Saturday, August 20, 2016

සොරුන්ට මර බිය ගෙන එන මහ කැබිලිත්තේ දිවුරුම් ගල...(kabilithha katharagama) අබිරහස් අඩවිය - Abirahas Adawiya


කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ.

වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර දේවාල රාජකාරි කටයුතු වලින් ඉවත්වි සිය නිවෙසට පැමිණියේය. ඒ තමන්ගේ වසයද සැලකිල්ලට ගනිමිනි. නමුත් නිවෙසේ සිටන විට ඔහුට නිතරම කතරගම වැඩහිටිකන්දට යළි යන්නට පෙළඹවන සිදුවීම් කිහිපයක් ගැන ඔහු හෙළිදරව් කළේය.

‘‘මම කතරගම දේවාලේ වැඩ කටයුතු වලින් ඈත්වෙලා විවේක සුවයෙන් ඉන්න කියලා හිතාගෙන මීට අවුරුදු ගාණකට පෙර ගමට ආවා. ඒ වුණාට මට රැට නින්දෙන් සර්පයෙක් ඇඟේ කොහේ හරි දෂ්ට කරනවා දැනිලා ඇහැරෙනවා. මම හැමදාම නොවරදවාම කතරගම, සමන්, විශ්ණු කියන දෙවිවරුන්ට පහන් තියනවා. මට මේ තත්ත්වය කිහිප අවස්ථාවකම වුණා. මා හිතුවා ආයෙත් වැඩහිටිකන්දට ගිහිං දේවාලයේ රාජකාරී කරන්න. මම ඒකට ගියා. ඊට පස්සේ මාව නින්දෙන් සර්පයෝ කෑවේ නෑ’’ රණසිංහ කපු මහතා කීවේය.

කතරගම දෙවියන් බෞද්ධ දෙවියකු බවත් ඔහු සෝවාන් ඵලයට පැමිණ දෙවැනි ආත්මය කතරගම දෙවියන් යැයි ජනප‍්‍රවාදයේ එන කරුණකි. එය සනාථ කරන කරුණක් රණසිංහ මහතා ද හෙළි කළේය.
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ කපුමහතා ලෙස කටයුතු කළ හින්දු භක්තිකයෙකුවු වී. සංගමේපිල්ලේ සාමිවරයා 1961 වර්ෂයේදී හින්දු ආගම අතහැර බුද්ධාගම වැළදගත්තේය. කතරගම වැඩහිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු රත්මලානේ සිද්ධාර්ථ හිමියන් හමුවේ බුදුදහම වැළදගත්තේ කතරගම දෙවියන්ගේ ඉල්ලීමකට බව එකල ප‍්‍රසිද්ධව ගිය බව රණසිංහ මහතා කීවේය.

1961 ජනවාරි 14 දින ‘‘දිනමිණ’’පුවත්පතේ ‘‘කතරගම දෙවිදුගේ අණ ඉටුකරන්නයි’’ යන සිරස්තලය යටතේ පළවි තිබුණි. සංගමේපිල්ලේ සාමි බුදුදහම වැළදගනු ලැබුවේ අසුවැනි වියේදීය.

වසර මතක නැති වුණත් වැඩහිටිකන්දේදී දුටු කතරගම දෙවියන්ගේ හාස්කමක් රණසිංහ කපු මහතා මෙසේ හෙළි කළේය.

‘‘වැඩහිටිකන්දේ කතරගම සහ ඊශ්වර කියන දේවාල දෙකේ පඩුරු පෙට්ටි දොළහක් තිබුණා. දේවාලේ වැඩ අවසන්කරලා මමත් නිදන්නට ගියා. රැ දොළහට විතර හාමුදුරුවෝ කතාකරලා කියනවා දේවාල දෙකේ පිං පෙට්ටි හයක් නෑ, දෙවියන්ට කන්නලව් කරලා කියන්න කියලා. මමත් ආයේ පේ වෙලා දේවාලෙට ගිහිං දෙවියන්ට කාරණය සැලකර හිටියා. පැයක්වත් ගියේ නෑ මෙන්න හොරු ඇවිත් කියන්න පටන්ගත්තා, ‘අපිතමයි පිං පෙට්ටි හොරකම් කළේ. අපට පඩි නොදුන් හින්දයි එහෙම කළේ. ආය කවදාවත් එහෙම වරදක් කරන්නේ නෑ කියලා’. පස්සේ බලනකොට වැඩහිටිකන්දේ කුලීවැඩ කරපු කිහිප දෙනෙක් පඩි දෙන්න ප‍්‍රමාදවුණා කියලා පිංපෙට්ටි හය උස්සං ගිහිං.’’
රණසිංහ කපු මහතා තවත් අත්දැකීමක් විස්තර කළේය.
‘‘කතරගම මහ දේවාලයට වගේම වැඩහිටිකන්ද කතරගම දේවාලයටත් විවිධ තරාතිරමේ අය දෙවියන්ට කන්නලව් කරන්න එනවා. ඒ එන අයගේ උවමනාවන් , බලාපොරොත්තු ඉටුකර දෙන්න කියලා අපි දෙවියන්ගෙන් යදිනවා. හැමදාම දේවාලයේ තේවා කටයුතු අවසන් කරන්නේ මම දෙවියන්ට පින්දීලා. සමහර වැදගත් මහත්තරු ආව දවසට මම එහෙම කන්නලව්කරන කොට මට ඇහෙනවා කවුරුහරි කියනවා ‘කරන්න ඕනෑ හැම වැරදි වැඩටික කරලා එනවා මගෙන් පිහිට ගන්න. මම කොහොමද මේ අයට පිහිට වෙන්නේ කියලා’.’’
‘‘මට තවමත් මතකයි 2004 අවුරුද්ද. ඒ අවුරුද්දේ ජනවාරි 21දා වත්මන් ජනාධිපතිතුමා වැඩහිටිකන්දට ආවා. එතකොට එතුමා අගමැති. දේවාලෙට පුජා වට්ටියක් තියලා රටට සාමය ඇතිකරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා. මම යාතිකා කරලා එතුමාගේ අදහස දෙවියන්ට සැලකළා. එදා රාත‍්‍රියේ පුජා කටයුතු අවසන් කරලා මම දෙවියන්ට පින්දීලා රටට සාමය සමාදානය ගෙනෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන කොට මට කවුද කියනවා ඇහුණා ‘මේ සැරේ සාමය නිකම් එන්නේ නෑ. විශාල ගාණක් මැරිලා, රට ලේවැගිරිමක් වෙලා තමා සාමය ලැබෙන්නේ කියලා. එදා 2005 යුද්ධය දිනපු වෙලාවෙ මට හිතුනා එදා මට මේ සිදුවීම කිව්වනේ කියලා.’’ රණසිංහ මහතා කීවේය.
කතරගම මහ දේවාල බිමට එන්නට පෙර ඕකන්දේ සිට කතරගමට එන මාර්ගයේ සහ ඒ අවට කැලෑ ආශ‍්‍රිතව සිදුවු අපූරු සිදුවීම් ගැන කතා කළෙමු. එවැනි හාස්කම් සම්බන්‍ධයෙන් කතාකළහැකි සිදුවීම් බොහෝය. ඇතැම් ස්ථාන සම්බන්‍ධව කතා කිරීමේදී සමහරු එවැනි තැන්වලට යන්නට උත්සාහ කරන බවද පෙනෙන්නට තිබේ. නමුත් කතරගම මහ දේවාලයට පැමිණ දෙවියන්ට පුදපුජා තැබීමට දැන් බැතිමතුන්ට කරදරයකින් තොරව හැකියාව ඇතිබව අවධාරණය කරමි.
කතරගම දෙවියන් ගැන කතා කරද්දී ‘‘කැබිලිත්ත’’ දේවාලය හෙවත් ‘‘මහ කැබිලිත්ත’’නැතහොත් ‘‘උඩහ කැබිලිත්ත’’ දේවාලය ගැන වරින් වර සදහන් කළෙමි. ඕකන්‍ද සිට කතරගම බලා එන පාදයාත‍්‍රා ගමන් මගෙන් හැතැක්ම විස්සක් පමණ රට මැද්දට වන්නට මෙම දේවාලය පිහිටා තිබේ. මෙම ස්ථානයේ කතරගම දෙවියන් වැඩවාසය කරතියි බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී.
සැබැවින්ම මෙතැන දේවාලයක් නැත. මහා සියඹලා රුප්පාවක් සහ කුඩා සියඹලා පැළයක් පිහිටා තිබේ. වටේ පිටේ ඉතා පිරිසිදුකර ඇති අතර කුඩා සියඹලා පැළය ආසන්නව කුඩාවට ලෝහයෙන් කළ පහන්ගෙයක් වැනි ස්ථානයක් තිබේ. කණුවක රතු සහ සුදු රෙදි කැබලි වලින් බැදි පඩුරු ගැටගැසූ ගසක්ද තිබේ. මෙතැන ආවතේව කරන්න කිසිවෙකුත් නැත. අවට අපිරිසිදු නොකරන්නට එන බැතිමත්හු වග බලා ගනිති.

මෙම ස්ථානය ‘‘සියඹලා රුප්පාව’’ ලෙස පැරැණ්නන් හදුන්වති. ආදි ‘‘කුමණ’’ ගමේ වැසියන් මෙහි එන්නේ බොහෝ සේ පේවී බව එම ගමේ විසු දැනට වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී.ගුණපාල මහතා කීවේය.
‘‘මේ මහසියඹලාව වදින්න ගෑනු අය එන්නේ නෑ. පිරිමි අයත් මස්මාළු නොකා සතියක්විතර පේ වෙලා තමයි එන්නේ. දුර ඈත ප‍්‍රදේශවලින් පානම, ඕකන්‍ද හරහා එන අය වාහනවලින් ඇවිත් ගල්අමුණ ඉදලා පයින් එන්නේ. ආපහු යන දවස ගැන ස්ථිරයක් නෑ. අහවල් වෙලාවට ඉස්සර යන්න ඕනැ කියලා කට වරද්දාගන්නේ නෑ. පුජාවට ඕනැකරන අඩුමකුඩුම කර තියාගෙන වන මෘගයන් ඉන්න මහ කැලෑවෙන් එනව. පිරිසුදුවෙලා හොද චේතනාවෙන් ආවොත් කරදර හිරිහැරනෑ.’’‘‘දවසක් එහෙම ආපු කණ්ඩායමකට ලොකු අකරතැබ්බයක්වු බව අපේ ගමේ හිටිය වැඩිහිටියන් කියලා තියනවා. හට්ටි මුට්ටි ඇතුලූ අඩුම කුඩුම කර තියාගෙන පිරිසක් ගල් අමුණේ ඉදලා පයින් ‘‘මහකැබිලිත්ත’’ බලා ගිහිං තියනවා. අතරමගදී මේ අය කුලූහරක් රංචුවකට මැදිවෙලා. ගිය අය ජිවිත බේරාගත්තත් අරගෙනගිය හට්ටිමුට්ටි, ඇතුලූ සියලූ ද්‍රව්‍ය කළුහරක් විනාශකරලා. පස්සේ හොයලා බලන කොට ඒඅය අතරින් එක්කෙන් ඉදලා තියනවා අපිරිසුදුව. ඒ අය දේවාල ගමන නවත්වලා ආපසු ඇවිත් තියනවා.’’

‘‘මහකැබිල්ත්තේ’’ යාතිකා කරන්නට ස්ථිර වශයෙන් නැවතීමට හිතාගෙන ආ තැනැත්තකුට වු අකරතැබ්බක් ගුණසිංහ මහතා හෙළි කළේ මෙසේය.
‘‘මේ සිදුවීම හැට ගණන්වල වුණේ. එතකොට මේවා මහ මුකලන්. මෙතන ‘‘මහසියඹලාව’’ ළග කවුද කෙනෙක් ඇවිත් ගෙයක් එහෙම හදාගෙන දෙවියන්ට යාතිකා කරන්න, පූජා සදහා එන අයට උදව්වෙන්න සූදානම්වෙලා. ටිකදවසක් ඉදලා. එකදවසක් එයා ළග තියන කුඹුකන්ඔයට නාන්න ගිහිං තියනවා. නාලා එන කොට දළ ඇතෙක් ඇවිත් අර හදපු ගේ කඩාදාලා, එක කණුවක් විතර ඉතුරු කරලා. මනුස්සයාට කරදරයක් කරලා නෑ. එදාම මිනිහා මහ සියඹලාවෙන් යන්න ගිහිං.’’
‘‘මෙතන ගෙඟන් එගොඩ මෙගොඩ බෝධින් දෙනමක් වැඩ ඉන්නවා. යන එන අපි බෝධි වන්දනා කරලා පන්සිල් අරන් දෙවියන්ට පින්දෙනවා. යාල කලාප අංක තුනේ මේ සියඹලා රුප්පාව තියෙන්නේ. මෙතන කාලි මැණියෝ වැඩ ඉන්න බවටත් විශ්වාස තියනවා. මේ අසල දිවුරුම්ගල කියලා එකක් තියනවා. ඒ කාලේ වැරදි කරපු අය මේ ගලේ දිව්රන්න බය නැති වුණොත් වරදකරුවෙක් විදියට සලකන්නේ නෑ. වැරදි කරපු අය බොරුවට දිව්රුවොත් දඩුවම් ලැබෙනවා කියලා විශ්වාසයක් තියනවා. ඒනිසා කවුරුත් යමක් හොරකම් කරලා තිබිලා සැකකරන කෙනා ළගට ගිහින් දිවුරුම් ගලට ගිහිං දිවුරන්න කිව්වොත් ඒක නොකර හොරකම් කළ දෙය ආපසු දෙනවා. හොරු දිවුරුම්ගලට ඒතරමට බයයි’’. ගුණසිංහ මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ වනගත ප‍්‍රදේශවල කර ඇතැම් ගොවිතැන් කටයුතු වලදී ‘‘කිලි’’වලට අසුනොවී කටයුතු කිරිමට වගබලා ගැනීම පැරැුණියන්ගේ සිරිතක්ව තිබුණ බව පැහැදිලි වෙයි. වන මෘගයන් වෙසෙන ඝන කැලෑවේ කළ වගා කතරගම දෙවියන් විසින් ආරක්‍ෂා කරදෙන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.
අතීත ‘‘කුමණ’’ ගම්මානයේ වැසියන් සියවගාබිම් ආරක්‍ෂා කළේ දෙවියන්ට බාර කිරීමෙනි. කුඹුරු අස්වද්දන සමයේ අස්වනු නෙළනතෙක් කාන්තාවක් කුඹුරට නොයන්නීය. ගොවියාද කුඹුරට යන්නේ නම් මස්මාළු ආහාරයට නොගැනීමට වග බලා ගනි. දෙවියන්ගේ පිහිටෙන් වගාවට වනසතුන්ගෙන් හෝ කෘමි සතුන්ගෙන් හානියක් නොවී අස්වැන්න නෙළා ගැනිමට හැකියාවක් ලැබුණු බව පැරැණ්නෝ කියති.
අද ‘‘කුමණ’’ ජාතික වනොද්‍යානයට අයත්ව තිබෙන ප‍්‍රදේශයේ බෞද්ධ නටබුන් රාශියක් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු සේවකයෙක් වන බි. ගුණසිංහ මහතා පෙන්වා දෙයි. ඒ තුළ පිහිටි දිවුලානේගොඩ පන්සල නම් ස්ථානයේ තිබු අඩි හයක් උස හිටිබුදු පිළිම වහන්සේ නමක් නිධන් ගැනීමේ අරමුණින් පොඩිකර වනසා තිබේ. ඒ අපරාධය කළ අය හෝ ඔවුන්ගේ පවුල්වල අය අද ජිවතුන් අතර නැති බවත් කිසියම් ආකාරයක අපරාධයකට ලක්ව පවුල් පිටින් ඒ අය සමුල ඝාතනය වු බවත් ගුණසිංහ මහතා කියයි.
‘‘දෙවියන්ට බුදුන්ට හානි කරලා මේ දේව අඩවියේ ඉන්න හම්බවෙන්නේ නෑ. කොයි වෙලාවකහරි ඒවා මෙලොවදීම පටිසන් දෙනවා.’’ රණසිංහ මහතා කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය. .........

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කතරගමදී දුටු හාස්කම්...(katharagama haskam)...අබිරහස් අඩවිය - Abirahas Adawiya


මගේ පියා කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා භක්තියකින් සිටි අයෙකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමියකු වූ ඔහු දැනට ජීවතුන් අතර නැත. නමින් මුනිදාස අභයවික‍්‍රමය. 1950 පමණ සමහර අවුරුදුවල පුර පසළොස්වක පෝය දොළහම කතරගම කිරිවෙහෙර ඉදිරිපිට සිය හිතවතුන් සමග අටසිල් සමාදන් වී දවසම එහි ගත කිරීම ඔහු නොකඩවා කරගෙන ගියේය.
ඒ පිරිස අතර එවකට හිටපු ඇමැතිවරයකු වූ හබරාදූව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.එස්. ගුණසේකර, ගාල්ලේ උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යක්ෂ පී.පී. ආටිගල, ගාල්ලේ දිස්ත‍්‍රික් උසාවියේ තෝල්ක මුදලි එස්.එස්. සිල්වා, වරල්ලේ යාප්ලන්ඞ් වතුයාය අයිති එම්.ඞී. යාපා, කොළඹ කොල්ලූපිටියේ දෘෂ්ටි පරීක්‍ෂක ඇල්බට් එදිරිසිංහ (පසු කලෙක ගණේගම දේවමිත්ත නමින් පැවිදි විය) යන මහත්වරු ද වූහ. මා දන්නා තරමින් මේ පිරිස අතරින් දැනට ජීවත්ව සිටින්නේ ගණේගම දේවමිත්ත ස්වාමීන් වහන්සේ පමණක් විය හැකිය. උන්වහන්සේත් ඉතා වයෝවෘද්ධ වියේ විය යුතුයි.

මගේ පියාගේ මූලිකත්වයෙන් ගාල්ලේ බෝසත් ආය ර්‍්‍ය ශීල සමාජය නමින් සංවිධානයක් පිහිටුවාගත් මේ පිරිසට ගණේගම සරණංකර, නෙළුවේ ගුණානන්ද, හීනටියන ධම්මාලෝක නා හිමිවරු ද සහයෝගය දුන්හ. එවකට මගේ වයස අවුරුදු දහයක් පමණ විය. මම ද පියා සමග මේ සිල් පිරිසට එකතුවීමි. මට මතක හැටියට කිරිවෙහෙර නායක හිමියන් වූයේ පොලොම්මාරුවේ රේවත ස්වාමීන් වහන්සේය. කතරගම අභිනවාරාමාධිපති වූයේ ආයුපාල නාහිමියෝය. කිරිවෙහෙර ගරා වැටී වල් බිහිවී තිබුණි. බොහෝ වන්දනාකරුවෝ දේවාලයට ගොස් පුද පූජා පවත්වා නැවත ගමන් ආරම්භ කරති. කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යාමක් නොවීය.

දේවාලයේ සිට කිරිවෙහෙරට වූයේ අඩි පාරකි. ඒ දෙපස පොල්පලා කඩ කීපයක් විය. දේවාලයට නුදුරින් කිරිවෙහෙර පැත්තට වෙන්නට නාහිමියන්ගේ ආවාස ගෙය විය.
එය සිංහල උළු සෙවිලි කළ පහසුකම් ඉතා අඩු ආවාසයකි. නළ ජලය හෝ විදුලිය පහසුකම් නොවීය. සිල්ගත් පිරිස රාත‍්‍රිය ගත කෙළේ එහි ආලින්දයේය. රාත‍්‍රී කාලයේ මිදුලේ ඇවිදීමක් නොවූයේ කිරිවෙහෙර අසලට වල් අලින් රංචු පිටින් පැමිණෙන නිසාය. දේවාලය ඉදිරිපිට වූයේ පොල් අතු සෙවිලි කළ කඩ පෙළකි. එවකට තිබූ එකම විශ‍්‍රාම ශාලාව දැනට කෞතුකාගාරය වශයෙන් ඇති රාම ක‍්‍රිෂ්ණ මිෂන් නමින් හැඳින්වූ විශ‍්‍රාම ශාලාවකි.

ගෙඟන් එගොඩවීමට තිබුණේ ලෑලිවලින් සාදන ලද එල්ලෙන පාලමකි. කීප දෙනෙක් වේගයෙන් ගමන් කළොත් එය දෙපැත්තට පැද්දෙන්නේ උංචිල්ලාවක් ලෙසිනි. ගෙඟන් එගොඩ වී දේවාලයට යාමට ප‍්‍රථම හැම දෙනාම හිසේ දෙහි ගා මැණික් ගෙඟන් දිය නා ගෙන සුදු රෙදිවලින් සැරසී යාම සිරිතක් වශයෙන් කෙරිණ.

කිරිවෙහෙර වල් බිහි වී තිබුණත් දේවාලයේ පෙරහර පුද සිරිත් අවුරුදු පතා නොපිරිහෙලා ඉටු කෙරිණි. විදුලි බලය නොතිබුණ නිසා විදුලි බල උත්පාදන යාන්ත‍්‍රයකින් පෙරහර කාලයට විදුලිය සැපයීය. එය ඉතා පුදුම සහගත සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව මැණික් ගෙඟ් වතුර මට්ටම පැවතියේ ඉතා ඉහළ මට්ටමකය.
මට මතක හැටියට පානදුර මෝටර් රථ සමාගම අයිතිව සිටි ලියෝ ප‍්‍රනාන්දු මහතා තමාට අයත් ලොරියක විදුලි උත්පාදක යන්ත‍්‍රයක් සවිකර තිබුණි. පෙරහර කාලයට සතියකට පමණ කලින් ලියෝ ප‍්‍රනාන්දු මහතා කතරගම දේවාලයට අවුත් පුද පූජා පවත්වා විදුලි උත්පාදක යන්ත‍්‍රය සහිත ලොරිය ගඟ මැදින් දේවාලය පැත්තට ගැනීම සඳහා ගෙඟ් වතුර මට්ටම අඩු කර දෙන ලෙස කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටි විට දින කීපයකින් වතුර මට්ටම පහත බසී. එවිට ලොරිය දේවාලය අසලට ගඟ මැදින් ගෙන එයි. මෙය අවුරුදු පතා සිදුවූ අප දන්නා හාස්කමකි.
එවකට රාත‍්‍රී 10.00ට දේවාලයේ ගේට්ටුව වැසූවිට කිරිවෙහෙරට යා හැකිවූයේ රාම ක‍්‍රිෂ්ණා මිෂම ළඟින්වූ අඩි පාරකිනි. දැන්නම් මේ පාරවල් විශාල ලෙස තනා වාහන ධාවනය කිරීමේ පහසුකම් ද ඇත. ඒ කාලයේ දිනක් මගේ පියා තනිවම කිරි වෙහෙර වන්දනා කර අවසන් වන විට රෑ බෝ වී තිබේ. පසුව කළුවරේම ඉහත කී අඩිපාර දිගේ රාම ක‍්‍රිෂ්ණ මිෂම පැත්තට එන විට කැලේ අතරමංවී ඇත. වල් අලි ගස් අතු පොඩි කරන ශබ්දය ද ඇසෙන්නට වූයෙන් ලොකු ගසක් ළඟට ගොස් පාර සොයා දෙන ලෙසට කතරගම දෙවියන්ට කන්නලව් කොට තිබේ. ඒ සමගම ලන්තෑරුමක් අතින් ගත් සුදු රෙදි ඇඳගත් අයෙක් පියා ළඟට අවුත් රාත‍්‍රී කාලයේ මෙහි කුමක් කරන්නේදැයි විමසා ඇත.
සිදුවූ දෙය කී පසු මේ පුද්ගලයා තමා පසු පස එන ලෙස පියාට පවසා රාම ක‍්‍රිෂ්ණ මිෂම පෙනෙන තෙක් මානයට අවුත් අතුරුදන් වී තිබේ.තවත් දිනෙක කතරගම දෙවියන් කෙරෙහි එතරම් විශ්වාස නොකළ මගේ ඥාති සහෝදරයකුට කතරගම දෙවියන්ගේ හාස්කම් පෙන්වීමේ අදහසින් ඔහුත් සමග කතරගම ගියා. මම ද ඒ පිරිසට එකතු වීමි. එකල කතරගම යන හැම කෙනකුම ආහාර ගත්තේත් පූජා වට්ටි පිළියෙළ කර ගත්තේත් දේවාලය ඉදිරිපිට වූ කඩවලිනි. නව නගරයේ අද වීරසිරි හෝටලය නමින් හැඳින්වෙන හෝටලය එදා ඉතා කුඩාවට තිබුණේ ද මෙතැනය. එවකට එහි අයිතිකරුවන් වූ වීරකෝන් මහතා හෝ වෙද මහතා දැන් ජීවතුන් අතර නැතුව ඇත. මගේ පියා නිතර කතරගම පැමිණි නිසාත් ඔහු තුළ තිබූ දේව භක්තිය නිසාත් මේ කඩ අයිතිකරුවෝ ඉතා හිතවත් වූහ.
ඒ දිනවල දැඩි නියඟයක් හටගෙන මැණික් ගෙඟ් ජල මට්ටම පහත බැස ගොවිතැන් පාළුවී දැඩි රශ්නයකින් යුක්ත විය. කඩ අයිතිකරුවෝ මගේ පියා සමග නියඟය නිසා ඇතිවූ සිය දුක් ගැනවිලි කියන්නට වූහ. හාස්කම් පෙන්වන්නට ඕනෑ. අද රෑට වැස්ස ලබා දෙන්න, දෙවි හාමුදුරුවන්ට කියමු යනුවෙන් පැවසූ පියා අප සමග කිරිවෙහෙර ළඟට ගොස් බුදුන් වැඳ තෙල් මල් පූජා කොට පිරිත් කියා දේවාලය ඉදිරිපිටට පැමිණුනි. ඉන්පසු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරවා පිරිත් කියමින් දේවාලය වටේ පැය බාගයක් පමණ ගමන් කළෙමු. එක වරම මුළු පළාතම දෙවනත් කරමින් අකුණක් පුපුරා ගියේය. ඒ සමගම ධාරානිපාත වැස්සක් පටන් ගෙන පැය දෙකක් පමණ එය පැවතිනි. මේ සිදුවීම් වීරසිරි හෝටලයේ අයිතිකරුවන් දන්නා නමුත් ඒ අය ජීවතුන් අතර නැතුව ඇති.
මෙයට අඩ සිය වසරකට පෙර තිස්සමහාරාමයේ සිට කතරගම ගියේ බර කරත්තවලිනි. තාර දැමූ පාරක් නොවීය. මග දෙපස දවල් කාලයේ පවා අලි දක්නට ලැබුණි. වන්දනාකරුවෝ කතරගම දෙවියන් කෙරෙහි අසීමිත භක්තියකින් යුක්ත වූහ.
උපාලි අභයවික‍්‍රම

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, August 19, 2016

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල...(gatabaru maha dewalaya)....අබිරහස් අඩවිය - Abirahas Adawiya


මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.

මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී.

කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වේ.

කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැනක්’ ලෙස ද ප‍්‍රකටය.

දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කරුට දැකගත හැකි වූයේ ගල් ලෙනෙහි සිටින දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමයි.
එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය අපරිමිතය.
80 දශකයේ දී අභාවප‍්‍රාප්ත වූ මාතර දිස්ත‍්‍රික් අමාත්‍ය කීර්ති අබේවික‍්‍රම මහතා ද සුවිශේෂී මෙහෙවරක් මේ පූජා භූමියේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කර තිබේ. ඉන් පසු වර්තමානයේ ගැටබරු රජ මහ විහාරස්ථ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක නිරතව සිටින්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතායි. ඔහු ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.
මේ පූජා භූමියේ යටිතල පහසුකම් දියුණු කිරීම, පෙරහරේ සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා අනන්‍යතාව ප‍්‍රවර්ධනය කිරීම හා ගැටබරු පූජෝත්සවය සඳහා රුපියල් දෙකෝටියක ස්ථාවර අරමුදලක් ඇති කිරීම කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ මූලික ඉලක්කය වී තිබේ. ඔහු ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගනිමින් දැනටමත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.
ඓතිහාසික ගැටබරු රජ මහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි මංගල්‍යය අද (15) සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වේ. පළමු පේළි පෙරහර අද (15) සවස 2.00ට හිගුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ.
දෙවැනි පේළි පෙරහර හෙට (16* සවස 2.00 වරල්ල උත්තරගිරි විහාරයෙන් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා ද තෙවැනි පේළි පෙරහර අනිද්දා (17) සවස 2.00 කොස්මෝදර සුබෝධාx රාමයෙන් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා ද වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී හිගුරුපනාගල තේ සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.
දෙවැනි රන්දෝලි මහා පෙරහර ලබන 19 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී ගල්දොල මංසන්ධිය දක්වා ගොස් නැවතත් ගැටබරුව වෙත ගෙවදීමට නියමිතය. අලි ඇතුන් සහිතව උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර මංගල්‍යය අලංකාර වෙයි. එහි බස්නායක නිලමේවරයා ලෙස කිංස්ලි ලියනගේ මහතා කටයුතු කරයි.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චි ආඥාපති ආරක්ෂක මූලස්ථානය ඉදි කළ සම්බුද්ධ චරිතය රැගත් ඇසළ මහා තොරණ ද පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය පුරාවට ප‍්‍රදර්ශනය කෙරේ.මෙවර උත්සවයේ දේව තොවිලය ලබන 20 හා 21 යන දෙදින උඩමළුවේදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දින අලූයම ගිනි පෑගීමට ද නියමිතය. එදින දහවල් පැවැත්වෙන මහා දේව දානයෙන් අනතුරුව මෙවර ගැටබරු ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ.
විශේෂයෙන්ම බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මොරවක් කෝරළයට පැමිණීමට නියමිතව ඇත.
ගැටබරු කන්දේ පඩි එකින් එක උඩට නැග යාම තරමක් දුෂ්කර බව බැලූ බැල්මට පෙනෙන්නට විය. මම ඒ පිළිබඳව ඒ අසල සිටි ගම්වාසියකුගෙන් විමසුවෙමි. එවිට ඔහු කීවේ ‘‘මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. ඔබතුමා බය නැතිව උඩට යන්න. කකුල් දෙක රිදෙන්නේ නැහැ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තියෙන් උඩට යන්න පුළුවන්’’ කියාය.
ඒ අනුව මා දේව භක්තිය මුල් කරගෙන මිතුරකු සමඟ ගැටබරු කන්ද උඩට නගිමින් සිටියේය. මා සමඟ ගිය මිතුරා අවට කැළෑවේ වෙන දේවල්, නිධන් වස්තු ගැන කට මැත දොඩවමින් කියන විට සංඝාවාසය වැඩ හිඳිනා මාලිගය, රජ්ජුරු බණ්ඩාර දේවාලය, විෂ්ණු කතරගම දේවාල හා චෛත්‍ය වැඳ පුදාගෙන අප නැවතත් පහළට බැස්සේය.
ගැටබරු දේවාල භූමියේ පඩිපෙළේ පහළටම එන විට මා සමඟ කට මැත දොඩවමින් ගිය මිතුරාගේ කකුල පෙරළී ආබාධිත තත්ත්වයට පත් විය. අවසානයේ ඔහුගේ උරහිසින් අල්ලා නිවස වෙත එක්කරගෙන යාමට සිදු විය. එම අවස්ථාවේදී මෙම දේව අඩවියේ බලය කොපමණ දැයි මනාව පැහැදිලි විය.
ඉන් පසු දින වන විට මාගේ කකුල් දෙක ද රිදෙන්න ඉඩ ඇතැයි සිතුවත් එය එසේ නොවීය. සුළු හෝ රිදීමක් ඇති නොවීය. එහෙත් වෙනත් කන්දක් උස් ස්ථානයකට ඒ ආකාරයට ගියේ නම් පහුවදා වන විට කකුල් දෙකට යම් වේදනාවක් ඇති වේ. එහිදී කිසිදු වේදනාවක් ඇති නොවීමෙන්ද පෙනී ගියේ ගැටබරු දෙවියන්ගේ භක්තිය කොපමණ ද කියාය.
ඒ ආකාරයට මුළු මහත් මොරවක් කෝරළය පුරා බලය තේජස විහිදුවන ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තිය මෙපමණයි කියා විස්තර කළ නොහැකිය. ඒ තරමටම දෙවියන් බලගතුය. හොඳට හිටියොත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් ආශිර්වාද කරන අතර නරකට හිටියොත් දඬුවමක් මිස සමාවක් ලබා නොදෙයි. ඒ ගැටබරු දෙවියන් යුක්තිය ඉටු කරන අයුරු ය.
(විශේෂ ස්තූතිය - ගැටබරු ඇසළ උත්සව සංවිධායක කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ මහතාට.) සටහන මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ගුප්ත විද්‍යාවේ අෂ්ට කර්මය ...(guptha vidyawa ashta karmaya gurukam bali thowil manthra).අබිරහස් අඩවිය - Abirahas Adawiya .

ගුප්ත යනු සැඟවුණු රහස් යන තේරුමයි. විද්‍යාව නම් ශිල්පයයි. මේ සැඟවී ඇති රහස් ශිල්පය කවදා කවර කලෙක ආරම්භ වීදැයි නොදනිමු. ඍෂීන් වහන්සේ 9 දෙනකුගෙන් සකස් වූ ශාස්ත්‍රයක් වූ මෙසේ විවිධ ක්‍ෂේත්‍රයන්ට බෙදී වෙන්වී තිබේ. යන්ත්‍ර, මන්ත්‍ර, වෙද හෙදකම්, කෙම් ක්‍රම, බලි තොවිල්, ශාන්තිකර්ම මේ සියල්ලටම ගුප්ත වූ සැ¼ගවුණු රහස් ක්‍රමවේදයක් පවතී. බොහෝ අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ ශාස්ත්‍රය දිවි හිමියෙන් ආරක්‍ෂා කළේය. යකුන් භූතයන්ගේ පමණක් නොව වනේ වසන වන සතුන්ගෙන්වත් කිසිදු විපතක් ඇති නොවන පරිදි කටයුතු කළෝය. ප්‍රබල අක්‍ෂර සංයෝගයක් එක්කර සැදුම්ලත් මන්ත්‍ර විද්‍යාව කවරකුට හෝ වේවා ආවාට ගියාට කළ හැකි නොවේ.
අතීතයේ පුස්කොළ පොත්වල, රන්පත් ඉරුවල ලියා තිබූ බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති විධි නිදන් කිරීමෙන් හා විවිධ කරුණු මත විනාශ වී යෑමෙන් අද වන විට නිවැරැදි යන්ත්‍ර මන්ත්‍ර සොයා ගැනීමට පවා අසීරු වී ඇත. ඇතැම් යන්ත්‍ර මන්ත්‍රයන්හි "අද්දුටුවයි, සත්තයි, වට නොදෙනු" යනුවෙන් මෙලෙසින් ලියා ඇත්තේ කිසිවකුටත් අන්සතු නොවන පරිදි ආරක්‍ෂා කර ගැනීමට විය හැකිය. පැරැණි ජන සමාජයේ ඇදුරන්, වෙදැදුරන්, දේවත්වයෙන් සලකන ලද මේ අයද වර්ග කරමින් ඇදුරන්, බලි ඇදුරන්, යකැදුරන් වශයෙන් හැඳින්වූ අතර ඇදුරන් ශාන්තිකර්ම කටයුතුවලද බලි ඇදුරන් බලි තොවිල් ගම්මඩු ශාන්තිකර්මවලද, යකැදුරන් යකුන්, භූතයන් මෙල්ල කරමින් දරුණු ක්‍රියාවන්ට සම්බන්ධ වෙමින් කටයුතු කළ පිරිසක් වෙයි.

ගැමි ජනයා වෙදරාල, කට්ට¾ඩි මහත්තයා යනාදී නම්වලින් ආමන්ත්‍රණය කළේ බොහෝ ගෞරවයකිනි. මේ ගුප්ත විද්‍යාවෙන් විවිධ දස්කම් පෑ "බරණ ගණිතයන්, තොටගමුවේ රාහුල හිමියන්, කොණ්ඩදෙණියේ හිමියන්" වැනි ගිහි පැවිදි විශාල පිරිස් අදත් ජන හදවත් තුළ රැඳී ඇත්තේ ගුප්ත විද්‍යාවේ මහිමය ලොවට කියාපාන්නටය. සාමාන්‍ය රෝගියෙක් සුවපත් කිරීමේ සිට යකුන්, භූතයන් අල්ලා වැඩ ගැනීම දක්වා විහිදී ගිය ගුප්ත විද්‍යාවේ ශක්තිය අද වන විට ගිලිහෙමින් පවත්වන්නේ මෙහි ඇති මූලධර්මයන්ගෙන් බැහැරව කටයුතු කිරීමට යෑමෙන්. මේ ගුප්ත විද්‍යාවේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇත. කිසි විටෙක එක් අයකුට මේ දෙකම සම සමව කළ හැකි නොවේ. මෛත්‍රියෙන් කරන ශාන්තිකර්මයන්, ද්වේශයෙන් කරන දරුණු ක්‍රියාත් එකට එක්ව කළ හැකි නොවේ. සෙත් කවි හා වස් කවි එකට රචනා කළ නොහැක්කාක් මෙන් ගුප්ත විද්‍යාවද පටලවාගෙන කළ හැකි නොවේ. යන්ත්‍ර, මන්ත්‍ර කරන ඇදුරුතුමා කායිකව, මානසිකව, වාචසිකව, ඉතා පවිත්‍ර විය යුතුයි. එසේම අෂ්ට කර්මය හොඳින් හඳුනාගත යුතුයි. එනම්,

1. වශීකර්ම
2. ආකර්ෂණ
3. මෝහන
4. ස්ථම්භන
5. ශාන්ති
6. විද්වේෂණ
7. උච්චාටන
8. මාරණ යන කරුණු අට අවබෝධ කරගැනීම ඉතාම වැදගත් වෙයි.
මේ ශාන්තිකර්ම හෙවත් ගුප්ත විද්‍යා කටයුතුවලදී බොහෝ විට නොපෙනෙන දේව, භූත බලවේග සමඟ කටයුතු කරන්නට සිදුවෙයි. මේ නිසා ඒ හා බැඳුණු ආචාර ධර්ම පද්ධතියක් ඇත. ඒවා අවබෝධ කරගෙන කටයුතු කිරීම අනතුරු අවම කර ගැනීමට මෙන්ම පිහිට පතන්නාගේ යහපතම ඉෂ්ට සිද්ධ පිණිස හේතු වනු ඇත. අතීතයේ ගොවිතැන් කරන විට රිට්ඨා දින, පෝය දින, රාහු කාලය මේ සියලු පංචාංගයන් අවබෝධ කරගෙන ගොවිතැනින් නිසි පල ලැබුවා සේ ගුප්ත විද්‍යාධරයෝ ගුප්ත ශාස්ත්‍රය හෙවත් භූත විද්‍යාව නිසි අවබෝධයකින් කටයුතු කර උසස් ප්‍රතිඵල ලද්දෝය. එබැවින් ඔබත් හෙට දිනයේ ගුප්ත විද්‍යාවෙන් නිසි පල ලබන්න නිවැරැදිව අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙසේ කළයුතු වෙයි. මුලින් දැක්වූ අෂ්ටකර්මය හඳුනා ගනිමු.

1. වශී කර්ම
සිත දිනා ගැනීමේ කටයුතු ඉටු කිරීම, නඩුහබ දිනීම.
2. ආකර්ෂණ කර්මයට
පැනගිය අය ගෙන්වීම, යන්ත්‍ර මන්ත්‍රවලට දිෂ්ටි කිරීම, වෙළහෙළෙ¼දාම් වැඩිදියුණු කිරීම. සර්වජන වශීකර්ම.
3. මෝහනයට
රැවැටීම, මුළා කිරීම, ඇස්බැන්දුම් ආදිය.

4. ස්ථම්භන කර්මය
බන්ධන ක්‍රියා, තදකිරීම, සතුන්ගේ මුඛ බන්ධනය, බෙර රබන් පැළීම, වෙඩි නොවැදීමට.
5. ශාන්තිකර්මය
ඇස්වහ කටවහ දෝෂ දුරු කරලීම, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්තිකර්ම, දෙහි කැපීම, භූත උවදුරු දුරු කිරීම, බලි තොවිල් කටයුතු.
6. විද්වේෂණ කර්ම
ඔවුනොවුන් වෙන් කිරීම, භේදභින්න කිරීම ඇතුළු ඡේදන කටයුතු මෙයට අයත් වෙයි.
7. උච්චාඨන කර්ම
ගෙවල් ‍ෙදාරවල්, වතුපිටි ආරක්‍ෂාව, වනසතුන් පලවා හැරීම වින‍ෙදාස් කැපීම මෙයට අයත් වෙයි.
8. මාරණ කර්මය
අනවින කොඩිවින කිරීම හා පුද්ගලයන් විනාශයට හේතුවන පාප ක්‍රියාවන්.
දැන් ඔබ දන්නවා අෂ්ටකර්ම මොනවද ඒවා කරන්නේ කුමන කරුණක් උදෙසාද යන්න ගැන. මේ අනුව ගුප්ත විද්‍යාවේ සඳහන් මේ කරුණු අට භාවිත කළ යුතු ක්‍රමයන් අවබෝධ කරගෙන එම කාර්යයේ යෙදීම ඉතා සුබයි.
මීළඟට මේ අෂ්ටකර්මයට අයත් වන දෙවි දේවතාවුන් ගැනද දැනගෙන සිටිය යුතුයි. එවිට ඔබ කරන කාරණය නිසි පල ලබන්නට හේතුවනු ඇත.
1. වශීකර්මයට - රති කාමදේවතාවද,
2. ආකර්ෂණයට - සරසවි දේවියද,
3. මෝහනයට - මෝහිනී දේවියද,
4. ස්ථම්භනයට - ශ්‍රියාකාන්තාවද,
5. ශාන්තිකර්මවලට - සරස්වතියද,
6. විද්වේෂණයට - මූදේවියද,
7. උච්චාටනයට දුර්ගා දේවියද,
8. මරණ කටයුත්තට - කාලි මෑණියන්ද අධිපති බව දතයුතුයි.

ඉහත කටයුතු කිරීමේදී මේ අධිපති දෙවියන් මුල් කරගෙන පූජා තබා ආරම්භ කිරීමෙන් උසස් ප්‍රතිඵල සැලැසෙයි. ඒ සමගම අෂ්ටකර්මයට අයිති දිශාවන්ද වෙයි. එම දිශාව අනුගමනය කළ යුතු වෙයි. එනම්,
• උතුර - ආකර්ෂණ
• ඊශාන - ශාන්තිකර්ම
• නැඟෙනහිර - ස්ථම්භන
• ගිනිකොන - වශීකර්ම
• දකුණ - මාරණ කර්ම
• නිරිත - විද්වේෂණ
• බටහිර - මෝහන කර්ම
• වයඹ - උච්චාටන
අෂ්ටකර්මය අනුගමනය කිරීමේදී එය නැකැත් 27ට වර්ග කර ඇති හෙයින් ඔබ කරන කර්මයට අදාළ නැකැත් පවතින දිනයක් වීම වැදගත් වෙයි.
• පුනාවස - පුවපුටුප - අභිජිත් - වශී කර්මයද,

• බෙරණ - පුවපල්, පුවසල - ආකර්ෂණයටද,
• රෙහෙන, හත, සුවණ - මෝහන කර්මයටද,
• දෙට, අස්ලිස, රේවතී - මුල නැකැත් ස්ථම්භනයටද,
• උත්‍රපල්, උත්‍රසල විසා නැකැත් - ශාන්ති කර්මයේදී ද,
• දෙනට, මුවසිරස, සිත, කැති - විද්වේෂණ කර්මයේදී ද,
• අද, සියාවස, සා, උච්චාටනයේදී ද,
• පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා - මාරණ කටයුතුවලදී ද භාවිත කළයුතුයි.
පූජා තැබීමේදී අෂ්ටකර්මයට මේ පූජා තබන්න.
• එළකිරි, සමන්මල්, කනේරු මල් - වශී කටයුතුවලදී
• පුවඟු, කෑලමල්, අරලිය - ආකර්ෂණයේදී
• ගංජා, අබිං, කළුඅත්තන ඇට - මෝහනයට

• බෙලි, කෙසෙල් - ස්ථම්භනයට
• සුරුට්ටු, තුණුමාලු වැනි දේ - විද්වේෂණයට
• මීහරක් සම, අපිරිසුදු තැන් - උච්චාටනයට
• සීනි හිසකෙස් ඇතිරූ මිනීවල - මාරණයට
අෂ්ටකර්මයට නියමිත වර්ණයන් මෙසේ වෙයි.
• තද රතු පාට - වශීකර්ම
• රතු පාට - ආකර්ෂණයට
• ලා රතු - මෝහනයට, ස්ථම්භනයට
• කහ පාට, සුදු පාට - ශාන්තිකර්මයට
• රන්වන් පාට - විද්වේෂණයට
• අළු පාට - උච්චාටනයට
• කළු පාට - මාරණයට
අෂ්ටකර්මයට නියමිත කාල වේලාවන් තෝරාගෙන එම වේලාවන්හිදී කටයුතු කිරීම ඊළඟ කාරණයයි.

1. වශීකර්ම - දිවා රාත්‍රි 6-10 අතර
2. ආකර්ෂණ දිවා රාත්‍රි 10-12 අතර
3. මෝහන දිවා රාත්‍රි 12-2 අතර
4. ස්ථම්භන දිවා රාත්‍රි 2-6 අතර
5. ශාන්තිකර්ම රාත්‍රි 6-10 අතර
6. විද්වේෂණ රාත්‍රි 10-12 අතර
7. උච්චාටන රාත්‍රි 12-2 අතර
8. මාරණ රාත්‍රි 2-6 අතර
දැන් ඔබට අෂ්ටකර්මය පිළිබඳ දැනුමක් ලැබී ඇත. අෂ්ටකර්මයට අයිති යම්කිසි කටයුත්තක් කරන්නට ඔබ සූදානම් වේ නම් ඉහත ක්‍රියා පිළිවෙත බොහෝ උපකාරී වෙයි. මීළඟට පංචෝපචාරය හඳුනා ගනිමු.
මල් - බුලත් - පහන් - සුවඳ දුම් - පඬුරු අවශ්‍ය වෙයි. පංචෝපචාරය සඳහා අගිල් - ගුගුල් - දේවදාර - රත්හඳුන් - සුදු හඳුන් - තුවරලා - සැවැන්දරා - සල්දුම්මල හෝ සාම්බ්‍රානි කුඩුකර මිශ්‍ර කර සාදාගත් සුවඳ ධූපය ඉතා සුදුසු වෙයි. බොහෝ විට මේ සුවඳ ධූපය ශාන්ති කටයුතුවලට ඉතා යෝග්‍යයි.
ප්‍රවීණ ජේ‍යාතිෂවේදී අලුත්අම්බලම
බී.ඒ. සමන් ගුණසේන
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 
   

ශ්‍රී රාහුල හිමි පිළිබඳ අලුත් වටිනා තොරතුරු රැසක් හෙළි වෙයි ...( thotagamuwe sri rahula himi )..අබිරහස් අඩවිය - Abirahas Adawiya


ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී පරණවිතාන මහතා කියවා පළ කළ ශිලා ලිපි පාඨවලින් ශ්‍රී රාහුල හිමි හා ඒ අවධිය පිළිබඳ අලුත් වටිනා තොරතුරු රැසක් හෙළි වෙයි.
පරම්පරා පුස්තකය වැනි විනාශව ගිය වංසකතාවලින් උපුටා ගත් පාඨ ශිලාලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මුලින්ම පරණවිතාන මහතා 1964 කෑගල්ලේ සාහිත්‍ය දින උළෙලේදී 'හයවැනි පරාක්‍රමබාහු රජු ගැන ළඟදී සොයා ගත් කරුණු' මැයෙන් කතාවකදී හෙළි කළේය. ඉන්පසු පරණවිතාන මහතා ලිවූ 'සීගිරි කතාව' ඉංගී්‍රසි ග්‍රන්ථයේ තවත් ශිලා ලිපි සාධක එයි.
පරණවිතාන මහතාගේ සොයා ගැනීම් අනුව ශ්‍රී විජය රාජ්‍යයේ සිට ආ හයවැනි පරාක්‍රමබාහු රජු (1412-1467) ලංකාවට ඒමට පෙර ශ්‍රී විජය රාජ්‍යයේදී විවාහව එහිදී ඔහුට දාව ලැබුණු පුතා ජාවා රටේදී කුඩා කල මළේය. ලංකාවට ආ හයවැනි පරාක්‍රමබාහු වීදාගම හිමි හා සේනාවේ සහාය ලැබ අලකේශ්වර පවුලේ බලය බිඳ (පරණවිතාන මහතා කියවූ අලකේශ්වර පරම්පරා පුස්තකයේ ඒ පවුලේ විස්තර එයි) කෝට්ටේ රජ විය. රාජාවලිය අනුව ලංකාවේදී ඔහු පාවා ගත්තේ කීරවැල්ලේ කුමරියකි. ශිලා ලිපිවල ඇය දැදිගම රාජ පුත්‍ර ඨකුරගේ දූ වූ ස්වර්ණ මාණික්‍යා ලෙස හඳුන්වයි. හයවැනි පැරකුම් රජුට දාව ස්වර්ණ මාණික්‍යා ලද එකම පුතා 'පුරන්දර' කුඩා කල අකාලයේ මළේය.
රජුට දාව ස්වර්ණ මාණික්‍යා ලද දුව චන්ද්‍රවතී හෙවත් ලෝකනාථය. චන්ද්‍රවතී හා ලෝකනාථ යනු එකම කුමරියක් බව 'අලකේශ්වර යුද්ධය' ද සඳහන් කරන අතර ශිලා ලිපි මඟින් ඒ සනාථ වෙයි. ඇය පසුකල 'උලකුඩය දේවි' නමින් ප්‍රකට විය. චාර්ල්ස් ගොඩකුඹුරේ තම 'සිංහලිස් ලිට්රේචර්' ග්‍රන්ථයේ පෙන්වා දෙන පරිදි 'ලෝකනාථ' යන්නෙහි ද්‍රවිඩ රූපය 'උලකුඩය' නම් වෙයි.

චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු ලබාදෙන ලෙස උපුල්වන් දෙවි යදිමින් ශ්‍රී රාහුල හිමි තම පළමු කාව්‍ය ග්‍රන්ථය වූ පරෙවි සන්දේශය ලිපිය පරෙවි සන්දේශය ලිවීමට තුඩු දුන් හේතුව ශිලා ලිපිවල විස්තර වෙයි. චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු නොලැබුණු නිසා ඇය අම්බලන්තොට රාජ්‍යයේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුට විවාහ කරදීමට හයවැනි පරාක්‍රමබාහු රජු තීරණය කළේය. ඊට හේතුව සුන්දර පාණ්ඩ්‍ය හෙවත් තත්නුරු තුනයාර් කාලිංග හා පාණ්ඩ්‍ය යන රාජවංස දෙකටම සම්බන්ධව සිටීමයි.

එහෙත් මේ වන විට අම්බලන්තොට සුන්දර පාණ්ඩ්‍ය කුමරු ශ්‍රී විජය රාජ්‍යයට ගොස් එහි රජුගේ දූ කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙළී සිටියේය. මෙහිදී හයවැනි පරාක්‍රමබාහු රජු තම දූ කුමරිය වූ චන්ද්‍රවතී සමඟ නැව් නැඟ ස්වර්ණපුර බලා පිටත් විය. මුහුදු ගමන දුෂ්කර කාලයක මේ යන ගමන කොතැනින් කෙළවර වේදැයි කිව නොහැකි විය. මෙහිදී ශ්‍රී රාහුල හිමි පැරකුම් රජුට මුහුදට අධිපති උපුල්වන් (උපුල්වන් යනු මුහුදට අධිපති වරුණ දෙවි බව දෙවුන්දර උපුල්වන් මැදුර ඉංගී්‍රසි නිබන්ධනයේදී පරණවිතාන මහතා කියයි) දෙවිඳුගේ පිහිට යැද පරෙවි සන්දේශය ලියූ බව ශිලා ලිපි තොරතුරුවලින් පෙනී යයි.
පැරකුම් රජු ස්වර්ණපුර ගොස් යුද කොට ස්වර්ණපුර රජු පැරදවූ අතර චන්ද්‍රවතී කුමරිය දැකීමෙන් සුන්දර පාණ්ඩ්‍ය කුමරුට ඇය ගැන ආදරයක් යළි මතු විය. මේ අතර ස්වර්ණපුර රජුගේ දූ වූ සුන්දරීගේ හිත වෙනත් කුමරකුට ඇදී ගියේය. මේ නිසා හයවැනි පරාක්‍රමබාහු තම දූ වූ චන්ද්‍රවතී හා සුන්දර පාණ්ඩ්‍ය ලංකාවට කැඳවාගෙන අවුත් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී දෙදෙන 1448 අප්‍රේල් 10 විවාහ කරවූ බව ශිලා ලිපිවල එයි. ශිලා ලිපි අනුව විවාහයට පසු සුන්දර පාණ්ඩ්‍ය හයවැනි පැරකුම් රජුගේ අගමැති වූ අතර (මීට පෙර හංස සන්දේශය අනුව මහන්තේ ඒකනායකද ගුත්තිල කව අනුව සලාවත ජයපාලද අගමැතිවරු වූහ. ගුත්තිල කව ලියවෙන කල වනවිට සලාවත ජයපාල අගමැති නොවූ බව, අගමැතිව සිටි යන යෙදුමෙන් පෙනෙයි) චන්ද්‍රවතී කුමරිය උලකුඩය දේවි නමින් ප්‍රකට වූවාය.
හයවැනි පැරකුම්ට දාව ස්වර්ණ මාණික්‍යා ලද පුරන්දර මළෙන් පැරකුම් රජු පුතුන් තිදෙනකු හදා ගත්තේය. ශ්‍රී රාහුල, සපුමල්, අම්බුළුගල ඔවුන්ය. 'පැරකුම් රජු විසින් පුත්‍ර පෙමින් ඇති කරන ලද යනුවෙන් ශ්‍රී රාහුල හිමිට ඒ බව කියයි. තරුණ වියට පත් රාහුල පැවිදි විය. ශිලා ලිපි තොරතුරු අනුව ජාවා රට ආ පනික්කලනගේ (එළුසිලෝ ශතකයේ එන පනික්කි මොහු විය හැකිය) පුතා වූ සපුමල් හෙවත් චම්පක කුමරු පැරකුම් රජුට නෑ විය. තුන්වැන්නා අම්බුළුගල කුමරු හෙවත් පරනාපසිංහයි. 
ශිලා ලිපි සාධක අනුව අම්බුළුගල හෙවත් පරනාපසිංහ කුමරු යාපහු බළකොටුව භාරව සිටියේය. පරෙවි සන්දේශයේ වර්ණනා වන මායාදුනු නුවර යුවරජු යනු මේ අම්බුළුගල කුමරු බව පරණවිතාන මහතා කියයි. හයවැනි පැරකුම් රජුට පසු තන්නුර් තුනගර් හා උලකුඩය දේවිගේ පුත් ජයබාහු (ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයෙන් විභීෂණ දෙවිඳුගෙන් ලබා දුන්නා යයි සලකන කුමරු) රජ වූ විට ශ්‍රී රාහුල හිමිට සෑහෙන දේශපාලන බලයක් තිබුණා යයි අනුමාන කළ හැකිය.


එහෙත් යාපා පටුන පාලනය කරමින් සිටි සපුමල් 1470 ජයබාහු මරා හයවැනි බුවනෙකබාහු (1470-78) නමින් කෝට්ටේ රජ විය. හයවැනි බුවනෙකබාහු රජුට විරුද්ධව සිංහල පෙරළිය නමින් රටේ කැරැල්ලක් ඇතිවූ බව 'රාජාවලිය' කියයි. දැදිගම ශිලා ලිපියේ මෙම කැරැල්ල 'සිංහල සංගේ' නමින් එයි. ජී.සී. මෙන්ඩිස් අනුමාන කරන පරිදි මෙම කැරැල්ලට ශ්‍රී රාහුල හිමි සහාය විය. 'කල්‍යාණ ශිලා ලිපි' අනුව රජුට විරුද්ධව 'ගරවි' නම් ඇමැතියකු කැරැලි ගැසූ බව කියයි. කැරැල්ල මැඬලන ලදුව ශ්‍රී රාහුල හිමි රාජ සේවය අතහැර ඉදුරුලෙන වනගතව විසූ බව ජනප්‍රවාදවල එයි. හයවැනි බුවනෙකබාහු රජු කල පැමිණි රාමඤ්ඤ දූත පිරිසට උපසම්පදාව දීමේ උළෙලේදී වීදාගම හිමි හා ධර්මාචාර්ය හිමි (ගිරා සන්දේශයේ එන දහම් ඇඳුරු මාහිමි යනු මෙතුමා බව චාල්ස් ගොඩකුඹුරේ කියයි) මූලික විය.

කල්‍යාණ ශිලා ලිපි අනුව මේ වන විට ශ්‍රී රාහුල හිමි සංඝරාජව සිටියත් උපසම්පදා උළෙලේ මූලිකත්වය වීදාගම හිමි හා ධර්මාචාර්ය හිමි සතු විය. වීදාගම මෛත්‍රි හිමි මෙකල රාජපාක්ෂිකව හිතවත්ව ලැබූ පුද සත්කාරවලට අරම්කැලේ සන්නසද සාධකයකි. කෝට්ටේ කල රචිත ගිරා සන්දේශයේ ශ්‍රී රාහුල හිමි ගැන උත්කර්ෂවත් වැනුමක් එයි. එතුමා ෂඩ් භාෂා දැන සිටි වග ගිරා සන්දේශයේ එයි. ශ්‍රී රාහුල හිමි හැර උතුරුමුල හා ඉරුගල් කුලතිලක හිමිවරුන්ට ෂඩ් භාෂා පරමේශ්වර උපාධිය එදා විය.

ශ්‍රී රාහුල හිමිගේ ග්‍රන්ථ පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය (පැරකුම් රජුගේ 35 වැන්නේ ලිපිය) කවිපොත් වෙයි. පැරකුම් රජුගේ 45 වැන්නේ ලිවූ පඤ්චිකා ප්‍රදීපය යනු මොග්ගල්ලාන පාලි ව්‍යාකරණයට විවරණයකි. එතුමන් පදස්ධනටීකාවට ලිවූ විවරණය බුධිප්පසාදිනිටිකාය ඒ හැර තොටගමු නිමිත්ත හා චතුරාර්ය සත්‍ය කාව්‍යය රාහුල හිමි ලිවීයයි අනුමාන කරන බව මලලසේකර මහතා තම 'පාලි සාහිත්‍යයේ' දක්වයි. භක්ති ශතකය වෘත්තරත්නාකාර පඳචිකා, ආදී ග්‍රන්ථ කළ ශ්‍රී රාමචන්ද්‍ර කවිභාරති රාහුල හිමිගේ ශිෂ්‍යයෙකි.
ශිලා ලිපිවල රාහුල හිමි අයත් උත්තර මූලයේ ආරම්භය ගැන තොරතුරු ලැබී පරණවිතාන මහතා හෙළි කරයි. ඒ අනුව ස්වර්ණපුර බුදු දහම විය. පොළොන්නරු කල ශ්‍රී විජය රාජ්‍යයෙන් ලංකාවට ආ ශිරිපුත්‍ර හිමි මේ පරපුරේ පදනම දැමීය. ශිරිපුත්‍ර හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි උත්තර මූලය ඇරැඹීය. මේ පරපුරේ හිමිවරු සුමංගල නම් වූහ. දෙවැනි උත්තර මූල හිමිගේ ශිෂ්‍ය ශ්‍රී රාහුල හිමි දැන් සංඝරාජව තොටගමු විහාරයේ වැඩවසමින් ධර්ම විනය පුහුණු කරයි. මේ අනුව උත්තර මූලයේ උපත හා ශ්‍රී රාහුල හිමි සංඝරාජ වූ බව ශිලා ලිපි සාධකවලින් සනාථව හෙළි කරයි.
රාහුල හිමි ගැන තවත් අප්‍රකට පුවතක් ශිලා ලිපි අතර තිබි කියවා පරණවිතාන මහතා හෙළි කරයි. 1969 ජූනි 17 ශ්‍රී ලංකාදීප පත්‍රයට 'සීගිරිය තනිවුණේ නෑ' මැයෙන් ලිපියක් සපයන ඔහු ඒ තොරතුරු විස්තර කරයි. ඒ අනුව හයවැනි පැරකුම් රජුගේ බිසව වූ ස්වර්ණ මාණික්‍යාගේ ඥාතියකු වන ඨකුර සීගිරියේ එදා මාණ්ඩලික රාජයා විය. ඨකුරගේ රජමැඳුර තිබුණේ පිදුරංගලයි. පැරකුම් රජුගේ අග මෙහෙසිය-ඇගේ දූ වූ චන්ද්‍රවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු කලක් ඨකුරගේ පිදුරංගල රජවාසලේ නැවතී සිටියහ. දිනක් සීගිරි ළඳුන් දැක ප්‍රමුදිතව චන්ද්‍රවතී කුමරිය කැටපත් පවුරේ ලිවීමට ගිය ශිලා ලිපිවල එකක් කියවීම දුෂ්කරයි. කලක් පිදුරංගල විසූ මේ රාජකීය පිරිස ඉන්පසු පොළොන්නරුවට ගියහ.
සීගිරි මාණ්ඩලික පාලක ඨකුරගේ ආරාධනාවෙන් පිදුරංගල රජවාසලේ ශ්‍රී රාහුල හිමි අවුරුද්දක් වසමින් සීගිරි නැඟ සීගිරි කැටපත් පවුරේ ගී 400 කියවා අර්ථ විවරණය කරමින් කැටපත් පවුරු ගී පොතක් එකතු කළේය. සීගිරි ගී 400 එකතු කොට රාහුල හිමි ඒවාට විවරණයක් ලිවූ බව මේ ශිලා ලිපි තොරතුරුවලින් හෙළි වෙයි. ශ්‍රී විජය (ස්වර්ණපුර) රාජ්‍යයේ විසූ ආනන්ද නම් උගත් තෙර නමක් තොටගමුව විහාරයට අවුත් අර්ථ විවරණ සහිත සීගිරි ගී 700 පොතක් කියවා ඇත.
 තොටගමුව විහාරය
ආනන්ද හිමිට ලැබුණු සීගිරි ගී 700 පොතෙන් 400 කියවා විවරණය කළේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිය. ඉතිරි 300 පිටපත් කළේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි විය හැකි බව පරණවිතාන මහතා කියයි. පරණවිතාන මහතා තවදුරටත් පෙන්වා දෙන පරිදි කෝට්ටේ අටවැනි වීර පරාක්‍රමබාහු රජ කරද්දී සීගිරිය මාණ්ඩලික පාලක ඨකුරගේ ආරාධනාවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍ය භක්තිශතක සන්නස ලිවූ සුමංගල හිමි පිදුරංගල රජ වාසලේ අවුරුද්දක් පමණ වසමින් සීගිරි නැඟ ඉතිරි සීගිරි කැටපත් පවුරු ගී කියවා පිටපත් කර ඇත. ශිලා ලිපි අනුව රාහුල හිමි හා සුමංගල හිමි පිදුරංගල වසමින් සීගිරි ගී 700 කියවා අර්ථ විවරණය කරමින් ලිවූ පොත අද විනාශව ඇත. රාහුල හිමි සිංහ රුව ළඟට ගිය විට පරම්පරා පුස්තකයේ එන සීගිරි වර්ණනාව මතක් වීලු. රාහුල හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි කැටපත් පවුර ළඟ ඉඳ බටහිර බැලූවිට සීගිරි ප්‍රවාද වන වර්ණනාව සිහිවූයේ රාහුල හිමි විසූ අඩවිය පිදුරංගල ආරණ්‍යයක් ලෙස සකස් කර තිබූ බව මින් පෙනෙයි.
රාහුල හිමිගේ අවසානය කෙබඳු වීද? අරිමද්දන නුවර නළඟනකට පෙම් බැඳ මලයාවේදී සිවුරු හල රාහුල කෙනකු ගැන කල්‍යාණ ශිලා ලිපි කියයි. මේ අනුව රාහුල හිමි අවසාන කල නිළියක් නිසා සිවුරු හැර ගියාවීදෝයි පොල්වත්තේ බුද්ධදත්ත හිමි තම ථෙරවාදී බෞද්ධාචාර්යයෝ ග්‍රන්ථයේ කියයි. ලංකාවේ ජනප්‍රවාද අනුව ඉඳුරුලෙන ගුහාවේ භාවනායෝගීව විසූ ශ්‍රී රාහුල හිමි සිද්ධාලෝකරසය වළ¼දා භූතයන්ගෙන් වැඩ ගනිමින් සිට ඉඳුරුලෙන දීම අපවත් වූයෙන් මළ සිරුර පසු කල පරංගීන්ට ලැබ අතක් කපා ගෝවට ගෙන ගිය බව කියනු ලැබේ.
එස්.කේ. ජයවර්ධන
 උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


    

සිරිපා අඩවිය ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම්. ..(අබිරහස් අඩවිය - Abirahas Adawiya sri padaya haskam)

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය.
කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. 
මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.
වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. 
ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය.
සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ.
එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි.
මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.
සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.
අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.

තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ.
ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ. තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ.
පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය.
ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
''දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?'' ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.
ඉතිං මේ වගේ ඔයාලත් දන්න සමන් දෙවි අඩවිය හා බැඳුනු කතාන්දර තියෙනවා නම් අපිත් එක්ක මෙතන බෙදා ගන්න කියලා හැම දෙනාටම ආරාධනා කරනවා. හැම දෙනාටම සමන් දෙවිඳු කරුණාවයි !
සැ.යු. ලිපි කිහිපයකින් උපුටා ගත් කරුණු ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.

ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

හාස්කම් පිරි වනපෙතක් අනුරාධපුරයෙන් හමුවෙයි...(vijayaramaya anuradhapura)...අබිරහස් අඩවිය - Abirahas Adawiya



විජයාරාම යන නමින් හැඳින්වෙන මෙම විස්මිත ආරාමික වන අරණ පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ අද්දරින් වැටී ඇති ගල්පාලම පාරේ කි.මී.දෙකක් යන විට හමුවන රණවිරු ඉන්දික අනුර මාවතේ ය.
කි‍්‍ර.ව. හත්වන හෝ අටවන සියවසට අයත් යැයි සැළකෙන ඉපැරණි වන වාසයක් හෙවත් පබ්බත විහාරයක් වන මෙහි මුළු භූමි ප‍්‍රමාණය අක්කර විසිතුන කි. මුලුමනින් වනාන්තර ලක්‍ෂණ පළ කරන එම භූමිය තුළින් පැරණි ආරාමික නටබුන් හතළිස් තුනක් මේ වනවිට හමු වී තිබේ.
දහවල් කාලයේ පවා එක් වරම පෙනී නොපෙනී යන භික්‍ෂුන් වහන්සේලාගේ රූප මෙම වන පෙත තුළින් මතුවන්නට පටන්ගෙන ඇත්තේ සියවස් ගණනක් තිස්සේ වල් බිහිවී තිබූ එම වනපෙත මේ වසරේ මුල සිට පුරාවිද්‍යා ගවේෂණ සඳහා යටි කැලය කපා ඉවත් කිරීමෙන් පසුවය. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගෙ අනුමැතියයට තේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි ගවේෂණ කටයුතු අරඹා තිබේ.
ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ (අනුරාධපුරය) සේවාසම්මානිත මහාචාර්ය ටී.පී.කුලතුංග ගේ අධීක්‍ෂණය යටතේය.

‘ඉස්සරමේ කැළයේ වලිගය තියන මිනිහෙක් ඉන්නවය කියලා කට කතා තිබුණා. ඒ හින්දා මේ අවට ගම්වල ගෑණු අය දර කෑල්ලක් කඩා ගන්නවත් ඔය කැළයට අඩියක් තිබ්බේ නැහැ. ඒත් මෑතක ඉඳලා ප‍්‍රසිද්ධවෙලා තියෙන්නේ ඔය කැළයේ වන වාසීභික්‍ෂුන්වහන්සේලාගේ රූපමැවිලා පේනවා කියලයි. කොටින්ම පහුගිය දවසක මේ ව්‍යාපෘතියට සම්බන්ධ මිස්කෙනෙකුත් දවල් එකොළහ මාරට විතර ඔහොම අමුතු දෙයක් දැකලා තියනවා. ඒත් පුදුමේ කියන්නේ ඒ මිස් මේ ව්‍යාපෘතියට අළුත්, ඒ වගේම මෙහේ ඔහොම දෙයක් වෙනවය කියලා මීට කලින් කිසිම දවසක අහලා තිබිලත් නැහැ’ එම ව්‍යාපෘතියේ සේවයකරන මුතුබණ්ඩා දසනායක මහතාකීය.
‘එමෙන්ම එම භික්‍ෂුන්වහන්සේලා දර්ශනය වීමෙන්පසු තමන්ට මින් පෙරකිසිදා අත්දකින්නට නොලැබුණු කායික මානසික සුවසහනයක් ලැබුණු බව ද එම අත් දැකීමට මුහුණදුන් අය ප‍්‍රකාශකරන බවද පැවසේ. එසේම ඒ සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි අන්දමේ තොරතුරු
ලැබුණු බැවින් තමන්වහන්සේ ද පසුගිය දිනයෙක මෙම ආරාමික වන පෙත නිරීක්ෂණය කළ බවත් එහි කිසියම් අධ්‍යාත්මික හරයක් ඇති බවත් ඒ සම්බන්ධ තමන් වහන්සේගේ නිගමනයන් ඉදිරිකාලයේ දී ප‍්‍රකාශයට කරන බවත් අනුරාධපුර බුද්ධශ‍්‍රාවක බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාතේගෙ මඤාණිස්සර හිමියෝ කීහ.


උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya