Thursday, August 8, 2019

ප්‍රේතයා නිධන් තණ්හාවෙන් නිසංසලාගේ සිරුරට ව‍ැහෙයි....(Nidhan prethaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

විහාර දේපළ සොරකම් කිරීම බලු කපුටන් වී ඉපදීමට හේතුවන බව ඉපැරැණි ශිලා ලේඛනවල පවා සටහන් කොට ඇත. රාජ්‍ය සන්තක පොදු දේපළ අනවසරයෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම ද ඒ හා සමාන ය. බලය හා නීතිය තමන් අතට ගත් අපරාධකරුවන් පාපයට බය නැත.” කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.” රජය සතු වනාන්තරවල වන වගාවන් අක්කර දහස් ගණන් නීති විරෝධී අන්දමින් කපා තම ප්‍රයෝජනයට ගත් සොරුන් අද දිට්ඨධම්ම වේදනීය විපාක විඳින බව ප්‍රසිද්ධ රහසකි.

මිහින්තලේ නිසංසලා විසි හය හැවිරිදි ය. රූමත් ය. විවාහය අසාර්ථක වී ඇත. රාත්‍රියට ඇගේ ශරීරය යමෙක් හ‍ූරන බව දැනෙයි. ආහාරයට උයා ගන්නා කෑම ටික ඉක්මනින් සෙවල ගතියට හැරෙයි. නිවස පුරා වරින් වර දුර්ගන්ධයක් හමා යයි. ඒ අවස්ථාවල නිවසේ එහා මෙහා යන ඡායාවක් නිවැසියන්ට දර්ශනය වෙයි.
ඒ තත්ත්වයෙන් මිදෙන්නට වත්පිළිවෙත් ගණනාවක් කළත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිසංසලාගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇය කැඳවාගෙන ආහ.
ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළේ ය. තම පවුලේ අයට තමන්ගේ නිවසේ වාසය කළ නොහැකිව අනුරාධපුර නගරයේ නිවසක් කුලියට ගෙන ජීවත්වන බව ද පියා කීවේ ය.

ගවේෂකවරයා ප්‍රථම රෝග පරීක්ෂාවේ යෙදෙන විට දුවත් මවත් ගැහෙන්නට වූහ. ඔවුන්ට භූතාත්මයක බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන් දැනට පදිංචි ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
ඒ උපදෙස්වලට අනුව බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරන විට නිසංසලාගේ ශරීරයෙන් භූතාත්මය අවදි වී කතා කරන්නට වූයේ ය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.‍

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“මම හින්නි අප්පු” භූතාත්මය කීවේය.

“කවුද මේ හින්නි අප්පුය කියන්නේ?”

“දන්නේ නැහැ. මතක නැහැ.”

“ගම කොහේද?”

“ඒත් මතක නැහැ”

“ඉතින් මේ නිසංසලාගෙ ශරීරයට ආවේ කොතැන ඉඳලාද?”

“පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉඳලා.”

“ඇයි ඉතින් පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉන්නේ නැතුව මේ ළමයාගේ ඇඟට ආවේ?”

“තණ්හාව, ආසාව.”

“කවුද පියදාස කට්ටාඩියා කියන්නේ?”

“මේ අයගේ නිධානය ගන්න ආපු මිනිහා. ඒ නිධානය උරුම මේ නිසංසලාට. ඉතින් මමත් නිධානයට ආසයි. නිසංසලා‍ටත් ආසයි. ඒ නිසා මෙයා ළඟ නතර වුණා.”

ගවේෂකවරයා ගවේෂණය නතර කොට නිසංසලා පියවි සිහියට පත් කොට මේ නිධන් කතාව කුමක්දැයි ඇසීය. නිසංසලා තමන් සමීපයේ සිටි පියාගේ මුහුණ බැලීය. පියා නිධානය පිළිබඳ තොරතුරු කියන්නට විය.

“මහත්මයා; අපේ ගේ තියෙන්නේ මිහින්තලේ විහාරය පිටුපස පූජා භූමියට ආසන්නව. ඒ පිටුපස ප්‍රදේශය කැලේට ගිහින්. පුරාණ ඓතිහාසික නටබුන් තියෙනවා. ඒ අතරේ නිධානයක් තියෙනවා. ඒ නිධානය නිසංසලාටයි උරුම කියලා දේවාල කීපයකින් ම කියැවුණා. ඇඳුරෝ ‍කීපදෙනෙක්ම රහසිගතව ගෙන්නලා ඒ නිධානය ගන්න අපි උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සෙ තමයි පියදාස කට්ටාඩියා මුණ ගැහුණේ. පියදාස කට්ටාඩියා අපි ගෙන්නලා බැලුවා. ඒ ගැන මන්ත්‍ර ශාස්ත්‍රයෙන් හොයා බලන කොට නිසංසලා දුව ආවේශ වුණා. ආවේශ වෙලා ඒ නිධානය තියෙන තැන පෙන්නුවා. නිධානය ගන්න හැටි කිව්වා.

අපි නිධානය ගන්න දිනයත් තීන්දු කළා. අපි හිටියේ පාළු ප්‍රදේශයක. කවුරුත් දන්නේ නෑ. හොර රහසේ අවශ්‍ය කළමනා ලැහැස්ති කරලා ඒ නියමිත දවසේ නිධානය ගන්න ගියා. ඒ යනකොට දුව ආවේශ වෙලා කෑගැහුවා. කෑ ගහලා පොල්ලක් අරගෙන පියදාස කට්ටාඩියාට පහර දෙන්න පටන් ගත්තා. එළව එළවා ගැහුවා. එතැන නොසිට දුවන තුරුම ගැහැව්වා. මේ කෑගැහිල්ල ඇහිලා ගමේ අය එතැනට ආවා. ඒ අය පොලිසියට දන්නලා පොලිසියෙන් ආවා. මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් මාව උසාවියට ඉදිරිපත් කළා. මට හය මාසයක් රිමාන්ඩ් එකෙත් දුක් විඳින්න සිද්ධ වුණා. ඒ එදා නිධානය ගන්න උත්සාහ කළ දවසේ ඉඳලා දුව අසනීප වුණා. ගෙදරත් කරදර ඇති වෙන්න පටන් ගත්තා. අපට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් අපි ඒ ගේ අත හැරලා අනුරාධපුරයෙන් ගෙයක් කුලියට අරගෙන පදිංචි වෙලා ඉන්නේ” නිසංසලා ගේ පියා විස්තරය කීවේය.

ගවේෂකවරයා නැවතත් භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කළේ ය.

“පියදාස කට්ටාඩියාට මොකද වුණේ?” යැයි ඇසීය.

“ඌ දිව්වා. මම නතර වුණා.”

“ඇයි නතර වුණේ?”

“මටත් නිධානයට ආසා හිතුණා. නිධානය උරුම නිසංසලාට නිසා මම නිසංසලා ළඟ නතර වුණා.”

“ඇයි ඉතින් නිසංසලා ලෙඩ කරන්නේ?”

“අනේ මම නිසංසලා ලෙඩ කරන්නේ නැහැ.”

“අමනුෂ්‍යයෙකු මිනිසෙකු ළඟ ආදරයට නතර වුණත්, තරහට නතර වුණත් ඒ මනුෂ්‍යයා අසනීප වෙනවා. මිනිස්සුන්ටයි අමනුෂ්‍යයන්ටයි එකට ඉන්න බැහැ. ඒ නිසා නිසංසලා අතහැර යන්න” යැයි ගවේෂකවරයා භූතයාට කීවේය.

“මහත්තයා; එදා නිධානය ගන්න හදන කොට ඒක අවුල් කළේ මම. නිධානය ගන්න එක වළක්වන්න. මම දැන් නිධානයට තියෙන ආසාව නිසා නිධානයේ උරුම කාරයාව බදාගෙන ඉන්නවා. මම මේවා අතහැරලා යන්නෙත් නෑ. යන්න කියන්නත් එපා” යැයි හින්නි අප්පුගේ ප්‍රාණකාර ප්‍රේතයා කීවේය.

“තමුන් නිධානයට ආසා නම් ගිහින් ඒ නිධානය බදා ගන්න. මේ ළමයාව බදාගෙන ඉඳලා වැඩක් නැහැ.”

“ඒක කරන්න බැහැනෙ මහත්මයා; නිධානයට අරක් ගත් මට වඩා බලවත් කෙනෙක් නිධානය ළඟ ඉන්නවා. වෙන කෙනෙකුට එතැනට යන්න දෙන්නේ නැහැ. ඒත් නිධානය උරුම මේ නිසංසලාට නම් මෙයාට නිධානය ලැබෙන තුරු මම මෙයා ළඟ ඉන්නවා.”

“එ‍ෙහම නම් නිධානය නිසංසලාට ලැබෙන තුරු මෙයා ළඟින් ඉවත් වෙලා කරදර නොකර පැත්තකට වෙලා ඉන්න.”

“මහත්තයා හදන්නෙ මාව කොහොම හරි ඉවත් කරන්න නේද?”

“ඔව් ඒක මගේ යුතුකම මේ අය මාව සොයාගෙන ආවේ අසරණ වෙලා. මේ අයට පැමිණ තියෙන කරදරවලින් නිදහස් වෙන්න. මේ අයට දුක් කරදර පැමිණ තියෙන්නේ තමුන් නිසයි. තමුන් හින්නි අප්පු නොවෙයි. පාප කර්ම විපාක ගෙවන ප්‍රේතයෙක්. කරුණාකර ඉවත් වෙලා යන්න.”

“බැහැ.‍.. බැහැ... පියදාස කට්ටඩියාටත් ගහලා ‍එළවලා මම මෙතැන නතර වුණේ යන්න නෙමෙයි. මම යන්නේ නෑ... නෑ... නෑ... මයි.”

දැඩි තණ්හාවෙන් ඇලී සිටින මේ ප්‍රේතයා හොඳින් අවවාද කොට ඉවත් කළ නොහැකි බව වටහාගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවා දුර්වල කොට පන්නා දැම්මේ ය.

නිසංසලාටත් පවුලේ අයටත් නිවසේ උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේ ය. ඔවුන්ටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේ ය.
මතුගම මහින්ද වි‍ෙජ්තිලක
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Saturday, July 20, 2019

යකුන් බැඳගෙන වෙල් යායක් අස්වැද්දූ ගමරාල බෝවෙල දෙවියන් වූ හැටි......(vellassa gamarala holman katha vel yaya අබිරහස් අඩවිය - Abirahas Adawiya - හොල්මන් කතා. holman katha)

ඉස්සර කාලයේ ඌව වෙල්ලස්ස ගම්මානයක ගොවි පවුල් විස්සක් තිහක් තිබුනලු. ඒත් මේ ගමේ එකම එක කුඹුරු බිමක්වත් තිබුණෙ නැතිලු. ගමේ ඇත්තන් බඩවියත රැකගත්තා කියන්නේ හේන් වගාවෙන්ලු. ඇල් වී හේනක්වත් කරගන්න තරම් දිය කඳුරු තියෙන ඇල්ලාරං තිබුණෙ නැති නිසා පැටාබෑටුන්ටවත් කැඳ උගුරක් හදා දෙන්ට විදිහක් නැතුව ගමේ ඇත්තන් බොහෝම දුක් ගින්දරෙන් තමයි උන්නෙ. මේ ගමේ ඇත්තන්ගෙ දුකේදීත් සැපේදීත් කරඅරින්නෙ නැතුං හිටිය මහ සකියා තමයි ගමරාල. ගමරාල තමයි ගමේ යමක් කමක් තියෙන ගං ඇත්තා. ඉතිං උන්දෑ හිතුවා මගේ ගමේ ඉන්නේ එකම සනුහරේ උන් දැන් සාගින්නේ තියන්න නාකයි. ඒ නිසාවෙන් ගමේ පහළ කලාව පුළුන් කියලා. එහෙම හිතලා හැමෝටම පයිංඩෙ කෙරුවා කැති, උදලු ඇන්න වරෙල්ලා පිටිය බිඳලා කුඹුරක් අස්සද්දන්ට කියලා. ගමේ ඇත්තනුත් ඇවිල්ලා වැඩ කෙළා. ඉස්සරෝම කෙළේ දිය කඳුරක් හරස් කේලා අමුණක් බැඳපු එක. සමෝගෙම ගමේ ඇත්තන් ඇවිදුන් වැඩ කේද්දිත් ගමේ ඇත්තියන් ඇවිදුන් කෑම බීම උයා පිහා දුන්නා. අඩුම කුඩුම ඔක්කොම ගමරාල උන්දැගේ ගෙදරින්. ඔයි විදිහට ඇළ කඳුරු හරස්කෙරල ඉවර වෙනකොට ගමරාල උන්දැගෙ අටුකොටුත් ටිකෙන් ටික හිස් වුණා.ගමේ ඇත්තන්ගෙ ගෙවල්වල අඩුපාඩුත් වැඩිවුණා. මොකද පිරිමි ඇත්තන් ඇළ අමුණු බඳින්ට එනවා. බවලත් ඇත්තියන් උන්ට කොටාබාන්ට උයා පිහා දෙන්ට එනවා. හේන්පිටිවලට රුක්මක් බැල්මක් නැති කොට වල් ඌරන් වැටකඩොලුවලට උඩින් මලක්කන් අල්ලලා හේන් බිම් අසානාසි කෙළා. ගමේ ඇත්තන්ගේ නැතිබැරිකම් ඉහවහා ගියාම උන් කුඹුරු අස්සද්දන වැඩෙන් මග ඇරියා.
අන්තිමට ගමරාල විතරයි ඉතුරු උනේ. කොහොමහරි ගමරාල අමුණෙයි ඇළෙයි වැඩ අහවරකෙරලා කල්පනා කෙළා මට ඉතරක් වී පෑලක හමාරක කුඹුරක් අස්සද්දාගෙන මොනාට ගමේ උන්ගේ පැටුං බැටංට කොහෙන් කන්නෙ? එතකොට කමයි ගමරාල උන්දැට මතක් වුණේ මංතර සෑත්තර ගැන හැබෑට බොල මෙතෙක් කල් මේ වැඬේ සිහිපරාද විලානෙ උන්නෙ. කියල පෙට්ටගම ඇරල අප්පුච්චගෙ පුස්කොළ පොත් ගොන්න ඇදගෙන යක්කුන්ගෙන් වැඩ ගත්තු හැටි බලා කියා ගත්තා. ගමරාලඋන්දැ මංතර සාස්තර වෙදහෙදකම් ටිකක් ටිකක් ප්‍රශ්න කරලයි හිටියෙ. උන්දෑ අප්පච්චිගෙ උරුම් වාසියෙන් එන මංතර ගුරුකම් සියල්ලම වගේ බලා කියාගෙන කෙම්මුර දවසක වැඬේ ආරම්භ කෙළේ ගමේ එවුන්ට තුන්වේලම බත්කන්ඩ දෙන්ට හිතාගෙනයි. ගමරාල සිතුවා වගේම වැඬේ හරි ගියා. ගමරාල උන්දෑ බොහොම බලගතු මංතර බන්ධනේකින් ශක්ති සම්පන්න යකෙක් බන්දා ගත්තා. දැන් යකාත් එක්ක දෙන්න කුඹුර අස්සද්දන්ට ගත්තා. පෝය දෙකක් ගතවෙද්දී යකා ඉසිබිසි නැතුං වැඩ කෙළා. ඒත් යකාට මේ වැඬේ තනියෙන්ම කේගන්ට බෑ. තාම ලියදි තුන හතරයි හදාගන්ට පුළුවන් වුණේ. එදා ගමරාල යකාට ආඩපාලි කියන්නට ගත්තා.
යකෝ මොනා බං තාමත් බැරි වුනානේ උඹට මේ වැඬේ නිමකේන්ට කියලා. යකාට ගමරාලගේ කතාවෙන් වුණේ මදිපුංචිකමක්නේ. ඉතිං යකා කේපු වැඬේ රෑ හදිසියේ නිදි පැදුරෙන් නැගිටලා හත් ගව්වක් ඈත කැලේට වැදිලා කැලේ උන්න යක්ෂ සේනාවම කැටුව ඇවිත් අරෙයි කැලෑ බිම්කඩම කුඹුරුයායක් බවට පත් කෙළා. පහුන්දා උදෑහැනැක් ගමරාල ගිහින් බැලුවම මුලින් දා තිබූ ඇබිත්තින් වෙල බෝ වෙලා. බොහෝ ලොකු වෙල් යායක් වෙලා.
ගමරාල උන්දැට ඉහේ මලක් පිපිච්ච ගානට සන්තෝසයි. උන්දෑ මහ හයියෙන් හූ තුනක් තිබ්බා ම ගමේ උන් ඔක්කෝමලාම දුවගෙන දුවගෙන ආවා. මේං බලාපල්ලා වෙල බෝ වෙලා දැන් ඉතිං උඹලා හැමෝම වෙල් යාය බෙදාගෙන ආරෝවක් නැතිව වැඩ කරපල්ලා කියලා හැමෝටම කුඹුරු බෙදා දුන්නා. මංතර බන්ධනෙන් බැඳගෙන හිටිය යකාටත් නිදහස දුන්නා. ගමේ උන් බොහෝම සතුටෙන් බෝ වෙච්ච වෙල් යායට දියවර ඇරගෙන බෝවෙලා වැපුරුවා. ටික කාලයක් යනකොට මේ ගම්මානයට බෝවෙල කියන නම පටබැඳුනා විතරක් නෙමෙයි හැමෝගෙම ගෙවල්වල වී අටුකොටුත් පිරුණා.
ටික කාලයක් ගතවෙද්දී ගමරාල ගෙනා ආයුෂ ඉවර වෙලා මියැදුනාම දේව ආත්මයක් ලැබිලා බෝවෙල දෙවියන් බවට පත්වෙලා හාස්කම් දක්වන්න පටන් ගත්තා. ගම්වැසියන් බෝවෙල මැද්දේ බෝවෙල දෙවියන් උදෙසා දෙවොලක් හදලා පුද පූජා පවත්වන්ට ගත්තා. අදටත් ඌව වෙල්ලස්ස පුරාම බෝවෙල දෙවියන්ට පුද පූජා පවත්වන්නේ වෙල්යායක් කරවූ පිංවතාට කෘත ගුණ දැක්වීමටයි.
ඌව වෙල්ලස්සේ කාරි යායේ දී මෙන්ම කම්බ කණුව ගිනිහම්වල නැටීම ආදී යාඥා කර්මවලදී බෝවෙල දෙවියන් උදෙසා පිදවිලි දීම සිදු කරන්නේ

බෝවෙල බෝවෙලා බල ඇති දෙවියෝ
ඊටත් වැඩියෙන් ගිනිමල් දෙවියෝ
කයෙන් පැමිණි රෝ දුක් දුර හැරියෝ
යාදිනි කියනා බෝවෙල දෙවියෝ

මෙවැනි කෝල්මුර කවි ගායනා කරමිනි. එදා මෙරට විසූ ජන ප්‍රධානීන් රටට බත සදන්නට වැව් අමුණු බැඳ වෙල් අස්වද්දා දීමෙන් දේවත්වයට පත්වූයේ පරම්පරාවෙන් පරම්පරාවට ජන හදවත් තුළ නොමියෙන සටහන් තබමිනි.

සඳරුවන් ලොකුහේවා නිල්ලඹ, මහ ඔය.
lankadeepa
============================================================ 

උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර-පාථක-සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Friday, July 19, 2019

මිනිස් සිරුරේ රෝග නසන රාවණාගේ වෙද පොත හමුවෙයි වසර පන්දහසක් පැරණියි....(lakgala hela wedakama අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana )

අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන ලග්ගල වෙද පරපුරේ පැරණි පුස්කොළ පොත්
ලෝක උරුමයක් බවට පත්වූ නකල්ස් රක්ෂිත කලාපයට අයත් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විහිදී ගිය අතීත සිදුවීම් හා වත්මනේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දෑ සැබැවින්ම ඇස් අදහා ගත නොහැකි දේය.
ඉපැරණි සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යමින් අදටත් සිංහල වෙදකමේ විස්මිත හාස්කම් පාන ලග්ගල වෙද පරපුරේ තවත් අනගි කටයුත්තක්  පාඨක ඔබ වෙත තිළිණ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.
දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ සුව කළ නොහැකි රෝගයක් නොමැති තරම්ය. වසර පන්දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පරපුරක පුරුක් යැයි හඳුන්වන ලග්ගල පැරැන්නන් අතර හෙළ වෙදකමේ දක්ෂකම් දක්වන දේශීය වෛද්‍යවරුන් පිරිසක් තවමත් ලග්ගල ප්‍රදේශයේ නිහඬ සේවාවක නිරතව සිටිති. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජනය කරමින් කටයුතු කරන පනහකට වැඩි වෛද්‍යවරුන් පිරිසක් ලග්ගල අදටත් වෙසෙති.  ඔවුනොවුන් අතරින් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා විවිධ දක්ෂකම් දක්වන පිරිස් බොහෝය. එහෙත් ඔවුනට සිය වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධ නිෂ්පාදනය කෙරෙහි බලපා ඇති ගැටලු රැසකි.  මෙම තත්ත්වය හොඳින් වටහාගත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ලග්ගල දේශීය වෛද්‍යවරුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.
අඳුරේ සැකසෙන ලග්ගලට පමණක් ආවේණික 
නීල්‍යාදී තෛලය සැකසෙන අයුරු
ඖෂධ නිෂ්පාදනයේ දී බලපාන ගැටලු විසඳා ඔවුන් නගාසිටුවීමේ අරමුණින් මෙම වැඩටහන සංවිධනය කර තිබිණි.  දින ගණනක් තිස්සේ විවිධ පූජෝපහාර පවත්වමින් මහ වන මැද ගමන් කර අවශ්‍ය ඖෂධ රැගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ නොමැති “ලග්ගල නීල්‍යාදි තෛල්‍ය” සිඳීමේ කටයුතු සුභ නැකතින් පසුගියදා ආරම්භ විය.  සිය ගණනක් වූ දේශීය ඖෂධ වර්ග වෙන්කර නිසි පිළිවෙත් පුරා නීල්‍යාදි තෛල්‍ය ළිප මත තබන්නට ආයුර්වේද වෛද්‍ය (විශේෂ) ඩබ්ලිව්.එම්.කේ.එම්.ජී. කිරිබණ්ඩා වෙද මහතා අප ඉදිරියේ කටයුතු කළේය.  දින හතරක් මදගින්නේ කැකෑරෙන මේ අතිශ්‍ය වැදගත් තෛලය සිඳෙන්නේ අඳුරෙන් වටවූ ස්ථානයක දීය.  අනාදිමත් පරපුරක පස්වැනි පුරුක වන ආයුරේද වෛද්‍ය කිරිබණ්ඩා මහතා භක්තියෙන් සිය වෙද පරම්පරාවේ තතු අප හා හෙළි කළේ මහත් අභිමානයෙනි.
“ මේ තෙල හිඳිද්දි ගින්දර වැඩියේ දාන්නේ නැහැ. දින ගණනක් යන කටයුත්තක් පසුව තමයි ක්‍රම ක්‍රමයෙන් ගින්දර වැඩිකරන්නේ.  දින හතරක් විතර යනවා මේ තෙල හිඳගන්න. මේ තෙලට කියන්නේ නීල්‍යාදි තෛලය කියලයි.  නීල්‍යාදි කියන්නේ නිල් ඇවරිය ප්‍රධාන කරගත්තු ඖෂධ වට්ටෝරුවක් තමයි මේකේ තියෙන්නේ.  නිල් ඇවරියවල තියෙන විශේෂ ගුණය තමයි හිස කෙස්වලට තියෙන ගුණය. හිස කෙස් කළු කිරීම, වැටීම, පෑසීම වගේ දෙවල් මේ තෙලෙන් නවත්වන්න පුළුවන්. ඒ වගේම මේ තෙලට එක්කරන අනෙක් ඖෂධවලින් හිසේ සෙසු රෝග මෙන්ම වාත රෝගවලටත් ප්‍රතිකාර ලැබෙනවා. සෙම, පිත වාගේ අවස්ථාවන් වලදී පවා මේ තෙලට එක්කර තිබෙන ඖෂධ වලින් ගුණ ලැබෙනවා.  

ඒ වගේම ඇදුම රෝගයට පිටතින් ගාන්න පුළුවන් තෙලක් මේක. වාත රෝග පවතින පුද්ගලයින්ටත් මේ තෙල භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම තමයි කැඩුම් බිඳුම් අංශයට අදාළ ඖෂධත් මේ තෙලට එකතු වෙනවා.
ඒ නිසා තමයි යම් කෙනෙකුගේ හිසට පහරක් වැදුණහම මේ තෙල් ටිකක් ගාපුවහම අඩුවෙලා යන්නේ.
සිරුරේ තැළීම් සීරීම් මෙන්ම කුඩා කෘමි සතුන්ගෙන් සිරුරට සිදුවන හානිවලටත් මේ තෙල භාවිත කරනවා.
විශේෂයෙන් පිලිස්සුම් ආදී තත්ත්වයන්වල දී පවා මේ තෙල භාවිත කරනවා.
අපේ වෙද පරම්පරාවේ පසු වැනියා තමයි මම. මේ කියපු සේරම ප්‍රතිකාර විධි වගේම බෙහෙත් වට්ටෝරු අදටත් පුස්කොළ පොත්වල ලියලා අප සතුව තියෙනවා. වෙන කවුරුත් ගාව මේවා නැහැ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ තෙල අපෙන් ඉල්ලනවා.
නමුත් වානිජ මට්ටමෙන්ම මේ තෙල හිඳින්න පහසුකම් අපිට නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.
මොකද මේ තෙල්වලින් සුවය ලබන්නේ අවට ජීවත්වන පිරිස්. ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමයි මේ තෙල හිඳින්නේ.

අපේ මුත්තලා තමයි මේ පිළිබඳ වසර 200 ක පමණ ඈත අතීතයේ පර් යේෂණ කරලා මේ ලග්ගලටම ආවේණික නීල්‍යාදි තෛලය සොයා ගෙන තියෙන්නේ. ඒ පුස්කොළ පොත්වල අපේ මුත්තලාගේ නම් පවා ලියවිලා තියෙනවා.
වනාන්තරවල තියෙන අමු ඖෂධ වර්ග ගෙනැල්ලා කොටලා ඒවගේ යුෂ වෙනම වෙන්කරලා සරක්කු වර්ග ඉතා සියුම් විදිහට කුඩු කරලා අරගෙන අඹරන්න තියෙන ඖෂධ වර්ග අඹරලා අරන් තමයි මේ තෙල සැකසෙන්නේ.
මගේ පියතුමත් වෛද්‍යවරයෙක්. එතුමා නැතිවෙලා දැනට වසර 35 ක් පමණ වෙනවා. මමත් මේ කටයුතු කරන්න අරන් වසර 30ක් පමණ වෙනවා.”
පාරම්පරිකව අනාදිමත් කාලයක සිට පැවත එන ලග්ගල වෙද පරපුර වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන නැවත පණ ගැන්වීම වෙනුවෙන් අත හිත ලබාදුන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ සිය සංවිධානයේ අරමුණ වී ඇත්තේ වැනසී යන දේශීය වෛද්‍ය විද්‍යාවට නැවත ජීවයක් ලබාදීම බවයි.
“ඇත්තටම ලග්ගල කියන්නේ “ජන කෝෂ්ඨාගාරයක්” සිංහල වෙදකමේ අක්මුල් තිබුණු ස්ථානයක්.

මේ ප්‍රදේශයේ ඉතාම පැරණි මෙන්ම අත්දුටු ඖෂධ වර්ග ගණනාවක් අදටත් ඉතිරිවෙලා තියෙනවා. අපි කනගාටු වෙන්න ඕනේ ඒවගේ ඉතාමත් රහස්‍ය බෙහෙත් හා ඖෂධ වර්ග පිළිබඳ දැනන් හිටපු බොහෝ වෛද්‍යවරුන් පිරිසක් මේ වෙනකොට ජීවතුන් අතර නෑ මේ පරිසරයේ.

මේ කටයුතුවල නිරතවෙලා ඉන්න මේ වෙදමහත්වරු ඇත්තටම ජාතික සම්පතක් වගේම ලෝකයටම සම්පතක්.
ඒ නිසාම තමයි අපි උත්සාහ කළේ ලෝකේ මිනිසුන්ට සෙත ශාන්තිය සලසන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඉදිරියට ගෙනියන්න.
හිසේ රෝග සුව කරනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේම ගොඩදැමීමක්නේ. ඒ නිසා තමයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය විදිහට අපි උත්සාහ කළේ මේ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න.
මෙතන දී එක කාරණයක් කියන්න ඕනෑ. මේ උත්සාහය මේ නිෂ්පාදන රට පුරා බෙදන්න හෝ ලාභ උපයන්න නෙවෙයි. මේ අයගෙන්ම බෙහෙත් ගන්න එන අයට ප්‍රතිකාර කරන්නයි මේ වෑයම.
තවත් කාරණයක් තමයි මේ වෙදමහත්වරු සමග එකතුවෙලා අතීතයේ භාවිතයට ගැනුණු ප්‍රතිකාර ක්‍රමවලට ජීවයක් ලබාදෙන එකත් අපේ අරමුණක්.
මේ කටයුතු සාර්ථක කරන්න අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ JEP පරිසර වැඩසටහන තමයි උදව් උපකාර කරන්නේ.
අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වෙද මහත්වරුන්ගේ තවත් වට්ටෝරු කිහිපයක් අත්හදා බලන්න වගේම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න.”

ආනන්ද කනහැරආරච්චි මහතා සිය අදහස් එලෙස ප්‍රකාශ කරද්දී කිරිබණ්ඩා වෙද මහතා විසින් ආරක්ෂා
කරගෙන එනු ලබන සිය පරම්පරාවේ පුස්කොළ පොත් සියල්ල අප ඉදිරියේ දිගහැරියේ මහා අතීතයක සිය උරුමය නිර්ලෝභීව තවකෙකුට පෙන්වන විලාශයෙනි.
ඇසේ කටුවක් ඇනුණු කල ඇසට හානියක් නොමැතිව ඉවත් කරන විස්මිත වෛද්‍ය ක්‍රම මෙන්ම මිනිස් සිරුරේ සිදුවන සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ මෙන්ම අත්දුටු බව සඳහන් කළ වටිනා පුස්කොළ පොත් රැසක් තවමත් මේ වෙද මහතා සුරැකිව තබාගෙන සිටියි.
සිංහල භාෂාවේ අපූරු දියුණු යුගයක (පුස්කොළ පොත්වල සටහන් වී ඇති ආකාරයට 1904 වර්ෂයේ පමණ මේවා ලියා තිබේ) සිංහල ආකාරාදී පිළිවෙළට මෙම පුස්කොළ පොත් ලියා ඇත.
මෙහි අංකනය කිරීම් මෙන්ම වැරදුණු ස්ථානයක් වේ නම් පුස්කොළ පොතේ අවසානයේ එවා නිවැරදි කර නැවත ලියා ඇති ආකාරය විස්මය දනවනසුලුය.
එපමණක්ද නොව කිරිබණ්ඩා මහතාගේ පරම්පරාවේ අතීත මුත්තන් විසින් මෙම බෙහෙත් අත්හදා බලා සාර්ථක වූ කල පුස්කොළ පොත්වල විවිධ ක්‍රම ඔස්සේ සලකුණු තබා ඇති බව අපට පෙන්නා දුන්නේ කිරිබණ්ඩා වෙද මහතාය.
ලග්ගල පුරාණය පිළිබඳ ගවේෂකයෙකුට හමුවන ලිඛිත මෙන්ම ප්‍රවාද ඔස්සේ ගමන් කළ විට අතීත රාවණ යුගය පිළිබඳ බොහෝ දේ සොයාගත හැකිය.
රාවණාගේ ඖෂධ උයනක් ලකේගල සමීපයේ පැවතීම හා ඒ ආශ්‍රිතව ජීවත්වූ අතීත පිරිස් මේ උයනේ ඖෂධ විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා ගැනීම සිදුකර ඇති බවට සාක්ෂි මේ පරිසරයේ කොතෙකුත් හමුවේ.

විශේෂයෙන් ළිං හැරීමේ දී ලග්ගල වැසියන්ට හමුවී ඇති විවිධ ආයුධ කොටස් (මේවා ආචාර්ය සූරිය ගුණසේකරයන්ට අනුව ‘ශර’ ලෙස හැඳින්වෙයි) මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී එවා පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අගකොටසට සමාන බව ලග්ගල වැසියන් පවසා ඇතැයි පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමන් පවසා ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආචාර්ය සූර්ය ගුණසේකර මහතා කියා සිටියේය.
මෙවැනි දෑ රාවන යුගයේ අවි ආයුධවල කොටස් බව පවසන සූරිය ගුණසේකරයන් කියා සිටියේ එවැනි අවි පැවති සමාජයක ඒවායින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර විධික්‍රම ද ලග්ගල පරිසරය තුළ පැවති බවයි.
ලග්ගල, රූමස්සල, සීතාඑළිය හා හග්ගල පවතින පැරණි ඔසු උයන් ද රාවණ යුගය දක්වා දිවයන බවත් ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බවත් ලග්ගල වැසියන් සඳහන් කරන බවත් සූරිය ගුණසේකර මහතා කියා සිටියේය.
බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළ සමකාලීන අවදියේ එනම් ක්‍රි.පූ. 6 සියවසේ දී මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් පැවති බවට සැක සිතිය හැකිය.
සූරිය ගුණසේකරයන්ට අනුව පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වන චරක යනාදී විවිධ නම්වලින් හැඳින්වූ ආදීවාසී ජන කොටස් මෙම ඔසු උයන්වල සේවයේ යෙදී ඇති බවට සාක්ෂි පවතියි.
ශ්‍රී පාද වන්දනාවේ ගිය බොහෝ බැතිමතුන් අතරින් අතරමං වූ ඇතැමෙක් අවස්ථා ගණනාවක දී පලතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුනක් ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි අවස්ථා විස්තර කරන මහලු උපාසක උපාසිකාවන් පිළිබඳ පුවත් අදටත් සාක්ෂි දරන්නේ අතීතයේ පැවති උයන් විශේෂ පිළිබඳව වත්මනට සාක්ෂි සපයමිනි.
එනිසාම ලග්ගල දී හමුවන රාවණාගේ මල් උයන මෙන්ම එම පරිසරයේ පමණක් හමුවන විවිධ පැළෑටි වර්ග අදටත් මහා අබිරහසක් ඉතිරි කර තිබේ.
මේ පැළෑටි වලින් අතීතයේ ලබාගත් මහඟු ප්‍රතිඑල වර්තමානයේ තාක්ෂණය විසින් උදුරාගෙන තිබේ.

සටහන හා ඡායාරූප
නාඋල ඉන්දික අරුණ කුමාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර,,පාථක,,සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya

මැණික් ගලක් මත ඉදිවූ කතරගම මහ දෙවොල.... (katharagama අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

  ජාති ආගම් බේද නොතකා සෑම තරාතිරකම ජනතාවක් ඇදී එන මෙරට පිහිටි එකම පුදබිම කතරගම මහ දෙවොලයි. විජයාවතරණයට පෙර සිට ම කතරගම උසස් ශිෂ්ටාචාරයක් හා සභ්‍යත්වයක් පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණයට ලක්ව එළාර රජු‍‍ගේ බලයට නතුව තිබූ යුගයේ රුහුණු රට උපන් ගැමුණු කුමරු බලසේනා පිරිවරා රට එක්සේසත් කිරීමේ අරමුණින් රජරට බලා ගමන් ඇරැඹීය. ඒ මහා විජිතපුර සටනට යන අතරමඟදී මැණික් ගං ඉවුරේ නතරවූයේ කල්යල් බලා ගමන් ඇරැඹීමටය. එදා මේ මැණික් ගඟ උතුරා ගලා යමින් තිබිණ. ග‍ඟෙන් එතර වීමට මඟක් නැතිව ගඟ අද්දර වී රජු කල්පනා කරමින් සිටියේ මහා සේනාවක් ද සමඟ කර කියා ගත හැකි දෙයක් නොමැතිවය. ඒ මොහොතේ දුගී මිනිසෙක් දුන්නක් ද අතැතිව රජු අභිමුවට පැමිණියේය. රජු එම දුගී පුරුෂයන්ගෙන් විජිත පුරයට යන පාර විමසද්දී ඔහු කිසිවක් කතා නොකර තමන් අතවූ දුන්නෙන් ගඟ හරහා යන ලෙස හීයක් විද්දේය. ඒ හා සමඟ ම ගං දිය දෙබෑ වී අඩි හතක පමණ පාරක් ගඟ මැදින් මතු විය. මේ ආශ්චර්යමත් සිද්ධියක් බව වටහාගත් රජතුමා - දුගියා කවරෙකුදැයි හඳුනාගත් නිසා ඔහුට දණ නමා ආචාර කරමින් යුද්ධයෙන් ජය ලැබීමට තමාට වරයක් දෙන ලෙස කන්නලව් කළේය. ගැමුණු රජතුමාට කතරම දෙවියන් මුණ ගැසුණේ එදින ය. වර ලත් රජතුමා යුද්ධය දිනා නැවත ආපසු එනවිට හමුවන්නේ කොතැනදීදැයි දෙවියන් විමසුවේය. දැනට කතරගම කඳුවැටිය නමින් හඳුන්වන ස්ථානයට තමන් අත ඇති දුන්නෙන් හීයක් විදි දුගී වෙසින් සිටි කතරගම කඳ කුමරු අතරුදහන් විය.
දුටුගැමුණු රජතුමා විජිතපුර සටනින් ජය ගෙන ආපසු සිය නිජබිම වූ රෝහණ දේශයට පැමිණෙද්දී එදා සටනට යනදා දුගියා පෙන්වූ කතරගම කඳුවැටිය කරා ළඟා විය.කඳුවැටියට නැඟුණු රජතුමාට නොයෙකුත් යුද්ධායුධ අතින්ගත් මුහුණු සයකින් යුත් අත් දොළසකින් යුත් තෙද බලැතිව වැඩ වසන කතරගම දෙවියන් දකින්නට ලැබුණේය.
මේ දර්ශනය දුටු-ගැමුණු රජතුමා විස්මයෙන් යුතුව තැති ගැන්වී මොහොතක් බලා සිටියේය. පසුව වැඳ නමස්කාර කොට පසෙකට වී මෙසේ ප්‍රකාශ කළේය.

“අනේ තෙද බල පතුරන දෙවියනි, දුගී පුරුෂයෙකුට ඔබ තුමන් කරන ලද උපකාරයට උපකාරයක් කිරීමට දැන් ඔහු පැමිණ සිටියි.

ඒ දුගී පුරුෂයා වූ මම දැන් ඒ වෙනුවෙන් කුමක් කරම් ද?”

කතරගම දෙවියෝ රන් හීයකුත් දුන්නකුත් අතට ගෙන “මම මේ රන් හීය මැණික් ගං ඉවුරේ යම් තැනකට විදින්නෙම් ද ඒ හීය වැටුණ තැන කෝවිලක් කර දීම සෑ‍හේ යැයි පැවසූහ. කිරිවෙහෙරත් මැණික් ගඟත් අතරට මේ රන්හීය වැටිණි. වර්තමාන කතරගම මහ දේවාලය දුටුගැමුණු රජතුමා ඉදිකළේ එතැන ය.
මේ ඓතිහාසික මහ කතරගම දේවාලය ඉදිවී ඇත්තේ විශාල මැණික් ගලක් යටකර ගෙන ඒ මතය. කතරගම ඒ මහ මැණික් ගල වටා මහ මැණික් පුරයකි. කතරගම දෙවියන්ගේ තෙද බල හාස්කම් මේ පුරයේ ඇත්තේ ය. මෙතැනින් නැගෙන මහා රශ්මිය විශ්වය පුරා පැතිරී යයි. දෙවොල මැද්දෙන් යන පාර දිගේ ඉදිරියට යන්නේ කිරි වෙහෙරටය. ඒ බුදුන් වැඩි බිමට ය.
කතරගම මැණික් ගගෙන් එගොඩවන තැන ම හමුවන්නේ කඳ කුමරු ලංකාවට පැමිණි සමයේ මැණික් ගං තීරයේ සැරිසරද්දී හමු වූ සුන්දර කාන්තව වල්ලි අම්මා ඇසුරට වැටුණු තැන පිහිටි වල්ලි අම්මාගේ කෝවිලයි. එතන විවාහය පතා තරුණියෝ බාරහාර වෙති.

කඳ කුමරු වල්ලි අම්මාගේ ඇසුරට වැටුණු අන්දම තවත් විසිතුරු කතාවකි.

කුමරු ඉන්දීයාවේ සිටි කාලයේ ඔහු ඇසුරු කරමින් කල්ගත කළ ඉතාමත් කීකරු වූ සේවක‍යෝ දෙදෙනෙක් වූහ. එක් කෙනෙක් මුත්තුලිංග ස්වාමිය. ඔහු සියලු සතර දත් පඬිවරයෙකි. අනෙකා මුස්ලිම් බැතිමතෙකි. කන්දස්වාමි කුමරු ලංකාවට පැමිණී ම ගැන මේ දෙදෙනා බොහෝ දුකට පත්වූහ. ඔහු නැවතත් තමන් ඇසුරට ගෙන්වා ගැනීමට බොහෝ උපක්‍රම යෙදූහ. මුත්තු ලිංගම් ස්වාමි කන්දස්වාමි කුමරු පිළිබඳ පවත්නා සියලු ම අවතාර ඇතුළත් කිරීමෙන් දුටුවන් සිත් ගන්නා ආකාරයට තඹවලින් තැටියක් සෑදවිය. සිත් වසඟකරවනසුලු මේ තැටිය ද රැගෙන ඔහු සිය හිතවත් මුස්ලිම් බැතිමතා සමඟ මැණික් ගං ඉවුරට පැමිණියේය. ඔව්හු ඒ තැටිය ද රැගෙන ටික දිනක් වන වැදී භාවනා කිරීමට ඉටා ගත්හ. ඔවුන්ගේ මේ ගමන කන්ද ස්වාමි කුමරු යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමේ අරමුණෙනි. එය දැනගත් කන්ද ස්වාමි කුමරු දුක්විය. ඒ කඳකුමරු මැණික් ගං ඉවුරේ සැරි සරන කාලයේ හමු වූ සුන්දර කාන්තාව වූ වල්ලි අතහැර යෑමට නොහැකි වීමය. කුමරු ඇය අහිමිවීම අභාග්‍යයක් කොට සැලකීය. කඳ කුමරු වල්ලියට කතා කළේය. තමා ලංකාවෙන් ඉන්දියාවට ගෙන යෑමට මිතුරන් දෙදෙනා ආ කතාව කීවේය. ඔහු උපක්‍රමයක් යෙදීය. වල්ලිට සිඟන්නියක වේශයෙන් ගොස් ඒ තැටිය ගෙන එන ලෙස දැන්වීය. වල්ලි පසුදා උදෑසන තම ස්වාමියා කියා දුන් අන්දමට දුගි ස්ත්‍රියකගේ වේශයෙන් ගොස් මැණික් ගං ඉවුරේ සුදු වැලි තලාව මත වාඩි වී සිටියා ය. වෙනදා මෙන් ම එදාත් මුත්තු ලිංගම් ස්වාමි සහ ඔහුගේ සඟයා මැණික් ග‍ඟෙන් දිය නා ගෙන ගොඩ වූහ. ගොඩ වෙන කොට ම වල්ලි ගොස් බැගෑපත් ලෙස සිඟමනක් ඉල්ලීය. මුත්තුසාමි ළඟ දෙන්න දෙයක් නොතිබිණ. ඔහු වෙත වූයේ තඹ තැටියත් සිංහ හමත් පමණ. දෙන්නට දෙයක් නොමැතිකමෙන් ඔහු ලැජ්ජාවට පත්විය. වල්ලි ඔහු පසු - පස හිඟමන් ඉල්ලා වැටුණාය. දෙන්න දෙයක් නැතිනම් තඹ තැටිය හෝ දෙන්නැයි ඉල්ලුවාය. ත්‍යාගවත් මුත්තුලිංගම් සාමි තඹ තැටිය වල්ලිට දුනි. වල්ලි (අම්මා) තඹ තැටිය ගෙන ගොස් කඳ කුමරුට දුන්නාය.

තම අදහස සිතූ පරිදි ඉටුවීම නිසා කඳ කුමරුත් වල්ලිත් දෙදෙනා ම ප්‍රීතියෙන් කල්ගත කළහ. මෙයින් සිදුවූයේ කන්ද ස්වාමි කුමරුට ආදරයෙන් කුමරු සොයා ආ මිතුරන් දෙදෙනා අතරමං වීමයි. පසුව ඔවුන් මිතුරන් ‍දෙදෙනා ද තමන් ළගට ගෙන්වා ගත් කඳ කුමරු තමන් විවාහ වූ කුමරියගේ කුඩා ගේ පැලට වම් පසින් මුත්තුලිංගම්සාමිට හා දකුණුපසින් මුස්ලිම් භක්තිකයාටත් නිවාස දෙකක් තනවා පදිංචියට ඉඩ කඩ සැලැස්වීය.
කතරගම දෙවියන් වඳින්නට එන බැතිමතුන් සෞභාග්‍යය ලබන මේ පින්බිමේ ඇති හාස්කම් එමටය. ආර්යන්ගේ මුල් ජනාවාස අතර කතරගම කේන්ද්‍ර ස්ථානය කොට ජීවත් වූ කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ, බුදු රජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී කතරගම අඩවියේ කිහිර වනයේදී බුදුන්ගෙන් බණ අසා “මහසෙන්” නමින් සේවාන් විය. ඒ සෝවාන් වූ මහසෙන් රජු ආත්මය හැරලු පසු (මරණින් පසු) දේවත්වයක් ලබා යළි පහළ වී ඇතැයි ජනප්‍රවාදගතව ඇත. මහසෙන් දේවාලය කිරි වෙහෙරේ පසෙක වෙයි.

අනිත් කරුණ වන්නේ දඹදිව ස්කන්ධ නමින් දක්ෂ සෙන්පතියකු විසූ බවයි. වල්ලි අම්මා හා තේවානි නමින් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙක් වූහ. ඉන් වල්ලි නම් ඉතා රූමත් බිරිය මිය ගිය පසු ලංකාවේ සෙල්ල කතරගම දුප්පත් පවුලක උපදින බව දැන ඇය විවාහ කර ගැනීමට ලංකාවට පැමිණ ඇත. එසේ උපන් වල්ලි හා විවාහ වූ ස්කන්ධ මධුසමය ගත කළේ සෙල්ල කතරගමය. සෙල්ල කතරගම තවත් දේවාලයකි. වල්ලි ගුහාව ඇත්තේ සෙල්ල කතරගම භූමියේය. කතරගම දේවාලයේ තැන්පත් කර ඇති රන්පතක ලියූ ලියවිල්ල සහිත කරඬුව කතරගම මහ දේවාලයේ සිට ඇතෙකු පිටින් වල්ලි අම්මා දේවාලයට ගෙන ගොස් තබා නැවත පසුදා පහන්වන විට කතරගම මහා දේවාලයට ගෙනැවිත් තැන්පත් කිරීම ද විශේෂත්වයකි. කතරගම වල්ලි අම්මා කෝවිල ද වැදගත්ය. අවාහ - විවාහ අවුල් වූ අය විවාහයට සහකාරියන් සහ සහකරුවන් පතන අය මැණික් ගගෙන් බැස නා පඬුරක් ගෙනැවිත් මේ දෙවෙලේ බැඳීම පුරාණයේ පටන් එන සිරිතකි. තම දුක් කඳුළින් කියන අයට මෙතනදී වල්ලි අම්මා දකින්නට ලැබුණු අවස්ථා එමට යැයි ජනප්‍රවාදයේ එයි.

මහ රැයක එසේ දුගී ලෙස ආ ස්ත්‍රිය වල්ලිට පුද පූජා කරන හැටි කියා දී ඇතැයි කියති. මේ අසල සිට බලන විට වැඩිහිටි කන්ද පෙනේ. එතනද කතරගම දෙවියන්ගේ මහ දෙවොලකි. එය කතරගම කතා පුවතේ එන්නේ හේම කූටය ලෙසය. මෙහි ඇති සැඟවුණු තවත් දේව කථාවකි. සුරයන් අසුරයන් අතර වූ යුද්ධයේදී සුරයන් පරාදවීම නිසා දෝ ඊශ්වර දෙවියන්ගෙන් ලැබූ වරයක් නිසා‍දෝ සුර පද්ම නොහොත් පද්ම අසුරයා සියලු දෙවියන්ට හිංසා පී‍ඩා කරන්නට පටන් ගත්තේය. දෙවියෝ රැස්වී අසුරයන්ගේ මේ මහා විපතින් මුදාගැනීම සඳහා මහා බ්‍රහ්මයාට හා විෂ්ණු දෙවියන්ට කන්නලව් කළහ. එම දෙපොල මේ සිද්ධිය ඊශ්වර දෙවියන්ට සැල කරන්නට යැයි දෙවියන්ට කීවෝය. ඊශ්වරයා ඊට එකඟ වූ නමුත් අසුරයන් හා තමා සටන් කිරීම පහත් ක්‍රියාවක් ලෙස සිතුවේය. ඊශ්වරයා ලොව බලා බලවතුනට දැරිය නොහැකි ශක්තියක් ඇති සුරූපී කුමරුවන් සය දෙනෙකු උමයංගනාවට ඉපදී සිටිනු දැක්කේය. භාර්යාවට කුමරුන් පහළ වූ ප්‍රීතිය හේතුකොට ඒ සය දෙනා එක් කොට සිඹ සැනහෙද්දී එක් කඳක් ද මුහුණු සයක් ද අත් දොළසක් ද ඇතිව ස්කන්ධ බිහිවූ බව කියති. දේව මණ්ඩලයේ සේනාධිපති වූ ඊශ්වර ගේ පුත්‍රයා කතරගම ස්කන්ද දෙවි, අසුරයන් හා යුද්ධයට පිටත් කර ඇත.

වේලායුධයක් ද අතින් ගෙන අසුරයන් හා යුද්ධයට ගිය ස්කන්ධ දෙවි සුරපද්ම අසුරයාගේ බාල මලණුවන් වූ මායා පුරයේ විසූ “තාරක” මරා දැම්මේ ය. ඊට පසුව ස්වේත පුරයේ විසූ ‘සිංහමුව’ නම් අසුරයා ද වේලා යුධයෙන් පහර දී මරා දැම්මේය. ඉන් පසුව සුරපද්ම අසුරයාට ද ඒ වේලායුධයෙන් ම පහර දුන්නේ ය. ඔහු මරණාසන්න විය. අභය දානය ඉල්ලුවේය. දෙපළු වූ සුරපද්මගේ එක් භාගයකින් මොනර වාහනයක් ද මවා අනික් පළුවෙන් කුකුළෙකු මවා කොඩියක් ද මවා ගෙන හේම කූටයේ (වැඩිහිටි කන්දේ) වේලායුධය තැන්පත් කළ වග දේව කතාවේ එයි. මෙය හින්දු අයගේ මතයයි. කතරගම වැඩිහිටි කන්ද හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්ව ඇත්තේ එලෙසය. කතරගම දේවාලය ඉදිරිපිට වාර්ෂිකව ගිනි පෑගීමේ උලෙළකි. එය පෙරහර කාලයේ පැවැත්වෙන එක් පූජාවකි. මෙයට හාර සීයයකට අධික පිරිසක් සහභාගි වන්නාහ. මැණික් ග‍ඟෙන් දිය නා දැඩි භක්තියෙන් මෙය සිදු කරති. ගිනි පූජාව පැවැත්වෙන්නේ කතරගම දෙවියන් උදෙසාය. ඒ සඳහා පිරිසුදු විය යුතුය. එයට පේවීම යැයි කියති. බොහෝ දෙනා මස් මාංශයෙන් වැළකී වර්ෂ කිහිපයක සිට මේ සඳහා සූදානම් වෙති. එය දේව ආකර්ෂණයෙන් සිදුවන්නක් බව බැතිමතුන්ගේ අදහසයි.

1945 වර්ෂයේ දී මේ කතරගම බිමේදි ඇසළ පෙරහරේ ගිනි පාගන මංගල්‍යයේදී මහත් අද්භූත සිද්ධියක් විය. ගිනි පෑගීමට බැතිමතුන් සූදානම්ව සිටි අතර ගිනි පෑගීම බැලීම සඳහා ද දහස් ගණන් බැතිමත්හු රැස්ව සිටියහ.
උඩුකයට කිසිවක් හැඳ නැති සුදු වතින් සැරසුණු අයෙක් කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට පෙරාතුව කරන ලද පුද සිරිත්වලින් පසු ගිනි මැලයේ කිහිප වරක් ම ගමන් කර කතරගම දේවාල‍ෙය් තිරයෙන් ඇතුළට යෑම එදා මහත් ආන්දෝලනයක් විය. එය එතන සිටි සියලු දෙනාම දුටහ. එහෙත් ‍දේවාලයේ තිරෙන් එහාට යන්නට කපු මහත්වරුන්ට හැර කිසිවෙකුට අවසර නැත. දේවාලයේ ඇතුළට ගිය ඒ අාශ්චර්යමත් පුද්ගලයා කවුරුන්දැයි බලන්නට කපු මහත්වරුන් ද දේවාලයට ගිය නමුත් බැතිමතුන්ට දකින්නට ලැබුණේ කපුවන් උඩ බිම් බලා අත් ඔසවාගෙන සිටින අන්දමය. කතරගම දේවාලයේ තවත් ඓතිහාසික සිදුවීම් රැසකි. පෙරහර සමයට වැදි ජනයා දුනු ඊතල මීපැණි රැගෙන එති. පෙරහරේ නට නටා ගමන් කරති. ඒ ඔවුන්ගේ අයිතිවාසිකමකි.

කඳ කුමරු පළමු විවාහයේදී සිය බලපරාක්‍රමය පෙන්වා ශක්‍රයාගේ දියණිය තේවානි විවාහ කර ගත්තේය. (ශක්‍රයා යනු එදා රජ පෙළපතක නාමයකි) දෙවැනි විවාහය සිදු වූයේ ඔහුගේ බලය ශක්තියත් ප්‍රාර්ථනාවත් ඉටු කර ගැනීම සදහා ලංකාවේ වැදි පරපුරේ රූමත් කාන්තාවක වූ ‘වල්ලි’ අම්මා සමඟය. කතරගම දෙවියන්ගේ බිසව ගෝමරී බණ්ඩාර බවත්, සපුමල් කුමාරයා පුතා බවත් ඇම්බැක්ක දේවාල වර්ණනාවේ එයි. දෙවියන්ට පුතුන් දෙදෙනෙකු සිටියත් එක් පුතෙකු යකින්නක විසින් නසන ලද බව කියැවෙන කතාද ජනප්‍රවාදයේ එයි. කතරගම දෙවියන් ගේ දෙවැනි පුතා ද දැඩි ආරක්ෂාව යටතේ සිටියත් යකින්නගේ තන පුඩුව ඒ දරුවාට වැටී කිරි බිව් නිසා යකින්නගේ ආදරය ද ඒ දරුවා වැටී ඇත. කඳ කුමරු උඩින් යන විට ඒ දරුවා දැක ඇතැයි ද පැවසේ. ඔහු දේවතා බණ්ඩාර කඩවර දෙවියෝය. රත්නවල්ලි දේවියගේ කුසේ ඉපදුණු මේ දරුවාට කතරගම ළඟ ඇති තවත් දෙවොලකි. එය කඩවර දෙවොලයි.

කම්බිලි කඩවර - රත්න කඩවර නම්වලින් ද මේ දේවාලය හැඳින්වේ. එතන යකුන් යක්ෂණියන් නටවන හැටි දැකගත හැකිය. කඩවර පූජාව එතැනය. කතරගම මහ දේවාලය වටා තවත් දේවාල රැසකි. කතරගම දෙවියන්ගේ බල මහිමය දක්වන කතරගම් පුරයේ දේවාලයේ කිසිවක් කිසිවෙකුට වෙනස් කළ නොහැකිය යන මතය ඇත්තේය. දුටු ගැමුණු මහ රජතුමා එදා බලය දුන් කපු පරම්පරාවල උරුමය රැකිය යුතුම ය. ඉන්දියාවේ බරණැස් නගරයේ පහළ වූ සිද්ධාර්ථ බෝග නාථර් තුමා ක්‍රිස්තු වර්ෂ 211 දී පමණ කතරගමට පැමිණ ඇත. හෙතෙම අවුරුදු 3000 ක් කල් සමාධියට සම වැදී සිටි යෝගී තපස් වරයෙකි. භෞතික ශරීරය විපර්යාසයට පත් කර ගත්තෙකි. අධ්‍යාත්මික භෞතික බලයක් හිමිව සිටි මේ උත්තරීතර යෝගිවරයා තපස් රැකීම සඳහා කතරගම ආශ්‍රමයක් ඇරඹූ බවත් එහිදී පෙති 1008 කින් යුත් පද්ම චක්‍රය නමැති යන්ත්‍රයක් නිර්මාණ කළ බවත් කතරගමදී සොරුබා සමාධියට සම වැදුණු බවත් මහා භාරතයේ ‘බා බාජි’ ග්‍රන්ථයේ සටහන්ය.

‘අමෘත සංජීව” නම් ඍෂීවරයෙකු සතුව පැවැති ඔසු උයනකින් මතුවන (පොළොවේ යටින්) තින්නෝර පස් විශේෂය දේවාලය තුළ දී ඔබේ නළලට තැබෙන ඖෂධයකි. ‘අමෘත සංජීව” නමැත්තාගේ ඔසු උයන දැවී යෑමෙන් මේ අළු හටගෙන ඇතැයි ජන ප්‍රවාදයයි. මේ අළු නිධිය ඇත්තේ කතරගමට නුදුරු නොච්චි පතානේය.
කතරගම දෙවියන්ගේ බලයක් මෙතැන ඇති බව සිතන සියලු දෙනාම මෙතැනට පැමිණ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගනිති. මෙතන විශ්ව ශක්තියෙන් ගමන් ගන්නා මහ කිරණ බලවේගයක් ඇත්තේය යන්න විද්‍යාත්මක දර්ශනයයි. එය කතරගම දෙවියන්ගේ ශක්තිය ලෙස හැඳින්වේ. කතරගම මහ දෙවොල දෙවියන්ගේ මෙන් ම බුදුන්ගේ බලයත් හින්දු මුස්ලිම් කතෝලික ආගමික බලයත් එකතු වන තැනයි.

එච්. ඩබ්ලිව්. අභයපාල
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර,,පාථක,,සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  "like" කිරීමෙන්,,හා,"share",කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya

සීනිගම සිරිමත් හාස්කම් - දෙවොල් දෙවි බලය අසීමිතයි; රෝගීන්ට සුවය හොරුන්ට තක්කඩින්ට දඬුවම්...... (sinigama dewalaya haskam අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

* සීනිගම සිරිමත් හාස්කම්-01
* දරු ඵල ප‍්‍රමාද මව්වරුන්ට දරුවන්
* සුනාමියෙන්වත් දෙවොල් දේවාලයට හානියක් වුණේ නෑ
 සීනිගම දේවාලය හරි කබලබය. වැරැදිකරුවන්ට පලි ගැසීමට මෙන්ම ජීවිතවලට ශාන්තිය ප‍්‍රාර්ථනා කරගෙන පැමිණි මිනිසුන්ගෙන් සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලය පිරී ගොස්ය. දකුණු පළාතේ ප‍්‍රධාන මාර්ගයට සහ මුහුදට මායිම්ව පුංචි බිම් කඩක පිහිටා ඇති දෙවොල් දේවාලය ද හාස්කම් පිරුණු සිද්ධස්ථානයක් බව ප‍්‍රසිද්ධය. මෙපමණ ජනකායක් ගලා එන්නේ ද එම හාස්කම්වල ආනුභාවයෙන් විය යුතුය. එහෙයින් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන කතා කිරීමට අපට අදහසක් පහළ විය. පසුගිය දිනක අපි සීනිගම දේවාලයට ගොස් දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා සහ දෙවොල් දෙවියන් ඉදිරියේ වූ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වූ පුද්ගලයන් කිහිපදෙනකු සමඟ සාකච්ඡුා කළෙමු. එම කතා මාලාව පෙළගැසීමට පෙර අනුහස් පිරි සීනිගම දේවාලයේ ඉතිහාසය පිරික්සීම අපගේ අදහස විය. එහෙයින් ප‍්‍රථමයෙන් අපි සීනිගම දෙවොලේ ඉතිහාසය ගැන කතා කර සිටිමු...
 සමන්” කතරගම” පත්තිනි දෙවි දේවතාවුන් තරමට ප‍්‍රචලිත නොවූවද” දෙවොල් දෙවියන්ගේ පුරාවෘතය රසවත් එකකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවකයකු ලෙස සිටි බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත් එකතුවේ ඇති” දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබටුයේ දකුණු වෙරළ තීරයේ සීනිගම ප‍්‍රදේශයටය. පසුකාලීනව එම ස්ථානයේ දෙවොල් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදිකෙරිණි. එම දේවාලය ගොඩබිමින් එපිට අඩි තුන්සීයක් පමණ ඈතින් මුහුද මැද කුඩා දූපතක පිහිටා තිබේ.
 මුහුද මැද ගල් කන්දක් මත පිහිටි දියඹ දේවාලය දෙසට මගේ දෙනෙත් පාවී ගියේය. පුංචි දූපතකි. ගමන බෝට්ටුවෙනි. දෙවොල් දෙවියන් වන්දනා කිරීමට ගිය බැතිමතුන්ගෙන් එකී දේවාල භූමිය පිරී තිබෙන බව ඈතින් දිස් විය. දෑස් දියඹ දේවාලයේ සක්මන් කරන අතරේ සීනිගම පුරාවෘතය මගේ මනසේ නැවත පෙරළෙන්නට විය.
දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයකි. දෙවොල් දෙවියන්ගේ ඉපදීම සහ ලංකා ගමනය ගැන ජනප‍්‍රවාදයේ කියැවෙන්නේ මෙසේය. දඹදිව කුදුප්පර දේශයේ රාමසිංහ රජුට දාව උපන් මහා සාමි කුමරු පුංචි සන්දියේ සිට සෙල්ලක්කාරය. රාමසිංහ රජුට දාව බිසෝවරු සත්දෙනාටම උපන් කුමාරවරු මහා සාමි කුමරු මෙන්ම සෙල්ලක්කාරය. ළමා විය පසු කර තරුණ වියට පැමිණි කුමාරවරු සත් දෙනා එම දේශයේ ජනතාවට නොයෙක් අයුරින් හිංසා” පීඩා කළහ. කුමාරවරුන්ගේ දාමරික ක‍්‍රියා පිළිවෙත අනුමත නොකළ පිය රජතුමා ඔවුන් සියලූ දෙනාම රටින් පිටුවහල් කළේය. දොළුවර” කණ්ණඩි” කාවිසි” සෙන්පුර” පුලසුරු” අරමන” මෙරුවරු” මුක්කරු” පිල්ලි” කුරුම්බර” වඩිග” කල්ලූ” දෙමළ” සෙට්ටි” ගුජ්ජර” වඩක්කර” දිල්ලි” මලල යනාදී ජාතීන් කිහිපයක මහ පිරිසක් සහිත නැව් සතක නැඟී පිරිස මහ මුහුද කළඹමින් යාත‍්‍රා කළහ. සුළි සුළං හමාවිත් මහ මුහුද රළු වී කුමාරවරු රැගත් නැව් කැඞී බිඳී ගොස් ඔවුහු මුහුද මැද අතරමං වූහ. මහා සාමි කුමරුන් ඇතුළු පිරිසගේ අසරණභාවය දැක මුහුදු මණිමේඛලාව විසින් ඒ බව සක් සුරිඳුට පැවසූ විට විශ්ම කර්ම දිව්‍ය පුත‍්‍රයා වූ සක් සුරිඳු විසින් මහා සාමී කුමරුට ශෛලමය යාත‍්‍රාවක් මවා දී ඇත.
 දින” සති ගෙවී පාවී පැමිණි කුමාරවරු ලක්දිව වෙරළට සමීපවත්ම එතෙක් ලක්දිව දේව බලයට අධිපතිව සිටි පත්තිනි මෑණියන් ගිනි කඳු සතක් මවමින් මහා සාමි කුමරුන්ගේ ගොඩ බැසීම වළක්වාලීය. එහෙත් ගිනි දැල්වලින්ම සළුවක් හා සුම්බරයක් මවා ගෙන ගිනි වළලූ ජයගෙන” කරදියෙන් පහන් පත්තු කර පූජා කර” වැලි සහල් කර” සීනි කර ගිනි මැල පාගා ගෙන ලංකාවට ගොඩ බට මහා සාමි දෙවොල් දෙවියන් ලෙස දේවත්වයට පත් වූ බව සීනිගම දේව පුරාණයේ සඳහන් වේ. අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් දෙවියන් ගිනි වළලූ ජයගත් සිද්ධිය බව ද ජනප‍්‍රවාදයේ පවතී. එමෙන්ම බි‍්‍රතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ පුස්කොළ පොත්වල සඳහන් පරිදි දෙවොල් දෙවියන් සමඟ පැමිණි පිරිවර පස්බාගෙ” කෙහෙල්ගමුව” කොත්මලේ” බුලත්ගම” පටුන සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල වන්දනා ස්ථාන පිහිටුවාගෙන ජනාවාස ඇති කරගෙන තිබේ. ගිනි මැල ජයගෙන ගොඩ බට දෙවොල් දෙවියන්ට පූජෝපහාර පවත්වමින් තම රෝග සුවපත් කරගත් සීනිගම මැතිඳු කෙනෙකු දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම දෙවොලක් ඉදිකර දී ඇති බව ද නෙවිල්ගේ පුස්කොළ පිටපත්වල සඳහන්ව ඇත.
 එමෙන්ම ශ‍්‍රී දෙවොල් මහ දෙව්රදු අරක්ගත් සීනිගම දේවාලයේ ඉතිහාසය විජය කුමරුගේ ආගමනයටත් ඔබ්බට දිවෙන බව ද ජනප‍්‍රවාදයේ කියැවේ. දෙවොල්හු මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසට ද සලකන්නෝ වෙති. පෙර භවයකදී පත්තිනි දෙවොල්හුගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත්” එහෙයින්ම පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් සුරිඳු දෙවොල්හුට දුන් බවත් ජනප‍්‍රවාදයේ කියැවේ. කකුසඳ” කෝනාගම” කාශ්‍යප” ගෞතම යන සතර බුදු රදුන්ට කඨින ආදී කොටැති විවිධ දාන මාන පිංකම් සිදු කිරීම හේතුකොට ගෙන දෙවොල්හු දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බව ද පැළිගැනේ. එසේ දේවත්වයට පත් දෙවොල් දෙවියන් මෙරට සීනිගම ප‍්‍රදේශයට පැමිණ දෙවොලක් තනවමින් රන්සළු ඈ කොඩි දද නංවා බැබළෙන අයුරින් කටයුතු කරමින් පුද සත්කාර ලබන්නට වූහ.
 එමෙන්ම නක්‍ෂස්ත‍්‍රය දත් දක්‍ෂ වෙදැදුරකු වූ දෙවොල් දෙවියන් රෝගී මිනිසුන් උදෙසා සෙත් ශාන්ති කර රෝග සුවපත් කර” අපරාධ කරනවුන් දැන ඔවුන්ට දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු බවට ජන සමාජයේ ප‍්‍රසිද්ධ විය. ඒ සමඟ විවිධ
රෝගීන් සහ බඩු භාණ්ඩ සොරාගැනීමේ නඩු හබ අරගෙන පැමිණිලිකරුවන් දෙවොල් දෙවියන් ඉදිරියේ පෙළගැසිණි. සොර සතුරන්ට එරෙහිව පලි ගසමින් මිරිස්” ගම්මිරිස් ඇඹරූහ. කසාද හැර ගිය ගෑහැනු” මිනිස්සු පැමිණ පලි දැරූහ. අසරණ රෝගීහු පැමිණ සුවය ප‍්‍රර්ථනා කර දෙවොල් දෙවියන්ගේ පිහිට අයැද සිටියහ. වෙදැදුරන්ට සුවපත් කිරීමට නොහැකි වූ රෝගීන් දෙවොල් දෙවියන් සුවපත් කළ බවත්” එකල රජවරුන්ට විසඳීමට නොහැකි වූ නඩු හබ විසඳමින් වැරැදිකරුවන්ට දඬුවම් ලබා දුන් බවත් ජනප‍්‍රවාදයේ පැවත එන්නකි.
 දියඹ දේවාලයේ එදා මිරිස් ඇඹරූ ගල අදට ද ජීවමානය. රෝගීන් සුවපත් කිරීමට පැන් ලබාගත් ළිඳ අදට ද සුපැහැදිළිය. මුහුදින් වට වූ ගල් කන්ද මැද මහා පෑවිල්ලකට හෝ නොසිඳෙන ළිඳේ වතුරවල කිවුල් රසක් නැති වීමද මහා ප‍්‍රාතිහාර්යයකි. දියඹ දේවාලයේ ඇති අනුහස් මහිමයේ බලයෙන් වසභ රජු දවස සීනිගම දෙවොල සත් මහල් ප‍්‍රාසාදයක් කර වූ බවත්” පසුව දප්පුල රජු විසින් නැවත ප‍්‍රතිසංස්කරණය කර දෙවොල දියුණු කර ඇති බවත් සඳහන් වේ. පසු කාලෙක මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසි” ලන්දේසි විසින් වරින් වර සීනිගම දේවාලය කඩා බිඳ විනාශ කර දමා එහි තිබූ පූජාර්හ වස්තු පැහැරගෙන ගොස් ඇත. අනතුරුව සීනිගම හා අවට ගම්වාසීන් එකතුව ඔවුන්ගේ වත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා මුහුදේ ගල් කන්ද මත ගම් උළු සෙවිලි කළ සිව් පියැසි දෙව් මැඳුරු තුනක් ගොඩනඟාගෙන ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් කාලයත් සමඟ එම දෙව් මැඳුරු එකක් කැඞී බිඳී ගොස් දැනට ශේෂව ඇත්තේ දෙව් මැඳුරු දෙකක් පමණි.
 විදේශීය ආක‍්‍රමණිකයන් විසින් විනාශ කර දැමූ මෙගොඩ දේවාලය නැවත ප‍්‍රතිසංස්කරණය කරමින්” බැතිමතුන්ට වන්දනා මාන කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇත්තේ 1964 වර්ෂයේදී ය. පසුව 1968 වර්ෂයේදී දක්‍ෂිණ ලංකා තරුණ ලේඛක සංගමය සීනිගම දේවාලයේ උන්නතිය තකා ශාස්ත‍්‍රාචාර්ය තිත්තගල්ලේ සුදස්සි හිමියන්ගේ සභාපතිත්වයෙන් ‘ශ‍්‍රී දෙවොල් මහා දේවාලය භාරකාර මණ්ඩලය. පිහිටුවා ගත්හ. අනතුරුව 1986 වර්ෂයේදී සීනිගම දේවාලය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පවරා ගනිමින්” පුද්ගල භාරකාරත්වය යටතට පත් කර ඇත. දේවාල සම්ප‍්‍රදායට අනුව වසර පහකට වතාවක් සීනිගම දේවාලයේ භාරකාරත්වය තීරණය කරනු ලැබේ. කිසිදු ඡුන්ද විමසීමකින් තොරව සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශයෙන් භාරකරුවන් පත්කරගනු ලැබේ. මේ වන විට සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකරු හැටියට කටයුතු කරනු ලබන්නේ සරත් දිසෙන්තුවාහන්දි මහතාය. දැන් අපි සීනිගම දේවාලයේ භාරකරුගේ කතාවට සවන් දී සිටිමු.
 ‘‘මම මේ දේවාලයේ භාරකාරත්වයට පත් වුණේ 2013 අවුරුද්දේ. 2018 අවුරුද්දේ ජුලි මාසෙ 11 වැනිදා දෙවැනි වරටත් මම දේවාල භාරකරු විදිහට පත් වුණා. තව වසර පහක් මම සීනිගම දේවාලයේ භාරකරු විදිහට වැඩ බලනවා. මට මේ වගකීම පරම්පරාවෙන් ලැබුණු දායාදයක් නෙමෙයි. මගේ සුදුසුකම් මත බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ලබා දීපු පත්වීමක්. මට ලැබුණු ඒ වගකීම දේවත්වයෙන් සලකනවා. මම නිතරම උත්සාහ කළේ දෙවොල් දෙවියන්ගෙන් ශාන්තියක් ප‍්‍රාර්ථනා කරගෙන එන මිනිසුන්ට එකී ප‍්‍රාර්ථනා ඉටුකරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. මගේ කාලය තුළ මේ දේවාලයේ විශාල සංවර්ධන වැඩ කොටසක් කෙරුණා කියලා මට විශ්වාසයි..... සීනීගම දෙවොලේ භාරකාරතුමාගේ කතාව අතරේම දියඹ දේවාලයට ගමන් කිරීමට අපි බෝට්ටුවට ගොඩ වීමු. ගල් පර මැදින් යන මුහුදු ගමන සුන්දරය. එහෙත් ගමන විනාඩි කිහිපයකට සීමා කර අප රැගත් බෝට්ටුව ගල් පරයක් අසල නතර විය. ගල් පඩි නැඟ ඉහළට ගිය අපට ඇසුණේ කපු මහතෙකු විසින් පලි දරන හඬය. කුඩා බංකුවක් මතට බර දී යාච්ක්‍දා කරන කපු මහතෙකු අසලම ඇන තියාගත් කාන්තාවක් ගල් පොත්තක මිරිස් අඹරන්නීය. ගල් පඩි බසිමින් අපි මිරිස් අඹරන ස්ථානයේ නතර වීමු. පළි දැරීමට පැමිණි තවත් බොහෝ පිරිසක් තමන්ගේ අවස්ථාව පැමිණෙන තෙක් බලා සිටිති. පළි දරන කාන්තාව කපු මහතා කියන වැකි මුමුණමින් ඇඹරුම්ගල අඹරමින් උස්සාවිත් නැවත ඉහළටම අඹරති. මම දේවාල භාරකරු දෙසට හැරුණෙමි. මගේ ප‍්‍රශ්නය තේරුම් ගත් භාරකාර සරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘මෙතැන මිරිස් අඹරන එක ගෙදර මිරිස් අඹරනවට වඩා වෙනස්. ඇඹරුම් ගල ඉහළට අඹරගෙන ගිහින් නැවත පහළට අඹරන්නෙ නෑ. එහෙම වුණොත් පළිගැසීම් ආපිට එනවා කියලා විශ්වාසයක් තියෙනවා. පළි ගසන කෙනාගේ ප‍්‍රාර්ථනාවට අනුව වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. දියඹ දේවාලයට ඇවිත් පළි ගහලා සතියෙන් දෙකෙන් ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච මිනිස්සු මෙතැනට ඇවිත් බාර ඔප්පු කරලා යනවා..... සිනාවත් සමඟ වචන මුමුණන සරත් මහතා ආපිට හැරී ගල් පඩියක් නැග්ගේය. එතැන ගල් ළිඳය. නිල් කැටයට දිළිසෙන පිරිසිදු වතුර අව් කූටයේ ද සීතලය. දිය දෝත විසි කර” බාර හාර සඳහා මෙන්ම දේවාලය වන්දනා කිරීමට පැමිණ සිටි බැතිමතුන් අතරින් අපි දේවාල භූමිය පුරා ඇවිද ගියෙමු. අවට මුහුදේ චමත්කාරයට මෙන්ම ඒ භූමියේ ඇති ශක්තියට කාලය ගතවනවා නොදැනිණි.
 ‘‘මෙතැන පුදුමාකාර විදිහට හාස්කම් තියෙන තැනක්. සුනාමියට මුළු සීනිගමම හෝදගෙන ගියා. ඒත් දේවාලයට මොනවත් වුණේ නෑ. ඒ දේවල් තිබුණු විදිහටම තිබුණා. මේ ස්ථානයේ තියෙන ශක්තිය ගැන කතා කරන්න ඕන දෙවියන්ට බාර වෙලා ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට වෙච්ච අයත් එක්ක. ඒ අය හරි අපූරුවට ඒ දේවල් විස්තර කරනවා.
 පහුගිය කාලේ රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙක් ඇවිත් දෙවොල් දෙවියන්ට බාරයක් වෙලා ගිහින් ලංකාවේ මිල කරන්න බැරි මැණිකක් ලැබිලා තිබුණා. ඒ සිද්ධිය ගැන පත්තරවල ලිපි කිහිපයක්ම පළ වෙලත් තිබුණා. පියන්ගල රජමහා විහාරයේ රත්තරං බුදු පිළිමය නැති වෙච්ච අවස්ථාවේ නායක හාමුදුරුවො ඇවිත් දියඹ දේවාලයේ පළි දරලා පන්සලට යනකොට පිළිමේ හොරකම් කරපු පුද්ගලයන් ගැන ආරංචිය ලැබිලා තිබුණා. ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා..... සීනිගම දේවාල භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා මොහොතකට නිහඬ විය. ඒ ඇසිල්ලෙන් සීනිගම දේවාලයේ ‘නොඇසූ හාස්කම්. ගැන එකිනෙකට විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන් මේ සතියට අපි නතර වීමු...
තරංග රත්නවීර
divaina

=======================================================================
උපුටාගැනීම්..සහිතයි...දයාබර..පාථක..සහෘදයිනි... ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Tuesday, July 16, 2019

අළුගල් ලෙන රාවණාගේ සේනාව පිළිස්සූ තැනද ? නිවී ගිය ගිනි කන්දක්ද ? ( alugal lena rawana අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ලංකාවේ අබ්රහස් ස්ථාන
දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ අතිශය වැදගත් රක්ෂිත වන පියසකි. යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක කඳු, හෙල්, උමං, ගුහා, දිය ඇලි, තැනිතලා වැනි ස්වභාවධර්මයේ නිර්මාණයන් සේම උරඟයින්, පක්ෂීන්, මාළුන් හා තවත් සතුන්ගේ උරුමකම් කියන මෙම වනපෙත මධ්‍යම පළාතේ උතුරු ප්‍රදේශයට ආසන්නව මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වලට යටත්ව පැතිර ඇත.
 මීට පෙර අප නකල්ස් වනයේ අබිරහස් ස්ථාන වූ ලකේගල හා රෑහැස්සේ ගුහාද, රාවණා රජුගේ මෘත දේහය ඇතැයි පැවසෙන යහන්ගල පිළිබඳවද තතු හෙළිකළ අතර අළු ගල්ලෙන යනු හුදෙක් සංචාරක ඉසව්වක සීමාවෙන් ඔබ්බට ගිය යටගියාවක් සහිත ස්ථානයක් බවට විස්තර සොයා ගත්තෙමු. 
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අළුගල්ලෙන යනු විවෘත ලෙනක මෙය පිහිටා ඇත්තේ නකල්ස් වන පෙතේ ඝන වනාන්තරයක් මැදය. නේක වෘක්ෂලතාදියෙන් වැසුණු කාලෙකට ඉහතදී එනසාල් වගාවෙන් සුපෝෂිත වූ වන පියසකය. මහනුවර සිට මහියංගණය පාරෙ හුන්නස්ගිරියට පැමිණ එතැනින් ලුල්වත්ත හරහා මීමුරේ දක්වා යන මාර්ගයේ කරඹකැටිය නම් ග්‍රාමයට ළඟා වී එතැන් සිට ඇති සම්මත සංචරණ මාර්ගය ඔස්සේ කි.මී. 9 ක් පමණ ගිය පසු අළුගල්ලෙන හමුවේ. 
එම මාර්ගයේ ගමන් කොට අලුගල්ලෙන සිට නංගප්පුවට යා හැකි අතර අළුගල්ලෙන සිට තංගප්පුව දක්වා ඇති දුර කි.මී. 10 ක් පමණ වේ. කරඹකැටිය සිට අළුගල්ලෙනට පැමිණ තංගප්පුවට යාම යනු සීඝ්‍ර කඳු නැගීමක් වන අතර නියත වශයෙන් දින දෙකක් වැය වන වෙහෙසකර ගමනකි. එම නිසා මහනුවර සිට තෙල්දෙණියට පැමිණ රංගල පාරේ කෙළවරට එනම් තංගප්පුව ගමට ළඟා වී තංගප්පුවේ සිට නකල්ස් කඳු පෙළට යන මාර්ගයේ ගමන් කොට අළුගල්ලෙනට පිවිසීම සහ පසුව කරඹකැටියට යාම පහසු වේ. මන්ද එම මාර්ගය කඳු බැසීමක් වන බැවිනි.
අළුගල්ලෙන පිහිටා ඇත්තේ නකල්ස් කඳු පන්තියටත් අලියා වැටුණු ඇළ කන්දටත් අතරමැද වන පියසේය. මීමුරේට සහ කොබෙට් කපොල්ලට සුපාහැදිලිව පෙනෙන අලියා වැටුණු ඇල කන්ද අළුගල්ලෙන ලෙස බොහෝ අය වටහා ගන්නා නමුත් අළුගල්ලෙන යනු කන්දක් නොව තනි කළුගලින් යුත් පර්වතයක් පමණක් බව බොහෝ අය නොදනිති. එම අළුගල්ලෙන පර්වතය තනි පර්වතයක් ලෙස පිහිටා ඇති අතර එය ගෝලාකාර වේ. නකල්ස් වනයේ ඇති අසාමාන්‍ය කඳු හා පර්වත අතර ස්පිනික්ස් කන්ද, යහන්ගල සහ මෙම අළුගල්ලෙන දැක්විය හැක. 
මන්ද ස්පිනික්ස් කන්ද සහ අළුගල්ලෙන කන්ද යනු කිසිසේත්ම කඳු මුදුනට තරණය කළ නොහැකි කඳු වේ. ස්පිනික්ස් කන්ද කොබෙට් කපොල්ල නොහොත් අත්තල වෙට්ටුව නිම්නයට පෙනෙන්නේ මුර සේවයේ යෙදී සිටින සිංහයෙකුගේ හැඩයක් විලසිනි. එසේම අළුගල්ලෙන යනු වක්‍රාකාර වූ තනි පර්වතයක් වන අතර කොපමණ ධාරානිපාත වර්ෂාවකදී වුවත් ලෙන තුළ පහසුවෙන් කූඩාරම් 8 ක් පමණ අටවා ගෙන නොතෙමී සිටීමට හැකි ඉසව්වක් වේ. මෙවැනි විරල ස්ථානයක් ලෙස අපට නක්ල්ස් හි පිහිටි දූවිලි ඇල්ලේ ඉහළ ඇල්ලේද ගත හැක. එයද ඇල්ල ඇතුලේ පිහිටි ගුහාවකි. 
ලකේගල විශ්ව ශක්තියේ තෝතැන්නක් ලෙසත් ලකේගල ගුහාවන් රාවණා රජුගේ යුද සේනා උපක්‍රමවලට ප්‍රයෝජනයට ගත් ස්ථාන ලෙසත් රැහැස්ස සහ උයන්ගොමුව නම් වන පියස රාමරාවණා යුද්ධය පැවැති ස්ථාන ලෙසත්, යහන්ගල තුළ රාවණා රජුගේ සිහිමුර්ඡා වූ දේහය තැන්පත් කොට තිබෙන ලෙසත් පුරාවෘත අනුව අභිරහස්මය ස්ථාන ලෙස නකල්ස් වන ​ෙපත තුළ පවතියි. මීට තවත් ආසන්නතම ස්ථානයක් වනුයේ අළුගල් ලෙනයි. අළු පිහිටි ගල්ලෙනක් ලෙස හැඳින්විය හැකි අළුගල්ලෙන හි ලෙන පිහිටි භූමියේ ඇත්තේ අළු පමණි. වර්ෂාවෙන් කිසිදු හානියක් එම අලු පිහිටි ප්‍රදේශයට සිදු නොවන අතර එහි කිසිදු ශාකයක් වර්ධනය වීමක් ද සිදු නොවෙයි. තවද එම ප්‍රදේශයට කූඩැල්ලෙකුවත් නොපැමිණෙන අතර එම අලු පිහිටි පොළොව තුළ කූඩාරම් අටවා සිටීමට හෝ මිනිස් ජීවිතයක් සැරිසැරීම තුළ කිසිදු හානියක් සිදුනොවන ස්ථානයක් වේ. 
රංගලට පැමිණි අප කොටගඟ ගම් පියසට පිවිස කොටගඟ කන්ද ප්‍රථමයෙන් තරණය කළේ කොට ගඟ විසින් එම කන්ද මුදුනේ සිට පහළට වැටෙන ජල දහරාවෙන් නිර්මාණය කරන අලංකාර දියඇලි හතද නරඹමිනි. විවිධ උස් මට්ටම් වලින් විවිධ හැඩවලින් යුත් එන දිය ඇළි පහළ සිට ඉහළට නරඹමින් මහ වන මැද දුෂ්කර චාරිකාව අප පටන් ගන්නේ උදෑසන හයේ කණිසමේ සිටය. 
 හරිත පැහැගත් වන පියසේ ළා හිරු රැසට ප්‍රබෝධමත් වූ තේ යායක් මැදින් චිරි චිරියේ අතරින් පතර ගලාගෙන යන දිය කඩිත දිය සීරා මැදින් කොටගඟ නිසොල්ව ගලාගෙන යනයුරු අප දුටුවෙමු. ඈත සිට දියඇළි සියල්ලම දැක ගැනීමට හැකිවූ අතර ක්‍රමයෙන් අප මහා පඳුරු පීරාගෙන කූඩැල්ලන්ගේ ප්‍රහාර මැද ක්‍රම ක්‍රමයෙන් කොටගඟ දිය ඇළි සත තරණය කර කන්ද මුදුනට පැමිණියෙමු. 
පසුව ගලාගෙන එන ජල ප්‍රවාහය දිගේ කිලෝ මීටරයක් පමණ ගිය පසු අපව තංගප්පුව සිට නකල්ස් යා හැකි අඩි මාර්ගය හමුවිණි. එම අඩි මාර්ගය දිගේ නකල්ස් දෙසට තවත් කිලෝ මීටරයක් පමණ අප ගමන් කළ අතර එහිදී අපට කොටගඟ තැන්න දැකගැනීමට ලැබුණි. 
නකල්ස් වනපෙත් සැඟව තිබෙන අලංකෘත පතන හා තැනිතලා වන ගිනිකෙළිය පතන, රැහැන කෙටු පතන, වෙලන්ගොල්ල පතන, කොමලෑවේ පතන, පිටවල පතන සේම කොට ගඟ පතනද තුරු ශාක පිරි විටෙක හෝර්ටන් තැන්න ලෙස අත්විදිය හැකි ස්ථානයක් විය. ගුවනට විවෘත විශාල ප්‍රදේශයක් වූ එහි කුරු ශාක පමණක් තිබූ අතර නොඉඳුල් ජල මුලාශ්‍ර කිහිපයක් ද චිරි චිරියේ අතරින් පතර ගලාගෙන යන්නට විය. 
කෙසේ හෝ නකල්ස් කඳු පියසට හා අළුගල්ලෙන මාර්ගය බෙදෙන ස්ථානය හමුවූ අතර ඉන් දකුණු මාර්ගය දිගේ පහළට ගමන් ඇරඹුවෙමු. ඝන කැලයකින් අවට වැසුණු අතර ගුවනත නොපෙනන ​ෙලසම තුරු වියත සැදී තිබුණි. අළුගල්ලෙන් දක්වා කි.මී. 5 ක් පමණ ඇති අතර එම මාර්ගය තුළ දිය දහරාවන් දුසිමකට වැඩි ප්‍රමාණයක් අපට හමුවුණා. 
ඒ සමඟම කුඩා ගුහා පිහිටි ගල් පර්වත කිහිපයක්ද දැක ගත්තෙමු. විටෙක පසෙකින් මහා හෙලක් වූ අතර විටෙක එනසාල් අතු අතරින් වැටුණු පොළව නොපෙනන මාර්ගයක් විය. සුදු මීදුමෙන් වන පියස වෙලා ගෙන අත්භූත සිනමා පටයක භයංකර සිතුවමක් පසක් කරලීය. අඩිය තබන තබන තැන එල්ලෙන ලේ උරා බොන්නන් ගලවා වීසි කිරීමට තරම් වේලාවක් හෝ ප්‍රයෝජනයක් නොවුයේ සවස දෙක පමණ වන විට මහා වර්ෂාවත් පතිත වූ නිසාවෙනි. 
වර්ෂාව මධ්‍යයේ අප සවස 4 වන විට අළුගල්ලෙනට පැමිණියෙමු. හාත්පසම ඝන මීදුම වූ අතර මහ වන මැද තනිව මහා වර්ෂාව මැද කූඩාරම් අටවා ගත්තේ මෙහි වර්ෂාවට හොඳම විසඳුම තිබූ නිසාවෙනි. අළුගල්ලෙන නකල්ස් හි පිහිටි ගුහා අතරින් සුවිශේෂි වේ. මන්ද ස්වභාවිකවම පිහිටි මෙම අළුගල්ලෙන මීට වසර ගණනාවකට පෙර සිට අවට ගම් වල ජීවත් වූ දඩයක්කරුවන්ගේ සහ එනසල් වගාකරුවන්ගේ නවාතැන් පොළක් වූ හෙයිනි. 
අළුගල්ලෙන අපේ පිහිටීම සම්බන්ධව එක් කතාවක් වනුයේ අතීතයේ පටන් ගැමියන් සහ දඩයක්කරුවන් නවාතැන් පොලක් ලෙස මෙය භාවිත කිරීමේදී ගිනි මැල දැල්වීම මතු මෙලෙස අළු තැන්පත් වූ බවයි. නමුත් යථාර්යානුකූලව විමසන විට එය කාලාන්තරයක් මුළුල්ලේ වීමේ සත්‍යතාවයක් ප්‍රායෝගිකව පිළිගත නොහැක. මන්ද දර පිළිස්සීමෙන් හට ගන්නා අළු බොහෝ විට සුළගම මුසුවේ. 
එලෙසම කාලාන්තරයක් මුළුල්ලේ සමස්ත ලෙස පරිශ්‍රය තුළ ගිනිමැල දැල්වීමට අවශ්‍යතාවක් නොමැති වේ. දඩයම් ගිය උන් හෝ එනසල් වගාකරුවන් වුව එක් ස්ථානයක් ගිනිමැල දල්වා රැය පහන් කිරීමටත් ආහාර සකසා ගැනීමටත් තබා ගැනීම සුදුසු හෙයිනි. සමස්ත ලෙන පුරාවට එකම ආකාරයේ අළු තට්ටු ගණනින් තැන්පත් වී ඇත. මෙය හුදෙක් දර පිළිස්සීමෙන් පමණක් වූ බවට පිළිගත හැකි ප්‍රායෝගිකතාවයක් නොමැත. 
අළුගල්ලෙන හා සබැදි අනෙක් පුරා වෘත්තය නම් රාම රාවණා යුද්ධයේදී මියැදුණු සේනාවගේ සිරුරු පුළුස්සා දැමූ ස්ථානය බවය. එනම් ලකේගල ආශ්‍රිත උයන්ගොමුවේ සටන් වැදුණු රාම රාවණාගේ සේනාවන් එකිනෙකා මරා ගත් අතර එසේ මියගිය අයගේ සිරුරු අළුගල්ලෙන තුළ පුළුස්සා ඇති බවය. එම නිසා මෙපමණ තට්ටු ප්‍රමාණයක් අළු පොළොවේ තැන්පත් වී ඇති බවය. මන්ද මෙම පොළොව තුළ බොහෝ ඇත්තේ අළු පමණක් වන හෙයිනි. පුරාවෘත්තය අනුව නකල්ස් හා රාම රාවණා යුද පෙරහැර සම්බන්ධ වූ ස්ථාන කිහිපය අතරම අළුගල්ලෙනත් අයත් වන අතර මෙම තනි පර්වතය කිසිදු අවශේෂ කන්දකට හෝ පර්වතයකට සම්බන්ධ වූ විශාල තනි ගල් කුට්ටියක උසින් මීටර 100 කට වඩා වන මෙම දැවැන්ත ගල ගෝලාකාර බව අප සමග ගිය මාර්ගෝපදේශක මහතා පැවැසීය. ඔවුන් කුඩා කළ පවා අළුගල්ලෙන අළු තිබූ බවටත් මෙම පර්වතය ඉහළට කිසිදු කෙනෙකුට නැගිය නොහැකි බවටත් යම් නිධන් වස්තු පර්වතය මුදුනේ ඇති බවටත් ඔවුන් පැවැසීය. 
කෙසේ හෝ රාවණාගේ දඬු මොනරය මේ අවට ගොඩබැස්වූ ස්ථානයක් ලෙස අලුගල්ලෙන සැලකිය හැකිද නැත්නම් මෙම අස්වාභාවික ගලේ පිහිටීම තුළ යම් අබිහරසක් තැන්පත්ව තිබේදැයි තවම කිසිවෙකුත් පර්යේෂණ කර නැත. කෙසේ හෝ ගොම්මන් අඳුර වැටී ගෙන එන විට අපද පෙර භාවිතා කොට තිබූ ගිනි මැලයට අපගේ භාවිතයට ගත් අතර ලෙන තුළ ගඩොල් තබා කුඩා කාමරයක් ලෙස සකස් කළ ඉසව්​ෙව් ගල් ඇඳ මත සියල්ලෝ සිට ආහාර ගත්හ. කෙසේ හෝ රාත්‍රිය උදාවූ පසු නින්දට යාමට සැරසුණු අතර භාගෙට නිවී යන ගිනිමැලය විනා වෙනත් කිසිදු ආලෝකයක් පරිසරය තුළ නොවීය. 
අළුගල්ලෙනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්මත සංවරණ මාර්ගයක් ඇති අතර සමස්ත නකල්ස් වනපෙත තුළම අවසර සහිතව කඳවුරුලා සිටිය හැක්කේ දෝනලුගල හා අළුගල්ලෙන කඳවුරු භූමි තුළ පමණි. අළුගල්ලෙන අයිනකින් බට ආධාරයෙන් ජලය ලබා ගැනීමට ක්‍රමයක් ඇති අතර අනෙක් පසින් මඳක් වනපියස තුළට ගිය විට දිය දහරාවක් දැකගත හැක.
මෙම මහා පර්වතය වටා ඇවිදීම අතිශය දුෂ්කර සේම පර්වතය මුදුනත බැලීමෙන් බොහෝ විට දුෂ්කර විය. ඒ මීදුමෙන් පර්වත මුදුන වැසී ඇති හෙයිනි. රාත්‍රී නින්දට ගිය සියල්ලෝ පසුදා පහන් වන විට නැගිට ගත් අතර පෙරදින වර්ෂාව එලෙසින්ම නොකඩවා ඇද හැළෙමින් පැවතුණි. නමුත් ඉඩ සහිත සුවපහසු ලෙන තුළට වර්ෂාවෙන් හෝ වර්ෂා ජලයෙන් කිසිදු හානියක් සිදු නොවුණි. උදෑසන ආහාර ගත් අප කරඹකැටිය ගම්මානය වෙත පියමං කිරීමට පටන් ගත්​ෙත් නැවතත් මොරසූරන වර්ෂාවේ එනසාල් කැළය මැදින්ය. 
චිරි චිරි වරුසාව කොළ පාට ගස් මුදුන් අතරින් පතර දැවටී බිමට වැටෙන්නට විය. අතිශය ලිස්සන සුළු මාර්ගයක් වන මෙම කොටසේ පවතින බෑවුම අධිකය. පසෙකින් අඳුරු හෙළ පිහිටා ඇති අතර බොහෝ ස්ථානවලත් දිය දහරාවන් ඇද හැලෙන්නට විය. මඩ සහිත ලිස්සන අඩි පාරේ ස්ථාන කිහිපයකදී පස්සා බිම වැදෙන ලෙස ලිස්සූ අප කෙසේ හෝ ආරක්ෂාකාරී ලෙස ගල් කුට්ටි අතරින් පහළට බැස ගත්තෙමු. එක්තරා ස්ථානයකදී දෙපසින් දිය ඇලි දෙකක් කඩා වැටෙන ස්ථානයක් විය. එහි සුළු වේලාවක් ගත කොට එහි සුන්දරත්වය වින්දෙමු. අධික වර්ෂාව නිසා දිය ඇළි දෙකෙහි ජලය ඉතිරෙන්නට විය. කූඩැල්ලන්ද අප මෙන් එය නරඹන්නන් බව දුටුවේ කලිසම පුරා සපත්තු මතින් උන් උඩට ඇදෙන විටය. 
පසුව අප තවත් දුර බසින කල කුඩා ගුහාවක් හමුවුණ ගුහාවට එපිටින් පිහිටි පහළට වැටෙන ජල දහරාව හරහා අප සීරුවට අඩි තබා අනෙක් පසට පැන්නේ පොඩි වැරදීමකින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ස්ථානයකින්ය. පුරා හෝරා දෙකක් මුළුල්ලේ එක එල්ලේ නොනැවතී අප පහළට බසින්නට වූ අතර නඩය එකා පිටුපස එකා ගමන් කළේ පටු අඩි පාර හෙයිනි. ඉතා විශාල කන්දක් බසිමින් අප පැමිණි අතර වර්ෂාව අඩුවක් නම් නොවීය. 
ගමනේ අවසන් ඉසව්ව වූයේ කරඹකැටිය ඔය තරණය කිරීමයි. හෙණ හඬ නංවමින් ගල් කුළු මතින් පැන දිය රැලි පෙණ පිඬු නංවා පහළට ඇදෙන කරඹකැටිය ඔය වර්ෂාව නිසා දැඩි ලෙස ප්‍රචණ්ඩ වී ඇත. ගඟේ ඉහළ කාලය තුළින් මද දුරක් ගිය පසු ජලයට බැස අනෙක් පසට යා හැකි ස්ථානයක් සොයා ගත්තෙමු. බෑග් සියල්ල හිස මත තබාගෙන එකිනෙක අත් අල්ලා ගෙන ඔයට බැස්සේ පපුව පමණ තෙක් ජලයේ ගිලී මෙනි. අඩි 4 කට වැඩි ගැඹුරු ජල කඳ සියල්ලෝ තරණය කොට ගම්මානයට යන අඩි මාර්ගයට ආවෙමු.  
දවල් දොළහ වන විට කරඹකැටිය ගම්මානයට පැමිණ අප කොබෙට් කපොල්ල තෙක් නැවත ප්‍රධාන මාර්ගයේ ගමන් කොට එතැන් සිට තංගප්පුවට ඇති පර්ඩේල් මාර්ගය ඔස්සේ සවස 4 වන විට බස්රථය අසලට ආවෙමු. දින දෙකක් පුරාවට නකල්ස් වනයේ පිහිටි දිය ඇලි සොළොසක් පමණ නරඹමින් අබිරහස් ගල්ලෙන වන අළුගල්ලෙන රාත්‍රිය ගත කොට නැවතත් ආරක්ෂාකාරී ලෙස ගමන නිම කළේ පුරා පැය 12 කට අධික වර්ෂාවේ ගැවසෙමිනි. අළුගල්ලෙන පිහිටි අළුවල අබිරහස් පොළ වංශයේ කුමන හෝ සිද්ධියක සම්බන්ධ බවත් එහි අරුමය තවමත් අප සිත් තුළ තබමින් ගමන නිමා කළෙමු.
සංචාරක සටහන සහ ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
================================================= 

උපුටා ගැනීම් සහිතයි ....! දයාබර පාථක සහෘදයිනි....!
ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Monday, July 15, 2019

බෙරගල කන්දේ යක්ෂයාගේ ආසනය......(beragala kanda Devil's Seat sri lanka haputhale haldummulla Devils Staircase Route අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ක්‍රියාදාම චාරිකා
හපුතලේ කන්ද නොහොත් හල්දුම්මුල්ල බෙරගල පසුකොට හපුතලේ දක්වා ඇති බදුලු මාර්ගයේ එම කොටස ඉතා අසීරු හා දුර්ග ගමනක් බව ආදි කරත්ත කවිවල පවා සඳහන්ය. බෙලිහුල්ඔය පසුකොට කලුපහන හන්දියෙන් ඇරඹෙන ගලපිටගල අත්භූත මානව රූපය සමග සමීපව තිබෙන යක්ෂයාගේ පඩි පෙළ නම් මාර්ගය ඉදල්ගස්හින්න අසල දී තංගමලය රක්ෂිතයේ පිහිටි යක්ෂයාගේ ආසනය අසලින් දුර්ගය නැවතේ. මේ ස්වභාවික නිර්මාණ එකිනෙක අතර පවතින සමානකම් සොයා යක්ෂයාගේ පඩිපෙළ දිගේ යක්ෂයාගේ ආසනය සොයා ගිය ක්‍රියාදාමය මෙසේය.  
ලොවට හුදෙකලාව තිබූ ලංකාවේ අතිශය දුෂ්කර දුර්ග මාර්ගය වන යක්ෂයාගේ පඩි පෙළ මාර්ගය (Devils Staircase Route) යනු මෑත කාලයේ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වූ සංචාරක ඉසව්වකි. (Hiking Destination) ඊට හේතුව වනුයේ අතිශය අබලන් දුර්ග මාර්ගය ඉතා සුන්දර ඉසව්වලින් ගමන්කොට පසෙකින් හෝර්ටන් තැන්නටත් තවත් පසෙකින් ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්දටත් ළඟා විය හැකි බැවිනි.  
යක්ෂයාගේ පඩි පෙළ චාරිකාව මීට සය වසරකට පෙර සම්පූර්ණයෙන් සිදුකළ ද නැවතත් ඒ සුන්දරත්වය අභියෝගාත්මකව විඳිමින් තවත් සැඟව තිබෙන අපූරු ඉසව්වක් සොයා යාම අද චාරිකාවේ අරමුණ විය. එය නම් යක්ෂයාගේ ආසනයයි. (Devil's Seat) එය පිහිටියේ මීටර 1780 ක් පමණ උසැති බෙරගල කන්දෙ මිනිසෙකුට ළඟා විය නොහැකි දැවැන්ත ගල් කුට්ටියක බෑවුමේය. එහෙයින් ඊට යක්ෂයාගේ ආසනය ලෙස හඳුන්වනු ලබයි. මන්ද යක්ෂයකුම විනා මිනිසෙකුට එම ආසනයෙ හිඳ ගැනීමට නොහැකි බැවිනි.
යක්කු සම්බන්ධිත මෙම චාරිකාව පුරුදු පරිදි අප කලුපහන හන්දියෙන් බඹරකන්ද ඇල්ල දෙසට හැරවූයේ සොළොස් වන වතාවටත් ලංකාවේ සුන්දරම උසම දිය ලලනාවියගේ හඬ බැලීමටයි. ගලපිටියාය පසුකොට නාරංගොල්ල ඔය පාලම පසුකොට වංගෙඩිගල සිට ගොම්මෝලිය දක්වා බලතුඩුව කන්ද අතරින් දිවෙන කඳු යාය නෙතු මානයේ රඳවාගෙන පැරණි මතකය ආවර්ජනය කරමින් අපි බඹරකන්ද දියඇල්ල අසලට පැමිණියෙමු. වසර කිහිපයකින් පසු අප මෙහි පැමිණි නිසාදෝ මේ අවට පෙරට වඩා තරමක දියුණු මට්ටමක තිබෙනු දැකගත හැකි විය. කුඩා වෙළෙඳසැල් සහ නවාතැන් ස්ථාන සේම වාහන නැවැත්වීමට ස්ථාන පවා සොයා මාර්ගයට ද ගල් අතුරා සුන්දරව තිබෙනු දක්නට ලැබුණි. බඹරකන්ද දියලලනාවියගේ අලංකාරය බලා අපි උදැනැක්ම ගමන ආරම්භ කළේ කඳු මුදුනේ පෙනෙන වී කැපුම (V cut) නම් ස්ථානයට යතුරුපැදියේම ගමන් කළ යුතු නිසාවෙනි.
හෙමි හෙමින් කුඩා මාර්ගය දිගේ අප ඉදිරියටම ගමන් කළේ ප්‍රදේශය වසාගෙන සිටින මීදුම් සළු ඈත්වන විට එළිදකින සුන්දරත්වයද විඳිමිනි. මෙසේ අඩහෝරාවක ගමනකින් පසු අප බඹරකන්ද කඳු වැටිය අවසන්වන ඉහළ ස්ථානයට පැමිණි අතර එය වී කැපුම ලෙස හඳුන්වන්නේ මින් එහාට මාර්ගය යන්නේ කන්දක් කපා හෙළිකරගත් ඉසව්වකිනි.  
කඳු මුදුනේ ඇති අතැර දැමූ අට්ටාලය
මෙතැනට සුපුරුදු පරිදි මීටර් ගණනක් පහළින් වංගු ගැසී යන බඹරකන්ද අවට මාර්ගය දැක ගත හැකි අතර අප ගමන නැවත පවතින්නේ වෙනමම ඉසව්වකට ඇතුළු වෙමිනි. අප  වෙස්ට් හපුතලේ පසුකොට උඩවේරිය වත්ත දක්වා යා යුතුය. මෙම මගේ දුෂ්කර බව සහ අවදානම් බව දන්නා නිසාම ඊට සුදුසු යතුරුපැදි තත්ත්වයන්ගෙන් අපි සන්නද්ධ වී සිටියෙමු.  
ක්‍රමයෙන් අප ළඟා වූයේ ලංකාවේ උසම දියඇල්ල නිර්මාණය කරන බඹරකන්ද දිය ඇල්ලට යන ජල පහර අසලය. එම දිය දහරාව ගමන් කරන්නේ මාර්ගය මතිනි. මීටර් 5 ක් පමණ පළලැති එම ජල කොටස වාහනයකින් කුමන අවස්ථාවක වුව ද ගිය ද තරණය කළ හැකිය. නමුත් ජලය වැඩි දිනවල දී එය පයින් තරණය කිරීම අවදානම් වන බැවින් ඊට යාබදව කුඩා අඩි පාලමක් තනා ඇත. මෙවර ජල කඳේ එතරම් වැඩියක් නොවූයෙන් පැහැදිලිව අපි එය තරණය කළෙමු.
ඉන්පසු අප තවත් ඉහළට ගමන් කළ අතර එහි දී ලංකා ඇල්ලත් යහලතැන්න ඇල්ල පිහිටි වනගත පියසත් දැක ගත හැකි විය. බෙලිහුල්ඔය දැවැන්තයින් නිසොල්මනේ නැගී සිටින අතර පසෙකින් නාරංගොල්ල කන්ද දක්නට ලැබුණි. මෙම මාර්ගය අතිශය දුෂ්කරතා කළු ගඟ සිට උඩවේරිය හරහා මෙම මාර්ගය සම්බන්ධ වනුයේ ඔහිය සිට හෝර්ටන්තැන්නට යන මාර්ගයටයි. ඒ දක්වා මෙම දුෂ්කර මඟේ දුර දළ වශයෙන් කි.මි. 20 ක් පමණ වේ.
බෙරගල කන්ද
නමුත් ගල්බොරලුගල් පතුරු සහ විශාල වළවල් පිරී මෙම මගේ මෙම කුඩා දුර ගෙවා යාමට නිසැක වශයෙන් හෝරා දෙකකට වැඩි කාලයක් ගතවේ. තවද අවශේෂ දියඇලි හා සුන්දර මිටියාවත් කඳු ශිඛර නරඹමින් මෙම පාරිසරික අසිරිය විඳිමින් යන විට නිතැතින්ම පැය 5 කට අධික කාලයක් වැය වනු නොඅනුමානය.
අතීතයේ යක්ෂයාගේ පඩිපෙළ යනුවෙන් හැඳින්වූයේ මෙම මාර්ගයේ එක්තරා කුඩා කොටසක් පමණි. එනම් පඩි පනස් ගණනක් සහිත එක්තරා ස්ථානයක් පමණි. සුදු මහත්වරු එකල මෙම මාර්ග සාදන විට එම කොටසේ අධික දුර්ගයට පිළියමක් වශයෙන් පඩි යොදා සකස් කළ බැවින් එම දුෂ්කර කොටස යක්ෂයාගේ පඩි පෙළ කියා හඳුන්වයි. නමුත් පසුකාලීනව ප්‍රවාහනයේ ඇතිවූ දියුණුව හේතුවෙන් එම කොටස සම්පූර්ණයෙන්ම සමතල කොට අඩි 5 ක් පමණ පළල වන සේ මාර්ගය නිමවා ඇත. කෙසේ වුවද මෙම මාර්ගයේ අදටත් යා හැක්කේ දෙපයින් යතුරුපැදි හා සංචාරක ජීප්රථ (4WD) ලොරිරථවලින් පමණකි.  
අවශේෂ දිය දහරාවන් රැසක් දකිමින් නම් නොමැති අලංකාර කඳු මිටියාවත් අතරින් ඇදෙමින් ​හෝර්ටන් තැන්නේ බෑවුමේ පිහිටි මෙම මාර්ගය දිගේ යක්ෂයාගේ පඩි පෙළ නම් කොටස පසුකර අප ළඟා වූයේ උඩවේරිය ගමටයි. මෙම කි.මි. 20 ක මාර්ගය තුළ ගම්මාන ඇත්තේ 5 ක් පමණ වන අතර මුළු වනගහණය 1500 ක් පමණ වේ. ගම් පිහිටියේ ද විශාල දුරක වන බැවින් සමස්ත මාර්ගයෙන් හතරෙන් තුනක් පමණ ඇත්තේ පාළු හුදෙකලා වනගත ඉසව්වක් හරහාය. එබැවින් ඔබ ගමන් කරන වාහනය කුමන හෝ ආපදාවකට ලක්වුවද පිළිසරණක් පැතීමට කිසිවෙකුත් ඔබට හමුනොවනු ඇත. තවද මෙම ප්‍රදේශය තුළ ක්‍රමවත් යටිතල පහසුකම් හා වෙළෙඳසල් කිසිවක් නොමැති බව මතක තබාගන්න.
කන්ද මුදුණේ තිබූ මිනින්දෝරු සටහන
උඩවේරිය වත්තට පිවිසි අප දුටුවේ ඌව පළාතේ උඩ කන්ද වන උඩවේරිය පළමු කන්ද සහ දෙවන කන්දයි. ඊට පසෙකින් නාරංගොල්ල ඔය ගලා යන්නේ සුන්දර බුමර ඇලි දාමය නිර්මාණය කරමින් තවමත් මිනිස් පහස නොලත් බඹර ඇලි යනු අතිශය දුෂ්කර දුර්ගයක පිහිටි තවමත් සොයාගෙන නොමැති දිය ඇලි පිරුණු ඉසව්වක හිරුඑළියට පොබවූ උඩවේරිය කඳු යුගලය අතරින් උඩවේරිය සිට ඉදල්ගස්හින්නට යන කුඩා අඩි මාර්ගය වූ අතර පසෙකින් හෝර්ටන්තැන්න පිහිටි කඳු මුදුනේ දුප්පතාගේ කුඩා ලෝකාන්තය යන්තමින් නිශ්චය කරගත හැකි විය.  
උඩවේරිය ග්‍රාමය තවමත් එදා මෙන් සුන්දර විය. දුෂ්කර බව පිරුණු ගැමිකම තවමත් ඔවුන් තුළ තිබෙනු අපි දුටුවෙමු. එම නිසාම යතුරුපැදි මගින් එම ප්‍රදේශයේ මදක් සැරසැරූ අපි නැවතත් ගමන අරඹා හෝර්ටන්තැන්නට මාර්ගය සම්බන්ධ වන හන්දියට පැමිණියෙමු. ඉන් දකුණට හරවා ඔහියට ගමන් කොට පසුව බොරලන්දටත් එහි සිට හපුතලේ මාර්ගයේ ගමන්කොට ඉදල්ගස්හින්න පසුකොට හපුතලේ නගරයට කිට්ටුවෙන් එක් ස්ථානයකින් අපේ මාර්ගයෙන් දකුණු පසට හරහා ඉදිරියට ගමන් කොට පිවිසියේ ඉතාමත් අබලන් පටු මගකටයි. යක්ෂයාගේ පඩි පෙළ දුර්ගය නිමා කොට අප මීළඟට සැරසුණේ සමස්ත යක්ෂයාගේ පඩිපෙළ පිහිටි ඉසව්ව දර්ශනය වන යක්ෂයාගේ ආසනය සොයා වනගත වීමටයි.  
යක්ෂයාගේ ආසනයේ සිට උඩවේරිය දක්වා
මෙතැන් සිට අප යා යුත්තේ ජී.පී.එස්. (GPS Maps) සිතියම්වලට අනුවය. මන්ද යකාගේ ආසනය පිහිටි බෙරගල කන්ද යනු බෙරගල හන්දියට පෙනෙන කුඩා ඉසව්ව පමණක් නොව ඉන් එහාට විහිදුණු දැවැන්ත කඳු මුදුනක් වූ බැවිනි. මෙය අපට වඩාත් නිවැරදිව සහ පැහැදිලිව දැක ගැනීමට හැකිවන්නේ ඉදල්ගස්හින්න කඳු මුදුනට ගිය විටදීය. බෙරගල කන්ද ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පිටුපසින් දැකගත හැකිය. බෙරගල කන්ද පිහිටියේ තංගමලය නම් රක්ෂිත වනාන්තරය තුළය. පසෙකින් හපුතලේ බෑවුමත් පසෙකින් ඉදල්ගස්හින්න හපුතලේ දුම්රිය මග හා ඇඩිෂන් බංගලාවත් පිහිටි තංගමලය වනපියස යනු සුන්දර වනපියසකි.  
බොහෝ වනජීවී දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයන් තංගමලය වනයට පිවිසෙන්නේ පක්ෂීන් සහ අනෙකුත් සත්ව ඡායාරූප ගැනීමටය. දිවියා, වල් ඌරා, ඉත්තෑවා, හාවා, ඕලු මුවා, ගෝනා, දඬුලේනා සහ පක්ෂි විශේෂ මෙහි සිටින අතර බොහෝවිට හෝර්ටන්තැන්න මීට ආසන්න වූ තැනින් සතුන් මෙලෙස සංචාරය කිරීම සිදුවේ.
තේ වත්තේ අවසානය
පටුමාර්ගය දැවැන්ත වළවල් සහිත ලිස්සන සුළු බෑවුම් හෙල්වලට සමාන්තර මගක් දිගේ ගමන් කොට එක්තරා ස්ථානයකට පැමිණියේ ඉන් එහාට වාහනයකින් යාමට නොහැකි වූ හෙයිනි. යතුරුපැදි නැවතු අපි ඉදිරියේ වූ අඩි මාර්ගය දි​ගේ GPS සිතියමට අනුව කන්ද තරණය පටන්ගත යුතු පහසුම ස්ථානය සොයා ඇදුණෙමු. අඩ හෝරාවක් ගත වන විට අපි තේ වතු අතරින් යමින් මිනිස් පුළුටක් නොමැති ඉසව්වේ අපට නියමිත ස්ථානයට පැමිණියෙමු. මෙතැන් සිට අඩි මාර්ගය මගහැර සෘජුවම වනයට රිංගා ඉහළට ගමන් කළ යුතු වූ බැවින් අපි මාන කැලයට පිවිස ගමන ආරම්භ කළෙමු. නිරෝෂ් සොයුරාගේ කැමරාවට විවේකයක් නොලද අතර ඉදිරියෙන් මධුශංඛ සොයුරා මග සාදාගෙන ගමන් කළේ අප නියම කළ පැමිණි සිතියමට අනුවය.  
තවත් හෝරාවක් ගත වන තැන අපි මාන පඳුරු හා ගල් කුට්ටි අතරින් යමින් පයිනස් ගස් පිහිටි කන්දේ ඉහළට පැමිණියෙමු. මෙම කඳු මුදුනේ පැහැදිලි ගල් තලාවක් හෝ නැරඹුම් ස්ථානයක් නොමැති බව අපි කල්තියාම චන්ද්‍රිකා ඡායාරූප හා සිතියම් නිරීක්ෂණයෙන් දැන ගත්තෙමු.
හෝර්ටන් තැන්න පෙනෙන අයුරු
කෙසේ නමුත් කන්දේ කෙලවරවල් වෙත ගමන් කොට අවට පරිසරය නැරඹිය හැකි ස්ථානයක් සොයා ගැනීමට අප අදහස් කළේ පයිනස් කැලය අතරින් සමතලා බිමේ ඇවිද යන ගමන්ය. එකෙණෙහිම අපි කැලය තුළ වූ ගල්තලාවකට ළඟා වූ අතර එහි වූ ගෝනෙකු අපි දැක බියට පත්ව වන පියස අතරින් දිව ගියේ ඇසිල්ලකිනි. අඛණ්ඩ දුෂ්කර කඳු තරණයක නියැළුණ හෙයින් ගතේ විඩාව යනු පිණිස අප ගල්තලාව මත වැතිර ගත්තෙමු. එහිදී අප ගෙන ආ බිස්කට් සහ ජලය පානය කර සිතියමේ පරිදි කන්දේ උසම ස්ථානය සොයා කඳු ගැටය කෙළවර දිගේ යාමට අපි සූදානම් වුණෙමු.  
පසුව අප මීටර් 1700 ට ඉහළින් පිහිටි කන්දේ එක්තරා කෙළවරකට පැමිණි අතර එහි දී අපට හක්ගල කඳුවැටිය, පිදුරුතලාගල, තෙබු පලකන්ද, වැලිමඩ හා ඉන් එහාට පරිසරය දැක ගැනීමට හැකිවුණි. එහිදී අසල වූ ගසකට නැග තවදුරටත් නිරීක්ෂණයේ දී කන්ද බටහිර දෙසට යන බැවින් අපි එදෙසට ගමන් කළෙමු. ක්‍රමයෙන් තංගමලය රක්ෂිතයේ උසම ඉසව්වට ළඟාවනු අපට දැනුණු අතර වසර ගණනකට පෙර භාවිත කර ඉවත් කරන ලද විශාල ඉටි රෙද්දක් තිබෙනු අපි දුටුවෙමු. එහි ළඟා වූ පසු අපි ඊට ඉහළින් පිහිටි කඳු ගැටයට නැග ගත්තේ ඇසිල්ලකිනි.
හපුතලේ සිට ඉදල්ගස්ඉන්නට යන දුම්රියක්
එහි දී අපගේ වෑයම සාර්ථක කරමින් කන්දේ උසම ස්ථානයට අප ළඟා වූ බව දැනගත්තෙමු. එනම් මිනින්දෝරු සලකුණ එහි වූ හෙයිනි. කුඩා ඊතලයක් වැනි හැඩය කුඩා කොන්ක්‍රීට් කොටසක පොළොව තුළ මඳක් ඉහළට එක ලෙස නිමවා තිබූ අතර එම ඉසව්ව ලී යොදා ආවරණය කොට තිබුණි. මාස කිහිපයකට පෙර මෙම කර්තව්‍යය කරන්නට ඇතැයි සිතුණේ තවමත් කුඩා අට්ටාලයක් එහි තිබූ හෙයිනි. කොන්ක්‍රීට් වැඩවලට ගෙන ආ ඉටිරෙද්ද පසක වූ අතර අපට කඳු ගැටයේ කෙළවරට ළඟා වූ පසු දැක ගැනීමට හැකි වූයේ මෙම කන්දෙන් වෙන්ව අඩි කිහිපයකි. දුරින් පිහිටි විශාල තනි කඳු ගැටයකි.
එය යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටය වූ අතර ඊට ළඟා වීමට අපට කිසිදු ක්‍රමයක් නොවීය. මන්ද අඩි ගණනක දුර වුවද කඳු දෙක අතර පිහිටියේ මීටර් ගණනක හෙලකි. එබැවින් යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටයට අපට යාමට කිසිදු ක්‍රමයක් නොවීය.
එම නිසාම අපි කන්දේ අනෙක් පසට ගොස් යක්ෂයාගේ ආසනය දැක ගත්තෙමු. සෘජුවම පහළ පොළොවේ සිට මීටර 150 ක් පමණ ඉහළට විහිදුණු කළු ගල් පර්වතයේ බෑවුමට මුහුණලා ආසනයක් ලෙස ස්වභාවිකවම සෑදුණු ගල් පර්වත කොටසක් ඉදිරියට නෙරා තිබුණි. පහසුවෙන් පුටුවක වාඩි වන ආකාරයට එහි හිඳගත හැකි පරිදි එය තිබුණා.  
නමුත් එහි අසුන්ගෙන ඉදිරියට මදක් හෝ පාත්වුවහොත් සෘජුවම ඔබ මීටර් 150 ක් පමණ පහළට වැටෙනු ඇත. මන්ද එම ආසනයේ තුන් පැත්තක්ම විවෘත වූ හෙයිනි. එපමණ දුෂ්කර හා මරණාසන්න අවධානම පවතින යකාගේ ආසනය අපි ඊට මඳ දුරක දී දැකබලා ගත්තෙමු. පසුව හපුතලේ සිට ඉදල්ගස්හින්නට යන උඩරට මැණිකේ දුම්රිය අලංකාරව වංගු ගැසී යන ආකාරයත් ඉදල්ගස්හින්න කන්ද උඩවේරිය කඳු කිරිගල්පොත්ත, වංගෙඩිගල සහ ගොම්මෝලිය ගලපිටගල ආදී කඳු සේම බලංගොඩ දක්වා පරිසරය දැක ගැනීමට අපට හැකි වුණි.  
සවස් යාමය ළංවූ බැවින් කඳුගැටය කෙළවරින්ම අපි පයිනස් කැලයට ඇතුළු වී නැවතත් අඩි මාර්ගයට පිවිස යතුරුපැදි නැවැත් වූ ස්ථානයට ගමන් කළෙමු. පසුව අප බෙරගල නගරය හා බලංගොඩ හරහා පිටත් වූයේ ඇඳිරි වැටුණු කණිසමේය.  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
=========================================================== 
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ....
ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන්,,හා,,share,,කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

ගලපිටගල අද්භූත මානව රූපය කෙටුවේ කවුද ? ලංකාවේ අබිරහස් ස්ථාන......(galapita gala අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

ගල් නොහොත් පාෂාණ ලෙස හඳුන්වන වස්තුව සමස්ත පෘථිවිය පමණක් නොව විශ්වයේ ග්‍රහ​ෙලා්කවල පවා තිබෙන දෙයක් බව අද වන විට සියල්ලෝම දනිති. ඕනෑම තැනක, විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල ගල්කැබලි, ගල්කුට්ටි හෝ ගල් පර්වත ඕනෑ තරම් දැකිය හැකිවීම සුලභ දෙයකි. පුරාතනයේ සිට මානවයා නැතහොත් මිනිසා විකාශනය වීමේ සිට ඔහුගේ දෛනික ජීවිතයට ගල් සම්බන්ධ වී තිබුණි. 
ගල් ආයුධ, ගල් ගුහා සහ පසුකාලීනව මූර්ති ඇඹීම සඳහා පවතින ගලම භාවිතයට ගැනීම ඔවුන්ගේ විකාශනයේ විවිධ අවධි කියාපායි. එවන් ගලක කෙටීමට සැරසුණු නමුත් අතර මග නැවතු මිනිස් රුවක් පිළිබඳ වඩාත් ප්‍රචලිත ලංකාවේ ඉසව්ව නම් ගලපිටගල නම් ස්ථානයයි. 
එය ස්වභාවික පිහිටීමක් නොවන බවටත් මිනිස් රුවක් කෙටීමට උත්සාහ කළ බවත් සලකුණු සොයාගෙන ඇත. එම දුර්ගය තුළ අදටත් නොඉඳුල් ස්ථාන පවතින අතර ගලපිට ගල පිළිබඳ අබිරහස සොයා අප බෙලිහුල්ඔයට ගියෙමු. 
චිලී රාජ්‍යයට අයත් පැසිපික් මුහුදේ පිහිටි අරුම පුදුම දූපතක් ඊස්ටර් දූපත (Easter Island) ලෙස හඳුන්වන අතර එය 1995 වසරේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කළ ස්ථානයකි. එම දූපත වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්වභාවික ගලේ මිනිස් මුහුණු 887ක් නෙළා තිබීම නිසාය. දූපතින් විවිධ ස්ථානවල මෙම අද්භූත ගල් රූප ඇති අතර මේවා මෝයි (Moai) වරු ලෙස හඳුන්වන අතීතයේ විසූ රපා නුයි (Rapa Nui) ග්‍රෝත්‍රිකයන් බව කියැවේ. 
මෙම ගල් කුට්ටි මත විවිධ ආකාරයේ මුහුණේ ඉරියව් දිස්වෙන මානව රූප සමූහයකි. මේවා අතීතයේ විසූ ග්‍රෝත්‍රිකයන් නිර්මාණය කළේ කෙසේද යන්න ගැටලුවක් වන්නේ මෙම කැටයම් නෙළීමට භාවිත කළ උපකරණ පිළිබඳව සොයා බැලීමෙන් සහ තාක්‍ෂණය විමසා බැලීමෙනි. මන්ද දැවැන්ත ගල් කුට්ටි මිනිස් ඔළුවක් ලෙස නිවැරදිව කපා ඇස්, කට, නහය සියුම් ලෙස ඉරියව් ගත කිරීමට තරම් සුමට උපකරණ මීට වසර දහස් ගණනකට පෙර පැවතුණේද නැත්නම් මෙම ග්‍රෝත්‍රිකයන් හට මේවා නෙළීමට වෙනත් ග්‍රහලෝවාසීන්ගේ සහය ලැබුණේද යන්න විස්මය ජනකය. තවද මෙම මුහුණු තුළින් ඔවුන් කීමට උත්සාහ කළේ කුමක්ද? මෙලෙස නිර්මාණය කළ හේතුව තවමත් අබිරහසකි. 
මෙවැනිම ආකාරයේ ගල් කුට්ටියක මානව මුහුණක් නෙළීමට ගත් ලාංකේය උත්සාහය මීට වසර ගණනකට පෙර දිවයයි. ගල්පිටියාය පුද්ගලික වතු සමාගමේ උඩවේරිය දෙසට එනම් උතුරු - ඊසාන මායිමේ පිහිටි ගලපිටිගල නම් ගල් කුට්ටිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වස්තුවකි. දේශීය විදේශීය සංචාරකයන්ගේ අවධානය තවමත් යොමුව නැති මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක බවින් වැදගත් ස්ථානයක් ලෙස ගවේෂණය කළේ ආචාර්ය රාජ් සෝමදේව මහතා විසිනි. 
බෙලිහුල්ඔය පසුකොට කළුපහන හන්දිය වෙත ළඟා වූ පසු එතැන පිහිටි නාම පුවරු මගින් ඔබට දැකගත හැක්කේ ලංකාවේ උසම දියඇල්ල වෙත ගමන් කළ යුතු මාර්ගයයි. ප්‍රධාන මාර්ගයේ සිට බඹරකන්දට යන මාර්ගය ඉන් පසු යක්‍ෂයාගේ පඩි පෙළ ඔස්සේ උඩවේරිය හා වෙස්ට් හපුතලේ වතුකර හරහා හෝර්ටන් තැන්න මාර්ගය පිවිසුම අසලට වැටේ. ලංකාවේ සංචාරයට රුසි සැමගේ අභියෝගාත්මක ඉසව්වක් ලෙස මෙම යක්‍ෂයාගේ පඩිපෙළ හැඳින්විය හැක. 
තවද සිතියම් අධ්‍යයනයේදී අප දුටුවේ කි.මී. 12ක් පමණ ගෙවා දුෂ්කර මාර්ගයේ ගමන් කළ යුතු උඩවේරියවත්තට ගලපිටියාය වත්තේ සිට මහ වනය මැදින් ගමන් කළ හැකි බවයි. කෙසේ නමුත් අප අද දවසේ තරණය කළ යුතු ගලපිටගලට යාමට නම් කළුපහන හන්දියේ සිට බඹරකන්දට යන විට හමුවන ප්‍රථම මංසන්ධියෙන් දකුණට හැරී ගලපිටියාය වත්තට ගමන් කළ යුතුය. පටු වංගු සහිත මාර්ගයේ ඉහළට ගමන් කරන විට පසෙකින් ඔබට ලංකාවේ සිටින තවත් දැවැන්තයින් පිරිසක් දැක ගත හැකිය. 
එනම් වංගෙඩිගල, බළතුඩුව සහ ගොම්මෝලිය කන්දයි. මීට වසර කිහිපයකට පෙර එම කඳු සියල්ල හීන්සීරුවට තරණය කළ අයුරු අපට සිහි වූ අතර ඈතින් අපට පරවියන්ගල කඳු මුදුනක් පවා දැකගත හැකි වූයේ අප කඳු නැගීමට ලක් වූ හෙයිනි. ක්‍රම ක්‍රමයෙන් හිරු මෝරාගෙන අහස්කුස එළිය දෙන විට ළා හිරු රැස් අතු පතර යටින් මාර්ගයට බැස ඔය මොබ සලිත වන බව අප දුටුවේ ගුවෙන් රැඳී මීදුම් සළු පහව යන විටය.
කෙසේ හෝ ගලපිටයාය වත්තට හැරෙන මාර්ගය අසලට අපි පැමිණි පසු එම වතුයායට ඇතුළු වූයේ පූර්ව අවසර ලබා තිබූ හෙයිනි. තේ කර්මාන්තය ප්‍රධාන ආදායම කොටගත් වතුයායේ පසෙක සංචාරක බංගලා සහ නිවාස පිහිටා තිබුණි. නාරංගොල්ල ඔය සමීපයේ ඒවා ස්ථාන ගත වූ හෙයින් කඳු මිටියාවත පාමුල සුන්දර දියඇලි පිරුණු නිස්කලංක පරිසරයක් එහි තිබූ බව අපි දුටුවෙමු. 
නියමිත ඇතුළුවීමේ ගාස්තු ගෙවූ පසු අප තරණය කළ යුතු කන්ද පාමුලට පැමිණියෙමු. පසෙකින් උඩවේරිය කන්දත් යකාගේ පඩිපෙළ ‘‘වී’’ කැපුම පිහිටි කන්දත් වංගෙඩිගල කඳුවැටියත් නෙතු මානයේ දර්ශනය වූයේ නිලට නිලේ දිලෙන වාසි රහිත සොඳුරු කාලගුණ තත්ත්වයක් යටතේය. තේ වත්ත මැදින් ගමන් ඇරඹූ අප ක්‍රමයෙන් සිග්සැග් ක්‍රමයට කන්ද නගිමින් මානා පඳුරු යායට පිවිසුණෙමු. 
වියළි කාලගුණය නිසා පෙරදින සරුවට වැඩුණු මානා ගස්වල උස අඩි 4ක් පමණ විය. මාන යායට පැමිණිය ද අපට ගලපිටගල දැකිය නොහැකි විය. එය ඈතින් පෙනෙන ගල් වැටියට සඟව ඇති බවත් ආසන්නයට යන තෙක්ම අපට දැකිය නොහැකි වනු බවත් කල්තියාම අප දැන සිටියෙමු. චණ්ඩ හිරු රැසට නිරාවරණය වූ අප ලිස්සනසුලු පසට අඩිය තබමින් මානා කැලය මැදින් වැටුණු කුඩා අඩි මාර්ගය දිගේ ඉහළටම ඇදුණෙමු. 
ක්‍රම ක්‍රමයෙන් කන්ද නගිමින් ඉහළට ඇදෙන විට එක යායට දෘශ්‍යමාන වූ කඳුවැටි රාශියක් දකුණු ප්‍රදේශයෙන් අපට දැකගත හැකි විය. එහිදී කුරගල පිහිටි කඳුවැටිය පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර සමනල වැව් හා කල්තොට සිට නමුණුකුළ තෙක් අපට පුළුල් වපසරියක් දැකගත හැකි විය. 
හෝරා දෙකක ගමනකින් පසුව අප ගලපිටගල ගල් පර්වතය අසලට පැමිණියෙමු. පින්තූරයට දකිනවාට වඩා එම ගල් පර්වතය විශාලය. තනි විශාල කළු ගල තවත් කුඩා සම්බන්ධයක් පිහිටි ගල වෙත දරා ඇත. ගලපිටගල අඩි 30ක් පමණ උසවන අතර වට ප්‍රමාණය අඩි 10ක් පමණ වේ. මෙම ගලේ මුහුණ ලෙස ඇඹීමට උත්සාහ කළ බව. පෙනෙන්නේ කන්ද දෙසටමය. එය ගලපිටියාය වතු ප්‍රදේශය එනම් දකුණු දෙසට නොපෙනේ. එම මුහුණුවර බලා සිටින්නේ උතුරු ඊසාන දස දිශාව බව මාලිමාව මගින් අපි නිශ්චිත කර ගත්තෙමු. මුහුණුවර වඩාත් හොඳින් බැලීමට නම් තවත් මීටර 20ක් පමණ කන්දේ ඉහළට නැග ගත යුතුය. 
හල්දුම්මුල්ල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගවල ජීවත් වූ මානවයා පිළිබඳ සමහර සාක්‍ෂි හමුවූ ප්‍රදේශයක වාඑළිය නම් ප්‍රදේශයේ පිහිටි හුණුගල් තලා, ගුහාවක තිබී සොයාගත් පුරාවස්තු වසර 5000ක් තරම් අතීතයට යන බව අනාවරණය විය. තවද එම ගුහාව අතීතයේ ස්ත්‍රීන් සඳහා යාතුකර්ම සිදුකළ ස්ථානයක් බවටත් එහි හමුවූ මූර්තියක් ගලපිටගල පිහිටි මිනිස් මුහුණට සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන බවත් එය ගවේෂණය කළ මහාචාර්ය සෝමදේව මහතා නිගමනය කරන ලදී. 
ගලපිටගල පර්වතයේ මුහුණේ ඉරියව් අංග ඉස්මතු කිරීමට උත්සාහ කළ බවත් කාලාන්තරයක් මුළුල්ලේ වූ ස්වභාවික හේතුන් මත අද වන විට යම් යම් පතුරු ගැලවීම් ඛාදනයවීම් නිසා මුහුණේ සම්පූර්ණ පෙනුම විනාශවී ඇති බවත් පර්වතයේ මුඛය හා කම්මුල් ඉස්මතු කිරීමට ගත් උත්සාහය මැනවින් දැකිය හැකි බවත් ඔහු පැවසීය. 
මූර්තියේ නළල මත යමක් තැබීමට උත්සාහ කළ බවත් එහි එවැනි ලකුණක් දැකිය හැකි බවත් නිගමනය විය. උතුරු කඳුකරය දෙස බලා සිටින මේ අත්භූත මිනිසා මෙලෙස ඉතා උස් කඳු මුදුනක කෙටීමට හේතු පාදක වූයේ කුමක්දැයි නිශ්චිත කළ නොහැක. විටෙක පහළ ගම්මාන හා ප්‍රදේශවල ජීවත් වූ මානවයා ඉහළ කඳුකරය හෝ ගුවන්තලය දෙසින් වන සතුරු උවදුරු හෝ ස්වභාවික උවදුරුවලට ආරක්‍ෂාව පතා මෙම මූර්තිය නෙළීමට ඇත්ද නැතහොත් සක්වළ සම්බන්ධතාවලට පිටුවහලක් වීමට හෝ භයානක සතුන් පලවා හැරීමට මෙම මූර්තිය නෙළීමට ඇත්දැයි අපට සිතාගත නොහැක. 
පුරාවිද්‍යාත්මක පැත්තෙන් මෙලෙස විශ්ලේෂණ ගවේෂණයේදී ගලපිටගල හා එම ප්‍රදේශය පිළිබඳ අපූරු වෙනස් කථාවක් අපට දැනගැනීමට ලැබුණේ ගලපිටයාය වතු කළමනාකාර හසිත මහතාගෙනි. ඔහු පවසන ලෙස මීට වසර කිහිපයකට පෙර ඔහු​ ගලපිටගල ආශ්‍රිත වත්තේ සංචාරය කරන විට ඔහුට වෙනස් ආකාරයේ ගල් කැබලි කිහිපයක් හමුවී ඇත. පසුව ඔහු අන්තර්ජාලය හරහා සිදුකරන ලද සෙවුම්වලදී එම ගල් උල්කාපාත කැබලි බව ඔහුට පෙනුණි. වත්තේ එක්තරා ස්ථානයකදී ඔහුට මෙම උල්කාපාත කැබලි හමුවී තිබුණි. එහි සිට ගලපිටගල පර්වතයට වැඩිදුරක් නොතිබුණු බව ඔහු පැවසීය. 
කෙසේ හෝ ඔහු මෙම උල්කාපාත කැබලි රජයේ නියමිත ආයතනවලට භාර දුන්නේ වැඩිදුර ගවේෂණ සඳහාය. අැතැමුන් ගලපිටගල පිටසක්වළ ජීවීන් සමඟ මුතුන් මිත්තන් සබඳතා පැවති ස්ථානයක් බවට සිතන අතර ලෝකාන්ත හෝටලය දෙස සිට බලන කල ගලපිටගල මුහුණ පිහිටි ගල් පර්වතයට පහළින් සම්බන්ධිත ගල් කුට්ටි කුඩා ඇඟ කොටසක් ලෙස දැකිය හැක. එනම් කුරුමිටි මිනිසෙකු ලෙසය. ඔළුව ඉතා විශාල නමුත් ඇඟ ඊට වඩා සාපේක්‍ෂව කුඩා ජීවි කොට්ඨාසයක පෙනුමක් එහිදී දැකගත හැක. ගලපිටගල සහ හෝර්ටන් තැන්නේ බෑවුම් වන මෙම ප්‍රදේශය තුළ රාත්‍රී කාලවලදී වෙනත් ප්‍රදේශවල දැකිය නොහැකි අතිශය අලංකාරවත් අහසක් දැක ගත හැකිය මේ බව අප මෙම ප්‍රදේශවල රැය ගෙවූ අවස්ථා 4ක සේම අද දිනයේ රාත්‍රියේද දැක ගැනීමට ලැබුණි. 
එය නම් අධික තරු පිරි අහසක් පැවතීමය. තරු රටා කිහිපයක්ද හඳුනා ගත හැකි අතර මෙම ස්ථානයට ඉහළ අහස මුළුමනින්ම පාහේ නිල් තරු කැට මිලියන ගණනකින් වැසී තිබුණි. රාත්‍රී අහසේ කළු වර්ණය වෙනුවට මෙම ස්ථානයට ඉහළ අහස අධික නිල් ගතියෙන් යුක්ත විය. එය අප සිවු වරක් දුටු ප්‍රායෝගික තත්ත්වයක් විය. 
කෙසේ හෝ ගලපිටගල විවිධ ඉරියව්වලින් ඡායාරූප ගත් අප පසුව එම කන්ද ඉහළට ගමන් කළෙමු. ගලපිටගල කන්ද ඉහළම ස්ථාන මීටර 1356ක උසින් යුක්ත විය. ගලපිටගල පර්වතයේ සිට කන්ද මුදුනට නැගීම දුෂ්කර සේම අවදානම් ගමනකි. ගල් කුළු ගල් කුට්ටි අතරින් හීන් සීරුවට අඩි තබමින් ඉහළට යාමට සිදුවන අතර සුළු අත්වැරැද්දක් ප්‍රපාතයේ පාමුල ඔබගේ මළ සිරුර රැඳවීමට තරම් ප්‍රමාණවත් බව මතක තබා ගත යුතුය. 
එසේ ඉහළ නගින විට අපට කුඩා ගුහාවක් හමු විය. එය ස්ථාන කිහිපයකින් විවර වී තිබූ අතර ගල් කැබලි රාශියක් එහි ඉහළ සිරාවට රැඳී තිබුණි. ඉහළම ස්ථානයට නැග ගත් විට කැඩී ගිය​​ ජෝගුවක් ආකාරයෙන් යුත් ගල් පර්වතයක් විය. එහි සුමට ලෙස වක්‍ර වූ කොටසක් විය. බුමර ඇල්ලේ සිට ගලපිටගල කන්දට අප නගින වි ඒ අසල වූ ගල් පර්වතයක විශාල අත්ලක සලකුණක් වැනි කෙටූ ස්ථානයක් අපට දැක ගැනීමට ලැබුණි. ගලපිටගල කන්ද මුදුනට නැගගත් පසු ගලපිටගල සිට පහළ වතුයාය දක්වාද සමස්ත පරිසරයේ අංශක 240ක පමණ විවෘත අවකාශය පැහැදිලිව දැක ගැනීමට ලැබුණි. 
කන්ද මුදුනට නැගගත් පසු ලෝකාන්ත හෝටලය (Worlds End Lodge) යන අඩිපාර තිබූ අතර අපි දවසේ ඉදිරි කටයුත්ත පිණිස උඩවේරිය කන්ද දෙසට ගමන් කරන්නට සැරසුණෙමු. කටු පඳුරු පීරගෙන ගල් වැටි ගල් කුට්ටි මතින් පනිමින් කිලෝමීටරයකට වැඩි දුරක් ගමන් කළෙමු. අප ගමන් කළේ හෙළට සමාන්තරවය. එසේ ගමන් කිරීමේදී නාරංගොල්ල ඔය නිර්මාණය කරන තවමත් මෙරට කිසිවෙකුගේ නෙත නොගැටුණු කුලුඳුල් දිය ඇළි 20ක් පමණ අපට දැකගත හැකිවිය. සෘජුවම මීටර් 500ක පමණ දැවැන්ත හෙළක් වූ එම දුර්ගයට යාම අතිශය දුෂ්කර හා කාලය ගත වන්නක් බවට අපට පසක් විය. මන්ද උඩවේරිය කරා යන ගමනේදී මෙම කන්ද මත නිම්න හත අටක් පමණ අපට පසු කිරීමට සිදුවිය. 
දුරට එම ස්ථානවල මීටර 100ක පමණ අංශක 90 බෑවුම සහිත නිම්න තිබෙන බව පෙනෙන්නට නැතිමුත් එ්වා අපට දැක ගැනීමට ලැබුනේ කුලුදුලේම මිනිස් පය නොතැබුණු ස්ථාන මතින් අසීරුවෙන් යන්නට වූ නිසාවෙනි. කෙසේ හෝ රාත්‍රිය උදාවන විට ගමන හමාර කරමින් අප නැවතත් කළුපහනට පැමිණියේ දවසේ අලුත් අත්දැකීම් රාශියක් සමගිනි. 
ඊස්ටර් අයිලන්ඩ් සංකල්පය ලෙස ගොඩනැඟුණු ලංකාවේ අබිරහස් මානව රූප වන ගලපිටගල අත් දෙකෙන් සෙලවිය නොහැකි නමුත් ඇඟිල්ලෙන් සෙලවිය හැකි බවට පහළ ගම්වාසීන් අතර මතයක් තිබුණ ද ගල පිහිටි ගලට ගාව තිබූ බැවින් එවැන්නක් සිදු නොවිය හැකි බව අපට ද පසක් විය. උතුරු කඳුකරය දෙස බලා සිටින මේ මිනිසා හෙළ ශිෂ්ටාචාරය ආදී මිනිසාගේ මුහුණුවරද? නැත්නම් වානර මුහුණක්ද? නැත්නම් යම් කිසි පුද පූජාවකට නෙළීමට කළ මූර්තියක්ද? නැත්නම් ශරීරය කුඩා හිස විශාල පිටසක්වළ ජීවියෙකුගේ රුවක්ද යන්න තවමත් අබිරහසකි. නළල මැද කෙටූ ස්ථානයේ කුමක් තැබීමට ඔවුන් උත්සාහ කළේද? එහි යමක් තිබූ නමුත් පසුකාලීනව ඒවා සොරුන්ගේ ග්‍රහණයට ලක් වුණාද යන්න තවමත් අබිරහසකි. 
මෙවැනි අබිරහස් රාශියක් පිහිටි ගලපිටගල අබිරහස් කලාපයට අප සමුදුන්නේ හිතේ වූ ප්‍රශ්න රාශියක් සමගිනි. ඒ ගලපිටගල අසාමාන්‍ය පිහිටීමයි. තවද කුලුඳුලේම දැයට දායාද  වූ නාරංගොල්ලේ දිය ඇළි 20 තවමත් මිනිසාගේ ඇසට හසු නොවී තිබීමත් ඒ ආශ්‍රිත දැකිය හැකි හෝ සොයා ගත හැකි තවත් ගල්ගුහාවක් වේනම් ස්වභාවික නිර්මාණ මතු දිනක ක්‍රියාදාම චාරිකාවකින් ගවේෂණය කිරීමට හිතැතිව අපි ගමන අවසන් කළෙමු. 
සංචාරක සටහන හා ඡායාරූප : 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 
lankadeepa
=======================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya