Monday, August 28, 2017

මහාචාර්යවරයාගේ කැමරාවේ සටහන්වූ අත්භූත චායාරූප....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha haskam athbutha somawathiya)

සෝමාවතී විහාරයේ රාත්‍රී කැමරා කාචයන්ට දර්ශනය වන අද්භූත දර්ශන ගැන මම බොහෝ කලක සිට අසා ඇත්තෙමි. මේ‍ මෑතකදී යමෙකුගේ කැමරා කාචයේ සඳහන් වූ සිත චංචල කළ එම ඡායාරූපද දුටුවෙමි. ලුණු රස අත්නොවින්දෙකුගෙන් එම රසය කුමක්දැයි විමසූ විට ඔහු නිරුත්තර වන්නාක් මෙන් මන:කල්පිතයත් සත්‍යයත් අතර මේ අත්දැකීම් තවකෙකුට විග්‍රහ කිරීමේදි මම අතරමං වූයෙමි. ඉන් බොහෝ කාලයකට පසුව වුව අනුරාධපුරයේ වන්දනාවේ ගියද සෝමාවතියේ රාත්‍රියක් ගත කරන්නට මා සිත මදක් අදිමදි කළේ සෝමාවතිය වටා සැරිසරන මේ අද්භූත දර්ශන මා සිත නිරතුරුව සැරි සැරූ නිසාය.
තත්ත්පර පැය දිනයන්ට පෙරළී කාලය වේගයෙන් හඹා ගියේය. මා සිත්හි පළපැදියම් වූ මේ අද්භූත සිතුවිලි කාලයාගේ ඇවෑමෙන් මැකී ගියේ ය. එහෙත් පසුගිය දිනක මේ කතා පුවත තවත් සනාථ කරමින් මේ හා සමානම සිද්ධි දාමයක් පිළිබඳ තොරතුරු අපට හෙළි කළේ රට පිළිගත් විද්වතෙකි. අදාළ කතා නායකයා රටේ ගරු නමක් හා කීර්තියක් දිනා සිටින මහාචාර්යවරයෙකි. මේ පවසන තොරතුරු සඳහා ඔහුගේ නමක් ඇවැසි නැතැයි තීරණය කළේද ඔහුමය. එය සත්‍යයකි. මිනිසුන්ගේ පියවි ඇසට ග්‍රහණය නොවන ලෝකයක් ඔහු දුටුවේ ය. සියල්ල මනංකල්පිතයෙන් තොර සත්‍යයට බොහෝ සමීප කරුණුය. ඔහුගෙන් ලද ඒ තොරතුරු ප්‍රථම වරට මාධ්‍යයක් මඟින් හෙළිකරන්නේ මිනිසාට ග්‍රහණය නොවන අති ඉන්ද්‍රීය ලෝකයේ සැබෑ තත්ත්වය අප සැමගේ සිත් ද මොහොතක් චංචල කරන නිසාය.
මිථ්‍යාවෙන් ඔබ්බට ගිය ලෝකයක් සමාජ ගත කළ යුත්තේ ආගමානුකූලවයැයි අපි අසා ඇත්තෙමු. ඉහළ සිට පහළට ජලය ගලා යන්නාක් මෙන් ජීවත් වූවන් ලබා දෙන පිං ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත්තේ ප්‍රේතයන්ට පමණක් බවත්, නොපෙනෙන ලෝක අතරින් පෙනෙන ලෝකයක් ඇත්තේ ප්‍රේත ලොව පමණක් බව බුදු රජාණන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට වදාළහ. එහෙත් මේ අති ඉන්ද්‍රීය විෂයන් වු ප්‍රේත ආත්මයන්ගේ සැකිලි මිනිස් ඇසට ගෝචර වූ කතා පුවත් අපට අසන්නට ලැබෙන්නේ අහම්බෙනි. තාක්ෂණයෙන් අති දියුණු විද්‍යාවට පවා ගෝචර නොවූ මේ දේ අද ඇස් පනා පිටම යථාර්තථයක් වන්නේ ‘අපි මැරුණු පසු කුමක් වේද?‘ යන පැනය මතු කරමිනි. එහෙත් යථාර්ථය අපට ස්පර්ශ කළ නොහැක්කාසේ, යථාර්ථය අවබෝධ කර ගත යුත්තේ ධර්මයෙන් මිස වෙන කිසිවකින් නොවන බවද මේ හරහා අවබෝධ වනු ඇත. මේ මහාචාර්යවරයාගේ අධෝරක්ත ග්‍රාහක කැමරා (Infrared Camera) මඟින් ගෝචර වූ මේ සැබෑ දසුන් දකින ඔබ සිත්හිද පුංචි හෝ තිගැස්මක් ඇති වනු ඇත. මේ මහාචාර්යවරයා තමා ලද සත්‍ය අත්දැකිම් විග්‍රහ කරන්නේ කුතුහලයෙන් විඳින්නට වඩා බුද්ධියෙන් යමක් සිතන්නටය.
