Saturday, September 29, 2018

පිදු­රං­ගල කන්දේ අසි­රි­යෙන් මත් වී.....(pidurangala sigiriya - අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

සීගිරියට සමීප පිදුරංගල කන්ද මනස්කාන්ත ය. එය තරණය කිරීමට යන බොහෝ දෙ‍ෙනක් එහි වටපිටාවේ සුන්දරත්වය ගැන බොහෝ විට කතා කරති. මේ පිදුරංගල ගිය කණ්ඩායමක අත්දැකීම් කිහිපයකි.
මද්දහන පසුවී හෝරා දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එකළොස් දෙනකු පටවාගත් වාහනය ගන තුරු ලතා පීරමින් තාර යෙදූ මාවත දිගේ ඉදිරියට ඇදෙයි. හමු වූ පළමු හන්දියෙන් දකුණට හෑරී ‍බොරලු මාවතේ කෙළවර පිහිටි පිදුරංගල රජමහ විහාරය අබියස නතර විණි.
ආ ගමනේ අරමුණ පිදුරංගල පර්වතය තරණයයි. රැගෙන ආ ආහාර හනිකට ගිලදැමූ අපි වතුර බෝතල් පමණක් මලුවල ඔබා ගත්තේ ගමන ඉක්මන් කිරීමට ය. පිදුරංගල විහාරය මැදින් වැටී ඇති මඟ ඔස්සේ ආරම්භක පියවර තබන විට වේලාව සටහන් වූයේ සවස 3.15 ලෙසට ය.
ලෝක උරුම සීගිරියට සමාන උසකින් හෙබි පිදුරංගල කඳු පර්වතය පිහිටියේ සීගිරියට උතුරු දෙසින් කිලෝමීටර් 2 ක් ඈතිනි.
මඳ දුරක් ඇවිද ගිය කණ්ඩායම, විශාල පර්වත යුගලක් ඈදුනු දොරටුවක් තුළින් ඇතුළු වූවෙමු. ක්‍රමානුකූලව ඉදිවූ ගල් පඩි පෙළක් ඉහළට දිව යයි. හාත්පස සුළු අඳුරු ස්වභාවයක් රජකර ගෙන ය. මහ රූස්ස ගස් එකිනෙකට බැඳී අපූරු තුරු වියන හිරු කිරණට පොළොව සිප ගන්නට බාධා කරයි. තුරුපත් නළවමින් හමා එන සිහින් සුළං රැලි වෙහෙසකර ගතට දිවි ඔසුවකි. වන සංචාරයක සොඳුරු ආශ්වාදය අත්දැකීම් උපරිමයෙන් විඳ ගැනීමට උචිත ලෙස මංපෙත නිර්මාණය වී ඇති සෙයකි. කඩින් කඩ ඇසෙන කුරුලු කූජනය පරිසරයේ නිශ්චලතාවට එල්ල වන සොඳුරු තර්ජනයකි. මිහිරි හඬ අබිබවා ඇසෙන ගස් අතු කඩා වැටෙන හඬත් හිතට ගෙන ආවේ තිගැස්සීමකි. පැටවුන්ගේ දඟ වැඩ නරඹන අඩවියේ රිලා ගනන්කාරයින් යන එන අමුත්තන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙති. කිසි විටෙකත් ආහාර දීමට හෝ උසුළු විසුළු නොකිරීමට වගබලා ගත යුතු ය. මන්ද නිදහසට බාධාකිරීමේ අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ අනපේක්ෂිත අයුරින් හැරෙන තැපෑලෙනි.
තවත් අයෙක් තුරු මුඳුනට වී ගල් ගැසී ඇස් කරකවමින් හොර ගල් අහුලමින් සිටිති. මේ තැන්පත් සංවරකම තම ඉලක්කය නෙත ගැටෙන තුරු පමණක් බව දන්නේ උකුස්සා පමණී.
තුරු සෙවණ යටින් දිවෙන මඟට සමාන්තරව දකුණු පසින් ඉහළට විහිදී ගිය විශාල ලෙනකි. කළු ගල් බැමි එය තුළ දැකිය හැක. ඒ තුළ ඇති අපූරු නිර්මාණයකට නෙත් ඇදී යන්නේ ක්ෂණිකවයි. කුඩා ගල් පතුරු එක මත එක තබා තනා ඇති පිරමිඩ හැම තැනම විසිරී පැතිර පවතී. කවුරුන් කළත් එය සිත් ගන්නා සුන්දර නිර්මාණයකි.
ගල්පඩිපෙළ ක්‍රමයෙන් අවසන් අදියරට ළඟා වන ලකුණු පෙනේ. එක හැල්මේ ආ වෙහෙසකර ගමනේ රිදුම් දෙන දෙපාවලට එය අස්වැසිල්ලකි. සේන්දු වූයේ තැනිතලා බිමකට ය. වම් පසින් ගස්කොළන් වලින් තොර වූ පිටතට නිරාවරණය වූ විශාල කවුළුවකි. මෙය ගමනේදී හමුවන එකම හා පළමු බැලුම් ගලයි. දකුණු පසින් ඇති ලෙනට යාවන සේ ගොඩනඟා ඇති ගඩොල් බිත්ති පොතු ගැලවී ගරා වැටී විහාරය නටබුන් සිහිගන්වයි. ඊට මැදිවූ දිගු සැතපෙන බුදු පිළිමයකි. එයත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වූ බවක් පෙනේ.
පිළිමයට ඉදිරියෙන් වූ බැලුම්ගල මත කොටුකරන ලද යකඩ වැටකි. එය ආරක්ෂා කරන්නේ කුඩා සෙල්ලිපියකි. දිගු ලෙන තවත් ඉදිරියට ඇදී ගොස් තිබේ. පියවර කීපයක් ඇදී ගිය විට සමතල බිමේ විසිරුණු ගල්තලාවේ කුඩා දිය පොකුණක් දැකිය හැක. එහි ජලය පිරී තිබුණත් පිරිසුදු බවක් පෙනෙන්නට නැත.
මෙතැන් සිට ඉදිරියට යා යුත්තේ ස්වභාවික මං පෙත් ඔස්සේ ය. රක්ත වර්ණයෙන් බිම යොදා ඇති ඊතල සලකුණු නිසා මඟ වරදින්නේ නැත.
ඊළඟ අදියර පටන් ගත්තා පමණි, නෙත ගැටෙන දසුන එකවරම ගමන නතර කිරීමට සමත් වෙයි. ලෙන් සංකීර්ණයේ අවසාන කොටසේ ඉහළ පර්වත ගලත් පොළවත් අතර පවතින්නේ කුඩා ඉඩකි. මෙම විශේෂිත ස්ථානය පසු කර යන්නන් අසල ගසකින් කඩා ගත් අතු කැබැල්ලක් ගෙන මුක්කුවක් ගැසීමට අමතක කර නොමැති හැඩකි.
දැන් දැන් ගමන ක්‍රමයෙන් අසීරු බවක් ගෙන දේ. ඉදිරි මඟ නෙත ගැටෙන වාරයක් පාසා හිතේ ගැස්ම වැඩි කරයි. බැලූ බැලූ අත විවිධ හැඩ ගත් අති විශාල ගල් කුට්ටිය. අභියෝග රැසක් ඉදිරියේ අතරමං වූවා සේ හැඟේ. ගලින් ගලට මාරු වෙවී ත්‍රාසය උපදවන ගමනක අත්දැකීම් විඳ ගැනීමට අවස්ථා උදා කරයි. ගල් බිත්ති දෙකක් අතරින් පැත්තට ගමන් කළ පසු පර්වත කුඩා සිදුරකින් රිංගා යාමට සිදුවේ. නැතහොත් ඉහළින් ගල මත බඩගෑමේ අභියෝගයට මුහුණ දිය යුතුය. පහසු මඟ ගමන් කරන්නා විසින් ම ‍‍තෝරාගත යුතුව ඇත. අවසන් මීටර් කීපය ගල් මත එල්ලී ඉහළට නැඟීමට සිදුවේ.
අවසන් පියවර අතිශය තීරණාත්මක ය. පිදුරංගල කඳු මුඳුනට ගොඩ විය යුත්තේ දෑත් වලට දෙන බර තල්ලුවෙන් අති විශාල ගෝලාකාර ගල්කුට්ටිය යටි හිඩැසින් බඩගාගෙන ය. වයස හෝ ශරීර ප්‍රමාණය මෙම අත්දැකීම විඳ ගැනීමට වැදගත් නැත. ඕනෑම අයකුට අභියෝග ජය ගත හැකි සුවිශේෂ බවක් මෙහි ගැබ්වී තිබේ.
අඩහෝරාවක් පුරා විඳගත් සොඳුරු කටුක අත්දැකීම් මුඳුනට ගොඩ වූ විගස නෙත ගැටෙන පළමු චමත්කාර දසුනින් සියල්ල අමතක වී යයි.
ප්‍රතාපවත් ගම්බීර ලීලාවෙන් නැගී සිටින සිංහ ගල බැස යන හිරුගේ රත්පැහැ ගැන්වූ කිරණින් රන්වන් පැහැයෙන් බබළයි. මුඳුනේ පිහිටා ඇති ගෝලාකාර පර්වතය පිදුරංගලට පමණක් සුවිශේෂ වූ සලකුණකි. ගල මුදුනේ නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශයට පත්වූ දා ගැබක නටබුන් යයි සිතිය හැකි ශේෂ පවතී. ඒ අවට කටු සහිත පතොක් ගස් කීපයකි. රිසි සේ ඇවිද යා හැකි පරිදි මතු පිට ගල්තලාව දකුණට හැරෙන්න අන් සියලු දිශාවලට බෑවුම්ව විශාල ලෙස විහිද පැතිර යයි.
මුඳුන අංශක 360 දර්ශන කෝණයකින් පිහිටයි. තෙරක් නොපෙනෙන එකකට එකක් නොදෙවනි රමණීය දර්ශන පෙළක් නෙත් ඉදිරියේ දිග හැරෙයි. චමත්කාර අනන්තයට දැහැන් ගත වන සිත ඉවත් කර ගැනීම ඊළඟට මුහුණ දෙන ගැටලුවකි.
පිදුරංගලත් සුවිශේෂ අපූරු අත්දැකීම් විඳ ගත හැකි ගමනාන්තයකි. මෙහි සංචාරය කිරීමට උචිත ම කාලය පාන්දර ‍හෝ සවස් යාමයයි. හිරු නැගීමත් බැස යාමත් සමඟ පරිසරයේ සොඳුරු වෙනස වින්දනය වචනවලට පෙරළිය නොහැකි තරම් සංවේදී චමත්කාර ජනක ය. බර මලු ගමනට බාධාවකි. වතුර රැගෙන ඒම අත්‍යවශ්‍ය ය. මෙවන් වූ සොඳුරු අත්දැකීම් රැසක් අත්විඳීමට ජීවිතයේ එක් වරක් හෝ පිදුරංගල නැගිය යුතුම ය.
කුමුදු ගුණ­සේ­කර
සිත්මල් යාය
silumina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

2 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  2. මාත් පිදුරංගල නැග්ගා. ඔතෙනට පේන්නේ සීගිරියෙ පිටිපස්ස පැත්ත. අනික් කාරණය තමයි, පිදුරංගල මුදුනෙ තියෙන චෛත්‍ය කීපය. වන්දනාකාරයන්ට අපි ඔය නගිනව වගේ අමාරු පාරක් නෙවෙයි තියෙන්න ඇත්තෙ. කොයිතරම් දේවල් තියෙනවද තව පරීක්ෂණ කරලා හොයාගන්න?

    ReplyDelete