Friday, March 31, 2017

ඩයිනෝසර් බිත්තර චීනයෙනුත් ! (dinosaurs eggs අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

ඩයිනෝසරයන් මිහිපිටින් අතුරුදන්ව ඇත්තේ වසර මිලියන හැටපහකට පෙරාතුව පරමාණුක බලයක්‌ සහිත ග්‍රාහකයක්‌ මිහිමත ගැටිම නිසා යෑයි වූ පිළිගැනීම විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. මෙම විපත්ති කර සිදුවීම නිසා මිහිමත සිටි සත්ව විශේෂයන් බොහොමයක්‌ තුරන්ව ගොස්‌ ඇත. යෝධ සත්වයන් වූ මෙම ජීවින් මීටර් 50 ක්‌ පමණ විශාල වූ අතර මෙම සත්ත්ව විශේෂයන්ගෙන් ඇතැම් ජීවින්ට පියඹා යා හැකි වුණ අතර තවත් විශේෂයක්‌ මුහුදේ ජිවත්ව ඇත.
මෙම සතුන්ට " ඩයිනෝසර්" යෑයි නම තබන ලද්දේ බිහිසුණු උරගයෝ යන ග්‍රීක වදනට අනුවයි. මෑත දශකයක කාලයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මෙම සතුන්ගේ පොසිල හමුවී ඇත. 
මේ අතර තවත් විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දෙන අන්දමට ඩයිනෝසරයන්, විශාල සාගර සර්පයන් වගේම කුරුල්ලන් වැනි ප්ටෙරෝසරයන් වසර මිලියන 1.5 කට පමණ පෙරාතුව වර්තමාන ඉන්දියාව පවතින භුමි ප්‍රදේශයේ සිදු වුණ ගිනිකඳු පිපිරීම් මාලාවක්‌ නිසා අතුරුදන් වන්නට ඇති බවයි. 
මේ අතර චීනයේ මාර්ග අලූත්වැඩියා කටයුතුවල නිරත පිරිසකට "හෙයුවාන් " ප්‍රදේශයේදී ඩයිනෝසර් බිත්තර 43 ක්‌ හමුවුණා. ප්‍රදේශයේ පවතින රතු මැටි පස නිසා මෙම බිත්තර ඉතා හොඳින් ආරක්‌ෂා වී තිබුණා. මෙම ප්‍රදේශය ඩයිනෝසරයන් වෙනුවෙන් උණුහුම් නවාතැනක්‌ විදිහට පාෂාණීභූත තොරතුරු ගවේෂණයේ යෙදෙන විද්‍යාඥයන් හඳුන්වා දෙනවා. හෙයුවාන් ඩයිනෝසර් බීජ කෞතුකාගාරය ලෝකයේ තිබෙන විශාලතම ඩයිනෝසර් බීජ කෞතුකාගාරය විදිහට විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.මේ අතර චීනයේ පර්යේෂකයන් පිරිසක්‌ වසර දහයකට පමණ පෙරාතුව "හෙබේ" ප්‍රදේශයෙන් හඳුනාගත් පොසිල අධ්‍යනය කරමින් සඳහන් කරන්නේ මෙම විශේෂය පියඹා යැමේ හැකියාව සහිත සත්ව විශේෂයක්‌ වුණත් එහි හැකියාව සාර්ථක නොවුණ නිසා ඉක්‌මනින්ම වඳවීමේ අවදානමට පත්වන්නට ඇති බවයි. පාෂාණීභුත විද්‍යාඥ ෂුං සිග් සඳහන් කරන්නේ මෙම ඩයිනෝසර් විශේaෂයන්ට පිහාටු පිහිටා නොතිබුණ අතර ඉදිරි ගාත්‍රා සහ සිරුර අතර පැවැති සියුම් පටලය ආධාර කර ගෙන පියඹා යන්නට ඇති බවයි. මෙම සත්වයාගේ බර ග්‍රෑම් 230 ක්‌ සහ දිග සෙන්ටිමීටර් 63 ක්‌ පමණ වන්නට ඇතැයි මෙම පර්යේෂකයන් අනුමාන කරනවා.

චීනයෙන් ප්‍රථම වරට හමුවුණ මෙම ඩයිනෝසරයන්ගේ හිස වටා පිල් කළඹක්‌ තිබුණ අතර ක්‍රමයෙන් වැහැරෙමින් පැවැති පිහාටු මත කුඩා අත් සහ අවානක හැඩයේ වලිග තටුවක්‌ පිහිටා තිබුණා. මෙම ඩයිනෝසරයන්ට දත් නොතිබුණ නිසා ඔවුන්ගේ ආහාර ගැන සෘජුවම යම් අදහසක්‌ ලබා දෙන්නට විද්‍යාඥයන් සූදානම් නැහැ.
2003 වසරේදී චිනයෙන් හමුවුණ දඩසර් වර්ගයේ Heyuannia huangi. ඩයිනෝසර් බිත්තර පිළිබඳව ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක්‌ සිදු කරනු ලැබුවා. අණ්‌ඩාකාර හැඩයෙන් යුක්‌ත මෙම බිත්තරයක වටප්‍රමාණය මීටර් 1.5 ක්‌ පමණ වුණ අතර බර කිලෝ ග්‍රෑම් 10 ක්‌ පමණ වුණා.
මෙම ඩයිනෝසරයන් කුරුල්ලන්ට බොහොම සමානයි. සාමාන්‍ය කුරුල්ලන් වගේම විවෘත පරිසරයේ තනාගත් කැදැලිවල බිත්තර දමනු ලැබුවා. නමුත් විද්‍යාඥයන්ගේ සියුම් ඇසට මෙම බිත්තරවල වෙනසක්‌ දැක ගන්නට ලැබුණා. මෙම බිත්තර නිල්, සහ කොළ පැහැයෙන් යුක්‌තව තිබුණා. මේ තත්ත්වය නිසා oviraptor වර්ගයේ Heyuannia huangi ඩයිනෝසරයන් තමන්ගේ බිත්තර කැදැල්ලේ සඟවා තැබිමේදී දක්‌ෂයන් වුණා.
සුදු බිත්තර ඉතා පැහැදිලිව පෙනෙන නිසා වෙනත් සතුන්ට ඉතා පහසුවෙන් මෙම බිත්තර ගොදුරු කර ගැනීමේ පහසුව ලැබුණා. නමුත් බිත්තරවල Heyuannia huangi පැහැය ස්‌වභාව ධර්මයට අනුරූප පැහැයකින් යුක්‌තව තිබෙන විට විලෝපීකයන්ට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ඒ නිසා මෙම බිත්තර විලෝපියන්ගෙන් ආරක්‌ෂාවන්නට මෙම සතුන් සම්‍යප්‍රයෝගයක්‌ භාවිතා කරන්නට ඇතැයි විද්‍යාඥ Martin Sander, සඳහන් කරනවා. මෙම අධ්‍යයන වාර්තාව මාර්ටින් සැන්ඩර් විසින් Peer J journal පර්යේෂණ පත්‍රිකාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මාර්ටින් සැන්ඩර් විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට සම්බන්ධ කර ගත් oviraptor වර්ගයේ Heyuannia huangi බිත්තර වසර මිලියන 66 කටත් වඩා පැරණියි. ඔහු මේ වෙනුවෙන් චීනයේ ප්‍රාග් ඓතිහාසික ක්‍ෂෙත්‍ර බිම් තුනක්‌ තෝරා ගත්තා. මේ යෝධ සතුන් සමග මිනිසා එදා සම්බන්ධතාවයන් දක්‌වන්න අසමත් වුණත් මෙම සත්වයන්ගේ අස්‌ථි ලෝකය පුරා විශාල ප්‍රදේශයක ව්‍යාප්තව තිබෙනවා.
එයින් අපටත් එක්‌ උපකල්පනයක්‌ ගොඩ නගා ගන්න පුලූවනි.මාංශ සහ ශාඛ භක්‌ෂක ලෙසින් දෙයාකාරයක මෙම ඩයිනෝසරයන් ලෝකය පුරා විශාල ව්‍යාප්තියකින් පැතිර සිට රහසේම අතුරුදහන්ව ඇති බවයි. චිනයට ඩයිනෝසරයන් ගැන අධ්‍යනය වෙනුවෙන් විශාල උනන්දුවක්‌ තිබෙනවා. ඩයිනෝසරයන් අලලා ඔවුන්ගේ ගවේශන ශීලිත්වය අතීතයේ පටන් වර්තමානයටත් ඒ විදිහටම පවතින අතර මෙම තොරතුරු පාදක කර ගෙන බොහෝ නිගමනයන් අපිට අනාගතයේදී දැනගන්නට ලැබේවි.
පුන්‍යා චාන්දනි ද සිල්වා









උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, March 25, 2017

මිනී අදින වාහනවල අය කියන කතා......(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha )

ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා.
'මොකද මේ ලෙඩ්ඩු මෙහාට රිංගන්න එන්නේ යන්න යන්න!!'

'අනේ මහත්තයෝ මගේ ලේ රිපෝට් එක ගෙනියන්න පුළුවන්ද'

'හරි හරි. අපි ඒක වාට්ටුවට එවන්නම්. ඔයා අමාරු ලෙඩෙක් නේද? යන්න වාට්ටුවට'

'අනේ සර්... ඉක්මනට ගෙනියන්න කිව්වා'

බේරෙන්න බැරිම තැන තුණ්ඩු ටික තෝරන ගමන් නම ඇහුවා.

'මොකක්ද නම!'

'පියදාස, එම්.කේ. පියදාස'

'හරි! හරි! පියදාස වාට්ටුවට යන්න මම රිපෝට් එක වාට්ටුවට එවන්නම්' ඊට පස්සේ කිසිම කතා බහක් නැතිව එයා වාට්ටුව පැත්තට ඇවිදගෙන ගියා. ගිහින් විනාඩි පහක්වත් ගියෙ නෑ. ආයෙත් ආවා. ඇවිල්ල ඉල්ලනව එයාගේ දවල් ගත්ත ලේ රිපෝට් එක ඉක්මනට දෙන්නලු.

මම ඇහුව ඔයා කොයි වාට්ටුවේද ඉන්නේ කියල. දැඩි සත්කාර ඒකකයෙලු. දෙයි හාමුදුරුවනේ එච්චර අමාරු ලෙඩෙක්ද මෙහෙම ඇවිදගෙන එහෙ මෙහෙ යන්නේ.

මට ඇති වුණේ පුදුම තරහක් 'යනව මෙතනින් යන්න. ඔහේ අපිවත් අමාරුවේ දාන්නද මේ හදන්නේ' කියල බැන්නාම එයා සේලයින් බෝතලෙත් එක අතකින් එල්ලගෙන බොහොම අමාරුවෙන් වාගේ නොණ්ඩි ගහමින් වාට්ටුව දෙසට ඇවිදගෙන ගියා.

මට තරහ ඉවසන්න බෑ. වාට්ටු භාරව ඉන්න අයට පිස්සුද මෙහෙම අමාරු ලෙඩ්ඩුන්ව රිපෝට් ඉල්ලගෙන යන්න එවන්නේ. මම කෝල් එකක් අරගෙන දැඩි සත්කාර ඒකකයේ මිසීට කතා කළා.

'මොනවද මේ කරන වැඩ. එක එක ලෙඩ්ඩු එවන්නෙ ඇයි ලේ රිපෝට් ඉල්ලගෙන යන්න'

'කෝ අපි කාවවත් එව්වෙ නෑ. එහෙනම් වෙන වාට්ටුවකින් වෙන්න ඇති.'

'නැත්තෙ මොකද! ලෙඩාමනේ කිව්වේ එයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්නේ කියලා'

'අනේ නෑ. අපි නම් මේකෙ ඉන්න අය එහෙම යවන්නෙ නෑ. මෙකක්ද නම කිව්වේ...'

'පියදාස, එම්.කේ. පියදාස කියලයි කිව්වෙ. අවුරුදු පනස් පහක හැටක විතර කොණ්ඩෙ රැවුල වවාගත්තු සීය කෙනෙක්...'

'කොයි වෙලාවෙද ආවේ...'

'දෙපාරක් ආවා. අන්තිම සැරේ ඇවිත් ගිහින් දැන් විනාඩි දෙකක්වත් නෑ'

'වෙන්න බෑ. මේ දැඩි සත්කාර ඒකකයේ හිටපු එම්.කේ. පියදාස කියන ලෙඩා දැන් පැය භාගයකට කලින් මැරුණනේ!'

මට හිතාගන්න බැරිව ගියා ඒ පිළිතුර. ඒ හින්දම තමයි ඒ මැරුණ කියන කෙනාගේ ඇඳ අසලට ගියේ. ඊට පස්සේ තමයි දෙලොව රත් වුණේ.

මේ පැය භාගයකට කලින් මැරණයි කියන්නේ දැන් විනාඩි කීපයකට කලින් මගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් එයාගේ ලේ රිපෝට් එක ඉල්ලපු කෙනාම නේද? ඒ ඇඳගෙන හිටපු බැනියමමයි. ඒ ඇඳගෙන හිටපු සරමමයි. මට කිසි දෙයක් හිතාගන්න බෑ. අවුරුදු විසි පහක විතර ඉස්පිරිතාල ජීවිතේ මෙහෙම සිදුවීමකට මුහුණ දුන්නමයි.

මම ඒ සිදුවීම තවත් දිගින් දිගටම කාටවත් කියන්න ගියෙ නෑ. කිව්වත් කවුරුවත් පිළිගන්න එකක් නෑ. ඒත් මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුණා කියල. ඒත් දෙවියනේ මේ ඉස්පිරිතාලවල් ඇතුළේ මිනිස්සු මැරෙන විදිහට මේවා හොල්මන් පුරයවල් වෙන්න ඕනනේ. ඒත් එහෙම දේවල් නෑ කියල අද ඉඳල මම හිතන්නේ කොහොමද? මේ මම හොඳ පියවි සිහියෙන් ඇස් දෙකට දැක්ක දේනේ.
ඒ මළ සිරුර එම්බාම් කරන්න හම්බ වෙලා තියෙන්නේ ඒ රසායනාගාරයේදී අද්භූත සිදුවීමට මුහුණ දුන් කෙනා දන්න කියන අයකුට. එයා මෘත ශරීරාගාරයේ ඉඳල එම සිරුර එම්බාම් කරන්න රැගෙන යන අන්දම දැක්කට පස්සේ තමයි මේ සිදුවීම ගැන කියල ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියල තියෙන්නේ.
නිකම් නෙමේ කියල තියෙන්නේ. මේ මැරිල ඉන්න මනුස්සයා මැරිල ඇඳේ ඉන්න කොට මගේ ළඟට භූත වේශයකින් ආපු කෙනෙක්. ඒ හින්ද පරිස්සමට යමන් මල්ලි කියලත් තියෙනවා.

ඒ මල්ලි වාහනේ එළවගෙන එයාගේ මල් ශාලාවට ගියා. කිසිම සද්දයක්වත් වෙනසක්වත් දැනුණේ නැතිලු. ඊට පස්සේ එයාගේ මල් ශාලාවේදී එම්බාම් කටයුතු ටික ඉවර කරල ලස්සනට මිනිය ඥාතීන්ට භාර දුන්නාම ඒ අය අරන් ගියා. යාළුවා කිව්ව දෙයින් පස්සේ බලාපොරොත්තුවෙන් හිටිය මොනම භූතයෙක් තියා කිසිම සිදුවීමක්වත් නෑ. ඒක තමයි ඇත්ත. අපි එම්බාම් කටයුතු කොච්චරවත් කරල තියෙනවා. ඒත් කවදාකවත් එහෙම දේවල් මේ තැන්වලදී දැකල නෑ. මල් ශාලාවක ඉඳල සමහර මරණ තනියම අරගෙන යනව බොහොම දුර පළාත්වලට. ඒත් එහෙම දේවල් අඩුයි කියන්නේ නැත්තෙම නෑ කියන එක නෙමෙයි.
එක එක අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි යක්කු, පෙරේතයෝ, භූතයෝ ඒ මොකෙක්වත් නම් කවදාවත් දැකල නෑ. එහෙම දේවල් ගැන නෙමෙයි මේ කියන්නේ. මරණයක් වාහනේ දාගෙන එහා මෙහා ගෙනියනකොට සිද්ධ වෙන දේවල්.

හැබැයි එකක් කියන්න ඕන. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ හදිසි මරණයක් එහා මෙහා ගෙනියනකොට. මොනව හරි විශේෂ දෙයක් වුණාම මගේ ගෝලයෝ ආපු ගමන් කියනවා.
මේ දේ සිද්ධ වුණේ ගිනි තියාගෙන මැරිල හිටපු කෙනකුගේ සිරුරක් ඒ ගෙදර ඉඳල ඉස්පිරිතාලෙ මෘත ශරීරාගාරයට ගෙනියනකොට. පිච්චුණු මරණයක් හින්ද ඕජස් ගලනව. ඒක ඉටි රෙද්දකින් ඔතල තිබ්බත් පොඩ්ඩක් හරි පෙරෙන හින්දා අපි ඒක ලොරියේ තට්ටුවේ බිමින් තිබ්බේ. ඒ තියල පිටි පස්සේ දොර වහල අපි එළවගෙන ආවා.
මිනිය ලොරියට පටවපු කෙනත් මගෙත් එක්ක ඉස්සරහේ ඉඳගෙන ආවා. ඥාතීන් වෙනම වෑන් එකක ආවේ. අපි මිනී කාමරේ ළඟට ඇවිත් ලොරියේ පිටිපස්ස ‍ෙදාර ඇරල බලනකොට මෙන්න බොලේ යටින් තියල තිබුණ මිනිය සීට් එක උඩ. ෂීට් එක උඩ තියපු එකක්නම් එනකොට ලොරිය එහාට මෙහාට හෙල්ලිලා බිමට වැටෙන්න පුළුවන්. ඒත් බිම තියපු එකක් කොහොමද ෂීට් එක උඩට යන්නේ. ඔය ඇස් දෙකට දැක්ක එක සිදුවීමක්.

සමහර මරණ අරගෙන යනකොට මේ හොඳට තියෙන වාහනේ ටයර් පුපුරලා යනව. එකක් නෙවේ ටයර් තුනේම හුළං එක සැරේ ගිහින් තියෙන අවස්ථා නම් ඕන තරම්. එව්ව එච්චර අපි ගණන් ගන්නෙ නෑ. වාහන කියන ඒව කොතැනත් කැඩෙනවනේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේ කැඩෙන තැන් සහ කැඩෙන වෙලාවල්. සමහර වෙලාවට හරියටම මැදියම් රෑ 12ට මහා පාළු කැලෑවක් මැද්දෙ. එහෙම නැත්තන් සොහොන් පිටියක් ඉස්සරහ. කොච්චර ගැහුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. මේ උදේ පාන්දර තෙල් වතුර බලල අරගෙන ආපු වාහනේ වතුර බින්දුවක් නෑ රේඩියේටරේ ඇතුළේ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒකට පිළියම් හැටියට දැන් අපි හුඟ දෙනෙක් අෑත දුරකට මිනියක් අරගෙන යනවා නම් හුඟක් වෙලාවට වතුර කෑන් එකක් දාගෙන යන්න අමතක කරන්නේ නෑ.
එක එක රියැදුරන්ට විවිධ වූ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒත් ඒ අත්දැකීම් ලබපු කිසිම කෙනෙක් මෙන්න මේ දේ එදා මේ පාරෙදි මේ දවසේ මේ විදියට සිද්ධ වුණා කියල කියමින් ඡායාරූපයකට පෙනී සිටිමින් විස්තර කියන්න කැමැති නෑ. එයාල හුඟ දෙනෙක් මල් ශාලාව අයිති බොස්ට බයයි රස්සාව නැතිවෙයි කියලා.
සමහර බොස්ලත් අනේ එපා එපා ෆොටෝ ඕන නෑ. නම් ගම් නැතිව විස්තරේ චුට්ටක් ඕනනම් දාගන්න කියල තමයි සමහර දේවල් කියන්නේ. එයාල කියන විදියට හරියට කරන කෙනාට මේක හොඳ ආදායම් මාර්ගයක්. ඒත් එයාල කියන්නේ මේ වගේ දේවල් කියල පත්තරවල ගිහින් බය වුණාම මේ තැන්වල ඩ්‍රැයිවර් රස්සාවකට කෙනෙක් හොයා ගන්න අමාරුවෙයි කියල. සමහරු මේ කියන දේවල් ප්‍රතික්‍ෂේප කරමින් කියන්නේ මම මෙච්චර කාලයක ඉඳල මිනී ඇදල තියෙනවා. ඒත් කවදාකවත් ඔය කියන විදියේ අහඹු සිදුවීමකට මූණ දීල මඟ ඉඳල නෑ කියන එක. හැබැයි මල් ශාලාවල වැඩ කරන අති බහුතරයක් පිළිගන්නා දෙයක් තමයි අවමංගල රථ රෑට නතර කරලා තියෙනකොට ඒ ඇතුළෙන් විවිධ වූ ශබ්ඳ ඇසෙන බව. කිසිවකු නැතත් අගුළුලා ඇති ‍ෙදාරවල්ඇර වසන ශබ්ද?
කුමාර කියන්නේ අද වෙන රැකියාවක් කළත් මීට කලින් මල් ශාලාවක රියැදුරු රැකියාව කළ අයෙක්. මේ මරණයත් ගෙල වැලලාගෙන මියගිය කාන්තාවකගේ එකක්.
එදා අඟහරුවාදා දවසක්. සමහර අය අඟහරුවාදා රාත්‍රි 12 පහුවෙනකම් මරණේ ගෙදරට ගෙනියන්නේ නෑ. ඒ කියන්නේ රෑ 12 වෙනකල් මරණෙ තියාගෙන මල් ශාලාවට වෙලා නිදි කිරමින් බලාගෙන ඉන්නව කියන්නේ එපාවෙන වැඩක්. කුකුල් නින්දක් ගැහුවත් නින්ද යන්නෙ නෑ. එදා බැරිම තැන මම කිව්වා අයියා 12න් පස්සේ මිනිය ගෙට ගත්තට 12ට ඉස්සරවෙලා ගේ ළඟට ගෙනියන්න හොඳ නෑ කියල කවුරුවත් කියල නෑනේ. අපි තවත් පරක්කු නොවී මිනිය අරගෙන යමු. ගෙයි මිදුලෙ මිනිය තියාගෙන ඉඳල ‍ෙදාළහ පැන්නාම ඇතුළට ගත්තම ඉවරනේ. අපරාදෙනේ ඔයාල සේරම මෙහෙම රස්තියාදු වෙන්නේ කිව්වම කැමැති වුණා.

මොන හේතුවක් හින්දද කියන්න අදටත් මට තේරෙන්නෙ නෑ සමහර මිනී එම්බාම් කරල ඉවර වුණාම එම්බාම් කරපු කෙනාම කියනව මේ මරණේ නම් ටිකක් අප්සට් කියලා. ඒ වගේම අරන් යන කෙනාට මොකක් හරි සිද්ධියක් වෙනවා.අපට එහෙම දෙයක් කිව්වට එයාට ඒ මිනිය කපනකම් එම්බාම් කරනකල් කිසි ගාණක් නෑ. සමහර වෙලාවට ඒ වැඩ කරන ගමන් සිගරට් එක උරද්දී අත් ආවරණවල ගෑවිලා තියෙන ලේවලට සිගරට් එක චුට්ටක් පෙඟිලා
ඒ කරන ගමන්ම, ඒ කරපු කෙනාම තමයි එහෙම කතාත් කියන්නේ.

එදා එයා එහෙම කතාවක් කියනව මිනිය ගෙනියන්න ආපු එයාලගේම කෙනෙක් අහගෙන හිටිය. ඒ හින්දද දන්නෑ මිනිය ගෙනියන වෑන් එකේ පිටිපස්සට කවුරුවත් එයාල ගොඩ වුණේ නෑ. මිය ගිහින් හිටපු කාන්තාවගේ ස්වාමිපුරුෂයා හිටියා. එයත් නැග්ගේ එයාල අරගෙන ඇවිත් තිබුණ වෑන් එකට.

මම කතා කළාම බොහොම අකැමැත්තෙන් වගේ කෙනෙක් ඇවිත් මිනිය ගෙනියන මම එළවන වෑන් එකේ ඉස්සරහට නැග්ගා. මම දැන් කල්පනා කරන්නේ මම වරද්ද ගත්තු වරද්ද ගැනිල්ල. මිනිය අරගෙන මෙතනින් ‍ෙදාළහ පහුවෙලා පිට වුණා නම් මම එහෙන් ආපහු එනකොට එළිවෙලා. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ. ඒත් මේ කලින් යන හින්දා මට ආපහු එන්න වෙන්නේ රෑ එකට තනියම.
එතකොටම දැක්කා මගේ යාළුවෙක් ටිකක් සප්පායම් වෙලා ගෙදර යන්න එනවා මම එයාට කතා කරල වෑන් එකට නග්ග ගත්තා. පිටිපස්සෙ ඉන්න ඉඩ නෑ. සේසත්, ඇත්දළ ඒ සේරම උපකරණත් එක පැත්තක පටවල. යාළුව ඉඳගත්තේ මිනී පෙට්ටිය උඩ. ඒත් උගේ පපුව හා ඔළුව කෙළින්ම අපි දෙන්න මැද්දට දාගෙන ආවේ.
අපි ඒ ගිය පාරේ පාළු සොහොන් කනත්තක් අහුවෙනවා. ඒක පහුවෙනවත් එක්කම එක පාරටම ඇතුළේ තිබුණ ඇත්දළ, සේසත් දඩ බඩාස් ගාලා පෙරළෙන්න ගත්තා... අයිනේ හොඳට අසුරල තියපු දේවල් බිම වැටෙන්න විදියක් නෑ. ඒත් බිම වැටුණා. මහා ලොකුවට ඇහුණ ඒ සද්දය ඒ දේවල් බිම වැටීමකටත් වඩා කවුරු හරි ඒවා පොඩි පට්ටම් කරගෙන ඒ උඩ ඉඳගත්තා වගේ සද්දයක්. සොහොන් කනත්ත පහු කරනකොට අපි හිටියේ පාරක කන්දක් උඩ වගේ... එතනින් වාහනය පල්ලමට දාන කොටම එක පාරටම ‍ෙදාර ඇරිල ගියා. මම වාහනේ එහෙමම නතර කළා. එතන පල්ලම හින්දා ආයෙත් දොර ඉස්සරහට තල්ලුවෙලා ඇවිත් වැහුණා.සමහර වෙලාවට තරමක් බීලා හිටපු මගේ යාළුවා අතරමඟින් වෑන් එකට ගොඩ කර ගන්නකොට එයා බාගෙට දොර වහගෙන නඟින්න ඇත්තේ. ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ  ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ නැත්තන් ‍ෙදාර ඇරෙන්න තැන් ඕන තරම් තිබුණා. අනිත් එක මේ ‍ෙදාර ඇරුණේ ලොකු පල්ලමකදී. පල්ලමකදී යන වාහනයක ‍ෙදාරක් ඇරෙන්න කවුරු හෝ දොර ඇරල පසු පසට තල්ලු කරන්නම ඕන. ඒත් එදා ඒ දේ මම ඉස්සරහම සිදු වුණා.
සමහර විට මගේ යාළුවා ඒ කියන්නේ මිනී පෙට්ටිය උඩ ඉඳගෙන හිටපු යාළුවා ඒ දේ කරන්න ඇති කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මමනේ දැක්කේ. වාහනේ ‍ෙදාර ඇරෙනකොටම උෟ ඉස්සරහ ෂීට් එකට පැනලත් ඉවරයි. ඒ කියන්නේ ඒ දේ කවදාකවත් උෟ කරපු දෙයක් නෙවෙයි.

ඊට පස්සේ වාහනය මළ ගෙදරට කිලෝමීටර් දෙක තුනක් මෙහා පොඩි ගම්මානයක් අයිනේ නතර කෙරුවා. වෑන් එකේ හිටපු එයාලගේ කෙනා මගේ යාළුවත් එක්ක කුටු කුටු ගාල වෑන් එකෙන් බැහැල ගම දිහාට ගියා.

විනාඩි පහ දහය ගිහින් පැයක් ගෙවිල ගියා. මම පුදුම බයකින් හිටියේ. ඒත් බොහොම අවංකවම කියන්නේ, එම්බාම් කරපු මගේ හිතවතා කියපු මේ මිනියත් තියාගෙන ඒ රෑ මැද්දෙ මම තනියම එතන හිටියත් මට වෙන කිසිම සිදුවීමක් ඇති වුණේ නෑ කියන එක ලියන්නම ඕන දෙයක්. මගේ යාළුවාවත් ඇදගෙන වෑන් එකේ ආපු කෙනා ගමට රිංගල තියෙන්නේ බය වෙච්චි පාර අරක්කු හොයාගෙන එන්න. ඒත් මිනියත් එක්ක හිටපු මට කිසිම දෙයක් වුණේ නෑ. සමහර විට වෑන් එක ඉස්සරහින් හා පැටියෙක් පැන්නා නම් මම සිහි නැති වෙන තරමේ බයකින් මගේ පපුව පිරිල තිබුණේ. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඒ හින්දා පල්ලමකට වෑන් එකක් බස්සනකොට උඩ පැත්තට ‍ෙදාරක් ඇරෙන්නේ කොහොමද කියලා අදටත් මම කල්පනා කරනවා. ඒ කුමාර කියපු කතාව.
එහෙත් බණ්ඩාරවෙල මල් ශාලාවක හර්ස් එකක රියැදුරු ලෙස රැකියාව කළ අයෙක් පැවැසුවේ මෙවැනි දේවල් මිනිසුන්ගේ මනසින් මවාගත් හෝ යම් යම් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා හෝ මල්ශාලාවේ හිමිකරු වෙත ආරංචි වීමට සලස්වන දේවල් යැයි තමන් කාලයක් විශ්වාස කළ බවයි.
'ඒත් අයියේ මට ඒ මිනිය අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට. මඟදි බඩු නතර වුණා. ඒ කියන්නේ රෑ මැදියමේ අලි ගහන කැලෑවක් මැද්දෙ වාහනේ නැවතුණා. හැබැයි අලි නම් ආවේ නෑ. කොච්චර හදන්න බැලුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. අපේ වාහනේ පිටිපස්සෙන් ආපු එයාලගේ වාහනෙත් තියෙනවා. ඒකෙත් සෑහෙන පිරිසක් ඉන්නව, පොඩ්ඩ පොඩ්ඩ දන්න අය කොච්චර උත්සාහ කරල බැලුවත් ස්ටාර්ට් කරගන්න බැරිවුණා. ඒ විතරක් නෙවේ අපි දහ ‍ෙ දෙනෙක් දාලා තල්ලු කෙරුවත් හෙලවෙන්නේ නැති විදියට වාහනේ තද වෙලා. පස්සේ බොසාට කෝල් කරල එයාගේ හිතවත් මල්ශාලාවකට කියල හර්ස් එකක් ගෙන්න ගෙන මිනී පෙට්ටිය ඒකට මාරු කෙරුවා. අපේ වාහනෙත් ඇදගෙන යන්න ඇවිත් තිබුණා. ඒත් නිකමට වගේ අන්තිම මොහොතේ ගහල බලන්න හිතුණා. මෙන්න බොලේ වාහනය ස්ටාර්ට්. ආපහු මල් ශාලාවට ඇවිල්ලත් ඊළඟ සර්විස් එක එනකලුත් කිසිම කරදරයක් නැතිව දිව්වා. ඇත්ත ඒකයි. නමුත් අපි කියන්නේ නෑ. හොල්මන් අවතාර මැරිච්ච මිනිසුන්ගේ මළ සිරුරු එක්ක ගමන් කරනවා කියල. ඒත් මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙනවා සමහර වෙලාවට.
ඒත් ඊටත් වඩා දේවල් මල් ශාලාවල් ඇතුළේ ඉන්න කොල්ලොයි, ඒකෙ වැඩි කරන අයයි ඕනතරම් දැකල තියෙනව, ඒ වුණාට වැඩිපුර ඒවා ගැන හොයන්නෙ බලන්නෙ කතා කරන්නෙ නෑ. එහෙම වුණොත් මේ රස්සාව කරගෙන ඉන්න ලැබෙන එකක් නෑ.
හැබැයි ඔය මොන දේ ඇහුණත් දැක්කත්, සිදුවුණත් කිසිම කෙනකුට ජීවිත හානියක් අනතුරක් වගේ දෙයක් නම් වෙලා කියල ආරංචියක් නෑ.

කතාව--ප්‍රභාත් අත්තනායක
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 17, 2017

බිලාල ශාපය -(balal sapaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

20.03.20__
නිවසේදීය,
මා  ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ  සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.
*********
එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

**********
හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.
වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.
එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.
ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !
එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.
************
එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?
මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.
මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.
සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.
**********
ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය.  මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.
මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.
**********
මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.
එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.
"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.
තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ  චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.
ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.
තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.
ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.
දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්‍රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි.  ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.
ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.
එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි !
උපුටා ගැනීමකි . සියලුම හිමිකම් මුල් රචකයා සතුයි 
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 10, 2017

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....upali wijewardana (අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපතිවරයා වූ උපාලි විජේවර්ධන මහතා පිළිබඳ මේ දිනවල විවිධ දුර්මත පැතිර යමින් තිබේ. මෙයට වසර 29 කට පෙර මැලේසියාවේ සිට කොළඹ  බලා එමින් සිටි විජේවර්ධන මහතා ගුවන් යානයත් සමගම අතුරුදන් වූ බව ඔහු පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනා දනිති. ඔහු පිළිබඳ අබිරහසේ සියලු සත්‍ය විස්‌තර අද සිට ඉරිදා දිවයින කොටස්‌ කිහිපයකින් පලකරනු ඇත. 
ඔහු සම්බන්ධයෙන් මැතකදී මතභේදයට තුඩු දුන් සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට පාඨකයාට මේ ලිපි පෙළ මගින් හැකිවනවා ඇත.
ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමුවන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයා සහ කර්මාන්තකරුවා වන ෆිලිප් උපාලි විජයවර්ධන සිය පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා එද්දී අතුරුදන්වීම අදටත් මතභේදයට තුඩු දී තිබේ. මතුගම තුඩුගලගේ දොන් වෝල්ටර් විජයවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්‍යාණිවති විජේසිංහගේ බාල දරුවා වූ ඔහු අතුරුදන් වන විට 45 වන වියට දින හතරක්‌ ඉතිරිව තිබිණි. කොළඹ කාන්තා විද්‍යාලයේ බාලාංශයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේමිබ්‍රි- විශ්වවිද්‍යාලයට යන ඔහු උපාධිධාරියකු ලෙස ලංකාවට පැමිණ එක්‌සත් ලීවර් සහෝදර සමාගමේ (Lever Brothers) කළමනාකරණ ආධුනිකයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹයි. වයස අවුරුදු 24 දී තමන්ගේම වූ ව්‍යාපාර පටන් ගන්නා ඔහු එළඹෙන වසර 20 තුළ ආසියාවේ ප්‍රමුඛ කෝටිපතියන් 10 දෙනා අතුරින් කෙනෙක්‌ බවට පත් වන්නේය.
කැළණියේ බස්‌නායක නිලමේ ලෙස සධාතුක කරඩුව වඩම්මවමින්
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, උපාලි හා ඔහුගේ සමකාලීන පාසල් සගයා ලලිත්
සේනානායක - පේළිමුහන්දිරම් - ගුවන් නියමු ආනන්ද අප්පා
ව්‍යාපාරිකයකු ලෙස ගත කළ වසර 20 තුළ උපාලි සිංගප්පූරුව සහ මැලේසියාව සමග විශාල වශයෙන් ව්‍යාපාර කළේය. සිය ව්‍යාපාරික අවශ්‍යතාවක්‌ වෙනුවෙන් 1983 ජනවාරි 31 වන සඳුදා උදේ වරුවේ ඔහු තම පෞද්ගලික ගුවන් යානයවූ L35A ලියර් ජෙට්‌ යානයෙන් මැලේසියාවට ගමන් අරඹයි. ඔහුගේ උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද පේලිමුහන්දිරම් ද ගුවන් යානයේ මගී සහකරු වූ අතුල සේනානායක ද යානයේ සිටිති. යානය පදවනු ලබන්නේ ගුවන් හමුදාවේ හිටපු පලපුරුදු නියමුවකු වන විංග් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පා ය. ඔහුගේ සහාය නියමුවා ලෙස උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා සිටී. යානය ප.ව. 1.30 ට මැලේසියාවේ ක්‌වාලාලම්පූර් අගනුවර සුබංග් (Subang) ගුවන් තොටුපළට පිවිසෙන්නේය. යානය ගුවන් තොටුපලේ ගාල් කිරීම භාරව තිබෙන්නේ විරා ක්‍රිස්‌ පුද්ගලික සමාගමටය. යානය ඔවුන්ට භාරදෙන උපාලි ඇතුළු පිරිස ක්‌වාලාලම්පුර් ආසන්නයේ පිහිටි උපාලිට අයත් "කොකෝවා විලා" මන්දිරයට යති. එතැන් සිට ඉදිරි දින 10 උපාලි සහ පේලිමුහන්දිරම් ගත කරන්නේ ව්‍යාපාරික කටයුතු උදෙසාය.
1983 පෙබරවාරි 13 ඉරිදාවකි. උපාලි ඇතුළු පිරිස ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියම කරගන්නා දවස එදිනය. ඊට පෙර ලියර් ජෙට්‌ යානයේ රේඩාර් සංඥ පද්ධතිය සහ වායුසමීකරණ පද්ධතිය "සර්විස්‌" කරගැනීමට නියමිත විය. ඒ අනුව පෙබරවාරි 10 වැනි බ්‍රහස්‌පතින්දා උදේ ආනන්ද පේලිමුහන්දිරම් සහ නියමුවෝ දෙදෙනා සිංගප්පූරුවට ගොස්‌ එම කටයුතු සඳහා එරට ස්‌පෙල්විල් සමාගමට යානය භාර දෙති. පෙබරවාරි 12 වැනිදා යානය ආපසු මැලේසියාවට ගෙනෙනු ලැබේ. විරා ක්‍රිස්‌ සමාගම ආපසු යානය භාර ගන්නා අතර සුබංග් ගුවන් තොටුපලේ කොනක එනම් ගුවන් යානා ගාල් කරන විශාල ගොඩනැඟිල්ලකින් පිටත එළිමහනේ යානය ගාල් කෙරේ. එවිට වේලාව සවස 1.30 ය.
පෙබරවාරි 13 වන ඉරු දින උපාලි විජයවර්ධන ඇතුළු පිරිස එදින සවස 3.00 ට ශ්‍රී ලංකාව බලා නික්‌ම යැමට සූදානම්ය. එහෙත් සවස 3.00 ට පෙර උපාලිට පණිවුඩයක්‌ ලැබෙයි. ව්‍යාපාරිකයකු වෙතින් වැදගත් දුරකථන ඇමතුමක්‌ එන නිසා එතෙක්‌ "කොකෝවා විලා" මන්දිරයේම රැඳෙන ලෙස පණිවුඩය මගින් ඔහු දැනුවත් කෙරේ. උපාලි කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි තම කාර්යාලයට කතා කර මේ බව කියයි. ඔහු සමග කතා කිරීමට දුරකථනයට යන්නේ ඔහුගේ විධායක සහායක ඇන්ස්‌ටන් වීරසිංහය. අනතුරුව එදින "දිවයින" ඉරිදා සංග්‍රහයේ පළවී ඇති විජේසෝමගේ කාටුනය කුමක්‌දැයි ඔහු වීරසිංහගෙන් විමසයි. එම කාටුනය වන්නේ රොනී ද මෙල් එක්‌ ආසනයක සිට තවත් ආසනයකට මාරුවන ආකාරයයි. කාටුනයේ විස්‌තර අසන උපාලි මහ හඬින් සිනාසී දුරකථනය විසන්ධි කරයි. ඊළඟට ඔහු බලාපොරොත්තු වන්නේ තමන්ට ලැබීමට නියමිත ව්‍යාපාරික දුරකථන ඇමතුමය. කොතරම් බලා සිටියද එම දුරකථන ඇමතුම ලැබෙන්නේ නැත. පැය 3 කටත් වඩා බලා සිටින උපාලි තම පිරිසද සමග සුබංග් ගුවන් තොටුපළට ගොස්‌ ලියර් ජෙට්‌ යානයෙන් ශ්‍රී ලංකාව බලා ගුවන් අරඹයි. ගමන පටන් ගන්නා වේලාව සවස 6.11 ය.
යානයේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වූ "මීදාන්" (Medan) හරහා ය. කොළඹ බලා යන ගමනට මැලේසියාවෙන් එකතු වන අමුත්තෙක්‌ද යානයේ සිටින්නේය. මැලේසියාවේ උපාලි විජයවර්ධනට අයත් කැන්ඩොස්‌ සෙන්ඩෙරියන් බර්හාඩ් (Kandos Senderian Berhard) සමාගමේ අධ්‍යක්‍ෂවරයා වන ඔහුගේ නම එස්‌. එම්. රත්නම් ය. රත්නම් වෘත්තීය නීතිඥයෙකි. ඔහු ශ්‍රී ලංකාව බලා එන්නේ කොළඹ ජීවත් වන සිය සහෝදරිය හමුවනු පිණිසය. මෙය ඔහු සහෝදරියට නොදන්වා එන හදිසි ගමනකි. තමා දකින නැගණිය පුදුමයෙන් හා ප්‍රීතියෙන් ඉපිල යනු ඇතැයි ඔහු පෙර දින උපාලිට කීවේය.
ගුවන්ගතවී හරියටම විනාඩියකට පසු මැලේසියාවේ පිනැංගුවේ පිහිටි බටර්වර්ත් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරය මත යානය සටහන් වෙයි. ඒ වන විට යානය ගමන් කරන්නේ මලයා අර්ධද්වීපයේ බටහිර වෙරළ කොටසට මායිම් වූ සෙලන්ගෝර් (Selangor) මතිනි. මේ වෙරළ තීරයෙන් පසු එන සාගරය මැලේසියාව හා ඉන්දුනීසියාව අතර වූ මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත්ය. තව ස්‌වල්ප වේලාවකින් යානය ගොඩබිම මතින් පියාසර කිරීම අවසන් කර සාගරය මතින් පියාසර කිරීමට පටන් ගන්නේය. සවස 6.16 වන විට බටර්වර්ත් කඳවුරේ ගුවන් ගමන් තොරතුරු භාර නිලධාරීහු සාමාන්‍ය ක්‍රමයට අනුව කොළඹ බලා එන ලියර් ජෙට්‌ යානයේ ගමන් සැළසුම කටුනායක ගුවන් ගමන් පාලකයන්ට දන්වති. යානය අස්‌වාභාවික වේගයකින් ගමන් කරන බව බටර්වර්ත් කඳවුරේ නිලධාරීහු රේඩාර් තිරය මත දකිති. තවත් විනාඩි 10 ක්‌ තුළ සුබංග් ගුවන් තොටුපළේ රේඩාර් තිරයෙන් ලියර් ජෙට්‌ යානය නොපෙනී යයි. ගුවන් යානයක්‌ එක්‌ රටක ගුවන් සීමාවෙන් නික්‌මෙන විට ඒ රටේ රේඩාර් තිරයෙන් අතුරුදන්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලියර් ජෙට්‌ යානය අතුරුදන් වූ වේගය පිළිබඳව පිනැංගුවේ බටර්වර්ත් ගුවන් ගමන් මධ්‍යස්‌ථානයේ නිලධාරින් තුළ චකිතයක්‌ හටගෙන ඇත. මේ මොහොතේදී මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගරයද ඉතා රළුය.
උපාලි ඇතුළු මගීන් ගමන් කළ යානය නිසි ගමන් මාර්ගයේ නිසි වේගයෙන් ගමන් කර තිබුණේ නම් පෙබරවාරි 13 වැනිදා සවස 6.40 වන විට උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ මිඩානයේ අහස උඩින් ගමන් කළ යුතුය. පස්‌වරු හත වනතුරුත් ලියර් ජෙට්‌ යානය මිඩාන් පසු කළ බවට ආරංචියක්‌ නොලැබුණු නිසා ක්‌වාලාලම්පුරයේ ගුවන් ගමන් රේඩියෝ පණිවුඩ මධ්‍යස්‌ථානය කොළඹ ගුවන් ගමන් පාලන මැදිරියට කතා කර යානය ගැන විමසූහ. එහෙත් යානය ගැන තොරතුරු කොළඹට ලැබී තිබුණේ නැත. රාත්‍රි 7.01 ට මේ ගැන මදුරාසියෙන් විමසන ලදී. එහි ගුවන් ගමන් පාලන මැදිරියටද යානය ගැන ආරංචියක්‌ ලැබී තිබුණේ නැත.
සවස 7.55 වන විට ලියර් ජෙට්‌ යානය කිසියම් අනතුරකට මුහුණපා ඇති බව ක්‌වාලාලම්පුර් ගුවන් ගමන් පාලක මැදිරිවලට ස්‌ථිර විය. ඒ අනුව ඉන්දියානු සාගරයේ දිගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමරිකාවට අයත් හත්වැනි නාවුක බලඇණියේ මූලස්‌ථානයට සිද්ධිය දැනුම් දුන් මැලේසියාව එම ගුවන් තීරය හරහා ගමන් කරමින් සිටි ඇමරිකන් අවේක්‍ෂණ ගුවන් යානයන් අමතමින් අතුරුදන්වූ L 35 A ලියර් ජෙට්‌ යානය ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේය. 
මේ අනුව ලියර් ජෙට්‌ යානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති බව කලාපීය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්‌වාලාලම්පූර් ගුවන් නිරීක්‍ෂණ නිලධාරීහු තීරණය කළහ. රාත්‍රි 9.31 වන විට යානය ගැන සොයන ලෙසට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දෙන ලදී. 9.41 ට යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත විය. එය සිදු නොවුණ නිසා රාත්‍රි 10.30 වන විට රටවල් දෙකක ගුවන් ගමන් පාලක අධිකාරීන්ගෙන් ලියර් ජෙට්‌ යානය ගැන තොරතුරු සොයන ලෙස විශේෂ ඉල්ලීමක්‌ කෙරිණි. ජපානය, ඕස්‌ටේ්‍රලියාව එම රටවල් වෙයි. 
මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක්‌ ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක්‌ දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක්‌ රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක්‌ ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.
*********  ********
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ යානය අතුරුදන් වීමත් සමගම කටකතා රැසක්‌ පැතිර යන්නට පටන් ගත්තේය. ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ කප්පමක්‌ බලාපොරොත්තුවෙන් යානය පැහැරගත් බව අයෙක්‌ කීහ. එබන්දක්‌ පෞද්ගලික ගුවන් යානයක්‌ තුළ සිදුවීමට නම් කප්පම්කරුවන්ද උපාලි ඇතුළු පිරිස සමග යානයේ සිටිය යුතු අතර ඔවුන් ක්‌වාලාලම්පුරයේ සුබංග් ගුවන් තොටුපලෙන් යානයට ගොඩවිය යුතුය. එහෙත් එවැන්නක්‌ සිදු වී නම් ගුවන් තොටුපල ආරක්‍ෂක අංශවලට එය වාර්තා වන්නේය. තවත් සමහරු කියා සිටියේ යානය තුළ බෝම්බයක්‌ අටවා එය පිපිරවූ බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලගතු දේශපාලනඥයන් දෙදෙනෙක්‌ සැකයට ලක්‌වූහ. මේ දෙදෙනාගෙන් අයෙක්‌ උපාලි, ජනාධිපති වනු ඇතැයි ද අනෙකා උපාලි බලගතු ඇමැති තනතුරකට පත් වනු ඇතැයි ද සිතා ඔහු විනාශ කිරීම සඳහා සුදුසු අවස්‌ථාවක්‌ එනතුරු බලාගෙන සිටි බව සාමාන්‍ය ජනයාගේ මතය විය. මේ අතර පේනකාරයෝ වැහි වහින්නට වූහ. අතුරුදන්වූ පිරිස ගල් ගුහාවක්‌ තුළ සිටින බවත්, මහ වනයක අතරමංව සිටින බවත් ප්‍රසිද්ධ පේනකාරයෝ දෙදෙනෙක්‌ කීහ. විවිධ සැක කිරීම් අතර කිසියම් වලංගු මුහුණුවරක්‌ ලැබූයේ යානය තුළ බෝම්බයක්‌ ඇටවීමේ සිද්ධියට පමණි. ලියර් ජෙට්‌ යානය එහි රේඩාර් පද්ධතියේ සහ වායුසමීකරණ පද්ධතියේ නඩත්තු කටයුතුවලින් පසු සුබංග් ගුවන් තොටුපලේ කොනක එළිමහනේ ගාල් කර තැබීම තේරුම් ගැනීමට අපහසු සිද්ධියකි. එබඳු විටක යානයට බෝම්බයක්‌ සවි කිරීමේ අවකාශයක්‌ ඇති වෙයි. බෝම්බය, යානයේ එන්ජිම ආශ්‍රිතව සවි කළ විට එන්ජිම රත්වන්නට පටන්ගත් සැනින් පිපිරීම සිදු වෙයි. එන්ජිම රත් වීමට කිසියම් කාලයක්‌ අවශ්‍යය. ලියර් ජෙට්‌ යානය මලක්‌කා සමුද්‍ර සන්ධිය වෙත යන කාලය තුළ ප්‍රමාණවත් රත්වීමක්‌ අපේක්‍ෂා කළ හැකිය. ඊළඟ කාරණය උපාලිගේ ගමන ප්‍රමාද කළ ව්‍යාපාරික දුරකථන ඇමතුමය. එම ඇමැතුම නොලැබී සවස 3.00 ට ඔහු පිටත් වූයේ නම් අහසේදී ඔහුගේ යානයට සිදුවන අනතුරක්‌ පැහැදිලිව දැකගැනීමට බිම සිටින අයට හැකිය. එසේම විපතට පත්වූ අය ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ද කළ හැකිය. අඳුරේදී යානය අනතුරට පත්වූ විට එවැනි මෙහෙයුමක්‌ කිරීම දුෂ්කරය. 
මේ සියල්ල Conspiracy Theory හෙවත් කුමන්ත්‍රණයක්‌ හෝ කඩාකප්පල්කාරී සිද්ධියක්‌ විය හැකි ආකාරය පිළිබඳ කෙරුණ සාකච්ඡාවන් විය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන රජයේ බලසම්පන්න ඇමැතිවරයෙක්‌ (ඔහු උපාලි විජයවර්ධනගේද මිත්‍රයෙකි) පහත සඳහන් කතාව තම හිතවත් පුවත්පත් කලාවේදියකුට කීවේය. උපාලි විජයවර්ධන ලියර් ජෙට්‌ යානය මිලට ගත් පසු නිතර පිටරට සංචාරවල නිරත විය. එසේ යන ගමන්වලදී ඔහු ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා නීති විරෝධී ලෙස කෙටි ගුවන් මාර්ගවල පියාසර කළේය. මලක්‌කා සමුද්‍ර සන්ධිය ආසන්නව පිහිටුවා තිබූ එක්‌තරා යුද කඳවුරක ඔත්තු සේවා නිලධාරීහු උපාලිගේ යානය ගැන පරීක්‍ෂාවෙන් සිටියහ. ඔවුන් යානයේ නියමුවා සමග ගුවන්විදුලි පණිවුඩ හුවමාරු කරගැනීමට උත්සාහ කළ නමුදු නියමුවා පිළිතුරු දී තිබුණේ ද නැත. ඒ බැවින් 1983 පෙබරවාරි 13 වැනිදා සවස්‌ කාලයේදී මේ යානයට වෙඩි තබන ලදී. යානය මුහුදුබත් වූ අතර මුහුදට වැටුණ ගුවන් යානයක කොටස්‌ ආපසු හමුවිය යුතු යෑයි නීතියක්‌ නැති බැවින් ලියර් ජෙට්‌ යානයේ කොටස්‌ ද ආපසු හමු වූයේ නැත. ඡායාවක්‌වත් නොතබා අතුරුදන්වූ ගුවන් යානා ගැන ඕනෑ තරම් වාර්තා ඇත. ඉහත සඳහන් කාරණයද ඔප්පු කිරීමට බැරිවූ සැකයකි. එහෙත් උපාලි ඇතුළු පිරිසට අත්වූ ඉරණම මෙයම බව තම ජීවිතය අවසන් වන තෙක්‌ම ඉහත සඳහන් දේශපාලනඥයා විශ්වාස කළේය.
මේ අතර ලියර් ජෙට්‌ ගුවන් යානය ගැන පාඨකයා දැනුවත් කිරීම අපගේ වගකීමය. ලියර් ජෙට්‌ සමාගම ඇමරිකන් සමාගමකි. ඔවුන් සිය පළමු වැනි ලියර් ජෙට්‌ යානය නිපදවන ලද්දේ 1973 දීය. එතැන් සිට එම සමාගම "බොම්බාඩියර්" නමැති ගුවන් යානා නිෂ්පාදන සමාගමක්‌ විසින් මිලට ගන්නා තුරු සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා ලියර් ජෙට්‌ යානා 738 ක්‌ සාදා ඇත. මෙයින් යානා 11 ක්‌ වෙඩි පහරට ලක්‌වීම හා කාර්මික දොaෂ නිසා කඩාවැටීම නිසා විනාශයට පත් විය. පළමු ලියර් ජෙට්‌ අනතුර 1982 දී සිදු විය. ලොව අතුරුදන්වූ පළමු ලියර් ජෙට්‌ යානය උපාලි විජයවර්ධනට අයත් L35A යානයයි. පාවිච්චි කරන ලද ලියර් ජෙට්‌ යානයක්‌ සියලු බදු සහිතව රුපියල් කෝටි 100 ත් 150 ත් අතර මිලකට අද ගත හැකිය. එහෙත් උපාලි තම ගුවන් යානය මිලට ගන්නා කාලයේදී එය රුපියල් කෝටි 60 ක්‌ පමණ විය.
*****************************************************************
උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ... 
යානයේ කොටස්‌ හමුවෙයි (2 කොටස)
උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට්‌ යානය සෙවීම සඳහා රටවල් හතක්‌ එක්‌ වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන වසර 15 ක්‌ වත් ගත ව නොතිබූ අතර GPS (Globe positioning System) තාක්‍ෂණය හෙවත් චන්ද්‍රිකාවක්‌ සමග පොළවේ සිට සම්බන්ධ වී තමන් සිටින ඉසව්ව දැන ගැනීමේ මෙකල තාක්‍ෂණය එකල තිබුණේ ද නැත. එය Digital නොවූ Analgouge යුගයකි.
පිරික්‌සුම් මෙහෙයුම සඳහා යොදවා තිබූ ප්‍රධානතම ගුවන් යානා "ඔරායන්" වර්ගයට අයත් ය. මේවායේ ඩිජිටල් උපකරණ නැති වුවද එකලට අනුව "නවීනතම" උපකරණ සවිකර තිබිණි. ලියර් ජෙට්‌ යානයේ තිබූ කහ පැහැති ජීවිතාරක්‍ෂක බෝට්‌ටුව මතට උපාලි ඇතුළු පිරිස පැනගත්තේ නම් එය සෙවීම මේ යානාවලට පැවැරී තිබිණි. එම යානා ගමන් කළේ මුහුදු මට්‌ටමෙන් විශාල උසකින් නොවේ. එම යානා මඩකලපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ සිට මලක්‌කාව දක්‌වා පිරික්‌සුම් කටයුතු කළහ. යානා තුන පිළිවෙලින් ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව හා ජපානයට අයත් විය. P 3 වර්ගයට අයත් මේ එක්‌ යානයක්‌ ජලයෙහි සීමාසහිත ගැඹුරක පිහිටි දේ දැකගැනීමේ හැකියාවෙන් සමන්විත විය. එය අහසට නැග්ගේ ඇමරිකාවට අයත් තුන් වැනි නාවුක බලඇණිය (Third fleet) පිහිටි දීගො ගාර්ෂියා අහසේ සිටය. තවත් ඔරායන් යානයක්‌ ඇමරිකාවට අයත් ජපානයේ පිහිටි බටහිර ශාන්තිකර බලඇණියට අයත් ගුවන් තොටුපළෙන් අහසට නැංගේය. තුන්වන යානය මැලේසියාවේ බට්‌රවර්ත් ගුවන් කඳවුරෙන් අහස්‌ ගත වෙයි. එය අයත් වන්නේ රාජකීය ඔස්‌ටේ්‍රලියානු ගුවන් හමුදාවටය. මීට අමතරව ඉන්දියාවට අයත් ඉලුෂින් වර්ගයේ රුසියන් ගුවන් යානාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ උපාලි එයාර්ලයින්ස්‌ සමාගමට අයත් යානාද ගුවනට නගී. මලක්‌කා සමුද්‍ර සන්ධියේ සාගර පිරික්‌සුම් කරන්නේ මැලේසියාවට හා ඉන්දුනීසියාවට අයත් නාවික යාත්‍රාය.
තනි පුද්ගලයකු සහ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් මේසා ප්‍රමාණයක්‌ එකතු වූ ඉතිහාසයේ පළමු අවස්‌ථාව මෙය විය. යානය සෙවීමෙහි නිරත වූ ඇමරිකාව සහ ඔස්‌ටේ්‍රලියාව විපතට පත් වූවන් ගලවා ගැනීමට අමතරව තවත් අරමුණක නියුතුව සිටියහ. ඒ වූකලී තමන් සතු තාක්‍ෂණය අත්හදා බැලීමය. විශේෂයෙන්ම ඇමරිකන් ඔරායන් යානා ආසියානු සාගරයෙහි සිවිල් ගවේෂණ කටයුත්තක නිරත වූ මුල් අවස්‌ථාව මෙය විය. මේ සියල්ලටම අමතරව මුහුදු බෝම්බ සොයන විශේෂ නැවක්‌ද ගවේෂණයට එක්‌ විය. සැක සිතුන සෑම සාගර ප්‍රදේශයකදීම කිමිදුම්කරුවන් මුහුදු පත්ලට යවනු ලැබීය. ඔවුන් සපයන ලද්දේ ඉන්දුනීසියාවය. මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පෞද්ගලික කෙටි තරංග ගුවන්විදුලි සංඥ හුවමාරුවක්‌ පවත්වාගෙන යන "යෝනි" නමැති පුද්ගලයෙක්‌ ලියර් ජෙට්‌ යානය වැටුණු තැන තමන් දන්නා බව ශ්‍රී ලංකාවේ සිට එවැනිම ගුවන් විදුලි සංඥ හුවමාරුවක්‌ පවත්වාගෙන ගිය බොරලැස්‌ගමුවේ දිවුලපිටියේ කොළඹ පාරේ අංක 161 දරන තැන පදිංචිව සිටි ටෙලෙක්‌ස්‌ පණිවුඩ යන්ත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු වූ අර්නස්‌ට්‌ අමරසිංහට දැනුම් දුන්නේය. එහෙත් "යෝනි" කියූ සාගරය මතුපිට හෝ පතුලේ ලියර් ජෙට්‌ යානයක්‌ හෝ කැබලි හෝ නොවීය.
රාජකීය-ශාන්ත තෝමස්‌ විසිවෙනි 
මහ ක්‍රිකට්‌ ගැටුමේදී රාජකීය 
විද්‍යාලයේ විදුහල්පති සමග. 
මෙම තරඟයේදී රාජකීය විද්‍යාලයට 
නායකත්වය දෙනු ලැබුවේ 
රන්ජන් මඩුගල්ලේ විසිනි
යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම් (Radio Ham) වරුන් කරන්නේ පෞද්ගලික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්‌මීටර පිහිටුවා රට රටවල තොරතුරු හුවමාරුකර ගැනීමය. ඊමේල් නැති Sඵී නැති, ජාත්‍යන්තර දුරකථන පහසුකම් හෝ චන්ද්‍රිකා දුරකථන පහසුකම් නැති කාලයේදී රේඩියෝ හැම්වරු විශාල මෙහෙවරක්‌ කළහ. මෙබඳු සේවයන් පවත්වාගෙන යැම සඳහා රජයෙන් බලපත්‍රයක්‌ ලබාගත යුතු විය. මේ සියලු කරුණු අතර ඉන්දුනීසියාවෙන් මතුවූ මහාචාර්යවරයෙක්‌ තමන් සතුව බලගතු රේඩාර් පද්ධතියක්‌ ඇති බවත් එමගින් උපාලි සහ ලියර් ජෙට්‌ යානය තිබෙන තැන සොයාගත් බවත් කියා අතුරුදන් විය. කටකතා බහුල විය. උපාලි විජයවර්ධන සතු අත් ඔරලෝසුවක්‌ ශ්‍රී ලංකාවේ පිහිටි ඔහුගේ නිවසේ ඇති බවත් ඔහුට ජීවිත හානියක්‌ වූ වහාම ඔරලෝසුව නවතින බවත් කටකතාකරුවෝ කීහ. විපතකදී ආසියානු ජනයා බෙහෙවින් බොළඳය. උපාලිගේ හිතවතුන්ද පවුලේ අය ද කිට්‌ටු ඥතීන්ද පේනකාරයන් පසුපස යමින් බලාපොරොත්තු අලුත් කරගත්හ.
පොදුවේ ගත් කල මනුෂ්‍යයා වූ කලී ක්‍ෂණික ජනප්‍රියත්වයට ප්‍රිය කරන ස්‌වභාවයෙන්ම වීර ක්‍රියා කිරීමට කැමැති, එහෙත් අන් අය ඒවා කරනු බලා සිටීමෙන් පමණක්‌ සෑහීමකට පත්වන, තමන් නොදුටු හා නොකළ දේවල ගෞරවය ලබාගැනීමට කෑදර පෘථග්ජන සත්ත්වයෙකි. මේ ගති ස්‌වභාවයට අනුව පියාඹන පීරිසි ගැන ආරංචි පැතිර යන හැම කාලයකදීම "මමත් පියාඹන පීරිසියක්‌ දුටුවෙමියි" කියාගෙන එන මිනිසුන්ගෙන් අඩුවක්‌ නොවීය. මෙයට වසර 100 කට පෙර මුහුදේ ගිලී ගිය ටයිටැනික්‌ නැවේ යැමට ටිකට්‌ එකක්‌ ගෙන බස්‌ එක පරක්‌කු වීම නිසා වරායට යා ගත නොහැකි වීමෙන් එම විපතින් දිවි ගලවා ගත් දහස්‌ ගණන් දෙනා එකල ලන්ඩනයෙත් ඇමරිකාවෙත් පත්තර කන්තෝරු ඉදිරිපිට පෝලිම් ගැසී සිටියහ.
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ L35A ලියර් ජෙට්‌ යානය අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදා රාත්‍රි 7.00 න් පසු මලක්‌කා සමුද්‍රසන්ධිය අවට මහ සාගරය මතින් ගමන් කරමින් සිටියදීය. මේ සමුද්‍රසන්ධියේ එක්‌ මායිමක්‌ වූයේ මලයානු අර්ධද්වීපය හෙවත් මැලේසියාව පිහිටි ජැටියයි. අනෙක්‌ මායිම ඉන්දුනීසියාවය. මේ සමුද්‍රසන්ධියේ ඇති ජලය අන්දමන් සාගරයට අයත්ය. (අන්දමන් මුහුද ඉන්දියන් සාගරයේ කොටසකි.) මලක්‌කා සමුද්‍ර සන්ධිය සැතපුම් 500 ක්‌ දිගය. සැතපුම් 30 සිට 200 දක්‌වා පළලය. දල වශයෙන් ගත් කළ වර්ග සැතපුම් 45000 ක පමණ සාගර ප්‍රදේශයක්‌ මෙයට ඇතුළත්ය. අඩි 85 ක්‌ ගැඹුරුය. ඉතා සරලව කිවහොත් මේ සමුද්‍රසන්ධිය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාලය.
ඉන්දුනීසියාව සහ එහි අගනුවර වන ජකර්තාව යන ප්‍රධාන දූපත් දෙක හැරුණුකොට ජාවා බෝර්නියෝ සුමාත්‍රා, බෙන්ගාලා ඇතුළු කුඩා දූපත් සමූහයකින් සමන්විතය. උපාලි අතුරුදන් වීමේ සිද්ධියට ආසියානු කලාපය තුළ විශාල ප්‍රසිද්ධියක්‌ ලැබෙන්නට පටන් ගැනීමත් සමගම සිද්ධිය වූ දින රාත්‍රියේ අහසේ ගමන් කළ ගුවන් යානයක්‌ පුපුරා යනු තමන් දුටු බව කියමින් මසුන් මරන්නන් යෑයි කියාගත් විශාල පිරිස්‌ ඉන්දුනීසියාවේ සහ මැලේසියා පත්තර කන්තෝරුවලට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. මේ සියලු දෙනාගේම අරමුණ වූයේ තම ඡායාරූපයක්‌ පවුලේ උදවිය සමග තමන් සිටින හැටි යනාදිය පෙන්වන ඡායාරූපයක්‌ සමග විස්‌තරයක්‌ පත්තරවල දමා ගැනීමය. ස්‌වල්ප දිනක්‌ යනවිට ඉන්දුනීසියානු හා මැලේසියානු මාධ්‍යවලට මෙය මහත් හිරිහැරයක්‌ විය. ඒ අනුව යානය කඩාවැටීමට අදාළ ද්‍රව්‍යමය සාක්‍ෂි අතේ නැතිව එන කිසිදු කෙනකුට කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදීමට දෙරටේ මාධ්‍ය ආයතන තීරණය කළහ.
මේ තීරණයෙන් දින කිහිපයකට පසුව එනම් 1983 පෙබරවාරි 15 වැනිදා මලක්‌කා සමුද්‍රසන්ධිය තුළ පිහිටි හුදෙකලා දූපතක්‌ වූ පුලව් බෙන්ගාලා වෙහි ජීවත් වූ මසුන් මරන්නන් තිදෙනෙක්‌ මෝටර් රථයක රෝදයක්‌ තරම් විශාල එහෙත් ආගන්තුක රෝදයක්‌ සහ යකඩ තහඩු කැබලි කිහිපයක්‌ සොයාගෙන ඇති බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව පුරා කටකතා පැතිර යන්නට විය. මේ බව ආරංචි වූ රොයිටර් පුවත් සේවයේ රොබට්‌ මැහෝනි මුලින්ම ඉන්දුනීසියාවේ විඩානයටත් දෙවනුව පුලවු බෙන්ගාලා දූපත් වෙතටත් ගියේය. මේ පුවත නිල වශයෙන් වාර්තා කරන පළමුවැන්නා තමාත් රොයිටර් පුවත් සේවයන් බවට පත්විය යුතු බව ඔහු සිතුවා විය හැකිය. සමහර විට ඔහු කුඩා ගුවන්යානයක්‌ කුලියට ගෙන අන් අයට කලින් මේ ගමන ගියා වන්නට පුලුවන. පසුව මීඩානයේදී හෝ පුලාවු බෙංගාලා අහසේදී මේ මසුන් මරන්නන්ගේ ප්‍රධානියා රොබට්‌ මැහෝනිට හමුවෙයි. ඔහුගේ නම "උවේ උදින්" වන අතර වයස අවුරුදු 40 කි. මෙයට දින දෙක තුනකට පෙර මුහුදු ගිය විට බර යමක්‌ තම දැලට හසුවූ බවත් විශාල මාළුවකු සිතා එය ගොඩට අදින විට මේ රෝදය සහ යකඩ තහඩුවක්‌ හමුවූ බවත් ඔහු කීවේය. රෝදයේ ටයරය ගුඩ්ඉයර් වර්ගයේ එකකි. එහි 5000699 යන අංකය යොදා තිබිණි. රොයිටර් වාර්තාකාර රොබට්‌ මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්‌ථානයට යෑවූ අතර එම මූලස්‌ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය,
(රොබට්‌ මැහෝනි විසිනි)
මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18. (රොයිටර්) ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධනවතකු වන උපාලි විජයවර්ධන සහ තවත් පුද්ගලයන් 05 දෙනකු කැටුව යමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලික ජෙට්‌ යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈතින් සාගරයේ තිබියදී සොයාගෙන ඇත.

අනතුරින් දිවි ගලවාගත් අය ගැන වාර්තා වී නැත.

සිද්ධිය පිළිබඳ රොයිටර් පුවත් සේවයට විස්‌තරයක්‌ කළ ඉන්දුනීසියා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙක්‌ වන ලුතිනන් කර්නල් ගැටොට්‌ පුජොමාරතෝනෝ කියන පරිදි මීඩාන් ප්‍රදේශයට මුහුදු සැතපුම් 60 ක්‌ ඈතින් පිහිටි පුලවු බෙංගාලා දූපත අවටින් මේ සුන්බුන් හමුවී තිබේ.

සුන්බුන් හමුවූ මුහුදු ප්‍රදේශයේ මළ සිරුරු කිහිපයක්‌ පාවෙමින් පැවැති බවද මසුන් මරන්නා පවසා ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක්‌ සහ දිවි ගලවා දිමේ කණ්‌ඩායම් සිද්ධියට සම්බන්ධ සාගර ප්‍රදේශය බලා යමින් සිටිති.

හතළිස්‌තුන් හැවිරිදි උපාලි විජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජුනියස්‌ ජයවර්ධනගේ ඥති සහෝදරයාය. ඔහු ශ්‍රී ලංකාවේ බහු ජාතික ව්‍යාපාරයක්‌ වූ උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්‌කරුවාය.

මෙයට පෙර ද කැඩුණු පියාපතක්‌ සහිතව පිට පැත්තට පෙරළී මුහුදේ පාවෙමින් පැවැති ගුවන් යානයක්‌ තමන්ට දැක ගැනීමට ලැබුණ බව ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවෙක්‌ පවසා තිබිණි.

අනතුරට පත් ගුවන් යානය පෙබරවාරි 13 වැනි සිකුරාදා රැයේ මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපලින් ගුවන්ගත වී විනාඩි 15 කට පසු අතුරුදන් විය. දෙසතියක ව්‍යාපාරික සංචාරයක නිරතව ආපසු එමින් සිටි උපාලි විජයවර්ධන ඇතුළු කණ්‌ඩායම යානයේ වූහ. උපාලි විජයවර්ධන මහතාගේ උපාලි සමූහ ව්‍යාපාරය රස කැවිලි, සබන් නිපදවන අතර මෝටර් රථ එකලස්‌ කරයි. පුවත්පත් ආයතනයක්‌ ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යයි. ඔහු සතුව කොකෝවා සැකසුම් කම්හලක්‌ මැලේසියාවේ තිබේ.
ඉහත සඳහන් වාර්තාව උපාලි විජයවර්ධන පිළිබඳ උනන්දුවක්‌ තිබූ සියලු දෙනාගේ සිත් තුළ මහත් කම්පාවක්‌ ඇති කළේය. එහෙත් රොයිටර් ප්‍රවෘත්තිය නිකුත් වී පැය දෙකකට පමණ පසු එම ප්‍රවෘත්තිය මුද්‍රණය නොකරන ලෙස දන්වා පුවත්පත්වලට අතුරු ඉල්ලීමක්‌ සහිත කේබල් පණිවුඩයක්‌ රොයිටර් ආයතනය මගින්ම එවා තිබිණි. එයට හේතුව යානයේ රෝදය ලියර් ජෙට්‌ රෝදයක්‌ නොවන බවත් ලෝහ කැබැල්ල පැරණි නැවක කැබැල්ලක්‌ බවත් හෙළි වී තිබීමය. ඒ සමගම පෙර කී වැරදි ප්‍රවෘත්තිය වෙනුවට විකල්ප ප්‍රවෘත්තියක්‌ ඊටත් පැයකට පසු එවා තිබිණි. ඒ මෙසේය,
(රොබට්‌ මැහෝනි විසිනි)
මිදානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18 (රොයිටර්) අතුරුදන් වූ පුද්ගලික ජෙට්‌ ගුවන් යානයක කොටස්‌ ඇතැයි සැළකෙන මලක්‌කා සමුද්‍ර සන්ධියට අයත් සාගර ප්‍රදේශයකට ඉන්දුනීසියානු බලධාරීන් හෙලිකොප්ටරයක්‌ සහ නාවික යාත්‍රා යවා ඇත.

මේ අතර ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ගැටොට්‌ පුජොමාරතෝනො කියූ ආකාරයට හමුවූ ලියර් ජෙට්‌ රෝදය හා ගුවන් යානා කැබැල්ල උපාලිගේ ලියර් ජෙට්‌ යානයේ කොටස්‌ නොවන බව ඉන්දුනීසියා ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකාරක මේජර් සුගිදාර්තෝ පවසා ඇත. එම තොරතුර වැරදි තොරතුරක්‌ බව ඔහු තවදුරටත් කියයි.

පියාපතක්‌ කැඩී මුහුදේ පාවෙමින් තිබූ ගුවන් යානයක්‌ තමන් අහසේ සිට දුටු බවට ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවකු පැවැසූ කතාවද බොරුවක්‌ බව මේජර් සුගිදාර්තෝ පවසයි. ඒ අනුව උපාලි ඇතුළු පිරිස සෙවීමේ කටයුතු දිගටම පවත්වාගෙන යැමට තීරණය කර තිබේ. 
    
කෙසේ වුවද රෝදය පිළිබඳ තොරතුරු ලියර් ජෙට්‌ නිෂ්පාදන සමාගමට දන්වනු ලදුව එම සමාගමේ ආසියානු කලාපීය නියෝජිතයන් වූ ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පෙල්විල් සමාගම වහාම ඉන්දුනීසියාවට පැමිණියේය. රෝදය පරීක්‍ෂා කළ ඔවුන් කිවේ එය ලියර් ජෙට්‌ යානයක රෝදයක්‌ නොවන බවය. එය දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානයක කොටසක්‌ ලෙස දිගු කලක්‌ මුහුද යට තැන්පත්ව තිබෙන්නට ඇති බවත්, ඒ මත ගොඩගැසී තිබූ යකඩ කැබලි හෝ වෙනත් බර ද්‍රව්‍ය නිසා මෙතෙක්‌ කලක්‌ උඩ නොපැමිණි බවත් අභ්‍යන්තර දිය වැලක්‌ වැනි භූගෝලීය හේතුවකින් සාගර පත්ල කැලඹීම නිසා පෙර කී පීඩනයෙන් නිදහස්‌ වූ රෝදය උඩ එන්නට ඇති බවත් සමහරුන්ගේ මතය විය. ඒ අතර උපාලිගේ යානයේ කැබැල්ලක්‌ යෑයි සැක කෙරුණු මළ කෑ යකඩ කැබැල්ලද ලියර් ජෙට්‌ යානයට කිසිදු සම්බන්ධයක්‌ නොතිබූ ලෝහ කොටසක්‌ විය. ලියර් ජෙට්‌ යානා තනන තහඩුව යකඩ නොව ටයිටේනියම් ය. එය ඉතා සැහැල්ලුය. වඩා ශක්‌තිමත්ය. මළ නොකන සුලුය.
ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා හෝ උපාලි සමූහ ව්‍යාපාරය වෙතින් උදව් ලබාගැනීම සඳහා ඉන්දුනීසියන් ධීවරයන් පිරිස ඉදිරිපත් කළ රෝදයට සහ ලෝහ කැබැල්ලට රැවටීමෙන් රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු රොබට්‌ මැහෝනි ලොකු වරදක්‌ කරගෙන තිබිණි. රොයිටර් පුවත් සේවය තම වාර්තාවක්‌ ඉල්ලා අස්‌කර ගන්නේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට කල්පනා කළ ආසියාවේ ඉංගී්‍රසි පුවත්පත් රොයිටර් පුවත් සේවය මුලින් එවූ වැරදි වාර්තාවත්, එය ඉවත් කරන ලෙසට එම පුවත් සේවය කළ ඉල්ලීම සහිත කේබල් පණිවුඩයත් ඊළඟට එවන ලද නිවැරදි වාර්තාවත් යන තුනම පෙබරවාරි 19 වැනිදා පුවත්පත්වල එක ළඟින් පළකර තිබිණි. මේ නිසා රොයිටර් පුවත් සේවය තව දුරටත් අමාරුවේ වැටිණි. ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවා දුටු පියාපතක්‌ කැඩුණු ගුවන් යානයක්‌ සාගරය මත පාවෙනු දැකීමේ කතාවද බොරුවක්‌ බවට පත් වූ අතර ඒ මෙසේයá සාගරය මත පාවෙන යානය ඔහු විසින් දැක තිබුණේ පොළවට අඩි 48000 ක්‌ උඩින් පියාසර කරන විටය. එය සැතපුම් 9 කටත් වැඩි උසකි. එවිට පෘථිවිය හෝ එහි සාගරය නොපෙනෙන අතර යානයට යටින් ඇති වළාකුළු තට්‌ටුව පමණක්‌ පෙනෙයි. එහෙත් පොළව වටා කක්‌ෂගතවී ඇති චJද්‍රිකාවලට පොළොව හෝ සාගරය මත ඇති දේ පැහැදිලිව දැක ගත හැකිය. ඒවායේ සවි කර ඇති කැමරා සූක්‍ෂමය. එහෙත් මගී ගුවන් යානාවල එවැනි සූක්‍ෂම කැමරා හෝ දුර බැලීමේ උපකරණ සවිකරනු නො ලැබේ. මන්දයත් ඒ මගින් ගුවන් යානාවේ ගමනට කිසිදු ප්‍රයෝජනයක්‌ නැති නිසාය.
* අනුර සොලමන්ස්‌
* මනෝජ් අබයදීර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, March 3, 2017

විස්මිත දිවැසිවරිය පෘථවියේ අනාගතය ගැන කියූ අනාවැකි.....(baba vanga අබිරහස් අඩවිය - Abirahas Adawiya anawaki - ශාස්ත්‍රීය ළිපි)

බාබා වැන්ගා 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපත ලද්දාය.ඇය අන්ධ ශුභාවාදියෙකි.අනාගත වක්තෘවරයෙකි.
කුඩා අවධියේදීම මව අහිමි වූ වැන්ගා දැරිය දිනක් ඉතා අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දුන්නාය.ඇය දරුණු ටෝනේඩෝවකට හසු වී කුඹුරකට විසි වී සිටියාය.ඇයව සොයා අගනු ලැබුවේ බොහෝ දීර්ඝ සොදිදියකින් පසුවය.සොයා ගන්නා විට නොසෑහෙන්න බියපත් වී සිටි ඇගේ දෑස් වැල්ලෙන්ද දුහුවිල්ලෙන්ද වැසි තිබු බැවින් වේදනාව නිසා දෑස් විවිර කර ගන්නට නොහැකිව සිටියාය.මෙම අනතුර නිසා ඇයට සදාකාලික අන්ධභාවය හිමි විය.
දෙවන ලෝක යුධ සමයේදී ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ.තම තමන්ගේ ඥාතීන් ජීවතුන් අතර සිටියි දැයි නැතහොත් ඔවුන් මිය ගියේ කොතනද යනාදී විවිධ ගැටළු රැගත් මිනිසුන්ගෙන් අඩුවක් නොවිණි.1942 දී බල්ගේරියාවේ තුන්වැනි බොරිස් සාර්තුමාද ඇය මුණගැසීමට පැමිණියේය.
තමාගේ අසාමාන්‍ය හැකියාවට නොපෙනන සත්වයන් සමග කිසියම් සම්බන්දතාවක් ඇතැයි ඇය කියා ඇත.එහෙත් ඒ කෙසේදැයි පැහැදිලි කිරීමට ඇය කිසිවිටෙක සමත් වුයේ නැත.එහෙත් මිස්නිසුන් ගැන තොරතුරු ඇයට ලබා දුන්නේ එම නොපෙනෙන සත්වයන් බවත් ඇය කියා සිටියාය.ඇගේ ප්‍රකාශනවලට අනුව කිසිවෙක් ඇගේ ඉදිරියේ සිටින විට ඇයට ඔහුගේ/ඇයගේ මුළු ජීවිතයම චිත්‍රපටයක් මෙන් උපතේ සිට මරණය දක්වා දර්ශනය වේ.පරම්පරා ගණනාවක් ඉදිරියට ලියා ඇති දේවල් දැකීම මිස ඒවා වෙනස් කිරීම තමාගේ සීමාවෙන් එපිට දෙයක් බව ඇය නිතරම කියු දෙයකි.
“Wiesler Field Guide to the paranormal” වැනි මුලාශ්‍ර වල සදහන් වන අන්දමට සොවියට සංගමයේ බිඳ වැටීම,චර්නොබිල් අනතුර,ස්ටාර්ලින්ගේ මරණය,රුසියාවට අයත් කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම,ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය,ලෝක චෙස් ශුරතාවයේදී ටොපලෙව්ගේ ජයග්‍රහණය ආදී සිදු වීම් පිලිබදව ඇය නිවැරදිව අනාවැකි පල කර ඇත. ඇගේ අනාවැකි කියූ පරිදි නිවැරදි නොවූ අවස්ථාද ඇත.1994 ලෝක පාපන්දු ශුරතාවය සදහා අවසන් වටයේ තරග කරන්නේ බී අකුරෙන් පටන් ගන්නා නම් සහිත රටවල් දෙකක් බව ඇය අනාවැකි කියා තිබුණාය.එයින් එක රටක නම බ්‍රසීලයයි.එරට සමග තරග කිරීමට සිටි බල්ගේරියා පිල අර්ධ පුර්ව වටයෙන් පරාජය කිරීමට ඉතාලියට හැකි වූ බැවින් ඇයගේ අනාවැකිය වැරදුනි.2010 නොවැම්බර් මස තෙවැනි ලෝක යුද්ධය ආරම්බ වන බවත් 2014 ඔක්තෝම්බර් වන තෙක් එය කල් පවතිනා බව බාබා වැන්ගා අනාවැකි පල කාලය.එහෙත් දැන් ඒ කාල සීමාව පසු වී ඇති බැවින් තෙවැනි ලෝක යුද්ධයක් සිදු නොවූ බව අප කවුරුත් දනිමු.
44 වැනි එක්සත් ජනපද ජනාධිපති වරයා කළු ජාතිකයෙක් බව නාවකි පල කර තිබේ.එය නම් සැබෑ වී තිබෙන බව පැහැදිලිය.මන්ද 44 වැනි ජනපති බැරක් ඔබාමාය.ඔහු ඇමරිකාවේ අවසන් ජනපති බවත් ඔහු පාලනයට එන විට රට විශාල ආර්ථික අර්බුදයක පවතින බවත් ඔහුගේ පාලන කාලයේදී ඇමරිකාවේ උතුරු හා දකුණු ප්‍රාන්ත වල ගැටුම් හට ගන්නා බවත් කියා ඇත.
ඇය රුසියාවේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ කුර්ස්ක් සබ්මැරීනය ගිලී යාම පිලිබදව නාවකිය නිවැරදිව කීම සමගය.”සියවස අවසානයේදී 1999 හෝ 2000 දී හෝ කුර්ස්ක් ජලයෙන් වැසී යනු ඇත.මුළු ලොවක් ඒ ගැන වැළපෙනු ඇත.”ඇය එසේ කීවේ 1980 දීය.2000 අගෝස්තු මාසයේදී කුර්ස්ක් සබ්මැරීනය අනතුරට ලක් වී එහි සිටි සියල්ලෝම සමග ගිලී ගියේ ඇගේ අනාවැකිය සැබෑවක් බවට පත් කරමිනි.
1994 දී ඇනටොලි ලුබ්චෙන්කෝ නමැති එක ව්‍යාපාරිකයෙක් බාබා වැන්ගා දැකීමට ගියේය.මිනිසුන් රැසක ඇය දැක ගැනීමට පෝලීම ගැසී සිටියදී නිවාස ඇතුලෙන් පැමිණි අයෙක් ඔහුට ඇතුලට එන්නයි ආරාධනා කළේය.විශාල ඇදක වැතිරී සිටි බාබා වැන්ගා සතුව වැඩි කාලයක් ඉතිරිව නැති බව ඔහු සියසින්ම දුටුවේය.
“ඔබට අප ගැන මොනවද කියන්න පුළුවන්?”
“පැරණි පොත් වල තිබෙන සත්‍ය සත්‍ය දේවල් මොනවාද,සත්‍ය නොවන්නේ මොනවාද යන්න විද්‍යාවෙන් පැහැදිලිම්කෙරේවි.විශාල නගරයක් හාරනු ඇත.අහසෙන් අලුත් මිනිසුන් ඒවි.බොහෝ හාස්කම් සිදු වේවි.මේ අද හෙට වන දේවල් නෙවෙයි.දුර ඈත අනාගතයේ වෙන දේවල්.මේවාට ඉබේම වන්නට ඉඩ දිය යුතුයි.කිසිවක් ඕනාවට වඩා හදීසි කරන්න එපා”

“ඉක්මනින්ම සිදු වන්නේ කුමක්ද?”
“ලෝක අවසානය…පෘතුවිය සුර්යාගෙන් ඉවතට හැරෙනු ඇත.පෙර උණුසුම් ව පැවති ස්ථාන වල අයිස් තිබේවි.සතුන්රසක් මිය යාවි.බලශක්තිය උදෙසා මිනිසුන් සටන් වදීවි.එහෙත් ඒ සටන් නැවතීමට තරම් මිනිසුන්ගේ ආත්ම ශක්තිමත් වේවි.එවිට කාලය යලිත් ආපස්සට ගමන් කරවී.”

“ලෝක විනාශය සිදු වන්නේ මහා ජාල ගැල්මකින් යයි ඔවුන් කියනවා?”
“ඔවු,වසර 30,40කින් එවැනි මහා ජාල ගල්මකුත් සිදු වේවි.විශාල දෙයක් පෘතුවියට ඉගිලී ඇවිත් ජලයේ ගැටෙවී.(ග්‍රාහකයක්).එම තරංග වලින් රටවල් රැසක් සෝදා ගෙන යනු ඇත.වසර තුනකට හිරු නැති වේවි.(ග්‍රාහකයේ ගැටීම නිසා ඇති වන දුහුවිලි වලාවන්  මගින් පෘතුවි වායු ගෝලයේ පාරදෘශ්‍ය භාවය නැති කිරීම)”

“මිනිසුන් දිවි රැක ගනීවිද?”
“හොද මිනිසුන් ජීවත් වේවි.තමන් බුද්ධිමත් යයි කියා ගන්නා දුෂ්ටයන් විනාශ වේවි.බොහෝ දෙනෙක් මිය යාවි.ඉන් පසු ඉතා හොද ජීවයක් ඇරඹෙවී.මිනිසුන් අමරණීය වේවි.”

“ඒ කියන්නේ පෘතුවියට ස්වර්ණමය යුගයක් උදා වීමක්?”
“එය දැනටමත් පැමිණෙනවා.එහෙත් හැමෝම එය දකින්නේ නැහැ.මිනිසුන් බීජ ඉසීම සහ අස්වනු කැපීම නවතාවි.ඔවුන් කරන්නේ පැල කිරීම පමණයි.සතුන්,ශාක වගේ පරපුර බෝ කරවී.කිසිවෙකු ගොඩබිමින් ගමන් බිමන් යන්නේ නැහැ.දුම්රිය ගමන් කරන්නේ සුර්ය රැහැනක් දිගේ.ඛනිජ තෙල් තහනම් කරවී.භුමිය උපත දෙමින් සහ විවෙකීයව කාලය ගත කරවී.දැන් තියෙන ලෙඩ රෝග නැත්තටම නැති වී යාවි.නමුත් අලුත් රෝග පැමිණේවි.ඒවා මොලය සම්බන්ද රෝග.හැමෝම වතුර බොන්නේ මුහුදෙන්.මුහුදේ කිසිම දුපතක් නැති වේවි.එවිට විශ්වයෙන් ජලය සොයා ගනු ඇත.ඒ හොද ජලයයි.විශාල ජන ගහනයක් සිටීවි.ඉන්දියාව චීනයට වඩා විශාල වේවි.මිනිසුන් තමන්ගේ සිරුරු වලින් ඉවත් වෙන්න පටන ගනීවි.”

“ඒ කොහොමද?”
“සිරුරක් නැතිව ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වේවි.හරියට මල අයෙක්,නැතිනම් ශක්තියක් වගේ.නමුත් මෙය සිදු වන්නේ අද හෙට නම් නෙවෙයි.”

එතනින් පසු බාබා වැන්ගා නින්දට වැටුණු අතර ඔවුන්ගේ සංවාදය අවසන් විය.
Vanga's last house 
(built in 1970) in RupitePetrich
1996 දී ඇය මිය ගියාය.ඇගේ අනාවැකි කිසිවක් ප්‍රකාශනය වී නොමැති අතර එඩ්ගා කේසි හා නොස්ත්‍රඩාමුස් වැන්නන්ට ලැබුණු ප්‍රසිද්ධිය ඇයට නොලැබුණි.

අනාවැකි කිහිපයක්
2018-2013–චීනය ලෝකයේ බලවත් රට බවට පත් වෙයි.පෘතුවි කක්ෂය ස්වල්ප වශයෙන් වෙනස් වීමක් සිදු වෙයි.

2025-2028–නව බල ශක්ති මුලයක් නිර්මාණය කෙරේ.කුසගින්න යටපත් කිරීමට හැකියාව ලැබේ.මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් සිකුරු වෙත ගමන් කෙරේ.

2033-2045–ද්‍රව අයිස් දිය වෙමින් පවතී.යුරෝපය පාලනය කරන්නේ මුස්ලිම් වරුන් විසිනි.

2049-2070–ඉන්ද්‍රියන් නිෂ්පාදනය කිරීමට පුළුවන.තිබෙන සිරුරු වෙනුවට වෙනත් සිරුරක් භාවිතයට ගැනීම හොදම ප්‍රතිකාර ක්‍රමයක් බවට පත් වේ.

2088-2167–නව රෝගයක්.මිනිත්තු කිහිපයකින් වයස්ගත වීම.පෘතුවියේ අදුරු පැත්ත කෘතීම සුර්යයෙකු විසින් එලිය කිරීම.මිනිසුන් ජීවත් වන රොබෝවරු බවට පත් වේ.හන්ගේරියාවට අභ්‍යවකාෂයෙන් සංඥා ලැබේ.දිය යට ජනපද,සතුන් අර්ධ මනුෂ්‍යන් බවට පත් වේ.

2170-2259–ප්‍රධාන නියගයක්.අගහරු මත තිබෙන ජනපදයක් න්‍යෂ්ටික බලයක් බවට පත් වී පෘතුවියෙන් නිදහස ලබා ගැනීමට අරගල කරයි.

2262-2304–ග්‍රහලෝක අඛණ්ඩව කක්ෂ වෙනස් කරනු ඇත.කාලයේ ආපස්සට ගමන් කල හැකිය.පිටස්කවලයන් සමග නව හදුන්ම්කම්.හිරු සිසිල් වෙයි.එය නැවත පණ ගැන්වීමට උත්සහ කෙරෙනු ඇත.ගුරුත්ව බලය වෙනස් වනු ඇත.පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්ද්‍රිකා කඩන් වැටෙනු ඇත.විශ්වයේ රහස් හා වැදගත් නෙති හෙළි වේ.චන්ද්‍රයාගේ රහස් හෙළි වෙයි.

2341-3805–අභ්‍යවකාශයෙන් කිසියම් භායනක දෙයක් පෘතුවියට ලගා වෙයි.කෘතීම සුර්යයන් දෙදෙනෙකුගේ ගැටීම.පෘතුවිය වටා දුහුවිලි කලාපයක්.ඒ වන විට පෘතුවියේ ජීවය මිය ගොස් ඇත.එහෙත් මානව වර්ගයා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක නවාතැන් ගැනීමට පදනම දමයි.
මෙසේ ඉදිරි ක්‍රි.ව. 5079 වන තෙක් අනාගතය ගැන විවිධ මත දක්වා ඇත.ඒ වසරේදී ලෝක විනාශය සිදු වන බව ද ඇය අනාවැකි පල කර තිබේ.මෙසේ ලියා තැබුවද ඒවා සැබෑ වේද නොවේද යන්න බලන්නට වෙන්නේ අනාගතයට අයත් අයටම පමණි.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya