Tuesday, August 23, 2016

කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය... (Bermuda‬ Triangle Part – 03 නොවිසඳුණු අබිරහස් novisadunu abirahas අබිරහස් අඩවිය - Abirahas Adawiya)


*දිනය: 1945 දෙසැම්බර් 5
*වේලාව: සවස 4.30 ට පමණ
*ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
*මෙහෙයුම: Navigation Problem Number One
*පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානයපාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.
FT-36, ඔබට අවසර ලැබෙනවා.
බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා.

මිනිත්තු 40 කට පමණ පසු…..
Flight 19, මේ පාලක මැදිරිය යි. කරුණාකර ඔබේ පිහිටීම වාර්තා කරන්න.

පිළිතුරක් නැත…..
මේ අතර මීට කිලෝමීටර කිහිපයක් ඈතින් පියාසර කෙරෙමින් ඇති උක්ත මෙහෙයුමේ ම යෙදී සිටින වෙනත් බලගණයක ප්‍රධාන යානාවට (FT-74) අපැහැදිලි පණිවිඩයක් ලැබේ.
මේ FT-28 ගුවන් යානය යි. කරුණාකර උදව් කරන්න..!
මේ FT-74 ගුවන් යානය යි. FT-28, ඔබේ පිහිටීම වාර්තා කරන්න. අප සහායට පැමිණෙනවා.
අපේ ගුවන් යානා පහේම මාලිමා යන්ත්‍ර අක්‍රීය යි. අපට Fort Lauderdale ඇති දිශාව සොයා ගැනීමට බැහැ. කරුණාකර උදව් කරන්න!
අතුරුදහන් වූ TBM Avenger යානා පහ
දෙසැම්බර් 5 වනදා ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale සිට Navigation Problem Number One පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ ගුවන් බලගණ (ගුවන් යානා සමූහයක්) කිහිපයක සහභාගීත්වයෙනි. සෑම බලගණයකම ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු කටයුතු කල අතර මෙහෙයුමේ අරමුණ වූයේ නිශ්චිත ඉලක්කයකට බෝම්බ දැමීම සහ නැවත මූලස්ථානයට පැමිණීම නවක ගුවන් නැවියන්ට පුහුණු කිරීමයි. ඉහත සඳහන් කළ Flight 19 බලගණය TBM Avenger වර්ගයේ බෝම්බ හෙළන යානා පහකින් සමන්විත විය. ලුතිනන් චාල්ස් කැරොල් ටේලර් ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම ආරම්භ කල බලගණයේ මුළු සාමාජික සංඛ්‍යාව දහ හතරක් විණි. පස්වරු 2.15 ට NAS Fort Lauderdale වෙතින් පිටත් වූ මෙම යානා සමූහය පුහුණුව සාර්ථකව නිමා කොට නැවත පැමිණෙන අතරවාරයේ බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහසේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට, අත්භූත ලෙස අතුරුදහන් විය … ඉහත දෙබසින් පසු FT-74 යානාවේ ප්‍රධානියා වූ ලුතිනන් රොබට් කොක්ස් විසින් මේ පිළිබඳව Fort Lauderdale පාලක මැදිරිය දැනුවත් කරන ලද අතර ඒ හරහා Flight 19 බලගණයට තම යානා වල වම් පස තටු හිරු දෙසට එල්ල වන ආකාරයට පියාසර කරන ලෙසට අණ ලැබුණි. ඔවුන් ඒ අනුව පියාසර කිරීම ආරම්භ කළ බව FT-74 යානාවට දැනුම් දුන්හ. කෙසේ හෝ මේ ආකාරයට රාත්‍රී 7 පමණ වන තෙක් Flight 19 හි FT-28 යානාව, FT-74 සමග විටින් විට සම්බන්ධ වූවත්, ඔවුන් ලබා දුන් පණිවිඩ ඉතාමත් අපැහැදිලි විය. පැය කිහිපයක් තිස්සේ පාලක මැදිරිය උපදෙස් දුන් ගමන් මාර්ගය දිගේ පියාසර කළ ද, Flight 19 යළි කිසිදු දිනෙක Fort Lauderdale වෙත පැමිණියේ නැත .
අතුරුදන් වූ යානා සෙවීමේ කටයුතු වහා ආරම්භ විය. බොහෝ වගකිව යුතු නිළධරයන් ගේ අදහස වූයේ අතරමං වුණු යානාවන් පැය කිහිපයක් පුරා ඒ මේ අත පියාසර කොට ඉන්ධන අවසන් වූ පසු මුහුදට කඩා වැටුණු බව යි. සාගරයට ඉහළින් ගමන් ගනිමින් තිබූ යානයක් කුමන හේතුවක් නිසා අනතුරකට ලක් වුවත් එය කඩා වැටිය යුත්තේ සාගරයට ය. එවිට දින කිහිපයකට පසු හෝ අනතුර සිදු වූ ස්ථානයේ ජලය මතුපිට යානයේ සුන්බුන්, තෙල් පැල්ලම් ආදිය දැක ගත හැකි වේ. නමුත් Flight 19 සිදුවීමේ දී එබඳු ද්‍රව්‍යයන් කිසිවක් හමු වූයේ නැත. දැවැන්ත හා බලගතු, බෝම්බ හෙළන යුධ ගුවන් යානා පහක් ගුවන් නැවියන් දහ හතර දෙනෙකු ද සමග සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණ.
ඉහළ අහසේදී පුපුරා ගිය PBM Mariner යානාව
මේ අතර Flight 19 සෙවීමට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කළ PBM Mariner වර්ගයේ ගුවන් යානාවක්ද එහි කාර්යමණ්ඩලයේ දහතුන් දෙනෙකු සමග අත්භූත ලෙස අතුරුදහන් විණි! පසුව සොයා ගැනුනේ එම යානාව යම් හේතුවක් නිසා අහසේදී පිපිරී විනාශ වුණු බව යි. එහෙත් එම පිපිරීමට හේතුව හෙළිදරව් වූයේ නැත. පරීක්ෂණ වලදී හෙළි වුණු ආකාරයට පාලක මැදිරිය හා සම්බන්ධතාවය ඇණ හිටි අවස්ථාවේ දී Flight 19 සිටියේ Fort Lauderdale සිට කිලෝමීටර 370 ක් පමණ ඈතිනි.
කෙසේ හෝ පරීක්ෂණ කටයුතු අවසානයේ කිසිවෙකුටත් අතුරුදන් වූ බලගණය ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ හැකි වූයේ නැත. ඉන්ධන අවසන් වීමෙන් යානාවන් සාගරයට කඩා වැටෙන්නට ඇති නමුත් ඒවායේ සුන්බුන් කිසිත් හමු නොවූ බවත්, බලගණ නායක ලුතිනන් චාල්ස් ටේලර් බහමාස් හි දූපත්, ෆ්ලොරීඩාවේ දූපත් යැයි වරදවා වටහා ගෙන නියමිත ගුවන් මාර්ගයෙන් එපිට ට යන්නට ඇති බවත් අනුමාන කිරීම් ලෙස පරීක්ෂණ වාර්තාවේ සටහන් විණි. යානා සෙවීමේ කටයුතු අත්හැර දමන ලදී.
අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව බලගණයේ ගමන් මග
පසු කලෙක, 1986 දී මේ අභිරහස් සිදුවීම නැවතත් කරළියට පැමිණියේය. ඒ එම කාල වකවානුවේදී අභ්‍යවකාශගත වීමක් අතරතුර පිපිරී විනාශ වී ගිය චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සුන්බුන් සොයමින් සිටි පරීක්ෂණ කණ්ඩායමකට ෆ්ලොරීඩා වෙරළ තීරය ආසන්නයේ මුහුදු පත්ලේ තිබී TBM Avenger යානයක කැබලි හමු වීමෙනි. පසුව කිමිදුම් කරුවන් ලවා එම යානයේ සුන්බුන් ගොඩ ගෙන පරීක්ෂා කළද, පුදුමය වූයේ එම සුන්බුන් Flight 19 බලගණයේ යානයක කොටස් යැයි ඔප්පු කළ හැකි නොවීමයි! නැවත 1991 දී ෆ්ලොරීඩා වෙරළ තීරයේම වෙනත් දිශාවක මුහුදු පත්ලේ තිබී TBM Avenger වර්ගයේ යානා පහක සුන්බුන් හමු විය. නැවතත් සුන්බුන් හා අතුරුදන් වූ යානා සංසන්දනය කරන ලදී. ඉන් ලැබුණු ප්‍රතිඵලය පරීක්ෂකයන් විශ්මයෙන් විශ්මයටත්, අවුලෙන් අවුලටත් පත් කිරීමට සමත් විණි. මුහුදු පත්ලේ තිබී හමු වූ Avenger යානා පහ කිසිසේත්ම අතුරුදහන් වූ Flight 19 යානා පහ නොවීය!! ඒවායේ එන්ජින් සීරියල් අංක සහ Flight 19 හි එන්ජින් සීරියල් අංක සම්පූර්ණයෙන්ම අසමාන විය. අනෙක් අතට Flight 19 අතුරුදන් වූයේ මදක් ගැඹුරු මුහුදේ මිස වෙරළට මෙතරම් ආසන්නයේ දී නොවේ. එහි තවත් විශේෂත්වයක් වූවේ මුහුදේ කිලෝමීටර 2.4 ක පමණ වපසරියක එකිනෙකට ඉතා ආසන්නව සුන්බුන් විසිරී තිබුණ ද, මෙම යානා පහ කඩා වැටී තිබුණේ විවිධ දිනයන් හිදී වීම යි. (යානා වල සටහන් වී තිබූ දත්ත ආධාරයෙන් සොයා ගන්නා ලදී.)
කෙසේ හෝ Flight 19 අභිරහස වර්තමානය වනවිටත් විසඳී නොමැත. මෙහිදී පැන නැගෙන ගැටළු ගණනාවකි. Flight 19 යානා පහේම දිශාව පෙන්වන උපකරණ එකවර අක්‍රීය වූයේ ඇයි? ගුවන් පැය 2500 ක පළපුරුද්දක් තිබුණු ලුතිනන් චාල්ස් ටේලර් ට පාලක මැදිරියේ මග පෙන්වීම යටතේවත් තම බලගණය මූලස්ථානයට මෙහෙයවිය නොහැකි වූයේ ඇයි? යානා පහ මුහුදට කඩා වැටුනා නම්, ඊට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොලැබුණේ කුමක් නිසාද? Flight 19 සෙවීමට ගිය PBM Mariner යානය අහසේදී පුපුරා යාමට හේතුව කුමක්ද? එමෙන්ම වසර ගණනාවකට පසු ෆ්ලොරීඩා වෙරළ තීරයේදී හමූ වූ TBM Avenger යානා හය Flight 19 නොවේ නම්, ඒ යානා මොනවාද? ඒවා අනතුරට පත් වූයේ කෙසේද? විවිධ කාල වලදී මුහුදේ එකම ස්ථානයකට ගුවන් යානා පහක් කඩා වැටුනේ කෙලෙසද?
Flight 19 බලගණය අනතුරකට ලක් වී මුහුදුබත් වූවා ද? නැතහොත් සමහරුන් පවසන ආකාරයට බර්මියුඩා ත්‍රිකෝණයේ දී ඔවුන් පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගනු ලැබුවා ද?
All Planes, close up tight. We ll have to ditch unless landfall. When the first plane drops below ten gallons, we all go down together…ඒ Flight 19 ප්‍රධානී ලුතිනන් ටේලර් ගේ අවසන් පණිවිඩය යි…
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya  

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න! (නොවිසඳුණු අබිරහස් novisadunu abirahas)

පසුගිය (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා. 
ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!
මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච්. 370 මගී යානය අබිරහස් ලෙස අතුරුදන් වූයේ ඉකුත් 8 වැනිදා මැලේසියානු වේලාවෙන් මධ්‍යම රාති‍්‍ර 12.21 ට පමණය. ඒ අවස්ථාවේදී යානය චීනයේ බීජීං නුවර බලා පියාසර කරමින් තිබුණේය. ඒ මොහොතේ සිට ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් තවමත් අවසන් නැත.
දැනට හෙළිදරවු වී තියෙන්නේ සොරකම් කළ පාස්පෝට් දෙකකින් දෙදෙනකු ඒ යානයේ ගමන් කර තිබෙන බවයි. ඒ පාස්පෝට්වල සැබෑ අයිතිකරුවන් නිරුපද්‍රිතව ඉන්නා බව බලධාරීන්ට දැනටමත් දැනුම් දී තියෙනවා.
ඒ අතර වියට්නාමයේ නාවික හමුදාව සොයා ගෙන තියෙනවා මහමුහුද මැද සැතැපුම් 12ක් දිග තෙල් පැල්ලමක්! එය එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානය කඩා වැටීමෙන් ඇති වූවක් කියලා දැනට සැක කරනවා. යානයේ ඇති සෙල්ෆෝන් කීපයක් නාද වෙන බව සොයා ගෙන තියෙනවා. ඒ ඔස්සේ යානය වැටුණු තැන සොයා ගන්නයි, දැන් වෑයම් කරන්නේ.
යානයක් ගිනිගෙන අහසින් කඩා වැටෙනවා දුටු තෙල් කැණීම් අටල්ලක සේවකයකු ඒ ගැන වාර්තා කර තියෙනවා. ඒ වගේම චීන චන්ද්‍රිකාවක් මගින් ගත් ඡායාරූපයක මුහුදේ පාවෙන කැබලි තුනක් සොයා ගිය වියට්නාම් පරීක්ෂක ගුවන්යානයකට ඒ ප‍්‍රදේශයට ගිහින් නැවත නැවතත් පරීක්ෂා කරලත් එවැනි දෙයක් සොයා ගත හැකි වී නැහැ.
ඇමරිකන් වෙබ් අඩවියක් ඔස්සේ අන්තර්ජාලය හරහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලොව පුරා ලක්ෂ ගණනක් දෙනා මේ මහා සෙවුම් මෙහෙයුමට එක් වී තියෙනවා.
ඒ අතර මේ විධියට අපට තවමත් විසඳගත නොහැකිව ඇති, ඒ වගේම අබිරහස් විධියට සිදුවූ ලෝකයේ වඩාත්ම ගුප්ත ගුවන්යානා අනතුරු 10 කුමක්දැයි විමසා බලමු.
10. ලොව වටා නොනවත්වා ගුවනින් යද්දී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් (Amelia Earhart)  
ඇමරිකාවේ ඇමලියා ඉයර්හාට් 1937 ජූලි 2 වැනිදා ඇගේ ලොක්හීඞ් ඉලෙක්ට‍්‍රා ගුවන් යානයෙන් පිටත් වූයේ නොනවත්වා ලෝකය වටා ගොස් ලෝක වාර්තාවක් තියන්නයි. ඇය සමග ඇගේ මග පෙන්වන්නා වූ ෆ්‍රෙඞ් නූනන් මේ ගමනට එක්ව සිටියා.
ඇය ඊට පෙර අත්ලාන්තික් හරහා තනිවම ගුවන්යානයක් පදවා ගෙන ගිය ප‍්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් තබා තිබුණා. මෙවර ගියේ නොනැවතී ලෝකය වටා ගිය කාන්තාව වෙන්නයි ඇය බලාපොරොත්තු වුණේ.
ඇය පියාසර කළ යානය මධ්‍යම පැසිපික් සාගරයේ හවුලන්ඞ් දූපත අසල දී අතුරුදන් වුණා.එදා සිට අද වන තෙක් ඇගේ අතුරුදන් වීම අබිරහසක්ව පවතිනවා. ඒත් ඒ පිළිබඳ අනුමාන නිගමනයන් තවමත් පළ කෙරෙනවා.
වැඩි දෙනකු කියන්නේ ඇගේ යානයේ ඉන්ධන අවසන් වීම නිසා මුහුදට කඩා වැටුණු බවයි. ඇය ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්?න්ක් ඞී රූස්වෙලට්ගේ ඔත්තුකාරියක වූ බවත් ජපනුන් විසින් ඇය අල්ලා ගත් බවත් කියන අයත් ඉන්නවා.
ඒ වගේම ඇගේ යානය ජපන් දූපතකට කඩා වැටුණු බවත් ඒ අනතුරෙන් මියගිය බවත් තවත් සමහරු කියනවා. ඇගේ සිරුර වැලි කකුළුවන් විසින් කා දමන්නට ඇති බවත් ඔවුන්ගේ මතයයි. 
තවත් මතයක් නම් ඇය ගමනින් දිවි ගලවා ගත් බවත් දැන් නිව් ජර්සි ප‍්‍රාන්තයේ වෙස්වළා ගෙන ජීවත්වෙන බවයි.
ඇය පිළිබඳ තවත් පුදුම මතයක් නම් ඇය සක්වළ ජීවීන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. මේ බව දැක්වෙන්නේ ස්ටාටෙ‍්‍රක් (Star Trek) ටෙලිවිෂන් කතාමාලවේ වොයේජර් කතාංගයේයි.
9. ගුවන් හමුදා යානයකින් පියාසර කරද්දී ඉංගී‍්‍රසි ඕඩයේ දී අතුරුදන් වූ ග්ලෙන් මිලර් (Glenn Miller)

ඇමරිකන් යුද හමුදා තූර්යවාදක කණ්ඩායම් ප‍්‍රධානී ග්ලෙන් මිලර් කීර්තිමත් සංගීතඥයෙක්. දෙවන ලෝක යුද සමයේ මිත‍්‍ර හමුදා වෙනුවෙන් ඒ 1944 ගිම්හාන කාලයේ දී එංගලන්තයේ සංගීත ප‍්‍රසංග ගණනාවකට සහභාගි වූ ඔහු ප‍්‍රංශයට යමින් සිටියේ ප‍්‍රංශ හමුදා වෙනුවෙන් සිය මෙහෙය ඉටු කරන්නයි.
ඔහු 1944 දෙසැම්බර් 14 වැනිදා රාති‍්‍රය ගත කර ඇත්තේ බෙඞ්ෆෝඞ් අසල රාජකීය ගුවන්හමුදාවේ ටින්වුඞ් ගොවිපළේ දී හිතවතකු වූ මිල්ටන් අර්නස්ට් සමගයි. ඒ ඔහු පණපිටින් සිටි අවසන් රාති‍්‍රයයි.
ප‍්‍රංශය බලා ගියේ තනි එංජිමේ ගුවන් යානයකින්. එංගලන්තයත් ප‍්‍රංශයත් අතර ඉංගී‍්‍රසි ඕඩය හරහා යද්දී තමයි අතුරුදන් වූයේ. 
ඒ පිළිබඳවත් තොරතුරු සෙවූ අය විවිධ මත පළ කරලා තියෙනවා. මිතුරු ගුවන් යානාවක් විසින් කළ වෙඩි ප‍්‍රහාරයකින් ඔහු පැද වූ යානය කඩා වැටෙන්නට ඇතැයි ඇතැම් අය කියනවා.
සමහරුන් කියනවා ජර්මනියේ සීගන්වලට ප‍්‍රහාරයක් එල්ල කර ආපසු එමින් සිටි බෝම්බහාරක යානාවලින් ඔවුන්ගේ ආරක්ෂාවට හෙළුෑ බෝම්බයක් නිසා යානය කඩා වැටෙන්න ඇතැයි කියා.
ජර්මනියේ ‘බිල්ඞ්’ පුවත්පතට වාර්තාකරුවෙකු ලියා ඇත්තේ අමුතු කතාවක්. මිලර් ප‍්‍රංශයට ගිය බවත් එහිදී ගණිකා නිවාසයකට හොර රහසේ ගිය ගමනක දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා මිය ගිය බවයි. 
8. පියසැරි අංක 19 යානය හා බුර්මියුඩා ති‍්‍රකෝණය 
1945 දෙසැම්බර් 5 වැනිදා ගුවන්යානා හයක් එක් වරම ගුවනේ දී අතුරුදන් වුණා. බර්මියුඩා අබිරහස ආරම්භ වුණේ එහෙමයි. 
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඇවෙන්ජර් යානා හයක් මෙසේ හදිසියේ අතුරුදන් වූයේ පුහුණු කිරීමේ මෙහෙයක යෙදෙමින් සිටියදියි. 
ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ සිට ගුවනට නැගුණු මේ යානා පුහුණුව පැවැත් වුණේ පළපුරුදු පියසැරි පුහුණුකරුවකු වූ චාල්ස් ටේලර් (Charles Taylor) විසිනුයි.
ගුවනට නැග පැය එකහමාරකට පසු ඒ ඇවන්ජර් යානා පැදවූ නියමුවන් හදිසියේ ම කීවේ ඔවුන් අතරමං වී ඇති බවයි. ඔවුන්ට මග සොයා ගැනීමට පහළ ඇති මග සලකුණු කිසිවක් හඳුනා ගත නොහැකි බවයි.
ලෝඩර්ඬේල් හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්‍යස්ථානය ඇමතූ ටේලර් මේ බව පවසමින් කියා ඇත්තේ තමා ළඟ ඇති මාලිමාවන් හෙවත් කොම්පාසු දෙක ම කි‍්‍රයා විරහිතව ඇති බවයි. 
හමුදා කඳවුරේ ගුවන්විදුලි මධ්‍යස්ථාන පාලක මැදිරියේ සිටි අය කෙතෙක් උත්සාහ කළත් ඒ නාවුක කණ්ඩායමට පාර සොයා ගැනීමට නොහැකි වුණා. ඒ අවස්ථාවේ කාල ගුණය නරක අතරට හැරෙමින් තිබුණා. ගුවන් නැවියන් පිරිසට ගොඩ බිම සොයා ගත නොහැකි වූයෙන් ඒ යානා මුහුද කඩා වැටී ඒ සියලූම දෙනා මිය ගියා. මෙහි වඩාත් අද්භූත දෙය නම් මේ ගැන සොයන්නට යැවූ එක් යානයකුත් ආපහු ආවෙ නෑ. 
7. ස්ටාර් ඩස්ට් (Star Dust) යානය හා මෝර්ස් සංඥා පණිවිඩය 
බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ‘ස්ටාර් ඩස්ට්’ මගී ගුවන් යානය ආජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයේ සිට චිලි රාජ්‍යයේ සන්ත්‍යාගෝ නගරය බලා යමින් තිබුණා. එය ඇන්ඞීස් කඳුකරයට ඉහළින් යද්දී අතුරුදන් වූයේ ප‍්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින්. අද මේ වන තුරුත් ඒ ප‍්‍රශ්නවලට උත්තර සොයා ගෙන නැහැ.
ඒ යානය පදවා ඇත්තේ ඉතාමත් පළපුරුදු ගුවන් නියමුවෙක්. රෙජිනෝල්ඞ් කුක් නම් ඔහු කලින් ගුවන් හමුදාවේ සේවය කළ කීර්තිමත් නියමුවෙක්. 1947 අගෝස්තු 2 වැනිදා සවස 1.46ට ගුවන් ගත වූ මේ යානය ඇන්ඞීස් කඳු වළල්ල දෙසට පියාසර කරන්නට වුණා.
ඒ යානය කිසිදාක නියමිත ගමනාන්තයට ගියේ නෑ. එක එකම ආරංචියක් විතරයි ලැබී තිබුණේ. ඒ යානයේ සිට ගුවන්විදුලි කි‍්‍රයාකරු යානය අතුරුදන් වෙන්නට ආසන්න මොහොතේ එවූ මෝස් සංඥා පණිවිඩය විතරයි. එහි සඳහන් වූයේ ‘ස්ටෙන්ඩෙක්’ (STENDEC) යන ශබ්දය නැගෙන ඉංගී‍්‍රසි අකුරු හත විතරයි. 
මේ යානයට වුයේ කුමක්ද? ඒ වදනේ අබිරහස තවමත් සොයනවා. යූඑෆ් ඕ (UFO) හෙවත් සක්වළ යානයකින් කළ ප‍්‍රහාරයක් කියන මතයක් තියෙනවා. කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් නිසා වූ දෙයක්ද ඇතැම් අය කියන විධියට එහි මගියකු අත ගෙන ගිය වටිනා රාජ්‍ය තාන්ති‍්‍රක ලියවිලි වගයක් විනාශ කරන්න කළ දෙයක්ද? තාමත් හරි විසඳුමක් නැහැ.
දැනට පිළිගෙන ඇති මතය එය ඇන්ඞීස් කඳුකරයේ තියුණු බෑවුමක හැපී යානය පහළට කඩා වැටෙද්දී ඒ වේගයට කම්පනය වූ එහි මුදුනේ වූ හිම ඕඝයක් ඒ මත කඩා වැටීමෙන් යානය සොයා ගත නොහැකි ලෙස වැළලෙන්නට ඇති බවයි.


මේ ස්ටාර්ඩස්ට් යානය ගැන යම් තොරතුරක් වසර 50කට පස්සෙයි මතු වුණේ. ඒත් ආජන්ටිනාවේ කඳුනඟින්නන් දෙදෙනකුට දකින්නට ලැබුණු එංජින් කොටස් කීපයක් හා ඉරී ගිය ඇඳුම් කැබලි වගයක් විතරයි.
6. බර්මියුඩා ති‍්‍රකෝණයේ දී අතුරුදන් වූ ‘ස්ටාර් ටයිගර්’ (The Star Tiger) යානය
බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් දෙවැනි යානයක් 1948 දී බර්මියුඩා ප‍්‍රදේශයේ දී අතුරුදන් වුණා. ඒ ‘ස්ටාර් ටයිගර්’ මගී ගුවන් යානයයි. ඒ යානය ජනවාරි 30 වැනිදා අසෝරස්වල සැන්ටා මරියා සිට බර්මියුඩා බලා ගමන් ඇරඹුවා. ඒ දැඩි සුළං තත්වයක් පවා තිබියදියි.
එහි මගීන් 25 දෙනෙක් හිටියා. ඒ අතර දෙවැනි ලෝක යුද්ධයේ යුද වීරයෙකු වූ මාෂල් සර් ආතර් කොනින්හැම් ද සිටියා. ඒ සම්පූර්ණ ගමන පැය 12ක්. දැඩි සුළිං තත්වය මග හරින්නට යානය ගියේ පහතින්. 
ඒත් යානය නොදැනීම නියමිත මගින් පිටතට ගහගෙන ගියා, ඒ නිසා එවේලේ පැවති තද කුණාටුවට මුහුණලා යන්නට ඔවුනට සිදුවුණා, යානයේ ඉතිරිව තිබූ ඉන්ධනවලින් කෙළින් ම ගියොත් යම්තම් බර්මියුඩාව යා හැකි බව ඔවුන් තේරුම් ගත්තා. 
ඒත් ඉන්පසු යානයෙන් ආරංචියක් ආවේ නෑ. ඒ ගැන සොයන්න ගිය යානය පාන්දර 4ට විතර පරිස්සමෙන් ආපසු ආවත් ස්ටාර් ටයිගර් යානය ගැන ඊට පස්සේ අසන්නවත් දකින්නවත් ලැබුණේ නෑ. 
ඔවුන් අනුමාන කරන්නේ පහළ පියාසර මට්ටමේ ඇති තද සුළි සුළං නිසා යානය මුහුද දෙස ගසා ගෙන යන්නට ඇතැයි කියායි. උච්චමානයේ මිනුම් වරදීමත් බොහෝ දුර පියාසර කිරීම නිසා ඇති වූ දැඩි වෙහෙසත් නිසා යානය පමණට වඩා මුහුදට සමීප වීමෙන් එක්වරම කඩා වැටෙන්නට ඇතැයි දැන් විශ්වාස කෙරෙනවා.
5. ගුවන් යානා අංක 191 කේ අබිරහස.
මේක ඇත්තෙන්ම එක යානයක් ගැන කතාවක් නෙවෙයි. ඒ අංකය යෙදූ යානා කීපයක් අතුරුදන් වීමක් තමයි, මේ අබිරහසට පාදක වන්නේ.
වසර 40ක් ඇතුළත් අංක 191 යෙදූ ගුවන් යානා ගණනාවක් ම මුහුද මැදදී අතුරුදන් වුණා. හරිම පුදුමයි!
ඒ යානා අනතුරු අතරින් ගුවන් අනතුරු ඉතිහාසයේ වඩාත්ම මාරක අනතුර ලෙස සැලකෙන්නේ 1979 ඇමරිකාවේ චිකාගෝ නුවර ඔහෙයා අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිදු වූ එකයි. ඇමරිකන් එයාලයින් අංක 191 දරණ යානය ඒ ගුවන්තොටුපළෙන් ගුවනට නංවා මිනිත්තු කීපයක් ඇතුළත කඩා වැටුණා. එහි ගමන් ගත් මගීන් 258ත් සේවක පිරිස 13 දෙනාත් එහි දී මිය ගියා. 
අංක 191 පියසැරි අංක යෙදූ අත්හදා බැලීම සඳහා පැදවූ එක්ස් -15 අංක 191 යානය 1967 දී කඩා වැටුණා. එහි සිටි එකම නියමුවා මරණයට පත් වුණා. 
ඒ වගේම ජෙට්බ්ලූ එයාවේස් පියසැරි අංක 191 යානය 2012 දී ගුවනේ දී ගැටලූවකට මුහුණ දුන්නා. එහි නියමුවාට යක්ෂාවේශයක් ඇති වුණා. පියසැරි ඉංජිනේරුවා ඔහු කැබින් එකෙන් එළියට දමා ඔහු සන්සුන් කරවීම මගීන්ට බාර දී යානය වෙනත් ගුවන්තොටුපොළකට ගෙන ගියා. මගීන්ට ජීවිත හානි කිසිවක් නෑ. 
මේ අවාසනාවන්ත සිදු වීම් නිසා සමහර මගී ගුවන් යානා සමාගම් පියසැරි අංක 191 අසුබ යැයි සලකා ඔවුන්ගේ ඒ අංක යෙදූ යානා සේවයෙන් ඉවත් කරන්නට පවා පියවර ගත්තා. 
4. ස්ටාර් ඒරියල් යානයේ අබිරහස් අතුරුදන් වීම
 තවත් බි‍්‍රටිෂ් සවුත් ඇමරිකන් එයාවේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල් නම් යානයක්ද 1949 ජනවාරි 17 වැනිදා බර්මියුඩාවල සිට ජැමෙයිකාවට යන අතර අතුරුදන් වුණා.
එය ස්ටාර් ටයිගර්ට සමාන යානයක්. පැහැදිලි අහසක් ඇති පරිසරය තද සුළං නොමැති විටෙක ගුවන් ගත වුනත් එයට ගැටලූවක් ඇති කළේ පියසැරි සන්නිවේදන පද්ධතියයි. 
එහි ඇති වූ ගැටලූ සහගත තත්වය නිසා නියමිත ගමනාන්තයට යන්නට ඒ යානයට හැකි වුණේ නැහැ. එහි ගිය මගීන් 20 දෙනාවත් යානයවත් නැවත කිසිදාක දකින්නට ලැබුණේ නැහැ. ජනවාරි 25 දා තෙක් සෙවීම් කර අන්තිමේදී අතහැර දැම්මා.
3. ඇන්ඞීස් කඳුකරයේ දී අතුරුදන් වූ පියසැරි අංක 571 යානය
උරුගුවේ මොන්ටිවීඩියෝ නගරයේ රගර් කණ්ඩායමක් ඔවුන්ගේ හිතමිතුරන් හා නෑදැයන් සමග ආජෙන්ටිනාවට යන්නට ගුවන් හමුදාවේ යානයක් කුලියට ගත්තා. ඔවුන්ට යන්නට සිදු වූයේ ඇන්ඞීස් කඳුකරයට ඉහළින් අනික් පැත්තේ පිහිටි ආජෙන්ටිනාවටයි. ඒ වසරක් පාසා පැවැත්වෙන සුහද තරගයක් සඳහායි.
එදා උරුගුවේ රගර් කණ්ඩායම තමයි. ‘පණපිටින්’ (Alive) නමින් නිපදවූ චිත‍්‍රපටයේ ජවනිකාවක්.
ඒ ගමනට 45 දෙනෙක් එක් වුණා. යානය පිටත් වූයේ නරක කාලගුණයක් පවතිද්දියි. යානය හිමෙන් වැසී තිබුණු ඇන්ඞීස් කඳුකරයේ හැපී කඳු අතරට කඩා වැටුණා. එයින් 12 දෙනකු බිම පතිත වූ මොහොතේ දීම මරණයට පත් වුණා. දින කීපයක් ගත වන විට තවත් හයක් මිය ගියා. 
දැඩි හිම ඕඝයකට අසු වී තවත් අට දෙනෙක් මිය ගියා. හිම කුණාටුවෙන් බේරෙන්න ඔවුන් බිඳුණු යානයේ කොටස්වලට මුවා වුනත් ගැළවීමක් වුණේ නෑ. ඉතිරි වූ 16 දෙනා ජීවත් වුණේ මියගිය අනෙක් මිතුරන්ගේ මළ සිරුරු කොටස් බුදිමින්.
යානය අනතුරට ලක් වී දින 72කට පසුව ඒ ගැන සොයා ගත්තේ. එතෙක් හෙලිකොප්ටර්වලින් හා ගුවන් යානාවලින් සෙවුම් බැලූම් කළත් කිසිම හෝඩුවාවක් හමු වුණේ නැහැ. අන්තිමේ දී සෙවීම් අත්හැර දැම්මා. එහෙත් අන්තිමේ දී ඒ දිවි රැක ගෙන සිටි පිරිස අතරින් දෙදෙනකු කඳුකරයේ දුෂ්කර මාර්ග ඔස්සේ චිලි දේශය පැත්තට යා ගන්නට සමත් වුණා. ඔවුන් එහි වූ ගංගාවක අනික් පැත්ත යමින් වෙළෙන්දෙකුට කෑ ගසා උදවු ඉල්ලූවා. වෙළෙන්දා ඔවුන්ට කෑම්බීම් දුන්නා. වගකිවයුතු අයට ඔවුන් ගැන දැනුම් දුන්නා. ඔවුන්ගේ මේ ත‍්‍රාසජනක කතාව අප විසින් වසර 35කට විතර ඉස්සර සිළුමිණ පත‍්‍රයට කොටස් වශයෙන් ලිව්වා. ‘හිමගිරක කඳුළු’ යන නමින් ලියූ ඒ සත්‍ය කතාව අතිශයින් ජනපි‍්‍රය වුණා.එපමණක් නොව මේ කතාවෙන් වාර්තා චිත‍්‍රපට කීපයක්, ටෙලිනාට්‍ය කීපයක් හා චිත‍්‍රපටයක් නිපදවා තියෙනවා. 1993 නිපදවූ චිත‍්‍රපටය ‘පණපිටින්’ (Alive) යන නමින් තමයි හැඳින්වෙන්නේ.
2. ඊජිප්තු ගුවන් සේවයට අයත් 990 යානය
 
මගීන් 217ක් මරණයට පත් කරමින් අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු පියසැරි අංක 990 යානයේ එන්ජින් කොටසක්.

ඊජිප්තු ගුවන්සේවයේ පියසැරි අංක 990 යානය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළින් පිටත් වූයේ කයිරෝ බලා යන්නයි. ඒ යානය අනතුරට ලක්වූ හේතුවත් ලොකු අබිරහසක්.
බොයිං 767 වර්ගයේ යානයක් වූ එය මැසචුසෙට්ස් සිට දකුණට බර වූ අත්ලන්තික් සාගරය ඉහළින් පියාසර කරමින් තිබියදියි. එහිදී ගමන් කළ මගීන් 217ක් හා සේවක පිරිස මරණයට පත් වුණා.
ඒ යානයේ සම නියමු ගැමිල් එල්බැටූටිට ඒ යානයේ ම මගියකු වශයෙන් ගිය ඊජිප්තු ගුවන් සේවයේ විධායක නිලධරයකු තදින් අවවාද කර තියෙනවා, ලිංගික අපචාර සිදු වීමක් ගැන.
මේ හේතුව නිසා ගුවන් යානයේ ප‍්‍රධාන නියමුවා වූ හේටම් රශ්ඩි එල්බැටූටිට කියා තිබෙනවා ඒක සමහර විට ඔහු යන අන්තිම ගුවන් ගමන විය හැකි බව. ඊට සම නියමු පිළිතුරු වශයෙන් කියා ඇත්තේ, ‘මගේ විතරක් නොවෙයි, මේක නුඹේත් අන්තිම ගුවන් ගමන’ යන්නයි.
පසුව, ප‍්‍රධාන නියමුවා නානකාමරයට ගියා. ඉන්පසු පටි ගත කරන යන්ත‍්‍රයේ සටහන්ව ඇත්තේ, ‘මට දෙවියන් විශ්වාසයි’ යනුවෙන් සම නියමු එල්බැටූටි මුමුණන හඬ විතරයි. ඉන්පසු සම නියමුවා යානය ස්වයං නියමු පාලනයෙන් මුදවා යානය වේගයෙන් කිමිදෙමින් පහළට ඇදී යන්නට සැලැස්සුවා.
යානය පහළ යද්දී ඔහු ‘මට දෙවියන් විශ්වාසයි’ යන්න දිගටම කියා ගෙන ගියා. ප‍්‍රධාන නියමුවා ආපසු නියමු කුටියට ආවද ඔහුට යානය පහළට ඇදී යන යානය නවතන්න ඔහුට හැකි වුණේ නෑ.
මේ යානය අනතුරට පත් වූයේ එල්බැටූටිගේ වරදින් යැයි ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලය තීන්දු කළත් ඔහු එසේ කළේ ඇයි ද යන්න ගැන කිසිවක් සඳහන් කර නැහැ. 
1. එයා ෆ‍්‍රාන්ස් 447 ගුවන් යානයට වූ දේ 
 
එයා ෆ‍්‍රාන්ස් 447 ගුවන් යානය අත්ලාන්තික් සාගරය මත දී මගීන් 288ක් හා සේවක පිරිස සමග අතුරුදන් වුණා.
2009 දී අත්ලාන්තික් සාගරයට ඉහළින් අතුරුදන් වූ ප‍්‍රංශ එයාබස් යානයක්. ඒ 330 නම් ඒ යානය රියෝ නගරයේ සිට පැරීසිය බලා ගියේ මගීන් 288ක් සමගයි. ඔවුන් ගුප්ත අයුරින් අතුරුදන් වුණා.
එහි අවසාන වාර්තාවේ දක්වා ඇත්තේ හිම ස්ඵටික නල මාර්ග අවහිර කිරීම නිසා එහි ස්වයං නියමු යාන්ත‍්‍රණය බිඳ වැටීම බවයි. 
එහි නියමු කාර්ය මණ්ඩලය තත්වය යථා තත්වයට පත් කරන්නට උත්සාහ ගත්තද එය ව්‍යර්ථ වුණා. අන්තිමේ දී යානය සාගරයට කඩා වැටුණා. අනතුරෙන් පසු මාස කීපයක් වෙහෙස ගෙන සිරුරු 50ක් සොයා ගත හැකි වුණා.
ඒ 447 යානයේ කළු පෙට්ටිය 2011 මැයි මාසයේ දී සොයා ගන්නට හැකි වුණා. ඒ සමග තවත් මළ සිරුරු 104 සොයා ගැනුණා. තවත් සිරුරු 72ක් සොයා ගන්නට තිබෙනවා. 
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 



හිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex (අබිරහස් අඩවිය - Abirahas Adawiya - නොවිසඳුණු අබිරහස් novisadunu abirahas unsolved mysteries )

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.
මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ 'ඔරෙගන් සළාව' Oregon Vortex කියායි. ('සළාව' කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.
මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.

ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.
මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.
 ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.
මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.
මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.
මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සිතේ බලෙන් දුර සිටින අයකු හා අදහස් හුවමාරු කර ගත හැකිද? ලොව අලූත් ම විද්‍යාත්මක පර්යේෂණය මෙන්න! (telepathy මනෝවිද්‍යා Psychology manovidyawa -අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ඔහුගේ දෑස් පිටතින් ආලෝකයක් හෝ නොපෙනෙන සේ බැඳ තිබුණා. පිටතින් කිසිදු හඬක් නොඇසෙන සේ දෙකන්වලට ඇබ ගසා තිබුණා. අති නවීන පර්යේෂණාගාරයක් ඇතුළේ මේ විධියට ඇස් බැඳ, කන් වසා තිබුණේ ආචාර්ය මයිකල් බර්ග් (Dr Michel Berg) නම් විද්‍යාඥයාගෙයි. ඊසානදිග ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ තමයි, මේ විස්මිත පර්යේෂණය සිදු වුණු පර්යේෂණාගාරය තිබුණේ.
මේ අපූරු පර්යේෂණය හා සම්බන්ධ වූ අනෙක් පර්යේෂණාගාරය පිහිටියේ සැතැපුම් 5000ක් පමණ දුරින් ඉන්දියාවේ කේරලයේයි. එහි මේ ආකාරයන් ම ඇස් බැඳ කන්වල ඇබ ගසා සිටියේ ස්පාඤ්ඤ ජාතික තරුණ විද්‍යාඥයෙකි. ඔහු ආචාර්ය ඇලියන්ද්‍රෝ රියිරා (Dr Alejandro Riera) යි. 

මේ විස්මිත පර්යේෂණය සිදු කෙරුණේ පසුගිය මාර්තු 28 වැනිදායි. ඉතා රහසිගතව සිදු කෙරුණු මෙම අපූරු පර්යේෂණයෙන් ඔප්පු වූ කරුණු හෙළිදරවු වූයේ පසුගිය දා මේ පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව ‘ප්ලොස් වන්’ (telepathy) නම් අන්තර් ජාල ජර්නලයෙන් ප‍්‍රසිද්ධවීමත් සමගයි.

2014 මාර්තු 28 වැනිදා, හරියටම සැතැපුම් 4600ක් ඈතින් පිහිටි නවීන තාක්ෂණික පහසුකම් ඇති විද්‍යා පර්යේෂණාගාර දෙකක එක ම වේලාවක වාඩි වී හිඳ ගෙන, කිසිම සන්නිවේදන උපකරණයක් භාවිත නොකර මේ විද්‍යාඥයන් දෙදෙනා සිතෙන් පණිවිඩ දෙකක් හුවමාරු කර ගත්තා.සිතේ බලෙන් දුරස්ථව සිටින දෙදෙනකුට අදහස් හුවමාරු කර ගත හැකියි, යන්න විද්‍යාත්මකව ඔප්පු කරන්න ගත් උත්සාහයක් ගැන පසුගිය දා ප‍්‍රංශයෙන් වාර්තා වුණා. මේ පර්යේෂණය අනාගත මානවයා විශාල පෙරළියකට භාවිතා කරනු සිකුරුයි. 
මේවා කලින් අප අත්දැක තිබුණේ විද්‍යා ප‍්‍රබන්ධවලයි. එහෙම නැත්නම් භාරතයේ ඍෂිවරුන් හෝ යෝගීන් වැනි මනස දියුණු කළ අයට කළ හැකි දේවල් ලෙස පමණයි. සිතකින් සිතකට පණිවිඩ යැවීම නවීන විද්‍යාවෙන් මෙතෙක් ඔප්පු කර තිබුණේ නැහැ. මේ එවැන්නක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ආකාරයට සිදු කළ පළමු වැනි පර්යේෂණය විය හැකියි.
මේ විද්‍යාඥ දෙපළගේ අරමුණ වුණේ, මිනිස් පසිඳුරන් කිසිවක් භාවිත නොකොට, ඔවුන් විසින් කලින් සැලසුම් නොකළ සරල පණිවිඩ දෙකක් ඒ මොහොතේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඇත්තෙන්ම මේ ක‍්‍රමය සතුන් නම් ඔවුනොවුන් අතර පණිවිඩ හුවමාරු කිරීමට සහස් වස් කාලයක් තිස්සේ භාවිත කළ එකක්.

ඔවුන් අපේක්ෂා කළේ ‘කෙළින් ම සිතකින් සිතකට තාක්ෂණික සන්නිවේදනයක් කරනවා වාගේ පණිවිඩයක් යැවීමටයි. මෙය අප හඳුන්වන්නේ ‘පරචිත්තවිජානනය’ (telepathy) යන වදනෙන්.

සිතිවිල්ලක් සැතැපුම් දහස් ගණනක් ඈත ඉන්නා කෙනකු සමග විද්‍යාත්මකව හුවමාරු කර ගන්නා මේ අපූරු පර්යේෂණ අවස්ථාව ඒ පර්යේෂණයට එක් වූ විද්‍යාඥයන් දෙදෙනා ඇතුළු නිරීක්ෂකයන් කීපදෙනා අතර රහසක් වශයෙන් තබා ගැනීමට ඔවුන් ආරම්භයේදීම කතා කර ගෙන තිබුණා. පසුගිය දා මෙහි විද්‍යාත්මක වාර්තාව, අනෙකුත් විද්‍යාඥයන් විසින් ද පරීක්ෂා කර බලා, අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරනතුරු ඒ රහස ඔවුන් විසින් රැුක ගනු ලැබුවා. 
මේ වාර්තාව ඉතා දිගු එකක්. එහි ඇති විස්තර අසන්නන්ට පහසුවෙන් තේරුම් ගන්නට අපහසු විදුහුරු බසකින් තමයි ලියලා තියෙන්නේ. ඒත් එහි හරය වන්නේ ආචාර්ය බර්ග් හා ආචාර්ය රියිරා යන විද්‍යාඥයන් දෙදෙනා අතර ‘මොළයෙන් මොළයට යැවෙන විධිමත් සන්නිවේදනයක්’ සාර්ථකව ඉටු කර ගත් බවයි.  
ආචාර්ය බර්ග් විශ්වාස කරන විධියට මේ පර්යේෂණයෙන් පසු ඔවුන් ඉදිරියට කරන පර්යේෂණ අනුව අංශබාග රෝගීනට හා අතපය අහිමි වන අයට ඔවුන්ගේ කෘති‍්‍රම අත්පාවලට ඔවුන්ගේ ම සිතිවිලිවලින් පණිවිඩ යැවිය හැකි ආකාරය සොයා ගන්නට බර්ග් ඇතුළු පිරිසට හැකි වේවි. 
මේ දෙදෙනා හුවමාරු කර ගත්තේ පුංචි වචන දෙකක්. ඒ වුණාට එය සනිටහන් කළේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ තමා විද්‍යාත්මක ලේඛන ගත කළ ලොව ප‍්‍රථම චිත්තබලයෙන් කළ සංවාදය හැටියට වාර්තාවන්නේ.
ඔවුන් හුවමාරු කර ගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ ඕලා’ (hola) යන වදනත්, ඉතාලි භාෂාවෙන් ‘ච්යා ඕ’ (ciao) යන වදනත්. ඒවා භාෂාවලින් සුබපැතීමට යොදා ගන්නා වදන්. හරියට ඉංගිරිසියේ ‘හලෝ’ කියනවා වාගේ. 

”අපි මේ පරීක්ෂණයෙන් ඔප්පු කළා රූප, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ යන පංචේන්ද්‍රියන්ගෙන් තොරව දුර සිටින දෙදෙනකු අතර මානසිකව පණිවිඩයක් හුවමාරු කර ගත හැකි බව.” ආචාර්ය බර්ග් මේ තොරතුරු හෙළි කළ දා ප‍්‍රකාශ කළා.

”මෙය ඇත්තෙන්ම ආරම්භක පරීක්ෂණයක් විතරයි. මෙය සාර්ථක වීම නිසා මේ ඔස්සේ විශාල පෙරළියක් අනාගතයේ දී අපේ ශිෂ්ටාචාරය තුළ සිදු වේවි. ඇත්තෙන්ම, විද්‍යාත්මකව චිත්තබලයෙන් කළ හැකි දේ අසීමිතයි.” 

ආචාර්ය බර්ග් කියන්නේ අනාගතයේ දී මෙම චිත්ත පණිවිඩ යවන ක‍්‍රමය විද්‍යාත්මකව යැවීම ආරම්භ කළ විට, අංශභාගයට ලක් වූ අයට, සිරුරේ අත් පා කොටස් අධෝකායභංගීනට (paraplegics), ස්නායු පද්ධතියේ අකි‍්‍රයතා ඇති අයට, තමන් පලඳින කෘති‍්‍රම පාදවලට පණිවිඩ යවන්න මේ ක‍්‍රමය උපයෝගී කර ගත හැකි බවයි. ඒ වගේ ම කතා කළ නොහැකි අයට මේ ක‍්‍රමයෙන් වෙනත් අයට සිතෙන් පණිවිඩ යැවිය හැකි වේවි. ”නිදසුනක් වශයෙන් කෝමාවකට පත් අයකුට, අනෙක් අයට තමන්ට අවශ්‍ය දේ දැන්වීමට දැනට කිසිදු ක‍්‍රමයක් ඇත්තේ නැහැ. ඒත් මේ නව සොයා ගැනීමෙන් ඔවුන්ටත් සන්නිවේදන හැකියාව ලබා දිය හැකි වෙනවා.” ආචාර්ය බර්ග් කියනවා.
ඒ විතරක් නොවෙයි, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයෙන් පිට එනම්, යුදබිමේදී ඝෝෂාකාරී ශබ්ද මැද තම සගයන් සමග සිතෙන් අදහස් හුවමාරු කර ගන්නට යම්දිනක හැකි වේවි. චන්ද්‍රිකා තාක්ෂණ හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු බිඳ වැටුණු විට පවා සම්බන්ධතා නොබිඳී පවත්වා ගෙන යා හැකි වේවි. දුරකතන නොමැතිව පවුලේ උදවියට දුර සිටින එකිනෙකා හා කතාබස් කළ හැකි වේවි.

අනාගතයේ දී පොලිසියට හා උසාවියට සැකකරුවන්ගේ සිත් කියවීමට මේ ක‍්‍රමය ප‍්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි, මෙහි තවත් පැත්තක් මේ පර්යේෂණය ව්‍යාපෘතියට එක් වූ විශේෂඥයකු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් ග්‍රෝ (Dr Carles Grau) පෙන්වා දෙනවා. 

”මෙය මොළ දෙකක් අතර කෙරෙන පණිවුඩ හුවමාරු කි‍්‍රයාවලියකට මග පාදන්නක් නිසා ඒ සඳහා අවසර ලැබෙන පරිදි පුද්ගල ආරක්ෂාව පිළිබඳ නව නීති සකස් කරන්නත් සිදු වේවි.” මහාචාර්ය ග්‍රෝ කියනවා.

පරචිත්තවිජානනය බෞද්ධ අපට නුහුරු වදනක් නොවෙයි. බුදුන්ට හා රහතුන්ට අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අධිමානසික බලය ලද කෙනකුට අනිත් අයගේ සිත් කියවිය හැකි බව අපි අහල තියෙනවා. 

ජංගම දුරකථන හෝ කථා කරන්නාගේ අනන්‍යතාව දැක්වීමේ ක‍්‍රමය එන්නට බොහෝ කලකට පෙර සමහර අයට හැකියාව තිබුණා, ටෙලිෆෝනය නාද වන විට ඒ කථා කරන්නේ කවුරුන්දැයි කල් තියා කියන්නට. මටත් ඒ හැකියාව තියෙනවා, මගේ එක් මිතුරකු වෙනුවෙන්. ඔහු දුරකථනයෙන් මා අමතන හැමවිටම මට ඒ බව දුරකථනය නාද වෙන කොටම කියන්න පුළුවන්.

එක හා සමාන නිවුන්නුන්ට ඔවුන් කෙතරම් දුරින් සිටියත් එකිනෙකාගේ හැඟීම් හා අදහස් කියවිය හැකි බවට මතයක් සමාජයේ තියෙනවා. එවන් ප‍්‍රකට නිවුන් දෙදෙනකු ලෙස ජේම්ස් ලෙවිස් හා ජේම්ස් ස්පි‍්‍රන්ජර් දක්වන්න පුළුවන්. 
1940 ගණන්වල ඇමරිකාවේ ඔහියෝවල උපන් මේ දෙදෙනා ඉතා දුර ප‍්‍රදේශ දෙකක වෙන්වෙන්ව පවුල් දෙකක හදා වඩා ගනු ලැබුවා. තමන් නිවුන්නු බව නොදැන, කිසිම සම්බන්ධයක් නැතිව, සිටි මේ දෙදෙනා වසර 39 කට පසුවයි පළමු වතාවට මුණ ගැහුණේ. ඒ වන විට ඔවුන් දෙදෙනාම ලින්ඩා යන එකම නම ඇති කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගෙන සිට පසුව ඔවුන්ගෙන් දික්කසාද වී විවාහ වී ඇත්තේ බෙටී නම ඇති කතුන් දෙදෙනකු සමගයි. එපමණක් නොව ඔවුන් එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් ලබා එක සමාන රැුකියාවල නිතරව සිටියා. ඔවුන්ගේ සුරතල් සුනඛයා ඇමතුවේද ‘ටෝයි’ කියන එකම නමකින්. 
මේ සියල්ල සමාන වූයේ ඔවුන් නොදැනුවත්වම එකිනෙකා සමග සිතිවිලි හුවමාරු කර ගත් නිසා බව පැහැදිලි කරුණක්. 

ආචාර්ය බර්ග්ගේ පර්යේෂණයේ දී ඔවුන්ට සහය වුණේ ස්ට‍්‍රාස්බර්ග් පර්යේෂණායතනය, පමණක් නොවෙයි. ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයත්, ස්පාඤ්ඤයේ ස්ටාලැබ් පර්යේෂණාගාරයත් සමග ඇක්සිලම් නම් රොබටික නිර්මාණ කරන සමාගමකුත් ඊට එක් වුණා. ඒ පරීක්ෂණයෙන් මිනිස් මොළය තුළ චිත්ත බලය ඇති හෝ නැති බව ඔප්පු කරන්නට ඔවුන් වෙහෙසුණේ නැහැ. ඔවුන් කළේ මොළයකින් මොළයකට සන්නිවේදනය කළ හැකි බව පෙන්වා දීම පමණයි.
මේ සංකීර්ණ පර්යේෂණය සඳහා ඔවුන් විසින් ප‍්‍රබල පරිගණක ගණනාවක්, රොබෝ යන්ත‍්‍ර පමණක් නොව මොළයෙන් නිකුත් වෙන විද්යුත් ධාරාවන් මනින්නට හැකි විද්‍යුත් නිකර්පරේඛන යන්ත‍්‍ර සහ ඒවා සම්බන්ධ වීමට අවශ්‍ය සුවිශේෂ සිරස් කැප් දෙකක් ද යොදා ගත්තා. 
පරීක්ෂණය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ආචාර්ය රියිරා මේ එක් සිරස් කැප් එකක් පැලඳ සිටියා. ඔහු හිසෙන් තිරස් හෝ සිරස් චලනයන් කීපයක් කරමින් ‘ච්යා ඕ’ (ciao) යන වචනය සිතෙන් නිකුත් කරන්න තැත් කළා. ඒ අනුව ‘ඊඊජී’ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් නිකර්පරේඛන (electro-encephalograph) යන්ත‍්‍ර ඔස්සේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ විද්‍යුත් ස්පන්දක හසු කර ගෙන ඒවා යාන්ති‍්‍රකව ඩිජිටල් ක‍්‍රමයට 1, 0 යනුවෙන් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. 
මේ සන්නිවේදනයේ දී ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන් යාන්ති‍්‍රකව පරිවර්තනය කරවීමේ අති සියුම් කාර්යයට පැය භාගයක් පමණ ගත වුණා. ඉන්පසු ව එය ඔහුගේ ලැප්ටොප් එක හරහා ප‍්‍රංශයට යවනු ලැබුවා. 
මේ අතර ස්ට්‍රෝස්බර්ග් පර්යේෂණායනයේ ආචාර්ය බර්ග් හා අනෙක් ග‍්‍රාහකයන් දෙදෙනා ඇස් බැඳ යන්ත‍්‍රයකට සම්බන්ධ කර තිබුණා. ඒ යන්ත‍්‍රය මගින් ද්විමය පණිවිඩය විද්‍යුත් ස්පන්දක බවට හරවනු ලැබූ අතර ඒවා ඔවුන්ගේ මොළයේ පෙනීම පාලනය කරන අපරකපාල ඛණ්ඩිකාවට යවනු ලැබුවා.
ඒ විද්‍යුත් ස්පන්දක යැවූ මොහොතේ ඔවුන්ට දැනුණා, ෆොස්ෆීන ආලෝකයක් ක්ෂණිකව ඇති වී නැති වී යන බව. එය දිස් වූයේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙයි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන් ම අඳුරු කාමරයකයි. ඒ ෆොස්ෆීන, ග‍්‍රාහක යන්ත‍්‍රයක් මගින් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. ඊළඟට ඒවා ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන්වලට යාන්ති‍්‍රක පෙරළා ගැනීමේ කි‍්‍රයාවලියට තවත් පැය භාගයක් ගත වුණා.
සිතෙන් එසැණ හුවමාරු කර ගත් පණිවිඩය විද්‍යාත්මකව සනාථ කිරීම සඳහා යන්ත‍්‍රසූත‍්‍ර යොදාගෙන කළ කි‍්‍රයාවලිය සිදු වූයේ ඒ ආකාරයටයි.
”මේ කාර්යය නිවැරදිව සිදුවෙයි කියලා අපට ඒ අවස්ථාවේ දී සිතා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි කටයුතු කළේ සම්පූර්ණයෙන් ම අඳුරු කුටියක සිටයි. අපි දැඩි ලෙස සිත ඒකාග‍්‍ර කර මේ කටයුත්තේ යෙදුණා. කාර්යය අවසන් වූ පසුවයි, අපට දැන ගත හැකි වූයේ පණිවිඩය සියයට 90ත් 95ත් අතර නිරවද්‍යතාවකින් සන්නිවේදනව තිබූ බව.” ආචාර්ය බර්ග් පවසනවා.
මේ විද්‍යාත්මක කටයුත්තේ දී පැයක කාලයක් තුළ අකුරු හතරේ වචන දෙකක් හුවමාරු කර ගැනීමත් සංකීර්ණ සංවාදයක් පවත්වාගෙන යාමත් අතර අති විශාල වෙනසක් තියෙනවා. ඒත් මේ ඔස්සේ කරන පර්යේෂණ මගින් ඉදිරි දශක දෙක ඇතුළත ප‍්‍රයෝජනවත් වන ආකාරයට මේ තාක්ෂණය භාවිත කළ හැකි වනු ඇතැයි ආචාර්ය බර්ග් විශ්වාසය පළ කරනවා, සමහරු මීටත් වැඩි කාලයක් ගත වේවි යැයි සැක පහළ කරනවා. ආචාර්ය බර්ග් ඇතුලූ කණ්ඩායම සිය පර්යේෂණයට පමණ ඉක්මවා වැඩි වැදගත්කමක් දෙන්න හදනවා කියලා චෝදනා කර අයත් ඉන්නවා.
ඒත් ගත වූ වසර කීපය තුළ ලොව පුරා ස්නායු විද්‍යාඥයන් මොළයකින් මොළයකට පණිවිඩ යැවීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් රාශියක් කර තියෙනවා. 
ගිය වසරේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මීයකුගේ මොළය විද්‍යුත් ක‍්‍රමයට මිනිසකුගේ මොළයට සම්බන්ධ කර අනතුරුව මීයාගේ වලිගය ඇඹරූ විට මිනිසාට වලිගය ඇඹරීම යන අදහස ඔහුගේ සිතේ පහළ වූ බව වාර්තා කළා. 
කොහොම වුනත් මිනිසකුගේ මොළයෙන් තවත් මිනිසකුගේ මොළයට වදන් හුවමාරු කර ගැනීම ගැන කළ පළමු පර්යේෂණය අනුව අපට එකක් පැහැදිලි වෙනවා. තවදුරටත් අපට අපේ රහස් අපේ සිත් තුළ රඳවා තබා ගැනීම අනාගතයේ දී කළ නොහැක්කක් විය හැනි බවයි.
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 22, 2016

ලිංගික ගැටලු සහ අපරාධ පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්..(අබිරහස් අඩවිය - Abirahas Adawiya . Psychology manovidyawa)


නූතන මනෝවිද්‍යාවේ දියුණුවත් සමඟින් මනෝවිද්‍යාඥයින්‍‍ගේ අවධානයට ‍යොමු වූ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලිංගික ගැටලු සහ අපරාධ යන්න හඳුන්වා දිය හැකි යි. ලිංගික ගැටලු ඇති වීම සඳහා මූලික වශ‍යෙන් බලපානු ලබන්‍‍නේ පුද්ගල‍ ‍පෞරුෂ‍යේ පවතින ආබාධ සහිත තත්ත්වයක්. ‍‍‍කෙ‍සේ ‍වෙතත් ලිංගිකත්වය යනු ජීවියා‍ගේ පැවැත්මට අදාළ වන ‍දේහවිද්‍යාත්මක ‍‍ප්‍රේරණයක් ‍හෙවත් ‍පෙළැඹුමක් විදිහටයි ම‍නෝවිද්‍යාව තුළ විග්‍රහ වන්‍‍නේ. සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සිය ම‍නෝවිශ්ලේෂණ විග්‍රහයන්හි දී ‍පෙන්වා දෙනුයේ පුද්ගල ‍පෞරුෂ‍යේ වර්ධනයට අවශ්‍යය කරන අත්‍යවශ්‍යය සාධකයක් වශ‍යෙන් ලිංගිකත්වය හා ලිංගික ආශාව. 
ඒ අනුව නීට්‍‍ෂේ නම් දාර්ශනිකයා අවධාරණය කළේ ලිංගික ආශාව යනු මූලික මිනිස් ලක්ෂණයක් බවත්, එය විනාශ කර දමනවා යනු මූලික මිනිස් ලක්ෂණයක් විනාශ කර දැමීමක් බවත් ය.
"තාපසයන් විසින් සිදු කරනු ලබන්‍‍නේ ලිංගික ආශාව ‍පෞරුෂයෙන් තුරන් කර දැමීමට උත්සාහ කිරීම යි. මේ නිසා සිදුවන්‍‍නේ ‍පෞරුෂය අඩපණ වීම යි" යන ඔහු‍ගේ ප්‍රකාශය තුළින් ඒ බව පැහැදිලි ‍‍වෙයි. 
‍‍කෙ‍සේ වෙතත් අපට ලිංගිකත්වය, ලිංගික ආශාව සහ ලිංගික තෘප්තිය පිළිබඳ ව සාකච්ඡා කරන්නට සිද්ධ වන්‍‍නේ නීතිය, සදාචාරය හා සමාජ පැවැත්ම යනාදී සාධකවලට යටත්වයි. සාංස්කෘතික ගතිලක්ෂණවලින් ‍හෙබි සමාජයීය වටපිටාවක හැදුණු වැඩුණු අප තුළ ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් තරම් අව‍බෝධයක් නැතත්, ‍නො දැනුවත් ව ‍හෝ අප සියලු ‍දෙනා ම ඒ ‍කෙ‍රෙහි මුළු ජීවිත කාලය පුරා ම දක්වන්‍‍නේ වැඩි අවධානයක්. සිග්මන් ‍‍ෆ්‍රොයිඩ්‍‍ගේ පෞරුෂ විග්‍රහයට අනුව ලිංගිකත්වය යනු කුඩා කල සිට ම හැඩගැසෙන්නක්.
ලිංගිකත්වය මූලික වශ‍යෙන් ස්ත්‍රී  පුරුෂ වශ‍යෙන් ද්විඛණ්ඩනය කළ හැකි මුත් ලිංගික චර්යා‍යවේ දී නම් විවිධ ස්වරූප හඳුනා ගත හැකි යි. ඒ ස්ත්‍රී + පුරුෂ ලිංගික චර්යා, පුරුෂ + පුරුෂ හා ස්ත්‍රී  + ස්ත්‍රී වශ‍යෙන් හඳුනා ගත හැකි සමලිංගික චර්යා ‍මෙන් ම මිනිසුන් + සතුන් අතර ඇති වන ලිංගික ව්‍යපගමනයන් වශ‍යෙන්. ‍‍ෆ්‍රොයිඩ් දක්වන අන්දමට ලිංගිකත්වය ආදි යුග‍යේ දී කිසිඳු අව‍රෝධයකින් ‍තොර ව ක්‍රියාත්මක වී ති‍බේ. එනම්, සදාචාරය විසින් මිනිසා වෙත තහංචි පනවා ‍නො තිබුණු යුග‍යේ දී සමාජය තුළ අවිචාරවත් ලිංගික චර්යාවන් පුද්ගලයින් අතර පැවැති බව යි. ඒ අනුව බාගවිට එක ම පවු‍ලේ ස‍හෝදර සහෝදරයින් ‍මෙන් ම මාපිය දූදරුවන් අතරත්, විස්කෘත පවුල්වල ඤාතීන් අතරත් ලිංගික සම්බන්ධතා පැවැතුණු බව හඳුනා ගන්න පුළුවන්. එ‍සේ වුවත්, ‍හොඳ නරක ආදී හෘද සාක්ෂිය මූලික ‍කොට ගත් සදාචාරාත්මක වර්ධනයන් මත උපරිඅහංභාවය ‍හෙවත් සුපර් ඊ‍ගෝ නම් මානසික පාලනයකට යටත් වීමට මිනිසාට සිදු වූ‍යේ ය.
උදාහරණයක් වශ‍යෙන් ආදි කාල‍යේ දී එක ම පවු‍ලලේ පුද්ගලයන් අතර ලිංගික සබඳතා පැවැත්වීම වරදක් ලෙස ‍නො සැලකූවත්, වර්තමානය වන විට එය අපරාධ නීතිය යට‍තේ පවා බරපතල වරදක් විදිහට යි ගැ‍නෙන්නේ. උපරිඅහංභාවය විසින් මඬනා ලදුව පුද්ගලයා සදාචාර පරිණතියකට යටත් ‍කොට නීතිය මඟින් තහංචි පනවා තිබුණත් එකී පදනම ‍‍නො සලකා හරිමින් කැමැත්‍‍තෙන් හෝ අකමැත්තෙන් එබඳු ලිංගික සබඳතා පැවැත්වීම වර්තමාන සමාජය තුළත් නැත්තේ ම ‍නො ‍වේ. ‍කෙසේ ‍වෙතත්, පුද්ගලයා තුළ පවතින ‍‍නො‍යෙක් අපගාමී ‍පෞරැෂ ලක්ෂණයන් නිසා විකෘති ලිංගික චර්යාවන් සමාජය තුළ ක්‍රියාත්මක වන බව ‍නො රහසක්. එ‍බඳු විකෘති හා ලිංගික චර්යාත්මක ගැටලු කිහිපයක් ‍මෙසේ හඳුනා ගන්න පුළුවන්.

01. ප්‍රදර්ශන කාමුකත්වය (EXHIBITIONISM)
සිය ලිංගික අවයවයන් අන්‍යයන්ට ප්‍රර්ශනය කරමින් එතුළින් මානසික වශයෙන් තෘප්තිමත්භාවයට පත් වීම මෙයින් අදහස් ‍කෙ‍රේ.

02. දර්ශන කාමුකත්වය (VOYEURISM)
අනුන්ගේ ලිංගික අවයවයන් හා අන්‍ය ලිංගික ක්‍රියාකාරකම් බාගවිට ඔවුන්ටත් නො දැනීම බලා හිඳිමින් එතුළින් මානසික ආස්වාදයක් විඳිමින් ලිංගික උත්‍‍තේජනයක් ලැබීම දර්ශන කාමුකත්වය නම් ‍වේ.

03. පුජාලාංඡන භක්තිය (FETICHISM)
විරුද්ධ පාර්ශවයන්ට අයත්, ඔවුන් විසින් පරිහරණය කරනු ලබන හිස‍කෙස්, යටඇඳුම් ආදී විවිධ දෑ ළඟ තබා ගමිනින් හා ඒවා ‍කෙරෙහි දැඩි ආශා‍වෙන් බැ‍ඳෙමින් මානසික තෘප්තියක් ලැබීම යි.

04. ස්වපීඩන කාමුකත්වය (MASOCHISM)
තමා විසින් ම ‍හෝ අනුන් ලවා තමා වෙත යම් ‍වේදනා ‍ගෙන ‍දෙන ක්‍රියාවන් සිදුකරවා ‍ගෙන එතුළින් ලිංගික උත්තේජනයන්ට හුරු වීම තුළින් ලිංගික ආස්වාදයක් බලා‍පො‍රොත්තු වීම ස්වපීඩන කාමුකත්වය යි.

05. පරපීඩන කාමුකත්වය (SADISM)
ද්‍‍වේශසහගත ව ‍හෝ ලිංගික ආ‍වේග මත විරුද්ධ ලිංගිකයා ‍‍වෙත දැඩි පීඩා හානි ‍වේදනා පමුණුවමින්, තමා නිසා එ‍සේ ‍වේදනා‍වෙන් ‍පෙ‍ළෙනු දැක එතුළින් මානසික වශ‍යෙන් ලිංගික ආස්වාදයක් විඳ ගැනීම යි. ‍දිනපතා මාධ්‍ය ඔස්‍‍සේ වාර්තා වන විවිධ ලිංගික අපරාධ ‍දෙස අවධානය ‍යොමු කරන විට වර්තමාන සමාජය තුළ වැඩි ම ලිංගික අපරාධ ප්‍රමාණයක් ‍මෙම පරපීඩන කාමුකත්වයට නැඹුරු වූවන් තුළින් සිදු වන බව පැහැදිලි ‍වෙයි. ‍බො‍හෝ විට කුඩා කල දී ‍‍දෙමාපිය ගුරුවර වැඩිහිටි ආදීන්‍‍ගෙන් විඳින්නට සිදු වූ දඬුවම් ආදිය නිසා ‍පෞරුෂ‍යේ ඇති වූ යම් යම් දුර්වලතා ඇතුළු තවත් නොයෙකුත් ‍හේතු සාධක ‍මෙවැනි තත්ත්වයන් ඇති වීම ‍කෙ‍රෙහි බලපාන්නට ඇත.

06. නෂ්ටකාමය (IMPOTENCY)
ලිංගික චර්යාවන්හි නියැලීමට දැඩි ආශාවක්, කැමැත්තක් තිබුණ ද තමන් තුළ පවතින ලිංගික අප්‍රාණිකත්වය ආදී කායික ‍‍හේතු සාධක ඊට බාධා පැමිණවීම නෂ්ටකාමය යන්නෙන් ප්‍රකාශ ‍වේ.

07. නිර්මදතාව (FRIGIDITY)
මෙය හු‍දෙක් කාන්තාවන් සඳහා බලපාන්නකි. බිය - චකිතය ආදී මානසික ‍හේතුසාධක ‍හෝ වෙනයම් කායික ගැටලුකාරී තත්ත්වයන් මුල් ‍කොට ‍ගෙන ලිංගික ක්‍රියාවන්හි නියැලීමට ඇති මන්දගාමීත්වය ‍හෝ උදාසීනත්වය ‍හෝ අකමැත්ත නිර්මදතාව යන්‍‍නෙන් ප්‍රකාශ ‍වේ.
මෙවැනි තත්ත්වයන් මත ලිංගික ‍ප්රේශරණය සන්තර්පණය කර ගැනීමට අභ්‍යන්තරික හා බාහිර වශ‍යෙන් බාධා පැමිණීම ‍හේතු‍වෙන් වර්තමාන සමාජය ‍බො‍හොමයක් කාම අපරාධයන්ට ‍යොමුව ඇති ‍සෙයක් දැකිය හැකි යි. එනම්, මානසික රෝගී තත්ත්වයන් ‍නිසා‍වෙන් තමන්ට තමන් ව ම පාලනය කරගත ‍‍නො හැකි ආ‍වේගයන් මත ‍මෙන් ම විවිධ සමාජ සංස්කෘතික කරුණු ද කාම අපරාධයන් සඳහා බලපා ඇති බව යි. එ‍බඳු අවස්ථා රාශියක් ලංකාවෙන් ‍මෙන් ම ‍ලොව නො‍යෙක් රටවලින් වාර්තා ‍‍වෙයි. ‍
සෝවියට් රුසියා‍වේ එක්තරා තරුණ‍යෙක් වියපත් ස්ත්‍රියක සමඟ දිගින් දිගට ම ලිංගික සබඳතා පවත්වා ඇති අතර ඒ කාන්තාව විසින් එය නවතා දමන ‍ලෙස ඉල්ලා අවසාන වතාවට පමණක් සංවාසයට ආරාධනා කොට තරුණයා‍ගේ රහසඟ කපා දමා ති‍බේ. අනුරාධපුර ශ්‍රාවස්ති ප්‍රදේශ‍යේ දහතුන් හැවිරිදි පාසල් සිසු‍වෙකු සමවයසේ සිසුවියකට අතවර කිරීමට තැත් කළ අවස්ථා‍වේ දී ‍වෙනත් පුද්ගල‍යෙකු එය දැකීමෙන් ලැජ්ජාවට පත් ව, පළා ගොස් පසු ව පාළු ස්ථානයක රැක සිට ලී උලකින් ඇන ඒ සිසුවිය මරා දමා ඇගේ ඇස් ‍දෙක ද උගුල්වා දමා තිබූ පුවතක් මෑතක දී වාර්තා විය. ‍හදවත් ප්‍රකම්පනයට පත්කරවන ‍මෙවැනි ලිංගික අපරාධයන් ‍වෙත අවධානය යොමු කිරී‍මෙන් පැහැදිලි වන්‍‍නේ ‍යට දක්වන ලද පරිදි ලිංගික තෘප්තිය සන්තර්පණය කර ගැනීමට යා‍මේ දී අභ්‍යන්තරික සහ බාහිර වශ‍යෙන් බාධා පැමිණවී‍මෙන් ‍නො සිතූ විරූ කාමාපරාධයන්ට පුද්ගලයන් යොමු වන බව යි.

සිදුවන කාමාපරාධයන් අතරින් බහුල ව සිදු වන හා ප්‍රධාන වශ‍යෙන් හඳුනා ගත හැකි කාමපරාධයකි; ස්ත්‍රී දූෂණය. ලංකා‍වේ අපරාධ නීතිය යට‍තේ ස්ත්රීි දූෂණයක් යන්න මූලික කාරණා පහක් යටතේ අර්ථ ගන්වා ති‍බේ. එනම්,

1. ස්ත්‍රියගේ කැමැත්තට විරුද්ධ ව

2. ස්ත්‍රිය‍ගේ කැමැත්ත ‍නො මැති ව

3. සිහිවිකල් බවින් ‍පෙ‍ළෙන ‍හෝ උමතු‍වෙන් ‍පෙ‍ළෙන ‍හෝ බීමත් ව ‍සිටින හෝ ස්ත්‍රිය‍කගෙන් බලාත්කාර‍යෙන් කැමැත්ත ලබාගැනී‍මෙන්

4. වංචා සහගත ව ස්ත්‍රියක වරදට ‍පො‍ළොඹවා ගැනී‍මෙන්

5. කැමැත්ත ඇති ව හෝ නැති ව වයස අවු.12 ට අඩු නම් එවැනි දැරිවියක් හා සංසර්ග‍යේ ‍යෙදීමෙන්
යන අවස්ථා ප‍හෙන් එකකට ‍හෝ අයත් ‍වේ නම් එය ස්ත්‍රී දූෂණයක් ‍ලෙස හැඳින්වේ. ‍සෙසු අපරාධයන්ට සාපේක්ෂ ව ‍මෙහි විශේෂත්වයක් දැකිය හැකි ‍වේ. එනම්, ඕනෑම අපරාධයක අපරාධකරු සහ අපරාධයට භාජනය වන්නා යන ‍දෙපාර්ශවයක් සිටින අතර, ඊට ස්ත්‍රිය - පුරුෂ යන ‍‍දෙ‍කොට්ඨාසය ම අයත් වූවත් ස්ත්‍රී දූෂණය සම්බන්ධ‍යෙන් එවැන්නක් බලාත්මක නො වීම යි. ‍මෙහි දී පුරුෂයා විසින් අදාළ අපරාධය සිදුකරන අතර, සැම විට ම ස්ත්‍රිය එකී අපරාධයට බඳුන් වීම සිදු ‍වේ. අපරාධයක් සිදුවී‍මෙන් අනතුරු ව අපරාධය සිදු කළ තැනැත්තාට වඩා අපරාධයට ලක් වූ කාන්තාව‍ගේ මානසික අවපීඩනය අධික විය හැකි ය. ‍මේ නිසා ඇති වන ඉච්ඡාභංගත්වය විශාදය වැනි නි‍යු‍රෝසික ‍රෝගී තත්ත්වයන් කරා පවා වර්ධනය විය හැක. විශාද ‍රෝග‍යේ මූලික ස්වභාවය නම් කළකිරුණු ස්ත්‍රිය (පුද්ගලයා) තවදුරටත් අසාමාන්‍යය වශ‍යෙන් කළකිරීමට පත්වීමයි. එම තත්ත්වය බාගවිට ජීවිත කාලය පුරා ම වුව පැවැතිය හැකි ය.
එවැනි තත්ත්වයන් ‍හේතු ‍කොට ‍ගෙන අපරාධයට ලක් වූ ස්ත්‍රිය තුළ පළිගැනීම වැනි ‍චේතනාවන් ‍හේතු‍වෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් වර්ධනය විය හැක. ‍මේ නිසා ඇතැම් විට මනුෂ්‍ය ඝාතන වැනි තවත් බරපතල අපරාධයන් කරා ‍යොමු වන අවස්ථාත් දක්නට ලැ‍බේ. ‍එ‍හෙත් එවැනි ඝාතනයන්ට ‍යොමු වූ අවස්ථා දුලබ මුත්, සුලබ වශ‍යෙන් වැඩි ප්‍රවණතාවක් දක්නට ලැ‍බෙන්‍‍ගේ තමාට සිදු වූ අපරාධය පිළිබඳ ව වූ පළිගැනීම තමා‍ තුළින් ම පිට කර ගැනීමට උත්සාහ දැරී‍මේ ප්‍රතිඵලයක් වශ‍යෙන් සිය දිවි හානි කර ගැනීම යි.
මේ ‍කවර ‍හෝ අංශයක් වෙත ‍යොමු ‍නො වුණු කල දූෂණය වූ කාන්තාවන් සමාජය කෙ‍රෙහි අධික වූ ‍වෛරයෙන් යුතු ව ගණිකා වෘත්තිය සඳහා ‍යොමු වන ප්‍රවණතාවක් ද දැන් දැන් වර්ධනය ‍වෙමින් පවතී. වි‍ශේෂ‍යෙන් තරුණ තරුණියන් අතර ඇතිවන ‍ප්‍රේම සම්බන්ධතාවල දී විවාහ කර ගන්නා බවට තරුණිය රවටා ලිංගික කාර්යයන්හි ‍යෙදී පසු ව අත්හැර දැමී‍ම ‍හේතු‍වෙන් සියදිවි නසා ගැනීම් හා ගණිකා වෘත්තියට ‍පෙ‍ළැඹීම් වැඩි වී ඇති බව වාර්තා වෙයි. ‍මෙරට දණ්ඩ නිති සංග්‍රහ‍යේ 362 (අ) වගන්තිය යටතේ ‍මෙවැනි වංචනික සංවාසය අපරාධයක් ‍ලෙස හඳුන්වා තිබේ. ‍
මේ තුළින් පැහැදිලි වන්‍‍නේ ස්ත්‍රී දූෂණ වැනි කාමපරාධ ඉහළ යාම සහ ගණිකාවෘත්ති‍යෙහි ‍යෙදීම්, සිය දිවි නසා ගැනීම් වැනි සමාජ ‍ඛේදවාචකයන් අතර අනු‍ලෝම සබඳතාවක් පවතින බව යි. ලංකාව වැනි ‍පෙරදිග රටවල දක්නට ‍නො මැති මුත්, මැදපෙරදිග හා බො‍හොමයක් බටහිර රටවල පුරුෂ දූෂණය ද දක්නට ලැ‍බේ. වි‍ශේෂ‍යෙන් දැඩි ආගමික නීති රීතිවලින් ‍හෙබි සංස්කෘතික රාමුවක් තුළ ‍වෙ‍සෙන ආගමික නීතියට අනුව මහළු පුරුෂයන් සරණ ගිය මැද‍පෙරදිග කාන්තාවන් ‍පෙරදිග රටවලින් ඒ රටවල සේවය සඳහා පැමිණෙන තරුණයින් බිය වද්දා දූෂණය කොට ස්වකීය ලිංගික ආශාවන් සංතෘප්ත කරගත් අවස්ථාත් ‍‍බො‍හොමයක් වාර්තා ‍වේ. එ‍හෙත් එවැනි සිද්ධීන් එතරම් ප්‍රසිද්ධ නැත. ‍‍කෙසේ වෙතත්, වර්තමානය වන විට සංචාරක කර්මාන්ත‍යේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ ලාංකික ජන සමාජය විශාල විපර්යාසයකට ‍ගොදුරු ‍වෙමින් ති‍බෙන අතර ඒ තුළ පිරිමි ගණිකා වෘත්තිය වැදගත් ‍සේවාවක් බවට ද ‍පත් ව ති‍බේ. ‍බො‍හෝ සමාජ ජාල ‍වෙබ් අඩවි ඒ සඳහා සාක්ෂ්‍යය සපයයි.

ඇතැම් විට පුද්ගලයින් කාමාපරාධවලට ‍යොමු වීම සඳහා ළමා කාල‍යේ ඇති වන කාංසාව වැනි ‍මානසික ව්‍යාධීන් ද බලපානු ලැ‍බේ. එ‍සේ ම කාන්තාවන් කෙ‍රෙහි පවතින බිය, ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය, ‍දෙමාපියන්ගෙන් පැනැ‍නෙන තහංචි ආදී ‍වෙනත් කරුණු මත තමාට ලිංගික තෘප්තිය ලබන්නට ‍නො හැකි වීමත්, අනුන් ලිංගික තෘප්තිය ලැබීමත් නිසා ඇතිවන ඊර්ෂ්‍යාපරවශභාය ද ලිංගික අපරාධ ‍කෙරෙහි ‍යොමු කරවීමට ඉඩ ති‍බේ. වි‍ශේෂ‍යෙන් ස්ත්‍රිය තමා ව ප්‍රතික්ෂේප කරති යි යන මායා රෝගී තත්ත්වය ‍‍මෙහිලා ප්‍රමුඛත්වයක් ගනු ලබ යි. එ‍හෙයින් ස්වභාවික ක්‍රියාවලි‍යෙන් පළා ‍ගොස් අස්වාභාවික විකෘති කාමුක මාර්ග ඔස්‍‍සේ සංතෘප්තියට පත් වීමට උත්සාහ දරයි. රෝහල්වල මෘත ශරීරාගාරවල තරුණ ස්ත්රී  මළසිරුරු සඳහා පවතින ඉහළ ඉල්ලු ම මීට කදිම නිදර්ශනයකි. තවත් වි‍ටෙක ස්ත්‍රිය මරා දමා ඒ මළ සිරුර හා සංසර්ග‍යේ ‍යෙදුණු අවස්ථා ද දක්නට ලැ‍්බේ. එ‍සේ ම, ස්ත්‍රියක‍ගේ කැමැත්ත ලබා ඇය ආවාහ කොට ‍ගෙන ලිංගික කාර්යයන්හි ‍යෙදීමට ඇති බිය නිසා බලාත්කාර‍යෙන් කාන්තාවන් දූෂණය ‍කොට පසු ව ඇය මරා දැමූ අවස්ථා ද විටින් විට වාර්තා ‍වේ. 
වර්තමාන සමාජය තුළ සමලිංගිකත්වය ශීඝ්රූයෙන් ව්‍යාප්ත වී යාම ලිංගික අපරාධ සිදුවන බවට සාධකයකි. ස්ත්‍රී + ස්ත්‍රී හා පුරුෂ + පුරුෂ වශ‍යෙන් සිදුවන අස්වාභාවික ලිංගික ක්‍රියාවක් ලෙස සලකන සමලිංගිකත්වය සඳහා සමාජය යොමු වීමට බලපෑ ‍හේතු සාධක ‍බො‍හොමයක් හඳුනා ගත හැකි ය. ‍බො‍හෝ විට අපගාමී ‍පෞරුෂ ලක්ෂණයන් ‍මේ සඳහා මුල් වී ඇති බවක් ‍පෙ‍නේ.
එසේ ම කුඩා කල දී සමීපත ම සමලිංගික වැඩිහිටියෙකු අතින් අප‍යෝජනයට ලක් වන දරුවන් ක්‍රම‍යෙන් වැඩිවියට පත්වත් ම එකී ‍වේදනාකාරී බව ඇතිවන ‍හෝ‍මෝනවල බලපෑම මත උත්‍‍තේජනයක් ‍ලෙස වරදවා වටහා ගනී. ස්වපීඩන හා පරපීඩන කාමුක ලිංගික චර්යාවන් කරා ‍යොමු ‍වේ. අනුක්‍රම‍යෙන් වර්ධනය වන ලිංගික අශාවන් තෘප්ත කර ගැනීමේ දැඩි කුතුහලය ‍හේතු‍වෙන් වැඩිවියට පත් ඔවුන් තමන් කුඩා කල ලත් අද්දැකීම් සිහිපත් ‍කොට සමවය‍සේ හා තවත් කුඩා දරුවන් ඒ කෙ‍රෙහි ‍යොමු කරවා ගැනීමටත්, ඒ ආධාර‍යෙන් ලිංගික තෘප්තිය ලැබීමටත් ‍‍පෙළැඹෙයි. එ‍සේ ම නිල් චිත්‍රපට නැරඹීම් හරහා අසීමිත ‍ලෙස වර්ධනය වන ලිංගික කුතුහලය මත සමවයසේ යහළු යෙ‍හෙළියන් අතර සිදුවන සමලිංගික ක්‍රියාදාමයන් ද හඳුනා ගත හැකි යි.
වර්තමානය තුළ දැකිය හැකි නව ප්‍රණතාවක් නම් සමලිංගික වෙබ් අඩවි හා සමාජ ජාල ‍වෙබ් අඩවි හරහා සමලිංගිකත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත ‍කොට සමලිංගික මානසිකත්වයන් ‍ගොඩනැඟීමට උත්සාහ දැරීම යි. ය‍මෙකු සමලිංගිකත්වය සඳහා ‍පො‍ළොඹවා ගැනීමට එවැනි වෙබ් අඩවියක් තුළ පළ කරනු ලබන යම් දැන්වීමක් මත ප්‍රතිචාරය සමඟින් දුරකථන අංකය ‍යෙදීම පමණක් සෑ‍හේ. මහජන වැසිකිළි, නෘත්‍ය ශාලා ආදී ප්‍රසිද්ධ ස්ථානයන්හි ගිනි මද්දහ‍නේ පවා සමලිංගික අපරාධ විශාල වශයෙන් සිදුවන බව ‍නො රහසක් ‍නො ‍වේ. ‍පෙරදිගට පැමි‍ණෙන ඇතැම් සංචාරකයන්ට නම් ‍මේ වන විට ලංකාව යනු ‍පෙරදිග ‍ලෝක‍යේ පිරිමි සමලිංගික රාජධානියකි. ඒ වෙනු‍වෙන් ම ‍මෙරටට පැමි‍ණෙන වි‍දෙස් සංචාරකයන් ප්‍රමාණය වැඩි වී ඇත.
අස්වාභාවික විකෘති ලිංගික චර්යාවන් අතර තිරිසන් සතුන් සමඟ සිදුවන සංසර්ගීය ක්‍රියාවලීන් පෙන්වා දිය හැක. ලාංකික සමාජය විෂ‍යෙහි මෙය එතරම් බල‍ ‍නො පවත්වන තත්ත්වයක් මුත් එවැනි විකෘති කාමුක අපරාධයන්ට ‍ගොදුරු වීම වැළැක්වීම සඳහා අවශ්‍යය නීති ‍රෙගුලාසි පනවා ති‍බෙන අයුරු දැකිය හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්ති‍ ප්‍රකාර ව යම් ස්ත්‍රියක ‍හෝ පුරුෂ‍යෙකු ස්වභාව ධර්මයට පටහැනි ව ස‍තෙකු සමඟ සංසර්ගයෙහි ‍යෙදෙත් නම් එවැනි තැනැත්‍‍තෙකුට ‍හෝ තැනැත්තියකට උපරිමය වසර දහයක සිර දඬුවමකට යටත් කළ හැකි ය.
එ‍කිහෙත් ‍ගැටලුව වන්‍‍නේ තමා ලිංගික ‍ගොදුරක් බවට පත් වූ බව පැමිණිලි කිරීමට ‍හෝ අධිකරණය හමු‍වේ කියා පෑමට කිසිඳු සත්ත්ව‍යෙකු ඉදිරිපත් නො වීම යි. ‍සමස්තයක් වශ‍යෙන් ගත් විට පුරුෂ පාර්ශවයට වඩා ස්ත්‍රී පාර්ශවය සතුන් හා සංසර්ග‍යේ ‍යෙදුණු අවස්ථා බහුල ව වාර්තා වනවා පමණක් ‍නො ව, ඒ සම්බන්ධ වීඩි‍යෝ පට ද අන්තර්ජාලය තුළට මුදාහැර ඇත. අශ්වයන්, සුනඛයන්, බළලුන්, වඳුරන්, එළුවන්, බැටළුවන්, බූරුවන්, ‍කොටළුවන්, ගවයින් ආදී සත්ත්වයින් සමඟ පමණක් ‍නො ව, අලි ඇතුන් සමඟ ද ලිංගික සබඳතා පැවැත්වීමට ‍පෙළැඹීමට තරම් ‍මෙම විකෘති කාමුක මානසික ස්වභාවයන් බලවත් වී ඇත. ස්වභාවික ලිංගික ක්‍රියාවලීන්හි නිරත වීමට ඇති අධික බිය හා ඒ ‍හේතු‍වෙන් ඇති වන මානසික අවපීඩනය ඇතුළු ‍වෙනත් අපගාමී ‍පෞරුෂ ලක්ෂණ‍යෝ ‍මෙවැනි තත්ත්වයන් ඉහළ යාම සඳහා ‍හේතු වී ඇත.
මෙවැනි තත්ත්වයන් වළක්වා ‍ගෙන යහපත් ‍පෞරුෂයකින් හෙබි පුද්ගලයින්ගෙන් යුත් සමාජයක් ‍ගොඩ නඟා ගැනීම පිණිස අපි අනුගමනය කළ යුත්තේ කවර ක්‍රියාමාර්ගයක් ද යන්න වෙනම ම ලිපියකින් සාකච්ඡා කරමු.
පංචන ජයසිංහ
උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya