Showing posts with label හාස්කම්. Show all posts
Showing posts with label හාස්කම්. Show all posts

Friday, December 23, 2016

සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - katharagama- haskam-tsunami)

කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
මහකැබිලිත්ත
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත  ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි.
වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය.  නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන  ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ  නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක්  එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට  පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු  ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන  මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග  ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස  ඕකන්‍දට ආපසු එනවිට හවස්විය.  ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා  රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි  ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද  ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු  ඕකන්‍දට ආ පළමු අවස්ථාව  පෙන්නුම් කළේය. අදුර  වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත්  ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස  ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට  ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක්  ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය.  ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.
අජිත්ලාල් ශාන්තඋදය- Lankadeepa
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, November 13, 2016

දළදා වහන්සේගේ හාස්කම් හෙළි කළ සියවසකට පෙර කතාව...... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam mahanuwara dalada maligawa peradeniya )

මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය.
ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය.
කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.
ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නියම කෙරිණි.
සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ.
අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය.
සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.
කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.
එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.
ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.
“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞද්ධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.
වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.
එවන් මහ බලැති අප තිලෝගුරු මුනි පියුමෙහි රැදුනු දළදා රන් රේණුව නමදිමු …(Divaina)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, November 3, 2016

ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපූ උමතු මිනිසාගේ කතාව.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - jaya sirima bodhiya anuradhapura ruwanweliseya haskam)

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි. සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය. එහි සිට වන්දනා මාන කටයුතුද කපු මහත්වරුන්‍ගේ දේවාශිර්වාද, විවිධ පූජා කටයුතු සිදුකල හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේදී වන්දනා කරුවන්ට මහ බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලයේ වන්දනාවේ එන අය මහබෝධිය දක්වාම ගොස් වන්දනා මාන කලහ. එය දෙවැනි මලුව ( අද වන්දනා කරන තැන ) දක්වා සීමා ඌයේ 1929 ජූලි 30 වැනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය.
එදා උදේ ජේමිස් අප්පු නැමැති අයෙක් මහා බෝධිය වෙත පැමිණ ඇත. මලුවේ සිට ඇත්තේ ඔහු පමණි. අද මෙන් වන්දනා කරුවන් පිරිසකගෙන් පිරී නොපවතින අවධියකි. ඒ කාලයේදී ඉදහිට එන අයෙකු දෙන්නෙකු මහා බෝධිය අභියසට ගොස් වන්දනා කර යන්නේය. ජේමිස් එදා ආවේ මහ බෝ වදින්නට නොවේ.
වට පිට බලා මහ බෝධිය පගට ගිය ඔහු පොරවක් රැගෙන බෝධියේ අත්තකට වේගයෙන් කොටන්නට විය. බෝධි මලුවේ කිසිවෙක් නැත. ඒ නිසා ජේමිස් පාඩුවේ මහ බෝධියේ අත්තට කොටමින් සිටී.
මහ බෝධිය පැත්තෙන් ගහට කොටන හඩක් ආවාසයේ වැඩ සිටි හාමුදුරුවන්ට හා කැප කරුවාට ඇසී ඇත. මේ දෙන්නා කෑ ගසමින් මහ බෝධිය දෙසට දිව ආහ. නමුත් ඒ වනවිටත් ජේමිස් මහ බෝධියේ විශාල අත්තක් සම්පූර්ණයෙන් කපා දමා තිබුණි. 
මෙය ජේමිස් කලේ ඇයිද යන්නට විවිධ කථා ප්‍රවෘත්ති එවක පලවිණි. සමහරු කීවේ ජේමිස් මෙය උන්මත්තකව කල වැඩක් යනුවෙනි. තවත් අය කීවේ ජේමිස් බීමතින් කරන්නට ඇති බවය. සමහරැ පැවසුවේ අන්‍යාගමිකයන්ගේ පෙළඹවීම මත ඔහු එය කර ඇති බවය. කෙසේ වෙතත් ජේමිස් කල පාඩුව ආපසු හැරවීමට කාටවත්ම නොහැකි විය. එය ඒ නිසා විශාල පාඩුවක් බවටම පත්විය. ජේමිස් විසින් කැපූ අත්ත ආදාහනය කෙ‍රිනි. ඒ සදහා විශාල පිරිසක් සහභාගි විය. අදත් ජය ශ්‍රී මහා බෝධියේ චායාරූපයේ කපන ලද අත්තක කොටසක් ලෙස දැක්වෙන්නේ එදා ජේමිස් බෝධියට කල විනාශයයි. ඒ අනුව මහ බෝධියේ ආරක්ෂාව සදහා එකලම අටමස්ථානාධිපති නාහිමියෝ මුල් වී යකඩින් වැටක් සවි කරවා තිබේ..එම යකඩ වැට සවිකලාට පසු වන්දනා කරුවන්ට  පවා මහ බෝධිය අසලට යාම සීමා කෙරිනි. අදටත් පවතින්නේ ජේමිස් කල අපරාධයෙන් මසු මහ බෝධියේ ආරක්ෂාව උදෙසා ගත් තීරණයේ ප්‍රතිඵලයයි. දැන් යකඩ වැට වෙනුවට විශේෂ රන්වැට පිහිටා ඇත. දැනට අවුරුදු 15- 20 කට පෙර මහා බෝධියේ අලුත් රිකිල්ලක් හටගැණිනි. එය දුර්ලභ ලෙස සිදු වූවකි. මේ වනවිට එම රිකිල්ල ඉතාම හොදින් වැඩී පැවතීම සමස්ථ බෞද්ධ ප්‍රජාවගේම වාසනාවක් ලෙස දැක්විය හැකිය.
ජය ශ්‍රී මහා බෝධිය අපේ රටේ ජනතාව කවර විපතක් වේවා, කවර සැපතක් වේවා, කලින් සිහිපත් කරන උතුම් ස්ථානයකි. ජය ශ්‍රී මහා බෝධිය අසලට ප්‍රතිපත්තියෙන් පේ වී පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ යහපත් කාරණා කී විට එය ඉෂ්ඨ වන බව බොහෝ සැදැහැවත්තු සලකති. මේ පිලිබද නොයෙක් කථා අතරින් දඹදිව ජය ශ්‍රී මහා බෝධි ඉතිහාසයේ එක් කථාවක් උපුටා දක්වමි. සුජාතා සිටු දියණිය දරු සම්පතක් පතා ඇසතු බෝධියට බාරයක් වූවාය. සිද්ධාර්ථ බෝධි සත්වයෝ බෝමැඩ සම්බුද්ධත්වය අධිෂ්ඨාන කල දා සුජාතාව කිරිපිඩු පූජා කලේ දරු සම්පත ලද සතුට මෙන්ම බාරය ඔප්පු සිද්ධ කිරීම වෙනුවෙනි. ඒ අනුව අතීතයේ පටන් ඇසතු බෝධිය නොයෙක් බාර හාර වෙනුවෙන් මහ ජනයා භාවිතා කර ඇති බව පෙනේ.
එය වඩාත් අර්ථ සම්පන්න වූයේ මහ බෝසතාණන් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු ඇසතු බෝධිය සියලු බෞද්ධ ජනතාවගේ පූජා භක්තියට වැඩ වැඩියෙන් පාත්‍ර වූ බැවිනි.
ලක්දිව පිහිටි ජය ශ්‍රී මහා බෝධියද සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථණීය බෝධියක් බවට පත්ව ඇත. කවර සුභ කටයුත්තකටත් පෙර අපේ රටේ ජනයා මහ බෝ වැද ආශිර්වාද ලබා ගනිති. යම් යම් අපල අපද්‍රවයන්, රෝග පීඩා ආදිය ප්‍රශ්න, ගැටලු, දුෂ්කර කාල සමයන් හිදී මහ බෝධිය වෙත පැමිණ පුද පූජා පවත්වා තම තමන්ගේ දුක සැලකොට නිවීම සැනසීම ඉල්ලා සිටිති. පැරණි කාව්‍යයන්හිද මහ බෝ අනුහස මහ ජනයා පැතූ ආකාරයටම පහත පරිදි දැක්විය හැකිය.
මහ බෝධිය බුදුරජාණන් වහන්සේ හා සම‍ාන ජීවමාන වස්තුවකි. රටේ යම් විපතක් දුෂ්කර කාල සීමාවක් පවා මහ බෝධියේ විවිධ පක්ෂණ වලින් විද්‍යාමාන වන බව ජනශ්‍රැත පර්යේෂක මාමිණිය‍ාවේ ඉලංගසිංහ මහතා පවසයි.
රටේ දුගති දායක කාල පරිච්ඡේද වලදී මහ බෝධියේ පත්‍ර අදුරු පැහැ ගන්නා බව කියැවේ. එසේම රටේ යහපත් කාල සීමාවන් හිදී මහ බෝපත්‍ර රන් වන් පාටින් දිදුලන බවද කියැවේ. එය අපූර්ව හාස්කමක් හැටියට සැලකිය හැකිය. සමහරක් මහ බෝ පින්කම් අවස්ථාවල බෝපත්‍ර රන් වන් පාටින් දිදුලීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය. එසේම රටේ විපත්තිකර අවස්ථාවල බෝධිය එය පෙර දැක් වූ ආකාරය මාමිණියාවේ ඉලංග සිංහ මහතා අපිට විස්තර කලේය.
ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ බෝම්බයකට හසුවීමට දින කිහිපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කලේ දිසානායක මහතාට යම් විපතක්  සිදුවීමේ ඉඩකඩ පවතින බවය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහබෝ වදින්නට පැමිණියාය. එදිනද මහ බෝ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සමභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් ආභාධයට ලක්විය.
මේව බොරු නෙවෙයි. මහ බෝධිය රටේ විපත් අවස්ථා පෙන්නුම් කරනවා.  රටේ දේශපාලන අවුල් වියවුල් පවතින අවස්ථාවල බේ පත්‍ර අදුරු පාට වෙනවා. පසුගිය කාලයේත් එහෙම උනා.  මහ බෝධියේ සිදුවන සුලු සුනු වෙනස්කම් ගැඹුරින් නිරීක්ෂණය කලොත්  රටේ උදා වී ඇති තත්වය මෙන්ම ඉදිරියට උදාවන්නේ හොද කාලයක්ද නරක කාලයක්ද කියල තීරණය කරන්න පුලුවන්. ශ්‍රී මහා බෝදිය කියන්නේ මේ රටේ ආරක්ෂක වස්තුවක්. ඉලංගසිංහ මහතා කීවේය.(Mawbima)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, September 2, 2016

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 (katharagama has kam අබිරහස් අඩවිය - Abirahas Adawiya)


‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.
දකුණු ඉන්දියානු සම්භවයකින් පැවත එන දෙවියකු සේ සලකන අතර නැගෙනහිර පළාතේ පානම ගමට දකුණින් පිහිටි ඕකන් ද ප‍්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස කාචරග‍්‍රාම හෙවත් කතරගම වාසභූමිය ලෙස තෝරාගත් බවද ඉතිහාසයේ සදහන්වෙයි. එසේ කතරගම දෙවියන් ගොඩබැස්ස තැන පසුකාලීන්ව ඉදිවූ ඕකන්ද දේවාලය අදත් හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙමින් පවතී.
අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස කතරගම දෙවියන් ප‍්‍රකටය.
බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
කතරගම දෙවියන්ගේ ආයුධය වේලායුදයයි. වේලායුදය යනු ගිනිදලූවක හැඩයෙන් යුත් තලයකින් යුත් හෙල්ලයකි. එය කතරගම දෙවියන්ගේ මෑණියන්වූ පාර්වතී විසින් ඇගේ බලය ලබාදීමක් ලෙස සූරපද්මන් සමග යුද්ධයේ දී භාවිත කිරීමට මෙම වේලායුදය ලබාදුන් බව ජනප‍්‍රවාදයේ කියැවෙයි.
යාල ජාතික වනෝද්‍යානයට යාබදව මැණික් ගඟ අසබඩ රුහුණේ ප‍්‍රධාන නගරයක්වන කතරගම ඉපැරණි රෝහණ රාජධානියේ සිංහල රජවරුන්ගේ වාසභූමිය කකතරගම දෙවියන් වැඩ වෙසෙතැයි දැඩි විශ්වාසයක් පවතී. දහසය වැනි සියවසේ දී සිංහලයන් අතර දේව සංකල්පය මුල්බැස ගැනීමෙන් පසු ලංකාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ අධිපති දෙවියන් ලෙස කතරගම දෙවියන් හැදින්වීම ද පුරුද්දක් කරගත් බවත් ජනප‍්‍රවාදයේ එයි.
කතරගමට වැඩමකළ කතරගම දෙවියන් මුලින්ම වැඩවාසය කර ඇත්තේ ‘‘වැද්දා’’ හිටිය කන්ද හෙවත් වර්තමාන වැඩිහිටි කන්ද ප‍්‍රදේශයේ බව විශ්වාසයක් පවතී. වැදි ජනයා හෙවත් ගිනිකොණදිග ලංකාවේ විසූ ආදිවාසී ජනකොටස්වල ද පුජාවන්ට පාත‍්‍රවු දෙවියෙකි. අදත් ඇතැම් ආදිවාසී ජනකොටස්වල විවාහ චාරිත‍්‍ර උත්සව වාර්ෂිකව පවත්වන්නේ ජූලි සහ අගෝස්තු මාසවලය. කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වන්නේ ද මේ මාසවලය. වැදි ජනතාව ද පුදපූජා සදහා කතරගමට එති.
වර්තමාන පානම් පත්තුවත් කතරගමත් අතරවූ ප‍්‍රදේශය අතීතයේ තැන් තැන්හි ජනාවාසවී තිබු බව කියැවේ. හැලව, වදගම, කුමන, මීයන්ගොඩ එවැනි ජනාවාස භූමි විය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප‍්‍රවාදයේ ද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේ ද වෙසෙන බව සදහන් වේ.
කතරගම දෙවියන්ගේ උපත ගැන මත කිහිපයක් ඇත. ඉන්දියාවේ හෙවත් භාරතයේ දේව කතා අනුව බුද්ධ වර්ෂය ආරම්භයට පෙර කතරගම නුවර සිටි මහාසේන රජතුමා මරණින් පසු කතරගම දෙවියන් වී යැයිද මතයක් පවතී. බුද්ධාගම රැකබලා ගැනීමට ඔහු දේවත්වයට පත්වූ බවද සදහන්වෙයි.
අනෙක් මතය නම් ඉන්දියාවේ සිට පැමිණි යුද දක්‍ෂයකු මරණින් පසු දේවත්වයට පත්වී කතරගම දෙවියන් වු බවයි. සුරාසුර යුද්ධයේ දී පරාජයට පත්වෙමින් සිට සුරයන්ගේ හමුදාවට නායකත්වයක් දීමට කෙනකුගේ අවශ්‍යතාවක් ඇතිවිය. එය සම්පුර්ණ කිරීමට ශිව සහ පාර්වතීගේ සංගමයේ ඇතිවූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාරදී ඇත. අග්නි දෙවියන් එය ගංගා දේවියගේ ගර්භයේ තැන්පත් කර ඇත. එම කලල බීජය කන්‍යාවෝ හය දෙනෙක් පෝෂණය කර තිබේ. එම කන්‍යාවන්ගේ පෝෂණයෙන් බිහිවු මුහුණු හයක දරුවා කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. හින්දුන්ට අනුව කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් වේ.
කතරගම දේවියන්ගේ මුහුණු හය සම්බන්‍ධව පානම් පත්තුවේ ජනතාව අතර ඇති කතා පුවතක් මෙසේය. වසර ගණනාවකට පෙරදී පානම ප‍්‍රදේශයට වඩා ජනතාව වාසය කර ඇත්තේ වත්මන් කුමණ ජාතික වනෝද්‍යානයේ විවිධ තැන්වලය. හැලව, බාගුරා, වදගම, කුමණ ආදිවු ප‍්‍රදේශවලය.
එක්තරා කාලයක මහා නියගයක් සමග වැසියන්ගේ භවභෝග විනාශවී ලෙඩ රෝග පැතිරී දුර්භික්‍ෂයක් බවට පත්ව තිබේ. කැලේ තපස් රකිමින් සිටින සෘෂිවරයකු සිටින බවට වූ ආරංචියක් මත ගමේ වැඩිහිටි පිරිසක් කැලේ ගොස් මේ සෘෂිවරයා හමුවේ පත්ව ඇති විපතින් ගම්දනව් බේරා දෙන ලෙස වශයෙන් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමට කන්දුන් සෘෂිවරයා දුර්භික්‍ෂය පළවා හැර වැසියන්ට යළි යහපත් කාලයක් උදාකර දී තිබේ. පසුව ගම්වැසියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ මේ සෘෂිවරයා මියගොස් තිබේ. 
ගම් වැසියන් එකතුවී ඔහුගේ පිළිරුවක් තනවා ගැනීමට මුර්ති ශිල්පියෙක් ගෙන්වා ඇත. මුර්ති ශිල්පියාට මේ සෘෂිවරයාගේ සිරුරේ ලක්‍ෂණ පුද්ගලයන් හය දෙනකු විසින් පෙන්වා දී දෙනු ලැබ ඇත. එක් අයෙක් කී ලෙසට පිළිමය සකසනවිට අනෙක් තැනැත්තන් ඇවිත් එලෙස නොවේ යැයි වෙනත් විස්තර කියා ඇත.
පසුව මුර්ති ශිල්පියා පවසා ඇත්තේ හය දෙනාම කියන ආකාරයේ දේහ ලක්‍ෂණ ඇතුළත්කර මුහුණු හයක් ඇති මුර්තියක් සකසමුය යන්න බවත් ඒ සැකසූ පළමු පිළිමය ඔස්සේ එය කතරගම දෙවියන් ලෙස නම්කර මුහුණු හය සහ අත් දොළසේ කතාව ආරම්භ වූ බවත් සදහන්වේ. මේවා සියල්ලක්ම පාහේ ජනප‍්‍රවාද නිසා ඒවා අදහස් නිසා අපට බැහැර කිරීමට හැකියවක් නැත.
සුර අසුර යුද්ධය සැලකීමේ දී සුරයන් වූයේ ලාංකිකයන්ය. අසුරයන් යනු ඉන්දියානුවන්ය. අසුරයන් සත්ව ඝාතනය කර යාගහෝම පැවැත්වු පිරිසක් බවත්, ලංකිකයන් නිර්මාංශිකයන් බවත් ජනප‍්‍රවාදය කියයි. නිර්මාංශිකයන් මෙහිදි ජය ලබයි. තරු රජු හා මහසෙන් රජු අතර සටනකින් මහසෙන් රජු මියයයි. සෙන්පති රජවෙයි. එසේ රජවු සෙන්පති කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී.
තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ කතරගම දෙවියන් අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා බවයි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසද බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනපතියකුව සිට පසුව රජ වූ කතරගම මහසෙන් රජු බවටද මතයක් පවතී.
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් කාර්තිමම් ලෙසද කතරගම දෙවියන් සලකනු ලබයි. කාර්තිමාමම් ස්කන්ධ මුරුක්කන් සමග සම්බන්‍ධකම් පවත්වා ඇති බවත් දෙමළ හින්දු ජනතාවගේ විශ්වාසයයි.
නිකාය සංග‍්‍රහය අනුව සතරවරම් දෙවි කෙනකු ලෙස කතරගම දෙවියන් සැලකීමට පටන්ගෙන ඇත්තේ දාහතරවන සියවසේ සිටය. එළාර රජු සමග දුටුගැමුණු රජු යුද්ධයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුවය. යුද්ධය දිනා ගැනීමෙන් පසු ආපසු ආ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය තැන වූ බව විශ්ණුවාදයේ සදහන්වන බවද කියැවෙයි. වැදි ජනතාවගේ ‘‘කන්දේ දේව’’ විශ්වාසය තුළ කතරගම දේවාලය ආරම්භ වූ බවට ද අදහසක් පවතී.
අතීතයේ දකුණු ඉන්දියාවේ ආක‍්‍රමණ හමුවේ උතුරින් පලා ආ රජවරුන්ට රැකවරණ දුන් ප‍්‍රදේශයක් ලෙස කතරගම ප‍්‍රසිද්ධය. කතරගම දෙවියන් නිසා අද කතරගම ප‍්‍රදේශයේ දේව භක්තිය නොඅඩුව පවතී. කතරගම දෙවියන් දුකේ දී මෙන්ම සැපේ දීත් පිහිටවන දෙවිකෙනකු ලෙසත් වැරදි කරන අයට දඩුවම් දෙන දෙවියකු ලෙසත් ප‍්‍රකටය.
පානම් පත්තුවේ ජනතාව පත්තිනි දේව මෑණීයන් සහ අලූත් බණ්ඩාර දෙවියන් ඇදහුවත් කතරගම දේවයන්ගේ පිහිටාරක්‍ෂාව වෙනුවෙන් වාර්ෂිකව පුදපූජා පවත්වති.
විශේෂයෙන් අදටත් පානම ගමේ ‘‘සක්කර පූජාව’’ නමින් බවභෝග වගා ආරම්භ කිරීමට පෙර කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වනු ලබයි. මේ දානය දෙන්නේ ගමේ සෑම කෙනකුගේම ආධාර එකතුකරගෙන හතරමං හන්දියකය. සතා සිවුපාවුන්ගෙන් කුඹුරු හේන් ආරක්‍ෂා කරදෙන ලෙසත්, ගමේ වෙසෙන බාල මහලූ තරුණ සැම දෙනාම ලෙඩ රෝගවලින් ආරක්‍ෂාකර දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලීම මෙම සක්කර පුජාවේ අරමුණ බව පානම වැසියන්ගේ අදහසයි.
වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි.
කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි.
කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය.
එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි.
‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය.
(මතු සම්බන්‍ධයි)
සටහන  - අජිත්ලාල් ශාන්තඋදය
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 21, 2016

මහ කැබිලිත්ත දේවාලයේදී දෙවියන් දුන් තෑග්ග...(කතරගමදී දුටු හාස්කම් katharagama haskam -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


යාල සහ කුමණ මහ කැලෑව ඇති ප‍්‍රදේශ කතරගම දෙවියන්ගේ අඩවියයි. කෝටිපති ව්‍යාපාරිකයන් සහ විවිධාකාරවු දේශපාලනඥයන් සිය බලපුලවන්කාරකම් ඔස්සේ මේ කැලෑවේ අතිනවීන වාහනවලින් විවේක ගත කරන මුවාවෙන් කරක් ගැසීම ගැන මේ කැලෑවත් වන සතුනුත් ආරක්‍ෂා කරන නිළධාරින්ගේ දැඩි කනස්සල්ලට හේතුවක්ව තිබේ.
කතරගම දෙවියන්ගේ අඩවියේ මෙහෙම හැසිරෙන අයට විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු වුණත් මෙසේ කැලෑවට රිංගන සමහරු මත්ද්‍රව්‍ය, මස් මාංශ පරිභෝජනය කරමින් දෙවියන් පවා නොතකමින් හැසිරෙද්දී නිරුපද්‍රිතව පැමිණිමට හැකිවීම ගැන ඇතැම් භක්තිවන්තයෝ ප‍්‍රශ්න කරති.‘‘කකුලූවා වතුර රත් වෙනකම් දියකෙළිනවා වාගේ තමා’’ ඊට පිළිතුරු දුන්නේ මෙවැන්නන්ගේ ක‍්‍රියාවන් නොරුස්සන අයයි. කතරගම දෙවියන්ගේ අඩවියට යාල සහ කුමන ජාතික වනනෝද්‍යානයක් අයත් වෙයි. කුමන කුරුලූ පාරාදීසය පිහිටියේ ද කතරගම දෙවියන්ගේ අඩවියේය. දේව අඩවියට යන අමුත්තන් සියලූ දෙනාම පාරම්පරික වැසියන්ගේ උපදෙස් වලට අවනතව දෙවියන් වෙනුවෙන් කරගෙන ආ පූජාමය කටයුතු අමතක සහ අතපසු නොකර කිරීමට වග බලාගනී.කිසියම් අඩුපාඩුවක් සිදුවු හොත් එය වනාන්තරයේ අතරමංවීමට හෝ වෙනත් උපද්‍රවයකට ගොදුරුවීමට හේතුවක් බවට ඇති විශ්වාසය අදටත් නොවෙනස්ව පවතී. එය ඇමති හෝ ඇමති බිරිද කියා වෙනසක් නැත. වනසතුන් ආරක්‍ෂා කිරීමට සිටින වනජිවී දෙපාර්තමේන්තුවේම නිලධාරින්ගේ පුහුණු වැඩසටහනක වනගත චාරිකාවකදී සිදුවූ අපුරු සිද්ධියක් වනජිවී දෙපාර්තමේන්තුවේ දකුණු කලාපයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතා පැහැදිලි කළේය.
මෙම අත්දැකීමට මුහුණ දී ඇත්තේ 2004 වසරේ සැප්තැම්බර් මාසයේය.
‘‘ අපි ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයේ තිහක හතළිහක පිරිසකට පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. එතකොට ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානය භාරව හිටියේ දැන් වනජිවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බී.එම්. ධර්මතිලක මහතායි. අඩවි සහකාරවරුන්ට පුහුණුව තිබ්බේ. අවසාන පුහුණුවට යාල, උඩවලව සහ කුමන වනෝද්‍යානයන් අධ්‍යයනයට ආවා. අපි කුමනදි මහ කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වදින්න යන්නත් තීරණය කරගෙන ආවේ.  ඕකන්‍දට එනකම් ආවේ බස් එකක.’’
‘‘මේ කාලේ යුද්ධය අවසන් නෑ. කුමන ජාතික වනෝද්‍යානය ඇතුළෙත් විවිධ ත‍්‍රස්ත ක‍්‍රියා සිදු කෙරුණා. එහි ත‍්‍රස්වාදීන්ගේ ලැගුම් පොළවල් තිබු බවට විශ්වාස කළා. සියඹලාණ්ඩුව පහු කරපු අපි පොතුවිලට ආවා. එහිදී පුජාවට බඩු ගනිද්දි නාදුනන කිහිප දෙනෙක් අපි දිහා  ඕනැ කමින් බලන බවක් තේරුණා. සමහර විට ඒ කොටි වෙන්නැති කියලා හිතුනා.  කොටි ත‍්‍රස්තයන් නැගෙනහිර රජකළ නිසා අපි ඉක්මනින්ම ආරුගම්බේ, පානම හරහා  ඕකන්‍දට ආවා. එතන තමා කුමන ජාතික වනෝද්‍යානයට පිවිසෙන දොරටුව තිබුණේ.’’
‘‘අපි මුලින්ම  ඕකන්‍ද දේවාලයට වැදගෙන දේවාශිර්වාද ගත්තා. වනජිවි වාහන වලින් අපි  ඕකන්දෙ ඉදලා කුමන කුරුලූ පාරාදීසය, කුඩා කැබිලිත්ත පහු කරලා කුඹුකන්ඔයෙන් එගොඩවන ඇදකුඹුක අසල ගල්අමුණ හරියේ කදවුරු බැන්දා. මේ වනකොට රට පුරාම වියළි කාලගුණයක් තිබුණේ. ඒ හින්දා කුඹුකන්ඔයේ වතුර ගලා ගෙන යන්නෙ නෑ. අපි ආපු පිරිස වගේ කණ්ඩායමකට නාගන්න තරම් වතුරක් තිබුණේ නෑ. වැල්ලේ අඩි දෙකක වළක් හාරලා තමයි වතුර ගත්තේ.’’
‘‘අපි ටෙන්ට්වල නිදාගෙන හිටයේ. රාත‍්‍රී තුනට විතර ‘‘අලි ආවා. අලි ආවා’’ කියලා කෑගහනවා ඇහුණා. අලියෙක් හෝ දෙන්නෙක් වතුරට බහින සද්දෙත් ඇහුණා. අපිට අඩුපාඩුවක් වුණා කියලා හිතුණා. දෙවියන්ගෙන් සමාව ඉල්ලලා පඩුරක් ගැටගැට ගැහුවා. පහවදා උදේ කුඩා කැබිලිත්ත දේවාලෙට ගිහිං එතන ඒ පඩුර ගැටගහලා මහ කැබිලිත්ත දේවාලය වැදපුදාගෙන නිරුද්‍රිතව එන්න අවසර දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලා හිටියා.’’
‘‘කැලෑවට ඇතුළු වුණාම අපේ වාහන වුණේ ඩිෆෙන්ඩරයක් සහ ට‍්‍රැක්ටරයක් පමණයි. අපිත් එක්ක මහකැබිලිත්තට යන්න නිලධාරින් දෙන්නෙක් අදිමදි කළා. ඒ අය තියලා ගියේ. අපි කදවුරු දාලා හිටිය හරියේ ඉදලා මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලයට කිලෝමීටර් හතළිහක් විතර ඇති. සාමාන්‍යයෙන් සිරිතක් තියනවා මහ කැබිලිත්තට අපිරිසිදුව කෙනෙක් යන්නේ නෑ කියලා. අපේ අයත් පේවෙලා හිටියේ. නමුත් දියනාගන්න වතුර නැතිකම ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. අපි මහ කැබිලිත්ත දේවාලයට ඇති හරිය ළං වෙනකොට මෙන්න කුඹුකන් ඔයේ වතුර ගලනවා. අපිට හිතාගන්න බෑ. අපි සියලූ දෙනාම දියනාලා ගෙගන් එගොඩවෙලා පුජාව තිබ්බා. කොළ අත්තක් කඩලා දෙවියන් සිහිකරගෙන අපි ආපහු එන්න පිටත්වුණා. දෙයියන්ගේ පිහිටෙන් අපිට හවස හතර හමාර වෙනකොට ආපසු අල්අමුනේ කදවුරට එන්න ඉඩ ලැබුණ.’’

‘‘නමුත් අපි කදවුරට එනකොට බොන්න වතුර නෑ. උඩහ නාන්න වතුර තිබුණ කුඹුකන්ඔයේ පහළදී බොන්න තරම්වත් වතුර නෑ කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. නමුත් ඇත්ත ඒක. අන්තිමට අපි ජිප් රථයක් යැව්වා වතුර ගෙන්න පානම ගමට.’’අපේ ඉලක්කය තිබුණේ කුමන හරහා යාලට එන්න. පහුවදා අපි ඇදකුඹුක තොටුපළින් කූඹුකන්ඔය එගොඩවුණා. කලාප අංක දෙකේ කිලෝමීටර් දෙකක් එන්න වුණේ නෑ අපේ ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරයේ ටයර් එකේ හුළං ගියා. ටේලරයේ ගිය අය බැහැලා බඩුටික විතරක් ඒකට දාලා, හුළං ගිය ටයර් එක ගලවලා කොටයක් බැදලා කිලෝමීටර් දෙකක් විතර ආවා. දැන් පයින් ඇවිත් මහන්සියි. තව කිලෝමීටර් විස්සක් විසිපහක් යන්න  ඕනෑ. ඒ ගිය විදියට ගියොත් රෑ බෝ වෙන්න කලින් යන්න   පුලූවන්කමක් තිබුණේ නෑ.’’
‘‘කතරගම දෙවියන් සිහිකරගෙන මේ මහ කැලේ දෙවියන්ගේ පිහිට හැර වෙන කාගේ පිහිටක්ද කියලා හිතුවා. මෙහෙම ඉදිරියට එන අතරෙ අපි ටිකක් විවේක ගන්න නැවතුනා. ඒ වෙලාවෙ අපිට අදහසක් ආවා, අපේ ඩිපෙන්ඩරයේ අමතර රෝදය ට‍්‍රැක්ටරයේ ලීයක් ගැටගහපු රෝදයට හරියයිද කියලා බලන්න. පුදුමයක් ! ඒක හරිගියා. ඒක හයිකරගෙන අපි යාලට ආවා. අපි අතර හිටිය කවුරුන් හෝ කට වරද්දාගැනීම නිසා අපිට එහෙම වෙන්න ඇති. මහකැබිලිත්තට යන්න බැ කියලා දෙන්නෙක් කිව්වානේ. ඒ අය නැතිව ගිය ගමනෙදි අපිට කිසිදු කරදරයක් වුණේ නෑ.’’ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතා පැහැදිලි කළේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ මහකැබිලිත්ත දේවාලයේ හාස්කම් ගැන හෙලිකරනවිට ඇතැම් ධනකුවේරයන් සහ දේශපාලනඥයන්ද ඔවුන් වටා සිටින ඇතැම් අනුගාමිකයන්ද යහමින් මුදල් වියදම්කර මේ පින් බිමට රිංගා කෙළෙසන්නට උත්සාහ කිරිම ගැන දැනගන්නට තිබේ. එකක් කිවයුතුය. අපරාධකාරයන්ට, පල්හොරුන්ට, මංපහරන්නන්ට, දඩයක්කාරයන්ට, මිනීමරුවන්ට, චණ්ඩින්ට, සුදුපිරුවට ඇදගෙන ආත්ම වංචාවෙන් යුතුව අපරාධවලට හවුල්ව ක‍්‍රියාකරන  කිසිම කෙනෙකුට උන් වහන්සේගේ පිහිටාරක්‍ෂාව කිසිසේත් නොලැබේ.කතරගම නගරයට ආසන්නව ජිවත්වූ එවැනි දඩයක්කාරයෙකුට වු ඉරණමක් ගැන කතරගම වැසියෝ අදටත් සිහිපත් කරති. මේ දඩයක්කාරයාගේ ගිනි බටෙන් දේව අඩවියේ සිටි මුවෙක් ගෝනෙක්  බේරුණා නම් ඒ ඉදහිටය.
‘‘මේ අපරාධකාරයන්ට දෙවියොවත් දඩුවම් දෙනේනේ නෑනේ.’’ සමහර එසේ කියද්දිත් මේ දඩයක්කාරයා කිසිදු උපද්‍රවයකින් තොරව දඩයම් කරගෙන ගියේය. කතරගම දෙවියන් වැරදි කරන අයට ටිකක් වැඩිපුර වැරදි කරන්නට ඉඩදීම සිරිතක් බව ජනතා විශ්වාසයයි. ‘කන්දප්පට කෝලං’’ ලෙස එම තත්ත්වය සමාජයේ පැහැදිලි කරයි.
මේ කියන දඩයක්කාරයාට වුණේද එවැන්නකි. බොහෝම උජාරුවට වැඩකරගෙන ආ ඔහු අකාලයේ මිය ගියේය. ඔහුගේ අවමගුල් දවසේ සිදුවු සිදුවීම අවට වැසියන්ට අදටත් අමතක නැත. හොදින් හිරුපායා තිබූ දිනයක් වුවත් පාන්සකූලය දෙන්නට මළසිරුර සහිත පෙට්ටිය එළියට ගන්නවාත් සමගම අවට අදූරුකර මොහොතකින් මහ හුළගක් හමාගෙන ඇවිත් ධාරාණිපාත වැස්සක් හට ගත්තේය. පාන්සකූලය දෙන්නට සකස් කළ තාවකාලික මඩුව හුළගට හසාගෙන ගියේය. මිනීපෙට්ටිය යළි ගෙට ගත්තේය. ආගමික වතාවත් හරිහැටි කරන්නට නොහැකිවිය. හාමුදුරුවරු ආපසු වැඩියහ. ‘‘දෙවියෝ කෝපවෙලා ද කොහේද කියමින්’’ පැමිණි මිනිස්සුද වැඩිහරියක් ආපසු ගියහ. පවුලේ ළගම ඥාතීන් පමණක් ඉතුරුවිය.
වැස්ස තුරල්වේගෙන එද්දී හිරිපොදේම මිනිය මිහිදන් කිරිමට ගෙන ගියේය. එය දැමීමට කැපු වළේ වතුර පිරී ගොසිනි. වතුර ඉවත්කර මිනිය මිහිදන් කෙරිණි. පසුව සොයා බලද්දි ඒ මහ වැසි ඇතිවි තිබුණේ ඉහත අවමගුල තිබු නිවස අවට සුලූ ප‍්‍රදේශයකට පමණි. ‘‘අපරාධකාරයන්ට මේ දේව අඩවියේ සමාවක් නෑ.’’ ඒ සිදුවීමෙන් පස්සෙ හැමෝම කියන්නට වුහ.එමෙන්ම ඉතා යහපත් ගුණගරුක පුද්ගලයන්ට කතරගම දෙවියන් හැමවිටම පිහිටවෙන බවට වැඩි දෙනෙකුගේ විශ්වාසයයි. වරක් මහ කැබිලිත්ත දේවාලය වැදීමට පැමිණ කණ්ඩායමක් අතරමගදි තේ පිළියෙළ කරගැනීමට බලද්දී තේ කොළ ගෙනවිත් නැතිබව අවබෝධ විය. ‘‘කමක්නෑ අපි බිස්කට් කාලා උණුවතුර බොමු.’’ කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා කීවේය. ටික දුරක් යනවිට කැලෑවේදි කිහිප දෙනෙකු හමුවිය. වනජිවි නිලධාරියෙක් මේ ගමනට එක්ව  සිටියේය.
‘‘ඔයගොල්ලෝ කොහ්ද මේ කැලේ? පිරිස විමසන්න වූහ.
‘‘අපි මේ මීපැණි ටිකක්, බෙහෙත් ඖෂධ ටිකක් හොයන්න කියලා ආවා’’ අමුත්තන්ගේ පිළිතුර විය.
‘‘අපිට තේකොළ ගේන්න බැරිවුණා. තේ කොළ ඩිංගක් ගන්න නැද්ද?’’ අමුත්තන්ගෙන් විමසීය. අමුත්තන් තමන්ගේ ගමන් මල්ලක තිබි ග‍්‍රෑම් පන්සියයකට වැඩි ප‍්‍රමාණයකින් යුතු තේකොළ මල්ලකින් ටිකක් මේ පිරිසට දුන්නේය. ‘‘ හරි පුදුමයිනේ ඒ ගොල්ල ළග ගොඩාත් තේ කොළ තිබුණා.’’ පිරිස කතා කරන්නට වූහ.
බොහොම භක්තියෙන් යුතුව මහකැබිලිත්ත දේවාලය වැදීමට ගිය පිරිසකට පුජාවට වෙනම පොල්ගෙඩියක් කපුරු පෙත්තක් ගෙන ඒමට අමතක වී ඇතිබව අවබෝධවිය. පුජාව දෙවියන්ට තබා තමන්ට පොල්ගෙඩියක් සහ කපුරු ගෙන ඒමට අමතක වී ඇතිබැවින් කමාකරන ලෙස කතරගම දෙවියන්ගෙන් එම බැතිමතකු කන්නලව් කළේය. කන්නලව්ව අවසන් කර පිටුපසට එද්දී කපුරු පෙත්තක් තැබු පොල්ගෙඩියක් ගසක දෙබලක රදවා තිබී හමුවී  ඇත. ඔහු එය අතට ගෙන දෙවියන් ඉදිරියේ ගැසීය.මේ සිද්ධින් දෙකද විස්තර කළේ දකුණු කළාපය භාර ලූනුගම්වෙහෙර කලාප කාර්යාලයේ  වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතාය.මේ ලිපි කියවද්දී මිථ්‍යාව පතුරුවන්නට හදන බවට සමහරුන් චෝදනා කළ හැකිය. මේ සිදුවීම් සැබැවටම වු ඒවා නිසා ඒවා පාඨකයන්ට දැනගැනීමට සැලැස්වීම පමණක් අපේ අරමුණය.මේ ලියුම්කරුටද කතරගම දෙවියන්ගේ අඩවියේ මහ කැලෑවේ ගමන් කරද්දී මේ ඇසු කතා කෙතරම් දුරට සත්‍ය ඒවාදැයි  අවබෝධවිය. 
අජිත්ලාල් ශාන්තඋදය
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, August 20, 2016

සොරුන්ට මර බිය ගෙන එන මහ කැබිලිත්තේ දිවුරුම් ගල...(kabilithha katharagama) අබිරහස් අඩවිය - Abirahas Adawiya


කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ.

වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර දේවාල රාජකාරි කටයුතු වලින් ඉවත්වි සිය නිවෙසට පැමිණියේය. ඒ තමන්ගේ වසයද සැලකිල්ලට ගනිමිනි. නමුත් නිවෙසේ සිටන විට ඔහුට නිතරම කතරගම වැඩහිටිකන්දට යළි යන්නට පෙළඹවන සිදුවීම් කිහිපයක් ගැන ඔහු හෙළිදරව් කළේය.

‘‘මම කතරගම දේවාලේ වැඩ කටයුතු වලින් ඈත්වෙලා විවේක සුවයෙන් ඉන්න කියලා හිතාගෙන මීට අවුරුදු ගාණකට පෙර ගමට ආවා. ඒ වුණාට මට රැට නින්දෙන් සර්පයෙක් ඇඟේ කොහේ හරි දෂ්ට කරනවා දැනිලා ඇහැරෙනවා. මම හැමදාම නොවරදවාම කතරගම, සමන්, විශ්ණු කියන දෙවිවරුන්ට පහන් තියනවා. මට මේ තත්ත්වය කිහිප අවස්ථාවකම වුණා. මා හිතුවා ආයෙත් වැඩහිටිකන්දට ගිහිං දේවාලයේ රාජකාරී කරන්න. මම ඒකට ගියා. ඊට පස්සේ මාව නින්දෙන් සර්පයෝ කෑවේ නෑ’’ රණසිංහ කපු මහතා කීවේය.

කතරගම දෙවියන් බෞද්ධ දෙවියකු බවත් ඔහු සෝවාන් ඵලයට පැමිණ දෙවැනි ආත්මය කතරගම දෙවියන් යැයි ජනප‍්‍රවාදයේ එන කරුණකි. එය සනාථ කරන කරුණක් රණසිංහ මහතා ද හෙළි කළේය.
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ කපුමහතා ලෙස කටයුතු කළ හින්දු භක්තිකයෙකුවු වී. සංගමේපිල්ලේ සාමිවරයා 1961 වර්ෂයේදී හින්දු ආගම අතහැර බුද්ධාගම වැළදගත්තේය. කතරගම වැඩහිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු රත්මලානේ සිද්ධාර්ථ හිමියන් හමුවේ බුදුදහම වැළදගත්තේ කතරගම දෙවියන්ගේ ඉල්ලීමකට බව එකල ප‍්‍රසිද්ධව ගිය බව රණසිංහ මහතා කීවේය.

1961 ජනවාරි 14 දින ‘‘දිනමිණ’’පුවත්පතේ ‘‘කතරගම දෙවිදුගේ අණ ඉටුකරන්නයි’’ යන සිරස්තලය යටතේ පළවි තිබුණි. සංගමේපිල්ලේ සාමි බුදුදහම වැළදගනු ලැබුවේ අසුවැනි වියේදීය.

වසර මතක නැති වුණත් වැඩහිටිකන්දේදී දුටු කතරගම දෙවියන්ගේ හාස්කමක් රණසිංහ කපු මහතා මෙසේ හෙළි කළේය.

‘‘වැඩහිටිකන්දේ කතරගම සහ ඊශ්වර කියන දේවාල දෙකේ පඩුරු පෙට්ටි දොළහක් තිබුණා. දේවාලේ වැඩ අවසන්කරලා මමත් නිදන්නට ගියා. රැ දොළහට විතර හාමුදුරුවෝ කතාකරලා කියනවා දේවාල දෙකේ පිං පෙට්ටි හයක් නෑ, දෙවියන්ට කන්නලව් කරලා කියන්න කියලා. මමත් ආයේ පේ වෙලා දේවාලෙට ගිහිං දෙවියන්ට කාරණය සැලකර හිටියා. පැයක්වත් ගියේ නෑ මෙන්න හොරු ඇවිත් කියන්න පටන්ගත්තා, ‘අපිතමයි පිං පෙට්ටි හොරකම් කළේ. අපට පඩි නොදුන් හින්දයි එහෙම කළේ. ආය කවදාවත් එහෙම වරදක් කරන්නේ නෑ කියලා’. පස්සේ බලනකොට වැඩහිටිකන්දේ කුලීවැඩ කරපු කිහිප දෙනෙක් පඩි දෙන්න ප‍්‍රමාදවුණා කියලා පිංපෙට්ටි හය උස්සං ගිහිං.’’
රණසිංහ කපු මහතා තවත් අත්දැකීමක් විස්තර කළේය.
‘‘කතරගම මහ දේවාලයට වගේම වැඩහිටිකන්ද කතරගම දේවාලයටත් විවිධ තරාතිරමේ අය දෙවියන්ට කන්නලව් කරන්න එනවා. ඒ එන අයගේ උවමනාවන් , බලාපොරොත්තු ඉටුකර දෙන්න කියලා අපි දෙවියන්ගෙන් යදිනවා. හැමදාම දේවාලයේ තේවා කටයුතු අවසන් කරන්නේ මම දෙවියන්ට පින්දීලා. සමහර වැදගත් මහත්තරු ආව දවසට මම එහෙම කන්නලව්කරන කොට මට ඇහෙනවා කවුරුහරි කියනවා ‘කරන්න ඕනෑ හැම වැරදි වැඩටික කරලා එනවා මගෙන් පිහිට ගන්න. මම කොහොමද මේ අයට පිහිට වෙන්නේ කියලා’.’’
‘‘මට තවමත් මතකයි 2004 අවුරුද්ද. ඒ අවුරුද්දේ ජනවාරි 21දා වත්මන් ජනාධිපතිතුමා වැඩහිටිකන්දට ආවා. එතකොට එතුමා අගමැති. දේවාලෙට පුජා වට්ටියක් තියලා රටට සාමය ඇතිකරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා. මම යාතිකා කරලා එතුමාගේ අදහස දෙවියන්ට සැලකළා. එදා රාත‍්‍රියේ පුජා කටයුතු අවසන් කරලා මම දෙවියන්ට පින්දීලා රටට සාමය සමාදානය ගෙනෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන කොට මට කවුද කියනවා ඇහුණා ‘මේ සැරේ සාමය නිකම් එන්නේ නෑ. විශාල ගාණක් මැරිලා, රට ලේවැගිරිමක් වෙලා තමා සාමය ලැබෙන්නේ කියලා. එදා 2005 යුද්ධය දිනපු වෙලාවෙ මට හිතුනා එදා මට මේ සිදුවීම කිව්වනේ කියලා.’’ රණසිංහ මහතා කීවේය.
කතරගම මහ දේවාල බිමට එන්නට පෙර ඕකන්දේ සිට කතරගමට එන මාර්ගයේ සහ ඒ අවට කැලෑ ආශ‍්‍රිතව සිදුවු අපූරු සිදුවීම් ගැන කතා කළෙමු. එවැනි හාස්කම් සම්බන්‍ධයෙන් කතාකළහැකි සිදුවීම් බොහෝය. ඇතැම් ස්ථාන සම්බන්‍ධව කතා කිරීමේදී සමහරු එවැනි තැන්වලට යන්නට උත්සාහ කරන බවද පෙනෙන්නට තිබේ. නමුත් කතරගම මහ දේවාලයට පැමිණ දෙවියන්ට පුදපුජා තැබීමට දැන් බැතිමතුන්ට කරදරයකින් තොරව හැකියාව ඇතිබව අවධාරණය කරමි.
කතරගම දෙවියන් ගැන කතා කරද්දී ‘‘කැබිලිත්ත’’ දේවාලය හෙවත් ‘‘මහ කැබිලිත්ත’’නැතහොත් ‘‘උඩහ කැබිලිත්ත’’ දේවාලය ගැන වරින් වර සදහන් කළෙමි. ඕකන්‍ද සිට කතරගම බලා එන පාදයාත‍්‍රා ගමන් මගෙන් හැතැක්ම විස්සක් පමණ රට මැද්දට වන්නට මෙම දේවාලය පිහිටා තිබේ. මෙම ස්ථානයේ කතරගම දෙවියන් වැඩවාසය කරතියි බැතිමතුන්ගේ විශ්වාසයක් පවතී.
සැබැවින්ම මෙතැන දේවාලයක් නැත. මහා සියඹලා රුප්පාවක් සහ කුඩා සියඹලා පැළයක් පිහිටා තිබේ. වටේ පිටේ ඉතා පිරිසිදුකර ඇති අතර කුඩා සියඹලා පැළය ආසන්නව කුඩාවට ලෝහයෙන් කළ පහන්ගෙයක් වැනි ස්ථානයක් තිබේ. කණුවක රතු සහ සුදු රෙදි කැබලි වලින් බැදි පඩුරු ගැටගැසූ ගසක්ද තිබේ. මෙතැන ආවතේව කරන්න කිසිවෙකුත් නැත. අවට අපිරිසිදු නොකරන්නට එන බැතිමත්හු වග බලා ගනිති.

මෙම ස්ථානය ‘‘සියඹලා රුප්පාව’’ ලෙස පැරැණ්නන් හදුන්වති. ආදි ‘‘කුමණ’’ ගමේ වැසියන් මෙහි එන්නේ බොහෝ සේ පේවී බව එම ගමේ විසු දැනට වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී.ගුණපාල මහතා කීවේය.
‘‘මේ මහසියඹලාව වදින්න ගෑනු අය එන්නේ නෑ. පිරිමි අයත් මස්මාළු නොකා සතියක්විතර පේ වෙලා තමයි එන්නේ. දුර ඈත ප‍්‍රදේශවලින් පානම, ඕකන්‍ද හරහා එන අය වාහනවලින් ඇවිත් ගල්අමුණ ඉදලා පයින් එන්නේ. ආපහු යන දවස ගැන ස්ථිරයක් නෑ. අහවල් වෙලාවට ඉස්සර යන්න ඕනැ කියලා කට වරද්දාගන්නේ නෑ. පුජාවට ඕනැකරන අඩුමකුඩුම කර තියාගෙන වන මෘගයන් ඉන්න මහ කැලෑවෙන් එනව. පිරිසුදුවෙලා හොද චේතනාවෙන් ආවොත් කරදර හිරිහැරනෑ.’’‘‘දවසක් එහෙම ආපු කණ්ඩායමකට ලොකු අකරතැබ්බයක්වු බව අපේ ගමේ හිටිය වැඩිහිටියන් කියලා තියනවා. හට්ටි මුට්ටි ඇතුලූ අඩුම කුඩුම කර තියාගෙන පිරිසක් ගල් අමුණේ ඉදලා පයින් ‘‘මහකැබිලිත්ත’’ බලා ගිහිං තියනවා. අතරමගදී මේ අය කුලූහරක් රංචුවකට මැදිවෙලා. ගිය අය ජිවිත බේරාගත්තත් අරගෙනගිය හට්ටිමුට්ටි, ඇතුලූ සියලූ ද්‍රව්‍ය කළුහරක් විනාශකරලා. පස්සේ හොයලා බලන කොට ඒඅය අතරින් එක්කෙන් ඉදලා තියනවා අපිරිසුදුව. ඒ අය දේවාල ගමන නවත්වලා ආපසු ඇවිත් තියනවා.’’

‘‘මහකැබිල්ත්තේ’’ යාතිකා කරන්නට ස්ථිර වශයෙන් නැවතීමට හිතාගෙන ආ තැනැත්තකුට වු අකරතැබ්බක් ගුණසිංහ මහතා හෙළි කළේ මෙසේය.
‘‘මේ සිදුවීම හැට ගණන්වල වුණේ. එතකොට මේවා මහ මුකලන්. මෙතන ‘‘මහසියඹලාව’’ ළග කවුද කෙනෙක් ඇවිත් ගෙයක් එහෙම හදාගෙන දෙවියන්ට යාතිකා කරන්න, පූජා සදහා එන අයට උදව්වෙන්න සූදානම්වෙලා. ටිකදවසක් ඉදලා. එකදවසක් එයා ළග තියන කුඹුකන්ඔයට නාන්න ගිහිං තියනවා. නාලා එන කොට දළ ඇතෙක් ඇවිත් අර හදපු ගේ කඩාදාලා, එක කණුවක් විතර ඉතුරු කරලා. මනුස්සයාට කරදරයක් කරලා නෑ. එදාම මිනිහා මහ සියඹලාවෙන් යන්න ගිහිං.’’
‘‘මෙතන ගෙඟන් එගොඩ මෙගොඩ බෝධින් දෙනමක් වැඩ ඉන්නවා. යන එන අපි බෝධි වන්දනා කරලා පන්සිල් අරන් දෙවියන්ට පින්දෙනවා. යාල කලාප අංක තුනේ මේ සියඹලා රුප්පාව තියෙන්නේ. මෙතන කාලි මැණියෝ වැඩ ඉන්න බවටත් විශ්වාස තියනවා. මේ අසල දිවුරුම්ගල කියලා එකක් තියනවා. ඒ කාලේ වැරදි කරපු අය මේ ගලේ දිව්රන්න බය නැති වුණොත් වරදකරුවෙක් විදියට සලකන්නේ නෑ. වැරදි කරපු අය බොරුවට දිව්රුවොත් දඩුවම් ලැබෙනවා කියලා විශ්වාසයක් තියනවා. ඒනිසා කවුරුත් යමක් හොරකම් කරලා තිබිලා සැකකරන කෙනා ළගට ගිහින් දිවුරුම් ගලට ගිහිං දිවුරන්න කිව්වොත් ඒක නොකර හොරකම් කළ දෙය ආපසු දෙනවා. හොරු දිවුරුම්ගලට ඒතරමට බයයි’’. ගුණසිංහ මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ වනගත ප‍්‍රදේශවල කර ඇතැම් ගොවිතැන් කටයුතු වලදී ‘‘කිලි’’වලට අසුනොවී කටයුතු කිරිමට වගබලා ගැනීම පැරැුණියන්ගේ සිරිතක්ව තිබුණ බව පැහැදිලි වෙයි. වන මෘගයන් වෙසෙන ඝන කැලෑවේ කළ වගා කතරගම දෙවියන් විසින් ආරක්‍ෂා කරදෙන ලද බව ඔවුන්ගේ විශ්වාසයයි.
අතීත ‘‘කුමණ’’ ගම්මානයේ වැසියන් සියවගාබිම් ආරක්‍ෂා කළේ දෙවියන්ට බාර කිරීමෙනි. කුඹුරු අස්වද්දන සමයේ අස්වනු නෙළනතෙක් කාන්තාවක් කුඹුරට නොයන්නීය. ගොවියාද කුඹුරට යන්නේ නම් මස්මාළු ආහාරයට නොගැනීමට වග බලා ගනි. දෙවියන්ගේ පිහිටෙන් වගාවට වනසතුන්ගෙන් හෝ කෘමි සතුන්ගෙන් හානියක් නොවී අස්වැන්න නෙළා ගැනිමට හැකියාවක් ලැබුණු බව පැරැණ්නෝ කියති.
අද ‘‘කුමණ’’ ජාතික වනොද්‍යානයට අයත්ව තිබෙන ප‍්‍රදේශයේ බෞද්ධ නටබුන් රාශියක් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු සේවකයෙක් වන බි. ගුණසිංහ මහතා පෙන්වා දෙයි. ඒ තුළ පිහිටි දිවුලානේගොඩ පන්සල නම් ස්ථානයේ තිබු අඩි හයක් උස හිටිබුදු පිළිම වහන්සේ නමක් නිධන් ගැනීමේ අරමුණින් පොඩිකර වනසා තිබේ. ඒ අපරාධය කළ අය හෝ ඔවුන්ගේ පවුල්වල අය අද ජිවතුන් අතර නැති බවත් කිසියම් ආකාරයක අපරාධයකට ලක්ව පවුල් පිටින් ඒ අය සමුල ඝාතනය වු බවත් ගුණසිංහ මහතා කියයි.
‘‘දෙවියන්ට බුදුන්ට හානි කරලා මේ දේව අඩවියේ ඉන්න හම්බවෙන්නේ නෑ. කොයි වෙලාවකහරි ඒවා මෙලොවදීම පටිසන් දෙනවා.’’ රණසිංහ මහතා කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය. .........

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

කතරගමදී දුටු හාස්කම්...(katharagama haskam)...අබිරහස් අඩවිය - Abirahas Adawiya


මගේ පියා කතරගම දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයකින් හා භක්තියකින් සිටි අයෙකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමියකු වූ ඔහු දැනට ජීවතුන් අතර නැත. නමින් මුනිදාස අභයවික‍්‍රමය. 1950 පමණ සමහර අවුරුදුවල පුර පසළොස්වක පෝය දොළහම කතරගම කිරිවෙහෙර ඉදිරිපිට සිය හිතවතුන් සමග අටසිල් සමාදන් වී දවසම එහි ගත කිරීම ඔහු නොකඩවා කරගෙන ගියේය.
ඒ පිරිස අතර එවකට හිටපු ඇමැතිවරයකු වූ හබරාදූව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.එස්. ගුණසේකර, ගාල්ලේ උසස් අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යක්ෂ පී.පී. ආටිගල, ගාල්ලේ දිස්ත‍්‍රික් උසාවියේ තෝල්ක මුදලි එස්.එස්. සිල්වා, වරල්ලේ යාප්ලන්ඞ් වතුයාය අයිති එම්.ඞී. යාපා, කොළඹ කොල්ලූපිටියේ දෘෂ්ටි පරීක්‍ෂක ඇල්බට් එදිරිසිංහ (පසු කලෙක ගණේගම දේවමිත්ත නමින් පැවිදි විය) යන මහත්වරු ද වූහ. මා දන්නා තරමින් මේ පිරිස අතරින් දැනට ජීවත්ව සිටින්නේ ගණේගම දේවමිත්ත ස්වාමීන් වහන්සේ පමණක් විය හැකිය. උන්වහන්සේත් ඉතා වයෝවෘද්ධ වියේ විය යුතුයි.

මගේ පියාගේ මූලිකත්වයෙන් ගාල්ලේ බෝසත් ආය ර්‍්‍ය ශීල සමාජය නමින් සංවිධානයක් පිහිටුවාගත් මේ පිරිසට ගණේගම සරණංකර, නෙළුවේ ගුණානන්ද, හීනටියන ධම්මාලෝක නා හිමිවරු ද සහයෝගය දුන්හ. එවකට මගේ වයස අවුරුදු දහයක් පමණ විය. මම ද පියා සමග මේ සිල් පිරිසට එකතුවීමි. මට මතක හැටියට කිරිවෙහෙර නායක හිමියන් වූයේ පොලොම්මාරුවේ රේවත ස්වාමීන් වහන්සේය. කතරගම අභිනවාරාමාධිපති වූයේ ආයුපාල නාහිමියෝය. කිරිවෙහෙර ගරා වැටී වල් බිහිවී තිබුණි. බොහෝ වන්දනාකරුවෝ දේවාලයට ගොස් පුද පූජා පවත්වා නැවත ගමන් ආරම්භ කරති. කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යාමක් නොවීය.

දේවාලයේ සිට කිරිවෙහෙරට වූයේ අඩි පාරකි. ඒ දෙපස පොල්පලා කඩ කීපයක් විය. දේවාලයට නුදුරින් කිරිවෙහෙර පැත්තට වෙන්නට නාහිමියන්ගේ ආවාස ගෙය විය.
එය සිංහල උළු සෙවිලි කළ පහසුකම් ඉතා අඩු ආවාසයකි. නළ ජලය හෝ විදුලිය පහසුකම් නොවීය. සිල්ගත් පිරිස රාත‍්‍රිය ගත කෙළේ එහි ආලින්දයේය. රාත‍්‍රී කාලයේ මිදුලේ ඇවිදීමක් නොවූයේ කිරිවෙහෙර අසලට වල් අලින් රංචු පිටින් පැමිණෙන නිසාය. දේවාලය ඉදිරිපිට වූයේ පොල් අතු සෙවිලි කළ කඩ පෙළකි. එවකට තිබූ එකම විශ‍්‍රාම ශාලාව දැනට කෞතුකාගාරය වශයෙන් ඇති රාම ක‍්‍රිෂ්ණ මිෂන් නමින් හැඳින්වූ විශ‍්‍රාම ශාලාවකි.

ගෙඟන් එගොඩවීමට තිබුණේ ලෑලිවලින් සාදන ලද එල්ලෙන පාලමකි. කීප දෙනෙක් වේගයෙන් ගමන් කළොත් එය දෙපැත්තට පැද්දෙන්නේ උංචිල්ලාවක් ලෙසිනි. ගෙඟන් එගොඩ වී දේවාලයට යාමට ප‍්‍රථම හැම දෙනාම හිසේ දෙහි ගා මැණික් ගෙඟන් දිය නා ගෙන සුදු රෙදිවලින් සැරසී යාම සිරිතක් වශයෙන් කෙරිණ.

කිරිවෙහෙර වල් බිහි වී තිබුණත් දේවාලයේ පෙරහර පුද සිරිත් අවුරුදු පතා නොපිරිහෙලා ඉටු කෙරිණි. විදුලි බලය නොතිබුණ නිසා විදුලි බල උත්පාදන යාන්ත‍්‍රයකින් පෙරහර කාලයට විදුලිය සැපයීය. එය ඉතා පුදුම සහගත සිදුවීමකි. ඒ කාලයේ දැන් මෙන් නොව මැණික් ගෙඟ් වතුර මට්ටම පැවතියේ ඉතා ඉහළ මට්ටමකය.
මට මතක හැටියට පානදුර මෝටර් රථ සමාගම අයිතිව සිටි ලියෝ ප‍්‍රනාන්දු මහතා තමාට අයත් ලොරියක විදුලි උත්පාදක යන්ත‍්‍රයක් සවිකර තිබුණි. පෙරහර කාලයට සතියකට පමණ කලින් ලියෝ ප‍්‍රනාන්දු මහතා කතරගම දේවාලයට අවුත් පුද පූජා පවත්වා විදුලි උත්පාදක යන්ත‍්‍රය සහිත ලොරිය ගඟ මැදින් දේවාලය පැත්තට ගැනීම සඳහා ගෙඟ් වතුර මට්ටම අඩු කර දෙන ලෙස කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටි විට දින කීපයකින් වතුර මට්ටම පහත බසී. එවිට ලොරිය දේවාලය අසලට ගඟ මැදින් ගෙන එයි. මෙය අවුරුදු පතා සිදුවූ අප දන්නා හාස්කමකි.
එවකට රාත‍්‍රී 10.00ට දේවාලයේ ගේට්ටුව වැසූවිට කිරිවෙහෙරට යා හැකිවූයේ රාම ක‍්‍රිෂ්ණා මිෂම ළඟින්වූ අඩි පාරකිනි. දැන්නම් මේ පාරවල් විශාල ලෙස තනා වාහන ධාවනය කිරීමේ පහසුකම් ද ඇත. ඒ කාලයේ දිනක් මගේ පියා තනිවම කිරි වෙහෙර වන්දනා කර අවසන් වන විට රෑ බෝ වී තිබේ. පසුව කළුවරේම ඉහත කී අඩිපාර දිගේ රාම ක‍්‍රිෂ්ණ මිෂම පැත්තට එන විට කැලේ අතරමංවී ඇත. වල් අලි ගස් අතු පොඩි කරන ශබ්දය ද ඇසෙන්නට වූයෙන් ලොකු ගසක් ළඟට ගොස් පාර සොයා දෙන ලෙසට කතරගම දෙවියන්ට කන්නලව් කොට තිබේ. ඒ සමගම ලන්තෑරුමක් අතින් ගත් සුදු රෙදි ඇඳගත් අයෙක් පියා ළඟට අවුත් රාත‍්‍රී කාලයේ මෙහි කුමක් කරන්නේදැයි විමසා ඇත.
සිදුවූ දෙය කී පසු මේ පුද්ගලයා තමා පසු පස එන ලෙස පියාට පවසා රාම ක‍්‍රිෂ්ණ මිෂම පෙනෙන තෙක් මානයට අවුත් අතුරුදන් වී තිබේ.තවත් දිනෙක කතරගම දෙවියන් කෙරෙහි එතරම් විශ්වාස නොකළ මගේ ඥාති සහෝදරයකුට කතරගම දෙවියන්ගේ හාස්කම් පෙන්වීමේ අදහසින් ඔහුත් සමග කතරගම ගියා. මම ද ඒ පිරිසට එකතු වීමි. එකල කතරගම යන හැම කෙනකුම ආහාර ගත්තේත් පූජා වට්ටි පිළියෙළ කර ගත්තේත් දේවාලය ඉදිරිපිට වූ කඩවලිනි. නව නගරයේ අද වීරසිරි හෝටලය නමින් හැඳින්වෙන හෝටලය එදා ඉතා කුඩාවට තිබුණේ ද මෙතැනය. එවකට එහි අයිතිකරුවන් වූ වීරකෝන් මහතා හෝ වෙද මහතා දැන් ජීවතුන් අතර නැතුව ඇත. මගේ පියා නිතර කතරගම පැමිණි නිසාත් ඔහු තුළ තිබූ දේව භක්තිය නිසාත් මේ කඩ අයිතිකරුවෝ ඉතා හිතවත් වූහ.
ඒ දිනවල දැඩි නියඟයක් හටගෙන මැණික් ගෙඟ් ජල මට්ටම පහත බැස ගොවිතැන් පාළුවී දැඩි රශ්නයකින් යුක්ත විය. කඩ අයිතිකරුවෝ මගේ පියා සමග නියඟය නිසා ඇතිවූ සිය දුක් ගැනවිලි කියන්නට වූහ. හාස්කම් පෙන්වන්නට ඕනෑ. අද රෑට වැස්ස ලබා දෙන්න, දෙවි හාමුදුරුවන්ට කියමු යනුවෙන් පැවසූ පියා අප සමග කිරිවෙහෙර ළඟට ගොස් බුදුන් වැඳ තෙල් මල් පූජා කොට පිරිත් කියා දේවාලය ඉදිරිපිටට පැමිණුනි. ඉන්පසු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරවා පිරිත් කියමින් දේවාලය වටේ පැය බාගයක් පමණ ගමන් කළෙමු. එක වරම මුළු පළාතම දෙවනත් කරමින් අකුණක් පුපුරා ගියේය. ඒ සමගම ධාරානිපාත වැස්සක් පටන් ගෙන පැය දෙකක් පමණ එය පැවතිනි. මේ සිදුවීම් වීරසිරි හෝටලයේ අයිතිකරුවන් දන්නා නමුත් ඒ අය ජීවතුන් අතර නැතුව ඇති.
මෙයට අඩ සිය වසරකට පෙර තිස්සමහාරාමයේ සිට කතරගම ගියේ බර කරත්තවලිනි. තාර දැමූ පාරක් නොවීය. මග දෙපස දවල් කාලයේ පවා අලි දක්නට ලැබුණි. වන්දනාකරුවෝ කතරගම දෙවියන් කෙරෙහි අසීමිත භක්තියකින් යුක්ත වූහ.
උපාලි අභයවික‍්‍රම

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, August 19, 2016

අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල...(gatabaru maha dewalaya)....අබිරහස් අඩවිය - Abirahas Adawiya


මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.

මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී.

කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වේ.

කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැනක්’ ලෙස ද ප‍්‍රකටය.

දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කරුට දැකගත හැකි වූයේ ගල් ලෙනෙහි සිටින දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමයි.
එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය අපරිමිතය.
80 දශකයේ දී අභාවප‍්‍රාප්ත වූ මාතර දිස්ත‍්‍රික් අමාත්‍ය කීර්ති අබේවික‍්‍රම මහතා ද සුවිශේෂී මෙහෙවරක් මේ පූජා භූමියේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කර තිබේ. ඉන් පසු වර්තමානයේ ගැටබරු රජ මහ විහාරස්ථ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක නිරතව සිටින්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතායි. ඔහු ගැටබරු ඇසළ උත්සව කමිටුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.
මේ පූජා භූමියේ යටිතල පහසුකම් දියුණු කිරීම, පෙරහරේ සාම්ප‍්‍රදායික සිරිත් විරිත් හා අනන්‍යතාව ප‍්‍රවර්ධනය කිරීම හා ගැටබරු පූජෝත්සවය සඳහා රුපියල් දෙකෝටියක ස්ථාවර අරමුදලක් ඇති කිරීම කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ මූලික ඉලක්කය වී තිබේ. ඔහු ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගනිමින් දැනටමත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.
ඓතිහාසික ගැටබරු රජ මහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි මංගල්‍යය අද (15) සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වේ. පළමු පේළි පෙරහර අද (15) සවස 2.00ට හිගුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ.
දෙවැනි පේළි පෙරහර හෙට (16* සවස 2.00 වරල්ල උත්තරගිරි විහාරයෙන් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා ද තෙවැනි පේළි පෙරහර අනිද්දා (17) සවස 2.00 කොස්මෝදර සුබෝධාx රාමයෙන් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා ද වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී හිගුරුපනාගල තේ සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.
දෙවැනි රන්දෝලි මහා පෙරහර ලබන 19 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී ගල්දොල මංසන්ධිය දක්වා ගොස් නැවතත් ගැටබරුව වෙත ගෙවදීමට නියමිතය. අලි ඇතුන් සහිතව උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර මංගල්‍යය අලංකාර වෙයි. එහි බස්නායක නිලමේවරයා ලෙස කිංස්ලි ලියනගේ මහතා කටයුතු කරයි.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චි ආඥාපති ආරක්ෂක මූලස්ථානය ඉදි කළ සම්බුද්ධ චරිතය රැගත් ඇසළ මහා තොරණ ද පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය පුරාවට ප‍්‍රදර්ශනය කෙරේ.මෙවර උත්සවයේ දේව තොවිලය ලබන 20 හා 21 යන දෙදින උඩමළුවේදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දින අලූයම ගිනි පෑගීමට ද නියමිතය. එදින දහවල් පැවැත්වෙන මහා දේව දානයෙන් අනතුරුව මෙවර ගැටබරු ඇසළ මහා මංගල්‍යය නිමාවට පත්වේ.
විශේෂයෙන්ම බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මොරවක් කෝරළයට පැමිණීමට නියමිතව ඇත.
ගැටබරු කන්දේ පඩි එකින් එක උඩට නැග යාම තරමක් දුෂ්කර බව බැලූ බැල්මට පෙනෙන්නට විය. මම ඒ පිළිබඳව ඒ අසල සිටි ගම්වාසියකුගෙන් විමසුවෙමි. එවිට ඔහු කීවේ ‘‘මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. ඔබතුමා බය නැතිව උඩට යන්න. කකුල් දෙක රිදෙන්නේ නැහැ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තියෙන් උඩට යන්න පුළුවන්’’ කියාය.
ඒ අනුව මා දේව භක්තිය මුල් කරගෙන මිතුරකු සමඟ ගැටබරු කන්ද උඩට නගිමින් සිටියේය. මා සමඟ ගිය මිතුරා අවට කැළෑවේ වෙන දේවල්, නිධන් වස්තු ගැන කට මැත දොඩවමින් කියන විට සංඝාවාසය වැඩ හිඳිනා මාලිගය, රජ්ජුරු බණ්ඩාර දේවාලය, විෂ්ණු කතරගම දේවාල හා චෛත්‍ය වැඳ පුදාගෙන අප නැවතත් පහළට බැස්සේය.
ගැටබරු දේවාල භූමියේ පඩිපෙළේ පහළටම එන විට මා සමඟ කට මැත දොඩවමින් ගිය මිතුරාගේ කකුල පෙරළී ආබාධිත තත්ත්වයට පත් විය. අවසානයේ ඔහුගේ උරහිසින් අල්ලා නිවස වෙත එක්කරගෙන යාමට සිදු විය. එම අවස්ථාවේදී මෙම දේව අඩවියේ බලය කොපමණ දැයි මනාව පැහැදිලි විය.
ඉන් පසු දින වන විට මාගේ කකුල් දෙක ද රිදෙන්න ඉඩ ඇතැයි සිතුවත් එය එසේ නොවීය. සුළු හෝ රිදීමක් ඇති නොවීය. එහෙත් වෙනත් කන්දක් උස් ස්ථානයකට ඒ ආකාරයට ගියේ නම් පහුවදා වන විට කකුල් දෙකට යම් වේදනාවක් ඇති වේ. එහිදී කිසිදු වේදනාවක් ඇති නොවීමෙන්ද පෙනී ගියේ ගැටබරු දෙවියන්ගේ භක්තිය කොපමණ ද කියාය.
ඒ ආකාරයට මුළු මහත් මොරවක් කෝරළය පුරා බලය තේජස විහිදුවන ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තිය මෙපමණයි කියා විස්තර කළ නොහැකිය. ඒ තරමටම දෙවියන් බලගතුය. හොඳට හිටියොත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් ආශිර්වාද කරන අතර නරකට හිටියොත් දඬුවමක් මිස සමාවක් ලබා නොදෙයි. ඒ ගැටබරු දෙවියන් යුක්තිය ඉටු කරන අයුරු ය.
(විශේෂ ස්තූතිය - ගැටබරු ඇසළ උත්සව සංවිධායක කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ මහතාට.) සටහන මාතර ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya