Sunday, August 14, 2016

මළයක්ෂණියක්වී පැමිණි උපාසක අම්මා...(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya)


පන්සලේ ප‍්‍රධාන දායිකාව නිසාම ගමේ සියල්ලෝම ඇයට සැලකුවේ මහත් ගෞරවයෙන්. ඇය එතරම්ම දැහැමි විය. බෝධි පූජාවක්, පහන් පූජාවක්, භාවනා වැඩසටහනක් වැනි ඕනෑම පින් අතේ කටයුත්තකදී නිතැතින්ම එයට මුල් වූයේ ඇයයි. ලොකු උපාසක මැණියෝ යන නමින් ගමේ සියල්ලෝ ඇය අමතන්නට වූයේ ද මේ නිසාය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඇය තම සියලු ඉඩකඩම් තම දරුවන් අතර බෙදා දුන්නේ සියලු වගකීම් වලින් නිදහස් විය යුතු යැයි සිතූ නිසාය. තමන් මෙතෙක් ජීවත් වූ මහගෙය තම එකම පිරිමි දරුවාට ලබා දුන් ඇය ජීවිතයේ අවසන් කාලය ලොකු දුවගේ නිවසේ ගත කිරීමට තීරණය කළාය.
මවක ලෙස තම යුතුකම් මැනවින් ඉටු කරමින් සිය ඉඩකඩම් සම සමව දරු තිදෙනාට බෙදා දුන් ඇය ටික දිනක් ඇවෑමෙන් ලොකු දුවගේ නිවසට පැමිණියාය. නිවසට පැමිණි මුල් කාලයේ ලොකු දුවගෙන් ඇයට ලැබුණු සැලකිලි කල් ගතවත්ම ටිකෙන් ටික අඩු වී ගොස් අවසානයේ ලොකු දුව විසින්ම ඇයට පල නොකියා පලා බෙදන්නට වැඩි දවසක් ගත වූයේ නැත. තම දරුවන්ගේ සියලු කටයුතු අම්මාට පැවරූ ඇය එම කටයුතු මවගෙන් මඟහැරෙන විට අම්මාගේ ඇඟට කඩාගෙන පැන්නේ, ආවේශ වූ යකින්නියකගේ විලසටය. මේ හේතු හමුවේ මෙතෙක් කල් ඇය සිදු කරගෙන ආ ආගමික කටයුතු සීමා කරන්නට උපාසක මෑණියන්ට සිදුවිය. එහෙත් ඇය අඩදබර කර ගැනීමක් හෝ තම දරුවන්ට වෛර කිරීමට උත්සහ නොගත්තේ සත්‍ය ලෙසම ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරගෙන සිටි නිසාය.
මේ ආකාරයට වසරක කාලයක්වත් ඇයට ලොකු දුවගේ නිවසේ සිටීමට අවස්ථාව සැලසුණේ නැත. ඉන්පසු ඇය පොඩි දුවගේ නිවසට පැමිණියේ හිතේ ඇති වුණු කලකිරීමත් පොදි බැඳගෙනය. විදුහල්පතිනියක් ලෙස සේවය කළ මේ උපාසක අම්මාට ප‍්‍රමාණවත් විශ‍්‍රාම වැටුපක්ද හිමිවිය. ඇය එම මුදල් බොහෝ විට වැය කළේ පින් අතේ වැඩවලටය. සිය දරුවන් යහපත් ආර්ථික පසුබිමක සිටි නිසා ඔවුන්ට මුදලින් උපකාර කිරීමට තරම් මේ අම්මා කටයුතු කළේ නැත. බාල දියණියට කෙසේ වෙතත්, ඇයගේ සැමියාට නම් මෙය ඉවසිය හැකි කාරණාවක් නොවීය. හවසට මත්වතුර කටගාගෙන ගෙට ගොඩවදින පොඩි බෑණාගේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් වූයේ නැන්දම්මාගේ විශ‍්‍රාම වැටුපය.

මේ ගෑනි මෙහේ ලැගගෙන ලෝකෙට සල්ලි බෙදනවා

ඈ යකෝ අපි මෙහේ දන්සලක් දාලද?

ගෙවල් දුන්නේ වෙන එකෙක්ට. හැබැයි අපි තමයි බලා ගන්ඩ ඕනේ. මේක මාර නීතියක්නේ.

මෙලෙස ඇරඹි වාදය ටිකෙන් ටික වර්ධනය වෙමින් බෑනණ්ඩිය අවසානයේ සිය නැන්දම්මාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම දක්වා දුරදිග යන්නටද විය.
මේ අපවාද අසා ඉන්නට බැරිම තැන ඇය තම විශ‍්‍රාම වැටුපෙන් වැඩි කොටසක් තම පොඩි දුවට දීමට තීරණය කළාය. එහෙත් බෑණාගෙන් ඇතිවන හිත් පීඩා අඩු කිරීමට මෙය ප‍්‍රමාණවත් වූයේ නැත. අවසානයේ ඇය එම නිවසින් ද නික්ම යෑමට තීරණය කළාය. තම එකම පුතාගේ නිවසට නැතහොත් මහගෙදරට යළි ඇය පැමිණියාය. එහෙත් ලොකු පුතාගේ ලේලිය පිළිබඳ නම් ඇය තුළ පැවතියේ යහපත් හැඟීමක් නොවේ. ඇය මහගෙදරින් පිටව දියණියන් වෙත යෑමට තීරණය කිරීමට හේතු වූයේද මෙයයි. එහෙත් අවසානයේ යළි ලේලිය ළඟටම පැමිණීමට ඇයට සිදුවිය. ඇයගේ ලොකු ලේලිය වූ කලී සෙල්ලක්කාර ගති ඇත්තියකි. තම දරුවා රවටමින් සෙල්ලක්කාරී ලෙස ගත කරන ජීවිතයටත් ගම පුරා ඇය පිළිබඳ පැතිර යන කටකතා නිසාත්, මේ අම්මා හසුවූයේ දැඩි කලකිරීමකිනි.
නැන්දම්මාගේ යළි පැමිණීම ලේලියගේ ඇඟේ මාළු නටන්නක් බවට පත් වූයේ, නැන්දම්මාගේ පැමිණීමත් සමගම තම නිදහස සීමා වන බව ඇය අත්දැකීමෙන්ම දන්නා නිසාය. ලේලියගේ වෙනස්කම් ඉවසා සිටීම ඇයට ඉතා අපහසු විය. එයට හේතු වූයේ, තමන් මෙතෙක් ජීවත් වූ නිවසේ සිටම ලේලිය ඇයට දිගින් දිගටම පීඩා කිරීමයි. දහවලට ඇය කුසගින්නේ සිටි දින ගණන ආහාර ගත් දින ගණනට වඩා වැඩි වූයේ ලේලිය තමා ආහාර ගෙන නිම වූ සැණින් භාජනවලට වතුර දමන නිසාය. දහවල් කාලයේ නිවසේ තනි වූයේ නැන්දම්මා හා ලේලිය පමණක් වූ නිසා ලේලියගෙන් ඇය වෙතට එල්ල වූ පීඩාව තව තවත් ඉහළ ගියේය.
හිත් පීඩා හේතුවෙන් ඇය වේගවත්ව දුර්වලව වන්නට විය. ශාරීරිකව ඉතා දුබල වූ අය රෝගියකු බවට පත්වූවාය. අසනීප වී ලෙඩ ඇඳට වූ ඇයට ඇප උපස්ථාන කරන්නට ඇයගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් වූයේ නැත. අවසානයේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කෙරිණි. ඇය එන්න එන්නම දුර්වලව අවසානයේ ඇයගේ ජීවිතය ලෙඩ ඇඳට පමණක්ම සීමා විය. මුල් කාලයේදී මාසයකට වරක් පමණ ඇය බැලීමට වැඩිහිටි නිවාසයට පැමිණි දරුවන් තිදෙනාටද ටිකෙන් ටික ඇය අමතකව ගියේය.
එය සීතල දෙසැම්බරයේ හිමිදිරි උදෑසනකි. ඇයව සෝදා පිරිසුදු කරන වැඩිහිටි නිවාසයේ උපස්ථායිකාව සුපුරුදු ආකාරයට ඇය වෙත පැමිණියේ ඇය සෝදා පිරිසුදු කිරීමටය. වෙනදා සිනාසී තමා පිළිගන්නා මේ වැඩිමහල් අම්මා එදින ඇඳට වකුටු වී නිදා ගන්නේ මන්දැයි සේවිකාව විමසා බැලූවාය. ඇයගේ ශරීරය දරදඬු වී ගොසිණි. ඇත්තටම ඇය මිය ගොස් සිටියාය. මේ ගැන දරුවන්ට දැනුම් දුන් පසු ඔවුහු එක්ව තම මවගේ දේහය මහ ගෙදරට ගෙන ගොස් මහ ඉහළින් අවසන් කටයුතු සිදු කළහ. කාලය ගෙවී ගියේය. ඇයගේ මරණය සිදු වී තුන් මසක්වත් ගෙවී ගියේ නැත.
ලොකු ලේලිය සුපුරුදු ලෙස දහවල් ආහාරයෙන් පසු මඳක් විවේක ගැනීමට නිදි යහනට ගොඩ වූවාය. එක්වනම පරිසරය ටිකෙන් ටික අඳුරු වන බව වැටහුණි. ඒ වැහි බීරමක් විය හැකි බව සිතූ ඇය ඇඳටම වී සිටියාය. ඒ සමගම ඇය අඩ නින්දකට වැටුණාය.

හි......... හි.......... හි
ඇයගේ කාමරය තුළින්ම නැගුණු වියරු හිනා හඬකින් ඇය තිගැස්සී ගියාය. ඒ සමගම ඇය කලබලයෙන් නැගී සිටින්නට තැත් කළාය. එහෙත් ඇයට නැඟී සිටින්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කාමරයේ වහළය දෙකට කැඞී උළු කැට ඇයගේ දෙපා ඉදිරිපිටම බිම පතිත වන්නට විය. කිසිවක් සිතාගත නොහැකි වූ ඇය භුමිකම්පාවක් සිදු වන්නේදැයි යන්න සිතා කිසිදු අරමුණකින් තොරව ඇඳ යටට රිංගීමට උත්සහ ගත්තාය. ඒ වනවිටත් ඇය ප‍්‍රමාද වූවා වැඩිය. වහළයේ වූ විසල් පරාලයක් ඇයගේ කකුල් මතට ඇද වැටුණි. ඇයට මතක එපමණය. යළි සිහිය එන විට ඇය සිටියේ රෝහලේය.
පළමුව නිවස පිටිපස වූ විශාල පොල් ගස ඉදිරි නිවසේ යට ලීයද කඩාගෙන නිවසට පතිත වී ඇත. වැස්සක් හෝ හුළඟක් නොතිබුණු ගිනි දවාලක මහා ගසක් මුලින් ඉදිරී බිම පතිත වීම සියල්ලන් තුළම ඇති කළේ පුදුමයකි. හදිසියේ සිදු වූ අනතුරින් ලේලියගේ පා දෙකම බිඳී ගොසිණි. මාස කිහිපයකට ඇයට දෙපයින් නැගී සිටීමට නොහැකි බව වෛද්‍ය නිගමනය විය.
මේ අතරතුර දිනක් ලොකු දුවගේ නිවසේ ඉදිරි දොර දෙසින් කිසිවකු හෝ තට්ටු කරන හඬක් ඇසුනේය. ඒ වෙද්දී වෙලාව පස්වරු හතට පමණ ඇත. ඒ මොහොතේ නිවසේ රැඳි සිටියේ ඇය පමණි. ඇය ඉදිරියට ගොස් දොර හැරියේ පන්ති ගිය තම දරුවා ගෙදර පැමිණ ඇතැයි සිතූ නිසාය. එහෙත් කිසිවෙක් නැත.

ටක්. ටක්. ටක්. යළිත් පිටුපස දොරට තට්ටු කරන හඬ ඇසෙන්නට විය.
පුතා... මොකද වෙලා තියෙන්නේ ඇය ඉදිරි දොර වසා දමා කුස්සියේ දොර ළඟට ගොස් දොර හැරියාය.
බුදු අම්මෝ
ඇය දොර ඇරි වේගයෙන්ම වසා දැමුවාය. දොර අසල සිටියේ කවුද? ඇය කුස්සියෙන් සාලයට වේගයෙන් දිවවිත් පුටුවේ වාඩි වූවාය. හදිසියේම දුටු දසුනින් ඇය කෙතරම් බිය වූවාද යත් ඇය වෙව්ලන්නට වුවාය.

කළු දිග ගවුමකින් සැරසී පහතට කඩා හෙළුෑ දිග කොණ්ඩයකින් හා ගිනි රත් පැහැ ගැන්වුණු ඇස් දෙකකින් යුතුව දොර ළඟ සිටගෙන හුන් රුව ඇයට මැවි මැවී පෙනෙන්නට විය. එම රුව වෛරයෙන් මෙන් තමා දෙස බලා සිටි අයුරු මතක් වනවිට ඇගේ ශරීරයෙන් ඩහදිය ගලා යන්නට විය.

ටක්. ටක්. ටක්.
යළිත් ඉදිරි දොරට තට්ටු කරන හඬ ඇසෙයි. ඇය දෑතින්ම කන් දෙක වසා ගත්තාය.
ටක්. ටක්. ටක්.
ඇය නැගිට්ටේ නැත.
අම්මේ....... අම්මේ........ ඇයගේ හිතට තරමක සහනයක් දැනුණි. ඒ තම පුතාගේ කටහඬය. ඇය බියෙන් බියෙන් ගොස් දොර හැරියේය. පන්ති ගිය දරුවා පැමිණ සිටියේය. දිනෙන් දින ඇගේ නිවසේ මෙවැනි අද්භූත සිදුවීම් ඉහළ යන්නට විය.
මේ අතරතුර පොඩි දුවගේ සැමියාගේ රස්සාවටද හෙනහුරා හඬන්නට පටන්ගෙන තිබුණි. රැකියා ස්ථානයේ ඇති වූ මුදල් වංචාවකට මැදි වී ඔහුගේ රස්සාව අහිමි විය. මේ සමගම ඔහුගේ බේබදුකම ඉහළ ගියේය. දවස තිස්සේ නිවසේ අඬ දබර අවසන් වූයේ ගුටි බැට හුවමාරුවකින්ද පසුවය. ඔවුන්ට ගමේ තිබූ තත්ත්වයද දිනෙන් දිනම පිරිහී යන්නට විය. එළි වන තෙක් අසාගෙන සිටිය නොහැකි අසභ්‍ය වචන කියනා පොඩි දුවගේ සැමියා ගමටම පිළිලයක් වන්නට වැඩි දිනක් ගත වූයේ නැත.
මේ සියලු සිදුවීම් එක දිගට සිදුවීම සියල්ලන්ටම මහත් ගැටලූවක් විය. ගමේ අය මෙයට විවිධ කතා කියන්නට විය. දිනෙන් දින පවුල් තුන තුළම ගැටුම් සහගත තත්ත්වයන් මෙන්ම, ආර්ථික ගැටලු ද වේගයෙන් වර්ධනය වන්නට වූයේ පවුල් අතර සබඳතාව බිඳ දමමිණි.
මේ සියලූ කරදර අතරින් ලොකු උපාසක මැණියන්ගේ තුන් මාසේ දානයද ගෙවී ගියේය. එහෙත් දරුවන් තිදෙනාගෙන් එක් අයකු හෝ තම මව වෙනුවෙන් කුඩාවට හෝ දානයක් දී පිනක් අනුමෝදන් නොකළහ.
ටිකෙන් ටික පවුල් තුන තුළම ප‍්‍රශ්න ඉහළ යමින් පැවතුණි. එක්තැන් වූ ලේලිය දැඩි ලෙස මානසිකව දුර්වල වන්නට වූයේ, වරින් වර ඇසෙනා ආවේකගාරී අද්භූත හිනා හඬ හේතුවෙනි. ඇයට හැර වෙනත් කිසිවකුට මෙය නොඇසීම හේතුවෙන් ඇය අනතුර නිසා කම්පනයට පත්ව ඇතැයි වෛද්‍යවරු සිතූහ.

අවසානයේ ඔවුන් සාස්තරයක් අසන්නට ගියේ මේ කරදර නිමාවක් නැති නිසාය.
තමුන්ගේ නෑ කෙනෙක් ළඟදී නැති වුණා නේද?
ඔව්
බොහොම පින් කරපු කෙනෙක්. ඒත් තමුන්ලා එක්ක දැඩි වෛරයෙන් ඉන්න මළයකෙක් වෙලා ඉන්නේ. මෙයා පවුල් ඔක්කොම විනාශ කරන්නයි බලන් ඉන්නේ. කවුද ඒ?
අම්මා
එයා පිටද හිටියේ
ඔව්
බොහොම දුක් විඳලා මැරිලා තියෙන්නේ
ලේලිය නිහඬව බලාගෙන සිටියා විනා කිසිවක් කතා කළේ නැත.
උන්දෑ මැරෙන වෙලාවේ අධික තිබහකින් ඉඳලා තියෙන්නේ, වතුර ටිකක් දෙන්නවත් ළමයෙක් නැති එක ගැන අධික තරහක් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉඩකඩම් මෙච්චර තිබිලත් අවසානයේ අනාථ නිවාසයක මැරෙන්ඩ වෙච්ච එකන ගැන ලොකු දුකකින් ඉඳලා තියෙනවා.
ඒ හින්දම මළයක් ආත්මයක් බවට පත් වෙලා එයාව ඉවත් කරන්ඩ ගොඩක් අමාරුවෙයි. එයා ගොඩාක් ප‍්‍රබලයි.
සාස්තරකරුගේ ඒ ප‍්‍රකාශයන් ලොකු දුවගේ ඔළුව අවුල් වී ගියා සේ දැනුණි. ඇය කල්පනා කරමින් මාර්ගයට පැමිණියාය. ඇය සමග තනියට ගිය අසල්වාසී නිවසේ කාන්තාව සමග සිදුවීම පිළිබඳ කතා කරමින්ම පාර පැන්නේ බසයට ගොඩවීමටය.
...... පීප් ........
...... ක්රාස් .
හැරෙන්නටවත් මොහොතක් ඇයට ලැබුණේ නැත. පස් ගෙනියන විශාල ලොරියක ගැටුණු ඇය විසි වී ගොස් පාර මැද ඇදගෙන වැටුණේ යළි කිසිදු දිනක නොනැගිටිණ ලෙසටය.
දරුවන්ට යුතුකම් ඉටු කළ, දරුවන්ගෙන් යුතුකම් ඉටු නොවුණු මවගේ ආත්මය තවමත් නිවෙස් තුන අතර වරින් වර ගැවසෙමින් දරුවන් කළ වරදට දඬුවම් දෙමින් සිටියි.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 
   

Saturday, August 13, 2016

බෝතලයට අල්ලා මුහුදට දමන්න යද්දී භූතයා පැනයයි... (holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


භික්ෂුන් වහන්සේත්, ගුරුවරයාත්, වෛද්‍යවරයාත්, යකැදුරාත් අතීතයේ පටන්ම ගම්වැසියන්ට අත්‍යවශ්‍ය පුද්ගලයෝ වූහ. දැන උගත්කමින් යුක්ත වූ ඔවුහු මිනිසාට පමණක් නොව සතා සීපාවාට හා පරිසරයට කරුණාවන්ත වූහ. අනුන්ගේ දුක දැක උණුවන හදවත් ඇත්තෝ වූහ. අනුන් සුවපත් කොට සතුටක් ලැබූහ. එහෙත් සමාජ ධර්ම යටපත් කොටගෙන මුදල් ඉපැයීමේ තණ්හාව සමාජය තුළ ඉස්මතු වූ තැන් පටන් ඔවුන් කෙරෙහි තිබූ ගෞරවයද දියාරු වන්නට විය. විශේෂයෙන් යකැදුරන් මුදලට මුල්තැන දෙමින් කටයුතු කරන්නට පෙලඹීම නිසා අණවින, හූනියම් මඟින් වෛරය, පළිගැනීම මුදලට කොන්ත්‍රාත් දිය හැකි තත්ත්වයකට පත් විය.
ඇදුරෝ භූතයන්ගේ සම්බන්ධය හෙවත් භූතයන් ලවා අවශ්‍යතා ඉටු කර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර භාවිත කරන්නට වූහ. කර්මානුරූපව හෝ බන්ධනයකින් හෝ කෙනකුට හිරිහැර කරන භූතයන් අල්ලා බැඳ බෝතලවල අසුරා කොන්ක්‍රීට් දමා සිර කොට මුහුදු පතුලට යැවීම යකැදුරන් විසින් සිදු කරනු ලැබීම ඊජිප්තු ආදී රටවල පවා අෑත අතීතයේ සිටම සිදුවී ඇත. එසේම යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාකාරකම්වලින් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට හිරිහැර සිදුවන නිසා භූතයෝ යකැදුරන්ට බියක් දක්වති. ඔවුන් දුටු විට පලා යති. දුර්වල භූතයෝ යකැදුරන්ට අසුව දුක් විඳිති. සමහරු කඹුරති. භූතයන් පමණක් නොව සෑම සත්ත්වයකුම තමන්ගේ නිදහස අහිමි වෙනවාට අකැමැතිය. 

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කුසුමා හැට හැවිරිදි විවාහක කාන්තාවකි. දරුවන් පස් දෙනකු බිහි කළ මවකි. ඇගේ දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකුම තුන් වසරක් තුළ මරණයට පත්ව ඇත. ලොකු පුතා මානසික අවුලකට පත්වී සිටි අතර ඔහු වැවට නාන්නට ගොස් ආපසු ගෙදර ආවේ නැත. ඔහුගේ මළ සිරුර වැව් දියේ පාවෙමින් තිබී ගම්මුන්ට දැක ගන්නට ලැබී ගොඩගනු ලැබිණි. දෙවැනි පුතා දුම්රියක් එද්දී රේල් පාර දිගේ කල්පනා කරමින් ගමන් කරමින් සිට එහි හැපී මරණයට පත්ව ඇත. තුන්වැනියා වූ දුව රහසිගතවම ගැබ්ගෙන සමාජයට මුහුණදිය නොහැකිව වස පානය කොට මියගොස් ඇත. කාලයක සිට රාත්‍රියට නිවෙසේ කෙනකු ඇවිදින අඩි සද්ද ඇසෙන්නට විය. කෙනෙකු තදින් හුස්ම ගන්නා සද්ද ඇසෙන්නට විය. සාත්තර අහන්නට ගිය විට මේ ගෙදරට කොඩිවිනයක් කර ඇතැයි කියැවී ඇති බැවින් තොවිල් පවිල් වලට රුපියල් ලක්ෂ ගණනක් වියදම් කළත් පවතින දෝෂ, දුක් කරදර නිමා වී නොතිබිණි. තොවිල් කළත් දින දෙක තුනක් ගතවන විට පෙර පැවැති තත්ත්වයම උදාවිය.

පවුලේ හතරවැනි පුතා චාමර 'මව්බිම' පත්‍රයේ පළ වන 'මළවුන්ගේ හෝරාව' විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය මෑණියන් කැටුව පැමිණියේය. එහිදී ආධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරියට කුසුමා පැමිණියේ "අනේ බුදු මහත්තයෝ මගේ ඉතුරු දරු දෙදෙනාගේ ජීවිත බේරා දෙන්නැ"යි අඬාගෙනය. තම පවුලට එළැඹී ඇති තත්ත්වය චාමර විස්තර කළේය. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට මේ දෙදෙනාට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවක් පැහැදිලි නොවීය. එහෙත් ඔවුන්ගේ ශක්ති ශරීර කඩතොළු ඇති බව පැහැදිලි විය. 

"ඔබේ අමනුෂ්‍ය දෝෂය සංකීර්ණයි. පැහැදිලි නෑ. මේක සංසාරගත පාපකර්මයක විපාකයක් බවයි පෙනෙන්නට තියෙන්නේ. ඔය දෙදෙනාගේ සිත් දෙකත් අවුල්. ඒක නිසා සිත ඒකාග්‍ර වෙන්න ඕනෑ. එතකොට ශරීරයේ ශක්ති වළල්ල (ඕරා) සකස් වෙනවා. ඒකට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධිපූජා විසි එකක් පවත්වා නැවැත එන්නැ"යි ගවේෂකවරයා මේ මවටත්, පුතාටත් උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවැත පැමිණියහ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කුසුමා භූතාවේෂයෙන් ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට වී කෑ ගසන්නටත් අඬන්නටත් වූවාය. 
"කවුද මේ කෑ ගහන්නේ" යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
"මම කමල්"
"කවුද කමල් කියන්නේ"
"මේ මගේ පුංචි අම්මා. මම මෙයාගෙ අක්කගෙ පුතා"
"මොනවා වෙලාද මැරුණෙ" 
"පසුගිය භීෂණ කාලෙ මැරුණෙ. වෙඩි වැදිලා"
"මැරුණට පස්සෙ මොකද වුණේ?"
"මැරුණාට පස්සෙ පාවෙවී හිටියා කාලයක්. ඊට පස්සෙ අම්මව මතක් වුණා. මතක් වෙනකොටම මම ගෙදරට ඇවිත් හිටියා. මට බොහෝ දේවල් කියා ගන්න ඕනෑ වුණා. ඒවා අම්මාට කිව්වාට එයාට ඇහුණේ නෑ. මම අම්මාට ආදරෙයි. මට ඕනෑ වුණා මා ඉන්නා තැනට අම්මාව අරගෙන යන්න. අම්මා අසනීප වුණාම මුන් කට්ටඩි ගෙනැල්ලා මාව බෝතලයකට දාන්න හැදුවා. ඒක කතාවෙනකොට මට දැනුණා. මම ඉස්සර අහලා තිබුණා බෝතලයකට දාලා මූදෙ දාන කතාව. මම මුන්ට අහුනොවෙන අෑතට පැනලා ගියා. ඒත් සැරෙන් සැරේ ඇවිත් එක එකාව පිස්සු වට්ටලා මැරුවා. මම මුන් එක්ක තරහයි. ඒකයි මේ පළිගන්නේ" යි භූතයා කීවේය.
"තමුන් කරන දේ වැරැදියි. මේ මනුෂ්‍ය භාවය ඉතාම වටිනවා. ඉතින් මේ මිනිස් ලෝකයේ ඉන්න අම්මාව මරාගෙන යන්න හිතන එකත් මහා පාපයක්" යැයි ගවේෂකවරයා කීවේය. 
"ඔය බණ මට වැඩක් නෑ. මම මිනිස් ලෝකෙ ඉන්දැද්දිත් දරුණු වැඩ කළ කෙනෙක්. මට ඕවා ඒ තරම් දේවල් නෙමෙයි. මුන් මාව බැඳලා බෝතලේට දැම්මා නම් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙනවා. මම ඒකට පළිගන්නවා. මේකිගෙ පවුලම මරනවා. මාව වළක්වන්න කාටවත් බෑ" 
මේ භූතයා දරුණු වෛරයකින් පෙළෙන බැවින් හොඳින් කතා කළාට නම්‍යශීලී නොවන බව වටහා ගත් ගවේෂකවරයා ආධ්‍යාත්මීය කිරණ ශක්තියෙන් දවාලීය. පුවක් මලක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දිනපතා උදේ හවස නිතර බෝධි පූජා පවත්වන බෝධියක හොඳින් සුවඳ දුම් වදින ඉහළ අත්තක එය එල්ලා තබන ලෙස කුසුමාගේ පවුලේ අයට උපදෙස් දුන්නේය. එසේම සතියක් බෝධි පූජා පවත්වමින් ඔහුට පින් අනුමෝදන් කොට බෝධීන් වහන්සේටත් පුවක් මලටත් සුවඳ දුම් අල්ලා සතිය අවසානයේ පුවක් මල නැවැත රැගෙන එන ලෙස උපදෙස් දුන්නේය. 
බෝධි පූජාව අවසන් කොට ඔවුහු පුවක් මලද රැගෙන නැවැත පැමිණියහ. එදිනද කුසුමා ආවිශ්ට වූ පසු භූතයාගේ වෛරය පළිගැනීමේ අදහස අඩුවක් වී නොතිබුණු බැවින් නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය. 
භූතයා අඬන්නට ගත්තේය. "එපා... එපා... මාව පුච්චන්න එපා. මම යන්නම්. අනේ මට කරදර කරන්න එපා. මම යන්නම්, කියන තැනකට යන්නම්" යැයි බැගෑපත් වූයේය.
පලතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් ලවාම අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යැවීය.
කුසුමාටත් පවුලේ සියලු දෙනාටත් කුසුමාගේ අක්කාටත් නිවෙසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 



සොපි නෝනාගේ අවතාරය...(holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැට අටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, සල්ලාලකමත් මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත්, අභාවයට යන ඉපැරැණි වලව්වක් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවාසනාවන්ත ආකාරයටය. 
ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි. 

ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය. 
ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය. 
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය. 

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය. ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය. 

සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ගමට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය. 

අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය. 
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය. 
සොපිනෝනා මියයන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය. 
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය. 
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි. 

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


සප්ත කන්‍යා කඳු වැටියේ ගවේශණය....(.saptha kanya...අබිරහස් අඩවිය - Abirahas Adawiya)

වර්ෂ 1974 දෙසැම්බර් 04 වැනි දින ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටින් පිටත්වුණු මැටිනෙයාර් ඞීසී 8 දරන ගුවන් යානය හජ්ජි වන්දනාකරුවෝ 182 ක් හා කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වූහ. ඉන්ධන ලබා ගනු වස් කටුනායක ගුවන්තොටට ගොඩබැසීමට නියමිතව තිබූ මෙම යානය එදින රාත‍්‍රී 10 පසුවන විට සප්ත කන්‍යා කඳුවැටිය ආසන්නයෙන් පියාසර වෙමින් තිබුණි.
එකෙණෙහිම යානයේ වම් තටුව සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ වැදුණි. වැදුණු වේගයට කන්ද හෑරී ගිය අතර කැරකී ගිය යානයේ දකුණු තටුව අවට විශාල ගස් කපා දැමුවේය. පසුව ආ වේගයෙන්ම ඉදිරියට ගිය යානය සය වැනි කන්දේ මුහුණට මුහුණ වැදුණි. යානයට දරා ගත නොහැකිවූ එම හැපීම නිසා කඳු වැටිය දෙදරා යන මහ හඬින් යානය පුපුරා ගිනි ගෙන දැවුණේ ජීවිත 191 ක් සමගිනි. එම විශාලතම ගුවන් අනතුර පිළිබඳව කිසිත් නොදන්නා සේ සිටින සප්ත කන්‍යාවන් සොයා ගිය ක‍්‍රියාදාමය ඉතා දුෂ්කර කර්තව්‍යයක් විය.
සුපුරුදු පරිදි කොළඹ අවිස්සාවේල්ල හරහා හැටන් පාරේ ගිනිගත්හේන නගරයට අප පැමිණෙන විට වේලාව උදේ 8 ට පමණ විය. තවමත් මීදුම් සළු පොරවාගෙන සිටින දොළොස්බාගේ කඳු සොයා අප නාවලපිටියට ගියේ ගල්බඩ ඇල්ල නැරඹීමටයි. නාවලපිටිය සිට තලවකැලේ මාර්ගයේ පටන් ගැන්මේ හමුවන පාලම පසුකර විගස දකුණට දිවෙන මාර්ගයේ ගල්බඩ දුම්රිය ස්ථානය සොයා යා යුතුය. පසුව ප‍්‍රදේශයේ වැසියන්ගෙන් මග අසාගෙන අප‍්‍රකට මගක් ඔස්සේ ගල්බඩ වත්තට යා යුතුය. 
සාමාන්‍යයෙන් ගලබඩ ඇල්ල නැරඹීමට සුදුසුම ආකාරය දුම්රියයි. දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2 ක පමණ පාගමනකින් පසුව වතු නිවාස ආශ‍්‍රිත අඩි පාරෙන් ගොස් මීටර් 60 ක් පමණ උස ගලබඩ ඇල්ලට ළඟා විය හැකිය. තත්ත්පරයකට ඇසිල්ලෙන් වෙනස් වන ජල ප‍්‍රවාහයක් ඇති මෙම ඇල්ල බලා සිටියදී මුළු පර්වතයම වෙලාගෙන ජලය කඩා වැටේ. ගල්බොඩ ඇල්ලෙන් සමුගෙන තලවකැලේ මාර්ගයේ ඉදිරියට යත්ම කඩියන්ලෙන/කැටඹුලාව ඇල්ල දැක ගත හැකිය. 

මාර්ගය යටින් ගලා යන ජල පහර මීටර් 30 ක් පමණ පහළට වැටෙයි. ඇළ මාර්ගයේ පහළට ගිය පසු සම්පූර්ණ දිය ඇල්ල දැක ගත හැකි අතර එය ඉතා අලංකාර බව එවිට ඔබට වැටහේ. කුඩා ආරුක්කු 3 ක් මැදින් පහළට වැටෙන ජලය තේ වතු පෝෂණය කරමින් ගලායයි.
නැවතත් ආ මගේම ගිනිගත්හේනට ගිය පසු ඉන් හැටන් පාරේ දියගල හන්දිය දක්වා පැමිණ ඉන් දකුණට හැරී ශ්‍රී පාදයට යන මාර්ගයේ කි.මී. 8 ක් පමණ යා යුතුය. නෝටන් බි‍්‍රජ් පසු කළ පසු ලක්ෂපාන ඇල්ල වෙත යන දකුණට දිවෙන මාර්ගයත් ඒ අවම හිඩැස් අවකාශයේ ගුවනට නැගුණු කඳුවැටි 7 කින් යුත් සප්ත කන්‍යා කඳු වැටියත් ඔබට දැක ගත හැකිය.
ප‍්‍රථමයෙන් අපි පඩි 200 ක් පමණ බැස මීටර් 129 ක් පමණ උස ලක්ෂපාන දිය ඇල්ල නැරඹුවෙමු. එය ඉතා අලංකෘත ඇල්ලකි. පෙනුමෙන් ඇබර්ඞීන් ඇල්ලට සමානකම් කියන මෙම ඇල්ල පිටුපස ඇත්තේ සප්ත කන්‍යාවියන්ය. කඳු නැගීමට ප‍්‍රථම උදෑසන ආහාරය ගෙන ස්නානය කළේ ලක්ෂපාන ඇල්ලේ අධික ශීතල ජලයෙනි. පසුව ඔබ මොබ දුව මීදුම් සළුවලින් හෙමිහිට එබිකම් කරන සප්ත කන්‍යාවියන් සොයා යෑමට අපි පටන් ගත්තෙමු.
සප්ත කන්‍යා කන්දට නැගීමට මාර්ග 2 ක් ඇත. එනම් පාලමේ සිට නොම්බර 5 කොළණිය ඔස්සේ නැගීම සහ ලක්ෂපාන හන්දිය පසුකර කොතැල්ලෙන පාසල අවට වතුයාය ඔස්සේය. බොහෝ විට සප්ත කන්‍යා කඳු මුදුන් මීදුමෙන් වැසී ගොසිනි. හිම කැට විසිරී නත්තල් සැරසිල්ලක් සේ විටෙක පෙනෙන මේ කන්ද නැගීම ඉතා දුෂ්කර හා දුර්ලභ කාර්යයකි. සප්ත කන්‍යා හෙවත් කන්‍යාවියන් සත් දෙනෙකු ලෙස සිටින මේ කන්ද තනි දිගැටි කන්දකි. එහි මුදුන ස්ථාන 7 කින් ඉහළට නෙරා ගොස් ඇති නිසා කඳුවැටි 7 කි. ඈත සිට බලන කල පහසුවෙන්ම මේ විශාල කන්දේ කඳු වැටි 7 දැක ගත හැකිය. කන්ද තරණය කිරීමට නිශ්චිත මාර්ගයක් නොමැති අතර, ඉතා දුෂ්කර ලෙස මග සාදාගෙන බාධක මැද යා යුතු බව අපට ගම්වැසියන් විසින් පවසන ලදී. එම නිසා අත්‍යවශ්‍ය කළමනා පමණක් රැුගෙන අපි කන්ද නැගීමට සූදානම් වුනෙමු.
කැලයෙන්ම ශක්තිමත් රිටි සාදා ගත් අපි එය අතැතිව මග සාදාගෙන යෑමට සූදානම් වීමු. තේ වත්තක් මැදින් ඉදිරියට යන මාර්ගය පසුව කටු අකුල් පිරි කැළයකට අවතීර්ණ වෙයි. පසුව ඒ සමගම පයින් ගස් පිරුණු ප‍්‍රදේශයකට ඇතුළු විය යුතුය. ආරම්භයේ පටන් සුපුරුදු කූඩැල්ලෝ අපගේ ලේ රස සොයා පැමිණ සිටියහ. ඒ අතර විශාල කූඩැල්ලන් සහ පණුවන්ද සිටියේය. ක‍්‍රමයෙන් අප ඉදිරියට ඇදෙත්ම ඈතින් ඈතට තවත් කඳු දැක ගත හැකි විය. නෝටන් බි‍්‍රජ් මස්කෙළිය හරහා සිරිපා අඩවියට යන මේ පුණ්‍යවන්ත ප‍්‍රදේශය සොබා දහමේ අපූර්වතම නිර්මාණයකි. සරුසාර තේ කඳු වලින්ද හරිත පැහැ වෙළාගත් වටපිටාව සමග එක පොදියට පොර බදින මීදුම් සළු ද මවන්නේ ඇස් අදහාගත නොහැකි දසුන්ය.
පයින් කැලය හරහා ඉහළට යත්ම කන්දේ බෑවුම් කොටසක් දැක ගත හැකිය. යන මග පුරා කඩා වැටුණු පයින් ගස් උඩින් යමින්ද දණ නොපෙනෙන පඳුරු පිරි කටුක මාර්ගයේ ඉදිරියට ඇදෙත්ම හමුවූ ස්ථානයක් අසල ගිමන් හැරියෙමු. මීටර් 400 ක් පමණ ආ නමුත් මෙම කන්දේ පිහිටීම නිසා දෙපාවලට දැනෙන වෙහෙස අධිකය. මාර්ගය කුඩා තැන්නකට අවතීර්ණ වුවද ඉන් පසු උසට වැඞී තිබෙන කටු අකුල් ගස් ඈත් මෑත් කරමින්ද විටෙක රිංගා පැන යමින්ද ගමන් කළ යුතුය. සමහර ස්ථානවල දුටු වසුරු අලි වසුරු දැයි හරියටම නිශ්චය කරගත නොහැකි විය.
උසට වැඩුණු ගස් පඳුරු අතරින් යෑම තරමක් අසීරු විය. මන්ද ගස්වල සිටින සතුන් හා දෙපාවල එල්ලෙන සතුන් බොහෝමයක් වන හෙයිනි. ගස් වැල් මග හරස් කොට නැගී තිබුණු නිසා විටෙක රිංගමින්ද වැල්වල එල්ලීද අපට ගමන් කරන්නට සිදුවිය. වම් පස ප‍්‍රදේශයෙන් සප්ත කන්‍යාවකගේ මුහුණුවර පෙනෙන අතර ඊට එහායින් පෙනෙන්නේ මීදුමෙන් වෙළාගත් කඳු ශිඛරයන්ය. මීටර 200-300 ක් පමණ මෙලෙස බොහෝ දුෂ්කරතා මැද ගමන් කළ යුතුය. ඒ සමගම විශේෂයෙන් ගස් අතරින් රිංගන මීදුම සමගද අපි සටන් කළෙමු.
මෙලෙස තව තවත් ඉහළට යත්ම විශාල පඳුරු හා ගල් වැටියක් මගින් ඉහළට නැගීමට සිදු විය. පසුව මීටර 10 ක් පමණ උස ගල් බිත්තියකට නැග යා යුතුය. ඒ සඳහා ගස් වැල් ආධාර කොටගෙන පරිස්සමින් අපි ඉහළට ඇදුනෙමු. විටින් විට හිරිපොද වැටෙන අතර අහසද වැස්සකට මාන බලන බව අපි දුටුවෙමු. කඳු නගින්නට තරමක් නුහුරු දුෂ්කර කඳු තරණය මෙය බව අපට හැෙඟ්. මෙම කන්දේ කඳු වැටි හතටම ගමන් කිරීම අපගේ අරමුණයි. රැුයක් ගත කිරීමට තැනිතලා නිදහස් ප‍්‍රදේශයක් නොමැති වුවද කූඩාරමක් අනිවාර්යයෙන්ම අටවාගෙන කැලය අසලට වී සිටිය හැකිය. කෙසේ හෝ අප කඳු මුදුනට ළඟා වෙමින් තිබුණි. විටෙක විවිධ රටා මවන හතු වර්ගත් මල් වර්ගත් මෙම කැලයේ අලංකාරය තවත් වැඩි කරන්නට සමත් විය.
පයින් ගස් පිරුණු කැලයෙන් යාමේදී සුළං ප‍්‍රවාහය ගැන සැලකිලිමත් විය යුතුය. එලෙසම ගරා වැටුණ ගස් කඳන් මතින් යෑමට වුවහොත් ගස් බෙන හා ඒ අවට සැරිසරන සර්පයන් පිළිබඳව විමසිලිමත් විය යුතුය. කඳු මුදුනට ලංවත්ම හමුවන හිස් අවකාශ අසලදී අවට පරිසරයේ අපූරු බව දැක ගත හැකිය. කිලෝමීටරයක් පමණ තද බෑවුමක් සමග කන්ද නැගිය යුතුය. මෙහිදී මතක තබා ගත යුතු දේ කිහිපයකි. එනම් මාර්ගයක් නොමැති නිසා දැඩි ශාක ව්‍යාප්තියක් පවතින බැවින් අනතුරුදායක ස්ථාන ළඟට යනතුරු පෙනෙන්නේ නැත. එලෙසම වැසි සහිත අවස්ථාවලදී සත් වැනි කන්දෙන් ගලන දිය දහරා සහ ලිස්සන සුළු මඩ සහිත බුරුල් පසට අඩිය තැබීම සුපරීක්ෂාකාරී විය යුතුය.
තනිකරම වන පියසක් වෙතින් ගමන් කළ යුතු නිසා ඇතැම් විට හමුවන විෂ කටු සහිත පඳුරු සහ ශාක පිළිබඳවද පුංචි අවබෝධයක් තිබීම සෑහේ.
ඉර මුදුන් වන යාමය ලංවෙත්ම අප සප්ත කන්‍යාවියකගේ මුදුනකට නැග්ගෙමු. මෙහිදී 1 සිට 7 දක්වා කඳු වැටි නම් කිරීමට නිශ්චිත ක‍්‍රමයක් නැත. එම නිසා අප සිටි කඳු වැටියේ සිට එහා කෙළවරට අපි ගමන් කළෙමු. මේ යන අතරතුර කඩා වැටුණු ගුවන් යානයේ ඉතිරිව තිබෙන පසට යටවුණු යකඩ කැබලි විය හැකි දෑ දැකිය හැකිය. එලෙසම වැඩි ඉඩකඩක් නොමැති කඳු මුදුන් වළදි පහළ හෙළ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අහස් තලය සිඹින මීදුම් සේල අප දෙසට එන අතර ඒවා සුළඟ සමග ගත දැවටෙන විට දැනෙන සීතල විස්තර කළ නොහැකි තරම්ය.
අපගේ ගමනේදී මීට වසර 40 කට පෙර සිදුවූ අනතුරේ බවට සිතිය හැකි යකඩ කැබලි කිහිපයක් පොළොව යට කිඳා බැස තිබෙනු දිටීය. එකල මහත් ව්‍යසනයක් වූ මෙම සිද්ධිය අදටත් මියගියවුන්ගේ ඥාතීන් බලවත් සොවින් ස්මරණය කරයි. ප‍්‍රබල ඝට්ටනයෙන් පසු යානයේ තෙල් විසිරී අවට වනලැහැබද ගිනිගත් අතර කඳු මුදුනේ සිට කඳු වැටිය පාමුල දක්වා යානයේ සුන්බුන් හා මළ සිරුරු නෙරා ආ කැලෑවෙන් වැසුණු බෑවුමකින් යුක්ත වූ විශාල පාතාලයට වැටුණේය. එදින කිසි කෙනෙකු නොඇසූ ශබ්දයට සප්ත කන්‍යාව අවටත් තෙබර්ටන් වතුයායේ වැසියනුත් ඇහැරිණි. ඔවුන්ගේ සිත් භීතියටත් දුකටත් පත් කරමින් සප්ත කන්‍යාවෝ ගිනිගන්නා දර්ශනය පෙනුණි.
මුහුදු මට්ටමේ සිට අඩි 5143 ක උසින් පිහිටි සප්ත කන්‍යා කඳු වැටියේ 5 වැනි කන්දේ අක්කර දෙකක පමණ ප‍්‍රදේශයක් පුරා යානයේ සුන්බුන් හා මළකඳන් විසිරී තිබුණි. දෙසැම්බර් 5 වැනි දින රාත‍්‍රියේදීවත් හෙළිකොප්ටරයකින් හමුදාවට කඳු මුදුනට බැසීමට හැකියාවක් නොතිබුණේ ඒ වන විටත් කන්ද ගිනි ගනිමින් තිබුණු නිසාත් කඳු වැටිය රත්වී තිබුණු නිසාත්ය. පැය 24 කට අධික අඛණ්ඩ ගිනි ගැනීම නිසාත් සුන්වූ යානය නිසාත් මතකයකටවත් බේරා ගැනීමට කිසිවක් ඉතිරිව නොතිබුණි. නමුත් එම යානයේ තිබූ එක් රෝදයක් පමණක් සමස්ත මතකයට ඉතිරිව ඇත. එය අදටත් එම වතුයායේ පොදු ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත. අක්කර ගණනක් පුරා යකඩ කැබලි විසිරුණු නිසා කාලයාගේ ඇවෑමෙන් ඒවා පොළෝ තලයට යටපත් වුණා. එලෙස
යටපත් වුණු යකඩ කැබලි අධික වර්ෂාවට පස සේදී යාම නිසා යන්තම් මතුවී තිබෙනු අප කාච ගත කළෙමු.
කෙසේ හෝ අනතුර සිදුවී දින හතරක් යන විටත් මළ සිරුරු සොයා ගත්තේ 100 ක් පමණි. ඉන් බොහෝමයක් තෙබර්ටන් වතුයායේ භූමදාන විය. අනතුර සිදුවූ තැනට ඒ වන විට ගුවන් සමාගමේ නියෝජිතයන් හා මියගිය පිරිසගේ නෑ හිතවතුන් රැසක් පැමිණ සිටියහ. එවන් ජීවිත ගණනක් සඟවා ගත් සප්ත කන්‍යාවෝ අදත් ඒ කඳු ගැටයේ සලකුණ සමග නැගී සිටිති. එලෙසම මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරු වන ලක්ෂපාන ඇල්ලත් සමනොළ මිටියාවතේ නොඉඳුල් දිය දහර හොවාගෙන ගලා ගෙන යයි.
ඉතිහාසගත ඛේදවාචකයට මුල් වූ සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම අපට එම අතීතය ආවර්ජනය කරන්නක් විය. මෙම අනතුරින් මියගිය බොහෝමයක් මුස්ලිම් ජාතිකයෝ වූහ. කෑලි කපන අඳුරක කිලෝමීටර් ගණනක් ඈතට පෙනෙන ලෙස හිස් අවකාශයක තිබෙන මෙම කඳුවැටිය ගිනිගන්නා දර්ශනය සිතෙහි මවා ගත හැක. ඒ මොහොත කෙතරම් බියකරු දැයි අපට සිතා ගත හැක. 
එම නිසාම සප්ත කන්‍යාවියන්ව ආරක්ෂා කරමින් අපි පරිස්සමෙන් තරණය කළෙමු. කඳුකර සීත පරිසර පද්ධතිය හොඳ හැටි හෙබි මෙම කඳුවැටිය ජෛව විවිධත්වයෙන්ද පොහොසත් වී ඇත.
ඉතා දුරින් පිහිටි සමනොළ කඳු මුදුනත් පහතින් ගලා යන ලක්ෂපාන දිය ඇල්ලේ දිය පහරත් මීදුම පහ වන විට දැකිය හැකිය. මස්කෙළිය බගවන්තලාව සහ ලක්ෂපාන නෝටන්බි‍්‍රජ් හරහා ගිනිගත්හේන ආශ‍්‍රිත ප‍්‍රදේශවල මුර බැඳි කඳුවැටි දැකගත හැකිය. අංශක 360 ක වපසරියක් දැක ගත හැකි අතර ඊට විටින් විට බාධා පමුණුවනුුයේ මීදුමය. ඒ කෙසේ නමුත් ඉතිරි කඳු වැටි සොයා අපි හෙමිහිට ගමන් ඇරඹුවෙමු.
එක්තරා අවස්ථාවකදී කඳු වැටි දෙකක් අතරින් ගමන් කිරීම ඉතා දුෂ්කර විය. බැලූ බැල්මට දුර තියා දකින විට පහසුවෙන් කඳු මුදුනේ සිට කඳු වැටි දෙසට ගමන් කිරීම දුෂ්කර නොවෙතැයි සිතුවත් එය සැබවින්ම අවදානම් කාර්යයකි. නමුත් අප කාලය වැය කරමින් ආරක්ෂාකාරීව කඳු වැටි අතර ගමන් කළෙමු. මීට හතලිස් වසරකට පෙර හැපුණු යානය මේ කඳුවැටිය මුදුනක එකම ගිනිගන්නා මුදුනක් බවට පත් කළේය. අක්කර කිහිපයක් පුරා පැතිරුණු ඒ ගින්නත් ඒ රුදුරු ව්‍යසනයත් සඟවාගෙන සප්ත කන්‍යාවෝ අදත් නැගී සිටිති. කෙසේ හෝ ගස් සහ පඳුරු මතින් ගමන් කොට අප කඳු වැටි 5 ක් තරණය කළේ පැය දෙකකටත් අඩු කාලයකිනි. මීටර් 1200 කට වඩා උසැති මෙම කන්ද මෙම ප‍්‍රදේශයේ පැහැදිලිව දැක ගත හැකි එකම කන්දයි. එනම් හතරවටින්ම හිස් අවකාශයක් පවතින හෙයිනි. සමහර අවස්ථාවල දී පහළ හෙළේ පිහිටි ගම්මාන, ගෙවල් සහ මාර්ග දැක ගත හැකිය. නමුත් කඳුවැටිය අයිනටම අපට යාමට නොහැක. ඒ කෙළවර නොපෙනෙන හෙයිනි.
එක් කඳු වැටියක දිය දහරාවක් තිබෙන නමුත් එය නිශ්චිතව නොමැත. කඳු වැටි සියල්ල හරහා අප ගමන් කළ පසු අපට දැනෙන විඩාව නිවාගනු වස් අප බිම අසුන් ගත්තෙමු. ගල් පර්වතයක් අසල වැතිරී ගෙන ආ ආහාරපාන භුක්ති විඳි පසු අප සූදානම් වූයේ කන්ද බැසීමටයි. කන්ද බැසීමේ දී වෙනත් මාර්ගයක් භාවිත කළ අතර එය තරමක් දුෂ්කර බව හැෙඟන්නට අපට වැඩි වෙලා ගියේ නැත. ඒත් කෙසේ හෝ දුෂ්කර බව අභියෝගයකට පෙරළාගත් අපි ළඟ තිබෙන රිටි සහ පිහියා ආදියෙන් සමහර කටු පඳුරු එළිකරමින් ගමන් කළෙමු. නිමක් නැතිව තරගයකට මෙන් එල්ලෙන කූඩැල්ලන් නිසා අපට ඉමහත් කරදරයක් ඇති විය. අකිලගේ කකුලේ දණහිස පමණට නිදැල්ලේ ලේ උරා බී සිටි කූඩැල්ලා ඉතා විශාල වී තිබුණි. කෙසේ හෝ උගේ දළ සමේ නොසිටින ලෙස ඌව කඩා ඉවත් කළ පසු ගලන ලේ නැවැත්වීමට රෙදි පටි භාවිත කළෙමු. ලේ සුවඳට ඇදෙන කූඩැල්ලන් නිසා අපි පය ඉක්මන් කොට පල්ලම් බැසීමට තීරණය කළෙමු. එම නිසාම
වැඩි කාලයක් වැය නොකර සැලකිය යුතු දුෂ්කර මාර්ගය තරණය කිරීමට අපට හැකි විය. පයින් කැලයෙන් ද ගමන් කළ නමුත් මෙම කැලයේ සෙසු කුඩා ශාක ද මහ ගස් හිඩැස් අතර වැවී තිබෙනු දැක ගත හැකි විය.
සූරියකාන්ත, බෝවිටියා, ක්‍රෝටන් සහ මහගස් වසන වැල් රාශියක් සමග නම් නොදන්නා පුෂ්ප වර්ග ද මේ අවට තිබුණි. වල් ඌරන්, හඳුන් දිවියා සහ මුවා මේ පරිසරය ආශ‍්‍රිතව සිටින සතුන් ය.
එලෙසම අප නොදන්නවා වූවාට සමනොළ අඩවිය හා හෝර්ටන්තැන්න ආශ‍්‍රිතව වාසය කරන ප‍්‍රබල මාංශ භක්ෂකයා වන දිවියා ද මෙම කැලෑවල්වල සිටිය හැක. නිතරම සීත හා මීදුම් පිරි කාලගුුණයක් පවතින සප්ත කන්‍යා කඳුවැටියත් ඒ ආශ‍්‍රිත සුන්දර ගම්මානත් සරුසාරය. තේ කඳු සමග තව භෝග කරන මෙම ප‍්‍රදේශ බොහෝ විට වැසි බර අහසින් පිරී තිබේ.
මුහුණු පොතේ තිබෙන Travel in srilanka ¡ sobasiri පිටුව හරහා සම්බන්ධ වී ඔබට මේ නිවාඩු සමයේ දරුවන් සමග එක්ව පුංචි කි‍්‍රයාදාම චාරිකාවක් යෑමට අවශ්‍ය ස්ථාන හා තොරතුරු නොමිලයේම දැනගත හැකිය. නැතහොත් එහි තිබෙන වෙබ් අඩවිය හා දුරකතන අංක සමග සම්බන්ධවී ඕනෑම වෙලාවක තොරතුරු ලබා ගත හැකිය. කඳුකරයේ සුන්දර ස්ථාන හා ගමන් මාර්ග පිළිබඳව අවශ්‍ය විස්තර ලබා ගත හැකිය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, August 12, 2016

පිටසක්වල ජීවීන් හමුවූ මිනිසුන් කියන කතා....... (aliens pitasakwala jeeween -අබිරහස් අඩවිය - Abirahas Adawiya )

පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් දුටු අවස්ථා ගණනාවක් ලෝකය පුරා වාර්තා වී තිබේ. මේ අතර පෘථිවි වාසීන් රැගෙන ගොස් පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් නොයෙකුත් පර්යේෂණ සඳහා යොදාගත් බව පවසන සිදුවීම් රාශියක් ද ලොව පුරා වාර්තා වී තිබේ.
1978 ඔක්තෝබර් මස 21 වැනි දිනයයි. මෙල්බෝන්හි පදිංචි ෆෙඞ්රික් වැලන්ටිච් ලාබාල ගුවන් නියමුවෙකි. ඔහු විසි හැවිරිදිය. එදින රාති‍්‍රයේ කෙස්නා 182 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පදවමින් හෙතෙම බාස් ස්ටේ‍්‍රට් ප‍්‍රදේශයට ඉහළින් ගමන් කරමින් සිටිය දී ඔහු හදිසියේම අතුරුදන් වූවේය. එම යානය සොයා ගැනීමට තවත් යානා යෙදවිණි. ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන්කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි 5000ක් පමණ ඉහළින් වෙනත් ගුවන් යානයක් ඇත් ද යන්නයි. එයට පාලක මැදිරියෙන් ලැබී ඇති පිළිතුර එවැනි ගුවන් යානයක් එම මොහොතේ දක්නට නොලැබෙන බවකි.
ඔහු පවසා ඇත්තේ පාලක මැදිරිය එසේ කීව ද තමන්ට අඩි 500ක් පමණ ඉහළින් ඉතාමත්ම දීප්තිමත් කොළ පැහැති ආලෝක හතරක් විහිදුවන විශාල අද්භූත යානයක් ගමන් කරමින් සිටින බවයි. එය ගණනය කළ නොහැකි තරම් වේගයෙන් තමන් පසු පස ගමන්කොට නැවත ආපසු හැරී පැමිණ තමන්ට හරියටම ඉහළින් ගමන් කරමින් තිබෙන බවයි. එම යානය තමන් සමග ඍජුව ඉහළින් සිටින බවත් ඔහු කියා තිබේ. ඔහු අවසන් වරට සඳහන් කොට ඇත්තේ තම යානයේ එන්ජිම අසාමාන්‍ය ආකාරයට ගැස්සෙන බවකි. ඒ සමගම ඔහුගේ හඩ නොඇසී ගියේය. සංවාදය නතර වූයේ මහ හඩක් නගමිනි.

වැලන්ටිච් පැහැරගත්තේ පිටසක්වල යානයකින් විය හැකි යැයි කියමින් ලොව පුරා මාධ්‍ය එයට පුළුල් ප‍්‍රචාරයක් ලබාදුන්න ද ඇතැම් පිරිස් මෙය පිළිගැනීමට මැළිකමක් දැක්වූහ. ඔහුගේ පියා මාධ්‍යයට කියා ඇත්තේ තමන්ගේ පුතා පිටසක්වල ජීවීන් සහ පිටසක්වල යානා පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවූ බවයි.

බ‍්‍රසීලයේ ශාන්ත ප‍්‍රැන්සිස්කෝ හි සේල්ස් ගම්මානයේ පදිංචි ගොවියකු වූ ඇන්තෝනියෝ විලාස් බෝස් 1957 ඔක්තෝබර් 15 දා තමන් පිටසක්වල ජීවීන්ගේ පැහැරගැනීමට ලක්වූ බව පවසයි. ඔක්තෝබර් 13 වැනිදා ඔහු තම ඇඳේ නිදමින් සිටියේය. ටික වේලාවකින් කාමරයේ ජනේලයකින් නිවස ඇතුළට එල්ල වූ විශාල ආලෝක කදම්භයකි. එය ටික වේලාවකින් ඈතට විහිදී ගියේය. පසුදා එනම් ඔක්තෝබර් 14 දා ඇන්තෝනියෝ තම සොහොයුරා සමග නිවසින් පිටත වාහනය සෝදමින් සිටියේය. මේ අතර එකවරම ඔවුන් සිටි දෙසට ඈතින් ආලෝක කදම්භයක් අහසින් පොළොවට එල්ලවී තිබෙනු දක්නට ලැබිණි. ආලෝක කදම්භය වෙත ඔවුන් යද්දී එය පිහිටි ස්ථානය විටින් විට වෙනස් කරමින් ඈතින් ඈතට ගමන් කළේය.
ඊට පසුදා සිදුවූයේ තවත් අපූරු සිදුවීමකි. තම රථයේ කාර්මික දෝශයකට පිළියම් යොදමින් සිටි ඇන්තෝනියෝ දුටුවේ තමන්ට මීටර් 15ක් පමණ ඈතින් පොළොවට ආසන්නයේ නවතා පාවෙමින් තිබෙන වස්තුවකි. මේ අවට දිවා කාලයේ මෙන් ආලෝකවත් වී තිබේ. ක‍්‍රමයෙන් විශාල ආධාරක තුනක් පොළොවට ඇදී ආවේය. ඇන්තෝනියෝ තම රථයට නැග වහා ඉවත්වන්නට සූදානම් වුව ද රථය පණගැන්වුණේ නැත. රථයෙන් බැසගත් ඇන්තෝනියෝ මෙම ස්ථානයෙන් හැකි වේගයෙන් ඈතට දිව යන්නට වූවේය.

‘‘මට දුවන්න ලැබුණේ ටික දුරක් පමණයි. කවුරුන් හෝ මාව පිටුපසට ඇද්දා. මම නතර වුණා. හෙල්මටයක් පැළඳි අරුම පුදුම මිනිසකු වගේ ජීවියෙක් මගේ අසලින්ම සිටියා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම හැකිතාක් වැර යොදා පහර දුන්නා. මේ ජීවියා උඩින් විසිවී ගොස් වැටුණා. ඒ සමගම ඒ වගේ තවත් ජීවීන් තුන් දෙනෙක් මාව අල්ලා ගත්තා. ඔවුන් මාව අර අරුම පුදුම යන්ත‍්‍රය දෙසට රැුගෙන ගියා. මම දගලමින් කොතෙක් කෑ ගැහුවත් පලක් වුණේ නෑ. යානයක් වැනි එයට නැගීමට ඉනිමගක් තිබුණා. මම එහි දෙපස වැට අල්ලාගෙන නැගීමට බාධා කළත් ඔවුන් මාව බලෙන්ම වාගේ යානය ඇතුළට ගත්තා.’’
ඔහු පවසන්නේ යානයේ සම චතුරස‍්‍රාකාර ස්ථානයක් ලෝහමය බිත්තිවලින් ආවරණය වී තිබූ බවයි. මේ කුටියේ ඇන්තෝනියෝ දෙපයින් සිට ගත්තේය. තරමක් කුඩා මිනිසුන් වැනි ජීවීන් පස් දෙනෙක් ඔහු වටකරගෙන සිටියහ. දෙදෙනකු ඔහු අත් නොහැර සිටිමින් අණ්ඩාකාර හැඩැති වෙනත් කාමරයකට ගෙන ගියේය. එහි මැද ලෝහමය කණුවක් තිබූ අතර එයට සම්බන්ධවී මේසයක් හා පුටු කිහිපයක් ද තබා තිබිණි. මේ ස්ථානයේ සිටිමින් මේ අමුතු ජීවීන් බල්ලන් උඩුබුරලන ආකාරයෙන් ශබ්ද කළ බව ඇන්තෝනියෝ පවසයි. ඔහු කියන්නේ විටෙක කෙටි හා විටෙක දික්වූ ශබ්ද ඔවුන්ගේ මුවින් පිටවූ බවකි. විවිධාකාර ශබ්ද එකවිට නිකුත් කළ මොවුන්ගේ භාෂාව පෘථිවියේ කිසිදු භාෂාවක් නොවන බව ද ඔහු පසයි

මේ සංවාදයෙන් පසු ඔවුහු ඇන්ටෝනියෝ නිරුවත් කළහ. ඔහු බියෙන් ගැහෙමින් කොතෙකුත් දැගලූව ද ඔවුන් ඇන්ටෝනියෝට හානියක් කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අනතුරුව එක් ජීවියකු පැමිණ තෙත යමකින් ඇන්ටෝනියෝගේ සිරුර සම්පූර්ණයෙන්ම පිස දැමුවේය. එය වතුරවලට වඩා ගණකම් බවක් දැනුන ද එය තෙල් වැනි ද්‍රාවණයක් ද නොවුණු බව ඇන්ටෝනියෝ පවසයි.

පසුව වෙනත් කාමරයකට ඔහු කැඳවාගෙන ගියේය. ඉන්පසු රබර් නාල දෙකක් ඇති උපකරණයක් රැගෙන ආ අයෙකු එක් කෙළවරක් ඔහුගේ නිකටට සවි කළේය. අනෙක් කෙළවර ඇග පුරා ගමන් කරවූ අතර එම උපකරණය ක්ෂණිකව රුධිරයෙන් පිරී ගියේය. එහෙත් ඇන්ටෝනියෝ පවසන්නේ තමන්ට කිසිදු වේදනාවක් නොදැණුනු බවයි. මේ අද්භූත ජීවීන් ඔහු කාමරයේ තනිකොට දමා එතැනින් ඉවත්වීමත් සමගම කාමරය දැඩි දුර්ගන්ධයකින් පිරී ගියේය.
මේ සමගම ඇන්තෝනියෝට දෑස් අදහාගත නොහැකි දර්ශනයක් දක්නට ලැබිණි. තමන්ට වඩා උසින් අඩු ඉතා සුන්දර යුවතියක් නිරුවතින් තමන් ඉදිරියේ පෙනී සිටියාය. ඇගේ නිකට දිගැතියි. ඇස් විශාල නිල් පැහැතිය. ඉතා කුඩා නාසය සෘජුව පිහිටා තිබේ. ඇගේ කන් යුගල සාමාන්‍ය පරිදි පෙනෙන්නට තිබේ. හිසකෙස් ඇතත් එය ඉතා තුනීය. සුදු පැහැතිය.ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය වී සිටියේය. එහෙත් ඇය ඇන්ටෝනියෝ සමග කතා කළේවත් නැත. සුහදත්වයක් දැක්වූයේ ද නැත. එහෙත් ටික වේලාවකින් එතැනට පැමිණි අයකු ඇයට කතා කළේය. ඇන්තෝනියෝ දෙසට හැරුණු ඇය තම උදරය දෙසට දෑත් දිගුකොට අනතුරුව අහසට අතක් දිගු කළාය. මේ සිදුවීම සිහිවන විට ඔහු තවමත් බියට පත්ව සිටියේය.

යළි ඔහුට අඳුම් ඇඳීමට අවසර ලැබුණු අතර ඔහු යානය වටා රවුමක් ගෙනගොස් ඉනිමග දිගේ පහළට එවා තිබේ. අනතුරුව යානයේ ආධාරක ටිකෙන් ටික හැකිලූණු අතර එය ආලෝකය විහිදුවා සිතා ගැනීමටවත් නොහැකි තරම් අධික වේගයකින් ඉහළ අහසට ඇදී ගිය බව ඇන්තෝනියෝ පවසයි.

ඇන්තෝනියෝ පවසන්නේ තමන්ට එම යානයේ පැය හතරක පමණ කාලයක් ගත කිරීමට සිදුවූ බවයි. යානයෙන් පිටතට එද්දී ඔහුට කිසිදු අපහසුවක් නොදැනුන ද තද කුසගින්නක් දැනී තිබේ. පසුව ඔහු මේ බව තම හිතවතකු වූ වෛද්‍ය නොන්ස්ට් හට පැවසුවේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇන්තෝනියෝ හට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. නමුත් ඔහුගේ නිකටේ විකිරණවලට භාජනය වීමෙන් ඇතිවූ තුවාල කැළලක් තිබිණි.

ඔහු පවසන ආකාරයට ඔහුට මුණගැසුනු පිටසක්වල ජීවීන් ඇගට තදවූ ඇඳුමකින් සැරසී සිටියේය. හිසෙහි හෙල්මටයකි. එහි සිදුරු අතරින් ලා පැහැති ඇස් දිස්වේ. හෙල්මටයේ ඉහළින් නාලාකාර බට වැනි විවර තුනක් විහිදී තිබේ. මින් එක් බටයක් පිටුපසින් යළි ඇඳුමට සවිවී ඇත. අනෙක් නාල දෙක උරහිස් දෙපසින් ඇඳුමට සම්බන්ධ වේ. ඇඳුමේ අත කෙලවර වී ඇත්තේ ඉතා ඝනකම් අත්වැසුමකිනි. පාදයේ සපත්තු පැළඳ
සිටින අතර ඒවා අගල් දෙකක් පමණ උසැති අඩියකින් සමන්විතය. අලෝකය පරාවර්තනය වන පළිගුවක් වැනි විශාල ගෝලාකාර යමක් පපුවේ ඉදිරියේ දක්නට ලැබෙන අතර එය තවත් දීප්තිමත් පටියකින් ඇඳුමට සම්බන්ධවී තිබේ.

දිගින් දිගටම හීනෙන් බියවී කෑ ගසන ඇන්තෝනියෝ අධික හිසරදයකින් සහ පීනසෙන් පීඩා වින්දේය. ඔහුගේ ඇස් දැවිල්ල ද දිගටම දක්නට ලැබිණි. වරින් වර සිරුරේ තැන් තැන්වල තුවාල හටගත්තේය. මේ අසාමාන්‍ය තුවලා වේළෙන විට දම්පැහැති වූයේ වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කරමිනි. බොහෝ දෙනකු කියා සිටියේ එම තුවාල අභ්‍යවකාශ ජීවීන්ගෙන් ඇන්තෝනියෝට ලැබුණු දායාද බවයි.
මෙක්සිකෝවේ විසූ ජෙසී ලෝන්ග් 1957 දී අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේය. එවිට ඔහු පසුවූයේ පස්වැනි වියේය. තම සොහොයුරා සමග සිටිය දී ඔහු දුටුවේ පෙනෙන දුරින් නවතා තිබූ අපූරු වස්තුවකි. මෙය අහසේ පාවෙමින් තිබූ බැවින් මේ සොහොයුරන් දෙදෙනා ගසකට මුවා වී ඒ දෙස බලා සිටියහ. එවිට ඔවුන් දුටුවේ ඉතා කෙසග සිරුරක් සහිත විශාල හිසක් සහ ගෝලාකාර ඇස් ඇති අමුතු මිනිසුන් දෙදෙනකු තමන් අසල සිටින බවයි. ක්ෂණයකින් මේ දෙදෙනා ඒ මිනිසුන් විසින් අල්ලා ගන්නා ලදී.

ජෙසීට ඉන්පසු සිදුවූ දෙයක් මතක නැත. ඔහුට මතක ඇත්තේ ඉන්පසු යම් තැටියක් වැනි මේසයක් මත හාන්සි වී සිටි බවකි. තමන් දුටු අමුතු මිනිස්සු රැුසක් ඔහු වටකරගෙන සිටියහ. ඔවුහු තම වම් පාදයේ පහළ කොටසට යමක් ඇතුළු කරමින් සිටි බව ද ජෙසීගේ මතකයේ තිබිණි.

යළිත් ඔහුට සිහි නැතිවූ බව ජෙසී පවසයි. මේ අවස්ථාවේ සිය සොහොයුරාද පැහැරගෙන ගොස් ඇති පිටසක්වළ ජීවීන් ඔහු වෙනත් කාමරයක රඳවා තබා ඇති බව ද ඔහු කියා සිටියේය. යළි නිවසට ආ ජෙසී සහ සොහොයුරා සුපුරුදු පරිදි ජීවත් වූවේය. මේ කතාව ඔවුන් කොතෙක් අයට කීව ද කිසිවෙකුත් එය විශ්වාස කළේ නැත. නමුත් වයස අවුරුදු 35 පමණ වනවිට ජෙසී මෙවැනි පැහැරගැනීම් කිහිපයකටම ලක්වූවේය. අවසානයේ ඔහු මේ සියල්ල මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත. මාධ්‍යයට මෙය කියනවිට ජෙසී කීවේ තමන් අවසන් වරට පිටසක්වල ජීවීන් විසින් පැහැර ගනුලැබ ඇත්තේ වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවක බවයි. වාහනය සමගම ඔවුන් තමන් සිය යානයට ඇදගත් බව ඔහු ප‍්‍රකාශ කළේ තැතිගැන්මෙන් යුතුවය.

එම අවස්ථාවේදීත් මුල් අවස්ථාවේදී මෙන් සමතල මේසයක හාන්සිකොට තබා ඇස් කන් ආදී සියලූ ඉන්ද්‍රියයන් පරීක්ෂාවට ලක්කළ බවත් ඔවුහු කුඩා බිලිඳකු ඔතන ආකාරයේ රෙදි කඩක එතූ යමක් තමන් දෙසට දිගු කළ බවත් ඔහු පවසයි. ඒ අවස්ථාවේ සිය සුවිසල් දෑස්වලින් මේ අමුතු ජීවීන් මේ ඔබේ පුතා යැයි පවසන ආකාරයක් තමන්ට තේරුම් ගිය බව ද ජෙසී කියයි.
ඔහු පවසන්නේ එම රෙදි කඩ මෑත් කර බැලූ විට කුඩා පිටසක්වල ජීවියකු සිටි බවයි. එවැනිම රෙදි කඩකින් ඔතන ලද කුඩා ළමයි නව දෙනකු එම ස්ථානයේ සිටි බව ද ජෙසීගේ මතකයේ තිබේ. ජෙසී මේ පුවත මාධ්‍යයට හෙළි කිරීමත් සමගම මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් ජෙසී සහ ඔහුගේ සොහොයුරා මෝහනයට පත්කළේය. මෝහන නිද්ද්‍රාවෙන් ද ඔවුන් කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසූ කතාවට සෑම අතින්ම සමාන වූ කතාවකි. මනෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ජෙසී පවසන කතාව මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව සත්‍යය කතාවක් බවයි.තවත් පර්යේෂකයෝ පිරිසක් ජෙසී ස්කෑන් පරීක්ෂණයකට ලක්කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ ජෙසීගේ වම් පාදයේ පහළ කොටසේ පමණක් නොව සිරුරේ තැන තැන අමුතු ආගන්තුක වස්තු ඇති බවයි. අනතුරුව ශල්‍ය කර්මයක් මගින් ඔහුගේ දණහිසට පහළින් ඇති ආගන්තුක වස්තුව ඉවත් කැරුණි. කුඩා ඝන ද්‍රව්‍යයක් වූ එය ලෝකයේ අධි තාක්ෂණික උපකරණ භාවිත කරමින් විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ ගත්ත ද මෙහි අඩංගු මූලද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැත.

වරක් ඇමෙරිකාවේ මේ ආකාරයට පිටසක්වල ජීවීන්ගේ ග‍්‍රහණයට නතුවූ මිනිසුන්ගේ අත්දැකීම් සහිත රූපවාහිනි වාර්තාමය වැඩසටහන් මාලාවක් පවා නිෂ්පාදනය කැර තිබේ. එහි පැමිණි බොහෝ දෙනා කියා සිටි කරුණුවලින් පෙනී ගියේ ඔවුන් එකිනෙකාට සමාන තොරතුරු සමුදායක් ඉදිරිපත් කරන බවයි.
මොවුන් සියලූ දෙනාම කියා සිටි වැදගත් කරුණක් වූයේ ඔවුහු නිවසේ ඇඳ මත සිටියදී මෙලෙස පැහැරගත් බවයි. බොහෝදෙනකු නිල් පැහැති ආලෝකයක් නිවස ඇතුළට එල්ලවූ බව බොහෝදෙනා පවසති. මේ අති දීප්තිමත් ආලෝකයත් සමග නිදා සිටි තමන් අවදිවූ බවත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත් පවසා තිබේ. යම් තරමකින් සිහි ලැබ බලනවිට අසාමාන්‍ය ස්ථානයක අමුතු ජීවීන් විසින් තමන් වටකරගෙන සිටින ආකාරය දුටු බවත් යළි ඔවුන් විසින්ම නිවසට ගෙනවිත් ඇරලවන බවත් පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක්වූ බව පවසන මේ පුද්ගලයෝ කියති.
මෙහි තවත් විශේෂත්වයක් තිබේ. මෙම අත්දැකීමට මුහුණ දුන් සැවොම පවසන පිටසක්වල ජීවීන්ගේ රූපකාය ද සමානත්වයක් දැරීමයි. ඔවුන් විස්තර කරන ආකාරයට පිටසක්වල ජීවීන් ඉතා කෙසග උසැති ශරීරයකට හිමිකම් කියයි. බැලූ බැල්මට අතිශය දුර්වල සිරුරක් ලෙස පෙනෙන මේ ශරීරයේ දෑත් අසාමාන්‍ය දිගකින් යුතු බවත් විශාල හිසක් ඇති බවත් පවසා ඇත. තද කළු පැහැති විශාල ඇස් යුගලත් ක්ෂීණ වූ නාසයක් හා කුඩා මුඛයක් ඇති නමුත් කතා කරන බවක් නොඇසෙන බව ද පැහැර ගැනීමට ලක්වූවෝ පවසති. ඔවුන් පවසන්නේ පිටසක්වල ජීවීන් තම අදහස් හුවමාරු කරගන්නේ ඇසින් සහ සිතිවිලිවලින් බවයි. ඔවුන් කියන දේ තමන්ට හොඳින් තේරුම් යන ආකාරයට දැනෙන බව ද පවසා තිබේ. පෘථිවි වාසීන් පැහැරගෙන ගොස් සැත්කම් පවා කළ බවත් ඇතැම් පිරිස් වාර්තා කැර තිබේ. එක් ඇමෙරිකානුවකු පවසන්නේ පැහැර ගැනීමට ලක්වූ තමන්ට පිටසක්වල ජීවීන් ලිංගික අතවර කළ බවයි. තම ශුක‍්‍රාණු ඔවුන් විසින් ලබාගන්නා ලද බව ද ඔහු කියයි.
ඇමෙරිකාවේ වාර්තා වැඩසටහනකට සහභාගි වූවන් කියා සිටියේ තමන් පැහරගන්නා පිටසක්වල ජීවීන් තම ශරීරයට යම් සියුම් උපකරණ ඇතුළත් කළ බවයි. එමෙන්ම මේවා නාසය මගින් සහ කන ඔස්සේ යැවූ බවත් ඒ අතර කුඩා ගල්කැබලි වැනි උපකරණ තිබූ බව ද ඔවුන් දන්වා සිටියි. කෙසේ වෙතත් මේ පුද්ගලයන් ස්කෑන් කිරීමේ දී පෙනී ගියේ ඔවුන් කියූ පරිදි යම් ආගන්තුක දෙයක් ශරීරයේ අස්ථිවලට කිඳා බැස ඇති බවයි.
ඒවා ශල්‍යකර්ම මගින් ඉවත් කළ පර්යේෂකයෝ විවිධ ක‍්‍රමෝපාය භාවිත කරමින් ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට කොතෙකුත් උත්සාහ දැරුව ද ඒ සියලූ තැත් ව්‍යර්ථ වී ගියේය. ඒවායේ අඩංගු ද්‍රව්‍ය හෝ සංයෝග පිළිබඳ කිසිදු අවබෝධයක් ලබා ගැනීමට පෘථිවියේ විද්‍යාඥයන් සමත්වී නැත. විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මූලද්‍රව්‍ය 110 කින් එකදු මූලද්‍රව්‍යයක් හෝ එහි අඩංගු නොවන බවයි. මෙලෙස ලොව පුරා මිනිසුන් අභ්‍යාවකාශ ජීවීන් විසින් පැහැරගෙන විවිධ පර්යේෂණවලට යොදාගත් අවස්ථා රැසක් වාර්තා වී තිබේ.
සටහන  සජීව විජේවීර

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අංගම්පොර සටන් කලාව .....(angampora - අබිරහස් අඩවිය - Abirahas Adawiya)

ඉපැරැණි ලාංකේය සටන් කලාවක් වන අංගම් සටන් කලාවට වර්තමානය වන විටද හිමිවී ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. රාවණා යුගයේ පටන් පැවැත එන මෙම අපූරු සටන් කලාව ගරිල්ලා ක්‍රමයටද නෑකම් කියන අතර දේශීය උරුමයන්ගෙන් පැවත එන ප්‍රමුඛතම සටන් ක්‍රමවේදයක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. සටන්කලාවන් අතරින් තමන්ටම උරුම කරගත් ආරකින් පැවත එන අංගම්පොර සටන් කලාව මඟින් අතුරු සටන් කලා රාශියක් බිහි වී තිබේ.
අංගම්පොර සටන් කලාව පිළිබඳ විවිධ සටන් ශිල්පීන් එක් එක් අදහස් පළකොට තිබෙන අතර ඒවාට හාත්පසින්ම වෙනස් අදහසක් අංගම්පොර සටන්කලාව පිළිබඳ හෙළි කරන අංගම්පොර සටන් ශිල්පියෙක් අපට අදහස් දැක්වූවේය. ඔහු නමින් සුසන්තය. සම්මානලාභී අංගම්පොර සටන් ශිල්පියකු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සුසන්ත මහතා අංගම්පොර සටන් කලාව පිළිබඳ පළ කරන්නේ මෙවන් අදහසකි.


"අංගම්පොර සටන් කලාව යනුවෙන් සමාජයේ ප්‍රචලිත වුණත් මෙම සටන් කලාවට අංගම්පොර සටන් කලාව යන විරුදාවලිය මම භාවිත කරන්නේ නෑ. මොකද මෙම සටන් කලාවට පසුකාලීනව මෙම නාමය භාවිත කළේ. අංගම් යනුවෙන් හඳුන්වන්නේ අංග භාවිතය. ශරීරයේ අංග භාවිත කොට සිදුකරන සටන් ක්‍රමවේදයක් බැවින් මෙයට එම නාමය භාවිත කළා වෙන්න පුළුවන්. එහෙත් ඉපැරැණි සාම්ප්‍රදායික සටන් කලාව අංග භාවිතයෙන් පමණක් නොවේ සටනට අවතීර්ණ වුණේ. මෙම සටන් කලාව මානසික හික්මීමද ඇතිව සිදු කළ සටන් කලාවක්. එබැවින් මෙම සටන් කලාව විවිධ විරුදාවලීන්වලින් හැඳින්වීමට වඩා සාම්ප්‍රදායික සිංහල සටන් කලාව ලෙස හැඳින්වීම යෝග්‍යය යැයි මම හිතනවා."
මෙම ඉපරැණි සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා සටන් ශිල්පි ගුරුවරයා වෙත පැමිණෙන ශිෂ්‍යයා බොහෝ සේ මානසික හික්මීමක් ඇති අයකු විය යුතුය. සුසන්ත මහතා පවසන පරිදි ගෝලයා මුලින්ම පුහුණුවට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව දේව පූජාවක් පැවැත්විය යුතුය. දේව පූජාවෙන් අනතුරුව ගෝලයා ලද වාසනාව මත හෝ කැපවීමට ඇති හැකියාව මත ඔහුට අංගම්පොර සටන් කලාව මූලාරම්භයේ සිටම උගත හැකිය. එහෙත් අන් අයට පීඩා කරනු පිණිස පුහුණුව ලැබීමට පැමිණෙන්නන්ට එම පූජාවෙන් පසුව කුමන හේතුවක් මත හෝ සටන් ඉගැනීමේ වාසනාව අහිමි වන බව සුසන්ත මහතා පවසයි. පැරැණි සටන් කලාවෙහි ඇති තවත් එක් ප්‍රබල කරුණක් නම් අධික ගුරු භක්තියෙන් සටන් කලාව ප්‍රගුණ කරන තැනැත්තාට මෙම උත්තුංග සටන් කලාව මනාව ධාරණය කර ගැනීමේ හැකියාවක් ඇති වේ.
අත් සෙල්ලම්වලට අමතරව කඩු හරඹ, පොලු සටන්, වේලායුධ සටන්, හක්ගෙඩි සෙල්ලම, අතකොලු සෙල්ලම, හැරමිටි සෙල්ලම ආදී සටන් ක්‍රමවේදයන් මෙම කලාව ප්‍රගුණ කරන තැනැත්තාට ප්‍රගුණ කළ හැකිය. අවි ආයුධයෙන් සන්නද්ධව සේම නිරායුධව සිදු කරන සටන් ක්‍රමවේද 200කට අධික සිය ගෝලයන්ට පුහුණු කරන බව සුසන්ත මහතා කීය.
පිරිසක් මධ්‍යයෙහි සිටින තැනැත්තකු එම පිරිසටද නොදැනෙන ලෙස මරණයට පත් කිරීමට හෝ සිහි විසඥ කිරීමේ හැකියාවක් මෙම සටන් ක්‍රමවේදය තුළ පැවැතීමද සුවිශේෂීත්වයකි.
මෙම සටන් කලාව බහුලවම සිදුවන්නේ පුද්ගල සිරුරේ නිල හෙවත් ප්‍රධාන නහර ඉලක්ක කොටගනිමිනි. සතුරකු මුහුණට මුහුණලා හමුවූ අවස්ථාවලදී ඔහුට කිසිවක් කරගැනීමට පළමුව එම තැනැත්තාගේ බල නහරයක් වෙත පහරදී සිහිසුන් කිරීමේ හැකියාවක් මෙම සටන් කලාව සතුව පැවැතීම විශේෂත්වයකි.
මෙම සටන් කලාවේ භාවිත කරන සටන් ක්‍රමයන් හුදෙක් අත සහ පය පමණක් භාවිත කිරීම අපහසුය. එයට මානසික නිරවුල්තාව ඉහළින්ම පැවැතිය යුතුය. අතීත සාම්ප්‍රදායික සටන් ගුරුවරුන් අතරින් සුප්‍රසිද්ධ නාමයක් දිනාගෙන සිටි සරඹ වෙද මහතා යන විරුදාවලියෙන් හැඳින්වූ අරනෝරිස් වෙත්තසිංහ සහ බෙම්පි ප්‍රනාන්දු යන සටන් ප්‍රභූවරුද මෙම සටන් කලාව බොහෝ සේ ප්‍රගුණ කළ පිරිස අතර වැජඹෙති. සටන් කලාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් තුනුරුවන් ගුණ සිහිකොට නවග්‍රහ මණ්ඩලය සඳහා පූජාවක් සිදුකොට සතරවරම් දෙවිවරුන් නමින් 'පාරවල් හතර' නමැති සටන් ක්‍රමයක් පූජා කිරීමෙන් අනතුරු භාවනායෝගීව හිඳ මෙම සටන් කලාව පුහුණු කිරීමට පෙලඹී ඇති බව සුසන්ත මහතා පවසයි. යථෝක්ත සටන් ශිල්පීන්ගේ මුනුබුරකු වන සුසන්ත මහතාද සිය සාම්ප්‍රදායික සටන්
කලාව ඇරැඹීමට ප්‍රථම ආධ්‍යාත්මික නිරවුල් බව සකස් කොට ඉන් අනතුරුව සටන් ප්‍රගුණ කිරීමට පුරුදු වී සිටියි.
ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ට සාම්ප්‍රදායික ගමෙන් උපන් සටන් ශිල්පීන් ඉමහත් අභියෝගයක් වූ බව පැරැණි සටන් සාහිත්‍යය සාක්ෂ්‍ය දරයි. පෘතුගීසීන්ගේ ගිනි බටය සටන් ශිල්පීන්ගේ නිල සටන හමුවේ පරාජයට පත් වෙමින් පැවැති නිසා සාම්ප්‍රදායික සටන් ශිල්පීන්ට දුටු තැන වෙඩිතබා මරා දැමීමට පෘතුගීසීන් තීරණය කොට තිබේ. සටන් ශිල්පීන්ගේ නැඟී සිටීම පෘතුගීසීන් තුළ ඇති කළේ භීතියකි. එබැවින් ලංකාව ඇතුළත කිසිදු ස්ථානයක සටන් කලාව ප්‍රගුණ නොකළ යුතු බවටද පෘතුගීසීන් විසින් වාරණයක් පනවනු ලැබීය. එසේ සටන් ක්‍රමවල නිරත වන්නන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට ඔවුහු කටයුතු කළහ. සිංහල නිවෙසක කඩුවක් පවා තබා ගැනීමට තහනම් කිරීමෙන්ම පෘතුගීසීන් සාම්ප්‍රදායික සටන් කලාව කෙරෙහි කොතරම් භීතියක් දක්වා ඇතිද යන්න පසක් වේ.
කෙසේ වෙතත් මෙම සටන් කලාව විනාශවීමට ඉඩ නොතැබූ අතීත සටන් ශිල්පීහු පෘතුගීසීන්ගේ අවධානය යොමු නොවන පරිදි පැරැණි සටන් කලාවට හාස්‍යයද මුසු කරමින් මායා නමැති සටන් කලාවක් හඳුන්වා දුන්හ. සත්තකින්ම ඔවුන් එහිදී සිදු කළේ පැරැණි සටන් ශිල්පයම හාස්‍යයද මුසු කරමින් පෘතුගීසීන්ට සැක පහළ නොවන පරිදි ප්‍රගුණ කිරීමට කටයුතු කිරීමයි. විවිධ ආයිත්තම් විකට ඇඳුමෙන් සැරැසී මායා රංගනයක් ලෙස හුවා දක්වමින් ඔවුන් පැරැණි සටන් කලාව ප්‍රගුණ කොට ඇති බවට අතීත සටන් සාහිත්‍යය සාක්කි දරයි.
එවන් අපරිමිත කැපවීමක් දරා අතීත ප¾ඩිවරුන් විසින් පවත්වාගෙන එන ලද පෞරාණික සටන් කලාව විවිධ පුද්ගලයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් අභාවයට යමින් පවතින බව සුසන්ත මහතා පවසයි. පැරැණි මුතුන්මිත්තන් මායා සටන් කලාව හඳුන්වා දුන්නේ සත්‍යය ඉපැරැණි සටන් කලාව අනාගත පරපුරට හඳුන්වා දීමට වුවද අනාගත බහුතරයක් පිරිස සටන් කලාව හුදෙක් රඟපෑමක් බවට පත් කරමින් ඉපැරැණි සටන් ශිල්පය පවා විකෘති කිරීමට පෙලඹී සිටින බවද සුසන්ත මහතා පවසන්නේ දැඩි කනගාටුවෙනි.
පෘතුගීසි සමයෙහි පවා විවිධ අභියෝගයන්වලට මුහුණ දෙමින් ජීවිත අවදානමද නොතකා සිය සටන් කලාව අනාගත පරපුරට දායාද කිරීමට අතීත සටන් වියතුන් කටයුතු කළා සේම වත්මන් පරපුරද එම අභියෝගය සුරතට ගනිමින් කටයුතු කරයි නම් ඉපැරැණි සටන් කලාවේ උන්නතිය වෙනුවෙන් තවත් පරපුරක් බිහි කිරීමට හැකි වෙනු නොඅනුමානය.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

නොයෙක් වේශයෙන් පැමිණෙන අවතාර.. .අබිරහස් අඩවිය - Abirahas Adawiya (holman katha)

දශක හයකට පමණ පෙර කඩවත - ගනේමුල්ල පාරේ (දැනට අංක 223 දරන බස්‌ මාර්ගය) හතරේ කණුවට යාබද පාර දෙපැත්තේම ඇති ඉඩම් අක්‌කර ගණනාවක්‌ම මහ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. ඒ ස්‌ථානයට පේනතෙක්‌ මානයේ ගෙයක්‌ දොරක්‌ ද නොවීය. පාරේ වංගුව ද හතරේ කණුව පෙදෙසටම හසු වී ඇත.පාරේ විදුලි එළිය ද නොතිබූ ඒ අවදියේ හොල්මන්වලට බියෙන් හතරේ කණුව ළඟින් ගමන් යැමට බොහෝ දෙනෙක්‌ අදිමදි කළහ. රාත්‍රි කාලයේ හතරේ කණුව පෙදෙසේදී බොහෝ දෙනකු හොල්මන්වලට බිය වූ බවට කටකතා ගම් පළාත හතරවටේ පැතිරුණේය.
ගනේමුල්ල දුම්රිය ස්‌ථානයට හතරේ කණුවේ සිට කිලෝමීටර් දෙකක්‌වත් නැත. සතියකට දෙවතාවක්‌ පැවැත්වුණු ගමේ වෙළෙඳ පොළට හතරේ කණුවේ සිට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. උළු කඩේ හන්දියේ පොළ නමින් හැඳින්වුණු ඒ පොළ බුලත් වෙළඳාම ගැන ද ප්‍රසිද්ධය. ගම්පහ නගරයේ තොග මධ්‍යස්‌ථානයට බුලත් සැපයෙන උප මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ද උළුකඩේ පොළ දැක්‌විය හැකිය.

මගේ තාත්තා කී හතරෙ කණුව හොල්මන් කතාව මට තාම මතකය. කලින් දින සැන්දැවේ පොළට යන කරත්තයකට විකිණීමට ඇති බුලත් තොගය භාර දුන් තාත්තා පසු දින පාන්දර තුනට පමණ පොළට යැමට පිටත් විය. හුළු එළියෙන් ගමන් යන තාත්තාට මඟදී කිසිවකු හමු වී නැත. ගෙදර සිට හතරේ කණුව පෙදෙසට ඒමට පැය භාගයක්‌වත් ගත නොවේ.

හතරේ කණුව පෙදෙසේදී කැලෑවේ සිට බල්ලෙක්‌ තාත්තා දෙසට දිව ගෙන එයි. පාර ළඟටම ආ බල්ලා දෙසට තාත්තා හුළුඑළිය අල්ලයි. එවිට ඌ වේගයෙන් කැලය දෙසට ආපසු දුවයි. නැවතත් ආපසු හැරෙන බල්ලා වේගයෙන් දිව එන්නේ තාත්තා දෙසටය. හුළුඑළිය වනමින් මඳක්‌ නැවතුනු තාත්තා ඌ දෙස බලයි. යළිත් ආපසු හැරුණු බල්ලා කැලයේ ඈතටම යයි. බල්ලා නැවතත් පාර දෙසට දිව එන්නේ කැලය ද කඩා බිඳගෙන බව තාත්තා දකියි. හුළුඑළියෙන් ම ඌට දමා ගැසීමේ අදහසින් තාත්තා පාරේ නැවතී බලා සිටියි. ඒ වතාවේත් පාර ළඟමට ආ බල්ලා සැඟවී ගියේය. පොළට ගිය පසු තාත්තා මේ සිද්ධිය කිහිපදෙනකුට කියා ඇත. හතරේ කණුව හොල්මන බල්ලන් වැනි සතුන් හැටියට ද දිස්‌වෙන බව තාත්තා දැනගත්තේ එදාය. හොල්මන ගැන නොදැනුවත්කම නිසා තාත්තා දිනුවේය. පැරදුනේ හොල්මනයි.

කඩවත - ගණේමුල්ල පාරේ පොකුණෙ හන්දියට කිට්‌ටු නිවාසයක වූ හොල්මන් සිද්ධිය වසර සියයකටත් වඩා අතීතයට දිවෙන කතාවකි. මහලු වියේදී ඇය ජීවත් වී ඇත්තේ තනිවමය. අගහිඟකම් නැති ජීවිතයක්‌ ඇය ගත කළාය. හදිසියේ රෝගාතුර වූ ඕ දින කිහිපයක්‌ ඇවෑමෙන් මිය ගියාය. සතියකට පමණ පසු ඇය ජීවත් වූ ගෙදරට ආ හොල්මන ගැන පුවත ගම් ප්‍රදේශයේ පැතිර ගියේය. සන්ධ්‍යා භාගයේදී ගෙමිදුළට රැස්‌වන ගැමියෝ හොල්මන එනතුරු බලා සිටිති. බල්ලා බුරාගෙන වත්තේ වැට පැත්තට දුවයි.

හොල්මන වත්තට ඇතුළු වූ බව බල්ලාගේ හැසිරීමෙන් කවුරුත් දැන ගනිති. බළලා ඤාව් කියාගෙන කුස්‌සිය පැත්තට යයි. හොල්මන කුස්‌සියේ ඉහුම් පිහුම් වැඩ අරඹයි. පොල්ගාන ශබ්දය හා මිරිස්‌ අඹරන ශබ්දය ද
මිදුලේ සිටින අයට ඇසෙයි. දර මිටිය බිමට දමන ශබ්දය පවා කුස්‌සිය පැත්තෙන් එයි. වළං සේදීමද හොල්මනට පැවරී ඇති කාර්යයක්‌ බැව් මිදුලේ සිටින ගැමියන් දන්නා කාරණයකි. ශබ්ද මිසක්‌ කුස්‌සියේ කිසිවකු පෙනෙන්නට නැති බව ද ඔවුහු දනිති. කටහඬ ද ඇසුණි නම් මෙදා ගුවන් විදුලි නාට්‍යයකින් ලැබිය හැකි විනෝදස්‌වාදය විඳින්නට එදා ගැමියන්ට ද හැකිවනු ඇත. කෙසේ වෙත් පාළු ගෙදරට ආ හොල්මනේ සේවය කෙටි කාලයකට සීමා වූයේ මියගිය තැනැත්තියගේ ඥාති පවුලක්‌ ඒ ගෙදර පදිංචි වූ නිසා ය.
අද බොහෝ දෙනෙක්‌ ග්‍රීස්‌ යකුන් ගැන කතා කරති. ග්‍රීස්‌ යකුන් ගැන කියද්දී මට මතක්‌ වන්නේ කැන්දලියද්ද පාළුව ගමේ වැලිපිල්ලෑව කඩමණ්‌ඩිය පැත්තේ ගැමි ගෙදරට ආ යකෙකු පිළිබඳ මා ඇසූ කතාවයි.
මැදියම් රැයේ ගැමි ගෙදරට විත් ගෙහිමියාගේ පිටට තට්‌ටු කරන යකා ග්‍රීස්‌ යකා මෙන් බියකරු යකෙකු නොව ගුණ යහපත් යකෙකු විය හැකිය.
එදා බොහෝ ගෙවල්වල ඉස්‌තෝප්පුව තිබේ. ඉස්‌තෝප්පු කාමර තිබෙන ගෙවල් ද ඇත. ඉස්‌තෝප්පුවට ගොඩවීමට දොරක්‌ ද නැත. ඉස්‌තෝප්පුවේ නිදා සිටින ගෙහිමියා ඇහැරවා ගන්නට දොරට තට්‌ටු කරන්නට ද අවශ්‍ය නොවන්නේය. ගැමි ගෙදර බොහෝ තාත්තලා ඉස්‌තෝප්පුවේ නිදා ගත්හ.
මැදියම් රැයේ ඒ යකා ගැමි ගෙදරට එන්නේ ගෙහිමියාගේ වැඩපළ කර දී උදව් පදව් කරන්නටය. වත්තෙ පිටියෙ හා කුඹුරේ වැඩ මිස යකකු ලවා කරවා ගන්නට තරම් බර වැඩ ගෙහිමියාට නැත. තම සේවය නොමිලේ ලබා දෙන්නට සැරසෙන මේ අරුම පුදුම යකාගේ සේවය ලබා ගැනීමට හැකි දැනුම, අවබෝධය හා උපාය ගැමියා තුළ නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොගන්නා නිසා යකා ගැමියා ද කඳවාගෙන ගමේ වතුවලට යයි. ගස්‌ නැග පොල් කඩන යකා ඒ පොල් ගොඩවල් ද ගැමියාගේ වත්තටම ඇද දෙයි. ගැමියා තුෂ්ණිම්භූතව බලා සිටිද්දී යකා දිගටම කරගෙන ගියේ සොරකම් වැඩය.
මැදියම් රැයේදී එන පුද්ගලයා පිළිබඳ රහස, රහසක්‌ වශයෙන් ම තබා ගත යුතු බවට යකා මුල් දිනදීම ගැමියාගෙන් පොරොන්දුවක්‌ ගෙන තිබිණි. රහස රැකගන්නට ගැමියා අපොහොසත් විය. ගෙදර ඇත්තෝ ද රහස්‌ දැන ගත්හ. යකා ඒ පැත්ත පළාතේවත් නොඑන රහස ගැමියාට නම් රහසක්‌ නොවීය.

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya