Showing posts with label හෙල පුරාණය. Show all posts
Showing posts with label හෙල පුරාණය. Show all posts

Sunday, September 29, 2019

රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ? (rumassala Galle අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් හෙබි මෙම කඳුවැටිය රූමස්සලයි. රූමස්සල කඳුවැටිය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. රූමස්සල ක්‍රි.පූ. 3000 තරම් ඈතට දිවයන්නකි.  
තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්‍ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්‍රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත.   
ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි.
 
මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ.   
රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.
වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ​ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ. 

අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි.   
අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්‍රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. ​අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය.   
රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ​ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති.   
රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ක​ෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක (xylocarpusrumphii/Meliaceae) කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ.   
රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක.   
බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක.   
ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘‘බොනවිස්ටා’’ යන පෘතුගීසි වදනේ තේරුම සුන්දර දසුන යන්නයි. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වෙති. හික්කඩුව කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 168 වන අතර කල්පිටියට නුදුරින් පිහිටි කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 286කි. 

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ.   
සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති.   
මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ. 
රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති.   
රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.   
1875 දී බ්‍රිතාන්‍යයින් විසින් ඉදි කරන ලද අඩි 50ක් පමණ උසැති කුලුනක් රූමස්සල කුලුනු කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දැක ගත හැක. ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මඟ තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කිරීම සඳහා මෙය නිර්මාණය කරන ලද බව සඳහන් වේ. මෙය මිනුම් කුලුනක් ලෙස ද භාවිතයට ගත් බව කියති. දෙවන ලෝක යුද්‍ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු නැව් විනාශ කර දැමීම සඳහා මෙම කුලුනේ ව්‍යාජ ආලෝක පහනක් සවි කර තිබී ඇත.   
ගාල්ල කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ ආලෝක පහන් නිවා දමා මෙහි පහන් ක්‍රියාත්මක කළ විට ඒ මඟ ඔස්සේ පැමිණි සතුරු නැව් විශාල ප්‍රමාණයක් රූමස්සල අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ කියති. එලෙස මුහුදුබත් වූ නාවික යාත්‍රා 21ක පමණ සුන්බුන් අදටත් මුහුදු පත්ලේ දී දැක ගත හැකි බව කිමිදුම්කරු​වෝ පවසති.
 
බ්‍රිතාන්‍යයින් විසින් ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇත. ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇත. එම ගොඩනැගිලිවල වර්තමානයේ බොනවිස්ටා වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යති.   
බ්‍රිතාන්‍යයින් විසින් රූමස්සල ප්‍රදේශයේ දේවස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇත. එහි කටයුතු භාරව සිටි ප්‍රධානියාගේ නැගණිය ළමුන් පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාඨශාලාවක්ද ආරම්භ කර ඇත. එම පාඨශාලාව වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය නමින් පවත්වා ගෙන යති.
 
බ්‍රිතාන්‍යයින් විසින් 1874 ආරම්භ කරන ලද සුසාන භූමියක් ද බොනවිස්ටා ප්‍රදේශයේ දැක ගත හැක. රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක, පෝරකයක සහ වෙඩි ගෙයක නටබුන් ද ශේෂ වී පවතී. ගල් බිත්ති වලින් නිමවා ඇති වධකාගාරයක අඩි 10ක් පමණ උසින්, අඩි 12 පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්ති වලින් යුක්ත වේ.   
බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කටයුතු කළ සිංහලයින් අල්ලා ගාල්ල ඕලන්ද බළ කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන්ව වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කරන ලද දිනයකදී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව සඳහන් වේ. යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් වෙඩි ගෙය මේ වන විට මුහදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග අඩි අටකි. පළල අඩි අටකි. උසද අඩි අටකි. එහි බිත්ති අඩියක් පමණ ඝනකමින් යුක්ත වේ.   
රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණී මහදුර
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, July 19, 2019

මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි වසර පන්දහසක් පැරණියි....(lakgala hela wedakama අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන ලග්ගල වෙද පරපුරේ පැරණි පුස්කොළ පොත්
ලෝක උරුමයක් බවට පත්වූ නකල්ස් රක්ෂිත කලාපයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විහිදී ගිය අතීත සිදුවීම් හා වත්මනේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දෑ සැබැවින්ම ඇස් අදහා ගත නොහැකි දේය.
ඉපැරණි සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යමින් අදටත් සිංහල වෙදකමේ විස්මිත හාස්කම් පාන ලග්ගල වෙද පරපුරේ තවත් අනගි කටයුත්තක්  පාඨක ඔබ වෙත තිළිණ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.
දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ සුව කළ නොහැකි රෝගයක් නොමැති තරම්ය. වසර පන්දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පරපුරක පුරුක් යැයි හඳුන්වන ලග්ගල පැරැන්නන් අතර හෙළ වෙදකමේ දක්ෂකම් දක්වන දේශීය වෛද්‍යවරුන් පිරිසක් තවමත් ලග්ගල ප්‍රදේශයේ නිහඬ සේවාවක නිරතව සිටිති. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජනය කරමින් කටයුතු කරන පනහකට වැඩි වෛද්‍යවරුන් පිරිසක් ලග්ගල අදටත් වෙසෙති.  ඔවුනොවුන් අතරින් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා විවිධ දක්ෂකම් දක්වන පිරිස් බොහෝය. එහෙත් ඔවුනට සිය වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති ගැටලු රැසකි.  මෙම තත්ත්වය හොඳින් වටහාගත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ලග්ගල දේශීය වෛද්‍යවරුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.
අඳුරේ සැකසෙන ලග්ගලට පමණක් ආවේණික 
නීල්‍යාදී තෛලය සැකසෙන අයුරු
ඖෂධ නිෂ්පාදනයේ දී බලපාන ගැටලු විසඳා ඔවුන් නගාසිටුවීමේ අරමුණින් මෙම වැඩටහන සංවිධනය කර තිබිණි.  දින ගණනක් තිස්සේ විවිධ පූජෝපහාර පවත්වමින් මහ වන මැද ගමන් කර අවශ්‍ය ඖෂධ රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ නොමැති “ලග්ගල නීල්‍යාදි තෛල්‍ය” සිඳීමේ කටයුතු සුභ නැකතින් පසුගියදා ආරම්භ විය.  සිය ගණනක් වූ දේශීය ඖෂධ වර්ග වෙන්කර නිසි පිළිවෙත් පුරා නීල්‍යාදි තෛල්‍ය ළිප මත තබන්නට ආයුර්වේද වෛද්‍ය (විශේෂ) ඩබ්ලිව්.එම්.කේ.එම්.ජී. කිරිබණ්ඩා වෙද මහතා අප ඉදිරියේ කටයුතු කළේය.  දින හතරක් මදගින්නේ කැකෑරෙන මේ අතිශ්‍ය වැදගත් තෛලය සිඳෙන්නේ අඳුරෙන් වටවූ ස්ථානයක දීය.  අනාදිමත් පරපුරක පස්වැනි පුරුක වන ආයුරේද වෛද්‍ය කිරිබණ්ඩා මහතා භක්තියෙන් සිය වෙද පරම්පරාවේ තතු අප හා හෙළි කළේ මහත් අභිමානයෙනි.
“ මේ තෙල හිඳිද්දි ගින්දර වැඩියේ දාන්නේ නැහැ. දින ගණනක් යන කටයුත්තක් පසුව තමයි ක්‍රම ක්‍රමයෙන් ගින්දර වැඩිකරන්නේ.  දින හතරක් විතර යනවා මේ තෙල හිඳගන්න. මේ තෙලට කියන්නේ නීල්‍යාදි තෛලය කියලයි.  නීල්‍යාදි කියන්නේ නිල් ඇවරිය ප්‍රධාන කරගත්තු ඖෂධ වට්ටෝරුවක් තමයි මේකේ තියෙන්නේ.  නිල් ඇවරියවල තියෙන විශේෂ ගුණය තමයි හිස කෙස්වලට තියෙන ගුණය. හිස කෙස් කළු කිරීම, වැටීම, පෑසීම වගේ දෙවල් මේ තෙලෙන් නවත්වන්න පුළුවන්. ඒ වගේම මේ තෙලට එක්කරන අනෙක් ඖෂධවලින් හිසේ සෙසු රෝග මෙන්ම වාත රෝගවලටත් ප්‍රතිකාර ලැබෙනවා. සෙම, පිත වාගේ අවස්ථාවන් වලදී පවා මේ තෙලට එක්කර තිබෙන ඖෂධ වලින් ගුණ ලැබෙනවා.  

ඒ වගේම ඇදුම රෝගයට පිටතින් ගාන්න පුළුවන් තෙලක් මේක. වාත රෝග පවතින පුද්ගලයින්ටත් මේ තෙල භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම තමයි කැඩුම් බිඳුම් අංශයට අදාළ ඖෂධත් මේ තෙලට එකතු වෙනවා.
ඒ නිසා තමයි යම් කෙනෙකුගේ හිසට පහරක් වැදුණහම මේ තෙල් ටිකක් ගාපුවහම අඩුවෙලා යන්නේ.
සිරුරේ තැළීම් සීරීම් මෙන්ම කුඩා කෘමි සතුන්ගෙන් සිරුරට සිදුවන හානිවලටත් මේ තෙල භාවිත කරනවා.
විශේෂයෙන් පිලිස්සුම් ආදී තත්ත්වයන්වල දී පවා මේ තෙල භාවිත කරනවා.
අපේ වෙද පරම්පරාවේ පසු වැනියා තමයි මම. මේ කියපු සේරම ප්‍රතිකාර විධි වගේම බෙහෙත් වට්ටෝරු අදටත් පුස්කොළ පොත්වල ලියලා අප සතුව තියෙනවා. වෙන කවුරුත් ගාව මේවා නැහැ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ තෙල අපෙන් ඉල්ලනවා.
නමුත් වානිජ මට්ටමෙන්ම මේ තෙල හිඳින්න පහසුකම් අපිට නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.
මොකද මේ තෙල්වලින් සුවය ලබන්නේ අවට ජීවත්වන පිරිස්. ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමයි මේ තෙල හිඳින්නේ.

අපේ මුත්තලා තමයි මේ පිළිබඳ වසර 200 ක පමණ ඈත අතීතයේ පර් යේෂණ කරලා මේ ලග්ගලටම ආවේණික නීල්‍යාදි තෛලය සොයා ගෙන තියෙන්නේ. ඒ පුස්කොළ පොත්වල අපේ මුත්තලාගේ නම් පවා ලියවිලා තියෙනවා.
වනාන්තරවල තියෙන අමු ඖෂධ වර්ග ගෙනැල්ලා කොටලා ඒවගේ යුෂ වෙනම වෙන්කරලා සරක්කු වර්ග ඉතා සියුම් විදිහට කුඩු කරලා අරගෙන අඹරන්න තියෙන ඖෂධ වර්ග අඹරලා අරන් තමයි මේ තෙල සැකසෙන්නේ.
මගේ පියතුමත් වෛද්‍යවරයෙක්. එතුමා නැතිවෙලා දැනට වසර 35 ක් පමණ වෙනවා. මමත් මේ කටයුතු කරන්න අරන් වසර 30ක් පමණ වෙනවා.”
පාරම්පරිකව අනාදිමත් කාලයක සිට පැවත එන ලග්ගල වෙද පරපුර වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන නැවත පණ ගැන්වීම වෙනුවෙන් අත හිත ලබාදුන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ සිය සංවිධානයේ අරමුණ වී ඇත්තේ වැනසී යන දේශීය වෛද්‍ය විද්‍යාවට නැවත ජීවයක් ලබාදීම බවයි.
“ඇත්තටම ලග්ගල කියන්නේ “ජන කෝෂ්ඨාගාරයක්” සිංහල වෙදකමේ අක්මුල් තිබුණු ස්ථානයක්.

මේ ප්‍රදේශයේ ඉතාම පැරණි මෙන්ම අත්දුටු ඖෂධ වර්ග ගණනාවක් අදටත් ඉතිරිවෙලා තියෙනවා. අපි කනගාටු වෙන්න ඕනේ ඒවගේ ඉතාමත් රහස්‍ය බෙහෙත් හා ඖෂධ වර්ග පිළිබඳ දැනන් හිටපු බොහෝ වෛද්‍යවරුන් පිරිසක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ මේ පරිසරයේ.

මේ කටයුතුවල නිරතවෙලා ඉන්න මේ වෙදමහත්වරු ඇත්තටම ජාතික සම්පතක් වගේම ලෝකයටම සම්පතක්.
ඒ නිසාම තමයි අපි උත්සාහ කළේ ලෝකේ මිනිසුන්ට සෙත ශාන්තිය සලසන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඉදිරියට ගෙනියන්න.
හිසේ රෝග සුව කරනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේම ගොඩදැමීමක්නේ. ඒ නිසා තමයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය විදිහට අපි උත්සාහ කළේ මේ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න.
මෙතන දී එක කාරණයක් කියන්න ඕනෑ. මේ උත්සාහය මේ නිෂ්පාදන රට පුරා බෙදන්න හෝ ලාභ උපයන්න නෙවෙයි. මේ අයගෙන්ම බෙහෙත් ගන්න එන අයට ප්‍රතිකාර කරන්නයි මේ වෑයම.
තවත් කාරණයක් තමයි මේ වෙදමහත්වරු සමග එකතුවෙලා අතීතයේ භාවිතයට ගැනුණු ප්‍රතිකාර ක්‍රමවලට ජීවයක් ලබාදෙන එකත් අපේ අරමුණක්.
මේ කටයුතු සාර්ථක කරන්න අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ JEP පරිසර වැඩසටහන තමයි උදව් උපකාර කරන්නේ.
අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වෙද මහත්වරුන්ගේ තවත් වට්ටෝරු කිහිපයක් අත්හදා බලන්න වගේම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න.”

ආනන්ද කනහැරආරච්චි මහතා සිය අදහස් එලෙස ප්‍රකාශ කරද්දී කිරිබණ්ඩා වෙද මහතා විසින් ආරක්ෂා
කරගෙන එනු ලබන සිය පරම්පරාවේ පුස්කොළ පොත් සියල්ල අප ඉදිරියේ දිගහැරියේ මහා අතීතයක සිය උරුමය නිර්ලෝභීව තවකෙකුට පෙන්වන විලාශයෙනි.
ඇසේ කටුවක් ඇනුණු කල ඇසට හානියක් නොමැතිව ඉවත් කරන විස්මිත වෛද්‍ය ක්‍රම මෙන්ම මිනිස් සිරුරේ සිදුවන සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ මෙන්ම අත්දුටු බව සඳහන් කළ වටිනා පුස්කොළ පොත් රැසක් තවමත් මේ වෙද මහතා සුරැකිව තබාගෙන සිටියි.
සිංහල භාෂාවේ අපූරු දියුණු යුගයක (පුස්කොළ පොත්වල සටහන් වී ඇති ආකාරයට 1904 වර්ෂයේ පමණ මේවා ලියා තිබේ) සිංහල ආකාරාදී පිළිවෙළට මෙම පුස්කොළ පොත් ලියා ඇත.
මෙහි අංකනය කිරීම් මෙන්ම වැරදුණු ස්ථානයක් වේ නම් පුස්කොළ පොතේ අවසානයේ එවා නිවැරදි කර නැවත ලියා ඇති ආකාරය විස්මය දනවනසුලුය.
එපමණක්ද නොව කිරිබණ්ඩා මහතාගේ පරම්පරාවේ අතීත මුත්තන් විසින් මෙම බෙහෙත් අත්හදා බලා සාර්ථක වූ කල පුස්කොළ පොත්වල විවිධ ක්‍රම ඔස්සේ සලකුණු තබා ඇති බව අපට පෙන්නා දුන්නේ කිරිබණ්ඩා වෙද මහතාය.
ලග්ගල පුරාණය පිළිබඳ ගවේෂකයෙකුට හමුවන ලිඛිත මෙන්ම ප්‍රවාද ඔස්සේ ගමන් කළ විට අතීත රාවණ යුගය පිළිබඳ බොහෝ දේ සොයාගත හැකිය.
රාවණාගේ ඖෂධ උයනක් ලකේගල සමීපයේ පැවතීම හා ඒ ආශ්‍රිතව ජීවත්වූ අතීත පිරිස් මේ උයනේ ඖෂධ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගැනීම සිදුකර ඇති බවට සාක්ෂි මේ පරිසරයේ කොතෙකුත් හමුවේ.

විශේෂයෙන් ළිං හැරීමේ දී ලග්ගල වැසියන්ට හමුවී ඇති විවිධ ආයුධ කොටස් (මේවා ආචාර්ය සූරිය ගුණසේකරයන්ට අනුව ‘ශර’ ලෙස හැඳින්වෙයි) මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී එවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අගකොටසට සමාන බව ලග්ගල වැසියන් පවසා ඇතැයි පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමන් පවසා ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආචාර්ය සූර්ය ගුණසේකර මහතා කියා සිටියේය.
මෙවැනි දෑ රාවන යුගයේ අවි ආයුධවල කොටස් බව පවසන සූරිය ගුණසේකරයන් කියා සිටියේ එවැනි අවි පැවති සමාජයක ඒවායින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර විධික්‍රම ද ලග්ගල පරිසරය තුළ පැවති බවයි.
ලග්ගල, රූමස්සල, සීතාඑළිය හා හග්ගල පවතින පැරණි ඔසු උයන් ද රාවණ යුගය දක්වා දිවයන බවත් ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බවත් ලග්ගල වැසියන් සඳහන් කරන බවත් සූරිය ගුණසේකර මහතා කියා සිටියේය.
බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ සමකාලීන අවදියේ එනම් ක්‍රි.පූ. 6 සියවසේ දී මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් පැවති බවට සැක සිතිය හැකිය.
සූරිය ගුණසේකරයන්ට අනුව පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වන චරක යනාදී විවිධ නම්වලින් හැඳින්වූ ආදීවාසී ජන කොටස් මෙම ඔසු උයන්වල සේවයේ යෙදී ඇති බවට සාක්ෂි පවතියි.
ශ්‍රී පාද වන්දනාවේ ගිය බොහෝ බැතිමතුන් අතරින් අතරමං වූ ඇතැමෙක් අවස්ථා ගණනාවක දී පලතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුනක් ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි අවස්ථා විස්තර කරන මහලු උපාසක උපාසිකාවන් පිළිබඳ පුවත් අදටත් සාක්ෂි දරන්නේ අතීතයේ පැවති උයන් විශේෂ පිළිබඳව වත්මනට සාක්ෂි සපයමිනි.
එනිසාම ලග්ගල දී හමුවන රාවණාගේ මල් උයන මෙන්ම එම පරිසරයේ පමණක් හමුවන විවිධ පැළෑටි වර්ග අදටත් මහා අබිරහසක් ඉතිරි කර තිබේ.
මේ පැළෑටි වලින් අතීතයේ ලබාගත් මහඟු ප්‍රතිඑල වර්තමානයේ තාක්ෂණය විසින් උදුරාගෙන තිබේ.

සටහන හා ඡායාරූප
නාඋල ඉන්දික අරුණ කුමාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර,,පාථක,,සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, July 5, 2019

හිරුගෙන් වැඩගත් අපේ මිනිස්සු......(Nalanda gedige - අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

ලෝකයේ මැද ලංකාවේ නාලන්දා ගෙඩිගෙයද?   
මුන්නේෂ්වරමේ කොග්ගල අරන්කැලේ පුරාණ කාලේ හිරු දෙවියන් වැන්ද දේවාලද?   
අවුරුදු උදාව තීන්දුවන්නේ දෙවුන්දර ගල්ගෙයි දේවාලයෙන් කියන්නේ ඇත්තද? 

රාවණ රජතුමාගේ කාලයේ නර්තනය පිළිබඳ දැනීමක් හා තෙල්මේ නැටුම ද තිබී ඇත. මෙම නැටුම විශේෂයෙන් දැකිය හැක්කේ සූර්යාට කළගුණ සැලකීමක් වශයෙන් කරන සූර්ය වන්දනා උත්සවයක දී ය. අද උත්සව අවස්ථාවන් හිදී ද දැකිය හැකිය. අතීතයේ එය අපේ රටේ තිබූ බව ද පිළිගනී. රාවණ පරපුරෙන් පැවත එන විශ්ව බ්‍රාහ්මණ, සූර්ය වංශ, යක්හෙළ, විශ්වකර්ම, නවන්දන්නා නමින් හඳුන්වන මේ සඳහා නටන නැට්ටුවා සූර්යයාට වැඳගෙන පෘථිවියේ ආනතියට සමාන ආනතියකින් යුතුව (ඇළවී) තමා වටා කැරකෙමින් සූර්යා වටා ද කැරකෙයි. ඒ අනුව සූර්යා වටා පෘථිවිය කැරකෙන බව රාවණ රජතුමා මුලින්ම සනාථ කර ඇති බව සිතමි. 
1980 වසරේ චීන මහජන දින සංස්කෘතික උත්සවය කොළඹ දී පැවැත්වුණේ ජෝන් ද සිල්වා සමරු රඟහලෙහිය. චීන තානාපතිතුමා ප්‍රධාන අමුත්තා විය. අවසානයට පැවැත් වූයේ තෙල්මේ නැටුමයි. එය ඉතා ආකර්ෂණීය හා වේගවත් විය. එම රංගනය අවසානයේ සංදර්ශනය ද අවසන් විය. රංගන ශිල්පීහු වේදිකාවට විත් සභාවට ආචාර කළහ. මැද සිටි තෙල්මේ රංගන ශිල්පියාට තානාපතිතුමා විසින් මල් කලබක් පිළිගැන්විණ. තානාපතිතුමා එය ශිල්පියා අතට නොදී දෙපා මුල තබා බිමටම පාත් වී වැඳ ආචාර කළේය. මුළු සභාවම පුදුම විය. නමුත් එය එසේ සිදුවිය. එදා එම සභාවේ සිටි අය මීට සාක්ෂි දරති. හිස නොනමන අභිමානවත් චීන ජාතිකයාට එදා එසේ වීම අබිරහසකි. සූර්යා උදාව හා ඉන්පසු සූර්යාගේ බැබළීම මූර්තිමත් කරන ශිව තාණ්ඩව ස්තෝත්‍රය ද රාවණ රජතුමාගේ නිර්මාණයකි. 
රාවණ රජු පටන් සිංහල අවුරුදු විශේෂ දවස යක්හෙළයෝ කෙළෙහිගුණ දත් අය වශයෙන් සූර්ය වන්දනාවේ යෙදෙති. සෑම වසරකම මාර්තු 20 වැනි දින සිට අප්‍රේල් 13 වැනි දින දක්වා කාලය ඇතුළත කොග්ගලට හිරු මුදුන් වෙයි. ඒ බව කොග්ගලින් බිහි වූ මහා වියතෙකු වූ අරීසෙන් අහුබුදු තුමා විසින් ලියා ඇති “හෙළ අවුරුදු වග” නමැති කෘතියේ සඳහන් වේ. එමෙන් මේ සමය එරබදු මල් පිපෙනවා පමණක් නොව ස්වභාවධර්මය ද වෙනස්වීම් ඇති වී බොහෝ සුන්දර දසුන් පවා දැකිය හැකි කාලයකි. 

“නීල කොබෝ රෑන ඇවිත් වී අහුලන ඉපනැල්ලේ... 
මාල ගිරව් රංචු  ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...” 
නාලන්දා ගෙඩිගෙය

ඉතා පුරාණයේ හිරු වන්දනා කරන දේවාල බොහොමයක් ශ්‍රී ලංකාවේ තිබී ඇත. මෙවැනි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් හිරු දෙවොලක් මුන්නේශ්වරම් හි තිබී ඇති බැව් පර්​ෙ‌ය්ෂණවලින් හෙළි වේ. තවත් හිරු දෙවොලක් අරන්කැලේ දී හමුවී ඇත. කොග්ගල හිරු දෙවොලත් ඉන් එකකි. බුදු දහම ශ්‍රී ලංකාවට ඒමටත් පෙර රාවණ යුගයේ පටන් කොග්ගල හිරුගල් දේවාල වන්දනාව සිදු වී තිබේ. දැනට අනතුරට පත්වෙමින් තිබෙන මෙම දෙවොල වන්දනාවට ඒ කාලයේ ඉන්දියාවෙන් පවා බැතිමතුන් පැමිණ ඇති බව දැනගන්නට ඇත. එපමණක් නොව පසුව අපේ සිංහල අවුරුදු උත්සවය ඉන්දියානුවන් විසින් පවා මේ දක්වා පවත්වාගෙන එයි. 
දෙවුන්දර නගරයේ පිහිටි හෝරා ස්තම්භය අසලින් උතුරට ඇති මාර්ගයේ කි.මී. 1 ක් පමණ යනවිට මෙවැනිම දෙවොලක් සහිත ගල් ගෙයක් හමුවනු ඇත. මෙම ගල්ගෙයි දොරටුව නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති නිසා සූර්ය දෙවියන් නැමදීම කළ දේවාලයක් ලෙස හඳුන්වති. මෙම ගල්ගෙයි වහලයේ සිදුරක් ඇත. හිරු එළිය එම සිදුර හරහා ගල්ගෙයි ඇතුළට පතිත වේ. ලංකාවේ අවුරුදු උදාව තීන්දු කරන්නේ මේ ස්ථානයෙන් බවට මතයක් ද පවතී. මෙහි බොහෝ නිදන් වස්තු තිබෙන බවට ගැමියෝ පවසති. අදටත් හිරු දෙවි වන්දනාව සඳහා ඇතැම්හු මේ ස්ථානයට පැමිණ තම දුක්ගැනවිලි කොළයක ලියා ගෙනවිත් සූර්ය වන්දනාව කොට ඒ දුක් ගැනවිල්ල ලියූ කොළයට ගිනි තබා හිරු දෙවි වන්දනාව කරති. 
එමෙන් ම දෙවැනි පෑතිස් යුගයේ සිට අද දක්වා සිතුල්පව්ව බෞද්ධ පූජනීය ස්ථානයකි. නමුත් එය ද රාවණ යුගයේ දී සූර්ය වන්දනාවට පාත්‍ර වී ඇත. යක්ෂ ගෝත්‍රික හෙළයන් වර්ෂයකට වරක් සරත් සමයේ පුන් පොහෝ දිනක සිතුල්පව්වට ඒකරාශී වී සූර්ය දෙවියන්ට පුද පූජා පවත්වා භාවනානුයෝගීව හැසිරුණ බැව් “රාවණ කතා” ග්‍රන්ථයේ සඳහන් වේ. සත් වැනි වීරමුණ්ඩ රජතුමා ද භාවනා කිරීමට ගොස් ඇත්තේ සිතුල්පව්වටය. දෙවන රාවණ රජතුමෙකු ගිරුවාපත්තුවේ දෙවොලකට ගොස් දෙවියන් පිදූ බවත්, දැන් එම ස්ථානය “ගැටබරු දෙවොල” ලෙස හඳුන්වනු බවත් “රාවණ කතා” පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙවැනි 10, 11 රාවණ රජවරු සිටි බව තවත් ස්ථාන කීපයක සඳහන් වේ. ඒ අනුව මේවා සූර්ය වන්දනාව කළ රාවණ යුගය දක්වා දිවෙන ඉපැරණි අතීතයක් ඇති ස්ථානයන් ය. 
ලකේගල පාවුල රාවණ රජතුමාගේ මාලිගයක් තිබූ බව ජනප්‍රවාදයේ පවතී. ලකේගල හා නාලන්දා ගෙඩිගෙය ලෝකයේ මැද ඉදිකෙරුණක් බව ඉපැරණි මහායාන බෞද්ධ ලියකියවිලිවලින් ද ගම්‍ය වෙයි. ඒ බව මෙයට වසර 2000 කට පමණ පෙර කලෙක රචිත “දෛවඥ කාමධෙනු” නම් වූ නක්ෂත්‍ර විෂය සම්බන්ධ ග්‍රන්ථයේ මෙම ශ්ලෝකයෙන් ද කියැවේ. 

“අස්තිලංකෝති වීක්‍යාතා - රාජධානි සාරංවිෂා 
භාර්තෂ්‍යා මධ්‍යරේඛායං - සපලස ජන සච්ච 
ශෛව ශවා හෙවෙත් භාර්තොර් - තත්ත්‍ර විෂුවන් 
රාවණ රජතුමා

බධ්‍යාචායාෂ්‍යාත් ගෝලයේ ගෝලයඃ 
නාලන්දා ගෙඩිගේ පිහිටි තැන ලංකා දිවයිනේ හරි මැද බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව ද පිළිගනී. එහි ඇති පිළිමය පුරාවිද්‍යාඥ බෙල් මහතා විසින් විස්තර කර ඇත්තේ දේව ප්‍රතිමාවක් බවටය. හිරු උදාවන විට ඕවරකය මත පතිතවන හිරු රැස්වලින් සූර්ය දේව ප්‍රතිමාව බබළන්නට සලස්වා තිබේ. ඒ අනුව මෙහි දී සූර්ය වන්දනාව කළ බව කිසිම සැකයක් නැත. හිරු මුදුන්වන විට අවට අයට දැන ගැනීම සඳහා ගෙඩිය ගසනු ලැබේ. අනික් ස්ථානවල ගෙඩි ද ඒ අනුව නාදවන්න ඇති බවට සිතිය හැකිය. ලංකා පුරයේ රාවණ සටන කෙරෙන අතරතුර රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් (මේඝ නාද කුමරා) විජයග්‍රහණය සඳහා රාමායණයේ යුද්ධ කාණ්ඩ 22 සර්ගයෙහි සඳහන් පරිදිත්, මෝනියර් විලියම්ස් පඬිවරයා පවසන අන්දමටත්, දේව පූජාවක් පැවැත්වීමට යන ලද්දේ ද මෙම නාලන්දා ගෙඩි ගෙට විය යුතු බවට විශ්වාස කරති. රාවණ රජතුමාගේ සීයා පුලස්ති ඍෂි මියයාමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත මෙම නාලන්දා ගෙඩි ගෙය නිර්මාණය කළ බව පැවසේ. මෙය සිව් හෙළයටම ඇවැසි ශක්තිය ලබාදුන් ස්ථානයකි. 
මෑතදී බෝවතැන්න ජලාශය ඉදිකිරීම සඳහා මෙය ඉවත් කිරීම අපේ හෙළ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් සේ බොහෝ දෙනෙක් සලකති. එමෙන්ම මිහිර කුල රජ සූර්ය දේව ප්‍රතිමාව සටහන මුද්‍රණය කරන ලද “යමූෂ දේව” නම් වස්ත්‍ර වර්ගයක් ලක්දිවෙන් කාශ්මීරයට රැගෙන ගොස් ඇත. (මෝ:වි:සං:ඉං:ශ:කෝ 847 පිටුව) මෙසේ, “ශ්‍රී ලංකාවේ රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය” හි සඳහන් විය. පසුව දඹදිව මිසරය දක්වා මෙම සූර්ය වන්දනාව පමණක් නොව ඒ සමග හිරු ගමන අනුව කාලය මැනීම ද, පලස්තීනය ග්‍රීසිය දක්වා ද ඉන් ඔබ්බට ද පැතිරී ගොස් ඇත. ඒ අනුව අපේ පෑතැටිය, ගල් ඔරලෝසුව, වැලිගල අද නවීනතම ඔරලෝසුව නිර්මාණය සඳහා පාදක කරගෙන ඇති බවට සිතමි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව අංශය රජගලතැන්න පුණ්‍ය භූමිය සහ දාන ශාලා ගොඩනැගිල්ලේ කැණීම් කිරීමේ දී මෙවැනි ගල් ඔරලෝසුවක් හමුවීම, මීට සමානම ඔරලෝසුවක් අභයගිරි කැණීම්වල දී හමුවී තිබීම, වල්මීතලාවේ නියෝලිතික බිමෙන් හමුවූ තවත් සුවිශේෂී උපකරණයක් වූ ඉහත සඳහන් තිත් 19ක් සලකුණු කළ වැලිගල, ගිම්හාන කාලයේ දී පායන ඔරියෝන් තාරකා පංතිය බවට හැඳිනගෙන ඇත. මේ ගල් පුවරුව ධාන්‍ය අස්වැන්න නෙලන කාලය මැන බැලීමට භාවිත කළ බවට පැහැදිලි වීමෙන් ද ඉහත සඳහන් කරුණු මොනවට සනාථ වේ. 
විවාහයකින් තොරව සීසර් හා ක්ලියෝපැට්රා එක්වීමෙන් ලැබුණු දරුවා අවජාතක බව එරටේ සම්ප්‍රදාය අනුව පැවසීම වසන් කිරීමට උපායක් කල්පනා කරන ලදී. ඉන්පසු මහා රාජනියට පුතෙක් ලබාදීම සඳහා සූර්ය දිව්‍ය රාජයා සීසර්ගේ ආත්මයට ආවේශ වූ බවට රට පුරා පැතිරවීමට පවා අපෙන් ලොව පුරා ගිය එම සූර්ය වන්දනාව ප්‍රයෝජනයට ගෙන ඇති බවට ද සිතමි. ක්ලියෝපැට්රා.... මැරුණාද? මැරුවාද? ඒ ගැන ද ක්‍රි.පූ. 31 ග්‍රීසියේ දී මියගිය වීනස් දෙව්දුව පරදින නයිල් නදියේ අසිරිමත් රූසපුවක් අැති අභිරූපිකාවක් පිළිබඳව ලිපි ලේඛනවලින් බොහෝ තොරතුරු පැහැදිලි වේ. 
එපමණක් නොව සූර්ය වන්දනාව සමග අපේ කලා ශිල්ප ද ලොව පුරා ගියේය. වල්මීතලාවේ අතින් සෑදූ මැටි වළං ද, ලුණුගල් ගෙයි සකපෝරුවේ සාදා පිලිස්සූ වළං ද, රංචාමඩමෙන් හමු වූ පොසිලෝන් මෙන් රත්කර රක්තවර්ණ තීරුවලින් අලංකරණය කළ මැටි වළං ද පෙළ ගැස්වූ විට ශත වර්ෂ ගණනාවක් පුරා බලංගොඩ යක්හෙළ මිනිසා කළ අත්හදා බැලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස උසස් කලාත්මක මැටි බඳුන් කර්මාන්තයක් පිළිබිඹු වෙයි. නමුත් මේ දේශීය තාක්ෂණික දැනුම මගහැර ඊට බොහෝ පසුකාලීනව ග්‍රීසියේ නිපද වූ ඇම්පෝරා වැනි බඳුන් පිළිබඳ මෙරට පාසල්වල ඉගැන්වීම කොතෙක් දුරට විහිළුවක් දැයි සිතාගත හැක. ඊජිප්තුවේ ආරම්භ වූවා සේ සලකන බතික් කලාව ද අපට උරුම ශිල්පයක් ලෙස සලකමි. 
රාවණ රජතුමා සූර්ය ශක්තියෙන් බොහෝ වැඩ ගත් අයෙකි. යක්හෙළ ඉංජිනේරුවන් විසින් ඊජිප්තුවේ පිරමීඩ් ඉදිකළ බවට සැලකේ. ප්‍රධාන පිරමීඩ තුන (Menkavra, Kahafre, Khufa) හා ලංකාවේ ප්‍රධාන ස්තූප තුන වූ මිරිසවැටිය, රුවන්වැලිසෑය, ජේතවනාරාම චෛත්‍යය අහසේ පිහිටි ඔරියෝන් තාරකා තුනට සමාන්තරව ඇති බව හා අනුපාතිකව ශක්ති කලාපයක් ලෙස විශ්වයේ ඉහළ සහ භූමිය මත පිහිටා ඇති බව විද්‍යාත්මකව සැලකේ. පිරමීඩවල හා ස්ථූපවල ත්‍රිකෝණය එකමය. ස්තූපවල දේහයන් දවාලූ ධාතූන් හා පිරමීඩවල දේහයන් ද තැන්පත් කර ඇත. 
මේවා නිර්මාණයට ටොන් 2 - 3 බරැති ගල් කුට්ටි උඩට ගෙන ඇත්තේ සූර්ය ශක්තියෙනි. සීගිරිය නිර්මාණය, ලෝවාමහාපායේ ගල් කණු සිටුවීම ආදිය සිදුවී ඇත්තේ ද එසේ විය හැක. “රාජ තරංගනී” නමැති කාෂ්මීර රාජ වංශ කතාව ප්‍රකාශ කරන්නේ ද පිරමීඩ ඉදිකළේ යක් හෙළයන් බවය. රාවණ රජතුමා සූර්ය ලිත (ශිවා ලිත) භාවිතා කළ මහා විද්‍යාඥයෙකි. එම ලිත අද දක්වා ඌවේ ජ්‍යොතිර්වේදීන් භාවිත කරනු ලබයි. පසුකාලීනව මායාවරුන්ගේ දින දසුන විස්සෙන් විස්සට ගණිතය මායා ගණන් හෝඩිය පවා සූර්ය යුගයන් වශයෙන් ද බෙදේ. එපමණක් නොව අහමෙන් තොප් රජු විසින් හිරු දෙවියන් පමණක් මිසර වැසියා ඇදහිය යුතු බවට ප්‍රකාශ කර ද ඇත. “රා” යනු රාවණද, බැස්ටෙට් දෙවඟන යනු “රා” ගේ දියණියයි. “රා” යනු ඔවුන්ගේ ඇදහීම අනුව ද සූර්ය ශක්තියයි. 

“ආදි අපේ මුතු මිත්තෝ 
ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” 

