Friday, July 19, 2019

මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි වසර පන්දහසක් පැරණියි....(lakgala hela wedakama අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන ලග්ගල වෙද පරපුරේ පැරණි පුස්කොළ පොත්
ලෝක උරුමයක් බවට පත්වූ නකල්ස් රක්ෂිත කලාපයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විහිදී ගිය අතීත සිදුවීම් හා වත්මනේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දෑ සැබැවින්ම ඇස් අදහා ගත නොහැකි දේය.
ඉපැරණි සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යමින් අදටත් සිංහල වෙදකමේ විස්මිත හාස්කම් පාන ලග්ගල වෙද පරපුරේ තවත් අනගි කටයුත්තක්  පාඨක ඔබ වෙත තිළිණ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.
දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ සුව කළ නොහැකි රෝගයක් නොමැති තරම්ය. වසර පන්දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පරපුරක පුරුක් යැයි හඳුන්වන ලග්ගල පැරැන්නන් අතර හෙළ වෙදකමේ දක්ෂකම් දක්වන දේශීය වෛද්‍යවරුන් පිරිසක් තවමත් ලග්ගල ප්‍රදේශයේ නිහඬ සේවාවක නිරතව සිටිති. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජනය කරමින් කටයුතු කරන පනහකට වැඩි වෛද්‍යවරුන් පිරිසක් ලග්ගල අදටත් වෙසෙති.  ඔවුනොවුන් අතරින් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා විවිධ දක්ෂකම් දක්වන පිරිස් බොහෝය. එහෙත් ඔවුනට සිය වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති ගැටලු රැසකි.  මෙම තත්ත්වය හොඳින් වටහාගත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ලග්ගල දේශීය වෛද්‍යවරුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.
අඳුරේ සැකසෙන ලග්ගලට පමණක් ආවේණික 
නීල්‍යාදී තෛලය සැකසෙන අයුරු
ඖෂධ නිෂ්පාදනයේ දී බලපාන ගැටලු විසඳා ඔවුන් නගාසිටුවීමේ අරමුණින් මෙම වැඩටහන සංවිධනය කර තිබිණි.  දින ගණනක් තිස්සේ විවිධ පූජෝපහාර පවත්වමින් මහ වන මැද ගමන් කර අවශ්‍ය ඖෂධ රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ නොමැති “ලග්ගල නීල්‍යාදි තෛල්‍ය” සිඳීමේ කටයුතු සුභ නැකතින් පසුගියදා ආරම්භ විය.  සිය ගණනක් වූ දේශීය ඖෂධ වර්ග වෙන්කර නිසි පිළිවෙත් පුරා නීල්‍යාදි තෛල්‍ය ළිප මත තබන්නට ආයුර්වේද වෛද්‍ය (විශේෂ) ඩබ්ලිව්.එම්.කේ.එම්.ජී. කිරිබණ්ඩා වෙද මහතා අප ඉදිරියේ කටයුතු කළේය.  දින හතරක් මදගින්නේ කැකෑරෙන මේ අතිශ්‍ය වැදගත් තෛලය සිඳෙන්නේ අඳුරෙන් වටවූ ස්ථානයක දීය.  අනාදිමත් පරපුරක පස්වැනි පුරුක වන ආයුරේද වෛද්‍ය කිරිබණ්ඩා මහතා භක්තියෙන් සිය වෙද පරම්පරාවේ තතු අප හා හෙළි කළේ මහත් අභිමානයෙනි.
“ මේ තෙල හිඳිද්දි ගින්දර වැඩියේ දාන්නේ නැහැ. දින ගණනක් යන කටයුත්තක් පසුව තමයි ක්‍රම ක්‍රමයෙන් ගින්දර වැඩිකරන්නේ.  දින හතරක් විතර යනවා මේ තෙල හිඳගන්න. මේ තෙලට කියන්නේ නීල්‍යාදි තෛලය කියලයි.  නීල්‍යාදි කියන්නේ නිල් ඇවරිය ප්‍රධාන කරගත්තු ඖෂධ වට්ටෝරුවක් තමයි මේකේ තියෙන්නේ.  නිල් ඇවරියවල තියෙන විශේෂ ගුණය තමයි හිස කෙස්වලට තියෙන ගුණය. හිස කෙස් කළු කිරීම, වැටීම, පෑසීම වගේ දෙවල් මේ තෙලෙන් නවත්වන්න පුළුවන්. ඒ වගේම මේ තෙලට එක්කරන අනෙක් ඖෂධවලින් හිසේ සෙසු රෝග මෙන්ම වාත රෝගවලටත් ප්‍රතිකාර ලැබෙනවා. සෙම, පිත වාගේ අවස්ථාවන් වලදී පවා මේ තෙලට එක්කර තිබෙන ඖෂධ වලින් ගුණ ලැබෙනවා.  

ඒ වගේම ඇදුම රෝගයට පිටතින් ගාන්න පුළුවන් තෙලක් මේක. වාත රෝග පවතින පුද්ගලයින්ටත් මේ තෙල භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම තමයි කැඩුම් බිඳුම් අංශයට අදාළ ඖෂධත් මේ තෙලට එකතු වෙනවා.
ඒ නිසා තමයි යම් කෙනෙකුගේ හිසට පහරක් වැදුණහම මේ තෙල් ටිකක් ගාපුවහම අඩුවෙලා යන්නේ.
සිරුරේ තැළීම් සීරීම් මෙන්ම කුඩා කෘමි සතුන්ගෙන් සිරුරට සිදුවන හානිවලටත් මේ තෙල භාවිත කරනවා.
විශේෂයෙන් පිලිස්සුම් ආදී තත්ත්වයන්වල දී පවා මේ තෙල භාවිත කරනවා.
අපේ වෙද පරම්පරාවේ පසු වැනියා තමයි මම. මේ කියපු සේරම ප්‍රතිකාර විධි වගේම බෙහෙත් වට්ටෝරු අදටත් පුස්කොළ පොත්වල ලියලා අප සතුව තියෙනවා. වෙන කවුරුත් ගාව මේවා නැහැ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ තෙල අපෙන් ඉල්ලනවා.
නමුත් වානිජ මට්ටමෙන්ම මේ තෙල හිඳින්න පහසුකම් අපිට නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.
මොකද මේ තෙල්වලින් සුවය ලබන්නේ අවට ජීවත්වන පිරිස්. ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමයි මේ තෙල හිඳින්නේ.

අපේ මුත්තලා තමයි මේ පිළිබඳ වසර 200 ක පමණ ඈත අතීතයේ පර් යේෂණ කරලා මේ ලග්ගලටම ආවේණික නීල්‍යාදි තෛලය සොයා ගෙන තියෙන්නේ. ඒ පුස්කොළ පොත්වල අපේ මුත්තලාගේ නම් පවා ලියවිලා තියෙනවා.
වනාන්තරවල තියෙන අමු ඖෂධ වර්ග ගෙනැල්ලා කොටලා ඒවගේ යුෂ වෙනම වෙන්කරලා සරක්කු වර්ග ඉතා සියුම් විදිහට කුඩු කරලා අරගෙන අඹරන්න තියෙන ඖෂධ වර්ග අඹරලා අරන් තමයි මේ තෙල සැකසෙන්නේ.
මගේ පියතුමත් වෛද්‍යවරයෙක්. එතුමා නැතිවෙලා දැනට වසර 35 ක් පමණ වෙනවා. මමත් මේ කටයුතු කරන්න අරන් වසර 30ක් පමණ වෙනවා.”
පාරම්පරිකව අනාදිමත් කාලයක සිට පැවත එන ලග්ගල වෙද පරපුර වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන නැවත පණ ගැන්වීම වෙනුවෙන් අත හිත ලබාදුන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ සිය සංවිධානයේ අරමුණ වී ඇත්තේ වැනසී යන දේශීය වෛද්‍ය විද්‍යාවට නැවත ජීවයක් ලබාදීම බවයි.
“ඇත්තටම ලග්ගල කියන්නේ “ජන කෝෂ්ඨාගාරයක්” සිංහල වෙදකමේ අක්මුල් තිබුණු ස්ථානයක්.

මේ ප්‍රදේශයේ ඉතාම පැරණි මෙන්ම අත්දුටු ඖෂධ වර්ග ගණනාවක් අදටත් ඉතිරිවෙලා තියෙනවා. අපි කනගාටු වෙන්න ඕනේ ඒවගේ ඉතාමත් රහස්‍ය බෙහෙත් හා ඖෂධ වර්ග පිළිබඳ දැනන් හිටපු බොහෝ වෛද්‍යවරුන් පිරිසක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ මේ පරිසරයේ.

මේ කටයුතුවල නිරතවෙලා ඉන්න මේ වෙදමහත්වරු ඇත්තටම ජාතික සම්පතක් වගේම ලෝකයටම සම්පතක්.
ඒ නිසාම තමයි අපි උත්සාහ කළේ ලෝකේ මිනිසුන්ට සෙත ශාන්තිය සලසන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඉදිරියට ගෙනියන්න.
හිසේ රෝග සුව කරනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේම ගොඩදැමීමක්නේ. ඒ නිසා තමයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය විදිහට අපි උත්සාහ කළේ මේ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න.
මෙතන දී එක කාරණයක් කියන්න ඕනෑ. මේ උත්සාහය මේ නිෂ්පාදන රට පුරා බෙදන්න හෝ ලාභ උපයන්න නෙවෙයි. මේ අයගෙන්ම බෙහෙත් ගන්න එන අයට ප්‍රතිකාර කරන්නයි මේ වෑයම.
තවත් කාරණයක් තමයි මේ වෙදමහත්වරු සමග එකතුවෙලා අතීතයේ භාවිතයට ගැනුණු ප්‍රතිකාර ක්‍රමවලට ජීවයක් ලබාදෙන එකත් අපේ අරමුණක්.
මේ කටයුතු සාර්ථක කරන්න අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ JEP පරිසර වැඩසටහන තමයි උදව් උපකාර කරන්නේ.
අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වෙද මහත්වරුන්ගේ තවත් වට්ටෝරු කිහිපයක් අත්හදා බලන්න වගේම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න.”

ආනන්ද කනහැරආරච්චි මහතා සිය අදහස් එලෙස ප්‍රකාශ කරද්දී කිරිබණ්ඩා වෙද මහතා විසින් ආරක්ෂා
කරගෙන එනු ලබන සිය පරම්පරාවේ පුස්කොළ පොත් සියල්ල අප ඉදිරියේ දිගහැරියේ මහා අතීතයක සිය උරුමය නිර්ලෝභීව තවකෙකුට පෙන්වන විලාශයෙනි.
ඇසේ කටුවක් ඇනුණු කල ඇසට හානියක් නොමැතිව ඉවත් කරන විස්මිත වෛද්‍ය ක්‍රම මෙන්ම මිනිස් සිරුරේ සිදුවන සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ මෙන්ම අත්දුටු බව සඳහන් කළ වටිනා පුස්කොළ පොත් රැසක් තවමත් මේ වෙද මහතා සුරැකිව තබාගෙන සිටියි.
සිංහල භාෂාවේ අපූරු දියුණු යුගයක (පුස්කොළ පොත්වල සටහන් වී ඇති ආකාරයට 1904 වර්ෂයේ පමණ මේවා ලියා තිබේ) සිංහල ආකාරාදී පිළිවෙළට මෙම පුස්කොළ පොත් ලියා ඇත.
මෙහි අංකනය කිරීම් මෙන්ම වැරදුණු ස්ථානයක් වේ නම් පුස්කොළ පොතේ අවසානයේ එවා නිවැරදි කර නැවත ලියා ඇති ආකාරය විස්මය දනවනසුලුය.
එපමණක්ද නොව කිරිබණ්ඩා මහතාගේ පරම්පරාවේ අතීත මුත්තන් විසින් මෙම බෙහෙත් අත්හදා බලා සාර්ථක වූ කල පුස්කොළ පොත්වල විවිධ ක්‍රම ඔස්සේ සලකුණු තබා ඇති බව අපට පෙන්නා දුන්නේ කිරිබණ්ඩා වෙද මහතාය.
ලග්ගල පුරාණය පිළිබඳ ගවේෂකයෙකුට හමුවන ලිඛිත මෙන්ම ප්‍රවාද ඔස්සේ ගමන් කළ විට අතීත රාවණ යුගය පිළිබඳ බොහෝ දේ සොයාගත හැකිය.
රාවණාගේ ඖෂධ උයනක් ලකේගල සමීපයේ පැවතීම හා ඒ ආශ්‍රිතව ජීවත්වූ අතීත පිරිස් මේ උයනේ ඖෂධ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගැනීම සිදුකර ඇති බවට සාක්ෂි මේ පරිසරයේ කොතෙකුත් හමුවේ.

විශේෂයෙන් ළිං හැරීමේ දී ලග්ගල වැසියන්ට හමුවී ඇති විවිධ ආයුධ කොටස් (මේවා ආචාර්ය සූරිය ගුණසේකරයන්ට අනුව ‘ශර’ ලෙස හැඳින්වෙයි) මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී එවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අගකොටසට සමාන බව ලග්ගල වැසියන් පවසා ඇතැයි පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමන් පවසා ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආචාර්ය සූර්ය ගුණසේකර මහතා කියා සිටියේය.
මෙවැනි දෑ රාවන යුගයේ අවි ආයුධවල කොටස් බව පවසන සූරිය ගුණසේකරයන් කියා සිටියේ එවැනි අවි පැවති සමාජයක ඒවායින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර විධික්‍රම ද ලග්ගල පරිසරය තුළ පැවති බවයි.
ලග්ගල, රූමස්සල, සීතාඑළිය හා හග්ගල පවතින පැරණි ඔසු උයන් ද රාවණ යුගය දක්වා දිවයන බවත් ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බවත් ලග්ගල වැසියන් සඳහන් කරන බවත් සූරිය ගුණසේකර මහතා කියා සිටියේය.
බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ සමකාලීන අවදියේ එනම් ක්‍රි.පූ. 6 සියවසේ දී මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් පැවති බවට සැක සිතිය හැකිය.
සූරිය ගුණසේකරයන්ට අනුව පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වන චරක යනාදී විවිධ නම්වලින් හැඳින්වූ ආදීවාසී ජන කොටස් මෙම ඔසු උයන්වල සේවයේ යෙදී ඇති බවට සාක්ෂි පවතියි.
ශ්‍රී පාද වන්දනාවේ ගිය බොහෝ බැතිමතුන් අතරින් අතරමං වූ ඇතැමෙක් අවස්ථා ගණනාවක දී පලතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුනක් ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි අවස්ථා විස්තර කරන මහලු උපාසක උපාසිකාවන් පිළිබඳ පුවත් අදටත් සාක්ෂි දරන්නේ අතීතයේ පැවති උයන් විශේෂ පිළිබඳව වත්මනට සාක්ෂි සපයමිනි.
එනිසාම ලග්ගල දී හමුවන රාවණාගේ මල් උයන මෙන්ම එම පරිසරයේ පමණක් හමුවන විවිධ පැළෑටි වර්ග අදටත් මහා අබිරහසක් ඉතිරි කර තිබේ.
මේ පැළෑටි වලින් අතීතයේ ලබාගත් මහඟු ප්‍රතිඑල වර්තමානයේ තාක්ෂණය විසින් උදුරාගෙන තිබේ.

සටහන හා ඡායාරූප
නාඋල ඉන්දික අරුණ කුමාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර,,පාථක,,සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment