Monday, January 16, 2017

2017 ලග්න පලාපල ටොලමියානු ජ්‍යොතිෂයෙන් ...(astrology lagna palapala-අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

පුරාණ ටොලමියානු ජ්‍යොතිෂය අද ඉතා දියුණුවට පත්ව තිබෙන බටහිර ජ්‍යොතිෂ විද්‍යාවේ පූර්ව අවස්ථාව ලෙස සැලකෙයි. ගණිතඥයන් සහ ජ්‍යොතිෂ විශාරදයන් ලෙස මහත් සම්භාවනාවට පාත්‍රවන ක්ලෝඩියස් ටොලමි සහ පයිතගරස් යන දෙදෙනා විසින් ජ්‍යාමිතික ගණිත සූත්‍රයකට අනුව වැඩි දියුණු කරන ලද පංච බල මූලධර්මය ( PRINCILPE OF THE FIVE ELEMENT ) පොදු පලාපල කථනය සඳහා ඉතා සාර්ථකව යොදා ගත හැකිය. 2017 වසර එක් එක් ලග්න හිමියන්ට බලපාන ආකාරය පිළිබඳව එකී මූලධර්මය අනුව විමසා බලමු. ශ්‍රී ලංකාවට එම පලාපල කථන ක්‍රමය හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි.
මේෂ ලග්නය
ගිනි බලයෙන් ද අධිවේගයෙන් ද විප්ලවකාරී මනසකින් ද යුත් මේෂ ලග්න හිමියන් කොතැනකට ගියත් මුල් පුටුව ම සොයයි. එහෙත් පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ මුල් පේළියෙන් පමණක් නොව සභාවෙන් ම ඉවතට තල්ලු වී යන්නට ඇත. ඊට හේතු වූයේ ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ අඳුරු විසකුරු වෘශ්චික ජල රාශියේ වායුකාරක සෙනසුරු ග්‍රහයා ගමන් කිරීම ය. එය දැඩි පීඩාකාරී අවස්ථාවකි. 2017 ජනවාරී 26 දා සෙනසුරු එතැනින් නික්ම ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 09 වැන්නවූ ධනු රාශියට ය. ඔබට සියලු සුබපල උදාකරන ත්‍රිකෝණස්ථානය වූ 09 වැන්න ඔබට මිතුරු ගුරු ග්‍රහයාට හිමි ස්ථානයකි. දෙවනුව එය ගිනි බලයෙන් ද නිර්මල චින්තනයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද යුත් රාශියකි. සෙනසුරු වැනි යුක්තිගරුක ආධ්‍යාත්මික ග්‍රහයකුට ධනු රාශිය සහ 09 වැන්න ඉතා යෝග්‍ය තැනකි. තුන්වැනිව සෙනසුරු සහ ගුරු අතර හට ගන්නා මේ විශිෂ්ට සංයෝගය අන් කිසිදු සුබ සංයෝගයකට දෙවැනි නොවේ. මේ සියල්ලෙහි සාර ගුණය විඳීමට තරම් ඔබ භාග්‍යවන්තයකුවීම ගැන සතුටු වන්න.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි. ග්‍රහලොව විප්ලවකාරී අති ධාවනකාරීත්වය නියෝජනය කරන වායු බලයෙන් යුත් යුරේනස් කරන දෙය හොඳ හෝ නරක හෝ වේවා මහ පරිමාණයෙන් ම සිදු කරයි. ඔහු මෙසේ මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුව ය. මෙතැන් සිට වසර හතක් ම ඔහු ඔබේ හිස මුදුනේ ගමන් ගනී. ලග්නයේ යුරේනස් සහ 09 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා අංශක 120 ත්‍රිකෝණ දෘෂ්ටිය ඉතා සුබදායක ය. මෙහිදී 1 සහ 9 යන ගිනි රාශීන් දෙක වායු බලයෙන් යුත් යුරේනස් සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනා විසින් ප්‍රතිපෝෂණය කරනු ලැබේ. මේ ඔබේ ජීවිතයේ උදාවන අතිශයින් ම තීරණාත්මක සහ පෙරළිකාර අවස්ථාව බව මතක තබා ගන්න. ඔබේ පෞරුෂය - චින්තනය - රැකියාව - සමාජ සබඳතා යනාදී වූ සියලු දෙයම වහා වෙනස් වෙයි. අතීතයේ ජීවත්වූවාට වඩා හාත්පසින් ම වෙනස් පෙරළිකාර ජීවන රටාවකට අනුගත වන්නට ඔබට සිදුවෙයි. ඔබ මෙතෙක් ඔබ සහ ලෝකය පිළිබඳව සිතා සිටි ආකාරය අංශක 360 කින් වෙනස් වෙයි. මෙහිදී ඍණ සහ ධන ප්‍රතිපල දෙවර්ගයට ම මුහුණ දීමට සිදුවන අතර ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ බාහිර සමාජය විසින් ඔබ වෙත ආරෝපණය කරනු ලබන ඇගයීම් හෝ ගැරහීම් හෝ නොව සිදුවීම් කලමනාකරණය කිරීමට ඔබට ඇති හැකියාව මත බව මතක තබා ගන්න.
ඔබේ කේන්දරයේ සියලු රාජයෝග බල ක්‍රියාකරවන 10 සහ 11 අධිපති සෙනසුරු 08 වැන්න වූ වෘශ්චික මර්මස්ථානයෙන් නිදහස්වීම ම ඔබ 2017 වසරේදී ලබා ගන්නා බලවත් ජයග්‍රහණයකි. 10 සහ 11 අධිපති 9 වැන්නේ සුබදායකව තැන්පත්වීම නිසා සියලු අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍ය වන්නා වූ ආත්ම ශක්තිය සහ පෙරළිකාර නිර්මාණාත්මක චින්තනය ඔබට ඉටු දෙවියකු ලෙස පිහිටවනු ඇත.
ගුරු ග්‍රහයා වක්‍රව ඔබේ ලග්නයෙන් 06 වැන්නේ පඨවි රාශියක ගමන් ගැනීම ඔබේ සෞඛ්‍යයට එතරම් යහපත් නොවේ. රුධිරගත සීනී සහ මේද පරිමාව අනතුරුදායක මට්ටමට ඉහළ යා හැකිය. එහෙයින් 2017 සැප්තැම්බර් 13 දා තෙක් ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබේ.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ කටක ජල රාශියට පැමිණෙයි. මේ සමඟ ම වූ අනෙක් ග්‍රහ පිහිටීම් අනුව ඔබේ පදිංචිය සහ රැකියා ස්ථානයේ නියත වෙනසක් සිදුවන බැව් පැහැදිලි වේ. විදේශගතවීම්වලට ද වැඩි ඉඩක් පවතී.
කෙසේ නමුත් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ 2017 ඔබේ ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරන වසරක් වන බවයි.
වෘෂභ ලග්නය
තද පඨවි බලයෙන් ද මන්දවේගයෙන් ද අනම්‍ය හිතුවක්කාර මනසකින් ද යුත් වෘෂභ ලග්න හිමියන් කොතැන ගියත් වෙහෙස නො බලා වැඩ කරන්නවුන් වෙයි. පසුගිය වසර දෙක හමාරක කාලයේදී විවාහය සහ සමාජ සම්බන්ධතා පිළිබඳව දැඩි පීඩාවකට පත්වූ ඔබ මෙතැන් සිට සහනශීලී මානසිකත්වයකට පත්වෙයි. ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ගිනි බලැති ධනු රාශිය ඔබට සතුරුවන අතර ම 2017 ජනවාරි 26 දා එහි පිවිසෙන සෙනසුරු විසින් අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයක් ද උදා කරනු ලබයි. මේ නිසා ඔබේ ලෞකික ජීවිතයේ අනපේක්ෂිත කඩා වැටීම් මෙන් ම කටයුතු අතරමග ඇණ හිටින බවක් ද විශේෂයෙන්ම අය මාර්ග සහ රැකියාව ආශ්‍රිත පීඩනයන් ද රෝග පීඩා ඉස්මතු වීම් ද පෙන්නුම් කරයි.
එහෙත් මේ කිසිවකින් ඔබ දිරි බිඳගත යුතු නොවේ. මෙහිදී ඔබට ජීවිතයේ අලුත් ම සහ යහපත් ම පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවෙයි. ගුරු හිමි ධනු රාශියට යන ඔබේ 09 සහ 10 අධිපති මහා යෝගකාරක සෙනසුරු ඔබට විපතක් සිදු කරන්නේ නැත. ඔහු ඔබට කටුක ජීවිත අභ්‍යාස ලබා දෙන අතර ඒවා නිරාකරණය කිරීමට වුවමනා විනය ඉවසීම සහ ප්‍රඥාව ද නොමසුරුව ම ලබා දෙයි. මේ අවස්ථා ඉතා හොඳින් වටහා ගෙන කටයුතු කළොත් ඔබ දිනුම් ය.
2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 12 වැන්නට එන යුරේනස් සහ 08 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා ගිනි - වායු සංයෝගය ඔබට එතරම් යහපත් නොවේ. කේන්දරයේ සතුරු බල මර්මස්ථාන උත්තේජනය වීම එකී ජන්මියාට ඉතා පීඩාදායක වෙයි. ඒ අවදානම දුරු කැර ගත හැක්කේ ආගමික සහ ආධ්‍යාත්මික ශක්තීන් බලවත් කැර ගැනීමෙනි. අභිසම්භිධාන පිරිත මේ සඳහා යොදා ගත හැකි අති විශිෂ්ට බුද්ධ මන්ත්‍රයකි. මෛත්‍රී භාවනාව ද ඉතා ප්‍රශස්ත වෙයි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු කටක ජල රාශියට පැමිණීම අතිශය ප්‍රබල වාසනාවන්ත තත්ත්වයකි. මෙතෙක් පැවති සියලු පීඩාවන් නසා අනපේක්ෂිත යස ඉසුරු සම්පත් සහ ස්වර්ණමය අවස්ථාවන් උදා කැර දීමට රාහු ග්‍රහයා වේගයෙන් ක්‍රියාත්මක වෙයි.

2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ වායු බලැති 06 වැන්නට පිවිසීම ඔබේ සෞඛ්‍ය තත්ත්වයට එතරම් හිතකර නොවේ. රුධිරගත සීනී සහ මේද පරිමාව අනතුරුදායක මට්ටමට ඉහළ යා හැකිය. එහෙයින් විමසිලිමත් වන්න.
කෙසේ නමුත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 යනු ජීවිතයේ දෛවය තියුණු පරීක්ෂාවකට භාජනය කෙරෙන අවස්ථාවකි. ඒ අවස්ථාව පැහැර නො හරින්න. ඔබේ සතුරා හැම විටම මවිතයට පත් කරවන කලාව ප්‍රගුණ කරන්න.
 මිථුන ලග්නය
වායු බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද පොහොසත් ඔබ කොතැන ගියත් කැපී පෙනෙන සිද්ධියකට මුල පුරයි. පසුගිය දෙවසරක කාලයේදී වැටෙමින් නැගිටිමින් තිබූ ඔබේ ජීවිතය සෑම සියලු අංශයකින් ම ස්ථිර කෙරෙන තත්ත්වයක් උදාවෙයි. 2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ අති මිතුරු ගිනි බලැති ධනු රාශියට පැමිණීම මිශ්‍ර පල ගෙන දෙන අවස්ථාවකි. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා පිළිබඳව කැපී පෙනෙන වෙනසක් ස්ථිරව ම හට ගන්නා අතර එයින් ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරයි. ගුරු හිමි ධනු රාශියේ තැන්පත්වන ඔබේ කේන්දරයේ 08 සහ 09 අධිපති සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ අය මාර්ග කෙරෙහි අභියෝගාත්මක අවස්ථාවන් උදා කරයි. එහෙත් බාධක මැද ජයග්‍රහණ ලැබීමට ඔබට වුවමනාවටත් වඩා හැකියාව තිබේ. ලිහිල් විය යුතු තැන් සහ දැඩි විය යුතු තැන් යන දෙක තෝරා බේරා ගැනීමට අපහසුවීම ඔබේ සහජ දුබලතාවකි.
පමණ ඉක්මවා සංවේදීවීම සහ අන් අය ඔබ ගැන සිතන ආකාරය සොයා බැලීමට කාලය කා දැමීම අපරාධයකි. ඔබට එරෙහිව එන අයට ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතුය නැතිනම් ඔවුන් නොතකා හැරිය යුතුය. 7 වැන්නේ සෙනසුරු මෙවර ඔබට ඒ පාඩම මැනවින් වටහා දෙනු ඇත. 2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ ගිනි බලැති මිතුරු රාශිය වූ මේෂයට එන යුරේනස් ඔබ අද්වීතීය බලයකින් සහ අසහාය පෞරුෂයකින් සන්නද්ධ කරවයි. 7 වැන්න සහ 11 වැන්න යන ප්‍රබල ස්ථාන දෙකම ගිනි සහ වායු බලයෙන් උත්තේජනයවීම නිසා ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අතර විදේශ සබඳතාවන්වලින් ද සාර්ථකත්වයට පත්වෙයි. මේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවකි. රැකියාවට අමතරව වෙනත් ප්‍රබල අය මාර්ග උත්පාදනය කෙරෙයි. ඉතා කෙටි කාලයකදී අනපේක්ෂිතව ධන සම්පත් භුක්ති විඳීමේ භාග්‍ය උදාවෙයි.උසස් තනතුරු සහ විධායක ශ්‍රේණීන්ට උසස්වීම් ලබයි. 2017 අගෝස්තු 17 දා ඔබේ ලග්නයෙන් දෙවැන්න වූ කටක ජල රාශියට පැමිණෙන රාහු ග්‍රහයා ගෙන් පරෙස්සම් විය යුතුය. ඔබ මත්පැන් පානයෙහි ගිජු අයෙක් නම් අවදානම ඉතා වැඩි බවත් සිතට ගන්න. ආහාර පාන සහ මුවින් ගිලිහෙන වචන දැඩි සතුරන් බවත් අමතක නො කළ යුතු ය. සතුරන් සමඟ ගනු දෙනු සීමා කරන්නාක් මෙන් ආහාර පාන සහ වචන යන දෙක ම ඉතා පරෙස්සමින් භාවිතා නො කළොත් ඔබ වැටෙන්නෙ ගොඩගත නොහැකි වළකට ය.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ අති මිතුරු වායු බලැති තුලා රාශියට පැමිණීම සහ එතැන බලවත් ත්‍රිකෝණස්ථානයක් වීම ඉතා බලවත් පිහිටීමකි. සත් පුරුෂ ඇසුර සහ උගතුන් නැණවතුන් ආදීන්ගෙන් ප්‍රබල උපකාර හිමිවෙයි. ඒ සමඟ ම ඔබේ රැකියාව ද නිසැක වෙනසකට ලක්වෙයි.
සමස්ථයක් වශයෙන් ගත් කළ 2017 මිථුන ලග්නයෙන් උපන් ඔබට ඉතා වාසනාවන්ත සහ අභියෝගාත්මක වර්ෂයකි.
කටක ලග්නය
ජල බලයෙන් ද අධි වේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් ඔබ පසුගිය කාලයේදී බොහෝ දුෂ්කරතාවන්ට සහ ධන හානි - අයමාර්ග අවහිරවීම් ආදී අවස්ථාවන්ට මුහුණ දෙන්නට ඇත. ඒ තත්ත්වයට හේතු වූයේ ඔබට පරම සතුරු සිංහ ගිනි රාශියේ තැන්පත්ව සිටි රාහු ග්‍රහයාගේ දුෂ්ට ක්‍රියාකාරීත්වය යි. එය 2017 අගෝස්තු 17 දා තෙක් පවතී. ඉන් අනතුරුව එකී පීඩාව ඉවතට යන මුත් ඊටත් වඩා කරදරයක් ඔබේ හිස මතට කඩා වැටෙන්නේ රාහු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙන නිසා ය. එකී කාලය වසර එකහමාරක් පවතී. ඔබ ඉක්මන් තීරණ ගතහොත් නිසැකයෙන් ම අත්වන්නේ පරාජය යි. තිබෙන දෙය රැක ගැනීම මිස අලුත් දේ සෙවීම හෝ ජීවිතයේ අඩමාන අත්හදා බැලීම් සිදු නො කළ යුතු කාලයකි.
2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ගිනිකාරක ධනුවට එන සෙනසුරු ඉතා බලවත් ය. සතුරන් නසා දිග් විජය පතුරුවන වසර දෙකහමාරක කාලයක් උදාවෙයි. ඔබ කිසියම් බලවත් රෝග හෝ සතුරු පීඩනයකට ලක්ව සිටියා නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම ඉවත්ව යයි. රාජයෝග බල ක්‍රියාත්මක වී ඉහළ තනතුරු ලැබිය හැකි මුත් ඔබ අති ධාවනකාරී නොවිය යුතු ය. විවාහ ජීවිතයේ දෙදරා යෑම් සහ ඔබේ කලත්‍රයා කෙරෙහි අහිතකර පීඩනයන් මතුවිය හැකි හෙයින් ඉවසීම සහ දුරදිග බැලීම ප්‍රගුණ කිරීම වැදගත් ය. අභිසම්භිධාන පිරිත සහ සක්මන් භාවනාව මේ සඳහා ඉතා ප්‍රශස්ත වෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පැමිණීම ඉතා බලවත් පිහිටීමකි. ලග්නයෙන් 06 සහ 10 වැන්න යනු කර්මස්ථානයෙන් ද්විත්ව ත්‍රිකෝණාකාර පිහිටීමකි. ඉදිරි සත් වසරක කාලය ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට භාජනය කරවයි. ඔබ දේශපාලනයේ හෝ එවැනි සමාජ සංවිධාන ආදියේ ක්‍රියාකාරීවන අයෙකු නම් ඉතා බලවත් තනතුරු ආදියට පත්වෙයි. එහෙත් ආඥාදායක ස්වරූපයෙන් ක්‍රියාත්මකවීම ඉතා අනතුරුදායක විය හැකිය. හොඳින් හෝ නරකින් හෝ ඔබේ වැඩ කටයුතු සමාජයේ පතළ වෙයි.
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයෙන් 06 සහ 09 වැන්න අධිපති ගුරු ග්‍රහයා වායු බලැති 04 වැන්න වූ තුලා රාශියට පැමිණෙයි. එවිට ගුරු සහ යුරේනස් අතර අංශක 180 ක් ද සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ක් ද වශයෙන් දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මෙය ඔබේ ජීවිතයේ එක ම එක් වරක් පමණක් යෙදෙන පිහිටීමක් වන්නා සේම කේන්ද්‍රස්ථාන සහ ත්‍රිකෝණස්ථාන සම්බන්ධ කරමින් ගිනි සහ වායු මර්මස්ථාන අධි උත්තේජනයට පත්වන දුලබ අවස්ථාවකි. මෙතෙක් පැවති ඔබේ ජීවන රටාව උඩු යටිකුරු කරවන කාලයක් උදා වී තිබේ.
සමස්ථයක් වශයෙන් ගත් කළ කටක ලග්නයෙන් උපන් ඔබට 2017 වසර තීරණාත්මක ක්‍රීඩා ඉසව්වකි. ජය පරාජය නොසලකා තරගයේ නීති රීතී පිළිපදින්න. එවිට අවසන් ජයග්‍රාකයා වන්නේ ඔබ ය.

සිංහ ලග්නය
ගිනි බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි ආත්මාධිරෝපිත මනසකින් ද යුත් සිංහ ලග්නය හිමි ඔබ කොතැනකට ගියත් තමා ප්‍රමුඛව ලෝකය සමඟ ගනු දෙනු කරන්නෙකි. එහෙත් පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ඔබගෙන් ම ඉතා දුෂ්කර පාඩම් ඉගෙන ගත්තේ ය. ඊට නො දෙවැනිව සමාජයෙන් සහ පවුල් සංස්ථාවෙන් ද ඔබට ලෝකය සහ ඔබ පිළිබඳ යථාවබෝධය ඇති කරවන කටුක සිදුවීම් නිර්මාණය කැර දුන්නේ ය. ඊට හේතු වූයේ ඔබේ ලග්නයෙන් 06 සහ 07 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට සතුරු අඳුරු විසකුරු ජල රාශිය වූ වෘශ්චිකයේ තැන්පත්ව ඔබේ මනස සහ සිතිවිලි මූලාශ්‍රය වූ 04 වැන්න පීඩාවට පත් කිරීමය.
ඔබට ඔබ ගැන ම ඇති වූ ආත්මානුකම්පාව ජීවිතයට ම සෙනසුරු ගෙන් ලැබුණු අමිල ත්‍යාගයක් බව අමතක නො කරන්න. 2017 ජනවාරි 26 දා සිට ඉදිරි වසර දෙක හමාරක කාලයේ එකී සෙනසුරු ගමන් ගන්නේ ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයක් වූ 05 වැන්නේ ය. ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියේ ගමන් කරන සෙනසුරු යහපත් යුක්තිගරුක ගුරු ග්‍රහයාගේ බලය ද සහිතව ඔබේ ලග්නයෙන් 7 වැන්න 11 වැන්න සහ 2 වැන්න යන ස්ථාන වෙත බැල්ම හෙළයි.
මේ අවස්ථාව මිශ්‍ර පලදායක ය. කෙටියෙන් ම කිවහොත් රස්සාව සහ පරස්තාව යන දෙකම හෙල්ලුම්කන තත්ත්වයක් මතුවෙයි. එහෙත් ඒ කිසිවකින් ඔබේ ජයග්‍රහණයන් වැළැක්විය නොහැක. මෙවර සෙනසුරු විසින් ඔබව අතරමං කරන්නේ හෝ සරණාගතයකු බවට පත් කරන්නේ නැත. එහෙත් ඒ සඳහා ඔබ විසින් කළ යුතු අභ්‍යාස කිහිපයක් තිබේ. පළමුව ඔබ තුළ නිසර්ගයෙන් ම ඇති මමංකාරය පුපුරවා විනාශ කොට පියවි සිහිය ලබා ගත යුතු ය. දෙවනුව පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ විසින් කළ කටයුතු පිළිබඳව ස්වයං විවේචනයක යෙදෙන්න.
ඔබ එසේ නො කරන්නේ නම් සෙනසුරු විසින් එය බලහත්කාරයෙන් සිදු කරනු ලබයි. දෙකෙන් එකක් තෝරා ගන්න. ඔබේ රැකියාව නම් නියත වශයෙන් ම වෙනසකට ලක්වෙයි. ප්‍රේම සබඳතා හෝ විවාහය අභියෝගයට ලක්වෙයි. ඒ දෙ අංශයෙන් ම අලුත් අත්දැකීමක ආරම්භය සනිටුහන් වෙයි.2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුවයි. ඔබ ජීවිතයේ කිසිදා මුහුණ නොදුන් අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ඉදිරි සත් වසර පුරාම අත් දකින්නට සිදුවෙයි. ඔබේ ජීවිතය අංශක 360 කින් වෙනස් වෙයි.
රාහු ග්‍රහයා තවමත් ගමන් ගන්නේ ඔබේ හිස මතින් ය. එය ද පීඩාදායක ය. 2017 අගෝස්තු 17 දා එකී රාහු ඔබට ඉතා ම සතුරු ජල බලයෙන් යුත් කටක රාශිය හෙවත් ඔබේ ලග්නයෙන් 12 වැන්නට ගමන් ගනී. ජන්ම කේන්දරයේ රාහු දුබල නම් මේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. සතුරු බල මර්මස්ථානයක් වූ 12 වැන්න කැළඹීම ඔබේ ජීවිතයට එල්ලවන සුනාමියකි. විදේශගතවීමට සිතන්නේ නම් මැනවි. කෙසේ නමුත් මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත දිනපතා කියවීම ඉතා ගුණදායක ය. මත්පැන් පානය ඔබට ඉතා ම අහිතකර ය.
දැනට ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ පඨවි බලයෙන් යුත් කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ග්‍රහයා නිසා ඔබ කෙසේ හෝ නොවැටී සිටී. එහෙත් 2017 සැප්තැම්බර් 13 දා එකී ගුරු ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ වායු බලයෙන් යුත් තුලා රාශියේ ගමන් කරන්නට ගනී. එවිට ගුරු සහ සෙනසුරු අතර අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් හට ගනී.
මේ ඔබේ ජීවිතයේ ඉතා ම කලාතුරකින් හට ගන්නා අති ප්‍රබල ආධ්‍යාත්මික ඥාන විභාගයකි. මේ අවස්ථාව පැහැර නො හරින්න. දුගියකු ලෙස පෙනී සිටින්න. දෙවියකු බ්‍රහ්මයකු ලෙස සත්‍යය අවබෝධ කර ගන්න. එවිට ඔබ කිසිවකුට පරදින්නේ නැත.සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ආන්දෝලනාත්මක වර්ෂයකි. ඔබ ස්වේච්ඡාවෙන් ම වෙනස්විය යුතුයි. එය ජයග්‍රහණයකි. නො එසේ නම් ලෝකයා විසින් ඔබව වෙනස් කරනු ලැබේ. එය පරාජයකි.
තුලා ලග්නය
වායු බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් තුලා ලග්නයෙන් උපන් ඔබ කොතැන ගියත් යුක්තිය වෙනුවෙන් සටන් වදින්නෙකි. අන් අය වෙනුවෙන් හඬ නගන්නෙකි. එහෙත් පසුගිය වසර හත හමාරක කාලයේදී ඔබට දෛවයෙන් යුක්තිය ඉටු වූයේ නැත. ඊට හේතු වූයේ ඔබ සෙනසුරුගේ ඒරාෂ්ඨක සමයට මැදි වීමයි. ඔබේ කේන්දරයේ 04 සහ 05 යන බලවත් යෝගකාරක ස්ථාන දෙකට අධිපති සෙනසුරු සතුරු විසකුරු ජල වෘශ්චික රාශියේ පීඩාවට පත්ව සිටි පසුගිය වසර දෙක හමාරක කාලය ඔබට එකී පීඩාව ඉතා බලවත්ව ගෙන දුන්නේ ය.
2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි. ධනු රාශිය ඔබේ කේන්දරයේ 03 වැන්න වන්නා සේම සෙනසුරු මහත් බලයක් අත් කැර ගන්නා ස්ථානයකි. 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස ඔබ සතුටු වන්න. ඔබේ සියලු සුබ පල ක්‍රියාත්මක කරවන යෝග කාරක සෙනසුරු ඉතා බලවත්ව ධනු රාශියේ ගමන් කිරීම නිසා මින් ඉදිරියට ඔබ සෑම සියලු අතින් ම සාර්ථකත්වය ලබයි. සිත් තැවුල් මෙන් ම කායික පීඩාවන් ද දුරු වී යයි. ඉතා සුබ කාල පරිච්ඡේදයක බලවත් ආරම්භයකි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පිවිසෙයි. අනෙක් සියලු කටයුතු අතින් ඔබ භාග්‍යවන්තයකු වුවත් යුරේනස් වැනි පෙරළිකාර වායු බලැති ග්‍රහයකු 7 වැන්නේ ගිනි බලය සමඟ සංයෝගවීම එතරම් යහපත් නොවේ. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා සම්බන්ධයෙන් අති ධාවනකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. එය ඔබගේ පෞරුෂය සහ ප්‍රතිරූපය කෙරෙහි හානිකර විය හැකි හෙයින් අන් අය සමඟ සබඳතා පැවැත්වීමේදී ආවේගශීලී නොවීම වැදගත් වෙයි. යුරේනස් 7 වැන්නේදී විවාහ නාශක භූමිකාව ආරෝපණය කැර ගන්නා හෙයින් ද ඔබේ ලග්නයෙන් 7 වැන්න ප්‍රබල ගිනි රාශියක් වීමත් නිසා ඔබ ඉදිරි සත් වසරක කාලයේදී විවාහය සහ සමාජ සබඳතාවලදී සැලකිලිමත් විය යුතු ය. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පිවිසෙයි. එහි ඇති ජලකාරක බලය සමඟ වායුකාරක රාහුගේ සංයෝගය මතුපිටින් සතුරු ලෙස පෙනී ගිය ද වේගය සහ චිත්ත ස්වරූපය අතින් ඔබේ ලග්න බලය සමඟ එය එකිනෙකට පෑහෙයි. මේ නිසා යම් යම් බාධා මැද වුවත් ඔබගේ වෘත්තීය කටයුතු ඉතා කඩිනම් දියුණුවක් ලබයි. සේවා ස්ථානය තුළ ඔබේ බලය සහ නම ප්‍රකට කෙරෙයි. සමාජයේ ද ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදෙයි. මෙය ද ඔබට සුබදායකය.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණෙයි. එවිට ඔබේ වායු බලැති ලග්නයේ තැන්පත් ගුරු සහ ගිනිකාරක 7 වැන්නේ තැන්පත් යුරේනස් අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මේ ග්‍රහ පිහිටීම් සියල්ල ගත් කළ ඔබේ කේන්දරයේ ඉතා බලවත් ලෙස ගිනි සහ වායු මධ්‍යස්ථාන උත්තේජනය කෙරෙයි. මෙය ඔබට ඉතා යහපත් ය. පෙර නොවු විරූ බල පරාක්‍රමයක් ඔබ වෙතින් ප්‍රකට වන අතර අති ධාවනකාරී ගමනක් ද පෙන්නුම් කරයි. එහෙත් ඔබ මෙය පාලනය කැර ගැනීමට ද උත්සුක විය යුතුය. සමස්තයක් වශයෙන් ගත් කළ ධනය බලය සහ වික්‍රමය යන ත්‍රිවිධ අංශයෙන් ම ඔබ පොහොසත් වෙයි. ඒ අනුව ඔබ 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස නම් කළ හැකිය.
කන්‍යා ලග්නය
තද පඨවි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුත් ඔබ සොඳුරු ආඥාදායකයෙකි. හැම විටම ඔබේම සැලසුමකට වැඩ කරන්නෙකි. අන් අයට ද ඔබේ ක්‍රමයට අනුගත වන ලෙසට බල කරන්නෙකි. ආදර්ශයෙන් ම ඔබ රාජකාරියට කැප වූ චරිතයකි. පසුගිය වසර දෙක හමාරක කාලයේ ඔබට මිතුරු ජල රාශිය වූ වෘශ්චිකය හෙවත් 03 වැන්නේ බලවත්ව සෙනසුරු ගමන් කිරීම යහපත් ය. ඔහු ඔබේ කාර්‍ය සාධනයට සහ වෘත්තීය දියුණුවට අත හිත දුන්නේ ය.
බාධක මැඩ ඉදිරියට යෑමේ බලය සහ අවස්ථාව ලබා දුන්නේ ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්නයෙන් 04 වැන්න සහ සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙයි. සෙනසුරු ඔබේ 05 වැන්න සහ 06 වැන්න අධිපතියා ය.
සෙනසුරු වැනි වායු බලැති පෙරළිකාර ග්‍රහයකු 04 වැන්න හෙවත් මනස සහ සිතිවිලි මූලාශ්‍රයට පැමිණීම නිසා මෙතෙක් පැවති ඔබේ චින්තන රටාව මහත් විපරිවර්තනයකට ලක්වෙයි. එහි හොඳ හා නරක යන දෙකම තිබේ. 04 වැන්න සහ සෙනසුරු යන සාධක දෙකම පංච බල මූලධර්මය අනුව ඔබට මිතුරු බලයක් නොවේ. එහෙත් 04 වැන්න ඔබේ කේන්දරයේ ප්‍රබල මර්මස්ථානයක් නොවේ. එහෙයින් ඔබට බියවීමට හේතුවක් නැත.
අවශ්‍ය වන්නේ සිතිවිලි සහ හැඟීම් පාලනය කැර ගැනීමය. සෙනසුරු 04 වැන්නේ සතුරු බලය උත්තේජනය කරන තාක් ඔබට පෙර මෙන් ආඥාදායක ස්වරූපයෙන් කටයුතු කළ නොහැකි බව සිහි තබා ගන්න. දෙවනුව එකී සෙනසුරු ඔබේ කේන්දරයේ ලග්නය සහ 06 - 10 - යන ස්ථාන දකී. එහෙයින් ඔබ මෙතැන් සිට ලෝකය ඉල්ලා සිටින තත්ත්වයන්ට අනුගත විය යුතුව තිබේ. ඔබේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව අන් අය මෙහෙයවිය නො හැකි බවත් අමතක නොකළ යුතු ය. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න හෙවත් සතුරු ගිනි බලැති මේෂ රාශියට පැමිණීම ඉතා ම අනතුරුදායක ය.
යුරේනස් වැනි ග්‍රහයකු විසින් 08 වැන්න වැනි මර්මස්ථානයක සතුරු බලය උත්තේජනය කිරීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්වයකි. ඔබේ කේන්දරයේ 04 සහ 08 වැන්නේ පිහිටන ශනි = යුරේනස් දෘෂ්ටිය අංශක 120 කි. මේ වනාහී හොඳට හොඳයි ඒත් නරකට නම් ඉතාම නරකයි යන කියමන සිහිපත් කරවන්නකි. මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත කියවීම ඉතා ගුණදායක ය. ආනාපානා සති භාවනාව ද ඉතා ප්‍රශස්ත ය.2017 අගෝස්තු 17 දා වනතුරු රාහු ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු බලැති සිංහ රාශියේ ගමන් කිරීම ද සුබදායක නොවේ.
08 වැන්න යුරේනස්ගෙන් ද 12 වැන්න රාහුගෙන් ද යනාදී වශයෙන් ඔබට පරම සතුරු වායු බලයෙන් යුත් හිතුවක්කාර ග්‍රහයන් දෙදෙනෙකු වෙතින් බලවත් ලෙස උත්තේජනය වීම බරපතළ ලෙස අනතුරුදායක ය.මේ නිසා 2017 අප්‍රේල් 08 සිට අගෝස්තු 17 දක්වා වූ මාස පහක කාලය ඔබ විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. කන්‍යා ලග්නයෙන් උපන් දේශපාලන නායකයන් - ආරක්ෂක අංශ ප්‍රධානීන් වැනි අය කෙරෙහි මේ පීඩාව බලවත් ලෙස දැනෙනු ඇත. කෙසේ නමුත් 2017 අගෝස්තු 17 දා සිට රාහු ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු කටක රාශියේ ගමන් කිරීම ඉතා සුබදායක ය. වාසානාවන්තය. එතෙක් පරෙස්සම්වන්න.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්නට පිවිසීම ද ඉතා සුබදායකය. ඊට අමතරව 08 වැන්නේ තැන්පත් යුරේනස්ගේ සතුරු බල හීන කිරීමට ද ගුරු ක්‍රියාත්මකවනු ඇත. එහෙත් ගුරු ඔබේ බාධක ග්‍රහයා වෙයි. මේ නිසා ජන්ම කේන්දරයේ ගුරුගේ පිහිටීම අනුව ප්‍රතිඵලය වෙනස්විය හැකිය.
සමස්තයක් වශයෙන් ගත් කළ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2017 මිශ්‍ර පලදායක වර්ෂයකි. එහෙත් ඉවසීම සහ නම්‍යශීලීබව ඇති කැර ගත හැකි නම් අවසන් ජයග්‍රාහණය ඔබ සතුවෙයි. බෝම්බ පුපුරන වෙඩි වරුෂා අහසට නැගෙන යුද පිටියක් මතින් ගමන් කිරීම අනතුරුදායක නොවන්නේ ද ? මේ අවදානම පහවනතුරු ඔබ සිටිය යුත්තේ පොළොව යට බංකරයක ය. ඔබ ඒ ගැටුමේ පාර්ශ්වකරුවකු නොවිය යුතුය.
වෘශ්චික ලග්නය
ජල බලයෙන් ද මන්දවේගයෙන් ද දැඩි මනසකින් ද යුත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ තමාගේ ඇතුළාන්තය නො සොයා අන් අයගේ කටයුතු පිළිබඳව ගුණ දොස් සොයන්නෙකි. මේ නිසර්ග ස්වභාවය නිසා ඔබ පසුගිය වසර පහක කාලයේදී කළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි වසර දෙක හමාරක කාලයේදී වග උත්තර කීමට දෛවයෙන් බැඳී සිටී. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙන සෙනසුරු විසින් එකී අවස්ථාව උදා කරනු ලැබේ.
මීට වසර 29 කට පෙර ඔබ මුහුණ දුන් අත්දැකීම්වලට සමාන තත්ත්වයක් එමඟින් නිර්මාණය කෙරෙයි. එමඟින් ඔබට ඔබේ ම ජීවිතයේ ඇතුළාන්තය පිරික්සීමේ දුර්ලභ අවස්ථාවක් සෙනසුරු විසින් පිරිනමයි. මේ අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජනය ගනීම වටී. 2017 ජනවාරි 26 දා සිට ඔබ විසින් ගත කරනු ලබන්නේ වසර හත හමාරක ඒරාෂ්ඨක සමයේ අවසන් සහ දුෂ්කර ම කාල පරිච්ඡේදය යි.
ඒ කාලය ජය ගැනීමට අත්‍යවශ්‍ය කළමනා සියල්ල ද සෙනසුරු විසින් ම ඔබට ලබා දෙන අතර අවශ්‍ය වන්නේ පියවි සිහියෙන් කටයුතු කිරීම පමණි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 03 සහ 04 අධිපතියා ය. මෙතැන් සිට ඔහු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 02 වැන්නේ ය. ඔබ ඔබේ තැන්පත් ධනය මෙන් ම කට ද රැකගත යුතු ය.  
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට පරම සතුරු වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණීම සුබදායක නොවේ. ඉතා බලවත් සතුරන් ඔබට එරෙහිව නැගී සිටින අතර ඊට සමාන්තරව ඔබේ සිරුරේ උදරය - ආහාර මාර්ග පද්ධතිය - ප්‍රජනන පද්ධතිය - සහ ශ්‍රෝණි අස්ථි ආශ්‍රිතව වේදනාත්මක උෂ්ණ රෝග මතු විය හැකිය. මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ පරම මිතුරු ජලකාරක කටකයට පැමිණීම මිශ්‍ර පලදායක ය. ඔබ තුළ ධාර්මික සිතිවිලි ජනිත කරවන අතර කිසියම් ආධ්‍යාත්මික කැළඹීමක් ද පෙන්නුම් කරයි. විදේශ ගමන් ඇති කරවයි. එහෙත් නිසැකයෙන් ම 2017 අගෝස්තු වන විට ඔබේ රැකියාවේ වෙනස්වීමක් පෙන්නුම් කරයි. මෙතෙක් පැවති වෘත්තීය සුරක්ෂිත බව අභියෝගයට ලක්වන අතර රැකියාව සහ රැකියා ස්ථානය පිළිබඳව අසහනය ජනිත කරවයි.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු වායු බලැති තුලාවට පිවිසීම ඉතා අහිතකර ය. ගුරු ඔබේ ලග්නයෙන් 02 සහ 05 වැන්න අධිපතියා ය. 10 වැන්නෙන් 08 වැන්න ඔබේ ලග්නයෙන් 05 වැන්න වන අතර එහි අධිපතියා 12 වැන්නට පිවිසීම රැකියාව පිළිබඳව ඉහත කී අනතුරුදායක බව බලවත් ලෙස තහවුරු කිරීමකි. එමෙන් ම 02 වැන්නාධිපති වූ ගුරු 12 වැන්නට යෑම ඔබේ තැන්පත් ධනය සහ පවුල් සංස්ථාව කෙරෙහි දුෂ්කර සිදුවීම් ජනිත කරවන්නකි.
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට ඉතා සීරු මාරු වසරකි. එහෙත් දෛවය වෙනස් කළ හැකිය. කළු වලා මැද පවා රිදී රේඛා හටගනී. ඔබට දෛවයෙන් ම හිමි වී තිබෙන තද බල ආත්ම ශක්තිය මේ දුෂ්කර කෙටි කාලයේදී යෝධ බල යෝධ සවියක් බවට ඔප් නංවා ගන්න. එවිට ඔබ පරදින්නේ නැත.
# ධනු ලග්නය
ගිනි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයකින් ද යුතු ධනු ලග්නය හිමි ඔබ හැම විට ම තම හෘදය සාක්ෂිය සමඟ ගනු දෙනු කරන අනුකම්පා සහගත චරිතයක් වන මුත් කිසිවකුගේ බලහත්කාරය නොරුස්සන සටන්කාමියෙකි. පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ජීවිතයේ විශාල පසුබෑමකට ගොදුරු විය. ඔබ උපයා ගත් බොහෝ දේ අහිමි කරවන තැනට කටයුතු යෙදිණ. රහසිගත සතුරු කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්විය. එසේ වූයේ ඔබේ ලග්නයෙන් 02 සහ 03 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට පරම සතුරු අඳුරු වෘශ්චික ජල රාශිය හෙවත් 12 වැන්න නම් මර්මස්ථානයේ ගමන් කරමින් ඒරාෂ්ටක තත්ත්වයක් උදා කිරීම ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි.
සෙනසුරු කොයි තැනට මාරක වෙතත් ධනු රාශියේදී නම් දෙවියන් බ්‍රහ්මයන් ලෙසින් ලෝ සතට උපකාර කරන්නට ඉදිරිපත් වෙයි. ධනුව ගිනි රාශි ත්‍රිත්වය අතරින් ශ්‍රේෂ්ඨතම රාශිය වන අතර ම සියලු සුබ ග්‍රහයන් අතර ශ්‍රේෂ්ඨ වන ගුරු ග්‍රහයාගේ මූල ත්‍රිකෝණ රාශිය ද වෙයි. ආධ්‍යාත්මික ග්‍රහයන් අතර ගුරු සහ සෙනසුරු ප්‍රමුඛවන අතර ඔවුන් දෙදෙනා පංච බල නියමය අනුවද අතිජාත මිතුරන් වෙයි. මේ නිසා සෙනසුරු ධනු රාශියේ ගමන් ගන්නේ ගුරු ග්‍රහයාගේ බලය ද තමා වෙත ආරෝපණය කැර ගනිමිනි. එහෙයින් සෙනසුරු ලග්න ඒරාෂ්ටකය පිළිබඳව කිසිදු ධනු ලග්න හිමියකු බිය විය යුතු නොවේ. එහෙත් ඔබේ ජීවිතයේ අති දැවැන්ත පරිවර්තනයක් 2017 ජනවාරි 26 දා සිට ආරම්භ වෙයි. භාරධූර වගකීම් ඔබ මත පැටවෙයි. කාර්‍ය බහුලබව පීඩාකාරී විය හැකි මට්ටම ද ඉක්මවා යයි. ශාස්ත්‍රීය පර්යේෂණයන් සහ පැරණි රහස් ගවේෂණය කිරීමේ අවස්ථා උදාවෙයි. කොටින් ම ඔබට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් නැති කරවන තැනට කටයුතු සැලසෙයි.
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර වායු බලැති යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එතැන ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයකි. මේ සමඟ ම යුරේනස් සහ සෙනසුරු අතර අංශක 120 සුබ දෘෂ්ටි සංයෝගයක් හට ගනී. ඒ ඉතා බලවත් පිහිටීමකි. මේ අතර සිංහ ගිනි රාශියේ සිටින රාහු ග්‍රහයා සමඟ යුරේනස් සහ සෙනසුරු නැවත අංශක 120 දෘෂ්ටි සංයෝගයක් නිර්මාණය කරයි. මේ අනුව ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 1-5-9 යන අති ප්‍රබල ත්‍රිකෝණ බල මධ්‍යස්ථාන වන ගිනි රාශි ත්‍රිත්වය ම ඒවාට අති මිතුරු ප්‍රතිපෝෂක වායු ග්‍රහයන් තිදෙනා විසින් උත්තේජනය කරනු ලැබේ. මේ ඉතා ම කලාතුරකින් හටගන්නා සංසිද්ධියකි. 2017 ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට මුල පුරන අවස්ථාවක් වෙයි. ඒ වෙනස ඔබේ මනස - සිතිවිලි පෞරුෂය - බුද්ධිය සහ ප්‍රඥාව - ක්‍රියාශූරත්වය - සහ සමාජ සබඳතා ආදී සෑම සියලු දෙයක් පාසාම විප්ලවීය පරිවර්තනයකට මුල පුරයි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ජලකාරක කටක මර්මස්ථානයට පිවිසීම තරමක් පීඩාදායක ය. අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම මගින් එකී පීඩාව අවම කැර ගත හැකිය. එහෙත් එතැන් සිට එන වසර එක හමාරක කාලය පරෙස්සම් විය යුතු ය. ගින්දර විදුලිය වස විස සර්පයන් සහ හදිසි අනතුරු ආදියෙන් ඇතිවිය හැකි පීඩාවන් ද ගංගා සමුදුරු ජලාශ ආදියේ ක්‍රියා කිරීමෙන් ද ඇති විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්විය යුතු ය. ඇදුම වැනි සහජ අසාත්මිකතා ආශ්‍රිත රෝගයන් ගෙන් පෙළෙන අය ද විශේෂයෙන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වගබලා ගැනීම මැනවි. රාහු 08 වැන්නට ඒමෙන් රැකියාව ආශ්‍රිත අනපේක්ෂිත වාසි සහ ජයග්‍රහණයන් භුක්ති විඳීමට අවස්ථාව උදා වන්නා සේම මෙතෙක් රැකියාව ආශ්‍රිතව පැවති බලවත් පීඩාවක් ඉවත්වීමත් සිදුවේ. ඔබට අහිමි කරන ලද තනතුරු වරප්‍රසාද පාරිතෝෂික යනාදිය වන්දි සමඟ ම නැවත හිමිවන කාලයකි. 
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 11 වැන්න වූ ඔබට පරම මිතුරු වායු බලැති තුලාවට පිවිසීම මහා භාග්‍යමත් කාලයක ආරම්භය වෙයි. එවිට යුරේනස් සහ ගුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගැනීම ද අභියෝගාත්මක වෙයි. කෙටි කාලීන කැළඹීමක් හටගත හැකි මුත් මේ පිහිටීම සපුරා ම බුද්ධි විප්ලවයක් බවට පත්ව ඔබ විසින් ලෝකයට නවතම නිර්මාණ දායාධ කරන අතර ඒ වෙනුවෙන් පතළ කීර්තියක් දිනා ගැනීමේ අවස්ථාවද උදාවෙයි. පර්යේෂකයන්ට සහ විද්‍යා කලා ශාස්ත්‍ර පිළිබඳ නව නිර්මාණකරුවන්ට මේ ස්වර්ණමය අවස්ථාවක් වෙයි. 
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ධනු ලග්නයෙන් උපන් ඔබ විශිෂ්ටයකු බවට පත් කරවන ජයග්‍රාහී වසරකි.
# මකර ලග්නය
අනම්‍ය තද පඨවි බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් මකර ලග්නය හිමි ඔබ කොතැන ගියත් තම අයිතිය සහ බලය තහවුරු කැර ගැනීමට උත්සුක වෙයි. අඩුවෙන් ම දීමට සහ වැඩියෙන් ම ගැනීමට පුරුදුව සිටින ඔබ පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඒ දෙ අංශයෙන් ම සාර්ථක වූ අතර ජීවිතයේ ලබාගත හැකි ඉහළ ම තනතුරු ආදියට ද නිතරගයෙන් පත්විය. ගෙවුණු වසර දෙක හමාරක කාලය ඔබේ ජීවිතයේ වසර 30 කට වරක් උදාවන ස්වර්ණමය අවස්ථාවක් විය. ඊට හේතු වූයේ ඔබේ ලග්නාධිපති වූ සෙනසුරු ඔබට පරම මිතුරු 11 වැන්න හෙවත් වෘශ්චික ජල රාශියේ ගමන් කිරීම ය.
සෙනසුරුගේ වෘශ්චික රාශි ගමන ලෝකයට ම පීඩාදායක වුවත් මකර ලග්න හිමියන් රාජකීය ලීලාවකට පත්වූයේ ඒ නිසාය. එහෙත් 2017 ජනවාරි 26 දායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ රාජකීයත්වයේ රශ්මි මාලාව මලානික වෙමින් යන්නේ ඔබේ ලග්නාධිපති ඔබට සතුරු ධනු ගිනි රාශියේ ගමන් ගනිමින් ලග්න ඒරාෂ්ටකය ආරම්භ කරන හෙයිනි. ධනුව ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ මර්මස්ථානයකි. එහෙයින් ඔබගේ අනම්‍ය තද ස්වරූපය ඉදිරි කාලය සඳහා වලංගු නොවන බව වටහාගත යුතුය. එමෙන් ම මෙතෙක් පැවති ඒ නිසර්ග අහංකාර උද්ධච්ච ස්වරූපය විසින් ඔබේ සමාජ ප්‍රතිරූපය අනුවණ බියගුළු ස්වරූපයකට රූපාන්තරණය කැර ඇති බැව් ඔබ පසක් කොට ගන්නේ ඉදිරි වසර හතහමාරක කාලයේදී ය. සෙනසුරු ඔබේ ලග්නයෙන් 12 වැන්නේ ගත කරන වසර දෙක හමාරක කාලය බුද්ධිමත් ලෙස යොදා ගතහොත් ඔබට ජීවිතයේ මග හැරුණු වටිනා පාඩම් ඉගෙන ගත හැකිය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතා අඩු දැනුමකින් ලොකු වැඩ මවා පෙන්වීම මකර ලග්න හිමියන්ට ආවේණික පුරුද්දකි. එහෙත් දැන් ඔබට ඇත්තට ම වැඩ ඉගෙන ගැනීමට සිදුවෙයි. මක් නිසාද යත් ඔබේ ලග්නාධිපති 12 වැන්නේ මර්මස්ථානයේදී ඔබේ සැබෑ ස්වරූපය අනාවරණය කරන හෙයිනි. ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබ ඔබට ම අවංක වීමෙනි. මෙවර සෙනසුරු විසින් ඔබට ඒ පාඩම කියා දෙයි. 
2017 අප්‍රේල් 08 දා යුරේනස් ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ සතුරු ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙයි. එතැන් සිට ඔහු ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ වායු බලැති තුලා රාශිය දකී. මේ ඔබේ රැකියාව පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක ආරම්භයකි. සෙනසුරු තුලා රාශියට පැමිණි 2011 නොවැම්බර් සිට මේ දක්වා වූ කාලය රැකියාව සම්බන්ධයෙන් ඔබ වේගවත් ප්‍රගතියක් අත්කැර ගැනීමේ ආරම්භක අවස්ථාව වෙයි. එහෙත් සෙනසුරු 12 වැන්නේ සිටියදී ම වායු බලැති යුරේනස් විසින් 10 වැන්න කෙරෙහි අංශක 180 දෘෂ්ටිය පතිත කිරීම ඔබේ රැකියාව කෙරෙහි දැඩි පීඩනයකි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ පරම මිතුරු කටක රාශියට ගමන් කරයි. ලග්නයෙන් 08 වැන්නේ සතුරු සිංහ රාශියේ ගමනට වඩා 07 වැන්නේ මිතුරු කටකයේ රාහු ගමන ඔබට හිතකර නොවේ. විවාහය - සහකරු හෝ සහකාරිය - සමාජ සබඳතා - හවුල් කටයුතු යනාදිය ආශ්‍රිතව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙයි. ඔබේ පෞරුෂයට ද එමගින් ඇති කරන්නේ හානිදායක බලපෑමකි. අතිධාවනකාරී නොවී ආත්ම දමනය ඇති කැර ගත හැකිනම් මේ තත්ත්වය අවම කැර ගත හැකිය. අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත සජ්ජායනා කිරීම ඉතා ප්‍රශස්ත වෙයි. 
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් කිරීමද සුබදායක නොවේ. ඔහු ඔබේ ලග්නයෙන් 03 සහ 12 අධිපතියා ය. රැකියාවේ නියත වෙනසක් එමඟින් නිවේදනය කරයි. එහෙත් ගුරු නෛසර්ගික සුබ ග්‍රහයකු වන හෙයින් ඔබව සොලවනවා මිස වට්ටන්නේ නැත. කෙටි සංචාර සහ විදේශ ගමන් බහුල වෙයි. ඒවායින් ලාබ ප්‍රයෝජන හිමිවෙයි. 
සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට දැඩි අභියෝගාත්මක වර්ෂයකි. දෛවය සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ වූ මේ ප්‍රායෝගික පරීක්ෂණය දුෂ්කරය. එහෙත් ඔබට එය ජයගත හැකිය.
# කුම්භ ලග්නය
වායු බලයෙන් ද මන්දවේගයෙන් ද ආත්ම කේන්ද්‍රීය මනසකින් ද යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබ හැම විට ම ඔබගේ ම න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන පුද්ගලයෙකි. ඕනෑ ම ජීවන ජවනිකාවක තිර රචනය ද අධ්‍යක්ෂණය ද ප්‍රධාන නළුවා ද ඒ සියල්ලෙහි විචාරකයා ද ඔබ ම මිස අන් කිසිවකු නොවේ. එහෙත් ඔබේ නිර්මාණය සමාජයේ ජනප්‍රිය වෙයි. සිතූ දේ කෙසේ හෝ ඉටු කැර ගන්නා හිතුවක්කාරයකු වූ ඔබට පසුගිය වසර දෙක හමාරක කාලයේදී සිදුවූයේ කුමක් ද ? ඔබේ රැකියාව සහ රැකියා ස්ථානය ඔබට වධක භූමියක් හා සමාන විය. ඔබට ලැබිය යුතු තනතුරු සහ වරප්‍රසාද නො ලැබී ගියා පමණක් නොව ඔබේ නිර්මාණාත්මක ක්‍රියා කෞෂල්‍යයට දොර මුල්ලේ තැබූ කොස්ස තරම් වත් වටිනාකමක් හිමි වූයේ නැත. ඇතැම් විට දැනටත් ඔබ රැකියාව අහිමි වූවෙක් විය හැකිය. මෙසේ සිදු වූයේ ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට සතුරු විසකුරු අඳුරු වෘශ්චික රාශියේ ගමන් ගැනීම නිසා ය. ඔබේ ක්‍රියා කෞෂල්‍යය සහ රැකියාව නිවේදනය කරන 10 වැන්න එයින් බලවත් පීඩාවකට ලක්විය. එහි අනෙක් විපාකය වූයේ ඔබේ අයමාර්ග සියල්ල අවහිර වීමය. එහෙත් 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට අති මිතුරු ගිනි රාශිය වූ ධනුවට පැමිණෙයි. ධනු රාශිය ඔබේ ලග්නයෙන් 11 වැන්න හෙවත් සියලු සුබ යෝග ක්‍රියාත්මක කරවන රුවන් දොරටුවයි. ඉදිරි වසර දෙක හමාරක කාලය වසර 30 කට පසුව උදාවන ස්වර්ණමය අවස්ථාවකි. අහිමි වූ රැකියා - තනතුරු - උසස්වීම් සහ ඊට හිමි සියලු වරප්‍රසාද වන්දි සමඟ ම ඔබට නැවත හිමිවෙයි. සියලු අතින් ම ඔබ බලවත්වන අතර නව ආදායම් මාර්ග විවෘත වෙයි. මේ කාලයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගත යුතු ය. 
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වු ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එවිට ඔබේ ලග්නයේ 11 සහ 03 යන කාම ගිනි ත්‍රිකෝණයේ තැන්පත් සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ප්‍රබල දෘෂ්ටි සංයෝගයක් හටගනී. ඔබ නිරත ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ එහි විශිෂ්ටයකු බවට පත්වෙයි. එක් පැත්තකින් ප්‍රසිද්ධියත් අනෙක් පැත්තෙන් ධනයත් ගලා එයි. ඔබ විද්‍යා තාක්ෂණ පරිගණක හෝ ලේඛන මුද්‍රණ හෝ විදුලිය - හෝ ගුවන් යානා සම්බන්ධ ක්ෂේත්‍රයක නිරත වන්නෙක් නම් මේ සුබ ඵල උපරිම වෙයි. ඔබේ කේන්දරයේ ප්‍රබල ම සුබඵල දෙන ගිනි රාශි ත්‍රිත්වය වූ මේෂ - සිංහ - ධනු යන බල මධ්‍යස්ථාන එක් විටම යුරේනස් - සෙනසුරු - රාහු යන වායූ ග්‍රහයන් වෙතින් උත්තේජනය වීම අතිශය කලාතුරකින් සිදුවන්නකි. මේ ඔබේ ජිවිතයේ එක් වරක් පමණක් යෙදෙන අවස්ථාවකි. එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. දේශපාලනයේ නිරත කුම්භ ලග්න හිමියන් ද මේ වාසනාවන්තයන් අතරට එක්වෙයි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ජල බලැති කටක රාශියට පිවිසෙයි. 06 වැන්න රාහු ග්‍රහයා ඉතා බලවත්වන ස්ථානයකි. ඔබේ සතුරන් භීතියට පත් කරවමින් ඔබේ යසස පැතිරෙයි. විදේශ ගමන් - විදේශ රැකියා - විදේශ ශිෂ්‍යත්ව ආදිය ආයාසයකින් තොරව ලබාගත හැකිවෙයි. විවාහය සහ සමාජ සබඳතා - හවුල් ව්‍යාපාර යනාදිය ආශ්‍රිතව මෙතෙක් පැවති පීඩනය ද අවසන් වෙයි. මේ සමඟ ම ජල රාශියක සිටින රාහු සහ ගිනි රාශියක සිටින සෙනසුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. කෙටි කාලීන පීඩනයක් වුවත් දිගුකාලීනව එය ඔබට වාසි සහගත ය. 
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ වායු බලැති තුලා රාශියට පැමිණීම අතිශය සුබදායක ය. එමගින් ඔබේ කේන්දරයේ 1-5-9 යන වායු බල ත්‍රිකෝණය තුළ විශිෂ්ට බලයක් ගැබ්වෙයි. සමාජයේ උසස් ම තනතුරු හොබවන බලවතුන් - රාජ්‍ය නායකයන් - සහ ආගමික උතුමන් වෙතින් පිහිට ආරක්ෂාව ලබයි. මේ සමඟ ම ඔබේ රැකියාවේ කැපී පෙනෙන වෙනසක් හට ගනී. 
සමස්තයක් වශයෙන් 2017 වර්ෂය කුම්භ ලග්නය හිමි ඔබට දෛවයෙන් ලැබෙන අසිරිමත් ම කාල පරිච්ජේදයක් වෙයි.
# මීන ලග්නය
ජල බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුතු මීන ලග්නයෙන් උපන් ඔබ නිසල විලක් බඳුය. සියල්ල කෙරෙහි අධි සංවේදීවන මුත් දිය මතුපිට සිහින් රැළි තරංගයක් වත් නංවන්නේ කලාතුරකිනි.එහෙයින් සමාජයට ඔබ පෙන්නුම් කරන්නේ විදග්ධ තාපස චර්‍යාවකි. නමුත් ඔබේ අභ්‍යන්තර කැළඹීම සුනාමියක් තරම් ප්‍රවේගකාරීය.පිටින් පෙන්වන විදග්ධ තාපස වෘතය යටින් ඇත්තේ නොතිත් ආශාවන් පිළිබඳ අතෘප්තිය යි. මෙන්න මෙයයි ඔබේ දෙබිඩි ස්වභාවය. වරෙක තියුණු සහජ බුද්ධියකින් තැන්පත්ව ක්‍රියාකරන ඔබ වරෙක බේබදු රස්තියාදුකාරයකු මෙන් වගකීම් විරහිතව ක්‍රියා කරයි. එළඹෙන 2017 වර්ෂයේදී ඔබට මේ ද්විත්ව රංගනය අතහැර එක් චරිතයක් පමණක් තෝරා ගන්නට දෛවය විසින් බල කරනු ලැබේ. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 10 වැන්න හෙවත් ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පැමිණෙන සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ ක්‍රියා කෞෂල්‍යය කෙරෙහි ඉතා අහිතකර පීඩනයක් ඇති කරනු ලැබේ. එහෙයින් ඔබ නිසර්ගයෙන් ම ඔබට උරුම තැන්පත් බුද්ධිමත් විචක්ෂණශීලී භූමිකාව බදා අල්ලා ගත යුතු අතර වගකීම් විරහිත ගොහොදු චරිතය ජීවිතයෙන් ම පන්නා දැමිය යුතුව තිබේ.මීට වසර 29 කට පෙර ඔබ කිසියම් කම්පනයකට ගොදුරු වූයේ නම් ඒ හා සමාන කම්පනයකට ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු මේෂ ගිනි රාශියට පැමිණෙයි. ඔබේ තැන්පත් ධනය සහ කුටුම්බය කෙරෙහි ඉන් ඇති කෙරෙන්නේ අනර්ථයකි. එහෙයින් ඉදිරි සත්වසරක කාලය ඔබ අලුත් ආයෝජන කෙරෙහි යොමු නොවීම වැදගත් ය. ඔබේ වචන සහ ආහාර පාන රටාව ඔබට ම එරෙහි සතුරෙක් විය හැකි හෙයින් ඒ දෙකම පමණ දැන භාවිතා කිරීම ද අත්‍යවශ්‍ය වේ. 10 වැන්නේ සෙනසුරු සහ 02 වැන්නේ යුරේනස් අතර හට ගන්නා අංශක 120 දෘෂ්ටිය ඔබට ඉතා විසකුරු ය. යුරේනස් ඔබේ කේන්දරයේ 12 වැන්නේ මර්මස්ථානයේ නිවේදකයා වන අතර සෙනසුරු 11 වැන්නේ අධිපතියා ය. කෙසේ නමුත් අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත මේ සඳහා ඉතා හොඳ පිළියමකි. 
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයේ බලවත් ස්ථානයක් වූ 06 වැන්න අතහැර 05 වැන්න වූ ඔබට පරම මිතුරු කටක රාශියට පැමිණීම ද අහිතකරය. ඔබ අවිවාහකයෙක් නම් ඔබේ ප්‍රේම සබඳතා ආදියෙහිදි ආවේගශීලී නොවීමට වග බලාගත යුතුව තිබේ. එමෙන් ම ඔබේ චරිතය කිළිටි කරවන ලිංගික සබඳතා ඇතිවිය හැකි බවද මතක තබා ගත යුතුය. අධ්‍යාපන සහ විභාග ආදී ඉගෙනීමේ කටයුතු විසිරී යා නොදී රැක ගැනීමද ඔබේ වගකීමකි. 
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයේ සම අධිපති ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ඔබට සතුරු වායු බලයෙන් යුත් මර්මස්ථානයට පැමිණෙයි. වධකාගාරයේදී කුමන බලවතකු වුව අසරණ වන්නා සේ මහ බලවත් ගුරු ග්‍රහයා ද 08 වැන්නේදී දුබල වෙයි. මෙය ද ඔබට දැඩි පීඩනයකි. ගිනි රාශියක සිටින යුරේනස් අංශක 180 අසුබ දෘෂ්ටියකින් ඔබේ ලග්නයේ 08 වැන්න සහ ලග්නාධිපතියා පීඩනයට පත් කිරීම අනතුරුදායක ය. රුධිරගත මේදය - ගින්දර - පුපුරන ද්‍රවය - වස විස - සහ විදුලිය යනාදියෙන් අනතුරු ඇතිවිය හැකි හෙයින් පරෙස්සම්වන්න.
සමස්තයක් වශයෙන් ගත් කළ මීන ලග්නයෙන් උපන් ඔබට 2017 වර්ෂය යනු සංග්‍රාම භූමියක් මැදින් නිරායුදව යන ගමනක් හා sසමාන එයි. එහෙත් උපාය ඥානයෙන් මේ දුෂ්කර අවස්ථාව ජයගත හැකිය .
-කේ.සී.ජේ.රත්නායක
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Wednesday, January 11, 2017

මොලමුරේ වලව්වට වැදුණේ පනාමුරේ ඇතා මාරූ සාපයද ? හූනියමක්ද ? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - molamure walwwa panamure ath raja හොල්මන් කතා. holman katha)

රත්නපුර – ඇඹිලිපිටිය මහා මාර්ගයේ මාදම්පේ මංසන්ධියට නුදුරින් වැටී ඇති පටු ගම්සභා මාර්ගය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘පනාවල පාර’ යන සරල යෙදුමෙනි. විවිධ තරාතිරමේ ජනී ජනයා වෙසෙන ජනාවාස අතරින්ද, සුන්දර වෙල්යායන් මැදින්ද වැටී ඇති මෙම මාර්ගයට මුහුණලා නැඟී සිටින්නේ ප්‍රතාපවත් මන්දිරයකි. අව් – වැසි ආදී ස්වභාවධර්මයාගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට ලක්වෙමින්ද, ලඳු කැලෑව විසින් ගිලගනිමින්ද පවතින මේ මහා මන්දිරයේ අතීතයේ තිබූ තේජාන්විත බව නම් තවමත් සහමුලින්ම ඉවත් වී නොමැත. අක්කර විස්සක පමණ වපසරියකින් යුත් සුවිසල් ඉඩම පුරා නිදහසේ වැඩුණු අඹ, කොස්, දෙල්, රඹුටන්, බුරුත, මිල්ල ආදී රූස්ස ගස් පෙළකි. හිරු එළියට පවා නිදහසේ ඇතුළු වීමට ඉඩ නොදෙන වනවදුල මේ භූමියේ සැඟවී ඇති රසවත් ඉතිහාසය වසාගෙන ඇතැයි සිතේ.
ප්‍රදේශයේ වෙසෙන සෑම දෙනාම මෙම අඩක් ගරාවැටුණු ගොඩනැඟිල්ල හඳුන්වන්නේ ‘මාකඳුරේ වලව්ව’ යනුවෙනි. ඒ වටා විහිදුණු ඉඩම වලව්වත්ත නමින් ප්‍රකටය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ අධිනීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට සෙවණ දුන් අටකලන්පන්නේ පිහිටි මාකඳුරේ වලව්ව මෙසේ ගරා වැටෙමින් පවතින්නේ අප රටේ අතීත දේශපාලන හා සමාජයීය වශයෙන් රසබර තොරතුරු රැසක්ද සමඟින් වීම අතිශය ඛේදජනකය.
මඩුවන්වෙල වලව්වේ උරුමය
ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කළු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය. වර්ෂ 1950දී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනා අතරද මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේදී ඍජුවම චෝදනාව එල්ල වූයේද ප්‍රැන්සිස් මොලමුරේටය.
තම වර්ගයා වෙනුවෙන් සටන් වැද වෙඩි කා මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් පනහ දශකයේ රට පුරා විරෝධතා ව්‍යාපාර රැසක් දියත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ මින් මතුවට ලංකාවේ අලි ගාල් බැඳීම සපුරා තහනම් වීමය. මොලමුරේ පවුලට විරුද්ධව එකල කවි කොළ පවා මුද්‍රණය වූ අතර ඒවා උණු කැවුම් මෙන් ජනතාව අතර අලෙවි වී තිබේ.
බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ ප්‍රභූ පැලැන්තියේ විනෝදාංශයක් වූ වල් අලි ගාල් කිරීමේ කටයුත්තට ප්‍රැන්සිස් මොලමුරේ මහතා සම්බන්ධ වූයේද හෙතෙම දැඩි විනෝදකාමී පුද්ගලයකු වීම නිසා බව පැවැසේ. පනාමුරේ අලි ගාල් කරන ස්ථානය සියලු පහසුකම්වලින් සමන්විත කුඩා නගරයක සිරිගත් බව පැරැන්නෝ පවසති. අලි ගාල් කරන දිනවලදී මොලමුරේ මහතා ඇතුළු ඔහුගේ දෙස් – විදෙස් මිතුරන්ට නවාතැන් ගැනීම සඳහා අලි ගාලට නුදුරින් විශේෂ නවාතැන්පොළක් ඉදිකිරීමද සිරිතය. මෙම නවාතැන්පොළ එදා පනාමුරේ වැසියන් හඳුන්වා දී ඇත්තේ ‘ඇතින්නියන්ගේ ගාල’ යනුවෙනි. ඒ එහි සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබඳ හුදී ජනයාට ඉඟියක් ලබා දීමට විය යුතුය.
පළමු මන්ත්‍රීවරියත් මොලමුරේ පවුලෙන්
මෙරට කාන්තාවක් ප්‍රථම වරට මැති සබයට තේරී පත්වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටය. ඒ 1931දීය. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ ඇඩිලින් මීදෙණිය මහත්මිය මෙසේ ලංකාවේ ප්‍රථම මන්ත්‍රිවරිය වූ අතර පසු කලෙක ඇය ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රියම්භිකාව වූවාය. ඇඩිලින් මීදෙණිය, ඇඩිලින් මොලමුරේ වූ අතර ලංකාවේ ප්‍රථම කතානායකවරයාගේ බිරිය ලංකාවේ පළමු මන්ත්‍රිවරිය වීමද ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට තරග කළ අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ සමසමාජ පක්ෂයේ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාය. එන්. එම්. රුවන්වැල්ල ආසනය ඉහළින්ම ජය ගත් අතර ඇඩිලින් මොලමුරේද සෙනෙට් සභාවට පත්වී එහි සභාපති පදවියටද පත්වූවාය. ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩිලින් මොලමුරේ යුවළ දිගු කලක් දිවි ගෙවූයේද පෙර සඳහන් අටකලන්පන්න මාකඳුරේ වලව්වේය.
එකල ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වූ කවි කොළකාරයන්ගෙන් මොලමුරේ මහතාට ගැලවිල්ලක් නම් නොවීය. මඩුවන්වෙල දිසාවේගේ බූදලයේ හිමිකරුවා වූ මොලමුරේ මහතා කොළඹ ඉම්පීරියල් බැංකුවේ තැන්පත් කර තිබූ මඩුවන්වෙල දිසාවේගේ බූදලයෙන් මුදල් ලබා ගැනීමේදී වංචාවක් සිදු කළ බවට එදා කවි කොළ මඟින් රට පුරා ප්‍රචාරයක් ඇති විය. ඊට හේතු වූයේ ඉම්පීරියල් බැංකුවෙන් රු. 22,000ක් ලබා ගැනීම සඳහා රත්නපුර දිසා අධිකරණයෙන් අනුමැතිය ලබා ගත් මොලමුරේ මහතා බැංකුවෙන් 55,000ක මුදලක් ලබා ගැනීමය. අධිකරණයෙන් අවසර දුන්නාට වඩා මුදලක් බැංකුවෙන් ලබා ගැනීමේ චෝදනාවද මොලමුරේ මහතාට එල්ල විය.
පනාමුරේ ඇතා මරද්දී කතානායක
පනාමුරේ ඇත්ගාලේදී පනාමුරේ ඇතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රැන්සිස් මොලමුරේ මහතා මෙරට ප්‍රථම කතානායක ධුරය දරමින් සිටියේය. පනාමුරේ ඇතාට වෙඩි තබා මරා දැමීම රටවැසි බොහෝ දෙනාගේ සංවේගයට හා අප්‍රසාදයට ලක්ව තිබුණු අතර කතානායකවරයාට පහර ගැසීමට ඔහුගේ ප්‍රතිවාදීහු යුහුසුලු වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ වාමාංශික දේශපාලන නායකයකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාය. ඔහු පනාමුරේ ඇතාට වූ අසාධාරණය තේමාව කර ගනිමින් රට පුරාම විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කළේ හතු පිපෙන්නා සේය. එකල පළවූ පුවත්පත්ද මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර කවි කොළකාරයන්ගේද හොද්ද බොර වූ බව පැවැසේ.
රට පුරා නැඟුණු විරෝධතා උත්සන්න වූයෙන් වගකිවයුත්තන් ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද මොලමුරේ මහතාට සිදුවිය. අවසානයේ එන්. එම්. පෙරේරා, මහාචාර්ය ගුණපාල මලලසේකර ආදීන් නායකත්වය දුන් උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර නතර වූයේ මින්පසු ශ්‍රී ලංකාව තුළ අලි ගාල් පැවැත්වීම තහනම් යන නීතිය පැනවූවාට පසුවය. පනාමුරේ ඇතාගේ ඝාතනයෙන් පසුව මොලමුරේ පවුලට රට පුරා අප්‍රසාදය එල්ල වුවද මහජන නියෝජිතවරියක ලෙස ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට අතිමහත් සේවාවක් සිදු කළ බව ජනතාව සිහිපත් කරන්නේ දැඩි සේ කෘතවේදීවය.
ජනතාවාදී දායකයෙක්
අටකලන්පන්න, මාකඳුර වලව්වේ වාසය කරන කාලය තුළදී ද ප්‍රැන්සිස් මොලමුරේ මහතා මාකඳුර ප්‍රදේශයේ ජනතාව සමඟ බොහෝ ළෙන්ගතුව කටයුතු කර තිබේ. මාකඳුරේ, වේහැල්ලක මුදලින්දාරාම විහාරස්ථානය සමඟ ඉතා සමීප දායකයකු ලෙස කටයුතු කළ හෙතෙම වලව්වේ සිට එම විහාරස්ථානය වෙත සෑම මසකම දන් වතාවත් රැගෙන ගොස් තිබේ. එසේම මඩුවන්වෙල වලව්වෙන් තමන්ට උරුම වූ කෞතුක වටිනාකමක් ඇති ගෘහ භාණ්ඩ මෙන්ම පිත්තල පහන්, පිඟන්, කෝප්ප ආදී බොහෝ දේ මොලමුරේ මහතා විසින් මාකඳුරේ විහාරස්ථානයට පූජා කර තිබේ.
පනාමුරේ ඇත්ගාල
මාකඳුරේ වලව්ව හා මුදලින්දාරාමය අතර පැවැති සමීප සම්බන්ධතාව කෙතරම්ද යත් වලව්වේ ඇත්තන් උදේ සවස බුදුන් වැඳීම සඳහා පන්සලට පැමිණි වෙනමම මාර්ගයක් අදටත් වලව්ව හා පන්සල අතර මනාව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා හා සම්බන්ධ ලිපි – ලේඛන රැසක් අදටත් මාකඳුර විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී. මොලමුරේ මහතාගේ අන්තිම කැමැති පත්‍රයද එම ලියවිලි අතර සුවිශේෂය.
මාකඳුර, වේහැල්ලක මුදලින්දාරාම විහාරාධිපති පූජ්‍ය රංගේගම නන්දසිරි හිමියන් ඒ අපූරු අතීතය සිහිපත් කරන්නේ මෙසේය.
ඇතා මැරූ සාපය වැදුණාද ?
‘මාකඳුරේ වලව්වයි, අපේ පන්සලයි බොහෝම සම්බන්ධයි. ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයා පනාමුරේ ඇතාට වෙඩි තිබ්බට පස්සේ බොහෝම කලකිරීමෙන් හිටියේ. ඒ නිසා එතුමා ආගමට, දහමට බොහෝම ළැදි කෙනෙක් වුණා. අවසාන කාලයේදී වලව්වේ තිබූ පිඟන් බඩු, ඇඳ, පුටු, මේස පවා පන්සලට පූජා කරල තියෙනවා. අපේ රටේ පළමු කතානායකවරයා වෙච්ච, පනාමුරේ ඇතා නිසා ලෝක ප්‍රසිද්ධ වුණු මොලමුරේ මහතා ජීවත් වූ වලව්වේ අද තත්ත්වය ඉතාම ශෝචනීයයි. කිසිම වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයකු මේ ගැන අවධානය යොමු කර නැහැ. අපේ රටේ එක්තරා යුගයක් කියාපාන මේ වලව්වත්, පළමු කතානායකතුමාගේ සොහොනත් සංරක්ෂණය කළොත් වටිනවා.’
මෙසේ රට පුරා මහත් ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට මැදිවූ අපේ රටේ පළමු කතානායකවරයාගේ හදිසි අභාවය සිදුවන්නේද සුවිශේෂී අන්දමටය. වර්ෂ 1952 ජනවාරි 22 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරේදීම කතානායක ප්‍රැන්සිස් මොලමුරේ මහතා උත්තරීතර කතානායක අසුන මතදීම අවසන් හුස්ම හෙළීය.
මොලමුරේ මහතා කතානායක අසුන මතදී හිටිහැටියේ මැරී වැටුණේ ඔහුගේ විරුද්ධවාදියකු විසින් සිදු කළ හූනියමක් නිසා බව එදා දේශපාලන කරළියේ පැතිරී ගිය ප්‍රසිද්ධ රහසකි. එහෙත් රටේ ඇතැමෙක් ඔහුගේ අභාවය දුටුවේ පනාමුරේ ඇත් රජුට කළ අපරාධය මෙලොවදීම පලදීමක් හැටියටය.
මෙවැනි අතීත, දේශපාලන හා සමාජයීය රසවත් සිදුවීම් රැසක් හා බැඳුණු අටකලන්පන්නේ මාකඳුරේ වලව්ව බිමට සමතලා වීමට නොදී රැක ගැනීමට වගකිවයුත්තන් වගබලා ගත යුතුයි.(Mawbima)
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, December 30, 2016

රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද? (අබිරහස් අඩවිය - Abirahas Adawiya - rawana ussangoda)

”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.
උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.
කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.

එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.
පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.
උස්සන්ගොඩ තැනිතලාව
ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)
භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.
උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී.
උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.
ශාක නොවැවෙන රතු පස් කුට්ටියක්
රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.
ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය
.ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පුවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන,අභිලේඛන,චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යයක්.
රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු,ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ ශාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව,එංගලන්තය,ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත. පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා බාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්‍රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ. රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
 'පුෂ්පක' නම්න් ගුවන් යානටක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්‍රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි.පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයකි.
රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි..එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී  වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්,මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්,එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට ශාක්ෂි ඇත.'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද,පාපැදි,අහස් යානා,ගිරි මුදුන් වල සිට පහළට බසින යානා,කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ තිබි ඇත.(ශ්‍රී ලංකා රාජධානිය,පිටු අංක: 108)
 එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රීයා කිරීමත්,වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රීයා කිරීමත්ය.
සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි.එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි.යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය,නැවැත්වීම,බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත.(රාවණා කතා)
වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ග්වන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර,ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි. 
ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි.(අප හෙළ සිංහල ඉතිහාසය පිටු අංක 7) නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.
කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත.(රාවණ කතා)
"පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.(අපේ හෙළ ඉතිහාසය 5)
මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත.ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට,බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත්,ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත්,විද්වතුන්ගේ අදහසකි.
රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි.තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය.ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත.නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ  මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද  සංචාරයේදී .කරඳහෙල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය.(රාවණ පත්‍රය පිටු:30) 
රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත්'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ.(නව නුවණ පිටු1942:පිටු 18) 
මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.(රාවණ කතා)‍

බිම් කොට ගිං තොට දක්වා          බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ          නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ'     නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ       ඇමැති 

දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි. මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්,භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්,සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්,ආචාර්ය ඔබේසෙකර කියයි.මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් ‍හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට්  සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි. සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන්  වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය.මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය.මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක පවා පළවී තිබිණ.
මෙය මව්බිම පත්‍රෙයන් උපුටා ගන්නා ලදී...
රාවනා රජුගේ ඥාති පරපුර
 ‍                                                                        පුලස්ති
රාවණා රජුට පරම්පරාවක් හා ඥාතීන් සමුහයක් ඇත්තා සේ ප්‍රධාන  චරිතයන් වන රාමා, සීතා,ලක්ෂ්මන,හනුමන් යන අයට පරපුරක් හෝ ඥාතීන් නොමැත.එමෙන්ම රාවණා රජු මින් වසර අට දහසකට හෝ පෙර සිටි බවට ආයුර්වේද ඉතිහාසයේ සදහන්ය.නමුත් රාම කුමරු සිටි අයෝධ්‍යාව ජනාවාසයක් වී ඉතිහාසයට එකතුවන්නේ භාරතීය සොළොස් මහා ජනපද යුගය වූ ක්‍රී. පුර්ව 8වැනි සියවස පමණ කාලයෙදීය.ඒ අනුව අයෝධ්‍යාවේ රාම කුමරුවකු  හා ලංකාපුරයේ රාවණා සමකාලීන නොවන්නේය. රාම කුමරු විෂ්ණුගේ හයවැනි අවතාරය බව රාමායනයේ සදහන්ය.සීතා ඕපපාතිකව (මවක හා පියෙකු නැතිව) නඟුල් මිටෙන් ඉපදුනි.ලක්ෂ්මණ දසරථ රජුගේ පුතෙකු පමණි.හනුමන් වඳුරෙකි.රාමා හා ලක්ෂ්මණ සරඟු ගඟට පැන දිවි නසාගති.සීතා  පොළොව පැළුණු විවරයට පැන දිවි නසාගති.සීතාගේ දරුවන් වූ ලව හා කුස ගැන රාමායණ කතෘ කියතුදු ඕපපාතික ගැහැනියකට දරුවන් ලද නොහැක.ඇයද රාමා මෙන්ම අවතාැයක් හෝ මායාවක් පමණක් විය හැක.දෑත් දෙපා හා වල්ගය සහිත  හනුමන් ගැන කතා කළ යුතු නැත.එබැවින් මනුෂ්‍ය බව හා ඓතිහාසික බව සනාථවන රාවණා ඥාති පිරිස් ගැන සීමිත තොරතුරු පහත දැක්වේ.
පුලස්ති : පුලස්ති නුවර ලෙස හදුන්වන ලද වත්මන් පොලොන්නරුව තම මධ්‍යස්ථානය කරාගෙන විසුවේ පුලස්ති සෘෂිවරයාය. වා,පිත්,සෙම් ලෙස දක්වන ත්‍රිදෝෂ න්‍යාය වෛද්‍ය විද්‍යාවට හදුන්වා දුන්නේද,හිමාලයේ පැවති ලොව ප්‍රථම වෛද්‍ය සම්මේලනයේ සභාපතිත්වය දැරුවේද පුලස්ති බව සුශ්‍රැත සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථය පවසයි.බ්‍රහ්මගේ මානස දරුවන් (ශිෂ්‍යයන්) 7 දෙනා අතුරින් එක් අයකුවන මොහුගේ විශේෂඥතාව වෛද්‍ය විද්‍යාව විය.එම පරම්පරාවට අයත්  හැම සෘෂිවරයෙකුටම ඖෂධ වනයක් වු අතර පුලස්තිගේ බෙහෙත් වත්ත පිහිටි ස්ථානය ගැන මතභේද ඇත.අනුරාධපුර වෙස්සගිරියේ පිහිටි තෘණබින්දු (තණචොඩග) ඍෂිගේ අසපුවේ බහන වඩද්දී තෘණ බින්දු ඍෂිගේ දියණි"හවිර්ගු" පුලස්ති නිසා ගැබ්ගති.එම දරුවා  විශ්‍රවස් මුණි වේ.මේ අනුව රාවණාගේ සීයා පුලස්ති ඍෂිවරයාය.....
                                                              විශ්‍රවස් මුණි
රාජ්‍යත්වය හිමි වුවද ඔහුගේ පාලන මධ්‍යස්ථානයක් ගැන අසන්නට නැත.ඉහත සදහන් පුලස්තිට දාව හවිර්ගු කුසින් බිහි විය.විසව (විශ්‍රවස්)ගැන සදහන් සෙල්ලිපියක් වෙස්සගිරියේ ඇත.පාතාල රාජ්‍යය හා නිරය (පොළොව යට)වෙසමුණිට අයත් බවත් වෙසමුණි රජුගෙන් වරම් ලැබ අවුත් ගංගා විල් පොකුණු පාලනය කළ දිය රකුසන් හා යකුන් ගැන බෞද්ධ සාහිත්‍යෙයේ අසන්නට ඇත.ජල පාලනයක් වෙසමුණි විසින් කරන්නට ඇති බවට මේ අනුව අනුමාන කළ හැක.රාවණා රජු වෙසමුණිට දාව උපන් අයෙකි.සතරවරම් දෙවියන් අතුරින්  ඔහුද අයෙකු බවට (වෛශ්‍රවණ)බෞද්ධ සාහිත්‍යයේ කියවේ.                                 
                                    මන්දාත නොහොත් දේවයානි
රාවණාගේ මව් පාර්ශවයේ සීයාගේ මවයි.බලි රජුගේ සමයේ ශක්‍ර නොහොත් දේව අධ්‍යාපනයේ ප්‍රධානියා දේවයානිගේ පියාය.විෂ්ණු දෙවියන් වාමනක (අඟුටු මිට්ටා)අවතාරයෙන් අවුත් උපායෙන් බලි රජු පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය විට ඊට විරුද්ධව සටන් කිරීමට  හමුදාවක් හෝ යුද ශිල්පය හෝ යුද අවි නොවීය.මින් සංවේගයට  පත් දේවයානී කාශ්‍යප මුණි වෙත ගොස් දරුවන් තුන් දෙනකු ලද්දීය.ඔවුන් මාලී,සුමාලී හා මාල්‍යවන්ත ලෙස දැක්වේ.එම දරුවන්ට යුද ශිල්ප හා ගුවනින් ගොස් පහරදීම (බොම්බ දැමීම) ඇය පුහුණු කළාය.පත්තිනි හා කාලි ලෙසද දේවයානි හැඳින ගැනීම සිදුවේ.පියාවන ශක්‍ර විසින් ඇත ! ඇත ! ඇත ! යනුවෙන් තුන්වරක් පවසා ඇගේ ගුවන් ප්‍රහාර නවත්වාගත් ස්ථානය ඇතැන්ස්ය යනු (මේ ග්‍රීසියේ නොව වයඹ ඉන්දියාවේය)හින්ඳු පුරාකතාවයි.
 සුමාලී දේවයානිගේ දරුවන් තිදෙනා අතුරින් එක් අයෙකි.මහින්දපුර නොහොත් වැඩහිටිකන්ද ඔහුගේ මධ්‍යස්ථානය විය.රාවණා රජුගේ මවගේ පියා සුමාලි රකුස්  රජුය.ඉන්ද්‍ර දේශයේ ඉන්ද්‍ර රජුගේ පුත් "ජයන්ත" කුමරු පැහැරගෙන ඒම නිසා ඊට දඬුවම් කිරීමට ඉන්ද්‍ර රජු විසින් මහා දේව සේනාවක් සමග කතිර කුමරු එවීය.ඔහු විසින් සුමාලි පරාජය කර මරා ජයන්ත කුමරු ආපසු යවා කතිරගම ඇත්කර එහි පාලනය කළේය.මේ කන්දේ කුමරු (කඳ කුමරු) හා කතරගම මහසෙන් ලෙස සැලකේ.
                                                      මාල්‍යවන්ත
සිංහමුඛ නමින්ද හඳුන්වන දේවයානි පුතකු වන මොහුට පාලනයට පුරයක් නොවීය.රාවණ රජගේ මවගේ (කෛසී) පියාවන සුමාලිගේ සහොදරයෙකි. විශ්වකර්ම නොහොත් "මය" විසින් ලංකාපුරය හා පුෂ්පක යානය සාදා දුන්නේ මාල්‍යවන්ත කුමරු සඳහාය.කතිර කුමරු සටනට ආ විට මාල්‍යවන්ත විසින් ලංකාපුරය හා පුෂ්පක යානය හැරදමා පලා ගියේය.ඉන්පසු ඔහු නැවත ආපසු නො ආවේය. 
                                                       කෛකසී බිසව 
රාවණා රජුගේ මව වන මැය සුමාලී රකුස් රජුගේ දියණියකි. පුෂ්පෝත්කටා යනුවෙන්ද ඇය හැදින්වේ.උත්තම දරුවන් ලැබීම සදහා රජවරුන් විසින් තමන්ගේ දියණිවරුන් හා බිසෝවරුන් ඍෂිවරුන් හා මුණිවරුන් වෙත යැවීමේ මෙකල සම්මතයට අනූව සුමාලී රජුද තම දියණි කෛකසී කුමරිය යවන ලද්දේ අති බලවත් විශ්‍රවස් මුණි වෙතටය.කෛකසී මෙසේ වශ්‍රවස්  මුණිට දාව රාවණා පමණක් නොව කුඹුක්කන් හා සුපර්ණකා කුමරියද ලදුවාය.ඉසුරුමුණි පෙම් යුවළ යනු විශ්‍රවස් හා කෛකසී බවටද මතයක් ඇත.කතරගම අසල පිහිටි "නිල්මල් පැලැස්ස" ඇයගේ පදිංචි ස්ථානය බවට ජනප්‍රවාදයක් එහි ඇත.
                                                        මන්දෝදරී
රාවණා රජුගේ බිසවයි.ඇය ඉතා රූමත් බව හා උස මහතින් යුතු බවද ජනප්‍රවාදයේ එයි.රාවණා රජු වෙත ඉමහත් සෙනෙහසින් යුතු ඇය රජුගේ සියළු රහස් දැන සිටියාය.රාවණායන් මැරිය හැකි ආයුධ තුන හා ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී හා විභීෂණ පමණි.රාවණා රජුගේ මරණින් අසරණ වූ නිසා අනතුරුව රාජ්‍යත්වයට පත් විභීෂණ විසින් ඇය පාවා ගැනීම සිදුවිය.
                                                           සුපර්ණකා
රාවණා රජුගේ සහොදරිය වේ.සුපර්ණකා යන්නෙහි අර්ථය දිගු නිය ඇත්තිය යන්නයි.ඇය විවාහ වී සිටියේ විද්‍යුත්ජීව සමගයි.හෙළදිවින් ගිය වීරඡන්ත කුමරු (ප්‍රාලද රජුගේ පුතා) විසින් ඇති කළ දකුණු ඇමෙරිකාවේ පාතාල ශිෂ්ටාචාරය  මෙවක ස්වාධීනව සිටි නිසා එය යුධ කර යටත්  කර ගැනීමට  රාවණා විසින් යැව්වේ විද්‍යුත්ජීවය.නමුත් ඔහු පරාජය මරණයට පත්කරන ලදී.වැන්ඳඹු වූ සුපර්ණකා දණ්ඩකාරණ්‍යයේ පාලනය  සඳහා යවන ලදී.ඇයගේ රාම කුමරු සමග ගැටුම ඇති වුණේ එහිදීය.රාමායණය පවසන පරිදි තවුස් ඇඳුම්වලින් සැරසී දුනු ඊතලද රැගෙන සිටි රාම ඇතුළු තිදෙනාට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තවුස් ඇඳුම් ඇඳ සිටියද දුනු  ඊතල දරා සිටීමට දණ්ඩකාරණ්‍යයේ අවසර නැති බැවින් දුනු ඊතල බැහැර කිරීමට හෝ නොහැකි නම් දණ්ඩක වනයෙන් ඉවත් වී  යාමටය.ඊට උරණ වූ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා ඇත.මෙම සිද්ධිය සීතාව පැහැරගෙන යාමටත් අනතුරුව මහා රාවණ - රාම යුධයටත් හේතු වූ බව රාමායණයේ එයි.
                                                          විභීෂණ 
විශ්‍රවස් මුණිට දාව උපන් රාවණ රජුගේ සහොදරයෙකු වන අතර රාම - රාවණා යුද්ධයේදී තම සොහොයුරාට විරුද්ධව රාම කුමරුන්ට ආධාර කළ අයෙකු ලෙස වභීෂණ හැඳින්වේ. මරණයෙන් පසු දේවත්වයට පත් කරන ලද විභීෂණගේ මධ්‍යස්ථානය කැළණිය වේ.මේ වත්මන් කැළණිය නොව නැගෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබී මුහුදට ගිලීගිය කැළණියයි.කොළඹට නුදුරු වත්මන් කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසූ "කලාණවතී බිසව" විසිනි.ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව රාවණ රජුගේ සම්බන්ධතා නොවීය."රා"සහ "රෝ" යනු ඉරට ඇති නම්ය "රෝ +හණ"(රුහුණු) දේශය නැගෙනහිර හිරු පායන දිශාවෙහි ඇත. සූර්ය ශක්තියෙන් වැඩගත් රාවණ කිසි විටකත් බටහිර වෙරළට සම්බන්ධ වීමට නුපුළුවන. විභීෂණද එසේමය. රා+වණ යන්නෙහි අර්ථයද හිරු කණ්ඩායම (සුර්ය වංශය) නිසා රාවණ දේශ්‍ය නොහොත් සූර්ය වංශයේ දේශය රොහණ දේශය වූවාද විය හැක.රාවණ රජු මිය යාමෙන් පසු විභීෂණට ලංකා රාජ්‍යය ලබාදීම රාම කුමරුන් විසින් කළ බව රාමායණය පවසයි.නමුත් කාෂ්මීර රාජ වංශය දක්වන "රාජතරංගනිය" පවසන්නේ එරට රජ පෙළපත ඇරඹෙන්නේ විභීෂණගෙන් බවය.
                                                         කුඹුක්කන් 
රාවණ රජුගේ සොහොයුරකු වන අතර වාරිමාර්ග සහ කෘෂි විශේෂඥයෙකි.කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශය ඔහුගේ බල ප්‍රදේශය වූ අතර කුඹුක්කන් අමුණ මගින් ගංගා ජලය ලබාගෙන "මහවෙල්යාය" අස්වද්දන ලද බව පාරම්පරික ඉතිහාසයේ එයි.මෙම අමුණ වෙඩි දමා විනාශ කරන ලද්දේ 1818 දීය.ඒ 1818 වෙල්ලස්ස නිදහස් අරගල සටනට බත සැපයීම මහවෙල්යායෙන් සිදුකරන ලද නිසාය.එම කුඹුක්කන් ඔය ආශ්‍රිත  එම පෙදෙස භූමියේ ජනාවාස ඉවත් කර වනාන්තරයට යට කරන ලද්දේ යාල අභයභුමිය  ඇති කිරීම මගිනි.කුඹුක්කන් භාවනා කිරීමට පුරුදු වූ  අයකු වීම වාල්මිකී විසින් උපහාසයට ලක් කළේ බඩ පැලෙන තුරු ආහාර අනුබව කර හය මාසයක් නිදාගන්නා බව කීමෙනි.වැව් ශිෂ්ඨාචාරය තුළ පුරාණයේදී අප අවුරුද්දේ  වැඩ කළ මාස ගණන එකතු කළ විට හයක් වේ.ඉතිරි හය මාසය විවේක කාළය විය.පන්සල අවශ්‍ය වූයේ එම විවේකය දහම ඇසුරින් ගත කිරීමටය.දිය පාරවල් අසළ කුඹුක් පැළ වගා කිරීම ඔහු විසින් අරඹන ලද බවත් වැල්ලවාය මොනරාගල අතර පිහිටි "කුඹුක්කන" ඔහුගේ මධ්‍යස්ථානය බවත් පාරම්පරික ජන ඉතිහාසයේ කියැවේ.
                                                         මය(විශ්වකර්ම) 
බෞද්ධ හා හින්දු සාහිත්‍යයන්හි සදහන්වන අසමසම සිවිල් ඉංජිනේරුවා මය නොහොත් විශ්වකර්ම වේ.ගොඩනැගිලි හා නිර්මාණ මවන්නකු ලෙස ඔහු හැදින්වේ.මරණයෙන් පසු දේවත්වයට නංවන ලද ඔහු විශ්වකර්ම  දිව්‍ය පුත්‍රයාය.මය+තොට නොහොත් මාතොට (මන්නාරම) ඔහුගේ මධ්‍යස්ථානය විය.මාතොට වරායේ වූ වානේ කුලුන සහිත බලකොටුව මයගේ නිර්මාණයකි."මය මතය" නමැති කෘතිය ඔහු විසින් සම්පාදනය කරන ලද ගොඩනැගිලි ඉදිකිරීම ගැන කෘතියයි.මන්දෝදරී ඔහුගේ දියණිය වන අතර රාවණා රජු ඇය විවාහ කරගති.මෙනිසා "මය" වනාහි රාවණ රජුගේ මාමණ්ඩිය වෙයි.ලංකාපුරය හා දඬුමොනර යන්ත්‍රය නිර්මාණය කරදුන්නේ විශ්වකර්ම විසිනි.ඒ මාල්‍යවන්ත (සිංහමුඛ) කුමරු සඳහාය.
                                                                 කු‍වේර 
විශ්‍රවස් මුණිගේ බිසවගේ පුතකු වන කුබිර නොහොත් කුවේර රාවණාගේ ඥාති සහොදරයෙකි.කතිර කුමරු සටනට එන විට මාල්‍යවන්ත කුමරු ලංකාපුරය හැරදමා පැනගිය විට එය අරාජක විය. එවිට විශ්‍රවස් මුණි විසින් කුබිර එහි රාජ්‍යත්වයට පත් කළේය යනු රාමායණ ප්‍රවෘත්තියයි.එයම ජනප්‍රවාදයෙන් සනාථ වේ.නමුත් මව් පාර්ශවයෙන් ඊට ඉහත පරම්පරාවේ සුමාලි රජුගේ සොහොයුරු මාල්‍යවන්තගේ රාජ්‍යය වූ ලංකාපුරයේ හිමිකම කෛකසීගේ පුත් රාවණාටය.එබැවින් රාවණා විසින් උපාය මාර්ගයෙන් කුවේර ලංකාපුර හිමිකමින් ඉවත් කර ලංකාවෙන් පිටත කෛලාශයට යවන ලදී.කුවේර යනු ධන සම්පත් අසීමිත ලෙස හිමි අයෙකි.වර්ථමානයේ "බහිරව" ලෙස අප විසින් පූජා  පවත්වන්නේ ඔහුටය.පොළොව යට ඔහුට අයත් නිසා නිධන් ගැනීමට හා ගෙවල් තැනීමට බහිරව පූජා පැවැත්වේ.ලංකාවේ බහිරව රූපය දකුණු ඇමේරිකාවේ පාතාල (ඉන්කා) ශිෂ්ඨාචාරයේද ඇති නිසා කෛලාශයට නොව කුවේර පාතාලයට ගිය බව බටහිර මානව විද්‍යඥයන්  ඇතැම් අය පවසති.
                                                              ඉන්ද්‍රජිත් 
රාවණ රජුගේ පුතුන් අතුරින් වැදගත්ම හා යුද දක්ෂතම අය ලෙස රාමායණයෙහි ඉන්ද්‍රජිත් දක්වයි.මේ ඝනද නම් මොහු දිව්‍ය ලෝකයට ගොස් ඉන්ද්‍ර ජය ගැනීම නිසා "ඉන්ද්‍රජිත්" නම් විය.රාම-රාවණ යුද්ධයේදී හඳට ගමන් කර වළාකුළුවලට මුවාවෙමින්  හඳෙහි සිට අලෝක ශර (ලේසර් අවි) මගින් රාම හමුදාවට පහරදුන් බව රාමායණයේ කියැවේ.ජනප්‍රවාදයේද "දේවතා එළි" නොහොත් වේගයෙන් දිවෙන ආලෝක ධාරා ගැමියන් විසින් හදුන්වන්නේ "රාමසැර" නොහොත් රාමාට එල්ල කළ ශර ප්‍රහාර ලෙසටය.මෙම ව්‍යවහාරය රාවණ යුගයේ සිට ආවකි.
                                                            දුම්රක් (ධූමරාක්ෂ) 
දිඹුලාගල තම මධ්‍යස්ථානය කරගෙන විසූ ධූමරාක්ෂ සෙනෙවියා රාවණා රජුගේ මවගේ ඥාති සොහොයුරෙකි.කුවේර වෙතින් ලංකාපුරය ආපසු ලබාගැනීම සදහා සටන් කිරීමකින් තොරව උපායමාර්ග යෙදවූයේ ඔහු බව පානම් පත්තුවේ ජනප්‍රවාද පවසයි.ලංකාපුරයෙන් ඉවත් කරන ලද කුවේර අනිතිමට සීගිරියට සීමා කරන ලදී.විශ්‍රවස් මුණිද සිවගිරියේ විය.අන්තිමට අන්තිමට රාවණ විසින් කුවේර හා විශ්‍රවස් මුණි යන දෙදෙනාම ලංකාවෙන් පිටමං කර වයඹ දිග ඉන්දියාවේ රකුස් ජනාවාස වලට යවන ලදී.ශිව දෙවියන් ඉන්දියාවට පිටින් ආ දෙවියකු ලෙස පශ්චාත් වෛදික ග්‍රන්ථවල දැක්වෙන අතර එසේ ආවේ කුමන දේශයක සිටදැයි නොකිය වේ.අරිසෙන් අහුබුදු සූරීන් පවසන්නේ සිවගිරියේ (සීගිරියේ) වූ සිව රජු ඉන්දු දේශයේදී (පන්ජාවය) ශිව දෙවියන් බවට පත්වු බවකී.ඔහුගේ මධ්‍යස්ථානය "මුල්තැන" (අද මුල්තාන්) නම් විය.  
                                                               දනුබ් කුමරු
සුමාලි රකුස් රජුගේ මුනුබුරකු මෙන්ම කෛකසී බිසවගේ  (රාවණ මව) ඥාති පුත්‍රයකු වූ දනුබ් කුමරු කුඹුක්කන් කුමරු සමග කුඹුකුකන් අමුණ සෑදීමට හා ඊට අදාළ කුඹුරු අස්වැද්දීමට සහභාගී වී වාරිමාර්ග හා කෘෂි දැනුම හා අත්දැකීම් ලැබීය.අවුරුදු දහසකට පමණ ඉහතදී දේව අධ්‍යාපනයෙන් උද්දාම වූ ප්‍රලද රජුගේ පුත් "වීරන්න" කුමරු දකුණු ඇමෙරිකාවට ගොස් පාතාල රාජ්‍යය ඇති කළා සේ එයම අනුගමනය කරමින් දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් "රමණිය" නම් රට ජනාවාස කළේය.ඒ එරට ඇති මහා ගංගාවේ ජලය අමුණු බැද වගාව සදහා ලබාගනිමිනි.එම ගඟ "දනුබ් ගඟ" ලෙස  හැඳිනවුන අතර අදත් යුරෝපීය උච්චාරණයට අනූව "ඩැනියුබ්" නම් වේ."රමණීය" රට යුරෝපීය උච්චාරණයට අනූව "රොමානියා" ලෙස අදත් හැඳින්වේ.                                                   
                                                          බර හා දූෂක 
රාවණ රජුගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකි.සුපර්ණකා යාමට පෙර දණ්ඩකාරණ්‍යයේ පාලන කටයුතු කරන ලද්දේ මේ දෙදනා විසිනි.ශාඛ පමණක් බුදින ලද හෙළ රකුස් ජනාතාවට දණ්ඩකාරණ්‍යයේ වූ ඍෂින් විසින් බිලිපූජා පැවැත්වීම නවත්වාලීමට නොහැකි විය.එබැවින් පූජාවන් කඩාකප්පල් කිරීමට කටයුතු කළහ.මෙහි ප්‍රධාන ස්ථානය ගන්නේ "තාඩකා" නමැති රකුස් නායිකාවය.ඇතුන් දහසකගේ බල ඇයට තිබූ බව රාමායණය පවසයි.රාම කුමරුන් මුල් වරටම  දණ්ඩක වනයට රැගෙන ගියේ  විශ්වමිත්‍ර මුණි විසිනි.ඒ "තාඩකා" මැරවීමටය.එය සාර්ථකව ඉටුකළ නිසා ඊට තිළිණය ලෙස ජනක රජුවෙත ගෙන ගොස් දුන්න නෑවීම සිදුකරවා "සීතාව" බිරිඳ ලෙස ලබාදුන.ඛර හා දූෂක විසූ දණ්ඩක වනයේ අගනුවර වන "ජනස්ථාන"(දනව්ව) 2002 දී මුහුදු පත්ලේ තිබී ඉන්දීය සාගර දූෂණ කොමිසම විසින් සොයාගැනිණ.මෙම නගරය කාබන් පරීක්ෂණ අනූව අවුරුදු 10,000ක් පැරණි වීම රාවණා රජුගේ කාළය නිර්ණය කිරීමට ඇත් ප්‍රබලම විද්‍යාත්මක සාක්ෂිය වෙයි. රාමායණයේ  දැක්වෙන ප්‍රබන්ධාත්මක වර කාව්‍ය සිවරූපයෙන් ඔබ්බට ගොස් රාවණ රජුගේ ඓතිහාසික බව ඒත්තු ගැන්වීමට මෙසේ ඥාතීන් ගැන අවශ්‍යය. ඉහත දැක්වෙන පුද්ගලයන් අතුරින් මන්දාත නොහොත් දේවයානි සහ දනුබ් යන පුද්ගලයන් දෙදනා හැර ඉතිරි චරිත සියල්ල රාමායණයේ එයි.දේවයානි ගැන අග්නි පුරාණයෙහිද දනුබ් ගැන ස්කන්ධ පුරාණයෙහිද සදහන්ය.  ඉහත සදහන් චරිත බොහෝමයක් ගැන රාමායණයෙන් හා පුරාණවලින් බැහැර ජන ප්‍රවාදයේ අඩංගු වී ඇත.ඒ සියල්ල ලංකාවේ ජනප්‍රවාද මිස භාරතීය ජනප්‍රවාද නොවේ.රාමායණය හුදු ප්‍රබන්ධිත වීර කාව්‍යයක් බව ඉන්දියානු ඉතිහාසඥයන් නිගමනය කරන්නේ එබැවිනි. නමුත් ලංකාවේදී මේ චරිත ගැන ඇති අමතර සාක්ෂි පහත සදහන් පරිදි වේ.
            
පුලස්ති:- පුලස්ති රූපය සහ පොළොන්නරුව "පුලස්ති පුර" වීම.

විශ්‍රවස්:- ලංකා ශිලා ලිපි සංග්‍රහයේ දරන වෙස්සගිරි ලිපිය.

දේවයානි:- පත්තිනි හා කාලි අම්මා ලෙස අදත් පිදුම් ලැබී.

කෛකසී:- කතරගම අසල නිල්මල්පැලැස්ස ඇගේ මධ්‍යස්ථානය බවට කතාවන්.

විභීෂණ:- දේවත්වයට ලංකාව පුරා ඇති විභීෂණ දේවාල.

කුඹුක්කන්:- කුඹුක් පැළය රෝපණය , කුඹුක්කන් ඔය ඔහුගේ නමින් හැඳින්වීම හා 1818දී විනාශ කළ කුඹුක්කන් අමුණ.

මය:- "මය මතය" නමැති ගෘහ නිර්මාණ ග්‍රන්ථය,මයතොට (මාතොට) වරාය හා විශ්වකර්ම විසින් ඉදිකළ බව කියන විහාරස්ථාන ඉන්ද්‍රජිත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ ලිපිය.රාමසැර හා වත්මන් ලේසර් අවි භාවිතය. ඉඣු නමින් හෙළබසින් ඔහු හැදින්වේ.

කුවේර(කුබිර):- මොහුගේ පසුකාලීන වාසය වූ කෛලාශ පර්වතය අද දින සංචාරක මධ්‍යස්ථානයකි. ආටානාටිය සූත්‍රෙය්ද කුවේර යක් රජකු හැඳින්වේ. "බහිරව" රූපයද බහිරක පූජාවද අදත් භාවිතයේ ඇත.

දුම්රක්:- දිඹුලාගල පර්වතය අවට ධුමරාක්ෂ ගැන ජනප්‍රවාද  ඇත.යකුන්ගෙන් පැවත ආ වැදි ජනතාව මින් වසර 30ට ඉහතද මෙහි විසූහ.   
මෙය රිවිර පත්‍රයෙහි,රිවිදහර අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.......
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Friday, December 23, 2016

සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - katharagama- haskam-tsunami)

කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
මහකැබිලිත්ත
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත  ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි.
වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය.  නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන  ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ  නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක්  එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට  පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු  ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන  මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග  ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස  ඕකන්‍දට ආපසු එනවිට හවස්විය.  ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා  රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි  ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද  ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු  ඕකන්‍දට ආ පළමු අවස්ථාව  පෙන්නුම් කළේය. අදුර  වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත්  ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස  ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට  ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක්  ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය.  ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.
අජිත්ලාල් ශාන්තඋදය- Lankadeepa
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya