Friday, August 5, 2016

විශ්වයෙන් ආ අබිරහස් සංඥා (අබිරහස් අඩවිය - Abirahas Adawiya - aliens pitasakwala jeeween)

අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.

SETI Institute
මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? අප මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන අලූත් ම තොරතුරයි. ඒවගේ ම පිටසක්වළ ජීවීන් පිළිබඳ අපූරු, අද්භූත රසවත් තොරතුරු රැසක් ද ඒ සමඟ ගෙන එනවා.
පිටසක්වළ ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.
ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.

විශ්වයෙන් ආ අබිරහස් සංඥාව 
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්‍යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.
අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.

‘පුංචි කොළපාට කුරුමිට්ටෝ’
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශ‍්‍රය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.අබිරහස් සංඥාව ගැන උනන්දුවක්
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා. එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද? ඒ ගැන විස්තර තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Tuesday, August 2, 2016

අපායේ තවත් දොරටුවක් තුර්කියෙන් හමුවෙයි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

ගී්‍රක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකිවූ බව පසුගියදා ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයකු වන ෆ්‍රැන්සිස්‌කෝ දි අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා. ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන අන්දියා කියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍යයේ නිරිතදිග ප්‍රදේශයෙන්. අතීත රෝම අධිරාජ්‍යයට අයත් හිරාපොලිස්‌ නමැති මේ නිරිතදිග තුර්කි නගරය අද හඳුන්වන්නේ පටුක්‌කේල් යනුවෙන්. මේ ප්‍රදේශයේ උණුදිය උල්පත් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට යැමේදී මේ “අපා දොරටුව” හමුවී තිබෙනවා. මේ දොරටුව පැරැණි රෝමන්වරුන් සකස්‌ කර ඇත්තේ පියගැටපෙළක්‌ සහ කුඩා වෘත්තාකාර ගොඩනැඟිල්ලක්‌ සහිත ස්‌ථානයක්‌ හැටියටයි. එහි පසෙක දොරටුවක්‌ තිබෙනවා. ඒ දොරටුවෙන් නිමක්‌ නොපෙනෙන බිම් ගෙයකට ඇතුළු විය හැකියි. දොරටුවෙන් නිරන්තරයෙන් උණුසුම් විෂ වායු වර්ග පිටවෙනවා.
ක්‍රි. පූ. 64/63 කාලයේදී ස්‌ට්‍රැබෝ නමැති ගී්‍රක භූ විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියූ ලේඛන අදටත් තිබෙනවා. (“මේ දොරටුව වාෂ්ප සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිම්ගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය”) ගුහාවේ කට අසලට යන සතුන් ක්‍ෂණයකින් මැරී වැටෙන බවත්, ඒ අසලින් පියාඹා ගිය කුරුල්ලකු මැරී වැටෙන හැටි තමා දුටු බවත් ඔහු ලියා තිබෙනවා.

මෙම විශේෂ සොයා ගැනීම ගැන මහාචාර්ය අන්ද්‍රියා හෙළි කළේ ඉතාලියේ පැවැති පුරාවිද්‍යාත්මක සමුළුවක්‌ අමතා කළ කතාවකදී.
උමග හමුවූ ස්‌ථානයේ ගරා වැටුණු ස්‌ථම්භ කිහිපයක්‌ තිබුණා. උමග සහ එහි විවරය පාතාල ලෝකයේ දෙවිවරුවන් වන ප්ලූටෝ සහ කෝරේ යන දෙදෙනා වෙනුවෙන් කැප කරන බව ඒවායේ සඳහන් වුණා.
ගුහාවෙන් පිටතට එන විෂ වායු වර්ගවල වැඩිහරියක්‌ තිබෙන්නේ කාබන් ඩයොක්‌සයිඩ්. ක්‍රි. පූ. 64/63 කාලයේදි ස්‌ට්‍රබෝ කියූ ලෙසට, අන්ද්‍රියා මහාචාර්යතුමා උමග සොයා ගන්නා විටත් ඒ අසලින් පියඹා යමින් සිටි කුරුල්ලන් රෑනක්‌ම මැරී වැටුණා.

මේ පුරාවිද්‍යාඥ කණ්‌ඩායම කතෝලිකයන්ගේ ආගමික ඉතිහාසයට අයත් විශිෂ්ට සොයාගැනීමක්‌ වසර 2011 දී කළා. එනම්. ක්‍රිස්‌තුස්‌වහන්සේගේ ප්‍රධාන ගෝලයන් 12 දෙනාගෙන් කෙනකු වන පිලිප් සාන්තුවරයාගේ සොහොන සොයා ගැනීමයි.

ගුහාව පිහිටි නගරය ක්‍රි.පූ. 190 දී 2 වැනි එවුවෙනස්‌ නමැති රජු විසින් ගොඩනංවන ලද්දක්‌. ක්‍රි. පූ. 133 දී රෝමන්වරුන් විසින් නගරය ඩැහැගනු ලැබුවා.
රෝමන් පාලනය යටතේ මේ නගරය ඉතා පුළුල් ලෙස දියුණු කෙරුණා. නගරයේ උණුදිය උල්පත් ගණනාවක්‌ තිබුණා. ඒවා විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ රසායනික දියරයන්ගෙන් පෝෂණය වූ නිසා රෝග සුව කිරීමේ බලයකින් සමන්විත වුණා. ඒ බැවින් මේ උණුදිය උල්පත්වල ස්‌නානය කිරීමට පැමිණි ජනයාගෙන් ප්‍රදේශය නිතර පිරී ගියා. මේ මීට වසර 2100 කට පමණ පෙරයි.
ක්‍රි. ව. 400 වනතුරු මේ නගරය ජනාකීර්ණව පැවැති බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඉන්පසු හටගත් භූමිකම්පා මාලාවක්‌ නිසා නගරය අත්හැර යන්නට ජනයාට මෙන්ම එහි ආ වන්දනාකරුවන්ටත් සිදු වුණා.  




උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සොහොන් කාලි අවතාරයේ සාපය..(sohon kali manio manthara gurukam අබිරහස් අඩවිය - Abirahas Adawiya)

වැඩිහිටියන් සමඟ ඇති අමනාපකම් නොහොඳ නෝක්කාඩුකම්වලට දරුවන්ගෙන් පළිගන්න සමාජ රටාවක සැඟවී සිටින පුද්ගලයන් ඕනෑම ප්‍රදේශයක, ගමක, නගරයක සිටීම නොරහසකි. දිනපතා එළිදකින එවැනි සිද්ධීන්වල පසුබිම පැරැණි අමනාපකම්ය. එය වින්දිතයා සමඟ නොව ඔහුගේ මවුපියන් සමඟ තිබෙන අතීත අමනාපකම් බව හෙළිවන්නේ පොලිස් පොතේ ලියැවුණුදාටය. එවැනි අන්දමේ දාමරිකකම් කරන පුද්ගලයන් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ඇතැම් දේශපාලනඥයන්ද ඉස්සර කරගත් අවස්ථාද එමටය. ආණ්ඩු පෙරැළිවලදී දේශපාලන බල තුලනය ඔවුන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන අවස්ථා මෙන්ම ඔවුන්ගේ රැකවරණය ලබාගන්නා අවස්ථා අතීතය තුළ මෙන්ම අදටත් තිබෙන බව සනාථ වන අවස්ථාද එමටය.
නීතියේ පිළිසරණ නොමැතිව කාලි මෑණියන්ගේ පිහිට පතන හලාවත මුන්නේශ්වරම් මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ වැඩහිඳුවා ඇති කාලි මෑණියන්ගේ කුටිය ඉදිරියේ දිගහැරෙන දුක් අ‍ෙ¼දා්නාවලින් එවැනි සිද්ධීන් කොතෙකුත් එළිදැක තිබේ. එවැනි අන්දමට මවුපියන් සමඟ ඇති පැරැණි අමනාපකම්වලට දරුවන්ගෙන් පළිගෙන ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන සුනුවිසුනු කළ සිද්ධියකදී මැර බලය ගිනි බලයක් බවට පත්කරමින් කාලි මෑණියන් සොහොන් කාලි අවතාරය යවා දඬුවම් දුන් අතීත සිද්ධියක යටගියාව කියන්නට මෙවරද හඬ අවදි කර සිටියේ මහාභද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක සිවපාද සුන්දරම් නොහොත් ගෝපි ස්වාමියි.


මම මේ කියන අය පදිංචිව සිටියේ කදුරුවෙලට නුදුරු ප්‍රදේශයක ගොවි ගමකයි. ඒ අයට මාර්ග අයිනේ වගේම ගමේ ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අයගේ මවුපියන් හරිහම්බ කර පොහොසත් වුණේ ගොඩ මඩ ගොවිතැන්වලින්. ඊට අමතරව සුළුවෙන් පටන්ගත්ත වෙළෙ¼දාමකුත් කරගෙන ගියා. ඒ අය අහල පහළ කාගෙත් මඟුලටත්, මළ ගෙවල්වලටත් ගිහින් උදවු කරමින් ඒ ගෙවල්වල දානමය කටයුතුවලට මිල මුදලින්ද උදවු කළා. මේ මවුපියන්ට හිටිය දරුවන් හතරදෙනාත් හොඳට ඉගෙනගෙන කොළඹ, කටුනායක පළාත්වල රැකියා කළා. පසු කාලෙක මවුපියන් මියගියාට පස්සෙ විවාහ වෙලා හිටිය පිරිමි දරුවන් දෙන්නම ඒ අයගෙ මහගෙදරට ඇවිත් ඒ ඉඩමේ ඉදිකරල තිබුණු ගෙවල් දෙකක පදිංචි වුණා.

ඔවුන් එහෙම පදිංචි වුණේ ඒ අය කරමින් සිටි ස්ථිර රැකියාවන් පවා අතහැරල උපන් ගමේ දේපොළ රැක ගන්නයි. ඒ මොකද මවුපියන් මියයන විට ඒ අය කළ ගොවිතැන් බත් හොඳට කරගෙන යන්න මවුපියන්ට මියයන්නට පෙර පහසුකම් සලසලයි තිබුණෙ. යාය නොපෙනෙන තරමේ කුඹුරු ඉඩකඩම් ප්‍රමාණයක් තිබුණ ඒ අය ට්‍රැක්ටර් මෝටර් රථ දෙකක්ද මිලදී අරන් පවුල් දෙකේම අය හොඳ සමඟියෙන් ජීවත් වුණා. මියගිය මවුපියන් ජීවත්ව සිටියදී ඒ අයගෙ ගොඩඉඩම් අක්කර පහකට බොරුවට අයිතිවාසිකම් කිව්ව තවත් ගමේ පවුලක දරුවන් ඒ අතීත සිද්ධීන් නිතර නිතර අවුස්සමින් මේ අය සමඟ සණ්ඩු කළා. ඒ සිද්ධීන් පසුව ඉඩම් නඩු දක්වා දිග්ගැස්සී ගියා.
මේ අය සමඟ ඉඩම් ආරවුල්වලට වෛර බැඳගෙන හිටිය විරුද්ධවාදී පවුලේ තරුණයන් දෙන්නා පාසල් අධ්‍යාපනයත් මඟදි කඩාකප්පල් කරගෙන මවුපියන් හරිහම්බකරගෙන තිබුණු දේවල් විකුණාගෙන කමින් තමයි ඒ දෙන්නා ජීවත් වුණේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්න කොළඹට නුදුරු ප්‍රදේශයක ප්‍රාදේශීය දේශපාලනඥයකුගෙ පෞද්ගලික ආරක්‍ෂකයන් දෙන්නෙක් හැටියට ඒ අය ළඟට ගියා. ඒ දෙන්නම එහෙම යන්න හැකි වුණේ ඒ අයගෙ අතේ පයේ සමීපයේ අනුන්ට හිංසා කරන මැරයන් දෙන්නෙක් හැටියට නම්දරා සිටි නිසයි. මේ මැර තරුණයන් දෙන්නට කොහෙ හිටියත් මතක් වුණේ එයාලගෙ ගම්පළාතෙ තියෙන මේ ඉඩම් ආරවුල ගැනයි. මේ තරුණයන් දෙන්නා පසුගිය පළාත් සභා මැතිවරණ කාලෙ දේශපාලන හයිය අරගෙන ගමේ ඉන්න අර ගොවිතැන් කරගෙන කුළුබඩු, තොගබඩු බෙදාහැරීමේ යෙදිල හිටිය පවුලේ අයගෙ දේපොළ විනාශ කරන්න නිතරම කුමන්ත්‍රණ කළා. දිනක් මේ දෙන්න කොළඹ පළාතෙ ඒ අය වගේම මැර බලයෙන් ජීවත් වන තරුණයන් දෙතුන් දෙනෙක් එක්ක ජීප් රථයකින් ඇවිත් අර සාමකාමීව ඉන්න ගොවි ගෙවල් දෙකේම ගොඩ වගාවන් විනාශ කරල මායිම් කම්බි කපල බීමතින් කෑගහල බැනල ආයෙත් එනව කියාගෙන පිටත්ව ගියේ මුළු ගමම බියගන්වලයි.
ඒ සිද්ධියෙන් පස්සෙ ඒ ගොවි ගෙවල් දෙකේ අය හිටියෙ හරිම බියෙන්. ඒ නිසාම ඔවුන් ඒ මැර පිරිස විනාශ කළ දේවල්වල පාඩුව විඳදරාගෙන නීතියේ පිළිසරණ පතා යෑමෙන් වැළකී සිටියා. මේ ගොවි පවුලේ සහෝදරයන් දෙන්නා ටිකෙන් ටික දියුණු වෙමින් ඒ අයට අයිති මහපාර අයිනෙ තිබුණු ඉඩමක අලුත් ගොඩනැඟිල්ලක් හදල ඒ අයගෙ ව්‍යාපාර කරගෙන ගියා. මාස දෙකකට සැරයක් කොළඹට ගිහින් කුළුබඩු, සිල්ලර බඩු ලොරියක පටවල ඒ අලුත් ව්‍යාපාරික ස්ථානයට ගෙනැවිත් සහෝදරයන් දෙන්නා සාමකාමීව ව්‍යාපාරය කරගෙන ගියා. කොළඹ පළාතෙ ඉන්න අර මැර තරුණයන් දෙන්නා ඉඳලහිටල ඒ අයගෙ ඥාතීන් බලන්න මේ ගම් පළාතට ආව ගියා. ඒ අය ආව හැම අවස්ථාවකදීම මේ ගොවි පවුලේ තරුණයන්ගේ ගෙවල් ළඟට ඇවිත් මරණ තර්ජනය කරලයි ආපහු ගියේ.
තවත් දිනෙක ඒ දෙන්න තවත් මැර පිරිසක් සමඟ ඇවිත් අර ගොවි ගෙදර තරුණයන්ට අයිති ව්‍යාපාරික ස්ථානයේ ගොඩනැඟිල්ලට අලාභහානි කරල ඒ අයගෙ වාහනයත් පොඩිකරල ගියේ ආයෙත් එනව කියල තර්ජනය කරලයි. මේ සිද්ධිය අර මේ ව්‍යාපාරික ස්ථානයට කොළඹ ඉඳන් බඩු ගේන රියැදුරුට ආරංචි වුණා. ඒ ලොරි රියැදුරා හිටියෙ දඹුල්ලට නුදුරු ගමකයි. ඒ රියැදුරා අපේ කාලි කෝවිලට මාස තුනක හතරකට වරක් එන යන අයෙක්. ඒ අය මේ මැර තර්ජන එල්ලවන ගොවි ගෙදර අය හමුවෙලා. ඒ අයත් එක්ක එයාගෙ මෝටර් රථයෙන් අපේ කාලි කෝවිලට ආවා. ඒ ඇවිත් මේ පවුලේ අයට සිදුවන මැර තර්ජන ගැන කියල කාලි මෑණියන්ට බාරහාර වෙලා පළීගලේ පොල් ගහල කාලි මෑණියන්ගෙන් පිහිටක් ඉල්ලා සිටියා. කාලි මෑණියන් ඒ අයගෙ දුකට පිහිට වුණොත් ඒ අය ත්‍රිෂූලයක් රතු සාරියක්, කිරි බෝතල් 10ක්, රතු මල් මාලයක් කාලි මෑණියන්ට පූජා කරනව කියලයි ඒ අය බාරවුණේ.
ඒ අය එදා හලාවත නවාතැනක නැවැතිලා එතැන ඉඳගෙන බත් පාර්සල් 50ක් පිළියෙල කරගෙන පසුදින දහවල් ආයෙත් අපේ කාලි කෝවිලට ඇවිත් ඒ වන විට කාලි කෝවිලට ඇවිත් හිටිය කාලි බැතිමතුන්ට බෙදල දීලයි ආපහු ගම් බලා ගියේ. ඒ අය ආපසු ගිහින් දින 21ක් යන්න පෙර අර මැරයන් දෙන්නගෙන් එක් අයෙක් ඒ අය ආව ජීප් රථය තවත් මෝටර් රථයක හැපිල මියගියේ මේ ගොවි ගෙවල් දෙක අතරෙදිමයි. අනෙක් මැර තරුණයාගෙ අත්පා කැඩිල රෝද පුටුවකට වැටුණා. වෙනදා ළඟ හිටිය අයගෙ උදවුකාරයොත් ඒ අයගෙන් ඉවත්වුණා. ඒ තරුණයා හැරගියා.
අන්තිමේ රෝද පුටුවෙන් යන මැර තරුණයාට සිදුවුණේ මහමඟ සිඟාකන්නයි. ඒ මැර තරුණයාගෙ දුප්පත් වැඩිහිටි ඥාතියෙක් එයාගෙ හිතවත් දේශපාලනඥයකු මාර්ගයෙන් මේ රෝද පුටුවට වැටුණ තරුණයාව අනුරාධපුර පළාතට අරන් ගිහින් තවත් ඒ වගේ අංගවිකල තරුණයන් කීපදෙනකු ඉන්න නිවෙසක නවත්තල ටික කලක් උපකාර කරමින් සිටියදී ඔහු ඒ නිවෙසේදී හදිසියේ මියගියා. වරදක් නොමැතිව ජීවත් වන අයගෙ ජීවිත අඳුරු කරන්නට විනාශ කරන්න හදන පුද්ගලයන්ට කාලි මෑණියන්ගේ දහසකුත් දෑස් අතරින් විහිද යන අවතාර 14න් සොහොන් කාලි අවතාරයෙන් නියමිත දඬුවම් ලැබෙන බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා.
ප්‍රේමලාල් විජේරත්න
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා....(loch ness monster අබිරහස් අඩවිය - Abirahas Adawiya unsolved mysteries )

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි
.පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා
ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත‍්‍රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක‍්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත‍්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත‍්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප‍්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ.
කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම

මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක‍්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප‍්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි‍්‍රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි‍්‍රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි.


ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...

නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත‍්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප‍්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා.
වෙදරල් කළ බොරුව

‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප‍්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා.
වෛද්‍යවරයාගේ ඡායාරූපය

‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි.
මරණ මංචකයේදී රහස හෙළි කරයි
මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප‍්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරමින් කීවා.
නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි
පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප‍්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා.
නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ
පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප‍්‍රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික‍්‍රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා. 
නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි
1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප‍්‍රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි‍්‍රතාන්‍ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්‍යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී‍්‍රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා.
නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්
1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා. 
නෙසී ගැන අපැහැදිලි නිගමනයන්
සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ.
නෙසී ගැන අලූත් අදහසක් 
2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා. 
නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?
මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප‍්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි. 
නෙසී ගැන අලූත්ම චිත‍්‍රපටය: වෝටර් හෝස්
ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත‍්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.
2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප‍්‍රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ.

නොවිසඳුණු අභිරහස 
නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

ස්ටෝන්හෙන්ජ් Stonehenge: පැරැන්නන්ගේ විශ්ව කැලැන්ඩරයේ අබිරහස ....අබිරහස් අඩවිය - Abirahas Adawiya.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්, කැපී පෙනෙන, ශ්‍රේෂ්ඨ නිර්මාණ බි‍්‍රතාන්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. මේ අබිරහස තමයි, ස්ටෝන්හෙන්ජ් Stonehenge ගල්කනු. අද නම් ඒක ස්මාරකයක් ලෙස සැලකෙනවා. ඒක ඇත්තෙන්ම හරිම අපූරුයි. හැබෑම අබිරහසක් බවට කිසිම සැකයක් නැහැ. ඉතිං මොක්කද ඒ අබිරහස? ඒ අබිරහස තමයි, මේ ගල් කනු ස්මාරකය මොකක්ද? කවුද හැදුවේ? මොකටද හැදුවේ? කවදාද හැදුවේ? ආදී ප‍්‍රශ්නවලට හරිහැටි පිළිතුරු ඉදිරිපත් කරන්න විද්‍යාවට නොහැකි වීමයි. නමුත් පුරාවිද්‍යාඥයන් කියන්නේ එය ලොව පැරණිම දින දර්ශනයක් එසේත් නැතිනම් කැලැන්ඩරයක් කියලයි.
ස්ටෝන්හෙන්ජ්: තාරකා විද්‍යා කැලැන්ඩරය

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්ටෝන්හෙන්ජ් ගැන නොයෙක් විධියේ පැහැදිලි කිරීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් ස්ටෝන්හෙන්ජ් ඉදිකළ කාලය ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවුනත් ස්ටෝන්හෙන්ජ් හරියටම කුමක් දැයි කියන්න පැහැදිලි කළ හැකි වී නැහැ. සමහර බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශ්වාස කළේ එය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසයි. සමහරුන් කීවේ පේගන් දෙවියන්ට පුද පූජා පැවැත්වූ දෙවොලක් කියායි. තවත් අය කීවේ සුප‍්‍රකට ආතර් රජුගේ මායාකරු මර්ලින් විසින් නිර්මාණය කරන ලද්දක් කියායි. අතීතයේ කවුරු කොහොම කීවත් ඒත් මෑත කාලයේදී නම් තවත් අපූරු තර්කයක් ඉදිරිපත් වුණා. ඒ ස්ටෝන්හෙන්ජ් උසස් තාක්ෂණික දියුණුවක් ඇති පිටසක්වල ජීවී කොට්ඨාශයකගේ අපූරු නිර්මාණයක් ලෙසයි. වර්තමාන විද්‍යාඥයන්ගේ මතය ස්ටොන්හෙන්ජ් පුරාණ තාරකා විද්‍යාඥයන් විසින් භාවිතා කළ ඉතාමත් සංකීර්ණ දිනදර්ශනයක් යන්නයි.

ස්ටෝන්හෙන්ජ් ගැන වැරදි වැටහීම්

16 වැනි සියවසේ විසූ බි‍්‍රතාන්‍ය පුරාවස්තු රැස්කරන්නන් කීවේ ස්ටෝන්හෙන්ජ් ගල්කනු යනු ඩෲයිඞ් පූජකයන් වැඳුම් පිදුම් කළ පූජනීය දේවාලයක් කියලයි. ඩෲයිඞ් කියලා කියන්නේ කෙල්ටික් පූජකයන් පිරිසකි. කෙල්ටික් සංස්කෘතිය බටහිර යුරෝපයේ මුල් බැසගෙන තිබුණේ රෝම අධිරාජ්‍ය සමයේදීයි. මේ ඩෲයිඞ් පූජකයෝ ඇදහූයේ පේගන් ආගමයි. ඔවුන්ගේ දෙවිවරුන් වුණේ සොබාදහමයි. ගස්වැල්, ගංගා ඇළදොළ, අහස පොළොව ආදිය. ඔවුන් දක්ෂ මායාකරුවන් බවට ප‍්‍රචලිතයි. ඒ නිසා ස්ටෝන්හෙන්ජ් ඩෲයිඞ් උරුමයක් කියලා විශ්වාස කරලා ආදරේ කරන්න බි‍්‍රතාන්‍ය වැසියෝ බොහොමයක් පෙලඹුණා. කවියන් ස්ටෝන්හෙන්ජ් ගැන කවි ලීවා. 1960 දශකයේදී ඩෲයිඞ් පූජකයන්ට ඇලූම් කළ පිරිස් ඔවුන් වගේ දිගු ලෝගුවලින් සැරසිලා සෑම වසරකම ගී‍්‍රස්ම සෘතුවේ ස්ටෝන්හෙන්ජ් වටා එක්රොක් වී පැරැන්නෝ කළාක් මෙන් යාගහෝම උත්සව පවත්වන්න වුණා.
පුරාවිද්‍යාත්මක වටිනාකමක්
පාෂාණධාතු විද්‍යාඥයන්ගේ මතයේ හැටියට ස්ටෝන්හෙන්ජ් හුඟක් පැරණියි. අවස්ථා තුනකදී කොටස් තුනකින් ඉදි වී ඇති එහි මුල් කොටස කි‍්‍රස්තු පූර්ව 3100ට අයත්. ඩෲයිඞ්වරුන් පහළ වෙන්නට බොහොම ඉස්සරින්. එංගලන්තයේ සැලිස්බරිහී සිට කි.මී. 15ක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ටෝන්හෙන්ජ්හී ප‍්‍රධාන ලක්ෂණය වන්නේ දැවැන්ත ගල් කුලූනු පෙළක් කවාකාරව තැන්පත් කර තිබීමයි. මේවා නව ශිලායුගයට (කි‍්‍රස්තු පූර්ව 4500ත් 1500ත් අතර කාලයට) අයත් ඒවා ලෙසයි සැලකෙන්නේ.
ඕබ්රි සිදුරු 
පැරණි කොටසේ තියෙනවා වටකුරුව තැනූ ඉවුරක් හා විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වළක්. එහි විශ්කම්භය මීටර් 10ක් පමණ වෙනවා. ඒ වටා තියෙනවා, වළල්ලක් ආකාරයට විහිදුණු, සෙ.මී 130ක් පළල කුඩා සිදුරු පෙළක්. ඒවා 1666 දී ජෝන් ඕබ්රි විසින් මුලින්ම සොයා ගත් නිසා ‘ඕබ්රි සිදුරු’ කියා හැඳින්වෙනවා. දෙවන අදියරට අයත් මේ සිදුරුවලින් හෙළිවන්නේ මෙහි දැවවලින් කළ දැවැන්ත ඉදිකිරීමක් පැවති බවයි.
ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියර
අද දක්නට ලැබෙන්නේ මේ ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියරයි. එහි දැවැන්ත ගල් කුලූනු 30ක් කවාකාරව තැන්පත් කර තියෙනවා. ඒ කාලයේ රෝදය ගැන දැනීමක් මේවා ඉදි කළ අයට නොතිබුණු නිසා මේවා මෙහි ගෙන ඒමත් විස්මයක්. මේ එකක් මීටර් 4ක් උසයි. මේ තරම් විශාල ගල් කුලූනු මෙහි ගෙන එන්නට ඇතැයි සැලකෙන්නේ මෙහි සිට කි.මී. 40ක් පමණ එපිට ගල්වළකින්. ප‍්‍රධාන කවය ඇතුළේ ඇති අශ්ව ලාඩමක හැඩයට තබා ඇති නිල් පැහැ ගල් විශේෂය මෙහි ගෙනැවිත් ඇත්තේ වේල්සයෙන්. එය කි.මී. 248ක් දුරින් පිහිටි තැනක්.
ජෙරල්ඞ් හෝකින්ස් කියන දේ
1963 දී ජෙරල්ඞ් හෝකින්ස් කියන තාරකා විද්‍යාඥයා විසින් පළ කරන ලද ‘ස්ටෝන්හෙන්ජ් ඩිකෝඩඞ්’ නම් පොතෙන් එයා කරුණු දක්වා තියෙනවා, පැරැන්නන් මේ ස්ටෝන්හෙන්ජ් ඉදි කර ඇත්තේ අහස නිරීක්ෂණය කිරීමට කියා. සූර්යයා කේන්ද්‍ර කර ගෙන ඉදි කර ඇති මෙහි එක් ගල් කුළකින් සූර්යයා සමකයෙන් ඈත්වන අවස්ථා හඳුනා ගත හැකියි. ඔහු දක්වන ආකාරයට මෙය ගල්යුගයේ පැවති සූර්ය කැලැන්ඩරයක්. මේ මගින් පැරණි මිනිසුන් සූර්ය ග‍්‍රහණ සිදුවීම පිළිබඳ අනාවැකි පවා කියන්නට ඇතැයි හෝකින්ස් ඔහුගේ පොතෙන් හෙළිදරවු කර තියෙනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, July 31, 2016

පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්....puma punku. අබිරහස් අඩවිය - Abirahas Adawiya

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා මාලාවේ තවත් කොටසක් වේ. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු. අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.
පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. පිරමීඩවලටත් වඩා පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒක පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්. මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. අද අපි සූදානම් වන්නේ පූමාපුංකු ගැන විස්තර කියන්නයි.
පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ 
පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. අපට අසන්න ලැබෙන පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහෙ පැමිණි බවට ඇති ප‍්‍රහෙලිකාවේ ඉතා වැදගත්ම කොටස හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නටඹුන් ලෙස සැලකෙනවා. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටඹුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමාන වෙනවා. ලොව පුරා දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්න පූමාපුංකු සමත් වෙනවා. සැකයක් නැහැ. පූමාපුංකු නගරයේ ඉදිකිරීම් සිදුවුණේ කොහොමදැයි කියන්න මොනම විධියකින්වත් හැකියාවක් ඇත්තේ නැහැ. 

පූමාපුංකු නගරයේ අති දැවැන්ත නිර්මාණ සියල්ල කිසියම් මහා බලවේගයකින් කැබැලි කර දමලයි තිබෙන්නේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කරන ලද ඒවා. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වෙනවා. හරියට පුංචි ඔයාලා සෙල්ලම් කරන්න ගන්නා කැබැලි එකතු කරන ප‍්‍රහේලිකාවක් හා සමානයි. මේ නගරයට කිට්ටුම ගල්වල ඇත්තේ සැතපුම් 7,000 ක් දුරිනුයි. මෙහි ඇති මේ අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි කොහොමද සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට රැගෙන ආවේ? පූමාපුංකු පළමු අබිරහස තමයි, ඒ. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000 ක් උසකිනුයි. නගරය අසල කොහේවත් ගස් ඇත්තේ නැහැ. ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලූ කරගෙන ඒමට ඒ නිසා හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවට දකින්න ලැබෙන්නේ පඳුරු හා තණ කොළ විතරයි. පූමාපුංකු නගරය මොකක්ද? හැදුවේ කොහොමද? ආදී ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු අපට සිතා ගන්නවත් බැහැ.

අයිමාරා ඉන්දියානුවන්
පුරාවිද්‍යාඥයන් කියන්නේ පූමාපුංකු නගරයේ අද නටබුන්ව ඇති නිර්මාණය කළේ ‘අයිමාරා’ කියන ඉන්දියානු ගෝති‍්‍රකයන් කියලයි. ඒත් මේ වගේ අපූරු මහා පරිමාණයේ නිර්මාණ කරන්න නම් සැලසුම් සකස් කරන්න ඕනෑ. සැලැසුම් අඳින්න ඕනෑ. එහෙම නැතිව මේ වාගේ දෙයක් කරන්න බැහැ. පාෂාණ කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කොහොමදැයි මූලික සූදානමක් ඇතිවයි, මේ වගේ නිර්මාණයක් කළ හැකි වෙන්නේ. ඒත් ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් හැමෝම වගේ අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණාවක් තමයි, අයිමාරා ඉන්දියානුවන්ට ලේඛන කලාවක් තිබුණේ නැහැ යන්න. 
එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා. 
කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.
පූමාපුංකු හැදුවේ කොහොමද?

පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග‍්‍රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප‍්‍රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි.
අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප‍්‍රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.








උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අද්භූත විශ්වයේ අද්විතීය කළු කුහර.. (The Black Hole) අබිරහස් අඩවිය - Abirahas Adawiya

කළු කුහර යනු ඝනත්වයෙන් අධික ඉතා විශාල අභ්‍යාවකාශ වස්තූන් වෙයි. කළු කුහර වල පවතින අති විශාල ගුරුත්වාකර්‍ෂණය නිසා ඒවායේ වියෝග ප්‍රවේගය ආලෝකයේ වේගයට වඩා විශාල වෙයි. එනම් ආලෝකය පවා මෙම ගුරුත්වයට හසු වන අතර ආලෝකය ඉන් මිදී පිටතට නොපමිණෙන නිසා අපට මෙම කළු කුහර දෘශ්‍යමාන නොවේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පොදු සාපේක්‍ෂතාවාදයට අනුව දැඩි ලෙස ඝන වූ වස්තුවක ගුරුත්වාකර්‍ෂණ මඟින් ආලෝක කිරණයක් තමන් වෙතින් මිදී යාමට නොහැකි ලෙස ඇද ගත හැක.
එක් යුගයක දී කළු කුහර යන්න සිද්ධාන්තයක් පමණක් විය. එම සිද්ධාන්තයේ ආරඹ්හය වූයේ Rev. John Michell විසින් නිව්ටන්ගේ ගුරුත්වාකර්‍ෂණ නියමය භාවිතා කර කෘෂ්ණ ග්‍රහයින් පැවතීම පිළිබඳ අනාවැකි පළකිරීමයි. ඉන්පසු 1915 දී අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය “Schwartzschild singularities” හෙවත් භ්‍රමණය නොවන කළු කුහර පිළිබඳ අනාවැකි පළකර සිටියා. 1963 දී “Kerr” හෙවත් භ්‍රමණය වන කළු කුහර පිලිබඳ විසදුම සොයා ගනු ලැබූ අතර බොහෝ තාරකා භ්‍රමණය වන නිසාත් එම තාරකා බිඳ වැටුණු පසු ඒවායේ භ්‍රමණ වේගයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන නිසාත් මෙම සොයා ගැනීම ඉතා වැදගත් වුණා. 1967 දී මෙම බිඳ වැටෙන තාරකා කළු කුහර ලෙස නම් කරන ලදී. 
වර්තමානයේ දී මෙම කළු කුහර වල පැවත්ම තහවුරු වී ඇති අතර දැනට සොයාගෙන ඇති කළු කුහර ප්‍රමාණය 33 කි. අපට ආසන්නයෙන්ම පිහිටා ඇත්තේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය මධ්‍යයේ පිහිටා ඇති කළු කුහරයයි. විශාලතම කළු කුහරය පිහිටා ඇත්තේ M106 මන්දාකිණිය මධ්‍යයේය. කළු කුහර වල පැවත්ම සහ පිහිටීම සොයා ගැනීමට ඒවායින් අවට ග්‍රහ වස්තු වලට ඇති ගුරුත්වාකර්ශන බලපාම සහ ඒවයින් නිකුත් වෙන X කිරණ උපයෝගී කර ගනී.


Quantum gravity takes 
singularity out of black holes
කළු කුහර හට ගන්නේ ඉතා විශාල තාරකා (හිරුගේ ස්කන්ධය මෙන් 30 ගුණයකට වැඩි වූ) මිය යාමෙන් හෝ එම තාරකා වල හයිඩ්‍රජන් අවසන් වීමෙන් ඒවා බිඳ වටීම හෝ තම ස්කන්ධය තුළම පුපුරා යාම හේතුවෙනි. මෙසේ බිඳ වැටෙන තරුව “singularity” නමින් හඳුන්වන අපරිමිත ඝනත්වයක් සහිත වූ ලක්‍ෂයක් දක්වා හැකිලී යයි. තාරකාවේ ස්කන්ධය මෙම ලක්‍ෂයට මධ්‍යගත වෙයි. මෙම ලක්‍ෂයේ දී තවදුරටත් සාම්ප්‍රදායික ගණිත ශාස්ත්‍රය භාවිතා කළ නොහැකි වේ. “Singularity” නම් මෙම ලක්‍ෂය වටා “event horizon” නමින් හඳුන්වන චක්‍රාකාර වූ මුදුවක් පවතී. මෙය කළු කුහරයේ ගුරුත්වය බල පැවත්වෙන සීමාවයි. මෙම සීමාව තුළ කිසිඳු වස්තුවකට, ආලෝකයට පවා ගුරුත්වයෙන් මිදී යා නොහැක. මෙම සීමාව අභිබවා ගිය කල්හි නැවත පැමිණීමක් නොමැත.
ගුරුත්වාකර්‍ෂණයට ආලෝකය ඇද ගැනීමට පමණක් නොව, කාලය සහ අවකාශය විකෘති කිරීමට ද හැකියාවක් පවතින බව අයින්ස්ටයින් විසින් සනාථ කර ඇත. “Event horizon” සීමාව තුළ කාලය සහ අවකාශය යන සංකල්පය සම්පූර්ණයෙන් බිඳ වැටෙයි.

V404 Cygni 
තමා අවට පවතින දේ තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් කළු කුහර වලට ඇත. වාසනාවකට මෙන් අප දන්නා කළු කුහර වලින් පෘථිවියට තර්ජනයක් නොමැත. අපට ආසන්නම කළු කුහරය වන V404 Cygni පිහිටා ඇත්තේ ආලෝක වර්‍ෂ 15 ක් පමණ ඈතින් වන අතර විශාලතම කළු කුහරය ඉතා දුරින් පිහිටි මඳාකිණි වලට මායිම්ව පිහිටා ඇත. කළු කුහරයකට අවට වස්තූන් තමා වෙත ඇද ගත හැක්කේ අවට ස්කන්ධය තමාගේ ස්කන්ධයට සම වන තෙක් පමණි.
කළු කුහර හා සම්බන්ධ තවත් බොහෝ සංසිද්ධීන් පවතී. අයින්ස්ටයින්ගේ සමීකරණයට අනුව සෛද්ධාන්තික වශයෙන් කළු කුහර හරහා සමාන්තර ලෝක වලට සම්බන්ධ විය හැක. තවද අප ජීවත් වන විශ්වයට තරමක් වෙනස් වූ තවත් විශ්වයන් පැවතිය හැක. කළු කුහර භාවිතයෙන් කාලය හරහා අතීතයට හා අනාගතයට ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර කළු කුහර දෙකක් යා කෙරෙන “Wormhole” නම් වූ මාර්ග ඔස්සේ ක්‍ෂණයකින් ඉතා දුර ගමන් කිරීමට ද හැක.. මෙම සියල්ල සිද්ධාන්තමය වශයෙන් ඔප්පු කර ඇත.

 Roger Penros
ඔබ කළු කුහරයක “Event horizon” හි කෙළවර සිට අඩියක් කුහරය තුළට පිවිසුනේ යයි සිතන්න. ඔබගේ හිසෙහි හා කකුල් වල ගුරුත්ව වෙනස කෙතරම් වේද යත් ඔබ ක්‍ෂණයකින් රබර් පටියක් මෙන් දෙපසට ඇදී යනු ඇත. ඔබ කුහරය තුළට වැටෙන මොහොතේ හැරී බැලුවහොත් ඔබට අනාගත විශ්වය තම ඇස් ඉදිරිපිට විද්‍යාමාන වනු ඇත. නමුත් ඔබ දුටු කිසිවක් කුහරයෙන් පිටත සිටින්නන්ට පැවසීමට ඔබට නොහැකි වනු ඇත. මන්ද යත් දැන් ඔබ කළු කුහරය තුළට පිවිස ඇති අතර ඉන් පිටවීමක් නොමැති බැවිනි. ඔබ කළු කුහරයේ මධ්‍යය “Singularity” වෙත පිවිසෙත්ම තමා පරමාණුවෙන් පරමාණුව ඉරී යන බව ඔබට දැනෙණු ඇත. කාලය සහ අවකාශය මෙම මොහොතේ දී ඉතා විරූප ආකාරයකට දැනෙනු ඇත. අප මෙතෙක් විශ්වය ගැන දැන සිටි සියළු දේ බිඳී යනු ඇත. සමහරු පවසන ආකාරයට මෙම ස්ථානයේ දී පදාර්ථයේ මූලික අවස්ථා හතර පමණක් පවතිනු ඇත.

කළු කුහරයකින් මුළු ශිෂ්ටාචාරයකම පැවත්ම සඳහා අවශ්‍ය ශක්තිය සපයා ගත හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතඥ “Roger Penrose” පවසයි. Penrose ගේ අදහස වන්නේ ප්‍රථමයෙන් කළු කුහරයක් වටා ශක්ති ප්‍රවාහයක් සැපයිය හැකි උපකරණයක් සවිකිරීමයි. ඉන්පසු ඉන් නිකුත් වන ශක්ති ප්‍රවාහය කුහරයේ “Event horizon” අසළදී කොටස් දෙකකට විඛණ්ඩණය කිරීමයි. එවිට එම එක් කොටසක් කුහරය තුළට අදී යන විට එහි ඉතිරි කොටස ශුද්ධ ශක්ති ධාරාවක් සම්ප්‍රේෂණය කරනු ඇත. එම නිකුත් වන ශක්තිය කළුකුහරය වටා සවි කරන ලද අවශෝෂක උපකරණයකින් එකතු කර ගත හැක.


නමුත් මෙම ක්‍රියාදාමය හේතුවෙන් කළු කුහරයේ භ්‍රමණ වේගය අඩු වන බවත් එම නිසා මෙමඟින් ලබා ගත හකි ශක්තිය සීමා සහිත බවත් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂක “Demetrios Christodoulou” පෙන්වා දෙයි. මෙසේ කුහරය භ්‍රමණය වීම නවතින මොහොතක් උදාවනු ඇති අතර එවිට එහි පවතින ශක්තිය සැපයීමේ හැකියාව නැති වී යනු ඇත.

කළු කුහරයක් අවට ක්‍රියා කරන්නා වූ අසීමිත ශක්තිය දරා ගත හැකි උපකරණයක් නිපදවිය හැකි නම් ඒ අවට ජීවත් වන ඔබට අතීතය, වර්තමානය සහ අනාගතය හරහා විශ්වය පුරා සැරිසැරීමට ද අවස්ථාව උදා වනු ඇත.
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....

අබිරහස් අඩවිය - Abirahas Adawiya