Friday, June 23, 2017

අවාරේ සිරිපා කරුණා කරමු.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -rathnapura rakwana maskeliya rooms suzuki maruti ශාස්ත්‍රීය ළිපි sri padaya)

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන ඇතැයි යන පරම විශ්වාසයෙන් යුතුව සියවස් ගණනාවක් මුළුල්ලේ සිට ඉතා දුෂ්කර වූ ගමන් මගක් ගෙවා දමමින් බැතිබර ලෙස පැමිණෙන වන්දනාකරුවන්ගේ පා පහසින් ශි‍්‍රපාද මාර්ගය කාර්ය බහුල වන සිරිපා වාරයේදී ඔබ සිරිපා කරුණාකර ඇතැයි විශ්වාස කරන අතර ඔබ කිසි දිනක අවාරයේ දී සිරිපා කරුණා කර ඇතැයි අනුමාන කළ නොහැක. එනමුත් අවාරයේ දී විශේෂයෙන්ම යෙදෙන පොහොය දිනවලදී වන්දනා කරුවන් ශ්‍රීපාද කරුණා කරන බව ඔබ දැන සිටියේ දැයි නොදන්නා අතර එවැනි වූ ඉතා චමත්කාර ජනක ගමන මෙසේ සටහන් කරමි.
රත්නපුර නගරයේ සිට ධාවනය වන සිරිපාගම හෝ ශ්‍රී පලාබද්දල බලා ධාවනය වන්නාවු බස් රථයක නැග හෝ පුද්ගලික වාහනයක ඔබට පලාබද්දල බලා පැමිණිය හැකි අතර වන්දනා සමයේ දී දක්නට ලැබෙන වෙළෙඳ සැල් කිසිවක් මෙහිදී දැක ගත නොහැක. පලාබද්දල (සත්‍ය වශයෙන්ම මෙම නම පලාබත් දොලවන අතර ජන වහරට අනු ව එය අද දිනයේ දී පලාබද්දල නමින් හැඳින්වේ.) කීර්ති ශි‍්‍රරාජසිංහාරාමයට පැමිණ (මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද සංඝාරාමයක් නිසා එ නමින් හැඳින්වෙයි.) පන්සිල් සමාදන්වී එහි, ඇති ශ්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ දේවාලයට ගොස් උන්වහන්සේට පඬුරු ගැට ගසා අවාරයේ සිරිපා කරුණාව ඇරැඹිය හැකිය.
ඔබ වම් පසින් දක්නට ඇත්තේ ඉතා ඓතිහාසික වටිනාකමින් අනූන වු කුනුදිය පර්වත රාජයාය. ජනප්‍රවාද අතිමහත් සංඛ්‍යාවකට නිමිති වූ මේ ඉපැරැණි කඳු ගැටයේ අතීතයේ දී රජ මාවත (ඉපැරණි හා නිවැරැදිව සිරිපා කරුණාව සදහා යොදා ගනු ලබන මාර්ගයයි) හරහා සිරිපා කරුණා කරනු ලැබූ සංචාරකයන්ගේ හා දේශ ගවේශකයන් ගේ නොමද අවධානයට ලක්වූ කඳු ශිඛරයකි. මෙය වටා ගෙතී ඇති ජනප්‍රවාද කථා රාශියක් ඇති නමුත් ඉන් වඩාත් ප්‍රකාශ වන අන්දරය වන්නේ බුදුරදුන් ශ්‍රී පාද සටහන් සමන්ථකූ®ඨය මත තැබූ පසු එය දුටු දෙව්දත් තෙරුන් ඔහුගේ පාදය මෙම පර්වත මුදුනේ තැබීමට උත්සාහ කළ පසු එම පර්වත මුදුනේ සිට කුනුදිය උල්පත් මතුවූ බවය.
1860 වර්ෂයේදී සිරිපා කරුණා කළ විලියම් ස්කීන් නම් දේශ ගවේෂකයා මෙම කඳුගැටය දුටුවේය. හිස කඳීන් වෙන් කළ මිනිසෙකුගේ කවන්ධයක් ලෙසින් වන අතර මා මෙම පර්වතයේ දුටු අපූරුම දසුන වන්නේ මෙම පර්වතය යම් කෝණවලින් බලන විට එය දර්ශනය වන්නේ ඉතා වෙනස් අයුරින් බවයි. කුරුවිට එරත්න කැකුණපරත්න මාර්ගයේ සිරිපා කරුණා කිරීමට පැමිණි විටදී ද මෙම පර්වත රාජයා දක්නට ලැබෙන අතර එහි දී රත්නපුර මාර්ගයේ දී හාත්පසින් වෙනස් වූ දර්ශනයක් දක්නට ඇත.
ඉන් පසු ඔබ පවනැල්ල නම් අවසාන ගම්මානයට පැමිණෙයි. අතරමඟදී කුඩා ව්‍යාපාර ආදිය අවාරයේදී දක්නට නොමැති අතර විශේෂයෙන්ම ඔබ අවශ්‍ය ආහාරපාන සහ අවශ්‍ය කරන ඖෂධයන් ඔබගේ පැස තුළ තබා ගැනීම මතක තබා ගත යුතු කරුණකි.
නීලිහෙල අසල දී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ ගැමුණු රෙජිමේන්තුවේ හමුදා නිවස්නයක් ඇත්ද ඔවුන්ගෙන් ඒ අවශ්‍යතා ඉටුකර ගැනීම ඔවුනට කරදරයක් වන බැවින් එය ඔබ විසින්ම සපුරා ගන්නේ නම් ඉතා යෙහෙකි. ඉන් පසු ඔබට ඉතා මෑතකදී සාදා නිම කරන ලද පිය ගැට පෙළ නගිමින් ඉදිරියට යා හැකිය. “දොරණ කඩේ” නම් ස්ථානය පසු කරමින් මහ හිමයට ඇතුළු වන ඔබ ජලය පුරවා ගත හැකි බඳුන් අත තබා ගැනීම අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතු අතර ඉතා පිරිසුදු ජලය පුරවා ගත හැකි ස්ථාන ඕනෑ තරම් මේ අඩවියේදී ඔබට මුණ ගැසේ. කෙකටිය කඳ කඩය පසු කරමින් ඉදිරියට ඇදෙන ඔබ විඩා නිවා ගැනීමට භාවිතා කර යුතු සුදුසුම ස්ථානය වන්නේ නීලි හෙලේ අම්බලමයි. අතීතයේ දී මේ හෙලින් බිමට ඇද වැටුණු නීලි නම් කාන්තාවක් සිහි කරමින් මෙම නම භාවිතා වේ. ඔබ ඉදිරියේ දක්නට ඇති මහා පර්වතය වන්නේ කටුකිතුල් කන්දයි. වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම කන්දෙන් ඉතා ශෝභමාන දිය ඇල්ලක් නිර්මාණය වේ. කටු කිතුල් කන්ද, ගැට හෙතුල, පලාබත්ගුල වැනි අති මනෝරම්‍ය වූ පර්වත මෙම ගමනේදී දක්නට ලැබෙන අතර කුඩා පරිමාණයේ දිය කදුරුද ඔබට දැක බලා ගත හැකිය.
මෙම ගමන ඔබගේ ගමන්මලු, (පැසි) සකස් කර ගන්නා විට අනිවාර්යයෙන් ම තිබිය යුතු උපකරණයක් වන්නේ විදුලි පන්දමයි. රාත්‍රියේ කරුණා කරන විට ඉන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. කටු කිතුල් වංගුව අසල අම්බලන් දක්නට ඇති අතර එහි නැවති ඔබට විඩාව සන්සිසුවා ගත හැකිය. මේ ප්‍රදේශයට සිරිපා අඩවියේ ඇති අති රමණීය දසුන් ඔබගේ සිත් පුරාවට දැක ගත හැකිය.
කටුකිතුලේ විඩා නිවා ගත් ඔබ ඉන් පසු ඉදිරියට කරුණා කරන විට ගෝණතල්ල නම් ස්ථානයක් හමුවේ. අතීතයේදි සිරිපා කරුණා කළ රජවරුන් වෙහෙස නිවාගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දිය හැකි අතර ගොනෙකුගේ තල්ල අයුරින් ඉදිරියට නෙරා ආ ගල් ඇන්දත් නිසා මෙ නම භාවිතාවන බව පැවසේ. ඉන් පසු තවත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන විශාල සංඛ්‍යාවක් ඔබ පසු කරමින් පැමිණෙන අතර කොඩිය එළි ගජමන්සල දියබෙත්ම (කළුගඟ ආරම්භක ස්ථානය) සෙවලගල වැනි ස්ථාන, විශේෂිතය.
ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගෙත්තම්පානටය. අනෙකුත් මාර්ගවලද ගෙත්තම් පානවල් දක්නට ඇතත් ඓතිහාසික වටිනාකමින් අනූන වූ ඉතා නිවැරැදි වූ ගෙත්තම්පාන හමුවන්නේ මෙම රත්නපුර පලාබද්දල මාර්ගයේදීය.අතීතයේ අසන්නට ලැබෙන ජන කථා වලට හරියටම සැසදෙන ස්ථානය මෙයයි. අප මහා කාරුණිකයාණෝ තම ඉරීගිය සිවුර ගෙත්තමින් පිළිසකර කර ගත් මෙම ස්ථානය වන්දනාකරුවන්ගේ නොමද ගෞරවයට බඳුන් වෙයි. ගෙත්තම්පාන ලෙස ඉතා නිවැරැදිවු ඓතිහාසික ස්ථානය මෙයයි.
ඉන් පසු ධර්මරාජ ගලේ ගල් පඩි නගිමින්ම ඔබට ඉහළට කරුණාකළ හැකිය. අඳුර ගලා එන බැවින් යම් ආහාරයක් ගෙන විදුලිපන්දම් අතට ගත යුතු මොහොත එළැඹෙන අතර ඔබගේ ඊළඟ නැවතුම වන සීත ගඟුල දක්වා යා යුතු මාර්ගය ඉන් පසු ඉදිරියට ඇත.
සීත ගඟුලේදී ඔබට නා පිරිසුදු වී පඬුරු ගැට ගසා ඉදිරිගමන ආරම්භ කළ හැකිය. සිරිපා කරුණා කරන ප්‍රධාන මාර්ග තුනෙහිම ශීත ගඟුල් හමුවීම විශේෂයකි. රාත්‍රියේදී මෙහි ඉතා තද ශීතලක් ගෙන දෙන අතර දිවා කාලයේදී එතරම්ම සීත ගුණයක් දක්වන්නේ නැත. ඉන් පසු ඔබගෙන් ඊළඟ ඉලක්කය වන්නේ හැර මිටි පාන නම් වූ ස්ථානය බලා ගමන් ඇරැඹීම යි. 
හැරමිටිපාන නම් වූ ස්ථානය විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්ථානයක් වන අතර විශාල පරිමාණයේ අම්බලම් හා ලැගුම් හල් වලින් අඩුවක් නොමැත. මෙම ස්ථානයට මුදුන් මළුව ඉතා ශෝභමානව දිස් වෙයි.
මෙහිදී දක්නට ඇති තවත් සුවිශේෂී දෙයක් වෙයි. කුරුවිට එරත්න මාර්ගයත් රත්නපුර මාර්ගයත් එකිනෙකට සම්බන්ධවන ස්ථානයද ඇත්තේ හැරමිටිපානට මදක් පහළින් වීම එම විශේෂයයි. ඉන් පසු ගලවංගෙඩිය ද මකර තොරණ ද පසු කරමින් මෑල්ල මල කඳුර වෙත පැමිණේ. ඉන් පසු ආඩියාමලාතැන්නෙන් (අතීතයේදි මේ ශි‍්‍රපාද ස්ථානය භාරව සිටි ආඩිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව සඳහන් ය) පසුව ඔබ පිවිසෙන්නේ අහස්ගව්ව වෙතයි. ඉන් පසු ඔබ පිවිසෙන්නේ ගමනේ අති දුෂ්කර වූ කොටසට ය. එය නම් මහගිරිදඹ ය. එහි ඇති මුල කොටස කුඩා ගිරි දඹය වන අතර දෙවැනි කොටස මහගිරි දඹය වේ. කුඩා ගිරි දඹය පසු කරන විට ඔබට දක්නට ඇත්තේ ඇහැළ කණුව නම් ස්ථානයයි. මෙය අතීතයේදී වන්දනා කරුවන් පන්සිල් සමාදන් වී සුදු පිරුවට හැඳ වන්දනා කිරීමට සැරසෙන ස්ථානයයි. මෙහි ඇති කවි සුදුහුනු පිරියම් කරමින් යම් යම් ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන කරන ස්ථානයන් ලෙසද හැඳින්විය හැක.
ඔබ පැමිණ සිටින්නේ ගමනේ අවසන් කඩ ඉම පසු කිරීමටය. ගිරි දඹය පසු කරමින් පහත මාලයට පැමිණෙන ඔබ විඩා නිවා ගනිමින් ඉහළට ගමන් කළ හැකිය. අවාරයේ නිසා ඔබට වාරයේදී මෙන් කිසිඳු පහසුකමක් නො දැනේ . නමුත් වාරයේ දක්නට ලැබෙන තදබදය හෝ ජනාකීර්ණ බව මොනයම් අයුරින්වත් මේ අවස්ථාවේ දී දක්නට නැත.අවාරයේ දී සිරිපා සටහන සහිත මුදුන් මළුව ආරක්‍ෂාකරන මුරකරුවන් ඔබට මුණ ගැසිය හැකි වන අතර ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ ඔබට යම් වන්දනා කටයුතු කිරීමට හැකි ය.
අවාරයේ පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම විදේශීය සංචාකරයන්ද ඔබට දැක ගත හැකිය. ඔබ පැමිණ මුලින්ම එළියේ සිට සිරිපා සටහන දෙසට නමස්කාර කළ යුතු වන අතර සමන් දේවාලය අසලට පැමිණ උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත හැක.
අවාරයේ සිරිපා කරුණා කිරීම ඔබගේ දිවියට එක්කරන අපූරු මතක සටහන් රසවිදින ලෙස ඉල්ලා සිටිමි. විශේෂයෙන් ඔබ අවාරයේ මළුවට පැමිණ ඉතා සංවර ලෙස හැසිරිය යුතු වන අතර ආරක්ෂකයන්ට කරදරයක් නො වන අයුරින් සිටීමට වග බලා ගත යුතුය. හිමිදිරියේ ඔබට කිසිම තෙරපීමක් නොමැතිව ඉර සේවයද බලා ගත හැකිය.
නමුත් මතක තබා ගත යුතු වන වැදගත්ම දෙය වන්නේ ඔබ පැමිණෙන්නේ සිරිපා කරුණා කිරීමට බව ය. අනෙකුත් කරුණු එයට පරිබාහිර වූයෙකි. මෙම නවමු අත්දැකීමෙන් ඔබේ ජීවිතයට සදානුස්මරණීය සතුටක් ළඟා කර ගත හැකිය.
සම්පත් ගුණතිලක
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සීගිරියේ රන්මුවා සෝපානය සොරකම් කර එංගලන්තයට පැටවූ නැව මුහුදු බත්...(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rakwana hakgala rooms rawana)

මෙවර අපි රාවණා යුගයේ තිබු නිදන් වස්තූන් පිළිබඳ අවධානය යොමු කරමු. එදා මෙරට රත්තරන්, රිදී, යකඩ බහුලව පැවති අතර රත්තරන් නිෂ්පාදනය කිරිමට තරම් හෙළයෝ දක්ෂ වූහ. එදවස පැවති රත්තරන් බොහෝ වස්තූන් නිධන් කර ඇති බවත්, ඒවා නිධන් කර ඇති ස්ථාන පිළිබඳ සටහන් තබා ඇති පුස්කොළ පොත් කිහිපයක් එංගලන්තයට රැගෙන ගොස් ඇත. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන ආකාරයට ශ‍්‍රි ලංකාවේ නිදන් වස්තුන් පිළිබඳ ඇස ගසා ගෙන සිටින්නේ මෙරට නිදන් හොරුන් පමණක් නොවේ. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ද කිසියම් පිරිසකි. ඒ බව ඔහුට දැන ගැනිමට ලැබි තියෙන්නේ යුරෝපිය ජාතිකයන් ගෙන් බවත් සඳහන් කරයි. තවදුරටත් ඔහු මෙසේද පවසයි.   
යටත් විජිත යුගයේ ශ‍්‍රී ලංකාවේ සේවය කළ හියු නෙවිල් නැමති සිවිල් නිලධාරියා අපේ රටේ අගනා පුස්කොළ ග‍්‍රන්ථ රැසක් එංගලන්තයට රැගෙන ගියේ මේ රටට ඇති ආදරය නිසා නොවේ. එම පොත් පත් තුළින් රටේ යථා තත්ත්වය හාරා අවුස්සා බැලීමට ය. 1862 වසරේ දී හියූ ශ‍්‍රී ලංකාවෙන් ගෙන ගිය එම පොත් පත් තොගය අදටත් එංගලන්තයේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාගාරයේ නිරුපද්‍රිතව තිබෙනවා. එක්සත් රාජධානියේ වෙසෙන වස්තූලෝභීන් එම පොත් පත් කියවා, එහි වාසය කරන සිය ඥාති මිත‍්‍රාදින්ට ඒවායේ ජායාරූප පිටපත් ලබා දී ඇති අතර, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන් ලංකාවට පැමිණෙන්නේ අපට උදව් කිරීමේ මුවාවෙන් ඒවා රැගෙන යාමටයි.”   
එවැනි යුරෝපීය ජාතිකයින් කිහිප දෙනෙකුම ආචාර්ය ඔබේසේකරයන්ට හමු වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විවිධ සමිති සංවිධාන හරහා ලක්දිවට පැමිණි ඔවුන් ගෙන් කිහිප දෙනෙක් රාවණා ඉතිහාසය දැන ගැනීමට ඔහු හමු වී ඇත. ලංකාවේ පුස්කොළ පොත් ඇතුළු ලියකියවිලි රැගෙන ගොස් ඇත්තේ හියූ නෙවිල් පමණක් නොවේ. යුරෝපීය වැවිලිකරුවන්, රජයේ සේවකයන් ද ඒ අතරේ සිටිනවා. පුස්කොළ පොත් පමණක් නොව රන්පත්, රිදීපත්, තඹපත් වල ලියැවුණු වටිනා පොත්පත් රැසක් ද ඒ අතරේ පවතිනවා.
රාවණා යුගයේ නිදන් වස්තූන් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාස ගත තොරතුරු රැසක් රාවණා ග‍්‍රන්ථයට ද ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. ආචාර්ය මිරැන්ඩෝ කියවා ඇති පුවතකට අනුව සීගිරියද නිදන් වස්තූන් පිරි පෞරාණික ස්ථානයක් වන අතර, සීගිරි ගල මුදුනට නැගීමට එකළ රන්මුවා සෝපානයක් තිබී ඇත. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ එච්.සී.පී බෙල් විසින් එම රන්මුවා සෝපානය කැබලිවලට කපා එංගලන්තයට ගෙන යාම පිණිස නැව්ගත කර තිබේ. එම නෞකාව කිරින්දේ දී මුහුදුබත් වී තිබේ. එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු වුවා දැයි නොතේරේ.   

නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත‍්‍රයක් වනුයේ දීර්ඝ කාලීන තැන්පත් වස්තුව ගල් කඳු වලත්, කෙටි කාලීන පරිභෝජනය සඳහා තැන්පත් කළ වස්තුව පොළොවෙත් තැන්පත් කර ඇති බවකි. ඒ අනුව ඈත අතීතයේ අපේ රටේ බැංකු සේවයක් තිබී ඇති අතර, ඒවාද වර්තමානයේ නිධාන ගණයට අයත් වේ. ඉපැරණි පුස්කොළ ග‍්‍රන්ථයන්හි සමනල, හක්ගල, බමරගල සහ තලගල වැනි කඳු වල රාවණ යුගයේ නිදන් වස්තු රැසක් තැන්පත් කර ඇති බැව් සඳහන් වේ.  
රාවණා රජුගේ මහා නිදන් හතර ගැන සඳහන් වන පුස්කොළ ග‍්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට ඉහත සඳහන් කළ කඳු වල ඇතුන් දස දෙනෙක් බර නිදන් වස්තු ඇති බවත්, ඒවා ලබා ගැනීමට බිලි පුද නොකළ යුතු බවත්, රාවණ පරපුරෙන් පැවත එන දැහැමි පුද්ගලයෙක් එම ස්ථානයට ගොස් කන්නලව් කළ විට ලැබෙන බවත් සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එනම් මෙම වස්තුව ලබා ගැනීමට හිමිකම් නැති අහිමි කෙනෙක් එහි ගොස් ගල කඩා දමා වස්තුව ලබා ගැනීමට උත්සාහ කළ හොත්, එම පුද්ගලයා නිසැකවම මිය යන බවත් එහි වැඩිදුරටත් උපදෙස් දී ඇත.
   නිදන් කවි පුස්කොළ ග‍්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට සබරගමුවට අයත් රක්වාන කඳුවැටියේ පසිංගල් මැණික් නිධානයක් ඇති බවත්, එහි හිමිකරුවා මුහුදෙන් එතෙර සිට පැමිණෙන යක්ෂ ගෝත්‍රිකයෙක් බවත් සඳහන් වේ. තවදුරටත් එහි මෙසේ ද දැක්වේ. ඕමාරාගොල්ල කන්දේ රාවණ රජුගේ අවි ගබඩාවක් තිබුණු බවත්, බණ්ඩාරවෙල නමුණුකුල කන්දේ යගදාව නිධන් කර ඇති බවත් සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම නිධන් වස්තූන් ගත යුතු ක‍්‍රම හා විධි එම ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. එහෙත් නිධන් හොරුන් ගෙන් එම ජාතික වස්තුව ආරක්ෂා කර ගත යුතු බැවින් ඒ පිළිබඳව කිසිවක් පවසන්නේ නැති බවත්, ආචාර්ය ඔබේසේකරයෝ පවසති.   
අප ගත කරමින් සිටින්නේ උමං මාර්ග ගැන කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින කාලයකය. මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරිම සඳහා සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් සාදන බවට වත්මන් රජය යෝජනා කර තිබේ. මේ වන විටත් බොහෝ නගර වල පදික උමං මාර්ග දක්නට ලැබේ. එහෙත් ලෝකයට උමං මාර්ග ගැන පළමුව හඳුන්වා දුන්නේ රාවණා රජතුමා ගේ කාලයේදී බව පුරාණ ලේඛන වල සඳහන් වේ. එදා ඉතා දියුණු උමං මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ පැවතිණි.  
රාවණ කතා පුස්කොළ ග‍්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට එදා උමං මාර්ග භාවිත කර ඇත්තේ ඉතා ඉක්මනින් ආරක්ෂා සහිතව ගමන් කිරිම සඳහා ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ උමං මාර්ග සෑදීමේදී කළුගල් විදගෙන යාමට තරම් දියුණු තාක්ෂණයක් එදා තිබුණු බවට සාක්ෂි සොයා ගත නොහැකි වීමයි. එහෙත් මෑත අතීතයේ රජවරුන්ගේ පාලන කාලයේද උමං මාර්ග පැවති බවත්, එය රජවරුන් ගේ ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කර ඇති බවත් සමහර ප‍්‍රදේශ වලින් හමුවන වැසී ගොස් ඇති උමං කටවල් අධ්‍යයනයේදී පැහැදිළි වේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සමයේ කිරිමුහුදට ද උමං මාර්ගයක් තිබී ඇත. වීදියේ බණ්ඩාර කුමාරයා නිදහස් කර ගෙන ගොස් ඇත්තේ ද, උමං මාර්ගයක් භාවිත කරමිනි.   
රාවණා යුගයේදී උමං මාර්ග සෑදිමේ තාක්ෂණය කෙසේ නම් වන්නට ඇතිදැයි සොයා බැලීම වැදගත් යැයි සිතේ. එකළ ඖෂධ බෙහෙත් බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව ආචාර්ය ඔබේසේකරන්ගේ අදහසයි. එය යක්ෂ ගෝත‍්‍රිකයන් සතුව පැවති ඒකාධිකාරියකි. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මුදු මොළොක් තත්ත්වයට පත් කරවන බෙහෙත් වර්ගයක් රාවණ යුගයේ යක්ෂ ගෝත‍්‍රිකයන් සතුව පැවතුණි. විශාල ගල් කඳු වල කුහර සාදමින් දර්ශනීය ලෙස උමං මාර්ග තැනුහ.   
ඒ අනුව මෙරට උසම කන්ද වන නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත‍්‍රීපුර කන්ද දක්වාත්, එහි සිට නුවරඑළියේ හක්ගලට ද උමං මාර්ග තිබී ඇත. වර්තමාන හග්ගල උද්භිද උද්‍යානය ඈත අතීතයේ රාවණ රජතුමා ගේ ඖෂධ උයන වශයෙන් පැවති බව පුරාණ තල්පත් වල ලියවී ඇත. රාවණ රජතුමා ගේ අන්තඃපුරය ඌව පරණගම ස්ත‍්‍රීපුර කන්දේ පිහිටා තිබූ අතර, එහි නවතා සිටි සීතා දේවියට කුෂ්ඨ රෝගයක් වැළඳීමෙන් පසු හිරු එළිය ලබා ගැනීම පිණිස නුවරඑළිය හග්ගලට ඇය රැගෙන පැමිණ තිබෙන්නේ ඌව පරණගම උමං මාර්ගය ඔස්සේ ය. සීතා දේවිය සිහිවීම පිණිස එහි දර්ශනීය කෝවිලක් සාදා ඇත. ඌව පරණගම සිට මහියංගණය දක්වා ද, මහියංගණයේ සිට ලග්ගල දක්වාත් රහසිගත උමං මාර්ගයක් පැවතියේ ය. මෙම උමං මාර්ගයේ මිනිසුන් හත් දෙනෙකුට එකපෙළට ගමන් කිරිමටත් හැකි වන අයුරින් පුළුල් ආකාරයෙන් නිමවා තිබුණි. 
නුවරඑළිය ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල උමං මාර්ග පැවති අතර, ඉන් තවත් වැදගත් උමං මාර්ග පද්ධතියක් සීගිරිය දක්වාත් තිබී ඇත. මාතලේ දිස්ත‍්‍රික්කයේ සීගිරිය ද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බව රාවණ කතා ග‍්‍රන්ථයේ සඳහන් වේ. හුලංගමුව ඇමිල්ල විහාර කන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගය දැනට ගරා වැටී ඇති ප‍්‍රකට උමං මාර්ගයකි. එම උමං මාර්ගය එක් පැරණි වලව්වක ඉඩමෙන් මතු වී තිබෙන අතර, එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමා ඇත. එද‌ා සීගිරියේ සිට මුළු ලක්දිවම පාලනය කළ බව සඳහන් වේ. මේ නිසා උමං මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය එහි පිහිටා තිබේ. උමං මාර්ග බොහොමයක් අද ගරා වැටි ඇත්තේ මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ බිහිවුණු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වලින් කාන්දු වන ජලය නිසා බවත්, එය රාවණා රජතුමාටවත් වැළැක්විය නොහැකි බාධාවක් බවත් ආචාර්ය ඔබේසේකරයන් ගේ අදහසයි. 1977න් පසු ශ‍්‍රී ලංකාවේ හදිසි නාය යෑම් රැසකින් උඩරට බොහෝ ගම්බිම් විනාශ වුණි. දැනටත් එය සිදු වෙමින් පවතී. එයට ප‍්‍රධාන හේතුව මෙම ජලාශ වල ජලය උමං තුළට කාන්දු වීම හැර වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.   
භූ විද්‍යාඥයින්ගේ මතය අනුවත් මාතලේ හරහා උමං ගංගා මාර්ගයක් පවතින බවය. ඉංග‍්‍රීසි ජාතික ඉංජිනේරුවරු එද‌ා උමං ගංඟාවක් ලෙස විශ්වාස කළේ රාවණ යුගයේ පැවති ජල මාර්ගයක් විය හැකි බව දොස්තර ශ‍්‍රී වාස්තව මහතා ප‍්‍රකාශ කර ඇති බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එපමණක් ද නොව සීගිරිය පර්වතය යටින් ලග්ගල දක්වා තවත් උමං මාර්ගයක් ඇති බැව් තවත් වියත් මතයකි. ලග්ගල බොහෝ දෙනකුගේ අදහස වනුයේ සීගිරියේ සිට ලකේ ගලට උමං මාර්ගයක් ඇති බවය. රාවණ රජතුමාගේ පමණක් නොව ධාතුසේන රජතුමාගේ අන්තඃපුරයද සීගිරියේ පිහිටා තිබුණු බව විද්වතුන් ගේ අදහසයි. 
මතු සම්බන්ධයි.
සිසිර කුමාර බණ්ඩාර  
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, June 9, 2017

මන්තර බලෙන් අලි මෙල්ල කරන්න කියලා දුන්නේ තාත්තා – අලි මෙල්ල කරන දුව කියයි (අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි ali manthara)

දරුවෝ පුදුමාකාරය. ඔවුහු කුඩා කාලයේ සිටම විවිධ දක්ෂතා පෙන්වති. ඇතැම් දරුවන් කුඩා කාලයේ සිටම බියගුලූ‍ ය.
නිතර දෙවේලේ ගෙදර බිත්තියේ දකින හූනාගේ කැරපොත්තා ගේ සිට විවිධ සතුන්ට බියක් දක්වන දරුවන් අතර කැලේ සද්දන්තයාට බිය නැති, දියණියක පිළිබඳ පසුගිය දිනවල විවිධ තොරතුරු පළ වූයේ ය.
මේ කැලේ සිට ඉදිරියට පැමිණි සද්දන්තයකු මන්ත‍්‍ර බලයෙන් මෙල්ල කර යළිත් කැලයටම යෑමට සැලැස්වූ දියණිය සොයා ඉකුත් දිනෙක මංජුල ඇතුගල මාධ්‍ය සඟයා කතරගම ගියේ ය.
ඇය යුතාරා දිල්සරි. වයස අවුරුදු නවයයි. කතරගම ශෂින්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ හතර වැනි ශේණියේ ඉගෙනුම ලබන්නීය. යුතාරා තමන් කළ හපන්කම පිළිබඳව අප හා මෙසේ දොඩමළු වූවා ය.

”මගෙ තාත්තා කැලේ යනකොට අලියෝ ඉස්සරහට හමුවුණාම මන්තර මතුරනවා මං දැකලා තියෙනවා. තාත්තා මන්තර මතුරද්දී අලියෝ හැරිලා කැලේ පැත්තටම යනවා. ඒක දැක්කම මටත් හිතුණා මමත් තාත්තා වගේ මන්තර ඉගෙන ගන්න ඕනෑ කියා. මං තාත්තට කිව්වා මටත් උගන්නන්න කියලා. ඊට පස්සේ තමයි තාත්තා මට ඔය මන්තරය කියලා දුන්නේ. එදා අපි ඒ කියන්නේ තාත්තයි, මල්ලියි ළහිරු අයියයි, රන් අයියයි තාත්තගේ ජීප් එකේ යනකොට තමයි අලියා ඉස්සරහට හමුවුණේ. මම තාත්තගෙන් ඇහුවා මං මතුරන්න ද කියලා. තාත්තා හා කිව්වා. මං මැතුරුවා. අලියා ටික ටික ආපහු හැරිලා යන්න ගියා.”
යුතාරා පවසන්නේ සතුටිනි.
යුතාරා දියණිය අලියා මෙල්ල කර යළිත් කැලයට ම යාමට ඉඩ සැලසූ බව ඇසූ දුටු ස‍ැවොම ඉන් පසුව යුතාරාගෙන් විවිධ දේ අසන්නට වූහ.

”ඉස්කෝලේ ගියාම, පාරෙදි හැමෝම මගෙන් අහනවා අලියා දැක්කම බය හිතුණේ නැද්ද කියලා. මං කිව්වා නැහැ කියලා. තව අය අහනවා කියපු මන්තරය මොකක්ද කියලා. මං ආයෙත් අලින්ට මතුරන්න යනවද කියලත් අහනවා.”

යුතාරා දියණිය සුරතල් ලෙස උත්තර දෙන්නීය.

යුතාරා දියණියගේ පියා දිනෙක සිල්වා ය. ඔවුන් පදිංචි කතරගම නගරයේ ය. සිය දියණියගේ දස්කම් විස්කම් දකින පියාගේ දෙනෙතේ ඇත්තේ සතුටු කඳුළකි. ඔහුට ස්ථිර රැුකියාවක් නැති නමුදු ඔහුගේ ආදායම් මාර්ගය වී ඇත්තේ කතරගම සිට කැබිලිත්ත දේවාලයට බැතිමතුන් ප‍්‍රවාහනය කිරීම ය. රූස්ස වනයේ සතා සිවුපාවා නැතැයි සිතිය නොහැක. කැබිලිත්තට යන අතරමඟදී හමුවන සතා සිවුපාවා සද්ධන්තයා මඟ හැර මෙල්ල කරගෙන ගමන ගොස් ඒමට දිනෙකට හුරුපුරුදු ය. ඔහුට ඇති ආරක්ෂාව මෙන් ම ඔහු සතු වටිනා දෑ වන්නේ සිය මාමණ්ඩියගෙන් උරුම වූ මන්ත‍්‍ර හා තාලන් ය.
”මගේ බිරිය ශාලිකා. එයාගේ තාත්තාගේ නම කේ. ඬේවිඞ්. තාත්තා වනජීවී එකේ රස්සාව කළේ. ඔහු හිටියේ යාල. මම මේ දේවල් ඉගෙන ගත්තේ තාත්තගෙන්. දුව පුංචි කාලේ ඉඳලම මා එක්ක යාල කැලේ යනවා‍. ඒ යන ගමන්වලදී ඉස්සරහට අලියෙක් එහෙම ආවොත් මඟහැර ගන්නම බැරි වුණොත් මම මතුරනවා. දුව මේවා දකිනවා. ඒ නිසා තමයි එයා මගෙන් ඉල්ලූ‍වේ එයාටත් මන්තර උගන්නන්න කියලා‍. මං එයාට එක මන්තරයක් ඉගැන්නුවා. එදා අපි කතරගම ප‍්‍රධාන මාර්ගයක යද්දී තමයි කැලයේ ඉඳලා අලියෙක් ආවේ. දුව මගෙන් ඇහුවා තාත්තේ මං මතුරන්නද කියලා. මම හා කිව්වා. දුව මතුරද්දී මමත් ඊට ටිකක් මෙහාට වෙලා හිටියා. මට මන්තරේ ගැන වගේ ම දුව ගැනත් විශ්වාසයක් තිබුණා. නමුත් මම ස‍ූදානමින් හිටියේ. දුව මතුරනවත් එක්කම අලියා වල්ගෙත් අකුළගෙන ආයේ කැලේ පැත්තටම යනවා දැක්කම මට මන්තර ගැන තිබූ විශ්වාසය වැඩි වුණා. ඒ වගේ ම දුව ගැන ආඩම්බරයකුත් ඇති වුණා.” දිනෙක පවසන්නේ ය.
ඔහු පවසන ආකාරයට අලි ඇත්තුන්ට පමණක් නොව වලස්සුන්ට, කුළු හරක්ට හා සර්පයින්ට ද මන්තර ඇත්තේ ය.
”අපි කැබිලිත්තේ යද්දී නොයෙක් සත්තු හමුවෙනවා. මගෙ බිරියගේ පියා මිය ගිහිල්ලා මේ වනවිට මාස කිහිපයක් වෙනවා. නමුත් ඔහු ජීවත්ව සිටියදී මට මන්තර ඉගැන්නුවා. කැලේ ඉන්න තනි අලියට මන්තර මැතුරුවත් අලි රංචුවක් ඉන්න විට මතුරන්න එපා කියලා තමයි තාත්තා කියලා දීලා තියෙන්නේ. ඒකට හේතුව ඒ අලි රංචුවේ පැටව් ඉන්න අලි ඇතින්නියෝ හිටියොත් දරුණු විදිහට කිරි එරෙනවා කියලා කියනවා. සමහර මන්තර තියෙනවා ගිනි මැලේට මතුරලා අපිට ඉතාම නිරුපද්‍රිතව කැලේ රැුය ගත කරන්න පුළුවන්. මට එහෙම අත්දැකීම් තියෙනවා. දවසක් මම වෛද්‍යවරුන් හතර දෙනෙකු සමඟ යාල කැලේ ගියා.
අතරමඟදී අපේ වාහනයේ කාර්මික දෝෂයක් ඇති වුණා. අපි මඟ නතර වෙලා වාහනේ රෝද හදන්න ගත්තා. ඒ වෙලාවේ වෛද්‍යවරුන් හතර දෙනා බිම වාඩිවෙලා හිටියේ. එක පාරටම මහා සද්දයක් ඇහුණා. වෛද්‍යවරුන් හතර දෙනා දුවන්න ගත්තා. ඒ වෙලාවේ තමයි මං දැක්කේ පලූ‍ ගහක හිටපු තඩි වලහෙක් වාහනේ බොනට් එකට පැන්නා කියලා. හැමෝම බයවෙලා දිව්වා. මම වලහට මැතුරුවා. වලහා ගහකට නැග්ගා.”දිනෙක පවසන්නේ හිනැහෙමිනි. මහ කැලය අරක් ගත් සතා සිවුපාවුන් පිළිබඳව ඔහුට හොඳ දැනුමක් අවබෝධයක් ඇත්තේ ය. එසේ ම ඒ දන්නා කියන මන්තර ටික ද ඔහුගේ රැුකියාවට බොහෝ පිහිටක් බව ද ඔහු පවසන්නේ ය.
”මම දන්නේ නැහැ දුව මොනවා කරාවිද කියලා ලොකු වෙලා. ඒත් එයා මේ මන්තර ඉගෙන ගන්න කැමැති නම් මං කැමැතියි එයාට මං දන්න හැමදේම උගන්නන්න. මං දන්න විදිහට නම් මීට පෙර ලංකාවේ කුඩා ළමයි කවුරුවත් මෙහෙම දෙයක් කරලා නැහැ. නමුත් මගෙ දුව බය නැතිව ඒ දේ කළා. මට ඇත්තටම මගෙ දුව ගැන, එයාගේ එඩිතරකම ගැන ආඩම්බරයි.” දිනෙක පැවසුවේ සිය දියණිය තුරුලට ගනිමිනි.
ඉනෝකා සමරවික‍්‍රම
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, June 3, 2017

රාවණා රජතුමා පිටසක්වළ ජීවීන් සමග සබඳතා පැවැත්වූ ආකාරය.. (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana riverston nuwaraeliya rooms himalaya manigala lkegala pitawalapathana )

රාවණා යුගයේ යෝගී ධර්ම වඩවන සුසන්ත සත්‍යා යෝගීතුමා මේ හෙළිදරවු කරමින් සිටිනුයේ වඩවාලු ආධ්‍යාත්මික ශක්තීන් මතින් විශ්වය කියාදුන් පාඩම් සමූහයයි. එහිදී යෝගීතුමා එක් න්‍යායක් උකහාගෙන සිටියි. ඒ මෙයයි. තම ශරීරය තුළටම සවන් දෙන්න. එයට බාහිර පරිසරයෙන් සවන් මුදවන්න. සැබැවින්ම, ඔබට එය කළහැකි නම් විශ්වය මැනැවින් වටහාගත හැකියි.
විශ්වයේ දිව්‍යමය ගුණය මනාව විඳගත හැකියි. එවිට ඔබට විශ්වය සමඟින් මනා සබඳතාවක් ඇතිකරගත හැකියි. ඒ සඳහා පෙළගස්වන ආධ්‍යාත්මික කණ්ඩායමට එකතුව, ආධ්‍යාත්මික ශක්තීන් වඩවා, ආධ්‍යාත්මික ගමනක් යෑමට, හෙළ දිවයිනේත්, හෙළයාගේත්, රාවණ පරපුරේ යක්මහ රැජනගේ නීලකුම්බිලා ශක්තියත් අවදි කෙරුමට ඔබ කැමැත්තක් දක්වනුයේ නම්, හෙළයේ ශක්තියෙන් ලොව ජය ගැනුමට කැමැතිනම්, සුසන්ත සත්‍යා යෝගීතුමා සමඟ එක්වීමට ඔබට අවස්ථාව හිමිවී තිබේ. දුරකතන අංක 081-5654647න් යෝගිතුමා ඇමතීමෙන් මේ මහා ජාතික කර්තව්‍යයට ඔබටද සම්බන්ධ විය හැකියි.
රිවර්ස්ටන්
මේ හෙළිදරව් කරනුයේ පිටවලපතන පිළිබඳ වන පුළුල් රහසයි. මෙම රහස තුළ ඔබ කියවනුයේ පිටවලපතන හෙවත් රිවර්ස්ටන් ආශ්‍රිතව පවත්නා වූ සවිස්තරාත්මක විස්තරයයි. ඒ තුළ තිඛෙනුයේ නැරඹුම් හා සංචාරක පරිසර පද්ධතිය තුළ සැඟැවුණා වූ ශක්ති සමූහයයි. ආධ්‍යාත්මිකව වඩවා ගනු ලැබූ මනැස් සංඥා පණිවුඩ හරහා ලැබුණු එමඟින් කියැවුණේ මෙබන්දකි.
රිවර්ස්ටන් කන්ද බලන්න. එහි කඳු මුදුනට යන්න. ඒ යන ඔබට එක් ස්ථානයකදී ශක්ති ගලක් හමුවනු ඇති. ඔබට එය දැනෙනු ඇති. එහි නවතින්න. එය ගලකි. ශක්ති කළා වූ ගලකි. එම ගල මත සිට ඔබ යෝගධර්ම වඩන්න. එය ඔබට විශ්වය සමඟ බැඳීම් ඇතිකරගැනුමටත්, විශ්ව රහස් දැනගැනුමටත් උපකාර කරයි. ඔබ එය ලොවට වටහා දෙන්න.
එහිදී ඔබ විශ්වයේ ගුප්ත රහස් බලය හඳුනාගනී. ඒ අඳුර, ආලෝකය, ශබ්දය සහ නිහ~ බවයි. මෙය විශ්ව නිර්මාපක න්‍යායයි. විශ්ව නිර්මාපකයා මෙය සාධක සතරකින් ඔබට ගෙනහැර දක්වයි. ඝන, ද්‍රව, වායු සහ ශක්ති එම සාධක සතරයි.
යෝග විද්‍යාවේ මූලධර්ම මෙවන් දෙයක් කියයි. ඒ මිනිසා සහ විශ්වය එක හා සමාන වන බවයි. විශ්වය නිර්මාණය කළා වූ සාධකම මිනිසාද නිර්මාණය කෙරුමට දායක වූ බවයි. මිනිස් සිරුර ඝන, ද්‍රව, වායු, ශක්තීන් එකතුවෙන් නිර්මාණය වූ බවයි. විශ්වය නිර්මාණය කළා වූ මිනිසා නැවතත් විශ්වයටම එකතුවන බවයි.
මේ විශ්වයේ සත්‍යයයි. මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ කල්හි මිනිසාගේ ඝන, ද්‍රව, වායු, ශක්ති යළි විශ්වයටම එකතුවීම, එය සනාථ කරවන හොඳම සාක්ෂියයි. මිනිසා විශ්වයට පොදුවන සාධකයක් මිස, මම හෝ අපි යනුවෙන් කියැවෙන පෞද්ගලික වස්තුවක් නොවන බවයි. මෙය නිවැරැදිව වටහා ගැනුම සිදුකළ කල්හි විශ්වය හා එක්විය හැකි බව, විශ්වය තුළ පවතින්නා වූ ශක්තීන් සමඟ එකතුවීම සිදුකළ හැකි බව යෝග විද්‍යාව පෙන්වා දෙයි.
රාවණා රජතුමා
මෙම එකතුවීම මූලිකවම කියනුයේ මිනිස් සිරුර ගැනයි. එහි ශක්තීන් තුනක් පිළිබඳවයි. එය වම් නාඩිය, දකුණු නාඩිය, සුෂුම්නා නාඩිය ලෙසින් හඳුන්වයි. සුෂුම්නා නාඩිය මෙහිදී විශේෂ වෙයි. ඒ නිලයක් හෙවත් චක්‍රයක් සම්බන්ධවයි. එය කියනුයේ සුෂුම්නා නාඩිය ඇසුරෙහි. නිලයන් හෙවත් චක්‍ර පහක් තිඛෙන බවයි. මූලාධාර, ස්වාධිෂ්ඨාන, මණිපුර, අනාහත, විසුද්ධ එම චක්‍ර පහයි. මෙහි තවත් වැදගත් චක්‍රයක් තිබේ. ඒ ආඥා චක්‍රයයි. එය තිඛෙනුයේ නළලේ දෙබැමට යටිනුයි. මෙහි යෝග විද්‍යාවේ බලවත් ශක්තියක් ගැබ්ව තිබේ. ඒ කුණ්ඩලීනි ශක්තියයි. එය සැඟව පවතිනුයේ මූලාධාර චක්‍රය තුළයි. ප්‍රාණයාම වැඩවීම තුළින් කුණ්ඩලීනි ශක්තිය වඩවාගත හැකියි.
පිටවලපතන අයත්වනුයේ මධ්‍ය කඳුකරයටයි. නකල්ස් කඳු පන්තිය යනු ඉහළ අහසයි. එය ඉහළ ශක්තිය සපයමින් සිටියි. දුම්බර මිටියාවත යනු පහළ පොළෝතලයයි. එය පහළ ශක්තිය සපයමින් සිටියි. මෙය විශේෂ ශක්තියකි. මෙම ශක්තීන් යෝග වැඩීමේදී විශේෂිත අගයක් ගනියි. එයට එක් හේතුවක් තිබේ. ඒ පිටවලපතන හෙළයේ පරිසර කඳු පන්තියේ මධ්‍ය කේන්ද්‍රයේ පිහිටීම නිසයි. එය දෙආකාරයකට හැඳින්විය හැකියි. සූර්ය ශක්තියෙන් බැබළීම, ගන මීදුමෙන් සීතලවීම එම හැඳින්වීමයි. මෙම ත්‍රිත්ව අවස්ථාවන් ශක්ති විශේෂයන් තුනක් සපයයි. ඒ රිවර්ස්ටන් කාල හෝරාව සම්බන්ධවයි. රිවර්ස්ටන් පැය විසිහතර පුරාවට නොබිෙඳන රටාවකින් යුතුව, නියමිත කාල හෝරා ගණනයෙන් විශ්වයේ කාල නියමයන් සමඟින් බද්ධ වෙයි. එමඟින් ශක්ති බිමක් බවට පත්වෙයි.
නකල්ස් කඳු පන්තිය
රිවර්ස්ටන්හි විශ්වීය ක්‍රියාකාරිත්වයක් පවතියි. එහි ආධ්‍යාත්මික බලයක්ද තිබේ. එතුළ හෙළ ඉතිහාසයේ සැඟව ගිය යටගියාව පවතියි. ඒතුළ අවස්ථාවන් දෙකක් තිබේ. ඒ මනුෂ්‍ය වාසයෙන් තොරවූ විට අදෘශ්‍යමානවන්නා වූ, දෘශ්‍යමානවන්නාවූ ක්‍රියාකාරීත්වයන් සමූහයක් මෙහි පිරී පැවතීමයි. පිටවලපතන හා බැඳී පවතින ප්‍රබල සාධකයක් ගැනද මෙහිදී හෙළිදරවු කෙරෙයි. එනම්, රාවණා නිරිඳුන් පිටසක්වළ හා සම්බන්ධකම් පැවැත්වීමට රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය උපයෝගී කරගත් බවයි.
ආදී ශක්ති වරමින් යෝග ධර්ම වැඩවීම සඳහා වන ශක්ති කේන්ද්‍ර කිහිපයක් රිවර්ස්ටන්හි තිබේ. ඒ මහා ශිව ශක්තියයි. මහා ශිව ශක්තිය මෙහිදීත් ප්‍රබල වනුයේ ශිව දෙවිඳුන් හරහායි. එමඟින් කෙරෙනුයේ ලෞකික බවේ ආධ්‍යාත්මික ශක්තීන්හි ප්‍රබලත්වය වැඩවීමයි. ශිව ශක්තිය මුදාහරිමින් සිටින ශිව දෙවිඳුන් වැඩ සිටින භූමිය වනුයේ හිමාලයයි. හිමාලය ආධ්‍යාත්මික ශක්තිවන්තයන්ගේ සහ ශක්ති වඩවන්නන්ගේ නිජබිමයි.
මේ හිමාලය සහ රිවර්ස්ටන් අතර පැතිර තිඛෙන්නා වූ තවත් රහස් හෙළිදරව්වකි. හිමාලයේ කේන්ද්‍රීය රේඛාව සිරස්ව විහිදෙනුයේ හිමාල නාභිය ස්පර්ශ කරගෙනයි. හිමාල නාභිය යනු, හිමාලය සතු සියලූ ශක්තින් ඒකරාශී කරගන්නා වූ ගබඩාවයි. එය ස්පර්ශ කරමින් දිවයන සිරස් රේඛාව නාභියෙන් මුදාහරිනු ලබන යෝග ශක්තීන්ගෙන් පිරෙමින් පවතියි. මේ පිරෙමින් පවතින්නා වූ ශක්ති සමූහය සිරස් රේඛාවට කාවැදී සිරස් අතට ගමන් කරයි.
හිමාලය
හිමාල නාභිය ස්පර්ශ කරමින් විහිදෙන සිරස් රේඛාවේ අනෙක් කෙළවර සම්බන්ධ වනුයේ හෙළ දිවයිනටයි. හෙළ දිවයිනේ නාභියටයි. හෙළ දිවයිනේ මෙම නාභිය වූ කලී රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රයයි. හිමාලයේ ශක්තිය ස්පර්ශ කරන සිරස් රේඛාව හරහා රිවර්ස්ටන් නාභිය ස්පර්ශ වීම තුළින් හිමාලය සතු සියලූ යෝග ශක්තීන් රිවර්ස්ටන් නාභිය තුළින් පිටවල පතනට ගලායයි. හිමාලය යෝගිවරුන්ගෙන් පිරී පවතින තාක් කල් මෙම ශක්ති වීම සිදුවෙයි. එමතාක් කාලයක් එම ශක්තීන් රිවර්ස්ටන් බිම ශක්ති කරවයි. විශ්වයේ රහස වනුයේ මෙයයි.
රිවර්ස්ටන් හෙළ ඉතිහාසයට සම්බන්ධ ශක්ති බිමක් වනුයේ එම ආකාරයටයි. එම ශක්ති බිම තුළ ආදි ශිව ශක්තිය, මානස පුත්තු හත්දෙනාගෙත්, සප්ත මහා සෘෂිවරුන්ගෙත්, හෙළයට සම්බන්ධ මුනිවරයන් තිදෙනාත්, රාවණා නිරි¼දාත්, ඉන්ද්‍රජිත් කුමාරයාත්, නීලකුම්බිලා දේවතාවියත් රැඳී සිටි බව ආධ්‍යාත්මික සංඥා සහ පණිවුඩ කියාපායි.
මෙහි සිට යෝග ධර්ම වැඩීමේදී බලපාන විශේෂිත කරුණක් තිබේ. ඒ වේගය සම්බන්ධවයි. වේගයේ ප්‍රමාණය පිළිබඳ වන හැඳින්වීම කෙරෙනුයේ ආලෝකයේ වේගයෙන් යන්නයි. රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය මත යෝග වැඩීම තුළින් ආලෝකයේ වේගයෙන් ආධ්‍යාත්මික භාවය ලැබිය හැකි බව එහි සරල අරුතයි. මෙය පැහැදිලි ලෙසම කියනුයේ රිවර්ස්ටන් යනු විශ්වය හා බලපැවැත්වීමට අවශ්‍ය ශක්තීන් ක්ෂණිකවම ලබාදෙන කේන්ද්‍රස්ථානයක් බවයි. එය එසේ වනුයේ ආධ්‍යාත්මික දැනුමක් සහ හැකියාවක් ඇත්තවුනට පමණක් බව ඒ සමඟම කියයි.
රාවණා නිරිඳුන් විසින් විශ්වයේ ශක්තීන් බලගැන්වීම සඳහාත්, ආලෝකයේ වේගයෙන් ලොව වටා යා හැකි ගමන් වේගයක් නිර්මාණය කරනු ලැබුවේත් මෙම ශක්ති කේන්ද්‍රය තුළ සිටිමිනුයි. මෙය විශ්වයේ සක්වළ දොරටු ක්‍රියාත්මක වීමේ ශක්ති කේන්ද්‍රයක් බවද ලැඛෙන සංඥා සහ පණිවුඩ කියාපායි. ඒ සමඟම කියනු ලබන අනෙක් කාරණය වනුයේ පිටසක්වළ තොරතුරු හෙළ ඉතිහාසයේ මහා රාවණා විසින් ලබාගනු ලැබුවේ සහ රාවණා විසින් සක්වළ තරණය කරනු ලැබුවේ මෙම ස්ථානයේ සිට බවයි. ලැඛෙන වෙනත් සංඥා පණිවුඩවලින් තවත් අදහසක් මතුකර පෙන්වයි. රාවණ නිරිඳුන් ද~ුමොනර විමාන සක්වළ තරණය කළ ස්ථානයෙදී මෙය වන බවයි.
රිවර්ස්ටන් ශක්ති ගල ගල්කුළක් මැද පිහිටි කුඩා ගල්කුළකි. එහි ගියවිට එහි විශේෂත්වය දැකීමට හැකියි. පිටවලපතනේ හානිය වන එහි සිට අවට බැලීමේදී පිටවලපතනත්, එහි පැතිර පවත්නා වූ සියලූ ශක්ති කේන්ද්‍රස්ථානත් මනාව දර්ශනය වෙයි.
මානිගල
ඉන් ප්‍රධානම තැන් කිහිපයක් වෙයි. මානිගල, ඉලක්කගල, ලග්ගල ඉන් ප්‍රධාන තැනක් ගනියි. මෙහිදී ශක්ති වඩවන ගල සහ මානිගල විශේෂයක් දක්වයි. ඒ එම ස්ථාන එකිනෙක සමඟින් කේන්ද්‍ර වන හෙයිනි. මානිගල යනුවෙන් හැඳින්වෙනුයේ යම් හැඩතලයකට පිහිටි ගල් කැපුමකි. මේ පිළිබඳ වෙනස් වූ පාරම්පරික විශ්වාසයක් මෙන්ම මතවාදයක්ද තිබේ. ඒ කාල හෝරාව හෙවත් දවසේ වේලාව ගණනය සඳහා කරන ලද්දක් බවයි.
මෙවන් ස්ථාන තිඛෙනුයේ දෙකකි. ඉන් එකක් වනුයේ හෙළ දිවයිනේ මානිගලයි. අනෙක වනුයේ පේරු රටේ තිඛෙන මේ හා සමාන ගල්කැපුමයි. බැලු බැල්මට මේ දෙකෙහිම වෙනසක් නොපෙනෙයි. නොදැනෙයි. මේ තුළ තවත් විශේෂත්වයක් දැක්වේ. ඒ හෙළ දිවයින ගුරුත්වාකර්ෂණය අඩු රටක් වශයෙන් වන හැඳින්වීමයි. පේරු රට ගුරුත්වාකර්ෂණය වැඩි රටක් ලෙසින් වන හැඳින්වීමයි. මේ දෙය තුළ කියැවෙන කතාවක් තිබේ. එනම්, මෙම කැපුම්තල අතර යම් ශක්තියක් ක්‍රියාත්මක වන බවය. ක්‍රියාත්මක වන එම ශක්තිය මතින් මෙම කැපුම්තල ස්ථානයත් ශක්ති වන බවය.
ලග්ගල
රිවර්ස්ටන්හි ක්‍රියාත්මක වන ශක්ති විශේෂයන් ගැනද පණිවුඩ ලැඛෙමින් පවතියි. ඒ තුළ සූර්ය ශක්තිය, පංච මහා භූත ශක්තිය, විශ්වයෙන් එන ප්‍රාණවේග, ඥානයෝග නම් ශක්තීන් කිහිපයයි.
රිවර්ස්ටන් ශක්තිගල තුන්පසෙකින් සහ වක්‍රාකාර ලෙසින් සුවිශේෂී බලවේගයන් ක්‍රියාත්මක කරමින් සිටියි. ශක්ති ගල ඉදිරිපසින් හිමාලයේ සිට එන්නා වූ ශක්තීන් සමූහයද, වම්පසින් මානිගල සිට එන්නා වූ ශක්තීන් සමූහයද, ඉහළින් විශ්වයෙන් එන්නා වූ ශක්තීන් සමූහයද හේතුවෙන් ශක්තිවෙමින් තිඛෙයි.
රිවර්ස්ටන් සමඟින් ඒකාත්මික වන තවත් ශක්ති කේන්ද්‍රයක් වනුයේ නාලන්දා ගෙඩිගෙයයි. නාලන්දා ගෙඩිගෙය රිවර්ස්ටන් ශක්ති කේන්ද්‍රය සමඟින් රේඛීයව ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම ඒකීය රේඛාව කොටස් දෙකකින් සමන්විතයි. ඒ රත්තොටින් උඩකොටස රිවර්ස්ටන් හා මානිගල වශයෙන්. මේ හරහා ක්‍රියාත්මක වූයේ ශාන්ති කර්මයයි. ශාන්ති කර්මය අදටත් මුල්තැන් ගෙන තිඛෙනුයේ රණමුරේ ගමටයි. ඒ යක්කම ශාන්ති කර්මය ලෙසිනුයි. යක්කම ශාන්ති කර්මයත් එක්කම එන්නේ පිරිමිඩ ශක්තියයි. එය ත්‍රිකෝණාකාරයි. මේ හරහා සිදුවූයේ සූර්ය නමස්කාරයයි. එය සරලව ගත්විට අග්නි පූජාව ලෙසින් කියැවෙයි.
පිටවලපතන
රිවර්ස්ටන් ඒකීය රේඛාවෙන් පහළ කොටස අයත්වනුයේ ලග්ගල පල්ලේගමටයි. මේ යටතේ ලග්ගල කඳු පන්තිය විශේෂයි. මෙහි විශේෂත්වය වනුයේ මෙයයි. පිටවලපතන සම්පූර්ණවම මුළු සක්වළවල් සමඟින් බලවත් වන ඒකීය කේන්ද්‍රයක් වීමෙනුයි. මෙම ඒකීය කේන්ද්‍රයේ මධ්‍ය ලක්ෂ්‍ය ලෙසින් මෙම ස්ථානය සැලකිය හැකියි. නිතරම වායු ශක්තිය ප්‍රබලව හැසිරෙන පිටවලපතන තුළ යෝගයන් වඩවන විට පමණක් වෙනත් පරිසර පද්ධතියක් නිර්මාණය වන බව කිව හැකියි. එම නිර්මාණය කෙරෙන පරිසර පද්ධතිය වනුයේ හිමාලයේ යෝගී අවස්ථාවන්හිදී මතුවන පරිසර පද්ධතියයි.
පරිසරයේ සිදුවන වෙනස්වීම් ප්‍රබලව දැනෙන ස්ථානයක් වනුයේ ශක්ති ගලයි. ශක්ති ගල මත සිට ඕම් නමස්කාරය කීමෙන් පියවරෙන් පියවර ළඟාවන්නා වූ යෝගී ධර්මයන් පරිසරය පියවර කිහිපයකින් වෙනස් කරවයි. රිවර්ස්ටන් හැමවිටම වෙනස් වන්නාවූ පරිසර සාධක තුනකින් මිශ්‍රව පවතියි. වරෙක තද මීදුමද, තවත් වරෙක තද සුළඟට, යළිත් වරෙක සුළඟින් ගසාගෙන යනු ලබන වැහි පොදෙන්ද යුක්තයි. මෙම තත්ත්වයන් සියල්ල මැද යෝගී ධර්මයට පිවිසෙන ශක්ති ගල මත යෝගී නොවන සාමාන්‍ය අයකුට විසීම තදබල අපහසුතාවක් ගෙනදෙනු ලබයි.
යෝගිවරයකුට වඩවන ලද යෝගිධර්ම හරහා මෙම තත්ත්වයට ඉතා පහසුවෙන් මුහුණ දිය හැකියි. රිවර්ස්ටන් ශක්ති ගල මත යෝග වැඩීමේදී සිදුවන ක්‍රියාකාරකම් මෙලෙසින් දැක්විය හැකියි. එනම් පළමුව රිවර්ස්ටන්හි ස්වාභාවිකවම පවතින පරිසර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. එම තත්ත්වයන් ඉතා දැඩි සහ දරාගත නොහැකි කටුක සහ දුෂ්කර බවින් යුක්ත බවද කිවයුතු නොවෙයි. මෙම තත්ත්වය යටතේ වැඩිය යුතු එක් යෝගයක් තිබේ. එම යෝගය සියලූ බාධක මැ~ගෙන නියමිත කාලයක් තුළ වඩවාලිය යුතුයි. මෙහිදී ප්‍රධාන වනුයේ ඕම් කාරයයි. ඕම්කාරය උච්ච ස්වරයේ සිට ශබ්ද නඟමින් මන්ද ස්වරය කරා ගෙන යා යුතුයි. මෙහිදී වරනැඟීම් සහ ස්වර රටා හැ~වීම පිළිබඳ වන නියමයන් අනුගමනය කළ යුතුයි. පැහැදිලිව කියනුයේ නම් මෙම ඕම්කාරය හැ~වීම ශබ්දය සහ නිහ~ත්වය අතර වන සංයමයක්.
ශබ්දයෙන් ශබ්ද නඟා අවදි කරවන රිවර්ස්ටන් විශ්ව ශක්තිය, එම ශබ්දය මඟින් සිරකර නිහ~ බව දක්වා රැගෙන යා යුතුයි. මෙම නිහ~ බව යනු ආධ්‍යාත්මිකව වන එකතුවීමයි. මෙම එකතුවීම කියනුයේ සැඟව පවත්නා බල ශක්තීන් සමඟ පණිවුඩ හුවමාරුකර ගැනුමට සූදානම් බව දන්වන කාල හෝරාවයි.
වඩවාලනු ලබන සියලූ යෝග ශක්තීන් සහ ලැඛෙමින් පවත්නා වූ යෝග ශක්තීන් දෙනු ලබන පණිවුඩ සංඥා ලෙසින් එකට මුණගැසෙනුයේ මෙම අවස්ථාව තුළදීයි. මෙහිදී සිදුවන දෙය වනුයේ පණිවුඩ සහ පණිවුඩ අතර හුවමාරුව සිදුවීමයි.
මේ මොහොත ඉතාමත් විශේෂිත වූවක් බව කිව හැකියි. ඒ පරිසර තත්ත්වයන් පිළිබඳ වන විමසීම තුළදීයි. මෙහිදී සිදුවනුයේ රිවර්ස්ටන් ශක්ති ගල වටා යම් සීමාවක් දක්වමින් යෝගී ශක්තිය වළල්ලක් මෙන් පැතිර යෑමයි. එහිදී සිදුවනුයේ රවුම් වළල්ල නිර්වායු තත්ත්වයකට පත්වීමයි. රිවර්ස්ටන් පොදු පරිසර තත්ත්වය තුළ තිබුණා වූ දැඩි සීතල, අධික වේගවත් වායු ධාරාව, දැඩි වැහි බින්දු කවය තුළින් ඉවත්වීම සිදුවෙයි. වෙනස්වන පරිසර තත්ත්වය තුළ මඳ රස්නයක්, තෙත් නොවූ පරිසරයක, වාතය රහිත ස්ථානයක් නිර්මාණය වෙයි.
ආධ්‍යාත්මිකභාවය ලබන යෝගියකු හට පමණක් මෙම අවස්ථාව හිමිවෙයි. එම අවස්ථාව තුළ ආධ්‍යාත්මික භාවයක් නොලැබූ, යෝගී ධර්මයන් වඩවාලීමට කැමැත්තක් දක්වන අයකු සිටියේ නම් එම වෙනසද එම අයටත් හිමිවෙයි. මෙය යෝගධර්ම විද්‍යාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. එනම් යෝගිවරයකු සමඟ ආධ්‍යාත්මික ගුණවත් බව නොලබා වුවත්, ආධ්‍යාත්මිකභාවයෙන් ලබාගත හැකි, එමෙන්ම එය ප්‍රායෝගිකව අත්විඳිය හැකි එකම අවස්ථාව එය වන බවයි. එවන් අවස්ථාවන්ට යම් අයකු අකැමැතිවන්නේද එය පෙන්වාදෙනුයේ තමන් ආධ්‍යාත්මිකව යම් පිරිහීමක් ලබන්නට කැමැත්තක් දක්වන බවයි. මෙම තත්ත්වයන් කියාපානුයේ එම අය විශ්වයේ පවත්නා වූ ගුප්ත බලයන් හඳුනා නොගත් බවයි. එමඟින් දුරස්ව සිටින බවයි. අඳුර, ආලෝකය, ශබ්දය, නිහ~තාව වටහා නොගත් බවයි. විශ්ව නිර්මාපකයා නොහඳුනන බවයි. විශ්ව නිර්මාපකයා සෑදීමට හේතුවූ ඝන, ද්‍රව, වායු, ශක්ති සාධකවලින් නිර්මාණය වූවකු වුවත්, විශ්ව නිර්මාපකයා සමඟින් නොපෑහෙන බවයි. වම් නාඩිය, දකුණු නාඩිය, සුෂුම්නා නාඩිය නොමැති බවයි. ආඥා චක්‍රය, කුණ්ඩලිනී ශක්තිය නොමැති බවයි. ප්‍රාණයාම වැඩීම සිදුනොවන බවයි. එනම් ප්‍රාණය නොමැති බවයි. ඔබ රිවර්ස්ටන් කියැවීමෙන් වටහාගත යුතු වනුයේ මෙයයි.
-අරුණඩේල් විජේරත්න-
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya