Friday, December 30, 2016

රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana ussangoda)

”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.
උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.
කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.

එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.
පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.
උස්සන්ගොඩ තැනිතලාව
ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)
භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.
උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී.
උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.
ශාක නොවැවෙන රතු පස් කුට්ටියක්
රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.
ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය
.ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පුවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන,අභිලේඛන,චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යයක්.
රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු,ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ ශාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව,එංගලන්තය,ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත. පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා බාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්‍රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ. රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
 'පුෂ්පක' නම්න් ගුවන් යානටක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්‍රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි.පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයකි.
රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි..එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී  වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්,මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්,එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට ශාක්ෂි ඇත.'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද,පාපැදි,අහස් යානා,ගිරි මුදුන් වල සිට පහළට බසින යානා,කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ තිබි ඇත.(ශ්‍රී ලංකා රාජධානිය,පිටු අංක: 108)
 එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රීයා කිරීමත්,වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රීයා කිරීමත්ය.
සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි.එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි.යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය,නැවැත්වීම,බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත.(රාවණා කතා)
වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ග්වන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර,ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි. 
ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි.(අප හෙළ සිංහල ඉතිහාසය පිටු අංක 7) නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.
කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත.(රාවණ කතා)
"පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.(අපේ හෙළ ඉතිහාසය 5)
මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත.ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට,බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත්,ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත්,විද්වතුන්ගේ අදහසකි.
රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි.තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය.ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත.නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ  මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද  සංචාරයේදී .කරඳහෙල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය.(රාවණ පත්‍රය පිටු:30) 
රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත්'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ.(නව නුවණ පිටු1942:පිටු 18) 
මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.(රාවණ කතා)‍

බිම් කොට ගිං තොට දක්වා          බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ          නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ'     නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ       ඇමැති 

දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි. මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්,භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්,සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්,ආචාර්ය ඔබේසෙකර කියයි.මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් ‍හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට්  සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි. සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන්  වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය.මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය.මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක පවා පළවී තිබිණ.
මෙය මව්බිම පත්‍රෙයන් උපුටා ගන්නා ලදී...
රාවනා රජුගේ ඥාති පරපුර
 ‍                                                                        පුලස්ති
රාවණා රජුට පරම්පරාවක් හා ඥාතීන් සමුහයක් ඇත්තා සේ ප්‍රධාන  චරිතයන් වන රාමා, සීතා,ලක්ෂ්මන,හනුමන් යන අයට පරපුරක් හෝ ඥාතීන් නොමැත.එමෙන්ම රාවණා රජු මින් වසර අට දහසකට හෝ පෙර සිටි බවට ආයුර්වේද ඉතිහාසයේ සදහන්ය.නමුත් රාම කුමරු සිටි අයෝධ්‍යාව ජනාවාසයක් වී ඉතිහාසයට එකතුවන්නේ භාරතීය සොළොස් මහා ජනපද යුගය වූ ක්‍රී. පුර්ව 8වැනි සියවස පමණ කාලයෙදීය.ඒ අනුව අයෝධ්‍යාවේ රාම කුමරුවකු  හා ලංකාපුරයේ රාවණා සමකාලීන නොවන්නේය. රාම කුමරු විෂ්ණුගේ හයවැනි අවතාරය බව රාමායනයේ සදහන්ය.සීතා ඕපපාතිකව (මවක හා පියෙකු නැතිව) නඟුල් මිටෙන් ඉපදුනි.ලක්ෂ්මණ දසරථ රජුගේ පුතෙකු පමණි.හනුමන් වඳුරෙකි.රාමා හා ලක්ෂ්මණ සරඟු ගඟට පැන දිවි නසාගති.සීතා  පොළොව පැළුණු විවරයට පැන දිවි නසාගති.සීතාගේ දරුවන් වූ ලව හා කුස ගැන රාමායණ කතෘ කියතුදු ඕපපාතික ගැහැනියකට දරුවන් ලද නොහැක.ඇයද රාමා මෙන්ම අවතාැයක් හෝ මායාවක් පමණක් විය හැක.දෑත් දෙපා හා වල්ගය සහිත  හනුමන් ගැන කතා කළ යුතු නැත.එබැවින් මනුෂ්‍ය බව හා ඓතිහාසික බව සනාථවන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.
පුලස්ති : පුලස්ති නුවර ලෙස හදුන්වන ලද වත්මන් පොලොන්නරුව තම මධ්‍යස්ථානය කරාගෙන විසුවේ පුලස්ති සෘෂිවරයාය. වා,පිත්,සෙම් ලෙස දක්වන ත්‍රිදෝෂ න්‍යාය වෛද්‍ය විද්‍යාවට හදුන්වා දුන්නේද,හිමාලයේ පැවති ලොව ප්‍රථම වෛද්‍ය සම්මේලනයේ සභාපතිත්වය දැරුවේද පුලස්ති බව සුශ්‍රැත සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථය පවසයි.බ්‍රහ්මගේ මානස දරුවන් (ශිෂ්‍යයන්) 7 දෙනා අතුරින් එක් අයකුවන මොහුගේ විශේෂඥතාව වෛද්‍ය විද්‍යාව විය.එම පරම්පරාවට අයත්  හැම සෘෂිවරයෙකුටම ඖෂධ වනයක් වු අතර පුලස්තිගේ බෙහෙත් වත්ත පිහිටි ස්ථානය ගැන මතභේද ඇත.අනුරාධපුර වෙස්සගිරියේ පිහිටි තෘණබින්දු (තණචොඩග) ඍෂිගේ අසපුවේ බහන වඩද්දී තෘණ බින්දු ඍෂිගේ දියණි"හවිර්ගු" පුලස්ති නිසා ගැබ්ගති.එම දරුවා  විශ්‍රවස් මුණි වේ.මේ අනුව රාවණාගේ සීයා පුලස්ති ඍෂිවරයාය.....
                                                              විශ්‍රවස් මුණි
රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින්  ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.                                 
                                    මන්දාත නොහොත් දේවයානි
රාවණාගේ මව් පාර්ශවයේ සීයාගේ මවයි.බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගේ පියාය.විෂ්ණු දෙවියන් වාමනක (අඟුටු මිට්ටා)අවතාරයෙන් අවුත් උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට  හමුදාවක් හෝ යුද ශිල්පය හෝ යුද අවි නොවීය.මින් සංවේගයට  පත් දේවයානී කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තුන් දෙනකු ලද්දීය.ඔවුන් මාලී,සුමාලී හා මාල්‍යවන්ත ලෙස දැක්වේ.එම දරුවන්ට යුද ශිල්ප හා ගුවනින් ගොස් පහරදීම (බොම්බ දැමීම) ඇය පුහුණු කළාය.පත්තිනි හා කාලි ලෙසද දේවයානි හැඳින ගැනීම සිදුවේ.පියාවන ශක්‍ර විසින් ඇත ! ඇත ! ඇත ! යනුවෙන් තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වාගත් ස්ථානය ඇතැන්ස්ය යනු (මේ ග්‍රීසියේ නොව වයඹ ඉන්දියාවේය)හින්ඳු පුරාකතාවයි.
 සුමාලී දේවයානිගේ දරුවන් තිදෙනා අතුරින් එක් අයෙකි.මහින්දපුර නොහොත් වැඩහිටිකන්ද ඔහුගේ මධ්‍යස්ථානය විය.රාවණා රජුගේ මවගේ පියා සුමාලි රකුස්  රජුය.ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමග කතිර කුමරු එවීය.ඔහු විසින් සුමාලි පරාජය කර මරා ජයන්ත කුමරු ආපසු යවා කතිරගම ඇත්කර එහි පාලනය කළේය.මේ කන්දේ කුමරු (කඳ කුමරු) හා කතරගම මහසෙන් ලෙස සැලකේ.
                                                      මාල්‍යවන්ත
සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය. 
                                                       කෛකසී බිසව 
රාවණා රජුගේ මව වන මැය සුමාලී රකුස් රජුගේ දියණියකි. පුෂ්පෝත්කටා යනුවෙන්ද ඇය හැදින්වේ.උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය.කෛකසී මෙසේ වශ්‍රවස්  මුණිට දාව රාවණා පමණක් නොව කුඹුක්කන් හා සුපර්ණකා කුමරියද ලදුවාය.ඉසුරුමුණි පෙම් යුවළ යනු විශ්‍රවස් හා කෛකසී බවටද මතයක් ඇත.කතරගම අසල පිහිටි "නිල්මල් පැලැස්ස" ඇයගේ පදිංචි ස්ථානය බවට ජනප්‍රවාදයක් එහි ඇත.
                                                        මන්දෝදරී
රාවණා රජුගේ බිසවයි.ඇය ඉතා රූමත් බව හා උස මහතින් යුතු බවද ජනප්‍රවාදයේ එයි.රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.
                                                           සුපර්ණකා
රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය  මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත්  කර ගැනීමට  රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය  සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු  ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී  යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.
                                                          විභීෂණ 
විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.
                                                         කුඹුක්කන් 
රාවණ රජුගේ සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත  එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය  ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ  අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ  වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.
                                                         මය(විශ්වකර්ම) 
බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම  දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.
                                                                 කු‍වේර 
විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා  පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන්  ඇතැම් අය පවසති.
                                                              ඉන්ද්‍රජිත් 
රාවණ රජුගේ පුතුන් අතුරින් වැදගත්ම හා යුද දක්ෂතම අය ලෙස රාමායණයෙහි ඉන්ද්‍රජිත් දක්වයි.මේ ඝනද නම් මොහු දිව්‍ය ලෝකයට ගොස් ඉන්ද්‍ර ජය ගැනීම නිසා "ඉන්ද්‍රජිත්" නම් විය.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින්  හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි.
                                                            දුම්රක් (ධූමරාක්ෂ) 
දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.  
                                                               දනුබ් කුමරු
සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ  (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස  හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ.                                                   
                                                          බර හා දූෂක 
රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම  දණ්ඩක වනයට රැගෙන ගියේ  විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි. රාමායණයේ  දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.  ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි. නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.
            
පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.

විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.

දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.

කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.

විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.

කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ කුඹුක්කන් අමුණ.

මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.

කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.

දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද  ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.   
මෙය රිවිර පත්‍රයෙහි,රිවිදහර අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.......
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, December 23, 2016

සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - katharagama- haskam-tsunami)

කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
මහකැබිලිත්ත
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත  ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි.
වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය.  නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන  ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ  නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක්  එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට  පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු  ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන  මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග  ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස  ඕකන්‍දට ආපසු එනවිට හවස්විය.  ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා  රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි  ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද  ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු  ඕකන්‍දට ආ පළමු අවස්ථාව  පෙන්නුම් කළේය. අදුර  වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත්  ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස  ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට  ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක්  ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය.  ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.
අජිත්ලාල් ශාන්තඋදය- Lankadeepa
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, December 16, 2016

උපන් ලප යනු පෙර ආත්මවල මතක සටහන්ද ? ඛෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ දේශනා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - birthmarks upan lapa ශාස්ත්‍රීය ළිපි)

මහා නායක හාමුදුරුවනේ,සිතේ ඇතිවන සිතිවිලි ස්වභාවය – කයෙහි (ශරීර) ස්වරූපයට කෙතරම් බලපෑමක් ඇති කරනවාද?
කය යනු සිතේ නවාතැනක්. ඒක හරියට නිවහනක් වගෙයි. නිවසක් වුණත් හදා ගන්නේ, තියාගන්නේ තම තමන්ගේ සිතිවිලිවල ස්වභාවය අනුවයි. ඒ වගේ තමයි, අපේ කයත්. සිත කිළිටු වන විට කය අපිරිසුදු වී වැහැරෙනවා. සමහරුන්ගේ ශරීර දිහා බලපුවාම සිත කරදරවලින් පිරිලා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එතරම්ම සිතයි, කයයි අතර සබැඳියාවක් පවතිනවා.
බුදුදහමේ මෙබඳු සංසිද්ධීන් හා බැඳුණු කථා පුවත් විස්තර වෙන්නේ කොහොමද?
බුදුන් දවස, අනුරුද්ධ හාමුදුරුවන්ට ‘රෝහිණී’ කියලා සහෝදරියක් සිටියා. ඇයට මුළු ඇඟ පුරාම ඉතා දරුණු කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා. ඇය පෙර ආත්මයේ දී දැඩි ඊර්ෂ්‍යාවෙන් යුතුව සුරූපී කාන්තාවකගේ සිරුරේ වස වර්ගයක් ස්පර්ශ කර එම සුරූපී කතගේ ස්වරූපය විරූපී කර දමනු ලැබුවා. එලෙස සිතේ හටගත් වෛරී සිතිවිලි ඊට පසු ආත්මභාවයේ දී පවා ඇය (රෝහිණී) ගේ කයෙහි ස්වරූපය විරූපී කිරීමට තරම් බලපෑමක් ඇති කළා.
ඛෙල්ලන ඥානවිමල නාහිමි
සිතේ ඇතිවන ඊර්ෂ්‍යාව – රුසියාවටත් වඩා විශාලයි කියන්නේ මේ නිසායි. ආත්ම ගණනාවකට ඉහතින් රන්තලියක් මිලදී ගන්න ගිහින් ගෞතම බෝසතුන් කෙරෙහි දේවදත්තගේ සිතේ හටගත්ත වෛරය අවසන් වුණේ මහා නිරයට පවා ඔහු ඇද දමමිනුයි. සිතේ උපදින සිතිවිලි එතරම්ම ප්‍රබලව ඉදිරියට ගලා යනවා.
උපන් ලපවල පිහිටීම්
එතකොට, මේ ආත්මයේ දී අපේ ශරීරවල හටගෙන තියෙන ලප, කැළල්, උපන්ලප ආදී දේවලුත් සිතේ බලපෑමෙන් ඇති වූ ඒවා ද?
ඔව්, පෙර ආත්මවල සිදු වූ තද බල කැපීම්, වෙඩි වැදීම් වැනි තුවාල වූ තැන්වල බොහෝ විට උපන් ලප (Birth Mark) ආදී සලකුණු දක්නට ලැබෙනවා. මේ විධියට මිනිසුන් තුළ වගේම ඇතැම්විට සතුන් තුළත් උපන්ලප පිහිටනවා. තද කළු ලප සහිත උපන්ලප සහ හමෙන් උඩට මතු වුණ ගැට සහිත උපන් ලප යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා. ඒවායේ පිහිටීම් අනුව, සුබ අසුබ ඵල වගේම පෙර ආත්මවල ශරීර සලකුණු පිළිබඳවත් කිසියම් ඉඟියක් ලබා දෙනවා.
මේ පිළිබඳව “දෛවඥකාම ධේනුව“ නමැති ඉපැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයෙහි බොහෝ විස්තර දැක්වෙනවා. මීට අමතර, මහාචාර්ය හෙලන් වැම්බෝ, එඩ්ගා කේසී වැනි අය වගේම ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන සහ මනෝ වෛද්‍ය ජී.ඒ. ගමගේ වැනි මෝහණ විශේෂඥයන් සිදු කළ මෝහණ අනාවරණ සංසිද්ධීන් මඟින් වුණත් එම කරුණු කියාපානු ලබනවා.
මිනිස් සිතේ හැටි
එහෙමනම්, නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන්ඩ් ප්‍රොයිඩ් වැන්නන් ‘සිත’ පිළිබඳව කර තිබෙන පැහැදිලි කිරීම කුමක්ද?
‘මිනිස් සිත’ ඔහු ‘අයිස් කන්දකට’ (Ice Berg) උපමා කරනවා. සාගරයේ ඇති අයිස් කන්ද ජලයෙන් මතුපිටට පෙනෙන්නේ ඉතාම සුළු කොටසක් පමණයි. එලෙස මතුපිටට පෙනෙන කුඩා කොටස සිතෙහි එක් මට්ටමක් වන සවිඥානය (Conscious)  යනුවෙන් ඔහු හඳුන්වා තිබෙනවා. මේ අනුව ඔහු ‘මිනිස් සිත’ මට්ටම් තුනක (03) ට බෙදා දක්වනවා. එනම්, 1. සවිඥානය (Conscious) 2. පූර්ව සවිඥානය (Sub Conscious)  සහ 3. අවිඥානය(Unconscious) වශයෙනුයි. මෙයින් ‘අවිඥානය’(Unconscious) හෙවත් ‘යටි සිත’ ජලයෙන් මතු පිටට නොපෙනෙන අයිස් කන්දේ ජලයෙන් යට ඇති විශාල කොටස ලෙසත් ප්‍රොයිඩ් පෙන්වා දෙනවා.
සිතෙහි ප්‍රභේද
එතකොට, ප්‍රොයිඩ්ගේ මෙම සිත වර්ග කර දැක්වීමේ ඇති ක්‍රියාකාරී පදනම මොකක්ද?
සිතේ ඇතිවන ප්‍රේරණයන් (හැඟීම්) ඔහු මේ සඳහා සැලකිල්ලට ගෙන තිබෙනවා. කුසගින්න, පිපාසය, ලිංගික අවශ්‍යතා ආදී ප්‍රාථමික ප්‍රේරණයන් ‘දළ සිත’ (Id) යටතට අයත් වෙනවා. මේවා බොහෝ විට මේ මොහොතේ ම ක්‍රියාත්මක වන ඒවායි. ඊඟාවට ‘සුපහන් සිත’ (Super Ego) තුළ ගති පැවතුම්, ජීවන රටා හා සමාජ සාරධර්ම ආදිය පවතිනවා. ඒ වගේම ‘පහන් සිත’ (Ego) යනුවෙන් මේ දෙක (Id – super Ego) අතර යථාර්ථවාදී මූලධර්ම අනුව සිත ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දී තිබෙනවා.
මෙලෙස සමාජයෙන් ලබා ගන්නා දැනුවත්කම් අනුව පහන් සිත (Ego) පාලනය කෙරුවද, ඇතැම්විට දළ සිත(Id) ප්‍රබල වන අවස්ථා මතු වෙනවා. එවිට එහි නිවැරදිභාවය තීරණය කරනු ලබන්නේ, ‘සුපහන් සිත’ (Super Ego) මඟිනුයි. ජනවහරේ හෘද සාක්‍ෂියට එකඟව යනුවෙන් හඳුන්වන්නේ ඊට සමාන දේකටයි. මිනිසා ලබාගෙන ඇති ගුණධර්මය හා වටිනාකම් මත එය ක්‍රියාත්මක වෙනවා.
චිත්තාවේග
ඉහත වර්ග කිරීමට අයත් නොවූ ‘චිත්තාවේග‘ වැනි තත්ත්වයන් හඳුන්වා දෙන්නේ කොහොමද?
‘චිත්තාවේග‘ (Emotions) කියන්නේ, පුද්ගලයාගේ සිතෙහි ඇතිවන එකිනෙකට වෙනස් මානසික ස්වභාවයන්ටමයි. මේ අප අවට ඇති දේ සංජායනය (ග්‍රහණය) කර ගෙන ඊට ප්‍රතිචාර ලෙස චිත්තාවේග හට ගන්නවා. පුද්ගලයාගේ සිතේ ඇතිවන දුක, සතුට, බිය හා සැක සංකා යන ආදිය මේ අතර වෙනවා.
දැන් ‘කාංසාව‘ මානසික රෝග තත්ත්වයක් ලෙස දැක්වුවත්, මනෝ විශ්ලේෂණවාදීන් එය දක්වන්නේත් ‘චිත්තාවේගයක්’ වශයෙනුයි. මේ කවර මට්ටමේ චිත්තාවේගයක් වුණත් පුද්ගලයාගේ සිත තුළ ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. එය යම්කිසි කාලයකින් නිවී යටපත් වී යනවා. “ඕක කාලයත් එක්ක හරියයි” කියන්නේ ඒ නිසායි.
නමුත්, චිත්තාවේග නෂ්ටාවශේෂ වී මතකයේ තැන්පත් වෙනවා. ඇතැම් චිත්තාවේග ඊළඟ ආත්මයටත් යටි සිත සමඟ ගමන් කරනවා. හැබැයි සමහර භෞතික හා ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් මඟින් එලෙස සිතේ පවතින චිත්තාවේග වෙනස් කළ හැකියි. පුද්ගලයාගේ සිත තුළ ඇතිවන දැනුවත්භාවය, කාරුණික භාවය හා විශ්වාසනීයභාවය යන ආදී සාධක මෙසේ, සිතේ චිත්තාවේග වෙනස් කිරීම සඳහා සෘජුවම බලපානු ලබනවා.
සිත, කය සහ භවය
එහෙමනම්, සිත, කය සහ භවය යනු එකිනෙකට බැඳී යාවුණු එකම දම්වැළක පුරුක් තුනක් වගේ දෙයක්ද?
සිත තමයි මේ හැම දේකම ප්‍රධානියා වෙන්නේ. කය ඇති කර ගන්නත්, කය නැති කරගන්නත් වගේම භවය දිගු කර ගන්නත්, කෙටි කර නිමා කර ගන්නත්, සිතම තමයි ප්‍රධාන වෙන්නේ. සිත විග්‍රහ කරන්නට සමත් සරසවි, පාඨමාලා, විද්‍යාවන් මිහිපිට බිහිවෙන එකක් නැහැ. ඒ තරමටම ‘සිත’ මහා සංකීර්ණ දෙයක්. මේ නිසා සංකීර්ණ ක්‍රියාවලියක් සිදුකරන වස්තුවක් මේ මහා සක්වලේම නැහැ.
භවය (සසර) තුළ සිතකට අනිවාර්යයෙන් එක කය( ශරීරය) කට වඩා බොහෝ ගණනක් ඇති වෙමින්, පවතිමින්, නැති වී යනවා. විවිධ ශරීරවල ලැගුම් ගෙන සිත මේ භවය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් නූතන මනෝ විද්‍යාඥයින් මිනිස්සිත අති නවීන පරිගණක යන්ත්‍රයක (Computer) ට උපමා කරන්න උත්සාහ කරනවා. නමුත්, මිනිස් සිතේ ඊට වඩා බොහෝ දේ තැන්පත්ව ඇති බවත්, ඒවා එකවර මැකී නොයන බවත් ඔවුන් ද පිළිගනු ලබනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, December 11, 2016

රන්මසු උයනේ සක්වල චක්‍රයේ අබිරහස....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් ranmasu uyana anuradhapura ruwanweli seya novisadunu abirahas unsolved mysteries )

රන්මසු උයනේ, පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ. සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයම ට ඉදිරියෙන්, ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ. පළමුවෙන් ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතා ට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්‍ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්‍ර සටහනකි,
නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.b
අඩි 06ක විෂ්කම්භයෙන් යුත් මෙම කැටයමෙහි, ඒක කේන්ද්‍රික වෘත්ත දෙකකින් සැකසුණු පිටත දාරය දිගේ වම් අතට පිහිනන මුහුදු ජීවීන් යැයි සැළකිය හැකි සත්ත්ව පෙළක් සටහන් කර තිබේ. ඒ අතර මත්ස්‍යයන්, හක් බෙල්ලන් වැනි රූප, මුහුදු අශ්වයෙක්, ඉදිබුවන් සහ කකුළුවෙක් දක්නට හැක.
සෝඩ් ෆිෂ් සහ හැමර් හෙඩ් මෝරෙක් ලෙස අනුමාන කළ හැකි මත්ස්‍ය රූපද මෙහි වේ. සඳකඩ පහණ වැනි සාමාන්‍ය කැටයම් වල දක්නට ඇති දැඩි අනුපිළිවෙල සහිත සත්ත්වාවලියක් වෙනුවට, මෙම වටයේ දක්නට ඇත්තේ අහඹු ලෙස කරන ලද රූප සංකළනයකි. දැඩි ජ්‍යාමිතික සහ සමමිතික බව තුළ වුවද නිදහස් සහ අවිධිමත් ලෙස අහඹු රූප ව්‍යාප්ත කර තිබීම සමස්තයක් ලෙස මුළු කැටයම පුරාම දක්නට ඇති සුවිශේෂත්වය කි.
ආකෘතියේ මැද, දිග පළලින් අඩි 1 අඟල් 2 ක් වන සමචතුරස්‍රයක් වේ. එතුළ, එකක් තුළ එකක් පිහිටන සේ සටහන් කළ ඒක කේන්ද්‍රීය වෘත්ත 7 ක් වන අතර, ඒ අතරින් පිටත වෘත්තය ඉහත කී සමචතුරස්‍රයේ පාද ඇතුළතින් ස්පර්ෂ කරයි. සමස්ත ආකෘතියේ ම මැද ලක්ෂ්‍යය, මෙම වෘත්තයන්ගේ කේන්ද්‍රය වෙයි. ප්‍රධාන වෘත්තය පුරා සිරස් අතට, එකිනෙක සමාන්තර වන ප්‍රධාන රේඛා දහයක් ද, උප රේඛා දා හතරක් ද කැටයම් කර තිබේ. මෙකී ප්‍රධාන රේඛා අතර දුර අඟල් 9 සිට අඟල් 3 දක්වා වෙනස්වේ. මෙම කැටයම් ආශ්‍රිතව සෘජුකෝණාස්‍ර සෑදී තිබෙන අතර, සටහනේ මැද ඇති සමචතුරස්‍රෙය් සිට දකුණු සහ වම් අතට ද, ඉහළ සිට පහළට ද, දි‍වෙන රේඛා හතරකින්, පිටත දාරය තුළ පිහිටි මුළු සටහනම කොටස් හතරකට බෙදේ. ඉන් දකුණු පස කොටස් දෙක සෑම අතින්ම එකිනෙක සමමිතික වේ. ඒ අතර පිහිටි සෘජුකෝණාස්‍ර, ඒවා තුළ පිහිටි හතරට බෙදුනු වෘත්ත ආදී සියල්ලම සමානව කැටයම් කර තිබේ. වම්පස කොටස් දෙකේ දී මෙම සමමිතික බව එතරම් දක්නට නොලැබේ.
වම්පස පහළ කොටසේ, සමචතුරස්‍රයට සමීප කොටස සෘජුකෝණාස්‍ර හතරකට බෙදා ඒවා තුළ හතරට බෙදුනු වෘත්ත සටහන් කර ඇති නමුත්, ඊට පර්යාය වන ඉහළ කොටස අසමාන ලෙස දෙකට බෙදා තිබේ. ඉන් පහත කොටස අමුතු කැටයමකින් පුරවා ඇති අතර, ඉහළ කොටසේ, ඒක කේන්ද්‍රීය වෘත්ත හතක කැටයම නැවත දක්නා ලැබේ.
මෙම ආකෘතිය, කවර කාලයකට අයත්දැයි නිශ්චය නැත. අප රටේ මෙගලිතික සුසාන ඉදිකළවුන් සහ අනුරාධපුර ජනාවාසය ආරම්භ කළවුන් වන බළංගොඩ මානවයන්ගේ කෘතියක් ලෙස මෙය සැළකීමට ද හැකියාව ඇත. ඒ, මූල ඓතිහාසික යුගයේ මානවයාගේ අක්ෂර භාවිතයට පෙර පැවති සංකේත භාවිතය ගැන මෙයින් සළකාගත හැකි වන බැවිනි. එසේ ම, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි පවා ඇතැම් විට වෘත්තාකාරව ලියා තිබෙනු දැකගත හැකි අවස්ථා වේ. මෙම අදහස සත්‍යයක් නම්, අපගේ මුතුන් මිත්තන් ඉතා නිවැරදි ජ්‍යාමිතික නිර්මාණ හැකියාවක් ඇතිව විසූ බව මෙයින් අදහස් විය යුතු ය. මෙම මතය විවාදාපන්න අදහසකි. ඒ, ලංකාවේ මූල ඉතිහාසයට අයත්, සුලභ රූපාක්ෂර කිසිවක් සමග මෙහි ඇති සංකේත නොසැසඳෙන බැවිනි.
එච්. සී. පී. බෙල් මහතා ගේ 1901 වසරේ උතුරු මැද සහ මධ්‍යම පළාත් පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙම ස්ථානය ගැන සඳහන් වේ. ඔහු මෙම කැටයම එවක දැන සිටි සක්වළේ සැළසුමක් ලෙස අර්ථ දක්වයි. ඒ අනුව, විශ්වය මැද පිහිටි, සත්කුළු පවු වලින් සැදි, සත් සමුදුරෙන් වට, ගවු හතළිස් දෙදහසක් උස් වූ, අඩක් මුහුදේ ගිළී පවතින මහමෙර, මෙම සැළසුමේ මැද පිහිටි වෘත්ත හතෙන් පිළිබිඹු වේ. ඉර සහ සඳ මහමෙර දෙපසින් දෙකෙළවර සටහන් කර තිබේ. අසංඛෙය්‍ය වූ ලෝක, හතරට බෙදන ලද කුඩා කව වලින් සළකුණු කෙරෙන අතර, සියල්ල වටා පැතිරි මහා සමුදුර හා එහි සරන මිථ්‍යාමය සත්ත්වයන් පිටත කවයෙන් දැක්වේ.
අභයගිරි අධ්‍යාපනය මූලික කරගනිමින්, මහායානික, වෛතුල්‍ය සහ තන්ත්‍ර ආදී දර්ශනයන් පැතිර යාමට බොහෝ කලකට පෙර සිට පවා, රජදරුවන්ගේ උද්‍යාන ක්‍රීඩා සහ සුරතෝත්සව ලංකාවේ පැවති බව පැහැදිලි කරුණ කි. පණ්ඩුකාභය රජ චිත්තරාජ සමග එකට අසුන්ගෙන රති නළු නැරඹූ බවට වන සදහන ඊට නිදසුනක් ලෙස දැක්විය හැක. මහමෙවුනාව සඟ සතු කළ පසු රාජකීය උද්‍යානය බවට පත් වූ රන්මසු උයනේ පිහිටි පොකුණු, මණ්ඩප සහ සීතල මාළිගය සමග සම්බන්ධ කොට සමස්තය ගැන සැළකීමේ දී මෙම සටහන හඳුනාගත හැක්කේ රජවරුන්ගේ ක්‍රීඩා සමග සබැඳි යමක් වශයෙනි. සුරත ක්‍රීඩා හිදී ජල ක්‍රීඩා, උයන් කෙළි සහ තන්ත්‍රයාන භාවිත වූ අතර, තන්ත්‍ර හුදු විනෝදය උදෙසා පමණක් නොව ආගමික කේන්ද්‍රීය මුහුණුවරකින් ද ක්‍රියාත්මක විය.
විශ්ව ශක්තිය සහ ස්වභාව ධර්මය සමග ආගමික මුහුණුවරකින් සම්බන්ධ වීමේ දී, සම්භෝගය ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. සෑම ආගමකම ප්‍රාථමික අවස්ථාවේදී මාතෘ දෙවඟන, ගර්භනී බව, වාර්ෂිකව මිහිතලය සරු කෙරෙන දිව්‍යමය සම්භෝගයක් වැනි දේ දේවමය මට්ටමෙන් සංකේතනය කර වන්දනා කෙරී තිබේ. ග්‍රීක දේව මණ්ඩලයේ බාකස් හෙවත් දියොනීසියස් වයින් සහ රතිය සම්බන්ධ දෙවියන් ලෙස සැළකේ. පෘථිවියේදී මිදි බවට පත්වන්නේ ඔහුගේ ශුක්‍රය බව පුරාණ ග්‍රීකයන්ගේ විශ්වාසය විය. වසන්ත සමයේ ඔහු සමරා රති උත්සව පැවැත්වීම ග්‍රීසියේ ඇතැම් නගර රාජ්‍ය වල රාජකීය මට්ටමින් පැවැත්වින. 
පුරාණ බැබිලෝනියන් දේවස්ථාන වල පූජකවරියන් බැතිමතුන් සමග සංසර්ගයේ යෙදීම දේව පූජාවක් ලෙස පිළිගැනුනි. මුල් ඉන්දු නිම්නයේ මවු දෙවඟන ඇදහීම, පශුපති හෙවත් ශක්තිමත් දිව්‍යමය පුරුෂයෙකු සහ හැඩිදැඩි ගව සංකේත අඩංගු මුද්‍රා, වැනි සාධක පසුකාලීන හින්දු ආගමේ ශිවලිංග වන්දනාව, අශ්වමේධ යාග, දේව දාසීන් වැනි දේ කරා යොමුවූ බව පෙනේ. ගණන් කළ නොහැකි තරම් වන පුරාණ හින්දු දේවකථා මෙන්ම, බෛබලයේ පැරණි ගිවිසුමේ ඇතුළත් කථා ද බොහොමයක් ශෘංගාරය හා මුසු වන්නේ මෙම මූලික අදහස පෙරටු කොටගෙන ය. එම සාහිත්‍යය අද සම්මතයේ පවතින සමාජ ධර්මතා නම් රාමුව තුළ විග්‍රහ කිරිම සුදුසු නොවේ. මෙකී සෑම සාධකයකින් ම පෙනෙන එක් මූලික අර්ථයක් වේ. එය නම්, මිනිසා ආහාර වගාකිරීම සහ සතුන් හීලෑ කරගැනීම ඇරඹූ දා පටන්, පස සරු වීම, නිසි කල ලැබෙන වැස්ස සහ සත්ත්ව පට්ටි තර වීම උදෙසා විශ්වීය බලවේගයක පිහිට පතා, දිව්‍යමය සම්භෝගය සංකේතවත් කර පුද පූජා පැවැත්වූ බව ය. එය රාජකීය මට්ටමෙන් සිදු කිරීම වඩා දියුණු සමාජයේ නායකත්වයේ වගකීම විය.
තන්ත්‍රයානයේදී සෝම පානයන්, මන්ත්‍ර පඨනය මෙන්ම, විවිධාකාරයේ යන්ත්‍ර සටහන් ද භාවිත වේ. එකී සියළු යන්ත්‍ර වෘත්තාකාර ආකෘතියකින් අඳිනු ලැබේ. මෙම අදහස රන්මසු උයනේ ආකෘතියට ආරෝපණය කිරීමේ දී නොගැළපෙන එකම අවස්ථාව වන්නේ, වෘත්තාකාර බව හැරුණු කොට, දැනට සොයාගත හැකි කිසිම තන්ත්‍ර සටහනක්, ඉහත කැටයම හා සමාන නොවන බැවිනි. එකී තන්ත්‍ර සියල්ල නෙළුමක ආකාරය ගත් රටාවලින් යුක්ත වන අතර, ඉහත කැටයමෙහි පද්මාකාර සටහන් කිසිවක් ඇතුළත් නොවේ. එහෙත්, එම සටහනෙහි දැක්වෙන ජල කවයෙන් හුදෙකළා වීම, මැදට යොමු වූ ආරෝහණය හා කේන්ද්‍රය කරා නාභිගත වීම ආදී සංකල්ප තන්ත්‍රයාන රතියේ දක්නට ඇති මූලික අර්ථයන් සමග බැඳෙන බව පෙනේ.
01
තන්ත්‍ර පිළිබඳ අදහස ඇත්තක් වී නම්, මෙම කැටයම ඉදිරිපිට ඇති ආසන හතරෙහි, තන්ත්‍ර යාන ලීලාවෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අටදෙනෙකු අසුන්ගෙන, (පිරිමින් වීරාසනයෙන් අසුන් ගෙන සිටින අතර, ස්ත්‍රීන් ඔවුන්ගේ උකුළෙහි ඔවුන්ට මුහුණලා වාඩිවී, තම දෙපා පිරිමින්ගේ ඉඟවටා වෙළාගෙන සිටීමෙන් තන්ත්‍ර ආසනය සකස්වේ.) ඉදිරියේ ඇති සටහන කෙරෙහි මනස ඒකාග්‍ර කොටගෙන, සෝම, සුරා ආදී පානයන්, ධූමනයන්, විවිධ තාරතාවයන්ගෙන් යුත් සංගීතය, සූත්‍ර පඨනය මධ්‍යයේ රතිය පිළිබඳ ගැඹුරු ධ්‍යානයක් වැනි තන්ත්‍රයන්ට සමවදින්නට ඇති බව සැළකිය හැකිය.
රන්මසු උයනේම කොටසක් හෝ ආශ්‍රිත ස්ථානයක් ලෙස සැළකිය හැකි ඉසුරුමුණියේ ඇති පෙම්යුවළ කැටයම සුරතය පිළිබිඹු කරන කැටයමක් බව පැහැදිළි ය. එසේම, මිනිසා සහ අශ්ව හිස කැටයමට පරණවිතානයන් දෙන අර්ථ කථනය අනුව, (අග්නි සහ පර්ජන්‍ය හෙවත් අකුණු සහ වැසි වළාකුළු) මේ ආශ්‍රිතව වැස්ස බලාපොරොත්තුවෙන් පූජා කටයුතු සිදු වූ බවට ඇති මතය ද ඉහත අදහස හා සමපාත වන බව පෙනේ. ඉසුරුමුණිය හඳුන්වන අපරනාමයක් වන උත්තර මේඝගිරි යන සඳහනේ ම වැස්ස උදෙසා පූජා පැවැත්වීම සංකේතවත් වේ.
මෙම ආකෘතිය යම්කිසි සැළැස්මක් විය හැකිය යන අදහස ද ඇතැමෙකු විසින් නැඟී තිබේ. ලෝක සිතියමක් බව මුලින්ම බෙල් මහතා විසින් ඉදිරිපත් වුනු බව ඉහතින් ද කියැවිණි. සාම්ප්‍රදායික බෞද්ධ කැටයම් වලින් වෙනස් වූ, වෙනත් තැනක දැකිය නොහැකි සංකේත නිසා මෙහි ඇති වෙනස් බව පැහැදිළි අතර, මෙය යම්කිසි ජලාපවහන ක්‍රමයක සැළැස්මක් හෝ නගර නිර්මාණයක සැළැස්මක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ හසර පවතී. ඉසුරුමුණි අරම නවිකරණය කිරීම්වලින් ප්‍රධානතම වැඩ පිළිවෙල සීගිරි කස්සපයන්ගෙන් ඉටු වූවක් වන බැවින්, මෙය ද එතුමාගේ සැළැස්මක් ලෙස සිතන්නට ද ඉඩ කඩ තිබේ.
මීට එරෙහිව නැගෙන මූලිකම තර්කය වන්නේ, මෙම සටහනෙහි පිටත වළල්ලේ සිටින මුහුදු ජීවීන් බවය. ඒ අනුව, මෙය නගර සැළැස්මක් නොව, එක්කෝ දිවයිනක, නොඑසේනම්, ලෝකයේ සිතියමක් විය යුතුය. එක් කාලයක ලෝකයේ හරි මැද නාලන්දා ගෙඩිගෙය පිහිටි ස්ථානය වන බවට විශ්වාසයක් ද අප රටේ පැවතුණි. නොඑසේනම්, මෙම කැටයමේ මැද සහ ඉහළ වම් පස ඇති වෘත්ත හතෙන් දැවැන්ත දාගැබ් දෙකක් ද, අනෙකුත් සළකුණු වලින් ඒ ආශ්‍රිත වෙනත් ඉදිකිරීම් ද දැක්වෙනවා වන්නට ඉඩ ඇත. මෙම මතය ප්‍රායෝගිකව නිරීක්ෂණයට ලක් වී නැත. එසේ ම, අනුරාධපුර යුගයෙන් පසුවද, ආක්‍රමණ සහ පසුකාලීන රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න නිසා දිවයිනේ නගර සැළසුම් බොහෝ සේ වෙනස් වී ඇති හෙයින් මෙය දුෂ්කර කාර්යයක් ද වේ.
තවත් අතකට මෙය සක්වළ පිළිබඳ සිතියමක් වන්නට ඉඩ ඇතැයි ද මතයක් පවතී.

Lion - egyptian basrelief 

බැබිලෝනය, ඊජිප්තුව වැනි ශිෂ්ඨාචාර සමගත්, නැස්කා රේඛා සමගත් පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධතාවයක් පවතින බවට ජනප්‍රිය අදහස් පළවී ඇති හෙයින්, මෙම සටහන ද ඊට සමරූපී සාධකයක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි.
බැබිලෝනයේ සිංහයා ගේ පිළිරුව, සිංහ සිරුරු ඇති පියාපත් ඇති මිනිසුන්ගේ ප්‍රතිමා සහ ඊජිප්තුවේ සිංහ ස්ෆින්ක්ස් රූ, ලාංකිකයන්ගේ සිංහ සම්භවය පිළිබඳ සංකල්පය සමග සම්බන්ධ කිරීමට එතරම් ආයාස ගත යුතු නොවේ.

අනෙක් අතට තැනිතළාවක් වන නැස්කා හි පොළොවේ සටහන් කර ඇති දැවැන්ත සටහන් අර්ථවත් ලෙස නැරඹිය හැක්කේ ඉහළ අහසට නැගුනු අයෙකුට පමණි.

The Lion of Babylon is an 
ancient Babylonian symbol.
ඊට සමරූපී ලෙස, රන්මසු උයනේ ඇති කැටයමෙහි මැද ඇති වෘත්ත හතෙන් සෞරග්‍රහ මණ්ඩලය අදහස් වන බව ද, පිටත ඇති ඊට සමාන සටහනෙන් අප සමග සබඳතා පවත්වාගත් පිටසක්වළ ජීවීන්ගේ මන්දාකිණිය හෝ ග්‍රහ මණ්ඩලය සංකේතවත් වන බව ද මෙම මතයෙන් අදහස් වේ. ලංකාවේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යයේ ඇත්තේ භෞතික ග්‍රහ වස්තූන් හතකුත්, රාහු සහ කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකකුත් පමණි, ඉන් භෞතික ග්‍රහයන් හත සතියේ දින හත නම් කිරීමට යොදා ගැනීමෙන් ම සෙසු ග්‍රහයන් අබිභවා ඒවායේ වැදගත් කම තහවුරු වේ. එසේනම්, ඉහත සටහනේ මැද ඇති වෘත්ත හතෙන් එම ප්‍රධාන ග්‍රහයන් හත හෝ ඒවායේ කක්ෂයන් නිරූපණය වන බව අදහස් කළ හැක.

ඇතැම් විට මෙම කැටයම පැරණි කැළැන්ඩරයක් ද වන්නට ඉඩ තිබේ. මැද කව හතෙන් සතියේ දින හත පිළිබිඹු වන අතර, දෙපස ඇති ඉර සහ හඳෙන් දිවා රාත්‍රී දෙක සංකේතනය වේ. සෙසු කව සහ සමාන්තරාස්‍ර මගින් වසරකට ඇති සෂ්‍ය හෙවත් අස්වනු රටා, උදම් රටා හෝ සුමාන ගණන නිරූපණය වනවා විය හැක. කැටයමේ බොහෝ දුරට සමමිතික වන ඉහළ සහ පහළ කොටසෙන් සූර්යයාගේ දක්ෂිණායනය සහ උත්තරායනය දැක්වෙන්නට ඇත. ඉහළ වම්පස ඇති කව හතෙන්, ලෝක විනාශයෙන් පසු නැවත සිදුවන ජීවයේ සහ කාලයේ ආරම්භය අදහස් වන්නට පුළුවන. කාලය චක්‍රාකාරව ගළායන බව වටා ඇති දියවටයෙන් සංකේතනය කළා විය හැක.

තාරකා දොරටු පිළිබඳ අදහස ශ්‍රී ලාංකීය මනස ට හඳුන්වාදෙන ලද්දේ, ස්ටාර්ගේට් නම් ඇමරිකානු වැඩසටහන තුළිනි. එසේ වුවත්, එම වැඩසටහනේ දැක්වෙන තාරකා දොරටුව, මෙම කැටයමේ පිටත වළල්ල ට සෑහෙන සමානත්වයක් දක්වයි. එසේම රන්මසු උයනේ කැටයමට සමරූපී කැටයම්, පුරාණ බැබිලෝනයෙන් සහ මිසරයෙන් සොයාගෙන ඇති බව ද මෙම අදහසට රුකුල් දෙයි
02
මීට සමාන බැබිලෝනියානු කැටයමක් වන්නේ බැබිලෝනියානු ලෝක සිතියම නම් මැටි පුවරුවයි. දකුණු ඉරාකයේ, පුරාණ බැබිලන් නගරයේ සිට කි. මී. 97ක් උතුරින් පිහිටි සිප්පර් (Sippar) නම් ස්ථානයේ, යුප්‍රටීස් නදියේ නැගෙනහිර ඉවුරෙන් හමු වූ මෙය, 1899 දී ප්‍රසිද්ධියට පත් කරන ලදුව, දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. බැලූ බැල්මට මෙය රන්මසු උයනේ ඇති කැටයම මෙන් සංකීර්ණ සහ සමමිතික නොවන වඩා සරළ සටහනකි. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මගින් සකස් වූ පිටත වටය සහ ඒ තුළ ඇති කුඩා වෘත්ත හේතුවෙන් ලංකාවේ කැටයම ට සම වූවත්, බැබ්ලෝනීය කැටයමේ ඇති අනන්‍ය බව සහ සරළ බව පැහැදිළි ය. එපමණක් ද නොව, මෙම සිතියමේ ඇතුළත් ප්‍රදේශ පිළිබඳව සිතියමට ඉහතින් කූඤ්ඤාක්ෂර වලින් සටහන් කර ද තිබේ. 
03
මෙහි වෘත්තාකාර සටහන වටා ත්‍රිකෝණ හතරක් දක්නට ලැබේ. සූර්ය සටහනක මෙන් මෙහි ද ත්‍රිකෝණ හතක් තිබෙන්නට ඇත. කූඤ්ඤාක්ෂර සටහනේ මේවා දිවයින් හතක් ලෙස නම් කර තිබේ. ඒ අතර, නැගෙන හිරු ගේ ප්‍රදේශය, හිරු සැඟවුණු කිසිවක් දැකිය නොහැකි පෙදෙස, කුරුල්ලන්ගේ පියාසර සීමාවට එපිට, ආදී වශයෙන් නම් කරනලද ස්ථාන වේ. අමිහිරි නදිය (river of bitter water) ලෙස නම් කර ඇති පිටත වටය, සාගරය ලෙස සැළකිය හැක. ඉතිරි කොටස් පහත පරිදි නම් කර තිබේ. 
1.     කඳු
2.    නගරය
3.    උරර්ටු
4.    ඇසිරියාව
5.    දෙර්
6.    හඳුනාගත නොහැක04
7.    වගුරු
8.    ඒළාම්
9.    ඇළ
10.   බිත් යාකින්
11.    නගරය
12.   හබ්බාන්
13.   බැබිලන්
14.   – 17. අමිහිරි නදිය
18.  – 22. දිවයින්
ඉහතින් ද දක්වා ඇති අයුරින් ම, බැබිලෝනීය කැටයම ද, සෞර ග්‍රහ මණ්ඩලයේ සටහනක් යැයි ද මතයක් පවතී. එහි ඇති කුඩා කව අට ග්‍රහ ලෝක අටක් ලෙස අර්ථ දැක්වීමට සමහරු පෙ‍ළඹෙති. ප්ලූටෝ විෂම වූ පරිභ්‍රමණ පථයක් ඇත්තෙක් බැවින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට ඇති තර්කය මෙහිදී පදනම් කර ගැනේ.
ගුවනින් ආ සිංහ මිනිසුන් විසින් බැබිලෝනය ශිෂ්ඨවත් කරන ලද බව සඳහන් මැටි පුවරුවක් බැබිලෝනයෙන් සොයාගන්නා ලද බවට ප්‍රසිද්ධ වී ඇති නමුත්, ඒ පිළිබඳ නිශ්චය සාක්ෂි මා හට සොයාගත නොහැකි විය.
රන්මසු උයනේ කැටයමට සමාන චක්‍රාකාර කැටයමක් මිසරයෙන් සොයාගෙන තිබේ. එය පිහිටියේ දෙන්දෙරා හි හැතෝර් දේවස්ථාන සංකීර්ණයේ ඔසයිරස් හට කැප වූ දේවාලයේ පෝටිකෝවේ සීලිමේ ය. මෙම දේවාලය ඉදිකිරීම ඇරඹුනේ ටොලමි රජුගේ පාලන කාලයේ වන අතර, මෙකී පෝටිකෝව එකතු කෙරුණේ ටයිබීරියස් අධිරාජ්‍යයා විසිනි. එහෙයින් ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ශෝං ෆ්‍රාංස්වා චැම්පෝලියන් මෙය මිසරයේ ග්‍රීක රෝමානු පාලන කාලයට කාල නිර්ණය කර ඇත. එහෙත් පසුකාලීනයෝ මෙම කැටයම වඩා ඈත කාලයකට හෙවත් ක්‍රි. පූ. 50 ට පමණ කාලනිර්ණය කරති. ඒ, මෙහි දැක්වෙන තාරකා රාශි එවකට පිහිටි ස්ථානයන් මෙම කැටයමෙහි සටහන් වන බැවිනි. දැන් මෙය පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
 0506
මේවායේ අටකොණෙහි ඇති මානව සහ දේව රූප හැරුණු කොට, පිටතින්ම ඇත්තේ හයිරොග්ලිපික්ස් හෙවත් චිත්‍රාක්ෂර වලින් සමන්විත රවුමකි. මෙම කොටස සැකැස්ම අතින් රන්මසු උයනේ ඇති සටහනට තරමක් දුරට සමාන ය. එම වටය තුළ ඇති ඉඩ පුරවා ඇත්තේ රවුමට ගළපා කැටයම් කරන ලද විවිධ සංකේත වලිනි. අනෙක්වාට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලව සටහන් කර ඇති සංකේත දොළහ කි. චක්‍රයේ මැදට වන්නට සටහන් කර ඇති මේවා රාශි දොළහ නියෝජනය කරන බව පැහැදිළිව පෙනේ.
අනෙක් සංකේත සමග ද විශ්ලේෂණය කර බලන විට, මෙම සමස්ත කැටයම රාත‍්‍රී අහසේ සැළැස්මක් හෙවත්, තාරකා රාශි සටහනක් හෝ තාරකා කැළැන්ඩරයක් ලෙස සැළකීමට පුළුවන.
නැස්කා රේඛා සමග රන්මසු උයනේ ඇති කැටයම ට ඇති සම්බන්ධතාවය ද සමහර ගවේෂකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇත. මේ සමග දැක්වෙන රූපය දකුණු පේරු හි නැස්කා තැනිතලාවේ කිලෝමීටර අසූවකට වැඩි භූමි ප්‍රදේශයක සටහන් වී ඇති එම දැවැන්ත සටහන් වල සිතියමකි. 
07 (1) කාන්තාරයේ බිම මතුපිට ඇති රත් පැහැ වැලි සහ බොරළු ඉවත් කිරීම මගින් අඟල් 6 කට පමණ යටින් ඇති කහ පැහැති පස් මතු කර, කිලෝමීටර කිහිපයක දිග පළලින් යුතුව සියගණනක් වන මෙම සංකේත සහ රේඛා සළකුණු කර තිබේ. මිහි මත ඇති වියළිම සහ ඒකාකාර ම කාළගුණ තත්ත්වයන් මෙහි පවතින හෙයින් මේ දක්වා මෙම සටහන් ආරක්ෂා වී පවතී. නැස්කා රූප ආශ්‍රිතව හමු වූ ලී මෙවළම් කාබන් 14 ක්‍රමයට බඳුන් කිරීමෙන් මේ රේඛා ක්‍රි. ව. 400 – 650 අතර කාලයට කාල නිර්ණය කර ඇත. මෙම රූප පැහැදිළිව දැකගත හැක්කේ ගුවනේ සිට පමණ කි. මෙහෙයින් ම මෙකී සටහන්, ගුවනින් හෝ පිටසක්වළින් පෘථිවිය වෙත ආ කිසිවෙකු වෙනුවෙන්, එවැන්නෙකුගේ ම ආධාරය ඇතිව ඇඳ ඇති බවට මතයක් පවතී.
ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ විශාල තිරිඟු යායවල සටහන් ව තිබී හමුවන වගා චක්‍ර (Crop Circles) පිළිබඳව ද මෙවැනිම අදහස් පළ වී ඇති නමුත්, ඒවා දක්ෂ ශිල්පියෙකුට පොළොවේ සිට ම නිර්මාණය කිරීමට හැකි බව ආතර් සී. ක්ලාර්ක් මහතා ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එපරිද්දෙන්ම, නැස්කා රේඛා ද, ආදි කාලීන මිනිසා විසින්, තමන්ට ඉහළින් වෙසෙන දිව්‍යමය බලවේගයක් සතුටු කිරීමේ අරමුණින්, කුඩා සැළසුමක් විශාල කොට තැනිතලාවේ සටහන් කරන ලද්දක් බවට අනුමාන කරන්නට ද පුළුවන.
රන්මසු උයනේ කැටයම ට සම කළ හැකි රූප ලෙස නැස්කා සටහන් අතර ඇත්තේ, අතිශයින් සෘජු සරළ රේඛා, සමාන්තරාස්‍ර, සර්පිල සහ තල්මසාගේ සටහන පමණකි. අනෙක් සියළු රූප ඇමරිකානු කාන්තාර කළාපයේ සුලභව දක්නට ඇති දේ ය.
සමස්තය පිළිබඳ විග්‍රහ කර බැලීමේදී නිශ්චය වශයෙන් ම කිව හැක්කේ එකක් පමණකි. වෘත්ත, සමාන්තර රේඛා, සමාන්තරාස්‍ර සහ සමචතුරස්‍ර ඉතා නිවැරදි ලෙස සටහන් කළ හැකි වූද, ඒ පිළිබඳ නිවැරදි ජ්‍යාමිතික දැනුමකින් පොහොසත් වූද ශිල්පීන් අනුරාධපුර යුගයේ හෝ ඊටත් පෙර ලක්දිව විසූ බව ය. ඉහතින් සඳහන් දීර්ඝ උපකල්පන කිසිවකින් තොරව වුවද, මෙම කැටයමේ ඇති වැදගත්කම තේරුම්ගැනීමට මෙකරුණ පමණක් ප්‍රමාණවත් බව කිව හැක

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, December 2, 2016

බ්‍රිතාන්‍යයේ ඩ්‍රැකියුලා මිනිසුන් 15,000 ක් ඇතැයි හෙළිවෙයි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. dracula holman katha)

බ්‍රිතාන්‍යය තුල මිනිස් ලේ උරා බොමින් ජීවත්වන 15,000 කට ආසන්න පිරිසක් වෙසෙන බව නවතම සමීක්ෂනයකදී අනාවරණ කර තිඛෙනවා.
ලන්ඩනයේ මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එම සියලු පුද්ගලයින් රහස් ජාලයකින් බැදී සිටින බවයි.
වෛද්‍ය  Emyr Williams පවසන්නේ මෙම පිරිස සිය ජාලය තුල වෙසෙන සාමාජිකයින්ගේ ලේ උරා බොමින් එම ජාලයේ සබදතා පවත්වාගෙන යන බවයි.
මේ වන විට එම 15,000 ක පමණ පිරිසට ලේ සැපයුම් සිදුකරන 30,000 ක පමණ පිරිසක් බි්‍රතාන්‍යයේ වෙසෙන බවත් වෛද්‍යවරයා අනාවරණ කර තිඛෙනවා.
මෙය වඩාත් තහවුරු කරමින් සිය සැමියා තමන්ගෙන් ලේ උරා බොන බව Blut Katzchen නැමැති බ්‍රිතාන්‍ය තරුණියක් අනාවරණ කර තිඛෙනවා. සිය සැමියාට ජීවත්වීමේ ශක්තිය ලබා ගැනීම සදහා ඔහුට ලේ අවශ්‍ය වන බවත් තමන් ඉතා කැමැත්තෙන් ඊට එකගව සිටින බවත් ඇය අනාවරණ කළා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඉතා දැඩි ආත්මීය සවිමත් සබදතාවයක් පවතින බවයි එම තරුණිය ප්‍රකාශ කර ඇත්තේ.
මීට වසර 2කට පෙර ඔවුන් මුණ ගැසී ඇත්තේද බ්‍රිතාන්‍යයේ චැම්පරයින් හෙවත් ඩ්‍රකියුලාවරුන්ගේ රහස් සංගමයක් තුලදීයි. මේ එම යුවලගේ සේයාරූ කිහිපයක්.






================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, November 25, 2016

වෙනත් ලෝකවල ජීවීන් පහල වන හැටි – බුදු දහමේ කියවෙන හැටි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya -ශාස්ත්‍රීය ළිපි aliens bellana ganawimala )

ඛෙල්ලන ඥානවිමල නාහිමි, ජීවය, පිටසක්වල, ලෝකය, සක්වල සක්මන
අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.
අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.
මහ නායක හාමුදුරුවනේ, වෙනත් ලෝකවල ජීවීන්ගේ, පහළ වීම කොහොමද සිදු වෙන්නෙ ?
ඒ, ඒ ජීව ලෝකවල පවතින ස්වභාවයන්ට අනුගතවයි, ජීවීන්ගේ පහළ වීම සිදුවෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ වුණත් එකම විධියට ජීවීන් හට ගන්නේ නැහැනේ. වරක් අපේ බුදු හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට ජීවීන් උපදින සතර යෝනී පිළිබඳව විස්තර කර තිබෙනවා.
එනම්, බිත්තර (අණ්ඩජ යෝනි) වලින් උපදින ජීවීන්, වැදෑමහ (ජලාබුජ යෝනි) මව්කුස ඇසුරෙන් උපදින සත්වයින්, අපද්‍රව්‍ය – තෙතමනය (සංසෙදජ යෝනි) ආශි‍්‍රතව උපදින ජීවීන් සහ අඟ පසඟ සහිතව (වැඩී) පහළ වන සත්වයින් වශයෙනුයි. කළල රූපයක් ක්‍රමිකව වැඩීමකින් තොරව ඕපපාතිකව පහළ වන ජීවී කොටස් ද මෙලෙස විවිධ ලෝකවල වෙසෙනවා.
ඒ වුණත්, භෞතික විද්‍යා ඉගැන්වීම්වලට අනුව ස්ත්‍රී, පුරුෂ සම්යෝගයක් නැතිව ප්‍රමාණාත්මක ඇසට පෙනෙන ජීවීන් හට ගන්නේ නැහැ නේද?
ඔබ ඔය කියන න්‍යායන් සක්වළ ධර්මතාවලට පටහැනියි. දැන් බලන්න, කෙකනියන් ගැබ් ගන්නේ කොහොමද කියලා. මේඝ (වැසි) ගර්ජනා හඬටයි, උන් ගැබ් ගන්නේ. ඔවුන් අතර ස්ත්‍රී වර්ගයේ සත්වයින් හැර ඔබ කියන අන්දමේ පුරුෂ වර්ගයේ සත්වයින් සමග සංවාසයක් සිදුවන්නේ නැහැ. නමුත් සොබා දහමත් සමග බැඳුනු කෙකනියනුත් (බලාක යෝනියෙහි) ගැබ් ගන්නවා. මේඝ ගර්ජනා නැතිවුණ අහසක් මතු කාලයක නිර්මාණය වුණොත් පමණයි, කෙකනියන්ගේ ගැබ් ගැනීම නතර වෙන්නේ. එතෙක් පුරුෂ සත්වයන් නැතත් කෙකනියන්ගේ ගැබ් ගැනීම සිදු වෙනවා.
එතකොට, ඕපපාතිකව උපදින්නේ, මොන වගේ සත්ව විශේෂද?
බොහෝ විට එහෙම පහළ වෙන්නේ ඉතා සූක්‍ෂම ප්‍රමාණවල ශරීර කොටස් ඇති සත්ව විශේෂයි.
නිරා සතුන් සහ භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍යයින් වගේම දේව, බ්‍රහ්ම කොට්ඨාසත් මේ ගණයට අයත් වෙනවා. දෙවිවරුන්ගේ මෙම ඕපපාතිකව පහළ වීම පිළිබඳව ‘සංයුක්ත අට්ඨ කථාවල’ මෙන්ම ‘යෝගාචාරභූමි’ වැනි පුරාතන ග්‍රන්ථවලද විස්තර කර තිබෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දෙවි බඹුන්ගේ පහළවීම් පිළිබඳව දැක්වෙනවා. විශේෂයෙන් දිව්‍ය ශරීරවල සියුම් (සූක්‍ෂම) බව අංගුත්තර නිකායේ ‘සමචිත්ත’ සහ ‘හත්ථක’ වැනි සූත්‍රවල විස්තර කෙරෙනවා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ ‘කේවට්ට සූත්‍රයෙන්’ බ්‍රහ්ම කායික ලෝකවල සියුම් ශරීර පිළිබඳවත් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා.
මෙවැනි සියුම් ශරීර ඇති ජීව ලෝක දැක ගැනීමට කුමන අන්දමේ ඤාණ ගවේෂණයක් අවශ්‍ය වෙනවාද?
දෙව්, බඹුන් දැක ගන්නට නම් අෂ්ට ඤාණය ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ, දිබ්බචක්ඛු, ඉද්ධිවිධ, චෙතොපරිය, යථාකම්මූපග, අනාගත, පච්චුප්පන්න, අතීත, පුබ්බේනිවාසානුස්සති යන ඤාණ අටයි. අපේ බුදුහාමුදුරුවන්ට තවත් ඤාණ සම්භාරයක් ඇතුළු අෂ්ට පරිවත්ත අධි දේව ඥානය පවා තිබූ බව සඳහන් වෙනවා.
මේ නිසායි, බුදු රදුන් හැරුණු කොට සෘද්ධිමතුන් අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සහ දිබ්බචක්ඛු ඤාණාලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි මහ රහතන් වහන්සේ කිහිප නමක් පමණක් දෙව්, බඹුන් සමග සමීපව කටයුතු කර තිබෙන්නේ.
එසේ නම් බුදුරදුන්ගේ මහා ඤාණ සම්භාරය සුවාසු දහසක් ධර්මස්කන්ධයකට සීමා වුණේ ඇයි?
පන්සාලිස් (හතළිස් පස්) වසරක් තුළ විනය පිටකය 21, 000 ක්, සූත්‍ර පිටකය 21, 000 ක් හා අභිධර්ම පිටකය 42, 000 ක් වශයෙන් ඔබ කියපු පරිදි සුවාසූ (84,000) දහසක ධර්මස්කන්ධයක් දේශනා කොට වදාරා තිබෙනවා. සත්වයන්ට සසරින් එතර වෙන්න, මේ ධර්මස්කන්ධය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වෙනවා. නමුත්, උන්වහන්සේ සතු දැනුම හා දැක්ම ඊටත් වඩා බොහොම වැඩියි. ඒ බව සංයුක්ත නිකායේ, සිංසපා සූත්‍රයෙන් මෙසේ විස්තර කෙරෙනවා.
දවසක් බුදු හාමුදුරුවෝ මහා සංඝයා පිරිවරා ගෙන වන පෙදෙසක් මැදින් චාරිකාවේ නිරත වන අතර ඇට්ටේරියා ගසක් යට විවේක සුවයෙන් වැඩ සිටි සේක. එවිට එම ගසින් බිම වැටී තිබුණ කොළ මිටියක් බුදුරදුන් අතට ගෙන මෙහෙම විමසනු ලැබුවා.
‘මහණෙනි, මේ මගේ අතේ තිබෙන කොළද වැඩි නැති නම් මේ ගසේ තිබෙන කොළ ද වඩා වැඩි’ යනුවෙන් එවිට නොපැකිලිව මහා සංඝයා ‘ගසේ කොළ ඉතා වැඩි’ යැයි තථාගතයන් වහන්සේට පිළිතුරු දී සිටියා. ඉන් පසු බුදුහාමුදුරුවෝ විසින් ‘මහෙණනි මේ ගහේ කොළ ද වැඩි, නැතිනම් මේ වනයේ කොළ ද වඩා වැඩි’ යනුවෙන් නැවතත් විමසනු ලැබුවා. එවිටත් මහා සංඝයා ‘වනයේ කොළ ඉතා ම වැඩි’යි යනුවෙන් පිළිතුරු දුන්නා.
ඉනික්බිතිව, එලෙසම ‘මහණෙනි, බුදුවරු දැනගත් ධර්මය මේ වනයේ ඇති කොළ තරම් බොහෝ වැඩි බවත්, බුදුරදුන් ලොවට දේශනා කොට වදාළේ අතේ ඇති කොළ මිට මෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් විස්තර කර තිබෙනවා. ඉන් පැහැදිලි වෙනවා, බුදුරදුන් දේශනා නොකළ ධර්මය එම වනයේ කොළ තරම් ඉතා වැඩි බව. උන්වහන්සේ එසේ කළේ, ලොව්තුරා සම්මා සම්බුදු කෙනෙකු සාර සංඛ්‍යෙ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත් මහා ධර්මස්කන්ධය ලෝකයාට විෂය නොවනු නිසා විය යුතුයි.
එය එකළ පැවති භක්තිවාදී බමුණු සමාජයට විෂය නොවුණත්, නවීන විද්‍යාවේ දියුණුවෙන් කෙළ පැමිණි නූතන සමාජයට නම් විෂය විය හැකියි නේද?
අදටත් භක්තිවාදී අන්තවාදී මිථ්‍යා ආගම් අදහන අන්ධ ලබ්ධිකයින්ගෙනුයි ලෝකය පිරී පවතින්නේ. නවීන විද්‍යාත්මක කැමරා උපකරණවලට ඉඳහිට දේවතා එළි හා විවිධ ආලෝක දහරාවන් සටහන් වුණාට, ඒවායේ සූක්‍ෂම භාවයන් අවබෝධ කර ගැනීමට තරම් විඥානය දියුණු කර ගෙන නැහැ. නවීන විද්‍යාවෙන් නිරූපණය වෙන්නේ, භෞතික හා යාන්ත්‍රික ඡායා දැක්මක්. නමුත්, අධ්‍යාත්මික සූපසන් දැක්මකුයි, බුදුදහමේ දැක්වෙන්නේ. විද්‍යා (ඉජඪඥදජඥ) යන වදන, බුදුදහමේ විස්තර වෙන්නේ, ‘විජ්ජා’ යනුවෙන්. බුදු දහමට අනුව ‘විජ්ජා උදපාදී’ කියන්නේ නිවැරදිව යමක් අවබෝධ කර ගැනීමටයි.
නමුත් නවීන විද්‍යාවෙන් අද නිගමනය කරන හුඟක් දේවල් හෙට දවස වන විට වෙනස් වෙනවා. ඒ දේවල් පිළිබඳව නිවැරැදිව අවබෝධ කර නොගැනීම නිසායි, ඒවා කලින් කලට වෙනස් වෙන්නේ. මේ නිසා අද තියෙන්නෙත්, අවිද්‍යාව හෙවත් අනවබෝධය පිරුණු භෞතික සමාජයකුයි.
මහා විද්‍යාඥ, සාපේක්‍ෂතාවාදයේ පියා වූ ඇල්බට් අයින්ස්ටයින්ටත් වැරදුණේ මේ නිසා ද?
ඔව්, එතුමා සාපේක්‍ෂතා වාදයෙන් ලොවට අනාවරණය කළ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් සක්වළ පවතින කිනම් වස්තුවකට හෝ ගමන් කළ නොහැකිය යන අදහස පවා අද වන විට අභියෝගය ලක් වී තිබෙනවා. ලොව පිළිගත් විශිෂ්ටතම විද්‍යාත්මක නිගමනයත් වසර සියය (100) ක් ගත වීමට පෙර වෙනස් වුණා නම්, අනෙකුත් විද්‍යාත්මක නිගමන පිළිබඳ ඉතින් කවර කථා ද?
ඇල්බට් අයින්ස්ටයින්
ජිනීවාහි විද්‍යාඥයන් පිරිසක් කළ විස්මය ජනක සොයා ගැනීමකට අනුව, ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. මහාචාර්ය ජෙනී තෝමස් පවසන පරිදි මෙම සොයා ගැනීම නිසා භෞතික විද්‍යාවේ මූලික තේරුම් ගැනීම පමණක් නොව සක්වළ තේරුම් ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. ‘ඒක හරියට මේ සක්වළේ හැමදේම ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්. ඒ ගැන හිතන කොටත් ඔලුව අවුල් වෙනවා වගෙයි’ යනුවෙන් ඇය (මහාචාර්ය ජෙනී) විදෙස් මාධ්‍යයන්ට පවසා තිබුණා.
එහෙනම් විද්‍යාවේ නිගමන වලින් ඔලුව අවුල් නොවීමට නම්, බුදු දහමෙන් දෙන උපදේශය කුමක්ද?
ඔව්, ‘විජ්ජා චරණ සම්පන්නෝ’ යන ගාථා පාඨයෙන්ම ‘විද්‍යාව හා චරණ ධර්ම’ පිළිබඳව විස්තර කෙරෙනවා. බුදුරදුන් සොයා ගත්තා වූ සෑම දෙයක් සමඟම හැසිරීම් රටාවක් සහ චර්යාධර්ම පද්ධතියකුත් නිර්දේශ කර තිබෙනවා. එමගින් මිනිසාගේ සිතට ආධ්‍යාත්මික සුවයක් කැඳවනවා. මේ නිසා එම අවබෝධයෙන් මිනිසාට හෝ පරිසරයට හෝ විපතක්, අනර්ථයක් සිදු වෙන්නේ නැහැ.
ලෝකයේ ස්වභාවය මේ බඹයක් පමණ වූ ශරීරය තුළින් අවබෝධ කරගත හැකි බවත්, එහි ලොව ඇති සියලු ධාතු කොටස් දැක ගත හැකි බවත් අංගුත්තර නිකායේ, චතුක්ත නිපාතයේ බුදුරදුන් විස්තර කර තිබෙනවා. එබැවින් බඹයක් පමණ වූ ශරීර කොටස්වලින් යුතු තමා, තමන්වම නිවැරදිව දැක ගැනීම ලෝකය දැකීමක් වැනිය යන්න එම බුද්ධ දේශනාවෙන් මොනවාට පැහැදිලි කෙරෙනවා.

================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya