Wednesday, April 8, 2020

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවලින් හෙළි වන ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය...(sri lanka we manawa ithihasaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වසර ලක්‍ෂ ගණනක්‌ ඈතට දිවයන ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාව සතුය. වංසකතා හා ඉතිහාස ග්‍රන්ථවල දැක්‌වෙන්නේ සිංහලයන් විජය කුමරුගෙන් පැවත එන බවත් විජයාගමනයට ප්‍රථම යක්‍ෂ, නාග ආදී ගෝත්‍රිකයන් මෙරට වාසය කළ බව මහාවංසය පෙන්වා දෙයි. එමෙන් ම මෙම ගෝත්‍රිකයන් ශ්‍රී ලංකාව පුරාම විසිරී ජීවත් වූවන් බවත් සඳහන් වේ. විජය පැමිණීමට පෙර යුගය පිළිබඳව ලිත ඉතිහාසයෙහි සාකච්ඡා කෙරී ඇත්තේ අල්ප වශයෙන් වුවත්, දැනට සිදුකෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව එම ඉතිහාසය වසර ලක්‍ෂ ගණනක්‌ එපිටට ගෙන යාමට හැකි වී ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ඉතිහාසයෙහි නොකියවෙන එම කාල පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

 ශ්‍රී ලංකාවේ මුල්කාලීන ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ දෙස බලන විට ඒවායේ න්‍යායාත්මක පදනමක්‌ නොවුණි. නමුත් එම පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය පිළිබඳව ලබා ගත හැකි තොරතුරු බොහෝය.
 ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සඳහා දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. 1855 දී ඡේ. පෝල් සහ ඊ. ඊ. ග්‍රීන් යන දෙදෙනා ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා වියළි කලාපය ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් සොයාගත් තිරුවාන, කහඳ මෙවලම් තුළින් නූතන මානවයාගේ ආදී මුතුන් මිත්තන් පිළිබඳ තොරතුරු මුල්වරට අනාවරණය කළේය. ඉන් පසුව බඹරබොටුව බෙලිගල්ගේ පාර්සන් විසින් ද, බෙලිහුල්ඔයට නුදුරු කඳුගැටයක්‌ ගාර්ඩිනර් විසින් ද, මාතර දිස්‌ත්‍රික්‌කයේ ඌරුමුත්තු ගුහාව එෆ්. ලුවිස්‌ විසින් ද ගවේෂණය කරන ලදී.

 මොවුන්ගේ පර්යේෂණවලින් සොයාගත් සාදක අනුවද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සහ ඔහු විසින් භාවිතයට ගන්නා ලද ශිලා මෙවලම් ආදිය පිළිබඳව තොරතුරු රැසක්‌ සොයා ගැනීමට හැකිවිය. මේ තුළින් හෙළිවන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය වංසකතාවලින් දක්‌වන ඉතිහාසයට වඩා ඈත යුගයකට ගෙන යැමට සමත් විය.

 මෙම පර්යේෂණවලින් හඳුනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා වාර්තමාන වැදි ජනතාවගේ පූර්වජයන් විය හැකිය යන මතවාදයක්‌ ද මේ ඔස්‌සේ පැන නැ`ගුණි. ඒ අනුව 1909 දී ශ්‍රීමත් හෙන්රි පාකර් විසින් මහාවංසය හා දීපවංසය මූලික කරගෙන වැදි ජනතාව හා ප්‍රාග් මානවයා අතර ඇති සබඳතාව පිළිබඳව පර්යේෂණ සිදු කළේය. ඔහුගේ මෙම පර්යේෂණ දානිගල, නිල්ගල, බිබිල, බණ්‌ඩාරවෙල, බුත්තල, ඔක්‌කම්පිටිය, තෙලුල්ල, ගල්ගේ ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන ලද අතර වැදි ජනතාවගේ සිරිත් විරිත් අනුව ඔවුන්ගේ පූර්වජයින් වෙනත් විදේශීය රටකින් මෙරටට පැමිණෙන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. එමෙන් ම, ඔහු මහාවංසයේ හා දීපවසංයේ දැක්‌වෙන යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ව්‍යාප්ති රටාව පිළිබඳව ද අධ්‍යයනය කළේය.

 සැරසින් සොහොයුරන් හා සෙලිග්මාන් යුවල (සී.ජී. සෙලිග්මාන් සහ බී.ඉසෙඩ්. සෙලිග්මාන්) ද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා තුළින් හෙළිවන වැදි ජනතාව පිළිබඳව 1891 සිටම පර්යේෂණ පවත්වා ඇත. පහතරට වියළි කලාපයේ පිහිටි ගල් ලෙන් කිහිපයක්‌ කැණීමෙන් ලැබුණු සාදක තුළින් ඔවුන් වැද්දන්ගේ අතීතය සෙවීමට උනන්දු වූහ. 1907 දී නැවත වරක්‌ දකුණු පළාතේ තෙලුල්ල අසල ලෙනක්‌, බුත්තල, ඔක්‌කම්පිටිය, ගල්ගේ, යකුන්නේ හෙල, බෙල්ලව බොක්‌ක, මනිගහ ආර, ගොන්ගිනේ ආදී ස්‌ථානවල කරන ලද කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. නිල්ගල ලෙන කැණීමෙන් මානව හිස්‌කබලක්‌ හා සුනඛයෙකුගේ හෝ හිවලෙකුගේ යෑයි අනුමාන කළ හැකි අවශේෂයන් සොයා ගත හැකි විය.

 1908 දී සෙලිග්මාන් යුවළ හේනබැද්දට නුදුරු බැඳියගල්ගේ සහ ඇඹිලිත්තට නුදුරු මුල්ලේගමින් ප්‍රාග් ඓතිහාසික සාදක සොයා ගන්නා ලද අතර ඒ ඇසුරින් වැදි ජනතාව පිළිබඳ ඓතිහාසික, ප්‍රාග් ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්‌ සිදු කරන ලදී. 1911 දී පළ කරන ලද “The Vaddas” කෘතිය මෙම පර්යේෂණවල ප්‍රතිඵලයකි. 1924 දී සැරසින් සොහොයුරන් පුත්තලම සිට කලාඔය දක්‌වා වන රතුවැලි නිධි පරීක්‍ෂා කිරීමෙන් වැදි ජනතාව මෙරට ප්‍රාග් මානවයාගේ ප්‍රතිඵලයක්‌ බවත්, වැදි ජනතාවගේ නූතන වාසස්‌ථාන ප්‍රාග් මානවයා භාවිත කළ ස්‌ථාන බවත් පෙන්වා දුනි. මෙම පර්යේෂණ වඩා විශ්වසනීය, විද්‍යාත්මක ස්‌වරූපයකින් යුක්‌ත නොවූවත්, ප්‍රාග් මානවයා හා වැදි ජනතාව අතර සබඳතාව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ මානව ප්‍රගමනය සිදුවූ ආකාරය පෙන්වා දීමට පර්යේෂකයින් උත්සාහ කොට ඇත.

 1913 දී චාර්ල්ස්‌ හාර්ට්‌ලි විසින් වැලිමඩ ප්‍රදේශයේ “Chirch hill” සහ තවත් කඳුකර තෙත් ප්‍රදේශ ද, පහතරට තෙත් කලාපයේ ප්‍රදේශ කිහිපයක්‌ ද පර්යේෂණ කිරීමෙන් ශිලා මෙවලම් රැසක්‌ සොයා ගන්නා ලදී. ඉන්පසුව ඒ. එම්. හෝකාර්ට්‌, සෙනරත් පරණවිතාන, ඩරීලිව්.එම්. බිඩෙල්, ජෝන් ස්‌ටිල්, ඊ.ඡේ. වේලන්ඩ්, ඊ. සී. වෝර්මන්, නූන් සොයුරන් ආදී වූ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවල නියුතු වූ අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තිරුවානා, කහඳ මෙවලම් සොයා ගැනුණි.

 මෙම පර්යේෂණ තුළින් සිදු වූයේ ප්‍රාග් ඓතිහාසික යුගය තුළ විසූ මානවයා සහ ඔහු භාවිතකළ ශිලා මෙවලම් පිළිබඳව පමණක්‌ පර්යේෂණ සිදු කිරීමයි.

 1930 සිට ඉදිරි වර්ෂ තුළ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් ලංකා ඉතිහාසය ගොඩනැ`ගීමට විශාල මෙහෙයක්‌ ඉටු කරන ලදී. ඔහුගේ පර්යේෂණවලින් මානවයා සහ ඔහු භාවිතා කළ ශිලා මෙවලම් ආදිය පිළිබඳව පමණක්‌ නොව ඔහු අයත් පරිසරයත්, සතුන් හා ශාක පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කෙරිණි. විවෘත ප්‍රදේශ, ලෙන්, වෙරළබඩ ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ ආදී වශයෙන් නොයෙකුත් ස්‌ථානවල මොහුගේ පර්යේෂණ පුළුල්ව සිදු කෙරිණි. මේ අතුරින් බෙල්ලන්බැඳිපැලැස්‌ස පර්යේෂණ සුවිශේෂී වේ. මෙහි හමු වූ මානව ශේෂ තුළින් කේ. ඒ. ආර්. කෙනඩි වැදි ජනයා හා බලංගොඩ මානවයා අතර ජීවවිද්‍යාත්මක පසුබිම පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. මෙම පර්යේෂණවලින් අදින් වසර 48,000 කට පෙර විසූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලින් අදින් වසර 125,000 කට පෙර විසූ සත්ත්වයින්, එම කාලයේ පරිසරය, දේශගුණ වෙනස්‌වීම්, ශාක හා සතුන් එම තත්ත්වයන්ට අනුවර්තනය වූ ආකාරය පිළිබඳව හඳුනා ගන්නා ලදී.

 1969 සිට ඉදිරි කාලය තුළ එස්‌.යූ. දැරණියගල ප්‍රාග් ඉතිහාසය හා මූල ඉතිහාසය පිළිබඳව පර්යේෂණ සිදු කළේය. එම පර්යේෂණ තුළින් එකල සමාජය, පරිසර රටාව, දේශගුණය, මෙවලම් තාක්‍ෂණය ආදිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වුණි.

 1988 දී සමනල වැව ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් ප්‍රාග් මානව ජනාවාස රටාව, ඔවුන්ගේ දෛනික ජීවන රටාව හඳුනා ගැනීම සිදු කෙරිණි. 1990-1991 කාලයේ අන්තර් වියළි කලාපයේ සීගිරිය-දඹුල්ල ආශ්‍රිතව කරන ලද පර්යේෂණවලින් හමු වූ ප්‍රාග් ඓතිහාසික සාදක පදනම් කරගෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මෙම ප්‍රදේශවල වැදි ජනතාව ජීවත්ව සිටින්නට ඇති බව සේනක බණ්‌ඩාරනායක මහතා සඳහන් කරයි.

 රාඡ් සෝමදේව මහතා විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව සිදු කරගෙන යනු ලබන පර්යේෂණ මාලාවක්‌ මගින් දකුණු පළාත ආශ්‍රිතව මානව ජනාවාසකරණය, ජනාවාස රටාව, ඒ සඳහා බලපාන ලද සාදක පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු වී ඇත.

 ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තෙත් කලාපයට අයත් හෝර්ටන් තැන්න පසුබිම් කරගෙන ටී.ආර්. ප්‍රේමතිලක මහතා විසින් සිදු කළ අධ්‍යයනයන් මගින් අදින් වසර 25,000 ට ආසන්න කාලයකට ලංකා ඉතිහාසය ගෙන යැමට සමත් වී ඇත. අදින් වසර 17,500 ට පමණ පෙර කාලයේ ලාංකේය ජනතාව ප්‍රාග් මූලික කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූ බවට සාදක ලැබුණි. එය ලංකා ඉතිහාසය නව මඟකට යොමු කළ පර්යේෂණයක්‌ විය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව මෙතෙක්‌ සිදු කෙරී තිබූ පර්යේෂණවලට අනුව ලංකාවේ නවශිලා යුගයක්‌ පිළිබඳ සාදක හමු වී නොතිබුණි. හෝර්ටන් තැන්නේ පර්යේෂණවලින් දඩයම් යුගයේ සිට කෘෂිකර්මාන්තයට අවතීර්ණ වීමේ දී පසුකළ අවධීන් (නව ශිලා යුගය තුළ) හඳුනාගත හැකිය.

 මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ තුළින් වංසකතාවලින් දැක්‌වෙන ඉතිහාසයට වඩා දිගු මානව ඉතිහාසයක්‌ ලාංකිකයන්ට ඇති බව හඳුනා ගැනීමට හැකිය. ප්‍රාග් ඉතිහාසය තුළ

 1. පුරා ශිලා යුගය (Palaeolithic)

 2. මධ්‍යශිලා යුගය (Mesolithic)

 3. නවශිලා යුගය (Neolithic)

 යන යුග ත්‍රිත්වය පිළිබඳවම සාදක ලැබෙන අතර වසර ලක්‍ෂ ගණනක අතීතයේ සිට අද දක්‌වා අඛණ්‌ඩව සිදු වූ ශ්‍රී ලාංකේය මානව වංස කතාවේ අනුපිළිවෙළ ගොඩනංවයි. මෙම පර්යේෂණවලට මෑතක සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ද එක්‌කල විට පහත පරිදි සාරාංශ කළ හැකි වෙයි.

 * දඩයමින් හා ආහාර එකතු කිරීම තුළින් ජීවනෝපාය සකසා ගත් ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ ඉතිහාසය

 * ඔහු අයත් පරිසරය, ශාක හා සත්ත්ව සංතතිය, ඒ සඳහා බලපාන ලද දේශගුණ තත්ත්වය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 48,000 දී ප්‍රාග් නූතන මානවයා (බලංගොඩ මානවයා - Homo sapiens balagodensis) ගේ ආගමනය පිළිබඳ ඉතිහාසය

 * ඔහුගේ ජනාවාස රටාව හා දෛනික ජීවන රටාව පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 17,500 කට පමණ පෙර තණබිම් ආශ්‍රිතව සිදු වූ එෙŒර කටයුතු (සත්ත්ව පාලනය) පිළිබඳ ඉතිහාසය

 * වනාන්තර එළි පෙහෙළි කිරීම හා ගිනි තැබීම (Slash and burn) මගින් සිදු කෙරුණු ප්‍රාග් මූලික කෘෂිකර්මය පිළිබඳ ඉතිහාසය

 * අදින් වසර 13,000 පමණ පෙර මූලික කෘෂිකර්මාන්තයට එළැඹීම (නව ශිලා යුග විප්ලවය) පිළිබඳ ඉතිහාසය

 - මිනිසා වනචාරී දිවියෙන් මිදී ශිෂ්ටාචාරවත් ජීවිතයකට එළඹීම පිළිබඳ ඉතිහාසය

 - යෑපුම් සභ්‍යත්වයකට අවතීර්ණ වීම පිළිබඳ ඉතිහාසය

 - ජනාවාසකරණය හා සංස්‌කෘතික විවිධත්වය පිළිබඳ ඉතිහාසය

 අඛණ්‌ඩව ගොඩනැ`ගීමට හැකියාව අපට ලැබෙයි.

 මූලාශ්‍ර

 බටුවන්තුඩාවේ, ඩී. ඒ. ද සිල්වා සහ හික්‌කඩුවේ නායක ස්‌වාමීන් වහන්සේ, 2003, මහා වංසය,

 ප්‍රථම භාගය, දීපාණි ප්‍රකාශන (පුද්ගලික) ආයතනය

 Bandaranayake, S.1994, “Approaches to the settlement Archaeology of the Sigiriya Dambulla

 Region”, In the Further Studies in the Settlement Archaeology of the Sigiriya Dambulla

 Region (eds) Senaka Bandaranayake and Mats Mogren, postgraduate institute of Archaeology,Colombo. 15-38 pp

 Deraniyagala, P.E.P. 1958, The Plestocene of Ceylon, Ceylon National Museum, Colombo, 164 pp, 58 pls, 40 text figs.

 Deraniyagala, S.U., 1980, “Prehistoric Research in Sri Lanka 1885-1980” In P.E.P. Deraniyagala Commemoration Volume (eds.) T.L.Premathilaka and R. Silva, Colombo Lake House Investments, 152-207 pp, 11Figs

 Deraniyagala. S.U., 1992, The Prehistory of Sri Lanka an Ecological Perspective Sri Lanka, Part I

 and Part II, Department of Archaeological Survey, Colombo.

 Hartley, C., 1914, “On the Occurrence of Pigmy Implements” in Ceylon in Spolia Zeylanica, Vol:10 (36), 54-56 pp

 Kennedy, K.A.R. and Deraniyagala, S.U., 1989, “Fossil Remains of 28,000 - year - old Hominids

 from Sri Lanka”, in Current Anthropology, Volume 30, No:3, Cornell University Ithaca, U.S.A./Archaeological Survey Department, Sri Lanka, 394-399 pp

 Premathilaka T.R. and Risberg, J., 2003, “Late Quaternary Climate History of the Horton Plains,

 Central Sri Lanka”, In Quaternary Science Review 22, 1525-1541 pp

 Seligmann, C.A. and Seligmann, B.Z., 1911. The Vaddas, Cambridge University Press, UK.

 Somadeva, R., 2006, Urban Origins in Southern Sri Lanka, Uppsala University, Sweeden.

divaina
ජයනි කුමාරි ප්‍රනාන්දු
 පුරාවිද්‍යා නිලධාරී,
 මධ්‍යම සංස්‌කෘතික අරමුදල
 hjayanikumari2@gmail.com
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment