Tuesday, August 2, 2016

අපායේ තවත් දොරටුවක් තුර්කියෙන් හමුවෙයි....(අබිරහස් අඩවිය - Abirahas Adawiya -නව සොයා ගැනිම්.)

ගී්‍රක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකිවූ බව පසුගියදා ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයකු වන ෆ්‍රැන්සිස්‌කෝ දි අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා. ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන අන්දියා කියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍යයේ නිරිතදිග ප්‍රදේශයෙන්. අතීත රෝම අධිරාජ්‍යයට අයත් හිරාපොලිස්‌ නමැති මේ නිරිතදිග තුර්කි නගරය අද හඳුන්වන්නේ පටුක්‌කේල් යනුවෙන්. මේ ප්‍රදේශයේ උණුදිය උල්පත් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට යැමේදී මේ “අපා දොරටුව” හමුවී තිබෙනවා. මේ දොරටුව පැරැණි රෝමන්වරුන් සකස්‌ කර ඇත්තේ පියගැටපෙළක්‌ සහ කුඩා වෘත්තාකාර ගොඩනැඟිල්ලක්‌ සහිත ස්‌ථානයක්‌ හැටියටයි. එහි පසෙක දොරටුවක්‌ තිබෙනවා. ඒ දොරටුවෙන් නිමක්‌ නොපෙනෙන බිම් ගෙයකට ඇතුළු විය හැකියි. දොරටුවෙන් නිරන්තරයෙන් උණුසුම් විෂ වායු වර්ග පිටවෙනවා.
ක්‍රි. පූ. 64/63 කාලයේදී ස්‌ට්‍රැබෝ නමැති ගී්‍රක භූ විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියූ ලේඛන අදටත් තිබෙනවා. (“මේ දොරටුව වාෂ්ප සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිම්ගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය”) ගුහාවේ කට අසලට යන සතුන් ක්‍ෂණයකින් මැරී වැටෙන බවත්, ඒ අසලින් පියාඹා ගිය කුරුල්ලකු මැරී වැටෙන හැටි තමා දුටු බවත් ඔහු ලියා තිබෙනවා.

මෙම විශේෂ සොයා ගැනීම ගැන මහාචාර්ය අන්ද්‍රියා හෙළි කළේ ඉතාලියේ පැවැති පුරාවිද්‍යාත්මක සමුළුවක්‌ අමතා කළ කතාවකදී.
උමග හමුවූ ස්‌ථානයේ ගරා වැටුණු ස්‌ථම්භ කිහිපයක්‌ තිබුණා. උමග සහ එහි විවරය පාතාල ලෝකයේ දෙවිවරුවන් වන ප්ලූටෝ සහ කෝරේ යන දෙදෙනා වෙනුවෙන් කැප කරන බව ඒවායේ සඳහන් වුණා.
ගුහාවෙන් පිටතට එන විෂ වායු වර්ගවල වැඩිහරියක්‌ තිබෙන්නේ කාබන් ඩයොක්‌සයිඩ්. ක්‍රි. පූ. 64/63 කාලයේදි ස්‌ට්‍රබෝ කියූ ලෙසට, අන්ද්‍රියා මහාචාර්යතුමා උමග සොයා ගන්නා විටත් ඒ අසලින් පියඹා යමින් සිටි කුරුල්ලන් රෑනක්‌ම මැරී වැටුණා.

මේ පුරාවිද්‍යාඥ කණ්‌ඩායම කතෝලිකයන්ගේ ආගමික ඉතිහාසයට අයත් විශිෂ්ට සොයාගැනීමක්‌ වසර 2011 දී කළා. එනම්. ක්‍රිස්‌තුස්‌වහන්සේගේ ප්‍රධාන ගෝලයන් 12 දෙනාගෙන් කෙනකු වන පිලිප් සාන්තුවරයාගේ සොහොන සොයා ගැනීමයි.

ගුහාව පිහිටි නගරය ක්‍රි.පූ. 190 දී 2 වැනි එවුවෙනස්‌ නමැති රජු විසින් ගොඩනංවන ලද්දක්‌. ක්‍රි. පූ. 133 දී රෝමන්වරුන් විසින් නගරය ඩැහැගනු ලැබුවා.
රෝමන් පාලනය යටතේ මේ නගරය ඉතා පුළුල් ලෙස දියුණු කෙරුණා. නගරයේ උණුදිය උල්පත් ගණනාවක්‌ තිබුණා. ඒවා විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ රසායනික දියරයන්ගෙන් පෝෂණය වූ නිසා රෝග සුව කිරීමේ බලයකින් සමන්විත වුණා. ඒ බැවින් මේ උණුදිය උල්පත්වල ස්‌නානය කිරීමට පැමිණි ජනයාගෙන් ප්‍රදේශය නිතර පිරී ගියා. මේ මීට වසර 2100 කට පමණ පෙරයි.
ක්‍රි. ව. 400 වනතුරු මේ නගරය ජනාකීර්ණව පැවැති බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඉන්පසු හටගත් භූමිකම්පා මාලාවක්‌ නිසා නගරය අත්හැර යන්නට ජනයාට මෙන්ම එහි ආ වන්දනාකරුවන්ටත් සිදු වුණා.  




උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya