Friday, September 30, 2016

ලංකාවට වැටුණු උල්කාපාත...(ulkapatha asteroid found on sri lanka ..අබිරහස් අඩවිය - Abirahas Adawiya )

වසර 2003 පෙබරවාරි 8 බන්ඩිරිප්පුවට හා 2003 පෙබරවාරි 19 රෑ වැරැල්ලගම නුදුරු මුරුතලාවට වැටුණු උල්කාපාත කැබැලි දෙක මෑත කල මහත් සාකච්ඡාවට හා ආන්දෝලනයට හේතු විය. ඉන් මුරුතලාවට වැටුණු උල්කාපාත කැබැල්ල පාෂාණමය එකක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ මඟින් හඳුනා ගෙන ඇත. අතීතයේ ලංකාවට වැටී ඇති බව පැවැසෙන ජනප්‍රවාදවලින්ද හෙළිවන ග්‍රහක උල්කාපාත ගැන තොරතුරු බිඳක් ගෙන හැර පෑම මෙම ලිපියේ අරමුණය.
උණවටුන හා ඒ අසල ඇති රූමස්සල සුවිශේෂ පාරිසරික පිහිටීමකි. එහි පසෙකින් ඇති ඛනිජ විශේෂ වෙනස්ය. එහි ආකර්ෂණ ශක්තිය ඉතා දැඩිය. ජනප්‍රවාදය අනුව නම් තුවාල වූ රාමාට ප්‍රතිකාර පිණිස හනුමා ඔසවාගෙන ආ හිමාලයේ ඔෟෂධ ශාක අඩංගු කැබැල්ලකින් රූමස්සල ඇතිවිය. අතීතයේ මේ ප්‍රදේශයට කඩා වැටී ඇති ග්‍රහක කොටසක් නිසා උණවටුන රූමස්සල සුවිශේෂී පාරිසරික හා භූ විද්‍යා ලක්ෂණ යුතු කොටස බිහි වූ බව පෙනෙයි.
මාතර නෙටොල්පිටිය අක්කර 400ක් පමණ යුතු තද රතු පැහැති පස් පමණක් විසිරුණු තෘණවලට හා කුඩා පඳුරුවර්ග කිහිපයකට සීමා වූ උස් නිසරු වෙරළබඩ සම බිමක් වූ උස්සන්ගොඩ ඉහත පිපිරුමේදීම වැටී විසිරී ගිය ග්‍රහක කොටසක් හෝ වැටුණු වෙනත් ග්‍රහක කැබැල්ලක් දිරාපත්ව සෑදී ඇති බව සිතිය හැකිය. හේතුව උස්සන්ගොඩ වෙරළබඩම සුවිශේෂී භූ විද්‍යා ලක්ෂණ ඇති ප්‍රදේශයක් වීමයි.
කඳුරට කොත්මලේ, කල්පිටිය හා හැදුණු වැව අතර 'කොත්තුනුගොඩ' නමින් කුඩා කඳුගැටය මුදුනේ සුවිශේෂී ආවාට දෙකක් හා විශාල දෝනාවක් ඇත. අතීතයේ ඒ අවට කුඩා ආවාට සිය ගණනක් වූ බවත්, ඒවා කාලය සමඟ වර්ෂාව හා රස්තියාදුකාරකම් නිසා නැතිව ගොස් ඇත. විශාල ආවාට දෙක අඩි 30 හා අඩි 15 තරම් විෂ්කම්භය ඇත. ගැඹුරුය. අඳුරුය. දෝනාව වැනි කොටස අඩි 150 තරම් දිගය.
ජනප්‍රවාද අනුව බෙරවාදයකු තොවිලයකට යද්දී කොත්තුනුගොඩ කඳු මුදුනේ ගිනි දලුවක් විහිදෙනු දැක ඇත. ඒ තුන්වරක් මතුවී ගිලී ගොස් අතුරුදන් වී ඇත. 1664 දෙවැනි රාජසිංහ රජුට (1636-1687) අඹන්වෙල රාල ඇති කළ කැරැල්ලට පෙර වල්ගාතරුවක් පායා ඇත. ඒ හේලිගේ වාර්ගා තරුවයි.
නිසැකවම අනුමාන කළ හැකි කරුණු තුනක් වෙයි. අනාදිමත් කාලයකට පෙර වැටුණු ආකාශ වස්තුවක ආලෝකය නැතිනම් කඳු මුදුනේ විදාරණය වූ ගිනි කන්දක් පිළිබඳ මතකය මේ ජනප්‍රවාදය තුළ ඇත. භූ විද්‍යාත්මකව ඉතිරිව ඇති සලකුණු තවම අබිරහසක් සිතට දනවයි. හුනු ගල දිරාපත් වීමෙන් මෙවැනි දෙයක් නිර්මාණය වීමට බැරිය. දිගු කලකට පෙර පිපිරී නිද්‍රෝපගත වූ අක්‍රියකාරී යමහල් වීමටද බැරි නැත.
සෙංකඩගල යුගයේ බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන ග්‍රහ යුද්ධයකින් සිකුරුගේ කුණ්ඩලාභරණය කැඩී බිමට වැටෙන බව කොත්මලේ ගණිතයා කල්තියා දුටුවේය. මේ සිද්ධිය ග්‍රහ ගණිතය තුළින් දුටු දඹදිව බඹුණෙක්ද මේ වැටෙන ස්ථානය අසලට පැමිණ පැලක් සාදා ගත්තේය.
දෙදෙනාගේ පැල්පත් දෙක එක ළඟය. නියමිත වේලාවට සිකුරු කුණ්ඩලාභරණය කැඩී දඹදිව සිට ආ බමුණාගේ පැල්පතේ වහලයට වැටී කොත්මලේ ගණිතයාගේ පාමුලට විසි විය. දෙදෙනාම කුණ්ඩලාභරණය සඳහා අයිතිය කියන ලදුව රාජාධිරාජසිංහ රජු සිකුරු කුණ්ඩලාභරණය යොදා දළදා හිමි වැඩ හිඳින කරඬුවේ විසිතුරු සැරැසිල්ලකට එය යෙදුවේය. සිකුරු කුණ්ඩලාභරණය වැටුණු තැන 'කුණ්ඩසාලේ' ලෙස ප්‍රසිද්ධ විය. මේ ජනප්‍රවාදය කියනුයේ ලංකාවට 18 සියවසේ වැටුණු ග්‍රහ වස්තුවක වටිනා කැබැල්ලක් ගැන වන අතර අදත් ඒ මහනුවර දළදා කරඬුව තුළ සුරක්ෂිතව ඇත.
එස්.කේ. ජයවර්ධන
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 29, 2016

අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්, ...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)


මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ ලිපි මාලාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසා තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු. පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට හා පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු' ලිපියටත් අදහස් රාශියක් ලැබුණි.
අද තවත් අපූරු දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ. මේ පුරාණයේ භාවිතා කළ ගණනය කිරීමේ යන්ත‍්‍රයක් එහෙම නැතිනම් පරිගණකයක් ගැන විස්තර හා මිසර වැසියන් භාවිතා කළ විදුලි බුබුලක් හා ඒවාට විදුලි බලය ලබා දුන් බැටරියක් ගැන විස්තරයක් තමයි මේ.
අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.
වසර 2000ක් පැරණි පරිගණකය (ගණනය කිරීමේ යන්ත‍්‍රයක්) : Antikythera Mechanism
පිටසක්වළ ජීවීන් අතීතයේ දී මෙහි ආවා නම් ඔවුන් සතුව තිබුණු දියුණු ගණිත හෝ භෞතික විද්‍යා දැනුම හෝ ඉතිරි කර ගියේ නැද්ද? ඔවුන් එහෙම කළා නම් එවැනි දේට සාක්කි අද දකින්නට ලැබෙනවාද? එවැනි දෙයක් තිබෙනවා. ඒක ලොව පළමු යාන්ති‍්‍රක පරිගණකය කියලත් හැඳින්වෙනවා. ඒක වසර 2000ක් පැරැණියි. ‘ඇන්ටිකිතීර යන්ත‍්‍රණය’ සොයා ගනු ලැබුවේ 1900 දශකයේදියි.


ඒ ස්පාඤ්ඤ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් විසිනුයි. ඒ ගී‍්‍රසියට නුදුරින් පිහිටි ඇන්ටිකිතීර දූපත අසල මුහුදේ ගවේෂණය කරද්දී. එහි නැවක් මුහුදු බත් වී තිබුණා. ඒ නැවේ තිබිලා හමුවුණා පෙට්ටියක්. ඒ පෙට්ටිය හදලා තිබුණේ ලෝහවලිනුයි. ඒක යැවුණා ඇතන්ස් කෞතුකාගාරයට. වසර 50 කට පසු තාක්ෂණය දියුණු වුණාම මේ පෙට්ටියේ ඇතුළේ මොනවද තිබෙන්නේ බලන්න එක්ස් රේ පරීක්ෂාවක් කළා. එහිදී දකින්න ලැබුණා එකිනෙකට සම්බන්ධ වූ දැති රෝද, යන්ත‍්‍ර සූත‍්‍ර. ඒ අනුව එය කුමක්දැයි සොයා බැලූවා. 
පරිගණක යන්ත‍්‍රයක් බව තහවුරු වුණේ ඉන් පසුවයි. ඒක කාර්යයන් දෙකක් සඳහා යොදා ගත් අපූරු උපකරණයක්. එකක් එය තාරකා විද්‍යා ගවේෂණ උපකරණයක්. තරුවල පිහිටීම සොයා බලා මුහුදේ මඟ සොයාගෙන යාත‍්‍රා කළ හැකි මෙවලමක්. එයින් කෙරුණු අනෙක් කාර්යය, එය ජෝතිෂ්‍ය කරුණු හෙළි කරන උපකරණයක් ලෙස යොදා ගත හැකිවීම. උපන්නේ කවදාද මොන දිනයේදී ද, ලග්නය මොකක්ද? පලාපල මොනවාද? වගේ තොරතුරු ලබා ගන්න මේ උපකරණයට පුළුවන්. මේ උපකරණය අද අප භාවිත කරන ස්විස් ඔරලෝසුවකට වඩා සංකීර්ණයි. ඇතුළත උපාංග සියල්ල එහෙමයි. ඒ නිසා මීට අවුරුදු 2000 කට කලින් මේ උපකරණය හැදුවේ කවුද? මොකක්ද සඳහාද? කියන දේවල්වලට පිළිතුරු දෙන්න අපට හැකියාවක් ලැබිලා නැහැ. 1950 දශකයේදී මේ යන්ත‍්‍රය පරීක්ෂාවට ලක් කරද්දී පැහැදිලි වුණු කරුණක් තමයි, පුරාණ ගී‍්‍රක වැසියන්ට මෙවැනි සංකීර්ණ නිර්මාණයක් කරන්න තරමේ තාක්ෂණික දැනුමක් නොතිබුණු බව. ඒක හරියට මිසරයේ තුතන්කාමන් පාරාවන්ගේ සොහොන් ගැබෙන් ජෙට් ඇන්ජිමක් සොයා ගත්තා හා සමානයි.
ඩැන්ඩොරා දේවාලයේ විදුලි බල්බය : Dendera Lamp
ඇන්ටිකිතීර උපකරණයටත් වඩා, ඊජිප්තුවේ ඩැන්ඬේරා නම් භූ ගත දෙවොලේ රූපාක්ෂර හා සිතුවම් පැරැණියි. දෙවොලේ බිත්තිවල කොටා ඇති සිතුවම්වලින් නූතන ලෝකයේ අප භාවිත කරන උපකරණ දකින්න සමහරුන්ට හැකියාව ලැබී තිබෙනවා. මේ භූ ගත දෙවොලට ඇතුළු වෙන්න අවසරය ලැබී තිබෙන්නේ ප‍්‍රධාන පූජකවරුනට පමණයි. එය රහස්වලින් පිරි ගුප්ත තැනක් හැටියට අතීතයේ දී සලකනු ලැබුවා. ඒක අදත් එහෙමයි. මේ භූත දෙවොල ඇතුළත පැසේජ හරිම පටුයි. හරිම රස්සෙනෙයි.
සිවිලිම හුඟක් පහතයි. මේ දේවාලයේ බිත්තියක කැටයම් කර තිබෙනවා කිසියම් දෙයක්. එය බැලූ බැල්මට ඉපැරණි විදුලි බුබුළක් හා සමානයි. අපට විසඳුම් සොයන්න බැරි පැනයක් මෙහි දී මතුවෙනවා. ඒ තමයි, පුරාණ මිසර වැසියන් මේ භූගත සොහොන් ගැබ්, සොහොන් ගෙවල් හා දෙවොල, තුළ අඳුරේ මේ රූපාක්ෂර ඇන්දේ කොහොමද? කැටයම් කෙටුවේ කොහොමද? කියන එක.
පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පෙනෙන්නේ නැති ඝන අඳුරේ දී ආලෝකය දෙන්න පන්දම් භාවිත කළා කියලයි. ඒත් සිවිලිම්වල කොහේවත් පන්දම්වලින් නිකුත් වූ ගිනිදැල්වලින් බැඳුණු දුම් හෝ දැලි ඇත්තේ නැහැ. ඒ නිසා පන්දම්වලින් ආලෝකය දුන්නා යන මතය බැහැර වෙනවා. එහෙනම් කොහොමද ඔවුන් එළිය ලබා ගත්තේ? තවත් මතයක් තමයි, ඔවුන් ඒවා ඇතුළට ආලෝකය ලබා ගත්තේ, පිටත සූර්යා ලෝකය, ඔප දැමූ තඹ තැටි යොදා ගනිමින් පරාවර්තනය කිරීමෙන් කියලයි. ඒ ක‍්‍රමය එක්තරා දුරකට පිළිගන්න පුළුවන්. ඒත් වැඩි දුරකට ආලෝකය ලබා ගන්න නම් ඒ ක‍්‍රමයෙන් පුළුවන්කමක් නැහැ. ඔප දැමූ තඹ තැටි මගින් පරාවර්තනය කරන ආලෝකය අතරමගදී හීන වී යන නිසයි.
ආලෝකය ලබා ගත්තේ කොහොමද?
පන්දමක් දල්වන්න ප‍්‍රමාණවත් තරමේ ඔක්සිජන් වායුව මේ පිරමීඩ හෝ සොහොන් ගැබ් ඇතුළේ ඇත්තේ නැහැ. ඒ නිසා ආලෝකය ලබා ගන්න නම් කිසියම් විධියකට කෘති‍්‍රමව ආලෝකය නිපදවන්න සිදුවෙනවා. පුරාණ මිසර වැසියන් පිරමීඩ හා දෙවොල ආලෝකමත් කළේ විදුලි බල්බ යොදා ගෙනයි, කියලා පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන පිරිස් කියනවා. ඔවුන් කියන්නේ ඩැන්ඬේරා
දෙවොලේ බිත්තියේ කොටා ඇත්තේ විදුලි බල්බයක රූපයක් කියලයි. ඒත් සමහර පුරාවිද්‍යාඥයන් නම් කියන්නේ එය විදුලි බල්බයක් නොවේ නෙළුම් මලක් කියලයි. ඒත් පුදුමයට හේතුවන තවත් කරුණක් තමයි, මේ විදුලි බල්බය හෝ නෙළුම් මල හෝ දකින්න ලැබෙන්නේ ඩැන්ඬේරා දෙවොලේ පමණයි. ඒකටත් හොඳ පැහැදිලි කිරීමක් තිබෙනවා. පුරාණ මිසරයේ විවිධ ස්ථාන විවිධ දේවල් සඳහා වෙන් කරලයි, තිබෙන්නේ. ඩැන්ඬේරාවේ තමයි, ආලෝකය ලබා දුන් ප‍්‍රභවය පිළිබඳ තෙරතුරු තැන්පත් කර තිබුණා යැයි පැවසෙන්නේ. මේ දැනුම සුරක්ෂිතව ආරක්ෂා කළේ ප‍්‍රධාන පූජකවරුන් විසිනුයි. ඒ නිසා ඩැන්ඬේරා කියන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒකයි එතැන විතරක් විදුලි බල්බයක් දකින්න ලැබෙන්නේ.

බැග්ඩෑඞ් බැටරිය : Baghdad Battery
මිසර වැසියන් මේ අඳුරු පැසේජයන් ආලෝකමත් කළා නම්, බල්බ යොදා ගෙන, ඒ බල්බවලට විදුලි බලය ලැබුණේ කොහොමද? අනෙක විදුලි බලය සොයා ගැනුනේ අවුරුදු ගණනාවකට පසුවයි. ඒත් ‘බැග්ඩෑඞ් බැටරිය’ කියලා විද්‍යාඥයන් හඳුන්වන දෙයින් ඒ අදහස වෙනස් වෙනවා. පුරාවිද්‍යාඥයන්ට බැග්ඩෑඞ් බැටරිය සොයා ගැනීමට හැකිවෙලා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවරින්. මෙවැනි බැටරි දුසිම් ගණනින් හමුවෙලා තිබෙනවා. බැග්ඩෑඞ් බැටරිය කියලා කියන්නේ කි‍්‍රස්තු පූර්ව ශත වර්ෂ කීපයකට කලින් පාතියන් හෙවත් සැසනිඞ් යුගයේ දී මිසපොටේමියවේ කළ නිර්මාණයක්. ඒ නිසා මෙයට පාතියන් බැටරිය කියලත් කියනවා. මෙය සොයා ගනු ලැබුවේ 1936දි, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අසල කුයුට් රැබූ නම් ගම්මානයෙන්. 1938දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජර්මන් ජාතික විල්හෙල්ම් කොනින් තමයි, ලෝකයේ අවධානය මෙයට යොමු කළේ. 1940දී ඔහු පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කළා, මේවා ගැල්වනික කෝෂ සහිත බැටරි විශේෂයක් කියමින්. සමහර විට මේවා යොදා ගන්න ඇත්තේ රිදියෙන් තැනූ ආභරණ ඔප දැමීමට විය හැකියි. ඒක එහෙම නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා 1800 ගණන්වල විදුලි කෝෂ බැටරිය තනන්න අවුරුදු මිලියනයකටත් වැඩි කාලයකට කලින් මේවා නිර්මාණය කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.
මොකක්ද මේ බැග්ඩෑඞ් බැටරිය?
මේ ඉපැරණි විදුලි කෝෂයට යොදා ගෙන තියෙන්නෙ, සෙ.මී. 13ක් උස ‘ටෙරාකොටා’ මැටි බඳුන්. එහි මුදුනේ සෙ.මී. 4ක විතර කටක් තිබුණා. තනි යකඩ කූරක් හා තඹ තහඩුවක් රොල් කර තැනු සිලින්ඩරයක් ඒ තුළට රිංගවා තිබුණා. එහි මුදුනේ තඹ තහඩුව හා යකඩ කූර වෙන් කර තැබීමට බිටුමින් කෙවෙනියක් යොදා තිබුණා. ඒවා මැටි බඳුනට හොඳින් හිර වන සේ සවි කර තිබුණා.
මේ මැටි බඳුන් බඳෙන් පිටතට පිම්බී යන විදියටයි, තනා තිබුණේ. විදුලි කෝෂයක් බවට පත්වීමට මේ බඳුන තුළට සිට්රික් අම්ලය වැනි දෙයක් යොදන්න ඇති කියලයි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ සඳහා දෙහි යුෂ, මිදි යුෂ හෝ විනාකිරි භාවිත කරන්න ඇති. ඔවුන් විදුලි බලය නිපදවා ගත්තේ එහෙමයි. ඒ අනුව පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය කියන්නේ මීට වසර 3000 කට පෙර ඈත අතීතයේ, ඉපැරණි මිනිසා විදුලි උපකරණ පරිහරණය කරන්න ඇති කියලයි. ඔවුන්ට ඒ සඳහා දැනුම ලැබුණේ කොහොමද? කාගෙන්ද? පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මරණයට පෙර එන නිල් පැහැ ආලෝකයක් ගැන හෙළිවෙයි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - very death)



ප්‍රාණය නිරුද්ධවී සකල ශරීරය දරඳඬු වී කුණු වීම ඇරැඹෙන මොහොතට අපි මරණය යෑයි කියමු. මරණය ජීවියකුගේ සිරුර ක්‍රමානුකූල ලෙස වෙළා ගන්නා හැටි පසුගියදා බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ පිරිසක්‌ අධ්‍යයනය කළහ. ඔවුන්ගේ පර්යේෂණයට ලක්‌ කෙරුණු ජීවියා පණුවෙකි. ඒ සතා වෙත මරණය පමුණුවන ලද්දේ පෙරකී විද්‍යාඥයන් පිරිස විසිනි. මරණය පණුවාගේ සිරුරට වැද පියවරින් පියවර සෛලයෙන් සෛලය ආක්‍රමණය කරමින් ක්‍රියාත්මක වන හැටි විද්‍යාඥ පිරිස රූපගත කළහ. මෙහිදී විද්‍යාඥයන්ට හැඟී ගිය වැදගත් කාරණයක්‌ වූයේ ශරීරය තුළ මරණය ආරම්භ කරමින් එක්‌ සෛලයක්‌ මියගිය විට එයට යාබදව ඇති අනෙක්‌ සෛලයද මිය යන බවය. මෙය දාම ක්‍රියාවලියක්‌ මෙන් ක්‍රමානුකූලව ශරීරය පුරා පැතිර යයි. සැලකිය යුතු සෛල ප්‍රමාණයක්‌ මියගිය විට මරණය කිසිසේත්ම වළක්‌වාලීමට බැරි ලෙස සිරුර පුරාම විහිදෙයි. එය රසායනික ප්‍රතික්‍රියාවකි. මේ මගින් සෛලවල අභ්‍යන්තර කොටස්‌ කැඩී බිඳී අණුක සුන්බුන් (MOLECULAR DEBRIS) පමණක්‌ ඉතිරිවෙයි.
සෛලමය ක්‍රියාවලියකදී මෙසේ අණුක සුන්බුන් පමණක්‌ ඉතිරිවන ලෙස සෛල කැඩී බිඳී යැම විද්‍යාඥයන් ශාක ආධාරයෙන් හඳුනාගෙන තිබිණ. එහෙත් ශාක නොවන සත්ත්ව ජීවය විසින් මරණය වැළඳ ගන්නා ආකාරය විද්‍යාඥයන් මීට පෙර දැක තිබුණේ නැත.
පණුවකු තුළ මරණය පැතිර යන ආකාරය අන්වීක්‍ෂයක්‌ මගින් ඉතා පහසුවෙන් දැක ගත හැකිය. එය නිල් පැහැති ෆ්ලුවොරසන්ට්‌ එළියක්‌ ගමන් කරන ආකාරයෙන් පණුවාගේ ශරීරය වසාගෙන ගමන් කරයි. මහළු වියට පත් පුද්ගලයකුගේ ශරීරයෙහි සෛල දුර්වල බැවින් මරණය ආරම්භ වී සෛල කැඩී බිඳී අණුක සුන්බුන් බවට පත්වීම පටන් ගත් විට එම ක්‍රියාවලිය කිසි සේත්ම නැවැත්විය නොහැකිය.
මරණයේ නිල් පැහැති එළිය ගැන විද්‍යාඥයන්ට පූර්ව අර්ථ කථනයක්‌ තිබිණ. වියපත් වූ සෛල කැඩී බිඳී යන විට රසායනික ක්‍රියාවලියකින් උපදින මේ ආලෝකය විහිදෙන බව ඔවුහු දැන සිටියහ. මෙම ආලෝකයට හේතුව Lipofuscin (ලයිපොෆියුසින්) නමැති සංඝටකය බව විද්‍යාඥයන්ගේ පූර්වකාලීන නිගමනය විය. එහෙත් අලුත්ම සොයා ගැනීම වන්නේ එම සංඝටකය anthralinic (ඇන්ත්‍රලිනික්‌) නමැති ආම්ලික අණුවක්‌ බවය.
කෙසේ වුවද වැඩි කලක්‌ ජීවත් වීමට අපේක්‍ෂා කරන අය ඒ සඳහා ඇන්ත්‍රලිනික්‌ අනුව මර්දනය කළ යුතු බව විද්‍යාඥයන්ගේ මතය වේ. ඇන්ත්‍රලිනික්‌ අණුව මර්දනය කිරීම දිගින් දිගටම කළ හැකිනම් එතැන් සිට පටන් ගන්නේ සදාකාලික ජීවනය පිළිබඳ කතාවය.
බ්‍රිතාන්‍යයේ Wellcome trust and Biological Science Research Council ආයතනය කළ පර්යේෂණ වාර්තාවක්‌ අනුසාරයෙන් සැකසිණ.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


Monday, September 26, 2016

නාග කන්‍යාවෝ සහ නයි දමනය කරන මන්තර..(අබිරහස් අඩවිය - Abirahas Adawiya - naga kanya)

නයි සෙල්ලම් ලෙල්ලම් කරන දළ හතරේම යක්‍ෂණියෝ
නාගයා උරගයෙකි. මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝය. මිනී මස්‌ කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි. එහෙත් සෘෂිවරයන් විසින් තම තමන්ගේ මත ප්‍රකාශ කළ හෙයින් විවිධ ප්‍රභේද ඇත.
ඒ කෙසේදැයි කිව හොත් අනත්තයායá වාසුයá කෝටයá පත්මයá මහ පත්මයá සංඛපාලයá ගුලිකය යන මේ අට කුලෙන් පැවැත එන හැම නයෙකුම ඇසළ මස පටන් හැම දවසක්‌ මුලුල්ලෙහි රතිකෙලියේ යෙදෙති. එසේ හැසුරුණු සැපින්නගේ කුස බිජු හටගනී. මෙම බිජු එක්‌සිය පනස්‌ දවසකින් මුහුකර එකී එකී සැපින්නන් බිජු දෙසිය සතලිසක්‌ පමණ ලන්නීය. පිරිමි බිජු ඉද්ද කැ=කුළු වගේය. ගෑණු බිජු රන්වන්, නිල්වන් තල්වන් පැහැයෙන් යුක්‌තය. ඒ බිජු සත් දවසක්‌ හැරු වරෙක බිජු විස්‌සක්‌ බැගින් සතියෙන් සතියට ගන්නීය. ඒ බිජු පිටකපාලයෙන් හික්‌මුණු නයි පැටවුන් දොළොස්‌ දවසක්‌ ගිය තැන ඔවුන්ට දළ උපදිති.
දස දවසක්‌ ගිය පසු හිරු දකී. හිරු දුටුදා සිට නයි ඇතුළු සියලු සර්පයින්ට විෂ උපදිති. තිස්‌ දවසින් සැව ගලවති. මෙසේ ප්‍රථම කවු පනය දක්‌වා කිසිම උවදුරක්‌ නැතිව සැව ඇරීමෙන් පසු එතැන් සිට බස්‌නාහිර වාසය කරති. මේ පශ්චිම දිසාවකම අට කුල නයින් ගෙන් අනත්තයá ගුලිකය යන දෙදෙනාගේ ඇඟ රන් පැහැගනී. බමුණු කුළය වේ. මේ දෙදෙනා අග්නි වෙයි. වාසු‚ය ශංඛ පාලය යන දෙදෙනාගේ ඇඟද රන්වන් පෑය රජ කුලයෙහි වන්නේය. මේ දෙදෙනා අග්නි පුත්‍ර වේ. කර්කය පද්මය යන දෙදෙනාගේ ඇඟ කළුය. වෙළඳ කුලය වෙයි. කෝටය, මහා පත්මය යන දෙදෙනාගේ ඇඟ නිල් පැහැය සුදු කුල වෙයි. වාරුන්‍යගේ පුත්‍ර වන්නේය.
මේ නයින්ගෙන් රජකුල නයි මීයන් අනුභව කරයි. බමුණු කුලේ නයි පරඬැල් අනුභව කරයි. වෙළෙඳ කුලේ නයි. බමරුන් අනුභව කරයි. සුදු කුලේ නයි නොයෙකුත් ගොදුරු අනුභව කරයි. රජකුලේ නයා ගසේද, බමුණු කුලේ නයා දේවාලේ වැඳ ගසේ වසයි. වෙළෙඳ කුලේ නයා ගෙයි වෙසෙයි. සුදු කුලේ නයා මී අරනේ වසයි. රජකුලේ නයාට මහත් වූ පෙනය දළ වූ ශරීරය දිගැති ෂොවැනි පුළුන්වූ රන්වන් ඇස්‌ ඇත. සරස බලා නටයි. බමුණු කුලේ නයා අහස බලා නටයි. වෙළෙඳ කුලේ නයා කරනඟා නටයි. සුදු කුලේ නයා සොට බිමලා නටයි.
මෙසේ නයාගේ ලකුණු පැවසෙන අතර සැපින්නගේ ලකුණු මෙසේය. හිස හීන්ය, ඇස්‌ කුඩාය, වාලධිය සිහින්ය. ලුහුඬුවූ සෙවැනි ඇත්තේය. මදක්‌ ලුහුඬු වූ ශරීර ඇත්තේය. කඳ මහත්ය. බඩ හම තුනීය. මඳවූ ගමන් ඇත.
මෙම කුල අටේ නයින්ගේ දළහි වාසය කරන දෙවියෝ හුදු මෙසේය. තකරී නම් මහා බ්‍රහ්මයෝය. මකරී නම් විෂ්ණුය. කාල රාත්‍රී නම් ඊශ්වරයෝය. යම දූතිනම් ශක්‍රයෝය. සර්පයන්ගේ වම් ඇස යසෝදරය. දකුණු ඇස උමා පොතිය. උඩු තොල අෂ්ටභූජංගයෝය. යටි තොල බෘරාඬිය, මුඛයෙහි යෝගේශ්වරයෝය, නාථයෝය. මෙසේ සියලු දෙවියන් පිහිටි තැන් දැන දළ සතරකින් හා දළ දෙකකින් යුක්‌තවූ මුඛයෙහි දෙකපොලෙහි දත්මුල පැහැරැ සිටියාවූ උග්‍රවූ විෂ බැඳුම් නැවුම් මෙසේය.

රජකුල නයි කෑවොත් 
දකුණය පුපුරුගැසුමක්‌
බමුණු කුල නයි කෑවොත් 
වමද එම සේ වේය නියමත්
වෙළඳ කුල නයි කෑවොත් තුනැස්‌වනති වෙයි දකුණත්
සුදුකුල නයි කෑවොත් 
ළිඳක්‌ සේ වෙයි මහත් දාහත්

නාගයින් උරග විශේෂයක්‌ද නැතහොත් මනුෂ්‍ය ලෝකයෙන් බාහිර වෙනත් ලොවක විසූ දෙවි කෙනෙක්‌ද එසේත් නැතිනම් ගෝත්‍රික නාමයකින් යුත් මනුෂ්‍ය විශේෂයක්‌ දැයි හරිහැටි නිශ්චය කළ නොහැකිය. පැරැණි සාහිත්‍ය හා ආගමික ග්‍රන්ථ නාගයින් ගැන දක්‌වා ඇති තොරතුරු කුතුහලය දක්‌වයි.
පෝගල් ගේ ඉන්දියානු "සර්ප වේදය" වැදගත් පර්යේෂණාත්මක ග්‍රන්ථයකි. එහි දැක්‌වෙන නාග ඇදහීම පිළිබඳ තොරතුරු හා පෝගල්ගේ විග්‍රහයද බොහෝ වැදගත් වෙයි.
නාගයාට කකුල් නැත. නමුත් ඔහු වේගයෙන් ඇදීයන්නේ කෙසේදැයි කියා ආදිත මිනිසා තුළ විශ්මයක්‌ ඇතිවිය. කිසියම් දෙයක්‌ ගැන හරිහැටි තේරුමක්‌ ගැනීමට නොහැති මිනිසාට නූගත්කම නිසාම මහත් බියක්‌ ඔහු තුළ ඇති විය. එනිසා ගෞරවයකි. මෙම ගෞරව සංයුක්‌ත බිය ලෝකයේ නොයෙකුත් ආගම් වලට මුල්විය.
නයාගේ පෙණය හැකිලීමට දිග හැරීමට හැකිවීම. පහර දීමේදී හිස කෙළින් තබා ගැනීම. දෂ්ඨ කිරීම, හැව ඇරීම, දෂ්ඨ කළ විට විෂ ක්‍ෂණිකව මුළු ශරීරය පුරා පැතිරීම ආදී කරුණු අනුව පැරැන්නන් තුළ බියක්‌ ඇතිවිය. ඔවුන් විෂ පැතිර යැම ගින්නට සමකොට ගින්න සංකේතවත් කිරීමට නාගයා යොදා ඇත. පසුකල ගින්නෙහි මුල සූර්යයා ලෙස වටහා ගත් මනුෂ්‍යයන් කටින් වල්ගය හපා සිටින කවාකාර සර්පයකු සූර්ය සංකේතය ලෙස භාවිත කළේය.
ලංකාවාසී හා ඉන්දියානු වැසියන් පෙණය සහිත හෝ රහිත සර්පයා ජලයේ සංකේතය ලෙස සැලකූහ. නාග වන්දනාවේ උපත ගැන පෝගල් මහතාගේ මතය අනුව මහා භාරතය. රාමායණය, වේදේහ ජාතක කථා ආදියෙන් අපට නිදසුන් පෙන්වා ඇත. පෝගල් නාග වන්දනාවේ ආරම්භය ලෙස අදහස්‌ කරන්නේ නාගයා හා වර්ෂාවේ ඇති සම්බන්ධයයි. වර්ෂා කාලයේදී නාගයින් සිටින ගුල්වලට වතුර පිරෙන විට සර්පයින් බහුලව ගෙවල් තුළට ඇදී එයි. මෙම කාලයට ඉන්දියානුන් "ප්‍රත්‍යාව රෝහණ" නම් උත්සවයක්‌ සීත සෘතුවේ මුල් මාසයේ පසලොස්‌වක පෝදිනයක පවත්වති. ඊට හේතුව වර්ෂා සෘතුව පටන් ගන්නා විට නිදාගැනීම සඳහා ඇඳන් උඩට නැගීමයි. වර්ෂා කාලයේ පමණක්‌ සර්පයන් එනවිට වර්ෂාව නිසා නයින් එනවා ඇතැයි ද නැතිනම් සර්පයන් විසින් වර්ෂාව ගෙනෙන්නේ යෑයි යන විශ්වාසය මත අදහන්නට විය. වර්ෂාව සමඟ ඇතිවන කුනාටු, හෙන. විදුලි කෙටීම්, ගෙරවීම්, ආදී මේඝ ගර්ජනා නාගයින් විසින් කරන වැඩක්‌ යයි සිතූහ. වර්ෂාව නැතිව ඉඩෝර, සාගත කාල ඇතිවීම නාගයින්ගේ කෙරුම් යයි සිතූහ. සර්පයාගේ දඟර මෙන් සහිත ගලායන ගංගාද ජලය එක්‌රැස්‌වී ඇති වැව් විල් ආදියද නාගයින්ගේ වාසස්‌ථාන ලෙස සැළකූහ.
නාගයින්ගේ විෂ දුමනිසා ලෙඩරෝග ගොවිතැන් බව බෝග විනාශය ඇති වන්නේ යයි පැරැන්නන් විශ්වාස කර ඇත. පුරාණයේ ඇතිවූ වසංගත රෝග අභිමතන රෝග ලෙස සැළකූ අතර "අභි" යනු සර්පයායි. තුඹසෙන් ඇදී එන නයා නාගලෝකයෙන් එන්නේයයි පුරාණ මිනිසා විශ්වාස කොට ඇත. නාග ලෝකය පොළව යට ඇතැයි වීර කාව්‍ය හා ජාතක කථාවල දක්‌වා ඇත්තේ ඒ නිසයි. නාග වන්දනා කලින් කල එක්‌වූ කොටස්‌ තුළින් වර්ධනය වී ඇත. හැව ඇරීමෙන් නාගයා තරුණ වීමත් අලුත් ජීවිතයක ආරම්භයක්‌ යයිද, පුරුෂ ලිංගය හා සමාන ලක්‍ෂණයක්‌ නාගයාට ඇති බැවින් දරුවන් නැති කාන්තාවන්ට දරුවන් ලබාදීමේ බලයක්‌ ඇතැයිද විශ්වාස කළේය.
එනිසා තුඹසක්‌ උඩ වාඩිවී සිටින මිනිසකුට පුද පූජාවන් තබා වැඳීමෙන් පිරිමි දරුවන් දීමේ බලයක්‌ ඇතැයිද සිතා වැඳුම් පිදුම් කළේය. අදත් භාරත ඉන්දියාවේ කන්‍යාවන් විසින් මෙය නාග වන්දනාවක්‌ වශයෙන් කරති.
නාග ලෝක දෙකක්‌ ඇතැයි ඔවුන් සිතූහ. එකක්‌ නයින් සහ සර්පයින් සිටින මේ මහ පොළවය. අනික පාතාල ලෝකයේ ඇතැයි සිතන නාග ලෝකයයි. සර්පයන්ට ඇති භීතියත් ජලය. වර්ෂාව සශ්‍රීකත්වය නාගයන්ගේ සම්බන්ධතාවය ආදිය නිසා ඇතිවූ ගෞරව සම්ප්‍රයුක්‌ත බිය නිසා සිතින් මවාගත් නාග ලෝකයත් ඇතිවිය. ලක්‍ෂණ නාග කන්‍යාවන් නාග කුමරියන් කාන්තා වෙස්‌ ගෙන සාමාන්‍ය මිනිසුන් හා රජවරුන් සමඟ විවාහ වූ අවස්‌ථාවන් ගැන ජාතික කථාවලින් පෙන්වා ඇත. නමුත් මිනිස්‌ වෙස්‌ ගත් පිරිමි නාගයන් සිටියද ඔවුන් තුළ කිපෙන ගතිය, විෂ ගෝර ගතියෙහි වෙනසක්‌ සිදුනොවේ. සිල් රැක්‌ක නාගයන් ගැනද කියවේ.
විශේෂයෙන් නාගයෝ මැණික්‌, මුතු, රන් අයිතිකරුවන් යයි කියන අතර ධනයෙන් ආඪ්‍ය කොටසක්‌ ලෙස හැඳින්වේ. වටිනා මැණික්‌ ඇති නාගයින් සිටින බවත් එවායින් නිකුත්වන ආලෝක ධාහරාවන් දැක ඇති අයද සිටිති. වෛර බැඳගෙන හෝ ධනයට ඉඩමට නිවසට, බඩු බාහිරාදියට, දරුවන්ට අඹුවට ආශාවෙන් හා ලෝභයෙන් මිය යන්නෝ නාගයන් වෙසින් උපදිතියි විශ්වාසයක්‌ ද ඇති බව ජනකථා තුළින් දැක්‌වේ. නැවත ඉපදීම නාගයන්ගෙන් සංකේතවත් වේ. ධනයෙන් කොතරම් ආඪ්‍ය වුවද නාගයන් වටිනා මැණික්‌ සොරා ගනී. බිමට වැටී නැතිවුනදේ නාගයින් සොරකම් කළ බව දැක්‌වෙන කථාද ඇත.
නාග වන්දනාව සශ්‍රීකත්වය පිළිබඳ ඇදහීමකි. සර්ප වන්දනාව ඉන්දියාවේ හා ලංකාවේ පමණක්‌ම නොව අන් රටවලද අදත් අදහති. මිසරයේ රජුගේ ඔටුන්නේද නාග සංකේතය යොදා ඇත.
මහා භාරතයෙහි සඳහන් පරිදි නාගයෝ කදුර්ගේ දරුවන් ලෙස හැඳින්වේ. ඔහුගේ සොයුරිය විණීතාය. ඇයගේ පුත්‍රයා අරුණ මොහු ඉරු දෙවියන්ගේ රථාචාර්යයාය. අනෙක්‌ පුත්‍රයා ගරුඬ ඔහු විෂ්ණු දෙවිඳුගේ වාහනයයි. යාපන අර්ධද්වීපයේ කන්ද රෝද නමැති ස්‌ථානය කදුරුගොඩ විහාරය නමින් නම්පොතේ සඳහන් ස්‌ථානය කදුරු ගස්‌ නියා නම යොදා නැති බවත් පූර්වයෙහි කදුරු නමැති නාගිනි පූජාව පැවැත්වූ ස්‌ථානයක්‌ වේ.
නාගයන් පිළිබඳ ජන කථාවන්a බොහෝය. ඉන්දියාවේ වයඹ දේශයේ උද්‍යාන නොහොත් හමාන්හි කෝසල ජනපදයේ විරූඪ රජ ශාක්‍යයන් වැනසීමේදී ඉන් බේරුණු ශාක්‍ය කුමරු, නාගයකු පිට නැඟ වයඹ දෙසට පැමිණියේය. එහිදී නාග කන්‍යාවක්‌ හමුවී ඇය සමඟ විවාහ වීය. ඔහුගේ මාමා ඔහුට කඩුවක්‌ තෑගි දී ඇත. එයින් එම රටේ රජු මරා ඔහු රජවිය. ඔහුගේ බිරිඳගේ හිස්‌ නවයක්‌ විය. ඒ හිස්‌ නවය නිසා ඇයට යහනේ සැතපීමට අපහසු විය. ඒ නිසා ඔහු ඇයගේ හිස්‌ නවය කපා හෙළීය. මේ නිසා ඔවුන්ගේ දරුවන්ට මහත් හිස රදයක්‌ද ඇතිවිය.
මහා වංශයේ සඳහන් නාගයින්ට වඩා දීප වංශයේ සඳහන් නාගයෝ මනුෂ්‍යත්වයට සමානය. දීපවංශය අනුව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවාගෙන එනවිට මුහුද මැදදී එය නාගයන් සතු කර ගැනීමට වෙරදරා, එය පැහැර ගෙන ගොස්‌ සතියක්‌ නාග ලොවේ තබාගෙන වැඳුම් පිදුම් කළ බවත්, පසුව සංඝමිත්තා තෙරණිය ගුරුළු වෙසක්‌ මවා ඔවුන් බිය වද්දා, එය නැවත ලබා ගත් බවත් සඳහන් වේ. මෙහිදී වැදගත් වන්නේ ශ්‍රී මහා බෝධිය දැක නාග කුමාරිකාවන් ප්‍රීති වූ බව හා නාග රජු කලු නාගයින් කොඩි ළෙලවමින් අනර්ඝ බෝධිය ශ්‍රී ලංකාවේ පිහිට වූයේ යෑයි දීපවංශයේ (16) පරිච්ඡේදය පෙන්වයි.
ලංකාවේ නාග කොට්‌ඨාස දෙකක්‌ ගැන මහාවංශය කියයි. එනම් සමුද්‍රස්‌ථාන නාගයන් හා පර්වත වාසී නාගයන්ය. නාගයන්ගේ එක්‌ රාජධානියක්‌ කැලණිය යයි. පර්වත නාගයින්ගේ රාජ්‍ය නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැත. එහෙත් දැනට පවත්නා විශ්වාශය අනුව බුදුරජාණන් වහන්සේ වැඩිය නාගදීපය නැතහොත් යාපනයට ආසන්නව ඇති කුඩා දිවයින වශයෙන් පිළිගැනේ. ලංකාව ගොවි තැනින් පෝෂිත ස්‌ථානයකි. දීප වංශයේ දැක්‌වෙන තොරතුරු අනුව මහෝදර, චූලෝදර නමැති නා රජවරුන් මැණික්‌ පුටුවක්‌ සඳහා ආරවුලක්‌ ඇතිවූ විට එය සංසිඳවීමට අපේ ලොව් තුරු බුදුන් වහන්සේ එතනට වැඩ ධර්මදේශනාවක්‌ කළ විට අසූ කෝටියක්‌ නාගයින් බුදුන් සරණගිය බවත්, බුදුන් පැමිණි දෙවාරයේදීම නාගයන් දන් පිළිගැන්වූ බවද සඳහන් වේ. බුදුන් වැඩිය එක්‌ වතාවක මැණික්‌ පුටුවක්‌ද පුදා ඇත. දෙවනවර කැලණියට වැඩිය අවස්‌ථාවේ රන් රුවන් හා වෛවර්ණ රෙදි වලින් සරසන ලද රුවක්‌ මඩුවකදී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා රහතන් වහන්සේලා 500 නමක්‌ වැඩිය අවස්‌ථාවේ උන්වහන්සේලාට රසවත් ආහාර පානාදියෙන් නාගයන් දන්පුදා ඇත.
පැරැණි හා මෑත සාහිත්‍ය ග්‍රන්ථවල නාග කන්‍යාවන් හා නා රජවරුන් ගේ ක්‍රියාවන් බොහොමයක්‌ පිළිබඳ ඇති තොරතුරු සැබැවින්ම පුරාවෘත්තය පදනම් කරගත් ඒවා බව පෙනේ. නාග මානවිකාවන් ගැන කියවෙන පළමු පුවත වන්නේ දුටුගැමුණු රජුගේ බිසව වශයෙන් පත්කර ගත් කන්‍යාවය. නාග ලොවේ සිට නාග කන්‍යාවක්‌ මෙහි පැමිණ මහා සෑය වඳින්නට පුරුදුව සිටියාය. දිනක්‌ මහා සෑය මළුවේ පිරිත් දේශනයක්‌ කරන විට. අමාත්‍යවරු ඇය දැක උපක්‍රමයෙන් රජුගේ යහන් ගබඩාව වෙත ඇය කැඳවාගෙන ගියේය. ඉන්පසු රජු ඇයගෙන් තොරතුරු විචාරා ඇය සරණපාවා ගත්තේය. මේ පුවත නාග ලොවේ නා රජුන් දැනගත් පසු වහා කිපී දැඩි කෝපයෙන් මනුලොවට පැමිණ මඟුල් උයනේදී රජුට දෂ්ට කළේය. රාජකීය වෛද්‍යවරයා ඔහු සුවපත් කළත් පසුව පැමිණ විෂ වෛද්‍ය වරයාට දෂ්ට කර ඔහු මරා දමා දෙවනුව රජුට දෂ්ටකර මරාදැමූ බව ජාතක කථාවක ඇත. පසුව නාග කන්‍යාව රජුගේ මෘත දේහයට වැඳ නාග ලොවට ගිය බවද දැක්‌වේ.
මේ කථා වලින් පෙනීයන්නේ හිතූ වේලාවක උරග වේෂයත් මනුෂ්‍ය වේශයත් මවා ගත හැකි වෙනත් ලෝකයක විසූ දේව කොට්‌ඨාසයකට නාග කන්‍යාවන් අයත් වූ බවය.

මනහර නා මෙනෙවිය හිඳ ළවැලි පිට
ගෙන මිණි වෙන තත් නියඟින් මැද රුවට
කන එව කියන බුදු ගුණගී මියුරු කොට
සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක්‌ සිට

රාහුල හිමියෝ සැළලිහිණි සංදේශයෙහි දක්‌වා ඇත්තේ කැලණි ගඟ බඩ වැලි තලාවන්හි මැණික්‌ වීනාවන් වයමින් බුදුගුණ ගැයූ නාග මානවිකාවෝ ක්‍රීඩාකළ බවයි. මෙතනදීද නාග මානවිකාවන් මනුෂ්‍ය ස්‌වරූපයකින් පෙන්වයි. එය කෝට්‌ටේ අවධියේය.
එහෙත් නාග මානවිකාවෝ ගෝත්‍රික ජන කොට්‌ඨාසයක්‌ නම් මෙහි සඳහන් කෝට්‌ටේ අවධියේ වනවිට ඔවුන් මෙහි ජීවත්ව සිටි බව පිළිගැනීමට හේතු සාධක නැත. එහෙත් මෙහි විසූ නාග ගෝත්‍රිකයන්ගේ ජීවන රටාව සංස්‌කෘතික වැදගත් කමකින් යුක්‌ත බව නම් පෙනේ. ඔවුන් සැබමින්ම සභ්‍ය මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ තුළ කාන්තාවෝ රූ සිරියෙන් අනූන වූවාය. සංගීත, කාව්‍ය, නාටකාදි රංගනයන්හි අතිශයින් දක්‍ෂයන්ය. එවන් කරුණු රාශියක්‌ තුළින් ඉහත කී දුටුගැමුණු කථාවේ දැක්‌වෙන හරය අනුව ගෝත්‍රික නාග ප්‍රධානියකුගේ දියණියක්‌ රජුගේ වසඟයට පත් වූ බව මිස පිටස්‌තර ලෝකයක වාසය කරන අතිමානුෂ බලයක්‌ ඇති කන්‍යාවක්‌ නොවන බවය.
මේ උරග ස්‌වභාවය නාග ගෝත්‍රිකයන්ට දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයෝ මිනී මස්‌ කන භයානක අමනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ලෙස සිතින් මවාගත් පරිදි නාගයන්ටද එම උරග ස්‌වරූපය ආරෝපණය කළ බවයි.
මේ නාගයන් අතර රාජනාගයා නමින් නාගයින් කොටසක්‌ ඉන්දියාවේ හිමාල අඩවියේ සිටී. ඔවුන්ගේ ආහාරය නයින්ම පමණකි. ඉන්දු, චීනය, බුරුමය, අන්දමන් දූපත්, මලයාව, පිලිපීනය බෙහෙවින් වෙසෙති. ඉන්දියාවේ වැඩිවශයෙන්ම කර්නාටක ප්‍රාන්තය, උත්තර ප්‍රදේශය, ඔරිස්‌සා යන ප්‍රදේශවල කඳු සහිත ලඳු කැලෑ ඔවුන්ගේ නිජ බිම වේ.
එමෙන්ම නාගයින් මැරීම අනන්ත පාපයකි. මැරීම පාපයක්‌ මෙන්ම සමහරවිට නයින් මැරුවොත් මැරූ අයට උමතුව පිස්‌සු, නැතහොත් තමා අන්ත පරිහානියට පත්ව උන්හිටි තැන් පවා අහිමිවූ අවස්‌ථා අපට අපේ පොත්වලින්ම දක්‌නට ඇත.
අද අපේ රටේ සිටින නාගයින් යක්‍ෂණියන්ගේ නම්වලින් හා දේව නාමයන්ගෙන් නයාගේ ශරීර අවයවයන් අපූර්ව විදහා පෙන්වා ඇත. ඒ නිසා නයකු හෝ සර්පයකු දෂ්ඨ කළහොත් ඒ සර්ප විෂ උග්‍රවී ජීවිතය පවා මරණයට ගොදුරුවේ. මේ නිසා නයින් බෙල්ලේ ඇඟේ පටලවා නටන නයි නළඟනන්, නයි නටවන්නන්, නයා සමඟ ඇසුරු කරන්නන්, සර්පයින් සමඟ සෙල්ලම් නයි රෙද්ද අස්‌සේ දාගෙන නයා කනවෝ කනවෝයි කියමින් අකල් මරණයට බිලිවන බව නම් සැබෑ බවයි.

තිස්‌දෙකක්‌ දන්තය - සතරක්‌ එයින් නම් විය
තකරී මකරී ය - කාල රාත්‍රිය යම දුති ය
මේ යක්‍ෂණින් දල සතරය - තකරී නම් දළ බ්‍රහ්මය
මකරී නම් දළ විෂ්ණුය - කාල රාත්‍රී යම ඉසුරුය
යම දුතී දළයක්‌ විය - දකුණැස එ උමා දෙවියා

යනාදී වශයෙන් විෂ ලක්‍ෂණයන් කාව්‍යයෙන් සඳහන් කොට ඇත. මේ නයින් දෂ්ට කළ විට මාත්‍ර, යාත්‍ර, ධුම හා සිංහල විෂ වෛද්‍ය ක්‍රමයන් ඇත. ඒ වායින් කීපයක්‌ මෙසේය.

"ඕං ගරුඬ විෂධාලි ගුලිධාලේ ස්‌වහ" - (108 වරක්‌ දියමතුරා පොවනු විෂ අඩුවේ).
ඕං කුරුවාල කුරුවෙන් තන්වාල එන්නඹි මරක්‌කාලුම් ගුරු කට්‌ටු නෙරෙප්පු සිවගුරු විෂගුරු තට්‌ටු පුට්‌ටු හඃ - ගිනි පෙනෙල්ලට 108 මතුරා දියේ ඔබනු විෂබහී)
ඕං නමෝ මුගලන් ආදිත්‍ය වේගෙන විෂ්ණු බාහු බලෙන් ගරුඬ පක්‍ෂ වෛත හර හර හ්‍රSං හ්‍රSං ප්‍රොaං ප්‍රොaං ඒ ස්‌වහඃ...
(දුම්මල මතුරා කෑමුෙ€ට අල්ලනු, සර්පයා ඇවිත් විෂ උරා බොයි. සර්පයා නොමරා කෑමදී අරිනු).

ඕං ශ්‍රීං වජ්‍රාසනේ ශ්‍රී භගවතෝ ඒහි ඒස්‌වාහා... (වැලි මතුරා ගසනු නයා දුවයි).
ඕං නයි පාඹු අටකොන දැනනේ සිටු සර්ව ප්‍රානේ බූමි මණ්‌ඩල ස්‌වාමියානේ ඕඩු (වැලි මතුරා ඉසිනු). මෙවන් නයි දැපන, ඖෂධයන්ද බොහෝ ඇත.
ගුප්ත විද්‍යාවේදී, සාමවිනිසුරු දේශබන්දු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ - divaina
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

බ‍්‍රහස්පතිගෙන් පෘථිවියට ආ අද්භූත යානය...( අබිරහස් අඩවිය - Abirahas Adawiya aliens pitasakwala jeeween)


පෝල් ටෙ‍්‍රන්ට් නිවස තුළ ආහාර ගනිමින් සිටියේය. ගොවිපලේ සිටි බිරිඳ හදිසියේම දුටු දෙයින් විස්මිතව තම සැමියා අමතා බෙරිහන් දෙන්නට වූවාය. බිරිඳගේ හදිසි කෑ ගැසීම අසා පෝල් එලියට එද්දී දුටුවේ තම ගොවිපළට ඉහළින් අමුතු ආකාරයෙන් ගමන් ගන්නා වස්තුවකි. ඔහු වහාම කැමරාව රැගෙනවිත් එහි ඡායාරූප කිහිපයක්ම ගත්තේය. ඒ 1950 මැයි මස 11 වැනි දිනයයි.
මදක් ඇලවී තිබූ මේ රවුම් තැටි ආකාර වස්තුව කිසිදු ශබ්දයක් හෝ දුමක් නොනගා දීප්තිමත්ව දිලිසෙමින් නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. තමන් ලබාගත් මේ අපූරු වස්තුවේ ඡායාරූප පෝල් මිතුරන් කිහිප දෙනකුට පෙන්නුවේය. එහෙත් ඒ ගැන ඔහුගේ වැඩි උනන්දුවක් තිබුණේ නැත. මැක්මින්විලේ ග‍්‍රාමයේ සිටි පුවත්පත් වාර්තාකරුවකුට මේ ඡායාරූප ගැන අසන්නට ලැබිණි. ඔහු වහාම සිදුවීම පසු පස හඹා ගියේය. අවසානයේ ටෙ‍්‍රන්ට් ගේ දරුවන් සෙල්ලම් කිරීම සඳහා භාවිත කරමින් සිටි ඡායාරූප කිහිපයක් ඔහුට හමුවිය.
එය තම සගරාවේ පල කිරීමට ඔහු සමත් වූවේය. අවසානයේ මේ ඡායාරූප ලයිෆ් සගරා අතට ද පත්විය. එයින් වසර 14 ට පමණ පසු ඇමෙරිකාවේ රාජ්‍ය ආරක්ෂක අංශයේ අනුග‍්‍රහයෙන් කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් ද එහි ගොස් වැඩි විස්තර එකතු කළහ.
1954 අගෝස්තු මස 23 වැනි දිනයේ හිමිදිරියයි. පැරිස් නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඈත ගංගාවක් අසළ තම නිවසේ සිටි බර්නාඞ් අපූරු දෙයක් දුටුවේය. තම නිවසට මදක් ඈතින් අහසේ එල්ලෙමින් සිටින දීප්තිමත් අපූරු දිගැටි වස්තුවකි. මේ තුලින් ගිනි බෝල වැනි යමක් වරින් වර එළියට පැමිණෙන ආකාරය ද එහු දැක තිබිණි. මේ කි‍්‍රයාව තුන් වතාවක්ම සිදුවනවා ඔහු දැක ඇත. බර්නාඞ් මේ බව පොලීසියට කීමට ගිය විට දැනගත්තේ රාතී‍්‍ර මුර සංචාරය නිමවා කාර්යාලයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු ද මෙම සිදුවීම දැක ඇති බවයි.
පිටසක්වළ ජීවීන් සම්බන්ධ තවත් කතාවක් අසන්නට ලැබෙන්නේ 1968 වර්ෂයේ සැප්තැම්බර් 01 දිනයේදීය. කැසිනෝ ආයතනයක හිමිකරුවන් වූ ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් මිතුරන් දෙදෙනා සිය නිවෙස් බලා යමින් සිටියහ. වේලාව අලූයම 3.30 පමණ වී ඇත. මොවුන් දැඩි අඳුරක් සහිත ස්ථානයකින් යමින් සිටියදී හදිසියේම ඔවුන්ගේ රථය නතරවූයේ කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. කිහිප වරක් එය පණ ගැන්වීමට උත්සාහ කළ ද ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. ඔවුන් හදිසියේම දුටු දෙයින් ත‍්‍රස්ත වී ගියේය.
තම රථයට ඉදිරියෙන් පොළොවට සමීප වූ අද්භූත ආලෝකයක් විහිදුවන පීරිසියක් වැනි යානයකි. එයින් බැසගත් මිනිසුන් වැනි එහෙත් විකෘති රූපකායක් සහිත පස් දෙනකු ඔවුන්ට දක්නට ලැබිණි. එයින් තිදෙනකු ටිකෙන් ටික තමන් ආසන්නයට පැමිණ ඇත. මේ අද්භූත මිනිසුන් ඔවුන්ගේ අත් අල්ලාගෙන ඇ`ගිලිවලින් රුධිර සාම්පල ලබාගෙන තිබේ. මොවුන් දෙදෙනා පවසන්නේ තමන් කාරයෙන් බසිනවාත් සමගම අංශ භාගයට ගොදුරු වූ රෝගීන් මෙන් අතපය සෙළවීමට නොහැකි වූ බවයි. ඔවුන්ගේ අත් ඔරලෝසු ද අලූයම 3.42 ට නැවතී තිබුණු බව පසුව දැනගන්නට ලැබිණි.
ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ මේ අද්භූත මිනිසුන් මීටර 1.5 ක් පමණ උසැති බවයි. එමෙන්ම ශරීරය උණුසුම් කරවන ඇඳුම් හැඳ සිටිය ද කෙස් නොමැති විශාල හිසකින් යුතු වූ බව ද පවසයි. තමන් ඉදිරියට පැමිණි මේ අද්භූත මිනිසුන් කුඩා රේඩියෝවකින් පිටවන ආකාරයේ ශබ්දයකින් කතා කළ බවත් ‘‘ බිය නොවන්න’’ ‘‘ බිය නොවන්න ’’ යන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඔවුහු පවසති. ඉන් පසු තමන් හමුවේ තවදුරටත් හඩ අවදිකළ අද්භූත මිනිසුන් මෙසේ කියූ බව පැවසේ.
‘‘ අපි සූර්යයා වටා තවමත් සංචාරය කර ඇත්තේ තුන්වරක් පමණි. සූර්යයා නොමැතිනම් ජීවයක් පවතින්නේ නැත. මේ ගමනේදී අපි සෞරග‍්‍රහ පද්ධතියේ ජීවීන්ගේ සංස්කෘතිය හා භාෂාව පිළිබඳ හදාරන්නෙමු. විශ්ව භාෂාව වන්නේ ගණිතයයි. ’’
මේ ශබ්දය මිතුරන් දෙදෙනාගේ සවනට වැදෙත්ම එක් අයකු පෑස්සුම් උපකරණයට සමාන ආකාරයේ උපකරණයක් ගෙන කාරයට ලංවී එහි දොර ජනෙල්වල යම් යම් දේ කුරුටු ගෑවේය. නමුත් පසුව කාරය පරීක්ෂා කිීමේදී එහි කිසිදු සීරීම් ලකුණක් හෝ දක්නට නොවිණි.
මොවුන් මේ විස්තර කීවේ එදින උදෑසනම ඒ අසළ වූ එස්පෙජෝ ජාතික යුද හමුදා අභ්‍යාස විද්‍යාලයට සිහි විකල්වූවන් මෙන් පැමිණීමෙනි. ඔවුන් භියෙන් තැතිගෙන පැවසූ මේ වදන් පිළිගන්නට එහි නිලධාරීන් වැඩි කැමැත්තක් නොදැක්වූ අතර ඔවුන් දෙදෙනාම ළගම ඇති ලැගොමැජියා රෝහලට යොමු කිරීමට කටයුතු කැර තිබිණි.
මොවුන් උන්මත්තකයන් යැයි සිතූ හමුදා නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහලක්වෙත යොමු කළහ. රෝහලේදී වෙන් වෙන්ව තබා ගත් අතර වෛද්‍යවරුන්ගේ මතය වූයේ මේ දෙදෙනා දැඩි කම්පනයකට ලක්ව ඇති බවයි.
කාරයේ තිබූ අමුතු සටහන් පරීක්ෂා කළ මෙන්ඩෝසා අභ්‍යාවකාශ කේන්ද්‍රයේ විද්‍යාඥයන් කියා සිටියේ මෙම ජීවීන් විසින් අඳින ලදැයි කියන සංකේතයන්හි ප‍්‍රධාන ග‍්‍රහ පද්ධති දෙකක් දක්වා ඇති බවයි. ඉන් එකක් බුද, සිකුරු සහ පෘථිවිය අයත් වන්නකි. අනෙක් පද්ධිතියේ නිරූපනය වන්නේ බ‍්‍රහස්පති සහ අයෝ, යුරෝපා, ගැනිමීඞ් යන උපග‍්‍රහයන්ය. ගැනිමීඞ් සහ පෘථිවිය අතර සමාන්තර රේඛා දෙකක් ඇඳ තිබේ. ඔවුන්ගේ සටහන අනුව මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ ගැනිමීඞ් නමැති බ‍්‍රහස්පතීගේ උප ග‍්‍රහයාගෙනි.
මෙම සිදුවීම අසත්‍යයකැයි බොහෝ දෙනකු බැහැර කිරීමට උත්සාහ ගත්ත ද රෝහලේ සහ ආරක්ෂක විද්‍යාලයේ දී මේ දෙදෙනා දුටු බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් පවසන දෙය සත්‍යයක් බවයි. කෙසේ වෙතත් මේ මිතුරන් දෙදෙනා සඳහන් කරන එදින අලූයම 3.30 ආසන්න කාලයේ දී මෙන්ඩෝසාවේ දුම්රිය පොළ සේවකයකු අලූයම 3.40ට පමණ විශාල ආලෝක ධාරාවක් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එදින පෙරවරු 3.45 ට සොනෝරා මරියා නමැති කාන්තාවක් පොලීසියට දුරකථනයෙන් පවසා ඇත්තේ ඉතාමත් දීප්තිමත් වස්තුවක් පහතින් ගමන් කරන බව තමන් දුටු බවයි.
ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්‍යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි.
1978 දෙසැම්බර් මස 30 දා නවසීලන්තයේ වෙලින්ටන් නගරයෙන් ගුවන්ගත වූ යානයකි. ගුවන්යානා පැදවීමේ කෘතහස්තයකු වූ කපිතාන් බිල් ස්ටාටප් එහි නියමුවා වූවේය. සහායක නියමුවා ලෙස කපිතාන් බොබ් ගාර්ඞ් කටයුතු කළේය.  ඕස්ටේ‍්‍රලියාවේ රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මෙම යානයේ සිටීම ද විශේෂත්වයකි.
යානය පැසිපික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබිණි. හිටිහැටියේම යානයේ නියමුවන් දුටුවේ විශාල දීප්තිමත් අලෝක ලප පහකි. නියමුවන් කළේ යානයේ සිටි රූපවාහිනී කණ්ඩායම මේ දර්ශනය පටිගත කිරීම සඳහා කැඳවීමයි. ඒ සමගම පාලක මධ්‍යස්ථානයෙන් ද පණිවිඩයක් ලැබිණි. ඒ හඳුනානොගත් යමක් මෙම යානාව ලූහුබදින බවයි. එම ලූහුබදින වස්තුව ක‍්‍රමයෙන් විශාල වෙමින් පවතින බව ද පාලක මැදිරියෙන් දිගින් දිගටම කියන්නට විය.
නියමුවන් යානය යළි හැරවූවේ ලූහුබදින්නා වඩාත් හොඳින් දර්ශනය කැර ගැනීමේ අදහසිනි. එහෙත් යානයෙන් පිටවන ආලෝකය හේතුවෙන් පිටත ඇති ආලෝක වස්තූන් හොඳින් ඡායාරූපයට නැගීමේ හැකියාවක් ලැබී නැත.
මේ යානයේ සිටියවුන් ආලෝකය විහිදුවන අද්භූත වස්තූන් දුටු ආකාරයටම එම මොහොතේ එම ස්ථානයේම යම් පියාසර වස්තූන් කිහිපයක් ගමන් කරමින් තිබූ බව රේඩාර් පද්ධතිවල මනාව සටහන්ව තිබිණි. විනාඩි විස්සක පමණ කාලයක් පැයට කිලෝ මීටර 100 ත් 200 ත් අතර වේගයකින් ගමන් කරන ලද මේ අරුම පුදුම පියාසර වස්තූන් පියාඹන පීරිසි ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුව ද ඒ පිළිබඳ කරුණු සොයා බැලූ ගුවන් බලධාරීන් කියා සිටියේ එම අවස්ථාවේ වෙනත් කිසිදු යානයක් ගුවන්ගත වී නොතිබූ බවයි. එසේනම් මේ අද්භූත යානා සියල්ල පිටසක්වල යානා ද යන්න සොයා බැලිය යුතුය.
ආජන්ටිනාවේ ටුකුමාන් ප‍්‍රදේශයේ යුවතියන් දෙදෙනකු 1963 ඔක්තෝබර් මස 21 වැනි දින රාති‍්‍රයේ අපූරු දෙයක් දැක තිබිණි. එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා බොහෝ දෙනකු වේලාසනින්ම නින්දට ගොස් තිබිණි. මේ අතර ඩෝරා මාටිනා සහ යොලී ඞී. වැලේ අවදිව සිටියේය. ඔවුන් හදිසියේම දුටුවේ තම නිවෙසට තරමක් ඈතින් ඇති දුම්රිය මාර්ගයට ඉහළින් ගෝලාකාර වස්තූන් දෙකක් විශාල ආලෝකයක් නිකුත් කරමින් එකිනෙක යා කරමින් පවතින බවයි. මේ ගෝලාකාර වස්තූන් දෙක දිලිසෙන දිගැති නාලයකින් එකිනෙක යා වූ පසු මේ නාලය හරහා මිනිස් ඡායා ගමන් කරන ආකාරය මේ යුවතියන් දෙදෙනා හොඳින්ම දැක තිබේ.
කෝච්චියක් පීලි පැන ඇතැයි සිතූ මේ දෙදෙනා ඒ දෙසට යන්නට සූදානම් වෙද්දී දුටුවේ තම නිවසේ ඉදිරිපසට ආලෝක කදම්භයක් ඇති බවයි. කිසිවෙකු රථයකින් නිවස දෙසට පැමිණෙමින් සිටිනවායැයි සිතූ ඔවුන් නිවස ඉදිරිපිටට යද්දී දැක ඇත්තේ යම් ගෝලාකාර වස්තුවක් වාතයේ පාවෙමින් තිබෙන ආකාරයකි. මීටර නමයක් පමණ පළල වූ එම අද්භූත වස්තුව ජනේල හයකින් සමන්විත වූ බව ද ඔවුන් පවසයි.
මේ වස්තුව වේගයෙන් කැරකෙමින් මීදුම වැනි දුමක් පිටකළ බවත් ඒ සමගම සල්ෆර් දුර්ගන්ධය දැනුනු බවත් ඔවුහු කියති. එම යානයෙන් අලෝක කදම්භ වරින් වර විවිධ දිශාවන්ට එල්ල කළ බවත් හිරු එළියට බොහෝ සෙයින් සමාන වූ එම ආලෝකය නිවෙස් තුළට පවා ගමන් කළ බවත් මෙම තරුණියන් දෙදෙනාගේ දෙමාපියන් පවා දැක තිබේ. අනතුරුව තවත් යානා හයක් එම ස්ථානයේ දක්නට ලැබුණු බවත් පැයකට ආසන්න කාලයක් තිබූ යානාය හය අසළ ඇති කඳුවැටිය දෙසට ගමන් කැර තිබේ.
පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පර්යේෂකයන් දැක ඇත්තේ යානය කැරකෙමින් තිබූ ස්ථානයේ මීටරයක් පමණ ගැඹුරට හෑරුණු කේතුකාකාර වළක් ඇති බවයි. මේ වළේ තිබී සුදු පැහැති කුඩා බෝල කිහිපයක් හමුවී ඇත.
අධික පීඩනයක් යෙදුව ද කඩා දැමිය නොහැකි වූ මේ බෝල පිළිබඳ පර්යේෂණ කළ ටුකුමාන් විශ්ව විද්‍යාලයේ රසායනික ඉංජිනේරු අංශය පවසන්නේ මේවායේ සියයට 96.48 ක් කැල්සියම් කාබනේට් අඩංගු බවයි. එමනේම ඉතිරි සියයට 3.51 පොටෑසියම් කාබනේට් වලින් සැකසී ඇති බව ද පර්යේෂකයෝ පවසති.
මේ ප‍්‍රදේශය දැඩි සෝදිසියකට ලක්කිරිමේදී පෙනී ගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ යානා රැඳ තිබුණායැයි කියන ස්ථානයේද එවැනි සුදු පැහැති බෝල තිබූ බවයි.
මේ පිටසක්වළ ජීවීන් පැමිණි අවස්ථා කිහිපයක් පිළිබඳ ඇති වාර්තා පමණි. මෙයට අමතරව තවත් ස්ථාන බොහොමයකින් පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාධක තිබෙන බවත් ඇතැම් ඒවා ඒ ඒ රටවල පාලන අධිකාරිය විසින් යටපත් කැර ඇති බවත් පැවසේ.
මෙවැනි අද්භූත යානා දුටුවහොත් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ නොකරන ලෙස බොහෝ රටවල් තම ගුවන් නියමුවන්ට, පොලීසි වලට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබේ. එබැවින් පිටසක්වළ යානා පිළිබඳ වැදගත් තොරතුරු බොහොමයක් යටපත්වී යයි.
සජීව විජේවීර - ලංකාදීප
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, September 25, 2016

මළ සිරුරුවලට මතුරා හතුරන් මරන්නට පිල්ලි යවන හැටි...(අබිරහස් අඩවිය - Abirahas Adawiya ..ශාස්ත්‍රීය ළිපි pilli gurukam)


අතීත ලංකාවේ ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අසන විටත් අද ඇඟ කිලි‍පොලා යයි. පරම්පරාවට ගුරුමුෂ්ටි නොදීම හා දරුණු යන්ත්‍ර මන්ත්‍රකම් දැන සිටියද සඟවාලීම නිසා ඒ ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් විය. එවැනි දරුණු යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවලින් එකක් නම් පිල්ලි යැවීමයි. අතීත ලංකාවේ අනුරාධපුර යුගයේ සිටම පිල්ලි යැවීම වූ බවට සාධක ඇත. 
අද පිල්ලි අරිනවා යන වදනේ වචනාර්ථය සොරකම් කිරීම වැනි අදහසක් දෙයි. පිල්ලි යැවීම යනුවෙන් හඳුන්වන ලද්දේ මළ සිරුරකට යකෙකු ආරූඪ කර සතුරන්ට අනවින කිරීමයි. පිල්ලි ඉන්දියාවෙන් ලංකාවට ආවාදැයි හරියටම කිව නොහැක. දකුණු ඉන්දියාවෙන් පිල්ලි යැවීම ලංකාවට ආවේනම් එය පසුකාලයේ මෙරටට දේශීය ලෙස සකස් විය. 
1910 දි පර්ටෝල්ඩ් නම් මහතෙකු ලංකාවේ පිල්ලි යැවීම ගැන පරීක්ෂණ පවත්වන ලදුව ඔහුට බ්‍රිතාන්‍ය කටුගේ තිබි ලංකාවේ පිල්ලි යැවීම ගැන ලියවුණු පුස්කොල ‍පොත් කිහිපයක් ලැබි තිබුණි. පිල්ලි යැවීම ගැන කරුණු විස්තර වන පිල්ලි වීදිය බ්‍රිතාන්‍ය කටුගේ තිබි පර්ටෝල්ඩ් මහතාට ලැබුණු පුස්කොල ‍පොතකි. පිල්ලි යැවීම ගැන තොරතුරු එකතු කළ බි.ද.එස්. ගුණසේකර මහතා ලංකාවේ පැවැති පිල්ලි ක්‍රම දහඅටක් ගැන කියයි. මේවා දහඅට පිල්ලි නම් වේ. 

දහඅට පිල්ලි නම් 1. රීරි 2. නාග 3. කුමාර 4. කේලි 5. කන්‍යා 6. කනාමැදිරි 7. ගරුඬ 8. කුරුමිණි 9. තල 10. මහසෝන් 11. ඔඩ්ඩි 12. දෙබර 13. බඹර 14. වඩිග 15. සිංහ 16. ගජ 17. ගිනි 18. නීච කුල පිල්ලි යනුවෙනි. 

ලංකාවේ අනුරාධපුර යුගයේ මුල පැවැති පිල්ලි ක්‍රම ගැන කතාවක් පාලි රසවාහිනී පාලි සහස්සවත්ථු ප්‍රකරණය හා සද්ධර්මාලංකාරයේ එයි. මේ කතා මුලින් එන්නේ පාලි සහස්සවත්ථු ප්‍රකරණයේය. 
(72 කතාව නන්දී, වාණිජස්ස වත්ථු- ‍පොල්වත්තේ බුද්ධදත්ත සංස්කරණය 145-146 පිටු) ඉන් පසු පාලි රසවාහිනියේ නන්දිවාපිස්ස වත්ථු නමින්ම එයි. මේ කතාව මාතර කල නන්දිය වෙළෙඳ වත නමින් කවියට නඟා ඇත. 
ඒ කතාව මෙසේය. 
ලක්දිව මාවටුපටුනේ එනම් මන්නාරම් තොට විසූ ධනවත් නන්දිවෙළෙන්ඳා රූමත් ධනවත්, සමකුළ සිටුකුමරියක් පාවා ගනී, පිටරට වෙළෙඳාමේ ගිය ඔහුගේ නැව අවුරුදු 3ක් යන තුරු ලංකාවට ආවේ නැත. මේ අතර අනුරාධපුර රජු මාවටුතොට පාලනයට ශිව ඇමැතියා පත්කරයි. ශිව ඇමැති පිළිගැනීමට මාවටුතොට අලංකාරව සරසයි. ඇතුපිට නැගී නගරය ප්‍රදක්ෂණය කළ සිව ඇමැති නන්දි වෙළෙන්දාගේ බිරිය දැක ඇගේ රූපයෙන් මත්ව තොරතුරු විමසයි. 
ඇය කැමැති කරවා ගැනීමට ඇමැති දාසියක අත මසු දාහක් ඇයට යවයි. සිටු බිරිය ශරීරයේ අනිත්‍ය භාවය ගැන කියයි. දෙවනුව මසු දෙදාහක් යවා ඇය රාගයට ‍පොළඹවා ගැනීමට තැත් කරයි. ඇය බණ කියා ඉන් වළකී. තුන්වෙනි වර මසුරන් 4000ක් යවන ලදුව ඇය කිපී බැණ තමා පතිවත රකින බව කියයි. 
සැමියා මරා ඇය හිමිකර ගැනීමට සිතූ ඇමැතියා යකැදුරෙකු කැඳවයි. පිටරට වෙළෙඳාමට නැවෙන් ගිය වෙළෙන්ඳා පිල්ලියක් යවා මැරීමට යකැදුරා මාවටුතොට සොහොන් බිමේ සිට ජීවම් කරයි. මතුරා මළ මිනියට පැන් ඉසින ලදුව මළ මිනියට යක්ෂයෙකු ආරූඪ විය. 
කළ යුතු දේ පිල්ලිය විමසන ලදුව වෙළෙන්ඳා මරණ ලෙස පිල්ලියට දන්වයි. පිල්ලිය කටින් ගිනි කඳු දමමින් මුහුද කළඹමින් නන්දි වෙළෙන්දාගේ නැව සොයාගෙන යයි. පිල්ලිය නැව දෙසට එනු දුටු වෙළෙන්ඳා බේරීමට මොන ක්‍රමයක්වත් නැතිබව දැන බුදුගුණ සිහි කරයි. වෙළෙන්ඳාට ළංවිය නොහැකි පිල්ලිය නැව වටා ගොස් ආපසු එයි. මෙසේ යැකැදුරා වෙළෙන්දා මැරීමට පිල්ලිය තුන්වරක් යවන ලදී. හතරවන වර මිනියට මතුරා ආරූඪ කර යවන ලදුව වෙළෙන්දා මැරිය නොහැකිව ආපසු ආ පිල්ලිය යකැදුරා හා ශිව ඇමැතියා මරා බිලි ගෙන මළ සිරුර අතහැර අතුරුදන් විය. 
මේ කතාව සිද්ධ වූ කල රජු කව්දැයි සඳහන්ව නැතත් ක්‍රිස්තු වර්ෂ එක හෝ දෙක තරම් කතාව පැරැණිය. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ කල විසූ කොත්මළේ ගණිතයා තම බිරිඳට යකින්නක් වැඩකාරකමට බැඳ දී තිබුණි. ඒ යකින්නක් බව නොදත්කමින් යකින්න දිනක් ගැබිනිව සිටි ඇය මරා ශ්‍රී පාද අඩවියේ සැඟවුණි. කොත්ම‍ලේ ගණිතයා ජීවම් කළ කරුංකා ගෙඩියක් පිල්ලියක් සේ යවා යක්ෂණිය අල්ලා බැඳ මුහුදට දැමූ බව කියැවේ. මෑත කල විසූ ප්‍රකට බත්තර මුල්‍ලේ සුභූති හිමියන් බණට වඩින විට මුත්තර බල්ලාත් ආවාද කියා සරදම් කළ අයෙකුට බත්තරමුල්‍ලේ හිමි බලු පිල්ලියක් යවා වින කර වූ බව සඳහන් වේ. 
නාගයන් ගැන පර්යේෂණ කළ ඇන්ස්ලම් ද සිල්වා මහතා කියන පරිදි නාග මාණික්‍යය හා නාග පිල්ලි මිනිසුන් ගෙතූ මිථ්‍යා කතා මිස සත්‍යයක් නැත. 
පර්ටෝල්ඩ් සොයාගත් පිල්ලි විදිය පුස්කොළ ‍පොත පිල්ලි යැවූ හැටි ‍පොදුවේ මෙසේ විස්තර කරයි. පිල්ලි ඇරීම ප්‍රධාන අවස්ථා 
4කට බෙදිය හැක. පළමුව කුළුඳුල් දරුවෙකුගේ මළමිනියක් ලබාගත යුතුයි. දෙවැනි පියවර ඒ මළ මිනියට පණ දීමයි. තුන්වැන්න මළ සිරුරට යකා බැඳ ගැනීමයි. හතර වෙනුව පිල්ලියෙන් වැඩ ගැනීමයි.
පිල්ලි යැවූ හැටි ‍පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය. පළමුව කුළුඳුල් කන්‍යාවක් සොයා ඈ ගැන තොරතුරු දැන ගත යුතුය. ඌරු දළයකින් ඇගේ නම බුලත් කොළයක ලියා ඇය සැපූ බුලත් සප, ඇගේ කෙස් රොදක්, ඇගේ නිය‍පොතු කැබැලි, ‍පොරවන රෙද්දේ නූල් සොයාගෙන එලිපත්ත යට වළලා ඇයට එළිපත්තෙන් පැනීමට සැලැස්විය යුතුය. 
ඉන්පසු ඒ ‍පොදිය දින තුනක් දෙබරයකට බැඳ තබා අනතුරුව ‍පොදිය දිමියන් සිටින තුඹසකට දමනු ලැබේ. ඈ විවාහ වූ පසු ඇය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි. විවාහයට පසු මේ බිහිසුණු බව ඇයට බලපායි. ඇය සිහිනෙන් මස් දකී. අස්වාභාවික දොළදුක් උපදී, නපුරු සිහින දකී, පියයුරු තුඩු කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි. දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියගොස් දරුවාගේ මළ කුණ ප්‍රසූත කරයි. මළ දරුවා යකෙකු වෙයි. 
මළ සිරුරක් වළ දැමූ පසු ඇදුරා දිය නා සොහොන් බිමට යයි. පිදෙනි පුදා සොහොන් යකා බැඳගෙන වළ හාරා මළ සිරුර ගොඩ ගෙන බඩ පලා බඩවැල් ඉවතලා හාල්පිටි බඩට පුරවා කම්බිවලින් උදරය මසයි. මළ සිරුර සඳුන් කිරි පැන් වලින් නාවා මළ සිරුරට ඉක්බිති රසදිය ‍පොවයි. තලප්පාවක් මළ සිරුරේ හිසේ බැඳ කොටි හමක් ඔතයි. මළ මිනිය අතේ නූලක් බැඳ ගොටු නවයක් සාදා පිදෙනි පුදා දින තුනක් තබයි. ඉන් පසු පාළු ගෙයක් සොයා මළ සිරුර එහි තබා ජීවම් කරයි. මළ සිරුරට කොටි තෙලින් පහන් දල්වා බුලත් තබයි. කිකිළි බිත්තරයක්, ‍ලේ, මස් පුදට තබයි. 
ඊතලයක් හා දුන්නක් වනමින් ඇදුරා මතුරයි. මතුරා මිනියේ මුහුණට පිම්බ විට සොහොන් යකා පන්දම ගෙන එයි. එවිට උගේ බලයෙන් මළ සිරුර යකෙකු වෙයි. මළ මිනිය නටමින් හූ කියයි. එවිට වැළකින් තලා බිම හෙළිය යුතුයි. නමක් කියන තුරු තලයි. එවිට පිල්ලිය යයි. දැන් මල පිල්ලිය යකැදුරාගේ අණ පිළිපදියි. මළ පිල්ලිය ගම දෙසට දිව ගොස් ගම මැදසිට හූ කියයි. යකැදුරාගේ අණ පරිදි පිල්ලිය සතුරන්ට විණ කරයි. වසුපැටවුන් මරයි. දරුවන් මරයි. කාන්තාවන්ට ආරූඪ වෙයි. වෙනත් හානි සිදු කරයි. පිල්ලි වීදියේ විස්තරවන පිල්ලි යැවීම ඉන්දියාවෙන් ලංකාවට ආ බව පර්ටෝල්ඩ්ගේ මතයයි. 
ලංකාවේ පැවැති පිල්ලි යැවීමේ ක්‍රමයට වඩා දකුණු ඉන්දියාවේ ට්‍රැවන්කෝර් හා කොවින් ප්‍රදේශවල පැවැති පිල්ලි යැවීම දරුණුය. ඒ ක්‍රමය කෙටියෙන් මෙසේය. කුළුඳුල්ව ගැබ්ගෙන මාස 7ක් වූ ස්ත්‍රියක් සොයාගෙන ඇගේ නිවස වටා යමින් රාත්‍රියේ දුම්මල මතුරයි. එවිට ඈ මන්ත්‍ර බලයෙන් දොර ඇරගෙන එළියට එයි. ඉන් පසු ඇය නග්න කර බිම හෙලයි. යකැදුරා දෙවටොර මත ලබු කැටයක් තබා මතුරයි. එවිට කුසතුළ සිටින දරුවා එළියට එයි. එළියට එන දරුවා බිම නොගෑවෙන සේ අල්ලා එළියට ගෙන දරුවා කැබැලිවලට කපයි. දරුවාගේ කැබැලි බඳුනකට බහා ඒ අසල වතුර පිරවූ බඳුනක්ද තබයි. ඉන් පසු ගිනිදල්වා රත්කරයි. මළ කඳේ කැබැලිවලින් ද්‍රවයක් ගලා අවුත් දෙවැනි බඳුනේ එක් වෙයි. මිනී හිස් කබලක් කුඩු කර ඒ මිනී තෙල්වලට එක් කරයි. යැකැදුරා ඒ තෙල් නල‍ලේ හා ඇඟේ ගා ගෙන ගොම දිය කළ වතුර ටිකක් පානය කරයි. ඉන් පසු යකැදුරාට කවරෙකුගේ හෝ ස්වරූපය ගැනීම හෝ හිතූ දෙයක් කළ හැකි යැයි කියැවේ. 
මෑත කාලීන තොරතරු අනුව පිල්ලි යැවීම ලංකාවෙන් තුරන් වී නැත. ඉතා දක්ෂ පාරම්පරික ඇදුරන් අතර පිල්ලි යැවීම තවම ඇති බවට සාධක ඇත. පිල්ලිය ගැන මෑත අවධියේ පුවත්පත් සඟරාවල කතා කිහිපයක හරය මෙසේය. සතුරෙකු වෙත නාග පිල්ලියක් යවන ලදුව නාගයා කපා කොටා යළි යළි මැරුවත් නාගයා මැරිය නොහැකි විය. තවත් සිද්ධියක් රෑ වනය මැද වැස්සට නැවතුණ වෙළෙන්දෙකුට කරවලයෙකු මෙන් වේලා මහලු ස්ත්‍රියක් මතුරන ළමා මළ සිරුරක් පිල්ලියක් වී පහර දෙන විට රෑම පලාගොස් තුවාල ලබයි. පෙම්වතෙක් තම පෙම්වතිය ඔහු අමතක කර වෙනත් තරුණයකු සමග විවාහ වෙනු දැක කිපී පත්තෑ පිල්ලියක් යවයි. 
මනාලිය නව මනාලයා සමග ‍පෝරුවට නගින විට ඈ සපත්තුව පිස දමයි. පත්තෑ පිල්ලිය දෂ්ඨ කළ ඇය ‍පෝරුව මත ඇද වැටී මිය යයි. තවත් කතාවක් අනුව යකැදුරෙකු අතවැසියෙකු සමග සොහොන් බිමට ගොස් පිල්ලියක් ජප කර පුස්කොලයේ නම ලියා සතුරා නැසීමට නාග පිල්ලි යවයි. කේන්ද්‍රය වැරැදී පිල්ලිය ආපසු ඇවිත් යකැදුරා බිලි ගැනීමට ‍පොර කයි. ඔහු අතවැසියා ගෙදරට යවා මැතිරූ තෙල් වගයක් ගෙන්වා ගනී. එවිට නාග පිල්ලිය අතුරුදහන් වෙයි. 
මධ්‍ය කාලීන ලංකා සමාජය ග්‍රන්ථයේ මහාචාර්ය ඇම්.බි. ආරියපාල කියන පරිදි පිල්ලිය වැරැදුනොත් ආපසු අවුත් යැවූ අය මරණ බව විස්වාසයයි. ඉන්දියාවේ වේතාලයාගේ තැන ලංකාවේ පිල්ලිය ගනී. වේතාලයා දුෂ්ට පිසාචයෙකි. නිදන් වස්තු ගැනීමට පිල්ලි යැවූ බව, මහ මුහුදේ ධීවරයන් වෙත පිල්ලි යැවූ බව ජන කතාවල එයි. සෙලබ්ස් දූපත්වල මළ මිනිසුන්ට පණ දී ඔවුන් කෙසෙල් වතුවල වැඩට යොදවයි. සොම්බි යනුවෙන් හඳුන්වන මේ මළ මිනිසුන්ට මන්ත්‍ර බලයෙන් පණ දීමෙන් පසුව ඇසිපිය නොහෙලයි. සෘජුව ගමන් කරයි. 
( එස්.කේ. ජයවර්ධන) 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 23, 2016

සිහිමුර්ජාවෙන් අවදිවන රාවණා එන්නේ සිංහරාජයට... (අබිරහස් අඩවිය - Abirahas Adawiya rawana yamaha)

රජු අහස, පොළව, මුහුද යන සියල්ල ජය ගත්තෙකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම් වලද යම් තාක් දුරකට පෙන්නුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල, දේශ දේශාන්තර තරණය කළ ලොව ප‍්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වෙයි. මුහුද ජය ගනිමින් තැනූ විශ්මිත යාත‍්‍රා පෙළක් රාවණා සතු විණ. ඒවා සකස් කිරීමට වෙනම බල ඇනියක් සිටි අතර මොවූහු පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගය ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන්වේ.
අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත‍්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා බලසම්පන්නයෙකු විය. ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරන පරිදි අඟහරු ලෝකය රාවණා රජු නිරන්තර ආව ගිය ග‍්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත.
අඟහරු ග‍්‍රහ ලෝකයහි ජලය තිබේද? ජීවීන් පවතීද? නිසරු බිමක්ද යන පර්යේෂණ බටහිර විද්‍යාඥයන් මෙකල ගැඹුරින් අධ්‍යනය කරමින් සිටී.
රාවණ රජ සමයේ පටන් අද දක්වාම අඟහරු ග‍්‍රහ ලොව ජීවීන් සිටින දියුණු තාක්ෂණයක් පවතින තැනක් ලෙස මිරැන්ඩෝ සඳහන් කරයි. අඟහරු ලොවින් පැමිණෙන්නා කියන ජීවීන් සහිත ‘‘පියාඹන පිරිසි’’ නම් යානා මෙයට හොඳම උදාහරණයකි. ඒවා ලෝකයේ ඇතම් රටවල් ගුවන් ගත කරණ ඒවා බව සමහරු කීවත්, තාක්ෂණ පර්යේෂණයන් පවා මේ පියාඹන පීරිසි හෙවත් අද්භූත යානා පෘථිවියේ කිසියම් රටකින් ගුවන් ගත නොවන ඒවා බව තදින් විශ්වාස කරයි.
පියාඹන පීරිසි පෘථිවිය කරා එන්නේ ඇයි....? හුදෙක් මේවා අඟහරු ලෝකයෙහි පර්යේෂණ මාලාය. යුරෝපා ඇමරිකා රටවල් අඟහරු වෙත යානා යවා නිරීක්ෂණය කරන්නා සේ අඟහරු ලොවින් පෘථිවිය වෙත යානා පැමිණ පර්යේෂණ කරයි. ආචාර්ය මිරැන්ඩෝ කියන පරිදි අපිට වඩා පර්යේෂණ අතින් අඟහරු ග‍්‍රහ ලොව මිනිස්සු අඩි, යාර නොව සැතපුම් ගාණක් ඉදිරියෙන් සිටිතිි.
අද අඟහරු ලෝකය සමඟ කිසිම සම්බන්දතාවක් නොවුණද රාවණා රජු අඟහරු ලෝකය සමඟ කළ සම්බන්ධතා ගැන අගනා තොරතුරු සමුදායක් පැරණි පුස්කොළ පොත්හි සඳහන් වේ. එයින් එකක් සෝමචන්ද්‍ර බ‍්‍රාහ්මණයා විසින් ඛල්ලාටනාග රජ දවස ලියන ලද්දකි. ඛල්ලාටනාග යනු දේවානම්පියතිස්ස රජුගේ මුණුපුරාය. මෙය මුලින්ම රන් පත්ව ලියා පසුව ක‍්‍රමයෙන් රීදි, තඹ ආදී පත් ඉරුවල ලියමින් පැවත ආවකි. ‘රාවණ කතා’ යන මෙ පුස්කොල ග‍්‍රන්ථය පාරම්පරිකව හිමි වීමේදී එය ඔබේසේකර පරම්පරාවේ මී මුත්තකුට හිමිවී ඇත. අද එය ආචාර්ය මිරැන්ඩෝ සතුව තිබෙයි. (විදේශයක සිය නැඟණිය සමීපයේ තබා ඇත.) එයට හේතුව පුස්කොළපොත පිළිබඳ ආරංචියට ඇතැම්හු නිධන් ඇති තැන් සොයා ගෙන පැමීණීම බව ඔහු සඳහන් කරයි.
රාවණා රජුට අයත් මුහුදු යාත‍්‍රා වැඩි ප‍්‍රමාණයක් ස්ථාන ගත කෙරුණේ ත‍්‍රිකුණාමලය මුල් කර ගත් නැව් තොටෙහිය.
රාවණාගේ ගුවන් යානා ස්ථාන ගත කළේ කොහිද? ඒ සඳහා ගුවන් තොට ගණනාවක් රටපුරා තිබිණි. විශේ්ෂයෙන් ‘‘වාරියපොළ’’ නමින් ප‍්‍රසිද්ධ නගරයත්, ‘‘වාරියපොළ’’ නමින් විවිධ දිස්ත‍්‍රික්ක වල පවතින ප‍්‍රදේශත් රාවණා රජුගේ වාතයෙන් ගමන් කළ ගුවන් යාත‍්‍රා ස්ථාන ගත ප‍්‍රදේශයි.
නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගලද කුඩා ගුවන් යානා ස්ථාන ගත කළ තැන්ය. මත්තල ගුවන් තොට ඉඳිවූ තැනම එදා ගුවන් තොටක් තිබුණු බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. විශේෂයෙන් රාවණා රජ දවස රට අභ්‍යන්තරයේ පියාසර කළ ගුවන් යානා ස්ථාන ගත කෙරුණේ මත්තල ප‍්‍රදේශයේය.
රාවණා රජු පිළිබඳ ඔබ නොදන්නා තවත් පැත්තකට හැරෙමු. රාවණා රජු වැඩි වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ පළතුරු වර්ගයි. රාවණා රජුගේ ප‍්‍රධාන පානය තැඹිලි සහ කුරුම්බාය. රජු ජලය පානය කර ඇත්තේ අල්ප වශයෙනි. එතුමා පානය කළ ජලය ලග්ගල ප‍්‍රදේශයේ සිට විශාල භාජන වල ආධාරයෙන් රජ මාළිගාවලට ගෙන ගිය බව  කියැවේ.
රාවණා රජතුමා කලටි කුරුම්බා මඳ ඉතා ප‍්‍රිය ජනක ලෙස ආහාරයට ගෙන තිබේ. එතුමා පළතුරු වර්ග ආහාරයට ගත්තද දුරියන්, රඹුටන්, මැංගුස් සහ අන්නාසි අප‍්‍රිය  කළ බව සඳහන් වේ. රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව මිරැන්ඩෝ සඳහන් කරයි.
රාවණා සමයේදී තණකොළ ගසේ සිට සියලූ පැළෑටි ගස් ඖෂධ හැටියට ගෙන තිබේ. ඒ ඒ ශාක ආධාරයෙන් ඖෂධ වට්ටෝරු සකස් කොට ඇති අතර අදාළ ශාක කුමන රෝගයට ගැළපේද පමණක් තේරුම් ගැනීම ඥානවන්තව කළ යුතුය.

රාවණා රජු රටේ විශේෂ ඖෂධ උයන්  පවත්වා ගියෙකි. ඇහැළ ගස් වැවූ ප‍්‍රදේශය ඇහැලේපොළද, නාගස් වැවූ ප‍්‍රදේශය නාගහපොළ ලෙසද, උදාහරණ ලෙස දැක්විය හැකිය.
රාවණා රජුගේ ප‍්‍රධානම උද්‍යානය සිංහරාජයයි. අද එය වනාන්තරයක් හැටියට නම් කළද මෙය රාජකීය උද්‍යානයෙකි. එබැවින් රාවණ අදත් නිරන්තරව මෙහි සැරිසරන බව ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරයි. රාවණ රජු තමාට හීලෑ වන පරිදි ඇති කළ අලි, කොටි, ආදී සතුන් බොහෝ  මෙහි සිටියහ. අදටත් අලි මෙල්ල කරගෙන සිටීමට භාවිතා කරන ‘අලි භාෂාවේ’ වචන එදා යක්ෂ ග්‍රෝත‍්‍රිකයන් අලි හීලෑ කර ගැනීමට  භාවිතා කර ගත් ඒවා වෙයි. එකල අලි අල්ලා ගන්නට යක්ෂ ග්‍රෝත‍්‍රිකයෝ නොයෙක් මන්ත‍්‍ර භාවිතා කර ඇත. රජුට හීලෑ කර ගත යුතු අලියාට මැතිරූ විට ඌ හීලෑ වී උද්‍යානයේ සැරිසරා ඇත.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදිව නිතර යන එන තැනක් ලෙසද සිංහරාජ උද්‍යානය දැක්විය හැකිය. එතුමන් සතුන්ට බොහෝ ප‍්‍රියකරන්නෙකු බැවින්, යළි නැඟිට පසුවද රජු හීලෑ කර ගත් සතුන් විශාල ප‍්‍රමාණයක් සිංහරාජයේ සීටී. රාවණ රජු සිංහරාජයේ සිටින අවස්ථාවක් නම් එහි යන එන අයට සතුන්ගෙන් කරදර වීමට පුළුවන. එයට හේතුව රජු හීලෑ කරගත් සත්ව පන්තිය රජතුමා දිවි හිමියෙන් රැක ගැනීමය. රාවණා සිංහරායේ සිටින අවස්ථාවල එහි එන මිනිස්සු විෂයේ ඇතැම් අලි ඇතුන්, වන මෘගයන් කෝපාවිශ්ඨ වන්නේ මේ හේතුව නිසාය.
රාවණ රජු රටේ කොතැන ඇවිද්දත් ඔහු සමග නිතර යන චරිතය නම් විභූති යක්ෂයාය. ඇතැම් විට විභූති යක්ෂයා රජු අදාල තැනට යාමට පෙර එහි ගොස් අවශ්‍ය පසුබිම සුදානම් කර එයි. එහිදී ඒ ස්ථානය රකින මනුෂයන්ට ආශිර්වාදයද, කිලිටි කරන, නසා විනාශ කරන අයට දඬුවම්ද හිමිවිම සාමාන්‍ය දෙයකි. හුදෙක් විභූතිි යක්ෂයා යනු රාවණාගේ ප‍්‍රධාන ආරක්ෂකයෙකි. රාවණාට දෙන භාරහාර පවා පිළිගන්නේ විභූති යක්ෂයාය. රාවණාට යම් කෙනකුට දඬුවම් කළ යුතු බවයට සිතක් පහළ වුවහොත් රජු ඒ බව විභූතිට දැනුම් දේ. දඬුවම රජුට උවමනා විදිහටත් වඩා හොඳින් විභූති යක්ෂයා ක‍්‍රියාත්මක කර දේ. එබැවින් රාවණාට අදාළ තැන අපිරිසිදු කිරීම, රාවණට ශාප කිරීම, ආදිය පිළිබඳ විභූති යක්ෂයා පියවර ගනී.
විශේෂයෙන් එක් දඬුවම් ක‍්‍රමයක් හැටියට තමන් නැසීමට තමන්ගේ සිතුවිලිම පහළ කරවීම කරයි. එබැවින් කරන කියන දේ පිළිඳව හිතට එන අදහස් අනුව තමා කටයුතු කරයි. අවසානයේ තමාගේ විනාශය ළංවී ඇති බව තමාටම වැටහේ. කෙසේ වෙතත් ලංකාරක්ෂක විභිෂණ දෙවියන් මෙන්ම තවත් ලංකාරක්ෂක දෙවිකෙනෙක් හැටියට සිහිමුර්ජාවෙන් නැගිට්ට රාවණ රජුද සඳහන් කළ හැකිය. අවි නොගත් මිනිසුන් ආරක්ෂා කරන්නට රාවණ කැමතිය.
එබැවින් අවි ගත්තවුන් නැසීමටත්, අයුක්තිය පැරදවීමටත් රාවණ දෙවි ඉදිරිපත් වෙයි. ඉදිරි යුගය ‘‘රාවණ දෙවි’’ බලය ලොව බලසම්පන්න වන කාලයයි. එම කාලයේ රටේ සිදුවන දෙයින් රාවණගේ ශක්තිය ඔබට අවබෝධ කර ගත හැකිය. අයුක්තිය වපුරන කාටවුව රාවණාගේ සමාන නැතිවේ. යුක්තිය ඉල්ලන අය රාවණ පිිහිට පැතුවොත් අවැසි අයට රාවණ යුක්තිය ඉටුකොට දේ.. ඒ සඳහා විභූති යක්ෂයා රාවණා සමඟ සිටී. රාවණාට කළ නොහැකි දඬුවම් විභූති යක්ෂයා විසින් ලබා දෙනු ඇත.
විභීෂණ සහ දැඩිමුණ්ඩ යනු මහා රාවණාගෙන් පසු ලක්දිව පාලනය කළ රජවරුය. මහා රාවණාගෙන් පසු දීර්ඝ රාජ නාමාවලියක් ලංකාව සතුය. විජයට පෙර ලංකාවේ රාජ්‍ය පරම්පරාව මෙයයි. 
විජයට එහා රාජ පරම්පරාව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ හෙළි නොවුණකි. මේ පැරණි රජ පරපුරට අයත් දැඩිමුණ්ඩ හා විභීෂණ රජවරු වර්තමානයේ දේවත්වයට පත්ව පිදුම් ලබයි.
රාවණ රජු සිහි මුර්ජාවෙන් අවදි වී වසර පහක් පමණ නිසා එතුමාගේ දේවත්වය පමා විය. රාමා, හනුමන්තා යන අයට දේවාල ඉදිවී ඉන්දියාවේ මහා පරිමාණ වශයෙන් වන්දනීය, පූජනීයත්වයට පත්වේ. අහස සිඹින තරම් හනුමා ප‍්‍රතිමා, රාම ප‍්‍රතිමා ඉන්දියාවේ ඉදිවී තිබේ. රාම-රාවණ යුද්ධයේදී රාම ජය ගැනීමන් සමඟ ඔහු ඉන්දියාවේ පූජනීය චරිතයක් ලෙස පැවත එන්නට විණ.

නමුත් යුද්ධයේදී සිහිමුර්ජා වී, පරාජය ලැබූ විශිෂ්ඨ ඥානයක් තිබුණු රාවණ කාගේ හෝ වන්දනාවට, පූජාවට පාත‍්‍ර නොවීය. හුදෙක් වත්මන් ලක් වැස්සෝද රාවණ පිළි ගැනීම ප‍්‍රතික්ෂේප කරති. රාවණ පරපුර හෙළා දකිති. එවැන්නක් නැති බව කියති.
මේ කෙසේ හෝ වේවා ලක්දිව කේන්ද්‍ර කොට දැනුමින් විශිෂ්ඨ රාජ්‍ය අධිරාජ්‍ය බලය පැතිරවූ රාවණාව ලක් වැසියන් හැර අන් කවරෙක් පිළි ගන්නද? රාම සමග සටන් කළ රාවණව ඉන්දියාව පිළිගන්නේ නැත. පිළිගත්තද ඒ අතළොස්සකි. විභීෂණ දැඩිමුණ්ඩ දේවත්වයට පත් වෙද්දී රාවණ දෙවියන් පිළිගත යුතු සාමය උදාවී ඇත. ඉරිදා ලංකාදීපය, ආචාර්ය මිරැන්ඩෝ සමඟ ගොඩ නගන්නේ රටේ මේ දිනවල අතිශයෙන් කතා බහට ලක් කරන මතවාදයකි. අපට මේ රටේ මහා නායක හිමිවරුන්, පිළිගත් විද්වතුන් පවා කතා කොට මේ පිළිබඳ ප‍්‍රසාදය පළ කළහ. ඉඳහිට ගලක් දෙකක් ද වැදුණහ.
කෙස් වෙතත් මේ ලිපි පෙළින් පසු ලංකාවේ රාවණ වෙනුවෙන් දේවාල ඉඳිවී රාවණ රජු ජාතියේ ප‍්‍රසාදයට පූජනීයත්වයට පත් වනු ඇත. එවිට වඩාත් වැඩියෙන් රාවණ ලංකාරක්ෂක රාජකාරිය සිදු කරනු ඇත. රටේ ජනයා පීඩා විඳින අයුක්තියට, අසාධාරණයට සාධාරණ විසදුම් ලැබෙන යුගයක් ලඟදීම උදාවනු ඇත.
asanga-atigala - ලංකාදීප
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

මානසික ව්‍යාධි සහ පරිසර සාධක අතර සම්බන්ධය...(අබිරහස් අඩවිය - Abirahas Adawiya .Psychology manovidyawa suzuki )

"ඩොක්‌ටර් මට නිතර ම ඇහෙනවා දිව්‍ය ලෝකයේ ඉඳලා මගේ ආච්චි මට කතා කරනවා කියලා. එයා මට හුගක්‌ ආදරෙන් හිටියේ. එයා මැරුණා. සමහර දාට උදේ පාන්දර ම 'පුතේ පුතේ නැගිටින්න' කියනවා. මට හොඳට ම විශ්වාසයි ඒ හීනයක්‌ නො වෙයි කියලා මොකද ඒ කටහඩ මට හොඳට මතකයි". 
"මට හිතෙනවා මං විශේෂ කෙනෙක්‌ කියල. මට හිතෙනවා මං මේ ලෝකෙට විමුක්‌තිය උදා කරන්න ඉපදුණ කෙනෙක්‌ කියලා. මම මේ දේවල් ගැන කිව්වා ම අනෙක්‌ අය විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ ම තමයි ඩොක්‌ටර් මා අවට ඉන්න හැම දෙනා ම මට ඉරිසියායි. මං විශිෂ්ට කෙනෙක්‌ වුණත් ඒ අය ඒ බව පිළිගන්නේ නැහැ. මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඇත්තට ම ඇයි ඒ?" 
මෙවැනි විස්‌තරයක්‌ කිසියම් කෙනකු මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරද්දී මේ තැනැත්තා ගොදුරු ව සිටින්නේ භින්නෝන්මාදය (Schizoprenia‌) නැමැති මානසික රෝගයට විය හැකි බව වෛද්‍යවරයා අනුමාන කිරීමට ඉඩ ඇත. (මේ ඇතැම් ලක්‌ෂණ වෙනත් කායික රෝගවල ලක්‌ෂණ ද වන බැවින් මෙය තහවුරු කරගන්නට තවදුරටත් ප්‍රශ්න නැගිය යුතු වේ). 
භින්නෝන්මාදය වැළඳී ඇතැයි යෑයි අනුමාන කරන තැනැත්තා ගෙන් වෛද්‍යවරයා අසනු ඇති ඉදිරි ප්‍රශ්න මොනවා දැයි ඔබට අනුමාන කළ හැකි ද? 
සාමාන්‍යයෙන් වෛද්‍යවරයා නගනු ඇති එක්‌ ප්‍රශ්නයක්‌ වන්නේ 'ඔබ ගේ ළග ම ඥතියකුට භින්නෝන්මාදය වැළඳී තිබුණා ද?' යන්නයි. මන්ද යත් භින්නෝන්මාදය ප්‍රවේනිකව ද වැළඳිය හැකි බැවිනි. එහෙත් එයට හේතුව ප්‍රවේණිය ම නො වේ. කුඩා කල දී අපචාරවලට බඳුන් වී ද යන ප්‍රශ්නය ද ඊළගට නැගිය හැකි ය. මන්ද යත් එය ද භින්නෝන්මාදයට හේතුවක්‌ විය හැකි බැවිනි. ඊළගට ඔබ මරිජුවානා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ද යන ප්‍රශ්නය සුලබ එකකි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ද භින්නෝන්මාදය ඇති විය හැකි හෙයිනි. 
'ඔබ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද?' 
එහෙත් මේ තැනැත්තා ගෙන් වෛද්‍යවරයා ඔබ ගේ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද? ඔබ වාහන දුම අධික පාරක ද වැඩට යන්නේ? කුඩා කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ කොළඹ ම ද? බොන්නේ ළිං වතුර ද? ටැප් වතුර ද? කෑමට ගන්න එළවළු ඔබ ගෙදර වවාගන්නවා ද? ඒ එළවළුවලට කෘමිනාශක ගහල ද? ඔබ කොතරම් දුම්පානයේ යෙදෙනවා ද? ඔබේ උපන් දිනය කවදා ද? වැනි ප්‍රශ්න ඇසු වහොත් ඒ ප්‍රශ්න මානසික රෝගයකට අදාළ වන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කරන්නට ඉඩ තිබේ. සමහර විට වෛද්‍යවරයාට මානසික රෝගයක්‌ ඇතැයි ඔබ සිතීමට ද ඉඩ ඇත. 
එහෙත් සැබැවින් ම භින්නොන්මාදයට ප්‍රවේණික සාධක මෙන්ම පාරිසරික සාධක ද ප්‍රබල ලෙස බලපෑමේ හැකියාවක්‌ ඇති බව නවතම අධ්‍යයනවලින් හෙළි වෙමින් තිබේ. එය සැබෑවත් නම් භින්නෝමාදයට පමණක්‌ නො ව වෙනත් බොහෝ මානසික රෝගවලට ද පාරිසරික හා සමාජීය හේතූන් බලපායි. අනෙකක්‌ තබා ඔබේ උපන් දිනය පවා ඒ සඳහා බලපායිෘ 
රොචෙස්‌ටර් වෛද්‍ය විද්‍යාලයයේ පාරිසරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය Deborah Cory Slechta ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වායු දූෂණය නිසා භින්නොන්මාදය වැළඳීමට ඇති ඉඩකඩ ඉහළ යන බවයි. මෙයට අදාළ අධ්‍යයනය Environmental Health Perspective ජර්නලයෙහි පළ විය. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ මීයන්ට අදාළව වුවත් Deborah පෙන්වා දෙන්නේ මිනිසුන්ට අදාළව ද මෙය මේ ආකාරයට ම ක්‍රියාත්මක වන්නට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ඉදිරි අධ්‍යයනය සිදු කළ යුතු බව ඇය පෙන්වා දෙයි. වාහන දුම් නිසා මෙන්ම ගෙදරදොර කුණු පිළිස්‌සීම් නිසා ඇති වන දුම් නිසා විශාල ලෙස වායුගෝලය දූෂණය වන බවත් මේවා මිනිසාට භින්නොන්මාදය ඇති කරවීමට හේතු විය හැකි බවත් ඇය පෙන්වා දෙයි. 
ඇය ගේ අධ්‍යයනය සතුන් ඇසුරු කරගත්තක්‌ වුවත් ඉන් ඔබ්බට යමින් ළමයින් යොදාගෙන කළ වෙනත් අධ්‍යයනයක ප්‍රතිඵල ද ඇය ගේ අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ය. මිචිගන් විශ්වවිද්‍යාලයයේ ස්‌වාභාවික සම්පත් හා පරිසර අංශයේ මහාචාර්ය Paul Mohai විසින් කරන ලද අධ්‍යයන මගින් පෙනී ගොස්‌ ඇත්තේ වායු දූෂණය හේතු කොටගෙන ළමයින් මානසික රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඇති බවයි. විශේෂයෙන් ම මතකය සම්බන්ධ ගැටලුවලට දරුවන් ගොදුරු වීමට පරිසර දූෂණය හේතු වන බව ඔහු පෙන්වා දෙයි. (Monitor on Psychology August 2015 VOL 43 NO7 P. 32)
මේ අතර පසුගිය දා Anals of Neurology ජර්නලයෙහි පළ වූ වාර්තාවකින් (doi:10.1002/ana.24460) කියෑවුණේ වායූ දූෂණයට දිගු කලක්‌ නිරාවරණය වීමෙන් කෙනකු ඩිමෙන්ෂියාවට ගොදුරු විය හැකි බවයි. 
එසේ ම මෑතක දී Stroke ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයකින් හෙළි වූයේ මොළයේ ව්‍යqහාත්මක වෙනස්‌කම් ඇති කරවීමට වායු දූෂණයෙන් ශරීරගත වන සියුම් අංශු හේතු වන බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයයේ Elissa Wilker ය. මස්‌තිෂ්ක පරිමාව වෙනස්‌ කරවීමට මේ අංශු හේතු වන බව ද එහි දී අනාවරණය විය. 
ටෝකියෝ විශ්වවිද්‍යාලයයේ N. Okada ඇතුළු පිරිස විසින් පසුගිය මාසයේ දී කරන ලද අධ්‍යයනයකින් (doi:10.1038/mp.2015.209) හෙළි වූයේ භින්නොන්මාදයෙන් පෙළෙන අය ගේ මෂ්තිෂ්ක පරිමාවේ අසාමාන්‍යතා පවතින බවයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Molecular Phychiatry ජර්නලයේ පළ විය. මොළයේ පරිමාව වෙනස්‌ වීම භින්නොන්මාදය ඇති වීමට මුල් වනවා යෑයි එමගින් පෙන්වා නො දෙන නමුත් භින්නොන්මාදය හා මොළයේ පරිමා වෙනස්‌ වීම් අතර අතර සබඳතාවක්‌ ඇති බව එය පෙන්වා දෙයි. 

වායූ දූෂක මගින් මොළයට හානි වන හැටි 
අධ්‍යයන මඟින් පෙන්වා දෙන ආකාරයට, සියුම් අංශු (fine particles) එක්‌කෝ සෘජු ව ම නියුqරෝනවල (ස්‌නායු සෛල) ගැටී ඒවාට තුවාල කරයි. එසේ ම එවැනි අංශු මගින් මොළයෙහි පවතින මයික්‍රොග්ලියා (Microglia) නමැති සෛල විශේෂයට ද අනතුරු ඇති වේ. මයික්‍රොග්ලියා යනු මධ්‍ය ස්‌නායු පද්ධතිය තුළ ප්‍රතිශක්‌තිකරණ ක්‍රියා සිදු කරන සෛල වේ.එසේ ම මොළයේ පවිත්‍රකරණ කටයුතු (අපවිත්‍ර සෛල ඉවත් කිරීම වැනි) සිදු කරන්නේ ද මේවා ය. සියුම් අංශූ මයික්‍රොග්ලියා අසලට ආ විට ඒ සතුරකු හෝ අපවිත්‍ර සෛලයක්‌ යෑයි වරදවා වටහාගන්නා මයික්‍රොග්ලියා ඒවාට පහර දීමට සිතා රසායනික ද්‍රව්‍ය (විෂ) නිකුත් කරයි. මෙතැනට ආවේ ජීව සෛල සහිත සතුරකු නම් එම රසායන ද්‍රව්‍ය මගින් ඊට හානි වේ. එහෙත් මෙතැනට ආ අජීවී සියුම් අංශූවලට හානියක්‌ නො වේ. සිදු වන්නේ ළග ඇති මස්‌තිෂ්ක සෛලවලට විෂ වැදීමයි. විෂ තැවරුණු අංශූ ඉදිරියට යද්දී ඒ යන යන තැන්වලට හානි සිදු වේ. මෙය දිගට ම හානිකර අවියක්‌ සේ ක්‍රියා කරයි. එනිසා මයික්‍රොග්ලියා සැලකිය යුතු ප්‍රමාණයක්‌ විනාශ වන අතර ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාවලට ද බාධා පැමිණේ. මෙය මොළය මගින් පාලනය වන කටයුතු අවුල් වීමට ද හේතු වේ. 
වායු දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරයි
ඔන්ටාරියෝහි ට්‍රෙන්ට්‌ විශ්වවිද්‍යාලයයේ Byron Lew හා Mark Avin තමන් විසින් කරන ලද නවතම අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දුන්නේ වායූ දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරන බවයි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Green Economics ජර්නලයෙහි පළ විය. (http://dx.doi.org/10.1504/IJGE.2012.051492)ග මේ හා සමාන ම අධ්‍යයනයක්‌ 2014 දී Zhengtao Li, Henk Folmer හා Jianhony Xue යන අය විසින් කරන ලද අතර ඒ ගැන තොරතුරු Ecological Economics ජර්නලයේ (2014 Vol 99) පළ විය. එම අධ්‍යයනයේ ප්‍රතිඵල ද කලින් එකට ම සමාන ය. 
නාගරීකරණය හා භින්නොන්මාදය
ඇමස්‌ටඩෑම් විශ්වවිද්‍යාලයයේ හා නෙදර්ලන්තයේ Mastricht ආචාර්ය Lydia Krabbndam හා Jim Van විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ නාගරීකරණය භින්නොන්මාදයට සෘජු ලෙස ම හේතු වන බවයි. භින්නෝන්මාද රෝගීන් ගෙන් තුනෙන් එකක්‌ පමණ ම එම තත්ත්වයට ගොදුරු වන්නේ නාගරීකරණයට සම්බන්ධ හේතු මත බව ඔවුන් ගේ මතයයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Schizoprenia
Bulleti ජර්නලයේ පළ වී තිබේ. 
මෑතක දී ජර්මනියේ මෑන්හයිම්හි මානසික සෞඛ්‍ය ආයතනයේ ආචාර්ය Andreas Meyer හා Linden Bery ඇතුළු පිරිස සිදු කළ අධ්‍යයනයක දී හෙළි වූයේ ද නාගරික දිවිය භින්නොන්මාදය වර්ධනයට හේතු වන බවයි. මේ අධ්‍යයනය 2011 දී Nature ජර්නලයෙහි පළ වූ අතර එයින් පසු ලොව පුරා මේ පිළිබඳ ප්‍රබල කතිකාවතක්‌ පැන නැංෙග් ය. නගරය අපව පිස්‌සු වට්‌ටන්නේ ය යන මතය ජනමාධ්‍ය වෙතින් ඉදිරිපත් විය. මෙවැනි ම අධ්‍යයනයක්‌ ඕලන්ද පර්යේෂකයකු වන Jape Peen ද සිදු කර තිබේ. එම අධ්‍යයනයේ දී පෙනී ගියේ නාගරික ජීවිතය භින්නොන්මාද අවදානම සියයට දෙසියකින් ඉහළ නංවන බව ය. (doi:10.1038/nature10190)
කෙසේ වෙතත් කලින් සඳහන් කළ ඇමැස්‌ටර්ඩ්‍රෑම් අධ්‍යයනය නිරවද්‍ය එකක්‌ නො වන බවට මත පළ විය. ඒ සඳහා ගත් සාම්පලය එතරම් ලොකු එකක්‌ නො වන බවට චෝදනා එල්ල විය. එහෙත් ඒ අධ්‍යයනයට පුද්ගලයන් 918ක ගේ දත්ත රැස්‌ කෙරිණි. මේ අය වයස අවුරුදු 14-17 පරාසයේ පසු වූ අයයි. 
මේ පුද්ගලයන් ගේ සෞඛ්‍ය තත්ත්වය (වෙසෙසින් ම භින්නෝන්මාද වර්ධනය) අවුරුදු තුන හමාරක්‌ තිස්‌සේ රැස්‌ කරන ලදී. මෙහි දී මේ පිරිස පළමුව කාණ්‌ඩ දෙකකට බෙදන ලදී. එක්‌ කොටසක්‌ නගරබදව ජීවත් වූ අයයි. අනෙක්‌ කොටස ගම්බද අයයි. අවුරුදු තුන හමාරකට පසු පෙනී ගියේ නගරබද අය තුළ අන් අයට සාපේක්‌ෂව භින්නොන්මාදය වැඩියෙන් ව්‍යාප්තව තිබූ බවයි. 
උපන් දිනය මගිනුත් මානසික රෝග ගැන කිව හැකියි? 
ඔබ ගේ උපන්දිනය අසා පලාඵල කියන සාස්‌තරකරුවන් ඔබට ඕනෑ තරම් හමු වී තිබේ. ඔබ ගේ උපන් දිනය අසා ඔබට වැළඳෙන ලෙඩරෝග, මාරක ඒරාෂ්ටක ගැන ඔවුන් කියන්නේ ඔබ උපන් වේලාව අනුව හඳහනක්‌ හදාගනිමිනි. 
ඔබට වැළඳෙන ඇතැම් රෝග ගැන විශේෂයෙන් ම මානසික රෝග ගැන විද්‍යාත්මකව අනාවැකි කියන්නට ද උපන් දිනය යොදාගත හැකි බව නවතම අධ්‍යයනයක්‌ ද පෙන්වා දී තිබේ. 
එම අධ්‍යයනය මෙහෙයවනු ලැබ ඇත්තේ කොලම්බියා විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Nicholas Talenetti ඇතුළු පිරිස විසිනි. එම අධ්‍යයනයට අනුව කෙනකුට ADHD (Attention Deficit Hyperactivity Disorder) නැමැති මානසික රෝගය වැළඳේ ද නැද්ද කීමට උපන් දිනය යොදා ගත හැකි ය. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ ලෙඩුන් ලක්‌ෂ 17ක ගේ තොරතුරු විශ්ලේෂණය කළ හ. මානසික රෝග පෙරැයීම් අධ්‍යයනයක්‌ සඳහා වැඩි ම නියෑදියක්‌ භාවිත කළ අවස්‌ථාව ලෙස ද මෙය ඉතිහාසගත වේ. 
ඉතා දිගු කලක්‌ තිස්‌සේ මේ පුද්ගලයන් ගේ දත්ත නිරීක්‌ෂණයෙන් ඔවුන් සොයාගත් කරුණක්‌ වූයේ ඔක්‌තෝබර් මාසයේ උපත ලද්දවුන් අන් අයට සාපේක්‌ෂව වැඩියෙන් ADHDවලට ගොදුරු වන බව යි. 
"ඔක්‌තෝබර් මාසයේ උපත ලද අය මේ ගැන ලොකුවට කණගාටු වෙන්න ඕනේ නැහැ. එහෙත් වැඩි අවදානමක්‌ තිබෙන නිසා සැලකිලිමත් වීම හොඳයි." එසේ පවසන්නේ Nicholas ය. 
මේ පර්යේෂණය එවැනි දෙයක්‌ අනාවරණය කරන්නේ නම් මානසික උපදේශකයකු රෝගියකු තම රෝගී තත්ත්ව විස්‌තර කරද්දී ඔහු ගේ උපන්දිනය ගැන ඇසීම සිදු විය හැකි දෙයකි. 
ඉහත විස්‌තර කළ අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ වන්නේ Journa; of American Medical Informatics Associationහි ය. 
ඔවුන් ගේ අධ්‍යයනයේ දී පෙනී ගියේ මානසික රෝගවලට අමතරව වෙනත් රෝග සඳහා ද උපන් දිනය බලපාන බවයි. එනම් මාර්තු උපත ලද අය වැඩියෙන් හෘදයාබාධවලට ගොදුරු වීමට ඉඩ තිබිය හැකි බවයි. 
ADHDවලට අදාළ ව මීට සමානව ප්‍රතිඵල ලබා දුන් අධ්‍යයනයක්‌ 2012 දී ද සිදු ව තිබේ. එම අධ්‍යයනය දැන් විස්‌තර කළ අධ්‍යයනයෙන් වෙනස්‌ වන්නේ එහි (2012) ඔක්‌තෝබර් මාසය ගැන විශේෂිතව සඳහන් නො වීම මගින් පමණි. එහි දී පර්යේෂකයන් පෙන්වා දුන්නේ අවුරුද්දේ අවසාන මාසවල (ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) උපත ලබන දරුවන් අන් අයට සාපේක්‌ෂව ADHD වලට වැඩියෙන් ගොදුරු වීමට යම් අවදානමක්‌ ඇති බවයි. 
2014 දී හංගේරියාවේ බුඩාපේස්‌ට්‌ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Xenia Gonda විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ගිම්හානයේ උපත ලබන දරුවන් ඉරියව්, මනෝභාව (mood) සම්බන්ධ සංකූලතාවන්ට වැඩියෙන් ගොදුරු වන බවයි. මීට සමාන අධ්‍යයනයක්‌ PNAS ජර්නලයේ Vol 113 හි පළ විය. (PNAS, www.pnas.org/cgi/doi/10.1073/pnas.1518129113 
ලන්ඩනයේ ක්‌වීන්ස්‌ මේරි විශ්වවිද්‍යාලයයේ Sreera Ramagoelan විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ ජනවාරි මස උපත ලද අන් අයට වැඩියෙන් භින්නොන්මාදයට හා ද්විධ්‍රැව සංකූලතාවට (Bipolar Disorder) ගොදුරු වීමේ ඉඩක්‌ ඇති බවයි. මැයි මාසයේ දී උපත ලද අය විශාදයට වැඩියෙන් ගොදුරු වන්නට හැකි බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
මනෝඡ් රත්නායක-.vidusara
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 22, 2016

ගති සිරිත් ආකල්ප හා චර්යා...(අබිරහස් අඩවිය - Abirahas Adawiya ..Psychology manovidyawa cbr)


සාමාන්‍ය ජීවිතයේදී මනෝවිද්‍යාව ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්‌ වේ. කිසියම් උපකරණයකින් ප්‍රයෝජනය ගතහැක්‌කේ එකී උපකරණය ක්‍රියාකරන ආකාරය නිසියාකාරව දැනගෙන සිටින්නේ නම් පමණි. මනෝවිද්‍යාව පිළිබඳ වුවද මෙය එක ලෙසම සත්‍ය කරුණකි. මනෝවිද්‍යාව කෙතරම් ප්‍රයෝජනවත් උපකරණයක්‌ වුවද ඒ පිළිබඳ මඳ දැනුමක්‌වත් නොමැති නම් ඉන් ප්‍රයෝජන ගැනීම අසීරුය. බොහෝ දෙනකු සිතා සිටින පරිදි මනෝවිද්‍යා යනු ගුප්ත අසාමාන්‍ය වූ දෙයක්‌ නොවේ. එය විද්‍යාත්මක චින්තනයක්‌ මත ගොඩනැඟුණු තවත් එක්‌ විෂයක්‌ පමණි. තවත් බොහෝ විෂයවල පිහිට මනෝවිද්‍යා විෂය සංවර්ධනය පිණිස ආධාර වී තිබේ. වෙනත් විෂයන් අරබයා මෙන්ම මනෝවිද්‍යාව අරබයා ද ඒ කරුණ සර්ව සාධාරණය. බොහෝ දෙනකුට නොදැනුවත්වම සිය ජීවිතයේ විවිධ කරුණුවලදී මනෝවිද්‍යාවේ පිහිට ලබාගැනීමට සිදුවේ. බොහෝ විට සමාජයේ පවතින දුර්මතයක්‌ වනුයේ මනෝවිද්‍යාව ඇත්තේ මානසික රෝගීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට පමණක්‌ යෑයි කියාය. එය වැරදි ආකල්පයකි. සායනික මනෝවිද්‍යාව සමස්‌ත මනෝවිද්‍යාවේ අංගයක්‌ පමණි. රෝග හා චිකිත්සා පිළිබඳ සඳහන් වනුයේ සායනික මනෝවිද්‍යාව තුළය. එයද ඉතා ගැඹුරු විෂයකි. වෛද්‍ය විද්‍යාව වෛද්‍ය විද්‍යා පීඨයන්හි හදාරන විද්‍යාර්ථීන් අතරින් දක්‍ෂතම කොටසට පමණක්‌ හිමිවන සුවිශේෂී වරමක්‌ සේ මනෝවිද්‍යාව අධ්‍යයනයට ලැබෙන අවස්‌ථාව නම් කළ හැක. මනෝවිද්‍යාව සියුම් විෂයක්‌ වුවද රසවත්ය. එය ත්‍රිපිටකයේ අභිධර්මය මෙනි.
මිනිස්‌ චර්යාව පිළිබඳ අධ්‍යයනයේදී සාමාන්‍ය මනෝවිද්‍යාවේ සඳහන් සංජානන ලක්‍ෂණය ඉතා වැදගත්ය. ඒ මානව චර්යාවට අදාළ බොහෝ ලක්‍ෂණ විද්‍යාත්මකව විග්‍රහ කරන බැවිනි. අද ලෝකයේ බොහෝ රටවල මේ න්‍යාය විවිධ ක්‍ෂේත්‍රවල දියුණුව සඳහා උපයෝගී කර ගනී. සංවර්ධන සැලසුම් පිළියෙල කිරීමේදී මෙන්ම උපාය මාර්ග අනුව සම්පත් කළමනාකරණය කිරීමේදී සංජානන න්‍යාය වැදගත් මෙහෙයක්‌ ඉටුකරනු ලබයි. සංජානන න්‍යාය විවිධ පැතිකඩ ඔස්‌සේ සංවර්ධනය වී තිබේ. මානුෂිකවාදී ආකල්ප හා චර්යා ඔස්‌සේ ද සංජානන න්‍යාය ඉදිරිපත් කර ඇත. නූතන වෙළඳ දැන්වීම් කලාවට පවා මනෝවිද්‍යා න්‍යාය භාවිතා කෙරේ. මැතිවරණ කාලයේදී විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක උපක්‍රම දිශාගත කරවිය යුතු සීමාවන් තීරණය කිරීමේදී හා ඒ අනුව හැසිරවීමේදී මනෝවිද්‍යා න්‍යාය අනුව උපදේශනය කෙරේ. වෘත්තීය මට්‌ටමින් මේ කටයුතුවල නිරතවන මනෝවිද්‍යාව හදාළ උපදේශකවරුන්ගේ සේවය ද මේ සඳහා ලබාගැනේ. කාලයට උචිතව මිනිසුන්ගේ චර්යාව, සංජානන අනුව මනසට දැනෙන ලෙස ප්‍රචාරනය සිදුකළ යුතු අයුරු මෙහිදී විමසා බැලේ. මේ සඳහා විවිධ සමීක්‍ෂණ ආදී සමාජ විද්‍යාත්මක තොරතුරු එක්‌රැස්‌ කිරීමෙහි ආධාරය ලබාගැනීමේ හැකියාව ඇත.
ප්‍රතිවේදය හා පෞරුෂ සංකල්පය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යායය රාශියක්‌ බිහිව ඇත. ඒ අතරින් ඉගෙනුම පිළිබඳ සංකල්පය වැදගත්ය. මෙහිදී දැක්‌වෙනුයේ සාමාන්‍යයෙන් දැක්‌වෙන උත්තේජනට ප්‍රතිචාර න්‍යාය වෙනුවට උත්තේජනය (Stimulus) සංවිධානය (Organization) එක්‌ව ප්‍රතිචාරය (Response) දැක්‌වීමයි. 1947 දී මේ අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදියකු වූ කොෆ්කා විසිනි. ගෙස්‌ටෝල්වාදීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ ගැටලු විසඳීම හා ඉගෙනුම සිදුවීමට නම් ප්‍රතිවේද ක්‍රියාවලියක්‌ අවශ්‍ය බවයි. කිසියම් ගැටලුවකට අවශ්‍ය සියලුම සාධක එක්‌තැන් කර සමස්‌තයක්‌ වශයෙන් ගෙන සලකා බැලීම මගින් ක්‍ෂණිකව එහි විසඳුම මනසට ප්‍රත්‍යක්‍ෂ වන බව එහිදී සඳහන් වේ.
මේ ප්‍රතිවේදනය නම් සංකල්පයන්ගෙන් ප්‍රකාශ වන දේය.

මෙකී ප්‍රතිවේදය පිළිබඳ සංකල්ප සනාථ කිරීම පිණිස කොෆ්කා විසින් විශාල වැදගත්කමක්‌ ඇති පර්යේෂණ රැසක්‌ සිදුකර තිබේ. මේ ප්‍රතිවේදය පිළිබඳ අදහස තුළ ගෙස්‌ටෝල්ට්‌ මූලධර්ම ගැබ්ව පවතී. එනම් සමස්‌තය පිළිබඳ න්‍යායයි. සමස්‌තය පිළිබඳ දැනීමෙන් ප්‍රතිවේදය සම්පූර්ණ වන බව දැක්‌වීම මගින් සනාථ වනුයේ එම අදහසයි. මේ ප්‍රතිවේද යන්නෙහි එක්‌තරා අයුරකින් පරිකල්පනය පිළිබඳ ආකල්පයක්‌ ද ගැබ් වේ. පරිකල්පනය බිහිවනුයේ නිර්මාණශීලීව හා ස්‌වාධීනව සිතීම මගින් වන හෙයිනි.
සංජානනය පිළිබඳ අදහසට පෞරුෂ සංකල්පයෙන් ලැබී ඇත්තේ නොමඳ පිටිවහලකි. එය ගෙස්‌ටෝල්ට්‌වාදීන් විසින් ඉදිරිපත් කර ඇත. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ පෞරුෂය පිළිබඳ සංකල්පය තවදුරටත් කර්ට්‌ ලෙවින් විසින් සංවර්ධනය කරනු ලැබීය. මෙය ක්‍ෂෙත්‍ර න්‍යාය ලෙස ද හැඳින්වේ. මේ පෞරුෂ න්‍යාය සංවර්ධනය කිරීමේදී ලෙවින් බොහෝ දුරට ශුද්ධ විද්‍යා ක්‍ෂේත්‍රයේ සඳහන් වන න්‍යායවල උපකාරය ද ලබා ඇත. මේ න්‍යාය මගින් මානව පෞරුෂය මානසික පරිසරයක්‌ තුළ ඇති ස්‌වාධීන ඒකකයක්‌ ලෙස විග්‍රහ කර තිබේ. ලෙවින්ගේ විග්‍රහයටඅනුව මානසික පරිසරය යනු විවිධ මානසික සබඳතාය. මේ අනුව පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ මානසික පරිසරය ජීවන අවකාශයක්‌ ලෙස අර්ථ දක්‌වා තිබේ. මේ ජීවන අවකාශයේ ඇතුළත ස්‌වභාවය, ක්‍රියාකාරිත්වය, ගතිකත්වය හා වර්ධනය ලෙවින් විසින් සවිස්‌තරාත්මකව විග්‍රහ කර තිබේ.
ලෙවින් විසින් දක්‌වන ලද මේ පෞරුෂ පිළිබඳ න්‍යාය වොට්‌සන්ගේ චර්යාවාදය ප්‍රමාණයට ජනප්‍රිය වී තිබේ. එසේම මෙය දැඩිව විවේචනය වී ඇත. ලෙවින්වාදී ගුරුකුලයට අයත් පිරිස මේ පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නියෑලී සිටිති. ඒ නිසා ලෙවින්ගේ පෞරුෂ න්‍යාය පමණක්‌ නොව සමස්‌ත ගෙස්‌ටෝල්ට්‌වාදය තවදුරටත් අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතී. දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමඟම ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලට පත්ව ගිය ගෙස්‌ට්‌ටෝල්ට්‌වාදීන් නිසා එහිද ගෙස්‌ටෝල්ට්‌වාදය පැතිර ගියේය. මේ නිසා ජර්මනිය හා සමානවම ඇමෙරිකාව පුරා ද ගෙස්‌ටෝල්ට්‌වාදය ව්‍යාප්ත විය. ගෙස්‌ටෝල්ට්‌වාදී ගුරුකුලයේ න්‍යායය සාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, ව්‍යවහාරික මනෝවිද්‍යාව, චිකිත්සක මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව වැනි වෙනත් මනෝවිද්‍යා ක්‍ෂේත්‍රවල භාවිතා වේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා චර්යාවාදය
සංජානනය පිළිබඳ වැදගත් මනෝවිද්‍යා න්‍යාය රැසක්‌ ප්‍රජානන මනෝවිද්‍යාවේ දැක්‌වේ. 1960 හා 1970 දශකවලදී ප්‍රජානන මනෝවිද්‍යාව ගුරුකුලයක්‌ ලෙස වර්ධනය විය. ඊට ඓතිහාසික පසුබිම සකස්‌ වූයේ 19 දශකයේදීය. ෙ-... එන්. හර්බට්‌ දාර්ශනිකයා (1776-1841) විසින් ඉදිරිපත් කළ ඥන විභාගය මත පදනම්ව මෙය ගොඩනැගී තිබේ. බාහිර ලෝකය ඇසුරෙන් දැනුම රැස්‌කිරීමේදී මානව මනසේ ඇති ආකෘතිය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරන බව මෙහිදී හර්බට්‌ විසින් පෙන්වා දී තිබේ. ව්‍යුහවාදය, කාර්යබද්ධවාදය හා ගෙස්‌ටොල්ට්‌වාදය වැනි ඉන් පෙර කල පැවැති මනෝවිද්‍යා ගුරුකුලවල බලපෑම් හා අනුබලය ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය සංවර්ධනය වීමේදී වැදගත් විය. ප්‍රජානනය නම් දැනුම ලැබීමේ ක්‍රියාපිළිවෙතයි. මානසික ගතිලක්‍ෂණ හැදෑරීම ප්‍රජානන ක්‍ෂේත්‍රය යටතට අයත් වේ. ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ චර්යාවාදයේ බලපෑම දැඩිව නැගුණි. නමුදු 1960 දශකය වන විට මේ අදහස වෙනස්‌ විය. මානව චර්යාව උත්තේජන ප්‍රතිචාරවලට පමණක්‌ ලඝූකොට දැක්‌වීම පටු අදහසක්‌ බව මනෝවිද්‍යාඥයන් අතර කතාබහට ලක්‌විය. මේ හිඩස පිරවීම සඳහා බිහිවූයේ ප්‍රජානන මනෝවිද්‍යාවයි. මෙහිදී සාකච්ඡා වනුයේ මානව චර්යාවට චින්තනයේ වැදගත්කම ප්‍රකාශ කිරීම මුල්කර ගනිමිනි. මේ අනුව ප්‍රජානන මනෝවිද්‍යාවේදී මානව චර්යාව සා පිපාසාදිය වැනි බාහිර උත්තේජනවලට පමණක්‌ ලඝූකර දැක්‌වීම ප්‍රතිඵලදායී නොවන බව පැහැදිලි කර ඇත. පුද්ගල චර්යා බාහිර අවශ්‍යතා මත පමණක්‌ වෙනස්‌ නොවේ. පුද්ගලයා තුළ අභ්‍යන්තරව ඇති විවිධ ප්‍රජානන අවශ්‍යතා ද ඊට මුල් වේ. මේ ප්‍රජානන අවශ්‍යතාවලට හේතු වූයේ මානව සංජානනය මගින් පුද්ගලයා විවිධ චර්යාවලට පෙළඹවීමයි.
කිසියම් කෙනකු වුවමනාවෙන් කිසියම් කාර්යයක්‌ කරගෙන යැමේදී කාලය ගතවන බවවත් නොදැනේ. එවිට ඒ පුද්ගලයාට වෙහෙස සා පිපාසාදිය පවා නොදැනේ. හුදෙක්‌ පුද්ගලයා තමා තුළ ඇති වෙහෙස සා පිපාසාදියට පමණක්‌ ප්‍රතිචාර දක්‌වන්නකු යෑයි චර්යාවාදීන් දැක්‌වූ අදහස මෙහිදී බිඳවැටේ. මේ නිසා ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මගින් පෙන්වා දෙනුයේ පුද්ගලයා මත ර¹පවතින වැදගත්ම සාධක වනුයේ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ක්‍රියාකාරිත්වයට අයත් විවිධ අරමුණු බවයි. මේ සාධක එකී කාර්යය නිමකිරීමෙන් පසුව ඇතිවන තෘප්තිය, සතුට, කුතුහලය හා ක්‍රියාකාරිත්ව අවශ්‍යතාව ආදී වශයෙන් දැක්‌විය හැකි බව ප්‍රජානන මනෝවිද්‍යාවේ සඳහන්ය. මිනිසුන්ට තමා අවට පරිසරය අවබෝධ කර ගැනීමට මූලික අවශ්‍යතාවයක්‌ ඇති බව මෙහි අර්ථයයි. එමෙන්ම සිය කාර්යය ඇසුරින් නිපුණ බව අත්පත්කර ගැනීමට, සක්‍රියව ජීවත්වීමට හා සාර්ථකව සමාජ සබඳතා ගොඩනැගීමට මිනිසුන් තුළ ඇති නොසන්සිඳුණු ආශාව මීට පුද්ගලයා පොළඹවන උත්ප්‍රේරකය ලෙස දැක්‌විය හැක. මනෝවිද්‍යාවේ සඳහන් පෙළඹවීමේ න්‍යාය සමඟ ද මෙම අදහස හොඳින් ගැලපේ. මේ අනුව ප්‍රජානනවාදී ගුරුකුලය චර්යාව පිළිබඳ දැක්‌වූ මූලික ආකල්පය වූයේ ද මිනිසුන් යම් කාර්යක්‌ කරනුයේ ඊට ඇති ආශාව හා ඉන් ලැබෙන තෘප්තිය නිසා බවයි. 
එසේම ප්‍රජානන මනෝවිද්‍යා ගුරුකුලය මනෝවිශ්ලේෂණවාදය හා සංදෘෂ්ටිකවාදය හැර අන්‍ය සෑම මනෝවිද්‍යා න්‍යායකම මිශ්‍රණයක්‌ වශයෙන් ද දැක්‌විය හැක. නමුදු ඔවුහු චර්යාවාදයට විරුද්ධ වූහ. මොවුන්ගේ ප්‍රධානම උපාය මාර්ගය වූයේ මානසික ක්‍රියාකාරිත්වය වැඩි අවධාරණයට ලක්‌කිරීමයි. එමගින් මානසික පැතිකඩ ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන්ගේ න්‍යාය අනුව උපාර්ජනය (Acquiring) සන්තතිය (Processing). සන්නිධිය (Storimg) හා තොරතුරු ප්‍රතිනිරවද්‍යතාව (Retriering Information) ආදී පැතිකඩ රැසක්‌ මානසික පක්‍ෂයට අයත් විය. මේ අනුව මිනිස්‌ මනසේ ඉතා වැදගත් සංකීර්ණ ක්‍රියාකාරකම් කෙරෙහි ප්‍රජානන මනෝවිද්‍යාඥයන් විසින් වැඩි අවධානයක්‌ යොමු කළ බව පැහැදිලි වේ. මානව බුද්ධිය කෙරෙහි විවිධ පැතිකඩවලින් අවධානය යොමු කිරීමට මේ නිසා ප්‍රජානනවාදීන්ට හැකිවිය. ගෙස්‌ටෝල්ට්‌වාදීන්ගේ බලපෑම නිසා මානව චින්තනය කෙරෙහි සංජානනයේ ඇති බලපෑම අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉස්‌මතු විය. ප්‍රජානනවාදී න්‍යායයට අයත් උපාර්ජනය, සන්තතිය, සන්නිධිය හා තොරතුරු නිරවද්‍යතාව යන පැතිකඩ සතරටම ගෙස්‌ටෝල්ට්‌වාදී මුලධර්මය වූ පොදු බවේ ලක්‍ෂණ මූලික වන බව පැහැදිලි විය.
සමාජ ඉගෙනුම් න්‍යාය
සංජානනය කෙරෙහි බලපාන තවත් වැදගත් මනෝවිද්‍යා න්‍යායයක්‌ නම් සමාජ ඉගෙනුම් න්‍යායයි. (Social Learning Theory) මෙය ප්‍රජනන මනෝවිද්‍යා ගුරුකුලය හා චර්යාවාදී ගුරුකුලය යන ගුරුකුල දෙකේ එක්‌වීමෙන් ගොඩනැඟෙන නව මනෝවිද්‍යා ගුරුකුලයකි. මෙහි ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමය දක්‌වා ඈතට විහිද යයි. ජෝන් ඩොලාඩ් හා නීල් මිලර් යන චර්යාවාදීන් විසින් ඉදිරිපත් කළ සමාජ අනුකරණය සඳහා ඇති ප්‍රේරණ පිළිබඳ න්‍යායන්ය. මේ න්‍යායන් ස්‌කිනර්ගේ උපස්‌ථම්භන සංකල්පයට පරිබාහිර වූවකි. ඇල්බට්‌ බන්ධුරා හා රිචඩ් වෝල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් සමාජ ඉගෙනුම්වාදී න්‍යායේ සමාරම්භකයන් වේ. මිලර් හා ඩොලාඩ්ගේ න්‍යාය මේ දෙදෙනාගේ පර්යේෂණ කෙරෙහි සෘජු බලපෑමක්‌ ඇති කළේය. බන්ඩුරා විසින් අභිප්‍රේරණය සඳහා බලපාන මූලධර්ම රැසක්‌ පැහැදිලි කර දී තිබේ. මින් වැදගත් මුලධර්මය වනුයේ චර්යාවේ ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳ ඊට පෙර සලකා බැලීමයි. යම් ක්‍රියාවක්‌ කිරීමට පෙර ඒ ක්‍රියාව සිදුකිරීමෙන් පසුව ඇතිවන විවිධ ප්‍රතිඵල පිළිබඳව සැලකීම මින් අදහස්‌ වේ. බුදුදහම තුළ සඳහන් කර්මඵල විපාක පිළිබඳ සැලකීමේ ආකල්පය මෙනි. අභිප්‍රේරණයට අදාළ බන්ඩුරාගේ දෙවන මූලධර්මය සේ දැක්‌වෙනුයේ අතීත අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් අනුසාරයෙන් අනාගත සිදුවීම් පරිකල්පනය කිරීමය. ඉන් අදහස්‌ වනුයේ අතීතයේදී කිසියම් පුද්ගලයකු ලැබූ අත්දැකීම් පිටිවහල් කරගෙන ඒ පුද්ගලයාගේ අනාගතය කෙසේ වේදැයි තීරණය කිරීමයි. මෙය ස්‌වයං සඵලත්වය (Self Efficacy) සේ දැක්‌වේ.
මේ ස්‌වයං සඵලත්වයෙන් අදහස්‌ කරනුයේ කිසියම් සුවිශේෂිත අවස්‌ථාවකට මුහුණදීම සඳහා පුද්ගලයකු තුළ ඇති වන ආත්ම විශ්වාසයයි. මෙය ඇතිවීමට ස්‌වියත්වය පිළිබඳ ඇතිකරගනු ලැබූ අභිමානයක්‌ ද ඒ පුද්ගලයා තුළ පැවැතිය යුතුය. එමගින් පුද්ගල පෞරුෂය වර්ධනය වන බව මෙහිදී පිළිගැනේ. ගැටලු අභියෝග ආදියට මුහුණදීමට පුද්ගලයා සමත් වනුයේ පෞරුෂය ශක්‌තිමත්වීම අනුවය. සිය හැකියා විභව ශක්‌තිය පිළිබඳ පුද්ගලයා තුළ ඇති ස්‌වයං තක්‌සේරුව මෙකී පෞරුෂය ලෙස හැඳින්වේ. බන්ඩුරාගේ ස්‌වං සඵලත්වයෙන් අදහස්‌ වන්නේ ද මීට සමාන අදහසකි.
සංජානනයට අදාළ සමාජ ඉගෙනුම් න්‍යාය යටතේ බන්ඩුරාගේ තුන්වන මූලධර්මය නම් කිසියම් අරමුණක්‌ තබාගෙන ඒ ඔස්‌සේ වැඩ කටයුතු මෙහෙයවීමයි. මේ අරමුණ යන මුලධර්මය භාවිත කිරීමේදී ස්‌වයං සඵලත්වය යන දෙවන මුලධර්මය ද වැදගත් වේ. ඉලක්‌කයක්‌ තබාගෙන ඒ ඔස්‌සේ සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බැවිනි. නිශ්චිත ඉලක්‌කයක්‌ තබාගැනීම ඒ අරමුණ ශාක්‍ෂාත් කරගැනීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක්‌ ද සංවිධානය කර ගැනීමට උපකාරී වේ. එසේම අදාළ අරමුණ ඔස්‌සේ ක්‍රියා කිරීමට අවශ්‍ය වන ශක්‌තිය ද නිරායාසයෙන්ම ලැබේ. එය මානසික ක්‍රියා සමූහයක එකතුවයි. බොහෝ විට සිය ජීවිතයේ ඉලක්‌ක තබාගෙන ධෛර්යමත්ව ක්‍රියා කරන විට ඒ ක්‍රියා සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන ශක්‌තිය ළඟා වනුයේ මේ මූලධර්මය අනුවය. සාර්ථකත්වය ළඟා කරගනු ලැබූ බොහෝ පුද්ගල චරිතවල ද මේ ස්‌වභාව දක්‌නට ලැබේ. බලාපොරොත්තු වන අරමුණු නිසි ලෙස ශාක්‍ෂාත් කරගත් විට ස්‌වල්ප මොහොතකට වුවද ඉන් සතුටක්‌ ලැබේ. ඒ සතුට ඊට වඩා ප්‍රබල වෙනත් අරමුණු ජය ගැනීමට විශාල ශක්‌තියකි.
බන්ඩුරා හා වොල්ටර්ස්‌ යන මනෝවිද්‍යාඥයන් විසින් මානව චර්යාවට බාහිර පරිසරය හා ප්‍රජනන පැතිකඩේ දායකත්වය එක හා සමානව පිළිගෙන තිබේ. සෙසු මනෝවිද්‍යාඥයන්ට වඩා මොවුන්ගේ සුවිශේෂත්වය වනුයේ සමාජ අනුකරණයේ ඇති ප්‍රමුඛතාව පෙන්වාදීමයි. මානවයාගේ චර්යාව සකස්‌ කරගැනීම පිණිස සමාජ අනුකරණයේ ඇති වැදගත්කම ප්‍රාථමික ගෝත්‍රික සමාජවල සිට නූතන සමාජ තල දක්‌වා එක ලෙස අත්‍යවශ්‍ය සාධකයක්‌ බව මොවුන්ගේ ආකල්පයයි.
දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya