ගැමුණු රජතුමාගේ යුද හමුදාවේ සෙන්පතියන් ලෙස ශූර වීර කම් පෑ දස මහා සෙනෙවියන් ගැන අපේ වංශ කතාවෙහි විස්තර වේ. නන්දිමිත්‍ර, වේළුසුමන, සුරනිමල, ගෝඨයිම්බර දස මහා සෙනෙවියන්ට අමතරව රජුට සේවය කළ තවත් එක් යෝධයෙකු වනුයේ ‘බුලතා’ යෝධයා ය.
කඳුරට උඩ දුම්බර කිරි පට්ටිය නම් ගමේ උපන් බුලතා රාජ මෙහෙවර සඳහා රුහුණට පිවිස ඇත්තේ හිරිමල් තරුණ වියේදී ය. බුලතා ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත බව කිව යුතු නොවේ. සවි බල මිනිසුන් විසි දෙනෙකුගේ පමණ කාය ශක්තියකින් යුත් බුලතා පිළිබඳ විවිධ කතා පුවත් ජන වහරේ ද පවතී.
අපි බුලතා ගැන කියැවුණු ජන කවියක් පළමුව විඳිමු.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
හොර බර වැව නොදුටුව ඇස් මොටද බොලේ
බුලතා දුටු ගැමුණු රජුට ඉතාම කුළුපග මෙන්ම විශ්වාසවන්ත රාජ සේවකයෙකු විය. ගැමුණු රජ වෙත බුලත් සැපයීම මොහුගේ රාජකාරිය විය. දිනකට හත් වතාවක් රජුට බුලත් පිළියෙළ කිරීම නිසා ගැමියන් අතර මොහු හැඳින්වුණේ බුලතා නමිනි.
සොරබොර වැව
එළාර රජු යටතේ අනුරාධපුරයෙහි ආධිපත්‍යය පැතිරුණු ආකාරයත් මේ නිසාම රජ රටෙහි ද්‍රවිඩ රාජ්‍යයක් ගොඩනැගී තිබුණු අයුරුත් අපේ කතාවන්හි විස්තර කෙරේ. කුඩා කල පටන්ම දමිළයන් පළවා හැරීමේ සැබෑ ඕනෑ කමකින් කල් ගෙවූ ගැමුණු රජු පියාණන්ගේ වියෝවෙන් පසු රුහුණේ රජකම භාර ගත්තේය. රට එක් සේසත් කිරීමේ දැඩි අරමුණෙන් දස මහා යෝධයන්ගෙන් සමන්විත මහා බලසේනාවක් සූදානම් කර ගත් ගැමුණු රජු අනුරාධපුරය බලා ගමන් ඇරඹීය.

චෛත්‍ය කර්මාන්තය කරවන අතර සිය සේවයෙන් පසු ලැබෙන විරාමයේදී බුලතා පළාතේ වන අසිරිය නරඹමින් අවට ඇවිදීමට පුරුදුව සිටියේය. මහියංගනයෙන් උතුරු දෙසට ඇවිද ගෙන යන අවස්ථාවේ ගල් කඳු දෙකක් අතරේ පිහිටි පහත් බිම් තීරුවක් සහ ඒ හරහා ගලා යන නිල්වන් දිය දහරක් දක්නට ලැබුණි.
බුලතා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. මෙම ස්ථානයෙහි වැවක් ගොඩනැගිය හැකි බැව් ඔහු තීරණය කළේය. සිංහලයන්ගේ ලේ තුළ වැව් සංස්කෘතිය පිරී තිබුණු බව දැක්වේ. වැව් බැඳීම මහා පුණ්‍ය කර්මයක් බැව් බෞද්ධ සාහිත්‍ය පත පොත්හි ද දැක්වේ. සිංහලයන්ට වැව් බැඳීමේ සහජ හැකියාවක් ද තිබුණි.

දිවා රෑ නොබලා ඔවුහු වෙහෙසී වැඩ කළහ. කෙටි කලෙකින් වැව් බැම්ම සැකසිණි. මෙහා ගල් කන්ද කෙළවරේ එක් තැනක් නිසි ලෙස කපා අපූරු ගල් සොරොව්වක් ද නිර්මාණය කළේය. අනෙක් ගල් කන්ද තවත් තැනකින් කපා වැවේ වැඩි ජලය පිට කිරීම සඳහා ජල පැන්නුමක් සකස් කළේය.

නිල්වන් ජල දහරෙන් පිරි රැළි පිට රැළි නගන වැව් කොමලිය දුටු රජුට ඇස් අදහා ගත නොහැකි විය. තම රාජකාරිය ද අකුරටම ඉටු කරමින් අංග සම්පූර්ණ පුංචි වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන රජතුමා විස්මය පළ කළේය. මේ නම් මහා විශ්ව කර්මයක් යැයි ආඩම්බරයෙන් පැවසූ ගැමුණු රජු තම ගෙළ බැඳි ඉතා වටිනා මුතුහර බුලතාගේ ගෙළ පැළඳවීය. බුලතාගේ බිරිඳ වෙත ද තෑගි බෝග පිරිනැමීය.
මෙය හරබර වැව් කර්මාන්තයක් යැයි රජතුමන් කී හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව‘ නම් විය. හරබර වැව පසු කලක දී සරබර වැව වශයෙන් ජන වහරට එක් විය. ඉනුත් කලකට පසු සොරබොර වැව නමින් ජන වහරේත් ඉනික්බිති වාරි කර්මාන්ත පත පොතෙහිත් භාවිත විය. මෙයින් අවුරුදු සිය ගණනකට
පළමු බුලතා යෝධයා ගොඩනැගූ සොරබොර වැව මහියංගන ගොවි ජනතාවට ඌවේ ජනතාවට පමණක් නොව මුළු දේශයටම කෘෂිකර්මාන්තය උදෙසා මහා පිටුබලයක් විය.
බන්ධුල ආර්. ගුලවත්ත
dinamina
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment