Showing posts with label හෙල පුරාණය. Show all posts
Showing posts with label හෙල පුරාණය. Show all posts

Saturday, November 25, 2017

සෙංකඩගල පැරැණි බෝගම්බර වැව වැනසුණේ කොහොමද? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

දැනට අවුරුදු 125 පමණ පෙර මුළුමනින් ම විනාශව ගිය ඓතිහාසික පැරැණි බෝගම්බර වැව ගැන කෙටි සටහනක්‌ මෙහි එයි. පැරැණි බෝගම්බර වැව ජනප්‍රවාද අනුව ඇරඹුයේ පළමු විමලධර්මසූරිය රජුය. (ක්‍රි. ව. 1592 - 1604) ඒ බව පැරැණි මූලාශ්‍රවල නැත. ඓතිහාසිකව බැලූ විට මේ වැව කළේ දෙවැනි රාජසිංහ (ක්‍රි. ව. 1636 - 1687) බව පෙනෙයි. සෙංකඩගල මුල්කල ලියවුණු මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්‍යය දෙවැනි රාජසිංහ රජු වැව් 32 ක්‌ කළ බව කියයි. පැරැණි බෝගම්බර වැව මේ රජු කළ වැව් තිස්‌ දෙකෙන් එකක්‌ විය යුතුයි. අද මහනුවර බස්‌ නැවතුම්පළ, ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්‍රීඩාපිටිය, මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්‌ථානය, මහනුවර පොලිස්‌ ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල පුරා පැතිර ගිය විශාල බිමක එදා පැරැණි බෝගම්බර වැව විය.
පළමු විමලධර්මසූරිය
දුනුමඬලාd ඔය හරස්‌ කර බැඳ තිබූ මේ වැවට දුනුමඬලා ඔයේ ජලය දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ ජලය ද ලැබුණි. (දැනට ඇති බෝගම්බර වැව 1810 - 1812 අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූවකි. (දැනට මහනුවර නගරයේ ජල බැස්‌ම මේ පැරැණි වැව වූ දෙසටයි. වර්ෂාව වේලාවක මහනුවර දුම්රියපළේ පැය භාගයක්‌ සිටියොත් අඩි දෙකකට වඩා උසට වතුර එකතු වෙයි. මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව යාව නව ගොඩනැඟිලි සැදීමේදී අඩි පහක්‌ පමණ යට සෑරීමේදී පුවක්‌ ගසක්‌ තරම වතුර ගොබ නොනවත්වා මතු විය. ගණදෙවි කෝවිල පිටුපස
ද මෙවැනි විශාල අල්පත් මතුවෙයි. මේ සියල්ල පැරැණි වැවේ උල්පත්ය. එදා පැරැණි වැවේ එක්‌ මායිමක්‌ වූයේ කැප්පෙටිපොල විශ්‍රාම සාලව අසලය. කැප්පෙටිපොළ හිස ගසා දැමූවේ එහිය. කැප්පෙටිපොල නිලමේ හිස ගසා දැමූ තැන අද කැප්පෙටිපොල බෝධිය හා කැප්පෙටිපොල විශ්‍රාම ශාලාව ඇත. කැප්පෙටිපොළ පැරැණි බෝධිය අද ඇත්තේ ඉන් මතු වූ ශාඛාවකි. දැන් ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්‌වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක්‌ විය. අද ගණදෙවි කෝවිලේ පුද ලබන ගණදෙවි රුව ඒ පොකුණේ යට වී තිබුණු එකකි. ගණදෙවි කෝවිල ගාව වෙම්බ්ලි සිනමා හල අසළ පැරැනි වැව පාර (ඕල්ඩ් ලේක්‌ රෝඩ්) යන නාම පුවරුව ඇත. ඒ අනුව පැරැණි වැවේ එක්‌ කෙළවරක්‌ මේ විය. පැරැණි වැව් කෙළවර අල්ලා තිබූ ඔප දැමූ ගල් ලෑලි පැරැණි වැව පාරේÊනිවසක පියගැට ලෙස අල්ලා තිබෙනු අවුරුදු 15 පමණ පෙර දුටුවා මට මතකය.
ඇහැලේපොල
වැව කෙළවර ගණදෙවිs කෝවිල අසල එදා සෙංකඩගල නගරයේ වැදගත් ස්‌ථාන දෙකක්‌ විය. ඒ කුමාර හපුව හා සැරහුම් පළයි. සැරහුම්පළ යාව තිබූ කුමාරහපුව එදා නගරයේ වූ ඉපැරැණි ගසකි. අද ඒ ගස නැත. බෝගම්බර වැවේ ජලයෙන් දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වගා කරන ලදී. මුලින් මාතලේ රත්තොට අවට පුද ලැබූ බෝගම්බර දෙවිඳුට කැප කළ දේවාලයක්‌ මේ සීමාවේ වූ තිසා වැව බෝගම්බර වැව ලෙස ප්‍රසිද්ධ විය. බෝගම්බර දෙවි ඉන්දියාවේ සිට ආවෙකි.
රොබට්‌ නොක්‌ස්‌ගේ 'ලංකා විස්‌තරය' අනුව සතුරන් ආ විට රජු තම වටිනා වස්‌තුව මහවැලි ගඟට හා මේ වැවට දැමූ බව කියයි. රජු මිනී කන කිඹුලන් වැවේ ඇති කළ නිසා එදා කිසිවකු වැව දෙසට ගියේ නැති බව වොක්‌ස්‌ කියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 - 1815) ඇහැලේපොල කුමාරිහාමී ඇතුළු ස්‌ත්‍රීන් ගෙලේ ගල් බැඳ ගිල්වා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේය. (ඇතැම් රාත්‍රියක මේ වැව වු දෙස සිට ඇහැලේපල වලව්වේ දෙසට - දැන් ජනාධිපති මන්දිරය අසළ රිමාන්ඩ් බන්ධනාගාරය දෙසට ඇහැලේපොල කුමාරිහාමීගේ අවතාරය ගමන් කරනු දුටු කීපදෙනකු මට හමු වී ඇත.) උඩරට කැරැල්ල- 3 ග්‍රන්ථයේ තෙන්නකෝන් විමලානන්ද කියන පරිදි කැප්පෙටිපොළගේ හිස වම් කෙළවරදී ගසා දමා ඇත. මේ වැව ඉදි වු කල වැවේ එක්‌ කෙළවරක බෝගම්බර දෙවිඳුට කැප වූ බෝගම්බර දේවාලය හා අනිත් කෙළවර ජලයට අධිපති බහැරව කෝවිල ඉදි කළ බව පෙනෙයි. දැන් ගණ දෙවි කෝවිල ඇති බිමේ වූ මුල් කුඩා ගණදෙවි කෝවිල හින්දු බහුදේව වන්දනාව අනුව බහිරව කෝවිලකි. බහිරව කෝවිල පසු කළ ගණදෙවි කෝවිල ලෙස ප්‍රකට වූ බව පෙනෙයි. පැරැණි බහිරව කෝවිල සිට පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය ඔස්‌සේ බහිරව කන්දට පාර විහිදෙයි. නියඟ දුරලා වර්ෂාව ලැබීම සශ්‍රීකත්වය ජලයට අධිපති ලෙස එදා බාහිරව පුදනු ලැබීය.
දොළ පිහිල්ලේ ලිවූ ඉන්ද ඩේස්‌ ඔµa ද ශ්‍රී වික්‍රම රාජසිංහ ග්‍රන්ථය අනුව එදා බහිරවයාට නර බිලි පවා පුදා ඇත. දෙයියන්නේවෙලට ඒ නම ලැබුණේ බෝගම්බර දෙවිඳුට කැපව තිබූ දේවාලය නිසාය. පැරැණි බෝගම්බර වැව විනාශ වීමට හේතු කවරේද?
'පවන' නම් ප්‍රශස්‌ති කාව්‍යය අනුව 1661 බිහිසුණු ගංවතුරක්‌ විය.
'පවන' ප්‍රශස්‌ති කාව්‍යය අනුව 1678 මහනුවර හා අවට බිහිසුණු භූමි කම්පාවක්‌ විය. මහනුවර හා අවට වැව් කීපයක්‌ විනාශයට මේ හේතු විය. (පවන කිරිඇල්ලේ ඥාණවිමල හිමි මුද්‍රණය කරවා ඇත.)
නාවුල්ලේ ධම්මානන්ද හිමි "මධ්‍ය ලංකා පුරාවෘත්ත' ග්‍රන්ථය අනුව 1706 සිදුවූ දරුණු ගංවතුරක්‌ වැව විනාශයට හේතු විය.
1817 - 18 උඩරට කැරැල්ලට පසු අවුරුදු දොළහක්‌ දළදා පෙරහැර තහනම් විය. රටේ දරුණු නියඟයක්‌ ඇති විය. මේ නියඟ දුරළීමට 1828 අවුරුදු 12 පසු දළදා හිමි ප්‍රදර්ශනය හා පෙරහැර විය. 1828 දළදා පෙරහැර සමඟ දළදා වතුර නමින් ප්‍රකට මහා ගංවතුරක්‌ ඇති විය. වැව විනාශයට එය ද හේතු විය.
කඳුවලින් වර්ෂා ජලය සමඟÊපස්‌ සෝදා අවුත් වැව පිරීයැම, වැව පස්‌ ඉවත් නොකිරීම හා නඩත්තු නොකිරීම සිදුවිය.
කොළඹ - මහනුවර පාර 1841 වැඩ නිම විය. එහි අවසන් කොටස වැව කොටසක්‌ හරහා ආ බැවින් වැවේ කොටසක්‌ ගොඩ කිරීමට සිදුවිය.
කොළඹ - මහනුවර දුම්රිය පාර 1867 නිම විය. 1867 දුම්රිය පාරට වැව මැදින් කොටසක්‌ යට විය.
බ්‍රිතාන්‍යයේ 7 එඩ්වඩ් කුමරා 1875 ලංකාවට ආවේය. කුමරු පිළිගැනීමට මහනුවර වෙනස්‌කම් කීපයක්‌ කළේය. මඟුල් මඩුව පළල් කිරීම, පත්තිනි දේවාලය අසල වතුර වළ සෑදීම. අලුත් බෝගම්බර වැවේ බිම්ම අලුත්වැඩියාව හා කැබලි වී තැනින් තැන විනාශව ගොඩ වී තිබූ පැරැණි වැව 1875 මුළුමනින්ම ගොඩකර බෝගම්බර ක්‍රීඩා පිටිය සැකසීම. වැව නැතත් බෝගම්බර ක්‍රීඩා පිටිය නමින් අද නම ඇත.
මහනුවර - මාතලේ දුම්රිය පාර 1878 වැඩ අරඹා 1880 නිම විය.
1875 හත්වැනි එඩ්වඩ් කුමරු පිළිගැනීමට වැව මුළුමනින්ම ගොඩකර පිට්‌ටනියක්‌ ලෙස සැකසූ පැරැණි වම් ඉවුරේ වටිනා දේ තිබුණා නම් 1878 - 1880 මාතලේ දුම්රිය පාරට ඒවා යට විය. ආදාහනමළුව විහාරයේ පැරැණි රජවරුන්ගේ සොහොන් කොත් අඩංගු කොටසක්‌ ද මහනුවර මතෙලේ දුම්රිය පාරට යට විය.
එස්‌. කේ. ජයවර්ධන - divaina
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, November 11, 2017

හෙළ ඉතිහාසයේ මහා රාවණ යුගය.......(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. භාරතයේ හින්දුන් රාවණ නමට කොතෙක් බියද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික ‘‘දුසේරා’’ ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය, පුලුස්සන නිසාය. රාමායණයේ ‘‘දසිස් රාවණ’‘ ලෙසද, සිංහල සාහිත්‍යයේ ‘‘රාවණ රවුළු’’ ලෙසද, යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ වරිගපූර්ණිකාවේ ‘‘රාවණ රණබා’’ ඔහු හැඳින්වේ. මෙම අවධියේ දකුණු අමෙරිකාවේ අන්දීස් කඳු මත පාතාල රාජ්‍යය දක්වා බටහිරටද දකුණු යුරෝපයේ රමණීය (රොමානියා) රට හා ඉතාලියේ රෝමාණු (රෝමය) සහ මැද දෙරණ (මධ්‍යධරණී) බැබිලෝනියාව ඇතුළු මැද පෙරදිගද, නැගෙනහිරට රමණක (ෆීජි දූපත්) දක්වාද මෙම සංස්කෘතික අධිරාජ්‍ය බටහිර නැගෙනහිර දෙසට ව්‍යාප්තව පැතිරී තිබුණි. මේ නිවර්තනික ජීවන රටාවයි. දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුද වටාද ධාන්‍යය, ඵළවළු, පලතුරු හොඳින් වගා වීම නිසා බලපෑම් ඇතිවුණි. අති පෞරාණික ලෝකයේ දක්නට ඇති විශාලම සංස්කෘතික කලාපය එයයි. ඒ තුළ රාවණ අවධිය විශිෂ්ට වන්නේය. මහා රාවණට පෙළපතක් ඇත.  
රාවණ පෙළපතේ මුත්තා පුලස්ති
 උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සෘෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබාගැනීමේ විධි ක‍්‍රමය තුළට රාවණගේ මව් පාර්ශ්වය හා පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම ඇතුළත්ය. පිය පාර්ශ්වයේ බලන විට විශ‍්‍රවස් පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ (විශ‍්‍රවස්) පියාද පුලස්ති නමැති බලවත් සෘෂිවරයාය. මව් පාර්ශ්වය ගත්විට මවගේ පියා නොහොත් සීයා වන සුමාලී රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහි විය. සමකාලීන ලෝකයේ බලවත්ම සෘෂි පාලකයා වීමට මහා රාවණට මෙසේ සූදානම් විය. සුමාලී රකුස් රජු තම දුව වන කෛකසී කුමරිය දරුවන් ලැබීම සඳහා විශ‍්‍රවස් මුනි වෙතට යැව්වේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇතිවිය හැකි නිසා බලවත් පාලකයකු ඇතිකර ගැනීමටයි.  
පුලස්ති සෘෂි විසුවේ පුලස්තිපුර නොහොත් පොලොන්නරුවේය. ඔහු භාවනා කිරීම සඳහා අනුරාධපුරයේ වෙස්සගිරියේ පිහිටි තණචොඩක (සංස්කෘත තෘණබින්දු) සෘෂිවරයාගේ අසපුවට ආවේය. එහිදී තණ චොඩකගේ තරුණ දූවරුන්ගේ කෑගෑසීම්, සිනා ආදි ශබ්ද නිසා බාධා ඇතිවිය. ඉන් කෝපයට පත් පුලස්ති ප‍්‍රාර්ථනා කළේ තමා සමාධියෙන් නැගී සිට ඇස් ඇරියවිට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යනුවෙනි. ඔහු පළමුවෙන් දුටුවේ තණචොඩක සෘෂිගේ දියණි හවිර්ගුය. ඇය ගැබ් ගත්තාය. ඇයට ලැබුණු දරුවා පසු කලෙක බලගතු මුනිවරයකු විය. ඒ විශ‍්‍රවස් මුණිය. අනුරාධපුර විශ‍්‍රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ‍්‍රවස්ගේ නමිනි. 
තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ‍්‍රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග‍්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත.   
අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත‍්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ‍්‍රැත සංහිතාව පවසයි.  
රාවණ සීයා (විශ‍්‍රවස් මුනි)
 තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ‍්‍රවස් මුනිද්‍ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග‍්‍රහය- I​ වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88   
ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...  
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක...  
1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ‍්‍රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.  
1. හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ.  
2. එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’  
3. මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’  
4. හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ‍්‍රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’   
මෙම ලිපි හතර සොයාගනු ලැබ ඇත්තේ නිදහස් පුරාවිද්‍යා, ගවේෂක පතිරආරච්චි නමැති අය විසිනි. පුරාවිද්‍යාව මේ සියල්ලට අන්ධව විශ‍්‍රවස් මිථ්‍යාවක් බව කියති.
රාවණාගේ මව්පස සීයා සුමාලි
 මීට පෙරද විස්තර දක්වා ඇති සුමාලි රකුස් රජු රාවණාගේ මව්පස සීයාය. ඇයද දේවයානිට ලැබුණේ කාශ්‍යප මුනි හා එක්වීමෙනි. ඔහුද බෝම්බ දමමින් දිග් විජය කල අධිරාජ්‍ය ගොඩනගන්නකු විය. සුමාලිට සුර ගුප්ත යයි නමක්ද විය. කතිර කුමරුගේ විශාල දේව සේනාවට ගොඩබිම යුද්ධයේදී සුමාලි රකුස් රජු පරාජය විය.  
මව්පිය පරම්පරාවක් හා දරු පරම්පරාවක් නැති රාම හා සීතා යන මනංකල්පිත චරිතවලට ඓතිහාසික වූ රාවණ සම්බන්ධ නොවන්නේය. රාමායණයට සියවස් තුනකට නොඅඩු කාලයකදී සම්පාදනය වූ දශරථ ජාතකයේ රාම, සීතා සහ ලක්‍ෂ්මණ සොයුරු සොයුරියන්ය. ඔවුහු වනයේ 12 අවුරුද්දක් ජීවත් වූහ. දසිස් රාවණ කෙනකු ඔවුනට සම්බන්ධ වීම හෝ රාම රාවණා යුද්ධයක් හෝ නැත. රාමායණයට අනුව රාම යනු විෂ්ණුගේ 6 වැනි අවතාරයයි. මනුෂ්‍යයකු නෙවේ. සීතා යනු ඕපපාතිකව නගුල් මිටෙන් උපන් තැනැත්තියකි. එබැවින් රාමායනය ප‍්‍රබන්ධකළ වාල්මිකී විසින්ම තම කෘතිය ප‍්‍රබන්ධයක් ලෙස පිළිගනී.  
‘‘රා’’ යනු ඉරයි. වණ යනු කණ්ඩායම නොහොත් සමූහයයි. රාවණ යනු පුද්ගල නාමයක් ලෙස නොව පෙළපත් නාමයක් ලෙස සැලකිය හැක. හිරුරැස් ප‍්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ සූර්ය පෙළපත ලෙස මෙය සැලකීමට පුළුවන. දසිස් රාවණ ලෙස රාමායණයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථවලද, රණබා ලෙස යක්‍ෂගෝත‍්‍රික වරිගපූර්ණිකාවේද මහා රාවණයන් හැඳින්වේ.  
රාවණගේ ඥාති සොයුරු කුබිර (කුවේරා) 
 ලංකාපුරය හා දඬුමොණරය (පුෂ්පක යානය) විශ්වකර්ම නොහොත් මය විසින් නිෂ්පාදනය කෙරුණේ. දේවයානීගේ පුත් සිංහමුඛ සඳහාය. නමුත් කතිර කුමරු තමා හා යුද්ධයට එන බව දැනගත් විට සිංහමුව පලාගියේ පාතාල රාජ්‍යය පිහිටි දකුණු ඇමෙරිකාවටයි. එවිට ලංකාපුරය අරාජික විය. දඬුමොනරය අස්වාමික වුණි.(පසු කලෙක රාවණයන් විසින් සෑදුණු නැකැත් අතර දඬුමොනරය නමැති නැකතක්ද විය. අද දකුණු පළාතේදී ඊට දඬුමරණය යයි කියති.)  
සිංහමුඛ පලාගොස් ලංකාපුරය හිස්වීම නිසා විශ‍්‍රවස්ගේ යක් බිරියක් වූ ඉල්විලාගේ පුත් කුබිර (කුවේර) එහි පාලකයා විය. එවිට දඩුමොනරයද ඔහු සතු විය. මෙය දසිස් රාවණගේ නොසතුටට හේතු වුනි. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූද රාවණ පමණක් දැන් හිස් වූ ලංකාපුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. ඊට ඔහුට උදව් කළේ මවගේ ඥාති සහෝදරයකු (මාමා) වූ දුම්රක්ගල (දිඹුලාගල) විසූ දුම්රක් (ධූමරාක්‍ෂ) සේනාපතියාය. මෙකල විශ‍්‍රවස් විසූ සීගිරියට කුවේරද පලවා කොටුකරන ලදී. අන්තිමේදී එතැන් සිට විශ‍්‍රවස් සහ කුවේර වයඹදිග ඉන්දියාවේ පන්ජාබයට නෙරපූ බව ගරුඩපුරාණයේත් භගවත් ගීතාවේත් සඳහන්ය.  
අරිසෙන් අහුබුදු සූරීන් පවසන පරිදි ඉන්දු රජු විසින් ඉදි කෙරුණු ඉන්දු රාජ්‍යයේ (සින්ධු ගඟ ඇසුරින් මෙය ඉදිවිය) රජකම විශ‍්‍රවස් විසින් ලබා ගැනුණි. ඉන්දු රජුගේ අගනුවර වූ මුල් තැන (multan) අදත් එනමින් හැඳින්වේ. මේ පංජාබයේ ගංගා 5 එකතු වන තැනයි. පන්ජාබයේ අදත් අගනුවර මුල්තැන්ය. කුවේර විසින් තෝරා ගැනු​ෙණ් කෛලාශකූටයයි. මේ අනවතප්ත විලට යාවය. අදත් මේ දෙකම මිල අධික සංචාරක මධ්‍යස්ථානයන්ය. අහස් මිහිර රාජ්‍යය අද කාශ්මීර වී ඇත. අදත් කෛලාශකූටය අවුරුද්ද පුරා හිමෙන් වැසී පවතී. එහි ඡායාව අනවතප්ත විලට වැටීම මනරම් දසුනකි. (බලන්න අන්තර්ජාලය)  
මහා රාවණගේ ලංකාපුරය
 රටවල් හා ජාතීන් බිහි නොවී තිබුණු මෙම යුගයේ පැවති පුරරාජ්‍ය (පෞරරාජ්‍ය පැවතුණි ඒවා පාලනය කළේ දේව අධ්‍යාපනය හදාරා ඉහළම පාලක තත්ත්වය වන සෘෂි හා මහසෘෂි බවට පත් වූ අයය. රාවණගේ අභාවයෙන් පසු ලංකාපුරය මුහුදට යට විණ. නෙදර්ලන්ත මුහුදු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් 2009 දී සොයාගනු ලැබුවේ මුහුදට ගිලීගිය නගරයක නටබුන්ය. මහාරාවණ කෝට්ටය හා කුඩා රාවණ කෝට්ටය අසල පානමින් ඇත. පිහිටි මෙම නගරය සමඟ සිහින් දිගටි හා වක්වූ භූමි ස්කන්ධයක්ද ගිලිහී ගොස් ඇත. එය අප‍්‍රිකාවේ මැදගස්කරය ( ) දක්වා විහිදී ඇත. වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කි.මී. 4,50,000ට වැඩි මෙයට එර්ෂියා (Earcia) යන නම දී ඇත. (බලන්න අන්තර්ජාලය)   
යුරෝපීය සුදු මිනිසුන් විසින් 20 සියවස පුරාම තම පරමාදර්ශී රාජ්‍යය ලෙස අභිමානයෙන් ප‍්‍රකාශ කෙරුණු අත්ලන්තිස් පුරවරය (City of atlantis) නමැති රාජ්‍යයක් විය. ක්‍රි.පූ. 4 සියවසේ විසූ ග‍්‍රීක් ජාතික පඬිවරයා විසින් මෙය ලේඛන ගතකරනු ලැබ තිබුණේ. ඔවුන් එය මිසරවාසීන්ගෙන් අසා දැනගත් පරිදිය. මිසරයින් ඊට මිසර නමක් යෙදූ නිසා තමා ඊට ග‍්‍රීක් නමක් වන අත්ලන්තිස් යන්න යෙදූ බව ප්ලේටෝ සඳහන් කරයි. 20 සියවස මැදදී අත්ලන්තික් සයුරේද සියවස් අගදී මධ්‍යධරණී මුහුදේද එය සොයා ගවේෂණය කළ සුදු ජාතීන් 21 සියවසේදී එය සෙවීම අතහැර දමා ඇත. ඊට හේතුව නම් රාමායනයේ විස්තර වන හනුමා දුටුවේයැයි කියන ලංකාපුර විස්තරයත් ප්ලේටෝගේ අත්ලන්තිස් පුරවරයත් එකක්ම බව 1999 දී බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයකු විසින් ඔප්පු කරනු ලැබීමය. සමානකම් නම්:  
1. කඳු තුනක් මත පිහිටීම (ත‍්‍රිකූටය) ත‍්‍රිකූටමලේ? 2. පුජක (දේව) පාලනය 3. ගුවන්යානා 4. කාන්තා - පිරිමි සම අයිතිවාසිකම් 5. තනි දේවාලයක් තිබීම. 6. මාර්ග පද්ධතිය හා දෙපස නිවාස 7. අලියා සිිටීම 8. කෙසෙල්, දොඩම් සහ අඹගස්. 9. විනාශකාරී (න්‍යෂ්ටික) අවි. 10 අසුර නාමය (ග‍්‍රීක අස්වින්) 11. ලොව පරමාදර්ශී රාජ්‍යය වීම 12. මුහුදට ගිලාබැස විනාශ වීම මෙහි මුදුන් තුන (ත‍්‍රිකුට) සහිත කඳු පෙදෙස (මළය) ඇතැම් විට ත‍්‍රිකුණාමලයද විය හැක. නමුත් හැඩ ඔය මෝය අසල පොතුවිල නගරය අසල එය වන්නට ඇති බවට සාධක වැඩිය.  
රාවණ කුමරු විසින් ගෝකණ්ණ (ත‍්‍රිකුණාමල) පිහිටි මරීච සෘෂිගේ අසපුවේ තුන්වසරක් උග‍්‍ර තපස් කෙරුණේ වරමක් ලබාගැනීමටය. එනම් මිනිසකු අතින් මිය නොයාමටය. වාල්මිකී තම රාමායණයෙන් එය සනාථකරන්නේ මිනිසකු නොවන විෂ්ණුගේ 6 අවතාරය වූ රාම අවතාරය අතින් රාවණ මිය ගිය බව පවසමිනි.  
ලංකාපුරය යනු අලංකාර පුරය යන අර්ථය ලබාදෙන බව අහුබුදු සූරීහු දක්වති. කාශ්මීරයට (අහස්මිහිර) ගිය කුවේරද එහිගොඩනගා ගත්තේ අලකාපුරයයි. එයද ලංකාපුරයට සමානවන්නට ඇත. සියලුම යස ඉසුරින් පිරි නගරයක් සංස්කෘත හා සිංහල සාහිත්‍යයේ හඳුන්වන්නේ කුවේරගේ අලකාපුරයට සමාන කරමිනි. ඉතිහාස පොතින් අප ඉගෙන​ෙගන ඇත්තේ පෞරරාජ්‍යයන් බිහිවූයේ ග‍්‍රීසියේ බවය. ලංකාවට එහි ගෞරවය ලබාදීමට ඉංග‍්‍රීසි ඉතිහාසඥයෝ අකමැති වූහ. වේලාපුර, රත්නපුර, අනුරාජපුර, විජිතපුර, සෝමපුර, යක්පුර, මහින්දපුර අනෙකුත් පුරයන්ය.   
මහාරාවණ හා රාමායණය
 1980 දශකය වනතුරු රාවණ රජකු ගැන අප දැන සිටියේ රාමායණය ඇසුරිනි. ඒ පන්තිකාමර අධ්‍යාපනය හා පුවත්පත් සඟරා ආශ‍්‍රයෙනි. බටහිර මානව විද්‍යාඥයන් අසුර අධිරාජ්‍යයක් හා එහි සිටි සෘෂි පාලක මහා රාවණ කෙනකු ගැන දැනගත්තේ 1980 දශකයේ පටන්ය. අද එම සෘෂි පාලක රාවණයන් දැවැන්ත ආකාරයෙන් මතු වී එන්නේ ඉතිහාසය තුළිනි. ඒ අනුව රාමායණ ‘‘රාවණ රජු’’ බොඳවී යන බවක් දක්නට ඇත.  
රාමායනය මහා කාව්‍යයකි. එමෙන්ම වීර කාව්‍යයකි. අලංකාරවාදයට අනුව මහා කාව්‍යයක් වීමට අත්‍යවශ්‍ය අංග කීපයකි. නගර වර්ණනා, උද්‍යාන වර්ණනා, වීර චරිතයක්, වීරයාට අභියෝග කරන දුෂ්ටයෙක්, ගැහැනියක් නිසා ඇතිවන ගැටුමක්, යුද වර්ණනාවක්, දේව පූජා, ප‍්‍රීති උත්සවයක් ආදිය අනිවාර්යය. රාම කුමරුගේ වීරත්වය හුවා දැක්වීමට දුෂ්ට රාවණ රජු, සීතා පැහැරගැනීම, රාම - රාවණ යුද්ධය, ලංකාපුර නගර හා උද්‍යාන වර්ණනා ආදිය රාමායනයට ඇතුළත් කර තිබේ. මේ සඳහා භාරතයේ අන් රජකු තේරා නොගෙන ලංකාවේ මහා රාවණයන්ව තෝරා ගත්තේ ඇයිද යන්න උපකල්පනය කිරීම අපහසුය. රාමායනයට මද කලකට පසු ලියවුණ ජාතකට්ඨ කථාවේ දශරථ ජාතකයේද රාමා, සීතා හා ලක්‍ෂ්මන් දැක්වේ. ඒ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එහි රාවණයකුගේ සම්බන්ධයක් නැත. රාමාගේ චරිතය ඔසවාලීම සඳහා ඔහුට එරෙහි දුෂ්ටයා ලෙස වාල්මිකී දැන සිටි බලවත්ම පුද්ගලයා යොදාගන්නට ඇතැයි සිතිය හැක. මහා රාවණ වනාහී තුන් ලොවම ජයගත් අයකු ලෙස සංස්කෘත සාහිත්‍යයේ සඳහන්ය. ඔහු රාමායනයට සීමා නොවේ.  
කෘත, ද්වාපර, නේත‍්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන හින්දුන්ගේ යුගවලින් නේත‍්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ හැඳින්වේ. ඔහු රජකු නොව දේව අධ්‍යාපනය ප‍්‍රගුණ කළ සෘෂි පාලකවරයෙකි. දස ඥානයක් (දසිස්) ඔහුට විය. අසුර- අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයා හා නායකයා විය. මෙබදු අයකු සමග ගැටුණ විට රාම චරිතය ඊටද වඩා උසස් වන නිසාම වාල්මිකී රාමායණයට රාවණා ඇදගන්නට ඇත.
lankadeepa
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Thursday, September 28, 2017

රාවණාගේ රටේ ප්‍රධාන සුසාන භූමිය සොයා ගැනේ.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana lbbankatuwa)

රාවණා යුගයේ භාවිතා කළේ සූර්ය ශක්තිය හෙවත් සුර්ය බලය වේ. ලෝකයේ බලය වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කළ සහ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ බලය වෙනුවෙන් භාවිතා කරන ද්‍රව්‍ය අවසානවේගන යමින් පවතී. ගල් අඟුරු, යකඩ, ඛනිජ, ලෝහ, ඛනිජ තෙල්, ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. වර්තමානයේ කාර්මික වාණිජ යුගය හෙවත් ඉලෙක්ට්‍රෝනික යුගය ද ඉක්මනින් අවසන් වේගන යමින් පවතී. ඉන්පසුව භාවිතා කළයුතු ​ෙවන්නේ සූර්ය ශක්තියයි. ඒ පිළිබඳව ද පර්යේෂණ ලෝකයේ නොයෙකුත් දියුණු රටවල මේ වන විටත් පැවැත්වෙන බව රහසක් නොවේ. එයින් කියැවෙන්නේ නැවත රාවණා යුගයට පැමිණෙන බවට ඉඟියක් නොවේද? ආචාර්ය ඔබේසේකරයෝ විමසති.   
රාවණා රජතුමා ජීවත්ව සිටි ප‍්‍රාග් ඓතිහාසික යුගය ලොව ඉතාමත්ම දියුණු තත්ත්වයක පැවති බවට එක් උදාහරණයක් නම්, මිසයිල භාවිතා කිරීම ය. නූතන ඉතිහාසයේ පැරණිතම ශිෂ්ටාචාරය වශයෙන් සැලකෙන්නේ ග‍්‍රීක් ශිෂ්ටාචාරයයි. ඊට වඩා අවුරුදු දස දහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවටත් මුළු මහත් පෙරදිගත් පැවති බව මේ අනුව පැහැදිළි වේ. ශ‍්‍රීමත් විලියම් ජෝන්ස්ගේ මතය අනුව එකල සාමාන්‍ය මිනිසෙකු ගේ පරමායුෂ අවුරුදු 20,000 යැයි කියති. මානව ඉතිහාසයේ ඉතාමත් දියුණු යුගයක ජිවත් වූ චක‍්‍රවර්ති රජ කෙනෙක් වශයෙන් රාවණ රජු හැඳින්විය හැකි ය.
එවකට ලංකාපුර රාජධානියේ ජීවත් වූ ජන වර්ග කොටස් හතරකි. ඒ, යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ගෝත‍්‍ර සතරයි. යක්ෂ හා රාක්ෂ වශයෙන් ජන වර්ග ශ්‍රේණි දෙකක් ජීවත් වූ අතර, රාවණා රජතුමා අසුර නොහොත් යක්ෂ ග්‍රෝත‍්‍රයට අයත් වූහ. රාවණා රජු සම්බන්ධකම් පැවති රාජ්‍යයන් දහයකි. දිව්‍ය ලෝක සහ අඟහරු වැනි ග‍්‍රහලෝක සමඟ ද සම්බන්ධතා පවත්වා ඇත. රාමායනය ග‍්‍රන්ථයේ ලංකාපුරය වශයෙන් සඳහන් ​ෙවන්නේ බටදඬු කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය වශයෙන් සැලකිය හැකි බවත්, නකල්ස් යනුවෙන් හඳුන්වනු ලබන බටදඬු කඳුවැටිය එදා රාවණා රජ දහන ​ෙවන්නට ඇති බවත් සිතිය හැකිය.   
ලොව ඉහළ ශිෂ්ටාචාරයක් ගොඩනැගූ හෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝ එදා විවිධ රටවල සංචාරය කරමින් සිය විද්‍යා තාක්ෂණ දැනුම බෙදා දෙමින් අලුත් රට රාජ්‍යන් සොයා ගනිමින් මුළු මහත් ලෝකයටම වටිනා මෙහෙයක් ඉටු කළෝ ය. ගුවනේ පියාසර කිරීමට, ගංගා මුහුදේ යාත‍්‍රා කිරීමේ තාක්ෂණය පමණක් නොව, උමං මාර්ග කැණීමේ තාක්ෂණයෙන් ද පොහොසත් ජාතියක් වූහ. මහා ඍෂිවරුන් හත් දෙනෙක් ලෝකය පාලනය කළ බව සඳහන් වේ. ඔවුන් නම් අත‍්‍රී, මලචි, පුලහ, ක‍්‍රත‍්‍ර, අංගීරස, වශිෂ්ට හා පුලස්තිය. මහා බ‍්‍රාහ්මයාගේ පුත‍්‍රයන් ය. මොවුන් බ‍්‍රාහ්මණයන් වුවද, අයත් වන්නේ යක්ෂ ගෝත‍්‍රයට ය. ඔවුන්ගේ ආගම සූර්ය වන්දනාවයි. මෙම බ‍්‍රාහ්මණයන් ගේ ජන්ම භූමිය වූයේ මහා භාරතයයි. එදා ශ‍්‍රී ලංකාව අයිති වූයේ ද මහා භාරතයටයි. එහි උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව හා එදා රතු ඉන්දියාව වශයෙන් ද කොටසක් පැවතිණි. මෙරට රතු මැණික් බහුලව පැවති නිසා රතු ඉන්දියාව වශයෙන් හඳුන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ අනුව අැමෙරිකාවේ වෙසෙන ආදි වාසීන් වූ රතු ඉන්දියානුවන් මෙරට යක්ෂ ගෝත‍්‍රික හෙළයන්ගෙන් පැවත එන බව ආචාර්ය ඔබේසේකරයන්ගේ අදහසය.   
එපමණක් ද නොවේ අැමෙරිකාවේ දෙවියෙකු වශයෙන් සැලකෙන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයෙකි. උතුරු අමෙරිකාවේ මෙන්ම දකුණු අැමෙරිකාවේද ආදී වාසින් රතු ඉන්දියානුවන් ලංකාවේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික හෙළයන් යැයි ඉපැරණි මූලාශ‍්‍ර අනුව පෙනී යන බවත්, නැගෙනහිර පළාත වන ශ‍්‍රී ලංකාවේ සිට පැමිණෙන දෙවියෙක් මෙක්සිකන් ජාතිකයින් විවිධ ලෙඩ රෝග, අනතුරු, ආදියෙන් ආරක්ෂා කරනු ලබන බවත්, ආචාර්ය ඔබේසේකරයන් තවදුරටත් පවසයි.
ආර්ය පවුලේ මුල් පදනම ගොඩනැගී පවතින්නේ මෙරට පැරණි යක්ෂ, දේව, නාග, ගන්ධබ්බ යන ජනවර්ගවල එකමුතුවෙනි. ඒ පිළිබඳව මෙතෙක් කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වේ. ක‍්‍රි.පු 5000 දී රාවණා රජු හෙළදිව පාලනය කළ සමයේ දී සුර අසුර වශයෙන් ප‍්‍රධාන ජන වර්ග කොටස් දෙකක් පැවති අතර, එම ජන වර්ග කොටස් දෙකම එකම මූලයකින් ආරම්භ කර ඇති බවට සාධක බොහෝ ය. මේ අනුව ප‍්‍රථම ආර්ය පවුල වශයෙන් ඉහත සඳහන් කරන ලද මහාබ‍්‍රාහ්මණයන් හෙවත් ඍෂිවරුන් වශයෙන් සිතා ගත හැකි ය. විද්‍යා, කලා ශිල්පවලින් ලොව අර්ථවත් කිරීම සඳහා ප‍්‍රථම ආර්ය පවුලෙන් කොටස් හතක් මුළු ලොව පුරා විසිරි ගියෝ ය. මෙම ප‍්‍රථම ආර්ය පවුල ආරම්භ වූයේ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවෙනි. රතු දිවයින මෙන්ම රතියස්ගේ දිවයින ලෙස ද ඈත අතීතයේ මෙරට හඳුන්වා දී ඇත.   ප‍්‍රථම ආර්ය පවුලේ සාමාජිකයෝ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බොල්ටික් තැන්නට ළඟා වී ඇත. එම ආර්ය පවුල නම් කාශ්‍යප ඍෂිවරයා ඇතුළු කණ්ඩායමයි. ක‍්‍රි.පු 390 දී රෝමය අල්ලා ගන්නේ ද මෙම ඉන්දු ආර්ය පවුලේ කෙල්ට් සහ ටියුමන් විසිනි. මොවුන්ගෙන් එක් පිරිසක් ග‍්‍රීසියට පැමිණ ඉතාලිය සහ ස්පාඤ්ඤය ද සිය සංස්කෘතියට යටත් කරගෙන නැගෙනහිරින් ඇසෑමය දක්වා ව්‍යාප්ත කර තිබේ. පර්සියාවේ ආදි වාසීන් ද යක්ෂ ගෝත‍්‍රික හෙළයන් බවට විශ්වාසයක් පවතී. එයට හේතුව සිංහ කොඩිය එහි පැරණි ධජය වීම ය.
 මිසරය පිහිටා තිබෙන්නේ අප‍්‍රිකා මහාද්වීපයේ උතුරු කෙළවරට ​ෙවන්නට ය. එහි ප‍්‍රථම රජු මේනාස් රජතුමා ය. ඔහු මහා භාරතයේ මනුනාත් රජුම බව ගණනාත් චොප්රාගේ ප‍්‍රත්‍යක්ෂ ශරීරම් ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. ප‍්‍රථම ආර්ය පවුලේ තවත් යක්ෂ ගෝත‍්‍රික හෙළයෝ පිරිසක් ඉතාලියට හා ස්පාඤ්ඤයටගොස් පදිංචි වූහ. ඉන්දු යුරෝපීය ජාතික ආදි වාසින් ද මෙම යක්ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන්ය. අපේ පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට බලංගොඩ මානවයා මෙම රාවණා යුගයේ ආදි හෙළයෙකි.   
ඒ ආකාරයෙන් යක්ෂ හෙළ ගෝත‍්‍රිකයන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල් දියුණු තත්ත්වයට පත්කර තිබේ. මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත්තේ ද, ඒ ආකාරයෙන් උතුරු සහ දකුණු අමෙරිකාවට ගිය හෙළයන් ය. ග‍්‍රීක ඉතිහාසයේ සඳහන් ​ෙවන පරිදි ඉන්දු - ග‍්‍රීක සබඳතා ගොඩ නැගීම සඳහාත් මෙම හෙළයන් උපකාරිවී ඇත. දක්ෂ නාවිකයන් වුූ හෙළයන් නයිල් නදී තීරයේ මිසරයටත්, මධ්‍ය ධරණී මුහුදේ ආසියාවටත්, නුදුරුව පිහිටි ක‍්‍රිටයටත් යුප‍්‍රටිස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත‍්‍රා කර තිබේ. නීතිය සෑදීමට මුල් වූ සාලියන්වරු ද, ලෙබනනයේ ෆීනීෂියන්වරුන් ද යක්ෂ ග්‍රෝතික හෙළ සම්භවයක් ඇති පිරිසකි.   
ඒ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ යක්ෂ හෙළයෝ කන්ද උඩරට, නුවරඑළිය, බදුල්ල, ​ෙපාළොන්නරුව, අනුරාධපුරය, මහනුවර මාතලේ දිස්ත‍්‍රික්කවලත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සහ හලාවත වැනි ප‍්‍රදේශවලත් ජීවත් වූහ. එපමණක් ද නොව එම පෙදෙස්වල රාවණා රජුගේ රාජධානිය පැතිරීගොස් තිබුණු බවට පුරා විද්‍යා ඓතිහාසික සාක්ෂි අපමණය. රාවණා යුගයට අයත් ස්ථාන ද කිහිපයකි. ඒවා නම් සීගිරිය, ඉබ්බන්කටුව, පුරාණ සුසාන භූමිය, මාතලේ අබ්බොක්ක දේවාලය, හලාවත මුන්නේශ්වරම්, ලංකාපුර රාජධානිය සහ සබරගමුව ආදිය වේ.   
රාවණා රජුගේ ලංකාපුරයේ රන්, රිදී, මුතු, මැණික්, මිනිරං පමණක් නොව කුරුඳු වැනි බෝග බහුලව පැවති බව සඳහන් ය. එහි විශ්වකර්මයා විසින් සියතින් රන්, රිදී, මුතු, මැණික් ඔබ්බවා නිම කරන ලද මන්දිර සමූහයකි. එවන් ආකාරයේ මන්දිර සහිත විථි සිය ගණනක් ලංකා පුරයේ සාදා තිබුණි. මේ ආකාරයේ පැවති ලංකාපුරය පිහිටියේ ත‍්‍රිකූට මස්තකයේ බව සදහන් වේ. මලය නමින් හැඳින්වෙන පර්වත පිහිටියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ බවත්, ටොලමි ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව පර්යේෂණාත්මකව ගැඹුරට සිතා බලන විට අද ”නකල්ස්” යනුවෙන් හඳුන්වන ”බටදඬු” කඳුවැටිය එදා රාවණා රජ දහන වූවාට සැක නැත.  
ලංකාපුර රාජධානිය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කාලයක රාවණා රජු සිය අග‍්‍ර මාලිගය ලෙස ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ද එය බව පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මතය වී තිබේ. මෙම සීගිරියේ සිට ලග්ගලට තිබෙන්නේ ගුවන් සැතපුම් කිහිපයකි. යක්ෂ ගෝත‍්‍රික ජනතාව බෙහෙවින් වාසය කළ ලග්ගල, මිනිපේ, හඳපානාව, බින්තැන්න ඊට උදාහරණ කිහිපයකි. ලග්ගල හෙවත් ලංකාපුර රාජධානිය මාතලේ දිස්ත‍්‍රික්කයේ ද, ‘‘සිරස වස්තු පුර” රාජධානිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනයේ ද පිහිටා තිබුණි.   
ඉබ්බන්කටුව ගැන සඳහන් කිරීමේ දී, අවුරුදු 3000 කට වඩා පැරණි අතීතයක් හිමි ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එය පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ රාවණ යුගයට අයත් බවකි. කාමර සහිත ඉපැරණි සුසාන ගෙවල් සහිතය. මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත් වූවකි. කෙසේ වෙතත් ඉබ්බන්කටුවේ සිට ලග්ගලට තිබෙන්නේ සැතපුම් කිහිපයක දුරකි. මේ අනුව සළකා බලන විට රාවණා රාජධානියේ ප‍්‍රධාන සුසාන භූමිය මෙය වූවා විය හැකි ය.
ඉබ්බන්කටුවේ ප‍්‍රාග් ඓතිහාසික සුසාන භූමිය ක‍්‍රි.පු 770-440 ට අයත් බවට විද්වතුන් කාල නිරීක්ෂණය කර ඇත. ලංකාපුර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම විද්‍යාත්මක දස්කම් මෙම සුසාන භූමියේ කැණීම් තුළින් මතුවී තිබේ. රාමායනය පවසන ආකාරයට යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ පළමුවන ගෝත‍්‍රයට රාවණා ප‍්‍රමුඛ රාක්ෂ බ‍්‍රාහ්මණයන් අයත් වේ. ඒ අනුව මළමිනී ආදාහනය කිරීම මහා භාරතයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවති බ‍්‍රාහ්මණයන්ට අයිති චාරිත‍්‍රයකි.
ඉබ්බන්කටුව සොහොන් බිමේ කැණීම්වලින් සොයාගත් අඟුරු අවුරුදු 2700 ක් පමණ පැරණි බැව් ජර්මන් ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් කාල නීර්ණය කර ඇති බැව් ආචාර්ය සෝමදේවගේ අදහස බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති.   
ආදී වාසීන්ගේ අදහස වනුයේ ‘‘ඉබ්බා” යන වචනය පළමුවෙන්ම භාවිතා කළේ ‘‘මිනී හිසට” බවත්, ඉදිබුවා ද මිනී හිසට සමාන බැවින් ඉදිබුවාට ද ඉබ්බා යනුවෙන් කියන බවත් ය.
විජය කුමාරයාගේ පැමිණීමටත්, මහින්දාගමනයටත් පෙර, මෙරට තුළ උසස් අවමංගල්‍ය චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබුණු බවට ඉබ්බන්කටුව හොඳම උදාහරණය සපයයි. ඒ යුගයේ මිනී පෙට්ටි වෙනුවට අගනා මැටි බඳුන් පාව්ච්චි කළ බව පොම්පරිප්පු සිට ඉබ්බන්කටුව දක්වා සෑම සුසාන බිමකින්ම සොයා ගත හැකි වූ එක් සාධකයකි. මිනීි හිස් කටු බහුලව පැවති නිසා මෙම ප‍්‍රදේශයට ඉබ්බන්කටුව යන නම භාවිතා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ ලාභදායී වෙ​ෙළඳාමක් වූයේ ඉබිකටු අපනයනය ය.
ඇතැමෙක්ගේ අදහස ඒ නිසා මෙම නම ලැබී ඇති බවකි. කාමර සහිත සොහොන් ගෙවල් ඉතිහාසය ඇරඹෙන්නේ ඉබ්බන්කටුවෙනි.   
රාවණා ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මුතු, මැණික්, සත්ත්ව ඇටකටු, ඇත්දත් ආදියෙන් නිම කළ භාණ්ඩ රැසක් ලක්වැසියන් භාවිතා කළ බවට සාධක රැසක්ම ලැබී ඇති බව මහාචාර්ය බණ්ඩාරනායක හා සෝමදේව කළ පර්යේෂණවලින් මැනවින් පෙනී ගොස් ඇත. රන් ආලේප කළ පබළු ඇටයක් මෙම සුසාන භූමියෙන් සොයා ගැනීම එයට එක් උදාහරණයක් පමණි.
ලබන සතියට.....
සිසිර කුමාර බණ්ඩාර
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, September 25, 2017

දඹදෙණි රාජධානිය සොයා ගිය ගමනක්...(1) (අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි dambadeniya)

පාණ්ඩ්‍යය දේශයෙන් පැමිණි පරාක්‍රම පාණ්ඩ්‍යය කුමරු පොලොන්නරු රාජධානියේ රජු බවට පත්ව සිව් වසරක් ගෙවී ගොස් තිබිණි. ඔහු පරදේශක්කාරයෙක් වුවත් ලංකාවේ සිංහලයන්ටත් බෞද්ධයාටවත් හානියක් පීඩාවක් කළේ නැත. කලින් රජකළ ලීලාවතී රැජිණ සේම රටවැසියන්ට ආදරයෙන් පාලනය ගෙන ගියේය.
 සොළී දේශයෙන් හමුදාවක් ලංකා රාජ්‍යයට ඇතුළු වෙලා.
ඔත්තුකරුවකු රජවාසලට පැමිණ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු හමුවේ දණ බිම ඇන සැලකර සිටියේය. ලංකා රාජ්‍යයට පරදේශක්කාරයෙක් ඇතුළුවෙලා... එසේනම් ඒ කුමන දේශයෙන්ද?
කුමරු විචාළේය.
 ඒ මොහොතෙහිම තම ඇමැති මණ්ඩලය රැස්කර වූ කුමරු ලංකා රාජධානියට ඇතුළු වු සතුරන් පිළිබඳව සොයා බලන්නට අණකළේය. එසේම ඔවුන්ට එරෙහිව සටන් කරන්නට සේනාවලට නියෝග කළේය.
එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.
“දේවයන් වහන්ස විසිහතරදාහක මැර පිරිසක් සමඟ අපේ රාජ්‍යයට ඇතුළු වී සිටින්නේ කාලිංග දේශයේ මාඝ නම් පුද්ගලයෙක්. ඔහු ඉතාම කෲර ලෙස සිංහලයන්ට පහර දෙන බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබන බවත් දේපළ සහ වස්තුව කොල්ල කන බවත් දැනගැනීමට ලැබුණි. එපමණක් නොවෙයි ඔවුන් වෙහෙර විහාර දේවාල පිරිවෙන් වැනි සියලු ආගමික ස්ථානත් විනාශ කරන බව සැලයි. හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවන බවත් ස්ත්‍රීන් දූෂණය කරන බවත් සැලයි.”
සතුරු හමුදාවේ තොරතුරු සොයාගත් ආරක්ෂක ඇමැතිවරයා පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරුන්ට ප්‍රකාශ කළේය.
“කිමෙක්ද? කාලිංගයේ මාඝ...?”
පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු විමසුවේය.
“මහා විනාශයක්. මේ විනාශයෙන් ගැලවෙන්නට මඟක් නැද්ද ඇමැති?”
“දේවයන්වහන්ස ඒ සඳහා අපේ හමුදා ශක්තිමත් නෑ. එසේම අපේ හමුදාවලට එවැනි කෲරකම් කරන්නටත් බැහැ. පැමිණ සිටින්නේ භිල්ල ගෝත්‍රිකයින්. ඔවුන් තිරිසනුන්ටත් වඩා දරුණුයි.  දැනටමත් අපේ වැසියන් බිල්ලන් ඇවිත් කියමින් පණ බයෙන් පලා යනවා.” 
“එසේද. එසේනම් ඔවුන් මේ අගනුවරත් ආක්‍රමණය කරන්නට ඉඩ තිබෙනවා.”
නැහැ දේවයන් වහන්ස, එය එතරම්ම ලෙහෙසි වන්නේ නෑ. මේ වන විටත් දහසකට ආසන්න හේවායන් පිරිසක් අගනුවර වටා රැකවල්ලා සිටිනවා.
“ඇමැති එතකොට දළදා වහන්සේ?”
“දේවයන්වහන්ස, අපේ වාචිස්සර නාහිමිපාණන් දළදා වහන්සේ දිවිහිමියෙන් රැකගනු ඇති බව මට විශ්වාසයි.”
 “නමුත් ඒ ගැන සොයා බැලීම ඔබේ වගකීමක් ඇමැති...”
“එසේය.”
“වහාම ගොස් නාහිමියන් මුණගැසී දළදා හිමියන් දිවිහිමියෙන් රැකගන්නා ලෙස මතක් කර සිටින්න.”
“එහෙමයි දේවයන් වහන්ස. මා මේ දැන්ම පිටත්වෙනවා.”
“හ්ම්”
පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු සැනසුම් සුසුමක් හෙළුවේය.
ඒ වන විටත් ගම් නියම් ගම් නගර රාශියක්ම විනාශ වෙමින් තිබිණි. ගම්මාන එහෙම පිටින්ම ගිනිජාලා බවට පත්ව තිබිණි. වෙහෙර විහාර අහිමි වූ හාමුදුරුවරු, ගෙවල් දොරවල් අහිමි වූ ප්‍රභූවරු පතිවත කැලල් වූ කාන්තාවෝ අගනුවර කරා පලා යමින් සිටියහ.
ගතවූයේ දින කිහිපයක් පමණකි. කාලිංග මාඝ ප්‍රමුඛ බිල්ලෝ පොලොන්නරු රාජධානියේ අගනුවරට කඩා වැදුනහ. මාළිගය වටකළ බිල්ලෝ පළමුවෙන්ම කළේ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු අල්ලා ගැනීමය. ඔහුගේ දෙඇස් කෲර ලෙස උගුල්ලා දැමූ කාලිංග මාඝ, කුමරුගේ බිසව සහ අන්තඃපුර බිසෝවරු මාලිගා අංගණයට කැඳවීය. ඔවුන්ගේ කර බැඳි සියලු ආභරණ ගලවා ගත්තේය. ඔවුන්ගේ වස්ත්‍ර ඉවත්කර දූෂණය කළහ. දෙඇස් ගැල වූ කුමාරයාට තව තවත් වධ බන්ධන පමුණුවා ඔහු මරා දමා මාළිගයේ සියලු වස්තු කොල්ල කෑවේය. අනතුරුව එම මැදුරෙහි පදිංචි වූ කාලිංග මාඝ පොලොන්නරු රාජධානියේ අභිනව රජු ලෙස දිවුරුම් දී කටයුතු ආරම්භ කළේය.
අගනුවර වු සියලු විහාරාරාම විනාශ කිරීමට තම මැර හමුදාවන්ට නියෝග කළ රජු හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා අගනුවරින් පලවා හැරියෝය.
මේ පුවත් උණුසුම් ලෙසින් රාජධානිය පුරා පැතිර යද්දී ධර්මග්‍රන්ථ සහ ධාතුන් වහන්සේලා රහසේ සඟවාගත් භික්ෂූහු යාබද මලය රටට හා රුහුණු රටට පලා යන්නට පටන්ගත්හ.
මේ වන විට පොලොන්නරු රාජධානියට කප්පම් ගෙවමින් ප්‍රාදේශීය පාලන කටයුතු කළ කුමාරවරු සිවු දෙනෙක් ලංකාවේ සිටියෝය. සුබ සෙනෙවියා සුබ පර්වතයෙහි බළකොටුවක් ඉදිකරගෙන වාසය කළේය. එය වත්මන යාපහුව ලෙස හැඳින්වෙයි.
රුහුණු රටේ ගෝවින්ද හෙල මත තවත් බළකොටුවක් තනාගත් බුවනෙකබාහු නම් මාපා රුහුණු රට පාලනය කළේය. සංඛ නම් තවත් සෙනෙවියෙක් මිණිපේ, ගංදෙණු පව්වේ වාසය කළ අතර මලය රටේ පාලන කටයුතු කරගෙන ගියේ විජයබාහු නම් කුමාරයෙකි. ඔහු වාසය කළේ දඹදෙණි පව්වේය. සුබ සහ සංඛ සෙනෙවිරු ද බුවෙනකබාහු මාපාවරයකු ද වූ අතර ඔවුනට රාජකීය උරුමයක්වත් රාජකීය රුධිරයවත් තිබුණේ නැත. එහෙත් විජයබාහු සංඝබෝධි රජ පරපුරෙන් පැවත ආ රාජකීය රුධිරය සහිත වූවෙකි. මේ නිසා මේ අවස්ථාවේ රාජධානියක් පිහිටුවීමට තරම් ශක්තියක් තිබුණේ ඔහුට පමණකි. ඇරත් වයසින් ද වැඩිමහලු වූ ඔහුට අනෙක් සෙනෙවිවරුන් අවනත කරගැනීමේ හැකියාවක් ද තිබිණි.
පොලොන්නරුවෙන් පලා ආ භික්ෂූහු ද විජයබාහු කුමරු හමුවී පොලොන්නරුවෙහි සිදුවන විනාශකාරී ක්‍රියා ගැන කරුණු කීහ. කෙසේ හෝ කාලිංග මාඝ පලවා හැර රට යළිත් එක්සේසත් කළ යුතු බවත් බෞද්ධ උරුමයන් යළි නගාසිටුවිය යුතු බවත් කීහ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා දිරිගැන්වීම නොඅඩුව දෙන බවට ද පොරොන්දු වූහ.
එහෙත් කාලිංග මාඝ සිටියේ වියරුවූවෙකු ලෙසිනි. ඔහුගේ ඔත්තු සේවාවන් ද ප්‍රබල විය. ඔහුට රහසේ තවත් රාජධානියක් ඉදිකිරීම කළ නොහැකි කරුණක් විය. එම නිසා රාජකීය ලේ සහිත වූ විජයබාහුට වඩාත් පරෙස්සම් වීමට සිදුවිය. ඔහු බොහෝ විට සිටියේ වනදුර්ග සහ ගිරිදුර්ගවල සැඟවගෙනය. එසේ සැඟවී සැඟවී සේනා සංවිධානය කිරීම මෙන්ම ප්‍රාදේශීය නායකයන් තමා වෙත අවනත කරගැනීම පොලොන්නරු රාජධානියේ තොරතුරු ලබා ගැනීම සේනා සංවිධානය මෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කිරීම වැනි දහසකුත් එකක් දේ කළ යුතු විය.
හැබැයි ඔය අතරේ ඔහු දඹදෙණි පර්වතය මුදුනේ මාළිගයක්ද රහසේ ඉදිකරන්නට පටන් ගත්තේය.
කාලිංග මාඝගේ කුරිරු පාලනය මේ වන විට පොළොන්නරු රාජධානිය සහමුලින්ම උඩුයටිකුරු කරමින් තිබිණි. එතෙක් කලක් කුලීනයන් ලෙස සැලකුණු උදවියට කුලහීනයන් සමඟ විවාහවන්නට බල කෙරිණි.
 කුල කාන්තාවන් “බිල්ලන්ගේ” බිරින්දන් බවට ද වහලියන් බවට ද පත්කර තිබිණි. පන්සල්වල තිබූ අගනා ධර්ම ග්‍රන්ථ සාහිත්‍ය ග්‍රන්ථ තොග පිටින් ගිනි දෙවියන්ට බිලිකර තිබිණි. මේ අවැඩ ඉවසන්නට  බැරිම තැන පොලොන්නරුවේ වැඩ විසූ හාමුදුරුවරු පඬි රටට පලාගොස් තිබිණි.
පඬි රට නැත්නම් පාණ්ඩ්‍ය දේශයේ බුදු දහමට මෙන්ම හාමුදුරුවරුනට ද ගෞරව කෙරුණෙන් අපේ හාමුදුරුවරුන්ට වෙන යන්නට තැනක් තිබුණේ නැත. සමහරු රුහුණටත් මලය රටටත් පලාගිය නමුත් ඊට වඩා ආරක්ෂාවක් පඬි රටෙහි තිබිණි.
මහා කාලකණ්ණි යුගයක් මුළු ලංකාවටම උදා වී තිබිණි. ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වූ රුවන්මැලි සෑය විනාශ කළ පුවත මායා රටේ විජයබාහු කුමරුට දැන ගැනීමට ලැබුණු විට ඔහුගේ ලේ ධාතුව උණුසුම් විය. තවදුරටත් හැංගි හැංගී බලා සිටිය නොහැකි බව තීරණය කළ විජයබාහු හැකි ඉක්මනින් රාජ්‍යයක් පිහිටුවීමට ඉටා ගත්තේය.
එහෙත් ඒ වෙනුවෙන් කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් වසර දාහතක්ම ගතවන තුරු බලා සිටින්නට විජයබාහුට සිදුව තිබිණි.
අවසානයේදී එනම් වර්ෂ එක්දහස් දෙසිය තිස් දෙකේදී දඹදෙණිය රාජධානිය ප්‍රකාශයට පත්කළ විජයබාහු කුමරු තුන්වැනි විජයබාහු නමින් කිරුළ පැලඳුවේය.
ඒ අනුව දඹදෙණිය රාජධානියේ රජ මැදුර දඹදෙණි ගල මත ඉදිකෙරුණි.
නමුත් සිංහලේ උතුම් සම්ප්‍රදාය වූයේ කිසියම් පුද්ගලයකුට රාජ්‍යයට උරුමකම් කිවිය හැක්කේ දළදා වහන්සේට හා පාත්‍රා ධාතුන් වහන්සේට උරුමකම් කීමෙන් පමණකි. එහෙත් මේ වන විට දළදා වහන්සේ වැඩසිටින්නේ කොහේදැයි යන්න අවිනිශ්චිත විය. පොළොන්නරුවේ හැටදාගේ නොහොත් දළදා මැදුරෙහි තැන්පත් කර තිබූ දළදා වහන්සේ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවෙද්දී භාරකාර හිමිවරුන් විසින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නට ඇත.
එහෙත් ඒ තොරතුරු ඇත්තේ අතිශය රහසිගතවය. පොලොන්නරුවේ දළදාව භාරව සිටි වාචිස්සර තෙරුන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් මේ රහස පිළිබඳව දැන සිටිනු ඇත. එසේ නම් පළමුව කළ යුත්තේ වාචිස්සර තෙරුන් වහන්සේ සොයා ගැනීමය. උන්වහන්සේ ලංකාවේ වැඩවෙසෙත් ද නොඑසේ නම් පාණ්ඩ්‍ය දේශයේ වැඩවෙසෙත් ද යන්න කවුරුවත් දන්නේ නැත. විජයබාහු රජු පොලොන්නරු රාජධානියට රහසේ දූතයන් පිටත්කර එහි දුෂ්කර ලෙස වාසය කරන භික්ෂුන් වෙතොත් දඹදෙණි රාජධානියට වැඩම කරන්නැයි ඉල්ලීමක් කළේය. එසේ පැමිණෙන භික්ෂූන්ට අලුතින් වෙහෙර විහාර ඉදිකර දී සිව් පසයෙන් සංග්‍රහ කරන්නට කටයුතු සූදානම් කළේය. එසේම පඬි රටෙහි සිංහල බෞද්ධ භික්ෂුන් රැසක් වැඩවෙසෙන බව දැන එරටට ද දූතයන් පිටත් කළෝය. කෙසේ හෝ සියලු හිමිවරුන් දඹදෙණි රාජධානියට වැඩම කරවාගෙන අනතුරට පත්වූ බුදුසසුන යළි නඟා සිටුවීමටත් අවසානයේ කාලිංග මාඝ පලවා හැර රට එකසේසත් කිරීමටත් විජයබාහු රජු උත්සාහ ගත්තේය.
විජයබාහු රජුගේ උත්සාහය සාර්ථක වන ලකුණු පහළ කරමින් භික්ෂූහු නම දෙනම බැගින් දඹදෙණිය රාජධානියට වැඩම කළහ. මේ හිමිවරු විජයබාහු රජු සම්මුඛව පොලොන්නරුවට හා අනුරාධපුරයට කර තිබෙන විනාශය ගැන කරුණු කීහ. බුදු සසුනට කර ඇති මේ විනාශය වහාම නතර කරන්නටත් විනාශ කළ සිද්ධස්ථාන යළි පිළිසකර කර බුදු සසුන සහ බුදු දහම නගා සිටුවන්නටත් උත්සාහ කරන ලෙස සියලු හිමිවරු ඉල්ලා සිටියහ. විජයබාහු රජුට අවශ්‍යව තිබුණේ ද එයමය.
මේ සඳහා දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව වැඩ සිටින තැනකින් තමාගේ රාජධානියට වැඩම කළ යුතු බව රජු අවධාරණය කළේය.
 “අප දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටින තැන කෙසේ හෝ අනාවරණය කරගන්නම්.”
එවිට භික්ෂූහු රජුට පොරොන්දු වූහ.
රජතුමා අලුතින් පන්සල් ගොඩනගන්නට පටන් ගත්තේය. එසේම ඒ වන විටත් විනාශ මුඛයට ගොස් තිබූ කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.
ඒ හැරුණු විට නටබුන් බවට පත්ව තිබූ බොහෝ වෙහෙර විහාර නැවත පිළිසකර කිරීමට ද කටයුතු යෙදුවේය.
පඬි රටට රහසේ වැඩමකර සිටි තෙර නමක් දඹදෙණියට  පැමිණ රජ ඉදිරිපිට පෙනී සිටියේ ඔය අතරතුරය.
රජු වහා හිමියන්ගේ දෙපා නැමද සිව් පසයෙන් සංග්‍රහ කළේය.
ඔබ වහන්සේ?
රජතුමා ගෞරව සම්ප්‍රයුක්තව විමසුවේය.
රජතුමනි, මම වසර ගණනාවක් තිස්සේ පාණ්ඩ්‍ය දේශයේ වැඩ සිටින්නේ. ඔබගේ ආරාධනය අනුවයි මේ රාජධානියට වැඩම කළේ.
 බොහෝම ස්තූතියි. මගේ ව්‍යායාමය දඹදෙණිය රාජධානියක් ලෙස ගොඩ නැංවීමෙන් අනතුරුව කාලිංග මාඝගෙන් පොලොන්නරු රාජධානිය බේරාගැනීමයි. නමුත් ඒ සඳහා මට ඇති ලොකුම ගැටලුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ මගේ රාජධානියට වැඩම කරවීමට නොහැකි වීමයි.
“රජතුමනි, කාලිංග මාඝ බිල්ලන් සමඟ පැමිණ පොලොන්නරුව විනාශ කරන විට හැටදාගෙයි දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ බාරව සිටියේ මමයි.” 
හාමුදුරුවෝ කීහ.
රජතුමා නැවත වතාවක් තෙරුන් වහන්සේගේ දෙපා නැමද එකත්පස් වූයේය.
නාහිමියනි ඉතින් දළදා වහන්සේ රැකගන්නට ඔබ වහන්සේට හැකි වුණාද?
තෙරුන් වහන්සේගේ මුවඟ රැඳුණේ ආඩම්බර සහගත හසරැල්ලකි.
 නාහිමියනි මේ වන විට දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොහිද යන්න ඔබවහන්සේ දන්නවාද?
“ඔව්.”
“කොතනකද නාහිමියනි.?”
“ඉතාම ආරක්ෂිතව කොත්මලේ ප්‍රදේශයේ රහසිගත ස්ථානයක.”
“දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව වැඩම කරවා පෙර පරිදිම පුද පූජා කිරීමට මට අවශ්‍යයි.
“එසේනම් ඒ සඳහා සුදුසු තැනක දළදා මැදුරක් ඉදිකරන්න රජතුමනි. ඉනික්බිතිව අපි ඒ මැදුරට දළදා වහන්සේ වැඩම කරවමු.”
වාචිස්සර තෙරුන්ගේ ප්‍රකාශයෙන් උදම් වූ රජු ඒ මොහෙතේම මහ ඇමැති කැඳවා දළදා මැදුර ඉදිකිරීමේ කටයුතු ඇරඹීමට නියෝග කළේය.
“දේවයන්වහන්ස, ඒ කෙබඳු තැනකද?”
මහ ඇමැති විමසුවේය.
 මේ රාජ්‍යය තවමත් තිබෙන්නේ අනතුරේ. කොයි මොහොතක හෝ සතුරු තර්ජනයක් එල්ල වීමටත් බැරි නැහැ. ඒනිසා දළදා මැදුර ඉදිකළ යුත්තේ ආරක්ෂිත ස්ථානයකයි මහ ඇමැති.
එහෙමයි.
අතීතයේදී මා වන දුර්ග සහ ගිරි දුර්ග රැසක සැඟවී සිටියා. මා යෝජනා කරන්නේ බිල්ල (බෙලිගල) පර්වතය වඩා සුදුසු බවයි.
එතැනට දෙවියන්ට මිස මිනිසුන්ට පහසුවෙන් ළඟා වන්නට බැහැ. ඒ නිසා දඹදෙණිය සතුරන් ආක්‍රමණය කළත් දළදා වහන්සේට සහ පාත්‍රා ධාතුවට හානියක් අනතුරක් වන්නට ඉඩක් නැහැ.”
බිල්ල පර්වතය තිබෙන්නේ ඒ තරම්ම දුෂ්කර තැනක. ආරක්ෂිත තැනක. 
රජු පැවසුවේය.
ලබන සතියට..........
ශාන්ත කුමාර විතාන
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, September 23, 2017

දළද‌ා හාමුදුරැවන්ගෙන් ප්‍රාතිහාර්යයක්..... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

දඹදෙණි රාජධානිය ෙසායා ගිය ගමනක් - 2
බිල්ලසේල හෙවත් බෙලිගල පර්වතය මනරම් වටපිටාවක පිහිටා තිබේ. කිලෝ මීටර් හතරක පමණ වටප්‍රමාණයකින් ගල් පව්වේ පාමුල සිට ඉහළ බැලූවිට මුදුනට අඩි දහසක පමණ දුරක් නැගිය යුතු බව පෙනෙයි.  හාත්පස තවත් කඳුශිඛර රාශියකි. මේ කඳු සහිත භූමි භාගයෙහි තිබෙන ආරක්ෂාව ගැන විජයබාහු රජ මොනවට දනියි.  තම උපදෙස් පරිදි අැමැතිවරු විසින් මෙහි ඉදිකරවනු ලබන දළද‌ා මන්දිරය පිළිබඳව රජු නිතරම සොයා බැලුවේය.  
“ඇමැති, දළද‌ා මන්දිරය ඉදිකිරීමට තෝරාගත්තේ කඳු ශිඛරයේ කුමන කොටස ද?”  
රජු, රාජ සභාවේදී විමසුවේය.  
“දේවයන් වහන්ස, වඩාත් ආරක්ෂාකාරී වන්නේ ගල් අගලෙ
න් එතෙර වූ පසු තිබෙන කොටසයි.”
ඇමැති කීවේය.  
“ඔබ නිවැරැදියි. නමුත් ඒ ගල් අගල හරහා පාලමක් ඉදිකරවිය යුතු වේවි.”  
“එසේය දේවයන් වහන්ස. ඒ සඳහා අලංකාර පාලමක්  දැවයෙන් නිම කිරීමටයි අදහස් කළේ.”  
“සුදුස්සක් කරන්න.”  
රජතුමා ඇමැතිට අවසර දුන්නේය.  
බිල්ලසේල පර්වත මුදුනෙහි තිබෙන ගල් අගල ස්වභාවික එකකි. එය අඩි දහයක පමණ පළලින් ද අඩි විස්සක තරම් ගැඹුරින් ද යුක්තය.
පර්වත මස්තකය අක්කර අටක පමණ තැනිතලාවකි. එබැවින් දළද‌ා මැඳුරකට පමණක් නොව දළද‌ා වතාවත් ඉටුකරනු පිණිස පන්සලක් ඉදිකරන්නවත් ප්‍රමාණවත්ය. දළද‌ා මැඳුර සංඝාවාසය හැරුණුවිට නාන පොකුණු මෙන්ම ද‌ානශාලා ආදිය ද ආරක්‍ෂකයන් සඳහා මුරගෙවල් ආදිය ද මේ පව්ව මත ඉදිකළ යුතුය.  
පර්වත මස්තකයෙහි ලී කණු සිටුවීම සඳහා වළවල් කැණීම ඒ වනවිටත් අවසන්ව තිබිණි. ඉතිරිව තිබුණේ තුන් මහල් ප්‍රාසාදය ඉදිකිරීමේ අවශේෂ කටයුතු පමණි. ඒ සඳහා අවශ්‍ය ගඩොල්, දැව ආදිය ඕනෑ තරම් මේ පර්වතය අවට තිබිණි.  
නොතෙමී පවතින්නේ නම් සියවසකටත් වඩා වැඩිකාලයක් සුරැකී පවතින්නට මේ දැව කඳන්වලට ශක්තිය තිබේ. කොස්, බුරුත, නැදුන් වැනි දේශීය ශාකවලින් අවශ්‍ය දැව කණු ද පරාල සහ ලෑලි ද සපයා ගැනිණි.  
කණුවලින් සැදුම්ලත් ප්‍රාසාද සැකිල්ල ගඩොල් බිත්තිවලින් ආවරණය කෙරිණි.  
වහලය අලංකාර උළුවලින් සෙවිලි කරන ලද්දේය. තෙමහල් ප්‍රාසාදයක් බැවින් මෙහි උස අඩි හතලිහකට ආසන්නය. එහෙත් දුර සිට බලන ඔත්තු කරුවකුට නම් මේ අනගි ප්‍රාසාදයක් බව දක්නට හැකි නොවේ. පර්වතය අවට වූ විසල් වනස්පතීන් විසින් මේ මනරම් මන්දිරය අවට ලෝකයෙන් සඟවා ගනු ලැබූ බැවිනි.  
දළද‌ා මැඳුර තනා නිම කිරීමෙන් අනතුරුව ඊට ආසන්නයෙන් සංඝාවාසයක් ද ඉදිකෙරුණි. එම සංඝාවාසය වාචිස්සර නාහිමියන්ටම බාරකෙරුණේ උන්වහන්සේ දළද‌ා හාමුදුරුවන් බාරව අවශ්‍ය වතාවත් පුද පූජා මොනවට කරගෙන ආ බැවිණි.  
පර්වත පාමුල සිට පර්වත මස්තකය දක්වා පඩිපෙළක් කනිණු ලැබිණි. ඒ දළද‌ා වහන්සේ වැඳ නමස්කාර කරගැනීමට පැමිණෙන රජ ඇතුළු රාජකීයන්ටත්, අත්‍යාවශ්‍ය බැතිමතුන්ටත් පර්වත මස්තකයට පහසුවෙන් පිවිසෙනු පිණිසය.
අතරමග මුරකුටියක් ද නිර්මාණය කෙරිණි. පර්වත මුදුනට පිවිසෙන සියල්ලන් මේ මුරකුටියේදී මොනවට පරීක්ෂා කෙරුණි. කිසිවකුටත් ආයුධ අතැතිව, හිස් වැසුම් හෝ පාවහන් සහිතව මින් ඔබ්බට යන්නට වරම් නොවිණි. රැගෙන යා හැක්කේ මල් පහන් සුවඳ දුම් පමණකි.  
“තෙරුන්වහන්ස, දළද‌ා මන්දිරය සහ සංඝාවාසයේ ඉදිකිරීම් සියල්ලම අවසන්.”  
රජතුමා වාචිස්සර තෙරුන්ගේ දෙපා නැමද පැවැසුවේය.  
“මා හිතන්නේ දැන් දළද‌ා වහන්සේ බිල්ලසේල පර්වතය කරා වැඩමවීමට සුදුසු කාලය එළඹ ඇති බවයි.”  
“එහෙමයි රජතුමනි. දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කළ යුත්තේ මනරම් පෙරහරකින්. ඒ සඳහා කටයුතු සූද‌ානම් කරන්න.”  
“එහෙමයි තෙරුන්වහන්ස. මේ දළද‌ා මැඳුර ඉදිකිරීමේ කටයුතු බාරව සිටි අැමැතිටම එම කටයුත්තත් පවරන්නම්.”
“රජතුමනි, එසේ නම් එළඹෙන පසළොස්වක පෝද‌ා අපි දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කරවමු. ඊට දෙදිනකට කලින් ඔබ තුමා ප්‍රමුඛ රාජකීය පිරිවර කොත්මලා රටට සැපත්වීම මැනවි.”  
“කොත්මලා රටේ කුමන ප්‍රදේශයකට ද තෙරුණුවනි?”
රජතුමනි, මා පිටත් වන්නේත් ඔබතුමා සමඟමයි. එම නිසා මඟ වැරදීමක් සිදුවන්නේ නෑ.”  
වාචිස්සර තෙරුණ් තවදුරටත් දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ සඟවා තිබෙන තැන රහසක් සේ රැකගත්හ.  
නිසි දවස එළැඹිණි. රජු, අග බිසව, ඇමැතිවරු, යුවරජ ප්‍රමුඛ රාජකීය පිරිස, වාචිස්සර තෙරුණ් පෙරටුකරගෙන කොත්මලා රටට ගමන් කරන්නට වූහ.  
රජ පිරිවර පළමු රාත්‍රිය නතරවූයේ දිඹුලකන්දේය. රජතුමා අගබිසව යුවරජ මෙන්ම ඇමැතිවරු ද වාචිස්සර නාහිමියෝ ප්‍රමුඛ භික්ෂූහු ද ගමන් කළෝ ගමන් මාළිගවලය. එහෙත් කඳු ශිඛර බෑවුම් සහිත දුර්ග ඔස්සේ යන මේ ගමන වෙහෙසකරය. එනිසාම දිඹුලකන්දේ ගතකළ පළමු රාත්‍රියේ මහළු රජු මෙන්ම වාචිස්සර තෙරුණ් ද සිටියේ හොඳටම විඩාපත්වය.   
තෙරුණ් වහන්සේට පැන් පහසුව ලබා දී ගිලන් පස පිළිගැන්වීමෙන් අනතුරුව, රජතුමා උන්වහන්සේ වෙත ගියේය.  
“තෙරුණ් වහන්ස, ඔබ වහන්සේට වෙහෙස ද?”  
වාචිස්සර තෙරහු සිනා නැගූහ.   
“දැන් මා වියපත් නිසා වෙහෙසයි. නමුත් රජතුමා ඒ වෙහෙසට වඩා මට දැනෙන සතුට ඉමහත්. වසර විසිපහකට පෙර භූමිගත කරන ලද දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ යළිත් ගොඩට වැඩමවා ඊට පුද සත්කාර කරන්නට ලැබීම මට නිරාමිස සුවයක්.”
“තෙරුන් වහන්ස, මට යමක් විමසන්නට අවසර ද?”  
“විමසන්න රජතුමනි.”   
“ඔබ වහන්සේ මේ ධාතූන් භූමිගත කළ ස්ථානය ඔබට සොයාගත හැකි වේද?”
“එහෙමයි රජතුමනි. ඔබ තුමා ඒ ගැන බිය විය යුතු නැහැ.”  
“නමුත් මා නම් සිටින්නේ බියෙන්. මේ වනවිට ඒ ධාතූන් වහන්සේලා භූමිගත කළ තැන වනය වැවී තිබෙන්නටත් පුළුවන්.”  
වාචිස්සර තෙරණුවෝ එවරත් සිනා නැගූහ.   
“රජතුමනි, මට සැතපෙන්නට අවසර දෙන්න.”  
ඒ රාත්‍රිය සීතල එකක් විය. කඳු මුදුනක් බැවින් අවට තිබුණේ ද තද සුළංය.  
රාජකීය පිරිස කොත්මලයට ළඟාවූයේ තවත් දෙදවසකට පසුවය. ගිරිදුර්ග වනදුර්ග මැදින් ගිය ගමන කෙළවර වූයේ එක්තරා කඳුමුදුනකිනි.  
“ගමන් මාළිගා බිම තබන්න. මේ අපේ ගමනාන්තයයි.”  
තෙරණුවෝ කීහ.  
රජතුමා වහා පැමිණ තෙරණුවන්ගේ දෙපාමුල දණ ගැසූහ.  
“අවසර තෙරුණ් වහන්ස, මේ අපේ ගමනාන්තය ද?”  
“එහෙමයි රජතුමනි, පාත්‍රා ධාතුව සහ දළද‌ා වහන්සේ භූමිගත කළ ස්ථානය මෙතැනයි.”   
රජතුමා නිහඬව වාචිස්සර තෙරුණ් දෙස බලාසිටියේය.  
වසර විසි එකකට පෙර රහසේ පැමිණ ධාතූන් වහන්සේලා භූමිගත කළ ස්ථා නය කෙසේ නම් සොයාගන්නදැයි රජු කල්පනා කළේය.  
අගබිසව යුවරජු මෙන්ම ඇමැතිවරු ද සිටියේ වික්ෂිප්තවය.  
වාචිස්සර තෙරුණ්වහන්සේ දෑත එක්කර බුදුන් වන්දනා කළහ. ඉනික්බිති එරමිනිය ගොතා දෑස පියාගත්හ. මිනිත්තු කිහිපයක් සත්‍ය ක්‍රියා කළ උන්වහන්සේ දෑස ඇර නැගී සිටියහ. පියවර කිහිපයක් ඉදිරියට ගමන්කර විශාල සපුගසක් අබියස නතර වූහ.  
 “මෙතන හාරන්න.” 
තෙරණුවෝ පැවැසූහ.  
රාජ පුරුෂයකු එහි ළඟා වූයේ ගල් ඉන්නක් ද රැගෙනය.  
“මෙතන දණගසා පළමුව පොළවට වඳින්න.”
තෙරණුවෝ අණ කළහ. තෙරණුවන්ගේ අණ පරිදි පොළවට වන්දනා කළ ඔහු යළිත් ගල් ඉන්න අතට ගත්තේය.  
“ඔතන හෑරිය යුත්තේ ඔබේ අතින්.”  
රාජ පුරුෂයා මිනිත්තු ගණනාවක් තිස්සේ පරිස්සමට පොළව හාරන්නට විය.  
අවසානයේ විශාල මැටි බඳුනක ඉහළ කොටස මතුවිය.  
තෙරණුවෝ සතුටු සිනා නැගූහ.  
“දැන් ඉතාම ප්‍රවේසමෙන් ඔය මැටි බඳුන ඉවතට ගන්න.”  
ඒ සඳහා තවත් හෝරාවක් පමණ පොළොව කනින්නට සිදුවිය.  
අවසානයේ මතුකරගත් මැටි බඳුන අභියස දණ ගැසූ තෙරණුවෝ ඊට වන්දනාමාන කළහ. රජතුමා, යුවරජ, අගබිසව, මෙන්ම අැමැතිවරු ද මේ මැටි බඳුනට වන්දනා කළෝය.  
“රජතුමනි, ඔබේ සුරතින් මේ මැටි බඳුන විවෘත කරන්න.”  
තෙරණුවෝ කීහ.  
රජු මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව විසල් මැටි බඳුනේ පියන විවෘත කළේය.  
ඒ තුළ ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා තවත් බඳුනකි. එය කිසියම් ලෝහයකින් තනා නිමකළ එකකි. එම බඳුන ඉවතට ගෙන විවර කළ විට තවත් බඳුනක් හමුවිය. එය රන්වන් කරඬුවකි.   
“රජතුමනි, ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ ඔය කරඬුව තුළය.”  
තෙරණුවෝ මේ කරඬුව දෝතට ගත්හ.  
“රජතුමනි, මා දන්නවා ඔබ තුමාගේ සිතෙහි සැකයක් පවතින බව මේ සැබෑම දළද‌ා හාමුදුරුවන් ද කියා.”  
තෙරණුවෝ රජු දෙස බලා විමසූහ. රජුත් කිසිත් නොකීවේය.  
“ඔබ තුමාගේ හිත පවතින සැකය තව මොහොතකින් ඉවත් වේවි.”   
තෙරණුවෝ දෑස පියාගෙන මොහොතක් සත්‍යක්‍රියා කළහ.
කරඬුවේ සිට රශ්මි කදම්භයක් අහසට විහිදිණි. එය සපු ගසේ මුදුන දක්වා විහිදී අනතුරුව අවකාශයේ බුදු රුවක් නිර්මාණය විය.
තෙරණුවෝ සේම රජු ද රාජකීය පිරිවර ද දෝත් එක්කර සාදුකාර දුන්හ.
රජුට මෙය විමතියකි. තවදුරටත් සැක කරන්නට කිසිත් නැත. මේ ප්‍රාතිහාර්යය පාන්නේ දළද‌ා හාමුදුරුවෝය.  
“රජතුමනි, ගෙනා මල්වලින් මේ සපුගහ පාමුල සෑයක් හදන්න.”   
තෙරණුවෝ අණ කළහ.  
රාජකීය පිරිවර එක්ව මල්සෑයක් සාද‌ා දළද‌ා හාමුදුරුවන්ට වන්දනා මාන කළහ.  
සාදු නාදය කොත්මලේ කඳු යාය පුරා දෝංකාර දුන්නේය.  
ඉනික්බිති ආරම්භ වූ​ෙය් දළද‌ා හාමුදුරුවන් සහ පාත්‍රා ධාතූන් වහන්සේ බිල්ලසේල හෙවත් බෙලිගල පර්වත මස්තකයේ පිහිටි දළද‌ා මැඳුරට වැඩම කරවන පෙරහරය. සාදු නාදයෙන් රැව් පිළිරැව් දෙමින් පිටත් වූ මේ පෙරහරට රටවැසි බෞද්ධ​ෙයා් මල්වැසි වස්සවන්නට පටන්ගත්හ.  
අතීත රජදරුවන් විසින් ගව්වෙන් ගව්ව තනවන ලද විහාරාරාමවල දළද‌ා වහන්සේ පුදන්නට පිංකම් සංවිධානය කර තිබිණි. මේ පිංකම්වල අපූරුව දැක බලාගන්නට රොක්ව සිටි බැතිමතුන් පළමු වතාවට දළද‌ා හාමුදුරුවෝ ද පාත්‍රා ධාතූන් වහන්සේ ද දැක බලාගෙන වැඳ පුද‌ාගෙන සාදුකාර දුන්හ.  
නියම්ගම් දොරින් ආරම්භ වී පුරා සතියක් පමණ තිස්සේ ගමන් කළ දළද‌ා පෙරහර බිල්ලසේල පර්වතය මත පිහිටි දළද‌‌ා මැඳුර වෙත වැඩම කෙරුණේ උත්සවශ්‍රීයෙනි. පුරා සතියක් තිස්සේ මහා පිංකම් පවත්වන්නට රාජකීය නියෝගයක් පැනවී තිබිණි.  
මෙතැන් පටන් දළද‌ා හාමුදුරුවන්ට බුදු හාමුදුරුවන්ට මෙන් උවටැන් කළ යුතු බවට ද රජු නියෝග ක​ළේය.  
ඒ අනුව උදය දහවල සහ සන්ධ්‍යාව යන තුන් කල්හිම දළද‌ා පූජාවක් පැවැත්විය යුතු විය. ඒ සඳහා අවශ්‍ය සියලු විය හියදම් රාජකීය භාණ්ඩාගාරයෙන් මුද‌ාහැරිණි.  
පුරා සතියක් තිස්සේ පැවැත්වූ පිංකම් අවසන රැස්ව සිටි රටවැසියන් අමතා විජයබාහු රජු මෙසේ පවසා සිටියේය.  
“මාඝ නැමති කුරිරු ආක්‍රමණිකයාගෙන් පොළොන්නරු රජධානිය බේරාගැනීමේ සටන මා ආරම්භ කරනවා. ඒ සඳහා මේ උතුම් දළද‌ා හාමුදුරුවන්ගේ ආශිර්වාදය අපට හිමිවෙනු ඇති. රට වැසියනි, මාගේ සේනා සමඟ සම්බන්ධ වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”  
ලබන සතියට...  
ශාන්ත කුමාර විතාන
ඡායාරෑප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, August 23, 2017

මහා රාවණ කොටුව ළඟ මුහුදේ ගිලුණු නගරයක්......(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana CITY OF ATLANTIS marine archiology History Repeats lost civilizations)

19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.   
වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 - 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත. යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.
සිය පළිඟු බෝලයෙන් අංජනම් බැලූ එක්සත් ජනපදයේ බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී කර්නට් ඕල්කට් මහතා සමග ලංකාවට ආවේ ලෝකයට ශිෂ්ටාචාරයන් විහිදී ගිය දකුණු ආසියානු දුපත ගැන සෙවිමටය. නමුත් ඇයට ඒ සඳහා සාක්ෂි සොයා ගැනීමට නොලැබිණ. රාජකීය ආසියාතික සංගමය (බ්‍රිතාන්‍ය) මගින් තම ආසියාතික යටත් විජිතවල ඉතිහාසය සීමා දක්වා තිබුණි. ඒ අනුව ඉන්දියාවේ ඉතිහාසය ඇරඹෙන්නේ සෘග් වෛදිත යුගයෙනි. ලංකාවේ ඉතිහාස ඇරඹෙන්නේ බුදුන් පිරිනිවන් පෑ දින ලංකාවට ආ විජය හා 700 පිරිස ගෙනි. ඉන් එහාට යමක් කතාකළ ​ෙනාහැක. ඒ තහනම්ය. සියලු හැදෑරීම් මේ තුළ සිදුකළ යුතුය. එබැවින් පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයේ ඉතිහාසය ඉන් පිටතට නොයන තරමට හීලෑය. නමුත් මුනිදාස කුමාරණතුංග හා හෙළ හවුල (1941) භාෂාව ඇසුරින් හෙළ යුගයක් කරාගිය විට කට ඇදයින් ලෙස හඳුන්වා පහර ගසා නිශ්ශබ්ද කෙරිණි. හෙළ ජාතියක් නැතිව හෙළ බසක් පමණක් පවතින්නේ කෙසේදැයි කිසිවෙක් ප්‍රශ්න නොකළහ.
1944 අගෝස්තු 06දා ජපානයේ හිරෝෂිමා නගරයට පළමු වැනි පරමාණු බෝම්බය එල්ල කරන ලදී. එහිදී දුම්රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත්වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිවීම, කුරුල්ලන්ගේ තටුහැළී සුදුවීම තැන තැන මිනිසුන් මියයාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහ භාරතය නමැති මහා කාව්‍යයේ විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදුවී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා අමෙරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතය හා රාමායණය පරෙස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිවිය. උගත්තු නිශ්ශබ්ද වූහ.   
ඇමෙරිකා එක්සත් ජනපදය 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්ත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණ පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර ‘පුරාණ’ නමැති (ප්‍රධාන) ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි. 
කාගේ හෝ ඉතිහාසය තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම ‘පුරාණයන්’ හැදෑරූහ. එවිට අසුර නමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එළිදරව් වන්නට විය. ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙන
හිරටම විහිදී තිබුණි. මෙම විශාලකම නිසා ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය (Asura Empire) යයි ඊට නම්කළහ. කුමාරතුංගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු. මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි. දේශපාලනික ස්වරූපයක් එහි නැත. සමාන ජීවන රටා එහි ඇත. මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගූ බැබිලෝනියාව නිදසුනකි. බැබිලෝනියාව සිංහ මිනිසුන්ට (හෙළයන්) යටත් නැත. නමුත් ජීවන රටාව සමානය. කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වයෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන වූ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුණහ. 1998දී ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩි කන මහාචාර්යවරු එය පිළිගත්හ.   
ඉතිහාස මහාචාර්ය ආර්නල්ඩ් ටොයිම්බි (බ්‍රිතාන්‍ය) 1945දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලෙසම (History Repeats) යනුවෙනි. පොළොව යට ඇති ඛණිජ ලෝහ ආදී සම්පත් හාරා කර්මාන්තවලට ගත්විට යම් දිනෙක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට අපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියැවේ. පරමාණු බලය කර්මාන්තයට යෙදවිය නොහැකි බව ද ඔහු කීවේය. දඬුමොනරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම මගින් ඉතිහාසය නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත.   ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කළ සිදුවීමක් 1986 දී අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ් දේවාලයක බිත්තියේ මැටියෙන් අඹා තිබුණු ගුවන්යානා 4ක ආකෘතීන්ය. පුදුමය නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායණයේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකය සිතන්නට වුණේ ඉන් පසුවය.   
මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැක යන්න ක්වොන්ටම් න්‍යාය 1980දී ඇමෙරිකන්කාරයාට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමෙයිනි තම අධිමානසික ශක්තියෙන් ඇමෙරිකන් මිසයිල්වල දිශාව වෙනස්කර ටෙහෙරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරීගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරයෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනය විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නමැති ග්‍රන්ථයෙන්ද රසදියෙන් ක්‍රියාත්මක වන අහස් යානා ගැන කියැවිණි. ඒ දෙවර්ගයම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතුවී TR3-B නමැති අධිබල තුන්හුලස් ජෙට් යානය 1998 දී නිපදවිණ. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නමැති තැටිය (පීරිසිය) නිපදවුණි.   මෙසේ හෙළයේ රාවණාගේ පුෂ්පක යානය නමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 සියවස අගදී යථාර්ථයක් බවට පත්වුණි.   බ්‍රිතාන්‍යයෙන් ලියාදුන් (1912) ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගෙන් ජනාවාස වී (ක්‍රි.පූර්ව 543) තවමත් වසර 2560ක් පමණක් ගතවී ඇත.  ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමෙරිකන්කාරයා නොව ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයින් තම ගවේෂණ තුළින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතුවී තිබේ.   
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වනවිට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවතී කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර ලඩාන් ආරාමවලට ගෙනගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් එහි ජීවත් වී සිටි බවට කරුණු සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජිවිතය (secret life of jesus) නමැති පොත සම්පාදනය කරගෙන එය පළකර ගැනීමට වතිකානුවේ හා විවිධ ආයතනවල උදව් සෙවීය. හැමදෙනා එය ප්‍රතික්ෂේප කළහ. අන්තිමට පැරිසියේ සමාගමක් එය ප්‍රසිද්ධ කළ විට මුළු ක්‍රිස්තියානු ලෝකයම ඉන් මුසපත් විය. එවිට ඉදිරියට ආ මාහාචාර්ය මැක්ස්මුලර් එක්සත් ජනපද ජනප්‍රිය සඟරාවකට ලිපි සැපයුවේ තමාද එම ආරාමවලටම ගොස් කරුණු සෙවූ නමුත් නෙටොව්චිගේ කරුණු ව්‍යාජ එ්වා බව කියමිනි. 
මීට ප්‍රතිඋපකාර වශයෙන් සියලුම ක්‍රිස්තියානි නිකායන් මගින් මැක්ස්මුලර්ව වර්ණනා කළේ ලොව ඉහළම මානව විද්‍යා මාහාචාර්යවරයා බව කියමිනි. එනිසා ඔහුගේ ආර්ය න්‍යාය මුළු ලොව පුරා පිළිගැනිණ. නමුත් මේ සියලු කරුණු හෙළිදරව් කරමින් ඩේවිඩ් බේලමි නම් ඇමෙරිකන් මහාචාර්යවරයා විසින් 1996 දී පමණ ලියූ ආර්ය න්‍යායේ මිත්‍යාව (myth of aryan theory) නමැති ග්‍රන්ථයෙන් ආර්ය න්‍යායේ ඇති වැරැද්ද හෙළිදරව් කරන ලදී. එබැවින් කොකේසස් කඳුකරයේ ආර්යයන් කොටසක් ඉරානයට සංක්‍රමණය වීම ඉරානයෙන් කොටසක් වයඹ දිග ඉන්දියාවේ කපොලුවලින් පන්ජාබයට ඇතුළුවීම පන්ජාබයේ ආර්යයන් නැගෙනහිර හින්දුස්තාන් නැතිතලාව පුරා පැතිරීම සොළොස්මහ ජනපද යුගයේදී විජය හා පිරිසක් ලංකාවට අවුත් ජනාවාස කිරිම යන ඉතා රසවත් ඉංග්‍රීසි වෘත්තාන්තය වැරදි බව ඔප්පු කරන ලදී. නිෂ්ප්‍රභා වූයේ රාජකීය ආසියාතික සංගමයට අවශ්‍ය වූ ලංකා ඉතිහාසයේ ආරම්භයයි.   
ග්‍රීක් ජාතික ප්ලේටොගේ අත්ලන්තික් පුරවරය (CITY OF ATLANTIS) පුදුම සහගතය. අත්ලාන්තිස් යන නම නිසාත් එය මුහුදට ගිලීයාම නිසාත් යුරෝපයේ පැවැති සුදු මිනිසුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස 20 සියවස පුරාවද සැලකිණ. අත්ලන්තික් සාගරයේ හමු නොවූ විට මධ්‍යධරණී මුහුදේ සෙවුහ. එවැන්නක් හමු නොවීය. 1999දි එක් ඉංග්‍රීසි ජාතික උගතකු පෙන්වා දුන්නේ රාමායණයේ එන හනුමා විසින් දුටුබවට විස්තර කැරුණු ලංකාපුරයත් ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරවරයත් එකම ස්ථානයක් ගැන ලියවුණ විස්තර දෙකක් බවය. ග්‍රීකයන් මේ වෘත්තාන්තය අසා තිබුණේ මිසර වැසියන් අතිනි. ඔවුන් ඊට මිසර නමක් යෙදූ නිසා තමන්ද අත්ලන්තිස් ලෙස ග්‍රීක නමක් ඊට යෙදූ බව ප්ලේටෝ පවසා ඇත. එබැවින් මුහුදට ගිලුණ අත්ලන්තිස් දේශය අත්ලාන්තික් සාගරයේ හෝ මධ්‍යධරණී මුහුදේ නැත.   
2002දී සාගර දූෂණ කොමිෂන් සභාව මගින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගට ස්කෑන් කරගෙන යාමේදී අඩි 4000ක් මුහුදු පතුලේ (බොම්බායෙන් සැතපුම් 250 උතුරේ) නගරයක නටබුන් හමුවිය. මෙය මෑන්හැටන් දූපත (නිව්යොර්ක්) තරම් විශාලය. පිහිටීම අනුව මේ රාමායණයේ සඳහන් දණ්ඩක වනයේ (රාවණා​ෙග්) අගනුවර වන ජනස්ථාන් බව හින්දු උගත්තු කීහ. එයද මුහුදට ගිලුණි. ගවේෂණය සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන අවසන් වී ඇති බව හදිසියේ කිව් කොමිසම ගවේෂණ නතර කළේය. හෙළයන්ගේ දේව අධ්‍යාපනය බිහිකළ බ්‍රැගු මහර්ෂි සිටි බ්‍රැගු කච්ච (දැන් බ්‍රෝච්) ඇත්තේද ඒ අසලය. මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිය හෙළ අසුර ව්‍යාප්තිය හඳුනා ගැනීමට පහසුවකි. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම නටබුන් අවුරුදු 10,000ක් පැරණිය. ලොව පැරණිම බැබිලෝනියානු ශිෂ්ටාචාරය (බ්‍රිතාන්‍යයන්ගේ මතය) අවුරුදු 6000ක් හෝ ඊට වඩා පැරණි ලෙස සැලකූ ලෝකයට අවුරුදු 10,000ක් පැරණි විශාල නගරයක නටබුන් මගින් ඇති කළේ මහා මවිතයකි.   
2009දී ඕලන්ද ජාතික මුහුදු පුරාවිද්‍යා (marine archiology) කණ්ඩායමක් ලංකාවේ මහාචාර්ය ජයවික්‍රම නමැති අයකුද සහභාගි කරවාගෙන අග්නිදිග පානම පොතුවිල් ආදියෙන් ඔබ්බේ මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුල්කර ගවේෂණයක් කරන ලදී. එහි තිබූ වකගැසී නැගෙනහිරට විහිදී නැවත දකුණට විහිදුණ වර්ග කි.මී. 3,45,000 පමණ විශාල ගොඩබිමක්ද ලංකාව අසලදී මුහුදු පත්ලේ නගරයක අත්තිවාරම්ද තිබී ඇත. (ඡායාරූප අන්තර්ජාලයේ තිබුණි) එම විශාල භූමි ස්කන්ධය ඉර්ෂියා (ershia) ලෙස නම්කර ඇත. මේ ලංකාපුරයද නැති නම් මහාවංශයේ කැලණියේ රජු දවස ලෙස හැඳින්වූ මුහුදු ගිල්මදයන්න නොදනිමු. ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ කිසිවක් නොදනිති.
  
2010 පමණ අවදියේදී ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ගේ අවධානයට හසු වූ දෙයක් වුයේ අඩි 10ක් පමණ උස මිනිසුන්ය. ​ෙමාවුහු ඇමසන් යෝධයන් මෙන් එක දේශයක මිනිසුන් නොව ලොව හැම රටකම සිටින අඩි 5-6 උස ඇති මිනිසුන් අතරම ඇති සුවිශේෂ පුද්ගලයන්ය. අධි මානසික තත්ත්වයන් නිසා ද්‍රව්‍යමය ශරීරය සමග ක්‍රියාත්මක වන ශක්ති ශරීරය නිසා මෙසේ විශාල ශරීරයන් ඇතිවූ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. ඊටද සාක්ෂි සැපයෙන්නේ හෙළ දේශයෙනි. අවුරුදු එකළොස් දහසකට පමණ ප්‍රථම දේව අධ්‍යාපනය ඇතිකළ බ්‍රැගු මහර්ෂිවෙත හෙළයේ ප්‍රාලද (පරලැදි) පාලක තැන විසින් තම සොයුරී ඌෂණ යවා දරුවන් ලබා ගත්තාය. ගරුඬ පුරාණයට අනුව එසේ ලැබූ එක් දරුවකු වන වීරචන නොහොත් වීරචන්න (දකුණු ඇමෙරිකාවේ පාතාල දේශයේදී වීරකෝච ලෙස ඔහු හඳුන්වන ශිලා සටහන් ඇත) දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවල ටිටිකාකාවිල අසල පාතාල රට ගොඩනංවන ලදී. වීරචන දේවාලයේ නටබුන් ගල් කණු හා ඔහුගේ ශෛලමය ප්‍රතිමාව අදත් ඇත. බලි රජුන් දවස ශක්‍රගේ (දේව අධ්‍යාපනයේ චන්සලර් තැන) දියණිය දේවයානි නොහොත් මන්දාත කාශ්‍යප සාක්ෂි හා එකතුවී දරුවන් තුන්දෙනකු ලබා ඇත.
මාලි සුමාලී හා මාලපවන්න යන මේ තිදෙනා තාරක සුමාලී හා සිංහමුව ලෙසද හැඳින්වෙති. එමෙන්ම මෙම සුමාලී රකුස් රජු තම දියණිය කෛකශි කුමරිය විශ්‍රවස් මුණි වෙත යවා රාවණ කුඹුක්කන් හා සුර්පණකා යන දරුවන් තිදෙනා ලද බව රාමායණය පවසයි. රාවණා අඩි 12ක් පමණ උස බව ජනප්‍රවාදයේ එයි. කුඹුක්කන්ගේ විශාල ශරීරය ගැන එය පවසන්නේ එළුවන් ගණනක් හා බත් ගොඩක්ද කා හය මාසයක් නිදන යෝධයකු බවය. රජුවරු තම දූ කුමරියන් සෘෂිවරුන් වෙත යවා දරුවන් ලබාගැනීම ලෙස පුරාණ ග්‍රන්ථවල හා රාමායණයේ සඳහන් වන්නේ උත්තම දරුවන් ලැබීමක් ලෙසටය. ඌෂණ ලත් දරුවා වීරචන දකුණු අමරිකාවට ​ගොස් පාතාල ශිෂ්ඨාචාරය අැරඹීය. දේවයානීගේ දරුවෝ අහසින් (ගුවන් යනා) ගොස් බොම්බ දැමූහ. නැවතද රාමායණය පවසන පරිදි රාවණාට ඥාන දහයක් (දසිස්) වූ බව කුම්භකරණගේ විශාල ශරීරය ගැනය. මානව විද්‍යාඥයන් මේ අනුව සිතන්නේ අසීමිත ගුණ ශක්තිය (රාවණ) හා අසීමිත ශරීරය ශක්තිය සෘෂිවරුන්ගේ ජානවලින් ලබෙන බවය.
1986 දී පිරමීඩ් දේවාලයේ බිත්තියෙහි වූ ගුවන් යානා ඇඹීම් 4න් පසු මේ දක්වා 30 අවුරුද්ද තුළ අවුරුදු 6000ක් ඔබ්බේ ලෝකය ගැන නොයෙකුත් අරුම පුදුම ඓතිහාසික සාක්ෂි ලැබී ඇත. ලොකුම පුදුමය නම් මේ හැම සොයා ගැනීමකටම ලංකාව නොහොත් හෙළදිව සම්බන්ධ වී තිබීමය. අනෙකුත් පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැතිවී ගොස් (lost civilizations) ඇති අතර ශිෂ්ටාචාරය පමණක් (හෙළ අසුර අධිරාජ්‍ය) අවුරුදු 12,500ක් අතීතයේ හිරාන් කසුබ් දක්වා දිවයයි. නමුත් ඒ අඛණ්ඩ ඉතිහාසයක් නොව කඩවූ ඉතිහාසයකි.   
ආචාර්ය සූරිය ගුණසේකර
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය පාථකයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 22, 2017

අතීත හෙළ ගුවන් යානා....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana vimana air craft)

විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ​ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම” යනුවෙන් අදත් භාවිත කරන්නේ පොළොව මතුපිට ගමන් කිරීම වුවද ගමන් යනු පොළොව මතුපිට යාමයි. බිමන් යන අහසින් යාමයි. බැංගලෝරයෙන් ලැබී 1923 ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද භාරද්වාජගේ (සංස්කෘත) ග්‍රන්ථයේ ගුවන් ගත කිරීම “නැග්ම” යන වචනයෙන්ද පොළොවට පාත් කිරීම “ලැග්ම” යන වචනයෙන්ද (ලැගීම) දක්වා තිබුණි. මේ පක්ෂියාගේ නොහොත් කුරුල්ලාගේ ගමන අනුව යාමයි. 1967 දී ටිබෙට් රටින් සොයාගෙන චීන රජය විසින් ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයට දී ඉංග්‍රීසියට පරිවර්තනය කරගත් පොතේ තිබුණේ ග්‍රහලෝකවලට පවා මෙම විමානවලින් ගමන් කළ හැකි බවය.
පරිවර්තන මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය රූත් රේනර් මහත්මිය ඒ බව ප්‍රකාශ කර තිබුණි. ගුවන් යානාවක් නිපදවීම හා පදවාගෙන යාම පුද්ගලයකුට හෝ එක් ගුරුකුලයකට සීමාවුවක් මිස එය සමාජ විද්වත් හෝ සමාජ තාක්ෂණයක් නොවීය. එය ඍෂි නොහොත් විශ්වකර්ම විසින් නිර්මාණය කරන ලද “ලංකාපුරය සහ දඬුමොනර යානය” එසේ සැදුවේ සිංහමුඛ නොහොත් මාල්‍යවන්ත කුමරුටය. ඔහුගෙන් හිස් වූ ලංකාපුරය හා යානය විශ්‍රවස් මුණි අත්පත්කර ගති. රාවණ විසින් විශ්‍රවස් මුණිව ලංකාවෙන් පිටකර ​ෙ​ෙකලාශ කූටයට (අද සංචාරක මධ්‍යස්ථානයකි.) යවා තමන් විසින් ලංකාපුරය හා යානය අයිතිකර ගති. ආරම්භක කෘත යුගයේදී යානාවක් රහිතව සිතිවිලි මාත්‍රයෙන් මිනිසාට අහසින් යා හැකි වු බව ලේඛනගතව ඇත. දෙවැනි ද්වාපර යුගයේ අවසාන භාගය වනවිට ආවරණය සාදා ගැනීමට සිදුවිය. ඒ ඔහු තම පංචස්කන්ධය ඒ තුළ රඳවාගෙන ගමන්කළ නිසාය. ඒ තුළ මන්ත්‍ර ජප කරමින් ඔහු ගමන් කළේය.
තේත්‍රා නමැති තුන්වන යුගය වන විට ලෝහ ආවරණය හා යානය ක්‍රියාත්මක වන එන්ජිමක් සහිතව විමානය ගමන් කළේය. කෘත යුගයේ මිනිසා අධි මානසික බලවලින් පරිපූර්ණව සිටි නිසා (4/4) සියල්ල සිතුවිල්ලෙන් ක්‍රියාත්මක විය. ද්වාපර යුගයේදී පූර්ණත්වය අඩක් (2/4) අඩු විය. තේත්‍රා යුගයේදී අධි මානසික බල 1/4ට අඩුවී මන්ත්‍ර වැඩි​ෙයන් අවශ්‍ය විය. වත්මන් කලියුගයේදී අධි මානසික බල මුකුත් නැතිව හුදෙක් ද්‍රව්‍යමය ලෙස (භෞතික හා රසායන විද්‍යාවෙන්) ගුවන් යානා නිපද වේ. නමුත් දැන් පෙනී යන්නේ බලවත්ම අධිවේගී ගුවන් යානාවලට සිතිවිල්ල කෘත්‍රිම ලෙස වායු තරංග වලට කවා එම වායු තරංග (මන්ත්‍ර) මගින් ද්‍රව්‍යය ස්පර්ෂකර ක්‍රියාත්මක කරන බවය.
මෙහි විස්තර පෙනෙන ගුවන් යානා තාක්ෂණය භාරද්වජගේ “විමාන ශාස්ත්‍ර” වලින් උපුටා ගත් අතර එහි දැක්වෙන්නේ තේත්‍රා යුගයේ ගුවන් යානා තාක්ෂණයයි.
ලෝහ වර්ග තෝරාගැනීම.
නියමුවා සම්පූර්ණ වූ (නියම වූ) පසුව පමණක් යානය සෑදීම විස්තර වේ. මානව අවශ්‍යතාව අනුව ද්‍රව්‍ය ක්‍රියාකාරිත්වය දෙවනුව පුරුදු පුහුණුකර ඇත්තේ හෙළ ශිෂ්ටාචාරයේය. අදත් සිංහල අවුරුද්ද දිනට පළමුවෙන්ම සිදුවන්නේ පාරිභෝගික අවශ්‍යතාව මූර්තිමත් කරන ලිප ගිනි මොළවා කිරිබත් පිසින කාර්යය පළමු නැකතට සිදු කිරීමය. මේ මව හා දූවරුන් විසිනි. වැඩ අල්ලා ගනුදෙනු කර නිෂ්පාදන ක්‍රියාව මූර්තිමත් කරන්නේ පියා හා පුතුන් විසින් දෙවනුවය.   පෘථිවිය අභ්‍යන්තරයේ ලෝහ නිධි දරාගත් පාෂාණ තට්ටු 3000ක් ඇත. 7 වැනි ස්ථරයේ ඇති මෙවැනි ලෝහ වර්ග 27කි. මධ්‍ය ආකර්ෂණ බලය, පෘථිවි හා වායු ගෝලීය ආකර්ෂණය, සූර්ය පිටාරයත්, වායුන්ගේ බලයත්, ග්‍රහලෝක හා තාරකාවල බලය, හිරු සඳු ආකර්ෂණ බලය, විශ්ව ගුරුත්වාකර්ෂණ යනාදී වූ සියලු බලවේගයන් පෘථිවියේ 3, 8, 11, 5, 2, 6, 4, 9 යන ස්ථරවලට අනු පිළිවෙළින් ඇතුළු වේ. එමගින් නොයෙකුත් වර්ගවල හා තත්ත්වයන්ගේ ලෝහ වර්ග නිර්මාණය වේ. මේ අතුරින් සෞමක, සෞන්දල හා මෞත්විත ලෝහවර්ග තුන තෝරා ගැනේ. මේවායේ ඇති විශේෂ බල සහ ගුණාංග විවිධ ශබ්දයන්ට ආදේශ කර වටිනාකම් මනිනු ලැබේ. මෙම තෝරා ගැනීම් කරන්නේ සූර්යාගේත්, එහි පරිවාර ග්‍රහයන්ගේත්, තාරකාවල හා අභ්‍යාවකාශයේ අනන්ත වූ ග්‍රහ තාරකාවන්ගේ බලශක්තීන් පෘථිවියේ කිනම් ස්ථානවල ඇති ලෝහයන්හි අන්තර්ගතදැයි දැනගැනීමෙන් පසුවය.   අභ්‍යාවකාශයේ ගමන් කරනවිට විවිධ රශ්මීන්ට සහ උණුසුම් තත්ත්වයන්ට, සුළං හා වා රැළිවල ගැටීම් වලට, වසවිස ස්ථරවලට, ධූම පටලයන්ට යානය ඔරොත්තුදීමට හැකිවීමටය. පස් සහ වෙනත් විවිධ පාෂාණ කොටස් මිශ්‍ර අපිරිසිදු ස්වරූපයෙන් හාරාගත් ලෝහ වර්ග උණුකර සුද්ධකර ගැනීමට අවශ්‍යය.
ලෝහ උණු කිරීම.
සෞමක - මෙම ලෝහය කට පළල් භාජනයක පුරවා පැඟිරි, දෙහි, එඬරු, සියඹලා, ජම්බු ආදී යුෂයන් මිශ්‍රකර දවසේ උෂ්ණත්වය මෙන් (90°f හෝ 28​°c) 27 ගුණයක උෂ්ණත්වයෙන් (2430°f හෝ 756°c) උණුකරගත යුතුය. මෙසේ උණුකරගත් ලෝහය තෙල් වර්ග 8ක් සමග සහ ඉන් අනතුරුව අම්ල සමග උණුකර වත් කෙරේ.
සෞන්දල - සිලින්ඩරාකාර භාජනයක දමා අම්ල වර්ග 6න් හා තෙල් වර්ග 7න් උණුකර වත්කර ගත යුතුය.
මෞර්විත - ඉහත සඳහන් සෞමක හා සෞන්දල මෙන්ම අම්ල සහ තෙල් වර්ග කීපයකින් නියමිත උෂ්ණයන්හි උණුකර වත්කර ගනු ලැබේ.
විමාන සඳහා ලෝහ උණුකරන උඳුන් සාදන ආකාරයද විශේෂිත වේ. එක් වර්ගයකට 76ක් වන වර්ග 7ක උඳුන් 532 ඇත. මේ සඳහා සුළං පිඹිනයන් (Blowers) වර්ග 532ද ඇත. උඳුන් සෑදීමට ගන්නේ ගස්වල පොතු, සතුන්ගේ හම්වර්ග, කිරිවල ඇති ක්‍රීම්, රෙදි, සේද, කපු, පුවක් මුල් ආදී දීර්ඝ වට්ටෝරුවකි.
විමාන ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය.   
විමානය ක්‍රියාත්මක වීම සඳහා ශක්තීන් 7ක් ක්‍රියාත්මක විය යුතුය. මෙම ශක්ති උපදවන්නේ මෝටර් මගිනි. ඉන් නිපදවෙන ශක්තිය රැහැන් යොදා ක්‍රියාකාරීත්ව කොටස (එන්ජිම) වෙත ගමන් කරවනු ලැබේ. හැම මෝටරයක්ම ඊට ආවේණික ශක්තිය උපදවයි. ශක්ති ප්‍රශාවත නමැති යන්ත්‍රය විමානය ගමන් කිරීමටද. අපතර්පන යන්ත්‍රය විසින් සතුරු යානයක ශක්තිය ලොප් කිරීමද, අම්පුසා යන්ත්‍රයෙන් සූර්ය ශක්තිය උරාගැනීමද ආදී ලෙස මෙම ශක්ති 7 විස්තර කළ හැක.   ශක්තිය උපදවන මූලයන්ද 7කි. ඒ ගින්දර, පො​ෙළාව, වායුව, සූර්යයා, චන්ද්‍රයා, ජලය හා අවකාශ මගිනි. ශක්තීන් ග්‍රහණය කරන්නේ ශබ්ද (මන්ත්‍ර) මගිනි.
“ර” අක්ෂරය සූර්ය ශක්ති 12, “ස” අක්ෂරය සතුරු බල උරාගැනීමද, “ත” අක්ෂරය මූල ශක්තිය ස්පර්ෂ කිරීමද ආදී ලෙස එම හත විස්තර වේ. මෙම ශබ්ද මන්ත්‍ර ලෙසට සංග්‍රහ කර ප්‍රයෝජනයට ගනු ලැබේ.
විමානයක ඇති ප්‍රධාන කොටස් තිස් එක.
මෙම කොටස් 31 යටතේ වැදගත්ම කොටස් 7 වන්නේ දර්පණතල නොහොත් ප්‍රධාන කණ්ණාඩි 7යි.
1. විශ්වකාර්ය දර්පණය (ගුවන් නියමුවා අසල ඇති කරකැවෙන අසුනක සවිකළ හාත්පස පෙනෙනා දර්පණය. (උකුසු ඇටකටු කොටසක්, රසදිය කොටස් 5ක්, මුතු ඇට කුඩු කොටස් 8ක් ආදී වර්ග 14 අමුද්‍රව්‍ය අවශ්‍යයි.)
2. ශක්තියාකර්පණ දර්පණය - (සූර්යාලෝකය, සුළං හා ගින්දර නිසා ඇතිවෙන අහිතකර ප්‍රතිඵල 122 ඇති අතර එම අන්තරායන් මෙම දර්පණය මගින් ඇදගන ආරක්ෂාව සලසයි.)
3. විරූප දර්ශන (සතුරු යානයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරන විට භයංකර විරූප දර්ශනයක් මැවීමට මින් හැක. විරූප දර්ශන 27කි. ගින්දර, ජලය, සුළං, වලසා, කොටියා, සිංහයා, දැවැන්ත කුරුල්ලන් ආදියයි)
4. කුත්තිනී දර්පණය - පහළ වායුගෝලයේ ජීවය ආරක්ෂා කර දෙන ස්වභාවික ක්‍රම ඇත. ඉහළ අහසේ හා අභ්‍යාවකාශයේ භූත, ලේ, මේද, මාංශ, ඇට, සම හා බුද්ධිය රෝගී කරවීම සිදුවේ. කුත්තිනී දර්පනයෙන් ඒ සියල්ල ආරක්ෂා කරයි.
5. පින්ජුලා දර්පණය - සූර්ය ශක්තියේ ඇති එකිනෙක ගැටෙන විරූඪ බලවේග පින්ජුලා නම් වේ. ඉන් ඇසේ කළු ඉංගිරියාවට බලපා අන්ධ කරයි. මෙම දර්පණයෙන් ඊට ආරක්ෂාව සලසයි.
6. ගුහා ගර්භ දර්පණය - සුළංවල රශ්මිවල ඇති එකිනෙක අතර ඇතිවෙන විදුලිය බල ගැටීම මගින් යානය තුළ සිටින අය ශක්තියෙන් පිරිහෙළා අක්‍රීයකර දමයි. මෙම දර්පණයෙන් එම ශක්තීන් ඊට එකතුකර පිටට විහිදුවා හැරේ. සතුරු යානයක් එන්නේ නම් ඊට එල්ල කළ හැක.
7. රෞදි දර්පණය - සූර්ය රශ්මියේ අහිතකර බලයත් එකතුකර විද්‍යුත් බලයෙන් විහිදුවා හැර තමන්ට වුවමනා  යානයක් උණුකර වගුරුවා හැරිය හැක. (ටිබෙට් පොත්වලින් ඉගෙනගන හිට්ලර්ට යුද ටැංකි උණුකරන ආලෝක කිරණ නිපදවීමට හැකි විය.)
ආහාර අධිකාරිය.   
විමානයක් පදවන අයගේ ආහාරය පො​ෙළාව මතුපිට ජීවත්වන අයකුට වඩා වෙනස්ය. වසන්ත හා ග්‍රීස්ම සෘතුවලදී, ශීත සෘතුවේදී, වර්ෂා සහිත සරත් සෘතුවේදී ගතයුතු ආහාර වෙනස් වන්නේය. මෙය නොදන්නේ නම් ආහාර විෂවීමට පුළුවන.
අහසේ ඇති ජලීය ස්වභාවයේ වෙනස්වීම් හා ජලීය ප්‍රමාණයේ අනුපාත අඩුවැඩි වීම් ශරීරයට යහපත් හා අයහපත් ආකාරයන්ට බලපායි. ඉහළ අහසේ 1/16 පමණක් ජලය ඇති 7 වැනි ආකාශ ස්ථරයේ සීතාවලී සහ කුහෝ නමැති යෝග සමග වායු බලවේග 101 ප්‍රමාණය ගැටේ. මේවා පසලොස්වක හා අමාවක සමග පුර හා අවපක්ෂ වලදී විවිධ ප්‍රතිඵලයන්ය.
සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන ආහාරවේල් 2ක් හෝ 3ක් ගන්නා අය කුස පිරෙන්නට ආහාර ගත්තද ආකාශගාමියා ඊට වෙනස්ය. ප්‍රමාණයෙන් අඩු වූද පෝෂ්‍ය ගුණයෙන් හා ඔෟෂධීය ගුණයෙන් වැඩි වූද ආහාරයන් අඩංගු ගුළි සහ බෝලද දියරයන්ද (තලප, සුප් ආදී) මේ සඳහා නිර්දේශ කෙරේ. බෝල ආහාර තුනපහ කුළුබඩු ආදිය සමග පිසගත යුතුය. මේ හැරුණු විට ඖෂධීය ගුණ පමණක් ඇති පිටි රහිත (විටමින්) ගුළි බෝල හා දියරද අවශ්‍ය. ඇල්කලයින් (ශීත) ආහාර හා අම්ල (උෂ්ණ) ආහාරද යන දෙවර්ගයම ගත යුතුය. ගෙඩි වර්ග, අල, පලතුරු, මී පැණි, ගිතෙල් වැඩි වශයෙන්ද පිෂ්ඨය අඩු වශයෙන්ද තිබීම අවශ්‍යය. ධාන්‍ය පිෂ්ටය අඩුවෙන් හා අල වර්ගවල පිෂ්ටය වැඩිවෙන අයුරුද මෙම ආහාර සැකසිය යුතුය. කුඩා පැළෑටි හා පඳුරුවලින්ද ආහාර සැකසේ. දුර්වා තෘණ වර්ග 6ක්, මන්ජු හණවර්ග 6ක්, දික්තෘණ වර්ග 4ක්, කාරුවේලී, චන්ද්‍රවේලී සූර්යවේලී ආදී පැළෑටිද මේ අතර වේ.
වස්ත්‍රාධිකාරය (ඇඳුම්) - පෘථිවියේ සූර්යයා වටා ගමන නිසා ඇතිවන සෘතු භේදයට වඩා වෙනස් සෘතු භේදයකට ගගනගාමියාට මුහුණදීමට සිදුවේ. මස්පිඩු තදවීම, රුධිර සංසරණය අඩුවැඩිවීම, රුධිර ගලනය, තෛල සංයුතින් හා කොටස්වල වෙනස්කම්, මාංශ කොටස්වල වැඩීම හා ක්ෂයවීම ආදී විවිධ බලපෑම් මෙනිසා ඇතිවිය හැක. අයහපත් බලපෑම් 25ක් ඇති අතර ඒවා හම, ඇට, මස්, මේදය, මස් පිඩු, ස්නායු, සන්ධි සහ නියමුවාගේ වෙනස් ශරීරාංගවලටද ඒවා බලපෑ හැක.
මෙය විස්තර කරන “පට-සංස්කාරයට” අනුව සේද, කපු, පෙඳ, ලෝම, මයිකා, හම් යන අමුද්‍රව්‍ය මයිකා සංතෘප්ත ජලයෙන් සෝදා නූල් කූට අනතුරුව 25 වරක් සේදිය යුතුය. කේතකී මල කෙඳි, අර්ක,මදාර සූර්යකාන්ති පොල්කෙඳි ජූට් ආදී කෙඳි නම් 8 වරක් සේදිය යුතුය.
තලතෙල්, තුලසි නොහොත් බැසිල්, ෆාම් නොහොත් ඇකේෂියා හා අබ තෙල්වල හොඳින් පොඟවා තබා දිනකට පස්වර බැගින් සතියක් අව්වේ වේලාගත යුතුය. මෙසේ රෙදි සෑදීමේ වට්ටෝරු හා තාක්ෂණය බොහෝ දිගට විස්තර කෙරේ. මෙසේ දැක්වූ රෙදි නියමුවාගේ ශරීරයේ හැඩයට කපා මසා ගැනේ. මෙම ඇඳුම්වලින් උවදුරු දුරුකිරීම, ශරීර සමබරතාව රැකීම, මානසික ප්‍රභාත්වය, සපුරා උනන්දුව, උද් යෝගය හා ශක්තිය ලබා දේ. යානය තුළ ගමන් අරඹන්නේ මෙම වස්ත්‍ර ඇඳගෙනය.
නියමුවා දැකගත යුතු රහස් 32 -   
අංග සම්පූර්ණ දුතක නොහොත් අභ්‍යාවකාශගාමී නියමුවා දැන සිටිය යුතු රහස් 32කි. මින් කීපයක් පහත දැක්වේ.
මන්ත්‍ර - භෛරවී, වේගිනී, චින්තමස්ත, සිඩාම්බර ආදී 12 කාණ්ඩයක මන්ත්‍ර ඇත. නොකැඩෙන, නොබිඳෙන, ගිනි නොගන්නා, කැපිය නොහැකි, විනාශ කළ නොහැකි යානයක් නිපදවීමට නම් අමුද්‍රව්‍ය සියල්ල භූවනේස්වර මන්ත්‍ර ජපකර සිද්ධි කළ යුතුය. යානය පෙනීමට, නොපෙනී යාමට, විරූපි කර දැක්වීමට මෙම මන්ත්‍ර ජප කිරීම අවශ්‍යය.
තන්ත්‍ර - මහාමාෂා, ෂම්බාර, ත්‍රෛත වැනි බල ලබාගෙන යානයට ආදේශ කිරීමට තන්ත්‍ර දත යුතුය.
ක්‍රීටක - විවිධ මෝස්තරවල යානා සෑදීමට මය (විශ්වකර්ම) ජයාපරුන්, මනු, මාධ්‍ය ආදී ප්‍රවීන සැලසුම්කරුවන්ගේ ක්‍රම සහ විධි දත යුතුය.
අන්තරාල - වායුතල වෙන්වන සීමාවලදී, සුළංවැල් එකිනෙක ගැටෙන මායිම්වලදී, තවත් යානයක ගැටෙන්නට යනවිට යානය නතර කිරීමේ හෝ බේරාගැනීමේ ක්‍රම.
රූපාන්තර - විමානය සිංහයකු, කොටියකු, සර්පයකු, කන්දක් ආදී ලෙස පෙනෙන්නට සැලැස්වීම.
ස්තබ්දක - සතුරු යානයේ අය සිහි නැති කරවීමට
ක්‍රියාග්‍රහණ - ​ෙපාළොවේ සිදුවන ක්‍රියාවලි දැන ගැනීමේ විධිය.
කර්ෂණ - උෂ්ණත්ව සුක්කානම 87 ගුණයක් වැඩිකර කරකවා පිලිස්සීමේ ශක්තිය වැඩිකර ආලෝකධාරා යවා (ලේසර්) සතුරු යානය පිලිස්සීමට මේ කරුණු 7කි. කරුණු 32ම නියමුවකු දත යුතුව ඇත.
ගුවන් ධාවන පථ.   
අහසේ කලාප 5ක් ඇත. රේඛාපත, මණ්ඩල, කක්ෂ්‍ය, ශක්ති, කේන්ද්‍ර යනුවෙන් ඒවා හැඳින්වේ. මෙම කලාප 5 තුළ ගුවන් ධාවන පථ 5, 10, 800ක් ඇත. ලෝක 7ට මේවායින් ගමන් කළ හැක. ලක්ෂ ගණනක් ධාවන පත අතුරින් තමනට වුවමනා ධාවන පථය ​ෙත්රා ගන්නේ මන්ත්‍රයක් කීමෙනි. භූලෝක, භුවර්ලෝක, සුවර්ලෝක, මහෝලෝක, ජනෝලෝක, තපෝලෝක, බ්‍රහ්මලෝක විමානවලට සුදුසු කලාපවල ඒ ඒ කොටස් පමණක් ගමන් කිරීම සඳහා සුදුසුය. පෘථවි මනුෂ්‍යයන් හැර වෙනත් ලෝකවල අයද තම විමානවලින් අභ්‍යාවකාශයේ ගමන් කළ බව දැක්වේ.
ආවර්ත නොහොත් වාසුලි ඉහත සඳහන් කලාප තුළ බහුලය. රේඛාපත - ශක්ති සුළං. මණ්ඩල පථ - සුළඟින් උපදින සුළි, කක්ෂාපථ - සූර්ය රශ්මි සුළි, ශක්තිපථ - ශීතාවර්ණ සුළි, කේන්ද්‍රපථ - සර්ෂණාවර්ථ සුළි.
විමාන වර්ග හතර.   
වර්තමාන ගුවන් යානා මෙන් හෝ රොකට් මෙන් නොව වෘත්තාකාර හැඩයෙන් යුතුව කෝප්පයක් මුනින් නැමුවා වැනි හැඩයෙන් යුතු විමාන අතීතයේදී විය.
1. ශකුණ විමාන - අහසේ යාමේදී පුෂ්පයක් උඩු අතට හැරවූවාසේ වුවද පො​ෙළාවට බෑමේදී දෙපස ඇති පියාපත් දිග හැරී අත්තටු සලමින් වේගය අඩුකර ගනී. කුරුල්ලා සිහිගන්වන නිසා මෙය ශකුණ විමාන විය.   2. සුන්දර විමාන - පූර්ණ වෘත්තිකාර හැඩයෙන් හා තැටියක ස්වරූපයෙන් යුතුය. පියාඹන පිරීසි ලෙස අප හඳුනාගෙන ඇති මෙය ප්‍රහාරක යානයකි.   3. ත්‍රිපුර විමාන - තට්ටු තුනකින් යුතුය. පළමු තට්ටුවට පො​ෙළාව දිගේ යා හැකි අයුරු රෝද 2x10 ක් 20ක් ඇත. දෙවැනි තට්ටුවට දිය මතුපිට හා දියයටින් (සබ්මැරීන් ලෙස) තුන්වැනි තට්ටුවට අහසේ පියාසර කළ හැක.
4.ප්ලේටෝ විසින් වාර්තා කළ අත්ලාන්තික් පුරවරයේ (ලංකාපුර) දිය යටින්ද අහසින්ද යන ගුවන් යානා ඇති බව සඳහන්ය.
ආචාර්ය සූරිය ගුණසේකර 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය පාථකයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya