Monday, January 20, 2020

රාමස්සාමි භීතියට පත් කළ අහස්බෝක්කුව ළග මෝහිණීගේ අවතාරය......(Mohini ge awatharaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

මා මේ ලොමුදැහැගැන්වෙන අවතාර කථාව ඇසුවේ දැනට දශක හතරකටත් පෙරය. මා ගුරු වෘත්තියේ යෙදී සිටින කාලයේ සිසුන් අතර ජනප‍්‍රිය වූයේ කථා කියන ගුරුවරයෙක් ලෙසටය. ඇතැම් පන්තිකාමර අතරින් මා යනවිට බොහෝ දරුවන් මා ඇමතුවේ ‘අනේ සර් අපට කථාවක් කියා දෙන්න, කියාය.

දිනක් නිවිතිගල කලාපයේ එක්තරා මහා විද්‍යාලයක හතරවන ශ්‍රේණියේ දරුවන් අමතා කථාවක් කියන්නට මට සිදුවිය. කෙසේ වුවද එදත්් අදත්් මා ජනකථා, ගැමි කථා මෙන්ම සත්‍යයේ සිතින් ගොතා සිසු මනස ඇද බැඳග නිමින් කථා කිීමට දක්‍ෂය. පන්තිකාමරය වෙත ගිය මා දරුවන්ගෙන් ඇසුවේ මොන විධියේ කථාවක්ද ඕන කියාය. දරුවන් කීප දෙනෙක්ම කීවේ හොල්මන් කථාවක් කියන ලෙසයි. ඒ අනුව මා ඉහත කී අවතාර කථාව දරුවන් ඉදිරියේ කියමින් යන විට ඇතැම් දරුවන් දැඩි භීතියටත් ත‍්‍රාසයටත් පත්ව සර් කතාව කියන්න එපා එපා’’ යැයි කෑගසන්නට වූහ. මම වහාම කථාව නවත්වා දරුවන් සනසා පන්තියෙන් බැහැර වූවෙමි.

කාලයාගේ ඇවෑමෙන් පසුගියදා දිවයින ඉරිදා සංග‍්‍රහයේ මුද්‍රිත ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාර කථාව කියවීමෙන් පසු මේ සත්‍ය අවතාර කථාව සටහන් කරන්නට සිත්විය. පෙර කී පරිදිම මගේ මතකය නිවැරදි නම් දශක හතරකට පහකට පමණ පෙර අපේ ගමේ දාවිස් පවුලක් පදිංචිව සිටියහ. ඔවුන් අපේ පවුල සමග වඩාත් කුළුපගය. රාජා, කාමාච්චි, මෙන්ම ඩබල් හෙඞ් ද මගේ මිත‍්‍රයන් වූහ. බාලම පිරිමි මිතුරාගේ හිස සාමාන්‍ය දරුවෙකුගේ හිසට වඩා දෙගුණයක් පමණ දිග නිසා අප ඔහුට කීවේ ඩබල් හෙඞ් කියාය. ඔවුන්ගේ පියා රාමස්සාමි විය. ඔහු රියැදුරෙක් වන අතර හිල්මන් වර්ගයේ කළුපාට කාරයක් ඔහු සතු විය.
මා කියන්න හදන අවතාර කථාවේ කථා නායකයා වන්නේ රාමස්සාමිය. එදා ඔහු අපට වඩා වයසින් ඉතා දුරස්ථය. රාමස්සාමි මා සමග කී මේ කථාව ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් යුක්තව ඔබට ඉදිරිපත් කරමි. ඔහුට මුහුණ පාන්නට සිදුවූ සත්‍ය සිද්ධියක්ම බව මම නැවතත් සහතික කරමි.

එදා ප‍්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිත වෙමින් පැවැති අමාවක පොහොය රාත‍්‍රියකි. රාත‍්‍රි අටට පමණ රාමස්සාමි රියැදුරු තැනගේ නිවසට පැමිණි ද්‍රවිඩ පුද්ගලයන් කීපදෙනෙක් මතුගම දක්වා හයර් එකක් යාමට ආරාධනය කර ඇත. රාත‍්‍රියේ ගමන්යාමට මදක් අපහසු බව ප‍්‍රකාශ කළත් ඔවුන්ගේ දැඩි ඉල්ලීම පරිදි මතුගම යාමට රියැදුරු තැන කැමති විය. ගමන් මාර්ගය යෙදී තිබුණේ කලවාන, කුකුළේගම, බදුරලිය හරහා මතුගමටය. මගීන් කීපදෙනා වාහනයේ පටවාගෙන යන අතරතුර කුකුළේගග අසලදී නවත්වන්නට සිදුවිය. මක්නිසාද යත් කුකුළේ ගඟ හරහා පාලමක් නැති නිසා කාරය පාරුවකට පටවා එගොඩ කළ යුතු නිසාය. පාරුවෙන් හිල්මන් රථය එගොඩට ගත් රාමස්සාමි මගීන් සමග කථාබහ කරමින් මතුගම බලා ධාවනය වන්නට විය. මේ වන විට රාත‍්‍රි නවය පමණ වන්නට ඇත. කුකුළේගම සිට ඉදිරියට ඇති මාර්ග ඉතාම පටුය. පාරේ තැන තැන වළ ගොඩැලි සහිත වීමත් ජලය පිරී තිබීමත් නිසා වේගය අඩු කරමින් ගොස් ඇත. නාවලකන්ද කොඩිප්පිලිකන්දෙන් එහාට බදුරලිය ආසන්නය තෙක්ම මාර්ගය රූස්ස ගස්වලින් යුක්ත විය. මාර්ගයේ දෙපස තුරුලතා එකිනෙක වැළඳගැනීමෙන් මාර්ගය පෙනුණේ උමගක් හරහා ගමන් කරන්නාසේය. මිනිස් පුළුටක් දක්නට නැත. රැහැයියන්ගේ නාදයෙන් ප‍්‍රදේශය ඒකනින්නාද වෙයි. මාර්ගයේ එක් පසක් දැවැන්ත ගිරි ශිඛරයකි. පහළින් හඬනගා ගලන දිය දහරාවකි. මිනිසුන්ට නොව යකුන්ට වාසයට සුදුසු ප‍්‍රදේශයක් සේ ඔහු සිතීය. ඉංගී‍්‍රසි ආණ්ඩුව කාලයේ කළුතර දිස්ත‍්‍රික්කයත් රත්නපුර දිස්ත‍්‍රික්කයක් සහසම්බන්ධ වුණේ මේ මාර්ගයෙනි.
දැවැන්ත ගල් කුළු සිදුරු කරමින් සකසා ඇති මේ මාර්ගයේ ප‍්‍රසිද්ධ බෝක්කුවක් ඇත. එම බෝක්කුව ඉතා උස නිසා අහස් බෝක්කුව යනුවෙන් නම් විය. බැලූ බැල්මට මෙය යම්කිසි විශ්මිතභාවයක් පෙන්වයි. එදා තත්ත්වයෙන් නූනත් අද ද එය දක්නට ඇත. කලවාන අගලවත්ත මාර්ගයේ වර්තමාන සමන් දේවාලයට මදක් දුරින් මේ අහස් බෝක්කුව දක්නට ඇත. මා මේ පවසන්නේ දැනට දශක පහකට පෙර පාරිසරික තත්ත්වයක් ගැන බව යළිදු සිහිපත් කරමි.

කෙසේ වුවද රාමස්සාමි රාත‍්‍රි 11 ට පමණ මතුගම නගරය වෙත ළඟාවී ඇත. කුලිය ගෙවීමෙන් පසු මෝටර් රථයේ පැමිණි අය බැස ගී කියන කන්ද වත්ත දෙසට යන බව පවසා රියැදුරාගෙන් සමුගෙන ඇත. මධ්‍යම රාත‍්‍රිය උදාවීමට ඇත්තේ තවත් හෝරා එක දෙකකි. මතුගමින් වාහනය හරවා ගත් රාමස්සාමි ආපසු ගමට ළගාවීමේ අදහසින් ඉදිරියට එන්න විය. ප‍්‍රදේශයේ කිසිම තැනක තේ කඩයක් හෝටලයක් විවෘතව නැත. කෑලි කැපිය හැකි ඝන අන්ධකාරය රජයයි. හුදකලාව තනිපංගලමේ යක්කු ගස් යන රාත‍්‍රියේ අහස්බෝක්කුව පිළිබඳව මතකයේ රැඳී තිබුණු අසා ඇති දෙයක් ඔහුට සිහිපත් විය. ඒ අහස් බෝක්කුව සමීපයේ හොල්මන් අවතාර මෝහිණීගේ දිෂ්ටිය පවතින බවයි. හොල්මන්, යක්කු ඕවා මිනිස්සුන්ගේ බොරු කථා කියා හිත හදාගත් රාමස්සාමි ධෛර්ය සම්පන්නව හිල්මන් රථය ධාවන කරන්නට විය. කෙසේ වුවද ඔහුගේ යටිහිත යම්කිසි චකිතයකින් පෙළෙන්නට විය.

ඔහුගේ අත බැඳි ඔර්ලෝසුව දෙස නිකමට මෙන් නෙත ගැටුණි. හරියටම මධ්‍යම රාත‍්‍රි 12 බව ඒත්තු යනවාත් සමගම තම මෝටර් රථය අහස් බෝක්කුව වෙත ළගාවී ඇති බව වැටහුණි. ගතවූයේ නිමේෂයකි. රක්තවර්ණ සාරියකින් සැරසී ගත් සුරූපී කාන්තාවක් දරුවෙකු වඩාගෙන එක්වරම වාහනය නතර කරන මෙන් අතින් සංඥාවක් කළාය. අතැති කුඩා දරුවා මහ හයියෙන් හඬමින් සිටියේය. කාන්තාවගේ රතුසාරිය ගැලවී ඇති සෙයක් මෙන්ම කෙස් කලඹ මුළුමනින්ම අවුල් වී තිබිණි. අපේ රියැදුරා එක්වරම වික්ෂිප්ත විය. තමන් මීට පෙර අසා ඇති මෝහිණීගේ අවතාරය බව හඳුනාගත් ඔහු දැඩි භීතිය සන්ත‍්‍රාශය මධ්‍යයේ වුවද වාහනය නොනවත්වා වේගයෙන්ම ධාවනය කරන්නට විය. අනවශ්‍ය වේලාවක මෙසේ කුලී ගමන් යෑම නුසුදුසු බව තම බිරිය මීට පෙර අවස්ථා කීපයකදීම තමන්ට පැවැසූ බව ඔහුට සිහිපත් විය.

raamasmi1තවත් බඹ කීපයක් ඉදිරියට ගමන් කළ ඔහු පසු පස පෙනෙන කණ්ණාඩිය දෙස නිකමට මෙන් බැලීය. සිරුරේ හිරි ගඩු පිපිණි සිරුර දහඩියෙන් තෙත් විය. ඇෙඟ් මයිල් කෙළින් විණි. අර මෝහිණී හා දරුවා වාහනයේ පිටුපස ආසනයේ වාඩිවී සිටිති. රාමස්සාමිට වැදූ මව සිහිවිණි. කළ යුතු කිසිම දෙයක් නැත. තව මොහොතකින් මෝහිණී යක්‍ෂණිය මා කා දමනු ඇත. වෙන දෙයක් වුණාවේ. තදින්ම සිත තර කරගත් ඔහු තවත් ස්වල්ප දුරක් ඉදිරියට යත්ම පිටුපස අසුනේ සිටි මෝහිණී දරුවාද වඩාගෙන මෝටර් රථයේ තම අසුන අසල අසුනේ තමන්ට සමාන්තරව වාඩිවී සිටී. මෝහිණී තම සිරුරේ ගෑවෙන නොගෑවෙන තරම් සමීපයේය. පුරුද්දට මෙන් ධාවනය වූ මෝටර් රථයේ තිරිංග පෑගී මහා මාර්ගය මත මෝටර් රථය ක්‍ෂණිකව නතර විය. රාමස්සාමි සිහි මුර්ජා වී සුක්කානම මත ඇද වැටී ඇත.

පසුවදා පහන් වී ඇත. අසල නිවසක පුද්ගලයෙක් ස්වකීය නිවසේ ඉදිරි දොර විවෘත කර බලන විට මහා මාර්ගයේ මෝටර් රථයක් ඇති බව දක්නට ලැබිණි. රථයේ ලාම්පු (ලයිට්) දැල්වෙමින් පැවතිණි. වහාම එතනට පැමිණි ඔහුට දක්නට ලැබුනේ වාහනයේ රියැදුරු අසුන මත සිහි මුර්ජා වී සිටින පුද්ගලයෙකි. නිවසට දිවගිය ඔහු භාජනයකට වතුර ගෙන ගොස් රියදුරු තැනගේ මුහුණ දෙසට මදක් ඉස්සේය. පුදුමයකි සිහිසුන්ව සිටි පුද්ගලයා දෙනෙත් හැර ඔහු දෙස බලා හිස ඔසොවා නැගිට්ටේය. සිදුවූ කිසිවක් නිවැසියාට නොපවසා ස්තුති කර රාමස්සාමි නිවසට පැමිණි බව පැවසුවේ තමන් අත්දුටු බිහිසුණු දර්ශනය සිහිනයක් දැයි සිතමින් බවය. අවසන් වශයෙන් ඔහු මා සමග ප‍්‍රකාශ කෙළේ සති කීපයක් තිස්සේ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ යකැදුරන් ගෙන්වා කරන ලද පිළියම්වලින් පසුව යථා තත්ත්වයට පත්වූ බවයි.
කලාවන - රණසිංහ ආරච්චි
divaina
================================================

මියගිය දරුවා දොස්තරගේ මූණට ගසා දැමූ මෝහිණී

ගිය සතියේ ඉරිදා මා ‘දිවයින’ ට සටහන් කළ අහස් බෝක්කුව ළඟ මෝහිණී ලිපිය කියවූ කීප දෙනෙක් මට ප‍්‍රතිචාර දක්වමින් ඉල්ලා සිටියේ තවත් එවැනි කතාන්දරයක් යළි ලියන ලෙසයි. යක්ෂ අවතාර කතා රාශියක් මා දැන සිටියත් මේ ප‍්‍රබන්ධය පමණක් පාඨකයින්ට ඉදිරිපත් කිරීමට මම තිීරණය කළෙමි.

 මා සෘජුවම මේ කතාන්දරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට පෙර ඊට පුස්තුකය ලෙස යකුන් යක්ෂණියන් ගේ අතීතය ගැන ද යමක් ලියමි. සමහරු යකුන් හොල්මන් ගැන විශ්වාස කරති. සමහරු විශ්වාස නොකරති. විජය කුමරු ලක්දිවට පැමිණි විට අපේ රට යකුන්ගේය. කුවේණි යක් රැුජණයි. වර්ෂ 2600 කටත් පෙරාතුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ යකුන්ගේ ආරවුලක් සමථයට පත්කරන්නටය. චූලෝදර, මහෝදර මණිඅක්ඛිත යකුන් ගැන අප අසා ඇත. ත‍්‍රිපිටකයේ බොහෝ ස්ථානවල යක්ෂයින් ගැන සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පරසක්වල ගසන්නට ආලෝක යක්ෂයාත් සේවක ගදාභ යකාත් පුරසාරම් කී හැටි අපට මතකය. ඇතැම් සූත‍්‍ර දේශනාවල යක්ෂයින්, යකින්නන්, යක්ෂ පෝතකයින් යක්ෂ පෝතිකාවන් ගැන සඳහන් වේ. මහසෝනා රීරි යකා ගැන යක්කු ගැන අප අසා ඇත. මැදියම් රාත‍්‍රියෙහි ගස් යන යක්කු ගැන ද අප අසා ඇත. යම් යම් අය ඇමැතිමේදී අද ද අපි යකෝ, අර යකා, මේ යකා යැයි කියන්නෙමු. යකා ගැසූ කාන්තාවන් ගැන ද අපි දනිමු. මහ දවල් සොහොන් පිට්ටනියක් අසල කිරි කපමින් සිටි ස්ත‍්‍රියකට යකෙක් ගැසූ ආකාරයත් ඇයගේ පිට ප‍්‍රදේශයේ යකාගේ ඇඟිලි පහේ සලකුණු පිහිටි බවත් කෙනෙක් මා සමඟ කියා ඇත. නමස්කාර පාඨයේ නමෝ යන වචනය කියා ඇත්තේද සතාගිරි නම් යකෙක් යැයි මා අසා ඇත. හේමවත නම් යකෙක් ගැන ද සඳහන් වේ. මා මේ කොටස රචනා කළේ යම් යම් ආකාරවලින් යකුන් යක්ෂණියන් බද්ධව සම්බන්ධය ඇති ආකාරය ඉඟියක් පළ කිරීමටයි. මේ යක්ෂණියන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සිදුවෙන හිංසා පීඩා සමථයකට පත්කර ගැනීමට අපේ රටේ යකැදුරන් බිහිවූ බවත් පවසමින් මම දැන් මගේ කතාන්දරය ඔබට කියමි.

 මා ගිය සතියේද ප‍්‍රකාශ කළේ මෝහිණී සම්බන්ධව ප‍්‍රබන්ධයකි. මේ සතියේද එම සම්බන්ධය යළි සම්බන්ධ කර ගතිමි. මා අසා ඇති මේ කතාන්දරයට අවුරුදු 60 ක් පමණ වයසය. මේ කතාවේ කතා නායකයා ද්‍රවිඩ වෛiවරයෙකි. කතාවට පාදක වී ඇත්තේ කලවාන ප‍්‍රදේශයයි. මේ කාලය ප‍්‍රදේශයේ ජනශූන්‍ය වකවානුවකි. කලවාන ප‍්‍රදේශයේ ඉතාම කුඩා ග‍්‍රාමීය රෝහලක් විය. මට මේ වෘත්තාන්තය පැවැසූ වෛiවරයා අද අප අතර නැත. යාපනයේ උපන් සෙල්වදොරේ වෛiවරයා පේරාදෙණි විශ්වවිiාලයෙන් වෛi උපාධිය ලබා කලවාන කුඩා ග‍්‍රාමීය රෝහලේ සේවයට පැමිණ ඇත. කෙසේ වුවද රෝහලේ සිට කිලෝමීටරයකට පමණ දුරින් වෛiවරයාගේ බංගලාව (නේවාසිකාගාරය* විය. එය පිහිටියේ එවකට කලවාන මහා විiාලයට ආසන්නයේය. ප‍්‍රදේශවාසීන් වෛi නිවාස හැඳින් වූයේ භූත බංගලාව ලෙසය. කැලෑවෙන් ගැවසුණු පරිසරයක පිහිටි මෙම නිවස ඉතාමත් අඳුරු සහගතය. ඇතැම්විට හොල්මන් අඩිකෝඩ ද පවතින්නට ඇත. ඒ නිසාම භූත බංගලාව වන්නට ඇත. අද ඒ බංගලාව දක්නට නැති අතර එහි පාසල් ගොඩනැඟිලි සාදා ඇත.

 එදා සෙල්වදොරේ වෛiවරයා වඩාත් කාර්යබහුල දිනයක් විය. සර්ප විෂෙන් මියෑදුණු තරුණ කාන්තාවකගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන්නට සිදුවීමය. වෛi වෘත්තියට පත්වීමෙන් පසු මිනියක් කපා පරීක්‍ෂණ කරන්නට සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව මා සමඟ කීය. හිතට භීතියක් චකිතයක් ඇති වුවද පුරුෂ ධෛර්ය උපදවා ඒ කාර්ය නිසි ලෙස ඉටුකළ බව සෙල්වදොරේ මහතා මා සමඟ කීවේ යම්කිසි චකිතයකින් බව මට අවබෝධ විය.

 දිවා කාලය පහව ගොස් රාත‍්‍රි කාලය උදාවත්ම වෛiවරයා ඩිස්පැන්සරියෙන් බැහැරව සුපුරුදු පරිදිම හොල්මන් බංගලාව වෙත පැමිණ ඇත. මනස තුළ යම් කිසි කැකෑරුණු බියක් ඇති වුණද එය යටපත්කරගෙන වෛද්‍යවරයා නින්දට ගොස් ඇත. මධ්‍යම රාත‍්‍රිය එළැඹෙත්ම භූත බංගලාවේ ඉදිරි දොරට ‘ටක් ටක් ටක්’ යන හඬින් කවුදෝ හඬ තලන බවක් ඇසන්නට විය. ක්‍ෂණිකවම නිදි යහනෙන් නැඟිට සෙල්වදොරේ ‘කවුදැයි - කවුදැයි’ කියමින් ඉදිරි දොර විවෘත කළේය. දොස්තරගේ දෙපා වෙව්ලන්නට විය. මඳක් පස්සට වීසිවුණු සෙල්වදොරේ හඬමින් සිටින දරුවකු වඩාගත් මහ ? ආ මේ සුන්දර කාන්තාව දෙස සැකෙන් මෙන් බලා ඇයි දැයි ඇසීය. ‘සර් මේ ළමයාට හොඳටම අමාරුයි. බෙහෙත් ටිකක් ගන්නැයි ආවේ’ කාන්තාව ප‍්‍රකාශ කළාය. තනියෙන්ද ආවේ. ඇයි තනියෙන් එන්න නරකද? ඈ පිළිවදන් දුන්නාය. භූත බංගලාවේ බෙහෙත් නැති බවත් දරුවා වහාම රෝහලට ගෙන යන ලෙසත් තමා රෝගියා පරීක්‍ෂාවට එන බවත් වෛiවරයා පැවැසු පසු ඉක්මණට එන්න සර්. නැත්නම් ළමයා මැරෙයි කියා ඇය අතුරුදන් වූවාය.

 වෛiවරයා දිවා කාලයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබඳ සිහිපත් විය. තමා කපා කෙටූ කාන්තාවත් මේ කාන්තාවත් එක වගේමද? යළිත් සිත දැඩි කරගත් වෛi සෙල්වදොරේ ස්වකීය වෙද නළාවද පැළඳ ගරාජය වෙත ගොස් තම මොරිස් එයිට් වර්ගයේ මෝටර් රථය පණගන්වා රෝහල වෙත පිටත් විය. කෑලි කපන ඝන අඳුර රජයමින් පැවැතුණි. හිතට බියක් නැතුවාද නොවේ. මහ ? නුහුරු නුපුරුදු පළාතක තනි පංගලමේ යන ගමනක් වෛiවරු පැය 24 ම රෝගීන්ට ප‍්‍රතිකාර කළ යුතුය. එය වෛi ප‍්‍රතිඥාවයි. කලවාන නගරයේ ඈත කෙළවරින් දකුණු දෙසට මෝටර් රථය හැරවූ වෛiවරයා ඉදිරියට යන්නට විය. යළිත් ඉදිරි වංගුවෙන් වාහනය දකුණට හැරවිය යුතුය. එතැනට වම් පසින් මෘත ශරීරාගාරය (මෝචරිය* අඳුරේ දිස්වේ. පුදුමෙකි. අර දරුවා වඩාගෙන ආ කාන්තාව එතැන පසුකරගෙන යමින් සිටී. නොදැනෙන භීතියක් දැනුන අතර වෛiවරයා මෝටර් රථයේ වීදුරුව පහත්කර අර කාන්තාව සමඟ කතා කර යන්නට සූදානම් විය. ගතවූයේ නිමේෂයකි. දැන් වැඩක් නෑ. තමුසෙ එන්න පරක්කු වුණා. ළමයා මරුණා. මේන් ළමයා කියා ඇය එක් වරම වීදුරු කවුළුවෙන් මළ දරුවා වෛiවරයාගේ මුහුණට දමා ගැසීය.

 මෝටර් රථය පණගැන්වුණු පරිදිම එතැන විය. නිහඬ රාත‍්‍රියේ පණ  ගැන්වෙමින් විදුලි පහන් දැල්වෙමින් මිනී කාමරය අසල තිබූ වාහනය හඬින් හඳුනාගත් රෝහලේ මුරකරුවා වහා එතැනට සමිප විය. සිහි මුර්ජාවෙන් සුසුම් හෙළමින් සිටි වෛi සෙල්වදොරේ හඳුනා ගත් ඔහු ක්ෂණිකවම ක‍්‍රියාත්මක වී ආධාරකරුවකුද ගෙන්වා වෛiවරයාව රෝහලට ඇතුළත් කර අතර ප‍්‍රතිකාරවලින් සුවවූ බව වෛiවරයා මා සමඟ පැවැසීය. අද ද කලවාන රෝහලේ මේ මූසල මෘත ශරීරාගාරය එදා පැවැති තැනම ඇත. සත්‍යවුවත් අසත්‍ය වුවත් එකීි වෛiවරයා මේ මෝහිණීගේ කතාන්දරය මා සමඟ පැවැසුවේ අදින් අඩසියවසකටත් පෙරය.

 කලවාන - රණසිංහආරච්චි
divaina
=====================================

මෝහිණී දරුවා සපාකයි; පොඩි එතනා සිහි නැතිව ඇද වැටෙයි!

මාටින් හා පොඩි එතනා පිළිබඳ මේ හොල්මන් කතාන්තරය මට අසන්නට ලැබුණේ දශක හතරකට පමණ ඉහතදීය. කෙසේ වුවද තවමත් ඒ පුවත මගේ මතකයේ රැඳී ඇත.

 මාටින් - පොඩි එතනා යුවළ නාගරික පරිසරයේ ජීවත්ව ඇත. මොවුන්ට දරු සම්පත් නොවීය. මාටින් රජයේ සුළු රැකියාවක් කර විශ‍්‍රාම ලබා ඇත. නාගරික පරිසරය අප‍්‍රිය කළ මේ මහලූ යුවළ සියලූ දේපළ විකුණා දමා ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන්නට සිංහරාජ වනාන්තරය ආසන්නයේ, සීමා වේ පුද්ගලික ඉඩමක් මිලදී ගෙන පදිංචියට පැමිණ ඇත. ඉඩමේ සාමාන්‍ය නිවසක් ද වූ අතර දෙදෙනාම ග‍්‍රාමීය පරිසරයක සුන්දරත්වය විඳිමින් අසල්වැසියන් ද දැන හැඳිනගෙන ප‍්‍රීතිමත් දිවියක් ගෙවූහ. සන්ධ්‍යාභාගයේ අසල්වැසියන් මේ නිවසට පැමිණ මාටින් සමග අල්ලාප සල්ලාපයේ නිරත වූ අවස්ථා එමටය. සුරුට්ටුවක් තොලග රඳවාගත් මාටින් කටින් පමණක් නොව නාසයෙන් ද දුම් පිටකරමින් කියන කතා, තොරතුරු ඇසීම ගම්මුන්ගේ ප‍්‍රීතිමත් විනෝදාංශයක් විය.

 කණ්ණාඩියක්වත් නොපළදින මාටින් ඇසුරු කිරීමට ගුරුහරුකම් ලබා ගැනීමට කවුරුත් ප‍්‍රියකළහ. හදිසියේ ගම්වැසියෙකුට ලැබෙන ’’ටැලි ග‍්‍රෑම්’’ එකක් කියවා ගන්නට ගියේ ද ඔහු ළගටය. ඒ ගම්වැසියන් ඉංග‍්‍රීසි බස නොදන්නා නිසාය. වල්ඌරුමස් කෑමට ප‍්‍රිය කළ මාටින්ට නිතරම බිරිඳ දොස්පවරන්නීය. ඒ වල්ඌරු මස් සමග මහසෝනාගේ ඇල්ම බැල්ම ඇතැයි විශ්වාස කරන නිසාය.

 නමටම ඔබින පරිදි පොඩිඑතනා පොඩි වයෝවෘද්ධ කතකි. නිතරම බුලත් හපන්නට ඇය පුරුදුව සිටියාය. හොල්මන්, අවතාර, යක්‍ෂ, පේ‍්‍රත, පිසාච දිස්ටිවලට නම් ඇය දැක්වූයේ අසීමිත බියකි. ඉඳහිට විදුලි පන්දම (ටෝච්එක) රැගෙන හදිසි අවශ්‍යතාවකට එළිපහලියට ආවත් ඇය විදුලි පන්දම එල්ල කළේ ඉදිරියට නොව පිටුපසටය. ඒ අමනුෂ්‍යයින්ට ඇති අධික බිය නිසාය. පොඩි එතනා ඉතාමත් ඔතෑනි කාන්තාවකි. දිරාගිය සිරුරක් තිබුණත් ගෙදර දොරේ වැඩට නම් ඉතා හපනියකි. නිතර නිතර ඇය ඉතිපිසෝ ගාථාව මුමුණන්නීය. ඒ ඇයි දැයි මාටින්වත් නොදනී.

 ඒ වසන්ත කාලයයි. ගහ කොළ මල්පල දරා ඇත. පරිසරය ඉතාමත් සුන්දරයි. සිංහරාජය දෙසින් හමා එන මඳනළ ගතසිත නලවයි. කුස්සිය දෙසට ගිය පොඩි එතනා එක්වරම දුටුවේ ලිප දැල්වීමට දර නැති බවයි. සැමියා මිදුලේ ගසක් යට සුරුට්ටුවක් උරමින් මනෝලොවක රජකරයි. තවමත් පරිසරය ඉරු එළියෙන් බබළයි. ඒත් දැන් තරමක් සවස් වෙලාය. චීත්තය ඉණට තදකර ඇඳගත් ඇය කැත්තක් ද මලූපිටක් ද, ලණුකෑලි දෙකක් ද රැගෙන නිවසට මඳක් දුරින්, පෙනෙන නොපෙනෙන මානයේ පිහිටි වන රොදට පිවිසියේ දරමිටියක් කඩාගෙන ඒම සඳහාය. නිවසින් පිටවන ඇය දුටු සැමියා ‘‘ ගොම්මන් වේගෙන එන විට කැලේ යන්න එපා’’ යැයි කීවත් පොඩි එතනා ඒ කතාව තුට්ටුවකට මායිම් කළේ නැත.

 මිල්ල දර මේ ප‍්‍රදේශයේ බහුලව පවතී. ගැමි කාන්තාවන් මිල්ල වර්ගයේ දර සඳහා ඉමහත් රුචියක් දක්වයි. රාස්සිගේ අව්වත් දැන් සිංහරාජයේ තුරුලතා මත පතිත වී ඇත. ඉඳහිට රැහැයියන්ගේ ගීතය ද ඇයට ඇසේ. වසන්ත කාලය නිසා සිංහරාජයේ බස්නාහිර පැත්තෙන් සූර්ය දිව්‍යරාජයා ද පෙනෙන නොපෙනෙන සේය. ඇය චීත්තය මඳක් කෙටිකර ඇඳගෙන දරමිටිය ඔසවන්නට හදනවාත් සමගම මවක් කුඩා දරුවකු නලවන හඬක් පොඩි එතනාට ශ‍්‍රවණය විය. ඇය නැළවිලි හඬ ඇසෙන දෙස බලනවාත් සමගම මුළු ගතම බියට පත් කළ දසුනක් ඇය ඉදිරියේ පෙනුණි සුරූපී තරුණ ළදක් ඔන්චිලි පදිමින් සිටී. ඇය දෙනෙත් පිසදමා ඒ දෙස යළි යළිත් බැලීය. සත්‍ය සිද්ධියකි. ඇයගේ උකුළේ සුරතල් දරුවෙකි. ගස් නැති රටේ පැපොල් ගහක් ගසකි කීවා සේ දරුඵල නැති මේ අම්මාට ඔන්චිල්ලාවේ සිටින දරුවාද සම්පතකි. ඔන්චිල්ලාව ඉදිරියට එයි පසුපසට එයි. යළි එසේ වෙයි. ගොම්මන් වෙලාවේ මේ නම් පෙනෙන්නේ මිනිස් කාන්තාවක් නම් නොවන බව ඇයට වැටහිණි. නැලවිලි ගී හඬ ද මනාව ඇසේ. දිවයන්නට ඇයට සිත්විය. දැන් නම් හොඳටම ගොම්මන් වෙලාය. ගතවුයේ නිමේෂයකි. ඔන්චිල්ලාව පදවන සුරූපිනිය එක්වරම දරුවා හපා කන්නට පටන් ගත්තේය. දරුවා මර හඬදෙයි. භීතියෙන් තැතිගත් පොඩි එතනා දිවයන්නට තැත් කළත් පාදය ගලක හැපී ඇය සිහිමූර්ජා වී දරමිටිය මතම ඇදවැටුණාය. ඇය දියෙන් ගොඩට ගත් මසෙකු සේ වෙව්ලයි. නාසයෙන් කටෙන් සෙම ගලයි. කෙඳිරිය බඹ කීපයක් ඈතට ඇසේ.

 මාටින් දැන් හොඳටම කුලප්පු වෙලාය. කැලෑ රොද දෙස බලයි. පොඩි එතනා පෙනෙන්නට නැත. දැන් හොඳටම අඳුරුයි. එකත් එකටම ඇයට කරදරයක් වී ඇතැයි අනුමාන කළ ඔහු සමීප නිවසේ ජේමිස් ද සමග වහා ඇය සොයන්නට ගියේය. දර කැපූ ප‍්‍රදේශය අඩ අඳුරේම පරීක්‍ෂා කරන විට සිහිනැතුව මළ කඳක් සේ බිම ඇද වැටී ඇති බිරිඳ සොයා ගැනීමට හැකි විය. ඇය පිරික්සූ ජේමිස් ප‍්‍රකාශ කළේ ‘‘හුස්ම’’ වැටෙනවා කියාය. දෙදෙනාම එකතු වී නිවසට ඇය ඔසවාගෙන ගියහ.

 අහල පහළින් පැමිණි බොහෝ දෙනා බිම බලා මුනිවත රැක්කෝය. අසලම වූයේ කලවාන ග‍්‍රාමීය රෝහලයි. මාර්ග පහසුකම් නොවූයෙන් ඇඳිපුටුවක තබා ප‍්‍රධාන මාර්ගය දක්වා ඇය ගෙන ගියේ අසල් වැසියන්ය.

 අනතුරුව ලොරියකින් රෝහල වෙත ගෙන යන ලදී. දින දෙකකින් පමණ ඈ සාමාන්‍ය තත්ත්වයට පත් වූවත් භීතිය ඈ තුළින් පහවගොස් නොතිබුණි. නිතර නිතර ඈ දොඩමළු වූවාය. මධ්‍යම රාත‍්‍රියේදී ‘‘හූ කියමින්’’ දුවන්නට වූවාය. කෙසේ වුවද ඇයට සුවය ලැබුණේ මාතරින් ගෙන්වන ලද යකැදුරෙකු විසින් කරන ලද ශාන්තිකර්මයකින් පසුවය. කෙසේ වුවද ඇය මිය යනතුරුම මේ යක්‍ෂ බිය පහව ගොස් නොතිබුණි. නිතරම යකැදුරන් විසින් ජප කරන ලද සුර, කහ නූල් ඇගේ සිරුරේ විය.

 දින කීපයකට පසු මාටින් සමග පිළිසඳරේ යෙදී සිටි ජේමිස් මෙසේ ප‍්‍රකාශ කර ඇත. මහත්තයො, පොඩි එතන හාමිනේ දර කපන්න ගිහින් තියෙන්නෙ සොහොන් පිට්ටනියට ඔය හරිය ඉස්සර අමු සොහොනක්. මායිම් දැම්මට පස්සෙ සිංහරාජෙට අහුවුණා ඉස්සර ඔය හරියෙ ගෑනියෙකුයි ළමයෙකුයි මරාදාලා තිබුණලූ සොහොන් කළෙත් ඔය හරියෙලූ. එදා ඉඳල ගමේ කවුරුවත් නිකමටවත් ඔය පැත්තෙ යන්නෙ නෑ. මීට ඉස්සරත් ඔය ඔංචිලි පදින ගෑනි, කීප දෙනකුම දැකලා බය වෙලා තියෙනවා. කිව්වට මොකද? අනේ මමත් දවසක් බය වුණා. මේ වෙනකම් කාටවත් කිව්වේ නෑ. මෙන්න බලන්න මතක්වෙනකොට දැනුත් මගේ ඇෙග් මයිල් කෙළින් වෙනවා යැයි ජේමිස් කීය. පොඩි එතනා ඕව ගැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකයි ගොම්මනේ අමු සොහොනෙ දර කඩන්න ගියේ යැයි කියූ ජේමිස් ‘‘මෝහිණී දිහා නම් බලා ඉන්න පුළුවන්. ළමයා කඩ කඩා කනව දකිනකොට තමයි ‘‘පණ බය’’ කියා ජේමිස් සුසුමක් හෙළීය. කලකට පෙර මේ ප‍්‍රදේශයේ ගිය මට දැනගන්නට ලැබුණේ මාටින්, ජේමිස්, පොඩි එතනා අවසන් ගමන් ගොස් ඇති බවත් නිවස තිබූ තැනක්වත් දැකගන්නට නැති බවත්ය.

 නම් ගම් මනඃකල්පිතයි
 කලවාන - රණසිංහ ආරච්චි
divaina
=====================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment