Sunday, April 23, 2017

නිධන් වදුල මිථ්‍යාවක්‌ද?....නිධන් සලකුණු....(nidan wadula අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි gurukam)

වදුලු ශාස්‌ත්‍රය පදනම් කොටගෙන නිධන් වස්‌තු ගොඩගැනීමට හැකියාවක්‌ ඇතැයි සමාජයේ මතයක්‌ පවතී. රට පුරා වරින් වර එවැනි නිධන් හෑරීම් පිළිsබඳ තොරතුරු අසන්නට ලැබේ.
වදුලු ශාස්‌ත්‍රයේ ඉපැරණිභාවය පිළිබඳව බොහෝ විද්වතුන්ගේ සැක සංකා පවතී. නමුත් නිධාන තැන්පත් කිරීම පසු කලකදී ඒවා නොයෙකුත් කටයුතුවලට නැවත භාවිත කිරීම අතීතයේ පටන් පැවැති සිරිතක්‌ බව පෙනේ.
අනේපිඬු සිටාණන් බුදුරජාණන් වහන්සේගේ වාසය සඳහා ආරාමයක්‌ තැනවීමට ඡේත නම් කුමාරයාගේ උයන ලබාගැනීමට උයන පුරා රන් මිල ඇතිරූ බව සඳහන්ය. පූජාවලියේ එම කථාව විචිත්‍රවත් කර ඇති ආකාරයට එම රන් ලබා ගන්නැත්තේ සිටාණන්ගේ හත් මුතු පරම්පරාව විසින් එක්‌ රැස්‌ කරගෙන නිධන් කොට තිබූ ගබඩාවෙනි. ඔහු සිය මෙහෙකරුවන්ට අණ කරන්නේ තම සතු නිධානයෙහි පිධානය හැර රන්මසු ලබා ගන්නා ලෙසයි. ඒ අනුව නිධාන තැන්පත් කිරීමත් ඒ පිළිබඳ සලකුණු තබා රැකවල් කිරීමත් අතීතයට අයත් බව නිගමනය කළ හැකිය.
වදුලු ශාස්‌ත්‍රය මේ සඳහා තොරතුරු සපයන අතර එය කොටස්‌ පනහකින් යුක්‌ත වේ. ඉන් පළමුවැන්න බෙහෙත් වදුලයි. නොයෙකුත් වෛද්‍ය පරම්පරා විසින් තම ප්‍රතිකාර ක්‍රම ආරක්‌ෂා කර ගැනීම සඳහා ද ඖෂධ නාම බහුලත්වය සරල කොට තේරුම් ගැනීම සඳහාද බෙහෙත් වදුල රචනා කොට ඇත. නිඝණ්‌ඩු පොත් පත්වල එන තොරතුරු මීට අයත් ලෙස සැලකේ.
රසොන, අරිෂ්ඨ, ලශූන, මහෞෂධ, ආසුර, ශූකලක හෙළ ලුහුනු සුගන්ධ පලාණ්‌ඩු, තුලාකෂ දීසි පත්‍රිකා යනු රතු වී හුනු හේම පුෂ්ප, නා පුෂ්ප කාංචන කකන හේම, නාමල් රේණු, සෙරවර්චල, රුචකං සුගන්ධ, සුචවර්ධන, සර්පික සුවය වීනු ආදී වශයෙන් ඖෂධ නාම ආකාරාදිදෙ මේ වදුලු ශාස්‌ත්‍රයේ අන්තර්ගත වේ. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමිපාණන් මේ සියලු ඖෂධ පිළිබඳ තොරතුරු සිය දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි ඇතුළත් කළ බව සඳහන්ය.
වදුලු ශාස්‌ත්‍රයේ සඳහන් දෙවැන්න වැව් වදුලයි. මෙය රුහුණේ, රජරට වැව් ගම්මානයන්හි තිබූ හස්‌තසාර ග්‍රන්ථ රත්නයකි. අප අතරින් වෙන්වී ගිය නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් (අගමැති) මහතා සිය මතකයේ තිබූ වැව් වදුලක්‌ වරක්‌ සිහිපත් කළේය. එහි නාමය වශයෙන් දක්‌වා තිබුණේ "ජල බින්දු, ජල ප්‍රමාණ, ජල දීපිකා යනුවෙනි. ඒ නාමයෙන්ම එහි පෙළ ගස්‌වන ලද එහි අඩංගු කරුණු පිළිබඳ චිත්‍රයක්‌ මනසේ සටහන් වෙයි. පැරණි වැව් පිහිටා තිබූ ස්‌ථාන විවිධාකාරයෙන් හඳුන්වා දී තිබූ බවද තෙන්නකෝන් මහතා සිය මතකයෙන් පැවසීය. ඒ අනුව පළමු වැව ලෙසින් කන්දේ වැව නොහොත් කඳු වැවද, දෙවැන්න වනයේ වැව නොහොත් මූකලාන් වැවද තෙවැන්න කුළු වැව්ද, සිවුවැන්න ගම් වැව් නොහොත් නිධන් වැව්ද පස්‌ වැන්න මහවැවද අවසාන වශයෙන් බේරේ වැවද සඳහන්ව තිබිණි.
මේ වැව්වල ජල මාතිකා, පෝවා වැව්, හිල්ව, රළපනාව සොරොව් (ගොඩ සහ මඩ) ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු දැන සිටි වැව් බාර පරපුරක්‌ ජීවත්ව සිටියහ. ඒ අය වැවේ පෝෂක ප්‍රදේශය දැන සිටියහ. ඇතැම් විට සන්නසකින් වැවේ භාරය ඔවුන් වෙත පවරා දී තිබිණි. ඇතැම් වැව් මාස්‌ වැහි කාලයේදී පිටාර යයි. වෑකන්ද බිඳී යන්නට තරම් ඒ ජල ධාරාවන් වේගවත් වෙයි. එවිට වැව් භාර පරපුරුවල ඇත්තන් වැව මැදට ගොස්‌ රිටකින් එක්‌ ස්‌ථානයක්‌ කාල් ගාන බවද එවිට එයට ජල පිටාරය ඉබේම නවතින බවද පුරාවිද්‍යා කොමසාරිස්‌ව සිටි එච්. සී. පී. බෙල් මහතා සඳහන් කර ඇත.
මේ ගැඹුරු ශාස්‌ත්‍රය පොදුවේ හැඳින්වෙන්නේ වැව් වදුල යනුවෙනි. පුරාණ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ දැනුම් සම්භාරය මත මේවා ගොඩනැඟී තිබෙන බව පෙනේ.
වදුලු ශාස්‌ත්‍රයේ ඊළඟ අවස්‌ථාවේ සඳහන් කර තිබෙන්නේ ධාතු වදුලයි. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ස්‌ථාන, ප්‍රවෘත්ති ආදිය මෙයට ඇතුළත් වේ. දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ ආගමන කතා පවා මේවාට ඇතුළත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකියි. ධාතු පෙති පිළිම ආදියෙහි තැන්පත්ව ඇති ධාතු විස්‌තරයන්ද ඇතුළත්ව තිබිණි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන ධාතු උත්පත්තිය (කවි), ධාතු පරිභ වර්ණනාව, ධාතු මංජුසාව ආදී පුස්‌කොළ ග්‍රන්ථ මේ ගණයට අයත් යෑයි සැලකිය හැකිය. ධාතු විස්‌තරය සහ ධාතු විස්‌තර ගාථා ද මේ ගණයට ඇතුළත් කළ හැකිය. දළදාවහන්සේ ආරක්‌ෂා කළ පරම්පරාවන් හිහස්‌තාසාර ග්‍රන්ථ ලෙසට (කීරවැල්ලේ පරපුර) මේවා පවතින්නට ඇත.

වදුලු සාහිත්‍යයේ වැදගත්ම වදුල ලෙස සැලකෙන්නේ චෛත්‍ය වදුලයි. ලොකු කුඩා සෑම ස්‌තූපයකම ධාතු ගර්භයේ තැන්පත් කරන වස්‌තු, රන් කරඬු, බුදුපිළිම ආදිය වෙයි. ධාතූන් වහන්සේලාද වෙයි. රුවන්වැලි මහා සෑය තුළ විසිහතර රියනක්‌ උස රන්මුවා බෝධීන් වහන්සේ නමක්‌ තැන්පත්ව තිබෙන බව ජනප්‍රවාදයේ සඳහන්ය. භාතිකාභය රජ සමයේදී මේ ධාතු= ගර්භයේ පැවැති රහතුන් වහන්සේලාගේ පිරිත් දේශනාවක්‌ ශ්‍රවණය කිරීම සඳහා රජුද සහභාගි වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගන චෛත්‍ය රාජයා ප්‍රතිසංස්‌කරණය කරන ලද අවස්‌ථාවේ පොළව කැණීමේදී ධාතු ගර්භය තුළ තිබී විශාල ගල් පෙට්‌ටි දෙකක්‌ හමු වී ඇත. මේ පෙට්‌ටි තුළ රන්කරඬු, පළිගු, ප්‍රතිමා, නොකැපූ දියමන්ති, සක්‌ ගෙඩි ආදිය තිබිණි. සිව් කොන අරක්‌ගත් අශ්වාරෝහක රජුන් සිවු දෙනකුගේ සහ බිසෝවරුන් සිවුදෙනකුගේ ලෝහ ප්‍රතිමා ද පිත්තල පහන් ද විය. එසේම වැලි ගලෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමාවක්‌ද විය. එය පිට පැත්තේ සංස්‌කෘත අක්‌ෂරයෙන් ලියන ලද සටහනක්‌ ද තිබී ඇත.
මෑතකදී නැගෙනහිර පළාතේ විල්ගම් වෙහෙරට අයත් ප්‍රදේශයේ විල්ලඩ ගම්මානයේ පුරාණ චෛත්‍යයක්‌ නිධන් හොරුන් විසින් සාරා තිබේ. එම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගත් පසු ඔවුන් ළඟ තිබී රන් කරඬුවක්‌, රජුගේ ප්‍රදානය (මළුතිස රජු) පිළිබඳ රන් පත්‍ර සටහනක්‌ ආදී වශයෙන් විශාල නිධන් වස්‌තු සම්භාරයක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භාරයට පත්කොට තිබේ.
මේ චෛත්‍ය නිදාන කතා අඩංගු වන්නේ චෛත්‍ය වදුලේය. වෛත්‍ය සාදා නිම කළ පසු වෙසෙසින්ම විශාල චෛත්‍යයන්ට ඇතුළු විය හැකි සේ දොරටු නොහොත් සන්ධි තැබීමේ සිරිතක්‌ පුරණයේ විය. එම දොරටු ආරක්‌ෂා කිරීමට ගම් ප්‍රධානීන්ට භාර කොට තිබේ.
මේ නිධන් වස්‌තු එක්‌ අතෙකින් පූජා වස්‌තු වෙයි. ඉන් චෛත්‍යයටද එම චෛත්‍ය පිහිටා තිබෙන ගම් ප්‍රදේශයටද, ශ්‍රී ලංකා ද්වීපයටද අත්වන ආශිර්වාදය අතිමහත්ය. මේ චෛත්‍යයන් බිඳ නිධන් වස්‌තු ගැනීම පඤ්චාතන්තරීය පාප කර්මයන් හා සමාන වන්නේ යෑයි දක්‌වා තිබේ.
ක්‍රි. ව. 194 දී කුඩ්ඩ නාග රජු දවසදී ඔහුගේ දේවියගේ සහෝදර වූ සිරිනාග කුමරු රාජ්‍ය ලෝභය උපදවා සේනා සංවිධානය පිණිස වස්‌තු රැස්‌ කරනවිට ස්‌තූපයන් තුළ මහත් වස්‌තු සම්භාරයක්‌ තිබෙන බව අසා අනුරාධපුරයේ දක්‌ෂිණ ගිරි විහාරයෙහි මහ දැගැබ බිඳවන්නට ගියේය. නමුත් එහි කණ්‌ඩිය (දොරටුව) නොදැක වල්මත් වූ ඔහු දොරටුව ආරක්‌ෂා කරන පොල්ලොලිය නම් ගමේ බනුල නම් චණ්‌ඩාල නායකයා ගෙන්වාගත්තේය. බුදු සසුන කෙරෙහි ද ධාතු ඇති පිළිම චෛත්‍ය ස්‌ථාන කෙරෙහිද මහත් භක්‌තියෙන් යුක්‌ත වූ බනුල කිසිසේත්ම චෛත්‍ය කණ්‌ඩිය බිඳීමට කැමති නුවූයේය.
සිරිනාග කුමරු කෝපාවිෂ්ඨව තම බලය භාවිත කොට මේ නායකයා ඇතුළු ඔහුගේ පුතුන් සත් දෙනාම උල හිඳුවා මරණයට පත් කළ බවද ඒ අවස්‌ථාවේදීම මොවුන්ගේ ගු+ණානුභාවයෙන් දිව්‍යලෝකයෙන් පැමිණි දෙවියන් පිරිසක්‌ විසින් මෙම අටදෙනා තුසිත දෙව්ලොවට ගෙනගිය බව සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ සඳහන් වේ. චෛත්‍ය බිඳ වස්‌තුව රැස්‌කර ගත් සිරිනාග සේනා සංවිධානය කොට ක්‍රි. ව. 195 දී කුඩ්ඩනාග රජු මරා රජකම ගත් නමුදු ඔහුගේ රජකාලය එතරම් සැප පහසු නොවීය. වසර 19 ක්‌ රජ කළද අවසන් කාලයේදී හටගත් දරුණු උදරාබාධයක්‌ හේතුකොටගෙන සියතින්ම බඩ පලා ගෙන ජීවිතක්‌ෂයට පත් වූ බවද ඉන්පසු අවීචි මහා නරකයෙහි උපන් බවද සඳහන්ය.
මේ කතාවෙන් අප තේරුම් ගත යුත්තේ චෛත්‍ය ගර්භයන්ට ඇතුළු විය හැකි දොරටු සාදා තිබූ බවයි. එසේම ඒවා රැකවලට ගම් ප්‍රධානීන් පත්කර තිබූ බවද පෙනේ. මේවා ගැන සඳහන් වන්නේ චෛත්‍ය වදුලේය. බ්‍රිතාන්‍ය කෞතුකාගාර පොත්ගුලේ තිබෙන දාගැබ් බැඳීම නම් ග්‍රන්ථයද මේ වදුලේ ශාස්‌ත්‍රයටම අයත් ලෙසට සැලකිය හැකිය.
සියලු වදුලු ශාස්‌ත්‍රීය ග්‍රන්ථවලට වඩා විවාදාත්මක ස්‌වරූපයක්‌ සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්‌ත්‍රයයි. එය වදුලු ශාස්‌ත්‍රයේ පස්‌වන කොටසයි. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්‍රන්ථ අතර යට කී පරිදි ශ්‍රී කාල, ශ්‍රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්‍රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද, ගිරුවායේ වදුලු පොතද, අනුරාධපුර පුරිගස්‌වැවේ මැණික්‌රාළ නත්තාගේ වදුලු පොතද, අනුරාධපුරේ වටරක්‌කාවේ උක්‌කුවා වෙද හේනයාගේ වදුලු පොතද, ඌවේ මුදියන්සේලාගේ කීර්තිරත්නගේ වදුලු පොතද, කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු ග්‍රන්ථ එකොළොසක්‌ අයත්ව තිබේ. මේ ග්‍රන්ථවල සඳහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැටහතරකි. සක්‌වදුල්, කවුඩු වදුල්, ඊ වදුල්, ත්‍රි සුලම් ආදිය මේ ලක්‌ෂණවලට අයත්ය.
පැරණි රජවරු සිය වස්‌තු නිධන්කොට තැබූයේ මත්තේදී භාවිතා කරන්නටයි. වෙසෙසින්ම මධ්‍යකාලීන යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්‌සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්‌තු ඒ ඒ ස්‌ථානවලම රහසේ නිධන්කොට පැන ගියහ. නැතහොත් මලය කඳුකරය, බස්‌නාහිර කඳුකරය ආදී වනගත පෙදෙස්‌වලට විත් ගිරි දුර්ගවල වාසය කරමින් තම වස්‌තුව ඒ ඒ ස්‌ථානවල නිධන් කළහ. කෝට්‌ටේ යුගයේදී වීදිය බණ්‌ඩාර, සිරිවර්ධන ප්‍රභූරාජ, විජයපාල, රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී දෙවැනි රාජසිංහ වැන්නවුන්ද සිය වස්‌තුව ආරක්‌ෂා කරගන්නට නොයෙකුත් උපක්‍රම සැලසූහ.
මේ නිසා වනගතව තිබෙන ගල්ලෙන් අසාමාන්‍ය හැඩය ගත් ගල්තලා ආදිය මේ නිධන් වස්‌තු තැන්පත් කර තිබෙන ස්‌ථාන ලෙසට ප්‍රකට වෙයි. වදුලු ග්‍රන්ථයක තිබූ මේ සඳහන ඊට සාක්‌ෂි සපයයි.
කවුඩුමුල්ලේ ගලේ ගෝන අඟක්‌ ඇති. ඒ වට කවයක්‌ ඇති. 
එතැනට තුන් පියවරක්‌ නැගෙනහිරට අඟේ හැටපන්දාහයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹීමට ප්‍රථම ලංකාවේ දිසාපති තනතුරු දැරූ සුදු නිලධාරීහු මේ ස්‌ථානවලට ගොස්‌ මේවායේ වස්‌තුව ගොඩගෙන එංගලන්තය බලා රැගෙන ගියහ. එච්. සී. පී. බෙල් මහතාගේ කණ්‌ඩායම (බෙල් පාටිය) පවා මුල් කාලයේ මෙලෙස නොයෙකුත් තැන්වල තිබූ නිධන් වස්‌තු ගොඩගත් බව පැවසේ. මුල් කාලයේ ඔවුන් ලබාගත් සන්නස්‌, තඹපත් හා පුස්‌කොල පොත් පවා අද ජීවමානව දක්‌නට නොමැත. පුරාවස්‌තු සංරක්‌ෂණ පනත සකස්‌ කරන කල්හි භෞතිකව දක්‌නට ලැබෙන පූජනීය වස්‌තු පිළිබඳ ප්‍රතිපාදන එයට ඇතුළත් කරන ලද නමුත් ධනය නිධන් කරන ලද ස්‌ථාන සංරක්‌ෂණය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකරන ලද්දේ ඒවා ගැනීමේ මතු බලාපොරොත්තුවෙන් දැයි සිතේ. මේ මගෙහිම ඉදිරි පියවරක්‌ වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළද වර්තමානයේදී නිධන් වස්‌තු පිළිබඳ පිළිගැනීමක්‌ නැත.
එහෙත් දිනපතාම දිවයිනේ කිනම් හෝ ප්‍රදේශයකදී මෙවැනි නිධන් හෑරීම් පිළිබඳ වාර්තා පළවෙයි. ඒ නිධන් සහිත ස්‌ථාන යන්හි, බුදුපිළිම, රන් කාසි, රන් දැකැති පමණක්‌ නොව වී ගබඩාද, පුස්‌කොළ ගබඩාද බෙහෙත් තෙල් ගබඩාද හමුවන බව පැවසේ.
නිධන් වදුල හා අපේ නම් ශාස්‌ත්‍රය උපකාරයෙන් මේවා සොරා කන පුද්ගලයන් පාලනය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුය. එයට ප්‍රථම වදුලු සාහිත්‍ය අනුව ඒ ස්‌ථාන ගවේෂණය කොට හඳුනාගත යුතු යෑයි සිතමි.
එසේම වස්‌තු තණ්‌හාවෙන් ද ධන තණ්‌හාවෙන්ද පිරුණු පුද්ගලයා නිවී සැනසීමටද සමාජයේ පරිසරයක්‌ ඇතිවිය යුතුය. වස්‌තු තණ්‌හාව නිසා ස්‌ථූප, පිළිම කඩා දැමූවන්ට අත්වන විපාක සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ ඉඳුරාම සඳහන් කර ඇත. නිධන් වස්‌තු ගන්නා කවුඩු බලු වෙත්වා යෑයි පැරණි ස්‌ථානයන්හි සටහන් කර තබන්නේද මේ විපාක පෙන්වා දෙන්නටය. වෙසෙසින්ම දේශපාලනඥයන් සහ නීතිය ආරක්‌ෂා කරන්නන්, ධර්ම ග්‍රන්ථවල සඳහන් ඵල විපාක අවබෝධයෙන් යුක්‌තව කටයුතු කරන්නේ නම් අපගේ පෞරාණික උරුමයන් හොඳින් ආරක්‌ෂා වනවා නිසැකය.
මතුගම සෙනෙවිරුවන්
---------------------------------------------------------------------------------------------------------------
නිදන් වදු‍ලේ ඇති විස්තර අනුව සැබැවින්ම නිදන් ලබා ගත හැකිද?
නිදන් වදුල නම් වූ කෘතිය සොයාගත හැකි ආකාරයක් පිළිබඳව මෑතක පටන් බොහෝ දෙනෙකුගෙන් විමසුම් කරනුයේ ඇයිද යන්න මට ගැටළුවක්ව තිබිණි. එහෙත් ඔවුන් මෙලෙස විමසා සිටින්නට ආසන්නම හේතුව මේ දිනවල ප්‍රචාරය වන ටෙලි නාට්‍යයක් බවත් ඉන් දිගහැරෙන්නේ නිදන් වදුලක් සහ නිදන් ගැනීමට දරන උත්සාහයක් පිළිබඳව බවත් මට පසුව දැනගත හැකි විය. 
1991 වසරේ කොළඹ ජාතික කෞතුකාගාරය තුළදී සිදුවූ අපූරු සිදුවීමක්ද මට මේ මොහොතේ සිහිපත් වේ. නිදන් පිළිබඳ තොරතුරු ඇතුළත් ‘නිදන් වදුල’ නම් වූ පුස්කොළ ‍පොත් පිටපතක් ජාතික කෞතුකගාරය සතුව තිබිණි. එහෙත් මෙම පුස්කොළ ‍පොත ඕනෑම අයෙකුට කෞතුකාගාරය තුළදී පරිශීලනය කොට නැවත භාරදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක විය. 
වරක් එලෙස කෞතුකාගාරයට පැමිණි අයෙකු මෙම නිදන් වදුල පුස්කොළ ‍පොත ලබාගෙන කියවන මුවාවෙන් එහි පිටු ඉතා සූක්ෂමව 
කපා ගන්නා ආකාරය කෞතුකාගාරය සේවකයෙකුගේ ඇස ගැසිණ. ඔහු විසින් ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එහි පිටු කපාගත් පුද්ගලයා කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මේ සම්බන්ධ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වූයේ අදාළ පුද්ගලයාගේ අරමුණ වී ඇත්තේ එම පුස්කොළ ‍පොතෙහි පිටු කපා රැගෙන ගොස් ඒවායේ ඇති තොරතුරු අධ්‍යයනය කර නිදන් ගොඩ ගැනීම බවය.
නිදන් වදුලෙහි ඇත්ත කතාව 
මෙවැනි මිථ්‍යා මත දරන නොදැනුවත් පුද්ගලයන් අතීත නරපතියන් විසින් විශේෂයෙන් ‍පොළෝ ගැබ තුළ පර්වතාදී ස්ථාන මුල්කොට නිදන් කොට ඇති වස්තුව තමන් සන්තක කර ගැනීමට මග පෙන්වනවා යැයි විශ්වාස කරන නිදන් වදු‍ලේ ඇත්ත කතාව කුමක්දැයි එලෙස මං මුලා වූවන්ට පහදා දීම අපේ ජාතික උරුමයන් රැක ගැනීමෙහිලා මා සතු වගකීමක්කොට සලකමි. 
නිදන් වදුල සම්බන්ධයෙන් බොහෝ අය දරන මිථ්‍යා මතය නම් එය ඉපැරණි රජවරුන් විසින් තමන් සතු රන් රිදී මුතු මැණික් ආදී අමිල වස්තූන් සඟවා තබා ඇති ස්ථාන පිළිබඳව නොවරදින අනාවැකි පළකොට ඇති ඉපැරණි ලියවිල්ලක්ය යන්නයි. එවන් මිථ්‍යා මතයන්හි පිහිටා සිටින්නවුන්ට පවසන්නට ඇත්තේ එය හුදෙක් හිතලුවක් පමණක්ම බවය. නොඑසේ නම් කිසියම් අද්භූත රසයක් දැනවීමට අමතරව නිදන් වදුල මගින් කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලද නොහැකි බවය. 
නිදන් වදුල යනු සාහිත්‍යයේ එන එක්තරා සාහිත්‍යාංගයක් පමණි. ඒ අනුව මෙය එකම කෘතියක් නොවන බවත් විවිධ විෂමතා සහිත කෘතීන් කිහිපයක් බවත් පළමුව පිළිගත යුතුවේ. මෙම අසම්භාව්‍ය සාහිත්‍යාංගය බිහිවී ඇත්තේ අපේ චිරාගත සම්භාව්‍ය සාහිත්‍යය පිරිහී ගිය දාහත්වන සහ දහඅටවන සියවස්වලදී බව නිසැක වශයෙන්ම කිව යුතුය. 
මෙම වකවානුවේ යම් තරමකට හෝ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයන් තම තමන්ගේ අද්භූතවාදී සංකල්පනා මත පිහිටා මෙම කෘති ප්‍රබන්ධ කොට ඇති බව පැහැදිලිය. එසේ කිරීම ඔවුන්ගේ යම් අරමුණ වී ඇත්තේ එකල නින්දගම් හිමි ප්‍රභූන්ට ඇති විශාල වස්තු කන්දරාවක් ඇති බව පෙන්වා වාසි ලබා ගැනීම බව පළමුව කිව යුතුය. 
නිදන් වදුල යනු සත්‍ය වාර්තාවක් නොවේ මෙම නිදන් වදුලු අතීත ඉතිහාසයෙන් උකහා ගත් ශාස්ත්‍රීය කරුණු මත සම්පාදනය වුවක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය. එහෙත්, ඇත්ත නම් මෙම සාහිත්‍යාංගය මහනුවර යුගයේ අවසාන භාගයේ නොදන්නා පුද්ගලයන් විසින් වරින්වර ලියූවක්ය යන්නයි. එහි සඳහන් කිසිදු කරුණක් විද්‍යාත්මකව හෝ ශාස්ත්‍රීය වශයෙන් සනාථ කළ නොහැක. එපමණක් නොවේ; එහි සඳහන් කරුණු විද්‍යා සහ ශාස්ත්‍ර විරෝධී බව පිළිගැනීමට එමගින් ලබා ගත හැකි සාක්ෂි ප්‍රමාණය සුළුපටු නැත.
නිදන් වදු‍ලේ සඳහන් ආකාරයට බහිරවයා සතුටු කර වස්තුව ලබා ගත හැකිද ?
මෙම නිදන් වදුලු වල පිටපත් ජාතික කෞතුකාගාරය ඇතුළු ස්ථාන කිහිපයකමත් විශ්ව විද්‍යාල පුස්තකාලවලත් පෞද්ගලික හිමිකරුවන් සතුවත් පවතී. එහෙත් මේ එකිනෙකෙහි දැක්වෙන තොරතුරු එකකට එකක් සමාන නැත. එහි කියවෙන පරිදි පැරණි රජ දරුවන් විසින් රන් රිදී මුතු මැණික් ආදී වස්තුව මතු ආරක්ෂාව පතා පර්වතාග්‍රිතව සඟවා තිබේ. එම වස්තුව රැක බලා ගනිමින් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ බහිරවයා නම් වූ අමනුෂ්‍ය ගණයේ අයෙකුටය. එම බහිරවයා සතුටු කිරීමෙන් එම වස්තුව ලබාගත හැකි බවත් ඉන් පැවසෙයි. 
මෙවැනි ‍ලේඛන ගැනෙන්නේ අව්‍යක්ත ‍ලේඛන ගණයටය.
නිදන් වදු‍ලේ ඇති සලකුණු නිධානයට යන මං සලකුණුද ?
නිදන් වදුල පිළිබඳ උනන්දු වන අය වලිගය ‍පොට වරද්දා ගන්නා තැනක් නම් නිදන් වදුලෙහි සඳහන්ව ඇති යම් යම් සලකුණුය. එහෙත් එම සලකුණු ඔවුන් සිතා සිටින ආකාරයට නිධානය සොයා යන පාර කියන සැබෑ මං සලකුණු නොවේ. ඒවා බොහෝවිට අතීතයේ දේශසීමා සලකුණු කිරීම සඳහා යොදාගත් කඩඉම් ලකුණුය. 
ඒ සඳහා පැවසිය හැකි උදාහරණ කිහිපයක්ම තිබේ. අදටත් ව්‍යාවාහාරයේ පවතින රත්නපුර අටකලම්පන්න කෝර‍ලේ සීමා ලකුණු කර ඇත්තේ ලේනෙකුගේ සලකුණකිනි. කලන්ද යනු ‍ලේනා හඳුන්වන තවත් නමකි. කලන්ද නැත්නම් ‍ලේනාගේ සලකුණෙන් එම කෝරළේ කඩඉම සලකුණු වූ නිසා එය අටකලම්පන්න ලෙස නම් වූවා. 
රත්නපුරයට අතීතයේ ව්‍යවහාර වූ නාමය වූයේ නව යොදුන් රට යන්නයි. එම නව යොදුන් රටෙහි සීමා මායිම් ලකුණු වූයේ නාගයාගේ සලකුණෙහිය. එලෙසම හඳපාන්ගොඩ කඩඉම් සීමා සලකුණු කිරීමට චන්ද්‍ර සංකේතය යොදා ගැනීමත් සීතාවක බැරැන්ඩි කෝවි‍ලේ සීමාවන් ලකුණු කිරීමට ගිරවා යොදා ගැනීමත් දැක්විය හැකිය. මෙසේ කඩඉම් ලකුණු දැක්වීම පර්වතවල කොටන ලද සංකේත මගින් සේම ගංගා ඇළ දොළ වනස්පති වෘක්ෂයන් ආදිය මගින්ද සිදුකොට තිබේ. 
තවත් සමහර සෙල් ලිපි වල සුනඛයන් සහ කපුටන්ගේ රූ සටහන් කර තිබෙන්නේ ඒ තුළ නිදන් වස්තු ඇති බව පැවසීමට නොවේ. සාංඝික දේපළ සොරා කෑමෙහි පලවිපාක බල්ලන් සහ කපුටන් වී ඉපදීම සංකේතවත් කිරීමටය. 
තවත් සමහර නිදන් වදුලක නිධානය පිහිටා ඇති ස්ථානය, නිධන් සලකුණ සහ නිධානය හිමිකරගත හැකි ආකාරය පවා සඳහන් කරමින් මිනිසුන් නොමග යැවීමට කටයුතු කර තිබිම එහි ඇති භයානක කමයි. නිදන් වදුලෙහි එලෙස මිනිසුන් නොමග යැවෙන ආකාරයේ අදහස් ප්‍රකාශ වීම නිසා එදා මෙදා තුර බොහෝ පිරිස් එම නිධන් හාරා ගැනීමට උත්සාහ දරා තිබුණද ඒ කිසිවෙකු හිමිකරගත් කිසිවක් නැත. 
එවැනි වස්තුව ලබා ගැනීමට මිනිසුන් පෙළඹීම හේතුවෙන් එදා ස්ථූප ස්මාරක ආදියට සිදු වූ හානිය අපමණය. මෙම තත්ත්වය හොඳින්ම අවබෝධකරගත් ඉංග්‍රීසින් මුලින්ම ගෙන ආ ආඥාපනත වූයේද නිදන් වස්තු ආඥා පනතයි. එය 1887 අංක 17 දරන පනත වශයෙන් සම්මත වී තිබේ. එය ඊට වසර තුනකට පසු 1990 අංක 15 දරන පුරා විද්‍යා ආඥා පනතේ පූර්වගාමී පනතක් බව කියන පැරණි රජුන් සැඟ වූ වස්තු සොයා යෑම සිහිනෙන් දුටු ඉඩමක ඔප්පු සෙවීමකි. 
ඒ කවර අන පනත් පැවතුණද අදටත් මිල කළ නොහැක පෞරාණික වටිනාකමක් ඇති දේ කඩා බිඳ දමමින් නිදන් සොයන්නෝ කොතෙකුත් සිටිති. ඔවුහු තම ජීවිත පරදුවට තබමින් පෙර රජ දරුවන් සඟවා ඇතැයි නිදන් වලලු වල සඳහන් වස්තුව සොයති. 
අප රටේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් ආරම්භ කොට ඇත්තේ 1880 ජූලි 07 දාය. එදා මෙදා තුර අප රටේ විවිධ පුරා විද්‍යා ස්ථාන දස දහස් ගණනක් පුරා විද්‍යා ගවේෂණයන්ට ලක් කොට තිබේ. ඒ කිසිදු ගවේෂණයකින් තබා කිසිදු ෙඓතිහාසික මූලාශ්‍රයකින් පැරණි රජ දරුවන් තම වස්තුව බහිරවයකුගේ ආධිපත්‍යයට යටත්කොට පර්වත ආශ්‍රිතව තැන්පත් කොට ඇති බවක් තහවුරු කරගෙන නොමැත. 
සෙසු කාරණය වන්නේ එම නිදන් වදුලෙහි දැක්වෙන විස්තරවල සඳහන් කාලය සහ එය ලියූ බව පැවසෙන කාලයත් එහි ඇති අව්‍යක්ත වහරින් ලියැවුණු අද්භූතවාදී සංකල්පත් මුල් කොට ගෙන එවැන්නක් ගැන සිතීම පවා විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය පදනමක් සහිත ඉතිහාසඥයන්ට සහ පුරා විද්‍යාඥයන්ට විහිළුවක් පමණක් බැවිනි. එහෙත් ජනතාවට අද්භූත රසය ලබා දීමේ අරමුණින් මෙවැනි මිථ්‍යා විශ්වාස පදනම් කර ගනිමින් ජනතාවට කරුණු ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන් වෙතින් මෙරට පුරා විද්‍යා උරුමයන්ට සිදුවන හානිය නම් සුළුපටු නොවන බව ඒකාන්ත සත්‍යයකි. 
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් වරට කිවයුත්තේ ‘නිදන් වදුල’ නම් මෑත කාලීනව ලියැවුණු අව්‍යක්ත, ශාස්ත්‍රීය මූලාශ්‍රය පදනම් කර ගනිමින් නිදන් වස්තු සෙවීමට යාම සිහිනයෙන් දුටු ඉඩමක ඔප්පු පරික්ෂා කිරීම පිණිස ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අපගේ ව්‍යවහාර බසින් කිවහොත් ‘ලෑන්ඩ් රෙජිස්ටරියට’ යාමකට දෙවනි නොවන බවය.
හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ 
සභාවේ සමාරම්භක ‍ලේකම් සිරිනිමල් ලක්දුසිංහ විසිනි.
උත්පලා සුභාෂිණි ජයසේකර
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

2 comments:

  1. Love is an ice cream sundae, with all the marvelous coverings. Sex is the cherry on top. Hey, i am looking for an online sexual partner ;) Click on my boobs if you are interested (. )( .)

    ReplyDelete
  2. https://appmakerbackend.appmaker.lk/getApkPath/?userId=5e43c8f4be51097709ac77ae&appId=5ec4ac165d3d0669406c4567&appName=nidhanwadula

    ReplyDelete