Tuesday, February 19, 2019

හරියට පහන් තබා හිතෙන් පතන දේ සූනියම් දෙවියන් ඉටු කරදෙනවා..... (gambhara deviyo අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

බුද්ධත්වය පතන සූනියම් දේවතාවන් පිළිබඳව අපි පසුගිය සති කිහිපය තුළදී කතා කළෙමු. විටෙක දේවතාවෙක් විටෙක යක්ෂ ආරූඪයක් ගෙන වඩින සූනියම් දෙවියන් නිරන්තරයෙන්ම මනුෂ්‍යයන්ට පිහිටට එන දේවතාවකු ලෙස සැලකෙයි. නියමිත පරිදි පිරිසිදු වී වන්දනා මාන කරන විට සූනියම් දෙවියන් තමන්ට සියැසින් දැක බලා ගැනීමට වුවද හැකි බව දෙමටගොඩ ලුනාව දේවාලයේ සිටින චන්ද්‍රසිරි පරණගම කපු මහතා අප සමඟ පැවසීය.   
කොහොමද සූනියම් දෙවියන්ට පහන් තබන්නේ?
සූනියම් දෙවියන් විතරක් නොවෙයි ඕනෑම දෙවියකුට පහන් තබන විට අපි නිරන්තරයෙන් පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තුනුරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා මස් මාංශ අනුභවයෙන් තොරව පහන් තබන්න සූදානම් වෙන්න ඕනෑ.   
අනෙක් කාරණය අපි දෙවියන් ගැන විශ්වාසයක් තබාගෙන පහන් තබලා දේව ආශිර්වාදය ගන්නවා නම් දෙවියෝ අපට නිරන්තරයෙන් පිහිට වෙනවා. මම ඒක අත්දැකීමෙන් ලබලා තිබෙනවා. මෙතනට පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ගේ ප්‍රශ්න මම අහලා ඔවුනට සෙත් ශාන්තියක් ලබාදීලා තිබෙනවා. ඒක නිසා ඔවුන්ගේ කාර්යයන් ඉටු වුණාම නැවත දේවාලයට පැමිණිලා බාරහාර ඔප්පු කරනවා. සූනියම් දෙවියන්ට පහන් තබනකොට මෙන්න මේ ගාථාව කියනවා නම් වඩාත් ප්‍රයෝජන ගන්න පුළුවන්.   
‘‘සිව වස්තු නමෝ රාමඃ   
කන්ද සේනා සිවාගමක්   
වඩිග තන්ත්‍ර මනී කන්තක්   
ඔඩ්ඩි මංගල නමෝ නමක් 
අග්ගි ඛන්ධන්ජ හස්තේන   
හස්තේ වඩිග කර්ත​ෙත්  
මූඛේන විස සර්පේන   
ශිර්ෂේ පංච කේසකේ 
උදරයේ නාග බන්ද‌ාය   
නීලෝ තුරඟ වාහනේ   
සූනියම් දේව තා නාම   
මහියංදි පාද නමෝ නමක්’’ 
මෙන්න මේ ගාථාව එක් වරක් හෝ තුන් වරක් කියලා සූනියම් දෙවියන්ට පහන තබනවා නම් වැඩි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඔය ස්තෝත්‍ර නිරන්තරයෙන් දෙවියන් ඉදිරියේ සජ්ඣායනය කරනවා නම් ඕක තමුන්ට සිද්ධි වෙනවා. එහෙම සිද්ධි වුණාට පස්සේ එක වචනයක් සිහිපත් වුණා නම් ස්තෝත්‍රය දිගින් දිගටම කියන්න පුළුවන්කම ලැබෙනවා. මේ ස්තෝත්‍රය කට පාඩම් වුණාම තමුන්ට ඇඟට ජීර්ණය වෙනවා. පළමුවෙනි ස්තෝත්‍රය කියන කොටම දේවතාවුන් වහන්සේගේ බැල්ම ආකර්ශනය ලැබෙනවා. ඊට පස්සෙ අපි පූජාව කැපකරන්න ඉස්සර වෙලා දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටිලා, අපි සිතින් පතන දේ එසේත් නැතිනම් අපේ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනෑ. අපේ සිතේ බලය තමයි මෙතන මූලික වෙන්නේ. සිතේ බලය හරිම බලවත්. අපි කටින් කියනවාට වඩා සිතින් සිතාගෙන කියන කාරණාවල වැඩි බලයක් තිබෙනවා.
   සූනියම් දෙවියන් අදහනවා නම් නිවසක පිරිසිදු පරිසරයක් තිබීම අත්‍යවශ්‍යයි. පිරිසිදු පරිසරයක් කියලා කියන්නේ තමුන්ගේ භූමියත් පිරිසිදු වෙන්න ඕනෑ. තමන්ගේ ප්‍රදේශය වගේම තමනුත් පවිත්‍ර වෙන්න ඕනෑ. භූමිය පිරිසිදු වෙනවා කියන්නේ භූමියේ බල්ලො හදන්න බැහැ. දෙවියන්ට පහන තියනවනම් බල්ලො හදන්න බෑ. බල්ලන් හැදුවොත් ඔවුන් මැරෙනවා. නිකම් කර්මයක් කරගන්න අවශ්‍ය නැහැනේ පහන් තියලා. භූමියේ උතුරු දිශාවට පහන් පැලේ පසුපස හරවලා තිබෙන්න ඕනෑ. දකුණු දිශාවට තමයි දේවරූපයේ නේත්‍රා හරවලා තබන්න ඕනෑ. ඊසාන දිසාවට හෝ උතුරු දිශාවට හෝ තමයි දෙවියන්ගේ පසුපස හරවලා තබන්න ඕනෑ. අපි වන්දනාමාන කරන්න ඕනෑ උතුරු දිශාව බලාගෙන, එක්කෝ ඊසාන දිශාවට. ඒ දිශා දෙක වැදගත්. එතකොට පහන් ආලෝකය නිවසට වැටෙන්න බැහැ. ඒක ආවරණය වෙන්න ඕනෑ. තනි කණුවේ පහන වෙන්න ඕනෑ. උස තිබෙන්න ඕනේ තමන්ගේ පාදයේ සිට පපුව ප්‍රදේශය දක්වා. භූමිය සකසා ගන්න ඕනෑ පහන් කණුව හිටවන තැන අඩි 3x3, අඩි 5x5, අඩි 7x7 වගේ ප්‍රමාණයක. තමන් සීමාවක් කරගන්න ඕනෑ. ඒ ප්‍රමාණය සීමාවක් කරගෙන ඒක මැද තනි කණුව ඉන්දන්න ඕනෑ. පහන් පැල සකසා ගන්න ඕනෑ අන්න ඒ ආකාරයට. ඊට පස්සේ තමන්ට පුළුවන් දේවාලයකින් සිද්ධ සූනියම් අප්පච්චිගේ බලය තිබෙන තැනකින් පිළිමවහන්සේ නමක් වඩා හිඳුවලා ඒක පේ කරගන්න ඕනෑ. පේ කරගෙන පිළිමය වඩම්වලා පුර පක්ෂයේ පළමුවන කෙම්මුර දිනයේදී පහන් ආලෝකය දල්වන්න ඕනෑ. පහන් දල්වන විට මම කලින් කිව්ව විදියට හොඳට පිරිසිදුව තිබෙන්න ඕනෑ. පහන් පැළට අපි පළමු දිනයේදී ජප කරන්න ඕනෑ විලද, මී පැණි, සුදුමල් පීරිසියක්, පැන් බඳුනක්, පිරිසිදු පහන් වැටියක්, ඒක තල තෙල් හෝ එලඟි තෙල් වෙන්න ඕනෑ. අබ තෙල් වුණත් කමක් නැහැ. පිරිසිදු පොල් තෙල් වුණත් කමක් නැහැ. තෙල් වර්ග 3 කලවම් කරලා පහන දැල් වුවත් කමක් නැහැ. තල තෙල්වල වෙනම බලයක් තිබෙනවා. අබ තෙල්වල වෙනම බලයක් තිබෙනවා. එළඟි තෙල්වල වෙනස් බලයක් තිබෙනවා. ඒ ඒ තෙල් අනුව එක එක ආකර්ශන ශක්තියක් තිබෙනවා. ආශිර්වාදය ලබන්න නම් පහන් පැළේ පහන තිබෙන පළමුවැනි දවසේම අපි අතින් වරදක් වෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ. එතකොට එ්ක මඟ ඇරෙන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි දේවතාවුන් වහන්සේට පළමුවැනි දවසේම කියන්න ඕනෑ අපි අතින් යම් වැරැද්දක් වෙනවා නම් සමාවෙන්න කියලා. පහන කැප කරන්න ඕනෑ.   
ඒ කියන්නේ පළමු දවසේම ඒ දේවල් කරන්න ඕනැද? 
  ඔව්. පළමු දවසේම ඒ දේවල් කරන්න ඕනෑ. අතපසු වුණොත් සමාවෙන පොරොන්දුව පිට. මොකද අපිට අනිවාර්යයෙන්ම අතපසු වීම් වෙනවා. ඒක නිසා දේවතාවුන්වහන්සේව කලින්ම දැනුම්වත් කරලා තබන්න ඕනෑ. මට කාර්යබහුල වෙන්න පුළුවන්. මට පහන තබන්න බැරි වෙන්න පුළුවන් කියන කාරණය පිළිබඳ.   
ගම්භාර දෙවියන්ට පහන තබලා කඩ වුණොත් දෙවියෝ දඬුවම් දෙනවද?   
ඔය කාරණය බොහෝ දෙනා අතර තිබෙන මිථ්‍යා විශ්වාසයක්. ගම්භාර දෙවියෝ එහෙම දඬුවම් දෙන කෙනෙක් නොවෙයි. උන්වහන්සේ මතු බුද්ධත්වය පතන කෙනෙක්. මනුෂ්‍යයන්ගේ ජනමතයේ තිබෙනවා පහන තබලා අතරමග නතර කළොත් දඬුවම් දෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම දේව දඬුවම් හෝ දේව උදහසට ලක්වෙන්න නැහැ. ගම්භාර දෙවියන්ට පහන තබලා කඩ වුණොත් එහෙම දඬුවම් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔඩ්ඩි දේවතාවුන් වහන්සේට එහෙම තබලා කඩ වුණොත් දඬුවම් ලැබෙන්න පුළුවන්. මොකද ඔඩ්ඩි දේවතාවුන් වහන්සේ කියන්නේ යක්ෂයෙක්. එයාට එහෙම පහන තබලා කඩ කළොත් එයා දඬුවම් නොකළාට එයා වටේ ඉන්න පරිවාර අයගෙන් පොඩි අවලාදයක් වෙන්න ඉඩ තිබෙනවා.   
පළමු පහන තබන්න ඕනෑ සූනියම් දෙවියන්ට ද?   

ඔව්. පළමු පහන සූනියම් දෙවියන්ට තබන්න ඕනෑ. ඊට පස්සෙ තමන්ට අවශ්‍ය නම් ඒ පහනම ගම්භාර දෙවියන්ට කැප කරන්න පුළුවන්. ඒකෙ ගැටලුවක් වෙන්නෙ නැහැ. රූප දෙකම තැන්පත් කරන්නත් පුළුවන්. හුඟාක් දෙනෙක් මම දැකලා තිබෙනවා රූප දෙකම තැන්පත් කරලා තිබෙනවා.  
අකැපක් වෙන්නැද්ද?   
කිසිම අකැපක් වෙන්නෙ නැහැ. කොහොමත් දේවතාවුන් වහන්සේට පහනක් තබනවා නම් ඒ භූමියට අකැපක් වෙන්නේ නැහැ. ​ෙද්වතාවුන් වහන්සේට පහන් දල්වන කොට ව්‍යාපාර කරන කෙනෙක් පහනක් තබනකොට ව්‍යාපාර දියුණු වෙනවා. පවුල් ආරවුල් නැති වෙනවා. නඩුහබ කරදර තිබෙනවා නම් ඒවායින් සහනයක් ලැබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු දියුණු වෙනවා. යානවාහන තිබෙන අයගේ යානවාහන ආරක්ෂා වෙනවා. භූමියේ තිබෙන භූමි දොස් සමනය වෙනවා. ව්‍යාපාර ස්ථානවලට ආරක්ෂාව ලැබෙනවා. රෝග පීඩා ආදිය තිබෙන අය වඳිනවා පුදනවා නම් රෝග පීඩා නැති වෙනවා. නැති වෙනවා කියන්නේ ඒ ගන්න ඖෂධ ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට හදි හූනියම් දොස් තිබෙනවා නම් ඒවා නැති වෙනවා. පවුල්වල දියුණුව, සමගිය, සතුට වර්ධනය වෙනවා. කැඹුරුම් මාලාවන්, වරම් මාලාවන් ඇති අය පහන් තබනකොට ඥාති වරම ශක්තිමත් වෙලා ආශිර්වාදය උදාවෙනවා.   
ගම්භාර දේවතාවුන් වහන්සේට පහන තබනවා නම් රාත්‍රි 10යි 01ත්, අතර කාලයේ තබන්න අවශ්‍යයි. ඒ වෙලාවට තමයි ගම්භාර දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටෙන වෙලාව.   
ඒ වෙලාවට කලින් හෝ පසුව පහන තිබ්බොත්?   
ඒ වෙලාවට තමයි ගම්භාර දෙවියෝ බැල්ම හෙළන්නේ. ඒ වෙලාවට කලින් හෝ පසුව පහන තිබ්බොත් අවැඩක්. වෙන්නෙ නැහැ. නමුත් අපිට ලැබෙන ප්‍රතිඵල අඩුයි. ආශිර්වාදය අඩුයි. ඔඩ්ඩි දේවතාවුන් වහන්ස්ට පහන තබනවා නම් උදේ 6.48ත් 7.12ත් අතර රාත්‍රි කාලයටත් එසේමයි. ඒ වෙලාවට තමයි ඔඩ්ඩි දේවතාවන් වහන්සේට දිෂ්ටි වැටෙන වෙලාව. ගම්භාර දෙවියන්ටත් සමහර අය උදේ පහන තබනවා. නමුත් අකැපක් නැහැ. නමුත් ගම්භාර දෙවියන්ට පහන තබන්න ඕනෑ රාත්‍රි කාලයේ තමයි. රාත්‍රි කාලයේ පහන තබන්න කලින් තමුන් නාලා පිරිසිදු වෙලා, බුදුන් වැඳලා ගිලන්පස පූජා කරලා සීලවන්තයෙක් වෙලා තමයි පහන් තියන්න ඕනෑ. එතකොට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. එහෙම ගම්භාර දෙවියන්ට පුද සත්කාර කරනකොට තමුන් නිරායාසයෙන්ම දියුණුවට පත්වෙනවා.   
හැබැයි හැමදෙයකටම ප්‍රතිපත්තිගරුක වීම තමයි වැදගත් වෙන්නේ. එහෙම ප්‍රතිපත්තිගරුකව ඉතාම පිරිසිදුවට පහන තිබ්බොත් කවදාවත් වරදින්නෙ නෑ. සෑම වෙලාවකම දෙවියෝ ආරක්ෂා කරනවා. යම්කිසි කරදරයක් වෙන්න තිබෙනවා නම් ඒවා වළක්වනවා. මේවා මම අත්දැකීමෙන් ලබපු දේවල්.   
(ලබන සතියට)
සටහන හා ඡායාරූප 
නිශාන්ත කුමාර බණ්ඩාර
 lankadeepa  
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
රෑ දෙ‌ාළහට මිණිගෙඩි ශබ්දයක් ඇහිලා නැගිට්ටා මෙන්න ඉන්නවා හූනියම් දෙවි​යෝ
පසුගිය සතියේ අප සූනියම් දෙවියන් ගැන සාකච්ඡා කළා. අද අපි සොයා බලන්නේ සූනියන් දෙවියන්ට බාර හාර වෙන ආකාරය පිළිබඳවයි. මේ පිළිබඳ අප දෙමටගොඩ ලූනාව දේවාලයේ චන්ද්‍රසිරි පරණගම කපු මහතාගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ සූනියම් දෙවියන් විටෙක දේවතාවක් ද තවත් විටෙක යක්ෂ ආත්මයකින් පෙනී සිටින බලවත් දේවතාවකු බවයි.
බොහෝ දෙනෙකුට පිහිට වන දේවතාවෙක්. ඒ පිළිබඳව අදහස් පළකළ චන්ද්‍රසිරි පරණගම කපු මහතා.   
“සූනියම් දෙවියන් ගොඩක්ම මිනිසුන්ගේ දුකට පිහිටවන කෙනෙක්. ලංකාවේ කබැල්ලෑව කියන ප්‍රදේශයේ තමයි සූනියම් දෙවියන්ගේ මුල් භූමිය. අපවත් වෙච්ච ගල්කිස්සේ විසුද්ධානන්ද හාමුදුරුවෝ තමයි මේ ස්ථානයේ පිළිමයක් අඹළා ප්‍රසිද්ධ කරලා ජනතාවට වන්දනා මාන කරලා උන්වහන්සේගේ පිහිටක් ලබා ගන්න කටයුතු කරලා තිබෙන්නේ. සූනියම් දෙවියො කියන්නේ බෝධිසත්ව ගුණය තිබෙන දෙවි කෙනෙක්. උන්වහන්සේගෙන් වැඩ අරගන්න කටයුතු කළේ ගල්කිස්ස විසුද්ධානන්ද හාමුදුරුවෝයි.  
සූනියම් දෙවියන් මේ ස්ථානයේ ජීවමානව වැඩ සිටිනවා. මම ඇස් දෙකින් දැකලා තිබෙනවා. ඒකයි මට විස්වාස. මම නිදා ගන්නේ මේ දේවාලයේම තමයි. දවසක් රෑ 12ට විතර මිණිගෙඩි සද්දයක් ඇහුණා. මම නින්දෙන් ඇහැරිලා බලනකොට සුදු පුළුන් වලාවක් වගේ සූනියම් දෙවියෝ වැඩියා. මම ඒ වෙලේ දණගහලා වැන්දා. ඒ ශක්තිය තමයි අදටත් මට තිබෙන්නේ.  
මිනිසුන් ගොඩක් සූනියම් දෙවියන්ගෙන් පළිගහන දේවලුත් කරනවා ද?  
සූනියම් දෙවියන්ගෙන් නෙමෙයි පළිගහන දේවල් වගේ දේවල් කරගන්නේ. සූනියම් දෙවියන් එක අවස්ථාවක දෙවියෙක් වෙලා ඉන්නවා. තව අවස්ථාවක යක්ෂ ස්වරූපයෙන් ඉන්නවා. පුර පක්ෂයට බෝසත් විලාසයත්, අව පක්ෂයට යක්ෂ විලාසයෙන් පෙනී හිටිනවා. අව පක්ෂයේදී තමයි සැඩ පලු දහසක් මවාගෙන වැඩ සිටින්නේ. අනිත් ස්වභාවය තමයි නවගුණ වැලක් පැළඳගෙන ජටාවක් බැඳගෙන සුදුපාට තුරඟෙකු පිට යන්නේ එ් අවස්ථාවේදීයි. යක්ෂ රූපය ගත්තහම නිල්පාට තුරඟෙක් පිට තමයි ගමන් කරන්නේ.  
මිනිසුන් තුළ දේවසංකල්පය මෑතක සිට ඉහළ ගොස් තිබෙනවා. බුද්ධ කාලයේ සිට දේවසංකල්පය පිළිබඳ ජනතාව තුළ තිබුණා. ලොව්තුරා බුදු හාමුදුරුවෝ පහළ වෙන්නත් ප්‍රථම ඉඳලා දේවසංකල්ප තිබුණා. ඉන්දියාවේ ආගම් 64ක් තිබුණා. ඒ අතරතුරේ තමයි බුදු හාමුදුරුවෝ ලොව පහළ වුණේ. බුද්ධ ධර්මයට අනුව දේව සංකල්පය අයින් කරලා නැහැ. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තිබෙනවා දෙවියන්ට පුදසත්කාර කළාම දෙවියොත් ආරක්ෂා කරයි කියලා. ලංකාවේ දේවසංකල්පය ඇති වුණේ බෞද්ධ සාසනයත් එක්ක. ලංකාවට ආවේණික දෙවිවරුන් සිටියා. සමන් දෙවි හාමුදුරුවෝ, උප්පල වර්ණ දෙවි හාමුදුරුවෝ ලංකාවට ආවේණික දෙවි හාමුදුරුවරු හිටියා. දැන් සූනියම් දෙවියෝ ඉන්දියාවෙන් තමයි වැඩමකරලා තිබෙන්නේ. තඹ පොතක තමයි බන්ධනය කරලා වැඩම කරවගෙන තිබෙන්නේ. කැබැල්ලෑවේදී තමයි බන්ධනයෙන් මිදිලා බෞද්ධ උපාසකයෙක් තමයි අල්ලගෙන බන්ධනය කරගෙන තිබෙන්නේ. එතනදී තමයි යක්ෂ විලාසයෙන් මිදිලා දේව විලාසයෙන් මිනිසුන්ට පිහිට වෙන්න පටන් ගෙන තිබෙන්නේ.  
හැබැයි මෙහෙමයි. උන්වහන්සේ අදහනව නම් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනෑ. ප්‍රතිපත්තිය තමයි උතුම්ම දේ. ඉස්සර මිනිස්සු දෙවි හාමුදුරුවන් ගාවට පූජා වට්ටි අරගෙන ගියේ නැහැ. අරන් ගියේ තමුන් රකින ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති අරගෙන ගිහින් මම ‘ප්‍රතිපත්ති ගරුකයි ඒක සත්‍ය නම් ඔබ වහන්සේ මට පිහිට වෙනවා’ කියලා තමයි දෙවියෝ ඇදහැවුවේ. දැන් ප්‍රතිපත්තිවලට වඩා පූජා වට්ටියයි මුල් වෙලා තිබෙන්නේ. නමුත් පිහිට නැතුව නොවෙයි. පිහිට තිබෙනවා. ගම්භාර දෙවියෝ කියන්නේ පසේ බුද්ධත්වය පතන දෙවිකෙනෙක්. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදුන්වහන්සේලාගෙන් විවරණ ගත්ත බෞද්ධ උපාසකයෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ.  
දැන් සූනියම් කියන්නේ අව පක්ෂයටනේ. පුර පක්ෂයට කියන්නේ ගම්බාර දෙවියන් කියලා. ඒ වගේ උත්තමයකුට පුද සත්කාර කරනවා කියන්නේ වරදින්න විදියක් නැහැ. බෝධිසත්ව ගුණෝපේත ඇත්තෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ. කොහෙදිවත් කියලා නැහැ දැන් අපි වුණත් ගොඩක් දෙනෙක් කියනවා දෙවියන්ට මල් පූජා සුදුසු නැහැ. දෙවියන්ට පහන් ආලෝක සුදුසු නෑ. දෙවියන්ට පුද පූජා සුදුසු නැහැ කියලා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද මේ දෙවිවරු ලොව්තුරු බුද්ධත්වය හෝ පසේ බුද්ධත්වය පතන අය. අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් අය. ඉතින් ඒ ඇත්තන්ගේ ගුණයට ඒ ඇත්තන්ගේ පාරමිතා ශක්තියට අප පුද පූජා කළාට මම නම් හිතන්නේ නැහැ ගැටලුවක් ඇති වෙනවා කියලා.  
දෙවියන්ගෙන් පිහිට පතා බොහෝ දෙනෙක් පැමිණෙනවා ද?  
අනන්ත අප්‍රමාණ පිරිසක් එනවා. හුඟක්ම දුක් පීඩා තබාගෙන, වින බන්ධන, හතුරු කරදර, තමුන්ගේ ව්‍යාපාර දියුණුව පතාගෙන, තමන්ගේ රැකී රක්ෂාවල දියුණුව පතාගෙන, දරුපල පතා​ෙ​ගන, පවුල් ජීවිතවල ගැටලුවලට විසඳුම් පතාගෙන ආපු සෑහෙන පිරිසකට පිහිට වෙලා තිබෙනවා. ඒක මම අත්දැකීමෙන් ලබපු දේවල්. විශේෂයෙන්ම රෝගී වූ ඇත්තන්.  

දෙවියන්ට පුද පූජා කරන්න සුවිශේෂ වූ දින තිබෙනවාද?.  
බදාදා සහ සෙනසුරාදා දින විශේෂයි. ඒ දින දෙක තමයි කෙම්මුර දවස් දෙක. ඒ දින දෙකට තමයි දේව ආරක්ෂාව බලවත් වෙන්නේ. විශේෂයෙන්ම පුර පක්ෂයේ බදාදාත් පුරපක්ෂයේ සෙනසුරාදාටත් විශේෂිත වූ බලවත් දින දෙකක්. අනිත් දෙක අව පක්ෂය. දැන් බොහෝවිට ඵල දරන්නේ අව පක්ෂයට. සෙත් පතන්නේ පුර පක්ෂයට. හැබැයි මේ දේව මන්දිරයේ එහෙම නැහැ. කෙනෙක් දුකක් කියාගෙන ආවම අපි ඒ දේ ඉෂ්ට කරලා දෙනවා.   
ගම්භාර දෙවියන්ට නියම පූජාවක් තබන්නේ කෙසේද?  
එක එක්කෙනා එක එක විදිහට පුද පූජා පවත්වනවා. ගම්භාර දෙවියන්ගේ ප්‍රධාන පූජාව තමයි විළඳයි, මී පැණියි, තැබිලි ගෙඩියයි, සමන් පිච්ච මල් 7යි. ඒවා තමයි ප්‍රධාන. විළඳ මී පැණි පූජාවට තමයි දිෂ්ටි වැටෙන්නේ. වෙන දේවල්වලට බලයක් වැටෙන්නේ නැහැ.  
දවසක් මහත්තයෙක් ආවා. ඔහුගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා. කිසිම ආදායමක් නැති තත්ත්වයට පත්වෙලා. යාන වාහන පවා විකුණන්න සිද්ධ වෙලා. ඒ මහත්තයා මට කිව්වා මගේ ව්‍යාපාර බිංදුවට වැටිලා. මට ජීවත් වෙන්නවත් විදියක් නැහැ. මම ඒ මහත්තායට කිව්වා පුළුවන් විදිහට විළඳ ටිකකුයි මී පැණි ටිකකුයි සමන් පිච්ච මල් 7කුයි තැඹිලි ගෙඩියකුයි අරගෙන එන්න කියලා. බුලත් කොළ 21ක් සමඟ. හරියට බදාදා රෑ 9ට කෙම්මුර දවසේ පළමුවෙනි පූජාව මම තිබ්බා. දෙවැනි පූජාවත් 3 වැනි පූජාවත් තිබ්බා. 3 වැනි පූජාවෙන් පස්සේ ඔහුගේ ව්‍යාපාර ටික ටික දියුණු වෙන්න පටන් ගත්තා. ඒ මහත්තයා අදටත් මහ පූජාවක් තබනවා මේ දේවාලයට පැමිණිලා.  

දැන් පූජාවට්ටි දෙන සංකල්පය කුමක්ද?  
මෙහෙමනේ. දැන් හිස් අතින් ගේකට වුණත් යන්නේ නැහැනේ. අපි ගේකට ගියත් මොනවා හරි දෙයක් ගෙනියනවානේ. අන්න ඒකයි මම කිව්වේ ඉස්සර මිනිස්සු පූජා වට්ටි ගෙනාවේ නැහැ. ප්‍රතිපත්ති තමයි අරගෙන ආවේ. අපි වුණත් කියනවා ඒක පාරටම දෙවියන්ට පූජා වට්ටි තබන්න එපා කියලා. බෝධින් වහන්සේ නහවලා, බුදුන් වැඳලා, තුණුරුවන් වැඳලා පුදලා දෙවි හාමුදුරුවෝ වඳින්න එන්න කියලා තමයි අපි ඔවුන්ට ප්‍රථමයෙන් කියන්නේ. දෙවියෝ නොවෙයි මෙතන ප්‍රධාන වෙන්නේ. බුදුන්. දෙවියොත් නමස්කාර කරන්නේ බුදුහාමුදුරුවන්ට. බුදු හාමුදුරුවන්ගේ ගුණයට. දෙවියන්ට අවශ්‍ය පින්. පින් අවශ්‍ය නැති දෙවිවරුත් ඉන්නවා. තව්තිසාවේ ඉන්න දෙවිවරුන්ට පින් අවශ්‍ය නැහැ. දැනට මිහිතලයට පා තබලා යන එකම දෙවියෝ තමයි ගම්භාර දෙවියෝ කියන්නේ.  
දැන් ජනතාව තුළ තිබෙනවා හොඳ පූජා වට්ටියක් නොගෙන ආවොත් දේව බැල්ම අඩුවෙනවාද?  
එහෙම දෙයක් නැහැ. හැබැයි එහෙම විශ්වාසයක් ජනතාව අතර තිබෙනවා. ඒකට හේතුව තමයි පූජා වට්ටි නෙමෙයි මෙතන ප්‍රධාන. ඒත් අද ප්‍රතිපත්ති රකින පිරිස අඩුයිනේ. අන්න ඒකයි පූජා වට්ටියට මුල් තැන දීලා ඔවුන් දෙවියන් නමදින්න එන්නේ.  
දැන් ඕනම පලතුරක් කැපුවම සුවඳ විහිදෙනවා. අපිට නොතේරුනාට දිව්‍ය සුවඳක් විහිදෙනවා. ඒ පලතුරෙන් විහිදෙන සුවඳ තමයි ආග්‍රාහනය කරන්නේ දෙවියෝ. හරියටම පූජාවක් කැප වුණත් හරියටම තේවාවක් කරල කැප කළොත් ඒ පූජාව අපි අනුභව කළොත් කිසිම රසක් දැනෙන්නේ නැහැ. දැන් අන්නාසිනේ රසම දේ. පූජාවට තබලා ගත්ත අන්නාසිවල කිසිම රසයක් නැහැ. අඹ ගෙඩියක අඹ රසය නැහැ. හැම පලතුරක්ම එහෙමයි. ඒ පලතුරුවල පූජාව දෙවිවරු ආග්‍රහණය කරලා ඉවරයි. එහෙම දෙයක් තිබෙනවා.

 හරියටම පූජාවක් තබන්නේ කොහොමද?  
සූනියම් දෙවියන්ට විළඳ, මී පැණි විශේෂයි. සූනියම් දෙවියන්ට පලතුරු පූජාවන් වගේම කැවිලි පූජා ද තිබෙනවා. සමහර අය කැවුම් බන්දේසි ගණන් ගෙනල්ලා පූජා පවත්වනවා. කිරිබත් බන්දේසි ගණන් පූජා කරනවා. මුරුතැන් පූජාව පවත්වනවා. එහෙම නියමිතයි කියලා දෙයක් නැහැ. එක එක්කෙනා පූජා පවත්වන විදිහයි. ඔවුන් හදාගත්ත දේවල් තමා ඒ.  
හරියටම පූජා වට්ටියක් තියලා දෙවියන්ට බාර හාර වෙනවා නම් පලතුරු ජාති 9ක් අනිවාර්​​ෙයන්  තිබෙන්න අවශ්‍යයි. තැබිලි ගෙඩියක්, විළඳ, මී පැණි තිබෙන්න ඕනෑ. කැවිලි 9ක් අවශ්‍යයි. ඒක ඉතා පිරිසිදුව සකස් කරන්න ඕනෑ. භක්තිමත් භාවයෙන් ගම්භාර දෙවියන්ට පුද පූජා කරන්න ඕනෑ. ඊට පස්සේ දෙවියන්ගේ බැල්ම වැටිලා ඒ ඒ කාරණාවලට පිහිට වෙනවා.  
පූජාවක් පවත්වන්න වෙලාවක් තිබෙනවා. දැන් රෑ 9ට තමයි දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාව. ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙනවා උදේ 9ටත්. උදේ 9.05ත් 10යි 05ත් අතර කාලයේ සූනියම් එහෙම නැති නම් ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාවන්. රෑටත් වැටෙනවා. පැය 24 තුළ එක එක දෙවියන්ට දිෂ්ටි වැටෙන වෙලාවක් තිබෙනවා. ගම්භාර දේවතාවන්ගේ සිද්ධ සූනියම් දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ 9න් පස්සේ තමයි. මොකද මගේ පරම්පරාවෙ වගේම මගේ ගුරුතුමා වුණත් කියලා තිබෙන්නේ ගම්භාර අප්පච්චි සියලුම නර දරුවන්ගේ පහන්වලට දිෂ්ටි දීලා ඒ සියලු දෙනාට අසුරුසැණකින් මුළු විශ්වයේම දිෂ්ටි බලලා තමයිලු දේව සභාවට යන්නේ.  
ගම්භාර කියන්නේ ගම්පති. අපි කියන්නේ ග්‍රාමසේවක කියලා. අන්න ඒ වගේ තමයි. එයා තමයි ගම්භාරව ඉන්නේ. එයා තමයි අරගෙන යන්නේ දේව සභාවට. අහවල් තැන එහෙම දෙයක් තිබෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි ඔය විෂ්ණු දෙවියෝ, පත්තිනි මෑණියෝ, කතරගම දිවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ අවසර දෙන්නේ හරි එහෙනම් ඒ වැඩේ කර දෙන්න කියලා. ඒ නරයන්ට පිහිට වෙන්න කියලා. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ 10.05 වෙන කොට. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ ගම්භාර අප්පච්චි නොවෙයි. ඒ එන්නේ යක්ෂ විලාසයෙන්. සැඩපළු ගොතාගෙන දාලා අැවිල්ලා, මුඛයේ ලේ පොළ​ෙඟක් තබාගෙන තමයි එන්නේ. කෙලින්ම රාක්ෂයෙක්. රාක්ෂ විලාසයෙන් ඒ ඇවිල්ලා තමයි සියලු නර පනුවන්ගේ දුක් ගැහැටවලට පිහිටවෙන්නේ. දැන් ගම්භාර දෙවියන් හඳුන්වනවා නම් කිහිපයකින්. ගම්පති කියනවා. මුදල් භාර, පට්ටි භාර, ගම්භාර වගේ නම් තිබෙනවා. ඔඩ්ඩි කුමාර, ‌ඔඩ්ඩි දේවතා, ඔඩ්ඩි මස්සිනා, සිද්ධ සූනියම් අප්පච්චි, ගම්භාර අප්පච්චි වගේ නම්වලිනුත් සූනියම් දෙවියෝ හඳුන්වනව. දස අවතාරයක් තිබෙනවා. තකරීය, මකරීය, යමීය, යමදුතිය, නීලක්කන්ඩි, අයිලක්කණ්ඩි, මායා දේවි, පුෂ්පා දේවි, තිලෝක දේවි, කාල රාක්ෂි කියන්නා වූ දෙව්වරුන් 10 දෙනත් කැටුව, කඩවරහත් කට්ටුවක් කැටුව යකුන් යක්ෂණීන් කැටුව තමයි එන්නේ. එයාගේ සහපිරිවර වෙලාවකට ගම්භාර අප්පච්චිට දිෂ්ටි දෙන්නැහැ. අර පිරිවර දේවතාවෙක් තමයි එතනට යන්නේ.  

දැන් දෙවියෝ ඉදිරියේ මිනිස්සු ආරූඪ වෙන්නේ ඇයි?  
ඒක මෙහෙමයි. ඔතන ගමන් කරන්න ඥාති බලවේගයක්නේ. ඒ කියන්නේ පූර්ව ආත්මයේ පතාගෙන ආ​ව විදිහට හරි පෙර කරපු කුසල් දහම් අනුව හරි එක එක්කෙනාට ඥාති බලවේග ක්‍රියාත්මක වෙනවා. දෙවියෝ ඇඟට එන්නේ නැහැ කිසිම කෙනෙක්ගෙ. මේ නරයෙක්ගෙ ඇඟට දෙවියෙක් ආරූඪ වෙන්නේ නැහැ. ඒක මම උදාහරණ ඇතුවම දන්නවා. එහෙම එන්නේ තමුන්ගේ අත්තා, මුත්තා, පනත්තා, කිරිත්තා හරි ආච්චි වගේ කවුරුහරි මැරිච්ච කෙනෙක් තමයි වැහෙන්නේ. මහ දේව සභාවෙන් අවසර අරගෙන හොඳ තැනක ඉපදිලා, ඒ දෙවියන්ට කැඹරුම් කරලා අවුරුදු ගණන්, මාස ගණන් කැඹරුම් කරලා තමයි එන්නේ. මහා දේව සභාවෙන් අවසර අරගෙන තමයි එන්නේ තමුන්ගේ ඥාතියාට උදව් කරන්න. ඒ ඇවිල්ලා තමයි ඔය ඇඟට ආකර්ෂණය වෙන්නේ. එයාට නේත්‍රා වරම් දීලා, කරනමුණ්ඩ වරම් දීලා, ඥාන වරම් දීලා, දේව භාෂාව වරම් අරගෙන, ඔෟෂධ වරම් දීලා එහෙම වැඩ කටයුතු කරන්නේ. එතකොට මහා දේවාලයකට ආවහම දේවතාවුන් වහන්සේගේ බලය තිබෙනවා. එතකොට අර ඥාතියා සලිත කරනවා. ඥාතියාට ඇඟේ ඉන්න බැහැ. එතකොට තමයි අරයා සලිත වෙලා නටන්නේ. දැන් මෙතන සෙනසුරාදට බදාදාට එහෙම ​​තේවාව කරන කොට දහ දෙනෙක්, පහළොස් දෙනෙක් පමණ ආරූඪ වෙනවා.  
ඉතින් සූනියම් දෙවියන්ට පුද පූජා තියද්දී මේ නියමිත ක්‍රමය අනුගමනය කළහොත් දෙවියන්ගේ ආකර්ශණය වැඩියි. කෙසේ වෙතත් භක්තියෙන් දෙවියෝ අදහන එක තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්ති ගරුකව.  
ලබන සතියට...
සටහන හා ඡායාරූප
නිශාන්ත කුමාර බණ්ඩාර
lankadeepa
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
සූනියම් දෙවියන්ට පහන් තැබීම කාන්තාවන්ට අකැප නෑ
සූනියම් එසේත් නොමැති නම් ගම්භාර දේවතාවන් වහන්සේට නියම ලෙස පහන් ආලෝකයක් වගේම නියමාකාරයට පහන් පැලක් සකසා ගන්නේ කෙසේද යන කාරණය පිළිබඳ කථා කළා.
අද අපි කථා කරන්නේ දෙවියන්ට පහන් දල්වනවිට කිල්ලකට හසුවී හෝ පහන් දැල්වීම අතපසු වුවහොත් කුමක්ද කරන්නේ යන කාරණය පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් දෙමටගොඩ ලුනාව දේවාලයේ සිටින චන්ද්‍රසිරි සරණගම කපුමහතාගෙන් විමසීමක් කළෙමු.
හදිසියේමත් කිල්ලකට හසුවී පහන තබන්න නොහැකි වූවහොත් අවැඩක් සිද්ධවෙනවා ද?  
අපි කලින්ම කථා කළානේ සූනියම් දෙවියෝ එහෙම අවැඩක් කරන දෙවි කෙනෙක් නොවෙයි. උන්වහන්සේ බුදුබව පතන දෙවියෙක්. අපි මුලින්ම පහන තබන කොටම දෙවියන්ට දැනුම් දුන්නේ යම්කිසි දෙයකින් අතපසු වුණත් පහන තබන්න මට සමාවෙන්න කියලා. මොකද අපි මිනිස්සු නිසා යම් යම් අතපසුවීම් වෙනවා අපට තිබෙන වැඩ රාජකාරිත් එක්ක. ඒක නිසා පහන නොතිබ්බා කියලා අවැඩක් සිද්ධවෙන්නේ නැහැ. හැබැයි අපි දෙවියන්ට ඒ බව කියලා මුලින්ම සමාව ගන්න ඕනෑ.

ඔය දැන් බොහෝ විට පහන දල්වන්න අතපසු වෙන්නේ කිලිවලට හසු වු​ෙණාත්නේ. කිලි වර්ග කිහිපයක්ම තිබෙනවා. මරණ කිල්ල, කොටහලු කිල්ල, දරුවෙක් ලැබුණට පස්සේ මාස 3ක් යනකම් පහන තබන්න හොඳ නෑ. කිල්ල කියලා කියන්නේ අපිරිසිදුතාවයක්නේ. ඒ අපිරිසිදුතාවය සිද්ධ වෙන කොට අපි කිලි හරණයක් කරලා අයින් කර ගන්න ඕනෑ. ඒකනේ කියන්නේ දරුවෙක් ලැබුණම මාස 3ක් යනකම් දේවාලයකට ගේන්න එපා කියනවා. ඊට පස්සේ මළ ගෙයක් වුණාම දින 21ක් යනකම් පහන දල්වන්න සුදුසු නැහැ. දරුවකු වැඩිවියට පත්වුණාට පස්සේ මාස 3ක් යනකම් දේවාලයකට යන්නෙ නැහැ. ඒ ගෙදර පහන් දල්වන්නේ නැහැ. ඒවායින් වැළකෙන්න ඕනෑ.
හදිසියේවත් එවැනි කිල්ලකට හසුවුවහොත් දෙවියන්ගෙන් සමාව අයදින්නේ කොහොමද?  
දැන් අපි මුලින්ම පහන තබලනේ තියෙන්නේ. මුල්ම දවසේ පහන තබන කොටම දෙවියන්ට කියලනේ තිබෙන්නේ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ දින ගණන පසු වුණාට පස්සේ රූපය, පහන් ඒ දේවල් කහ පැන්වලින් සෝදලා පිරිසිදු කරලා සඳුන් කිරිපැන්වලින් සෝදලා ඊට පස්සේ ආපසු කැපකරන්න පුළුවන් ආරාධනා කරලා දෙවියන්ට. එතැනදීත් අපි සමාවක් ගන්න ඕනෑ. මේ කාලය තුළ මට මෙන්න මේ විදිහ කිල්ලක හසුවුණු. ඒ කාලය තුළ මට පහන තබන්න බැරි වුණා. මම ඔබ වහන්සේට අද ඉඳලා නැවත පහන තබනවා කියලා ආශිර්වාද ගන්න ඕනෑ. මේ පහන් මාලාව ඔබ වහන්සේට කැප කරනවා. අපේ අනින් වරදක් සිදු වූවානම් සමාව දෙන්න කියලා. අපේ පහත කැපගන්න කියලා දෙවියන්ට නැවත ප්‍රකාශ කරන්න ඕනෑ.
සෑම දිනකම සූනියම් දෙවියන්ට විලඳ මීපැණි තැබීම අවශ්‍ය ද?  
දැන් ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ කෙම්මුර දවස්වලට පහන තබන්න. කෙම්මුර දවස් කියන්නේ බදාදායි, සෙනසුරාදයි. එදාට බොහෝ දෙනෙක් තැඹිලි ගෙඩියක්, විලඳ ටිකක්, මී පැණි ටිකක් පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑමදාකම පූජා කරන්නත් බැහැනේ. එදාට පහනයි සුදුමල් ටිකකුයි පැන් භාජනයකුයි පමණක් තිබ්බත් ඇති. සුවඳ හඳුන්කූරුත් එක්ක කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ
දැන් මතයක් තිබෙනවා සූනියම් දෙවින්ට පහන් තබන්න කාන්තාවන්ට සුදුසු නැහැ කියලා. ඒක ඇත්තක් ද?  
ගොඩක් දෙනෙක් බැලුවොත් ඔය කැඹුරුම් මාලාවන් තිබෙන, වරම් මාලාවන් තිබෙන අය කාන්තාවොනේ. පිරිමි පක්ෂය අඩුයි. ඒ කාන්තා පක්ෂය අද වනතුරුත් වැඳුම් පිඳුම් කරලා දඬුවමක් ලැබුණ කියලා මම නම් අහලාවත් නැහැ. හැබැයි ප්‍රතිපත්තිගරුකව පිළිවෙත් රැකගෙන දෙවියන් පුදනකොට ඒ ශක්තිය තමන්ට ලැබෙනවා. ඒ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා.
ඒ අවස්ථාවේ ආරූඪ වීමක් සිදු වෙනවා ද?  

මෙහෙමයි. තමන්ට ඥාති වරමක් තිබුණාත් ආරූඪ වීමක් සිදු වෙන්න පුළුවන්. ඥාති වරමක් ඇති අයකු නම් ඥාතියා පැමිණ ඇඟ සලිත කරවනවා. ඥාතිවරමක් නැති කෙනෙක් හිටියොත් එයාට ලොකු භක්තියක් ඇති වෙනවා. ලොකු පැහැදීමක් ලොකු ගෞරවයක් ඇති වෙනවා දෙවියන්ගේ. එහෙම වුණාම එයාටම තේරෙනවා මට දේවතාවුන් වහන්සේගෙන් පිහිටක් තිබෙනවා කියලා එයාට හිතෙනවා. අන්න ඒ සිතුවිල්ලත් එක්ක තමයි දේවතාවුන් වහන්සේ බැඳෙන්නේ. දැන් මන්ත්‍ර ගුරුකම් වලින් බන්ධය කරගන්නවා. ඊට පස්සේ මිත්‍ර බන්ධන හදා ගන්නවා. දේවතාවන් වහන්සේගේ ගුණ සඡ්ඣායනා කරලා ගීතිකා කියලා දෙවතාවුන් වහන්සේව මිත්‍ර කරගන්නවා. අපි යාළුවෙක් ව​ෙග් කරගන්නවා. එහෙම යාළුවෙක් වගේ කරගත්තහම තමුන්ට දේවතාවන් වහන්සේ ළඟ ඉන්නවා තේරෙනවා. සෑම දුකේදීම, සෑම සැපතකදීම තමන්ට යම්කිසි දෙයක් වෙන්න තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකෙන් වළක්වනවා.
දේව ස්තෝත්‍ර නිවැරදි ලෙස උච්චාරණය නොකළහොත් ගැටලුවක් තිබෙනවා ද?  
ගැටලුවක් නම් අැතිවෙනවා. මොකද දේව ස්තෝත්‍ර වැඩිපුරම තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්. ඒවා නිවැරදි ලෙස උච්චාරණය කිරීම ඉතාමත් වැදගත්. උදාහරණයක් වශයෙන් ගත්තහොත් දැන් අපි සෙත් කවියක් කියලා කියමුකෝ. ඒ සෙත් කවිය හරියට ගණ පිහිටවලා නැත්නම් අක්ෂර දෝෂයක් වෙනවානම් සෙත් කවිය කියන්න ප්‍රථමයෙන් අපි දෙවියන්ට කියනවනේ මේ සෙත් කවියේ අක්ෂර දෝෂයක් හෝ ගණ දෝෂයක් අැතිවෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඒ ගැන සමාවෙලා මේ දේ යහපත් ආකාරයකට සෙත උදාකරන්න කියලා. ඒවාගේම තමයි මෙතනත් අපිට දේව ස්තෝත්‍ර තේරෙන්නේ නැති නම්, පාඩම් නැතිනම් දෙවියන්ට ඒ බව කලින්ම කියලා ස්තෝත්‍ර කිව්වා කියලා ගැටලුවක් නැහැ. එතනදී ඇකැපක් වෙන්නේ නැහැ. ස්තෝත්‍ර නොකියා වුණත් කමක් නැහැ. පහන විතරක් තිබ්බටත් ගැටලුවක් නැහැ. ඒ දෙවියන්ගේ නාමය සිහිපත් කරලා පහන තියන්න පුළුවන් බදාදයි සෙනසුරාදයි කෙම්මුර දවස් දෙකේ.
දැන් හුඟාක් දෙනකුගේ මතයක් තිබෙනවා රාත්‍රී 9ට පස්සේ තමයි දේව බැල්ම තිබෙන්නේ කියලා. ඒක නිසා හුඟක් දෙනෙක් පහන තියන්නේ රාත්‍රී 9ට පස්සේ. ඒක ඉතින් පැයක් විතර දැල්වෙනවනේ. එතකොට 10.01 වෙලාව වෙනකොට දේවතාවුන් වහන්සේගේ බැල්ම වැටෙනවා.
නමුත් ප්‍රතිපත්තිගරුකව සීලවන්තව සූනියම් දෙවියන්ට පහන් තබලා පුද සත්කාර කරනවා නම් සූනියම් දෙවියෝ ජීවමානව වුණත් දකින්න පුළුවන්. හැබැයි ජීවමානව දකින්න නම් ඒ විදියට පිළිවෙත් කරන්න ඕනෑ. එතකොට ඒ නිවස, භූමිය සම්පූර්ණ පිරිසිදු වෙන්න ඕනෑ. එතකොට තමුන්ට දැනෙනනවා මෙතන ලොකු ශක්තියක්, බලයක් තිබෙනවා කියලා.  පහන තබනකොට අපිට කියන්න පුළුවන් 
“සිවස්තු නමෝ රාමහ්  
ඛන්ධ සේනා සිවාගමක්  
වඩිග තන්ත්‍ර මනි කන්තක්  
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්ගික් ඛන්ධංච හස්තේන  
හස්තේ වඩිග කර්ගසේ  
මුඛේන විෂ සර්පේන  
ශිර්ගේ පංච කේසකේ  
උදරයේ නාග බන්ධාමී  
නීලෝ තුරඟ වාහනේ  
සූනියම් දේව තා නාම  
මහියංදි පාද මේ නමෝ නමඃ.”  
ඔන්න ඔය ගාථාව එක පාරක් හෝ තුන් පාරක් හෝ කියලා පහන දේවතාවන් වහන්සේ සිහිකරලා තබන්න පුළුවන්. ඔය ස්තෝත්‍ර තවත් කිහිපයක් තිබෙනවා. ඒ ස්තෝත්‍ර සඡ්ඣායනා කළාම දෙවියන් සතුටු වෙලා අපි දිහා බැල්ම හෙළනවා. ඔය ගාථාව තමුන්ට සිද්ධි වෙනවා. ඒ සිද්ධි වුණාට පස්සේ ඔය ස්තෝත්‍රවල එක වචනයක් සිහි වුණාම ගාථාවම මතක හිටිනවා.
ඊට පස්සේ අපට දෙවියන්ට පිංදෙන්න පුළුවන්. අපි සිතින් සිතනවනේ දෙවියන් ඉදීමසේ. අන්න ඒ සිතීම බලවත්. අපි කටින් කියනවාට වඩා සිතින් සිතන සිතුවිල්ලයි බලවත් වෙන්නේ.

“සිද්ධ අරන් සළු ආභරණ පළඳින්න  
සිද්ධ පහන්හිද සුරතට අරගන්න  
සිද්ධ ගමන් තුරඟකු පිටයන්න  
සිද්ධ සූනියම් දෙවියන් පිං ගන්න”  

දෙවියන්ට පිං දෙන කොට මෙන්න මේ ගාථාව කියලා පිං දෙන්න පුළුවන්. ඒ ඉවර වෙලා අපි දෙවියන්ට පිං දෙන ගාථා කියලා කරණීයමෙත්ත සූත්‍රය කියලා පිං දෙන්න පුළුවන්. දෙවියන්ට දිනපතාම විශේෂයෙන් කෙම්මුර දවස්වලට සූනියම් දෙවියන්ට පහන් තියලා පුද සත්කාර කරනවානම් අනිවාර්යයෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. අපිට ඕනෑම වෙලාවක අපිව ආරක්ෂා කරනවා. දැන් මෙතනට පැමිණෙන දහස් ගණනකගේ ගැටලු කරුණු කාරණා දිහා බලනකොට අපි දන්නවා ඔවුනට යම් සහනයක් ලැබිලා තිබෙනවා කියලා.
ඒ වගේම ස්තෝත්‍ර නොකිව්වා කියලා අවැඩක් වෙන්නේ නැහැ. මම මුලින්ම ප්‍රකාශ කළා වගේ අපි ප්‍රතිපත්තිගරුකව, සිල්වත්ව, තුනුරුවන් නමස්කාර කර දෙවියන් නමදිනවා නම් අපිට කවදාවත් වරදින් නැහැ. අපි පිරිසිදු වෙන්න ඕනෑ. අනික අපි දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබෙන්න ඕනෑ.
දැන් බලන්න කොයිදේක වුණත් විශ්වාසයක් නැතිනම් ඵලක් නැහැනේ. ඒ වගේ තමයි දෙවියන් කෙරෙහිත් විශ්වාසයක් තබන්න ඕනෑ. එතකොට දෙවියන් අපිට ආශිර්වාද කරනවා. අපි ලබාදෙන පිං ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ පිං ඔවුන් අරගෙන අපට ආශිර්වාද ලබා දෙනවා.
මෙතනට පැමිණෙන දහස් ගණන් ජනතාව සමඟ සාකච්ඡා කරනකොට අපිට ඔවුන්ගේ ප්‍රකාශවලින්ම තේරෙනවනේ දෙවියන් ඔවුනට පිහිට වෙලා කියලා. ඒකනේ තවමත් බැතිමතුන් පැමිණෙන්නේ තමන්ගෙ නොයෙකුත් ගැටලුවලට පිළිතුරක් පතාගෙන. මම දන්න විදිහට ඔවුන් බොහෝ දෙනකුගේ ගැටලු විසඳලා දීලා තිබෙනවා.
ලබන සතියට....
සටහන හා ඡායාරූප 

නිශාන්ත කුමාර බණ්ඩාර 
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''' 
සූනියම් දෙවියන්ට පහන් තැබීමේදී සැලකිය යුතු කරුණු

* වෙනත් දෙවිවරුන් සමඟ පහන් නොතබන්න.

* තම නිවසට එළිය නොවැටෙන සේ යන එන මාවතට එළිය වැටෙන සේ පහන් පැල තනන්න.

* පහන් පැල කෝටු කිහිපයකින් වැටක්‌ ලෙස සකස්‌ කර වෙන්කර තබන්න.

* පහන් දැල්වීමේදී පිරිසිදු වී රාත්‍රී 9.05 ට පහන දල්වන්න.

* සූනියම් දෙවියන්ගේ පාට සුදු වන අතර පූජා කළ යුතු මල් වර්ගය පිච්ච මල් වේ.

* සිකුරාදා දින සහ කෙම්මුර දිනයන් වන බදාදා, සෙනසුරාදා දිනයන්වලදී පිරිසිදු වී ටිකක්‌ ගෙන කබලේ බැද පොරි කර මී පැණි සමඟ පුදට දීම දෙවියන් පහදා ගැනීමට මඟක්‌ වේ.

පහනක්‌ දල්වමු

පින්වත් සූනියම් දෙවිඳු බැතියෙන් මෙසේ සමරමු...

පරදවන තෙදැති රුපු පස සියලු දිනේ
වරද කළ වුණට දඬුවම් දෙවන් සැනේ
එරද විකුම් පානා දෙවොලන්හි දැනේ
සැරද සූනියම් පබු සැත විඳි මිනේ

වෙනු දෙවි රදුන්හට නිති හිත මිතුරූ
කඳ දෙව් රදුන්හට සිට මිණි අයුරූ
තද තෙද අනඟ දරනා යසස විසිතුරූ
රද සූනියම් සැරදේ සැපෙහි සුරවිරූ

ගම්වෙත නියම් හට ගොස්‌ දෙවොල නදගර
සම්පත පමුණුවන සිදුවනට හැමවර
තුම් සත දරන සුරිඳුනි ඔබගෙ පැහැසර
මම බැති බරින් වඳිනෙමි ඔබගෙ පා තඹර

පමා නොවම සුදනන්හට කරන සෙත
අමා දිව වඳින මුව කමල සුරි මුත
සැමා දොවොල් සුරකින සුරිඳුන අණ යුත
කමා කළ මැනවි අප අත වරද ඇත

රජ යක්‌සෙන් පදවි හා දෙව් ආත්මය දෙපසෙහිම රඳනා
තේජවන් අණ මහත් යස තොස අතින් දුමලොසුකුමත් රඳනා
ශීර්ෂයේ පන්සිළුව වුව නා බඳෙහි ඉන සැදි නා රූ සොබනා
නීලවාජියාන වඩිනා සූනියම් සුර සැරද යනෙනා

සිද්ධ සූනිsයම් ගම්භාර දේවතාවුන් වහන්සේට පහන් තැබීමෙන් සිදුවන සෙත

* නිවසට ආරක්‌ෂකයකු ලෙස උපද්‍රව තුළින් ආරක්‍ෂා වීම

* අණවින කොඩිවින වැළැක්‌වීම

* සොර සතුරන්ගෙන් නිවස හා භාණ්‌ඩ සුරැකීම

* නොඅඩුව ජනයාගෙන් ගෞරවයට පාත්‍රවීම

* ව්‍යාපාර රැකියා දියුණුව, දරුවන්ගේ අධ්‍යාපන දියුණුව ඇතිවීම

* ගෙදර දෝෂ නැතිවී සමගිය ඇතිවීම

* කිසිවකුට රැවටිය නොහැකිවීම

* ගොවිතැන් සරුසාර වීම

* විසකුරු සතුන්ගෙන් නිවස ආරක්‌ෂා වීම

* මළගිය භූත ආත්මවල සිටින ඥතීන් වත්තෙන්, නිවසින් පිටවී යැම

* බහිරව දෝෂ අඩුවී යැම.

කතරගම සිද්ධ සූනියම් දේවාලයේ 
තේවාභාර කපු ධුරන්ධර කේ. ඩී. දේවප්‍රිය
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment