අතීතයේ ගවරා නම් සත්වයෙකු වාසය කර ඇති බව කියැවේ.
සමනල රක්‍ෂිතයේ ඇති විශාලතම පතන භූමිය මෙයයි.
කැලණි සහ වලවේ ගංගාවල අර්ධ පෝෂක ඉසව්ව මෙයයි.
ලංකාවේ බොහෝ ඒක දේශීය සතුන් වර්ග දැකිය හැකි අතර, ඉන් කුරුල්ලන්, කෘමී වර්ග, හූනන් වර්ග, මසුන්, සමනලුන් වර්ග කැපී පෙනෙන ඊට අමතරව එක් එක් කාලවල විවිධ ප්‍රදේශවලින් හමුව පසුව වඳ වී හෝ නැති වී ගිය විවිධ සතුන් ද වාර්තා වේ. ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙකි. එනම් ‘බයිසන් ගවයා’ වැනි සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්‍රවාදයේ පැවතෙයි. සමනල රක්‍ෂිතයේ හුදෙකලා වූ මෙම ගවරවිල සහ ගවරවිල කඳුවැටිය සොයා පසුගිය දිනක අපි එහි ගොඩවැදුණෙමු.

මෙහි දෙවන අර්ධය යනු මෙම ගංගා දෙකේ පළමු අර්ධය පෝෂණය කරන්නේ නැතහොත් ගංගා දෙකේ සැබෑ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙහි. නමුත් දෙවන අර්ධය නැතහොත් ගංගාවකින් හරි අඩකට උපත දෙන්නේ සමනල රක්‍ෂිතයේ මෙම කඳුවැටියයි. එහිදී කැලණි ගඟට උපත දෙමින් මාඋස්සාකැලේ ජලාශය හරහා මස්කෙළිය ඔය වී ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔය හා එක්ව ගලන අතර වලවේ ගඟ ලෙස ගලාගෙන ගොස් සමනල වැව ජලාශයට වැටී ගලාගෙන යයි. එම උපත් දෙකම සිදුවන්නේ ගඟේ දෙකෙළවරය. උතුරු කෙලවරින් කැලණි නදියන් දකුණු කෙළවරින් වලවේ නදියත් ආරම්භ වේ.
![]() |
දැනට ඉන්දියාවේ වනගතව වෙසෙන ගවරා ඡායාරූපය |
කොළඹ සිට අවිස්සාවේල්ල හරහා හැටන්වලට පැමිණ දියගල හන්දියෙන් සිරිපා මාර්ගයට හරවා මස්කෙළිය නගරයට පැමිණෙන විට වෙලාව පාන්දර 4ට පමණ වූ අතර එතැන් සිට අප්කොට් හරහා ෆොග්මෝර් වතු යයාට පැමිණියේ මීදුම් හිරිකඩ සළුපිළි ලෙහා දාන කණිසමේය. ඉන්පසු අප ෆොග්මෝර් වතුයායේ ඉහළ කොටසට පිවිස එතැනින් යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය.

තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේ දළ වශයෙන් තිබුනා මුත් එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමිහිට අප යන මග අහුරන්නට වූ අතර ඉන්පසු අපි කූඩැලි විකර්ෂණ භාවිත කර ගමන නැවත අරඹන්නට වීමු. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක් සේම පාසි හා අනුවර්තනීය ශාක සහිත සුන්දර වනපියස හරහා ගමන් කරමින් දිය පහරක් වෙත ළඟා වුණෙමු.

පසුව නැවතත් ගමන ඇරඹූ අප දියපහර දිගේ තරමක් ඉහළට ගමන් කළේ විවිධ ස්ථානවල දී දියපහරේ කුඩා කඩා වැටීම් හා ගල්පර සමග කොළ වර්ණයේ ප්‍රභේද ගෙනදුන් සුන්දරත්වය කාච ගත කරන්නටය. පසුව අපි ගූගල් GPS සිතියමට අනුව තැන්නට ළඟාවිය හැකි ඉසව්වට පිය මැන්නෙමු.

ගවරා යනු විදෙස් රටවල සිටින බයිසන් ගවයා මෙන් විශාල සතෙකු බව ජනප්‍රවාදයේ පැවතෙන අතර විටෙක එකී බයිසන් ගවයන් අතීතයේ මෙහි ජීවත් වූවා විය හැකිය. එමෙන්ම හෝර්ටන් තැන්නේ වන අලි දඩයම සේම බයිසන්/ ගවරුන් දඩයම සමනල රක්‍ෂිතයේ ප්‍රචලිතව තිබුණා විය හැක. කෙසේ හෝ මේකී සත්වයා අද දක්නට නොලැබේය. නමුත් ගවරා සිටි විල අද ගවරවිල කියා හඳුන්වන අතර සමනල රක්‍ෂිතයේ සැඟවුන බොහෝ කථා අතර මෙය ද වැළලී ගිය කතා ගොන්නට එකතු වී හමාරය.
වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරුවල එරී ගස් ආධාරයෙන් ඉහළට නැග අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් පොහොණි වූ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වට අප පිවිසි විගසම ඈතින් සිටි ගෝන රංචුවක් හනිකට වනය තුළට දිව ගියහ.

ගවරවිල පතන සීමිත ඉඩකඩක පැවතුණු තැන්නක් බැවින් එහි සියලුම අවසානයන්/ මායිම් පියස මගින් වටකොට තිබුණි. ගලාගෙන එන දියවර හරියටම තැන්න මැදින් ගලාගෙන පැමිණියේ මෙම ඉසව්වේ අවසන් ජල පෝෂක ප්‍රදේශය වන පළාත් මායිම අවටින්ය. කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ තවත් සත්ව වේශයෙන් පෙනී සිටින නොමිනිසුන් මෙම තැන්න අනවසර මැණික් ගැරීම්වලට භාවිත කොට තිබුණි. ඒ බව අප දුටුවේ පතන තුළ තිබූ හෑරූ විශාල වළවල් මගිනි.
බොහෝ වටිනා ඉල්ලම්වලට කදිම ඉසව්වක් වන මෙම ඉසව්ව නිතැතින්ම මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වේ. හෙමි හෙමිහිට මාන පඳුරු උඩින් ලිස්සමින් ඉදිරියට ගමන් කළේ දිය පාරට සමාන්තරවය. මෙහි පිහිටි කඳුමුදුන් යුගලය ඉතා අලංකාර වන අතර ගිනිකොන දෙසට වන්නට මගමුණිකන්ද ඇතුළු සමනල රක්‍ෂිතයේ කඳු කිහිපයක් මෙහිදී දැක ගැනීමට ලැබුණි.

එහිදී අප කතිකා කරගත් පරිදි කෙමෙන් කෙමෙන් වන පියසට පිය මැන්නේ මීදුමට වැහුණු එහි සුන්දරත්වය දැකීමටය. හෝරා දෙකක් පමණ අප එහි සැරිසැරූ අතර ඉන්පසු අප සූදානම් වූයේ ගවරවිල මහකන්දට යාමටය. මෙම මහ කන්ද නැතහොත් සමස්ත කඳුවැටියෙම උසම ස්ථානය පිහිටා තිබුණේ ඊසාන දිශාවට වන්නටය.
අප්කොට් ගම්මානය හා ග්ලෙනුජි වතුයාය අතර පොදු ප්‍රවාහන සේවය තිබුණ ද ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවලින් පෙලෙයි. ඇතැමුන් ගෝන්නු, මුවන් සහ වල් ඌරන් දඩයම් කරන අතර විටෙක ඒවා ආශ්‍රිත හෝටල්වලට අලෙවි කරන බවට අපට දැනගැනීමට ලැබුණි. මැණික් ගැරීම සඳහා විවිධ කණ්ඩායම් වනයට පිවිස සතිය දෙක අට්ටාල සාදාගෙන වාසය කරන අතර එවැනි අතහැර දැමූ ඉල්ලම් වළවල් කිහිපයක් අපට ගවරවිල ආශ්‍රිතව දක්නට ලැබුණි.
ගවරා නම් සත්වය පිළිබඳ එතරම් සජීවී සාධක නොමැති වුවද මෙම සත්වයා සිටි බවට ගැමිවහරේ පවතින මතය මිත්‍යාවක් ලෙස සිතා බැහැර කළ නොහැක. එසේම අධික වියළි සමවල දී ඉතාමත් කලාතුරකින් මෙම තැන්නේ විවිධ ස්ථාන ලැව් ගිනිවලට හසුවන බවත් පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණි. කැලණි නදියේ දියවර සදන තවත් අවශේෂ දිය උල්පත් මේ අවට දක්නට ලැබේ.

එලෙසම බලංගොඩ මාරතැන්න සහ ඉහළ ගලගම ආශ්‍රිත ජනයා සමනල කන්ද වන්දනා කළ ඉපැරණි දීර්ඝතම මාර්ගය වැටී ඇත්තේ ද ගවරවිල හරහාය. එය වලවේ ගඟ ගලන නිම්නය ඔස්සේ රාස්සගල හරහා රක්‍ෂිතයට ඇතුළු වී මරිය කොටේ සහ මගමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට ගාඩ්මෝර්කන්ද, දෝතුරුගල හරහා දෙහෙන කන්දේ සිට සිරිපාදයට යන මුක්කුවත්ත මාර්ගයට පැරඩයිස් නැවතුම්පොළට පෙර සම්බන්ධව තිබී ඇත.
මේ වන විට සාම්ප්‍රදායික සහ නොනිල මාර්ග තුන බැගින් සිරිපා වන්දනාවට පැවතිය ද අතීතයේ මෙම මාර්ගය, සප්තකන්‍යා සිට යකාඇඬූ කන්ද හරහා මාර්ගය, රත්ගඟ දුල්ගල හරහා මාර්ගය ආදී ලෙස තවත් මාර්ග තිබුණේ ඒ ඒ ගම්වල ගැමියන් හට සිරිපා කරුණාවට පහසු වන ලෙසය.

එලෙසම පසුගිය කාලවල දී සමනල කන්ද ආශ්‍රිතව ජාන විකෘතියකට ලක්වුණු කළු කොටියෙකු (දිවියෙකු) සිටින බවට සාධක සේම ඇසින් දුටු සාක්‍ෂි හමුවූ අතර මෙහි සිටිනා කොටින් හෝර්ටන්තැන්න සහ පිදුරුතලාගල ආදී රක්‍ෂිතවල මාරු වෙමින් කල් ගෙවනු ලැබේ. අපගේ ගමන නිමා කරමින් නැවතත් යතුරුපැදි වෙත පැමිණි අප වෙනත් මාර්ගයකින් ගවරවිල වතුයාය හරහා මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි.
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
රසවත් පොස්ටුවක්. ස්තුතියි!
ReplyDeleteලියන්නටත්- කියවන්නටත් වඩා දහස් වාරයක් අසීරු ගමනක් ගිහින් තොරතුරු එකතු කරගෙන ලිව්ව නිසයි අගය වැඩි!
අදහස් දක්වීම පිළිඹඳ ඔබට තුති...
ReplyDeleteකලු දිවියා ජාන විකෘතියකට වඩා මෙලනින්.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Melanin
ගවරා ගැන තොරතුරුවලට බොහොම ස්තුතියි.
ඩොයිලි ලියල තියනව අවු 200කට පමණ පෙර සමනල අඩවියේ ගවරා දැකීම ගැන . සමන් සිරිතේ කවි වලත් තියනව. පුලුවන් නම් ඒ ගැන තව පුරාවෘත්ත තියනව නම් ලියන්න.
අදහස් දක්වීම පිළිඹඳ ඔබට තුති...
Delete