තව දශක දෙකක දී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී පොසිල ඉන්දන යුගය අවසන් වේ. එවිට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට නැවත රාවණ යුගයට යෑමට මිනිසාට සිදුවන්නේය. එවිට පරිසරයට ද හානියක් නොවී හරිත ලොවක් ද නැවත ඇති වේ. සූර්ය ශක්තිය තුළින් එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයින් අසනු ඇති. ශක්ති විද්‍යාව දන්නා වූ අදටත් ශේෂ වී සිටින රාවණ පරපුරේ අතළොස්සක් යක් හෙළයන් වන ඔවුන්ට එය හැකිවනු ඇත. එසේ කිවහොත් බොහෝ දෙනා සිනාසෙනු නොඅනුමානය. අද එය සිනාසුණ ද තව දශක කීපයකින් එසේ වන්නට පුළුවන. 
ඔවුන් කළ ලොව මවිත කරන විශ්වකර්ම නිර්මාණ නොමැති නම් අද ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් කියා පෙන්වීමට දෙයක් නොමැති තරම්ය. ඒ අනුව නවකම් දන්නා නවන්දන්නාට මෙය අරුමයක්ද? සූර්ය ශක්තියෙන් තෙල්, පොහොර නැතිව කෘෂිකර්මය කරන උකුවෙල තිලක කන්දෙගම මහතා හා ඉතිරි විදුලි බලය සූර්ය ශක්තියෙන් පිරවීමට නිපයුමක් මගින් බලාපොරොත්තු වන යක්හෙළ පරපුරේ ජලයෙන් විදුලි පහන් දැල්වූ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර තුමාගේ හතර වැනි පරපුර හොබවන “ෆ්ලෙක්ස් පෝර්ට්” ආයතනය හිමි ආචාර්ය නන්දදාස නාරායන ඉංජිනේරුතුමා එවන් දෙදෙනක් පමණි. 
මෙවැනි අය තවත් විවිධ ක්‍ෂේත්‍රවල ඇති දැයි විමසිලිමත්ව සොයා බැලුවොත් දැන ගැනීමට පුළුවන. මේ අනුව සියලුම යක් හෙළයන් නැවත එකට එකතු වන දිනය ඈතක නොවනු ඇතැයි ද කියා සිතමි. “ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය” 2011 මුද්‍රිත පළමු කෘතියෙන් හා 2015 මුද්‍රිත දෙවන කෘතියෙන් නැවත සූර්ය ශක්තිය නිපදවා එමඟින් අවශ්‍යතා සපුරා ගැනීම ගැන අවධානය යොමු කළෙමි. ඒ අනුව 2016 දෙසැම්බර් මාසයේ සිට දිවයිනේ මේ වන විට සූර්ය බලශක්ති සංග්‍රාමයක් ආරම්භ කිරීම හා 2018.03.11 ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවක් පැවැත්වීම ගැනත් සතුටට පත්වෙමි. 
මෙසේ අපේ යටගියාව හෙළි කරන, ලොවට ගිය අපේ උරුමය මතුකරන සූර්ය වන්දනාව ජාතියේ පැවැත්ම, හැඩගැස්ම, ජාතික එකමුතු කිරීම, වේලාවට වැඩ කිරීම, එස් 5 ක්‍රමය මුලින් ම හඳුන්වා දීම, කළගුණ සැලකීම වැනි ගුණදම් රාශියක් ද මේ තුළින් පුරුදු පුහුණු කරන ලදී. මුළු රටම එකතුවී ළිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම ආදිය සියලුම දෙනා එකම වේලාවට කරන මෙම සිංහල අලුත් අවුරුදු වැනි පැරණි උළෙලක් ලෝකයේ කිසිම තැනක නොමැත. මෙය ආරම්භ කිරීමේ පමණක් නොව අපව විවිධ කර්මාන්තයන් කර, ගොවිතැන් කරමින් නිර්මාංශ භක්ෂිකව ජීවත්වීමට පුරුදු පුහුණු කර ලොව පළමු ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් කිරීමේ ජාතියේ ගෞරවය “මංජු ශ්‍රී” නමින් මතු බුදුවන ඒ ශ්‍රේෂ්ඨ මහා රාවණ රජතුමාට හිමි වේ. 
එදා ලංකාවට ඉන්දියාවේ මැඩගස්කරය දක්වා අයත්ව තිබුණි. එමෙන්ම මානවයා මෙම මැඩගස්කරයෙන් එනම් ලංකාවේ ඇති වී ලොව පුරා ගිය බවට සලකමි. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ සමග රාවණ රජතුමාට රටවල් දහයක් යටත්ව තිබී ඇත. ඒ නිසා එතුමා දසිස් රාවණ නම් විය. එම ප්‍රදේශවල එතුමාගේ පරපුරේ යක් හෙළයන් ද පදිංචි වී සිටි බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සමග හිරු වන්දනාව ද ඉන්දියාව පුරාවට ද පැතිර ගියේය. 
මුන්නේෂ්වරන් කෝවිල
රාවණ රජතුමාගේ නැඟණිය වූ සුපර්ණිකා කුමරිය පාලනය කළ දණ්ඩකරණයෙහි ශාඛ පමණක් බුදින යක්හෙළ ජනතාවක් විසූ බව රාමායණයෙහි පවා සඳහන් ය. මෙම දණ්ඩකරණයට රාම බලෙන් ඇතුළු වී සතුන් මැරීම හා සුපර්ණිකාවට හිරිහැර කිරීම, රාම රාවණ යුද්ධයකට පවා හේතු විය. මෙම රාවණ යුගයේ දී මුහුදු ගැලීමකින් මෙම දණ්ඩකරණය මුහුදුබත් වූවා පමණක් නොව ලංකාපුරය කොටසක් ද මුහුදුබත් වී ලංකාව ද ඉන්දියාවෙන් වෙන් විය. මේ බව රාජාවලිය හා සද්ධර්මාලංකාරයේ ද සඳහන් වේ. 
ඉන්දියාවේ රාමේශ්වරම් සිට ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ස්වභාවික පාලමක් බඳු මුහුදු නොගැඹුරු ප්‍රදේශය භූගෝලීය වශයෙන් ද ඊට සාක්ෂි දරයි. ලංකාවට අයත් වූ ඉන්දියාවේ කොටස්වල සිටි යක්හෙළයෝ අදටත් එහි සිටිති. කාලයක් ගතවීමෙන් භාෂාවන් හා සිරිත් විරිත් වෙනස් වුවත් ලේවල නම් වෙනසක් නැත. බොහෝ දෙනෙක් වරින් වර ආපසු පැමිණි අතර, රජවරු විසින් ද ගෙන්වාගෙන ද ඇත. ඉන්දියාවේ දණ්ඩක වනයේ අගනුවර වූ ධනස්ථානය (දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී සොයාගත් අතර, අවුරුදු 5000 ට වඩා කාලය නිර්ණය වීමෙන් රාවණ රජතුමා සිටි කාලය ද එතුමා බුදුබව පැතීමට වරම් ලැබූ බව පවසන කාශ්‍යප බුදුන්ගේ කාලය දක්වා දිව යයි. 
මෙම සූර්යා මුල් තැනෙහිලා සැලකීමේ ඉතිහාසය බුද්ධෝත්පත්තියට එහා දිව යන්නක් බව ඉහත ලිපියෙන් ද පිළිගෙන ඇත. මීට බොහෝ කාලයකට පසුව එනම් ක්‍රි.පූ. 1500 දී ආර්යන් ඉන්දියාවට පැමිණ ඇති බවට පිළිගැනීම. සමහරවිට එහිදී ඔවුන් ද සූර්ය වන්දනාවට පෙළඹෙන්නට ඇත. පසුකාලීනව විජය සමග ඔවුන් ලංකාවට සංක්‍රමණය වීමෙන් පසුව ද යක්හෙළයන් සමග එය ඇදහුවා විය හැක. 
බුදු සමය පැමිණීමට පෙර ලාංකීය සංස්කෘතියේ ප්‍රබල ලෙස හින්දු බලපෑමට ලක්ව පැවති බවත්, එමෙන්ම “මහා වංශයට අනුව පණ්ඩුකාභය රාජ්‍යත්වය පතා කළ සටනේ දී වළවාමුඛී ඔහුට උපකාර කළ බැවින් රජ උයන තුළ වාසයට සකස් කර වසරක් පාසා පූජාවන් දුන් බව” ද ඉදිරිපත් කරමින් පත්තිනි ඇදහීම ද එසේ හින්දුන්ගෙන් පැමිණියක් බව සනාථ කිරීමට සමහරු උත්සාහ කරති. විජය මෙහි පැමිණීමට පෙර ලංකාවට කිසිම විදේශිකයෙක් පය ගසා නැත. ඒ වනවිට මෙහි රජ කළේ දුටුගැමුණු රජතුමාගේ මුත්තා වන කම්මල්කරුවෙකු වූ යක්හෙළ පරපුරේ මහාකාලසේන රජතුමාය. 
ඒ වන තෙක් කිසිදු හින්දු බලපෑමක් වුණේ නැත. චිත්‍රරාජ, කාලවේල, වළවාමුඛී යන අය පණ්ඩුකාභය රජතුමාගේ පිය පාර්ශ්වයේ යක්හෙළයන් වන අය වෙති. මොවුන් තම වර්ගයා දිනවීමට කළ උපකාර නිසා රජ උයන තුළ පදිංචි කළා විනා ඔවුහු හින්දූන්වත්, හින්දුන් අනුගමනය කරන්නන්වත් නොවන නියම යක්හෙළයන් වෙති. බුදුන් වහන්සේගේ පරිනිර්වාරණයේ දී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට උන්වහන්සේ ශක්‍ර දිව්‍ය රාජයාට එය පවරන ලද බව ඉහත තොරතුරු සඳහන් කරන මහාවංශය කතුවරයාම පවසයි. නමුත් පරිනිර්වාණ මංචකයේ විස්තර සඳහන් මහා පරිනිබ්බාන සූත්‍රයේ හෝ එවැන්නක් සඳහන් කර නොමැත. ඇරත් මීට ඉහත බුදුහිමියන් සරණ ගිය ලක්වැසි ජනතාව විනාශ කිරීමට දූෂිත විජයට පමණක් සව්ලෝ සතුන්ට ද කරුණාව දක්වන බුදුන් වහන්සේ ආරක්ෂාව හා අනුමැතිය ලබාදෙයි ද? 
විජය බුදුන්වහන්සේගේ ඥාතියෙකු ලෙස හා රාවණ රජතුමා මෙන්ම කුවේණිය මිනී මස් කන බවට හුවා දැක්වීමටත් කටයුතු කර ඇත. නිර්මාංශ භක්ෂික හා මතු බුදු බව පතන රාවණ රජතුමා මිනී මස් කයිද? රාමට එකට එක කිරීමක් වශයෙන් සීතා දේවිය පැහැරගෙන ආවා විනා එසේ නම් සීතාව මරාගෙන කන්න තිබුණි. කුවේණියට ද විජය අත්හැර නොගොස් ඔහුට හොඳ පාඩමක් නූගන්වන්නේද? 
මෙසේ පසුකාලීනව මෙරට ඉතිහාසය ලිවීමට උත්සුක වූ මහානාම හිමියන් ඉන්දියානු ආභාෂය ලැබූ යතිවරයෙකි. එය ද යක් හෙළයන්ගේ සැබෑ ඉතිහාසය යටපත් කිරීම කෙරෙහි බලපා ඇත. බුද්ධ වංශ කතාව කීමට ඇති වූ මහා වංශයෙහි අඛණ්ඩ රාජ වංශයක පූර්ණ තොරතුරු සිංහලයාට තිබුණත් එසේ වෘතාන්ත ස්වරූපයෙන් ලියවී ඇති නිසා මේ තුළින් ඉතිහාස තොරතුරු මතුකර ගැනීම පරෙස්සමෙන් කළ යුතුය. 

එම්.ඒ. කරුණාරත්න 
ගිරාතලාන දකුණ - හෙට්ටිපොළ 
lankadeepa
============================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, July 2, 2019

මහකැලේ හුදකලාවූ අසිරිමත් පුදබිමක්......(purana viharaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

උතුරු පළාතේ සොයා ගනිමින් පවතින, බෞද්ධ උරුමය අතරට එකතු වන අලුත්ම පින්බිම සොයා අපි මහ වනය පීරුවෙමු. දහවලේ පවා වන අලින් ගහණ වූ මහ වනයේ ඇතුළෙහිම තැනකි. මොහොතකට පෙර වන අලින් ගැවසුණු බවට ලකුණු අප නෙත ගැටෙයි. ගිනි කාෂ්ඨක අවු රශ්මිය පරිසරය උණුසුම් කර තිබෙන මොහොතකි.   
නිහඬව ඇවිද යා යුතු වනගත චාරිකාවකි.   
ප්‍රදේශය ගැන හොඳින් දන්නා මැදඔයාමඩුවේ ප්‍රඥාසාර හිමියන් සහ හල්මිල්ලෑවේ ප්‍රඥාරතන හිමියන් අප ගමනේ නියමුවෝය.   
මධ්‍යම නුවරගම් පළාතේ දෙමටමල්ගම තුලානේ, බෝගොඩ ගමේ ඌත්තුවෙල්ලියහි මේ පුරාවිද්‍යා නටබුන් හෙළිවෙමින් පවතී.   
ඌත්තුවෙල්ලිය යනු උල්පත් ස්ථානය යන අදහස දක්වයි. බෝගොඩ ගමින් වන වැදුණු අපි කැලෑව මැද්දේ කිලෝ මීටර් කීපයක දුෂ්කර ගමනක් වන අභ්‍යන්තරයට පියමැන්නෙමු. විහාරය නුදුරින් ගලා බසින්නේ පැරණි කදම්බ නදිය යැයි කී මල්වතු ඔයයි. මහා කුඹුක් ගස් ද විසල් කළු ගල් ද අතරින් සීතල දිය දහර නිහඬව ගලා බසියි.   
මල්වතුඔය අසබඩට වන්නට මේ ඉපැරණි විහාර නටබුන් රාශිය මධ්‍යම ප්‍රමාණයේ ගිරි ශිඛර කීපයක් පාදක කරගෙන පිහිටා තිබෙයි.   
අඩි පාර දිගේ ගිය අපට වන මැද දකින ඒ දුර්ලභ දසුන් පෙළ සැබැවින්ම අරුමයක් විය. 

ගල් කණු සිය ගණනකි. ගල් පර්වතයේ ස්වභාවික ගල් පඩි බලන බලන අත විහිද තිබෙයි.    මහ වන මැද ගල් බුදු පිළිම නටබුන් සේම ඉපැරණි චෛත්‍ය ගණනාවක යැයි සිතිය හැකි ස්ථූප නටබුන් ද රැසකි. අවුරුදු ගාණක් කැලයටම නතු වූ මේ පුද බිම පළමු වරට ‘ඉරිදා ලංකාදීප’යෙන් ලොවට හෙළි කරමු.   
මේ ඌත්තුවෙල්ලිය විහාරය ඉක්මනින් සංරක්ෂණය වීම ලංකාවේ වැදගත් බෞද්ධ උරුමයක් ලෝකවාසීන්ගේ අවධානයට යොමු කළ හැකි බවට ලකුණකි. මේ පැරණි විහාරය මහානාගතොට කදම්බනදී රාජ මහා විහාරය ලෙස ගම්වාසීන් අතර වඩා ප්‍රකටය.   
ක්‍රි.පූ. 3 වන සියවසේ දී දේවානම්පියතිස්ස මහ රජුන්ගේ ආරාධනාවෙන් සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරය දක්වා වැඩම කෙරිණි. ඒ ගමන් මග වූයේ තිවක්ඛ බමුණුගම හරහාය. තිවක්ඛ බමුණුගම යනු වත්මන් තන්තිරිමලයයි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා වැඩමවන ගමනේ දී පළමු දින රාත්‍රිය තිවක්ඛ බමුණු ග්‍රාමයෙහි ගල් තලාව මත තැන්පත් කළ බව තන්තිරිමල විහාර ඉතිහාසය කියා පායි.   
පසුදිනක මහමෙවුනා උයනේ රෝපණය කළ මහා බෝ ශාඛාවෙන් හට ගත් අංකුර අටෙන් (අෂ්ට ඵල බෝධි) එකක් තිවක්ඛ බමුණු ග්‍රාමයේ ගම් ප්‍රධානියාට ලැබිණි.   
 ඔහු මහත් පෙරහරින් අෂ්ට ඵල බෝධිය වැඩම කරවා ගෙන තන්තිරිමල ගල්තලා මත්තයේ රෝපණය කළේය. එතැන් පසු තිවක්ඛ බමුණුගම බෞද්ධාගමික ප්‍රබෝධය වඩ වඩාත් පැතිර ගියේය. ප්‍රදේශයේ පැතිරීගත් බෞද්ධ ප්‍රබෝධය මූලික කරගෙන සමකාලීනව ඊට යාබදව ගොඩ නැගුණ සුවිසල් විහාර ආරාමයක් හැටියට ඌත්තුවෙල්ලිය විහාර නටබුන් විශ්වාස කළ හැකිය. 

තන්තිරිමලයට වඩා වැඩි කටාරම් කෙටු ගල් ලෙන් රාශියක් ඌත්තුවෙල්ලිය නටබුන් අතර හමු වේ. ඒ අනුව උතුරේ රහතන් වහන්සේලා දහස් ගාණක් එක තැනක වැඩ සිටි ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් තැනක් හැටියට මෙතැන විවාදයෙන් තොරව නම් කළ හැකිය.   ඌත්තුවෙල්ලිය නටබුන් පිළිබඳව එච්.සී.පී. බෙල් මහතාගේ වාර්තාවල ද දැක්වේ.   
2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතා පුරාවිද්‍යා ගවේෂණය මෙහි සිදු කරන ලදී. ඒ අනුව කටාරම් කෙටූ ගල් ලෙන්වල පැහැදිලිව කියැවිය හැකි බ්‍රාහ්මීය අක්ෂර ලෙස ලිපි සමූහය කියවා ඇත. විහාර නටබුන් ද රැසක් පිළිබඳ අනුමාන වශයෙන් අදහස් දක්වා තිබෙයි.   
විහාරයේ පහළම කොටසේ කරුව සහිත දැවැන්ත ගල් කණු 40ක් පමණ සිටුවා ඇත. බැලූ බැල්මට මේ පැරණි ගල් කණු මත ඉදිවූ මහල් ගොඩනැගිල්ලක් බවට හඳුනාගත හැකිය.   
විද්වතුන්ගේ අදහසට අනුව අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදය වන්ව ඌත්තුවෙල්ලියේ වැඩ සිටි දහස් ගාණක් හිමිවරුන් විනයකර්ම සඳහා මේ මහල් ප්‍රාසාදය භාවිත වන්නට ඇති බව සිතිය හැකිය. ගොඩනැගිල්ලේ කඩා වැටුණු ගල් කණු ද අවට දැකිය හැකිය. ගල් කණු යොදා හැදූ තට්ටු ගොඩනැගිල්ලක නටබුන් මෑතක හමු වී ද නැත. එබැවින් ඌත්තුවෙල්ලිය නටබුන් මෙරට ඉතිහාසය මෙන්ම බෞද්ධ උරුමය පිළිබඳ කැටපතකි.   එතැනම යූප ගලක වැදගත් ලකුණ ද අපට දකින්නට ලබිණි. 

ගිරි ශිඛරයේ පිහිටීම ද විශේෂත්වයක් දක්නා ලැබේ. එය පිහිටා ඇත්තේම වේදිකා ආකාරයට කොටස් වශයෙනි. ගිරි ශිඛරයේ ඒ ඒ කොටස්වල ඒ ඒ නටබුන් කොටස්ය.   
මේ ගිරි ශිඛර වේදිකාවලට ගොඩවීමට ගලේම කෙටූ පැරණි පඩිපේළි තැන තැන හමුවේ. ඒවා දකින විට මේ විහාර ආරාම පද්ධතිය ඉතාම සැලසුම් සහගතව වගේම නිර්මාණාත්මකව සපුරා ගත් කාර්යයක් බවට මොනවට පැහැදිලි වෙයි.   
ගලේ මධ්‍යයේ එක් කොටසක අඩි 7ක් පමණ උසැති කළු ගලින් නෙළුෑ හිටි බුදුපිළිමයකි. පිළිමය කොටස් කීපයකට කැඩී ගොස් තිබෙයි. පිළිමය බස්සවා තිබූ ආසනය ද ඊට නුදුරෙහි දක්නට ලැබේ. ගල් කන්දේ මැද මළුව කොටසේ මේ අනුව පිළිම ගෙය ඉදිවී තිබෙන්නට ඇති බව සිතිය හැකිය.   
තවත් විශේෂයක් වන්නේ ඌත්තුවෙල්ලි නටබුන් අතර වේදිකා කීපයක, ඉපැරණි චෛත්‍ය 4ක පමණ නටබුන් දකින්නට ලැබීමයි. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍ය නටබුන් පැහැදිලිව හඳුනා ගත හැකිය. ඒවා ගඩොලින් කළ බව විසිර ගිය ගඩොල් කඳු දකිද්දී පෙනේ.   
ඌත්තුවෙල්ලි නටබුන් අතර චෛත්‍ය 4ක් තිබුණා නම් එය කොයිතරම් ඓතිහාසික හා ජනාකීර්ණව පැවති වැදගත් පූජනීය ස්ථානයක් ද යන්න අප කල්පනා කළ යුතුය. 

අනුරාධපුරයේ මිහින්තලයේ මෙවැනි චෛත්‍ය කීපයක් ගල් පවුවේ දැකිය හැකිය. සිතුල් පවුවේ ද දැකිය හැකිය. එවැනිම වූ ක්‍රමානුකූල විහාර සැලැස්මේ ස්ථූප 4ක නටබුන් දැනට හමුවීම අනුරාධපුර යුගයේ පමණක් නොව උතුරේ බෞද්ධ උරුමය තුළ ද සුවිශේෂ ලකුණක් විය යුතුය.  මේ ඌත්තුවෙල්ලි විහාරය වහ වහා සංරක්ෂණය විය යුත්තේ, මහ වන අතරින් නැවත ගොඩනගා ගත යුත්තේ එහි බැලූ බැල්මට ද පේන මහා ඉතිහාසයක් කාගේ හෝ වරදින් යට ගැසී තිබෙන නිසාය.   
බලධාරින්ගේ අවධානය පිණිසයි.   
විහාර නටබුන් තුළ හමුවන කටාරම් කෙටූ ගල් ලෙන් කුඩා ප්‍රමාණයේ ඒවා නොවේ. මහ ගල් ලෙන ඇතුළට දීර්ඝව යා යුතුය. ඒ ලෙන් ද උසින් වැඩි විශාල ලෙන් වේ.  හඳුනාගත් ගල් ලෙන් 6කම ඒවා පූජා කළ ප්‍රාදේශීය නායකයන් පිළිබඳව තොරතුරු බ්‍රාහ්මීය අක්ෂරවල සඳහන් බව මහාචාර්ය ආරිය ලගමුව මහතා පවසයි. මේ බ්‍රාහ්මීය අක්ෂර ද ඉතා දීර්ඝව ලියා ඇත්තා සේම ඉතා පැහැදිලිව සටහන් වශයෙන් අදත් දැකීමට පුළුවන්කම තිබේ.   
කෙසේ වෙතත් හඳුනා ගත යුතු තවත් බොහෝ නටබුන් ඌත්තුවෙල්ලිය ගිරි ශිඛර කීපය ආසන්නයේ තව බොහෝ තිබිය හැකිය.   ගල්ලෙන් තව තවත් තිබිය හැකිය. කාලය ඇවෑමෙන් පොළොවට යට වූ බුදු පිළිම, ආසන ගල්, පඩි ප්‍රාකාර, පොකුණු තව තවත් සොයාගත යුතුව ඇත.   
නිවැරදි කැණීමක් කළොත් ඌත්තුවෙල්ලි විහාරය සිතුල්පවුව විහාරයට ආසන්න ක්‍රමවේදයකට එදා පැවැති බවට ඉතිහාසයේ ගොඩ ගත හැකි බව නම් කිව හැකිය.  තව ද විහාරය වට කරගෙන දැවැන්ත ප්‍රාකාර බැම්මක නටබුන් හමුවී ඇත. මෙහි වැඩහිටි හිමිවරු පැන් පහසු වූ පොකුණු කීපයක නටබුන් දැකිය හැකිය. දැනට වනය අතරින් හමුවූ ගල් කොටස් තැන්පත් කොට හැදූ වෘත්තාකාර ආකාරයේ විශාල පොකුණක් දැකිය හැකි වේ.
තවත් විශේෂත්වයක් වන්නේ විහාරය මායිමේ පැරණි කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ගලා බැසීමයි.  මල්වතු ඔය අසබඩ මේ විහාරය ගොඩනැගීම තුළ, ලංකාවේ බොහෝ පැරණි විහාරවල හමුනොවන සෞන්දර්යාත්මක පරිසර ලක්ෂණ හා පරිසර වටිනාකම් රැසක් අපට දක්නට ලැබේ. ඒ අනුව කදම්බ නදී පාමුල එදා මේ විහාරාරාම සංකීර්ණය කෙතරම් සිත් ගන්නා සුලුව පවතින්නට ඇතිද?   
මීට මහානාගතොට කදම්බ නදී විහාරයයි, ප්‍රදේශවාසී ජනී ජනයා කියන්නට ද පසුබිමක් ඇත. මහා නාග යනු මේ ප්‍රදේශයේ ජීවත් වූ සිටුවර මට්ටමේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු බව ඉතිහාසගත තොරතුරු මතු කරයි. ඔහුගේ වෙළෙඳාම වූයේ මේ ප්‍රදේශයේ සිට උළු, ගඩොල්, කළු ගල් ආදිය විහාර ආදී කර්මාන්ත සඳහා කදම්බ නදිය දිගේ පාරු දිගේ ප්‍රවාහනය කිරීම බවට මතයක් ඇත. ඔහුගේ නමින් මල්වතු ඔයට සම්බන්ධ වන අතු ඇළක් තිබී ඇත. මහානාග තොටෙහි පිහිටි කදම්බ නදී විහාරය යැයි නූතනය මෙතැන නම් කිරීම ඉතා කාලෝචිත බව අප ද විශ්වාස කරමු.   
දවසින් දවස එළිය විය යුතු පුද බිමක් දවසින් දවස වැසී යාම ජාතියේ අවාසනාවකි.  කලක් එල්.ටී.ටී.ඊ.ය උදුරාගත් පය තබන්නට නොදුන් ඌත්තුවෙල්ලිය දැන්වත් එළිකර රටට ලෝකයට විවර කරමු ද?   
තන්තිරිමල රාජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි බලධාරීන් ඉක්මන් වෙනවා නම් තවත් සිතුල් පවුවක්, තවත් වෙස්සගිරියක් වැනි මහානාග තොට කදම්බ නදී පුද බිම වැඳ පුදා ගන්නට කවුරු කවුරුත් භාග්‍යවන්ත වනු ඇත.   
එසේ නොවුනොත් තවත් දශක ගාණක් මේ පුද බිම වන අලි වෙසෙන මහ කැලේ හුදෙකලා වනු ඇත. මේ පුරා උරුමය විනාශ වීම, නිදන් හොරු රජ කිරීම නියත වනු ඇත.  ඌත්තුවෙල්ලි නටබුන් පිළිබඳ සලකද්දී පමාව පසුතැවීමක් බව දකින්නට හේතු ඇත්තා සේම මතුවට එසේ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

සටහන හා ඡායාරූප - 
අසංක ආටිගල
lankadeepa
========================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, June 26, 2019

සොර බොර තැනූ බුලතා.....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - . හෙල පුරාණය ,ශාස්ත්‍රීය ළිපි)

ගැමුණු රජතුමාගේ යුද හමුදාවේ සෙන්පතියන් ලෙස ශූර වීර කම් පෑ දස මහා සෙනෙවියන් ගැන අපේ වංශ කතාවෙහි විස්තර වේ. නන්දිමිත්‍ර, වේළුසුමන, සුරනිමල, ගෝඨයිම්බර දස මහා සෙනෙවියන්ට අමතරව රජුට සේවය කළ තවත් එක් යෝධයෙකු වනුයේ ‘බුලතා’ යෝධයා ය.
කඳුරට උඩ දුම්බර කිරි පට්ටිය නම් ගමේ උපන් බුලතා රාජ මෙහෙවර සඳහා රුහුණට පිවිස ඇත්තේ හිරිමල් තරුණ වියේදී ය. බුලතා ආරෝහ පරිණාහ දේහයෙන් යුක්ත බව කිව යුතු නොවේ. සවි බල මිනිසුන් විසි දෙනෙකුගේ පමණ කාය ශක්තියකින් යුත් බුලතා පිළිබඳ විවිධ කතා පුවත් ජන වහරේ ද පවතී.

අපි බුලතා ගැන කියැවුණු ජන කවියක් පළමුව විඳිමු.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
හොර බර වැව නොදුටුව ඇස් මොටද බොලේ

බුලතා දුටු ගැමුණු රජුට ඉතාම කුළුපග මෙන්ම විශ්වාසවන්ත රාජ සේවකයෙකු විය. ගැමුණු රජ වෙත බුලත් සැපයීම මොහුගේ රාජකාරිය විය. දිනකට හත් වතාවක් රජුට බුලත් පිළියෙළ කිරීම නිසා ගැමියන් අතර මොහු හැඳින්වුණේ බුලතා නමිනි.
සොරබොර වැව
එළාර රජු යටතේ අනුරාධපුරයෙහි ආධිපත්‍යය පැතිරුණු ආකාරයත් මේ නිසාම රජ රටෙහි ද්‍රවිඩ රාජ්‍යයක් ගොඩනැගී තිබුණු අයුරුත් අපේ කතාවන්හි විස්තර කෙරේ. කුඩා කල පටන්ම දමිළයන් පළවා හැරීමේ සැබෑ ඕනෑ කමකින් කල් ගෙවූ ගැමුණු රජු පියාණන්ගේ වියෝවෙන් පසු රුහුණේ රජකම භාර ගත්තේය. රට එක් සේසත් කිරීමේ දැඩි අරමුණෙන් දස මහා යෝධයන්ගෙන් සමන්විත මහා බලසේනාවක් සූදානම් කර ගත් ගැමුණු රජු අනුරාධපුරය බලා ගමන් ඇරඹීය.
එකල මහියංගනය දක්වාම දමිළ රාජ්‍යය ව්‍යාප්තව තිබුණි. මහියංගනයෙහි විසල් දමිළ බල කොටුවක්ද තිබුණු වග වංශ කතාවන්හි සඳහන් වේ. ගැමුණු රජුගේ සේනා මහියංගනයේදී මහා සටනක් කර දමිළ බලය බිඳ හෙළූහ. අනුරාධපුර සටනට යන්නට පළමු සතුරන්ගේ විනාශයට ලක්ව තිබූ ඓතිහාසික මහියංගන චෛත්‍යය රාජයාණන් ප්‍රතිසංස්කරණය කරන්නට රජු අවශ්‍ය පියවර ගත්තේය.
චෛත්‍ය කර්මාන්තය කරවන අතර සිය සේවයෙන් පසු ලැබෙන විරාමයේදී බුලතා පළාතේ වන අසිරිය නරඹමින් අවට ඇවිදීමට පුරුදුව සිටියේය. මහියංගනයෙන් උතුරු දෙසට ඇවිද ගෙන යන අවස්ථාවේ ගල් කඳු දෙකක් අතරේ පිහිටි පහත් බිම් තීරුවක් සහ ඒ හරහා ගලා යන නිල්වන් දිය දහරක් දක්නට ලැබුණි.
බුලතා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. මෙම ස්ථානයෙහි වැවක් ගොඩනැගිය හැකි බැව් ඔහු තීරණය කළේය. සිංහලයන්ගේ ලේ තුළ වැව් සංස්කෘතිය පිරී තිබුණු බව දැක්වේ. වැව් බැඳීම මහා පුණ්‍ය කර්මයක් බැව් බෞද්ධ සාහිත්‍ය පත පොත්හි ද දැක්වේ. සිංහලයන්ට වැව් බැඳීමේ සහජ හැකියාවක් ද තිබුණි.
තමන් උපන් දේශය පර සතුරන්ගෙන් මුදා ගැනීමත් තමන්ගේ නිජ බිමට උපරිම ආකාරයෙන් සේවය කිරීමත් තමන්ගේ උතුම් අභිප්‍රාය බව අවබෝධ කර ගෙන බුලතා ලැබෙන විවේකය වැවක් ගොඩනගන්නට කැප කළේය. මේ ගැන සැලවීමෙන් පසු කිරිපට්ටිය ගමේ සිටි බුලතාගේ බිරිය වාපී කර්මාන්තය උදව් දීමටත් බුලතාගේ දුක සැප බැලීමටත් දිනපතා කෙටි මඟකින් පැමිණියා ය. ඇය ද සවි ශක්තිමත් යෝධියක බව කිව යුතු නොවේ. මලය පර්වතය හරහා වැටුණු දුර්ග කපොල්ලක් තුළින් ඈ ගල්පරය ළඟට ආවාය.
දිවා රෑ නොබලා ඔවුහු වෙහෙසී වැඩ කළහ. කෙටි කලෙකින් වැව් බැම්ම සැකසිණි. මෙහා ගල් කන්ද කෙළවරේ එක් තැනක් නිසි ලෙස කපා අපූරු ගල් සොරොව්වක් ද නිර්මාණය කළේය. අනෙක් ගල් කන්ද තවත් තැනකින් කපා වැවේ වැඩි ජලය පිට කිරීම සඳහා ජල පැන්නුමක් සකස් කළේය.
මේ අතර මහියංගණ චෛත්‍ය කර්මාන්තයද නිම වී තිබුණි. අනුරපුර මහා සටනට යාමට පළමු කොත් පැළඳවීමේ පින්කම ද සිදු කෙරිණි. පින්කම අවසානයේ බුලතා ගැමුණු රජු හමුවට ගියේය. චෛත්‍ය කර්මාන්තය කරන අතරතුර තමන් තනිවම මහ වනය මැද පුංචි වැවක් බැන්ද වග පැවසුවේය. බුලතාගේ ඇරයුම මත රජතුමා මහා වනය තුළ ඉදි කර ඇති පුංචි වැව දැක ගන්නට මහා පිරිවරින් ගමන් කළේය.
නිල්වන් ජල දහරෙන් පිරි රැළි පිට රැළි නගන වැව් කොමලිය දුටු රජුට ඇස් අදහා ගත නොහැකි විය. තම රාජකාරිය ද අකුරටම ඉටු කරමින් අංග සම්පූර්ණ පුංචි වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන රජතුමා විස්මය පළ කළේය. මේ නම් මහා විශ්ව කර්මයක් යැයි ආඩම්බරයෙන් පැවසූ ගැමුණු රජු තම ගෙළ බැඳි ඉතා වටිනා මුතුහර බුලතාගේ ගෙළ පැළඳවීය. බුලතාගේ බිරිඳ වෙත ද තෑගි බෝග පිරිනැමීය.
මෙය හරබර වැව් කර්මාන්තයක් යැයි රජතුමන් කී හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව‘ නම් විය. හරබර වැව පසු කලක දී සරබර වැව වශයෙන් ජන වහරට එක් විය. ඉනුත් කලකට පසු සොරබොර වැව නමින් ජන වහරේත් ඉනික්බිති වාරි කර්මාන්ත පත පොතෙහිත් භාවිත විය. මෙයින් අවුරුදු සිය ගණනකට
පළමු බුලතා යෝධයා ගොඩනැගූ සොරබොර වැව මහියංගන ගොවි ජනතාවට ඌවේ ජනතාවට පමණක් නොව මුළු දේශයටම කෘෂිකර්මාන්තය උදෙසා මහා පිටුබලයක් විය.

බන්ධුල ආර්. ගුලවත්ත
dinamina
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, June 8, 2019

රාම රාවණ යුද්ධය සිදුවුණේ ලකේගලද?....(අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි- rawana )

රාවණා රජු නම් හෙළයේ මහා පුරුෂයා ලංකාද්වීපයේ බොහෝ ස්ථානවලට සබැඳිකම් දක්වයි. විටෙක ඇල්ල ප්‍රදේශය තුළ නිල් දිය පොකුණ ද විටෙක හාවා ගල කන්දේ සීතා ගුලි පිළිබඳව ද විටෙක හක්ගල කන්ද සහ සීතා එළියේ සීතා කෝවිල සම්බන්ධවද, විටෙක කොත්මලේ හා කොණ්ඩගල අබිරහස් රාවණා දොරටු සම්බන්ධව ද, සීතා දේවිය​ෙග් කඳුළු මාවත වන චැරියට් පාත් මතද සහ ලකේගල හා රිවස්ටන් පුරා ද රාවණා රජුගේ විස්මිත පෙළහර පිළිබඳ කථා පුවත් ජනප්‍රවාද බොහෝමයක් පවතියි. ඉන් ලකේගල යනු ලංකාවේ කඳු අතරින් සම්පූර්ණයෙන්ම වෙනස් පිහිටීමක් සහිත හා ඒ අවට වූ සෙසු පිහිටීම්වල යම් අබිරහසක් තවමත් සඟවා ගෙන සිටින බව ගැමියන්ගේ හා ජනප්‍රවාදවල යම් කරුණු මතින් නිශ්චය කළ හැක. එවන් උරුමයක අබිරහස් සොයා විශේෂ සටහනක් මෙලෙස දිග හරින්නෙමි. 
නකල්ස් නොහොත් දුම්බර රක්ෂිතය යනු හෙක්ටයාර් 21,000 ක පමණ වපසරියකින් යුත් මහා වන පියසකි. අතමිට මෙලෙවූ හැඩයකින් යුත් කඳු වැටිය නිසාවෙන් නකල්ස් ලෙසත් නිතරම මීදුමෙන් බර වූ වන පියසක් නිසා දුම්බර (දුමෙන් බර) ලෙසත් හඳුන්වන මෙහි වෙසෙන පක්ෂීන් වර්ග 128 කින් 17 ක් පමණ ලංකාවට ආවේණිකය. තවද දිවියා, අලියා, වල් උෟරා, මුවන්, උණහපුළු හා වඳුරු විශේෂ සේම සර්ප විශේෂ ගණනක් වාසය කරන නකල්ස් යනු 2010 දී ස්වාභාවික ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සංරක්ෂණ වනාන්තරයකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මධ්‍යම පළාතට අයත් නකල්ස් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම උරුමකම් කියයි. සාම්ප්‍රදායික ගම්මාන පනහකට අධික සංඛ්‍යාවක ජනතාව නකල්ස් වන පෙතේ වාසය කරමින් හේන් කුඹුරු ගොවිතැනෙන් තම දිවිය සරිකර ගනිති. සවානා පතන් ඉළුක් හා තැනිතලා බිම් දහසක් පමණ ද කඳු 40 ක් පමණ ද පිහිටි වනපෙතේ දිය ඇළි 25 කට අධික සංඛ්‍යාවක් සමග ගුහා 5 ක් පමණ පිහිටා ඇත. සංචාරයටම සේම ක්‍රියාදාම චාරිකාවනට ද නකල්ස් කදිම තෝතැන්නකි. විශේෂයෙන් වර්තමානය වන විට අධික ජනාකීර්ණ බවින් විනාශයට පවා යන මීමුරේ අාදි ගම් පියස් සංචාරයට ඉවක් බවක් නැතිව විවෘත වීමෙන් ‘යමන්’ කියූ සැණින් අවිධිමත් චාරිකා යන පිරිසක් හේතුවෙන් නකල්ස්හි ඓතිහාසික හා පාරිසරික වටිනාකම නැති වෙමින් පවතියි. 
ල​ෙක්ගල නම් අද මුඛ්‍ය කථා පුවතට සම්බන්ධ කන්ද යනු බැලූ බැල්මට කෙනෙකුට එහි විශේෂත්ව කිහිපයක්ම දැකගත හැකි අසාමාන්‍ය පිහිටීමකින් යුත් කන්දකි. මීමුරේ ගමට මුහුණලා පිහිටි ලකේගල බොහෝ පිරිසගේ නෙත ගැටුණ ද මෙවැනිම හැඩයකින් පිහිටි තවත් කන්දක් ලකේගල පිටුපසින් වෙනමම තිබෙන බව බොහෝ දෙනෙක් නොදනිති. 
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින් පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුවයි. එය ද නකල්ස්හි කොටසකි. පල්ලෙගම, රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විට ඔබට ලකේගල වැනිම තවත් කන්දක් දැකගත හැක. එය නාරංගමුවේ ලකේගල නොහොත් කොමලෑවේ ගල ලෙස හඳුන්වයි. තවද මීමුරේ ලකේගල සහ කොමලෑවේ ගල අතර පිහිටි තවත් කන්දක් වේ. එය මීරියගොල්ල ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස ලකේගල යනු ගල් තුනක පිහිටීමකි. මෙම ගල් තුනම දැවැන්ත කළු ගල් පාෂාණවලින් පමණක් සෑදී ඇති කිසිදු උස් ශාකයක් නොමැති පිහිටීමකි. ලකේගල හා රාම රාවණ කථා පුවතට මෙම මීමුරේ සහ නාරංගමුව අතර ප්‍රදේශය බලපාන අතර එම ඉසවුව වර්තමානය වන විට ඝන කැලයකින් වටවූ වනජීවී බහුල අවදානම් කලාපයකි. 
ලකේගල අරුම පුදුම පිහිටීම ලංකාවේ වෙනත් කිසිදු කන්දක දැකිය නොහැකි අතර එම නිසාම තිබෙන ගුප්ත බවේ රහස් සොයා දුම්බර වනයේ මැදට පියමැන්නේ රාම රාවණ යුද පුවතට වඩා රාවණා නම් හෙළයේ නිරිදාණන් සතුව තිබූ බලමහිම​ෙය් නෂ්ටාවශේෂ සමග බැඳුණු සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටයි. හුන්නස්ගිරියෙන් ලූල් වත්ත පාර දිගේ මීමුරේ දක්වා යන ගමනේදී දෝතුළුගල, දුම්බානාගල, අලියාවැටුණු ඇළ, ෆීනික්ස් ගල, නකල්ස් කඳු වැටිය සේම දකුණින් කෙහෙල්පොත්දෝරුවේගල සිට යහන්ගල, තෙළඹුගල දක්වා හරි අපූරුවට දැකගත හැක. ඒ සියලුම කඳු වක්‍රාකාරව වට වී සිටින්නේ ලකේගලට ආරක්ෂාව දෙන පරිද්දෙනි. උඩවන්නිමාන කන්දට අසල්වැසි කියන වමාරපු ගලට ඉදිරියෙන් පිහිටි ලකේගල මීමුරේ ගම් මැද්දට සමපාද ත්‍රිකෝණයක් ලෙස දැකගත හැක. මීට පෙර ආචාර්ය මිරැන්ඩෝගේ ලිපිවල සඳහන්ව තිබූ ගුහා දෙකක් ලකේගලේ මධ්‍යයේ ඇති බව අප ගනේෂ් මිතුරාගේ මාර්ගයෙන් දැනගත් අතර ඒවා නිශ්චිත වශයෙන් ඇත් දැයි සොයා බැලීමට අපට සහය ලබා දෙනු ලැබුවේ මීමුරේ හොඳම මඟ පෙන්වන්නා වන නවරත්න නොහොත් නවා මාමා විසිනි. සමපාද ත්‍රිකෝණයක් බඳු ලකේගල හරි මැද ගුහා 2 ක් පිහිටා ඇති බවත් ඊට ළඟාවීම අතිශය දුෂ්කර බවත් එ් හා සබැඳි යම් ගුප්ත සිදුවීම් පෙළක් ද නවා මාමා අපට පැවසීය. 
ලකේගල මධ්‍යයේ පිහිටි එක් ගුහාවක එක්තරා පොහොය දිනයකදී ගල් දොරක් විවෘත වන බවත් ඉන් පිටතට ගායන සහ වාදන හඬ ඇසෙන බවත් නමුත් එය ඇසෙන්නේ ගමේ යම්කිසි කිහිප දෙනෙකුට පමණක් බවත් නවා මාමා පැවසුවේ මීට දස වසරකට පමණ පෙර ඔහුට ද එවැනි සිද්ධියක් ඇසුණු හෙයිනි. කෙසේ හෝ ලකේගල මැද පිහිටි ගුහා දෙකෙන් ප්‍රථමයෙන් හමු වූ ගුහාව ලෙනක් වැනි වූ අතර එම පරිශ්‍රය පනහකට පමණ සිටිය හැකි ප්‍රදේශයකි. ලකේගල මධ්‍යයේ පිහිටි කුඩා වන රොද තුළ මෙම ගුහාව සැඟව ඇත. නමුත් අප එහි යන විටත් මීමුරේට පිටස්තරින් පැමිණ සංවේදී පරිසරයේ අනවසර කඳවුරු බඳින කණ්ඩායම එහිද පැමිණ යම් විනාශයන් සිදුකොට ඇති අයුරු දැක ගැනීමට ලැබුණි. 
ප්‍රථම ගුහාවට ඉහළින් තවත් ගුහාවක් ඇති අතර ඊට ළඟාවීමට තිබූ නුග වෘක්ෂය මීට වසර කිහිපයකට පෙර කඩා වැටුණු බැවින් ඉහළින් පිහිටි ගුහාවට නැගීමට හැකියාවක් නොලැබුණි. එම ගුහාවට නැගීමට නම් විශාල ඉණිමඟක් හෝ යම් ක්‍රමානුකූල කඳු නැගීමේ උපකරණ තිබිය යුතු බව අපට වැටහුණි. ඇතැම් විට ආචාර්ය මිරැන්ඩෝ මහතා සඳහන් කළ ගුහාව නවා මාමා පවසන පරිදි එය විය හැක. නමුත් කාලයේ වැලි තලාවෙන් බොහෝමයක් යටව ගොසින් ඇත්තේ සොබාදහමේ බලපෑම් නිසාය. 
කරුණුකාරනා එපරිද්දෙන් වුවද ලකේගල මධ්‍ය ලක්ෂයේ පිහිටි මෙම ගුහාවන් තුළ යම් ගුප්ත බවක් හෝ යම් රහසක් සැඟව නොතිබේ යැයි නිගමනය කළ නොහැක. මන්ද එම යම් ගුහාවක් මාර්ගයෙන් ලකේගල මුදුනට පිවිසුම් දොරක් හෝ වෙනත් ප්‍රදේශයකට යාමට උමඟක් සාදා තිබිය හැකි හෙයිනි. මන්දයත් නාරංගමුව ප්‍රදේශයේ පිහිටි උයන්ගොමුව තුළ ද මෙවැනිම ගුහාවක් තිබෙන බැවිනි. රාමගේ හී සර පහරින් කැඩී විසිරුණු ගස් සියල්ල ​ෙමම උයන්ගොමුවට වැටී පණ ගත් බවත් මෙම උයන්ගොමුව එකල යුද වැදුණු මර්මස්ථානයක් බවටත් පොත පතේ සඳහන්ය. උයන්ගොමුව මේ වන විට විශාල තැන්නක් ලෙස පිහිටුන ද ශාක වැටී සමස්ත ප්‍රදේශයම ගුවනට විවෘත සිදුරුවලින් පැතිර තිබේ. ගල් තලාවන් සමූහයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර අස්වාභාවික ගල් මතින් සෑදුණු ගල් ගුහා හා ජල ගුහා ද පිහිටා තිබීම විශේෂයි. මන්ද නාරංගමුව ලකේගල නොහොත් කොමලෑමේ එක් අන්තයක් වන බැවින් පාෂාණ ස්ථර සහ ස්වභාවික ගල් පිහිටි ගුහා දක්නට ලැබුණි. අධික වර්ෂා සමවලදී උයංගමුව මුළුමනින්ම පාහේ ජලයෙන් වැසෙන අතර, නමුත් එසේ දැකිය හැකි අවස්ථාව අතිශය දුර්ලභය. මන්ද දේශගුණික වශයෙන් නකල්ස් වන පෙත එක් පරිසරයක් වුවද දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි වන පියස තුළ කාලගුණික තත්ත්ව දෙකක් දැකිය හැකි බව අප මීට පෙර තුන්හිස්ගල කඳු තරණයේදී අත් වින්​ෙඳමු. 
එනම් ඉහළට එසවුණු විශාල මොල්ලියක් ලෙස ඇති තුන්හිස්ගල කන්දට බඹරැල්ලේ සිට කේ.එම්.පී. වාඩිය දක්වා වැසිබර තෙත් කාලගුණයක් තිබුණද ඉන් එහාට තුන්හිස්ගල රාගාන කෙටු පතන සිට දූවිලි ඇල්ල ඇටන්වල දක්වා අතිශය වියළි තෙතමනයක් රහිත පරිසරයක් තිබීමය. සමස්ත කඳු ගැටයම කුරු ශාකවලින් වැසුණු තුන්හිස්ගලට ලකේගල පර්වත ත්‍රිත්වය හරි අපූරුවට දැකගත හැක. කෙසේ හෝ උයංගමුව තුළ පිහිටි කපු අටුව පර්වතය යනු සීතා දේවිය හා සබැඳි ස්ථානයක් ලෙස රාවණා පුරාවතේ සඳහන්ය. එනම් කපු අටුව පර්වතය මැද පිහිටි කපු අටුව ලෙන නම් සීතා දේවිය සඟවා තැබූ ස්ථානය වීමයි. කපු අටුව ලෙන පොළොව මට්ටමේ සිට මීටර් 50 ක් පමණ ඉහළ ගලේ පිහිටා ඇති අතර යම් ආයාසයක් දැරීමෙන් ඒ වෙත ළඟා විය හැකිය. එම ලෙන විශාල විවෘත ඉසව්වක් වන අතර කොමලෑවේ ගල සහ ලකේගල වපසරිය හොඳින් දැකගත හැක.
ලකේගල පුරාවත අතර තවත් සබැඳියාවක් දක්වන ඉසව්ව වනුයේ රැහැස්ස නමින් හඳුන්වන ප්‍රදේශයයි. රාමගේ හීසර පහර කොමලෑව ගලට වැදී කුඩු වුණ පර්වත කැබලි වැටී සැදුණු මෙම රැහැස්ස ප්‍රදේශය යනු විශාල ගල් පර්වත පිහිටි ඉසව්වකි. එම ප්‍රදේශයේ ස්වභාවිකව සෑදුණු ගල් ගුහා සහ ලෙන් පිහිටා ඇති අතර රැහැස්ස යනු යම් පූජනීය ප්‍රදේශයක් බවට ඇතැම් පැරණි ගම්වාසීන් ගෞරවයෙන් සිහිපත් කරයි. රැහැස්සේ තිබෙන ගුහාවක් ලකේගල පිහිටි ගුහාවක් හා සම්බන්ධ විය හැකි බවත් යුද අවශ්‍යතාවලදී පලායාමේ උපක්‍රම ලෙස ඒවා යොදාගෙන ඇති බවට ජනප්‍රවාදවල පිහිටයි. තවද අප ඊළඟට කොමලෑවේ නම් අංශක 70 ක ආනතියකින් යුත් ගල් පර්වත තරණය කරන්නට වූයේ කොමලපතනේ සිටය. 
කොමලෑවේ ගල මුදුනට යාමට නම් ප්‍රථමයෙන් මීරියගොල්ල හා කොමලෑවේ ගල් අතර පිහිටි ලබුලැස්ස පතනට යා යුතුය. අධික සුළං ප්‍රවාහය තුළ ලබුලැස්ස පතනට කොමලෑවේ ගල හරහා නැගීම ත්‍රාසජනක හා මරණයේ සුළු ගමනක් විය. මන්ද නිරතුරුවම ගලට බරව අප සිටිය යුතු වීම සහ අනෙක් පස අඟලක පිටුපසට වීමට තැත් කිරීම මීටර් දෙතුන් සියයක හෙළකට වැටී මරණය නියත ගමනක් වූ හෙයිනි. ලබුලැස්ස පතනට පැමිණි අප මඳ විවේකයක් ගත්තේ ගිනි කාෂ්ටක අව්වේය. වැසි බිඳක් වත් නොලද ලබුලැස්සේ වූ මාන පඳුරු යාය මඩ පැහැව තිබුණි. ඉදිරියෙන් වමාරපු ගලත් (කටු කිතුලේ කන්ද), උඩවන්නිමාන සහ ඈතින් තුන්හිස්ගලත් පැහැදිලිව අපට දක්නට ලැබුණි. අනෙක් පසෙන් හසලක හා මහියංගණය සිට වස්ගමුව දක්වා පරිසරයත් මහවැලි ගඟ කිලෝමීටර් 50 කට වැඩි දුරක් තනි කෙළින් ගලා යන ආකාරයක් දැකිය හැකි ස්ථානය මෙම කඳු මුදුන් බව අපට පසක් වුණි. 
පසුව කොමලෑවේ ගලටත් ඉන්පසු මීරියගොල්ලටත් නැගගත් අපට ලකේගල පිටුපස හොඳින් දැකගත හැකි වුණා. ඉතාමත් වෙනස් හැඩයක් ලකේගල පිටුපස පිහිටි අතර මීරියගොල්ල හා ලකේගල යාව තිබුණ ද ලකේගලට එතැනින් නැගීම කිසිසේත් කළ නොහැක්කක් වුණා. මන්ද එහි වූ අඩි පහක පමණ පළල් ගල් තලාවක් මීටර් 100 ක්‍ උස අංශක 90 ක ගලක් වූ හෙයිනි. ලකේගල මුදුණේ අක්කරයක පමණ ඉඩ ඇති බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. මන්ද ලකේගල නැගීම පවා කඹ ආධාරයෙන් කළ යුතු මාරාන්තික ගමනක් වන බැවිනි. පඳුරු බොහෝමයකින් පිරී තිබුණද ලකේගල මුදුණේ කඳවුරු බැඳ සිටීම සිදු කළ හැක. ඉර උදාවත් හිරු අවරට යාමත් දුම්බර වනයේ සතර දික් භාගයත් හොඳින් දැකිය හැකි ලකේගල මුදුන තුළ දැඩි සුළං ප්‍රවාහයකින් යුක්ත විය. 
ලකේගල අබිරහස් සොයා යන ගමනේදී නවා මාමා කියූ වැදගත් කරුණක් විය. එනම් අප රාවණා යනු ලංකාවේ රජ කෙනෙකු බවත් ඔහු පිළිබඳව සාධනීය ආකල්ප හිත් දැරිව මෙම ගමන් යන ලෙසත්ය. මන්ද අදටත් මීමුරේ හා අවට ගම් පියස් තුළ රාවණා පෙළහර සමග ලකේගල පුරාවෘත බැඳී ඇති හෙයිනි. ලොවක් පුදුම කළ ලකේගල පිහිටීම ඇතැම් විට රාවණාගේ නිර්මාණයක් විය හැකි බවටත් එය දඬු මොනරය ගොඩබැස්වීමට හැකි ලෙස යුද ශිල්ප ක්‍රම මඟින් පාලනය කළ බවටත් ජනප්‍රවාදවල තිබෙන හෙයිනි. මන්ද බැලූ බැල්මට ලකේගල මුදුනේ කිසිවෙකුටත් සිටිය නොහැකි ලෙස පෙනුණ ද හෙලිකොප්ටර් කිහිපයක් වුව ගොඩබැස්විය හැකි තරම් ඉඩක් ඇති ලකේගල එදා රාවණගේ හෙළ සටනට පිටිවහලක් වූ බව සිතිය හැකිය. 
තවද රාවණ රජුගේ මියගිය දේහය මෙම ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි යහන්ගල මැද තැන්පත් කර ඇති බවට ද ජනප්‍රවාද තුළ ඇත. මන්ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස පිහිටා ඇති විශාල කන්දකි. වෙලන්ගොල්ල පතන උඩ විරාජමානව නැගී ඇති යහන්ගල තුළ රාවණ රජුගේ දේහය ඇති බවටත් එය ගලේ බණ්ඩාර දෙවියන් බුහුමන් දැක් වූ ස්ථානයක් බවටත් කතා පුවත් රාවණා ඉතිහාසය තුළ පවතියි. 
කෙසේ හෝ දුම්බර මිටියාවතේ ඇති කඳුවල පිහිටීමත් එ් හා සමානව ආරක්ෂාකාරීව ලකේගල පර්වත ත්‍රිත්වය හා රැහැස්සේ අබිරහස් තුළ සැඟවුණු කථා පුවතක් තවත් නොවිසඳුණු අබිරහස් ගොඩකට ඇඳ වැටුණි. සාම්ප්‍රදායික ගම් පියැසි තුළ තවමත් ජීවත් වන පැරැන්නෝ අදටත් ලකේගල ඔවුන්ගේ ගෞරව බුහුමනට ලක් කරන බව අපට පැවසීය. එසේම දුම්බර මිටියාවත අසංවිධිත පාරිසරික විනාශකාරී සංචාරක ඉසව්වලට ශීඝ්‍ර ලෙස පත්ව ඇති වීම දේශයේ ඉතිරි අබිරහස්වල විනාශය ළඟ බව කියාපාන්නකි. අනවසර කඳවුරු බැඳීම නිසා විනාශ වන ලකේගල ගුහා සහ කපු අටුව ලෙන ද කොමලෑව සහ රැහැස්ස ද ආරක්ෂා කළ යුතුය. රාම රාවණ යුද පිටිය වූ උයංගමුවේ තවමත් වැළලී ඇති ගුහාවල අබිරහස් සොයාගත යුතුය. ජල උද්‍යානයක් බදු උයංගමුව රාවණ ඉතිහාසයේ යුද ශිල්පයේ ප්‍රධාන ස්ථානයක් බව නොඅනුමානය.  

විශේෂ ස්තූතිය මීමුරේ නවරත්න මහතාට සහ විජය රත්නම් ගනේෂ් මහතාට 
සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 
lankadeepa
=============================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, February 16, 2019

ඇල්ලේ කඳු මුදුනක ඉපැරණි සිතුවම් සහිත ගල්ලෙනක් මෙතෙක් හෙළි නොවූ ඉතිහාසයක්.....(ella sil aththana guhawa අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

‘සිල්අත්තන ගුහාව’ කියන අලූත් කතාව
අප රටේ දසත පිහිටා ඇති ගල්ලෙන් හා ගුහා බොහෝමයක් අතීතයේ විවිධ සිදුවීම් හා බැඳී පවතී. ඇතැම් ගල්ලෙන් අතීත රජවරුන් යුද සමයන්හි ආරක්‍ෂාව උදෙසා සැඟව සිටි ස්ථාන වන අතර බොහෝ ලෙන් භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ හෝ රහතන් වහන්සේ වැඩසිටි ස්ථාන ලෙස ඉතිහාසයේ හා ජනප‍්‍රවාදයන්හි සඳහන් වේ. ඒ ආශ‍්‍රිත ගල්ගුහා ඓතිහාසික ආගමික සිද්ධස්ථාන ඇතුළු විවිධ ස්ථාන යාකළ ආරක්‍ෂිත මාර්ග ලෙස භාවිත කළ බවද සැලකේ.

මෙම බොහෝ ස්ථාන ඒ පිළිබඳව අදාළ පාර්ශවයන් විසින් ගවේෂණය කිරීමෙන් හෝ ජනප‍්‍රවාදයන් තුළින් හෝ ප‍්‍රසිද්ධියට පත්ව කාලයක් තිස්සේ දහස් ගණන් ජනතාව විසින් දැක බලාගෙන ඇතත් ඒ අතර මෙතෙක් කිසිදු ආකාරයකින් බාහිර සමාජයට විවර නොවූ අතීත රහස් සඟවාගෙන වනගතව පවතින ස්ථානද කොතෙකුත් තිබිය හැකියි.
මෙවන් සඟවුන අතීතයක් පිළිබඳව ලැබුණු තොරතුරක් පසුගිය දිනෙක අප වෙත ලැබුණු අතර අතීතයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටි ඉපැරණි ලෙන් සිතුවම් සහිත මෙතෙක් බාහිර කිසිවෙකු නොදන්නා ගල්ලෙනක් ඇති බව එම ආරංචියෙන් කියැවිණි. කෙසේ වුවද එම තොරතුරු ඔස්සේ අපි එවන් පෞරාණික වටිනාකමක් සහිත ගල්ලෙන සොයා ගියෙමු. එහෙත් මේ අපූරු ගල්ලෙන පිහිටියේ මිනිස් පුළුටක් නැති මහා වනදුර්ගයක නොව නිරතුරු මිනිසුන්ගේ ඇස ගැටෙන සීමාවක සීතල නමුණුකුල කඳුපියසට යාබදව පිහිටි තවත් කුඩා කඳු පියසකයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නමුණුකුල බල්ලකෙටුව නගරයට ආසන්නව පිහිටි නමුණුකුල වැවිලි සමාගමට අයත් හිඳගල වත්ත උඩ කොටසේ තේ වගාවෙන් තොර විසල් ගල්කුළු සහිත පෙදෙසක මෙම ලෙන පිහිටා ඇත. ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි මෙම ඉපැරණි ගල්ලෙන ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේිසිල්අත්තන ගුහාව’ නමිනි.
අපට මග පෙන්වූ ලාල්, සිරි අයියා, රාමසාමි හා සිංගාරා සමග මාධ්‍යවේදී චන්දනත් මමත් විසල් ගල්කුළු සහිත කඳුගැටයේ ඉහළ සිට ඉතා දුෂ්කර බෑවුමක අවදානම් ගමනකින් පසු අතිවිශාල උස් කළුගලක් යට පිහිටි මෙම ගල්ලෙනට ළඟාවීමු. එම ලෙන් විවරය අසලටම ගියහොත් මිස මෙහි ගල්ලෙනක් හෝ වාසස්ථානයක් ඇති බවට බාහිරින් කිසිසේත්ම දැනගත නොහැකි ලෙස ලෙන් විවරය පිහිටා ඇත
.ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනා පවා මෙතෙක් කලක් සාමාන්‍ය තේ වත්තක් ලෙස පමණක් දැනගෙන සිටි එම වත්තේ බාහිර සමාජය නොදැන සිටි වසර සිය ගණනක අතීත කතාවක් සැඟවී ඇති බව දැන සිටියේද අතලොස්සක් දෙනාය. බොහෝ විට දරිද්‍රතාවය හා හිස මත පැටවුණු ආර්ථික ප‍්‍රශ්න හමුවේ එම වතුකර වැසියන්ට මෙවන් තැනක් ගැන වැඩිපුර යමක් සිතන්නට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොතිබුණා වන්නටද ඇත.

කෙසේ වුවද ජනවහරට අනුව වසර සිය ගණනකට පෙර මෙම ස්ථානයේ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් හෝ ඇතැමුන් කියන පරිදි රහතන් වහන්සේ නමක් වැඩසිටි බැවින් එකලිසිල් ඇත්තන්නේ ගුහාව’ නමින් පැරැන්නන් විසින් මෙම ගල්ලෙන හඳුන්වන්නට ඇතැයිද කාලයත් සමගිසිල් ඇත්තන්නේ ගුහාව’,ිසිල් අත්තන ගුහාව’ වන්නට ඇතැයිද ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම තම වැඩිහිටි පරපුර විසින් මෙම ගල්ලෙන පෙරුමාල් සාමි කෝවිල නමින් හැඳින්වූ බව වත්තේ වැඩිහිටියන් පවසන අතර දමිළ ජනයා බුදුන් වහන්සේ හැඳින්වීමටද පෙරුමාල් සාමි යන්න භාවිතා කළ බවද එබැවින් මෙම ස්ථානයේ රහතන් වහන්සේ නමක් හෝ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩසිටි බවට ඇති මතයේ යම් සත්‍යතාවයක් තිබිය හැකියැයිද ඔවුහු පවසති.
සුළඟින් හා සතුන්ගෙන් ආරක්ෂා වීම පිණිස එම ලෙන් විවරය දිගටම ගල් හා මැටි යොදා තැනූ බිත්තියක් තිබී ඇති අයුරුත් කාලයාගේ ඇවෑමෙන් විනාශවී ගිය එම බිත්තියේ කොටස් කිහිපයක් පමණක් මේ වන විට ඉතිරිව පවතින අයුරුත් ලෙන අසලට ගිය පසු පළමුව දැකගත හැකිය.
ලෙන තුළට ගියවිට දැකගත හැක්කේ එම ලෙන් පියස්සේ ඇතැම් තැනෙක මැටි ආලේපයක් වැනි ස්ථරයක් මතද විශාල වැඩි වශයෙන්ම සුදු හුණු වැනි ආලේපයක්ද මතද රතු හා කළු වර්ණයන්ගෙන් විවිධ සිතුවම් හා රූ රටා ඇඳ තිබෙන ආකාරයයි. එම සිතුවම්වලට උඩින්ද සුදු හුණු වැනි යමක් ආලේප කර ඇති බවක්ද දක්නට හැකිය. එම සිතුවම් අතර පියස්සේ විශාල කොටසක් ආවරණය කෙරෙන මල් සහිත වියමන් රටාවක්, එක් ස්ථානයක දාම් පුවරුවක මෙන්වූ රතු හා සුදු පැහැති කොටු රටාවක්, එක් අතකින් මල් දෙකක් ගත් වාමන හෝ යක්ෂ මුහුණක් සහිත රූපයක්, සැතපෙන භික්‍ෂූන් වහන්සේ නමක් හෝ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරයේ සිතුවම් කීපයක්, නැට්ටුවෙකුගේ රුවක්, නාග රූපයක්, මල් සහ වෙනත් අපැහැදිලි රූ රටා රැසක්ද වෙයි.
එසේම මෙම ලෙන තුළ අසුන් ගැනීමට හෝ නිදාගැනීමට භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි මැටියෙන් තැනූ වේදිකාවක් වැනි කොටසක ලකුණුද ඇති අතර ඊට මදක් ඉහළින් ඇතුළට විහිදෙන ගල් ගුහාවක් තිබී ඇත. මේ ගුහාවේ පිවිසුමෙන් අසීරුවෙන් හෝ ඇතුළු වුවහොත් එහි මදක් ඇතුළතින් යහමින් ඉඩකඩ ඇති ස්ථානයක් වෙයි. එහෙත් ඉන් ඔබ්බට මේ වන විට ගල් හා පස් කඩාවැටී ගුහාව අවහිර වී පවතී.

මේ ගමනට එක්වූ එම ප‍්‍රදේශවාසීහු සිල්අත්තන ගුහාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.
වත්තේ වැඩිහිටියකු වන එන්.රාමසාමි මහතා: මම මේ හිඳගල වත්තේ වැඩ කළේ. මට දැන් වයස අවුරුදු 69 ක් වෙනවා. අපි පොඩි කාලේත් මේ ගල්ලෙන ගැන අසා තිබුණා. ඒත් අපි ඒ කාලේ එන්න බයයි. මේ ප‍්‍රදේශය තනිකර කැලේ 1965 දි විතර වත්තේ මහත්තුරු තේ වවන්න කැලේ එළිකළාට පස්සෙයි වත්තෙ අය පවා බොහෝ දෙනා මේ ගැන දන්නේ. ඉස්සර අපේ තාත්තලා සීයලා මේ ලෙනට කීවේ පෙරුමාල් සාමි කෝවිල කියලා. ඉස්සර මේ ලෙනේ හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා කියලයි අපේ තාත්තා කියා තිබෙන්නේ. මීට කලින් පිටින් කවුරුවත් මේක බලන්න ඇවිත් නෑ. ඒ නිසා මේ ගැන වැඩි විස්තරයක් කවුරුවත් දන්නේ නෑ.

සහකාර ක්‍ෂේත‍්‍ර නිලධාරී ආර්.ඒ.ඞී.සිරිසේන මහතා:
වත්තේ අය වැඩිපුර මේ ගල්ලෙනට ආවේ නැතත් මේ ස්ථානය ගැන ඔවුන් තුළ තිබෙන්නේ ලොකු භක්තියක්්. ඉඳහිට හෝ මෙහි එන අයත් යන්නේ වත්තේ උඩ කොටසේ තිබෙන මහ දෙවියන්ගේ කෝවිලට. ගිහින් දෙවියන්ට කියනවා. එවන් පුරුද්දක් ඇතිවෙන්න ඇත්තේ අතීතයේ පටන් මේ ගැන යම් විශ්වාසයක් ඒ අය අතර තිබූ නිසා වෙන්න ඇති. වත්තේ වැඩිහිටි අය කියන විදිහට ඉස්සර මේ ගුහාවේ ඉන්න ඇත්තේ හාමුදුරුවන් වහන්සේ නමක් කියලයි බොහෝ අය විශ්වාස කරන්නේ.

ගල්ලෙන සොයා ගිය ගමනට මුල්වූ මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා:
මෙවන් ගල්ලෙනක් ගැන ලැබුණු තොරතුරක් නිසා මෙතැනට ආවත් මෙතරම් වැදගත් තැනක් බව සිතාගන්න බැරිවුණා. මෙහි ඇඳ ඇති සිතුවම් අප බොහෝවිට පුරාණ විහාරස්ථාන ආශ‍්‍රිත පිහිටි ගල්ලෙන්වල දැක ඇති ඉපැරණි ලෙන් සිතුවම් වගේ. ඒත් මේවා ඇඳ ඇති කාලයක් හෝ වෙනත් තොරතුරක් මේ වතු ජනතාව දන්නේ නෑ. ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස එවන් කරුණු වෙනත් අයෙකුට කියන්නත් බෑ. කෙසේ වුවත් ලෙනේ තිබෙන සිතුවම් හා වෙනත් ලක්‍ෂණ ගැන පුරාවිද්‍යාව වැනි අදාළ අංශයක් මගින් නිසි අධ්‍යයනයක් කළොත් සැඟවී ඇති යම් වටිනා ඉතිහාසයක් හෙළිකරගත හැකි වේයැයි අප විශ්වාස කරනවා.

වතු කම්කරුවකු වන එස්.සිංගාරවේල් මහතා:
ඉස්සර අපේ වැඩිහිටියෝ පෙරුමාල් සාමි කෝවිලට යනවා කියලා මේ ලෙනට එනවාලූ. අපේ වැඩිහිටියන් කියා තිබෙන්නේ මේ ගුහාවේ සාමි කෙනෙක් හිටියා කියලයි. බිත්ති බැඳලා තිබෙන නිසා මෙතැන ඉස්සර කාලෙ කවුරු හරි ඉන්න ඇති කියා හිතන්න පුළුවනි. ඒත් අපට මතක තියෙන කාලෙ කවුරුවත් මේකෙ හිටියෙ නෑ. මෙතැන ලොකු බෑවුම නිසාත් කැලේ නිසාත් වත්තේ අයත් මේ පැත්තට වැඩිය එන්නෙ නෑ. දැන් කැලේ ටිකක් අඩු වෙලා තියෙන්නේ පහුගිය දවස්වල කවුරුන් හෝ කැලේට ගිනි තියලා තියෙන නිසයි. අපට හිතෙන්නේ මේක ඉතා වටිනා තැනක් කියලයි.

මෙම වතු කොටස භාරව කටයුතු කරන හිඳගල වත්තේ වතු ක්‍ෂේත‍්‍ර නිලධාරී ලාල් අබේසේකර මහතා:
මේ ගල්ලෙන පිහිටා තිබෙන්නේ හිඳගල වත්ත උඩ කොටසේ ක්‍ෂේත‍්‍ර අංක දහනවයෙයි. මේ හරියේ සැර බෑවුමත් විශාල ගල් තිබීමත් නිසා තේ වගාකර නෑ. මේ ලෙන පිහිටි ගල මේ කන්දේ අනෙක් පැත්තටම පැතිරී තිබෙනවා. මේ ලෙන පැත්තට ඉතාම අවදානම් බෑවුමක් තියෙන්නේ. ඒ නිසා වත්තේ අයවත් වැඩිපුර මෙතැනට යන්නේ නෑ. ඒ අයට මේ ගැන එතරම් වුවමනාවකුත් නෑ. ලෙන අසලට එන ගමන අවදානම් වගේම ලෙන ඇතුළ් කොටසේ නිරන්තරයෙන් දියසීරාව හා දියසෙවෙල් බැඳී ඇති නිසා ගුහාව
තුළට යාම අනතුරුදායකයි. කෙසේ වුවත් මෙහි ඇති සිතුවම් ඇතුළු වෙනත් ලක්‍ෂණ වගේම වත්තේ පැරණි අය කියන කතාවලට අනුවත් මෙහි යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි කියා අපි විශ්වාස කරනවා. ඒත් ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට මිස අපට මේ ගැන හරියටම කියන්න බෑ. කෙසේ වුවත් මෙම ස්ථානය වැවිලි සමාගමක් යටතේ පවතින ස්ථානයක් වගේම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක් විය හැකි බැවින් පිටස්තර පුද්ගලයන් මෙහි එනවා නම් අදාළ අංශ දැනුවත් කොට නිසි අවසරයක් මත පමණක් මෙහි පැමිණීම සුදුසු බව අපි අවධාරණය කරනවා.

සටහන හා ඡායාරූප: බෝගොඩ රත්නායක
.........................................................................................................
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya