Monday, August 29, 2016

පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම.. අබිරහස් අඩවිය - Abirahas Adawiya .(aliens pitasakwala jeeween)


පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම...
අතීතයේ බොහෝ විශ්වකර්ම නිර්මාණ සඳහා පිටසක්වල ජීවීන් මෙහි පැමිණ උදව් කල බව ප්‍රසිද්ද මතයකි. 
වසර 14,000කට පමණ පෙර ඩයමන්ඩ් වීල් යොදාගන කපා ඇති බොලිවියාවේ පූමා පුන්කු ප්‍රදේශයේ ඇති ගල් කැටයම් හා පිරමීඩ නිර්මාණය ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණයන්ය. 
පිරමීඩ තුළ ඇති කැටයම් වලත් වසර දහස් ගනනකට පෙර ගල්ගුහා වල ඇඳ ඇති චිත්‍ර වල ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.
මේ පිළිබඳව The History රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ "Ancient Aliens" වැඩසටහන් මාලාව මඟින් ලොව පුරා වූ එවැනි සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර තිබෙන නමුත් ලංකාවේ අතීතය වසර දහස් ගනනක් එහාට ගියද රාවණා ඉතිහාසය හැර වෙනත් කිසිම දේකට පිටසක්වල සම්බන්ධයක් තිබූ බව සඳහන් වෙන්නේ නැහැ.
නමුත් හෙට මව්බිම පුවත්පතේ ලිපියකින් හෙළිකර සිටින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවයි. 
මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්ය.
මහනුවර යුගයට අයත් දෙගල්දොරුවේ ඇති "මාර පරාජය" බිතුසිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය චිත්‍රයේ මාරයන් සිටින්නේ තුවක්කු අතැතිවය. ඒ සඳහා චිත්‍ර ශිල්පියාට ආභාෂය ලැබී ඇත්තේ ලන්දේසීන් විසින් භාවිතා කළ තුවක්කු නිසාය.
තිවංක පිළිමෙගෙය
මේ ආකාරයටම අතීතයේ පිටසක්වල ජීවීන් අහසින් පැමිණි බැවින් අහසින් පැමිනෙන දෙවියන් හා සමානකර තිවංක පිළිමගේ චිත්‍රශිල්පියා විසින් තමා දුටු දෙය චිත්‍රයට නැඟුවා වන්නට පුළුවන.
පහත තිබෙන්නේ හෙට මව්බිම පුවත්පතේ පලවන ලිපියෙන් උපුටාගත් කොටසකි.
"පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැඟිල්ල පොළොන්නරුවේ තිවංක පිළිමගේය. ධර්මරත්න යනු මීට පෙර එහි සිටි මුරකරුවෙකි. ඔහුගේ සීයා හා පියාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. 1968 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුන ඔහු එම පරම්පරාවේ තුන් වන පුරුකය. අදටත් ඔහු පරණවිතාන මහතා කළ සංරක්ෂණ ගැන කතාකරනේ මහා ගෞරවයකිනි. 
මුල් අවදියේ දී ඉතාමත් තාත්වික ලෙස අලංකාරව තිබූ සිතුවම් ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත. සිතුවම් වලින් සිහින් දුමක් වැනි යමක් පළමුව දෘශ්‍යමාන වීම නිසා මේ බව වඩාත් ලංව නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ ඉන් ඉතා කුඩා කෘමී වර්ගයක් පිට වන බවයි. ඒ පිළිබඳව අදාල නිළධාරීන්ට දැන්වුව ද ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් මේ පිළිබඳව පුද්ගලිකව පරීක්ෂණ පැවැත්වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු මෙය සත්‍ය බව තවුරු කරගෙන ඇත.
ලංකාවේ පවතින විශේෂිතම වූ පිළිම වන්සේලා අතරින් එකක් වන අඩි 23 ක් උස වූ තිවංක ප්‍රතිමාව තැන්පත් කර ඇති තිවංක පිළිමගෙය අඩි 160 ක් දිගකින් හා අඩි 63 ක පළලින් යුතුය. එසේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළ ඇඳුම් ඇඳි එකම මුරකරු සඟවා ගත්තේ ද මෙහි ය. 
වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේ ය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත් ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත් ය.
1961 වසරේ දී තම පියා එහි සේවය කරන සමයෙහි දී ධර්මරත්න සෝමාවතියේ තිබූ පුරා වස්තු දැක ගත් අතර පසු කලෙක දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෝමාවතියේ තිබූ පුරා වස්තු ගැන දැනගන්නට අවැසි වූ විට දී තමන් දුටු දෙය ධර්මරත්න පවසා ඇත. පසු කළක දී ඒ පිළිබඳව ලිපියක් හමු වූ අතර ධර්මරත්න කී කරුණු ඉන් සනාථ වී ඇත.
වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය. 
තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ.
ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.
තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි. 
එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.
මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.
දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත. 
ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය. 
ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ."
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra .... අබිරහස් අඩවිය - Abirahas Adawiya (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප‍්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප‍්‍රවාදයක් බවත්ය.
චුපකාබ්රා කියන්නේ කාටද ?
‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත‍්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ  ‘චුපකාබ්රා’ කියලයි.
චුපකාබ්රාගේ හැඩරුව
ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප‍්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි  මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි.
ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප‍්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා.
අතීත තොරුතුරු
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප‍්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ. 
මෝකා නුවරට ආ වැම්පයරයා
1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව.
චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා
1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ. 
ලෝම හැලූණු කයෝටි නරි
2004 වසරේ ජූලි මාසයේදී  සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.
රුසියාවෙන් චුපකාබ්රා හමුවේ
2006 වසරේ අප‍්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප‍්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප‍්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා.
දිගු උල් දත් ඇති කෘදන්තයෙක්
2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල්  ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ‍්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත. 
බැටලූවන් 300 ක් මරා දමයි
බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ.
කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්
2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව.
චුපකාබ්රා පිලිපීනයෙනුත් ?
ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 28, 2016

බර්මියුඩා ති‍්‍රකෝණය පිළිබඳ පූර්ණ විග්‍රහයක්...(Bermuda Triangle unsolved mysteries අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ඈත අතීතයේ පටන් නාවිකයන් මේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශය හැඳින්වූයේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ යන නමිනුයි. ඒත් අපි කවුරුත් එය හඳුන්වන්නේ ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යනුවෙනි.
මොකක්ද මේ බර්මියුඩා ති‍්‍රකෝණය ?

ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් ඔවුනට මුහුණ පාන්නට සිදුවුණු පැහැදිලි කළ නොහැකි අත්දැකීම් විස්තර කර තිබේ. ඒත් බර්මියුඩා ති‍්‍රකෝණය ගැන ඔවුන් කියන කතා මුහුද සම්බන්ධයෙන් ගෙතූ උපමා කතාවලට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා. ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ට Devil's Triangle නැතිනම් ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ට Bermuda Triangle අයත් ප‍්‍රදේශය වන්නේ බර්මියුඩාව, ෆ්ලොරිඩාවේ මයාමි සහ පුවර්ටෝ රීකෝවේ සැන් යුවාන් යන ප‍්‍රදේශයි. මෙම ප‍්‍රදේශයට අප බර්මියුඩා ති‍්‍රකෝණය කීවත් එය ඇමෙරිකානු භූ කලාප නම් කරන මණ්ඩලයේ The U. S. Board of Geographic Names නිල නාමාවලියට එය ඇතුළත් කර ගෙන නැත.
මෙම කලාපය ජපාන හා පිලිපීන ධීවරයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියාය. ඊට හේතුව මෙවැනි ම කලාපයක් ජපානයට නැගෙනහිර මුහුදේ තිබීමයි. ජපාන සහ පිලිපීන ධීවරයින් එම කලාපය හඳුන්වන්නේ ‘යක්ෂයාගේ මුහුද’ Devil's Sea කියාය. ඒ අනුව ඔවුහූ බර්මියුඩා ති‍්‍රිකෝණයට ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියා කියති. එහෙත් බර්මියුඩා ති‍්‍රකෝණය තරමට මෙම කලාපය ප‍්‍රසිද්ධියට පත්වී නොමැත. බර්මියුඩා ති‍්‍රකෝණයට අයිති කලාපයේ ඇති අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අබිරහස් අතුරුදන්වීම් ද ‘යක්ෂයාගේ මුහුද’ යනුවෙන් හැඳින්වෙන කලාපයේ දැකිය හැකිවේ.

ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු දේ
බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම ලිඛිත වාර්තාව සටහන් වී ඇත්තේ 1492 දීය. එය සුප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ලියූ වාර්තාවකි. එම වාර්තාව සටහන් කර ඇත්තේ ඔහු ‘නව ලොවක්’ සොයා ගමනේ දී මුලින්ම ඇමෙරිකාවට පය තැබූ අවධියේදීය. ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාවට ගොඩ බැස්සේ ‘සැන්ටා මරීයා’ නැවෙනි. ‘සැන්ටා මරීයා’ නැව බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපය හරහා යද්දී ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකෙන්න පටන් ගත් බවත් ක්ෂිතිජයේ කෙළවර දීප්තිමත් ආලෝකයක් දුටු බවත් ගිනි බෝලයක් අහසේ සිට ඇවිත් මූදට වැටුණු බවත් ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු බව එම වාර්තාවේ සටහන් ව ඇත.
ති‍්‍රකෝණයේ අබිරහස

එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ. මේ සෑම අතුරුදන්වීමක දී ම වහාම කි‍්‍රයාත්මක වන්නේ වෙරළාරක්ෂක නිලධාරීන්ය. බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ සිටින වෙරළාරක්ෂක නිලධාරීන් එහි දී අතුරුදන් වූවන් සොයමින් සෑම අවස්ථාවක දී ම මුහුදේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ඔවුන් කොතරම් වෙහෙස මහන්සි වෙනවා ඇත්දැයි ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බර්මියුඩා ති‍්‍රකෝණයේ කිසියම් අද්භූත සංසිද්ධීන් සිදුවන බවත් එහි කිසියම් අබිරහසක් ඇති බවත් ලොව පුරා ප‍්‍රචලිත වීමට හේතු වූයේ ෆ්ලයිට් 19 (Flight 19)  ගුවන් යානා අතුරුදන්වීමය. ඊට පෙරාතුව 1918 මැයි මාසයේ 306 දෙනෙක් රැගත් යූ.එස්.එස්. සයික්ලොප්ස් (USS CYCLOPS) නෞකාව අතුරුදන්වීමත් සිදුවිය.
‘ෆ්ලයිට් 19’
Flight 19
1945 දෙසැම්බර් 5 වැනිදා ‘නේවි ඇවෙන්ජර්ස්’ නම් නාවික හමුදාවේ බෝම්බ හාරක ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා පහක් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරෙන් ගුවන් ගත වූයේ සාමාන්‍ය පරිදි පැය 3 ක කාලයක් පුරා සිදුකෙරෙන යුද අභ්‍යාසයකට සහභාගීවීම සඳහායි. මේ ගුවන් යානා සමඟ ගුවන් හමුදා භටයෝ 14 දෙනෙක් ගමන් කළහ. ඔවුහූ ෆ්ලොරීඩා වෙරළ තීරය අවට බෝම්බ දැමීමේ පෙරහුරුවකට සහභාගී වූහ. පැය කිහිපයක් ගතවූ පසු ගුවන් යානා සමඟ ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිලධාරියා ලූතිතන් චාර්ල්ස් ටේලර් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර නිසි ලෙස ක‍්‍රියා නොකරන බවත් ඔවුන්ට මඟ සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවත්ය. ඊට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානාවලින් කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබිණි. ඊට පැය කිහිපයකට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානා සෙවීමට තවත් ගුවන් යානා 100 ක් පිටව ගියහ. ඒ අතුරින් 13 දෙනෙකුගෙන් සමන්විත ‘මාටින් මැරීනර්’ (Martin Mariner) ගුවන් යානාව ද යළි දකින්නට ලැබුණේ නැන. මේ යානා එකකවත් සුන්බුන් හෝ මළ සිරුරු දකින්න හමුවුණේ ද නැත.
චාර්ල්ස් බර්ලිට්ස් සහ ඊ.වී.ඩබ්ලිව්. ජෝන්ස්

මේ අබිරහස ගැන උනන්දුවක් ඇති වූ එක් තරුණ හමුදා නිලධාරියෙක් වූයේ චාර්ල්ස් බර්ලිට්ස්ය. ඔහු දසක ගණනක් තිස්සේ මුහුදේ සිදුවූ මෙවැනි අද්භූත අසාමාන්‍ය සිදුවීම් ගැන උනන්දුවෙන් පර්යේෂණ පැවැත්වූ අයෙකි. ඔහු ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ පුවත් වාර්තාකරු ඊ. වී. ඩබ්ලිව්. ජෝන්ස් සමඟ මිත‍්‍රත්වයක් ඇති කර ගත්තේය. 1950 වසරේ සැප්තැම්බරයේ රසවත් හා උණුසුම් පුවත් නොමැතිව හෙම්බත් වී සිටිද්දී මුහුදේ සිදුවන අබිරහස් දේ ගැන ලිපියක් පළ කරන්නට ජෝන්ස් ඔහුගේ කර්තෘවරයා කැමැති කරවා ගත්තේය. අත්වැරදීමක් නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය අනතුරු ලෙස සැලකූ අසාමාන්‍ය සිදුවීම් ලෙස නම් කර පුවත්පත් ලිපියකින් මේ තොරතුරු ප‍්‍රථම වතාවට පළ විය.
බර්මියුඩා ත‍්‍රිකෝණයට ප‍්‍රසිද්ධියක් ලැබේ
අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy)  සඟරාවේ මුල පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැුස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.
පිටසක්වළ ජීවීන් සහ අත්ලාන්තිස් නගරය ?

චාර්ල්ස් බර්ලිට්ස්ගේ පොත ප‍්‍රකාශයට පත්වීමත් සමඟ අබිරහස් අතුරුදන්වීම් ගැන නොයෙක් නොයෙක් අපූරු පැහැදිලි කිරීම් ඉදිරිපත් විණි. මෙම අතුරුදන්වීම් පසුපස පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසිවල සම්බන්ධයක් ඇතැයි සමහරු අදහස් පළ කළහ. තවත් සමහරුන් කීවේ පුරාණයේ ගිලී ගියා යැයි සැලකෙන අත්ලාන්තික් මහාද්වීපයේ අත්ලාන්තික් නගරයෙන් පිටවන කිසියම් ශක්ති ධාරාවක් නිසා අද්භූත සංසිද්ධීන් සිදුවන බවයි.

මාලිමා යන්ත‍්‍ර පිස්සු වට්ටවන ති‍්‍රකෝණය
බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපයේදී මාලිමා යන්ත‍්‍රවල කටු උතුරු දිශාවට යොමු නොවන බව ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීහු ද පවසති. මෙම ප‍්‍රදේශයේ ඇති අසාමාන්‍ය චුම්බක ශක්ති ධාරාවන් නිසා මාලිමා කටු කැරකෙන්නේ චුම්බක උතුරු දෙසටය. මේ අනුව මෙම මුහුදු කලාපය හරහා ගමන් කර නැව් සහ ගුවන් යානා මඟ සොයා ගැනීමට නොහැකිව අනතුරට පත්වීමේ අවදානමක් ද තිබේ. 


වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය
මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ
යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

අබිරහස තව තවත් අබිරහසක් වෙයි
බර්මියුඩා ති‍්‍රකෝණය සම්බන්ධයෙන් මතු වන ප‍්‍රශ්න ප‍්‍රමාණය ලැබෙන පිළිතුරුවලට වඩා වැඩි වෙමින් පවතී. 1991 වසරේ මැයි මාසයේ කවුරුත් සිතුවේ ත‍්‍රිකෝණය හා සම්බන්ධ වූ එක් අබිරහසකට පිළිතුරු ලැබුණි යැයි කියාය. ඒ ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ මූදු පතුල ගවේෂණය කළ කණ්ඩායමකට අඩි 600 ක් ගැඹුරේ තිබී නාවික හමුදාවට අයත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා පහක සුන්බුන් හමුවීමත් සමඟයි. මේ සුන්බන් හමුවූයේ ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරේ සිට සැතපුම් 10 ක් දුරින් මුහුදේදීය. කවුරුත් සිතුවේ මේ හමුවුණේ ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා 5 කියලයි. ඒත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තොරතුරු හැමෝම මවිතයට පත් කිරීමට සමත් විය.
ඒ අබිරහස තවත් ලොකු අබිරහසක් බවට පත්විය. මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, August 27, 2016

බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්...(නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )


බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරෙනවා. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනුයි. නේපාලයේ හා ටිබෙටයේ ‘යෙටී’ කියාත්, චීනයේ ‘යෙරන්’ කියාත්,  ඕස්ටේ‍්‍රලියාවේ ‘යෝවී’ කියාත් හැඳින්වෙන්නේ මේ බිග්ෆුට් ම හෝ ඔහුගේ නෑයකු බව පැවසෙනවා.
බිග් ෆුට් නම මෙන් ම ‘සැස්කොච්’ නමත් සඳහන් කරමින් ‘බිග් ෆුට්’, ‘බිග් ෆුට් ඇන් ද වයිල්ඞ් බෝයි’ යනුවෙන් ටෙලිවිෂන් චිත‍්‍රපට මාලාවක් ද කලකට ඉහත දී ලොව පුරා විකාශය වුණා. අපේ රූපවාහිනයෙන් ද මෙම චිත‍්‍රපට මාලාව විකාශය වුණා. ළමයින්ට කරුණාව දක්වන, නොසිතූ මොහොතේ ළමයින් අනතුරුවලින් ගලවා ගන්නට එන කරුණාවන්ත සත්වයකු ලෙසයි, ඒ වැඩ සටහන්වලින් නිරූපණය වුණේ.
ජේන් ගුඩෝල් අදහස් දක්වයි

”මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක්” මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල්. ජේන් ගුඩෝල් කියන්නේ පි‍්‍රමාටේස් හෙවත් අගේ‍්‍රශයන් ගැන අද ලෝකයේ ඉන්නා ප‍්‍රමුඛ පෙළේ විශේෂඥවරියක්. පි‍්‍රමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට ‘බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බවයි පැවසෙන්නේ. ”මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප‍්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා  ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනපි‍්‍රය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප‍්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්” ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි. 
බිග්ෆුට් සොයා යාමට ලොකු උනන්දුවක්

ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ෂාලර්. ඔහු ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයායි. අනෙක් කෙනා තමා ලෝක පි‍්‍රමාටේසයන් සුරැකීමේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව පි‍්‍රමාටේස් විශේෂ 10 ක් සොයා ගැනීමට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා.

උනන්දුවක් ඇතිවීමට හේතුව ?
බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිථ්‍යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි, සීලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා. 
රතු ඉන්දියානු භාෂාවට අනුව 

අතීතයේ සිට ඇමෙරිකාවේ ජීවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ,  භාෂා ව්‍යවහාරයේ තියෙනවා, ‘යෝධ වානරයා’ යන අරුත් දෙන වදනක්. ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ. කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්වයා තමයි වළහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා. 
රතු ඉන්දියානු චිත‍්‍රවලින් හමුවූ දේ

ඇමෙරිකාවේ බටහිර ප‍්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත‍්‍රිකයන් ගල්වල කෙටූ චිත‍්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප‍්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා. ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක් වුණා.
කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස් ගෝත‍්‍රික ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත‍්‍ර ඇන්ද ලෙන් චිත‍්‍රවලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප‍්‍රබල සාක්ෂියක්. ඒ සිතින් මවා ගත් සත්වයෙකු නොවේ. ස්වදේශීකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත‍්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්වයෙකුගේ මනඃකල්පිත චිත‍්‍රයක් අඳින්නේ කොහොමද ?

ස්කූකම් පා සලකුණ
බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා. 1900 දී පටන් බිග්ෆුට් දුටු වාර්තා 2,500 කට වඩා ලැබී තියෙනවා. ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා. ඒවායින් වඩාත් ප‍්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණේ ලබා 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිබියදීයි. බිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩෙහි සටහන් වූයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි.
බිග්ෆුට් ගැන බොරු හෙළිවෙයි
අවාසනාවකට බිග්ෆුට් සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් වූ සාක්ෂි බොහොමයක් බොරු ඒවායි. 1958 වසරේදී මහා වානරයෙකුගේ අඩි සලකුණක් යැයි කියමින් රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂිය ඔහු විසින් විනෝදය සඳහා කළ බොරුවක් බවත්, ඒ ගැන මැරෙන මොහොතේ ඔහු පාපොච්චාරණයක් කළ බවත් ඔහුගේ මරණින් පසු ඔහුගේ දරුවන්ගෙන් හෙළිවුණා. 1958 දී රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂියට අනුව පුවත්පත් සියල්ලකම වාගේ ප‍්‍රධාන සිරස්තලය වූයේ බිග්ෆුට් ගැන ප‍්‍රවෘත්තියයි. බිග්ෆුට් පසුපස හැරෙමින් ඇවිද යන වීඩියෝ දසුන් පෙළක් ඔහු විසින් රූගත කර තියෙනවා.
ඒක ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්වුණා. බිග්ෆුට් ගැන රූපවාහිනී වැඩසටහනක් විකාශය වුනොත් මෙම වීඩියෝ දසුන් පෙළ නිසැකවම ඊට එක් වෙනවා. මෙම දසුන් ප‍්‍රබල සාක්ෂියක් ලෙස කලක් පිළිගැනීමට ලක් වුණා. 2004 වසරේදී පෙප්සි සමාගමේ බෝතල් නිෂ්පාදකයෙක් ලෙස සේවය කළ විශ‍්‍රාමික බොබ් හිරෝනිමස් ප‍්‍රකාශ කළා සුප‍්‍රකට බිග්ෆුට් දසුනේ බිග්ෆුට් ලෙස පෙනී සිටියේ ගෝරිල්ලාවකුගේ ඇඳුමකින් සැරසුණු තමා බව.

බිග්ෆුට් ඇත්තටම බොරුවක්ද ? 
බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන්දු පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්වයෙකුගේ හෝ ඊට සමාන කිසිම සත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වූ සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වූ අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවේ.
ෂාලර්ගේ නිගමනය
තර්ක විතර්ක කොතරම් ඉදිරිපත් වුණත් ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ජෝජ් ෂාලර් නම් බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක් විය හැකි යැයි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ ගැන ඔහු මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ”පසුගිය වසර ගණනාව පුරා බිග්ෆුට් දැටුවායැයි සාක්ෂි ලැබී තියෙනවා. ඒවායින් සියයට 95 ක්ම බොරු කියලා ඉවත දමන්න පුළුවන්. ඒත් අනෙක් සියයට 5 බොරු යැයි කියන්න පවා බැරි අවස්ථා තියෙනවා. ඒ ගැන සාධාරණ පිළිගත හැකි පැහැදිලි කිරීමක් තියෙන්න  ඕනෑ. පා සලකුණු ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොඳට ඇහැ ඇරලා බලන්න  ඕනෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද තේරුම් ගන්න  ඕනෑ”


විද්‍යාඥයන් මොනවා කීවත් මේ ‘බිග් ෆුට්’ කෙතරම් ජනපි‍්‍රය ද යත් 2010 දී කැනඩාවේ වැන්කූවර්වල පැවැත්වූ වින්ටර් ඔලිම්පික් උළෙලේ සංකේතය ලෙස තෝරා ගත්තේ බිග්ෆුට් හෙවත් සැස්කොච්ගේ රූපයක්. මේ රුව හැඳින්වෙන්නේ ‘කොචී’ නමිනුයි.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

නොවිසඳුණු අභිරහස්...(SETI නොවිසඳුණු අබිරහස් novisadunu abirahas)


නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ?
ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත. මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්‍රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය. ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න
1.වොනික් අත්පිටපත
1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන විල්ෆ්‍රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත් නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ, අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්‍ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි.
අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ, එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා, ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි.
බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි.
2.ක්‍රිප්ටොස්
ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත.
මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර ඉන් තුනක් කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක් ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය. ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක.
3.බෙල් සයිපර්ස්
ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය.
මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ පාඨයයි. කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි.
මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා.
4.ෆායිස්ටස් තැටිය.
ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ.
සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි. අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී.
5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය
එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "DOUOSVAVVM" ලෙස. එම කේතය අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්‍රයත්නයන් ඉක්මවායන බව. 
මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි. 
ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.
6.තමාම් ෂුඩ් ගැටලුව
තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන තවමත් මෙය නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).
එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.
කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.
(තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)
7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow) සංඥාව
1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්‍ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.
එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.
එහ්මන් වාව් (Wow !) යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.
සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.
(මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)
8. ග්‍රහචක්‍ර ලිපි.
ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත.  මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත. 
9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ
ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය. 
මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද, ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි. 
එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්, එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය" බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය. 
10. රොන්ගොරෝන්ගෝ
රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක් හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි. 
මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, August 24, 2016

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව....(Psychology manovidyawa අබිරහස් අඩවිය - Abirahas Adawiya )


කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව ලෙස හඳුන්වනු ලබන්නේ සංවිධාන, වැඩ පරිසරය සහ වෘත්තිකයන් පිලිබඳ සිදුකරන විද්‍යාත්මක අධHයනයයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් මෙහිදි තම දායකත්වය ලබා දෙන්නේ වැඩ පරිසරය තුළ  පුද්ගලයාගේ යහපැවැත්ම සහ සංතෘප්තභාවය වැඩි දියුණු කිරීම මගින් එම වැඩ පරිසරයට සාර්ථකත්වය ළඟා කර දීම මගිනි. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් වැඩ පරිසරය ආශ්‍රිත පර්යේෂණ පවත්වනවා මෙන්ම ‍රැකියා නියුක්තිකයන්ගේ චර්යාවන් සහ ආකල්ප පුහුණු කිරීම්, ප්‍රතිපෝෂණය සහ පරිපාලන පද්ධතීන් මගින් වර්ධනය කරන්නේ කෙසේද යන්න හඳුනා ගනී. එමෙන්ම ඔවුන් එම වැඩපරිසර තුළ විවිධ කාලසීමා අතර දී සිදුවන වෙනස් වීම් සහ වර්ධනීය තත්ත්වයන් පෙන්වා දීමටද උපකාර කරයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව බොහෝ විට "සංවිධාන චර්යාව" යන සංකල්පය සමගද සම්බන්ධ වේ. 
වHවහාර විද්‍යාවේදී, කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව වෙන්වන්නෙa ඇමෙරිකානු  මනෝවිද්‍යා සංගමයේ 14 වන ප්‍රවර්ගය ලෙසය. එම සංගමය හඳුන්වනු ලබන්නේ "කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව සඳහා වන සමාජය"(Society for Industrial and Organizational Psychology- SIOP)  ලෙසය.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව පිළිබඳ අවධානය යොමු කරන විට කාර්මික මනෝවිද්‍යාව පිළිබඳ “ගියන්” Guion (1965) නමැති මනෝවිද්‍යාඥයා දක්වා ඇති නිර්වචනය වැදගත් වේ. ඔහුට අනුව කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව යනු "පුද්ගලයා සහ වැඩ ලෝකය අතර පවතින අන්තර් සම්බන්ධතාව පිළිබඳ වන විද්‍යාත්මක අධ්‍යයනයයි". 
“බ්ලම්” සහ “නේලර්”  Blum & Nayler (1968) යන දෙදෙනා කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව නිර්වචනය කර ඇත්තේ "ව්‍යාපාර සහ කර්මාන්ත යන සන්දර්භය තුළ පුද්ගලයා පිළිබඳ සළකා බලමින්, මනෝවිද්‍යාත්මකව කරනු සහ මූලිකාංග සරල ආකාරයට යොදා ගැනීම තුළින් ගැටළු විසඳීම" වශයෙනි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවට ඓතිහාසිකව පුළුල් අධHයන ක්ෂේ%ත්‍රයන් අන්තර්ගත වී තිබේ. එනම් පුද්ගලයාගේ ස්වභාවය අධ්‍යයන කිරීමේ ක්ෂේ%ත්‍රය සහ අවස්ථාව හෝ සන්දර්භය (සමාජය) පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයයි. මෙම ප්‍රභේදනය කෘත්‍රීම එකක් වුවද කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඇතැම් සංකල්පයන් මෙම ක්ෂේ%ත්‍ර දෙක හරහාම වර්ධනය වී තිබේ. ඇතැම් අවස්ථාවන්හි දී කාර්මික මනෝවිද්‍යාව සංවිධානාත්මක අධ්‍යයනය, සංවිධාන විද්‍යාව, සංවිධානාත්මක චර්යාව, මානව සම්පත් කළමණාකරණය යන ක්ෂේත්‍රයන්ගේ සහෝදර ක්ෂේත්‍රයක් ලෙස සැලfකන නමුත් මෙම ක්ෂේත්‍ර අතර පිළිගත් විශ්වීය වර්ගීකරණයක් නොමැත.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සහ ප%dයෝගික ක්ෂේ%ත්‍ර විශාල %ප්‍රමාණයක් පවතී.
එනම්,

1. වෘත්තීන්  ආශ්‍රිත කාර්ය සාධනය

2. ‍රැකියා විශ්ලේෂණය

3. පුද්ගල බඳවා ගැනීම් සහ ‍තෝරා ගැනීම්

4. විනිශ්චය කිරීම් සහ තීරණ ගැනීම්

5. ඒකපුද්ගල පැවරුම් (දැනුම,කුසලතා සහ ආකල්ප පරීක්ෂණයන් හා ආකල්ප පරීක්ෂණයන්)

6. මනෝගණිතය

7. පුහුණු කිරීම් සහ පුහුණු කිරීම ගණනය කිරීම

8. ‍රැකියා නීතිය

9.  වැඩ කිරීමේ අභිප්‍රේරණයන්

10. වෘත්තීය ආකල්ප (වෘත්තීය සංතෘප්තභාවය ආදිය)

11. වෘත්තීය සහ පුද්ගලික ජීවිත්යේ සමබරතාව

12. වෘත්තීමය නිරෝගීභාවය සහ ආරක්ෂාව

13. සංවිධානාත්මක සංස්කෘතිය

14. සංවිධානාත්මක සමීක්ෂණ

15. නායකත්ව සහ විධායක පුහුණු කිරීම්

16. ආචාර ධර්ම

17. විවිධත්ත්වය

18. ‍රැකියා නිර්මාණය කිරීම

19. සංවිධානාත්මක සංවර්ධනය

20. සංවිධානාත්මක පර්යේෂණ විධි ක්‍රම
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයන් පුහුණු කරනු ලබන්නේ  Scientist-Practitioner Model අනුවය. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ සුවිශිෂ්ටයන් අනෙකුත් විද්‍යාඥයන්ට විද්‍යාත්මක මූලධර්මයන් සහ පර්යේෂණ මූලික සැළසුම්කරණයන් යොදා ගැනීමෙන් සංවිධාන සංවර්ධනය කිරීම සඳහා නව දැනුම උත්පාදනය කිරීමටත් එම දැනුම අදාළ ක්ෂේත්‍රයන් සඳහා ආදේශ කිරීමටත් අවසර ලබා දෙයි.

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඉතිහාසය දෙස සළකා බලන විට එහි සම්භවය සිදුවන්නේ පළමු ලෝක යුධසමය සමය තුළය. පළමු ලෝක යුධසමයේදී බිඳ  වැ‍ටුනු ආර්ථිකය මෙන්ම බිඳවැ‍ටුනු පුද්ගල මානසිකත්වයන් නැවත නඟාසි‍ටුවීම සඳහා මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව බිහිවූ බව දැක්විය හැකිය. මෙහි පූර්ව වර්ධනීය තත්ත්වයන් සඳහා පුරෝගාමීන් බවට පත් වූයේ 1819,1895 සහ 1919 යන වර්ෂවලදී ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයේ සභාපතිවරුන් බවට පත්වූ වෝල්ටර් ඩිල් ස්කොට් (Walter dil Scott), ජේම්ස් මැකීන් කැට්ල් (James Makkein Cattel) සහ හියුගෝ මුන්ස්ටර්බර්ග් (Heugo Munsterberg) යන මනෝවිද්‍යාඥයන්ය.දෙවන ලෝක යුද සමයෙන් පසු සංවිධාන මනෝවිද්‍යාව වර්ධනය වන්නේ කර්ට් ලෙවින් (Curt Lewin) සහ මුසෆර් ෂෙරිෆ්  (Mushafer sheriff) යන මනෝවිද්‍යාඥයන්ගේ පර්යේෂණ මතය.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව, මනෝවිද්‍යා විෂය පථය තුළ ඉතා වැදගත් අංශයක් බවට පත්වන්නේ මෙම ක්ෂේත්‍රය ඕනැම රටක පැවතීම නිසාත්, සැම පුද්ගලයෙක්ම කාර්මීකරණය සමග සම්බන්ධ වීම නිසාත්ය. බොහෝවිට වෘත්තීයක නිරතවන්නන්ගේ මානසික තත්ත්වයන් වැඩි දියුණු කිරීමටත්, වැඩපරිසරය තුළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව සංවර්ධනය කිරීමටත් කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව යොදාගත හැක. කාර්යක්ෂමතාව දුර්වල වූ විට ආයතනයක හෝ සංවිධානයක ඵලදායිතාව අඩුවිය හැක.
ඒ සඳහා විවිධ හේතු බලපායි.
නිදසුනක් ලෙස ගතහොත් වැඩ පරිසරය තුළ පවතින ඒකාකාරීභාවය ඒ සඳහා බලපායි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ න්‍යාය සහ සංකල්ප යොදා ගනිමින් එම අදාල වැඩපරිසරය වෙනස් කළ හැක. එමගින් එම වැඩපරිසරය තුළ ‍රැකියාවල නිරතවන්නන්ගේ මානසික සංතෘප්තභාවය වර්ධනය වන අතර එයින් එම ආයතනයේ හෝ සංවිධානයේ කාර්යක්ෂමතාව හා සාඵලHතාව වැඩි කරගත හැකිය. මේ ආකාරයට කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව, කාර්මීකරණය සමග සම්බන්ධ වන අතර දිනෙන් දින වර්ධනය වන කාර්මික ලෝකයට නැතිවම බැරි සහෝදර විෂයයක් බවට පත්වී තිබෙනු දැකිය හැකිය.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya