිට්ටෑවන් පිළිබඳ ජනප්‍රවාද හැරුණු කළ වෙන කිසිදු සාක්ෂියක් නොමැති නිසාය. එමෙන්ම ලාංකේය පුරාවිද්‍යාඥයන් හෝ ජනශ්‍රැති පර්යේෂකයෝ  නිට්ටෑවන් පිළිබඳ කිසිදු නිවැරදි තොරතුරු තහවුරු කර ගෙනද නැත. එසේ නම්  තෝට්ටම වරාලන්දේ කරුණාතිලකලාගේ හේන්යායේ කරක් ගසා කුරු මිනිස්සු කවුද ඒ ප්‍රශ්නයට දීමට පිළිතුරක් අප සතුව පමණක් නොව කා සතුවත් නැත. 
---------------------------------------
නිට්ටෑවත
නිට්ටෑවන් පිළිබඳ සොයාබලා කරුණු වාර්තා කළ පිරිස අතර කීර්තිමත් පර්යේෂකයෙක් වන හියු නෙවිල් ද වෙයි. ඔහු සිය ගවේෂණ වැද්දන්ගේ ජනශ්‍රැතිය අනුව සිදුකළ මුත් පැහැදිලි සාක්ෂි සපයාගත නොහැකි වී ඇත. හියුනෙවිල්ට පසු පී.ඊ.පී. දැරණියගල, එෆ්. ලෙවිස් ඩබ්ලිව්.සී. ඔස්මන් වැනි මානව විද්‍යාඥයෝද නිට්ටෑවන් ගැන සොයා බැලූහ. මේ පිරිස අතරින් සී.ඊ.පී. දැරණියගල නැගෙනහිර පළාතේ ගල්ලෙන් ආශ්‍රිතව ගවේෂණ
සිදුකරමින් නිට්ටෑවන් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට උත්සාහ දරා ඇත. ආචාර්ය ශිරාන් දැරණියගල යන්ද රජරට ජනප්‍රවාද ඇසුරු කොට නිට්ටෑවන්ගේ තොරතුරු සොයා ඇත.
නිට්ටෑ නම දිගු නිය‍පොතු හා සම්බන්ධ බවට ජනප්‍රවාද රැසක් වෙයි. ස්වභාවධර්ම වේදියකු වන ඔගස්ටස් ප්‍රින්ස්ලි පවසනුයේ කවදාවත් නිය නොවැටෙන (නිට්ටාවට නිය‍පොතු ඇති) අය නිට්ටෑවෝ වූ බවයි. කෙසේ වෙතත් ආර්.එල්. ස්පිට්ල් වරක් ප්‍රකාශ කර ඇත්තේ නිට්ටෑවා මිනිසෙකු නොව වලහෙකුට සමාන සත්වයකු විය හැකි බවයි. නිට්ටෑවන් පිළිබඳ සමාජයේ එන ජනප්‍රවාදවලට අනුව නිට්ටෑවා වැද්දන්ට වඩා වෙනස් ස්වරූපයක් දරයි. එසේ නම් නිට්ටෑවා ඉන්දියාවේ සිටියේ යැයි කියවෙන නිශාද නම් ජන කොටසෙන් බිඳී ආවෙක්දැයි යන සැකය මානව විද්‍යාඥයන් කිහිපදෙනෙකු මතු කර ඇත.
නිට්ටෑවා කුඩා රංචු ලෙස නැගෙනහිර තැනිතලාවල දිවි ගෙවූ බවත් සතුන් මරා අමු මස් කෑ බවත් කියවෙයි. ඔවුන්ගේ දඩයම් රටාව හෝමෝ හැබිලිස් ආදි මානවයා සිහි කරවයි. මෙගස්තිනස් නම් ග්‍රීක මානව විද්‍යාඥයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දකුණු දිග වනාන්තරවල දිවි ගෙවූ සයිනොසෙපලි නම් අභිරහස් සත්වයෙකු පිළිබඳ ක්‍රි.පූ. 3 වැනි සියවසේ පවා සටහන් තබා ඇත. එහිදී සුනඛ හෝ වානර මුහුණු සහිත ජන කොටසක් ලෙසද සයිනොසෙපලියන් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පැහැදිලි ඔස්ටේ‍රාලොයිඩ් ලක්ෂණ දරන්නන් බැවින් ඔවුන් සුනඛ හෝ වානර මුහුණු දරන්නත් ලෙස හැඳින්වීමට කිසිවෙක් කටයුතු කරන්නේ නැත. එසේ නම් මේ සයිනොසෙපලි යනු ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවේ දිවි ගෙවූ අර්ධ මානව ස්වරූපධාරී ජන කොටසක් වන නිට්ටෑවන් විය නොහැකිද?
මේ තර්කයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක්කේ මානව පරිනාමයේ පැහැදිලි තැන්වලට වඩා අපැහැදිලි තැන් බොහෝ වන බැවිනි.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
lakbima
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අම්පාර - තොට්ටම ගම්මාන බියවද්දන අරුම පුදුම කුරුමිට්ටෝ නිට්ටෑවොද පිටසක්වළ ජීවියොද ?
අද්භූත මිනිසෙක් එන්න ගත්තේ අම්පාරේ, තොට්ටම, වරාලන්ද හේන් යායටය. නමුත් ඒ ආරංචිය පැතිර යෑමත් සමඟම ලංකාව පුරාම බොහෝ දෙනෙක් බියට පත්වූහ. ඇතැම්හු මෙය බොරුවක් යැයි කීහ. නමුත් අපි එම ප්‍රදේශයේ සංචාරය කළේ ඒ ගැන වගතුග සෙවීමටය.
ඒ අනුව අද්භූත මිනිසා සොයා අපි අම්පාර - තොට්ටම ගම්මානයට ගොස් එතැන් සිට කුඩා අබලන් වූ පාරක් ඔස්සේ වරාලන්ද හේන් යාය වෙත ගියෙමු. මෙම ප්‍රදේශයට ඉරිඟු වගාවට සේනා දළඹුවා දැඩි සේ හානිකර ඇති අතර ඊට අමතරව තවත් නරක කල දසාවක් උදාව තිබිණි. අනේ මහත්තයෝ බලන්නකෝ මේ පාර බීජ සවුත්තු වෙලා අපේ ඉරිඟු වගාවත් ඔක්කොම වගේ විනාශයි. ඇවරි කරල් එන්න අරන්. ඒ ඔක්කොම වගේ කරල්වල ඇට නැහැ බොල්. අපි මේවා රකින්නේ කරල් කීපයක් හරි ගන්න පුළුවන් වුණොත් කියලා මහන්සි වෙලා දුක් විඳලා අත්අරින්න බැරි නිසායි යනුවෙන් මැලව ගිය බඩඉරිඟු ගස් සේම අසරණව මැලවුණු මුහුණින් යුක්තව ගොවීහු අපිට සිය දුක් ගැනවිල්ල පවසා සිටින්නට වූහ.
ඉරිඟු ගොවියාගේ දුක ගැන විමසා මා සිත කැකෑරෙන අරුම පුදුම මිනිසා ගැන තොරතුරු විමසන්නට වූවෙමි. අනේ ඔව්, බලන්නකෝ මහත්තයෝ අපිට වෙන දේවල්. අලි මදිවට කොටි කියන්නා වගේ මේ කොහෙද යන මිටි මනුස්සයෙක් පැල්වලට ඇවිල්ලා අපිට රෑට නිදහසේ පැලක් රකින්නත් බැරි වෙලා තියෙනවා. මොකා ආවත් ඉතින් කරන්න දෙයක් නැහැනේ පැල් රැක්කේ නැති නම් ඉතිරි වෙච්ච ඉරිඟු ටිකවත් බේරගන්න බැහැනේ යනුවෙන් ඔවුහු පැවැසූහ.
මීට මාස එකහමාරකට පමණ පෙරදී මෙම අද්භූත මිනිසා දුටු එම්.ඩී. කරුණාතිලක මහතා මෙසේ කීවේය.
එක දවසක් දවල් මම හේනට එද්දි පහළ තිබ්බ මගේ පැළ ගිනිගන්නවා. ඒකෙ පොහොර මිටි තුනක් තිබ්බා. ඒ ඔක්කොම ඉවරයි. පැලේ එක ගිනි පෙට්ටියක් ගිනි අඟුරක්වත් තිබ්බේ නැහැ. අහල පහළ හේන්වල අයවත් හතුරෙක්වත් එහෙම පැලක් ගිනි තියන්නේ නැහැ මහත්තයෝ. නමුත් කොහොම හරි පැල ගිනි ගන්නවා මම එද්දිත්. ඊට පස්සේ අවට හේන්වල අය එකතු වෙලා මට එතැනම තිබ්බ ගහ උඩ පැලක් හදලා දුන්නා. මම එක දවසක් පුතාගේ පැලට ගිහින් ඉඳලා රෑ වෙද්දි ගහ උඩ තියෙන පැලට ඇවිල්ලා හිටියා. මම හිතන්නේ රෑ 12ට විතර ඇති. එකපාරටම කොළ පොඩි වන ශබ්දයක් ඇසුණා. මම අලි වෙන්න ඇති කියලා ටෝච් එක අරන් ශබ්දෙ ඇසුණු පැත්තට ගැසුවා. එක පාරටම දැක්ක දෙයින් මම බයට පත්වුණා. අඩි දෙකහමාරක් විතර උස පිට හරියට වගේ කොණ්ඩේ වැවුණු කට රතු පාටට තිබ්බ කුඩා මිනිසෙක් විදුලි පන්දම් එළිය දෙස බලාගෙන සිටියා. මට කුණුහරුපයක් කියැවුණා. මොකාද මේ කියලා බැන්නා. ඊට පස්සේ මේ මනුස්සා ඉස්සරහට ඇවිත් මම හිටිය පැළ ළඟට ඇවිත් ඉණිමග ළඟට ළංවුණා.
මම පැලෙන් පොඩ්ඩක් එළියට ඇවිත් ගස් කරුවට පය තිබ්බා. එතකොටම වගේ බිම තිබ්බා තව පොඩි පැලක්. ඒක ඇතුළට ඒ මනුස්සයා දිව්වා. මම රතිඤ්ඤා දෙකක් පත්තු කරලා දාලා පැලෙන් බිමට බැහැලා බලද්දි ඒ මනුස්සයා හිටියේ නැහැ. මීට අවුරුදු තුනකට විතර කලින් මේ වගේ මනුස්සයෙක් පැලකට ආවා කියලා පැල් රකින අයෙක් දැකලා තිබ්බා කියලා කීවා මට මතක් වුණා. මේ ඒ මනුස්සයාද කියලා මට හිතුණා යනුවෙන් කරුණාතිලක පවසා සිටියේය.
ඊට දින පහකට පමණ පසු කරුණාතිලක වෙනුවට පැල් රකින්නට පැමිණියේ ඔහුගේ පුතා දිනූෂය.
මම තාත්තාගේ පැලට යන්න ගියා. ඒ යද්දි පහළ තිබ්බ පැල ඇතුළේ මැස්සේ අර පුංචි මනුස්සයා වාඩි වෙලා ඉන්නවා. තාත්තා දැක්කා කිව්ව මනුස්සයාගේ හැඩරුවමයි තිබ්බේ. එක පාරටම මට කුණුහරුපයක් කියැවුණා. තාත්තේ මෙන්න අර මිනිහා අදත් ඇවිල්ලා කියමින් කෑ ගැසුවා. ඒ කුරු මිනිසා මැස්සෙන් පැනලා එළියට ගියා. පස්සේ මම ඒ මනුස්සයා දිහාට ටෝච් එක ගැහුවා. එයා මගේ දිහා බලාගෙන ටික වේලාවක් හිටියා. පස්සේ තාත්තා මම හිටි තැනට එද්දි එයාගේ අතේ කොසු මිටක් තරම් මහත අඩි එකහමාරක පමණ කෝටුවක් තිබ්බා. ඒක බිම තිය තියා පැන පැන වේගයෙන් පැනලා ගියේ යැයි සිය අත්දැකීම දිනූෂ පවසා සිටියේය.
ඒ ආසන්නයේ මඩෙහි තිබුණු අමුතු පා සටහන් ඉන්පසු මෙම ගොවි පිරිසට දැක ගන්නට ලැබිණි. තවත් දින 08ක් පමණ යද්දී කරුණාතිලක ගස උඩ සාදා තිබුණු පැල දවල් ගිනිගෙන දැවෙන්නට විය. ඒ වෙලේ කරුණාතිලක හේනේ නොසිටි අතර අවට ගොවීන් ඒ දෙසට යද්දි පැල ගිනි ගෙන අවසන්ය. 'කවුද මේ පැල ගිනි තිබ්බේ. අපේ කෙනෙක් නම් මේ වගේ බලු වැඩක් කවදාවත්ම කරන්නේ නැහැ එක සහතිකයි. අර රෑ එන මිටි මිනිසාවත් කරනවාද දන්නේ නැහැ' යනුවෙන් අයෙක් පවසා සිටින්නට විය. ඇත්තටම මේ වැඩේ කළේ කවුද යන කුහුලින් යුතුව ගොවීහු එම ස්ථානයෙන් පිටව ගියහ.

මේ අත්දැකීමට මුහුණ දුන් කේ.එම්. රත්නායකද මෙසේ පවසා සිටියේය.
මම දෙවතාවක් මේ දේ දැක්කා. පළමු පාර දැක්කේ වසර තුනකට කලින් මේ ප්‍රදේශයේ පැල් රකිද්දි. එදා මම ගහ උඩ පැලක හිටියේ. රෑ ‍ෙදාළහට විතර ඇසුණා යන්තමින් ටොක ටොක ගාන ශබ්දයක්. මම පැල උඩ සිට ටෝච් එක ගහලා බැලුවා. මම දැක්ක දෙයින් පුදුමයට පත්වුණා. අඩි දෙකහමාරක් විතර කොණ්ඩය වවා ගෙන සිටි පොඩි මනුස්සයෙක් මා දිහා බලාගෙන හිටියා. කට රතු පාටයි. අතේ පොඩි කෝට්ටක් තිබුණා. ඒක අඩි දෙකක් විතර දිගට තිබුණා. ඒකෙ කොණක ලබු කැටයක් වගේ දෙයක් එල්ලලා තිබ්බා.
පොඩි මනුස්සයෙක් නිසා මට පහළට බහින්න ආශාවක් ඇතිවුණා. මම පැලෙන් බැස්සා. බහිද්දිම දුවන්න ගත්තා. මම අඩි තිහක් හතළිහක් විතර පස්සෙන් ගියා. මට පස්සේ බය හිතුණා. මම ආපහු හැරිලා ආවා. මේ කතාව මම එදා කියද්දි කවුරුවත් පිළිගත්තේ නැහැ. හීනයක් වෙන්න ඇති කියලා.
ආයෙත් මම දැක්කේ දින කිහිපයකට කලින්. මම එදා හවස පැලට ගිහින් අලි එන්නේ රෑ ‍ෙදාළහට විතර නිසා රෑ අටට විතර පැලේ මැස්සට වෙලා නිදා ගත්තා. ඒ පැල මම බිම හදලා තිබ්බේ. අඩි දෙහමාරක් විතර උස මැස්සකයි මම නිදාගෙන හිටියේ. මට දැනුණා කවුරු හරි ගිනිමැළය අවුළුවන්න හදනවා කියලා. මම හිතුවේ ළඟ පැලක කෙනෙක් ඇවිල්ලා ගිනිමැළය පත්තු කරනවා කියලා හිතලා ගිනිමැළය පත්තු කරනවාද කියලා මම අහලා ගිනිමැළය තිබ්බ දිහාට හැරිලා ටෝච් එක ගැසුවා. ඒ දැක්ක දෙයින් මම පුදුමයට පත්වුණා. අඩි දෙකහමාරක් විතර උස මනුස්සයෙක් මගේ ඉස්සරහ හිටගෙන හිටියා.
කට අමු මස් කාලා වගේ රතු පාටයි. ඇහි බැමි නැහැ. හරියට ලස්සන පාට තියෙන පුංචි ළමයෙක් වගේ. හැබැයි මුහුණ ලස්සන නැහැ. කන් දෙක දිගයි ඇතුළට එබිලා වගේ තිබ්බේ. තොල පළලයි. ලොකුයි. කොණ්ඩය පිටට වැවී තිබුණා. ඇස් කිට්ටුවට එනකම් නළලත් ගොඩක් වැහෙන්න වගේ කොණ්ඩය තිබ්බා. සම්පූර්ණයෙන්ම හොඳට වැඩුණු කුඩා මිනිහෙක්. ඇඳන් හිටියේ උස කළු පැහැති දෙයක්. මුහුණේ රැවුල නැහැ. ඇඟ පුරා ලොම් එහෙම තිබ්බේ නැහැ. හරියට පැහැපත් ළමයෙක් වගේ. මම ඇසුවා 'කවුද යකෝ මගේ පැලේ ගින්දර පත්තු කරන්නේ' කියලා කියද්දි එක පාරටම හැරිලා වේගයෙන් දුවන්න ගත්තා. ටික දුරක් දුවලා ගිහින් නියරකින් හැරුණා. පස්සේ මම ටෝච් එක නිවලා පත්තු කරලා බලද්දි දකින්න හිටියේ නැහැ.
මම මීට කලින් වසර 03කට කලින් දැක්කෙත් මේ කෙනාමයි. එයත් මේ විදිහයි. මට හරියට හිතා ගන්න බැහැ මේ කවුද කියලා. වෙලාවට හිතෙනවා බහිරවයෙක්වත්ද කියලා. නිට්ටෑවෝ නම් මිනිසුන්ට කරදර කරනවානේ. නියපොතු, ලෝම හෙම තියෙනවානේ. එයාගෙන් නම් අපිට කරදරයක් නැහැ වගේ මිනිසුන්ට යනුවෙන් රත්නායක පවසා සිටියේය. මේ විදියට මේ පුද්ගලයා පස් වතාවක් මෙම පැල් කිහිපයට පැමිණ තිබේ.
අවසාන වතාවට පැමිණ ඇත්තේ පසුගිය දෙවැනිදාය. එවිට එම පුද්ගලයාගේ පා සටහන් පැහැදිලිවම එම අළු මත තැන්පත්ව තිබිණි. මේ ආරංචිය නිසා මේ වනවිට ගම්වාසීන් බොහෝ දෙනෙක් භීතියට පත්ව සිටිති. එනිසා ඇතැමුන් හේන්වලට යෑමෙන් පවා වැළකී සිටිති. මෙම හේන් යාය සම්බන්ධව තිබෙන්නේ මහ ගන වනාන්තරයකටය. ත්‍රස්තවාදී සමයේ කොටින්ගේ මහ කඳවුරක් වූ කංචිකුඩිආරු මහ කොටි කඳවුර පවා පිහිටා තිබුණේ මෙම වනපෙතෙහිය. එසේ නම් මෙම අද්භූත මිනිසා මෙම වනාන්තරයේ ජීවත් වන අයෙක්ද පිටසක්වළ ජීවියෙක්ද නිට්ටෑවෙක්ද, එසේ නොමැති නම් බහිරවයෙක්ද යනුවෙන් තැන් තැන්වල මිනිසුන් විවිධ කතා පවසමින් සිටිති.
මෙවැනි කුරු මිනිසුන් ගැන අම්පාරෙන් පානම කුඩුම්බිගලින් දශක ගණනාවකට කලින් වාර්තා විණි. නිට්ටෑවන් ලෙසින් හඳුන්වන ඔවුන්ගේ සිරුර පුරා ලොම් තිබී ඇත. නිට්ටෑවුන් රංචුවක් ලෙස සැරි සරා දඩයමේ යන වැද්දන්ට පහරදී මරා දැමීම සහ වැද්දන් පුලුස්සා තිබෙන මස් නිත්තෑවුන් විසින් සොරා ගැනීම නිසා වැද්දන් එක්ව මෙම නිට්ටෑවන් පසුපස පන්නා ගොස් ගල් ගුහාවකට ගිය පසු එහි කට ලී සහ ගල් යොදා ගිනි තබා සමූල ඝාතනය කළා යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.
‍ෙදාස්තර ආර්.එල්. ස්පිටල්, හියු නෙවිල්, ප්‍රෙඩික් ලූවිස්, ඔස්මන් හිල් වැනි ගවේෂකයන් විසින් මේ නිට්ටෑ ජන කොට්ඨාසය පිළිබඳව වැද්දන් හරහා තොරතුරු ලබා ගෙන වාර්තාවන් තබා ඇත. මීට වසර කිහිපයකට පෙර අම්පාර ප්‍රදේශ රැසක වනාන්තරවලද අඩි තුනක් _ තුනහමාරක පමණ උසැති යැයි පැවැසෙන නිට්ටෑවුන් දුටු බවට කිහිප දෙනෙක් පවසා සිටියහ. ඒ අනුව බලන කල තවමත් ලංකාවේ සමූල ඝාතනය වූවා යැයි කියනා නිට්ටෑවන් වාසය කරනවා යැයි බොහෝ දෙනෙක් කියන්නේ ඉහත කරුණු නිසාය. නමුත් තව ඔවුන්ගේ ඡායාරූපයක් හෝ ගැනීමට මේ කතාව සනාථ කරන්නට ඡායාරූපයක් ගැනීමට තවමත් නොහැකිවීම නිසා නිට්ටෑවන් පිළිබඳව සැබෑ තොරතුරු වනාන්තරයේ ගහකොළ සමඟින් සැඟව ඇත. නිසි ආකාරයෙන් සොයා බැලීමක් කර ඒ අනුව එන්නේ නිට්ටෑවෙක්ද එසේ නැත්නම් වෙනත් අයකුද කියා අපිට අනාවරණය කර ගැනීමට හැකි වුවහොත් මානව වංශ කතාවේ නව සොයා ගැනීමක් වනු ඇත.
පටබැඳිගේ අමරබන්දු
mawbima
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
එදා සිටි අදත් හමුවෙන ලංකාවේ නිට්ටෑවෝ
අවුරුදු ගණනකට පසු ‘නිට්ටෑවා’ යළි හිස ඔසවා ඇත. නිට්ටෑවා යනු තිරිසනෙක් ද? එහෙමත් නැත්නම් මනුස්සයෙක්ද? ඉහත සඳහන් ප‍්‍රශ්නවලට යම් තරමකට උත්තරය හියූ නෙවිල් නමැති බි‍්‍රතාන්‍ය පර්යේෂකයා විසින් 1886 දී ප‍්‍රකාශයට පත් කරන ලද දැනට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි කියන ලිපි සමූහයක සඳහන් කර ඇත. පහත සඳහන් ලිපි පෙළ මගින් විස්තර කරන්නේ ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේදී විවිධ පුද්ගලයන් නිට්ටෑවුන් පිළිබඳ ලද අත්දැකීම් ය.
 මධ්‍ය කාලීන යුගයේ ජීවත් වූ සුප‍්‍රසිද්ධ සංචාරකයකු වු මොරොක්කෝ ජාතික ඉබන් බතුතා 1344 හෝ එයට ආසන්න කාලයක ලංකාවට පැමිණ සමනොළ කන්ද තරණය කර එහි ඇති 1 කොටස ශී‍්‍ර පාද ලාංඡනය (ඉබන් බතුතාගේ මතයට අනුව ආදම්ගේ පාද ලාංඡනය) වැඳ පුදා ගත්තේය. ශ‍්‍රී පාදයට යන ගමනේ. හා එන ගමනේ. වානර පෙනුමක් සහිත කුඩා මනුෂ්‍යයන් පිරිසක් ගැන දැනගන්න ලැබුණු බවත්, ඔවුන් ගැවසුනේ වනාන්තර මධ්‍යයේ බවත් ඔහුගේ දේශාටන චාරිකාවල සඳහන්ව ඇත. ඔහු ඒ අත්දැකීම විස්තර කරන්නේ මෙසේය. ‘මට මේ ගැන විස්තර කියන ලද්දේ ඔටෝමාන් රජවරුන්ට නෑකම් කියන ෂෙයික්වරයකු සහ ඔහුගේ පුත‍්‍රයා විසිනි. මේ දෙදෙනාම ලංකාවේ ජීවත් වන අතර ඉතා විශ්වාසවන්ත අය

වෙති. ඔවුන් කියන පරිදි කොළ අතුවලින් සාදන ලද ඔටුන්නක් පැළඳගෙන තම පිරිවර සමග හැසිරෙන වානර රජෙක් මෙහි සිටියි. ඔහු සැතපෙන විට පරිවාර වානරයෝ සිවුදෙනා බැගින් අතින් ගත් මුගුරු සහිතව ඔහු දෙපස සිටගෙන සිටිති. ඔහු හිඳ සිටින විටද ඔහුගේ පිරිවර ජනයා සහ ආරක්‍ෂක පිරිස් ඔහු වටා රැකවල් ලා සිටිති. මේ වානර රජතුමාට බිරියන් කිහිපදෙනෙක් ද දරුවෝ රැසක් ද සිටින්නාහ. සමහර විට ඔහු සිය පිරිවර ද, යටත් වැසියන් ද සමග රැස්වීම් පවත්වයි. එම රැස්වීම්වල. වානර රජුගේ ප‍්‍රධාන පරිවාරකයන් සිවුදෙනෙක් ඉදිරියට විත් සෙසු පරිවාර වානරයන්ට කිිසිවක් කියති. එකල පරිවාර වානරයෝ අතුරුදන් වෙති. ටික වේලාවකින් ඔවුහු පලතුරු රැගෙන වුත් වානර රජුට පිරිනමති. එවිට රජු කරන්නේ එම පලතුුරුවලින් කොටසක් තම බිරියන් සමග අනුභව කර ඉතිරිය තම දරුවන් සහ ආරක්‍ෂක වානරයන් අතර බෙදාදීමය. දඬු මුගුරු අතින් ගත් වානර මිනිසුන් හතරදෙනකු වෙනත් වානරයකුට පහර දුන් බව ද මගේ මිතුරු ෂෙයික්වරයා සහ ඔහුගේ පුත‍්‍රයා පැවැසූහ. එමතුද නොව ගුටි කෑ වානරයාගේ හිස කෙස් ද සිඳ දැමීමට පරිවාර වානරයන් පියවර ගෙන ඇත.

nittawo2 සුනාමිය ශ‍්‍රී ලංකාවට කඩා වදින්නට හරියටම සතියකට පෙර ස්පාක්‍ඳ්ක්‍ඳ ජාතික සංචාරකයෙක් ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කුමනට සහ පානමට කිට්ටු කුඩුම්බිගල වනාන්තර ප‍්‍රදේශයේ ඇවිදිමින් සිටියේය. ආචාර්ය සැල්වදෝර් මාටිනස් නමැති මේ සංචාරකයා වෘත්තියෙන් මානව විද්‍යාඥයෙකි. ඔහු කුඩුම්බිගලට පැමිණෙන්නේ ලංකාවේ ආරම්භක මනුෂ්‍යයන් ගැන තොරතුරු සෙවීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙසය. ක‍්‍රි. පූ. 246 ට අයත් බෞද්ධ ආරාම සමූහයක නටබුන් කුඩුම්බිගල අදටත් තිබෙන අතර එකල රාජ්‍ය පාලකයා වූයේ දේවානම්පියතිස්ස රජුය.

එකල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර සියල්ල ජනයාගෙන් පිරී පැවැති බවත් නාගරික කාර්ය බහුලත්වයෙන් නොසන්සුන් ව තිබූ බවත් කියනු ලැබේ. එබැවින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා නාගරික කාර්ය බහුලත්වයෙන් ඉවත් කර ජන ශූන්‍ය සාමකාමී තැනක ස්ථානගත කිරීම දේවානම්පියතිස්ස රජුගේ අදහස විය. ඒ අනුව එතුමා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය පිහිටුවාලූවේය. මෙකල කිතු දහම ලොව පහල වී නැත. මේ කියන යුගයේ. කුඩුම්බිගල ඝන වනාන්තරයකි. ඒ වනය තුළ තුන් වර්ගයක ජීවීහු වාසය කළහ. ඉන් පළමු කොටස වනසත්තුය. දෙවනකොටස වැදි ජනතාවය. තුන්වන කොටස අර්ධ මනුෂ්‍ය පිරිසකි. මේ පිරිස වානරයන් වෙතින් පරිනාමය වෙමින් පැමිණ එක්තරා අවස්ථාවක එම පරිනාමය නැවතීම නිසා, වානර පෙනුම සහිත අර්ධ මනුෂ්‍යයන් ලෙස ඉතිරි වූ නිට්ටෑවන් නැමැති කොටසකි. ආරණ්‍ය සේනාසනවාසී භික්‍ෂූන් වහන්සේලාට වනාන්තර වාසී සෙසු ජීවීන් සමග කිසිදු ගැටුමක් තිබුණේ නැත. එහෙත් වැද්දන් සහ වානර පෙනුම ඇති අර්ධ මනුෂ්‍යයන් අතර නිරන්තර ගැටුම් තිබිණි. ඔවුහු ආහාර පතා සටන් කළහ. එසේම වැදි ගැහැනුන්ගේ අයිතිය පතා සටන් කළහ. මේ නිසා කුඩුම්බිගල යනු ප‍්‍රාග් ඓතිහාසික යුගයේ වැදගත් ජවනිකා රඟදැක්වුණු භූමියකි. ආචාර්ය සැල්වදෝර් මාටිනස් ස්පාක්‍ඳ්ක්‍ඳයේ සිට කුඩුම්බිගලට එන්නේ මේ කරැණු සෙවීමටය.

 nittawo3ආචාර්ය සැල්වදෝර් මාටිනස් ප‍්‍රථම වරට කුඩුම්බිගල වනයට එන්නේ 2004 දෙසැම්බර් 19 වැනිදා ය. එදින දවස පුරා වනයේ ඇවිදගිය ආචාර්ය මාෆනස් වසර දහස් ගණනක් පැරැණි අස්ථි පොසිල කිහිපයක සාම්පල් එකතු කර ගත්තේය. දෙවන දවසේ ඔහු සම්පූර්ණයෙන්ම ගත කළේ ප‍්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන් ජීවත් වූ ලෙන් වලය. එම මනුෂ්‍යයන් අනුභව කළ ආහාරවල කොටස් ලෙස සැලකිය හැකි සාම්පල් කිහිපයක් ඔහු ලබාගත්තේය. තුන්වන දින ඔහු නිවාඩුවක් ගත්තේය. හතරවන සහ පස්වන දෙදින ඔහු කුඩුම්බිගල කැලයට රිංගූ නමුත් වැදගත් යමක් හමු වූයේ නැත. 
හයවන දවසේ දහවල් ආචාර්ය මාටිනස් කැලය මැද සිටින විට හදිසියේම අහස කළුකර වැස්සක් කඩා වැටෙන්නට විය. එය අනපේක්‍ෂිත මොහොතක සිදු වූවකි. ආචාර්ය මාටිනස් ළඟම තිබූ ගල් ගුහාවක් තුළට දිව ගියේය. ඔහු එය තුළට වැද විනාඩි 5 ක් පමණ යන විට වර්ෂාව ධාරානිපාතයක් වී ඇද හැලෙන්නට විය. ඒ අතර වනය තුළින් දිව ආ තවත් කෙනෙක් ගුහාව තුළට වැදුනේය. ඒ තැනැත්තා ගුහාව තුළට වැදීමට කැලය බිඳගෙන එනු දුටු ආචාර්ය මාටිනස් ගුහාව තුළ තිබූ වි
ශාල ගල් කුලට මුවා විය. මේ ගල් කුලට වම් පසින් කුඩා විවරයක් පිහිටි අතර එයින් එබී බැලූ ආචාර්ය මාටිනස් ආගන්තුක සත්ත්වයාගේ හැඩ රුව දුටුවේය. ඒ සත්ත්වයා අඩි තුනකට වඩා උස් නොවීය. උගේ සිරුර පුරාම කෙටි ලොම් වැවී තිබිණි. මුුහුණේ පෙනුම අර්ධ වානර, අර්ධ මනුෂ්‍ය ස්වරූපයක් ගත්තේය. මුහුණෙහි ලෝම සෑහෙන තරමක් තිබුණ ද ඒ තුළින් මනුෂ්‍ය මුහුණක් විද්‍යමාන විය
. මේ සත්ත්වයාගේ අත් දිගු වූ අතර ඒවායේ ඝන නියපොතු තිබිණි. මුහුණෙහි හකුපාඩා විශාල විය. ඇස්වල විවර විශාල වූ අතර, හිස රවුම් බෝලයකට සම විය. ඌට වලිගයක් නැත. ගුහාව තුළට පැමිණි සැනින් ආගන්තුක සත්ත්වයා කළේ හාත්පස ඉව කර බලන්නට පටන් ගැනීමය. තමා අවට තිබෙන පරිසරය පිළිබඳ නොමනාපයක් පෙන්වූ මේ සතා ඉව කරමින් ක‍්‍රමයෙන් ආචාර්ය මාටිනස් මුවා වී සිටි ගල් කුුල අසලට පැමිණියේය. ඒ අසල මදක් නැවතී සිටි ඌ යටි උගුරින් නිකුත් කරන සිහින් එහෙත් තියුණු හඬක් නගා ගුහාවෙන් එළියට පැන කැලය බිඳගෙන දුවන්නට විය. ඒ අතර මහවැස්ස තවත් වැඩි විය.
මේ ගුප්ත සත්ත්වයා කවරෙක්විය හැකිද. වැස්ස පෑයූ පසු නවාතැනට ගිය ආචාර්ය මාටිනස් දිගටම කල්පනා කළේ ඒ ගැනය. ඊළඟ දවසේ උදෙන්ම ගුහාව තිබූ තැනට යන්නෙමැයි කල්පනා කළ ද ආචාර්ය මාටිනස්ට පසුදා දහවල් වනතුරු නින්ද ගියේය. අවදි වූ පසු තමා ගිනියම් උණ ගතියකින් පෙළෙන සෙයක් ඔහුට අවබෝධ විය. ඔහු තවත් පැයක් ඇඳට වී සිටියේය. ඊළඟ පැයේ. සුනාමිය පැමිණි අතර ආචාර්ය මාටිනස් පසු දිනම ආපදා සහන සේවකයන්ගේ ආධාර ලබා කොළඹ පැමිණියේය.
අනුර සොලමන්ස්
divaina
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
නිට්‌ටෑවෝ සහ මානව පරිණාමය
'පසුගියදා මම චීනයේ බීජිං නගරයේ තිබෙන විශාලතම සංස්‌කෘතික, පුරාවිද්‍යාත්මක හා වෙනත් වැදගත්කම්වලින් යුතු කෞතුකාගාරය නැරඹීමට ගියා. එහිදී මගේ සිත් ගත් කාරණයක්‌ වූයේ ෂෝකෝඩියම් නමින් හඳුන්වන ප්‍රදේශයේදී හමු වූ පීකිං මිනිසාගේ හිස්‌ කබල සහ ඇටසැකිලි සහිත ඔහුගේ කතාව ජීවමානව දැක ගැනීමට හැකිවීමයි. කවුද මේ පීකිං මිනිසා. මේ විසිවන සියවසේ මුල් භාගයේදී මීට වසර ලක්‌ෂ 2 කට පමණ පෙර විසූ අපේ මානවයාගේ පුරුකක්‌. අපි දැන් ජීවත්වන මානවයාට වඩා උසින් අඩු, ශරීර ශක්‌තියෙන් අඩු මොළයේ විශාලත්වයත් තරමක්‌ අඩු හැබැයි හැඩහුරුකමින් හා ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයෙන්ම සමාන මේ මානව ඇටසැකිල්ල හා ඔහුගේ පොසිලය හමු වුණා. මේ තුළින් මානවයා හා ඔහුගේ පැරණි පරපුර පිළිබඳ අලුත් දැනුමක්‌ ලෝකයට ලැබුණා. මෙවැනිම මිනිසෙක්‌ හමු වුණා ජාවා රටින්, එනම් ඉන්දුනීසියාවෙන්. ඔහුට ජාවා මිනිසා කියා කියන්නේ. 
මෙය දැකීමේදී වැටහී ගිය කාරණයක්‌ නම් ශ්‍රී ලංකාවේදී ප්‍රචලිත නිට්‌ටෑවන් පිළිබඳ කතාව. තවමත් ලංකාවේ කිසිම තැනකින් නිට්‌ටෑවකුගේ පොසිලයක්‌ හෝ නිට්‌ටෑවකු පිළිබඳ වෙනත් පුරා විද්‍යාත්මක සලකුණක්‌ නම් ලැබී නැහැ. නමුත් ඉතා ශක්‌තිමත් ජනකතාවක්‌ තිබෙනවා. එනම් තරමක්‌ මිටි ඇඟ පුරා මයිල් පිරි නිට්‌ටෑවන් නම් මානවයන්ගේ මූලික ක්‍රියාකාරීත්වය සහිත පිරිසක්‌ ලංකාවේ කඳුකර ප්‍ර්‍රදේශවල, වනාන්තර ප්‍ර්‍රදේශවල ගල්ගුහා ආශ්‍ර්‍රsතව ජීවත් වූ බවයි. එක්‌තරා අවස්‌ථාවකදී ශ්‍ර්‍රS ලංකාවේ පැරණි ජන කණ්‌ඩායම වන වර්තමාන වැදි ජනයාගේ පිරිස්‌ මේ නිට්‌ටෑවන් සම්පූර්ණයෙන්ම වඳ කළ බව කියෑවෙනවා. කෙසේ වෙතත් මේ නිට්‌ටෑවන්ගේ ජාන වැදි ජනයා තුළටත්, වැදිජනයාගෙන් නූතන ශ්‍ර්‍රS ලාංකික මානවයින්ටත්, විශේෂයෙන්ම සිංහල ජනයාටත් ඇතුළු වී ඇති බවට සැකයක්‌ නැහැ. 
මේ නිට්‌ටෑවන් සහ පීකිං මිනිසා අතර සම්බන්ධය කුමක්‌ද? ඉතා කුඩා මනුෂ්‍ය වර්ගයක්‌ වර්තමාන මනුෂ්‍යයා පැමිණීමට පෙර ලෝකය පුරා වාසය කළ බව නම් සහතිකයි. යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍ර්‍රදේශවල මීට සමාන පුද්ගලයෙක්‌ වාසය කර තිබෙනවා. ඔහුව නියෑන්ඩතාල් නමින් හඳුන්වනවා. මේ ක්‍රියාවලිය පිළිබඳ නූතන විද්‍යාත්මක කියවීම කුමක්‌ද? ඒ වගේම ආගමික කියවීම කුමක්‌ද කියන එක ගැන අපි මදක්‌ අවධානය යොමුකළ යුතුයි. ඇත්තටම නූතන භෞතික විද්‍යාත්මක, ඒ වගේම ජාන විද්‍යාත්මක පොසිල විද්‍යාත්මක ඉතිහාසය ගැන සලකා බලද්දී යම් යම් දත්ත ප්‍රමාණයක්‌ විද්‍යාඥයින් අප ඉදිරියේ තබනවා. ඒ තමයි මීට වසර බිලියන 13.5 කට පමණ පෙර පෘථිවියේ උපතත්, ද්‍රව්‍යයේ උපතත්, ශක්‌තියේ උපතත් සිදු වූ බවට විද්‍යාඥයින් දරණ මතය. මා නම් එය විශ්වාස කරන්නේ නැහැ නමුත් මෙය ඉතාම බලගතු මතයක්‌ හැටියට ප්‍ර්‍රකාශ කෙරෙනවා. ඒ වගේම පෘථිවිය මේ ඉපදුණු ද්‍රව්‍ය හා ශක්‌තීන් ඇතුළු ක්‍රියාවලියේ ප්‍රථිපලයක්‌ හැටියට වර්තමාන පෘථිවිය නම් ක්‍රියාවලිය වසර බිලියන 4.5 කට පමණ පෙර බිහි වූ බවයි ප්‍ර්‍රකාශ කෙරෙන්නේ. ඒ වගේම මේ පෘථිවිය මත අවශ්‍ය වායුගෝලමය, ජීවමය වාතාවරණය පහළ වීමෙන් පසු ප්‍ර්‍රථම සරළ ජීව විභේදනයන් මීට වසර බිලියන 3.8 කට පමණ පෙර බිහි වූ බව ප්‍ර්‍රකාශ කරනවා. ඒ වගේම මානවයා චිම්පන්සීන් වැනි එක හා සමාන සත්ව විශේෂවල මුල් මව මීට වසර මිලියන 6කට පෙර, එනම් අවුරුදු ලක්‌ෂ 60 කට පමණ පෙර බිහි වූ බවත් විශ්වාස කරනවා. 
ඒ වගේම විවිධ මානව විභේදනයන්, පීකිං මිනිසා ඒ වගේම ජාවා මිනිසා, නිට්‌ටෑවා වේවා නියෑන්ඩතාල් වේවා විවිධ මානව විභේදනයන් ගණනාවක්‌ මීට වසර ලක්‌ෂ 25ක පෙර දැක ගන්න හැකිවුණු බව වාර්තා වෙනවා. ඒ වගේම අපි හඳුනා ගන්නා මේ ක්‍රි්‍රයාවලියේ අලුත්ම තත්ත්වය ඒ කියන්නේ නියෑන්ඩතාල් ඒ වගේම ඩෙනිසෝවන් නමින් හඳුන්වන මානවයා, පීකිං මානවයා, නිට්‌ටෑවන් වැනි අය මීට වසර ලක්‌ෂ 5කට පමණ පෙර පැහැදිලිව විද්‍යාමාන වූ බවයි දැනට තිබෙන පොසිල සාක්‌ෂි ප්‍රකාශ කරන්නේ. ඒ වගෙම මීට වසර ලක්‌ෂ 3 කට පෙර ගින්දර සොයා ගත් බවත් මේ වර්තමාන මානවයාගේ සලකුණුවලින් යුතු හෝමෝසේපියන්ගේ යුගය වසර ලක්‌ෂ 2 කට පමණ පෙර බිහි වුණු බවත් වාර්තා වෙනවා. ඊට පසු මේ පිරිස්‌ රංචු ගැසී, කණ්‌ඩායම් හැදිලා මීට වසර 70000 කට පමණ පෙර මූලික බස ගල් අවි ආයුධ ඒ වගේම ඔවුනට අවශ්‍ය කරන ජීවන ක්‍රමයන් බිහිකරගෙන මානව සංක්‍රමණ සිදු වූ ක්‍රියාවලියක්‌ විදිහට හඳුනා ගන්නවා. 
ඒ වගේම වසර 30000 කට පමණ පෙර විශ්වාස කෙරෙනවා එතෙක්‌ පැවති මානව විභේදනයන්ගේ විවිධ කණ්‌ඩායම්, නියෑන්ඩතාල්වරු වේවා, නිට්‌ටෑවන් වේවා, පීකිං මානවයා වේවා, ජාවා මානවයා වේවා මේ කුඩා මානවයාට හිතකර කණ්‌ඩායම්, කිට්‌ටුවෙන් හිටපු කුඩා මිනිසුන් පරාජය කර උස මිනිසුන් ජයග්‍ර්‍රහණය කළ බව. ඒ අනුව වර්තමාන හෝමෝසේපියන් වසර 30,000 කට පමණ පෙර සිට ලෝකයේ ආධිපත්‍ය දරා ගත් බවත් ඔවුන් අන් අයව පරාජය කළ බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් යුරෝපීය මිනිසුන් ගැන කතා කරනවා නම් තවමත් ඔවුන්ගේ ජානවලින් 20% ක්‌ ම නියෑන්ඩතාල්වරුන්ගෙන් පැවැත එන බව පැහැදිලියි. ලංකාවේ අපේ වැදි ජනයාට, අනිවාර්යයෙන්ම නිට්‌ටෑවන් පැවතියා නම් ඔවුන්ගේ ජාන මිශ්‍ර්‍ර වී තිබෙන්න පුළුවන්. ඒ ජාන අපේ සිරුරුවලත් අනිවාර්යයෙන්ම පවතින්න පුළුවන් බව ඉතාම පැහැදිලියි. 

 ඒ වගේම හිම දියවීමේ මහා ක්‍රි්‍රයාවලිය මීට අවුරුදු 15,000කට පමණ පෙර ඇති වුණා. අපි හඳුන්වා ගන්නා ඒ ක්‍රි්‍රයාවලියත් සමග සූර්යයාගේ අපගමන ක්‍රි්‍රයාවලිය අවුරුදු 20,000 කට පසු සිදුවන, එම ක්‍රි්‍රයාවලියත් සමග විශාල ප්‍ර්‍රදේශවල හිම දියවෙලා මිනිස්‌ වර්ගයාට විවෘත වීම් සිදු වුණා. විශේෂයෙන්ම උතුරු යුරෝපීය ප්‍ර්‍රදේශ, උත්තරධ්‍රැවීය ප්‍ර්‍රදේශ, දක්‌ෂිණ ධ්‍ර්‍රeවීය ප්‍රදේශ පමණක්‌ නෙමෙයි මේ ලංකාව වැනි දූපත්, ඉන්දුනීසියාව වැනි දූපත් ප්‍ර්‍රධාන රටවල්වලින් කැඩී වෙන්වී ගිහිල්ලා මුහුදින් යටවෙලා, හිම දියවෙලා ඒ මගින් මුහුදු මට්‌ටම ඉහළට ගිහිල්ලා අලුත් දූපත් හා සංක්‍රමණික ජනතාවන් බිහි වීමේ තත්වයන් මේ තුළ ඇතිවුණා. ඒ නිසා මානව සංක්‍ර්‍රමණ එතෙක්‌ අයිස්‌වලින් වැසී තිබුණ ප්‍ර්‍රදේශවලට ගමන් කළා පමණක්‌ නෙමෙයි නව දූපත් බිහි වීම විසින් අලුත් ජන කණ්‌ඩායම්, සංස්‌කෘතීන් ඒ තුළ බිහි වූ බවත් වාර්තා වෙනවා. 
කෙසේ වෙතත් අපි ඉතාමත්ම හොඳින් වටහා ගත යුතු වන්නේ මේ මහා සංක්‍රමණත් සමග කෘෂි විප්ලවයක්‌ වසර 12,000කට පමණ පෙර පැමිණි බවත්, ධාන්‍ය ආදිය සොයා ගත් බවත්. මෙහිදී පැරණිම ධාන්‍ය සොයාගෙන තිබෙන්නේ ශ්‍ර්‍රS ලංකාවෙන් හා චීනයෙන් බව අප අමතක කළ යුතු නැහැ. ඒ අනුව අප වසර 12,000 ක පමණ සිට බලගතු කෘෂිකාර්මික ජාතියක්‌ බවට පරිවර්තනය වුණා. ඒ වගේම මීට වසර 5000කට පමණ පෙර නගර බිහි වීම, නව වාස්‌තු නිර්මාණ ඇතිවීම හා රාජ්‍යයන් බිහිවීම සිදු වී තිබෙනවා. මේ තමයි දැනට ලෝකයේ බටහිර ජාතීන් පිළිගත් විද්‍යාත්මක ක්‍රියාවලිය. ලෝකයේ නොයෙක්‌ ගැටළු විටින් විට නොයෙක්‌ දෙනා මතුකොට තිබෙනවා. දැනට පිළිගත් ක්‍රියාවලිය බවට පත්වී තිබෙන්නේ මෙයයි. ඒ වගේම ප්‍ර්‍රබල ජාන විද්‍යාවේ ක්‍රි්‍රයාකාරීත්වයත් සමගම කාන්තාවන්ගේ විශේෂ ජානයක්‌ හඳුනාගනු ලැබුවා. එම ජානය පිරිමින්ගේ ජානය වගේ නෙමෙයි, මවගෙන් දියණියට, දියණියගෙන් ඇයගේ දියණියට ආදි වශයෙන් නොවෙනස්‌ව යන ජානයක්‌. මේ ජානය විශ්ලේෂණය කළායින් පසු ජාන විද්‍යඥයින් එළඹුනු නිගමනය තමයි හෝමෝසේපියන් පළමුව අප්‍රි්‍රකාවේ කෙන්යා ප්‍ර්‍රදේශයෙන් බිහිව ඇති බව. ඒ අනුව මේ කෙන්යා ප්‍රදේශයෙන් ඇරඹිලා සංක්‍රමණිකයන් බවට පත්වූ හෝමෝසේපියන්වරු ලෝකයේ ආධිපත්‍යය අත්පත් කර ගත් බවට වූ බලගතු මතයක්‌ ඇතිවී තිබෙනවා. මෙම මතය මා නම් එතරම් පිළිනොගන්නා නමුත් ලෝකය පුරාම මානව විභේදනයන් පැවතුණා. පීකිං මිනිසා නිට්‌ටෑවන් වැනි අය ඒ වගේම අපේ වැදි ජනයා වැනි පිරිස්‌ ඔවුන්ට විවිධ අවස්‌ථාවල පැමිණි සංක්‍රමණිකයින්ගේ ජාන හමු වූ බවයි වාර්තා වෙන්නේ. 

 එයට ආගමික කියවීමනුත් ඉතා වැදගත්. විශේෂයෙන්ම බයිබලය ප්‍රමුඛ මැදපෙරදිගින් බිහි වූ ආගම්වල උත්පත්ති කතාවන් මගින් ඉතා සරළව පැවති ජීව විශේෂ සංකීර්ණ ජීව විශේෂ බවට පත්වීමත් නෝවාගේ පුතුන් තිදෙනා වන ෂෙන් හැම් සහ ජෙප්ගෙන් ලෝකය බිහි වූ බවත් වාර්තා වෙනවා. මේ ෂෙන් හැම් සහ ජෙප් පිළිවෙලින් හඳුනා ගනු ලැබෙන්නේ, සුදු මිනිස්‌සු එහෙම නැත්නම් කලු මිනිස්‌සු, කහ මිනිස්‌සු ලෙසයි. මෙය ඉතාමත්ම රළු බෙදීමක්‌ නමුත් මේක එක්‌තරා ආකාරයකට මේ ආගමික කියවීම දැන් විද්‍යාත්මක කියවීමක්‌ බවටත් පරිවර්ථනය වී තිබෙනවා. විශේෂයෙන්ම ඩාවින් විසින් සිය පරිනාමවාදය ඉදිරිපත් කළා. එමගින් අභ්‍යන්තරයේ සිදුවන කිසියම් වෙනස්‌වීම්වලින් බිහිවන ජීව විශේෂ තරඟය විසින් පරිසරයේ අභියෝගවලට මුහුණ දෙමින් ජය ගන්නා බවත්, ඔවුන් ආධිපත්‍ය දරණා බවටත් ඔහු මතයක්‌ පළ කළා. එතනදී මේ අභ්‍යන්තර වෙනස ඇතිවීම සසම්භාව්‍ය සිද්ධියක්‌ හැටියටයි විස්‌තර වුණේ. කෙසේ වෙතත් ඔහුට අභියෝගයක්‌ එල්ල කරමින් ලමාක්‌ කිව්වේ පාරිසරික තත්වයන් විසින්ම, අන්‍යයන්ගේ බලපෑම විසින්ම මේ වෙනස්‌වීම් සිදුවන බවයි. කෙසේ වෙතත් එය මෙතනදී වාද විවාද කරන්න සුදුසු කාරණයක්‌ නොවුනත් ලමාක්‌ගේ මතය වඩා වැදගත් මතයක්‌ බව ඩාවින්ට වඩා අප පිළිගත යුතුයි වර්තමාන ලෝක තත්වයත් සමග.
ඒ වගේම අපේ බුද්ධ ධර්මයෙත්, එහි එන අග්ගඤ්ඤ සූත්‍ර්‍රයේ මානව පරිණාමය ගැන ඉතා වැදගත් ප්‍ර්‍රකාශනයක්‌ කෙරිලා තිබෙනවා. එය බොහෝ දුරට බටහිර විද්‍යාත්මක මතයට ඉතා සමානයි. කිසියම් ආකාරයක සරළ ජීවීන්ගේ සිට සංකීර්ණ ජීවීන් දක්‌වා තණ්‌හාව නිසා මිනිස්‌ පරිණාමය සිදු වූ ආකාරය අග්ගඤ්ඤ සූත්‍ර්‍රය දේශනා කොට තිබෙනවා. රාජ්‍යය, රජෙක්‌, සමාජ කණ්‌ඩායම් ඇති වූ ආකාරය, එහිදී සිදු වූ පරිසරය සමග වූ අරගලය, මානවයා අතර අරගලය එක්‌තරා සරල බසකින් ඒ අග්ගඤ්ඤ සූත්‍ර්‍රයේ විස්‌තර කොට තිබෙනවා. සමහරු මෙය බෞද්ධ දේශනාවක්‌ හැටියට හඳුනා ගන්නෙත් නැහැ. නමුත් කිසියම් බලගතු පරිණාමවාදී මතයක්‌ එහිදී ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙයින් අප හඳුනාගත යුතු කාරණා තිබෙනවා. විද්‍යාඥයින් හිතනා තරම් සරළ ක්‍රි්‍රයාවලියක්‌ නෙමෙයි මිනිසාගේ පරිණාමය. 
ඒ වගේම මිනිසාගේ නෑ හිත මිත්‍ර්‍රයින් තවත් අතිවිශාල ප්‍ර්‍රමාණයක්‌ ලෝකයේ ජීවත් වූ බවත් නිට්‌ටෑවන් හා පීකිං මිනිසා අපේ මුතුන් මිත්තන්ගේ ජීවමය කොටස්‌ බවත්, ඔවුන්ගේ ජාන අපේ සිරුරුවල තිබෙන බවත් අප අමතක නොකළ යුතුයි. ඉතින් පීකිං මිනිසා සහ නිට්‌ටෑවන් පිළිබඳව අප තවත් සොයා බැලිය යුතුයි. පිකිං මිනිසාගේ නම් පොසිලය හමු උනා. නිට්‌ටෑවන් පිළිබඳව අපද සොයා බැලිය යුතුයි. 
පාඨලී චම්පික රණවක
divaina
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
නිට්‌ටෑවන් කල්ලි ගැසී වැද්දන් මරාගෙන කෑ හැටි....
මෙතෙක්‌ කතාව - 
ස්‌පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස්‌ 2004 දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සැරිසරයි. දෙසැම්බර් 25 වැනිදා දහවල් කාලයේදී වනයේදී ඇතිවන හදිසි වැස්‌සකදී ගල්ගුහාවකට දිවයන ඔහු වැස්‌සෙන් බේරීම සඳහා ගුහාව තුළට එන අමුතු ජීවියකු දකී. අඩි 3 ක්‌ පමණ උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක්‌ ඇති මේ ජීවියා ගුහාව තුළ වෛද්‍ය මාටිනස්‌ සිටින බව ඉවෙන් දැනගෙන මහ වැස්‌සේම පලා යයි. මේ සත්ත්වයා කවරෙක්‌ද?
අද එතැන් සිට.......
නිට්‌ටෑවන්ගේ කතන්දරය 02
වෛද්‍ය මාටිනස්‌ විසින් දක්‌නා ලද අර්ධ මනුෂ්‍යයා ශ්‍රී ලංකාවට ආවේණික මෙයට වසර 150 කට පමණ පෙර වඳ වී ගිය නිsට්‌ටෑවා නමැති සතා බව විශ්වාස කරනු ලැබේ. දේවානම්පියතිස්‌ස රජුගේ කාලයේදීත් සිටි නිට්‌ටෑවා වැදි ජනයාගේ පරම සතුරකු බවත් එදා සිටම නිට්‌ටෑවන් සහ වැද්දන් අතර අරගල තිබූ බවත් කියති. නිට්‌ටෑවන් පිළිබඳව ඓතිහාසික සාධක එකතු කළ දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් පළමුවැන්නා හියු නෙවිල් ය. 1847 ඉපදී 1897 දී මියගිය හියු නෙවිල් අඩ සියවසක්‌ තරම් කෙටි වූ සිය ජීවිත කාලය තුළ විශාල ශාස්‌ත්‍රීය මෙහෙවරක්‌ කළ කෙනෙකි. 1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණි ඔහු මාතර දිසා විනිසුරු ලෙසද, මධ්‍යම පළාත් මූල්‍ය කටයුතු නිලධාරියා ලෙසද, මඩකලපුවේ දිසා විනිසුරු ලෙසද සේවය කරමින් අවුරුදු 28 ක්‌ මෙහි ගත කළේය. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ නිට්‌ටෑවන් ගැන ඔහු ගැඹුරු පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ පර්යේෂණ පත්‍රිකා දහස්‌ ගණනක්‌ බ්‍රිතාන්‍ය පුස්‌තකාලයේ අදටත් තැන්පත් කර තිබේ. සිංහල භාෂාව හොඳින් උගෙන එහි ප්‍රවීණයකු වූ හියු නෙවිල් "සිංහල කවි" ගැන ඉංගී්‍රසි පොතක්‌ද ලියා තිබේ.
නිට්‌ටෑවන් ගැන අනෙක්‌ පර්යේෂණය කළ තැනැත්තා කපිතාන් ඒ. ටී. රඹුක්‌වැල්ලය. ශ්‍රී ලංකාවේ නිට්‌ටෑ ප්‍රජාව විසින් වන්දනාමාන කරන ලද ගලින් තැනූ පූජාසන කීපයක්‌ 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ මහලේනම කැලය මැදදී ඔහුට හමු විය. මුහුදු මට්‌ටමින් අඩි 100 ක්‌ උසින් පිහිටි මහලේනම ප්‍රදේශය වනාන්තර 7 කින්ද (ජුල්පල්ලම කැලය, අලිරාවල කැලය, මහලේනවඑලිය, තිරුපොකුණ කැලය, ලේනම කැලය, හිදපලුගස්‌වැව කැලය) බඹරගස්‌තලාව සහ බකුරේ යන ජනාවාසවලින්ද කුඩුම්බිගල කන්දෙන්ද ලේනමආර නමැති ගංගාවෙන්ද සමන්විතය. ලොව විසූ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග සියල්ල ගැන පර්යේෂණ කර ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ආචාර්ය ඔස්‌මාන් හිල් 1945 දී ශ්‍රී ලංකාවට පැමිණ නිට්‌ටෑවන් ගැන පර්යේෂණයක්‌ කළේය. ඔහුගේ අදහස වූයේ නිට්‌ටෑවා යනු මෙයට වසර ලක්‍ෂ 19 කට පෙර ලොව පහළ වී වසර 70000 කට පෙර මිහිමතින් වඳව ගිය හෝමෝ ඉරෙක්‌ටස්‌ මානවයාගේ වඳ නොවී ඉතිරි වූ අර්ධ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස නිට්‌ටෑවන් හැඳින්විය හැකි බවය. (ඔහු තිබ්බතයේ ජීවත් වන බවට සැක කෙරෙන "යෙටි" නමැති හිම මිනිසා ගැන ද පර්යේෂණ කර ඇත.) 
වැදි ජනතාවගේ පැරණි කතාන්දරවල නිට්‌ටෑවන්ට ප්‍රමුඛ තැනක්‌ හිමි වේ. සිංහලයන්ගේ ජන කතාවල ප්‍රධාන චරිත වන යකුන්, යෝධයන්, රජවරුන්, දෙවිවරුන් සහ මායාකාරයන් මෙන් වැදි කතාන්දරවල හැම තැනකම පාහේ නිට්‌ටෑවෝ වූහ. නිට්‌ටෑවා යන වචනය දෙවිදියකින් අර්ථකථනය කරනු ලැබේ. සමහරුන් කියන්නේ නිට්‌ටෑවා දිගු නිය ඇති සත්ත්වයකු නිසා නිය ඇත්තා යනුවෙන් මුලදී හඳුන්වන ලද බවත් පසුව එම වචනය නිට්‌ටෑවා බවට පත්වූ බවත් ය. ලේනම සහ කුඩුම්බිගල වනාන්තරවල සිටි නිට්‌ටෑවන් රැළ වැදි ජනතාව විසින් මෙයට වසර 150 -200 අතර කාලයකට පෙර සංහාරය කරන ලදී. (එම පුවත පිළිබඳ විස්‌තරය මේ ලිපි පෙළෙහි අන් තැනක පළවේ) මුලදී නිට්‌ටෑවන්ට නමක්‌ නොතිබූ බවත් වැද්දන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ 'යකුන්' යනුවෙන් බවත් පසුව ඔවුන් නිට්‌ටාවටම (ස්‌ථිර ලෙසට) සංහාරය කරන ලද නිසා නිට්‌ටෑවන් යන වචනය බිහි වූ බවත් කියනු ලැබේ. එසේම මේ සත්ත්වයා අග්නිදිග ආසියානු ගොඩබිම් වූ අන්දමන් දූපත්, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය යනාදියෙහි මෙයට වසර දහස්‌ ගණනකට පෙර ජීවත් වූ නෙගි්‍රටෝස්‌ ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයක ලාංකීය ඥතියකු බවටද මතයක්‌ පවතී.
නිට්‌ටෑවා පිළිබඳ හියු නෙවිල් සොයාගත් කරුණු මෙසේය
නිට්‌ටෑවා යනු අඩි 3 ක්‌ උස අර්ධ මනුෂ්‍යයෙකි. නිට්‌ටෑ ගැහැනිය අඩි දෙකහමාරක්‌ උසය. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතිනි. දිග ශක්‌තිමත් බාහු, ශක්‌තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු, විශාල පතුල් සහිත පාද, ඇඟ පුරා වැඩුණු රතු පැහැති ලෝම විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස්‌ කුහර නිට්‌ටෑවාගේ බාහිර පෙනුමය. ඔවුහු ආයුධ පාවිච්චි නොකරති. කිසිදු ප්‍රාථමික ගල් ආයුධයක්‌ හෝ ලී ආයුධයක්‌ ඔවුන් සතුව නැත. ඔවුන් ආයුධ වෙනුවට පාවිච්චි කරන්නේ ශක්‌තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලිය. ගෝන මුව කුළු හරක්‌ වැනි විශාල සතුන් වටලා උන්ගේ ඇඟට රොත්ත පිටින් පනින නිට්‌ටෑවා එම සතුන් බිම පෙරළාගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමති. ඉන්පසු ඒ මස්‌ අමුවෙන්ම අනුභව කරති. කබරගොයා, තලගොයා, කටුස්‌සා වැනි සත්තු ද ඔවුන්ට ආහාර වෙයි. ඊට අමතරව හුදෙකලාව වනයේ සැරිසරන වැද්දන් සහ වැදි දරුවන් ද මරා කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීමද නිට්‌ටෑවන් වෙතින් සිදු විය. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්‌වා වූ රංචු වශයෙනි.
හියු නෙවිල් 1886 දී ලියා පළ කළ ලියෑවිල්ලකට අනුව නිට්‌ටෑවාගේ වාසස්‌ථානය වූයේ ගල්ගුහාවක්‌ හෝ ගහක්‌ මත තනන ලද වේදිකාවක්‌ය. මෙයට වහළක්‌ තිබූ අතර එය හෙවිල්ලා තිබුණේ එය පිහිටි ගහේ කොළවලිනි. ඔවුන්ට වැදි බස සිංහල හෝ දෙමළ කතා කළ නොහැකි විය. එහෙත් මූලික වචන කිහිපයකින් සමන්විත, කටින් නගන උරුවම් බෑමට සමාන ශබ්ද කිහිපයක්‌ද සහිත තෙළිඟු හා සමාන භාෂාවක්‌ ඔවුහු කතා කළහ.
නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශවලට වැද්දන් ඇතුළු වූයේ නැත. එයට හේතුව මනුෂ්‍යයන් හෝ තිරිසනුන් ඝාතනය කිරීමේදී උන් අනුගමනය කළ කෲර විදියයි. වැද්දා සතෙකු දඩයම් කළ විට එම සතා හම ගැහුවේ හෝ එම සතාගේ ගාත් කපා වෙන් කර ගන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ පසුවය. එහෙත් නිට්‌ටෑවා සතකු අනුභව කළේ ඒසතා පණපිටින් සිටියදීමය. වැද්දකු හසු වූ විට ඔහු පණ පිටින් දඟලද්දීම ඔහුගේ අතපය අමු අමුවෙන්ම කඩාගෙන කෑමට නිට්‌ටෑවෝ පුරුදුව සිටියහ. එබැවින් නිට්‌ටෑවන්ගේ බල ප්‍රදේශ තුල ගෝණන් සහ මුවන් කොතරම් සිටියත්, පැණි ලබා ගැනීමට හැකි මීවද කොතරම් තිබුණත් වැද්දො එහි ඇතුළු නොවීමට වග බලා ගත්හ. නිට්‌ටෑවා පිළිබඳ තවත් විශේෂ කාරණයක්‌ වූයේ ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක්‌ නොතිබීමය. ඒ නිසා මස්‌ වර්ග පිළිස්‌සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුහු පුරුදුව සිටියහ. ඒ අතර වැද්දන් විසින් පළහන ලද මස්‌ කෑමට ඔවුහු අධික ලෙස ආශා කළහ. ඒ අනුව දඩයමේ වනමැදට යන වැද්දකු හෝ දෙදෙනකු මස්‌ පළහන විට ඔවුන් වට කළ නිට්‌ටෑවෝ වැද්දන් මරා දමා පළහන ලද මස්‌ අනුභව කර වැදී මළකඳන් ද කා දැමූහ. එහෙත් නිට්‌ටෑවන් කිසිදු විටෙක තම වර්ගයාගේ මාංශය අනුභව කළේ නැත. මෙයට වසර 150 - 200 දක්‌වා කලකට පෙර මේ අර්ධ මනුෂ්‍ය වර්ගයා මිහිමතින් තුරන් වී ගියද ඇතැම් විදේශික මානව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදටත් ඔවුන්ගෙන් කිහිපදෙනකුවත් වනය තුළ ජීවත් වන බවය
අනුර සොලමන්ස්‌
divaina
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, February 22, 2019

සපරගමු මහ සමන් දෙවොලේ විශ්මය.... (saman dewalaya rathnapura අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

තෙද බල සමන් දෙව්මැඳුරේ විකුම් මැද 
පැලවෙන ගලේ අරුමය ඔබ දන්නවද
මධ්‍ය කඳුකරයේ උත්තුංගව විරාජමාන වන සමනළ කඳුවැටිය උසින් අඩි 7360 ක්‌ පමණ වේ. සපරගමුව බෞද්ධ සිද්ධස්‌ථාන අතුරින් මුදුන් මල්කඩ ලෙස සැලකෙන සමන්ගිර මත තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇත. බුදුන් තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී එවකට එහි ප්‍රදේශාධිපතිව සිටි සුමන දේව නැමති දේව වංශික ප්‍රභූවරයාගේ ආරාධනාව පරිදි මේ උත්තම පාද ලාංඡනය සමන්ගිර මත පිහිටු වූ බව මහාවංශයේ සඳහන් වේ. බුදුබණ අසා සෝවාන් ඵලයට පත්වූ මොහු සපරගමු වාසී ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබූ අතර, පසුව සුමන සමන් දෙව් රජුන් ලෙස අතිසම්භාවනාවට පාත්‍ර විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහ සමන් දේවාලේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මංගල්‍යයෙන් ඔහු කළ මෙම සේවාව අද ද බෞද්ධ ජනතාව විසින් මහත් සේ ඇගයීමට ලක්‌කෙරේ. 
පැලවෙන ගල
ශිව අයියනායක කතරගම විෂ්ණු පත්තිනි ඇතුළු තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා අතර, සුමන සමන් දේවරාජඋත්තමයාණන් වහන්සේට ලැබෙනුයේ විශේෂිත වූ ස්‌ථානයකි. සමන් දෙවියන්ගේ වාස භූමිය ලෙස සමන්ත කූඨ පර්වතය හැඳින්වෙන අතර, ශ්‍රී පතුල තබා පූජනීය වනවාත් සමඟම එම ස්‌ථානය ශ්‍රී පාදය නමින් ව්‍යවහාර වන්නට විය. ඓතිහාසික තොරතුරුවලට අනුව සපරගමුවට අධිපති දෙවියා පමණක්‌ නොව බුදු සසුන ආරක්‌ෂා කරමින් සමනල පව්ව ගිරි ශිඛරය වන්දනා කරන්නට පැමිණෙන බැතිමතුන් ද වැඳ කරුණාකර ආපසු තම අඩවිය පසුකරන තෙක්‌ ආරක්‌ෂා කරවන බවට බැතිමතුන්ගේ විශ්වාසයයි. පෙර කල ගේ දොර විකුණා ගම්බිම් අතහැර ඉතා දුෂ්කර මාර්ග ඔස්‌සේ දුෂ්කර ගමනක්‌ පයින් ගමන් කර වැඳ පුදා ගත් පැරැන්නන් පවා දෙවියන් විසින් ඔවුන් සුරක්‌ෂිතව ආරක්‌ෂා කළ බවට සඳහන් කර ඇත. සමන් දෙවියන් ගැන කතා කරන විට සමන් දේවාල තනා දේව පුද පූජා පැවැත්වීම ආරම්භ වන්නේ පොළොන්නරු යුගයෙන් පසුවය. ප්‍රධාන දෙවොල සමනල කන්දේ සාදා එයට සිව් කොනින් සතර දේවාල වශයෙන් නැගෙනහිරින් මහියංගනය සමන් දේවාලයද, දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණියගල සමන් දේවාලය ද, බටහිරින් සපරගමුව මහ සමන් දේවාලයද ඉදිකර ඇත. 

  පැලවෙන ගල
මෙහිදී සබරගමුව මහ සමන් දේවාලය විශේෂිත වූ තැනක්‌ ගන්නේ මෙම දේවාල අතුරින් ප්‍රධානතම දේවාලය ලෙස මෙම දේවාලය සලකන නිසයි. මෙම දෙවොල විශ්මිත හාස්‌කම් රැසක්‌ සිදුවන ස්‌ථානයක්‌ බවට සැලකේ. දඹදෙනි යුගයේ රජ කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ නියෝගයකට අනුව තම මහා භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කර ගැනීම පිණිස තම ප්‍රධාන අමාත්‍යවරයා වූ ආර්ය කාමදේව ඇමැතිවරයා මැණික්‌ ගැරීම සඳහා රත්නපුරයට පිටත් කර හැරි බවත්, ඔහු විසින් සමන් දේවාලයට ගොස්‌ බාරයක්‌ දී මැණික්‌ ගැරීම ආරම්භ කළ බවත්, එය ඉෂ්ට වී මැණික්‌ ලැබී තම පැතුම් ඉටු වූ පසු රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙම ස්‌ථානයේ තෙමහල් මන්දිරය සහිත දෙවොලක්‌ ඉදිකර බවට වූ ඓතිහාසික පුවත 'සමන් සිරිත' නම් කාව්‍ය සංග්‍රහයෙන් තහවුරු වන කරුණකි. අතීතයේද හාස්‌කම් පිරි දෙවොලක්‌ බවට සමන් දෙවොල ප්‍රසිද්ධියක්‌ උසුලනු ලැබූ බවට එම ඵෙතිහාසික තොරතුර මොනවට සාක්‍ෂි දරයි. මෙකී මහත්ඵල ආනිසංස පිරි සබරගමුව මහ සමන් දෙවොලේ තොරතුරු සොයා බැලීමට සිතා දෙවොල් බිම කරා අප පියනැඟුවෙමු. රත්නපුර නගරයේ මොරගහ යටින් පානදුර මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක්‌ පමණ ගිය පසු සබරගමුව මහ සමන් දේවාලය හමුවෙයි. බැලු බැල්මටම පෞරාණික මහා බලසම්පන්න බවක්‌ විදහාපාන දේවාල භූමිය අප එහි යන විටද අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරී පැවතිණ. භාරහාර වීමට, භාර ඉෂ්ට කරවීමට, ආදී නොයෙක්‌ කරුණු ඉෂ්ට සිද්ධකර ගැනීම සඳහා සතර දෙසින් පැමිණි බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් සුදුවතින් සැරසී පූජා වට්‌ටි අත ගෙන කරුණා පෙර දැරිව දෙවොල කරා පියනගන අයුරු ද දක්‌නට ලැබුණි.



බැතිමතුන්ගේ මෙවන් ගෞරවය හා භක්‌ති ප්‍රණාම ප්‍රකාශ මැද පිය ගැට පෙළ නඟිමින් සමන් දෙව් අභියසට ළං වූ අපිට දැක ගත හැකි වූයේ අපූර්ව වූ දෙයකි. ඒ එහි දොරකඩ උළුවස්‌ස විස්‌මය දනවන ලෙස කළුගලෙන් නිර්මාණය කර තිබීමයි. දකින්නන් විස්‌මය දනවන සුළුඅයුරින් නිර්මාණිත මෙය අතිශයින්ම අලංකාර නිර්මාණයකි. වම් පස ඉතා පෞරාණික ශිලා ලේඛන කිහිපයක්‌ද ආරක්‍ෂාකාරීව තබා තිබූ අතර ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ නොකර ඉතා පෞරාණික චිත්‍ර කිහිපයක්‌ද දේවාල බිත්තියේ දක්‌නට ඇත. ඇත්දළ, උඩුවියන් මැදින් තවත් ඉදිරියට ගිය අපට දැක ගත හැකි වූයේ පුදුම දනවන තවත් දෙයකි. මීටර් 3ක්‌ පමණ උස වීදුරුවෙන් නිම කළ අලංකාර බඳුනක බහා තිබූ පැළ වුණ ගලකි. මුල සාමාන්‍යයෙන් අඟල් 6 Ù 6 ක පමණ ප්‍රමාණයේ කළුගල් කැබැල්ලකි. එතැනින් මතු වී වැඩුණ අඟලක පමණ ප්‍රමාණයෙන් මහත ඇති වැලක්‌ සේ ලියලා මීටර් 3ක්‌ පමණ ඉහළට වැඩුණු කළු ගල දකින දකින සෑම නෙතක්‌ම විස්‌මයට පත් කරනු ඇත. එහි විශේෂිත වූ ප`ඩුරු කිහිපයක්‌ ද ගැටගසා තිබිණ. කිසිවකුට අතපත ගෑමට නොහැකි වන සේ ආවරණය කර තිබූ මෙය සැබැවින්ම කුමක්‌ ද යෑයි එහි සේවය කරන සේවක මහතකුගෙන් විමසා දැනගැනීම සඳහා අප එක්‌ මහතකු සමඟ කතා කරන්නට විය. ඇත්තටම මේ මොකක්‌ද? විස්‌තර ටිකක්‌ කියන්න පුළුවන්ද?

මම ගුණරත්න. 
මේ තමා සුමන සමන් දේවාලයේ දක්‌නට ලැබෙන පැළවෙන ගල. මෙම ගල කලින් තිබුණේ දේව ප්‍රතිමාව තිබෙන ඇතුළත. විශේෂිත වූ අයට තමයි ඒ දවස්‌වල මේක පෙන්නල තියෙන්නෙ. ඒත් ඒක දිගටම කරන්න අපහසු නිසා දේවාලයේ ප්‍රතිමාව තිබෙන දොර අභියස පසු කාලීනව තැන්පත් කළා. මේකෙ ඉතිහාසය කියනවා නම් මහා පරාක්‍රමබාහු රජතුමාගෙ අනුග්‍රහයෙන් මෙතන දේවාලයක්‌ ඉදිකරන්න සූදානම් කරපුවෙලේ මුල් ගල හැටියට ගෙනාපු ගලෙන් කොටසක්‌ කඩල මේ වැඩේ සාර්ථක වෙන්න කියල දෙවියන්ට පූජා කරල භාරවෙලා තියෙනව. කොහොමහරි දේවාලෙ හදල පුද පූජා පවත්වාගෙන යන අතරතුර සමන් දෙවිහාමුදුරුවන්ගෙ ප්‍රතිමාව අභියසින් ඔය කියන දෙවියන්ට භාර කරපු මුල්ගලේ කොටසක්‌ ආරක්‍ෂිතව පූජා භාණ්‌ඩයක්‌ විදිහට තියල තියෙනව. ඔහොම කලක්‌ ගත වෙනකොට මේ ගල පැළවෙන්න පටන් අරගෙන තියෙනවා. අඟල 2 - 3 උඩට ඉස්‌සිලා තමයි අද වෙනකොට මේ වගේ තත්ත්වයකට ලියලල තියෙන්නෙ. අපේ අතීතයේ පැරැන්නෝ සමන් දේවාලය වඳින්න එනකොට මේ ගල මෙච්චර උස නැහැලු. සමන් දේවාලෙට එන හැම බැතිමතෙක්‌ම මේ විශ්වකර්ම ගල දැක වැඳ පුදා ගැනීමට අමතක කරන්නෙ නෑ. මේක නම් තනිකරම දේව හාස්‌කමකට සිද්ධ වෙන දෙයක්‌ මේ ස්‌ථානයේ දෙවියන් ජීවමානව වැඩඉන්න බවට කදිම උදාහරණයක්‌ තමයි මේක. ඒත් කියන්න කනගාටු කාරණාවකුත් තියෙනවා. ඒ මීට අවුරුදු 40 කට විතර කලින් අයගම පැත්තෙන් ආපු නඩයක්‌ ඇත්තටම මේ කළු ගල පැළවෙනවද බලන්න දල්ල කඩල දාලා තියෙනවා. ඒ පාපකර්මය සිදු වුණ දවසෙ ඉඳන් මේ ගලේ පැළවීම නැවතිලා කියල තමයි කියන්නෙ. ලෝකෙ කොහේවත් තැනක දකින්නට නොලැබෙන මේ වැනි පැළවුණු ගලක්‌ මේ සබරගමු මහ සමන්දේවාලයෙ තමයි තියෙන්නෙ. මේක වුණේ අපේ දෙවිහාමුදුරුවන්ගෙ හාස්‌කමෙන් කියල තමයි මම ආයෙත් කියන්නෙ.
ඉන් අනතුරුව මේ විස්‌මිත වූ ගල ද පසු කරමින් ඒම හා තෙද බල සිවුවනටම සෙත සලසන අධිගෘහිත වූ සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට අප ද අමතක නොකළෙමු. 
මෙවන් ප්‍රෘඪ ඉතිහාසයකට උරුමකම් කියන සබරගමුව මහ සමන් දේවාලයේ පරිපාලන කටයුතු හා නඩත්තු කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිදුකරගෙන යන්නක්‌ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තැන තැන ස්‌ථාපිත කර තිබෙන පුවරු ම`ගින් සිතිය හැක. එහි ගම්‍ය වූ තොරතුරු පැහැදිලිව දැන ගැනීම එම දෙවොලේ ප්‍රධාන කපු මහතා වන ශ්‍රී නාරායන කපුරාළලාගේ වීරවර්ධන බණ්‌ඩාර කපු මහතාගෙන් කරුණු කාරණා විමසීමට ද අමතක නොකළෙමු.
වීරවර්ධන කපු මහතා 
මම මීට අවුරුදු 25 කට කලින් ඉඳන් තමයි රාජකාරියට ආවෙ. මේක අපට පරම්පරාවෙන් උරුමවෙලා නියම වෙච්ච රාජකාරියක්‌. මේ රාජකාරිය කරන්න අපට රිදී හා තඹ සන්නස්‌වලින් පවරල දීල තියෙන්නෙ. ඒ සඳහා නින්දගම් විදිහට ගොඩින් අමුණු 360 කුත් ම`ඩින් අමුණු 64 කුත් වෙන්කරල සමසේ බෙදාගන්න කියල බලය දීල තියෙන්නෙ. ඒ මේ කප පුරාවටම මේ දේවාලය ආරක්‍ෂා කරගෙන යන්න කියල. අපේ මුල්ම මුතුන් මිත්තන් තමයි නීල පෙරුමාල් හා මෛල පෙරුමාල් කියන දෙපළ. ඒ දෙපළගෙන් පැවත එන ශ්‍රී නාරායන පරපුරත් විජයනාරායන පරපුරත් තමයි තේවා නිලයන් 18ක්‌ ඇතුළු ප්‍රධාන කපු නිලය සිදු කරන්නෙ. මේ රාජකාරි එදා ඉඳන් මේ දක්‌වා කරගෙන යන්න කියලා පවරල තියෙන්නෙ රිදී සන්නසකින්. මේකෙ ඉතිහාසය ගත්තොත් පරාක්‍රමබාහු යුගය ඇරඹිලා අද දක්‌වාම එනකොට යුග පහකට බෙදෙනව. 1. පරාක්‍රමබාහු යුගය 2. හය වැනි ශ්‍රී සංඝබෝධි යුගය 3. පෘතුගීසි යුගය 4. කීර්ති ශ්‍රී රාජසිංහ යුගය 5. 1815 ඉංග්‍රීසි යුගය. මේ යුගවලදී දේවාලයේ නැඟීම් වැටීම් දෙකම සිදු වුණා. පෘතුගීසි යුගයේදී මෙහි තිබූ සතර ග්‍රාම පන්සලත් දේවාලයත් දෙකම විනාශ කළා. එහි වූ ඵෙතිහාසික දේවල් සේරම විනාශ කළා. දේවාලය කඩල පල්ලියක්‌ හැදුවා. දැන් පත්තිනි දෙවොල කියන තැන තමයි එදා පල්ලිය හදල තියෙන්නෙ. ඔය දැන් තියෙන ප්‍රධාන ගල් උළුවස්‌ස එදා පෘතුගීසීන් වළලල දාලා තිබිල පස්‌සෙ තමයි ගොඩට අරගෙන හදල තියෙන්නෙ. මේ පෘතුගීසි පාලනය නැති කරල ඔවුන් එළවල දමන්න කීර්ති ශ්‍රී රාජසිංහ රඡ්ජුරුවො සමත්වෙලා තියෙනවා. එම සටනේදී මෙහි වූ සීමන් සිංඤොa කියන යුධ සෙනවියා මරා දමා මෙහි බලය අල්ලා ගන්න කුරුවිට රතනරාළ කියන යුධ සෙනවියා මුල් වුණ බව තමා කියන්නෙ. ඔය කියන්නෙ සීතාවක රාජසිංහ (රාසිං) දෙයියන්ගෙ කාලේ. 

ඉන් පසු වික්‍රමසිංහ අධිකාරම්තුමා විසින් 1721 දී අමුවල පරපුරටයි, මඟරුගොඩ පරපුරටයි පත්තිනි කෝවිලෙන් ලැබෙන තුටු ප`ඩුරු බෙදාගැනීමට බලය තුඩ පතකින් පවරල තියෙනව. ඔන්න ඔහොම තමයි ඉතිහාසෙ මේ දේවාලෙ පාලනය වෙලා තියෙන්නෙ. තව දෙයක්‌ තමයි දේවාල පාලන අධිකාරිය කොටස්‌ දෙකකට බෙදෙනවා. 1. ඇතුල් කට්‌ටලේ 2. පිට කට්‌ටලේ ඇතුල් කට්‌ටලේට කපුමහතුන් 18 දෙනා ඇතුළත් අතර පිට කට්‌ටලේට රටනායක ඇතුළු හත්දෙනකු පත් කරනු ලබයි. ඒ රටනායක, බස්‌නායක, රත්නායක (ගබඩා පාලක), මුදන්නක (මුදල් ගනුදෙනු භාරව), වන්නකු (ලිපි ගනුදෙනු භාරව), හා මොහොට්‌ටාල දෙපළ යනුවෙනි. සෙසු නිළයන් හැටියට ගබඩා විදානෙ, වී බද්දේ මොහොට්‌ටාල, අත්තනායක
විදානෙ, ලේකම් විදානෙ යනුවෙන් ද පත් කරගනු ලබයි. මේ වැනි පාලන අධිකාරීයන්ගෙන් පාලන තන්ත්‍රය ගොඩනැඟුණ ද ඇතුල් කට්‌ටලයට විශේෂිත වූ වගකීමක්‌ හා බැඳීමක්‌ දේවාලය හා පරම්පරාවෙන් ලැබී ඇත. වර්තමානයේ බස්‌නායක නිළමෙතුමා ඇතුළු බස්‌නායක නිළමෙවරුන්ගේ කැපවීම හා ධෛර්ය මත මෙම දේවාලය නඩත්තු වුවද ඉදිරි අනාගතය වෙනුවෙන්ද තවත් විශාල කාර්යයක්‌ කළ යුතු බවට ද ශ්‍රී නාරායන කපු මහතා කතාව අවසන් කරමින් කියා සිටියහ.
අනුර ජයසේන 
ඇහැලියගොඩ
ඡායාරූප,
පී. ඩී. චතුලා පුංචිහේවා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya