Monday, July 15, 2019

බෙරගල කන්දේ යක්ෂයාගේ ආසනය......(beragala kanda Devil's Seat sri lanka haputhale haldummulla Devils Staircase Route අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ක්‍රියාදාම චාරිකා
හපුතලේ කන්ද නොහොත් හල්දුම්මුල්ල බෙරගල පසුකොට හපුතලේ දක්වා ඇති බදුලු මාර්ගයේ එම කොටස ඉතා අසීරු හා දුර්ග ගමනක් බව ආදි කරත්ත කවිවල පවා සඳහන්ය. බෙලිහුල්ඔය පසුකොට කලුපහන හන්දියෙන් ඇරඹෙන ගලපිටගල අත්භූත මානව රූපය සමග සමීපව තිබෙන යක්ෂයාගේ පඩි පෙළ නම් මාර්ගය ඉදල්ගස්හින්න අසල දී තංගමලය රක්ෂිතයේ පිහිටි යක්ෂයාගේ ආසනය අසලින් දුර්ගය නැවතේ. මේ ස්වභාවික නිර්මාණ එකිනෙක අතර පවතින සමානකම් සොයා යක්ෂයාගේ පඩිපෙළ දිගේ යක්ෂයාගේ ආසනය සොයා ගිය ක්‍රියාදාමය මෙසේය.  
ලොවට හුදෙකලාව තිබූ ලංකාවේ අතිශය දුෂ්කර දුර්ග මාර්ගය වන යක්ෂයාගේ පඩි පෙළ මාර්ගය (Devils Staircase Route) යනු මෑත කාලයේ දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ වූ සංචාරක ඉසව්වකි. (Hiking Destination) ඊට හේතුව වනුයේ අතිශය අබලන් දුර්ග මාර්ගය ඉතා සුන්දර ඉසව්වලින් ගමන්කොට පසෙකින් හෝර්ටන් තැන්නටත් තවත් පසෙකින් ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්දටත් ළඟා විය හැකි බැවිනි.  
යක්ෂයාගේ පඩි පෙළ චාරිකාව මීට සය වසරකට පෙර සම්පූර්ණයෙන් සිදුකළ ද නැවතත් ඒ සුන්දරත්වය අභියෝගාත්මකව විඳිමින් තවත් සැඟව තිබෙන අපූරු ඉසව්වක් සොයා යාම අද චාරිකාවේ අරමුණ විය. එය නම් යක්ෂයාගේ ආසනයයි. (Devil's Seat) එය පිහිටියේ මීටර 1780 ක් පමණ උසැති බෙරගල කන්දෙ මිනිසෙකුට ළඟා විය නොහැකි දැවැන්ත ගල් කුට්ටියක බෑවුමේය. එහෙයින් ඊට යක්ෂයාගේ ආසනය ලෙස හඳුන්වනු ලබයි. මන්ද යක්ෂයකුම විනා මිනිසෙකුට එම ආසනයෙ හිඳ ගැනීමට නොහැකි බැවිනි.
යක්කු සම්බන්ධිත මෙම චාරිකාව පුරුදු පරිදි අප කලුපහන හන්දියෙන් බඹරකන්ද ඇල්ල දෙසට හැරවූයේ සොළොස් වන වතාවටත් ලංකාවේ සුන්දරම උසම දිය ලලනාවියගේ හඬ බැලීමටයි. ගලපිටියාය පසුකොට නාරංගොල්ල ඔය පාලම පසුකොට වංගෙඩිගල සිට ගොම්මෝලිය දක්වා බලතුඩුව කන්ද අතරින් දිවෙන කඳු යාය නෙතු මානයේ රඳවාගෙන පැරණි මතකය ආවර්ජනය කරමින් අපි බඹරකන්ද දියඇල්ල අසලට පැමිණියෙමු. වසර කිහිපයකින් පසු අප මෙහි පැමිණි නිසාදෝ මේ අවට පෙරට වඩා තරමක දියුණු මට්ටමක තිබෙනු දැකගත හැකි විය. කුඩා වෙළෙඳසැල් සහ නවාතැන් ස්ථාන සේම වාහන නැවැත්වීමට ස්ථාන පවා සොයා මාර්ගයට ද ගල් අතුරා සුන්දරව තිබෙනු දක්නට ලැබුණි. බඹරකන්ද දියලලනාවියගේ අලංකාරය බලා අපි උදැනැක්ම ගමන ආරම්භ කළේ කඳු මුදුනේ පෙනෙන වී කැපුම (V cut) නම් ස්ථානයට යතුරුපැදියේම ගමන් කළ යුතු නිසාවෙනි.
හෙමි හෙමින් කුඩා මාර්ගය දිගේ අප ඉදිරියටම ගමන් කළේ ප්‍රදේශය වසාගෙන සිටින මීදුම් සළු ඈත්වන විට එළිදකින සුන්දරත්වයද විඳිමිනි. මෙසේ අඩහෝරාවක ගමනකින් පසු අප බඹරකන්ද කඳු වැටිය අවසන්වන ඉහළ ස්ථානයට පැමිණි අතර එය වී කැපුම ලෙස හඳුන්වන්නේ මින් එහාට මාර්ගය යන්නේ කන්දක් කපා හෙළිකරගත් ඉසව්වකිනි.  
කඳු මුදුනේ ඇති අතැර දැමූ අට්ටාලය
මෙතැනට සුපුරුදු පරිදි මීටර් ගණනක් පහළින් වංගු ගැසී යන බඹරකන්ද අවට මාර්ගය දැක ගත හැකි අතර අප ගමන නැවත පවතින්නේ වෙනමම ඉසව්වකට ඇතුළු වෙමිනි. අප  වෙස්ට් හපුතලේ පසුකොට උඩවේරිය වත්ත දක්වා යා යුතුය. මෙම මගේ දුෂ්කර බව සහ අවදානම් බව දන්නා නිසාම ඊට සුදුසු යතුරුපැදි තත්ත්වයන්ගෙන් අපි සන්නද්ධ වී සිටියෙමු.  
ක්‍රමයෙන් අප ළඟා වූයේ ලංකාවේ උසම දියඇල්ල නිර්මාණය කරන බඹරකන්ද දිය ඇල්ලට යන ජල පහර අසලය. එම දිය දහරාව ගමන් කරන්නේ මාර්ගය මතිනි. මීටර් 5 ක් පමණ පළලැති එම ජල කොටස වාහනයකින් කුමන අවස්ථාවක වුව ද ගිය ද තරණය කළ හැකිය. නමුත් ජලය වැඩි දිනවල දී එය පයින් තරණය කිරීම අවදානම් වන බැවින් ඊට යාබදව කුඩා අඩි පාලමක් තනා ඇත. මෙවර ජල කඳේ එතරම් වැඩියක් නොවූයෙන් පැහැදිලිව අපි එය තරණය කළෙමු.
ඉන්පසු අප තවත් ඉහළට ගමන් කළ අතර එහි දී ලංකා ඇල්ලත් යහලතැන්න ඇල්ල පිහිටි වනගත පියසත් දැක ගත හැකි විය. බෙලිහුල්ඔය දැවැන්තයින් නිසොල්මනේ නැගී සිටින අතර පසෙකින් නාරංගොල්ල කන්ද දක්නට ලැබුණි. මෙම මාර්ගය අතිශය දුෂ්කරතා කළු ගඟ සිට උඩවේරිය හරහා මෙම මාර්ගය සම්බන්ධ වනුයේ ඔහිය සිට හෝර්ටන්තැන්නට යන මාර්ගයටයි. ඒ දක්වා මෙම දුෂ්කර මඟේ දුර දළ වශයෙන් කි.මි. 20 ක් පමණ වේ.
බෙරගල කන්ද
නමුත් ගල්බොරලුගල් පතුරු සහ විශාල වළවල් පිරී මෙම මගේ මෙම කුඩා දුර ගෙවා යාමට නිසැක වශයෙන් හෝරා දෙකකට වැඩි කාලයක් ගතවේ. තවද අවශේෂ දියඇලි හා සුන්දර මිටියාවත් කඳු ශිඛර නරඹමින් මෙම පාරිසරික අසිරිය විඳිමින් යන විට නිතැතින්ම පැය 5 කට අධික කාලයක් වැය වනු නොඅනුමානය.
අතීතයේ යක්ෂයාගේ පඩිපෙළ යනුවෙන් හැඳින්වූයේ මෙම මාර්ගයේ එක්තරා කුඩා කොටසක් පමණි. එනම් පඩි පනස් ගණනක් සහිත එක්තරා ස්ථානයක් පමණි. සුදු මහත්වරු එකල මෙම මාර්ග සාදන විට එම කොටසේ අධික දුර්ගයට පිළියමක් වශයෙන් පඩි යොදා සකස් කළ බැවින් එම දුෂ්කර කොටස යක්ෂයාගේ පඩි පෙළ කියා හඳුන්වයි. නමුත් පසුකාලීනව ප්‍රවාහනයේ ඇතිවූ දියුණුව හේතුවෙන් එම කොටස සම්පූර්ණයෙන්ම සමතල කොට අඩි 5 ක් පමණ පළල වන සේ මාර්ගය නිමවා ඇත. කෙසේ වුවද මෙම මාර්ගයේ අදටත් යා හැක්කේ දෙපයින් යතුරුපැදි හා සංචාරක ජීප්රථ (4WD) ලොරිරථවලින් පමණකි.  
අවශේෂ දිය දහරාවන් රැසක් දකිමින් නම් නොමැති අලංකාර කඳු මිටියාවත් අතරින් ඇදෙමින් ​හෝර්ටන් තැන්නේ බෑවුමේ පිහිටි මෙම මාර්ගය දිගේ යක්ෂයාගේ පඩි පෙළ නම් කොටස පසුකර අප ළඟා වූයේ උඩවේරිය ගමටයි. මෙම කි.මි. 20 ක මාර්ගය තුළ ගම්මාන ඇත්තේ 5 ක් පමණ වන අතර මුළු වනගහණය 1500 ක් පමණ වේ. ගම් පිහිටියේ ද විශාල දුරක වන බැවින් සමස්ත මාර්ගයෙන් හතරෙන් තුනක් පමණ ඇත්තේ පාළු හුදෙකලා වනගත ඉසව්වක් හරහාය. එබැවින් ඔබ ගමන් කරන වාහනය කුමන හෝ ආපදාවකට ලක්වුවද පිළිසරණක් පැතීමට කිසිවෙකුත් ඔබට හමුනොවනු ඇත. තවද මෙම ප්‍රදේශය තුළ ක්‍රමවත් යටිතල පහසුකම් හා වෙළෙඳසල් කිසිවක් නොමැති බව මතක තබාගන්න.
කන්ද මුදුණේ තිබූ මිනින්දෝරු සටහන
උඩවේරිය වත්තට පිවිසි අප දුටුවේ ඌව පළාතේ උඩ කන්ද වන උඩවේරිය පළමු කන්ද සහ දෙවන කන්දයි. ඊට පසෙකින් නාරංගොල්ල ඔය ගලා යන්නේ සුන්දර බුමර ඇලි දාමය නිර්මාණය කරමින් තවමත් මිනිස් පහස නොලත් බඹර ඇලි යනු අතිශය දුෂ්කර දුර්ගයක පිහිටි තවමත් සොයාගෙන නොමැති දිය ඇලි පිරුණු ඉසව්වක හිරුඑළියට පොබවූ උඩවේරිය කඳු යුගලය අතරින් උඩවේරිය සිට ඉදල්ගස්හින්නට යන කුඩා අඩි මාර්ගය වූ අතර පසෙකින් හෝර්ටන්තැන්න පිහිටි කඳු මුදුනේ දුප්පතාගේ කුඩා ලෝකාන්තය යන්තමින් නිශ්චය කරගත හැකි විය.  
උඩවේරිය ග්‍රාමය තවමත් එදා මෙන් සුන්දර විය. දුෂ්කර බව පිරුණු ගැමිකම තවමත් ඔවුන් තුළ තිබෙනු අපි දුටුවෙමු. එම නිසාම යතුරුපැදි මගින් එම ප්‍රදේශයේ මදක් සැරසැරූ අපි නැවතත් ගමන අරඹා හෝර්ටන්තැන්නට මාර්ගය සම්බන්ධ වන හන්දියට පැමිණියෙමු. ඉන් දකුණට හරවා ඔහියට ගමන් කොට පසුව බොරලන්දටත් එහි සිට හපුතලේ මාර්ගයේ ගමන්කොට ඉදල්ගස්හින්න පසුකොට හපුතලේ නගරයට කිට්ටුවෙන් එක් ස්ථානයකින් අපේ මාර්ගයෙන් දකුණු පසට හරහා ඉදිරියට ගමන් කොට පිවිසියේ ඉතාමත් අබලන් පටු මගකටයි. යක්ෂයාගේ පඩි පෙළ දුර්ගය නිමා කොට අප මීළඟට සැරසුණේ සමස්ත යක්ෂයාගේ පඩිපෙළ පිහිටි ඉසව්ව දර්ශනය වන යක්ෂයාගේ ආසනය සොයා වනගත වීමටයි.  
යක්ෂයාගේ ආසනයේ සිට උඩවේරිය දක්වා
මෙතැන් සිට අප යා යුත්තේ ජී.පී.එස්. (GPS Maps) සිතියම්වලට අනුවය. මන්ද යකාගේ ආසනය පිහිටි බෙරගල කන්ද යනු බෙරගල හන්දියට පෙනෙන කුඩා ඉසව්ව පමණක් නොව ඉන් එහාට විහිදුණු දැවැන්ත කඳු මුදුනක් වූ බැවිනි. මෙය අපට වඩාත් නිවැරදිව සහ පැහැදිලිව දැක ගැනීමට හැකිවන්නේ ඉදල්ගස්හින්න කඳු මුදුනට ගිය විටදීය. බෙරගල කන්ද ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පිටුපසින් දැකගත හැකිය. බෙරගල කන්ද පිහිටියේ තංගමලය නම් රක්ෂිත වනාන්තරය තුළය. පසෙකින් හපුතලේ බෑවුමත් පසෙකින් ඉදල්ගස්හින්න හපුතලේ දුම්රිය මග හා ඇඩිෂන් බංගලාවත් පිහිටි තංගමලය වනපියස යනු සුන්දර වනපියසකි.  
බොහෝ වනජීවී දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයන් තංගමලය වනයට පිවිසෙන්නේ පක්ෂීන් සහ අනෙකුත් සත්ව ඡායාරූප ගැනීමටය. දිවියා, වල් ඌරා, ඉත්තෑවා, හාවා, ඕලු මුවා, ගෝනා, දඬුලේනා සහ පක්ෂි විශේෂ මෙහි සිටින අතර බොහෝවිට හෝර්ටන්තැන්න මීට ආසන්න වූ තැනින් සතුන් මෙලෙස සංචාරය කිරීම සිදුවේ.
තේ වත්තේ අවසානය
පටුමාර්ගය දැවැන්ත වළවල් සහිත ලිස්සන සුළු බෑවුම් හෙල්වලට සමාන්තර මගක් දිගේ ගමන් කොට එක්තරා ස්ථානයකට පැමිණියේ ඉන් එහාට වාහනයකින් යාමට නොහැකි වූ හෙයිනි. යතුරුපැදි නැවතු අපි ඉදිරියේ වූ අඩි මාර්ගය දි​ගේ GPS සිතියමට අනුව කන්ද තරණය පටන්ගත යුතු පහසුම ස්ථානය සොයා ඇදුණෙමු. අඩ හෝරාවක් ගත වන විට අපි තේ වතු අතරින් යමින් මිනිස් පුළුටක් නොමැති ඉසව්වේ අපට නියමිත ස්ථානයට පැමිණියෙමු. මෙතැන් සිට අඩි මාර්ගය මගහැර සෘජුවම වනයට රිංගා ඉහළට ගමන් කළ යුතු වූ බැවින් අපි මාන කැලයට පිවිස ගමන ආරම්භ කළෙමු. නිරෝෂ් සොයුරාගේ කැමරාවට විවේකයක් නොලද අතර ඉදිරියෙන් මධුශංඛ සොයුරා මග සාදාගෙන ගමන් කළේ අප නියම කළ පැමිණි සිතියමට අනුවය.  
තවත් හෝරාවක් ගත වන තැන අපි මාන පඳුරු හා ගල් කුට්ටි අතරින් යමින් පයිනස් ගස් පිහිටි කන්දේ ඉහළට පැමිණියෙමු. මෙම කඳු මුදුනේ පැහැදිලි ගල් තලාවක් හෝ නැරඹුම් ස්ථානයක් නොමැති බව අපි කල්තියාම චන්ද්‍රිකා ඡායාරූප හා සිතියම් නිරීක්ෂණයෙන් දැන ගත්තෙමු.
හෝර්ටන් තැන්න පෙනෙන අයුරු
කෙසේ නමුත් කන්දේ කෙලවරවල් වෙත ගමන් කොට අවට පරිසරය නැරඹිය හැකි ස්ථානයක් සොයා ගැනීමට අප අදහස් කළේ පයිනස් කැලය අතරින් සමතලා බිමේ ඇවිද යන ගමන්ය. එකෙණෙහිම අපි කැලය තුළ වූ ගල්තලාවකට ළඟා වූ අතර එහි වූ ගෝනෙකු අපි දැක බියට පත්ව වන පියස අතරින් දිව ගියේ ඇසිල්ලකිනි. අඛණ්ඩ දුෂ්කර කඳු තරණයක නියැළුණ හෙයින් ගතේ විඩාව යනු පිණිස අප ගල්තලාව මත වැතිර ගත්තෙමු. එහිදී අප ගෙන ආ බිස්කට් සහ ජලය පානය කර සිතියමේ පරිදි කන්දේ උසම ස්ථානය සොයා කඳු ගැටය කෙළවර දිගේ යාමට අපි සූදානම් වුණෙමු.  
පසුව අප මීටර් 1700 ට ඉහළින් පිහිටි කන්දේ එක්තරා කෙළවරකට පැමිණි අතර එහි දී අපට හක්ගල කඳුවැටිය, පිදුරුතලාගල, තෙබු පලකන්ද, වැලිමඩ හා ඉන් එහාට පරිසරය දැක ගැනීමට හැකිවුණි. එහිදී අසල වූ ගසකට නැග තවදුරටත් නිරීක්ෂණයේ දී කන්ද බටහිර දෙසට යන බැවින් අපි එදෙසට ගමන් කළෙමු. ක්‍රමයෙන් තංගමලය රක්ෂිතයේ උසම ඉසව්වට ළඟාවනු අපට දැනුණු අතර වසර ගණනකට පෙර භාවිත කර ඉවත් කරන ලද විශාල ඉටි රෙද්දක් තිබෙනු අපි දුටුවෙමු. එහි ළඟා වූ පසු අපි ඊට ඉහළින් පිහිටි කඳු ගැටයට නැග ගත්තේ ඇසිල්ලකිනි.
හපුතලේ සිට ඉදල්ගස්ඉන්නට යන දුම්රියක්
එහි දී අපගේ වෑයම සාර්ථක කරමින් කන්දේ උසම ස්ථානයට අප ළඟා වූ බව දැනගත්තෙමු. එනම් මිනින්දෝරු සලකුණ එහි වූ හෙයිනි. කුඩා ඊතලයක් වැනි හැඩය කුඩා කොන්ක්‍රීට් කොටසක පොළොව තුළ මඳක් ඉහළට එක ලෙස නිමවා තිබූ අතර එම ඉසව්ව ලී යොදා ආවරණය කොට තිබුණි. මාස කිහිපයකට පෙර මෙම කර්තව්‍යය කරන්නට ඇතැයි සිතුණේ තවමත් කුඩා අට්ටාලයක් එහි තිබූ හෙයිනි. කොන්ක්‍රීට් වැඩවලට ගෙන ආ ඉටිරෙද්ද පසක වූ අතර අපට කඳු ගැටයේ කෙළවරට ළඟා වූ පසු දැක ගැනීමට හැකි වූයේ මෙම කන්දෙන් වෙන්ව අඩි කිහිපයකි. දුරින් පිහිටි විශාල තනි කඳු ගැටයකි.
එය යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටය වූ අතර ඊට ළඟා වීමට අපට කිසිදු ක්‍රමයක් නොවීය. මන්ද අඩි ගණනක දුර වුවද කඳු දෙක අතර පිහිටියේ මීටර් ගණනක හෙලකි. එබැවින් යක්ෂයාගේ ආසනය පිහිටි කඳු ගැටයට අපට යාමට කිසිදු ක්‍රමයක් නොවීය.
එම නිසාම අපි කන්දේ අනෙක් පසට ගොස් යක්ෂයාගේ ආසනය දැක ගත්තෙමු. සෘජුවම පහළ පොළොවේ සිට මීටර 150 ක් පමණ ඉහළට විහිදුණු කළු ගල් පර්වතයේ බෑවුමට මුහුණලා ආසනයක් ලෙස ස්වභාවිකවම සෑදුණු ගල් පර්වත කොටසක් ඉදිරියට නෙරා තිබුණි. පහසුවෙන් පුටුවක වාඩි වන ආකාරයට එහි හිඳගත හැකි පරිදි එය තිබුණා.  
නමුත් එහි අසුන්ගෙන ඉදිරියට මදක් හෝ පාත්වුවහොත් සෘජුවම ඔබ මීටර් 150 ක් පමණ පහළට වැටෙනු ඇත. මන්ද එම ආසනයේ තුන් පැත්තක්ම විවෘත වූ හෙයිනි. එපමණ දුෂ්කර හා මරණාසන්න අවධානම පවතින යකාගේ ආසනය අපි ඊට මඳ දුරක දී දැකබලා ගත්තෙමු. පසුව හපුතලේ සිට ඉදල්ගස්හින්නට යන උඩරට මැණිකේ දුම්රිය අලංකාරව වංගු ගැසී යන ආකාරයත් ඉදල්ගස්හින්න කන්ද උඩවේරිය කඳු කිරිගල්පොත්ත, වංගෙඩිගල සහ ගොම්මෝලිය ගලපිටගල ආදී කඳු සේම බලංගොඩ දක්වා පරිසරය දැක ගැනීමට අපට හැකි වුණි.  
සවස් යාමය ළංවූ බැවින් කඳුගැටය කෙළවරින්ම අපි පයිනස් කැලයට ඇතුළු වී නැවතත් අඩි මාර්ගයට පිවිස යතුරුපැදි නැවැත් වූ ස්ථානයට ගමන් කළෙමු. පසුව අප බෙරගල නගරය හා බලංගොඩ හරහා පිටත් වූයේ ඇඳිරි වැටුණු කණිසමේය.  
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
lankadeepa
=========================================================== 
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ....
ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන්,,හා,,share,,කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment