ඔහු සම්බන්ධයෙන් මැතකදී මතභේදයට තුඩු දුන් සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට පාඨකයාට මේ ලිපි පෙළ මගින් හැකිවනවා ඇත.
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමුවන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා සහ කර්මාන්තකරුවා වන ෆිලිප් උපාලි විජයවර්ධන සිය පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා එද්දී අතුරුදන්වීම අදටත් මතභේදයට තුඩු දී තිබේ. මතුගම තුඩුගලගේ දොන් වෝල්ටර් විජයවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්‍යාණිවති විජේසිංහගේ බාල දරුවා වූ ඔහු අතුරුදන් වන විට 45 වන වියට දින හතරක් ඉතිරිව තිබිණි. කොළඹ කාන්තා විද්‍යාලයේ බාලාංශයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේමිබ්‍රි- විශ්වවිද්‍යාලයට යන ඔහු උපාධිධාරියකු ලෙස ලංකාවට පැමිණ එක්‌සත් ලීවර් සහෝදර සමාගමේ (Lever Brothers) කළමනාකරණ ආධුනිකයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹයි. වයස අවුරුදු 24 දී තමන්ගේම වූ ව්‍යාපාර පටන් ගන්නා ඔහු එළඹෙන වසර 20 තුළ ආසියාවේ ප්‍රමුඛ කෝටිපතියන් 10 දෙනා අතුරින් කෙනෙක් බවට පත් වන්නේය.
සේනානායක - පේළිමුහන්දිරම් - ගුවන් නියමු ආනන්ද අප්පා
|
ව්‍යාපාරිකයකු ලෙස ගත කළ වසර 20 තුළ උපාලි සිංගප්පූරුව සහ මැලේසියාව සමග විශාල වශයෙන් ව්‍යාපාර කළේය. සිය ව්‍යාපාරික අවශ්‍යතාවක් වෙනුවෙන් 1983 ජනවාරි 31 වන සඳුදා උදේ වරුවේ ඔහු තම පෞද්ගලික ගුවන් යානයවූ L35A ලියර් ජෙට් යානයෙන් මැලේසියාවට ගමන් අරඹයි. ඔහුගේ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද පේලිමුහන්දිරම් ද ගුවන් යානයේ මගී සහකරු වූ අතුල සේනානායක ද යානයේ සිටිති. යානය පදවනු ලබන්නේ ගුවන් හමුදාවේ හිටපු පලපුරුදු නියමුවකු වන විංග් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පා ය. ඔහුගේ සහාය නියමුවා ලෙස උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා සිටී. යානය ප.ව. 1.30 ට මැලේසියාවේ ක්‌වාලාලම්පූර් අගනුවර සුබංග් (Subang) ගුවන් තොටුපළට පිවිසෙන්නේය. යානය ගුවන් තොටුපලේ ගාල් කිරීම භාරව තිබෙන්නේ විරා ක්‍රිස් පුද්ගලික සමාගමටය. යානය ඔවුන්ට භාරදෙන උපාලි ඇතුළු පිරිස ක්‌වාලාලම්පුර් ආසන්නයේ පිහිටි උපාලිට අයත් "කොකෝවා විලා" මන්දිරයට යති. එතැන් සිට ඉදිරි දින 10 උපාලි සහ පේලිමුහන්දිරම් ගත කරන්නේ ව්‍යාපාරික කටයුතු උදෙසාය.
1983 පෙබරවාරි 13 ඉරිදාවකි. උපාලි ඇතුළු පිරිස ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියම කරගන්නා දවස එදිනය. ඊට පෙර ලියර් ජෙට් යානයේ රේඩාර් සංඥ පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය "සර්විස්" කරගැනීමට නියමිත විය. ඒ අනුව පෙබරවාරි 10 වැනි බ්‍රහස්‌පතින්දා උදේ ආනන්ද පේලිමුහන්දිරම් සහ නියමුවෝ දෙදෙනා සිංගප්පූරුවට ගොස් එම කටයුතු සඳහා එරට ස්‌පෙල්විල් සමාගමට යානය භාර දෙති. පෙබරවාරි 12 වැනිදා යානය ආපසු මැලේසියාවට ගෙනෙනු ලැබේ. විරා ක්‍රිස් සමාගම ආපසු යානය භාර ගන්නා අතර සුබංග් ගුවන් තොටුපලේ කොනක එනම් ගුවන් යානා ගාල් කරන විශාල ගොඩනැඟිල්ලකින් පිටත එළිමහනේ යානය ගාල් කෙරේ. එවිට වේලාව සවස 1.30 ය.
පෙබරවාරි 13 වන ඉරු දින උපාලි විජයවර්ධන ඇතුළු පිරිස එදින සවස 3.00 ට ශ්‍රී ලංකාව බලා නික්‌ම යැමට සූදානම්ය. එහෙත් සවස 3.00 ට පෙර උපාලිට පණිවුඩයක් ලැබෙයි. ව්‍යාපාරිකයකු වෙතින් වැදගත් දුරකථන ඇමතුමක් එන නිසා එතෙක් "කොකෝවා විලා" මන්දිරයේම රැඳෙන ලෙස පණිවුඩය මගින් ඔහු දැනුවත් කෙරේ. උපාලි කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි තම කාර්යාලයට කතා කර මේ බව කියයි. ඔහු සමග කතා කිරීමට දුරකථනයට යන්නේ ඔහුගේ විධායක සහායක ඇන්ස්‌ටන් වීරසිංහය. අනතුරුව එදින "දිවයින" ඉරිදා සංග්‍රහයේ පළවී ඇති විජේසෝමගේ කාටුනය කුමක්‌දැයි ඔහු වීරසිංහගෙන් විමසයි. එම කාටුනය වන්නේ රොනී ද මෙල් එක් ආසනයක සිට තවත් ආසනයකට මාරුවන ආකාරයයි. කාටුනයේ විස්‌තර අසන උපාලි මහ හඬින් සිනාසී දුරකථනය විසන්ධි කරයි. ඊළඟට ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබීමට නියමිත ව්‍යාපාරික දුරකථන ඇමතුමය. කොතරම් බලා සිටියද එම දුරකථන ඇමතුම ලැබෙන්නේ නැත. පැය 3 කටත් වඩා බලා සිටින උපාලි තම පිරිසද සමග සුබංග් ගුවන් තොටුපළට ගොස් ලියර් ජෙට් යානයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් අරඹයි. ගමන පටන් ගන්නා වේලාව සවස 6.11 ය.
යානයේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වූ "මීදාන්" (Medan) හරහා ය. කොළඹ බලා යන ගමනට මැලේසියාවෙන් එකතු වන අමුත්තෙක්‌ද යානයේ සිටින්නේය. මැලේසියාවේ උපාලි විජයවර්ධනට අයත් කැන්ඩොස් සෙන්ඩෙරියන් බර්හාඩ් (Kandos Senderian Berhard) සමාගමේ අධ්‍යක්‍ෂවරයා වන ඔහුගේ නම එස්. එම්. රත්නම් ය. රත්නම් වෘත්තීය නීතිඥයෙකි. ඔහු ශ්‍රී ලංකාව බලා එන්නේ කොළඹ ජීවත් වන සිය සහෝදරිය හමුවනු පිණිසය. මෙය ඔහු සහෝදරියට නොදන්වා එන හදිසි ගමනකි. තමා දකින නැගණිය පුදුමයෙන් හා ප්‍රීතියෙන් ඉපිල යනු ඇතැයි ඔහු පෙර දින උපාලිට කීවේය.
ගුවන්ගතවී හරියටම විනාඩියකට පසු මැලේසියාවේ පිනැංගුවේ පිහිටි බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත යානය සටහන් වෙයි. ඒ වන විට යානය ගමන් කරන්නේ මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ කොටසට මායිම් වූ සෙලන්ගෝර් (Selangor) මතිනි. මේ වෙරළ තීරයෙන් පසු එන සාගරය මැලේසියාව හා ඉන්දුනීසියාව අතර වූ මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත්ය. තව ස්‌වල්ප වේලාවකින් යානය ගොඩබිම මතින් පියාසර කිරීම අවසන් කර සාගරය මතින් පියාසර කිරීමට පටන් ගන්නේය. සවස 6.16 වන විට බටර්වර්ත් කඳවුරේ ගුවන් ගමන් තොරතුරු භාර නිලධාරීහු සාමාන්‍ය ක්‍රමයට අනුව කොළඹ බලා එන ලියර් ජෙට් යානයේ ගමන් සැළසුම කටුනායක ගුවන් ගමන් පාලකයන්ට දන්වති. යානය අස්‌වාභාවික වේගයකින් ගමන් කරන බව බටර්වර්ත් කඳවුරේ නිලධාරීහු රේඩාර් තිරය මත දකිති. තවත් විනාඩි 10 ක් තුළ සුබංග් ගුවන් තොටුපළේ රේඩාර් තිරයෙන් ලියර් ජෙට් යානය නොපෙනී යයි. ගුවන් යානයක් එක් රටක ගුවන් සීමාවෙන් නික්‌මෙන විට ඒ රටේ රේඩාර් තිරයෙන් අතුරුදන්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලියර් ජෙට් යානය අතුරුදන් වූ වේගය පිළිබඳව පිනැංගුවේ බටර්වර්ත් ගුවන් ගමන් මධ්‍යස්‌ථානයේ නිලධාරින් තුළ චකිතයක් හටගෙන ඇත. මේ මොහොතේදී මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගරයද ඉතා රළුය.
උපාලි ඇතුළු මගීන් ගමන් කළ යානය නිසි ගමන් මාර්ගයේ නිසි වේගයෙන් ගමන් කර තිබුණේ නම් පෙබරවාරි 13 වැනිදා සවස 6.40 වන විට උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ මිඩානයේ අහස උඩින් ගමන් කළ යුතුය. පස්‌වරු හත වනතුරුත් ලියර් ජෙට් යානය මිඩාන් පසු කළ බවට ආරංචියක් නොලැබුණු නිසා ක්‌වාලාලම්පුරයේ ගුවන් ගමන් රේඩියෝ පණිවුඩ මධ්‍යස්‌ථානය කොළඹ ගුවන් ගමන් පාලන මැදිරියට කතා කර යානය ගැන විමසූහ. එහෙත් යානය ගැන තොරතුරු කොළඹට ලැබී තිබුණේ නැත. රාත්‍රි 7.01 ට මේ ගැන මදුරාසියෙන් විමසන ලදී. එහි ගුවන් ගමන් පාලන මැදිරියටද යානය ගැන ආරංචියක් ලැබී තිබුණේ නැත.
සවස 7.55 වන විට ලියර් ජෙට් යානය කිසියම් අනතුරකට මුහුණපා ඇති බව ක්‌වාලාලම්පුර් ගුවන් ගමන් පාලක මැදිරිවලට ස්‌ථිර විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ දිගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමරිකාවට අයත් හත්වැනි නාවුක බලඇණියේ මූලස්‌ථානයට සිද්ධිය දැනුම් දුන් මැලේසියාව එම ගුවන් තීරය හරහා ගමන් කරමින් සිටි ඇමරිකන් අවේක්‍ෂණ ගුවන් යානයන් අමතමින් අතුරුදන්වූ L 35 A ලියර් ජෙට් යානය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය.
මේ අනුව ලියර් ජෙට් යානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති බව කලාපීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්‌වාලාලම්පූර් ගුවන් නිරීක්‍ෂණ නිලධාරීහු තීරණය කළහ. රාත්‍රි 9.31 වන විට යානය ගැන සොයන ලෙසට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දෙන ලදී. 9.41 ට යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත විය. එය සිදු නොවුණ නිසා රාත්‍රි 10.30 වන විට රටවල් දෙකක ගුවන් ගමන් පාලක අධිකාරීන්ගෙන් ලියර් ජෙට් යානය ගැන තොරතුරු සොයන ලෙස විශේෂ ඉල්ලීමක් කෙරිණි. ජපානය, ඕස්‌ටේ්‍රලියාව එම රටවල් වෙයි.
මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක් ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක් දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක් රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක් ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.
********* ********
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ යානය අතුරුදන් වීමත් සමගම කටකතා රැසක් පැතිර යන්නට පටන් ගත්තේය. ත්‍රස්‌තවාදීන් පිරිසක් කප්පමක් බලාපොරොත්තුවෙන් යානය පැහැරගත් බව අයෙක් කීහ. එබන්දක් පෞද්ගලික ගුවන් යානයක් තුළ සිදුවීමට නම් කප්පම්කරුවන්ද උපාලි ඇතුළු පිරිස සමග යානයේ සිටිය යුතු අතර ඔවුන් ක්‌වාලාලම්පුරයේ සුබංග් ගුවන් තොටුපලෙන් යානයට ගොඩවිය යුතුය. එහෙත් එවැන්නක් සිදු වී නම් ගුවන් තොටුපල ආරක්‍ෂක අංශවලට එය වාර්තා වන්නේය. තවත් සමහරු කියා සිටියේ යානය තුළ බෝම්බයක් අටවා එය පිපිරවූ බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලගතු දේශපාලනඥයන් දෙදෙනෙක් සැකයට ලක්‌වූහ. මේ දෙදෙනාගෙන් අයෙක් උපාලි, ජනාධිපති වනු ඇතැයි ද අනෙකා උපාලි බලගතු ඇමැති තනතුරකට පත් වනු ඇතැයි ද සිතා ඔහු විනාශ කිරීම සඳහා සුදුසු අවස්‌ථාවක් එනතුරු බලාගෙන සිටි බව සාමාන්‍ය ජනයාගේ මතය විය. මේ අතර පේනකාරයෝ වැහි වහින්නට වූහ. අතුරුදන්වූ පිරිස ගල් ගුහාවක් තුළ සිටින බවත්, මහ වනයක අතරමංව සිටින බවත් ප්‍රසිද්ධ පේනකාරයෝ දෙදෙනෙක් කීහ. විවිධ සැක කිරීම් අතර කිසියම් වලංගු මුහුණුවරක් ලැබූයේ යානය තුළ බෝම්බයක් ඇටවීමේ සිද්ධියට පමණි. ලියර් ජෙට් යානය එහි රේඩාර් පද්ධතියේ සහ වායුසමීකරණ පද්ධතියේ නඩත්තු කටයුතුවලින් පසු සුබංග් ගුවන් තොටුපලේ කොනක එළිමහනේ ගාල් කර තැබීම තේරුම් ගැනීමට අපහසු සිද්ධියකි. එබඳු විටක යානයට බෝම්බයක් සවි කිරීමේ අවකාශයක් ඇති වෙයි. බෝම්බය, යානයේ එන්ජිම ආශ්‍රිතව සවි කළ විට එන්ජිම රත්වන්නට පටන්ගත් සැනින් පිපිරීම සිදු වෙයි. එන්ජිම රත් වීමට කිසියම් කාලයක් අවශ්‍යය. ලියර් ජෙට් යානය මලක්‌කා සමුද්‍ර සන්ධිය වෙත යන කාලය තුළ ප්‍රමාණවත් රත්වීමක් අපේක්‍ෂා කළ හැකිය. ඊළඟ කාරණය උපාලිගේ ගමන ප්‍රමාද කළ ව්‍යාපාරික දුරකථන ඇමතුමය. එම ඇමැතුම නොලැබී සවස 3.00 ට ඔහු පිටත් වූයේ නම් අහසේදී ඔහුගේ යානයට සිදුවන අනතුරක් පැහැදිලිව දැකගැනීමට බිම සිටින අයට හැකිය. එසේම විපතට පත්වූ අය ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ද කළ හැකිය. අඳුරේදී යානය අනතුරට පත්වූ විට එවැනි මෙහෙයුමක් කිරීම දුෂ්කරය.
මේ සියල්ල Conspiracy Theory හෙවත් කුමන්ත්‍රණයක් හෝ කඩාකප්පල්කාරී සිද්ධියක් විය හැකි ආකාරය පිළිබඳ කෙරුණ සාකච්ඡාවන් විය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන රජයේ බලසම්පන්න ඇමැතිවරයෙක් (ඔහු උපාලි විජයවර්ධනගේද මිත්‍රයෙකි) පහත සඳහන් කතාව තම හිතවත් පුවත්පත් කලාවේදියකුට කීවේය. උපාලි විජයවර්ධන ලියර් ජෙට් යානය මිලට ගත් පසු නිතර පිටරට සංචාරවල නිරත විය. එසේ යන ගමන්වලදී ඔහු ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී ලෙස කෙටි ගුවන් මාර්ගවල පියාසර කළේය. මලක්‌කා සමුද්‍ර සන්ධිය ආසන්නව පිහිටුවා තිබූ එක්‌තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීහු උපාලිගේ යානය ගැන පරීක්‍ෂාවෙන් සිටියහ. ඔවුන් යානයේ නියමුවා සමග ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමට උත්සාහ කළ නමුදු නියමුවා පිළිතුරු දී තිබුණේ ද නැත. ඒ බැවින් 1983 පෙබරවාරි 13 වැනිදා සවස් කාලයේදී මේ යානයට වෙඩි තබන ලදී. යානය මුහුදුබත් වූ අතර මුහුදට වැටුණ ගුවන් යානයක කොටස් ආපසු හමුවිය යුතු යෑයි නීතියක් නැති බැවින් ලියර් ජෙට් යානයේ කොටස් ද ආපසු හමු වූයේ නැත. ඡායාවක්‌වත් නොතබා අතුරුදන්වූ ගුවන් යානා ගැන ඕනෑ තරම් වාර්තා ඇත. ඉහත සඳහන් කාරණයද ඔප්පු කිරීමට බැරිවූ සැකයකි. එහෙත් උපාලි ඇතුළු පිරිසට අත්වූ ඉරණම මෙයම බව තම ජීවිතය අවසන් වන තෙක්‌ම ඉහත සඳහන් දේශපාලනඥයා විශ්වාස කළේය.
මේ අතර ලියර් ජෙට් ගුවන් යානය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ වගකීමය. ලියර් ජෙට් සමාගම ඇමරිකන් සමාගමකි. ඔවුන් සිය පළමු වැනි ලියර් ජෙට් යානය නිපදවන ලද්දේ 1973 දීය. එතැන් සිට එම සමාගම "බොම්බාඩියර්" නමැති ගුවන් යානා නිෂ්පාදන සමාගමක් විසින් මිලට ගන්නා තුරු සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා ලියර් ජෙට් යානා 738 ක් සාදා ඇත. මෙයින් යානා 11 ක් වෙඩි පහරට ලක්‌වීම හා කාර්මික දොaෂ නිසා කඩාවැටීම නිසා විනාශයට පත් විය. පළමු ලියර් ජෙට් අනතුර 1982 දී සිදු විය. ලොව අතුරුදන්වූ පළමු ලියර් ජෙට් යානය උපාලි විජයවර්ධනට අයත් L35A යානයයි. පාවිච්චි කරන ලද ලියර් ජෙට් යානයක් සියලු බදු සහිතව රුපියල් කෝටි 100 ත් 150 ත් අතර මිලකට අද ගත හැකිය. එහෙත් උපාලි තම ගුවන් යානය මිලට ගන්නා කාලයේදී එය රුපියල් කෝටි 60 ක් පමණ විය.
*****************************************************************
උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ...
යානයේ කොටස් හමුවෙයි (2 කොටස)
උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට් යානය සෙවීම සඳහා රටවල් හතක් එක් වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන වසර 15 ක් වත් ගත ව නොතිබූ අතර GPS (Globe positioning System) තාක්‍ෂණය හෙවත් චන්ද්‍රිකාවක් සමග පොළවේ සිට සම්බන්ධ වී තමන් සිටින ඉසව්ව දැන ගැනීමේ මෙකල තාක්‍ෂණය එකල තිබුණේ ද නැත. එය Digital නොවූ Analgouge යුගයකි.
පිරික්‌සුම් මෙහෙයුම සඳහා යොදවා තිබූ ප්‍රධානතම ගුවන් යානා "ඔරායන්" වර්ගයට අයත් ය. මේවායේ ඩිජිටල් උපකරණ නැති වුවද එකලට අනුව "නවීනතම" උපකරණ සවිකර තිබිණි. ලියර් ජෙට් යානයේ තිබූ කහ පැහැති ජීවිතාරක්‍ෂක බෝට්‌ටුව මතට උපාලි ඇතුළු පිරිස පැනගත්තේ නම් එය සෙවීම මේ යානාවලට පැවැරී තිබිණි. එම යානා ගමන් කළේ මුහුදු මට්‌ටමෙන් විශාල උසකින් නොවේ. එම යානා මඩකලපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ සිට මලක්‌කාව දක්‌වා පිරික්‌සුම් කටයුතු කළහ. යානා තුන පිළිවෙලින් ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව හා ජපානයට අයත් විය. P 3 වර්ගයට අයත් මේ එක් යානයක් ජලයෙහි සීමාසහිත ගැඹුරක පිහිටි දේ දැකගැනීමේ හැකියාවෙන් සමන්විත විය. එය අහසට නැග්ගේ ඇමරිකාවට අයත් තුන් වැනි නාවුක බලඇණිය (Third fleet) පිහිටි දීගො ගාර්ෂියා අහසේ සිටය. තවත් ඔරායන් යානයක් ඇමරිකාවට අයත් ජපානයේ පිහිටි බටහිර ශාන්තිකර බලඇණියට අයත් ගුවන් තොටුපළෙන් අහසට නැංගේය. තුන්වන යානය මැලේසියාවේ බට්‌රවර්ත් ගුවන් කඳවුරෙන් අහස් ගත වෙයි. එය අයත් වන්නේ රාජකීය ඔස්‌ටේ්‍රලියානු ගුවන් හමුදාවටය. මීට අමතරව ඉන්දියාවට අයත් ඉලුෂින් වර්ගයේ රුසියන් ගුවන් යානාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ උපාලි එයාර්ලයින්ස් සමාගමට අයත් යානාද ගුවනට නගී. මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගර පිරික්‌සුම් කරන්නේ මැලේසියාවට හා ඉන්දුනීසියාවට අයත් නාවික යාත්‍රාය.
තනි පුද්ගලයකු සහ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් මේසා ප්‍රමාණයක් එකතු වූ ඉතිහාසයේ පළමු අවස්‌ථාව මෙය විය. යානය සෙවීමෙහි නිරත වූ ඇමරිකාව සහ ඔස්‌ටේ්‍රලියාව විපතට පත් වූවන් ගලවා ගැනීමට අමතරව තවත් අරමුණක නියුතුව සිටියහ. ඒ වූකලී තමන් සතු තාක්‍ෂණය අත්හදා බැලීමය. විශේෂයෙන්ම ඇමරිකන් ඔරායන් යානා ආසියානු සාගරයෙහි සිවිල් ගවේෂණ කටයුත්තක නිරත වූ මුල් අවස්‌ථාව මෙය විය. මේ සියල්ලටම අමතරව මුහුදු බෝම්බ සොයන විශේෂ නැවක්‌ද ගවේෂණයට එක් විය. සැක සිතුන සෑම සාගර ප්‍රදේශයකදීම කිමිදුම්කරුවන් මුහුදු පත්ලට යවනු ලැබීය. ඔවුන් සපයන ලද්දේ ඉන්දුනීසියාවය. මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පෞද්ගලික කෙටි තරංග ගුවන්විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන යන "යෝනි" නමැති පුද්ගලයෙක් ලියර් ජෙට් යානය වැටුණු තැන තමන් දන්නා බව ශ්‍රී ලංකාවේ සිට එවැනිම ගුවන් විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන ගිය බොරලැස්‌ගමුවේ දිවුලපිටියේ කොළඹ පාරේ අංක 161 දරන තැන පදිංචිව සිටි ටෙලෙක්‌ස් පණිවුඩ යන්ත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු වූ අර්නස්‌ට් අමරසිංහට දැනුම් දුන්නේය. එහෙත් "යෝනි" කියූ සාගරය මතුපිට හෝ පතුලේ ලියර් ජෙට් යානයක් හෝ කැබලි හෝ නොවීය.
රාජකීය-ශාන්ත තෝමස් විසිවෙනි
මහ ක්‍රිකට් ගැටුමේදී රාජකීය
විද්‍යාලයේ විදුහල්පති සමග.
මෙම තරඟයේදී රාජකීය විද්‍යාලයට
නායකත්වය දෙනු ලැබුවේ
රන්ජන් මඩුගල්ලේ විසිනි |
පොදුවේ ගත් කල මනුෂ්‍යයා වූ කලී ක්‍ෂණික ජනප්‍රියත්වයට ප්‍රිය කරන ස්‌වභාවයෙන්ම වීර ක්‍රියා කිරීමට කැමැති, එහෙත් අන් අය ඒවා කරනු බලා සිටීමෙන් පමණක් සෑහීමකට පත්වන, තමන් නොදුටු හා නොකළ දේවල ගෞරවය ලබාගැනීමට කෑදර පෘථග්ජන සත්ත්වයෙකි. මේ ගති ස්‌වභාවයට අනුව පියාඹන පීරිසි ගැන ආරංචි පැතිර යන හැම කාලයකදීම "මමත් පියාඹන පීරිසියක් දුටුවෙමියි" කියාගෙන එන මිනිසුන්ගෙන් අඩුවක් නොවීය. මෙයට වසර 100 කට පෙර මුහුදේ ගිලී ගිය ටයිටැනික් නැවේ යැමට ටිකට් එකක් ගෙන බස් එක පරක්‌කු වීම නිසා වරායට යා ගත නොහැකි වීමෙන් එම විපතින් දිවි ගලවා ගත් දහස් ගණන් දෙනා එකල ලන්ඩනයෙත් ඇමරිකාවෙත් පත්තර කන්තෝරු ඉදිරිපිට පෝලිම් ගැසී සිටියහ.
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ L35A ලියර් ජෙට් යානය අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදා රාත්‍රි 7.00 න් පසු මලක්‌කා සමුද්‍රසන්ධිය අවට මහ සාගරය මතින් ගමන් කරමින් සිටියදීය. මේ සමුද්‍රසන්ධියේ එක් මායිමක් වූයේ මලයානු අර්ධද්වීපය හෙවත් මැලේසියාව පිහිටි ජැටියයි. අනෙක් මායිම ඉන්දුනීසියාවය. මේ සමුද්‍රසන්ධියේ ඇති ජලය අන්දමන් සාගරයට අයත්ය. (අන්දමන් මුහුද ඉන්දියන් සාගරයේ කොටසකි.) මලක්‌කා සමුද්‍ර සන්ධිය සැතපුම් 500 ක් දිගය. සැතපුම් 30 සිට 200 දක්‌වා පළලය. දල වශයෙන් ගත් කළ වර්ග සැතපුම් 45000 ක පමණ සාගර ප්‍රදේශයක් මෙයට ඇතුළත්ය. අඩි 85 ක් ගැඹුරුය. ඉතා සරලව කිවහොත් මේ සමුද්‍රසන්ධිය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාලය.
ඉන්දුනීසියාව සහ එහි අගනුවර වන ජකර්තාව යන ප්‍රධාන දූපත් දෙක හැරුණුකොට ජාවා බෝර්නියෝ සුමාත්‍රා, බෙන්ගාලා ඇතුළු කුඩා දූපත් සමූහයකින් සමන්විතය. උපාලි අතුරුදන් වීමේ සිද්ධියට ආසියානු කලාපය තුළ විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගැනීමත් සමගම සිද්ධිය වූ දින රාත්‍රියේ අහසේ ගමන් කළ ගුවන් යානයක් පුපුරා යනු තමන් දුටු බව කියමින් මසුන් මරන්නන් යෑයි කියාගත් විශාල පිරිස් ඉන්දුනීසියාවේ සහ මැලේසියා පත්තර කන්තෝරුවලට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. මේ සියලු දෙනාගේම අරමුණ වූයේ තම ඡායාරූපයක් පවුලේ උදවිය සමග තමන් සිටින හැටි යනාදිය පෙන්වන ඡායාරූපයක් සමග විස්‌තරයක් පත්තරවල දමා ගැනීමය. ස්‌වල්ප දිනක් යනවිට ඉන්දුනීසියානු හා මැලේසියානු මාධ්‍යවලට මෙය මහත් හිරිහැරයක් විය. ඒ අනුව යානය කඩාවැටීමට අදාළ ද්‍රව්‍යමය සාක්‍ෂි අතේ නැතිව එන කිසිදු කෙනකුට කිසිදු ප්‍රසිද්ධියක් නොදීමට දෙරටේ මාධ්‍ය ආයතන තීරණය කළහ.
මේ තීරණයෙන් දින කිහිපයකට පසුව එනම් 1983 පෙබරවාරි 15 වැනිදා මලක්‌කා සමුද්‍රසන්ධිය තුළ පිහිටි හුදෙකලා දූපතක් වූ පුලව් බෙන්ගාලා වෙහි ජීවත් වූ මසුන් මරන්නන් තිදෙනෙක් මෝටර් රථයක රෝදයක් තරම් විශාල එහෙත් ආගන්තුක රෝදයක් සහ යකඩ තහඩු කැබලි කිහිපයක් සොයාගෙන ඇති බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව පුරා කටකතා පැතිර යන්නට විය. මේ බව ආරංචි වූ රොයිටර් පුවත් සේවයේ රොබට් මැහෝනි මුලින්ම ඉන්දුනීසියාවේ විඩානයටත් දෙවනුව පුලවු බෙන්ගාලා දූපත් වෙතටත් ගියේය. මේ පුවත නිල වශයෙන් වාර්තා කරන පළමුවැන්නා තමාත් රොයිටර් පුවත් සේවයන් බවට පත්විය යුතු බව ඔහු සිතුවා විය හැකිය. සමහර විට ඔහු කුඩා ගුවන්යානයක් කුලියට ගෙන අන් අයට කලින් මේ ගමන ගියා වන්නට පුලුවන. පසුව මීඩානයේදී හෝ පුලාවු බෙංගාලා අහසේදී මේ මසුන් මරන්නන්ගේ ප්‍රධානියා රොබට් මැහෝනිට හමුවෙයි. ඔහුගේ නම "උවේ උදින්" වන අතර වයස අවුරුදු 40 කි. මෙයට දින දෙක තුනකට පෙර මුහුදු ගිය විට බර යමක් තම දැලට හසුවූ බවත් විශාල මාළුවකු සිතා එය ගොඩට අදින විට මේ රෝදය සහ යකඩ තහඩුවක් හමුවූ බවත් ඔහු කීවේය. රෝදයේ ටයරය ගුඩ්ඉයර් වර්ගයේ එකකි. එහි 5000699 යන අංකය යොදා තිබිණි. රොයිටර් වාර්තාකාර රොබට් මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්‌ථානයට යෑවූ අතර එම මූලස්‌ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය,
(රොබට් මැහෝනි විසිනි)
මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18. (රොයිටර්) ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධනවතකු වන උපාලි විජයවර්ධන සහ තවත් පුද්ගලයන් 05 දෙනකු කැටුව යමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලික ජෙට් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈතින් සාගරයේ තිබියදී සොයාගෙන ඇත.
අනතුරින් දිවි ගලවාගත් අය ගැන වාර්තා වී නැත.
සිද්ධිය පිළිබඳ රොයිටර් පුවත් සේවයට විස්‌තරයක් කළ ඉන්දුනීසියා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙක් වන ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනෝ කියන පරිදි මීඩාන් ප්‍රදේශයට මුහුදු සැතපුම් 60 ක් ඈතින් පිහිටි පුලවු බෙංගාලා දූපත අවටින් මේ සුන්බුන් හමුවී තිබේ.
සුන්බුන් හමුවූ මුහුදු ප්‍රදේශයේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් පැවැති බවද මසුන් මරන්නා පවසා ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් සහ දිවි ගලවා දිමේ කණ්‌ඩායම් සිද්ධියට සම්බන්ධ සාගර ප්‍රදේශය බලා යමින් සිටිති.
හතළිස්‌තුන් හැවිරිදි උපාලි විජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජුනියස් ජයවර්ධනගේ ඥති සහෝදරයාය. ඔහු ශ්‍රී ලංකාවේ බහු ජාතික ව්‍යාපාරයක් වූ උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්‌කරුවාය.
මෙයට පෙර ද කැඩුණු පියාපතක් සහිතව පිට පැත්තට පෙරළී මුහුදේ පාවෙමින් පැවැති ගුවන් යානයක් තමන්ට දැක ගැනීමට ලැබුණ බව ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවෙක් පවසා තිබිණි.
අනතුරට පත් ගුවන් යානය පෙබරවාරි 13 වැනි සිකුරාදා රැයේ මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපලින් ගුවන්ගත වී විනාඩි 15 කට පසු අතුරුදන් විය. දෙසතියක ව්‍යාපාරික සංචාරයක නිරතව ආපසු එමින් සිටි උපාලි විජයවර්ධන ඇතුළු කණ්‌ඩායම යානයේ වූහ. උපාලි විජයවර්ධන මහතාගේ උපාලි සමූහ ව්‍යාපාරය රස කැවිලි, සබන් නිපදවන අතර මෝටර් රථ එකලස් කරයි. පුවත්පත් ආයතනයක් ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යයි. ඔහු සතුව කොකෝවා සැකසුම් කම්හලක් මැලේසියාවේ තිබේ.
ඉහත සඳහන් වාර්තාව උපාලි විජයවර්ධන පිළිබඳ උනන්දුවක් තිබූ සියලු දෙනාගේ සිත් තුළ මහත් කම්පාවක් ඇති කළේය. එහෙත් රොයිටර් ප්‍රවෘත්තිය නිකුත් වී පැය දෙකකට පමණ පසු එම ප්‍රවෘත්තිය මුද්‍රණය නොකරන ලෙස දන්වා පුවත්පත්වලට අතුරු ඉල්ලීමක් සහිත කේබල් පණිවුඩයක් රොයිටර් ආයතනය මගින්ම එවා තිබිණි. එයට හේතුව යානයේ රෝදය ලියර් ජෙට් රෝදයක් නොවන බවත් ලෝහ කැබැල්ල පැරණි නැවක කැබැල්ලක් බවත් හෙළි වී තිබීමය. ඒ සමගම පෙර කී වැරදි ප්‍රවෘත්තිය වෙනුවට විකල්ප ප්‍රවෘත්තියක් ඊටත් පැයකට පසු එවා තිබිණි. ඒ මෙසේය,
(රොබට් මැහෝනි විසිනි)
මිදානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18 (රොයිටර්) අතුරුදන් වූ පුද්ගලික ජෙට් ගුවන් යානයක කොටස් ඇතැයි සැළකෙන මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත් සාගර ප්‍රදේශයකට ඉන්දුනීසියානු බලධාරීන් හෙලිකොප්ටරයක් සහ නාවික යාත්‍රා යවා ඇත.
මේ අතර ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනො කියූ ආකාරයට හමුවූ ලියර් ජෙට් රෝදය හා ගුවන් යානා කැබැල්ල උපාලිගේ ලියර් ජෙට් යානයේ කොටස් නොවන බව ඉන්දුනීසියා ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකාරක මේජර් සුගිදාර්තෝ පවසා ඇත. එම තොරතුර වැරදි තොරතුරක් බව ඔහු තවදුරටත් කියයි.
පියාපතක් කැඩී මුහුදේ පාවෙමින් තිබූ ගුවන් යානයක් තමන් අහසේ සිට දුටු බවට ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවකු පැවැසූ කතාවද බොරුවක් බව මේජර් සුගිදාර්තෝ පවසයි. ඒ අනුව උපාලි ඇතුළු පිරිස සෙවීමේ කටයුතු දිගටම පවත්වාගෙන යැමට තීරණය කර තිබේ.
කෙසේ වුවද රෝදය පිළිබඳ තොරතුරු ලියර් ජෙට් නිෂ්පාදන සමාගමට දන්වනු ලදුව එම සමාගමේ ආසියානු කලාපීය නියෝජිතයන් වූ ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පෙල්විල් සමාගම වහාම ඉන්දුනීසියාවට පැමිණියේය. රෝදය පරීක්‍ෂා කළ ඔවුන් කිවේ එය ලියර් ජෙට් යානයක රෝදයක් නොවන බවය. එය දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානයක කොටසක් ලෙස දිගු කලක් මුහුද යට තැන්පත්ව තිබෙන්නට ඇති බවත්, ඒ මත ගොඩගැසී තිබූ යකඩ කැබලි හෝ වෙනත් බර ද්‍රව්‍ය නිසා මෙතෙක් කලක් උඩ නොපැමිණි බවත් අභ්‍යන්තර දිය වැලක් වැනි භූගෝලීය හේතුවකින් සාගර පත්ල කැලඹීම නිසා පෙර කී පීඩනයෙන් නිදහස් වූ රෝදය උඩ එන්නට ඇති බවත් සමහරුන්ගේ මතය විය. ඒ අතර උපාලිගේ යානයේ කැබැල්ලක් යෑයි සැක කෙරුණු මළ කෑ යකඩ කැබැල්ලද ලියර් ජෙට් යානයට කිසිදු සම්බන්ධයක් නොතිබූ ලෝහ කොටසක් විය. ලියර් ජෙට් යානා තනන තහඩුව යකඩ නොව ටයිටේනියම් ය. එය ඉතා සැහැල්ලුය. වඩා ශක්‌තිමත්ය. මළ නොකන සුලුය.
ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා හෝ උපාලි සමූහ ව්‍යාපාරය වෙතින් උදව් ලබාගැනීම සඳහා ඉන්දුනීසියන් ධීවරයන් පිරිස ඉදිරිපත් කළ රෝදයට සහ ලෝහ කැබැල්ලට රැවටීමෙන් රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු රොබට් මැහෝනි ලොකු වරදක් කරගෙන තිබිණි. රොයිටර් පුවත් සේවය තම වාර්තාවක් ඉල්ලා අස්‌කර ගන්නේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කල්පනා කළ ආසියාවේ ඉංගී්‍රසි පුවත්පත් රොයිටර් පුවත් සේවය මුලින් එවූ වැරදි වාර්තාවත්, එය ඉවත් කරන ලෙසට එම පුවත් සේවය කළ ඉල්ලීම සහිත කේබල් පණිවුඩයත් ඊළඟට එවන ලද නිවැරදි වාර්තාවත් යන තුනම පෙබරවාරි 19 වැනිදා පුවත්පත්වල එක ළඟින් පළකර තිබිණි. මේ නිසා රොයිටර් පුවත් සේවය තව දුරටත් අමාරුවේ වැටිණි. ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවා දුටු පියාපතක් කැඩුණු ගුවන් යානයක් සාගරය මත පාවෙනු දැකීමේ කතාවද බොරුවක් බවට පත් වූ අතර ඒ මෙසේයá සාගරය මත පාවෙන යානය ඔහු විසින් දැක තිබුණේ පොළවට අඩි 48000 ක් උඩින් පියාසර කරන විටය. එය සැතපුම් 9 කටත් වැඩි උසකි. එවිට පෘථිවිය හෝ එහි සාගරය නොපෙනෙන අතර යානයට යටින් ඇති වළාකුළු තට්‌ටුව පමණක් පෙනෙයි. එහෙත් පොළව වටා කක්‌ෂගතවී ඇති චJද්‍රිකාවලට පොළොව හෝ සාගරය මත ඇති දේ පැහැදිලිව දැක ගත හැකිය. ඒවායේ සවි කර ඇති කැමරා සූක්‍ෂමය. එහෙත් මගී ගුවන් යානාවල එවැනි සූක්‍ෂම කැමරා හෝ දුර බැලීමේ උපකරණ සවිකරනු නො ලැබේ. මන්දයත් ඒ මගින් ගුවන් යානාවේ ගමනට කිසිදු ප්‍රයෝජනයක් නැති නිසාය.
* අනුර සොලමන්ස්
* මනෝජ් අබයදීර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
අබිරහස් අඩවිය - Abirahas Adawiya