ඉලුක්කුඹුර ප්‍රේත ආත්මය
ඈත කඳුකරයේ සිදුකරන පුරා විද්‍යාත්මක ගවේෂණ සිය සිතුවිලි වෙනතකට හරවන්නට වූයේ ඔහුටත් නොදැනීම ය. මළ හිරු බැස යද්දී නැගෙන පාංඩු පැහැ හිරු කිරණින් ඉලුක්කුඹුර ගමට ගෙන එන්නේ මහා මූසල බවකි. දුහුවිල්ලෙන් වැසී ගිය ගුරුපාර දෙපස වූ එරමිණියා කැලෑව ඈතට දිස්වූයේ සුළඟට දෙපසට පැද්දෙන ඇටසැකිලි පෙළක් මෙනි. පුරාවිද්‍යා කැණීම් අතර ලද ඉසුඹුවකදී ගෝලබාලයින් හා අත්උදව්වට පැමිණි පිරිස් සමඟ ඡායාරූප ගැනීම ඔවුන්ගේ පුරුද්දක් විය. ඔවුන් අත වූ අධෝරක්ත ග්‍රාහක කැමරාවෙන් උදව්වට සිටි අයකු තවත් අයකුගේ රුව ඡායාරූපයට නැගුවේ විනෝදයට මෙනි.
“මේ දේ වුණේ රත්නපුර ඉලුක්කුඹුර කියන ප්‍රදේශයේ. මේ පළාතේ කන්දක පුරාවිද්‍යා කැණිම් මමත් මගේ ගෝලයනුත් එක්ක එකතු වෙලා කරගෙන ගියා. මේ වෙද්දි ගමේ අයත් අපිත් එක්ක හිතවත් වෙලා හිටියා. මේ පළාතෙ තිබුණේ මහා පාළු ගතියක්. ඡායාරූප ගනිද්දි අපිට හැම වෙලාවේම හිතුණා මේ ඡායාරූපවල අද්භූත දේ සටහන් වෙන්න පුළුවන් කියලා. මේ නිසා අපි හරිම අවධානයෙන් තමයි මේ හැම දෙයක්ම කළේ. එහෙම ගනිද්දි අපි හිතුව වගේම ගමේ ළමයකුගේ ඡායාරූපයක පැත්තකින් අද්භූත පිරිමි රුවක් මතුවෙලා පෙනුණා. මේක හරිම පැහැදිලි පිංතූරයක්. මේ නිසා අපි හිතුවා මේ ගැන හොයලා බලන්න ඕන කියලා. මේ සිද්ධියෙන් පස්සේ අපි මේ ගැන විපරම් කළා. මේ ඡායාරූපයේ පෙනෙන කෙනා මේ ආසන්න ප්‍රදේශයක හිටියද කියලා. පස්සේ අපිට ආරංචියක් ආවා, මේ ආසන්න කන්දක ජීවත් වෙන පවුලක් ගැන. දවසක මහ දවල් අපි මේ කන්ද නැග්ගා මේ ගැන හොයන්න. මේ කන්දේ තිබුණේ මේ ගේ විතරයි. වෙන කිසිම පවුලක් නැහැ. අපි ආගිය තොරතුරු කතා කර කර කුරුම්බා ගෙඩියක් බොන අතරේ අපේ වෙලාවට වගේ ඒ ගෙදර ළමයෙක් රාමු කරලා තිබුණු පිංතූරයක් දූවිලි කූඹි යන්න කියලා මිදුලෙන් ගිහින් තිබ්බා. අපේ ඇස් උඩ ගියා. මේ රාමු කළ පිංතූරයෙයි අර අපි ගත්ත ෆොටෝ එකෙයි හිටියේ එකම රූපය තියෙන එක්කෙනෙක්. මේ පුද්ගලයා මැරිලා අවුරුදු 9 ක් වෙනවා. මැරෙන කොට සත්තු දඩයම් කරලා වගේම ගමේ යම් යම් දුරාචාර වැඩත් කරලා තියෙනවා....අවුරුදු 9 ක් වෙලත් තාමත් අර පුද්ගලයා මේ පළාතේ තවමත් සැරිසරනවා...“ මහාචාර්යවරයා මා සමඟ පැවසීය.
මහාචාර්යවරයා පවසන පරිදි සේයාරුවේ පෙනුණු එම පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ හැඩ රුවද නොවෙනස් ය. සමානය. සැබෑ ජීවිතයේ එම පුද්ගලයා පෙනී සිටි ආකාරයෙන්ම වසර නවයක් පුරා ප්‍රේත ආත්ම භාවයන්හිද ඔහු සැරි සරන්නේ එයාකාරයෙන්මය. එම රාමු කරන ලද සේයාරුවේ පිටපතක් අප සතු වුවද මාධ්‍ය සදාචාරය අගයමින් අපි එය පාඨකයන් හමුවේ නොතබමු. එහෙත් විද්‍යාවටත් හසු නොවු ඉලුක්කුඹරේ ප්‍රේත ආත්මය සොයා ගිය ඒ ගමනේ සත්‍යය කතාව කෙසේ නම් බැහැර කළ හැකිද?
හල්දුමුල්ලේ දුටු ප්‍රේත ආත්ම
කුඩා කල අපේ අත්තම්මලා අතපය විසි කරමින් අපට හැසිරෙන්නට එපායැයි පැවසූයේ අප වටා සැරිසරන අනේක විධ ප්‍රේත ආත්මයන්ට හිරිහැරයක් වෙතැයි කියාය. එදා අපි ආත්තම්මලාගේ එවැනි කතා බැහැර කළේ එවැනි භූතාත්ම ඇතැයි කීම විහිළුවක් ලෙස සලකමිනි. එහෙත් දැඩි ආසාවන්ගෙන් හා ලෝභයන්ගෙන් යුතු මිනිසුන් මරණයෙන් මතු ප්‍රේත ආත්මභාවයන්හි ඉපිද කල්ප ගණනින් ආයුෂ ගෙවන ආකාරය බුදු දහමේ අපූරුවට විග්‍රහ වන්නේ ය. පියවි ඇසට ග්‍රහණය නොවූ ඒ සත්‍ය අත්දැකීම මෙකී මහාචාර්යවරයා ලද්දේ හල්දුමුල්ල ප්‍රදේශයේ දීය.
“හල්දුමුල්ල පළාතේ අවුරුදු 3000 කට පෙර සොහොනක් මතුකර ගන්න අපි ඒ පළාතේ කැණීම් වගයක් කළා. දවල් වැඩ කරලා රාත්‍රියට අපි නවාතැන් ගත්තේ ඒ පළාතේ ගෙයක. මේ නැවතුණු ගෙදරට රෑ 8.45 වෙද්දි එක එක වර්ගයේ එළි එනවා. ඒ වගේම තැනින් තැන පුලුටු ගඳත් එනවා. අපි නිවැසියන් එක්ක එළියට බැහැලා මේ ගැන හෙව්වා. ළඟ රෙස්ටුරන්ට් එකකටත් ගිහින් බැලුවා මේ පුලුටු ගඳ එන්නේ එහෙන්ද කියලා. පස්සේ අපි අපේ කැමරාවලින් ෆොටෝ ගහලත් බැලුවා. ඒ ඡායාරූපවල මේ එළි හොඳට පේන්න තියෙනවා. පස්සේ මම මගේ යාළුවෙකුට කිව්වා මේ ගැන. එයා මට කිව්වා ගේ ඉස්සරහා පහන් පැලක් හදලා රෑ 9 වෙනකොට පහනක් පත්තු කරලා දස දිසා පිරිත කියවන්න කියලා. අපි මේක කරන්න ගත්තා. ඒ අතරේ අපි විනාඩියෙන් විනාඩිය මේ පහන් පැලේ පිංතූර ගත්තා. අපිටත් පුදුමයි. පහන පත්තු කරනකොට එක එක එළි එන්න ගත්තා. ටික වෙලාවක් යනකොට මේ එළි ඇවිත් මාව වහගත්තා. මේ හැම දේම අපේ කැමරාවල අපූරුවට සටහන් වුණා. මේ එළිවල තියෙන්නේ අද්භූත ඡායාරූප. සමහර එළි කළල රූප වගේ. තවත් ඒවායේ ඇස් කන් නාස පවා තියෙනවා. සමහර ඒවායේ වර්ණ පවා තියෙනවා. මේ එළිවල ඉන්නේ අවුරුදු 3500 කට පෙර මියගිය අය කියලා අපි විශ්වාස කරනවා. අනන්ත අප්‍රමාණ වතාවක් ගැලවීමක් නැතිව සංසාරයේ සැරිසරන උදවිය තමයි මේ අය. දස දිසා පිරිතේ අවසානයත් සමඟ මේ එළි නැතුව ගියා......“
බුද්ධාන්තර ගණනාවක් සා පිපාසාදී දුකින් පෙළෙන ප්‍රේතයන් ගැන බෞද්ධ පොතපතේ සඳහන් වන මෙවැනි දෑ අපට එක්වරම බැහැර කළ නොහැක්කේය. ඔවුන්ගේ ආයුෂ තීරණය වන්නේ වර්ෂයන්ගෙන් නොව කල්ප ගණනිනි. යමුනා, අචිරවතී, ගංගා ජලය මොවුන්ගේ මුවගට වැටුණත් සා පිපාසාව දුරුවී නොයන තරමට මේ ප්‍රේත ආත්ම අනන්තවත් අප වටා සැරිසරන බවට මේ අත්දැකීම ප්‍රමාණවත් ය.
කතරගම කිරි වෙහෙරේ දුටු ප්‍රේත ආත්මය හා හුණුගල ගුහාවේ කාලි අවතාරය
“මේ එක් සිදුවීමක් වුණේ කතරගම කිරි වෙහෙරේදි. මගේ හිතවත් පවුල් දෙකක් හා මගේ ගෙදර කට්ටිය එක්ක අපි ගියා කතරගම. අපේ විශේෂ අවධානයක් තිබුණේ රාත්‍රියට කිරි වෙහෙරේ පහන් පූජාවක් කරන්න. අපි කට්ටිය එකතු වෙලා කිරිවෙහෙරේ ලස්සනට පහන් පත්තු කළා. පස්සේ මගේ යාළුවෙකුට මම කිව්වා කිරිවෙහෙරත් වඳින්න එක්ක මේ පහන් පැල පිංතූරයකට ගන්න කියලා. කිසිම බාධාවක් නැතුව ඡායාරූප ගත්තා. ඒත් එ්කේ කොනක අද්භූත ඡායාරූපයක්. පිරිමි රුවක් පහන් පැල ඉස්සරහා එබී ගෙන ඉන්නවා. ඉතාම පැහැදිලියි. මූණේ කොටසකුත් නැහැ. අපි අනුමාන කළා ඒ රුව මැරුණු හමුදා සොල්දාදුවකුගේ කියලා. අපිට අවශ්‍ය වුණා මේ රුවේ සැබෑ පුද්ගලයා කවුද කියලා හොයා ගන්න. ඒත් කාලය හරස් වුණා. දෙවැනි සිදුවීම වුණේ හුණුගල ගල් ගුහාවේ කැණීම් කරද්දි. අපිට මේ ගල්ගුහාවේ කැණීම් කරන්න ගියාම හරියට කරදර වුණා. සමහර වෙලාවට කරන්න දෙන්නෙම නැහැ. පත්තු කරන එළි සියල්ල නිවි නිවි යනවා. මෙහෙම අපහසුවෙන් කරන කොට අපි කොහොම හරි ජෙනරේටරයක් ක්‍රියාත්මක කර ගත්තා. අපේ අය මේකෙ එළියෙන් ඡායාරූප ගත්තා. ඒ එක් ඡායාරූපයක වෙනස්ම ආකාරයේ දර්ශනයක් සටහන් වෙලා තිබුණා. හොඳට බලන කොට කොටියෙක්ගේ පිටේ ඉන්න ගැහැනියක්. මේ සොහොන් කාලි අවතාරය කියලා අපි හොයන විට තේරුම් ගත්තා. මෙයා තමයි මෙතැනට අරක් ගෙන අපට මේ කටයුතු කරගන්න නොදී දිගින් දිගටම බාධා කළේ. “
ස්වභාව ධර්මයේ සැරි සරන මේ ශක්ති ප්‍රභව පිළිබඳ මේ කතා කිහිපයක් පමණි. මින් බොහොමයක් යා යුතු මං සොයමින් අනන්ත සසරේ සැරි සරන ප්‍රේතයන්ය. මේ අධෝරක්ත කැමරා කාචයන්ට එවැනි දසුන් පමණක් නොව මන:කල්පිතයක්යැයි අප බැහැර කරනා දේවතා දසුන්ද හසුවූ කතා ඇත. මේ මහාචාර්යවරයාගේ හිතවත් මිතුරෙකුගේ කැමරා කාචයේ සටහක් වූ ඡායාරූපයක එවැනි දේවතා දසුනක් දකින්නට හැකි වූයේ රාත්‍රියේදි ථූපාරාම විහාරයේ ගත් ඡායාරූපයකදී ය. දෙවිවරු පැමිණ බුදු රදුන්ගේ දකුණු අකු ධාතූව තැන්පත් වූ ථූපාරාම දාගැබ පැදකුණු කරන ඒ අද්භූත දසුන අපට බැහැර කළ හැකි දේ නොවේ. එහෙත් මේ සියලු දේ මන:කල්පිතයන් යැයි බැහැර කරන්නන් තවමත් අප අතර නැතුවා නොවේ. විද්‍යාවත් අවිද්‍යාවත් අතරින් ඔබ්බට දිවෙන මෙවැනි අති ඉන්ද්‍රීය දේ අවබෝධ කර ගැනීමට පෙර කරන ලද පිනක්ද ඇවැසි බව දන්නෝ දනිති.
සත්‍ය ඡායාරූප හා තොරතුරු ඇසුරෙනි.
සුභා­ෂිණි ජය­රත්න
සිත්මල් යාය
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment