| |||
..... වටිනා පුවත්පත් ළිපි හා බ්ලොග් ළිපි සංරක්ෂණ අඩවිය .....
සිහින පලාපල
- DONATE (1)
- නොවිසඳුණු අබිරහස් (35)
- පිටසක්වළ රහස් (23)
- මනෝ විද්‍යා (16)
- ශාස්ත්‍රීය ළිපි (104)
- සිහින පලාපල (1)
- හාස්කම් (25)
- හෙල පුරාණය (39)
- හොල්මන් කතා (58)
Tuesday, August 16, 2016
ගොම්මං අඳුරේ රූමත් ළඳුන්ට බැල්ම හෙලන කළු කුමාර යක්ෂයා...(kalu kumara distiya-holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )
කාලය හැත්තෑව දශකයේ අග භාගය බව මට හොඳට මතකය. මාතර මාලිම්බඩ මෙතෝදිස්‌ත විද්‍යාලයේ ඉගනුම ලැබූ කුඩා පාසල් ශිෂ්‍යයෙකු ලෙස එවකට මා ජීවත් වූයේ මාලිම්බඩ නමැති සුන්දර ගම් පියසේ අපේ මාතර ආච්චි සෙවණේය.
එදා ඒ ගම්මානය අද මෙන් නාගරීකරණය වී තිබුණේ නැත. අද මෙන් දියුණු නැත. විදුලි ආලෝකයද නැත. පාරවල් ද පුළුල් නැත. මිනිස්‌සුන්ගේ ආකල්ප විකල්පද අද තරම් සංකර වී නොමැත. එදා සිටියේ අහස් දියෙන් ගොවිතැන් බත් කරන, වෙනත් සුළු ව්‍යාපාර හා රැකියා කරන සරල ගැමියන් පිරිසකි.
මාලිම්බඩ ගම වටේටම ගංගොඩවල් තිබිණි. එකක් අකුරුගොඩය. අනෙක නවන්දන්නගොඩය. තවත් තැනෙක රදාගොඩය. ඊට එහායින් බෙරවගොඩය. මේ අයුරින් වළං හදන, කම්මල් වැඩකරන, බෙරගහන, නටන හා යකැදුරුකම්කරන, හකුරු හදන, රෙදි සෝදන කුලවල මිනිස්‌සු වෙන් වෙන් වශයෙන් ජීවත් වූ සාම්ප්‍රදායික පැරණි ගමකට මාලිම්බඩ හොඳ උදාහරණයක් බව මට මතකය.
මේ සෑම ගමකම මිනිස්‌සු අදට වඩා එදා හොඳ නිරෝගීව සිටියා මතකය. උණක් සෙම්ප්‍රතිෂ්‍යාවක් හිසරදයක් බඩේ, දතේ රුදාවක්, වාත ඇම්මක් වැළඳුන ඕනෑම කෙනෙක් එදා ඊට පිළියම් සෙව්වේ වෙද ගෙදරට යන්නට පෙර යකැදුරුකෙනකු ගෙදරට ගෙන්නා ගෙන තෙල් ඩිංගක් මතුරාගෙනය. පණිවිඩයක් යෑවූ සැණින් ඒ විනාඩියෙන් ගෙදරටම විත් තෙල් මතුරා හිසෙහි ගා ආතුරයා සුවකර නිදිගන්වා දෙන කීයක් හෝ තුටු පඬුරක් ගෙන ඉන් සතුටට පත්වී ආපසු යන යකැදුරෝ බෙරවා ගොඩෙහි ඕනෑ තරම් සිටියහ.
මාලිම්බඩ ගමෙහි අත්තුඩාව පාරේ බෙරවා ගොඩෙහි සිටියේ බෙරව කුලයට අයත් ජන කොටසකි. තොවිල් නටන්නට බෙර වයන්නට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට හඳහන් බලන්නට පිළිම අඹන්නට මෙන්ම අවශ්‍ය නම් හදි හූනියම් කරන්නටද ඔවුහු දකුණු පළාතේම සිටි නමගිය දක්‌ෂයෝ බව මට මතකය. ගමේ උදවිය ඔවුන්ට සැලකුවේ යම් ගෞරව බය පක්‌ෂපාතකමකින් බව මට මතකය. ඒ නිසාම ඒ උදවියට බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කළේ “ගුරුන්නාන්සේලා” යන ගෞරව නාමයෙනි.
මාලිම්බඩ බෙරවගොඩේ ලංකාවම නම කී සැනින් හඳුනන ගුරුන්නාන්සේලා කිහිප දෙනෙක්‌ම වූහ. ඩයිය ගුරුන්නාන්සේ, ලැවැන්දිරිස් ගුරුන්නාන්සේ, ඩාර්ලිස් ගුරුන්නාන්සේ, සිත්තර ගුරුන්නාන්සේ හින්නි ගුරුන්නාන්සේ ආදීහ මේ අතරින් කිහිප දෙනෙකි.
මේ ගුරුන්නාන්සේලාගේ ඇවැතුම් පැවැතුම් හරි අමුතුය. උඩුකය වැසෙන්නට කිසිවක් නොඅඳියි. සරමක් ඇඳ ලොකු බඳ පටියක් බැඳ සිටින අතර කොපුවක බහාලන ලද උල් පිහියක් ඉණ පිටුපසට වෙන්නට රඳවාගෙන සිටියි. උරහිසේ නිරතුරුව පට ලේන්සුවකි.
දොස්‌තරලාට වෙද මහත්තුරුන්ට වැඩ එදා අපේ ගම්වල නොතිබුණත් මේ ගුරුන්නාන්සේලාට නම් විවේකයක් තිබුණේම නැත. දිවා කාලයේ තෙල් බේත් මතුරමින් ගෙන් ගෙට යමින් සුළු සුළු ලෙඩ රෝග ගැන බලන උන්දැලාට මහ වැඩ රාජකාරි තිබුණේ රාත්‍රියේ තිබූ තොවිල් පවිල් ගෙවල්වලය.
පුංචි සන්දියේ අපේ ගම්වල රෑ බෝවන විට දෙතුන් පැත්තකින් යක් බෙර හඬක් නෑ සුනොත් ඒ එහෙමත් දවසකය. සෑම දිනකම පාහේ රාත්‍රියේ ඒ ගම්වල කොහේ හෝ තැනක තොවිල් ගෙයකි. යක් බෙර දෙකක තුනක හඬ රටාවට ඈතින් ඇසෙන විට එදා අපේ ගැමියෝ හුළු අතු පත්තු කරගෙන වේලි දිගේ ඕවිටි බඩවැටි මැද්දෙන් බෙර හඬ ඔස්‌සේ යන්නේ තොවිල් බලන්නටය.
හැබෑටම එදා ගැමියෝ එසේ තොවිල් නැටුවේ ඇයි… ඊට හේතුව කුමක්‌ද… අද අපි කළු කුමාරයා ගැන කතා කරමින් මගේ මතක ගබඩාව ඔස්‌සේ අතීතය හරහා යන්නට උත්සාහ කරන්නේ කළු කුමාර දිෂ්ඨිය හා තොවිලය ගැන කතා කරමින් අතීත දකුණේ ගැමි ජනතාවගේ ඇදහිලි හා විශ්වාස කෙබඳු දැයි විමසා බලන්නටය.
යකැදුරන් ලෙස සේවය කරන මේ ගුරුන්aනාන්සේලාගේ විශ්වාසවලට අනුව මනුෂ්‍ය ශරීරයට රෝග පීඩා ගෙන දෙන පෙනෙන හා නොපෙනෙන බලවේග බොහෝය. වා පිත් සෙම් හා විෂබීජ වූ කලී හඳුනාගත හැකි පෙනෙන බලවේග ගණයට වැටෙන කාරණාය. ඒ හැරුණ විට එදා ගැමි සමාජයේ බොහෝ දෙනකු ලෙඩ කළේ යක්‍ෂ ප්‍රේත භූත ආදී නොපෙනෙන බලවේග විසින් බව එදා යකැදුරෝ මෙන්ම ගැමියෝ තදබල ලෙස විශ්වාස කළහ.
මේ ආදී වශයෙන් මනුෂ්‍ය ශරීරයට ලෙඩ රෝග පීඩා ගෙනදුන් යක්‌ෂයෝ සිටියහ. යක්‌ෂ දිෂ්ඨිද තිබුණහ. තවත් බලවේගද සිටියහ. මේවා අතර මහ සොහොන් යකා, කළු යකා, රීරි යකා, කළුකුමාර යකා ආදී යක්‌ෂයෝ බහුලය. අපේ කතා නායකයා වන කළුකුමාර යක්‌ෂයා නොහොත් කළු කුමාරයා අපට වැදගත් වන්නේ ගමෙහි වෙසෙන රූමත් කාන්තාවන්ට දිෂ්ඨි දමා ඔවුන් ඔත්පල කරන නිසාය. ගමේ කාන්තාවන් (විශේෂයෙන් යුවතියන්) අසාමාන්‍ය ඇවතුම් පැවතුම් ඇති සිහි විකල් වූ රෝගී තත්ත්වයට පත්කරන්නේ කළු කුමාර දිෂ්ඨියයි.
එදා ඒ ගමෙහි සිටි වැඩිහිටි කාන්තාවෝ හා කාරණ, කාරණා දන්නා පිරිමි තම නිවෙස්‌වල සිටින යුවතියන්ට හා තරුණ කාන්තාවන්ට ගොම්මං යාමයේ තනිපන්ගලමේ ගමන් බිමන් යැම තහනම් කළේ කළු කුමාර දිෂ්ඨියේ තරම දන්නා නිසාය. විශේෂයෙන්ම එවන් කාන්තාවන්ට ගොම්මන් යාමයේ තනිපංගලමෙ නෑම තහනම්ය. හවස් වරුවේ අඳුරු තොටුපළවල්වල නෑම හා රෙදි සේදීම තහනම්ය.
මාලිම්බඩ ගම් පියසේ බැලු බැලූ අත හැම තැනම එදා තිබුණේ කුඹුරුය. කුඹුරු යාය කෙළවර වූයේ ලඳු දෙනිවලිනි. ඒ ලඳු දෙනි වලටත් එහායින් තිබුණේ කඳුවැටිය. කඳුවැටිවල කුරුඳු රබර් ආදී ආර්ථික භෝග වවා තිබුණේ උසෙහි හැටියටය.
ඒ රබර් වගාවන් අතරින් එදා හැම පැත්තෙන්ම පිරිසිදු දිය දහරාවන් ගලා ආ දොළවල් තිබිණ. රබර් හේඩෑවෙන් වැසුණ පරිසරයේ සුන්දරත්වය නිසාත් දොළ දියෙහි දිය දහරාවන්හි ඇති සිසිලස නිසාත් ගැමි යුවතියෝ හා කාන්තාවෝ දොලදිය නෑමට බෙහෙවින් ප්‍රිය කළහ. එහෙත් ගම්වල වැඩිහිටි උදවිය මේ දොලවල් නම්කර තිබුණේ කළු කුමාර දිෂ්ඨියෙහි උල්පත් ලෙසය. වැඩිහිටි කාන්තාවන් හෝ පිරිමින් සමඟ මිස තරුණ කාන්තාවන්ට මේ දොළවල්වල නාන්නට යැම සපුරා තහනම් කර තිබිණි.
අපේ ආච්චි ද මේ අමනුෂ්‍ය බලවේග පිළිබඳ කතා තරයේම විශ්වාස කළාය. ඕ කිසි විටෙකත් අපේ පුංචි අම්මලාට අවේලාවේ නාන්නට ළිඳකට පහළකට ඇළකට දොළකට යන්නට දුන්නේම නැති තරම්ය. නානවා නම් ඒ ගෙදර ළිඳෙන් දිය ඇදගෙන පමණි.
එදා අපේ ගම්පියසේ අප අවට ගෙවල්වල කාන්තාවෝ මෙසේ කළු කුමාර දිෂ්ඨියට හසුවී ලෙඩ වූ අයුරු මට මතකය. මා ඒ කාලයේ බොහෝ කුඩාය. කළු කුමාරයා ගැන ඔහුගේ ස්‌වරූපය ගැන ඌ කාන්තාවකගේ ශරීරයට ආවේෂ වන ප්‍රවේශය ගැන වැඩිහිටියෝ කථා කළ දේවල් මා අසා සිටියේ බියෙන් ගැහෙන අතරතුරය.
එවන් ආතුරයෙක් ගැන ඇසූ සැනින් ගෙදරට එන ගුරුන්නාන්සේලා වහාම කරන්නේ කෙස් වැටියෙන් අල්ලා එම ආතුර තරුණිය හෝ කාන්තාව බියකර මට්‌ටු කර ගැනීමය. මේ සඳහා මන්ත්‍ර ජප කරමින් කාන්තාව ළඟට එන යකැදුරා තම පිරිමිකම හා සැර පරුෂකම මෙහෙයවමින් කාන්තාව බිය කරයි. ඇතැම් විට සිහින් වේවැලකින් පවා පහර දෙන අවස්‌ථා කුඩා කලදී පවා මා දැක ඇත්තෙමි.
කෙස්‌වල්ලෙන් අල්ලා එවන් ආතුරයෙක් මෙල්ල කර ගන්නා යකැදුරා මන්ත්‍ර ජප කරමින් කාන්තාවගේ ශරීරයට කළු කුමාර දිෂ්ඨිය ගෙන්වයි. අනතුරුව කළු කුමාරයා බියකර ඔහු හා සංවාදයක යෙදෙයි. යකැදුරා අසන්නේ කළු කුමාර දිෂ්ඨිය කාන්තා ශරීරයට ඇතුළු වූයේ කුමක් බලාපොරොත්තුවෙන්ද කියාය.
යකැදුරාගේ ඊළඟ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ ආතුරයාගේ මුවින් නික්‌මෙන කළු කුමාර දිෂ්ඨියේ ප්‍රතිඋත්තර මතය. එම ප්‍රාණකාරිය හැර යන්නට නම් දිෂ්ඨිය වෙත අවශ්‍යව ඇත්තේ කුමක්‌දැයි යකැදුරා විමසයි. ආතුරයා ප්‍රාණකාරියගේ ප්‍රාණය අවශ්‍ය බව කියයි. ඒ අනුව යකැදුරා දිෂ්ඨිය සමග හෙට්‌ටු කරන්නට පටන් ගනියි. තරුණියගේ ප්‍රාණය වෙනුවට වෙනත් සතෙකුගේ ප්‍රාණයක් ප්‍රමාණවත්දැයි යකැදුරා හෙට්‌ටු කරමින් අසයි. දිෂ්ඨිය ඊට අකමැති වුවහොත් යකැදුරා සිය ස්‌වරය ඉහළ නංවයි. මන්ත්‍ර බලය භාවිත කර කිසිවක් නොදී දිෂ්ඨිය පලවා හරින බවට තර්ජනය කරමින් හෙට්‌ටු කරයි.
අවසානයේ දිෂ්ඨිය හා යකැදුරාගේ සංවාදය කෙළවර වෙන්නේ දෙපාර්ශ්වයේම අතර මැද එකඟතාවයකිනි. දිෂ්ඨිය මිනිස් බිල්ලක් වෙනුවට සත්ව බිල්ලකට එකඟත්වය පළ කරයි. ඒ සත්ව බිල්ල දිෂ්ඨිය වෙත බාරදෙන්නේ ඉර මුදුන් පිදේනියකින්ද මහ පිදේනියකින්ද නැති නම් මහා තොවිලයකින්ද දහඅට සන්නියකින්ද කියා කතිකාවකින් එකඟතාවයකට පැමිණෙයි.
යකැදුරා බොහෝවිට තොවිලය කින් බාරය ඔප්පු කරන්නට එකඟතාවක් ඇතිව ආතුරයාගේ බෙල්ලේ ඇප නූලක් බඳිනු ලබයි. ඇප නූල මත යකැදුරා මේ බාරය දහ අට පාලියක් සහිත තොවිලයකින් ඇපඔප්පු කිරීමට කාලයක් ලබා ගනියි. ඒ කාලය සති 6 ක් 8 ක් 10 ක් හෝ දොළහක් ලෙස ලබා ගන්නා යකැදුරා ආතුරයාගේ බෙල්ලෙහි ඉනෙහි හෝ අත් උරහිසෙහි ඇප නූල් ගැටගසයි.
පුදුමයට කාරණය වන්නේ එතෙක් වේලා උමතු වී යකිනිsයක ලෙස හැසිරුණු ආතුර කත හෝ යුවතිය ඇපනූල බැඳීමත් සමඟ පියවි සිහිය එලඹ තමන්ට වූයේ කුමක්‌දැයි අනෙකගෙන් විමසන්නට පටන් ගැනීමය.
පුංචි සන්ධියේ මාලිම්බඩ ප්‍රදේශයේ එවන් සිදුවීම් ගණනාවක් මා ඇස් දෙකින් දුටු බව මතකය. ඇප නූල් බැන්දාට පසු පියවි සිහිය ලබන යුවතිය පෙර මෙන් සාමාන්‍ය දිවියට පිවිසියත් ඕ කිසිවිටෙකත් තනි නොකරන්නට වැඩිහිටියෝ වග බලා ගනිති. එතැන් සිට ඔවුහු ඕ රැකබලා ගන්නේ ඇසක් සේ වීම ගැමි ලක්‌ෂණයෙකි.
එතැන් පටන් ඒ ගෙදර සියලු වැඩ රාජකාරි පසෙක දමා නිවැසියෝ සූදානම් වන්නේ තොවිලයටය. තොවිලය සඳහා මුළු ගමම එකතු වී එකා මෙන් වැඩ කිරීම අතීත ගැමියන්ගේ පුදුම සහගත සමගිය පෙන්නුම් කරන එක් අවස්‌ථාවකි. හරි රසවත් සිදුවීම් සියල්ල ඇත්තේ තොවිලය සමගය. තොවිලය ගැමියාට මඟුලක් බඳුය. මුළු ගමම ඒ තොවිලයට එක්‌වීම ගැමි සමගිය හා සංස්‌කෘතිය කුළුගන්වන සංස්‌කෘතික මංගල්‍යයක් වැනි යෑයි මට සිතෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment