Friday, July 19, 2019

සීනිගම සිරිමත් හාස්කම් - දෙවොල් දෙවි බලය අසීමිතයි; රෝගීන්ට සුවය හොරුන්ට තක්කඩින්ට දඬුවම්...... (sinigama dewalaya haskam අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

* සීනිගම සිරිමත් හාස්කම්-01
* දරු ඵල ප‍්‍රමාද මව්වරුන්ට දරුවන්
* සුනාමියෙන්වත් දෙවොල් දේවාලයට හානියක් වුණේ නෑ
 සීනිගම දේවාලය හරි කබලබය. වැරැදිකරුවන්ට පලි ගැසීමට මෙන්ම ජීවිතවලට ශාන්තිය ප‍්‍රාර්ථනා කරගෙන පැමිණි මිනිසුන්ගෙන් සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලය පිරී ගොස්ය. දකුණු පළාතේ ප‍්‍රධාන මාර්ගයට සහ මුහුදට මායිම්ව පුංචි බිම් කඩක පිහිටා ඇති දෙවොල් දේවාලය ද හාස්කම් පිරුණු සිද්ධස්ථානයක් බව ප‍්‍රසිද්ධය. මෙපමණ ජනකායක් ගලා එන්නේ ද එම හාස්කම්වල ආනුභාවයෙන් විය යුතුය. එහෙයින් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන කතා කිරීමට අපට අදහසක් පහළ විය. පසුගිය දිනක අපි සීනිගම දේවාලයට ගොස් දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා සහ දෙවොල් දෙවියන් ඉදිරියේ වූ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වූ පුද්ගලයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡුා කළෙමු. එම කතා මාලාව පෙළගැසීමට පෙර අනුහස් පිරි සීනිගම දේවාලයේ ඉතිහාසය පිරික්සීම අපගේ අදහස විය. එහෙයින් ප‍්‍රථමයෙන් අපි සීනිගම දෙවොලේ ඉතිහාසය ගැන කතා කර සිටිමු...
 සමන්” කතරගම” පත්තිනි දෙවි දේවතාවුන් තරමට ප‍්‍රචලිත නොවූවද” දෙවොල් දෙවියන්ගේ පුරාවෘතය රසවත් එකකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවකයකු ලෙස සිටි බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත් එකතුවේ ඇති” දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබටුයේ දකුණු වෙරළ තීරයේ සීනිගම ප‍්‍රදේශයටය. පසුකාලීනව එම ස්ථානයේ දෙවොල් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකෙරිණි. එම දේවාලය ගොඩබිමින් එපිට අඩි තුන්සීයක් පමණ ඈතින් මුහුද මැද කුඩා දූපතක පිහිටා තිබේ.
 මුහුද මැද ගල් කන්දක් මත පිහිටි දියඹ දේවාලය දෙසට මගේ දෙනෙත් පාවී ගියේය. පුංචි දූපතකි. ගමන බෝට්ටුවෙනි. දෙවොල් දෙවියන් වන්දනා කිරීමට ගිය බැතිමතුන්ගෙන් එකී දේවාල භූමිය පිරී තිබෙන බව ඈතින් දිස් විය. දෑස් දියඹ දේවාලයේ සක්මන් කරන අතරේ සීනිගම පුරාවෘතය මගේ මනසේ නැවත පෙරළෙන්නට විය.
දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයකි. දෙවොල් දෙවියන්ගේ ඉපදීම සහ ලංකා ගමනය ගැන ජනප‍්‍රවාදයේ කියැවෙන්නේ මෙසේය. දඹදිව කුදුප්පර දේශයේ රාමසිංහ රජුට දාව උපන් මහා සාමි කුමරු පුංචි සන්දියේ සිට සෙල්ලක්කාරය. රාමසිංහ රජුට දාව බිසෝවරු සත්දෙනාටම උපන් කුමාරවරු මහා සාමි කුමරු මෙන්ම සෙල්ලක්කාරය. ළමා විය පසු කර තරුණ වියට පැමිණි කුමාරවරු සත් දෙනා එම දේශයේ ජනතාවට නොයෙක් අයුරින් හිංසා” පීඩා කළහ. කුමාරවරුන්ගේ දාමරික ක‍්‍රියා පිළිවෙත අනුමත නොකළ පිය රජතුමා ඔවුන් සියලූ දෙනාම රටින් පිටුවහල් කළේය. දොළුවර” කණ්ණඩි” කාවිසි” සෙන්පුර” පුලසුරු” අරමන” මෙරුවරු” මුක්කරු” පිල්ලි” කුරුම්බර” වඩිග” කල්ලූ” දෙමළ” සෙට්ටි” ගුජ්ජර” වඩක්කර” දිල්ලි” මලල යනාදී ජාතීන් කිහිපයක මහ පිරිසක් සහිත නැව් සතක නැඟී පිරිස මහ මුහුද කළඹමින් යාත‍්‍රා කළහ. සුළි සුළං හමාවිත් මහ මුහුද රළු වී කුමාරවරු රැගත් නැව් කැඞී බිඳී ගොස් ඔවුහු මුහුද මැද අතරමං වූහ. මහා සාමි කුමරුන් ඇතුළු පිරිසගේ අසරණභාවය දැක මුහුදු මණිමේඛලාව විසින් ඒ බව සක් සුරිඳුට පැවසූ විට විශ්ම කර්ම දිව්‍ය පුත‍්‍රයා වූ සක් සුරිඳු විසින් මහා සාමී කුමරුට ශෛලමය යාත‍්‍රාවක් මවා දී ඇත.
 දින” සති ගෙවී පාවී පැමිණි කුමාරවරු ලක්දිව වෙරළට සමීපවත්ම එතෙක් ලක්දිව දේව බලයට අධිපතිව සිටි පත්තිනි මෑණියන් ගිනි කඳු සතක් මවමින් මහා සාමි කුමරුන්ගේ ගොඩ බැසීම වළක්වාලීය. එහෙත් ගිනි දැල්වලින්ම සළුවක් හා සුම්බරයක් මවා ගෙන ගිනි වළලූ ජයගෙන” කරදියෙන් පහන් පත්තු කර පූජා කර” වැලි සහල් කර” සීනි කර ගිනි මැල පාගා ගෙන ලංකාවට ගොඩ බට මහා සාමි දෙවොල් දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බව සීනිගම දේව පුරාණයේ සඳහන් වේ. අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් දෙවියන් ගිනි වළලූ ජයගත් සිද්ධිය බව ද ජනප‍්‍රවාදයේ පවතී. එමෙන්ම බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් සමඟ පැමිණි පිරිවර පස්බාගෙ” කෙහෙල්ගමුව” කොත්මලේ” බුලත්ගම” පටුන සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල වන්දනා ස්ථාන පිහිටුවාගෙන ජනාවාස ඇති කරගෙන තිබේ. ගිනි මැල ජයගෙන ගොඩ බට දෙවොල් දෙවියන්ට පූජෝපහාර පවත්වමින් තම රෝග සුවපත් කරගත් සීනිගම මැතිඳු කෙනෙකු දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම දෙවොලක් ඉදිකර දී ඇති බව ද නෙවිල්ගේ පුස්කොළ පිටපත්වල සඳහන්ව ඇත.
 එමෙන්ම ශ‍්‍රී දෙවොල් මහ දෙව්රදු අරක්ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය විජය කුමරුගේ ආගමනයටත් ඔබ්බට දිවෙන බව ද ජනප‍්‍රවාදයේ කියැවේ. දෙවොල්හු මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසට ද සලකන්නෝ වෙති. පෙර භවයකදී පත්තිනි දෙවොල්හුගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත්” එහෙයින්ම පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් සුරිඳු දෙවොල්හුට දුන් බවත් ජනප‍්‍රවාදයේ කියැවේ. කකුසඳ” කෝනාගම” කාශ්‍යප” ගෞතම යන සතර බුදු රදුන්ට කඨින ආදී කොටැති විවිධ දාන මාන පිංකම් සිදු කිරීම හේතුකොට ගෙන දෙවොල්හු දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බව ද පැළිගැනේ. එසේ දේවත්වයට පත් දෙවොල් දෙවියන් මෙරට සීනිගම ප‍්‍රදේශයට පැමිණ දෙවොලක් තනවමින් රන්සළු ඈ කොඩි දද නංවා බැබළෙන අයුරින් කටයුතු කරමින් පුද සත්කාර ලබන්නට වූහ.
 එමෙන්ම නක්‍ෂස්ත‍්‍රය දත් දක්‍ෂ වෙදැදුරකු වූ දෙවොල් දෙවියන් රෝගී මිනිසුන් උදෙසා සෙත් ශාන්ති කර රෝග සුවපත් කර” අපරාධ කරනවුන් දැන ඔවුන්ට දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු බවට ජන සමාජයේ ප‍්‍රසිද්ධ විය. ඒ සමඟ විවිධ
රෝගීන් සහ බඩු භාණ්ඩ සොරාගැනීමේ නඩු හබ අරගෙන පැමිණිලිකරුවන් දෙවොල් දෙවියන් ඉදිරියේ පෙළගැසිණි. සොර සතුරන්ට එරෙහිව පලි ගසමින් මිරිස්” ගම්මිරිස් ඇඹරූහ. කසාද හැර ගිය ගෑහැනු” මිනිස්සු පැමිණ පලි දැරූහ. අසරණ රෝගීහු පැමිණ සුවය ප‍්‍රර්ථනා කර දෙවොල් දෙවියන්ගේ පිහිට අයැද සිටියහ. වෙදැදුරන්ට සුවපත් කිරීමට නොහැකි වූ රෝගීන් දෙවොල් දෙවියන් සුවපත් කළ බවත්” එකල රජවරුන්ට විසඳීමට නොහැකි වූ නඩු හබ විසඳමින් වැරැදිකරුවන්ට දඬුවම් ලබා දුන් බවත් ජනප‍්‍රවාදයේ පැවත එන්නකි.
 දියඹ දේවාලයේ එදා මිරිස් ඇඹරූ ගල අදට ද ජීවමානය. රෝගීන් සුවපත් කිරීමට පැන් ලබාගත් ළිඳ අදට ද සුපැහැදිළිය. මුහුදින් වට වූ ගල් කන්ද මැද මහා පෑවිල්ලකට හෝ නොසිඳෙන ළිඳේ වතුරවල කිවුල් රසක් නැති වීමද මහා ප‍්‍රාතිහාර්යයකි. දියඹ දේවාලයේ ඇති අනුහස් මහිමයේ බලයෙන් වසභ රජු දවස සීනිගම දෙවොල සත් මහල් ප‍්‍රාසාදයක් කර වූ බවත්” පසුව දප්පුල රජු විසින් නැවත ප‍්‍රතිසංස්කරණය කර දෙවොල දියුණු කර ඇති බවත් සඳහන් වේ. පසු කාලෙක මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසි” ලන්දේසි විසින් වරින් වර සීනිගම දේවාලය කඩා බිඳ විනාශ කර දමා එහි තිබූ පූජාර්හ වස්තු පැහැරගෙන ගොස් ඇත. අනතුරුව සීනිගම හා අවට ගම්වාසීන් එකතුව ඔවුන්ගේ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා මුහුදේ ගල් කන්ද මත ගම් උළු සෙවිලි කළ සිව් පියැසි දෙව් මැඳුරු තුනක් ගොඩනඟාගෙන ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් කාලයත් සමඟ එම දෙව් මැඳුරු එකක් කැඞී බිඳී ගොස් දැනට ශේෂව ඇත්තේ දෙව් මැඳුරු දෙකක් පමණි.
 විදේශීය ආක‍්‍රමණිකයන් විසින් විනාශ කර දැමූ මෙගොඩ දේවාලය නැවත ප‍්‍රතිසංස්කරණය කරමින්” බැතිමතුන්ට වන්දනා මාන කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇත්තේ 1964 වර්ෂයේදී ය. පසුව 1968 වර්ෂයේදී දක්‍ෂිණ ලංකා තරුණ ලේඛක සංගමය සීනිගම දේවාලයේ උන්නතිය තකා ශාස්ත‍්‍රාචාර්ය තිත්තගල්ලේ සුදස්සි හිමියන්ගේ සභාපතිත්වයෙන් ‘ශ‍්‍රී දෙවොල් මහා දේවාලය භාරකාර මණ්ඩලය. පිහිටුවා ගත්හ. අනතුරුව 1986 වර්ෂයේදී සීනිගම දේවාලය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පවරා ගනිමින්” පුද්ගල භාරකාරත්වය යටතට පත් කර ඇත. දේවාල සම්ප‍්‍රදායට අනුව වසර පහකට වතාවක් සීනිගම දේවාලයේ භාරකාරත්වය තීරණය කරනු ලැබේ. කිසිදු ඡුන්ද විමසීමකින් තොරව සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශයෙන් භාරකරුවන් පත්කරගනු ලැබේ. මේ වන විට සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකරු හැටියට කටයුතු කරනු ලබන්නේ සරත් දිසෙන්තුවාහන්දි මහතාය. දැන් අපි සීනිගම දේවාලයේ භාරකරුගේ කතාවට සවන් දී සිටිමු.
 ‘‘මම මේ දේවාලයේ භාරකාරත්වයට පත් වුණේ 2013 අවුරුද්දේ. 2018 අවුරුද්දේ ජුලි මාසෙ 11 වැනිදා දෙවැනි වරටත් මම දේවාල භාරකරු විදිහට පත් වුණා. තව වසර පහක් මම සීනිගම දේවාලයේ භාරකරු විදිහට වැඩ බලනවා. මට මේ වගකීම පරම්පරාවෙන් ලැබුණු දායාදයක් නෙමෙයි. මගේ සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ලබා දීපු පත්වීමක්. මට ලැබුණු ඒ වගකීම දේවත්වයෙන් සලකනවා. මම නිතරම උත්සාහ කළේ දෙවොල් දෙවියන්ගෙන් ශාන්තියක් ප‍්‍රාර්ථනා කරගෙන එන මිනිසුන්ට එකී ප‍්‍රාර්ථනා ඉටුකරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. මගේ කාලය තුළ මේ දේවාලයේ විශාල සංවර්ධන වැඩ කොටසක් කෙරුණා කියලා මට විශ්වාසයි..... සීනීගම දෙවොලේ භාරකාරතුමාගේ කතාව අතරේම දියඹ දේවාලයට ගමන් කිරීමට අපි බෝට්ටුවට ගොඩ වීමු. ගල් පර මැදින් යන මුහුදු ගමන සුන්දරය. එහෙත් ගමන විනාඩි කිහිපයකට සීමා කර අප රැගත් බෝට්ටුව ගල් පරයක් අසල නතර විය. ගල් පඩි නැඟ ඉහළට ගිය අපට ඇසුණේ කපු මහතෙකු විසින් පලි දරන හඬය. කුඩා බංකුවක් මතට බර දී යාච්ක්‍දා කරන කපු මහතෙකු අසලම ඇන තියාගත් කාන්තාවක් ගල් පොත්තක මිරිස් අඹරන්නීය. ගල් පඩි බසිමින් අපි මිරිස් අඹරන ස්ථානයේ නතර වීමු. පළි දැරීමට පැමිණි තවත් බොහෝ පිරිසක් තමන්ගේ අවස්ථාව පැමිණෙන තෙක් බලා සිටිති. පළි දරන කාන්තාව කපු මහතා කියන වැකි මුමුණමින් ඇඹරුම්ගල අඹරමින් උස්සාවිත් නැවත ඉහළටම අඹරති. මම දේවාල භාරකරු දෙසට හැරුණෙමි. මගේ ප‍්‍රශ්නය තේරුම් ගත් භාරකාර සරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘මෙතැන මිරිස් අඹරන එක ගෙදර මිරිස් අඹරනවට වඩා වෙනස්. ඇඹරුම් ගල ඉහළට අඹරගෙන ගිහින් නැවත පහළට අඹරන්නෙ නෑ. එහෙම වුණොත් පළිගැසීම් ආපිට එනවා කියලා විශ්වාසයක් තියෙනවා. පළි ගසන කෙනාගේ ප‍්‍රාර්ථනාවට අනුව වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. දියඹ දේවාලයට ඇවිත් පළි ගහලා සතියෙන් දෙකෙන් ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච මිනිස්සු මෙතැනට ඇවිත් බාර ඔප්පු කරලා යනවා..... සිනාවත් සමඟ වචන මුමුණන සරත් මහතා ආපිට හැරී ගල් පඩියක් නැග්ගේය. එතැන ගල් ළිඳය. නිල් කැටයට දිළිසෙන පිරිසිදු වතුර අව් කූටයේ ද සීතලය. දිය දෝත විසි කර” බාර හාර සඳහා මෙන්ම දේවාලය වන්දනා කිරීමට පැමිණ සිටි බැතිමතුන් අතරින් අපි දේවාල භූමිය පුරා ඇවිද ගියෙමු. අවට මුහුදේ චමත්කාරයට මෙන්ම ඒ භූමියේ ඇති ශක්තියට කාලය ගතවනවා නොදැනිණි.
 ‘‘මෙතැන පුදුමාකාර විදිහට හාස්කම් තියෙන තැනක්. සුනාමියට මුළු සීනිගමම හෝදගෙන ගියා. ඒත් දේවාලයට මොනවත් වුණේ නෑ. ඒ දේවල් තිබුණු විදිහටම තිබුණා. මේ ස්ථානයේ තියෙන ශක්තිය ගැන කතා කරන්න ඕන දෙවියන්ට බාර වෙලා ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච අයත් එක්ක. ඒ අය හරි අපූරුවට ඒ දේවල් විස්තර කරනවා.
 පහුගිය කාලේ රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් ඇවිත් දෙවොල් දෙවියන්ට බාරයක් වෙලා ගිහින් ලංකාවේ මිල කරන්න බැරි මැණිකක් ලැබිලා තිබුණා. ඒ සිද්ධිය ගැන පත්තරවල ලිපි කිහිපයක්ම පළ වෙලත් තිබුණා. පියන්ගල රජමහා විහාරයේ රත්තරං බුදු පිළිමය නැති වෙච්ච අවස්ථාවේ නායක හාමුදුරුවො ඇවිත් දියඹ දේවාලයේ පළි දරලා පන්සලට යනකොට පිළිමේ හොරකම් කරපු පුද්ගලයන් ගැන ආරංචිය ලැබිලා තිබුණා. ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා..... සීනිගම දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා මොහොතකට නිහඬ විය. ඒ ඇසිල්ලෙන් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන එකිනෙකට විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන් මේ සතියට අපි නතර වීමු...
තරංග රත්නවීර
divaina

=======================================================================
උපුටාගැනීම්..සහිතයි...දයාබර..පාථක..සහෘදයිනි... ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment