Friday, October 20, 2017

අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන අද්භූත රූමතිය කවුද?....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha hunupini ella)

මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟ ඉහළ කෝරළයේ උඩුවැල්ල ග‍්‍රාම නිලධාරි වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසෙහි දහවල් කාලයට වරින් වර අද්භූත කාන්තා රුවක් දක්නට ලැබෙන බවට ලක්බිම ඔන්ලයින් වෙත තොරතුරු වාර්තා වේ. 
 මේ සම්බන්ධ ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය මැයි 08 වන ඉරිදා ය. 
කොළඹ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ යහළු යෙහෙළියන්ගෙන් සමන්විත හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 08 වන ඉරිදා උඩුවැල්ල ප‍්‍රදේශය හරහා අහුපිනිඇල්ලේ ඉහළ කොටසට ගොස් තිබේ. එදින වැසිබර කාලගුණයකින් යුක්ත වූ බැවින් වැඩි පිරිසක් ඇල්ල නැරඹීමට පැමිණ නොසිටියහ. මේ අතර එදින දහවල් 1.00 ට පමණ එම පිරිස ඇල්ලට පහළින් ඇති නැරඹුම් කුටියෙහි සිටිය දී ඔවුන්ට කාන්තාවකගේ විලාප හඬක් ඇසී ඇත. එය කිසියම් කාන්තාවකට සිදු වූ විපතක් හඟවන්නක් බැවින් ඒ පිරිස එම හඬ ඇසුණු දිසාව කෙරෙහි අවධානය යොමුකොට තිබේ. මඳ වේලාවකට පසු එම කණ්ඩායමේ සිටි තරුණියක් සිහිසන් නොමැතිව ඇදවැටී තිබේ. එවිට සියලූ දෙනා එක්ව ඇයට ප‍්‍රථමාධාර ලබා දී ඇති අතර සිහිය ලද ඇය මහත් බියට පත්ව සිටි අතර වහාම එතැනින් ඉවත්ව යා යුතු බව පිරිසට පවසා තිබේ.  
 ඇගේ ඉල්ලීමට අවනත වෙමින ඒ කණ්ඩායම එම ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් නවතා තිබූ ඔවුන් පැමිණි වෑන් රථයේ නැගී ආපසු ගමන ආරම්භ කොට තිබේ. ඒ අතරමඟ දී ඇය කියා සිටියේ එම විලාප හඬ ඇසීමෙන් පසු ඇල්ලට පහළින් තිබූ අඩි පාරක් දිගේ සුදු පැහැති කාන්තාවකගේ රුවක් තමන් සිටි තැනට එමින් සිටිනු දුටු බව ය. එම පැමිණීම ඇය විස්තර කොට තිබුණේ ‘‘වළාකුළක් පාවෙනවා වගේ ’’ යනුවෙනි. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් හඳුන්වනුයේ යම් යම් පුද්ගලයන්ගේ යටි සිතේ ක‍්‍රියාකාරිත්වය තුළින් පැන නඟින ව්‍යාජ භ‍්‍රාන්ති ( Pseudo hallucination ) ලෙසිනි.
එහෙත් මෙම ප‍්‍රවෘත්තිය අනාවරණය වීමෙන් පසු ලක්බිම ඔන්ලයින් එම දියඇල්ල ආසන්නයේ ඇති උඩුවැල්ල ග‍්‍රාමයේ පදිංචි අහුපිනිඇල්ල සුරැකීමේ පරිසර කමිටුවේ සභාපති ආර්. ජී. රෝහණ රංජන් අබේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. එවිට ඔහු කියා සිටියේ පෙර සඳහන් කළ ආකාරයේ සුදු පැහැති අද්භූත කාන්තාවකගේ රූපයක් එම අහුපිනිඇල්ලේ ඉහළ කොටසේ විවිධ ස්ථානවලින් මතුවීම බොහෝ ගැමියන් නිතර අත්දකින තත්ත්වයක් බව ය. මීට කලකට පෙර තමන් තම බිරිඳ ද සමඟ දහවලක මෙම අහුපිනිඇල්ල ආසන්නයෙන් වැටී ඇති වනගත මංපෙතක් ඔස්සේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අරණායක දෙසට පා ගමනින් යන අතර ‘‘අර ඉස්සරහින් යන ගෑණුකෙනා කවුද?’’ යි තම බිරිඳ කිහිප වරක්ම තමාගෙන් ඇසූ බවත් තමන් එවැන්නියක නොදුටුව ද මෙම අද්භූත කාන්තාව පිළිබඳව මීට පෙර අසා තිබූ බැවින් ‘‘ඒ මේ පහළ ගමක ගෑණුකෙනෙක්’’ යැයි පවසා ඉන්පසු ඇගේ අවධානය වෙනතකට යොමු කළ බවත් පැවසීය. 

උඩුවැල්ලේ පදිංචි නිමල් රාජපක්ෂ මහතා ද මෙම අද්භූත කාන්තාව දැක තිබූ අතර ඔහු එම සිද්ධිය ලක්බිම ඔන්ලයින් වෙත කියා සිටියේ මෙලෙසිනි. 
‘‘මීට අවුරුදු කිහිපයකට කලින් මම යාළුවො දෙන්නෙකුත් එක්ක විනෝදෙට මාළු අල්ලන්න ඔය ඇල්ලේ පහළට ගියා. එතකොට මම දැක්කා එක පාරටම ඔය ඇල්ලෙ ගල් පර්වත දෙකක් අස්සෙන් ලස්සන ගෑණු ළමයෙක් මතු වෙනවා. මට ඇස් අදහා ගන්න බැරුව ගියා. මම හිතුවෙ ඒ අතරමං වුණ හරි දිවි නසාගන්න හරි ආපු ගෑණු ළමයෙක් කියල. මම ඒ මොහොතෙම ඒ බව යාලූවන්ට කිව්වා. නමුත් ඒ අය මේ ගෑනු ළමයව දැක්කෙ නෑ. මේ සිද්ධියෙන් අපේ හිත් කලබල වුණු හින්ද අපි ඉක්මනට ඇල්ලෙන් උඩට ඇවිත් අපේ ගමේ හැමෝටම වගේ මේ සිද්ධිය කිව්වා. ඊට පස්සෙ ගමේ සෑහෙන පිරිසක් ඇල්ල පහළට ගිහින් ඔය කියන හරියෙ හැම තැනම හෝදිසි කළා. නමුත් ගෑනු ළමයෙක්වත් ගෑනු ළමයෙක්ගෙ මිනියක්වත් හම්බ වුණේ නෑ’’ 

මෙහිදී පසුගිය 08 වන දා මේ සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇයගේ මිතුරන් ඉන් පෙර මෙම ප‍්‍රදේශයේ ගැමියන් අත්දැක තිබූ මෙබඳු අද්භූත සිද්ධියක් ගැන මින් පෙර කිසිදු අවස්ථාවක අසා නොතිබුණු අතර ඔවුන් ඒ ප‍්‍රදේශයේ ගැමියන් දැන හඳුනන්නවුන් නොවීම ද විශේෂත්වයකි.
ඒ අනුව එම තරුණියට වළාකුලක් සේ ද අබේරත්න මහතාගේ බිරිඳට තමන්ට පිටුපා යන කාන්තාවක සේ ද නිමල් රාජපක්ෂ මහතාට රූමත් තරුණියක සේ ද දිස්වූයේ එකම කාන්තා රුවක් ද යන්න නිශ්චය කිරීමට හෝ එම සංසිද්ධින් පිළිබඳ අර්ථ විවරණයක් දීමට අපට නුපුළුවන. කෙසේ හෝ මෙම අද්භූත සිදුවීම පිළිබඳව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර විමසුම් සිදුවිය යුතු බව අපගේ හැඟීමයි. 
 ශ‍්‍රියාණි කොඩිතුවක්කු -ලක්බිම
 ඡායාරූප : වෛද්‍ය සුගත් විජේවර්ධන
නිමල් රාජපක්ෂ මහතා දුටු
තරුණිය සිටි ස්ථානය

අහුපිනිඇල්ලේ අත්භූත කාන්තාව අභිරහසක් හෙළිකරන්නියක්ද?
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට, උඩුවැල්ල  ග්‍රාම නිලධාරී වසමට අයත් අහුපිනිඇල්ල ඉහළ කොටසේ සැරිසරන බවට ඇතැමුන් පවසන අද්භූත කාන්තා රූපය මීට කලකට ඉහත කිසියම් කාන්තාවකට සිදුවූ අභිරහස් මරණයක් පිළිබඳව සංකේතාත්මක ඉඟියක් විය හැකි යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර කියයි.
ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්යවරයා මෙසේ කීය.
“හොල්මන් අවතාර කියන දේවල් මිනිසුන් තුළ ඇති වෙන මානසික බලපෑම් මත මැවී පෙනෙන ඒවා පමණක් බවයි මුලු ලෝකයම පිළිගත්තු පොදු මතය; යම් යම් අවස්ථාවල මිනිසුන් තුළ හටගන්නා හුදකලා මානසිකත්වයන්, මානසික අර්බුද වගේම මානසික රෝග නිසාත් මේ වගේ අද්භූත දර්ශන හෙවත් මනෝභ්‍රාන්ති මැවී පෙනෙන්න පුලුවන්; ඒ වගේම මොළයේ රසායනික ව්‍යුහයට බලපෑම් සිදුවෙන කායික රෝග නිසාත් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියෙන් මොළයට සිදුවන බලපෑම් නිසාත් මේ වගේ මායාත්මක දේවල් දර්ශනය වෙන්න පුලුවන්. ලෝකය පුරාම අර වගේ පොදුමතයක් පැතිර යාමට හේතුව ඒකයි.
ඇල්ලේ පහළ ඇති නැරඹුම් කුටිය
නමුත් පාරමනෝ විද්‍යාව (parapsychology) ,පාරභෞතික විද්‍යාව (metaphysics), අධ්‍යාත්මවේදය (psychism) වගේ විෂය පථයන් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව පුරා විද්වතුන් මේ වගේ අද්භූත සංසිද්ධීන් අතරින් ඉතා සුළු සංඛ්‍යාවක මෙතෙක් විද්‍යාත්මකව අනාවරණය නොවූ අධි යථාර්තයක් (Paranormality) ඇති බව ප‍ර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.
දැන් ඔය අහුපිනිඇල්ල දී ශීෂ්‍යාව මුහුණදීපු අත්දැකීමේ වුණත් ඒ වගේ විශේෂත්වයක් තියනවා. මොකද? ඒ අහුපිනිඇල්ල ආශ්‍රිතව ඒ වගේ අද්භූත කාන්තා රූපයක් දකින්න ලැබෙන බවට ඒ ශිෂ්‍යාවට ඊට කලින් මොනම විදිහකින්වත් සංනිවේදනය වෙලා තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපට අනුමාන කරන්න පුලුවන් ඒ ඔස්සේ ඇතිවුණු මානසික නතුවීම ඔස්සේ ඇය හමුවේ ඒ වගේ මායාත්මක දර්ශනයක් හෙවත් මනෝභ්‍රාන්තියක්  ඇතිවූ බව.
ලෝකය පුරා ‍ගොඩනැගී ඇති සෑම අද්භූත කතාවකම කිසියම් ආකෘතියක් දකින්න පුළුවන්. ලොවට රහසින් ඛේදනීය ලෙස ඝාතනය වූ පුද්ගලයකු පසුව කිනම් හෝ අයුරකින් ජීවත් වන්නවුන් හමුවේ පෙනී සිට තමන්ට සිදුවූ ඒ‍ ඛේදවාචකය හෙළි කළ සිදුවීම් ඒ කතා ආකෘතීන් අතර ප්‍රධාන තැනක් ගන්නවා. බැලූ බැල්මටම කල්පිත ප්‍රබන්ධ ලෙස පෙනෙන මේ කතා ආකෘතිය තුළ මෙතෙක් විද්‍යාවට නතු නොවූ අධියථාර්ථයක් ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් සාධක ලෙස වරින් වර මතු වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් දහස් ගණනක් මේ වනවිට මානව ඉතිහාසයට එක්ව තිබෙනවා. ලෝකයේ එදා මෙදා තුර ජීවත් වූ ප්‍රමුඛ පෙළේ රහස් පරීක්ෂකයන්ගේ අපරාධ නිරීක්ෂණ වලට පවා මෙවන් ගුප්ත බලවේග වලින් සහය ලැබුණු අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා.
අප ජීවත්වන ලෝකයේ අපගේ පංචේන්ද්‍රියන්ට සහ නවීන විද්‍යාවට නතු නොවූ ශක්ති ප්‍රභවයන් කොතෙකුත් තිබෙන්න පුලුවන්. නමුත් අදටත් විද්‍යාත්මක අර්ථ කථන ලැබී නැති නිසා මේවා අපට තවමත්  හඳුනාගත හැක්කේ ‘අද්භූත’ ලේබලය යටතේ පමණයි. නමුත් එක් දහස් නවසිය හැත්තෑවේ දශකය පමණ වන තුරු මෙවන් අධිභෞතික ශක්ති විශේෂ පිළිබඳව රුසියාව ආදී රටවල දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු වුණා. නමුත් නවීන විද්‍යා තාක්ෂණික පදනමකින් තොර ඒ පර්යේෂණ වෙනත් විෂය පථයක් වශයෙන්  සංවර්ධන වී තවමත් ලෝකයා හමුවට පැමිණ නැහැ.
අදටත් ලෝකය පුරා ප්‍රචලිත සුදු නෝනා (White lady) එසේ පුරුෂ පාර්ශවය නිසා අභිරහස් මරණයකට ලක් වූ ස්ත්‍රී පාර්ශවය නියෝජනය කරවන්නක් ලෙස සමාජ විද්‍යාඥයන් හඳුනා ගෙන තිබෙනවා. නමුත් එසේ සුදු පැහැති කාන්තා රූපයක් දක්නට ලැබීම බොහෝ විට ඒවා දකින්නවුන්ගේ ගේ මානසිකත්වය මත පදනම් වන නිසා හුදෙක් එසේ දර්ශනය වන ‘සුදු නෝනා’ මිනිසුන් ගේ නෙත හමුවේ මැවෙන මනෝ භ්‍රාන්තියක් ලෙස සමාජ සම්මත වී තිබෙනවා. රාත්‍රී කාලයට මහ මඟ දී මිනිසුන්ට හමුවන බව පැවසෙන මෝහිනී‍ගේ අවතාරයත්‍ බොහෝ විට බටහිරින් අප හඳුනාගත් මේ සුදු නෝනාට අතිශයින් සමීපයි.
ඒ කෙසේ හෝ අනුපිනිඇල්ල ඉහළ කොටසේ වරින් වර දකින්නට ලැබෙන අද්භූත කාන්තාව එය දකින්නවුන් මුහුණ දෙන මනෝ භ්‍රාන්තිමය අත්දැකීමක් සේම මීට කලකට ඉහත සත්‍ය ලෙසම කිසියම් අබිරහස් ලෙසකින් මිය ගිය කාන්තාවකගේ ජීවය ඇසුරින් මේ විශ්වයට එක් වූ මෙතෙක් විද්‍යාත්මකව හඳනා නොගත් කිසියම් අධි භෞතික ශක්ති පදාර්ථයක ක්‍රියාකාරීත්වයක් ද යන්න විමර්ශනය කළයුතුයි.
එමෙන්ම ඒ අනුව එම ශක්ති පදාර්ථය මගින් ලබා දෙන ඉඟි නිවැරදිව වටහා ගෙන ඒවා නිශ්චිත ක්‍රමෝපායන් අනුව විශ්ලේෂණය කළහොත් මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ තවත් එක් කාන්තාවක් පිළිබඳ ඛේදනීය අබිරහසක සුලමුල සොයා ගැනීමේ හැකියාව ශූන්‍ය නොවන බව අවසන් වශයෙන් කිව යුතුයි.
දමයන්ති ගමගේ -ලක්බිම
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment