Thursday, September 28, 2017

රාවණාගේ රටේ ප්‍රධාන සුසාන භූමිය සොයා ගැනේ.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana lbbankatuwa)

රාවණා යුගයේ භාවිතා කළේ සූර්ය ශක්තිය හෙවත් සුර්ය බලය වේ. ලෝකයේ බලය වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කළ සහ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ බලය වෙනුවෙන් භාවිතා කරන ද්‍රව්‍ය අවසානවේගන යමින් පවතී. ගල් අඟුරු, යකඩ, ඛනිජ, ලෝහ, ඛනිජ තෙල්, ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. වර්තමානයේ කාර්මික වාණිජ යුගය හෙවත් ඉලෙක්ට්‍රෝනික යුගය ද ඉක්මනින් අවසන් වේගන යමින් පවතී. ඉන්පසුව භාවිතා කළයුතු ​ෙවන්නේ සූර්ය ශක්තියයි. ඒ පිළිබඳව ද පර්යේෂණ ලෝකයේ නොයෙකුත් දියුණු රටවල මේ වන විටත් පැවැත්වෙන බව රහසක් නොවේ. එයින් කියැවෙන්නේ නැවත රාවණා යුගයට පැමිණෙන බවට ඉඟියක් නොවේද? ආචාර්ය ඔබේසේකරයෝ විමසති.   
රාවණා රජතුමා ජීවත්ව සිටි ප‍්‍රාග් ඓතිහාසික යුගය ලොව ඉතාමත්ම දියුණු තත්ත්වයක පැවති බවට එක් උදාහරණයක් නම්, මිසයිල භාවිතා කිරීම ය. නූතන ඉතිහාසයේ පැරණිතම ශිෂ්ටාචාරය වශයෙන් සැලකෙන්නේ ග‍්‍රීක් ශිෂ්ටාචාරයයි. ඊට වඩා අවුරුදු දස දහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවටත් මුළු මහත් පෙරදිගත් පැවති බව මේ අනුව පැහැදිළි වේ. ශ‍්‍රීමත් විලියම් ජෝන්ස්ගේ මතය අනුව එකල සාමාන්‍ය මිනිසෙකු ගේ පරමායුෂ අවුරුදු 20,000 යැයි කියති. මානව ඉතිහාසයේ ඉතාමත් දියුණු යුගයක ජිවත් වූ චක‍්‍රවර්ති රජ කෙනෙක් වශයෙන් රාවණ රජු හැඳින්විය හැකි ය.
එවකට ලංකාපුර රාජධානියේ ජීවත් වූ ජන වර්ග කොටස් හතරකි. ඒ, යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ගෝත‍්‍ර සතරයි. යක්ෂ හා රාක්ෂ වශයෙන් ජන වර්ග ශ්‍රේණි දෙකක් ජීවත් වූ අතර, රාවණා රජතුමා අසුර නොහොත් යක්ෂ ග්‍රෝත‍්‍රයට අයත් වූහ. රාවණා රජු සම්බන්ධකම් පැවති රාජ්‍යයන් දහයකි. දිව්‍ය ලෝක සහ අඟහරු වැනි ග‍්‍රහලෝක සමඟ ද සම්බන්ධතා පවත්වා ඇත. රාමායනය ග‍්‍රන්ථයේ ලංකාපුරය වශයෙන් සඳහන් ​ෙවන්නේ බටදඬු කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය වශයෙන් සැලකිය හැකි බවත්, නකල්ස් යනුවෙන් හඳුන්වනු ලබන බටදඬු කඳුවැටිය එදා රාවණා රජ දහන ​ෙවන්නට ඇති බවත් සිතිය හැකිය.   
ලොව ඉහළ ශිෂ්ටාචාරයක් ගොඩනැගූ හෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝ එදා විවිධ රටවල සංචාරය කරමින් සිය විද්‍යා තාක්ෂණ දැනුම බෙදා දෙමින් අලුත් රට රාජ්‍යන් සොයා ගනිමින් මුළු මහත් ලෝකයටම වටිනා මෙහෙයක් ඉටු කළෝ ය. ගුවනේ පියාසර කිරීමට, ගංගා මුහුදේ යාත‍්‍රා කිරීමේ තාක්ෂණය පමණක් නොව, උමං මාර්ග කැණීමේ තාක්ෂණයෙන් ද පොහොසත් ජාතියක් වූහ. මහා ඍෂිවරුන් හත් දෙනෙක් ලෝකය පාලනය කළ බව සඳහන් වේ. ඔවුන් නම් අත‍්‍රී, මලචි, පුලහ, ක‍්‍රත‍්‍ර, අංගීරස, වශිෂ්ට හා පුලස්තිය. මහා බ‍්‍රාහ්මයාගේ පුත‍්‍රයන් ය. මොවුන් බ‍්‍රාහ්මණයන් වුවද, අයත් වන්නේ යක්ෂ ගෝත‍්‍රයට ය. ඔවුන්ගේ ආගම සූර්ය වන්දනාවයි. මෙම බ‍්‍රාහ්මණයන් ගේ ජන්ම භූමිය වූයේ මහා භාරතයයි. එදා ශ‍්‍රී ලංකාව අයිති වූයේ ද මහා භාරතයටයි. එහි උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව හා එදා රතු ඉන්දියාව වශයෙන් ද කොටසක් පැවතිණි. මෙරට රතු මැණික් බහුලව පැවති නිසා රතු ඉන්දියාව වශයෙන් හඳුන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ අනුව අැමෙරිකාවේ වෙසෙන ආදි වාසීන් වූ රතු ඉන්දියානුවන් මෙරට යක්ෂ ගෝත‍්‍රික හෙළයන්ගෙන් පැවත එන බව ආචාර්ය ඔබේසේකරයන්ගේ අදහසය.   
එපමණක් ද නොවේ අැමෙරිකාවේ දෙවියෙකු වශයෙන් සැලකෙන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයෙකි. උතුරු අමෙරිකාවේ මෙන්ම දකුණු අැමෙරිකාවේද ආදී වාසින් රතු ඉන්දියානුවන් ලංකාවේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික හෙළයන් යැයි ඉපැරණි මූලාශ‍්‍ර අනුව පෙනී යන බවත්, නැගෙනහිර පළාත වන ශ‍්‍රී ලංකාවේ සිට පැමිණෙන දෙවියෙක් මෙක්සිකන් ජාතිකයින් විවිධ ලෙඩ රෝග, අනතුරු, ආදියෙන් ආරක්ෂා කරනු ලබන බවත්, ආචාර්ය ඔබේසේකරයන් තවදුරටත් පවසයි.
ආර්ය පවුලේ මුල් පදනම ගොඩනැගී පවතින්නේ මෙරට පැරණි යක්ෂ, දේව, නාග, ගන්ධබ්බ යන ජනවර්ගවල එකමුතුවෙනි. ඒ පිළිබඳව මෙතෙක් කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වේ. ක‍්‍රි.පු 5000 දී රාවණා රජු හෙළදිව පාලනය කළ සමයේ දී සුර අසුර වශයෙන් ප‍්‍රධාන ජන වර්ග කොටස් දෙකක් පැවති අතර, එම ජන වර්ග කොටස් දෙකම එකම මූලයකින් ආරම්භ කර ඇති බවට සාධක බොහෝ ය. මේ අනුව ප‍්‍රථම ආර්ය පවුල වශයෙන් ඉහත සඳහන් කරන ලද මහාබ‍්‍රාහ්මණයන් හෙවත් ඍෂිවරුන් වශයෙන් සිතා ගත හැකි ය. විද්‍යා, කලා ශිල්පවලින් ලොව අර්ථවත් කිරීම සඳහා ප‍්‍රථම ආර්ය පවුලෙන් කොටස් හතක් මුළු ලොව පුරා විසිරි ගියෝ ය. මෙම ප‍්‍රථම ආර්ය පවුල ආරම්භ වූයේ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවෙනි. රතු දිවයින මෙන්ම රතියස්ගේ දිවයින ලෙස ද ඈත අතීතයේ මෙරට හඳුන්වා දී ඇත.   ප‍්‍රථම ආර්ය පවුලේ සාමාජිකයෝ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බොල්ටික් තැන්නට ළඟා වී ඇත. එම ආර්ය පවුල නම් කාශ්‍යප ඍෂිවරයා ඇතුළු කණ්ඩායමයි. ක‍්‍රි.පු 390 දී රෝමය අල්ලා ගන්නේ ද මෙම ඉන්දු ආර්ය පවුලේ කෙල්ට් සහ ටියුමන් විසිනි. මොවුන්ගෙන් එක් පිරිසක් ග‍්‍රීසියට පැමිණ ඉතාලිය සහ ස්පාඤ්ඤය ද සිය සංස්කෘතියට යටත් කරගෙන නැගෙනහිරින් ඇසෑමය දක්වා ව්‍යාප්ත කර තිබේ. පර්සියාවේ ආදි වාසීන් ද යක්ෂ ගෝත‍්‍රික හෙළයන් බවට විශ්වාසයක් පවතී. එයට හේතුව සිංහ කොඩිය එහි පැරණි ධජය වීම ය.
 මිසරය පිහිටා තිබෙන්නේ අප‍්‍රිකා මහාද්වීපයේ උතුරු කෙළවරට ​ෙවන්නට ය. එහි ප‍්‍රථම රජු මේනාස් රජතුමා ය. ඔහු මහා භාරතයේ මනුනාත් රජුම බව ගණනාත් චොප්රාගේ ප‍්‍රත්‍යක්ෂ ශරීරම් ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. ප‍්‍රථම ආර්ය පවුලේ තවත් යක්ෂ ගෝත‍්‍රික හෙළයෝ පිරිසක් ඉතාලියට හා ස්පාඤ්ඤයටගොස් පදිංචි වූහ. ඉන්දු යුරෝපීය ජාතික ආදි වාසින් ද මෙම යක්ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන්ය. අපේ පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට බලංගොඩ මානවයා මෙම රාවණා යුගයේ ආදි හෙළයෙකි.   
ඒ ආකාරයෙන් යක්ෂ හෙළ ගෝත‍්‍රිකයන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල් දියුණු තත්ත්වයට පත්කර තිබේ. මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත්තේ ද, ඒ ආකාරයෙන් උතුරු සහ දකුණු අමෙරිකාවට ගිය හෙළයන් ය. ග‍්‍රීක ඉතිහාසයේ සඳහන් ​ෙවන පරිදි ඉන්දු - ග‍්‍රීක සබඳතා ගොඩ නැගීම සඳහාත් මෙම හෙළයන් උපකාරිවී ඇත. දක්ෂ නාවිකයන් වුූ හෙළයන් නයිල් නදී තීරයේ මිසරයටත්, මධ්‍ය ධරණී මුහුදේ ආසියාවටත්, නුදුරුව පිහිටි ක‍්‍රිටයටත් යුප‍්‍රටිස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත‍්‍රා කර තිබේ. නීතිය සෑදීමට මුල් වූ සාලියන්වරු ද, ලෙබනනයේ ෆීනීෂියන්වරුන් ද යක්ෂ ග්‍රෝතික හෙළ සම්භවයක් ඇති පිරිසකි.   
ඒ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ යක්ෂ හෙළයෝ කන්ද උඩරට, නුවරඑළිය, බදුල්ල, ​ෙපාළොන්නරුව, අනුරාධපුරය, මහනුවර මාතලේ දිස්ත‍්‍රික්කවලත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සහ හලාවත වැනි ප‍්‍රදේශවලත් ජීවත් වූහ. එපමණක් ද නොව එම පෙදෙස්වල රාවණා රජුගේ රාජධානිය පැතිරීගොස් තිබුණු බවට පුරා විද්‍යා ඓතිහාසික සාක්ෂි අපමණය. රාවණා යුගයට අයත් ස්ථාන ද කිහිපයකි. ඒවා නම් සීගිරිය, ඉබ්බන්කටුව, පුරාණ සුසාන භූමිය, මාතලේ අබ්බොක්ක දේවාලය, හලාවත මුන්නේශ්වරම්, ලංකාපුර රාජධානිය සහ සබරගමුව ආදිය වේ.   
රාවණා රජුගේ ලංකාපුරයේ රන්, රිදී, මුතු, මැණික්, මිනිරං පමණක් නොව කුරුඳු වැනි බෝග බහුලව පැවති බව සඳහන් ය. එහි විශ්වකර්මයා විසින් සියතින් රන්, රිදී, මුතු, මැණික් ඔබ්බවා නිම කරන ලද මන්දිර සමූහයකි. එවන් ආකාරයේ මන්දිර සහිත විථි සිය ගණනක් ලංකා පුරයේ සාදා තිබුණි. මේ ආකාරයේ පැවති ලංකාපුරය පිහිටියේ ත‍්‍රිකූට මස්තකයේ බව සදහන් වේ. මලය නමින් හැඳින්වෙන පර්වත පිහිටියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ බවත්, ටොලමි ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව පර්යේෂණාත්මකව ගැඹුරට සිතා බලන විට අද ”නකල්ස්” යනුවෙන් හඳුන්වන ”බටදඬු” කඳුවැටිය එදා රාවණා රජ දහන වූවාට සැක නැත.  
ලංකාපුර රාජධානිය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කාලයක රාවණා රජු සිය අග‍්‍ර මාලිගය ලෙස ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ද එය බව පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මතය වී තිබේ. මෙම සීගිරියේ සිට ලග්ගලට තිබෙන්නේ ගුවන් සැතපුම් කිහිපයකි. යක්ෂ ගෝත‍්‍රික ජනතාව බෙහෙවින් වාසය කළ ලග්ගල, මිනිපේ, හඳපානාව, බින්තැන්න ඊට උදාහරණ කිහිපයකි. ලග්ගල හෙවත් ලංකාපුර රාජධානිය මාතලේ දිස්ත‍්‍රික්කයේ ද, ‘‘සිරස වස්තු පුර” රාජධානිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනයේ ද පිහිටා තිබුණි.   
ඉබ්බන්කටුව ගැන සඳහන් කිරීමේ දී, අවුරුදු 3000 කට වඩා පැරණි අතීතයක් හිමි ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එය පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ රාවණ යුගයට අයත් බවකි. කාමර සහිත ඉපැරණි සුසාන ගෙවල් සහිතය. මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත් වූවකි. කෙසේ වෙතත් ඉබ්බන්කටුවේ සිට ලග්ගලට තිබෙන්නේ සැතපුම් කිහිපයක දුරකි. මේ අනුව සළකා බලන විට රාවණා රාජධානියේ ප‍්‍රධාන සුසාන භූමිය මෙය වූවා විය හැකි ය.
ඉබ්බන්කටුවේ ප‍්‍රාග් ඓතිහාසික සුසාන භූමිය ක‍්‍රි.පු 770-440 ට අයත් බවට විද්වතුන් කාල නිරීක්ෂණය කර ඇත. ලංකාපුර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම විද්‍යාත්මක දස්කම් මෙම සුසාන භූමියේ කැණීම් තුළින් මතුවී තිබේ. රාමායනය පවසන ආකාරයට යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ පළමුවන ගෝත‍්‍රයට රාවණා ප‍්‍රමුඛ රාක්ෂ බ‍්‍රාහ්මණයන් අයත් වේ. ඒ අනුව මළමිනී ආදාහනය කිරීම මහා භාරතයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවති බ‍්‍රාහ්මණයන්ට අයිති චාරිත‍්‍රයකි.
ඉබ්බන්කටුව සොහොන් බිමේ කැණීම්වලින් සොයාගත් අඟුරු අවුරුදු 2700 ක් පමණ පැරණි බැව් ජර්මන් ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් කාල නීර්ණය කර ඇති බැව් ආචාර්ය සෝමදේවගේ අදහස බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති.   
ආදී වාසීන්ගේ අදහස වනුයේ ‘‘ඉබ්බා” යන වචනය පළමුවෙන්ම භාවිතා කළේ ‘‘මිනී හිසට” බවත්, ඉදිබුවා ද මිනී හිසට සමාන බැවින් ඉදිබුවාට ද ඉබ්බා යනුවෙන් කියන බවත් ය.
විජය කුමාරයාගේ පැමිණීමටත්, මහින්දාගමනයටත් පෙර, මෙරට තුළ උසස් අවමංගල්‍ය චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබුණු බවට ඉබ්බන්කටුව හොඳම උදාහරණය සපයයි. ඒ යුගයේ මිනී පෙට්ටි වෙනුවට අගනා මැටි බඳුන් පාව්ච්චි කළ බව පොම්පරිප්පු සිට ඉබ්බන්කටුව දක්වා සෑම සුසාන බිමකින්ම සොයා ගත හැකි වූ එක් සාධකයකි. මිනීි හිස් කටු බහුලව පැවති නිසා මෙම ප‍්‍රදේශයට ඉබ්බන්කටුව යන නම භාවිතා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ ලාභදායී වෙ​ෙළඳාමක් වූයේ ඉබිකටු අපනයනය ය.
ඇතැමෙක්ගේ අදහස ඒ නිසා මෙම නම ලැබී ඇති බවකි. කාමර සහිත සොහොන් ගෙවල් ඉතිහාසය ඇරඹෙන්නේ ඉබ්බන්කටුවෙනි.   
රාවණා ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මුතු, මැණික්, සත්ත්ව ඇටකටු, ඇත්දත් ආදියෙන් නිම කළ භාණ්ඩ රැසක් ලක්වැසියන් භාවිතා කළ බවට සාධක රැසක්ම ලැබී ඇති බව මහාචාර්ය බණ්ඩාරනායක හා සෝමදේව කළ පර්යේෂණවලින් මැනවින් පෙනී ගොස් ඇත. රන් ආලේප කළ පබළු ඇටයක් මෙම සුසාන භූමියෙන් සොයා ගැනීම එයට එක් උදාහරණයක් පමණි.
ලබන සතියට.....
සිසිර කුමාර බණ්ඩාර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, September 25, 2017

දඹදෙණි රාජධානිය සොයා ගිය ගමනක්...(1) (අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි dambadeniya)

පාණ්ඩ්‍යය දේශයෙන් පැමිණි පරාක්‍රම පාණ්ඩ්‍යය කුමරු පොලොන්නරු රාජධානියේ රජු බවට පත්ව සිව් වසරක් ගෙවී ගොස් තිබිණි. ඔහු පරදේශක්කාරයෙක් වුවත් ලංකාවේ සිංහලයන්ටත් බෞද්ධයාටවත් හානියක් පීඩාවක් කළේ නැත. කලින් රජකළ ලීලාවතී රැජිණ සේම රටවැසියන්ට ආදරයෙන් පාලනය ගෙන ගියේය.
 සොළී දේශයෙන් හමුදාවක් ලංකා රාජ්‍යයට ඇතුළු වෙලා.
ඔත්තුකරුවකු රජවාසලට පැමිණ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු හමුවේ දණ බිම ඇන සැලකර සිටියේය. ලංකා රාජ්‍යයට පරදේශක්කාරයෙක් ඇතුළුවෙලා... එසේනම් ඒ කුමන දේශයෙන්ද?
කුමරු විචාළේය.
 ඒ මොහොතෙහිම තම ඇමැති මණ්ඩලය රැස්කර වූ කුමරු ලංකා රාජධානියට ඇතුළු වු සතුරන් පිළිබඳව සොයා බලන්නට අණකළේය. එසේම ඔවුන්ට එරෙහිව සටන් කරන්නට සේනාවලට නියෝග කළේය.
එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.
“දේවයන් වහන්ස විසිහතරදාහක මැර පිරිසක් සමඟ අපේ රාජ්‍යයට ඇතුළු වී සිටින්නේ කාලිංග දේශයේ මාඝ නම් පුද්ගලයෙක්. ඔහු ඉතාම කෲර ලෙස සිංහලයන්ට පහර දෙන බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබන බවත් දේපළ සහ වස්තුව කොල්ල කන බවත් දැනගැනීමට ලැබුණි. එපමණක් නොවෙයි ඔවුන් වෙහෙර විහාර දේවාල පිරිවෙන් වැනි සියලු ආගමික ස්ථානත් විනාශ කරන බව සැලයි. හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවන බවත් ස්ත්‍රීන් දූෂණය කරන බවත් සැලයි.”
සතුරු හමුදාවේ තොරතුරු සොයාගත් ආරක්ෂක ඇමැතිවරයා පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරුන්ට ප්‍රකාශ කළේය.
“කිමෙක්ද? කාලිංගයේ මාඝ...?”
පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු විමසුවේය.
“මහා විනාශයක්. මේ විනාශයෙන් ගැලවෙන්නට මඟක් නැද්ද ඇමැති?”
“දේවයන්වහන්ස ඒ සඳහා අපේ හමුදා ශක්තිමත් නෑ. එසේම අපේ හමුදාවලට එවැනි කෲරකම් කරන්නටත් බැහැ. පැමිණ සිටින්නේ භිල්ල ගෝත්‍රිකයින්. ඔවුන් තිරිසනුන්ටත් වඩා දරුණුයි.  දැනටමත් අපේ වැසියන් බිල්ලන් ඇවිත් කියමින් පණ බයෙන් පලා යනවා.” 
“එසේද. එසේනම් ඔවුන් මේ අගනුවරත් ආක්‍රමණය කරන්නට ඉඩ තිබෙනවා.”
නැහැ දේවයන් වහන්ස, එය එතරම්ම ලෙහෙසි වන්නේ නෑ. මේ වන විටත් දහසකට ආසන්න හේවායන් පිරිසක් අගනුවර වටා රැකවල්ලා සිටිනවා.
“ඇමැති එතකොට දළදා වහන්සේ?”
“දේවයන්වහන්ස, අපේ වාචිස්සර නාහිමිපාණන් දළදා වහන්සේ දිවිහිමියෙන් රැකගනු ඇති බව මට විශ්වාසයි.”
 “නමුත් ඒ ගැන සොයා බැලීම ඔබේ වගකීමක් ඇමැති...”
“එසේය.”
“වහාම ගොස් නාහිමියන් මුණගැසී දළදා හිමියන් දිවිහිමියෙන් රැකගන්නා ලෙස මතක් කර සිටින්න.”
“එහෙමයි දේවයන් වහන්ස. මා මේ දැන්ම පිටත්වෙනවා.”
“හ්ම්”
පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු සැනසුම් සුසුමක් හෙළුවේය.
ඒ වන විටත් ගම් නියම් ගම් නගර රාශියක්ම විනාශ වෙමින් තිබිණි. ගම්මාන එහෙම පිටින්ම ගිනිජාලා බවට පත්ව තිබිණි. වෙහෙර විහාර අහිමි වූ හාමුදුරුවරු, ගෙවල් දොරවල් අහිමි වූ ප්‍රභූවරු පතිවත කැලල් වූ කාන්තාවෝ අගනුවර කරා පලා යමින් සිටියහ.
ගතවූයේ දින කිහිපයක් පමණකි. කාලිංග මාඝ ප්‍රමුඛ බිල්ලෝ පොලොන්නරු රාජධානියේ අගනුවරට කඩා වැදුනහ. මාළිගය වටකළ බිල්ලෝ පළමුවෙන්ම කළේ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු අල්ලා ගැනීමය. ඔහුගේ දෙඇස් කෲර ලෙස උගුල්ලා දැමූ කාලිංග මාඝ, කුමරුගේ බිසව සහ අන්තඃපුර බිසෝවරු මාලිගා අංගණයට කැඳවීය. ඔවුන්ගේ කර බැඳි සියලු ආභරණ ගලවා ගත්තේය. ඔවුන්ගේ වස්ත්‍ර ඉවත්කර දූෂණය කළහ. දෙඇස් ගැල වූ කුමාරයාට තව තවත් වධ බන්ධන පමුණුවා ඔහු මරා දමා මාළිගයේ සියලු වස්තු කොල්ල කෑවේය. අනතුරුව එම මැදුරෙහි පදිංචි වූ කාලිංග මාඝ පොලොන්නරු රාජධානියේ අභිනව රජු ලෙස දිවුරුම් දී කටයුතු ආරම්භ කළේය.
අගනුවර වු සියලු විහාරාරාම විනාශ කිරීමට තම මැර හමුදාවන්ට නියෝග කළ රජු හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා අගනුවරින් පලවා හැරියෝය.
මේ පුවත් උණුසුම් ලෙසින් රාජධානිය පුරා පැතිර යද්දී ධර්මග්‍රන්ථ සහ ධාතුන් වහන්සේලා රහසේ සඟවාගත් භික්ෂූහු යාබද මලය රටට හා රුහුණු රටට පලා යන්නට පටන්ගත්හ.
මේ වන විට පොලොන්නරු රාජධානියට කප්පම් ගෙවමින් ප්‍රාදේශීය පාලන කටයුතු කළ කුමාරවරු සිවු දෙනෙක් ලංකාවේ සිටියෝය. සුබ සෙනෙවියා සුබ පර්වතයෙහි බළකොටුවක් ඉදිකරගෙන වාසය කළේය. එය වත්මන යාපහුව ලෙස හැඳින්වෙයි.
රුහුණු රටේ ගෝවින්ද හෙල මත තවත් බළකොටුවක් තනාගත් බුවනෙකබාහු නම් මාපා රුහුණු රට පාලනය කළේය. සංඛ නම් තවත් සෙනෙවියෙක් මිණිපේ, ගංදෙණු පව්වේ වාසය කළ අතර මලය රටේ පාලන කටයුතු කරගෙන ගියේ විජයබාහු නම් කුමාරයෙකි. ඔහු වාසය කළේ දඹදෙණි පව්වේය. සුබ සහ සංඛ සෙනෙවිරු ද බුවෙනකබාහු මාපාවරයකු ද වූ අතර ඔවුනට රාජකීය උරුමයක්වත් රාජකීය රුධිරයවත් තිබුණේ නැත. එහෙත් විජයබාහු සංඝබෝධි රජ පරපුරෙන් පැවත ආ රාජකීය රුධිරය සහිත වූවෙකි. මේ නිසා මේ අවස්ථාවේ රාජධානියක් පිහිටුවීමට තරම් ශක්තියක් තිබුණේ ඔහුට පමණකි. ඇරත් වයසින් ද වැඩිමහලු වූ ඔහුට අනෙක් සෙනෙවිවරුන් අවනත කරගැනීමේ හැකියාවක් ද තිබිණි.
පොලොන්නරුවෙන් පලා ආ භික්ෂූහු ද විජයබාහු කුමරු හමුවී පොලොන්නරුවෙහි සිදුවන විනාශකාරී ක්‍රියා ගැන කරුණු කීහ. කෙසේ හෝ කාලිංග මාඝ පලවා හැර රට යළිත් එක්සේසත් කළ යුතු බවත් බෞද්ධ උරුමයන් යළි නගාසිටුවිය යුතු බවත් කීහ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා දිරිගැන්වීම නොඅඩුව දෙන බවට ද පොරොන්දු වූහ.
එහෙත් කාලිංග මාඝ සිටියේ වියරුවූවෙකු ලෙසිනි. ඔහුගේ ඔත්තු සේවාවන් ද ප්‍රබල විය. ඔහුට රහසේ තවත් රාජධානියක් ඉදිකිරීම කළ නොහැකි කරුණක් විය. එම නිසා රාජකීය ලේ සහිත වූ විජයබාහුට වඩාත් පරෙස්සම් වීමට සිදුවිය. ඔහු බොහෝ විට සිටියේ වනදුර්ග සහ ගිරිදුර්ගවල සැඟවගෙනය. එසේ සැඟවී සැඟවී සේනා සංවිධානය කිරීම මෙන්ම ප්‍රාදේශීය නායකයන් තමා වෙත අවනත කරගැනීම පොලොන්නරු රාජධානියේ තොරතුරු ලබා ගැනීම සේනා සංවිධානය මෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කිරීම වැනි දහසකුත් එකක් දේ කළ යුතු විය.
හැබැයි ඔය අතරේ ඔහු දඹදෙණි පර්වතය මුදුනේ මාළිගයක්ද රහසේ ඉදිකරන්නට පටන් ගත්තේය.
කාලිංග මාඝගේ කුරිරු පාලනය මේ වන විට පොළොන්නරු රාජධානිය සහමුලින්ම උඩුයටිකුරු කරමින් තිබිණි. එතෙක් කලක් කුලීනයන් ලෙස සැලකුණු උදවියට කුලහීනයන් සමඟ විවාහවන්නට බල කෙරිණි.
 කුල කාන්තාවන් “බිල්ලන්ගේ” බිරින්දන් බවට ද වහලියන් බවට ද පත්කර තිබිණි. පන්සල්වල තිබූ අගනා ධර්ම ග්‍රන්ථ සාහිත්‍ය ග්‍රන්ථ තොග පිටින් ගිනි දෙවියන්ට බිලිකර තිබිණි. මේ අවැඩ ඉවසන්නට  බැරිම තැන පොලොන්නරුවේ වැඩ විසූ හාමුදුරුවරු පඬි රටට පලාගොස් තිබිණි.
පඬි රට නැත්නම් පාණ්ඩ්‍ය දේශයේ බුදු දහමට මෙන්ම හාමුදුරුවරුනට ද ගෞරව කෙරුණෙන් අපේ හාමුදුරුවරුන්ට වෙන යන්නට තැනක් තිබුණේ නැත. සමහරු රුහුණටත් මලය රටටත් පලාගිය නමුත් ඊට වඩා ආරක්ෂාවක් පඬි රටෙහි තිබිණි.
මහා කාලකණ්ණි යුගයක් මුළු ලංකාවටම උදා වී තිබිණි. ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වූ රුවන්මැලි සෑය විනාශ කළ පුවත මායා රටේ විජයබාහු කුමරුට දැන ගැනීමට ලැබුණු විට ඔහුගේ ලේ ධාතුව උණුසුම් විය. තවදුරටත් හැංගි හැංගී බලා සිටිය නොහැකි බව තීරණය කළ විජයබාහු හැකි ඉක්මනින් රාජ්‍යයක් පිහිටුවීමට ඉටා ගත්තේය.
එහෙත් ඒ වෙනුවෙන් කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් වසර දාහතක්ම ගතවන තුරු බලා සිටින්නට විජයබාහුට සිදුව තිබිණි.
අවසානයේදී එනම් වර්ෂ එක්දහස් දෙසිය තිස් දෙකේදී දඹදෙණිය රාජධානිය ප්‍රකාශයට පත්කළ විජයබාහු කුමරු තුන්වැනි විජයබාහු නමින් කිරුළ පැලඳුවේය.
ඒ අනුව දඹදෙණිය රාජධානියේ රජ මැදුර දඹදෙණි ගල මත ඉදිකෙරුණි.
නමුත් සිංහලේ උතුම් සම්ප්‍රදාය වූයේ කිසියම් පුද්ගලයකුට රාජ්‍යයට උරුමකම් කිවිය හැක්කේ දළදා වහන්සේට හා පාත්‍රා ධාතුන් වහන්සේට උරුමකම් කීමෙන් පමණකි. එහෙත් මේ වන විට දළදා වහන්සේ වැඩසිටින්නේ කොහේදැයි යන්න අවිනිශ්චිත විය. පොළොන්නරුවේ හැටදාගේ නොහොත් දළදා මැදුරෙහි තැන්පත් කර තිබූ දළදා වහන්සේ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවෙද්දී භාරකාර හිමිවරුන් විසින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නට ඇත.
එහෙත් ඒ තොරතුරු ඇත්තේ අතිශය රහසිගතවය. පොලොන්නරුවේ දළදාව භාරව සිටි වාචිස්සර තෙරුන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් මේ රහස පිළිබඳව දැන සිටිනු ඇත. එසේ නම් පළමුව කළ යුත්තේ වාචිස්සර තෙරුන් වහන්සේ සොයා ගැනීමය. උන්වහන්සේ ලංකාවේ වැඩවෙසෙත් ද නොඑසේ නම් පාණ්ඩ්‍ය දේශයේ වැඩවෙසෙත් ද යන්න කවුරුවත් දන්නේ නැත. විජයබාහු රජු පොලොන්නරු රාජධානියට රහසේ දූතයන් පිටත්කර එහි දුෂ්කර ලෙස වාසය කරන භික්ෂුන් වෙතොත් දඹදෙණි රාජධානියට වැඩම කරන්නැයි ඉල්ලීමක් කළේය. එසේ පැමිණෙන භික්ෂූන්ට අලුතින් වෙහෙර විහාර ඉදිකර දී සිව් පසයෙන් සංග්‍රහ කරන්නට කටයුතු සූදානම් කළේය. එසේම පඬි රටෙහි සිංහල බෞද්ධ භික්ෂුන් රැසක් වැඩවෙසෙන බව දැන එරටට ද දූතයන් පිටත් කළෝය. කෙසේ හෝ සියලු හිමිවරුන් දඹදෙණි රාජධානියට වැඩම කරවාගෙන අනතුරට පත්වූ බුදුසසුන යළි නඟා සිටුවීමටත් අවසානයේ කාලිංග මාඝ පලවා හැර රට එකසේසත් කිරීමටත් විජයබාහු රජු උත්සාහ ගත්තේය.
විජයබාහු රජුගේ උත්සාහය සාර්ථක වන ලකුණු පහළ කරමින් භික්ෂූහු නම දෙනම බැගින් දඹදෙණිය රාජධානියට වැඩම කළහ. මේ හිමිවරු විජයබාහු රජු සම්මුඛව පොලොන්නරුවට හා අනුරාධපුරයට කර තිබෙන විනාශය ගැන කරුණු කීහ. බුදු සසුනට කර ඇති මේ විනාශය වහාම නතර කරන්නටත් විනාශ කළ සිද්ධස්ථාන යළි පිළිසකර කර බුදු සසුන සහ බුදු දහම නගා සිටුවන්නටත් උත්සාහ කරන ලෙස සියලු හිමිවරු ඉල්ලා සිටියහ. විජයබාහු රජුට අවශ්‍යව තිබුණේ ද එයමය.
මේ සඳහා දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව වැඩ සිටින තැනකින් තමාගේ රාජධානියට වැඩම කළ යුතු බව රජු අවධාරණය කළේය.
 “අප දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටින තැන කෙසේ හෝ අනාවරණය කරගන්නම්.”
එවිට භික්ෂූහු රජුට පොරොන්දු වූහ.
රජතුමා අලුතින් පන්සල් ගොඩනගන්නට පටන් ගත්තේය. එසේම ඒ වන විටත් විනාශ මුඛයට ගොස් තිබූ කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.
ඒ හැරුණු විට නටබුන් බවට පත්ව තිබූ බොහෝ වෙහෙර විහාර නැවත පිළිසකර කිරීමට ද කටයුතු යෙදුවේය.
පඬි රටට රහසේ වැඩමකර සිටි තෙර නමක් දඹදෙණියට  පැමිණ රජ ඉදිරිපිට පෙනී සිටියේ ඔය අතරතුරය.
රජු වහා හිමියන්ගේ දෙපා නැමද සිව් පසයෙන් සංග්‍රහ කළේය.
ඔබ වහන්සේ?
රජතුමා ගෞරව සම්ප්‍රයුක්තව විමසුවේය.
රජතුමනි, මම වසර ගණනාවක් තිස්සේ පාණ්ඩ්‍ය දේශයේ වැඩ සිටින්නේ. ඔබගේ ආරාධනය අනුවයි මේ රාජධානියට වැඩම කළේ.
 බොහෝම ස්තූතියි. මගේ ව්‍යායාමය දඹදෙණිය රාජධානියක් ලෙස ගොඩ නැංවීමෙන් අනතුරුව කාලිංග මාඝගෙන් පොලොන්නරු රාජධානිය බේරාගැනීමයි. නමුත් ඒ සඳහා මට ඇති ලොකුම ගැටලුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ මගේ රාජධානියට වැඩම කරවීමට නොහැකි වීමයි.
“රජතුමනි, කාලිංග මාඝ බිල්ලන් සමඟ පැමිණ පොලොන්නරුව විනාශ කරන විට හැටදාගෙයි දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ බාරව සිටියේ මමයි.” 
හාමුදුරුවෝ කීහ.
රජතුමා නැවත වතාවක් තෙරුන් වහන්සේගේ දෙපා නැමද එකත්පස් වූයේය.
නාහිමියනි ඉතින් දළදා වහන්සේ රැකගන්නට ඔබ වහන්සේට හැකි වුණාද?
තෙරුන් වහන්සේගේ මුවඟ රැඳුණේ ආඩම්බර සහගත හසරැල්ලකි.
 නාහිමියනි මේ වන විට දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොහිද යන්න ඔබවහන්සේ දන්නවාද?
“ඔව්.”
“කොතනකද නාහිමියනි.?”
“ඉතාම ආරක්ෂිතව කොත්මලේ ප්‍රදේශයේ රහසිගත ස්ථානයක.”
“දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව වැඩම කරවා පෙර පරිදිම පුද පූජා කිරීමට මට අවශ්‍යයි.
“එසේනම් ඒ සඳහා සුදුසු තැනක දළදා මැදුරක් ඉදිකරන්න රජතුමනි. ඉනික්බිතිව අපි ඒ මැදුරට දළදා වහන්සේ වැඩම කරවමු.”
වාචිස්සර තෙරුන්ගේ ප්‍රකාශයෙන් උදම් වූ රජු ඒ මොහෙතේම මහ ඇමැති කැඳවා දළදා මැදුර ඉදිකිරීමේ කටයුතු ඇරඹීමට නියෝග කළේය.
“දේවයන්වහන්ස, ඒ කෙබඳු තැනකද?”
මහ ඇමැති විමසුවේය.
 මේ රාජ්‍යය තවමත් තිබෙන්නේ අනතුරේ. කොයි මොහොතක හෝ සතුරු තර්ජනයක් එල්ල වීමටත් බැරි නැහැ. ඒනිසා දළදා මැදුර ඉදිකළ යුත්තේ ආරක්ෂිත ස්ථානයකයි මහ ඇමැති.
එහෙමයි.
අතීතයේදී මා වන දුර්ග සහ ගිරි දුර්ග රැසක සැඟවී සිටියා. මා යෝජනා කරන්නේ බිල්ල (බෙලිගල) පර්වතය වඩා සුදුසු බවයි.
එතැනට දෙවියන්ට මිස මිනිසුන්ට පහසුවෙන් ළඟා වන්නට බැහැ. ඒ නිසා දඹදෙණිය සතුරන් ආක්‍රමණය කළත් දළදා වහන්සේට සහ පාත්‍රා ධාතුවට හානියක් අනතුරක් වන්නට ඉඩක් නැහැ.”
බිල්ල පර්වතය තිබෙන්නේ ඒ තරම්ම දුෂ්කර තැනක. ආරක්ෂිත තැනක. 
රජු පැවසුවේය.
ලබන සතියට..........
ශාන්ත කුමාර විතාන
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, September 23, 2017

දළද‌ා හාමුදුරැවන්ගෙන් ප්‍රාතිහාර්යයක්..... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

දඹදෙණි රාජධානිය ෙසායා ගිය ගමනක් - 2
බිල්ලසේල හෙවත් බෙලිගල පර්වතය මනරම් වටපිටාවක පිහිටා තිබේ. කිලෝ මීටර් හතරක පමණ වටප්‍රමාණයකින් ගල් පව්වේ පාමුල සිට ඉහළ බැලූවිට මුදුනට අඩි දහසක පමණ දුරක් නැගිය යුතු බව පෙනෙයි.  හාත්පස තවත් කඳුශිඛර රාශියකි. මේ කඳු සහිත භූමි භාගයෙහි තිබෙන ආරක්ෂාව ගැන විජයබාහු රජ මොනවට දනියි.  තම උපදෙස් පරිදි අැමැතිවරු විසින් මෙහි ඉදිකරවනු ලබන දළද‌ා මන්දිරය පිළිබඳව රජු නිතරම සොයා බැලුවේය.  
“ඇමැති, දළද‌ා මන්දිරය ඉදිකිරීමට තෝරාගත්තේ කඳු ශිඛරයේ කුමන කොටස ද?”  
රජු, රාජ සභාවේදී විමසුවේය.  
“දේවයන් වහන්ස, වඩාත් ආරක්ෂාකාරී වන්නේ ගල් අගලෙ
න් එතෙර වූ පසු තිබෙන කොටසයි.”
ඇමැති කීවේය.  
“ඔබ නිවැරැදියි. නමුත් ඒ ගල් අගල හරහා පාලමක් ඉදිකරවිය යුතු වේවි.”  
“එසේය දේවයන් වහන්ස. ඒ සඳහා අලංකාර පාලමක්  දැවයෙන් නිම කිරීමටයි අදහස් කළේ.”  
“සුදුස්සක් කරන්න.”  
රජතුමා ඇමැතිට අවසර දුන්නේය.  
බිල්ලසේල පර්වත මුදුනෙහි තිබෙන ගල් අගල ස්වභාවික එකකි. එය අඩි දහයක පමණ පළලින් ද අඩි විස්සක තරම් ගැඹුරින් ද යුක්තය.
පර්වත මස්තකය අක්කර අටක පමණ තැනිතලාවකි. එබැවින් දළද‌ා මැඳුරකට පමණක් නොව දළද‌ා වතාවත් ඉටුකරනු පිණිස පන්සලක් ඉදිකරන්නවත් ප්‍රමාණවත්ය. දළද‌ා මැඳුර සංඝාවාසය හැරුණුවිට නාන පොකුණු මෙන්ම ද‌ානශාලා ආදිය ද ආරක්‍ෂකයන් සඳහා මුරගෙවල් ආදිය ද මේ පව්ව මත ඉදිකළ යුතුය.  
පර්වත මස්තකයෙහි ලී කණු සිටුවීම සඳහා වළවල් කැණීම ඒ වනවිටත් අවසන්ව තිබිණි. ඉතිරිව තිබුණේ තුන් මහල් ප්‍රාසාදය ඉදිකිරීමේ අවශේෂ කටයුතු පමණි. ඒ සඳහා අවශ්‍ය ගඩොල්, දැව ආදිය ඕනෑ තරම් මේ පර්වතය අවට තිබිණි.  
නොතෙමී පවතින්නේ නම් සියවසකටත් වඩා වැඩිකාලයක් සුරැකී පවතින්නට මේ දැව කඳන්වලට ශක්තිය තිබේ. කොස්, බුරුත, නැදුන් වැනි දේශීය ශාකවලින් අවශ්‍ය දැව කණු ද පරාල සහ ලෑලි ද සපයා ගැනිණි.  
කණුවලින් සැදුම්ලත් ප්‍රාසාද සැකිල්ල ගඩොල් බිත්තිවලින් ආවරණය කෙරිණි.  
වහලය අලංකාර උළුවලින් සෙවිලි කරන ලද්දේය. තෙමහල් ප්‍රාසාදයක් බැවින් මෙහි උස අඩි හතලිහකට ආසන්නය. එහෙත් දුර සිට බලන ඔත්තු කරුවකුට නම් මේ අනගි ප්‍රාසාදයක් බව දක්නට හැකි නොවේ. පර්වතය අවට වූ විසල් වනස්පතීන් විසින් මේ මනරම් මන්දිරය අවට ලෝකයෙන් සඟවා ගනු ලැබූ බැවිනි.  
දළද‌ා මැඳුර තනා නිම කිරීමෙන් අනතුරුව ඊට ආසන්නයෙන් සංඝාවාසයක් ද ඉදිකෙරුණි. එම සංඝාවාසය වාචිස්සර නාහිමියන්ටම බාරකෙරුණේ උන්වහන්සේ දළද‌ා හාමුදුරුවන් බාරව අවශ්‍ය වතාවත් පුද පූජා මොනවට කරගෙන ආ බැවිණි.  
පර්වත පාමුල සිට පර්වත මස්තකය දක්වා පඩිපෙළක් කනිණු ලැබිණි. ඒ දළද‌ා වහන්සේ වැඳ නමස්කාර කරගැනීමට පැමිණෙන රජ ඇතුළු රාජකීයන්ටත්, අත්‍යාවශ්‍ය බැතිමතුන්ටත් පර්වත මස්තකයට පහසුවෙන් පිවිසෙනු පිණිසය.
අතරමග මුරකුටියක් ද නිර්මාණය කෙරිණි. පර්වත මුදුනට පිවිසෙන සියල්ලන් මේ මුරකුටියේදී මොනවට පරීක්ෂා කෙරුණි. කිසිවකුටත් ආයුධ අතැතිව, හිස් වැසුම් හෝ පාවහන් සහිතව මින් ඔබ්බට යන්නට වරම් නොවිණි. රැගෙන යා හැක්කේ මල් පහන් සුවඳ දුම් පමණකි.  
“තෙරුන්වහන්ස, දළද‌ා මන්දිරය සහ සංඝාවාසයේ ඉදිකිරීම් සියල්ලම අවසන්.”  
රජතුමා වාචිස්සර තෙරුන්ගේ දෙපා නැමද පැවැසුවේය.  
“මා හිතන්නේ දැන් දළද‌ා වහන්සේ බිල්ලසේල පර්වතය කරා වැඩමවීමට සුදුසු කාලය එළඹ ඇති බවයි.”  
“එහෙමයි රජතුමනි. දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කළ යුත්තේ මනරම් පෙරහරකින්. ඒ සඳහා කටයුතු සූද‌ානම් කරන්න.”  
“එහෙමයි තෙරුන්වහන්ස. මේ දළද‌ා මැඳුර ඉදිකිරීමේ කටයුතු බාරව සිටි අැමැතිටම එම කටයුත්තත් පවරන්නම්.”
“රජතුමනි, එසේ නම් එළඹෙන පසළොස්වක පෝද‌ා අපි දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කරවමු. ඊට දෙදිනකට කලින් ඔබ තුමා ප්‍රමුඛ රාජකීය පිරිවර කොත්මලා රටට සැපත්වීම මැනවි.”  
“කොත්මලා රටේ කුමන ප්‍රදේශයකට ද තෙරුණුවනි?”
රජතුමනි, මා පිටත් වන්නේත් ඔබතුමා සමඟමයි. එම නිසා මඟ වැරදීමක් සිදුවන්නේ නෑ.”  
වාචිස්සර තෙරුණ් තවදුරටත් දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ සඟවා තිබෙන තැන රහසක් සේ රැකගත්හ.  
නිසි දවස එළැඹිණි. රජු, අග බිසව, ඇමැතිවරු, යුවරජ ප්‍රමුඛ රාජකීය පිරිස, වාචිස්සර තෙරුණ් පෙරටුකරගෙන කොත්මලා රටට ගමන් කරන්නට වූහ.  
රජ පිරිවර පළමු රාත්‍රිය නතරවූයේ දිඹුලකන්දේය. රජතුමා අගබිසව යුවරජ මෙන්ම ඇමැතිවරු ද වාචිස්සර නාහිමියෝ ප්‍රමුඛ භික්ෂූහු ද ගමන් කළෝ ගමන් මාළිගවලය. එහෙත් කඳු ශිඛර බෑවුම් සහිත දුර්ග ඔස්සේ යන මේ ගමන වෙහෙසකරය. එනිසාම දිඹුලකන්දේ ගතකළ පළමු රාත්‍රියේ මහළු රජු මෙන්ම වාචිස්සර තෙරුණ් ද සිටියේ හොඳටම විඩාපත්වය.   
තෙරුණ් වහන්සේට පැන් පහසුව ලබා දී ගිලන් පස පිළිගැන්වීමෙන් අනතුරුව, රජතුමා උන්වහන්සේ වෙත ගියේය.  
“තෙරුණ් වහන්ස, ඔබ වහන්සේට වෙහෙස ද?”  
වාචිස්සර තෙරහු සිනා නැගූහ.   
“දැන් මා වියපත් නිසා වෙහෙසයි. නමුත් රජතුමා ඒ වෙහෙසට වඩා මට දැනෙන සතුට ඉමහත්. වසර විසිපහකට පෙර භූමිගත කරන ලද දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ යළිත් ගොඩට වැඩමවා ඊට පුද සත්කාර කරන්නට ලැබීම මට නිරාමිස සුවයක්.”
“තෙරුන් වහන්ස, මට යමක් විමසන්නට අවසර ද?”  
“විමසන්න රජතුමනි.”   
“ඔබ වහන්සේ මේ ධාතූන් භූමිගත කළ ස්ථානය ඔබට සොයාගත හැකි වේද?”
“එහෙමයි රජතුමනි. ඔබ තුමා ඒ ගැන බිය විය යුතු නැහැ.”  
“නමුත් මා නම් සිටින්නේ බියෙන්. මේ වනවිට ඒ ධාතූන් වහන්සේලා භූමිගත කළ තැන වනය වැවී තිබෙන්නටත් පුළුවන්.”  
වාචිස්සර තෙරණුවෝ එවරත් සිනා නැගූහ.   
“රජතුමනි, මට සැතපෙන්නට අවසර දෙන්න.”  
ඒ රාත්‍රිය සීතල එකක් විය. කඳු මුදුනක් බැවින් අවට තිබුණේ ද තද සුළංය.  
රාජකීය පිරිස කොත්මලයට ළඟාවූයේ තවත් දෙදවසකට පසුවය. ගිරිදුර්ග වනදුර්ග මැදින් ගිය ගමන කෙළවර වූයේ එක්තරා කඳුමුදුනකිනි.  
“ගමන් මාළිගා බිම තබන්න. මේ අපේ ගමනාන්තයයි.”  
තෙරණුවෝ කීහ.  
රජතුමා වහා පැමිණ තෙරණුවන්ගේ දෙපාමුල දණ ගැසූහ.  
“අවසර තෙරුණ් වහන්ස, මේ අපේ ගමනාන්තය ද?”  
“එහෙමයි රජතුමනි, පාත්‍රා ධාතුව සහ දළද‌ා වහන්සේ භූමිගත කළ ස්ථානය මෙතැනයි.”   
රජතුමා නිහඬව වාචිස්සර තෙරුණ් දෙස බලාසිටියේය.  
වසර විසි එකකට පෙර රහසේ පැමිණ ධාතූන් වහන්සේලා භූමිගත කළ ස්ථා නය කෙසේ නම් සොයාගන්නදැයි රජු කල්පනා කළේය.  
අගබිසව යුවරජු මෙන්ම ඇමැතිවරු ද සිටියේ වික්ෂිප්තවය.  
වාචිස්සර තෙරුණ්වහන්සේ දෑත එක්කර බුදුන් වන්දනා කළහ. ඉනික්බිති එරමිනිය ගොතා දෑස පියාගත්හ. මිනිත්තු කිහිපයක් සත්‍ය ක්‍රියා කළ උන්වහන්සේ දෑස ඇර නැගී සිටියහ. පියවර කිහිපයක් ඉදිරියට ගමන්කර විශාල සපුගසක් අබියස නතර වූහ.  
 “මෙතන හාරන්න.” 
තෙරණුවෝ පැවැසූහ.  
රාජ පුරුෂයකු එහි ළඟා වූයේ ගල් ඉන්නක් ද රැගෙනය.  
“මෙතන දණගසා පළමුව පොළවට වඳින්න.”
තෙරණුවෝ අණ කළහ. තෙරණුවන්ගේ අණ පරිදි පොළවට වන්දනා කළ ඔහු යළිත් ගල් ඉන්න අතට ගත්තේය.  
“ඔතන හෑරිය යුත්තේ ඔබේ අතින්.”  
රාජ පුරුෂයා මිනිත්තු ගණනාවක් තිස්සේ පරිස්සමට පොළව හාරන්නට විය.  
අවසානයේ විශාල මැටි බඳුනක ඉහළ කොටස මතුවිය.  
තෙරණුවෝ සතුටු සිනා නැගූහ.  
“දැන් ඉතාම ප්‍රවේසමෙන් ඔය මැටි බඳුන ඉවතට ගන්න.”  
ඒ සඳහා තවත් හෝරාවක් පමණ පොළොව කනින්නට සිදුවිය.  
අවසානයේ මතුකරගත් මැටි බඳුන අභියස දණ ගැසූ තෙරණුවෝ ඊට වන්දනාමාන කළහ. රජතුමා, යුවරජ, අගබිසව, මෙන්ම අැමැතිවරු ද මේ මැටි බඳුනට වන්දනා කළෝය.  
“රජතුමනි, ඔබේ සුරතින් මේ මැටි බඳුන විවෘත කරන්න.”  
තෙරණුවෝ කීහ.  
රජු මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව විසල් මැටි බඳුනේ පියන විවෘත කළේය.  
ඒ තුළ ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා තවත් බඳුනකි. එය කිසියම් ලෝහයකින් තනා නිමකළ එකකි. එම බඳුන ඉවතට ගෙන විවර කළ විට තවත් බඳුනක් හමුවිය. එය රන්වන් කරඬුවකි.   
“රජතුමනි, ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ ඔය කරඬුව තුළය.”  
තෙරණුවෝ මේ කරඬුව දෝතට ගත්හ.  
“රජතුමනි, මා දන්නවා ඔබ තුමාගේ සිතෙහි සැකයක් පවතින බව මේ සැබෑම දළද‌ා හාමුදුරුවන් ද කියා.”  
තෙරණුවෝ රජු දෙස බලා විමසූහ. රජුත් කිසිත් නොකීවේය.  
“ඔබ තුමාගේ හිත පවතින සැකය තව මොහොතකින් ඉවත් වේවි.”   
තෙරණුවෝ දෑස පියාගෙන මොහොතක් සත්‍යක්‍රියා කළහ.
කරඬුවේ සිට රශ්මි කදම්භයක් අහසට විහිදිණි. එය සපු ගසේ මුදුන දක්වා විහිදී අනතුරුව අවකාශයේ බුදු රුවක් නිර්මාණය විය.
තෙරණුවෝ සේම රජු ද රාජකීය පිරිවර ද දෝත් එක්කර සාදුකාර දුන්හ.
රජුට මෙය විමතියකි. තවදුරටත් සැක කරන්නට කිසිත් නැත. මේ ප්‍රාතිහාර්යය පාන්නේ දළද‌ා හාමුදුරුවෝය.  
“රජතුමනි, ගෙනා මල්වලින් මේ සපුගහ පාමුල සෑයක් හදන්න.”   
තෙරණුවෝ අණ කළහ.  
රාජකීය පිරිවර එක්ව මල්සෑයක් සාද‌ා දළද‌ා හාමුදුරුවන්ට වන්දනා මාන කළහ.  
සාදු නාදය කොත්මලේ කඳු යාය පුරා දෝංකාර දුන්නේය.  
ඉනික්බිති ආරම්භ වූ​ෙය් දළද‌ා හාමුදුරුවන් සහ පාත්‍රා ධාතූන් වහන්සේ බිල්ලසේල හෙවත් බෙලිගල පර්වත මස්තකයේ පිහිටි දළද‌ා මැඳුරට වැඩම කරවන පෙරහරය. සාදු නාදයෙන් රැව් පිළිරැව් දෙමින් පිටත් වූ මේ පෙරහරට රටවැසි බෞද්ධ​ෙයා් මල්වැසි වස්සවන්නට පටන්ගත්හ.  
අතීත රජදරුවන් විසින් ගව්වෙන් ගව්ව තනවන ලද විහාරාරාමවල දළද‌ා වහන්සේ පුදන්නට පිංකම් සංවිධානය කර තිබිණි. මේ පිංකම්වල අපූරුව දැක බලාගන්නට රොක්ව සිටි බැතිමතුන් පළමු වතාවට දළද‌ා හාමුදුරුවෝ ද පාත්‍රා ධාතූන් වහන්සේ ද දැක බලාගෙන වැඳ පුද‌ාගෙන සාදුකාර දුන්හ.  
නියම්ගම් දොරින් ආරම්භ වී පුරා සතියක් පමණ තිස්සේ ගමන් කළ දළද‌ා පෙරහර බිල්ලසේල පර්වතය මත පිහිටි දළද‌‌ා මැඳුර වෙත වැඩම කෙරුණේ උත්සවශ්‍රීයෙනි. පුරා සතියක් තිස්සේ මහා පිංකම් පවත්වන්නට රාජකීය නියෝගයක් පැනවී තිබිණි.  
මෙතැන් පටන් දළද‌ා හාමුදුරුවන්ට බුදු හාමුදුරුවන්ට මෙන් උවටැන් කළ යුතු බවට ද රජු නියෝග ක​ළේය.  
ඒ අනුව උදය දහවල සහ සන්ධ්‍යාව යන තුන් කල්හිම දළද‌ා පූජාවක් පැවැත්විය යුතු විය. ඒ සඳහා අවශ්‍ය සියලු විය හියදම් රාජකීය භාණ්ඩාගාරයෙන් මුද‌ාහැරිණි.  
පුරා සතියක් තිස්සේ පැවැත්වූ පිංකම් අවසන රැස්ව සිටි රටවැසියන් අමතා විජයබාහු රජු මෙසේ පවසා සිටියේය.  
“මාඝ නැමති කුරිරු ආක්‍රමණිකයාගෙන් පොළොන්නරු රජධානිය බේරාගැනීමේ සටන මා ආරම්භ කරනවා. ඒ සඳහා මේ උතුම් දළද‌ා හාමුදුරුවන්ගේ ආශිර්වාදය අපට හිමිවෙනු ඇති. රට වැසියනි, මාගේ සේනා සමඟ සම්බන්ධ වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”  
ලබන සතියට...  
ශාන්ත කුමාර විතාන
ඡායාරෑප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

චීනයෙන් යෝධයන්ගේ ඇටකටු මතුවෙලා......(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

2016 වසරේදී, චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් එරට ෂැංග්ඩොන් පළාතේ නටබුන් වී ගිය ඉපැරැණි ගම්මානයක කැණීම් සිදු කළහ. ගම්මානයේ සොහොන් ගැබ් තුළ තිබී හමුවුණු සිරුරු දැකීමෙන්, විද්‍යාඥයෝ මවිතයෙන් මවිතයට පත් වූහ. ඒ, එම සිරුරු අසාමාන්‍ය ලෙස උසින් වැඩි වීම නිසාය. විද්‍යාඥයන්ට හමුවී තිබුණේ යෝධයන්ගේ සිරුරුය. චීනයේ කහ ගංගාව ගලා බසින්නේ මෙම ෂැංග්ඩොන් පළාත හරහාය. නව ශිලා යුගයට අයත් යැයි සැලකෙන ශිෂ්ටාචාර රැසක් ගංගාව ආශ්‍රිතව අතීතයේ බිහිවිය. පුරා විද්‍යාඥයන් කැණීම් කළේ ද එවැනි මානව ශිෂ්ටාචාරයක යටගියාවේ සුලමුල සොයමිනි.
චීන පුරාවිද්‍යාඥයන්ට ජියෝජියෝ නමැති ඉපැරැණි ගම්මානයෙන් හමුවුණු ශේෂ වුණු යෝධ ඇටසැකිළි ජානමය විකෘතිතාවට ලක් වූවන්ගේ නොවන බවත්, අතීතයේ ජීවත් වුණු මෙම අසාමාන්‍ය මිනිසුන් සැබැවින්ම උසින් මෙන්ම සවි ශක්තියෙන් ද වැඩි පිරිසක් වූ බවත් පසුගිය දා කළ නවතම පරීක්ෂණයකින් අනාවරණය විය. අතීතයේ වාසය කළ මෙම ‘යෝධයින්’ගේ උස අඩි 7 ට වැඩිය. මෙම යෝධ මිනිසුන් වර්ගය ජීවත් වන්න ඇත්තේ මීට වසර 5,000 කට පෙර යැයි අස්ථි පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන් විසින් තහවුරු කර ගනු ලැබ තිබේ. චීන පුරාවිද්‍යාඥයන් කැණීම් සිදු කරන ඉපැරැණි ගම්මානයේ නටබුන් වී ගිය නිවාස 104 ක් ඇත. ඊට අමතරව සොහොන් 205 ක් සහ බිලි පූජා පැවැත්වීමට යොදා ගත් වළවල් 20 ක් ද සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති.
 
‘කහ ගංගාව අශ්‍රිතව නව ශිලා යුගයට අයත් මෙම යෝධයින්ගේ ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ බව අපට තහවුරු වී තිබෙනවා. මෙම යෝධ මිනිසුන් ගොවිපොල සතුන් ඇති කළා. ඒ අතර ඌරන් බොහෝ සිටියා. තිරිඟු වගා කළා. ඒ බවට සාක්ෂි අපට හමුවෙලා තිබෙනවා’ යැයි පුරාවිද්‍යා කණ්ඩායම මෙහෙයවන චීනයේ ෂැංග්ඩොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්්‍ය ෆෙන්ග් හුවී කියයි. මෙම පුරාණ මිනිසුන් මේ අයුරින් ශක්ති සම්පන්න යෝධයන් බවට පත්වී ඇත්තේ ඔවුන් ආහාරපානාදියෙන් ඔවුන්ට හොඳ පෝෂණයක් ලැබුණු නිසා යැයි ද මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කර සිටී.

අදත් ෂැංග්ඩොන් පළාතේ වාසය කරන චීන වැසියන් අනෙක් පළාත්වල වැසියන්ට වඩා උසින් වැඩි යැයි ද පැවැසෙයි. 2015 වසරේ චීන රජය කළ නිල සංගණනයකට අනුව මේ බව තහවුරු වී ඇත. 18 හැවිරිදි වියෙහි පසුවන තරුණයන්ගේ උස අඩි 5.75 කි. පුරාණයේ වාසය කළ යෝධ මිනිසුන් කුඹල් කර්මාන්තයට විශේෂ දක්ෂතාවක් දැක්වූ බව ද පුරාවිද්‍යා සාක්ෂිවලින් පැහැදිලි වී ඇතැයි මහාචාර්ය ෆෙන්ග් හුවී වැඩිදුරටත් පැහැදිලි කර සිටී. මේ අතර ෂැංග්ඩොන් පළාතේ සංස්කෘතික උරුම සුරැකීමේ කාර්යාංශයේ නියෝජ්‍ය ප්‍රධානී ෂෝ සියාබෝ පවසන්නේ ‘යෝධයින්’ ගැනත් ඔවුන්ගේ පුරාණ ගම්මානය ගැනත් වැඩිදුර පරීක්ෂණ දිගටම සිදු කරන බවය. ඉදිරියේ දී මෙම ‘යෝධයන්’ ගැන තව තවත් කරුණු කාරණා අනාවරණය වනු ඇතැයි ද ෂෝ සියාබෝ වැඩි දුරටත් කියා සිටී. 
ලුසිත ජයමාන්න  
ඩේලිමේල් ඇසුරිනි  


උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya   

Friday, September 22, 2017

කිතුල්ගස නැමූ අමනුස්සයා....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

පනම්පිටිය වෙදමහතාගේ අවසන් කටයුතු රඹුක්කනදී සිදු කර සියලු දෙනා පැමිණ සිටිති. හිරිවඩුන්න, පිටියේගම සුන්දර ගම් පියසක පිහිටි වෙදමහතාගේ වර්තමාන නිවස සුදෝ සුදු ඇඳුමෙන් හැඩවුණ චාම් ගැමි ජනතාවගේ මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් පිරී පැවතිණි. තේ පැන් සංග්‍රහයෙන් පසුව තුනී වී ගිය ජනයා අතරින් අසල්වාසී කීප පොලක් හා ඥාතීන් විතරක් ඉතුරු විණි.
කලබැගෑනිය දුරු වී මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබුණා. බුලත් විට සප්පායම් වෙමින් කීප පොලක් වෙද මහතාගේත් වෙද මහතාගේ පරම්පරා ඉතිහාසය ගැන කථා කරමින් සිටිති.  අවුරුදු 86ක් ආයු වළඳා මියගිය වෙද මහතා සර්වාංග මෙන්ම කැඩුම් බිඳුම් (විශේෂ) ආයුර්වේදී උපාධිය හැදෑරුවෙකි. නුවර වෙද මහතා නමින් හඳුන්වන පනම්පිටිය වෙදමහතාගේ පරම්පරාවේ ඈතට දිව යන අත්තා මුත්තා පවා පාරම්පරික සිංහල වෙද්දුය.
ජ්‍යොතිෂය, වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය එකට කැටිකර ගත් එම පනම්පිටිය පරම්පරාව මහනුවර කටුගස්තොට ආසන්න ජම්බුගහපිටිය කේන්ද්‍ර කර ගත්තෝ වෙති.
මන්ත්‍ර ශාස්ත්‍රය පරම්පරාවෙන් උරුම වූවත් පනම්පිටිය වෙද මහතා එයින් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැත. භාවිත කළේම නැත. ඔහු කළේ සිංහල වෙදකම හැදෑරීම පමණයි.
නමුත් පනම්පිටිය වෙද මහතාගේ ආතා ජ්‍යොතිෂය, වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය ඒ තුනේම කෙළ පැමිණියකු විය. වෙදකමින් මෙන්ම කෙළ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ද දැක් වූ දස්කම් පරම්පරාවේ මෙන්ම අවට ගම්වාසී ජනයා අතර පවා මතකයේ ඇත.
1920 වර්ෂවල ලංකාවේ සියලු පළාත් එවකට මෙකල මෙන් ජනාකීර්ණ නොවී තිබිණ. ප්‍රවාහන පහසුකම් අතින් ද පැවතියේ නොදියුණු තත්ත්වයකය. ප්‍රවාහන පහසුකම් වෙනුවට වැඩිපුර භාවිත කළේ බර කරත්තය. කාර් රථයක් පාරෙන් ගියත් ඒ උඩරට තේ වතු හිමියකුගේ වාහනයකි. පොදු වාහනය වූයේ බර කරත්තය.
සමයං කටයුතුවලට දුර බැහැර යන ආතා ආපසු එන්නේ සති ගණනකට පසුවය. ආතා නිවසින් බැහැරව යන්නේ නම්, එහි ගොස් ආපසු එනතුරු වත්ත හතර මායිම ආරක්‍ෂා කිරීම සඳහා එක්තරා අමනුෂ්‍යයකුට පවරා ගිය බව කියයි.
කවුරුන් හෝ හොරෙන් පොල් කැඩීමට ගසකට නගින විට  ඊට එහායින් තවත් අයකු පොල් ගසට නගිනු පෙනේ. තවත් කවුරු හෝ හොරෙන් පුවක් කැඩීමට ගසකට නගින විට ඊට එහායින් ගසක තවත් කවුරුන් හෝ නගිනු පෙනේ. එවිට හොරා ගසෙන් බැස පලා යයි. එසේ නොවුණ විට එම හොරාගේ පිටට කවුරුන් හෝ තඩිබායි. එවිට හොරා ගස මුල ඇදගෙන වැටේ.
පනම්පිටිය ආතා සැන්දෑවට කිතුල් රා වඩියකින් සප්පායම් වීමට කැමතිය. එමනිසා වත්ත උඩහ අලුත පීදුණ කිතුල් මල කැපීම සඳහා අහල පහල දන්න අයකුට භාර දී තිබිණ. ගිවිසුම වූයේ එක දවසක් පෙරන කිතුල් රා පනම්පිටිය මැණිකේට දීමය. අනික් දවස රා මදින්නාට අයිතිය. 
පනම්පිටිය අත්තාට ලැබුණ කිතුල් රාවලින් මැණිකේ කිතුල් පැණි සහ කිතුල් හකුරු හැදුවාය. පනම්පිටිය අත්තා සමයංවලට යන විට අර අමුනුෂ්‍යයාට මුළු වත්තම භාරකර යයි. කිතුල මදින්නා උඩහා කිතුලට යන විට “මැණිකේ මම කිතුලට යනවා” කියා නිවස අසලින් කියාගෙන යා යුතුය. අත්තම්මා එය ඇසී “හා..... පලයං” කියයි. 
දිනක් කිතුල මදින්නා එය කැපීම සඳහා නිවස අසලින් යන විට මැණිකේට මතක් කර යාමට නොහැකි විය.
ඔහු උඩහට ගොස් කිතුල දිගේ නැග කිතුල කැපීමට පටන් ගත්තා පමණි. කවුදෝ ඔහුට කිතුල කැපීමට ඉඩ නොදෙයි. වරෙක උඩ සිට කිතුල් ගහ පහළට නමයි. නැවත කෙළින් කරයි. නැවත කිතුල් ගහ පහළට නමයි. නැවත කෙළින් කරයි. ඔහුට කෙසේවත් කිතුල කැපීමට ඉඩ නොදෙයි. ඔහු කිතුල බදාගෙන හයියෙන් කෑ මොර දෙයි.
“මැණිකේ...... මට කිතුල කපන්න දෙන්නෑ. කවුදෝ.... ගහ අදිනවා....” ඔහුගේ හඬ මුළු යාය පුරා දෝංකාරය දෙයි. මැණිකේ පහළ සිට කෑ ගසයි “හා.... හා.... කිතුල කපපං” 
එවිට කිතුල් ගස ඇදීම නවතී. කිතුල මදින්නා කිතුල මැද මැණිකේ බැහැදකී. “නිලමේ කියල තියෙනවනේ මගෙන් අවසර ගන්නැතුව මේ හතර මායිමේ මුකුත් කරන්න එපා කියල.”
“නෑ මැණිකේ මට අමතක වුණා. මම කියාගෙන යන්න තමා සිටියේ....” රා මදින්නා කියාගෙන යයි.
ඒ අමනුෂ්‍යයා ආතා පවරපු රාජකාරිය හරියට කර ඇත.
තවත් දිනක ගමේ අසල්වැසියෙක් පැමිණෙයි. තමාගේ එළ වැස්සී වත්ත හරහා රැගෙන යන විට කොස් මුලකට වැස්සීගේ කකුලක් හිරවී උළුක්කු වී ඇති බව පවසයි.
ආතා බෙහෙත් පොට්ටනිය සාදා එය හරකාගේ බෙල්ලෙ එල්ලන්න කියයි. ගම්වැසියා මඳක් පසුබායි.
“නෑ.... නෑ.... වෙදමහත්තයෝ වැස්සිගෙ බෙල්ලෙ නොවෙයි කකුලයි උළුක්කු වෙලා තියෙන්නෙ” 
“හරි.... හරි බොල මට තේරුණා. මේක කථා නොකර වැස්සිගෙ බෙල්ලෙ එල්ලපිය.”
ගම්වැසියා කථා නොකර පිටත්ව යයි.
පොට්ටනිය වැස්සිගෙ බෙල්ලෙ එල්ලයි.
ඊට පසු දින වැස්සිගෙ කකුලේ කොරය සනීප වී ඇත. වැස්සී හොඳින් ඇවිදියි. ගම්වැසියාට සංතෝෂය. බෙල්ලේ එල්ලපු බෙහෙත් පොට්ටනිය දවස් කීපයකට පසු කොහේ හෝ වැටී යයි. එය සොයා ගැනීමට නොහැක. 
වෙදකම මිස යන්ත්‍ර ශාස්ත්‍රයට පරම්පරාවේ කවුරුත් උනන්දුවක් නොදැක්වූ නිසා ආතා ජීවිතේ අවසාන භාගයේ දරුණු ගණයේ මන්ත්‍ර අඩංගු පුස්කොළ පොත් ගිනිබත් කරන්න යෙදිණ. මහ ඉරුදාපනය, අමනුෂ්‍යයින්ගෙන් වැඩ ගැනීම, බැඳ ගැනීම, පිල්ලි ඇරීම ආදී නොයෙකුත් දරුණු වැඩ සඳහන් වූ පුස්කොළ පොත් ඒ අතර තිබිණි. එය අනාගතයේදී නොහික්මුණ අය අතට එම ශාස්ත්‍රය පත්වීම නිසා අවැඩක් විනාශයක් සිදුවන බව කියාය. ඉතුරු කළේ වෙදපොත් සහ සාමාන්‍ය මන්ත්‍ර පොත් පත් පමණි.
පනම්පිටිය ආතාගේ ජීවිතේ අවසාන භාගය ඉතා ඛේදජනක විය. එය තීන්දු ගමනක් විය. වර්තමානයේ කටුගස්තොට පොලිසිය පිහිටා ඇති තැනට තරමක් ඈතින් පිහිටි රොඩී ගමක සමයමකට ආතා ගොස් තිබිණ. සියලු වැඩ කරගෙන යන අතරතුර මිනී වළක දපා විනයක් කැපීමට පටන් ගත්තේය.
විනය කපාගෙන යන අතරතුර “කුකුළා දියව්” ආතා කෑගැසීය. ඔවුන් කුකුළා ගෙනත් නැත. සියලු දෙනා බියපත්ව සිටී. නිශ්ශබ්ද රාත්‍රියේ දැඩි සුළඟක් කනත්ත පුරා හමා ගියා.
මිනී වළ තුළින් ආතාගේ හඬ නැවත නැවත දෝංකාර දුන්නා.
“කුකුළා ගෙනත් නෑ හාංදුරුවනේ”. අයෙක් බියෙන් පැවසුවා. “මොනව බොල කුකුළා ගෙනත් නැහැ....”
“එහෙනම් තොපේ වැඬේ හරි. මං ඉවරයි මාව ගෙදර අරන් පලයන්....”
නැවතත් මහා හඬක් නගමින් කනත්ත පුරා දැඩි සුළඟක් හමා ගියේය. 
පිරිස ආතා මැස්සක හිඳුවා ගඟ අසලට පැමිණියෝය. ගඟෙන් එහා ආතාගේ වත්තය. ගඟෙන් එගොඩට ගෙනයාමට පෙර ආතාගේ අවසන් හුස්ම වාතලයට මුසුවිය.
ඒ සමගම ආතාගේ බෙහෙත් කාමරයේ තිබූ බෝතල් මහ හඬින් පුපුරා ගියේය. බෝතල් පුපුරණ ශබ්දයට මැණිකේ බෙහෙත් කාමරය අසලට පැමිණියාය. මොකද්දෝ මහා නරක දෙයක් සිදු වී ඇති බව මැණිකෙට වැටහිණි. 
පියල් ජයරත්න
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, September 16, 2017

අවුරුදු හාරදහසකට කලින් මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරයම වැනසී ගියේ න්‍යෂ්ටික ප්‍රහාරයකින්....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි සොයා ගැනුණේ විසිවැනි සියවසේදී බවට බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඒවා බොහෝ ඈත අතීත කාලයක නිර්මාණය වූ බවට විශ්වාස කරන පිරිසක් ද සිටිති. ඔවුහු එය සනාථ කිරීම සඳහා ඇතැම් සාධක ද ඉදිරිපත් කරති. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැවැති පුරාණ නගර අනාවරණ කර ගැනුණේ 1920දී පමණ වර්තමාන පාකිස්තානය ලෙසින් සැලකෙන භූමි ප්‍රදේශයෙනි. ඉන්දු නිම්නයේ පැවැති මහා නගර පිළිබඳව පුරාණ ලේඛන හා පාඨ ග්‍රන්ථයන්හි සඳහන්ව තිබූ ඇතැම් කරුණු මෙම අනාවරණ මගින් තහවුරු වී තිබේ. ඉන්දු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ද අභිරහස් ලෙස වැනසී ගියේය.
මෙම ශිෂ්ටාචාරවලට අයත් නගර මනාව සැලසුම් කර තිබූ අතර නූතන පහසුකම්වලින් සපිරුණු බැව් පැවැසේ. එහි නිවෙස්වල ගඩොල්වලින් ඉදිකෙරුණු නාන තටාක සහ වැසිකිළි දැකිය හැකි වූ අතර පල්දොරු ක්‍රම සහ ජලාපවහන ක්‍රම ද නවීනත්වයට නෑකම් කියන බැව් පුරාවිද්‍යාඥයෝ පවසති. එකල ඉතා දියුණු පොදු පානීය ජල පද්ධතියක් ද පැවැති බැව් පැවැසේ.
මොහෙන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ අනාවරණයෙන් හෙළිදරව් වූ වැදගත්ම සාධකයක් වූයේ එක්තරා වීදියක විසිරී තිබූ 44ක් වූ මිනිස් ඇටසැකිලි සමූහයයි. ඒවා නිරීක්ෂණය කිරීමේදී හෙළිවූයේ ඔවුන් සියලු දෙනා කිසියම් සාහසික හා වේදනා සහගත ඉරණමකට ගොදුරුව එක්වරම මරණයට පත්ව ඇති බවකි.
බි්‍රතාන්‍ය පර්යේෂකයකු හා ලේඛකයකු වන ඬේවිඞ් ඩෙවන්පෝට් දසක දෙකකට අධික කාලයක් මොහෙන්ජොදාරෝවෙන් හමු වූ මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත විය. ඒ ඇසුරින් ඔහු ග්‍රන්ථයක් ද රචනා කර තිබූ අතර එය නම් කර තිබුණේ “ක්‍රි. පූර්ව 2000 සිදුවූ න්‍යෂ්ටික විනාශය” නමිනි. ඔහු එම කෘතිය තුළින් අපූරු මතයක් ඉදිරිපත් කර තිබිණි. එම විනාශය සිදු වී ඇත්තේ න්‍යෂ්ටික පිපිරීමකට සමාන සිදුවීමකින් බවට ඔහු මතයක් ගොඩනඟයි.
මහාභාරතයේ සඳහන් පාඨ ඇසුරින් තම මතය තහවුරු කිරීමට උත්සාහ කරන ඔහු, මෙම නගර මහා භාරතයේ ද්‍රෝන පාර්ව කොටසේ සඳහන් වන පරිදි ‘අග්නේය’ නම් අවියකින් සිදුවන්නට ඇතැයි විශ්වාසය පළ කරයි. ඒ සඳහා ඔහු පහත සඳහන් පාඨ ඉදිරිපත් කරයි.
“සූර්යයා මෙන් දහස් ගුණයකටත් වඩා දීප්තිමත් දුමාරයක් අනන්තය තෙක් විහිද ගිය අතර නගරය දුහුවිලි ගොඩක් බවට පත්ව තිබිණි. ජලය පැසෙන්නට වූ අතර අශ්වයන් හා යුද රථ දහස් ගණනක් දැවෙන්නට විය. මියගිය සිරුරු අධික උෂ්ණත්වය හේතුවෙන් කැබලිවලට කැඩී ගොස් තිබූ අතර ඒවා මිනිස් සිරුරු බවට හඳුනා ගැනීමට ද නොහැකි විය.” (මහාභාරත කෘතිය)
මෙම විනාශය සිදු කර ඇත්තේ කිසියම් ඝන ද්‍රව්‍යයක් යොදා ගනිමින් බැව් පෙන්වා දෙන ඩෙවන්පෝට් එම ද්‍රව්‍ය සෙල්සියස් අංශක 1500කට අධික උෂ්ණත්වයක පැවැති බවටත් ඒවා ක්ෂණයකින් සිසිල් වීමකට ලක් වී ඇති බවටත් නිගමනය කරයි. ස්ඵටිකකරණය හා උෂ්ණත්වය අනුව පිපිරුමේ අපකේන්ද්‍රය පිළිබඳව සාධක සොයාගත හැකි බැව් පෙන්වා දෙන ඔහු ඒ අනුව මෙය න්‍යෂ්ටික පිපිරුමකින් සිදු වූ බවට නිගමනය කරයි. ඩෙවන්පෝට්ට අනුව පර්යේෂණයට බඳුන් කළ ඇටසැකිල්ලක අධික විකිරණශීලීත්වයක් පැවැති අතර එය දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ නාගසාකි නගරයට හෙළන ලද පරමාණු බෝම්බයට සමාන බැව් ඔහු පවසයි. මොහෙන්ජොදාරෝ විනාශය ස්වාභාවික සිදුවීමකින් නොවන්නේ යැයි ඩෙවන්පෝට්ගේ මතයට සහාය පළකරන ඉතාලියානු අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන මහාචාර්ය අන්තෝනියෝ කැස්ටලානි ද සඳහන් කර තිබේ.
පුරාණ ග්‍රන්ථවලට අනුව කරන ලද හැදෑරීම් මත මොහෙන්ජොදාරෝ ආර්යයන් හා මොන්ගෝලියානුවන් අතර පැවැති යුද්ධයකින් විනාශ වන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පිටසක්වළ ජීවීන් ඛනිජ සහ වෙනත් ස්වාභාවික සම්පත් කැනීමට යොදාගත් ප්‍රදේශ ආර්යයන් විසින් පාලනය කර තිබිණි. මොහෙන්ජොදාරෝ මොන්ගෝලියානුවන්ට අයත් නගරයක් වූ අතර ආර්යයන්ට සහාය පළ කිරීම සඳහා එය විනාශ කිරීමට පිටසක්වළ ජීවීන් ක්‍රියාකරන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පාඨ ග්‍රන්ථවලට අනුව නගරයේ වාසය කළ 30,000ක ජනයාට දින හතක් තුළ නගරයෙන් පිටවන ලෙසට දැනුම් දී තිබේ. බොහෝ පිරිස් ප්‍රදේශය හැරගොස් තිබූ අතර පිරිසක් නගරය හැර නොගොස් එහිම රැඳී සිට ඇත. මිනිස් ඇටසැකිලි 44ක් හමුවූයේ එම නගරය අනාවරණ කරගෙන වසර කිහිපයකට පසු එනම් 1927දීය. සියලු ඇටසැකිලි පොළොවට පැතලි වන සේ තැන්පත්ව තිබිණි. ඒ අතර එක ළඟ තිබූ පියා මව සහ දරුවකුගේ ඇටසැකිලි ද හමුවිය. ඔවුන්ගේ මුහුණු පොළොව දෙසට හැරී තිබූ අතර එකිනෙකා අතිනත අල්ලාගෙන සිටින අයුරු දිස්විය.
ඩෙවන්පෝට් ඉදිරිපත් කරන මතය සත්‍යයක් නම් පුරාණ ශිෂ්ටාචාර කෙතරම් දියුණු මට්ටමක පැවතියේ ද යන පැනය මතුවෙයි. මෙම විනාශය ස්වාභාවික සිදුවීමක් මත සිදු නොවූයේ නම්, එවක මෙවැනි අවියක්  තිබුණේ නම්, එවැනි අවියක් නිර්මාණය කළෝ කවරහු ද? කුමක් සඳහා ද? ඔවුනට එම තාක්ෂණය ලැබුණේ කෙසේ ද? යන කරුණුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත.
මේ හා සමාන සිදුවීමක් පිළිබඳව බයිබලයේ ද සඳහන්ය. සොදොම් සහ ගොමෝරා නමැති නගර එහි වැසියන්ගේ ලිංගික දුරාචාරය හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් විනාශ කිරීම එම පුවතය.
උත්පත්ති කථාවේ සඳහන් වන පරිදි එම නගර වැසියෝ අධික ලෙස දුරාචාරයට හා සමලිංගික සේවනයට යොමු වී සිටි පිරිසක් වූහ. දිනක් දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නගරයට පැමිණ ලොත් නම් පුද්ගලයකු හමු වූහ. ලොත් ඔවුන් දෙදෙනා තම නිවෙසට කැඳවාගෙන ගොස් ආහාර පාන ලබා දී රාත්‍රිය ගත කිරීමට ඉඩ සලසා දුනි. ඔවුන් නින්දට යෑමට පෙර සොදොම් නගරයේ සියලු පුරුෂයෝ එම නිවෙස වටකොට නිවෙසට පැමිණි අමුත්තන් සමඟ සමලිංගික සේවනයේ යෙදීමට අවශ්‍ය බැව් ලොත්ට පැවැසූහ.
අවශ්‍ය නම් කන්‍යාවන් වන තම දියණියන් සමඟ ලිංගිකව එක්වන  ලෙසත්, තම නිවෙසේ සිටින අමුත්තන්ට හිරිහැර නොකරන ලෙසත් ලොත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අමුත්තන් ඉල්ලා පිරිස බල කිරීමට පටන් ගත් අතර ලොත්ගේ නිවෙස කඩා හෝ තම අරමුණ ඉටු කර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. එහිදී දේවදූතයෝ ලොත් නිවෙස තුළට ඇදගෙන එළිමහනේ සිටි සියලු පුද්ගලයන්ගේ දෙනෙත් අන්ධ කළහ. ලොත් සහ ඔහුගේ පවුලට සොදොම් නගරයෙන් පිටවී යන ලෙසත් දෙවියන් වහන්සේ එම නගරය විනාශ කරන බවත් දේවදූතයෝ ලොත්ට පැවැසූහ. දෙවියන් වහන්සේ සල්ෆර් වර්ෂාවක් සොදොම් සහ ගොමෝරා නගරවලට පතිත කර එම නගරවල ජීවී අජීවී සියල්ල විනාශ කර දැමීය.
බයිබලයේ සඳහන් වන මෙම සිදුවීම න්‍යෂ්ටික ප්‍රහාරයකින් සිදුවූවක් ද? එම නගර විනාශ කිරීමට හේතු වූයේ සමලිංගික සේවනය හා වෙනත් දුරාචාර ද? දේවදූතයන් දෙදෙනා සොදොම්හි ජනයාගේ දෙනෙත් අන්ධ කිරීම සඳහා යොදා ගත් උපාංගය නූතන තාක්ෂණික උපකරණයක් ද? මොහෙන්ජොදාරෝ විනාශය සම්බන්ධයෙන් ඩෙවන්පෝට්ගේ මතයේ කිසියම් සත්‍යයක් තිබේ නම් ඒ හා සමාන සත්‍යයක් බයිබලයේ සඳහන් සොදොම් ගොමෝරා සම්බන්ධයෙන් ද තිබිය හැකිය.
මෙහිදී පරමාණු බෝම්බයේ පියා වශයෙන් සැලකෙන ඔපන්හයිමර්ගේ ප්‍රකාශයක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. පුරාතන හින්දු සහ වේද පාඨ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පුද්ගලයකු වූ ඔහුගෙන් පළමු න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ එය පළමු න්‍යෂ්ටික බෝම්බය දැයි විමසූ කල්හි ඔහුගේ පිළිතුර වූයේ “ඔව් එය නූතන යුගයේ පළමු න්‍යෂ්ටික බෝම්බය” යනුවෙනි.
අන්තර්ජාලය ඇසුරිනි
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අද පෘථිවියේ ඉන්නේ එදා අඟහරු මත සිටි මිනිසුන්ද ? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)


ජීවත් වන සියලු දෙනා පිටසක්වළින් පැමිණි ජීවීන් පිරිසක් විය හැකි යැයි කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මතයක් පළ කර තිබේ. ජීවය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයා මත විය හැකියැයි ඔවුහු අනුමාන කරති. පැන්ස්පර්මියා නමින් හැඳින්වෙන මෙම රැඩිකල්වාදී සිද්ධාන්තය මුලින්ම ඉදිරිපත් කෙරුණේ 1871 වැනි වකවානුවකය. ජීවය ග්‍රාහකයක් ලෙස පෘථිවියට පැමිණීමට පෙර අඟහරු ග්‍රහයා මත උත්පාදනය වූවක් බැව් එම සිද්ධාන්තය අනුව පැවසිණි. මෙම අනාවරණයේ කිසියම් අපූර්වත්වයක් පැවැතිය ද බොහෝ විද්‍යාඥයෝ එවැන්නක් සිදු විය හැකි බවට නිගමනය කර තිබේ. රතු ග්‍රහයා නොහොත් අඟහරු ග්‍රහයා පිහිටා ඇත්තේ පෘථිවියට සැතපුම් මිලියන 34.7ක් ඈතිනි.
ජීවය බිහිවීමට අවශ්‍ය ජලය සහ වාතය ඇතුළු සියලු සාධක එක්තරා අවධියක අඟහරු ග්‍රහයා මත තිබූ බවට එම සිද්ධාන්තයෙන් පෙන්වා දී තිබේ. කිසියම් ග්‍රාහකයක ගැටීමක් හේතුවෙන් විසරණය වූ පාෂාණ කැබලි සෞරග්‍රහ මණ්ඩලයේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අඟහරු ග්‍රහයාගෙන් කැඩී ගිය කොටසක් පෘථිවිය මත පතිත වී එහි ජීවය උත්පාදනය වෙන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති. 
අඟහරු
වසර බිලියන හතරකට පමණ ඉහත අඟහරු ග්‍රහයා උණුසුම්ව පැවැති අතර, එහි ගංගා සහ විල් පැවතිණි. ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් එහි පැවතිණි. මහා උපද්‍රවයක් හේතුවෙන් එම පරිසරය විනාශ වී ජීවයක් පැවතීමට තිබූ අවකාශය විනාශ වී ගියේය. අභ්‍යවකාශයේ රුදුරු බලවේගවලට මුහුණ පෑ එය මිදුණු ග්‍රහලෝකයක් බවට පත්විය. එහි වූ යහපත් පරිසරය සූර්ය සුළඟින් ගසාගෙන ගියේය. අඟහරු ග්‍රහයා එහි තිබූ පාරිසරික තත්ත්ව තවමත් අභ්‍යවකාශයට මුදාහරිමින් සිටින බවට විද්‍යාඥයෝ විශ්වාස කරති.
සූර්යයාගෙන් නිරන්තරයෙන් හමන සූර්ය සුළඟේ ප්‍රහාරය හේතුවෙන් පරිසරයේ ඇති අණු බිඳීයාමකට ලක්වේ. අණුවල ඇති ඉලෙක්ට්‍රෝන බිඳී ගොස් ‘අයන’ බවට පත්වේ. මෙම අයන සූර්ය සුළඟ මගින් අභ්‍යවකාශයේ විසුරුවනු ලබයි. සූර්ය සුළඟින් විසිරවනු ලබන්නේ සැහැල්ලු අණුය.  සූර්ය සුළඟ හමන උපරිම උන්තාංශය දක්වා ඒවාට විසිරිය හැකිය. අර්ගොන් 36 සහ අර්ගොන් 38 යන වායුවල සංයුතිය විමසා බැලීමේදී අර්ගොන් 36 විවිධ උන්නතාංශයන්හි විසිරී තිබූ බැව් හඳුනාගැනීමට හැකි විය. ඒ අනුව ගතවූ වසර බිලියන 4ක කාලය තුළ අඟහරුගේ පාරිසරික තත්ත්වයෙන් 66%ක් අභ්‍යවකාශයට මුසු වී තිබේ. 
අඟහරු
මෙම තොරතුරු අනාවරණය වූයේ නාසා ආයතනය මගින් සිදුකෙරුණු අඟහරුගේ පරිසරය සහ වාෂ්පශීලී පරිණාමය පිළිබඳ පර්යේෂණකදීය. “අපගේ නිගමනවලට අනුව පැහැදිලි වන්නේ අඟහරුගේ ජීවය පැවැතිය හැකි පරිසරය එහි රඳා ගැනීමට නොහැකිව අභ්‍යවකාශයට නෂ්ට විසිර යන්නට ඇති බවය. මෙම අබිරහස විසඳා ගැනීම සඳහා අපගේ මිනුම්දණ්ඩ වූයේ අක්‍රිය වායුවක් වන ආර්ගොන් වායුවයි” යනුවෙන් එම කණ්ඩායමේ ප්‍රධානියා වූ බෲස් ජකොව්ස්කි පවසා තිබේ. 
“මොලිබ්ඩිනම් (අධිවේගී වානේ උපකරණ සෑදීමට භාවිත කරන ලෝහයක්) අධික ලෙස ඔක්සිකරණයට ලක්වීමේ ක්‍රියාවලිය අනුව ජීවයේ සම්භවයට බලපෑ සාධක පිළිබඳව හඳුනාගත හැකියි. ජීවය උත්පාදනය වූ සමයේ මොලිබ්ඩිනම් නමැති ද්‍රව්‍ය පෘථිවියේ නොතිබූ බවට නිගමනය කළ හැකියි. මන්ද වසර බිලියන 3කට පමණ පෙර පෘථිවියේ පැවතියේ ඉතා සුළු ඔක්සිජන් ප්‍රමාණයක් පමණයි. එහෙත් අඟහරු ග්‍රහයාගේ ඔක්සිජන් දැකිය හැකි වුණා. ජීවය අඟහරුගේ සිට පෘථිවියට පැමිණි බවට නිගමනය කළ හැකි බවට එයත් එක් සාධකයක්.” යනුවෙන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනක නිරත වූ ජෛවරසායන විද්‍යාඥයකු වන ස්ටීවන් බෙනර් සඳහන් කර තිබේ. 
ජීවය නිර්මාණය වනුයේ ඓන්ද්‍රීය සංයෝගය තුළිනි. එහි වෙනසක් සිදුවීම සඳහා කුඩා සහයක් අවශ්‍යය. එය ආලෝකය හෝ උෂ්ණත්වය හෝ වැනි ශක්තියක් ලද විට වෙනත් තත්ත්වයකට පත්වේ. ඔක්සිකරණය වූ මොලිබ්ඩිනම් ඇතිවන්නේ එවිටය. අඟහරු පිළිබඳ සාධකය සනාථ කෙරෙන තවත් කරුණක් වනුයේ පෘථිවිය බිහි වූ සමයේ එය සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවී තිබූ අතර අඟහරු ග්‍රහයා මත වියළි ප්‍රදේශ තිබූ බවට වන සාධකයයි. පෘථිවියේ තිබූ දියර ස්වභාවය හේතුවෙන් ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන තවත් ද්‍රව්‍යයක් වන බොරෝන් නමැති ද්‍රව්‍ය නිර්මාණය වීමට අසීරුය. බොරෝන් හමුවන්නේ සම්පූර්ණයෙන්ම වියළි කලාපවලිනි. ඒ අනුව පෘථිවිය මතට උල්කාෂ්මියක් මගින් අඟහරුගේ බොරොන් පෘථිවියට පැමිණෙන්නට ඇති බවත්, එමඟින් එහි ජීවය ඇතිවන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. 
වසර ගණනක් මුළුල්ලේ පවත්වන ලද පර්යේෂණවලින් බොරොන් නමැති ජීව ධාතුවේ රූපාකාරය හඳුනා ගැනීමට බෙනර් සමත් විය. පෘථිවියේ රිබොනිව්ක්ලෙයික් ඇසිඞ් නොහොත් ආර්.එන්.ඒ (සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය පාලනය කරන ද්‍රව්‍යයක්) ප්‍රමාණය විශාල වශයෙන් පැතිර තිබූ හෙයින් පෘථිවියේ ආරම්භක සමයේ එය මත බොරොන් පැතිරීමට බියක් දක්වන්නට ඇතැයි භූවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ හේතුවෙන් අඟහරු ග්‍රහයා මත බොරොන් බහුලව පවතින්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.
තාරකා විද්‍යාඥයකු සහ කොළොම්බියානු විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කලෙබ් ෂාෆ්, “පෘථිවිය මත අඟහරුගේ කොටස් සොයාගෙන තිබෙනවා. එමෙන්ම පෘථිවියේ කොටස් ද අඟහරු ග්‍රහයා මත පැවතිය හැකි බවට අපට සැක කළ හැකියි. පෘථිවියේ ඇති අඟහරුගේ කැබලි මත ජීවීන් සහිත කොටස් ඇති බවට තහවුරු කරගත හැකි වුවහොත් අප අඟහරු වැසියන් බවට විශ්වාස කළ හැකියි.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
පෘථිවිය
පැන්ස්පර්මියා නවීන සිද්ධාන්තයක් නොවුණ ද මෑත කාලයේ තාරකා විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද නවීන තොරතුරු මගින් පැන්ස්පර්මියා සිද්ධාන්තයෙන් ප්‍රකාශ කෙරුණු කරුණු රැසක් තහවුරු කිරීමට සමත් වී තිබේ. කෙසේ වුවද මෙම සිද්ධාන්තය ස්ථිර කිරීමට තරම් ප්‍රබල සාධක තවමත් හමුවී නොමැති හෙයින් එය විද්‍යානුකූලව තහවුරු කිරීමට නොහැකි වී තිබේ.
“පෘථිවියේ ජීවය ආරම්භ වූයේ අඟහරු ග්‍රහයාගෙන් යන මතය විමසුමට බඳුන් කළ යුතුයි. පෘථිවි ජීවය පිටසක්වළකින් ආරම්භ වූ බවට සනාථ කළ හැකි සාධක හා සාක්ෂි ඉදිරිපත් විය යුතුයි. එසේ වුවහොත් එය නූතන විද්‍යාවට සහ ආගමික විශ්වාසවලට සුවිශේෂ බලපෑමක් විය හැකියි. එවැන්නක් සනාථ වුවහොත් එය ආගමික මූලධර්මවාදීන්ගේ විශාල පරාජයක් වේවි” යනුවෙන් සියැටල්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ පීටර් වෝඞ් පෙන්වා දෙයි.
බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරනුයේ පෘථිවියේ ජීවය බිහිවන්නට ඇත්තේ වසර බිලියන 3.8කට පමණ ඉහතදී බවය. පෘථිවිය ආසන්න ග්‍රහලෝක සමඟ ඓන්ද්‍රීය හා ජීවී ද්‍රව්‍ය නිරන්තරයෙන් හුවමාරු කරගන්නා බවට පැන්ස්පර්මියා සිද්ධාන්තයට සහය දක්වන බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීවවිද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කර තිබේ. පෘථිවි ඉහළ වායුගෝලයේ පවතින උල්කාෂ්මයන්ගෙන් නික්මුණු පොසිල කොටස් සහ කුඩා ඇල්ගී කොටස් එහි තැන්පත් වන්නට ඇත්තේ ඒ අසලින් ගමන් කෙරුණු ධූමකේතු මගින් බවට ඔහු විශ්වාස කරයි. “අතීතයේ මෙය අනුමානයක් හා හුදු සිද්ධාන්තයක් පමණක් වුවද වර්තමානයේ ඒ සම්බන්ධ සාධක හමුවෙමින් පවතී.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
2015 තාරකා ජීව විද්‍යාත්මක සඟරාවට ලිපියක් සපයන මහාචාර්ය වික්‍රමසිංහ හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පෘථිවියට ජීවය පැමිණුන ආකාරය සම්බන්ධයෙන් තම මතය පැහැදිලි කරති.
“අප අවට මන්දාකිණියේ ඉතා කුඩා කොටසක කරන ලද නිරීක්ෂණවලට අනුව 900කට ආසන්න බාහිර ග්‍රහයන් පිළිබඳව අපට අනාවරණය කරගත හැකි වුණා. ඒ අනුව අපගේ මන්දාකිණියේ වාසයට සුදුසු ග්‍රහයන් බිලියන 140ක් පමණ තිබෙන බවට අනුමාන කළ හැකියි. මෙයින් වැඩි ප්‍රමාණයක් දීප්තියෙන් හීන සහ කුරු ග්‍රහයන් සමඟ සම්බන්ධ ග්‍රහයෝ. ඒ අනුව ජීවය පැවතිය හැකි ග්‍රහලෝක ඉතා කෙටි ආලෝක වර්ෂ ප්‍රමාණයක දුරකින් පිහිටා ඇති බවට නිගමනය කළ හැකියි.
ඒ අනුව ආසන්න දුරකින් පිහිටා ඇති මෙම ග්‍රහලෝකවලින් දුහුවිලි, සුන්බුන්, උල්කාෂ්ම, ධූමකේතු පිටකළ හැකිය. එලෙස පිටකරන ද්‍රව්‍යවල වේගය අපගේ සෞරග්‍රහමණ්ඩලයේ පවතින තාරකාවලින් පිට කෙරෙන වේගයට වඩා වැඩි වන අතර සාමාන්‍යයෙන් බහුවලයික කක්ෂවලින් ඒවා සමන්විතය. එහෙයින් ඍජුවම ග්‍රහණය කරගැනීමේ ශක්තියෙන් හීනය.
කෙසේ වුවද බහුවලයික කක්ෂයක පිහිටා තිබුණ ද සංක්‍රමික ධූමකේතු වැනි දේවලින් පිටකෙරෙන බැක්ටීරියා සහ වෛරස අන්තර්ගත අතුරු මයික්‍රෝන දුහුවිලි, අන්තර් ග්‍රහලෝක මණ්ඩලයේ ගැටීම හේතුවෙන් ඒවා පහසුවෙන් තැන්පත් විය හැකිය. එය ජීවය පැවතිය හැකි ග්‍රහලෝකවලට අහිතකර ලෙස බලපානු ඇත. සරල ලෙසින් පැවසුවහොත් ධූමකේතුවල පවතින අණු සහ ප්‍රාණී කොටස් ඒවා පසුකර යන ග්‍රහලෝකවල තැන්පත් විය හැකිය.
 “පෘථිවිය අඟහරුට වඩා ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් බැවින් අප පෘථිවියේ නැවතුණු එක හොඳයි. මන්ද අපගේ කල්පිත මුතුන්මිත්තන් අඟහරු ලොවේ ජීවත් වූවා නම් මේ කතාව පවසන්නට මේ වනවිට කිසිවකු නැතැයි” ස්ටීවන් බෙනර් පවසා තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 15, 2017

ඉගිලී ගිය කුරුල්ලන් මන්තර බලයෙන් බිම දැමූ කිරි පුංචා බලි ඇදුරා.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

සත් කෝරලය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය සිටි ගම් ප්‍රදේශයකි. බොහොම ඉස්සර මේ සත්කෝරලයේ ගමක් වූ බෝයවලාන නම් ප්‍රදේශයේ ඉතාමත් දක්ෂ මන්ත්‍ර ශාස්ත්‍ර දන්නා මහා බලි ඇදුරෙක් සිටි බවට පැරණි තොරතුරු ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මහනුවර රජකළ අවධියේ සත් කෝරලයේ පාලන කටයුතු බාරව සිටි අදිකාරම්වරයා වූ මීගස් තැන්නේ අදිකාරම වාසය කර ඇත්තේ කුලියාපිටිය අසල පිහිටි කෝන්ගහගෙදර නම් වූ ස්ථානයේය. මේ කිරිපුංචා බලි ඇදුරා මීගස්තැන්නේ සමගද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. මීගස්තැන්නේ මහ අදිකාරම් ද කිරිපුංචාට හොඳින් සැලකුවේ ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය දන්නා අයෙකු නිසාය.
බෝයවලාන ගමේ තිබූ පැලහැටිවත්ත නමැති බිම්කඬේ පැලක් අටවාගෙන ගොඩ ගොවිතැන් කරමින් සිටි කිරිපුංචා යකුන් එළවීම, යකුන් බැඳ වැඩ ගැනීම, යකුන් මෙල්ල කිරීම ආදී කටයුතුවල යෙදුනේ තම පරම්පරාවෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර ඥානය යොදාගනිමින්ය. මේ නිසා ගමේ අය කිරිපුංචාට දැක්වූයේ මහත් ගෞරවයක් මෙන්ම බියකි. මිටි සිරුරකින් හා කරුංකා ගෙඩියක් තරම් වූ පුංචිම පුංචි කොණ්ඩයක් බැඳ කරේ ලේන්සුවක් දමා නිතර එහෙ මෙහෙ යන කිරිපුංචා බලි ඇදුරා කෙනෙක් හමුවූ විට “ආයි බෝං බැහැරක් දැයි අසන්නේ හිස ද නමමින්ය. එහෙත් මිනිසුන් ඔහුට දැක්වූයේ බිය මුසු ගෞරවයකි.
දිනක් ගෙදර දොරකඩ  කොස්   ගසේ කෑ ගසමින් කලබල කළ කපුටු රංචුවක්, බලා සිටි අයද මවිතයට පත් කරමින් කිරිපුංචා විසින් බිම දැමුවේ මන්ත්‍ර බලයෙන්ය. ඒ මන්ත්‍රයක් මතුරා බිම තිබූ වැලි මිටක් මිට මොළවා උඩට විසි කිරීමෙන්ය. මේ අරුම පුදුම දෙය දුටු අය එදා සිට කිරිපුංචාට තවත් බිය වූ අතර ඔහුට දැක්වූ ගෞරවයද වැඩිවිය. 
ගමේ ආරච්චි වසම කළ පුංචිරාල රාලහාමි කිරිපුංචාගේ හිතවතෙක් විය. නිතර නිතර කිරිපුංචා මෙම ආරච්චිල හමුවීමට ඔහුගේ වලව්වට ගියේ ටික වේලාවක් කතා බස්කර තේ කහට එකක් බී බුලත්විටක් ද සපා ඇයි හොඳැයි පැවැත්වීමටයි. එදා ගම්මුන්ගේ සිරිත් එසේ විය. මේ කතාබස්වලදී යන්ත්‍ර මන්ත්‍ර ගැනද කතාබස් කෙරිණි. 
මේ පුංචිරාල ආරච්චිරාලාමි උඩරට මහ වාසල මුරකරුවන් යෙදවීමේ කටයුතුවලටද දායක වූ අයෙකි. ඒ නිසා රජතුමා සමගද බොහෝ ළඟින් ඇසුරු කළේය. ඒ නිසා රජතුමා පුංචිරාලට තම දුක් කරදර ද බොහෝ විට පවසා ඇත. පුංචිරාල මාලිගයට සේවය කළේ බොහෝ යටහත් පහත්වයි. මේ හේතුව නිසාම මීගස්තැන්නේ මහ අදිකාරම් ද නිතර බෝයවලානට යන එන සිරිතක් තිබුණි. මීගස්තැන්නේ පුංචිරාලට කීවේ බෝයවලානේ කියාය. දිනක් හදිසියේම පණිවිඩකරුවෙක් පුංචිරාලගේ වලව්වට ආවේ හිමිදිරි උදයේමය. පණිවිඩකරුවා දුටු සැණින් අඳුනාගත් පුංචිරාල “ඇයි ගබ්බලයෝ? මොකද උදේ ම හදිසියක් වත්දැයි ඇසීය.”
“එහෙමයි ආයුබොවං, අන්න අපේ මීගස්තැන්නේ උන්නාන්සේ තමුනාන්සේ කැටිව වහාම කෝන්ගහවලව්වට එන්ට කිව්වා යැයි කීය. !අ“තෝ පල මං හනික එන්නං කී පුංචිරාල පණිවිඩකරුවා ආපසු යවා තම තිරික්කලයෙන් එහි යාමට පිටත් විය. කෝන්ගහගෙදරට යන විට ඈත තියා දුටුවේ වලව්වේ ඉදිරිපස බරාඳයේ විමසිලිමත්ව සිටින මීගස්තැන්නේ අදිකාරම්ය. පුංචිරාල වහා තිරික්කලයෙන් බැස මීගස්තැන්නේ අසලට ගොස් ආචාර කළේ පණිවිඩය දැනගැනීමටයි. හොඳින් හිනාමුසුව පිළිගත් පුංචිරාලට එහි ඇති ලොවි බංකුවේ වාඩිවන ලෙස කී මීගස්තැන්නේ ඉතාමත් රහසින් යමක් කීවේය. ඒ කීවේ මහවාසල පණිවුඩයකි. 
“පුංචිරාල අපේ රජ්ජුරුවන්ගෙ දේවියට මහ කරුම ලෙඩක් හැදිලා. හිස කොට්ටෙ තියන්න බෑ මුළු වාසල පුරාවේ දුවනව කෑ ගහනව එක එක විකාර. ඉතිං බොහොම වෙද්දුත් ගෙන්නල ගුරුකං කරලා තියෙනව. එකකින්වත් හොඳක් නෑ. මං මේ පුංචිරාලට එන්ට කීවේ අර බෝයවලානේ ඉන්න කිරිපුංචව එක්කං ගිහිල්ලවත් ගුරුකමක් කරමුයි කියන්ටයි කීය.
“එහෙමයි අදිකාරම් තුමා”යි කී පුංචිරාල වහාම ආපසු ආවේ මේ සිද්ධිය කියා කිරිපුංචා වෙදරාලත් සමග ආපසු නුවර රජවාසල වෙත යාමටයි. ආපසු වලව්වට ආ පුංචිරාල ආරච්චිල වහාම පණිවුඩයක් යවා කිරිපුංචා ගෙන්වාගති. කිරිපුංචා ද විපිළිසර වූයේ මේ තකහනියක් කැඳවූයේ කුමකටද? කියාය. කිරිපුංචා අසලට ගිය ආරච්චිල හා ඔහෙං ඈඳිගනිං යයි කියමින් කතාව පටන්ගති.
“මං මේ උඹට තකහනියක් පණිවුඩ යැව්වේ අපේ මහනුවර මහ වාසලිං පණිවිඩයක් තියනවා.” උඹ දන්නවද? රාජ මහේෂිකාවට දිෂ්ටියක්. ඉතිං වාසල උන්නාන්සෙ උඹහැව එක්ක ගිහිං සාත්තුවක් කොරන්නට අණකළා යැයි කීය. උඩබිම බැලූ කිරිපුංචා ඒකත් හොඳයි කියා සිතුවේය. යළිත් කතා කළ ආරච්චිල “හෙට උදැහැනැක්කෙම වාසලට යා යුතුයි. මම උඹටත් එක්ක කලමනා ලෑස්ති කරනවා යයි අණ දුන්නේය.
හොඳයි කී කිරිපුංචා ගෙදරවිත් පරණ පුස්කොළ පොත් පෙරළා බලා යම් දෙයක් දැනකියා ගති. පසුදා පහන්වන්නටත් පෙර ඔවුන් දොට්ටපිළට බැස්සේ කඩිමුඩියේම මහ වාසලට ගොඩවැදීම සඳහාය. දිනක ගමනකින් පසු මහවාසල වෙත ළඟාවූ පුංචිරාල දුක්ගන්න නිලමේට තමන් ආ කාරිය කියා පණිවුඩපත ලබාදුනි. එය රජ්ජුරුවන්ට දැන්වූ පසු දෙදෙනාම දිග්ගෙට කැඳවා තේ ආදිය සප්පායම් වෙන්ට දී අනතුරුව රජතුමාම සිද්ධිය කිරිපුංචාට දැන්වීය. හිස නමා ආචාර කරමින්ම අවසර ගත් කිරිපුංචා ලෙඩා බැලීමට ඇතුළුගෙට වනි.
ගතවූයේ මොහොතකි. කෙස් කඩාගත් බිසව හිස හැරුණු හැරුණු අත කාමරය පුරා දිව්වේය. ටික වේලාවකින් එය නතරවුනි. සේවිකාවන්ගේද උත්සාහයෙන් බිසව අල්ලා ඇඳට දමාගත් කිරිපුංචා තම බෙහෙත් හෙප්පුවෙන් කුඩු ස්වල්පයක් ගෙන නාසයට නස්න කර මතුරන්නට පටන් ගති. ඒ මොහොතේ සිටම බිසවට රෝගය සනීප වුනි. පරිවාර කාන්තාවන් ඒ බැව් රජතුමාට දැන්වීය. රජතුමා බොහෝ සතුටට පත්ව දින කීපයක් වාසලේ රැඳෙන ලෙස දෙදෙනාටම දැන්වීය. දැන් බිසවට හොඳටම සනීප වී ඇත. පුංචිරාල හා කිරිපුංචා ද ආපසු  ගම්බලා පිටත් වුනි. මෙච්චර වෙදකමකුත් කර බිසව ගොඩදමා කළ උදව්වට කිසිදු සැලකීමක් රජු නොකළ නිසා කිරිපුංචාට කේන්ති ගියේය. ඔහු මහවැලි තොටින් ආපසු එද්දී වැලිමිටක් ගෙන මතුරා අහසට විසිකළේය. 
එසේ කළ කිරිපුංචා රජතුමා කෙරෙහිද අප්‍රසාදය කියමින් පුංචිරාලත් සමග ආපසු බෝයවලානට ආවේය. ගතවූයේ දින කීපයකි. යළිත් උදෑසනක මහ වාසලින්ම පණිවිඩකරුවෙක් ආවේ පුංචිරාල ආරච්චි සොයාගෙනයි. ඔහු දුන් පණිවුඩය බරපතළය. ඉන් කියවුණේ යළිත් බිසවගේ අසනීපය උග්‍රවී ඇති බවකි. පුංචිරාලට හැකි ඉක්මනින් වෙදරාලත් රැගෙන මාලිගයට එන ලෙස අණකර තිබුණි. මේ ආරංචිය ඇසූ කිරිපුංචා බොහොම සතුටට පත්ව මේ වාරයේ හොඳ වැඩක් කරන්නං යයි සිතමින් ඉන්නා විට ආරච්චිලම එහි විත් මේ හදිසි පණිවුඩය කියා එවලේම මහ වාසලට යාමට පිටත් වුණි.
මෙවැනි වැඩක් කළ විට සතුටු පඬුරු පිළිගැන්වීමක් පුරාණයේ තිබුණි. නමුත් රජුට එය අමතක වුණි. මෙවර එය උසස් අයුරින්ම කරන්නට රජුට සිත්වූයේ ඒ ගැන මීගස්තැන්නේ අදිකාරම් ද රජුට මතක්කර සිටි බැවිණි. මහ වාසලට ගිය පුංචිරාල හා කිරිපුංචා රජු හමුවී වහාම දේවිය පිරික්සන්නට අවසර ගත්තේය. එදිනද මුල් දිනයේ මෙන්ම දේවිය දුවන්නට හා දඟලන්නට පටන්ගති. පයේ නිලයක් ඇල්ලූ කිරිපුංචා වෙදා මොහොතකට දේවිය විසඥ කළේ හදිසි යමක් සූදානම් කරගැනීමටයි. වහාම රතුනෙළුම් මලක් ගෙනෙන්නට කී කිරිපුංචා වාසලේ මැද මිදුලේ අසුනක් සකසා එහි දේවිය වාඩිකරවන ලෙස ඉල්වීය.
මේ අසනීපය භූත දෝෂයක් නිසා සිදුවූවක් නොවේ. නාසයේ වෙසෙන යම් ක්ෂුද්‍ර ජීවියකු මගින් ඇතිවන සංකුලතාවකි. එය තේරුම් ගත් කිරිපුංචා ගෙනගිය බෙහෙත් කුඩු වරු තුනක් නෙළුම් මලට දමා අසුනේ වාඩිකරවා බිසවට උරවන ලදී. මුල්වතාවේ තුඩු ස්වල්පයකින් එම කටයුක්ත සිදු නොවුන නිසා බිසවට නැවත රෝගය උත්සන්න වුණි. එවර නිට්ටාවට රෝගය සුව වූ  නිසා රජු තුටු පහටුව තෑගි බෝග ලබාදුනි. කිරිපුංචා තම නෑදෑයන්ද කැටුව ගොස් දේවියට අසුගැබේ මල්බලියාගයක්ද කළේය. එය අලංකාර නැටුම් ගැයුම්වලින් සමන්විත වූ යාගයකි. රජතුමා බොහෝ සේ දෙදෙනාට ස්තුතිකොට පුංචිරාලට මහ වාසල දුක්ගන්නා පයින්ඩයක්ද ලබාදුනි.
දින කීපයකට පසු බෝයවලානට ආ මීගස්තැන්නේ අදිකාරම කුඩාඔය අසල ඇති බෙරුව නම් ස්ථානයේ අණබෙරයක් (ලෝකඩ බෙරය) එල්ලා එය ඇසුන හතරමායිමේ බිම්කඩ පුංචිරාලගේ දරු මුනුබුරු පරම්පරාවට නින්දගම්කොට පවරා දෙන ලදී. ඔවුන්ට විජයකෝන් යන නමද පටබැඳ පවරා දෙනලදී. එසේම පුංචිකිරාමද පැලැගැමිවත්ත සහ තවත් දේපළ උපපද නාමද සහිතව බාල් ඊල් සාරාමාරු ඇතිව නම්කොට දෙනලදී. එදා සිට කිරිපුංචා සිල්ප දත් සකලච්චාරී ගණිතයලාගේ යන වාසගමින් සම්පූර්ණ කරන ලදී. 
මෙසේ පවරා දුන් සන්නස් පත්‍ර මෑතක් වන තුරුම ඔවුන් සතුව තිබුණි. නමුත් ඉංග්‍රීසි පරිපාලන සේවා මගින් ඒවායේ බල රහිතවී ඇත. තවමත් මෙම පරම්පරාවල අය එම ගමේ ජීවත්ව සිටිති.
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya