Monday, August 22, 2016

සංජානනය යනු කුමක්ද...? මනෝවිද්‍යා මූලධර්ම (Psychology manovidyawa -අබිරහස් අඩවිය - Abirahas Adawiya)


ම‍නෝවිද්‍යාව තුළ වැඩි ප්‍රමුඛතාවක් හිමි වන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයක් වශයෙන "සංඡානනය" ‍හෙවත් "සංවේදනය" හඳුනා ගත හැකි ය. අප‍ගේ පඤ්චේන්ද්‍රියයන් මඟින් මනසට දැනුම ලබා ගැනීම සංඡානයේ දී සිදු ‍කෙරේ. තවත් ‍ලෙසකින් කිව‍තොත්, බාහිර ‍ලෝක‍යේ ක්‍රියාකාරීත්වයන් හා තත්ත්වයන් පිළිබඳ විවිධ අරමුණු ‍මොළය මඟින් ග්‍රහණය කර ගැනීම සංඡානනය යි. පෙරදිග ම‍නෝවිද්‍යාව තුළ සංඡානනය යන්න වඩාත් ගැඹුරින් හා සුවිශේෂී අන්දමින් විස්තර ‍කෙ‍රේ.
භාරතීය ආත්මවාදය තුළ මෙන් ම ‍අනාත්මවාදය තුළ ද සංඡානනය මැනැවින් විස්තර කොට ඇත. වෛදික උපනිෂද් චින්තනයන් තුළ සංජානන ක්‍රියාවලිය පැහැදිලි කොට ඇත්තේ "ආත්ම" සංකල්පය උපයෝගී කෙට ගනිමිනි. මේ "ආත්ම" සංකල්පයට අනුව මනුෂ්‍යයාගේ ඇස තුළින් දැකීමේ ක්‍රියාවලිය සත්‍ය වශයෙන් ම කරනුයේ ඔහුගේ "ආත්මය" යි. එහෙත්, ආත්මවාදය ප්‍රතික්ෂේප ‍කොට අනාත්මවාදී ධර්මතාවක් ප්‍රකට කරනු ලබන බුදු සමය සංජානන ක්‍රියාවලිය විස්තර කරනුයේ ඇස ප්‍රත්‍යක්ෂ කොට රූපයක් පවත්නා කල්හි ඇස පදනම් කොටගත් දැකීම හටගනී ආදී වශයෙනි. (චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං) මෙහි දී බුදුදහම ආත්මය නමැති ක්‍රියාකාරිකයා බැහැර කොට "ක්‍රියාවලියක්" පිළිබඳ පැහැදිලි කරයි.
ඒ සඳහා පසුබිම් වූ සිද්ධාන්තය ප්‍රතීත්‍යසමුත්පාදය යි. මේ ක්‍රියාවලිය ම තවත් ලෙසකින් කිවතොත් ඇසක් හා රූපයක් නො මැති විටෙක "චක්ඛු විඤ්ඤාණයක්" පහළ නො වේ. එනම්, දැකීමේ ක්‍රියාවලියෙන් පරිබාහිර වූ දකින්නෙක් නැත. ආත්ම සංකල්පයට අනුව දැකීමේ ක්‍රියාවලිය දකින්නෙක් සිටී. ඒ ආත්මය යි. එහෙත්, බුදු දහමෙහි ඉගැන්වෙන මේ සංඡානන ක්‍රියාවලිය හේතු ප්‍රත්‍යය සමවායෙන් සිදු වේ. එබැවින් එය නිස්පුද්ගල අකර්තෘක ක්‍රියාදාමයකි.‍ කෙසේ වෙතත්, ‍මෙහි දී අප‍ගේ අවධානය යොමු වනු‍යේ භාරතීය ම‍නෝවිද්‍යාවට අනුව සංඡානනය විස්තර කිරීමට ‍නො ව, බටහිර ම‍නෝවිද්‍යාවට අනුව සංඡානනය යනු කවරක් දැ යි සංක්ෂේප‍යෙන් හඳුනා ගැනීමට යි. මෙහි දී බාහිර ලෝකය හා පඤ්චේන්ද්‍රීයයන් අතර පවතින සම්බන්ධය පිළිබඳ ව විමසා බලනු ලැබේ.
සංඡානනය අපගේ චර්යාව ‍කෙරෙහි මූලික වශ‍යෙන් බලපාන සාධකයකි. ජීවියා හැසි‍රෙන්‍‍නේ බාහිර ‍ලෝකයෙන් සං‍වේදනය වන උත්‍‍තේජකයන්ට අනුව යි. එම නිසා සංඡානනය පිළිබඳ හැදැරීම හා ඒ පිළිබඳ අව‍බෝධයක් ලබා තිබීම ඉතා වැදගත් ය.
අප‍ගේ නෙත ගැ‍ටෙන යමක් අප‍ගේ මන‍සට අරමුණු වීම ‍‍නොහොත් ම‍න‍සෙහි තැන්පත් වීම යනු අසාමාන්‍ය ‍දෙයක් ‍නො ‍වේ. එ‍සේ මන‍සෙහි තැන්පත් වන්‍‍නේ එකී වස්තු‍වෙහි ඇති සුවි‍ශේෂත්වය හා අප ඒ ‍කෙරෙහි දක්වන අවධානය මත ය. ඒ අනුව මතක ශක්තිය ‍ගොඩ නැ‍ගේ. ‍මේ නිසා සංඡානනය විමසීමට ලක්කරනවා යනු අවධානය නාභිගත කරන්නේ ‍කෙ‍සේ ද යන්න විග්‍රහ කර බැලීම යි. අවධානයට ලක්වන වස්තු‍ව උත්තේජකයන් වශ‍යෙන් සලකන කල අවධානයට ලක්විමට තරම් එහි ඇති සුවිශේෂත්වය උත්තේජක සංවිධානය ‍‍ලෙස හඳුනා ගනු ලැබේ. ‍මේ අනුව සංඡානනය සහ අවධානය අතර ප්‍රබල සම්බන්ධයක් පවතින බව පැහැදිලි‍ වෙයි. එකී සම්බන්ධය ‍ගොඩ නැඟීම සඳහා බලපාන ප්‍රධාන සාධක ‍දෙකක් මූලික වශ‍යෙන් හඳුනා ගත හැකි ය. එනම්,
1. උපාන්තය
2. නාභිය
වශ‍යෙනි. සංඡානනය සඳහා ‍‍ගෝචර වන සමස්ත පසුබිම උපාන්තය වශ‍යෙන් හඳුනා ගැනේ. නාභිය යනු අවධානය ‍කේන්ද්‍රගත කිරීම සඳහා විෂය වන මධ්ය  ලක්ෂයයි. ‍රගර් ක්‍රීඩාවේ දී නාභිය වන්‍‍නේ ‍බෝලය යි. ‍මෙම උපාන්තය සහ නාභිය අතර විවිධ අවස්ථාවන් අපි සංඡානනය කරමු. එ‍හෙත්, සමහර අවස්ථාවල දී අවධාන‍යෙහි නාභිය වෙනස් වන බව හඳුනා ගත හැකියි. මෙය වැඩිදුරටත් විග්‍රහ කර ගැනීම සඳහා උදාහරණයක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ‍ගෙන බලමු. නරඹන්නාට දර්ශනය වන සමස්ත ක්‍රීඩා පිටිය උපාන්තය යි. එ‍හෙත්, විටින් විට පන්දුවටත්, පන්දුවට පහර දෙන්නාටත්, පන්දු රකින්නාටත් වශ‍යෙන් නාභිය ‍වෙනස් ‍වේ. ඒ අනුව නාභිය යනු ‍කේන්ද්‍රීය අවධානය වෙනස් වී‍මේ මූලධර්මය වශ‍යෙන් හඳුනා ගත හැකි ය. මෙසේ නාභිගත අවධානය ‍වෙනස් වීම හඳුන්වන්නේ "ගතික සංඡානනය" ‍ලෙස යි. නාභිය ‍වෙනස් වීමට ගතවන කාලය සහ යම් කිසි කාල සීමාවක් තුළ සංඡානනය වන වාර ගණන අනුව අවධානය ගොඩනැඟීම "කාල සංඡානනය" ‍ලෙස හඳුන්වයි.
මෙ‍සේ ‍කේන්ද්‍රීය නාභිගත අවධානය වෙනස් වීම සඳහා බලපාන ප්‍රධාන මූලධර්ම ‍දෙකක් හඳුනා ගත හැකි ය. ඒ...
1. බාහිර මූලධර්ම
2. අභ්‍යන්තර මූලධර්ම වශ‍යෙනි.
සංඡානන‍යේ දී නාභිගත අවධානය තීරණය කරනු ලබන බාහිර මූලධර්ම කීපයක් ම හඳුනා ගත හැකි ය.
විශාලත්වය:
උපාන්තය ‍හෙවත් සංඡානනය කරනු ලබන පරිසරය තුළ පිහිටි විශාලත්ව‍යෙන් යුත් උත්‍‍තේජක පහසු‍වෙන් අවධානයට ලක්‍‍වේ. පුවත්පතක් කියැවී‍මේ දී කුඩා අක්ෂරවලට වඩා පහසු‍වෙන් හා ආයාසයකින් තොර ව ‍ලොකු අකුරින් මුද්‍රිත ශීර්ෂපාඨ වඩාත් ඉක්මනින් අවධානයට ලක් ‍වේ.
තීව්‍රතාව:
ශබ්ද‍යේ සහ ආ‍ලෝක‍යේ පවතින ප්‍රබල උත්‍‍තේජකයන් තීව්‍රතාවට අයත් ‍වේ. රාත්‍රී ආකාශය තුළ කහ පැහැති තාරකාවන්ට වඩා නිල් පැහැති දීප්තිමත් තාරකා‍වෝ ඍජු අවධානයට ‍යොමු වේ. ‍මේ නිසා අධික තීව්‍රතා‍වෙන් යුතු උත්තේජනයන් කෙටි කලක් තුළ සංඡානනය වන බව පැහැදිලි ය.
ප්‍රභේදනය:
බහුල ව දක්නට ලැබෙන සාමාන්‍ය උත්‍‍තේජකයන් අතර සුවිශේෂී උත්‍‍තේජකයක් ඉදිරිපත් වී‍මෙන් ඍජු අවධානය වඩාත් ඉක්මනින් ඒ කෙරෙහි ‍යොමු වීම ප්‍රභේදනය ‍ලෙස හැඳින්‍‍වේ. සාමාන්‍ය අන්දමින් සැරසුණු ස්ත්‍රීන් සමූහයක් අතරට විශේෂ ඇඳුම් හා ආභරණ පැළැඳි අතිශය රූවත් ස්ත්‍රියකගේ පැමිණීම පුරුෂයින්ගේ ඉක්මන් අවධානයට යොමු වේ. සුදු ඇඳුම් හැඳගත් පිරිසක් අතරට එකවර රතු ඇඳුමක් හැඳගත් අයෙකු‍ගේ සම්ප්‍රාප්තියත් සමඟ අවධානය ඒ වෙත‍ ‍යොමු ‍වේ.
පුනරාවර්තනය:
කිසියම් උත්‍‍තේජකයක් නැවත නැවත ඉදිරිපත් කිරීම පුනරාවර්තන යි. ‍පොතක් කියැවී‍මේ දී නුහුරු නුපුරුදු හෝ නිරන්තර භාවිතයට ‍නො ගැනෙන සුවිශේෂී වචනයක් පිටු කිහිපයක් පුරාවට නැවත නැවත ‍යෙ‍දෙන විට ඒ ‍කෙ‍රෙහි ‍වැඩි අවධානයක් ‍යොමු වේ. ඒ වචනය හමු වූ පළමු අවස්ථාවේ දී නුහුරු හෙයින් එතරම් සැලකිල්ලට භාජනය නො වූවත්, යළි යළිත් හමුවීමෙන් ඒ වෙත අවධානය යොමු වී‍මෙන් වචනය හුරු ‍වේ. රූපවාහිනිය නරඹන විට දී වුවත් කිසියම් දැන්වීමක් වරින් වර ප්‍රදර්ශනය ‍කෙ‍රේ නම් එය වැඩි ‍අවධානයට ලක් වේ. එ‍හෙත්, මෙහි දී සලකා බැලිය යුතු සුවි‍ශේෂී කරුණක් ඇත. එනම්, උත්තේජකය ‍හෙවත් දැන්වීම ඉදිරිපත් ‍කෙ‍රෙන වාර ගණන අතර ඇති කාල පරාසය යි. ‍හෝරාවක් තුළ මිනිත්තු ප‍හෙන් පහට පමණ ‍දොළොස් වාරයක් දැන්වීම ප්‍රදර්ශනය කළහොත් එය ප්‍රේක්ෂකයා‍ගේ සංඡානනය තුළ නීරස ‍එකක් බවට පත්වනු ඇත. එහෙත්, පැයක් තුළ උපරිමය අවස්ථා තුනකට පමණ උත්‍‍තේජකය ‍යොදන සීමාව පාලනය කළ හැකි නම් එය වඩාත් ප්‍රතිඵල සහිත ය. මුලින් සඳහන් කරන ලද පරිදි නාභිය ‍වෙනස් වීමට ගතවන කාලය හා යම් කිසි කාලයක් තුළ සංඡානනය වන වාර ගණන පිළිබඳ සම්බන්ධය කියැ‍වෙන කාල සංඡානන නියමය ‍මෙහිලා බලපායි.
චලනය:
නිශ්චල උත්තේකයන් අතර චලනය වන උත්‍‍තේජකයක් වැඩි අවධානයට ‍යොමු ‍වේ. රෑ අහ‍සේ තාරකා නිවි නිවී දැල්‍‍වෙන තාරකා අතර ගමන් කරන වල්ගා තරුවක ඇතිවන චලනය නරඹන්නා‍ට වඩාත් ‍හොඳින් සංඡානනය‍ ‍වේ. සංගීත ප්‍රසංගයක දී එකතැන හිඳිමින් ගායනා කරන ගායකයාට වඩා ‍වේදිකාව පුරා දුව පැන නටමින් ගායන විලාසය දක්වන ගායකයා ‍වැඩි ‍ප්‍රේක්ෂක අවධානයට ‍යොමු ‍වේ. යම් ගායනයක් අතරතුර අලංකාර ‍ලෙස සැරසුණු සුරූපී යුවතියන් විසින් ඉදිරිපත් කරනු ලබන නර්තන‍යේ දී ගායකයා පිළිබඳ ‍නො ව අවධානය ‍යොමු වන්‍‍නේ ඒ නර්තන ශිල්පිනියන් වෙතට යි. 
මේ ආදී වශ‍යෙන් අප‍ගේ නාභිගත අවධානය ‍වෙනස් කෙ‍රෙන බාහිර මූලධර්ම හඳුනා ගත හැකි ය. බාහිර මූලධර්ම ‍සේ ම අභ්‍යන්තර මූලධර්ම‍යෝ ද ඒ සඳහා බලපානු ලැ‍බේ. මානුෂ සන්තානය තුළ ආසක්ත ව පවත්නා කැමැත්ත  - අකමැත්ත, රුචි - අරුචිකම් ආදී අභ්‍යන්තර සාධක‍යෝ සංඡානන ක්‍රියාවලිය තුළ නාභිගත අවධානය වෙනස් කිරීම සඳහා බලපාන අන්දම ‍මෙහි දී විමසා බැ‍ලේ.
ප්‍රේරණ:
අභ්‍යන්තර සාධක අතර ප්‍රබල සාධකයක් වනුයේ ප්‍රේරණය යි. අපගේ මූලික ‍ප්‍රේරණයන් හා සම්බන්ධ උත්‍‍තේජක පහසු‍වෙන් අවධානයට ලක්වේ. මෙහි දී උදාහරණයක් වශයෙන් ලිංගික ‍ප්‍රේරණ හඳුන්වා දිය හැකි ය. ලිංගිකත්වය පිළිබඳ යටිසිතේ පවතින කුතුහලය උද්දීපනය කිරීම නාභිගත අවධානය ‍වෙනස් කිරීමේ දි ප්‍රබල ‍යෙදැවුමක් ‍ලෙස හඳුනා ගත හැකි ය. ‍මෝගන් සහ කිං යන ම‍නෝවිද්‍යාඥයින් ‍පෙන්වා ‍දෙන අන්දමට පාසැල් ළමුන් ලිංගික කරුණු පිළිබඳ කථා කරන ඕනෑම මො‍හොතක අන් සියලු දෑ පිළිබඳ ඇති අවධානය ඒ කෙ‍රෙහි යොමු කරවනු ලබයි. ‍වෙළඳ දැන්වීම්ක දි පවා ලිංගික හැඟීම් උද්දීපනය ‍කෙ‍රෙන ආකාර‍යේ රූපරාමු ‍ඇතුළත් කිරීම තුළින් ‍වෙනතක තිබෙන අවධානය පවා වහා ඒ ‍වෙත ‍යොමු කරවා ගත හැකි ය. ඇතැම්විට හරයකින් හා කලාත්මක බවින් තොර චිත්‍රපටයක පවා ලිංගික දර්ශන ඇතුළත් කොට "අතිශයින් වැඩිහිටියන්ට පමණ යි" ආදී වශ‍යෙන් යොදන ලද දැන්වීම් ඔස්සේ ඒ කෙරෙහි වැඩි ප්‍රේක්ෂක අවධානයක් ‍යොමු කරවා ගැනීම ‍බො‍හෝ විට දක්නට ලැ‍බේ. කුස පුරවා ගත් පුද්ගල‍යෙකුට වඩා කුසගින්‍‍නේ සිටින පුද්ගල‍යෙකුට සුළු ආහාරයක් වුව වඩාත් අවධානයට ලක්විය හැක.
අපේක්ෂාව:
සංඡානන‍යේ දී නාභිගත අවධානය ‍වෙනස් කිරීම ‍කෙරෙහි බලපාන තවත් අභ්‍යන්තර සාධකයක් වනුයේ අ‍පේක්ෂාව යි. උදාහරණයක් වශයෙන් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ සිටිය දී වුව ‍වෛද්‍යවර‍යෙකුට හදිසි‍යේ නාදවන දුරකථනය අවධානයට ‍ලක්‍‍වෙයි. සිය වෘත්තීමය අ‍පේක්ෂාව ‍මෙහි දී බලපැවැත්‍‍වේ. එ‍හෙත්, ඔහු‍ගේ බිරිඳට එය නෑසී යා හැක්කේ ඈට එවැනි අ‍පේක්ෂාවක් ‍නො මැති ‍හෙයිනි. එ‍හෙත්, හදිසි‍දයේ ම සිය බිළිඳු දරුවා හඬන ශබ්දය කෙරෙහි ඇ‍ගේ ඉක්මන් අවධානය නිරාසාස‍යෙන් ම ‍යොමු ‍වෙයි. දරුවා ‍කෙ‍රෙහි ඈ තුළ පවතින අ‍පේක්ෂාවන් හා මාතෘභාව‍ ප්‍රේරණය එහි දී බලපායි.
ඉහත සාධක ද්විත්වය ම වර්තමාන ‍වෙළඳ දැන්වීම් කලාව තුළ මහත් ඉහළින් යොදා ගන්නා ආකාරය දැකිය හැකි යි. මෑතක දී ප්‍රදර්ශනය ‍කෙ‍රුණු එක්තරා දුම්වැටි වි‍ශේෂයක් පිළිබඳ ‍වෙළඳ දැන්වීමක් නිර්මාණය කොට තිබු‍ණේ ‍මෙසේ ය. රැකියාවක් බලා‍පො‍රොත්තු‍වෙන් සිටින තරුණ‍යෙකු ‍වෙයි. ඔහු‍ගේ එක් පසෙකින් අධික වටිනාකමින් යුත් අධිසුඛෝප‍භෝගී ‍මෝටර් රියකි. අ‍නෙක් පසින් අතිශය රූවත් සරාගී යුවතියකි. ඒ දෙක ම තමන් සතු කර ගැනීමට තරම් වත්කමක් තරුණයාට නැත. එ‍හෙයින් ඔහු අදාළ ‍වෙළඳ දැන්වීම ඔස්සේ ප්‍රචාරය ලබා ‍දෙනු ලබන දුම්වැටියක් ඒ යුවතිය හා මෝටර් රියට මැදි වී මහත් උජා‍රුවෙන් උරා ‍බොයි. එය දකින මග ‍දෙපස යන එන්නන් සිතනු‍යේ ඒ සරාගී යුවතියත්, අධි සු‍ඛෝපභෝගී‍ ‍මෝටර් රියත් හිමි ඒ තරුණයා ආර්ථික ප්‍රශ්න කිසිත් නැති ධනව‍තෙකු කියා ය. ‍මෙහි දී අ‍පේක්ෂාව සහ ‍‍ප්‍රේරණය යන අභ්‍යන්තර සාධක ද්විත්වය ම සාර්ථක ව භාවිත ‍කොට ති‍බෙනු දැකිය හැකි ය.
ලියන්නේ: පංචන ජයසිංහ
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


2 comments:

  1. උත්තේජක සංවිධානය ගැනද ඇතුලත් වූවා නම් මනාය...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete