Monday, January 6, 2020

ගවරා විසූ ගවරවිල සොයා මහ වනයට....(Gawara sri padaya gawara willa අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

අතීතයේ ගවරා නම් සත්වයෙකු වාසය කර ඇති බව කියැවේ.  
සමනල රක්‍ෂිතයේ ඇති විශාලතම පතන භූමිය මෙයයි. 
කැලණි සහ වලවේ ගංගාවල අර්ධ පෝෂක ඉසව්ව මෙයයි. 
 ලංකාවේ බොහෝ ඒක දේශීය සතුන් වර්ග දැකිය හැකි අතර, ඉන් කුරුල්ලන්, කෘමී වර්ග, හූනන් වර්ග, මසුන්, සමනලුන් වර්ග කැපී පෙනෙන ඊට අමතරව එක් එක් කාලවල විවිධ ප්‍රදේශවලින් හමුව පසුව වඳ වී හෝ නැති වී ගිය විවිධ සතුන් ද වාර්තා වේ. ගවරවිල යන වචනයේ අර්ථයෙන්ම ‘ගවරා’ නම් සාමාන්‍ය මීහරකෙකුට වඩා විශාල සත්වයෙකි. එනම් ‘බයිසන් ගවයා’ වැනි සතෙකු වූ ගවරා අතීතයේ මෙම ප්‍රදේශය තුළ ජීවත් ව සිට ඇති බව ජනප්‍රවාදයේ පැවතෙයි. සමනල රක්‍ෂිතයේ හුදෙකලා වූ මෙම ගවරවිල සහ ගවරවිල කඳුවැටිය සොයා පසුගිය දිනක අපි එහි ගොඩවැදුණෙමු. 
සමනල රක්‍ෂිතය යනු විශාල ජල පෝෂකයක් වන අතර ප්‍රධාන වශයෙන් කළු ගඟේ ආරම්භක ඉසව්වය. ඊට අමතරව කැලණි ගඟට හා වලවේ ගඟට අර්ධ වශයෙන් උපත දෙන රක්‍ෂිතය බොහෝ ‘ඔය’ සහ අතු ගංගා රාශියකට උපත දෙයි. ගවරවිල යනු ඉහත කී ලංකාවේ ප්‍රධානතම ගංගා යුගලය වන කැලණි සහ වලවේ හී දෙවන අර්ධයට උපත දෙන ඉසව්වයි. 
මෙහි දෙවන අර්ධය යනු මෙම ගංගා දෙකේ පළමු අර්ධය පෝෂණය කරන්නේ නැතහොත් ගංගා දෙකේ සැබෑ උපත සිදු වන්නේ හෝර්ටන් තැන්නෙහි. නමුත් දෙවන අර්ධය නැතහොත් ගංගාවකින් හරි අඩකට උපත දෙන්නේ සමනල රක්‍ෂිතයේ මෙම කඳුවැටියයි. එහිදී කැලණි ගඟට උපත දෙමින් මාඋස්සාකැලේ ජලාශය හරහා මස්කෙළිය ඔය වී ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔය හා එක්ව ගලන අතර වලවේ ගඟ ලෙස ගලාගෙන ගොස් සමනල වැව ජලාශයට වැටී ගලාගෙන යයි. එම උපත් දෙකම සිදුවන්නේ ගඟේ දෙකෙළවරය. උතුරු කෙලවරින් කැලණි නදියන් දකුණු කෙළවරින් වලවේ නදියත් ආරම්භ වේ. 
දැනට ඉන්දියාවේ වනගතව වෙසෙන ගවරා ඡායාරූපය 
ගවරා විසූ මෙම ගවරවිල විශාල පතනක් වුවත් මෙය විලකි. මන්ද ගවරවිල කියා මෙය හඳුන්වන්නේ අධික වර්ෂ සමවල දී මෙම ඉසව්ව ජලයෙන් යට වන බැවිනි. එලෙසම ප්‍රධාන ජල පෝෂකයක් වන මෙම සමස්ත කඳුවැටිය මතින් දිය ඇලි දහයක් පමණ උපත ලබන අතර සිරිපා අවාරය තුළ වැටෙන වර්ෂා ජලය උරාගෙන ඉන් දැයට ද‌ායද කරන ජල පරිමාව ඉතා විශාලය. මීටර 1800කට ඉහළ කන්දක පවතින අක්කර කිහිපයක් විශාල මෙම පතන සොයා අප සමනල රක්‍ෂිතයට ගොඩ වැදුණේ වර්ෂාව නොමැති කාලයේ දී ය. 
කොළඹ සිට අවිස්සාවේල්ල හරහා හැටන්වලට පැමිණ දියගල හන්දියෙන් සිරිපා මාර්ගයට හරවා මස්කෙළිය නගරයට පැමිණෙන විට වෙලාව පාන්දර 4ට පමණ වූ අතර එතැන් සිට අප්කොට් හරහා ෆොග්මෝර් වතු යයාට පැමිණියේ මීදුම් හිරිකඩ සළුපිළි ලෙහා ද‌ාන කණිසමේය. ඉන්පසු අප ෆොග්මෝර් වතුයායේ ඉහළ කොටසට පිවිස එතැනින් යතුරුපැදිය නවතා තේ වතු අතරින් ගමන් කිරීමට සැරසුණේ කුඩා අඩි මාර්ගයන් ඔස්සේය. 

ගවරවිල යනු විශාල කඳුවැටියකි. මධ්‍යම පළාතේ මායිම වන මෙම කන්දේ දකුණු බෑවුමෙන් පහළ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල වේවැල්වත්ත, දෙහෙන කන්ද සහ රාස්සගල පිහිටා ඇත. මෙම කන්දට නැගෙනහිරින් සමනල දෙවන උසම මහමුණි කන්ද (මීටර 2040) පිහිටා ඇති අතර ඊට ඔබ්බෙන් මරියකොටේ කන්ද පිහිටා ඇත. ගවරවිල ප්‍රධාන කන්දේ උස මීටර 1980ක් පමණ වන අතර ඊට අමතරව මීටර 1900 වඩා උසැති අවශේෂ කඳු දෙකක් මෙහි පිහිටා ඇත. ගවරවිල තැන්න බැලූ බැල්මට කුඩා හෝර්ටන් තැන්නක් ලෙස පෙනෙන අතර එහි පිරී ඇත්තේ මාන පඳුරු පමණි. 
තේ වතුයාය මැදින් ඇවිද ගිය අප කුඩා දොළ පහරකින් එතෙර වී වනයට අවතීර්ණ වූයේ දළ වශයෙන් තිබුනා මුත් එහෙත් ගස් වැටී සොයා ගැනීමට අපහසු අඩි මාර්ගයක් ඔස්සේය. ක්‍රමයෙන් ලේ සුවඳට වහවැටුණු කූඩැල්ලන් හෙමි හෙමිහිට අප යන මග අහුරන්නට වූ අතර ඉන්පසු අපි කූඩැලි විකර්ෂණ භාවිත කර ගමන නැවත අරඹන්නට වීමු. මීටර කිහිපයක් ගිය පසු දැඩි තෙත් සහිත වන රොදක් සේම පාසි හා අනුවර්තනීය ශාක සහිත සුන්දර වනපියස හරහා ගමන් කරමින් දිය පහරක් වෙත ළඟා වුණෙමු.
ඒ ඔස්සේ ගිය පසු අප නැවතුණේ විශාල දිය ඇල්ලක මුදුනේය. එය මාඋස්සාකැලේට ගලායන දියවරකි. එම ඇල්ල මුදුනට සමනල කන්ද හරි අපූරුවට දැක ගැනීමට හැකි වූ අතර එහි මද වේලාවක් ගතකරමින් අපි අවට පරිසරය නරඹන්නට ගත්තෙමු. තේ වතුයාය මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායේ මැදින් කම්කරු නිවාස දැකගත හැකි වූ අතර පසෙකින් ගාඩ්මෝර් වතුයායත් පහළින් අප්කොට් හා සුවිසල් මාඋස්සාකැලේ ජලාශයත් දැකගැනීමට ලැබුණි. ගලන්නා වූ දියවර අධික සීතලකින් යුක්ත වූ අතර එතරම් වලාකුළු රොදක් නොපැවති හෙයින් ඈත කඳු මුදුන් දක්වා පරිසරය පැහැදිලිව අපට දැකගැනීමට ලැබුණි. 
පසුව නැවතත් ගමන ඇරඹූ අප දියපහර දිගේ තරමක් ඉහළට ගමන් කළේ විවිධ ස්ථානවල දී දියපහරේ කුඩා කඩා වැටීම් හා ගල්පර සමග කොළ වර්ණයේ ප්‍රභේද ගෙනදුන් සුන්දරත්වය කාච ගත කරන්නටය. පසුව අපි ගූගල් GPS සිතියමට අනුව තැන්නට ළඟාවිය හැකි ඉසව්වට පිය මැන්නෙමු. 
ගවරවිල කඳුවැටිය තුළ සැඟවුණු තවත් රහසක් ඇත. එයනම් ඉතා අප්‍රසන්න රහසක් වන පරිහානියකි. ගවරවිල හොර රහසේම ජාවාරම්කරුවෝ ඉල්ලම් කැපීමට ගවරවිල කඳුවැටිය රිංගති. අතීතයේ මෙම ඉසව්ව එතරම් ප්‍රචලිත නොවූවද මැණික් ගැරීමේ ජාවාරම අතීතයේ පටන් මෙහි පැවත ඇත. ඒ බව අපට ගම්මුන්ගෙන් පවා දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් පවසන පරිදි මද්ද පවා සවිකර තිබිය හැකි ලෙස අපට දැන්වීය. එම නිසාම අප වඩාත් ප්‍රවේසමෙන් වනයේ සැරිසැරූ අතර සමහර ගම්මුන් ගෝනුන් හා වල් ඌරන් දඩයම සඳහා ද මෙම ඉසව්වට යන බව අපට දැනගැනීමට ලැබුණි. බොහෝ විට ඔවුන්ට මෙය තවත් කන්දක් හෝ තවත් දිය උල්පත් පිහිටි ප්‍රදේශයක් වූවාට මෙහි ඇති වටිනාකම සහ රැක ගත් යුතු යයි සංකල්පය පිළිබඳ බොහෝ තැකීමක් දක්වනු නොලබයි. 
ගවරා යනු විදෙස් රටවල සිටින බයිසන් ගවයා මෙන් විශාල සතෙකු බව ජනප්‍රවාදයේ පැවතෙන අතර විටෙක එකී බයිසන් ගවයන් අතීතයේ මෙහි ජීවත් වූවා විය හැකිය. එමෙන්ම හෝර්ටන් තැන්නේ වන අලි දඩයම සේම බයිසන්/ ගවරුන් දඩයම සමනල රක්‍ෂිතයේ ප්‍රචලිතව තිබුණා විය හැක. කෙසේ හෝ මේකී සත්වයා අද දක්නට නොලැබේය. නමුත් ගවරා සිටි විල අද ගවරවිල කියා හඳුන්වන අතර සමනල රක්‍ෂිතයේ සැඟවුන බොහෝ කථා අතර මෙය ද වැළලී ගිය කතා ගොන්නට එකතු වී හමාරය. 
වන පියස දිගේ මග සොයාගෙන කුඩා දිය කඩිතිවලින් එතෙර වී මඩ ගොහොරුවල එරී ගස් ආධාරයෙන් ඉහළට නැග අප අඳුරු වන පියස පසුකර ළඟා වූයේ හිරු එළියෙන් පොහොණි වූ එළිමහන් ඉසව්වකටය. එය සැබවින්ම හෝර්ටන් තැන්නක් ලෙස දැක ගත හැකි වූ අද දවසේ ගමනාන්තය වූ අතර ගවරවිල නම් ඉසව්වට අප පිවිසි විගසම ඈතින් සිටි ගෝන රංචුවක් හනිකට වනය තුළට දිව ගියහ. 
පසුව අප මදක් විවේක ගන්නට වූ අතර වැසි රහිත කාලගුණයක් වූ හෙයින් ප්‍රදේශයේ සුන්දරත්වය නොමදව අපට දැක ගැනීමට ලැබුණි. සමස්ත පතනම වටේට වන පියස මගින් වට වී තිබූ අතර ඈතින් කඳුවැටියක් දක්නට ලැබුණි. ප්‍රදේශය පුරා දැඩි නිහැඬියාවක් පැවතුණ ද ගලාගෙන යන දියවරේ චිරි චිරිය මන බඳින ලදී. මඳ වෙලාවක් විවේක ගත් අප කැමරා ආම්පන්න සූදානම් කරගෙනම ගවරවිල තවදුරටත් ඉන් ඔබ්බටත් විඳීමට සහ ගවේෂණය කිරීමට පටන් ගන්නා ලදී. මාන පඳුරු යායම තරමක් දුරට වෙලීමට ආසන්න ස්වභාවයක් වුනමුත් චණ්ඩ හිරු රැස් යට ගලන දියවරේ අඩු බවක් නම් අපට නොපෙනුණි. 
ගවරවිල පතන සීමිත ඉඩකඩක පැවතුණු තැන්නක් බැවින් එහි සියලුම අවසානයන්/ මායිම් පියස මගින් වටකොට තිබුණි. ගලාගෙන එන දියවර හරියටම තැන්න මැදින් ගලාගෙන පැමිණියේ මෙම ඉසව්වේ අවසන් ජල පෝෂක ප්‍රදේශය වන පළාත් මායිම අවටින්ය. කොටියා නිතරම වාසය කරන මෙම ඉසව්වේ තවත් සත්ව වේශයෙන් පෙනී සිටින නොමිනිසුන් මෙම තැන්න අනවසර මැණික් ගැරීම්වලට භාවිත කොට තිබුණි. ඒ බව අප දුටුවේ පතන තුළ තිබූ හෑරූ විශාල වළවල් මගිනි. 
බොහෝ වටිනා ඉල්ලම්වලට කදිම ඉසව්වක් වන මෙම ඉසව්ව නිතැතින්ම මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වේ. හෙමි හෙමිහිට මාන පඳුරු උඩින් ලිස්සමින් ඉදිරියට ගමන් කළේ දිය පාරට සමාන්තරවය. මෙහි පිහිටි කඳුමුදුන් යුගලය ඉතා අලංකාර වන අතර ගිනිකොන දෙසට වන්නට මගමුණිකන්ද ඇතුළු සමනල රක්‍ෂිතයේ කඳු කිහිපයක් මෙහිදී දැක ගැනීමට ලැබුණි. 
මෙම දියවර දිගේ කෙළවරට ගිය ද එහි ජල මූලාශ්‍රයක් දක්නට නොලැබේ. එලෙස යාමට දින කිහිපයක් ගත වන අතර ඒ සඳහා වැසි රහිත පායන කාලය ඉතා සුදුසුය මන්ද අධික වර්ෂා සමවල දී ගංගා උතුරා යන බැවිනි. වන පියස පිහිටි එක් කොනකට ගිය පසු අප තවදුරටත් රක්‍ෂිතය තුළ ශාක ව්‍යාප්තිය නිරීක්‍ෂණය කරන්නට විය. 
එහිදී අප කතිකා කරගත් පරිදි කෙමෙන් කෙමෙන් වන පියසට පිය මැන්නේ මීදුමට වැහුණු එහි සුන්දරත්වය දැකීමටය. හෝරා දෙකක් පමණ අප එහි සැරිසැරූ අතර ඉන්පසු අප සූදානම් වූයේ ගවරවිල මහකන්දට යාමටය. මෙම මහ කන්ද නැතහොත් සමස්ත කඳුවැටියෙම උසම ස්ථානය පිහිටා තිබුණේ ඊසාන දිශාවට වන්නටය. 
අප්කොට් ගම්මානය හා ග්ලෙනුජි වතුයාය අතර පොදු ප්‍රවාහන සේවය තිබුණ ද ගම්වැසියන් බොහෝ දුෂ්කරතාවලින් පෙලෙයි. ඇතැමුන් ගෝන්නු, මුවන් සහ වල් ඌරන් දඩයම් කරන අතර විටෙක ඒවා ආශ්‍රිත හෝටල්වලට අලෙවි කරන බවට අපට දැනගැනීමට ලැබුණි. මැණික් ගැරීම සඳහා විවිධ කණ්ඩායම් වනයට පිවිස සතිය දෙක අට්ටාල සාදාගෙන වාසය කරන අතර එවැනි අතහැර දැමූ ඉල්ලම් වළවල් කිහිපයක් අපට ගවරවිල ආශ්‍රිතව දක්නට ලැබුණි. 
ගවරා නම් සත්වය පිළිබඳ එතරම් සජීවී සාධක නොමැති වුවද මෙම සත්වයා සිටි බවට ගැමිවහරේ පවතින මතය මිත්‍යාවක් ලෙස සිතා බැහැර කළ නොහැක. එසේම අධික වියළි සමවල දී ඉතාමත් කලාතුරකින් මෙම තැන්නේ විවිධ ස්ථාන ලැව් ගිනිවලට හසුවන බවත් පසුගිය දිනවල අපට දැකගන්නට ලැබුණි. කැලණි නදියේ දියවර සදන තවත් අවශේෂ දිය උල්පත් මේ අවට දක්නට ලැබේ. 
කෙසේ හෝ අපි ගවරවිල තැන්න හා අවට පිහිටි උස්බිම් කරා පියනැගූ පසු නැවතත් ආපසු යාමට පටන් ගත්තෙමු. එහිදී අප ගවරවිල ඇල්ල මුදුනට පැමිණ බොහෝ වපසරියක පිහිටි පරිසරය ද සමනල කන්ද ද දුටු අතර සමනල කන්ද මතට ගවරවිල දුටු ආකාරය එහිදී අපට සිහිවිය. ගවරවිලට තරමක් නුදුරින් ගාඩ්මෝර් කන්ද ආශ්‍රිතව තවත් දිගැටි ලෙස පිහිටි පතනක් ඇති අතර එහි යම් යම් නායයෑම් සිදුවුණු බවට සාධක අපට ගූගල් චන්ද්‍රිකා සිතියම් මගින් දැකගත හැකි විය. තවද පළාත් දෙකක් යා කරන ගවරවිල සිට අතීතයේ දෙහෙනකන්ද යාමට වනගත මාර්ගයක් තිබී ඇත. එලෙසම එම මාර්ගය මෑතක් වනතුරු ඇතැම් ගම්වැසියන් භාවිත කළ ද වර්තමානය වන විට රක්‍ෂිතයේ වන ව්‍යාප්තිය හා අවදානම හේතුවෙන් එය වල් බිහි වී ඇත. 
එලෙසම බලංගොඩ මාරතැන්න සහ ඉහළ ගලගම ආශ්‍රිත ජනයා සමනල කන්ද වන්දනා කළ ඉපැරණි දීර්ඝතම මාර්ගය වැටී ඇත්තේ ද ගවරවිල හරහාය. එය වලවේ ගඟ ගලන නිම්නය ඔස්සේ රාස්සගල හරහා රක්‍ෂිතයට ඇතුළු වී මරිය කොටේ සහ මගමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට ගාඩ්මෝර්කන්ද, දෝතුරුගල හරහා දෙහෙන කන්දේ සිට සිරිපාදයට යන මුක්කුවත්ත මාර්ගයට පැරඩයිස් නැවතුම්පොළට පෙර සම්බන්ධව තිබී ඇත. 
මේ වන විට සාම්ප්‍රදායික සහ නොනිල මාර්ග තුන බැගින් සිරිපා වන්දනාවට පැවතිය ද අතීතයේ මෙම මාර්ගය, සප්තකන්‍යා සිට යකාඇඬූ කන්ද හරහා මාර්ගය, රත්ගඟ දුල්ගල හරහා මාර්ගය ආදී ලෙස තවත් මාර්ග තිබුණේ ඒ ඒ ගම්වල ගැමියන් හට සිරිපා කරුණාවට පහසු වන ලෙසය. 
අලි, කොටි, වල් ඌරා, ගෝනන් බහුල සමනල අඩවියේ කඳු, දියඇලි, ගුහා හා ගංගා සේම පතන කිහිපයක් ද පිහිටයි. සමස්ත රක්‍ෂිතයම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ගන්නා අතර ඒකදේශීය ශාක සහ පැළෑටි සේම සත්වයින් කිහිපදෙනෙක් ද මෙහි වාසය කරති. තවද මෙහි සැඟවුණු කතා වගේම රසබර සිද්ධි බොහෝමයක් ඇති අතර මේ අවට ජීවත් වන දමිළ ගම් වැසියෝ ඉතා සහයෝගයෙන් සහ අවබෝධයෙන් මෙහි වාසය කරති. 
එලෙසම පසුගිය කාලවල දී සමනල කන්ද ආශ්‍රිතව ජාන විකෘතියකට ලක්වුණු කළු කොටියෙකු (දිවියෙකු) සිටින බවට සාධක සේම ඇසින් දුටු සාක්‍ෂි හමුවූ අතර මෙහි සිටිනා කොටින් හෝර්ටන්තැන්න සහ පිදුරුතලාගල ආදී රක්‍ෂිතවල මාරු වෙමින් කල් ගෙවනු ලැබේ. අපගේ ගමන නිමා කරමින් නැවතත් යතුරුපැදි වෙත පැමිණි අප වෙනත් මාර්ගයකින් ගවරවිල වතුයාය හරහා මස්කෙළියට පැමිණියේ සුවිසල් ගවරවිල කඳුවැටියේ සුන්දරත්වය විඳිමිනි. 
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, January 5, 2020

සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය අබිරහස් ඉසව්.... (Sri padaya samanala Kanda අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්
සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම උත්තම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ සමනල ගිරි මුදුනේ උඩ මලූවේය. සිරිපා තරණය කළ හැකි සම්මත මාර්ග තුනක්ද අප‍්‍රසිද්ධ මාර්ග 5 ක්ද පවතියි. ඒ හැර දෙපසක පිහිටි ගම් දෙකක් යාකරන සමනල දුර්ගය ආදී මාර්ග කිහිපයක්ද පවතියි. මේ සියල්ල සමස්ත රක්ෂිතයේ වනගත පරිසරයෙන් උපරිම වශයෙන් සියයට විස්සක තිහක පමණ කොටසක් වන අතර ඉතිරි සියයට හැත්තෑව අසුව යනු තවමත් අල්ප වශයෙන් මිනිස් පහස ලැබූ ගුප්ත සහ අබිරහස් ගොන්නක් පිරි ඉසව් වේ. 
සංචාර දිවියේ අප ප‍්‍රියතම අඩවිය වන සිරිපා අඩවිය යනු සත්‍ය වශයෙන්ම සංචාරය කිරීමට උචිත ඉසව්වක් නොවන බව අපටද පසක් වූ කරුණකි. මන්ද අප විඳි ඇතැම් ප‍්‍රායෝගික අත්දැකීම් සමග සිරිපා රක්ෂිතය ආශ‍්‍රිත ගැමියන් හා ඔවුන්ගේ අතීත සිදුවීම් පිළිබඳ අප අත්දුටු යම් අබිරහසක් මෙම රක්ෂිත​ෙය් පැවතීමය. 
සමනල රක්ෂිතය තුළ පවතින කඳු නම් සමනල කන්ද, කුණු දිය පර්වතය, පිදුරුතලා ගල (හීන් පිදුරුතලාව) බෑන සමනළ, කෝඳුරු ගල, සප්ත කන්‍යා කඳුවැටිය, ගවරවිල කන්ද, බල්ලා බැඳිගල සහ මහ පිදුරුතලාවයි. ඊට අමතරව නම්ලත් දියඇලි රාශියක් සිරිපා රක්ෂිත මායිමෙන් කඩා වැටෙන අතර නම් රහිත තවත් දියඇලි සහ දියඇලි දාම රාශියක් සිරිපා රක්ෂිතය තුළ ඇති බව අප ප‍්‍රායෝගිකව දැක ඇත්තෙමු. 
ලංකාවේ සෙසු වනාන්තර වලට සාපේක්ෂව සමනල රක්ෂිතයේ සංචාරයට සහ ගවේෂණයට යන පිරිස ඉතා අල්පය. මන්ද අවාරේ බොහෝ විට ප‍්‍රචණ්ඩ වර්ෂාව තිබීමත් සමස්තයක් ලෙස වළාකුලූ වනාන්තර පද්ධතියකට රක්ෂිතය උරුමකම් කියන නිසාවෙන් නිතරම වැස්ස සහ තද අකුණු ගැසීම් ඇතිවීමය. තවද අලියා සහ කොටියා (දිවියා) යන සතුන් බහුලව මෙහි වාසය කිරීම සහ පිටත මාර්ග හෝ අවාරේ යාමේදි උන්ගෙන් සිදු වූ අනතුරු බහුල වීමත්ය. 
මීට තවත් නිදසුන් ලෙස ගතහොත් අධික කූඩැල්ලන් සංඛ්‍යාවක් සිටීම විස සහිත සර්ප ග‍්‍රහණය, විෂ කටු ඇතුළු සහ ලිස්සන සුළු අනතුරුදායක පාංශු බිම් කඩක් වීම සහ දැවැන්ත තුරුමුදුන් අතර නිතරම අඳුරු වන ලහැබක්ව තිබීම නිසා මංමුලා වීමද සැලකිය හැකිය. 
දුර අතීතයේ සිට සමනල රක්ෂිතයට ඇතුළු වීම නැතහොත් සමන්දෙවි අඩවියට ඇතුළුවීම යනු වන්දනාවක් බඳු ශුද්ධ වූ කර්තව්‍යයකි. සිරි පතුල පිහිටුවීමේ ගාම්භීරත්වය නිසාම සමන් දෙවිඳු තවමත් විවිධ වේෂයෙන් මෙම කැලයට අධිපතිව සිටින නිසා​ෙවන් අතීතයේ සිට රක්ෂිතයට ඇතුළු වන්නන් කිසිම අවස්ථාවක ‘කට වරද්දා’’ ගත්තේ නැත. එහි වර්තමාන සාක්ෂිය අදටත් සිරිපා කරුණාවේ යෙදෙන විට අපට දැකිය හැකිය. සමන්දෙවි අඩවියේ කිසිවෙකුටත් තක්කෙටම ඔට්ටු විය නොහැක. සිරිපා කරුණාවේ යෑම වුවත් වත්පිළිවෙත් රාශියක් මැද කළ යුතු කරුණාවකි. වසරේ හරි අඩක් පමණක් මෙම සිරිපතුල කරුණාවට ඉඩ ඇත්තේ ඉතිරි මාස හය (අවාරේ සමය) සත්‍ය වශයෙන්ම ප‍්‍රචණ්ඩ වැසි සමග පරිසරය දරුණු වන හෙයිනි. එය අවාරේ හතර වතාවක් පමණ මාර්ග 4 කින් ගිය අප ප‍්‍රායෝගිකව දන්නා අත්දැකීමකි. 
අවාරේ සිරිපා කරුණාව අවට ගම් වැසියන් පවා කිසිවිටෙකත් අනුමත නොකරන්නේ ජීවිත අත්දැකීමෙන්ම එහි පවතින අනතුරුදායක බව ඔවුන් දන්නා හෙයිනි. එලෙස පුරසාරම් දොඩමින් සිරිපාගම ප‍්‍රදේශයෙන් අවාරේ සමනල ගිර තරණයට තනි පංගලමේ යන දෙතුන් දෙනෙකු ලෙස ගිය බොහෝ පිරිසක් උන්මත්තක භාවයට සහ කොටි ප‍්‍රහාරවලට ලක්ව මියගොස් ඇත. සිරිපා ගම ආශ‍්‍රිත බලවන ගමේ වෙසෙන යසරත්න මාමා අප සමග බෙදාගත් ඔහු දැක අසා තිබූ ජීවිත අත්දැකීම් මෙසේය. 
ලංකාවට ආවේණික කොටියා හෙවත් දිවියා සමනල රක්ෂිතය හා හෝර්ටන් තැන්න තුළ බහුලව වාසය කරයි. තවද සාමාන්‍ය අලින් පවා මෙම රක්ෂිතයේ වාසය කරන අතර අතීතයේ හෝර්ටන් තැන්න යනු වන අලි නිජබිමකි. සමනල හා හෝර්ටන් රක්ෂිත එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර එවා එකිනෙක බද්ද වී ඇති හෙයින් මෙලෙස අලි සහ කොටි රක්ෂිත දෙකේම එහෙ මෙහෙ යමින් වාසය කරයි. 
අතීතයත් සමග සසදා බැලූකල අතීතය උඩවලව ඇඹිලිපිටිය ආශ‍්‍රිත වන අලි හපුතලය, බෙලිහුල් ඔය හරහා සමනල රක්ෂිත වලට සංක‍්‍රමණය වී ඇත. සමන් දෙවි අඩවියේ ආශ්චර්ය වනුයේ සිරිපා වාරේදි අලි සහ කොටි හෝ වෙනත් කිසිදු සතෙකුගෙන් කිසිම අවස්ථාවක කිසිදු හානියක් නොවීම සහ කිසිවෙකුටත් උන්ව දැක ගත නොහැකි වීමය. නමුත් අවාරේ යන විට දුර්ලභ අවස්ථාවක් ලෙස අලි හා කොටි දැක ගැනීමට ඉඩ ඇත. තවද වාරේ අප යනෙන ප‍්‍රධාන හා සෙසු මාර්ගවල අවාරේදි අලි සහ කොටි ගැවසීම ඉතා සුලභ වන අතර ඒ නිසාම සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත් පුද්ගලයන්ට අවාරේදි එහිම දඩුවම් ලැබී ඇති අවස්ථා එමටය. 
මීට වසර කිහිපයකට පෙර ප‍්‍රදේශයේ තරුණයෙකු සමන්දෙවි අඩවියට අවාරේ පිවිසියේ අහවල් වෙලාවට අහවල් හෝරා ගණනක් තුළ සමනලගිර නගින බවට පුරසාරම් දොඩමින් සහ සමන් දෙවි අඩවියේ හාස්කම් අවතක්සේරු කරමිනි. කෙසේ හෝ තනිවම පලාබද්දල පාරෙන් අවාරේ ගිය ඔහු නැවත පැමිණියේ නැත. ඊට දින කිහිපයකට පසු ගම්වැසියන් ගොස් බලන කල කොටියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව ඔහු මියගිය බවට ගෙත්තම්පාන කිට්ටුව තිබූ ශරීර කොටස් වලින් හඳුනාගෙන තිබුණි. 
තවද මෙලෙසම තවත් කිහිපදෙනෙක් අවාරේ ඔට්ටු තබමින් ගොස් නැවත එන විට ඔවුන් උන්මත්තක භාවයට පත්ව තිබුණි. පඩි සහිත මාර්ගයේම ඔවුන්ට මග වැරදි මංමුලාවී වෙනත් ඉසව්වකින් එළියට පැමිණ තිබුණත් ඔවුන් සිහිමද ගතියකින් යුක්තවය. තවද ගිය වසරේ පවා සිරිපා අවාරේදී පලාබද්දල රජ මාවතට අලින් පැමිණ තිබුණහ. ඒ බව පසුව දැන ගැනීමට ලැබී ඇත්තේ කැඩීගිය පඩි සහ අලි වසුරු මගින්ය. එලෙසම වරක් කුරුවිට එරත්ත මාර්ගයෙන් හුදෙක් විනෝදය හා මත් සතුට උදෙසා අවාරේ සිරිපා ගිය නඩයක් දින කිහිපයක් වනයේ අතුරුදන්ව සිටියහ. 
මද වර්ෂා සමයේ ඔවුන් පිටත්ව හැරමිටි පාන දක්වා ගොස් නැවත එන විට ඔවුන්ට දින 2 ක් පමණ යනතුරු සීත ගඟුල හරහා යාමට නොහැකිව තිබුණි. හෙණ ගසමින් අකුණු සමග ප‍්‍රචණ්ඩ වර්ෂාවක් එදවස ඇඳහැලී එරත්ත සීත ගඟුල ගංගාව ඉතිරි දෙපස මාර්ග පවා යට කරමින් ගලමින් තිබූ නිසාවෙනි. 
කුරුවිට එරත්ත මාර්ගයේ යන විට සීත ගඟුල බැස එතෙර වී යා යුතු අතර එම මාර්ගයට බොහෝ විට ​ෙසසු ප‍්‍රධාන මාර්ග වලට වඩා දුෂ්කර හා සෞන්දර්යයෙන් අනූන මගකි අවාරේ යාමේදි ගල් පෙරළීම්, නාය යෑම්, ජල ගැලීම් වැනි ස්වභාවික අනතුරු වැඩිම මාර්ගයද එයම වේ. එරත්ත මග වැටී ඇත්තේ කුණු දිය පව්ව හා පැදුරුතලා ගල කඳු අතරිනි. සීත ගඟුල සහ කුණු ගඟ පෝෂණය කරන මුල් දියවර ජනනය වන්නේද මෙම මාර්ගය ආශ‍්‍රිත වන පියසිනි. තවද වාරේ සහ අවාරේ බහුලව අලි වසුරු දැකිය හැක්කේද මෙම මාර්ගයේ වන අතර අපට එක්වරක් අවාරේ මෙහි ගමන් කිරීමේදී අලි කුංචනාදය පවා ඇසුණි. තවද එරත්න යනු දැරණියගල උඩමාලිබොඩ මාර්ගයද එකතුවන මගකි ඝන කැලයක් සහ සෙසු මාර්ග වලට සාපේක්ෂ පඩි රහිත මාර්ගයක් වනුයේ මෙයයි. 
තවද අතීතයේ සහ වර්තමානයේ භාවනානුයෝගිව වාසය කරන භික්ෂූන් සමනල රක්ෂිතයේ වාසය කරන බව නොරහසකි. එලෙස භික්ෂූන් වාසය කරන්නේ මෙහි තිබෙන ගල්ගුහා වලය. නමුත් ඉතාමත් කිහිප දෙනෙක් හැරුණු විට එම භික්ෂූන් වාසය කරන ඉසව් ගැන නොදනිති. මේ පිළිබඳ යම් වැදගත් තොරතුරු රාශියක් ගිය වසරේ කුණු දිය පර්වතය තරණය කරන විට අපි දැනගත්තෙමු. 
කුණු දිය පව්ව ආශ‍්‍රිත වන පියසේ පිහිටි ගල් ගුහාවල ඔවුන් වාසය කරන බවත් පිදුරුතලාගල කන්දේ වනපෙදෙස් වලද එලෙස භික්ෂූන් වාසය කරන බවයි. මේ හැරුණු විට සිරිපා රක්ෂිතය තුළ ඇති එකම භික්ෂු ආරාමය ලෙස හැඳින්විය හැක්කේ වර්නගලිය, වර්ණගල අම්බලම ආශ‍්‍රිත ඉසව්වේ විහාරස්ථානයක බව සැවොම දන්නා අතර එරත්න මග වැටී ඇත්තේ ඒ ඔස්සේය. එහි වාසය කරන පුද්ගලයකු හා හිමිවරු මේ ආදී සිරියාවේ ගුප්ත බව පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත්තවුන් වන්නේය. 
භාවනානුයෝගී භික්ෂූන් අතර වඩාත් ප‍්‍රචලිත නාමය සහ තම ජීවිත කාලය තුළ රක්ෂිතයේ වාසය කරමින් භාවනානුයෝගීව වාසය කළ චන්ද්‍රලෝක හිමියන් වැදගත් සාධකයකි. අදටත් එ් හිමියන් පමණක් දැන සිටි සමනල අඩවියේ රහස් අත්දැකීම් සමුදයකි තවද හිමියන්ගේ අනුගාමී වූ හිමියන්ගේ මුඛ්‍ය සිසුවෙකු වූ ප්‍රේමාලෝක හිමියන්ගේන් අප දැනගත් තොරතුරු රාශියකි. 
එම තොරතුරු ඇතැම් විට අදහාගත නොහැකි වුවත් ඒ සමාන වෙනත් තොරතුරු මින් පෙර සමනල රක්ෂිතය ආශ්‍රිත ඉසව්වලින් අප දැන හුන් නිසාවෙන් ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. මන්ද සියලූ ලෞකික සැප සම්පත් අතහැර තම ධ්‍යානය පිණිස රුදුරු වන සතුන් බහුල ඉසව්වක තනිවම වාසය කරන ප්‍රේමාලෝක හිමියන් ජීවිතයේ අර්ථය බෙහෙවින් වටහා ගත් කෙනෙකු බව අපට පමණක් නොව බොහෝ සැදැහැවතුන්ට පසක් වූයේ මිනිස් වාසයකින් කිලෝමීටර් ගණනක් ඈත ඝන වනයක රුදුරු වනසතුන් සමග තනිවම භාවනා කිරීම නිසාවෙනි. 
වයසින් මුහුකුරා යන්නටත් පෙරම වනගත වූ ප්‍රේමාලෝක හිමියන් භාවනාවට ඇලූම් කළේ නිර්වාණය ළඟාකර ගැනීමේ උතුම් අරමුණිනි. තවද කුඩා කල සිට සමනල රක්ෂිතයට හා සමන් දෙවි අඩවියේ හාස්කම් ගැන විශ්වාසයකින් හා උනන්දුවකින් සිටි හිමියන් තුළ අතීත කථාවල පැමිණි දිවා ගුහාව සියැසින් දැක බලා ගැනීමේ උනන්දුවක්ද තිබුණි. පලාබද්දල මගේ ධර්මරාජගලට ඔබ්බෙන් මහ වනයේ තිබෙන ගල් ගුහාවක කලක් වාසය කළ උන්වහන්සේ සතියකට වරක් නියමිත ගම්වැසියන්ගෙන් අවශ්‍ය ආහාර කළමනා රැගෙන යැයි. දිනකට එක් වේලක් අනුභව කරන උන්වහන්සේ වාසය කළ ගල් ගුහාව කාල​ෙයන් කාලයට වෙනස් කරන්නේ විවිධ හේතු මතය. ‘‘යක්ෂණී හිටපු ගල්ලෙන’’ යනු සිරිපාගම ආශ‍්‍රිත ජනයා හොඳින් අසා ඇති ගුප්ත ස්ථානයකි. 
ප්‍රේමාලෝක හිමියන් මෙම යක්ෂණී හිටපු ගල්ලෙන තම වාසය කරගෙන කල්ගෙවුවේ තම භාවනානුයෝගී බවට අවශ්‍ය හොඳම ස්ථානයක් බවට එම ගල්ගුහාව එතුමන්ට දැනුණු හෙයිණි. නමුත් කිසියම් බලවේගයක් විසින් උන්වහන්සේට නිතරම එම ගල්ලෙනෙන් එලවා දැමීමට උත්සහ කර තිබේ. විටෙක විවිධ ශබ්ද වලින්ද අමුතු හඬවල් හා බියකිරීම් වලට උන්වහන්සේ ලක්කළද ප්‍රේමාලෝක නම් බුද්ධ පුත‍්‍රයන් ඒ අදෘශ්‍යාමාන දුෂ්ට බලවේග වලට සැලුනේ නැත. එම බියකිරීම් හා උන්වහන්සේව එම ගල්ලෙනෙන් එලවා දැමීමට සිහිනෙන් පවා පණිවුඩ එවූ බව උන්වහන්සේ පැවසූහ. මන්ද එම ගල්ලෙන යක්ෂණී හිටපු ගල්ලෙන යන නාමයෙන් හැඳින්වීමට කතා පුවතක් සහිත වූ හෙයිණි. 
තවද ප්‍රේමාලෝක හිමියන් යනු තම පාදයේ ලේඋරා බොන්නට එල්ලෙන කූඩැල්ලෙකු වත් මරණයට පත් නොකරන හිමි නමකි. උන්වහන්සේගේ ධ්‍යානය කෙතරම් ශක්තිමත්ද කිවහොත් එම ගල්ලෙන උන්වහන්සේ නිදාගන්නා ස්ථානයේ හිසට ඉහළින් පිහිටි ස්ථානයක පල බරියා සර්පයෙකු වාසය කර ඇති අතර උන්වහන්සේ එහි වාසය කළ කාලය පුරාවටම එම සර්පයාගෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැත. සර්පයා හිමියන්ගේ හිස සමීපයේ මුලූ කාලය පුරාම වාසය කළද හිමියන්ට කිසිදු උපද්‍රවයක් නොවුයේ එතුමන්ගේ බවුන් වැඩීමේ බලමහිමය නිසාවෙනි. 
බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවීමේ ගමනේදී ගිමන් හැරි දිවා ගුහාව පිළිබඳ අතීතයේ සිට බොහෝ කථා ගොඩනැගුණි. මහගිරිදඹ ආශ‍්‍රයෙන් බටකොට ලෙන ආදී යම් ස්ථාන වලින් ගුහා හමුවුවද එ්වා දිවා ගුහාව නොවුයේ දිවා ගුහාවට අනන්‍ය වූ මූලික ලක්ෂණ එහි නොතිබුණු නිසාවෙනි. මන්ද දිවා ගුහාව යනු පලතුරු උයනක් මැද පිහිටි විශාල ගුහාවකි. ගුහාව තුළ දිය දහරක් සහ හිරු එළිය හොඳින් ලැබීමට තිබිය යුතු හෙයිණි මේ දිවා ගුහාව සොයා ප්‍රේමාලෝක හිමියන් බොහෝ අඳුරු ගුප්ත කැලෑ වල සැරිසැරුවද උන්වහන්සේට හමුනොවුණි. නමුත් එක දිනක් උන්වහන්සේ කැලයේ සක්මන් කරන විට පහතට පිහිටි විශාල හෙළක පලතුරු පිරුණු ගස් සහිත ප‍්‍රදේශයක් දැක තිබේ. 
උනවහන්සේ එම හෙළට බැස ගත් පසු විශාල දිය දහරාවක් අසලින් අලංකාර ගුහාවක් දැක තිබේ. නමුත් උන්වහන්සේගේ සිහිකල්පනාව මඳ ගතියක් පැමිණි හෙයින් උන්වහන්සේට එහි සිිටින කිසිවෙකු ‘‘පැමිණෙන්න’’ කියා අඬගසා තිබේ. අමුත්තා පිළිබඳ හරි වැටහීමක් හිමියන්ට නොවුණු අතර සිහිකල්පනාව නැවත පැමිණෙන විට එතුමන් සිරිපා යන රජ මාවතේ සිට ඇත. මෙවැනි අදෘශ්‍යමාන බලවේග රාශියක් සිරිපා රක්ෂිතයේ ඇති අතර සුදු හැඳගත් වැඩිහිටියෙකුව බොහෝ පිරිසකට හමු වී ඇති අතර වාරේ සහ අවාරේ එලෙස හමුවී ඇත්තේ කැලයේ මංමුලාවන විට නිවරදි මග සොයා ගැනීමට හෝ යම් වදනක් පවසා උදව් කිරීමට වැනි දෙයකදීය. 
එම නිසාම එම අදෘශ්‍යමාන පුද්ගලයා සමන් දෙවිඳු යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතියි. මන්ද අප දැනගත් ඇතැම් මංමුලා වීම් සහ අනතුරු සිද්ධීන්වල මෙකී සුදු හැඳගත් වයසක පුද්ගලයෙකු එක්වරම ඔවුන් සිටි ස්ථානයට පැමිණ නැවතත් ඔවුනට නොපෙනෙන ලෙස අතුරුදහන්ව ඇත. 
කෙසේ හෝ ප්‍රේමාලෝක හිමි දුටු සත්‍යය නැවත වරක් ගවේෂණය කිරීමට උන්වහන්සේට අවස්ථාව නොලැබුණු අතර එකී දිවා ගුහාව හා සම්බන්ධ සිද්ධිය සිරිපා කන්දට නැගෙනහිරට වන්න ආශ‍්‍රිතව බත්තුළු ඔය හා රජමාවත අතර කැලය බවට උපකල්පනය කෙරුණි. සිරිපා රක්ෂිතයේ වන සතුන් ගිරි දුර්ග අතර තවමත් අප හෝ ​ෙවනත් අයෙකු පා නොතැබූ ස්ථාන රාශියකි. කුණු දිය පව්ව, හීණ් පිදුරුතලාව, සප්තකන්‍යා, සමනල කන්ද ආදිය අප තරණය කොට එහි ඇති දුෂ්කර බව හා ගුප්ත බව අත්දුටු අතර ලබන සතියේ යක්ෂණී හිටපු ගල්ලෙන සම්බන්ධ වැදගත් අබිරහස් සිද්ධිය හා සමනල කන්දේ අබිරහස් ගුහා සංකීර්ණය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවකින් හමුවෙමු. 
විශේෂ ස්තූතිය - බලවන ගමේ 
යසරත්න මහතා හට 
සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ෂාන් ප‍්‍රනාන්දු 
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

අරුම පුදුම ගමන් මැණික...දිය දහර දිගේ ගලා ආ මැණික අතුරුදන් වෙයි.. (sri padaya gawara wila manik gems අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

දිය දහර දිගේ ගලා ආ මැණික අතුරුදන් වෙයි
ඒ 1975 පමණය. පූජනීය ශ්‍රී පාද අඩවියේ ශ්‍රී පාද කඳු වැටිය කිට්ටුව පිහිටි මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ ඒ වන විට මම විදුහල්පති ලෙස සේවය කළෙමි. මහනුවරින් අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමර්ථ වූ මට දුෂ්කර සේවය සඳහා පත්වීම ලැබුණේ සමන්එළිය මහා විද්‍යාලයටයි.
​මේ ප්‍රදේශයට මස්කෙළිය යන නම ලැබුණේ තැනින් තැන සෑදූ පොකුණුවල සුදු වතුකරුවන් විසින් විනෝදයට මාළු බෑමට පිටරටින් ගෙන් වූ මිරිදිය මාළු වර්ග බහුල ලෙස ඇති කළ බැවිනි. මේ ප්‍රදේශය පුරා පැතිර ඇත්තේ සීමාවක් නැති තේ වතු යායවල් ය. උස ගහ කොළ නැත. ඉඳහිට උස ගහක් ඇතත් අවාරයේ හමන ශ්‍රී පාදයේ දැඩි සුළඟට ඒ ගස් ඇදවැටෙයි. ජනවාරි සිට අප්‍රේල් දක්වා ශ්‍රීපාද  වාරය බැවින් මස්කෙළිය නගරය එකම හිස්ගොඩකි.
අඳුනන නිලධාරීන්, නෑයින්, මිත්‍රයන්ගෙන් ගුරු නිවස පිරී යයි. ඒ අයට නැවතීම, කෑම බීම සැපයීම අසීරුවෙන් වුවත් ඉටු කළෙමි. සමහර නඩ සමග අඩු වශයෙන් මම ද සීත ගඟුල දක්වාවත් ගොස් ඇරලීමට පුරුදු වූයෙමි.
ශ්‍රීපාද අවාරය සමග දැඩි සුළඟ, අධික වර්ෂාව, දිවා රෑ වෙළාගත් වැස්ස, විදුලි කෙටීම්, බොර වතුර කඳන්, සීතල හා පාළුව සමග පිරී යයි. හරස් අතට වහින වැස්ස දින ගණන් පවතියි. කුඩයක් ඉසලුවහොත් එහි නන කැරකී කුඩ රෙද්ද ගැලවී සුළඟ සමග ඈතට යයි. දර ඉතා හිඟය. කප්පාදු කළ තේ දර ළිප ලීමට ගනී. කුඩා කෑලි තුනක දර මිටියක් ඈත පළාත්වලින් ගෙනවුත් රුපියල් දෙකට විකුණයි. එය එදා අධික මිලකි. නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයේ බොහෝ දෙනෙක් වන්දනා කාලයට දිනක් දෙකක් නැවතී යාමට පැමිණීම සිරිත විය. සංගීත මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී ප්‍රේමරත්න මහතා අවිස්සාවේල්ල ඉතා ධනවත් පවුලකට අයත් තනිකඩයෙකි. ඔහු මැදිවිය ඉක්මවා ඇත. හේ මාස දෙක තුනකට වරක් නැවතීමට අවශ්‍ය ද්‍රව්‍ය ය ද රැගත් ගමන් මල්ලක් එල්ලා ගෙන ගුරු නිවසට පැමිණ නවාතැන් ගනියි. ගුරු නිවසේ දොර ජනෙල් ඇරි විට රාත්‍රී, දවල් දිස්වන්නේ ශ්‍රීපාද කඳු වැටියයි. විදුලි එළියෙන් නැහැවෙන ශ්‍රීපාද ගමන් මාර්ගය හා ශ්‍රීපාද මළුව රාත්‍රී කාලවල සිත් පහන් කරන චමත්කාරජනක දර්ශනයකි. එදා ප්‍රේමරත්න මහතා ගුරු නිවසට ගොඩ වුණේ දවස් කීපයක් නවතින බව කියමිනි.
මැණික් පිළිබඳ අවබෝධයක් තිබූ ඔහු වතුයායකින් වෙන්දේසි කළ බිම් කොටසක් කුළියට ගෙන මැණික් සෑරීමට පළපුරුදු තුන් හතර දෙනෙක් කැටුව ඔවුන් පතල් බිමට යවා පාසලට පැමිණ ඇත.
මැණික් පතල් බිම පිහිටියේ මස්කෙළිය සිට සැතපුම් පහක් පමණ ඈත ගවරවෙල කඩපොළ අසලයි. ගවරවෙල යන සිංහල නම එයට ලැබුණේ කලකට පෙර මේ අඩවියේ දැනට ලංකාවේ වඳ වී ඇති ගවරුන් බහුල ලෙස මේ දිය කඩිති බිමේ හෙවත් ජල විල්ලුවල ළැග සිටි බැවිනි. දෙමළෙන් මේ ප්‍රදේශය සාමිමලේ යනුවෙන් ද ඉංග්‍රීසියෙන් අෆ්කොට් ලෙස ද හඳුන්වයි. කම්කරු පිරිස මස්කෙළි ඔය අසල වාඩියක් ගසා පතල හාරති. ඔවුනට අවශ්‍ය හාල්, තුනපහ, මුදල් රැගෙන ප්‍රේමරත්න මහතා හවස පහළට යයි. පතලට ඉහළින් කුඩා දිය අැල්ලකි. දිය ඇල්ලේ ජලය වැටෙන ස්ථානයේ ගල හැරී සෑදුණු වක්කලමකි.
වාඩියට ගොස් දිනක් රෑ වී පැමිණි ප්‍රේමරත්න මහතා අැඟ පුරා ඩහදිය වගුරුවා ගෙන මා සමඟ කතාවකට මුල පිරුවේය. අද උදෙන්ම මම වාඩියට ගියා. ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නෑ. උදේ හත වෙන කොට මම පතල ළඟ. වැඩ කරන මිනිස්සු උදේ කෑම තවම පිළි​ෙයළ කරමිනුයි හිටියේ. පතලට උඩින් පුංචි දිය ඇල්ලක් තියෙනවා. මස්කෙළි ඔය දිගේ පළාතෙම එළිය විහිදුවා ගෙන අාපු වස්තුවක් දිය ඇල්ල දිගේ පහළට වැටිලා ඇල්ල පාමුළ වක්කලමේ ගිලිලා අතුරුදන් වුණා. මගේ ඇගේ ලෝම කෙළින් හිටියා. පළාතම ඒකෙන් එළිය වැටුණා. ඒත් වක්කලමෙන් උඩට ආවේ නෑ. වක්කලමේ ගිලිලා නොපෙනී ගියා. ඒ මොකක්ද කියලා දන්නවාද? ඒක තමයි ගමන් මැණික. තියඹරා ගෙඩියක් විතර ඇති. එක තැනක නෑ. ඒක වතුර ගංගා, වෙල්එළි, පර්වත විදගෙන පොළොව උඩින් පොළොව යටින් නිතරම ගමන් කරන ගමන් මැණිකක්. එකතැන නැවතීමක් නෑ. පතළක් හාරනකොට පුවක් ගහක් තරමට හරස් කොට විහිදෙන වතුර පහරක් තිබුණොත් ඒ ගමන් මැණික ගිය පාරක්. ඒකේ මැණික් වරදින්නේ නෑ. කාටවත් ගමන් මැණික අයිති කරගෙන තියා ගන්න බෑ. ඒක හැම විටම තද කළුගල පවා විදගෙන පොළොව යටිනුත් ගමන් කරනවා. මට දුක මගේ ඇස් ඉදිරිපිටම ගමන් මැණික දැකලා අතුරුදන් වුණු එක.
මම ඔහුගේ කතා​වෙන් ගල් ගැසී බලා සිටියෙමි. වාසනාව ඔහුට අත වනා ඉවත්ව ගිය බවක් මට හැඟෙයි.
එස්.කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, November 11, 2019

කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගෙන් අවුරුදු 300 ක් ජීවත් වෙන්න පැරණි රහස් බෙහෙතක් අත්හදා බැලීම නවීන විද්‍යාඥයන්ට භාර කරනවා...(Aisha beheth අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා ගිය ආයුෂ විඳින සෘෂිවරුන් වෙසෙන බව ද කියති.   
භාවනාවෙන් සහ දේශීය ඖෂධ භාවිතයෙන් ඔවුන් ඒසේ දීර්ඝායුෂ විඳිමින් සිටින බව පැවසේ.   
වර්තමානයේ ජනතාව ගෙවන දිවි පෙවෙතේ හැටිය වසර සීයක් නිරෝගීව ජීවත් විය හැකි නම් එය ද විස්ම කර්මයකි. එසේ නම් යමෙකුට අවුරුදු තුන්සීයක් ජීවත් විය හැකි යම් ඖෂධයක් නිෂ්පාදනය වුව හොත් කෙසේ වෙයිද? කුමන ආකාරයේ ඉල්ලුමක් ඒ සඳහා ලැබෙයි ද?   
එසේ අවුරුදු තුන්සියක් ජීවත් විය හැකි අපුරු විස්මිත දේශීය ඖෂධයක් පිළිබඳව විස්තර සොයා යාමට අපට හැකි විය.   
මහනුවර රාජධානී සමයේ විසු බව කියන ශ්‍රී රත්නසේකර නමැති රාජකීය වෛද්‍යවරයකු විසින් ලියන ලද අත්වෙද පොතක මිනිසෙකුට අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි බව කියන අරුම පුදුම බෙහෙතක් ගැන සඳහන් වෙයි.   
මේ විස්මිත බෙහෙත පිළිබඳව සඳහන්ව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශීය වෛද්‍ය ග්‍රන්ථියක් ලෙස සැලකෙන සිතියම් සහිත දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නමැති ග්‍රන්ථයේය. රත්නපුර මාරුක ශාස්ත්‍රෝ​දය පරිවේණාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මේ වෙද පොතේ කතුවරයා වේ. මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් එළි දක්වා තිබෙන්නේ 1959 වසරේදීය. ඥානවිමල හිමි මෙරට විසු අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැලකේ.   
එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය ​වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ. 

සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත.   
එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ.   
එයින් ද පොත් හතක්ම ලියා පළ කර ඇත්තෝ ඥානවිමල හිමියන් විසින් වීම ද විශේෂත්වයකි.   
ඥානවිමල හිමියන් විසින් ලියන ලද මෙම වෙද පොත පිළිබඳවත් එහි සටහන් කර ඇති අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත පිළිබඳවත් තොරතුරු මා හට පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කුරුණෑගල මැහිඇල්ලේ පදිංචි ආර්.ඩී.සී. රන්තිලක මහතාය.   
සර්වාංග වෙදකමට සහ කැඩුම් බිඳුම් වෙදකමට එකසේ දක්ෂ රන්තිලක වෙද පරම්පරාවට අයත් රන්තිලක වෙද මහතා (69) රාජ්‍ය ගෞරව සම්මානලාභී වෛද්‍යවරයෙකි.   
ඥානවිමල හිමියන් ලියු මෙම වෙද පොත ඒ මහතාට ලැබී තිබුණේ ඔහුගේ පියාණන් වු හව්කෙන්දා රත්තිලක වෙද මහතාගෙන්ය. හව්කෙන්දා මහතා හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය ශාන්ති කර්ම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් දැරූ අයෙකි.   
පියාගෙන් උරුමයක් ලෙස ලැබුණු පාරම්පරික වෙද අත් පොත් පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අතරේ තිබු ඥානවිමල හිමි ලියු දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නම් වූ මේ ඉපැරණි ග්‍රන්ථයට සුවිශේෂී වටිනාමක් ලැබෙන්නේ මුද්‍රණයෙන් එළි දක්වා තිබුණේ මෙහි පොත් සුළු ප්‍රමාණයක් නිසා බව ද පැවසේ.  
පිටු 530 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ 288 සහ 289 පිටුවල අවුරුදු තුන්සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත් සෑදීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.   
විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක මුල සිට බඹයක් (අඩි හයක්) උඩින් උඩ කොටස පෙත්ත මට්ටමට කපා හැර ඉතිරි වන ඒ මුල් කොටස මුදුනෙහි ලොකු වංගෙඩියක ඇතුළු කුහරය පමණ වූ විශාල සිඳුරක් පහතට සාරා ඒ සිදුරු ඇතුළට ඇට අස්කළ අමු නෙල්ලි පලම් හැට හතරක් සහ ඒ වර්ගයේ ලී කෑල්ලකින්ම ඇබයක් ගසා බිම සිට එ් ලී කොටස වැසී යන පරිදි අඩි හයක් උසට ගොම වැරටී (වියැළුණු ගොම) ගොඩ ගසා ඒ ගොම වැරටිවලට ගිනි තබා, ගොම වැරටි සම්පූර්ණයෙන්ම දැවී ගියාට පසු උතුරා නැගගෙන විත් එකට පිලිස්සී තිබෙන ඒ ජලාශ සාරය සහිත නෙල්ලි කල්කය ගෙන ගිතෙල් අඹරා නොපිරිහුණු ශක්තිය ඇති (පනස් විය නොඉක්ම වූ) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙන
ඉස් සෝදා නහවා පිරිසිදු කොට පිරුවට අන්දවා මැසි මඳුරුවන්ගෙන් උවදුර නොවන පරිදි ආරක්ෂා සහිතව විශේෂ ඇතුළු කාමරයක කත මේ නෙල්ලි කල්කයක් උණු කළ එළ කිරිත් පමණක්ම දිනකට තුන් වේල බැගින් දිනපතා මසක් ආහාර වශයෙන් දිය යුතුය. මෙසේ මේ රසායනය එළ කිරි සමග දින පසළොස් අනුභව කරන විට ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් නියපොතු දත් හා සමත් ගැලවී යයි. මීළඟට අනික් දින පසළොස අනුභව කරන විට මේ සියල්ලම නැවත හොඳින් වැඩී තරුණ භාවයට පත් වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු තුන්සියයක්ම ජීවත් විය හැකියි. ඉන් පසු වෙන විශේෂ පාවිච්චියක් හෝ ප්‍රතිකාරයක් නැත. යනුවෙන් ශ්‍රී රත්නසේකර රාජකීය වෛද්‍යවරයා ලියු බවද අත් පොතෙහි සඳහන් වේ.’’ යනුවෙන් ද පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල හිමියෝ තම පොතෙහි සඳහන් කර තිබේ.
ඉන් පසුව උන් වහන්සේ මෙසේද සඳහන් කර ඇත. පත්කෑල විශේෂ වාජිකරණ ඖෂධයකි. අගින් කපා දැමූ ගසේ මුල් කොටස ගොමු රොඩු ගින්නෙන් රත් වන විට මුල් සහිත සම්පූර්ණ මුල කොටසේම ඇති සාරය උතුරා මුදුනෙහි වූ සිඳුරෙහි තිබෙන නෙල්ලි පලම් හැට හතරේ සමග එකට මිශ්‍ර වෙයි. නෙල්ලිද සෞඛ්‍ය ධාතු වර්ධනය වන ඖෂධයකි. මෙසේ ඇති වන මිශ්‍රණයෙහි ජීවන බලය වැඩි දියුණු කිරීමේ යම් කිසි ශක්තියක් බලයක් ඇතිවාට කිසිම සැකයක් නැත.
මෙය අප ඇසු දුටු කාලයක පරීක්ෂණයකට භාජනය කර නැති බව ද, මෙම වාජිකරණ ඖෂධය අත්හදා බැලීම් නවීන විද්‍යාවේ හා මානව සමාජයේ දියුණුවට හිතැති අයට බාර වූවක් බවද ඥානවිමල හිමියෝ කියා සිටිති.   
මෙම ඖෂධය නිපදවීම සඳහා යොදා ගනු ලබන පත්කෑල නැතිනම් විලාශ නමැති ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Butea Frondosa වේ.   
මෙම පත්කෑල (රත්කෑල) සහ කැට කෑල (ගැට කෑල) යනුවෙන් වර්ග දෙකකි. මෙයින් ගැට සහිත සුඳු කඳක් ඇති වඩා නිල් පාට නොවු   
කොස් කොළ ප්‍රමාණ හැඩ හුරුකමින් යුත් කො​ළ ඇති අඩි පනහක් පමණ උසට වැවෙන වර්ගය කැට කෑල නම් වේ. මේ වර්ගයේ සෙතු ඇල්ම උළුක්කුව ඉදිමුම ඇතුළු කැඩුම් බිඳුම් වෙදකමට සහ තවත් වෙදකම්වලට ද ගන්නා බව ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.   
එසේම පත් කෑල (රත්කෑල) රත් පාටට හුරු කඳන් ඇති අඩි හැත්තෑපහක් පමණ උසට වැඩෙන විශාල ගසකි. මේ ගසේ කොළ කැට කෑල කොළ වලට වඩා විශාලය. තද නිල් පැහැයකින් යුක්තය. එක වරම ගස පිරි යන සේ අතු අග පිපී තිබෙන රත් පාට මල් සමූහය දින දෙකක් තුළ පර වී වැටී ගොස් ගස් යට රතු පළස් අැතුරුවාත් සේ පෙනෙයි.   
දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එති. යි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.   
මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ.   
මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ​යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත.   
​ෙමම ශබ්ද කෝෂය සකස් කළ ආකාරය ද ඥානවිමල හිමියන් සඳහන් කර තිබෙන්නේ මෙසේය.   
පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙ​ෙළමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා ​ෙබහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි. 

ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ ​නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරි​යෙහි තබා අඳින ලද නියම සටහන්ය.   
මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය.   
වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්‍රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්‍රව්‍යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැ!රැණි පොත ප​තෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය.   
අපේ වෙද පරම්පරාව අවුරුදු දෙදහස් හයසීකටත් වඩා පැරැණි පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් එක්කම තමයි අපේ කුල පරම්පරාව ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආගමනය වුණෙ. බෝධිය රැක ගැනීමට පැමිණි පැරැණි කුල පරම්පරාවලින් එකක් විදිහටත් අපේ පරම්පරාව සැලකෙනවා. මගේ පියාණන් ද මේ රහස් බෙහෙත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරලා තිබුණත් අසීරු වැඩක් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සඳහා අත්හදා ගැනීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු වීම. මාත් වරක් උත්සාහ කළා. මටත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේකේ තියෙන විස්තර අනුව බැලුවාම මේ සඳහා ඉදිරිපත් වෙන්න මිනිස්සු අකැමැතියි. යනුවෙන් ද වෛද්‍ය රන්තිලක මහතා ප්‍රකාශ කළේය.  
සේයාරු හා සටහන
පුෂ්පකුමාර ජයරත්න
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, September 29, 2019

රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ? (rumassala Galle අබිරහස් අඩවිය - Abirahas Adawiya - හෙල පුරාණය)

ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් හෙබි මෙම කඳුවැටිය රූමස්සලයි. රූමස්සල කඳුවැටිය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. රූමස්සල ක්‍රි.පූ. 3000 තරම් ඈතට දිවයන්නකි.  
තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්‍ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්‍රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත.   
ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි.
 
මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ.   
රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.
වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ​ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ. 

අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි.   
අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්‍රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. ​අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය.   
රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ​ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති.   
රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ක​ෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක (xylocarpusrumphii/Meliaceae) කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ.   
රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක.   
බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක.   
ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘‘බොනවිස්ටා’’ යන පෘතුගීසි වදනේ තේරුම සුන්දර දසුන යන්නයි. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වෙති. හික්කඩුව කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 168 වන අතර කල්පිටියට නුදුරින් පිහිටි කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 286කි. 

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ.   
සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති.   
මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ. 
රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති.   
රූමස්සල කඳුවැටියේ දකුණු දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.   
1875 දී බ්‍රිතාන්‍යයින් විසින් ඉදි කරන ලද අඩි 50ක් පමණ උසැති කුලුනක් රූමස්සල කුලුනු කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දැක ගත හැක. ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මඟ තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කිරීම සඳහා මෙය නිර්මාණය කරන ලද බව සඳහන් වේ. මෙය මිනුම් කුලුනක් ලෙස ද භාවිතයට ගත් බව කියති. දෙවන ලෝක යුද්‍ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව විසින් සතුරු නැව් විනාශ කර දැමීම සඳහා මෙම කුලුනේ ව්‍යාජ ආලෝක පහනක් සවි කර තිබී ඇත.   
ගාල්ල කොටු පවුර මත වූ ප්‍රදීපාගාරයේ ආලෝක පහන් නිවා දමා මෙහි පහන් ක්‍රියාත්මක කළ විට ඒ මඟ ඔස්සේ පැමිණි සතුරු නැව් විශාල ප්‍රමාණයක් රූමස්සල අවට මුහුදේ ඇති ගල්පරවල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ කියති. එලෙස මුහුදුබත් වූ නාවික යාත්‍රා 21ක පමණ සුන්බුන් අදටත් මුහුදු පත්ලේ දී දැක ගත හැකි බව කිමිදුම්කරු​වෝ පවසති.
 
බ්‍රිතාන්‍යයින් විසින් ගාලු වරායට සේන්දු වූ නෞකාවලට ජලය ලබා දීම සඳහා රූමස්සල කන්ද පා මුල මුහුදු වෙරළ සමීපයේ ළිඳක් ද ඉදිකර තිබී ඇත. ගාලු වරායට සේන්දු වූ නෞකාවල සිටි වසංගත ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙහි රෝහලක් ද පවත්වා ගෙන ගොස් ඇත. එම ගොඩනැගිලිවල වර්තමානයේ බොනවිස්ටා වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යති.   
බ්‍රිතාන්‍යයින් විසින් රූමස්සල ප්‍රදේශයේ දේවස්ථානයක් ද පවත්වා ගෙන ගොස් ඇත. එහි කටයුතු භාරව සිටි ප්‍රධානියාගේ නැගණිය ළමුන් පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පාඨශාලාවක්ද ආරම්භ කර ඇත. එම පාඨශාලාව වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය නමින් පවත්වා ගෙන යති.
 
බ්‍රිතාන්‍යයින් විසින් 1874 ආරම්භ කරන ලද සුසාන භූමියක් ද බොනවිස්ටා ප්‍රදේශයේ දැක ගත හැක. රූමස්සල කන්දේ ගාල්ල දෙසට විහිදී ඇති තුඩුවේ වධකාගාරයක, පෝරකයක සහ වෙඩි ගෙයක නටබුන් ද ශේෂ වී පවතී. ගල් බිත්ති වලින් නිමවා ඇති වධකාගාරයක අඩි 10ක් පමණ උසින්, අඩි 12 පමණ පළලින් සහ අඩි දෙකක් පමණ ඝනකම බිත්ති වලින් යුක්ත වේ.   
බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කටයුතු කළ සිංහලයින් අල්ලා ගාල්ල ඕලන්ද බළ කොටුවේ සිරකර තබා අශ්ව කරත්තවල නංවා වරින් වර මෙම වධකාගාරයට රැගෙන ආ බව සඳහන් වේ. ඔවුන්ව වධකාගාරය තුළ දැඩි රැකවරණ මැද සිරකර තබා නියම කරන ලද දිනයකදී මරණයට පත්කර සිරුර අසල වූ මුහුදට දැමූ බව සඳහන් වේ. යුද සෙබළුන්ට අවි පුහුණුව ලබා දුන් වෙඩි ගෙය මේ වන විට මුහදු වැලිවලින් වැසී ගොස් ඇත. කුකුලේවත්ත නමැති ඉඩමේ පිහිටා තිබෙන එහි දිග අඩි අටකි. පළල අඩි අටකි. උසද අඩි අටකි. එහි බිත්ති අඩියක් පමණ ඝනකමින් යුක්ත වේ.   
රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.
සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණී මහදුර
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Sunday, August 18, 2019

ශරීර ලක්ෂණ අනුව නාඩි වාක්‍ය කියනහැටි බලංගොඩ නා හිමියෝ විස්තර කරති......(balangoda myethrei deha lakshana vidyawa අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහ නා හිමිගේ මෙතෙක් පළ නොවූ ලිපි පෙළ -
අරුම පුදුම නාඩි ග‍්‍රන්ථ
ලොව්තුරා බුදු රජු ආදි මහා පුරුෂයන් හඳුන්වන ලක්ෂණ විස්තර කරන ‘‘මහා පුරුෂ ලක්ෂණ’’ නම් විද්‍යාවක් ඇතැයි දික්සඟියේ අම්බට්ඨ සූත‍්‍රාදී දේශනා පෙළෙහි ද එයට කළ අටුවාහි ද සඳහන් වේ.

එය ගාථා සොළොස් දහසක් පමණ වෙතැයි අම්බට්ඨ සූත‍්‍ර අටුවාහි දැක්වේ.

එහි බුදුරදුන් මතු නොව බුද්ධ මාතෘ, පීතෘ අග‍්‍රශ‍්‍රාවකාදීන් ද හඳුන්වන ලකුණු ඇතැයි කියන ලදී. (සුමංගල විලාසිනි) මෙයටම තුඩුදෙන කියුමෙක් ජාතක අටුවා නිධාන කථා කාණ්ඩයේ සඳහන් වේ.

බුදු කෙනකු පහළ වන්නට අවුරුදු දහසක් ඉදිරියට තිබීයැ දී ශුද්ධාවාසික බ‍්‍රහ්ම රාජයෙකු මිනිස් වෙසින් ලොවපුරා හැවිද ‘‘තව දහස් වසකින් ලොව්තුරා බුදු රජක් හූ පහළ වෙතැ’’ යි ද ‘‘ඔබ දක්නට දන්, පිං කරව්’’ යි ද අඬ ගා කියන බව එහි දැක්වේ.

මේවා අටුවා ඇදුරන්ගේ මතිමාත‍්‍ර හෝ අතිමාත‍්‍ර වර්ණනා යැයි ඉවැතෑ ලියා යුතු හෝ නොතකා හැරිය යුතු හෝ දෑ නොවේ. මෙ බඳු කිසි දැයෙක් වී නම් එයට සාධක බුදුසස්නට බොහෝ පෙරැ සිට එන වෛදික ධර්මයට අයත් ග‍්‍රන්ථවල අංශු මාත‍්‍රයෙන් නමුදු තිබියැ යුතුය.

‘‘අතඃ කාලෞසම්ප‍්‍රවර්ත්තේ, සංමොෂාය සුරද්විෂාම්

බුද්ධ නාම්නා ජනශ‍්‍රැතඃ කී කටේ ෂූඟවිෂ්‍යති.’’

ඉක්බිති කලියුගය පවත්නා කලැ අසුර විනාශය හෙවත් පාප විනාශය පිණිස බුද්ධ නමින් ජනයා අතරැ ප‍්‍රකට උතුමෙක් කීකට ප‍්‍රදේශයේ (ගයායෙහි) ඇති වන්නේ ය, යන මේ කියුම භගවත් පුරාණයෙහි එයි. විෂ්ණු පුරාණාදියෙහිද බුදුරදුන්ගේ පහළවීම ගැන මෙබඳුම කියුම් දක්නා ලැබේ.
අද ඇති භගවත් පුරාණාදි පුරාණ ග‍්‍රන්ථ බුද්ධ කාලයෙන් මෑත භාගයෙහි රචිත වුවද, ඒවා ඒ නමින්ම බොහෝ පෙර පටන් කිසියම් ප‍්‍රාකෘත භාෂා විශේෂයෙකින් මුඛ පරම්පරායෙන් ගෙන ආ ග‍්‍රන්ථයන්ගේ සංස්කෘත පරිවර්තනයෝය.
ඒ බව ඒවායේම දැක්වෙන ‘‘නාරද උවාච, වශිෂ්ඨ උවාච, නාරදර්ශී කීල, වශීෂ්ඨර්ෂි කීල’’ යන ආදී බුදුරදුනට බොහෝ පෙර සිටි ඍෂීන් ගේ අනාවැකි ලෙසින් දැක්වුණ පාඨවලින් හැෙඟ්.
මේ පුරාණ ග‍්‍රන්ථ ද වේදයේ අවයවයෝ - වේදාංගයෝය.
ඉහත සඳහන් කරුණු ‘‘මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව ද ‘බුද්ධ මන්ත‍්‍ර’ නමින් සුදවැසි දෙවියන්, බමුණු වෙසින් හිඳ බමුණනට ඉගැන්වූහ.’’යි ද ‘‘වේදයනට අන්තර්ගත කැරිණෑ’’ යි ද දික්සඟි අටුවා හි සඳහන් වේ.

බෝසතාණන් උපන් පස් දිනෙන් රජගෙට කැඳවුණ බමුණු පඬිවරුන්ගෙන් කෙනෙකු ඔබ ගත ලකුණු බලා ‘‘මොවුන් බුදු හෝ සක්විති හෝ වෙතැ යි ද තව කෙනෙකු බුදුවෙතිමය. ගිහිගෙයි නොරඳතැ’’යි ද කී හයි අටුවාහි එයි.
මෙයින් මහා පුරුෂ විද්‍යාව ද කිසිතැනක මඳ මඳ වෙනස්ව ඔවුන් උගත් නියාවෙක් හැෙඟ්.
මුලදී සුදවැසියන්ගෙන් ද පසුව තව තව දේවාදීන් ගෙන් ද ලැබී පරපුරෙන් පරපුරට මුඛ පාඨයෙන් දරාගෙන එන දැයෙක කල් යෑමේදී කිසි විවිධතා ඇතිවීම අරුම නො වේ.

බුදුරජුන් පිරිනිවී පසු ඔබ පිළිබඳ වූ මහා පුරුෂ විද්‍යා කොටස ක‍්‍රමයෙන් අභාවයට යතැයි ද යට කී අටුවාහි ම සඳහන් වෙයි.
බුදුරජුන් හෝ ඔබ මා පිය ආදීන් හෝ අභාවයට ගිය පසු ඒ ලකුණු පිළිබඳ කථා මුඛපාඨයෙන් දරන්නට කරන වෑයම වැඩකට නැති එකෙකි.
කලූරිය කළවුන් ගේ ජන්මපත‍්‍ර රැක ගැන්මක් බඳු එකෙකි. එ බැවින් එබඳු කොටස් එයින් හැඟවෙන තැනැත්තන්ගේ අභාවයෙන් ක‍්‍රමයෙන් අභාවයට යෑම ස්වභාවයෙකි.
එහෙත් ඒ උතුමන් ගේ යම් යම් විශේෂ චරිතාංගාදිය වූ කලී රැක ගනු විය හැක්ක.
අද ‘‘නාඩි ග‍්‍රන්ථ’’ නමින් ප‍්‍රකට වැ ඇති ලක්ෂ සංඛ්‍යාත ග‍්‍රන්ථ රාශිය මෙහි කී මහ පුරුෂ ලක්ෂණ විද්‍යාවේ ඉතිරි කොටස් යැයි හැෙඟ්.
එකී ලක්ෂණ විද්‍යාවේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි බුදුරජුන් ගැන පමණක් නොව මහා පුරුෂ ලක්ෂණවලින් එයට ගණනින් අඩු ලකුණු ඇති බුදු මා පියන් ගේ ද අගසව් ආදීන් ගේ ද වග තුග ඇතුළත් වී නම්,

එයට ද ගණනින් අඩු මහා පුරුෂ ලක්ෂණ එකක් හෝ ඇති අයගේත් තොරතුරු ද ඒ සතරෙහි ඇතුළත් නොවූවොත් එය අඩුවෙකි.

එ බැවින් එබඳු සෙසු අය ගේ තොරතුරු ද එහි තිබියැ යුතු ය.

නාඩි ග‍්‍රන්ථ නමින් හැඳින්වෙන පොත් හි ලොව ඉන්නා හැමදෙනාගේම චරිත නොලැබේ.

පින් මහිමයෙන් උසස් වූ සීමා සහිත ගණනක ගේ ම චරිත පමණෙක් ලැබේ.

ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය කෘත යුගයේ මුල් අවධියේ ම ඊශ්වර ප‍්‍රසාදයෙන් මිනිස් ලොවට ලැබිණැ යි ද, නාඩිවාක්‍ය ග‍්‍රන්ථ ත්‍රෙත්තා යුගයේ අවසානයේ දී ලැබිණැ යි ද නාඩි ග‍්‍රන්ථවල ම සඳහන් වේ.

එතැන් සිට ඍෂීන් විසින් ද සිද්ධයන් විසින් ද මුල් නාඩි අනුව තව තවත් ග‍්‍රන්ථ නිපැයුණු බව පෙනේ. දැන් මෙහි දෙනුයේ මේ කී නාඩි ග‍්‍රන්ථ පිළිබඳ තරමෙක හැඳින්වීමෙකි.

අනාවැකි ඇතුළත් මේ ග‍්‍රන්ථ කොටස් දෙකකට බෙදේ. ජන්ම පත‍්‍ර අනුව චරිත විදහා පාන ග‍්‍රන්ථ ද,

ශරීර ලක්ෂණ අනුව පලාපල දක්වන ග‍්‍රන්ථ ද වශයෙනි.

එහි ද ජන්ම පත‍්‍ර අනුව ඵල කියන ග‍්‍රන්ථ ද සායන නිරයන භේදය අනුව දෙගොඩකට බෙදෙයි.

කාක භූජන්ධර මහා වාක්‍යය කාකයර් නාඩිය, සූර්යසංහිතා නාඩිය, කෞමාර නාඩිය, චන්ද්‍ර කලා නාඩිය, කුජ නාඩිය, බුද්ධ නාඩිය, ගුරු නාඩිය, ශුක‍්‍ර නාඩිය, ශනි නාඩිය, සූකර් පෙරිය නාඩිය, කෞශික නාඩිය, සත්‍ය සංහිතා නාඩිය, ධ‍්‍රැව නාඩිය, ස්කන්ධර් නාඩිය, විනායක නාඩිය, භෘගු සංහිතා නාඩිය, නන්දිකේශ්වර නාඩිය, සප්තර්ෂි නාඩිය, රාවණ සංහිතා නාඩිය, අගස්ති වාක්‍යය, පුලස්ති වාක්‍ය ය, කමලමුනි වාක්‍යය යන ආදී වශයෙන් අනාවැකි පවසන ග‍්‍රන්ථයෝ සිය ගණනෙකි.
මදුරාසිය මයිසෝරය මයිරේ, කුට්ටාලම, ති‍්‍රවන්දම, බොම්බාය, ලක්නවු, බාරාණසිය, කුසිනාරා පෙදෙස ආදී බොහෝ තන්හි පැරැණි පොත් ගුල්වල ද යම් යම් පුද්ගලයන් සතුව ද මේ නාඩි ග‍්‍රන්ථ අදත් පවතී.
කලකට පෙර ති‍්‍රවංඩුම්හි රාජකීය පුස්තකාලයෙහි තුබුණු කෝටි ගණනක් නාඩි ග‍්‍රන්ථ එය අයත්ව සිටියවුන් ගේ නොසැලකිල්ලෙන් එයින් ඉවත් වැ විසිරී ගියේ ය.
ජර්මනිය, එංගලන්ත, ඇමෙරිකා යන රටවලට ලක්ෂ ගණනක් මේවා ගෙන යන ලදැයි (Celestial India) නම් පොතේ සඳහන් වේ.
මේවායේ මතු උපදනවුන් පිළිබඳ කථා පමණක් නොව නා නා විධ යන්ත‍්‍ර සූත‍්‍ර නිපැදැවීමේ උපදෙස් ද විවිධ ශිල්ප ශාස්ත‍්‍ර ක‍්‍රම ද දැක්වේ.
කොටින් කියතොත් සංස්කෘත, දෙමළ, තෙළිඟු, කන්නාඩ, මලයාල ආදී භාෂාවලින් නිබද්ධ කෝටි සංඛ්‍යාත මේ ග‍්‍රන්ථ රාශිය ආකරයෙකි.
මදුරාසි මයිසොර් ආදී පෙදෙස් හි මහා පුස්තකාලයන් හි කාකයර් කෞටාර නාඩි ද අගස්ති වාක්‍ය ද ඇත.
භෘගු සංහිතා නාඩිය ලක්නව්හි සරෝජිනීනයිදු මාවතේ පදිංචි පණ්ඩිත පරමේශ්වර බිවේදී බමුණු මහතා වෙත ද රාවණ සංහිතා නාඩිය කුසිනාරාවට මයිල පහළොවක් පමණ ඈත්හි වූ ද්‍රෝරියා දිස්ති‍්‍රක්කයට අයත් රාජපාකර් ගමෙහි පදිංචි ගුරුවාලියා නම් කෙනකු ළඟ ද තුබුණා දුටුමි.
චන්ද්‍ර නාඩිය මදුරාසියේ (Oriental Manuscript Library) නමින් ප‍්‍රසිද්ධ පොත් ගුලේ තිබේ.
එහෙත් තැන තැන කොළ දිරා ගොස් ඇත. ශුක‍්‍ර නාඩිය මුද්‍රිතව ඇත ද අසම්පූර්ණය. සප්තර්ෂි නාඩිය මදුරාසි ආණ්ඩුව මගින් සම්පූර්ණයෙන් මුද්‍රිතව ඇත. දේට කේරලය හෙවත් චන්ද්‍ර කලා නාඩිය මෙයින් වර්ෂ 18 කට පමණ පෙර මුද්‍රාපිත වෙමින් තිබිණ. එහි වැඩ නිම වී දැයි නො දනිමු.

උඩ කී නාඩි ග‍්‍රන්ථ අතුරෙන් කුජ, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාම වලින් හැඳින්වුණු නාඩි කිහිපයෙක් නාම මාත‍්‍රාව ශිෂ්ටය.
මේ නාඩි ග‍්‍රන්ථ අතුරෙහි කාකභූජන්ධර කෞමාර ධ‍්‍රැව ආදී වැඩියක් නාඩි ග‍්‍රන්ථ නිරයණ ක‍්‍රමය අසුව ගියේ ය.
ධ‍්‍රැව නාඩි ආදී කිහිප දෙනෙක් සාධන ක‍්‍රමානුගතයෝ ය.
නිරයණ ක‍්‍රමය අනුව කියන ඵල සියයටත් ම හරි යන අතර, සායන ක‍්‍රමය අනුව කියන ඵල තුන්සියයකට හතක් වැරැදි යතැ යි කියත්,
ශුක‍්‍ර භෘගු සංහිතා රාවණ සංහිතා ආදී සමහර නාඩි ග‍්‍රන්ථ සකු බසින් ද කාකයර් කෞමාර ආදී බොහෝ නාඩි ග‍්‍රන්ථ දෙමළ, තෙළිඟු, කන්නාඩි ආදී ද්‍රවිඩ ගණයට අයත් භාෂා වලින් ද රචිත හ.
මේ නාඩි ග‍්‍රන්ථවල කර්තෘවරයන් ගැන ද යමක් කිය යුතු ය. කාකභුජන්ධර නාඩිය කාකයර් නමින් ප‍්‍රකටක ව සිටි මහ බලවත් සිද්ධයෝගියකු ගේ කෘතියෙකි.
මෙය කලියුගාරම්භ සමයේ රැසැයුණෙකි. එ යෝගියා ම කලියුග වර්ෂ 3000 දී එනම් මෙයින් වර්ෂ 2080 වකට පමණ පෙර දී යළිත් මිනිස් වැ ඉපිද ගත වූ දෑ පිළිබඳ අනවශ්‍ය කොටස් අත්හැර එය සකස් කළැ යි ඒ නඩි ග‍්‍රන්ථයේ ම සඳහන් වේ.
මෙහි දී විශේෂයෙන් කිය යුත්තෙක් ඇත. ඒ ග‍්‍රන්ථය අනුව කලියුගය ඇරැඹුණේ කි‍්‍රස්තු පූර්ව 3102 වන වර්ෂයේ පෙබරවාරි මස 17, 18 යන දෙදින අතර ? මධ්‍යම භාගයේ ය. මෙයින් වර්ෂ 5080 වකට පෙර ය.
කාකභුජන්ධර වාක්‍යයේ සෙසු නාඩි ග‍්‍රන්ථ වල නැති විශේෂ කොටස් ගණනාවෙක් ඇත. එහි මහා වාක්‍යය විශාල එකෙකි.

සම්පූර්ණ බුද්ධ චරිතය එහි විස්තරයෙන් අඩංගු ය.
එය අයත් ව සිටි පණ්ඩිත තංගවේලූ මහතා ගෙන් එය ගැන විමැසුමු. එය පුස්කොළ පොතින් පිටපත් කොට ලියන්නටත් ඉංගිලිසියට නඟන්නටත් තුන් මසක් පමණ ගත විය හැකියැ යි ද ඒ සඳහා රුපියල් තුන් දහසක් ගෙවුවොත් එය කරත හැක්කැ යි ද හේ කී ය.
කාකභුජන්ධර වාක්‍යවල සංක්ෂේපය කාකයර් නාඩි නමින් හැඳින් වේ.
මෙහි ප‍්‍රථම කාණ්ඩයේ ජීවිතාන්තය දක්වා සාමාන්‍ය තොරතුරු ද කේන්ද්‍රය ද, දෙවෙනි කාණ්ඩයේ වර්ෂ 2 1/2 න් 2 1/2 ට තරමක ජීවිත විස්තර ය ද දැක්වේ.
කේන්ද්‍රයේ රාශි දොළස අනුව කාණ්ඩ දොළොසකි. එහි පස්වෙනි භාවයේ දූ පුතුන් ගේ ගණන ද ඔවුන් ගේ නම් ද, පැවිද්දකුගේ කේන්ද්‍රයෙක නම් ඔහුට ඇති වන ශිෂ්‍යයන් ගේ නම් හා චරිතය ද සැකෙවින් දැක්වේ.
දසවන භාව කොටසේ කේන්ද්‍ර හිමියා ගේ රැකියාව හා දිවිහිමි කොට මාසික ආදායම් ප‍්‍රමාණය ද විස්තර කොට දැක්වේ.

සත්වන භාවය පිළිබඳ කාංඩයෙහි ඔහුගේ භාර්යාවගේ නම, ගතිගුණ ද, අනියම් බිරියක ඇතොත් ඇය ගේ නම් ගම් ද දැක්වේ. මෙසේ භාව දොළොසට අයත් කාණ්ඩවල ඒවාට අයත් විස්තර විභාග තත්ත්වාකාරයෙන් දක්වා ඇත.
කාකයර් නාඩියට අයත් ප‍්‍රත්යේක කාංඩ (තනි කංඩම්) නම් වාක්‍ය කොටසෙක් ද ඇත.
මොන ම ප‍්‍රශ්නයක් වුව ද සිතා තමා ගේ කේන්ද්‍රය දුන් විට, එය නාඩි ශාස්ත‍්‍රඥයා තමා ළඟ තිබෙන ප‍්‍රත්‍යෙක කාණ්ඩය හා සසඳා බලා එහි ඒ කේන්ද්‍රය සොයා ගත් කෙණෙහි ම
‘‘ඔබේ නම, ඔබ මා පියන් ගේ නම් මෙසේ මෙසේ ය, ඔබ සිතු දෑ මෙය ය, ඔබ සිතුයේ මේ නම් තැනැත්තා ගැන යැ’’යි හෙතෙම කියයි.
ඉන්පසු ප‍්‍රශ්නයකට එහි සඳහන් උත්තරය ලියා දෙයි. ඉතිහාසය නවීන විද්‍යා ආදී කවර විෂයයක් ගැන ප‍්‍රශ්නයක් සිතුවත් එයට කෙළින් ම උත්තර ලැබේ. දිය යුත්තේ දීර්ඝ විස්තරයක් වී නම්,
‘‘මෙය අසෝ ගත්කතුහු රැසැ යු අසෝ නම් පොතෙහි අසෝ පිටෙහි දක්වා ඇතැ’’යි උත්තරය ලැබේ.
(මෙය අසවල් ගත් කතුවරයා විසින් රචනා කර ඇති අසවල් පොතෙහි අසවල් පිටුවේ දක්වා ඇත.)
අද යුරෝපා, ඇමැරිකා රටවල මුද්‍රිත වැ පවත්නා පොත්වල නම් ද ඇති ලෙස ම ඒ උත්තරවල ඇතුළත් වේ.
මේවා ලබා ගත් කවරකු වුව ද ‘‘මේ නම් අනාගතය පැහැදිලිව දක්ටනා පුදුම ගැඹුරු නුවණ ඇත්තවුන් විසින් පැවැසුණුදැ’’ යැයි සිතත් මය, සැක නො කරති.

මනෝමය ප‍්‍රශ්න මඟින් අපි සංක්ෂිප්ත බුද්ධ චරිතය ද, ජේසු චරිත ය ද ලදමු. බුද්ධ ජන්ම වර්ෂය ද බුද්ධ පරිනිර්වාණ වර්ෂය ද හෙළදිවැ ථෙරවාද පොත් හි එන සැටි ම ය. ශූක සංහිතා නාඩිය පරමේශ්වරිය විසින් ශුක ඍෂිහට දෙන ලදැ යි මෙහි මුල් සිලොවින් දැක්වෙයි.
මෙහි පරාශර වරාමිහිර ආදීන් ගේ කෘතිවලැ නො ලැබෙන විශේෂඥ ග‍්‍රහයෝග දක්නා ලැබේ. ශුක මහර්ෂිහු මෙය සිය සිසු මාර්කණ්ඬේයයාට ඉගැන්වූහ. මෙය ය සිදුවූයේ ද්රාපරයුගයේ දී ය.
මේ කාලයේදීම ශී‍්‍ර කෘෂ්ණයන් ද සහදේවයාට නාඩි වාක්‍ය ඉගැන් වූ බව ද ඒ පොත් හි සඳහන් වේ.
සූර්යය සංහිතා නාඩිය කර්දම භෘගු ප‍්‍රහ්ලාද බලි ජනක යන ඍෂිවරුන් ගේ සංවාදයෙකි. මේ ඍෂි සභාවේ සභාපති වූයේ හිරු මඬලට අධිගෘහිත සූර්ය නම් දෙව් පුතෙකි. එහෙයින් එයට සූර්ය නාඩි නමින් එ තැන් සිට බැවහරය විය.
කෙනකු ගේ පූර්ව ජන්මයේ තොරතුරු ද එය අනුව මේ ජන්මයේ විඳුනා සැප දුක් ද මෙහි දැක්වේ. මතු ජන්මය සාර්ථක කැරැ ගන්නා සැටි ද ලබත හැකි මතු අත් බව ද සැකෙවින් සඳහන් වේ.
කලියුගාරම්භයේ මහා සිද්ධයෝ අටොළොස් දෙනෙක් නාඩි ග‍්‍රන්ථ රැසක් නිපැයූහ. ඔවුන් කලකට පසු මේ ඝන ශරීරය අත් හැර සියුම් සිරුරෙකින් මිනිස් ලොව ම මිනිස්නට සෙත් සදමින් වෙසෙතැ යි ඒ සමහර නාඩි ග‍්‍රන්ථයෙක පැවැසේ.
තියෝසොෆි පරම විඥානවාදීහු ද මෙසේ ම සියුම් සිරුරින් ලොවැ වෙසෙමින් ලෝකාර්ථයෙහි යෙදුණු කුථුමි, මෝරිය, ජ්ටාලාකුල, රකොක්සි ආදී සිද්ධයන් සමූහයක් ඇතැයි කියත් ඔවුන් ‘‘මහාත්මා’’ (මාස්ටර්වරු) නමින් හඳුන්වති.
උඩ දැක්වුණු පරිදි කලියුගාරම්භයේ සිටි සිද්ධයන් ගෙන මහ බලවතෙක් පෝගර් (භෝග) නමින් හැඳින්වේ.
බොහෝ පෙර ඝන ශරීරය හැරු දැමූ (කලූරිය කළ) මේ සිද්ධයා අද ද දකුණු ඉන්දියාවේ පලනි නම් නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ ස්කන්ධ කුමාර දේවාලයයෙහි කඳ කුමරුට ආවතේව කරමින් වෙසෙතැ යි එහි වූ නාඩි ග‍්‍රන්ථයෙක පැවැසෙයි.
පලනි දෙවොලෙහි පොත්ගුලේ ‘‘පෝගර් සත් දහස’’ යන අරුත ඇති නමෙකින් හැඳින්වෙන ද්‍රවිඩ භාෂාමය මහා නාඩි ග‍්‍රන්ථයෙක් ඇත.
එහි ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රය පිළිබඳ වූ ද යන්ත‍්‍ර මන්ත‍්‍රාදී ගුප්ත විද්‍යාංශ පිළිබඳ වූ ද බොහෝ වැදගත් උපදේශ ඇතුළත් ය.
මේ ග‍්‍රන්ථය කියැවූ කේ. වී. වෙන්කට රාමන් නම් මහතා මේ පොතේ දැක්වෙන පුදුම පුවතක් බැංගලෝර් හි පළ වන "Astrological Magazine" නම් සඟරාවේ 47 වැනි කාණ්ඩයේ එක් කලාපයෙක කලකට පෙර පළ කැරැවී ය. එය සැකෙවින් මෙසේ ය.

‘‘බොහෝ පෙර කලියුගයෙහි මුල් අවධියෙහි පෝගර් ප‍්‍රමුඛ සිද්ධ පිරිස අද ප‍්‍රංශ, ඉතාලි, ජර්මන්, එංගලන්ත යන ආදී නම් වලින් හැඳින්වෙන යුරෝපයට අයත් රටවල ගැවැසුණහ.

අද විද්‍යා අතිනුත් සභ්‍යත්වය අතිනුත් ඒ රටවල් යම් දියුණුවක් ලබා ඇත් ද ඒ සියලූ දියුණුවට මුල පිරූහ. මඟ පෑදූහ.

ඔවුන් අතුරෙන් එංගලන්තයට ගිය පෝගර් නම් සිද්ධයා එහි කඳ කුමරුන් සඳහා මහ දෙවොලක් ඇති කෙළේය.

එය පිහිටි පෙදෙස එදා ‘‘ස්කන්ධ පූරි’’ නමින් වැහැරැවිණ. කල් යෑමෙන් ඒ නම ම පෙරැළි එය ම කැන්ටබරි (Canterbury) නමින් හැඳින්විණ.

එක්තරා අයිරිශ් ගත් කතුවරයෙක් තමා කළ පොතෙක අද ශාන්ත පාවුලූ මහා දෙවොල (St' Paul's Cathedral) ඇති තැන වර්ෂ 2,500 කට පෙර එනම් ජේසුතුමන් පහළ වන්නටත් අවුරුදු පන්සියයකට තරම් පෙර අන් කිසි සමයකට අයත් මහ දෙවොලක් තිබිණැයි සඳහන් කෙරෙයි.
මේ උඩ නම් සඳහන් දේව ස්ථානය ස්කන්ධ කුමර දෙවියන් ඇදැ හූ සිද්ධයකු ගේ සමාධිය පිහිටි තැන යැ යි එක් හින්දු ස්වාමිවරයෙක් කියයි.
දෙවෙනි ලෝක යුද්ධ සමයෙහි හිට්ලර් එංගලන්තයට ගොඩ බස්නට හැම සැටියෙන්ම පිළියෙළ වී සැරැසුණ ද එය ව්‍යර්ථ වූයේ යථෝක්ත සිද්ධයා ගේ බැල්ම නිසා යැයි ද හේ කියයි.
පලනි නුවරැ කඳ කුමර දෙවොලෙහි පොත් ගුලෙහි ඇතැයි යට කී ග‍්‍රන්ථයෙහි ම ජේසුතුමන් ළපැටි වියෙහි භාරතයට ආහ යි ද, පසු ව හිමාලය පෙදෙසෙහි යෝගීනට එක් වැකලක් ම යෝග වැඩූහ’ යි ද තිස් වන වයසේ සිය ජන්ම භූමියට වැඩිය හ’ ද සඳහන් ව ඇත.
මෙතෙක් කරුණු දැක්වූයේ පෝගර් නාඩිය ගැන ය. මෙය කාකයර් නාඩිය සේ ම අංග සම්පූර්ණ එකෙකි.
පරාශර සංහිතාවේ දශාක‍්‍රම දෙසාළිසක් දැක් වී ඇති ද, මේ කලියුගයට ගැළපෙනුයේ උඩුදශා ක‍්‍රමය පමණ යැ යි ශුක‍්‍ර නාඩිය පවසයි. ශී‍්‍ර රාම නාඩිය භීම කවි නම් ඇදුරක්හු රැසැ යූ කුඩා ගතෙකි. ඒ ඒ භාවයෙහි ග‍්‍රහයන් සිටීමෙන් ලැබෙන ඵල මෙහි දැක්වේ.
අන් ජ්‍යොතිෂ ග‍්‍රන්ථවලැ නැති විශේෂ ග‍්‍රහයෝග රාශියක් මෙහි සඳහන් වෙයි.

සූර්ය සංහිතා (හාස්කර) නාඩිය බොම්බායේ ජායාශාස්ත‍්‍රි නමින් ප‍්‍රසිද්ධ බමුණු පඬිවරයා වෙත තිබේ. එහි ගොස් සිය නම් ගම් වතගොත රැකියා ආදී ජීවිත විස්තර ලබා ගත්තෝ මවිත වෙති.
භෘගු නාඩියේ කර්තෘ බොහෝ පෙරැ සිටි භෘගු නම් ඍෂිවරයෙකි. මෙහි රාශියක් අංශ එක්සිය පනසකට බෙදෙයි.
ලබන සතියට......
බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

Monday, August 12, 2019

හූනියම් හා හූනියම් දෙවියෝ..... (huniyam Deviyo suniyam අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam)

සමාජයෙහි මේ වචන දෙක ඇසෙන විට ම කිසියම් බියක් තැතිගැනීමක් ඇතිවේ. නූතන සමාජයෙහි සුලභව දැකිය හැකි වෙන්නේ විවිධ දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් හා පෞද්ගලික වශයෙන් යම් යම් පුද්ගලයන්ට අහිතක් කිරීමේ චේතනාවෙන් යුක්තව පොල් ගැසීම, මිරිස් ඇඹරීම හා අනවිණ කටයුතු සිදු කිරීමය. මෙවැනි ක්‍රියාවන් විවේචනයට ලක් කරන ඇතැම් පුද්ගලයන් තමන් ද ඉතා හොර රහසේ ම මෙවැනි ක්‍රියාවල නිරත වන අවස්ථා ද දැක ගත හැකියි. මෙම ලිපිය මගින් අප බලාපොරොත්තු වෙන්නේ හූනියන් හා හූනියන් දෙවියන්ගේ භාවිතය පිළිබඳව දළ හැඳින්වීමක් කිරීමයි.

ලෝකයේ විවිධ රටවල හූනියම් කිරීම් නිසා දඬුවම් දුන් අවස්ථා පිළිබඳව දැක්වේ. ඉන්දියාවේ ද කාන්තාවන් දස දෙනෙකු මෙසේ දඬුවමට ලක් වීමක් පිළිබඳව අන්තර්ජාලයෙහි සඳහන් ව තිබිණි. ඇතැම් අරාබි රජයන් ද මෙවැනි ක්‍රියා තහනම් කර ඇත. සූනියම යන්න සමානාර්ථයේ යෙදෙන්නකි. භාෂාවේ දී ‘ස’ ශබ්දය ‘හ’ යනුවෙන් භාවිත වෙන අවස්ථා ඇත. සහල් හාල් වීමද, හද සඳ වීම ආදී වශයෙනි. සූනියම, හූනියම, හූනියං, ගුරුකම් කොඩිවින යන්න ඇතැම් පුද්ගලයන්ගේ ජීවිතයෙහිම කොටසක් වී ඇත. තමන්ගේ ජීවිතයෙහි වැඩිම කාලයක් ගත වෙන්නේ මෙවැනි ක්‍රියාවන් හා සම්බන්ධයෙනි. මෙවැනි ක්‍රියාවක පවත්නා මානසික පසුබිම ද මෙහි දී අවබෝධ කර ගත යුතුයි.
විවිධ ශබ්ද කෝෂකරුවන් මෙය විග්‍රහ කරන්නේ කිසියම් පුද්ගලයකුගේ පවුලක ක්‍රියාකාරකම් මන්ත්‍ර ගුරුකම් බලයෙන් පාලනය කොට අහිතකර අපල උපද්‍රවයන් පැමිණීම ලෙසයි. මීට අමතරව ස්වභාවිකව සිදුවන ඇතැම් අශූභ දෑ ද සූනියම් ලෙස විග්‍රහ කෙරේ. මීට අමතරව ඇස්වහ හා කටවහ යන්න, හෝවා යන්න, ද සමාජයෙහි පවත්නා සිද්ධියකි. ඔයැ ඊක්ජන ්රඑ :ෘැබබසි උයැ්කඑැහ* කෘතියෙන් ඊජිප්තුව වැනි රටවල පවත්නා විවිධ මළවුන් උපයෝගි කරගෙන සිදු කරන විවිධ මන්ත්‍ර ගුරුකම් ආදිය දැක්වේ.

මහ වංශයෙහි 07 වෙනි පරිච්ජේදයේ දැක්වෙන ආකාරයට කුවේණිය මන්ත්‍ර ශාස්ත්‍ර්‍ය දැනගත් කෙනෙක් බවත් මන්ත්‍ර ගුරුකම් බලයෙන් විජය රජු ඇතුළු පිරිස සඟවා තැබු බව දැක්වේ. කුවේණිය කළ ශාපය කොහොඹ යක් කංකාරියේ ද දැක්වේ. රාජාවලියේ ද මෙවැනි සිදුවීමක් වාර්තා කරයි. යකුන් ඇති රටක වාසය කළ නොහැකි බව පැවසූ විජය රජු කුවේණිය වෙළඹ වේශයක් මවාගෙන විජය රජු ද පිට තබා ගනිමින් සියලු යක්ෂ පිරිස විනාශ කළ බව දැක්වේ. මෙයින් කුවේණිය සතුව කිසියම් මන්ත්‍ර බලයක් තිබිණි.

සද්ධර්මරත්නාවලියෙන් ද (479-924) මෙවැනි මන්ත්‍රයන් පිළිබඳ දෑක් වේ. සද්ධර්මාලංකාරයෙහි - නන්දිය වෙළෙන්දාගේ භාර්යාව ලබා ගැනීම සඳහා සිව නම් වූ ඇමතියා කළ ක්‍රියාව දැක්වේ (676-677) රාජාවලිය හා ලංකා පුරාවෘත්තය යන කෘතින් ගෙන් දැක්වෙන ආකාරයට එදිරිමාන්න සූරිය රජුට සූනියම් කර මැරවීම හේතුවෙන් රාජසිංහ රජු විසින් වේලායුධ ආරච්චියා උල හිඳුවා මැර වූ බව රාජාවලියේ දැක් වේ.
ලංකා පුරාවෘතයේ දැක්වෙන ආකාරයට රාජසිංහ රජු සූනියම් දේවතාවුන් ඇදහූ බව දැක්වේ. රාජසිංහ රජුගේ පාදයේ ඇනුන විස කටුවට දොඩම්පේ ගණිතයා විසින් විෂ කැවු බවත් එයින් රජ මරණයට පත් වූ බවත් දැක්වේ. මහනුවර යුගයේ දී සූනියම් කිරීම දැඩි ලෙස සිදු වූ අතර ම එය තහනමට ද ලක් වූ බව දැක් වේ. ඬේවි දුටු ලංකාවේ දැක්වෙන ආකාරයට මහනුවර යුගයේ දී රජවරු සූනියම් කළවුන්ට දැඩි දඬුවම් දුන් බව ද දැක්වේ. දිව්රීම සම්බන්ධයෙන් මහනුවර යුගයේ දී පැවති ක්‍රමයක් ද දැක්වේ. එකිනෙකා සූනියම් නොකළ බව පවසනුයේ තමන්ගේ දරුවන් හෝ වෙන යම් කෙනෙක් මුල් කරගෙන වේ. අනෙක් අතට බෝධියක් ළඟ  දී දිවුරීම, තල් කොළයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් තමන්ගේ අතේ හෝ පොල් කොළයක තෙල් තැවරීමෙන් මෙය සිදු වේ.
සූනියම් හා හූනියම් සම්බන්ධ සාහිත්‍යගත තොරතුරු විමසීමේ දී මෙවැනි ශාස්ත්‍රයක් පිළිබඳව පූර්වයෙහි පටන්ම මිනිසා දැනගෙන සිටි බව පෙනේ. යන්ත්‍ර මන්ත්‍ර හා ජ්‍යොතිෂය යනුද එක්තරා විද්‍යාවකි. එසේ නැතහොත් ශිල්ප ශාස්ත්‍රයකි. අප නූතනයේ භාවිත කරන විද්‍යාව පමණක්ම නිවැරදි යැයි කීම සුදුසු නොවන්නේ නූතන විද්‍යාව එකම ශාස්ත්‍රය ලෙස පිළිගත නොහැකි බැවිනි. මුල් අවස්ථාවේ දී භික්ෂුන් වහන්සේ ද නක්ෂත්‍රය වැනි ශාස්ත්‍රයන් උගත්තේ විනය කටයුතු සඳහා ආධාරකයක් වශයෙනි. පොහොය කිරීම, පවාරණය හා වස් විසීම වැනි භික්ෂුන් වහන්සේලාගේ විනය කර්මවල දී මාසය, පක්ෂය, තිරිය, වැනි කරුණු නිවැරදි ආකාරයෙන් දත යුතු නිසා එම ශාස්ත්‍රය ඉගෙන ගත් බව පෙනේ. ඉන්දියාවේ සකු බසින් ලියැවී තිබුණු විවිධ නක්ශස්ත්‍ර ග්‍රන්ථ පොළොන්නරු හා දඹදෙණි යුගයේ දී ප්‍රකට විය.
කෝට්ටේ යුගයේ විසූ තොටගමුවේ රහල් හිමියන් දහඅටක් ශිල්ප ශාස්ත්‍රයන්හි ප්‍රකටව සිටි බව දැක් වේ. කෝට්ටේ යුගයේ පිරිවෙන් අධ්‍යාපනය තුළ ද මෙවැනි ශාස්ත්‍රයන් අධ්‍යයනය කර ඇති බව පෙනේ. මේ පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුවේ. කෙසේ වෙතත් විවිධ ශිල්ප ශාස්ත්‍රයන් අතර බෞද්ධ සාහිත්‍යාගත තොරතුරු විමර්ශනයේ දී බ්‍රහ්මජාල සුත්‍රයේ භික්ෂුන් වහන්සේලා නොකළ යුතු ක්‍රියා 27 ක් දැක්වේ. මෙය සුමංගල විලාසිත අට්ඨකතාවේ ද දැක් වේ.
 අප කුඩා කාලයේදී මැදියම් රැයේ දී බල්ලන්ගේ බිරීමක් සමග ඇති වෙන ශබ්දයක් සමග ගැමි විශ්වාසය පිහිටියේ සූනියම් දෙවියන් පැමිණෙන බවයි. සුදු කමිසයක් හා සුදු සරමක් ඇඳගෙන ජටාවක් බැඳ කෙවිටක් අතින් ගෙන සැරිසරන කෙනෙක් ගැන ගම්මු තමවත් විශ්වාස කරති. රාත්‍රී නවයෙන් පසුව පහන තිබීමෙන් සූනියම් දෙවියන්ගේ ස්වරූපය දැකිය හැකි බව ගැමි විශ්වාසය වේ.යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර අතර පිල්ලි යැවීම් ක්‍රමයක් පැවතිණි. මේ බව පෙන්නුම් කරන අවස්ථා සාහිත්‍යයෙහි ද දැක ගත හැකිය. පැරණි සමාජයෙහි තුන් කුළුඳුල් පිරිමි දරු උපතක් සිදු වූ විට එය ආරක්ෂා කර ගන්නට උත්සාහ ගනී. ඇතැම් විට එම දරුවා මිය ගිය හොත් අනව්‍යශ කොටස් ඉවත් කර සූනියම් දැහැල් වලින් මැතිරීම කර ප්‍රාණයන් දක්වා යම් කිසි කෙනෙක් විනාශ කරන්නට අවශ්‍ය කී විට එවැනි සිදු කළ කර ගත හැකි බව පුරාණයෙහි විශ්වාසය වේ. මෙවැනි අවස්ථාවක් පිළිබඳව සද්ධර්මාලංකාරයෙහි හිරණ්‍ය වෙළෙන්දාවේ කතාවෙන් හඳුනා ගත හැකිය. මෙය ඉතා අපූරු අවස්ථාවක් වේ. 
සිව විජ්ජා - සොහොනක සිට යක්ෂයින් ගෙන්වා ශාන්තිකර්ම කිරීම හා සිහලුන්ගේ හඬ විද්‍යාව භූත වෙජ්ජ - සූනියම් කැපීම හා කිරීම, අග්නි හෝම විවිධ දර වලින් පූජා පැවැත්වීම - ගින්නට විවිධ දෑ දැමීම, ලෝහිත හෝම - දකුණු උරහිස පලා ලේ ගෙන මන්ත්‍ර කිරීම, අට්ඨි හෝම - ඇගිල්ලක ඇටයක් ගෙන මන්ත්‍ර ජප කිරීම, වත්ථු විජ්ජා - ගෙවල්වල හා ඉඩම්වල ගුණ දොස් පැවසීම, භුරි විජ්ජා - විශාල ගෙයක සිට මන්ත්‍ර ජප කිරීම, අභි විජ්ජා - සර්පයන් දෂ්ට කළ විට ප්‍රතිකාර කිරීම හා මන්ත්‍ර බලයෙන් සතුන් ගෙන්වීම, විස විජ්ජා - පැරණි විස තිබේනම් ඒවා වැඩි කිරීමක් අලුත් විස ඇති කිරීමත්, සර පරිස්ථානං - විදින ලද ඊතලය තමන් වෙත නෝඒමට සිදු කරන විද්‍යාව, මුද්දා - හස්ත මුද්‍රාවෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රමය - අංගම් වැනි දෑ, සුබග කරණං - ප්‍රිය මනාප බව ඇති කිරීම, සූනියම් වැනි ශාන්ති කර්ම, ජීවිහා නිත්ථධන - මන්ත්‍ර ජප කර කථා කිරීමට නොහැකි වන සේ දිව අකර්මණ්‍ය කිරීම මුඛ බන්ධනය, හණු සංගණනං - මන්ත්‍ර ජප කර හකු දෙක නොසෙල්වීමට සැලැස්වීම, හත්ථාභිජප්පන - හත් පියවරක් තුළ සිට අනෙක් පුද්ගලයාගේ අත් පෙරළීමට මන්ත්‍ර ජප කිරීම, කණ්ණප්පන - කණෙන් හඬ නොඇසීමට මන්ත්‍ර ජප කිරීම, ආදාසප්පන - කණ්ණාඩියට දෙවියන් ගෙන්වා ආවේශ කර ප්‍රශ්න ඇසීම - අංජනම් බැලීම, කුමාරික්කප්පන - ගැහැණු ළමයකුට යම් කෙනෙකුගේ ආත්මය ආරූඨ කිරීම, දේවප්පන - දේව දාසියකගේ ශරීරයට දෙවි කෙනෙකු ආරූඨ කර ප්‍රශ්න ඇසීම, ආදිවච්චුපට්ඨාන - ජීවිකාව උදෙසා හිරු දෙවියන් යැදීම. සූනියම් ශාන්ති කර්මය අවසානයේදී හිරු දෙවියන්ට පින් දීම සිදු කිරීම, අබුජ්ජලන මන්ත්‍ර ජප කර මුඛයෙන් ගිනි දැල් පිට කිරීම, සන්නිකම්ම ශාන්තිකර්ම කිරීම හා දෙවියන්ට භාර වීම, පණිධි කම්ම භාර හාර ඔප්පු කිරීම සූනියම් කිරීමේ දී භාර ඔප්පු කිරීම, වස්ස කම්ම පිරිමියකු නපුංසකයකු බවට පත් කිරීම හා නපුංසකයකු පිරිමියෙකු බවට පත් කිරීම, වත්තු පරි කිරණ -බලි බිලි දීම, ජූහන - යම් යම් අවශ්‍යතාවන් සඳහා ගිනි පිදීම, තඹ පත්‍රයක යමක් ලියා රත් කිරීම මෙවැනි තොරතුරු රාශියක් සාහිත්‍යගතව ඇත. 
මජ්ජිම නිකාය අට්ඨ කථාවේ ද දැක්වෙන්නේ (උපාලි සූත්‍රයේ) පෙර බෝසතුන් වහන්සේ සැඩොල් කුලයක ඉපිද තම පුතාගේ හා බමුණෙකුගේ මානය බිඳිනු වස් මන්ත්‍ර බලයෙන් ක්‍රියා කළ බවයි. සැඩොල් ලියකගේ බන්ධනයට අසු වූ ආනන්ද තෙරුන් ඉන් මුදවනු වස් බුදුන් වහන්සේ ක්‍රියා කළ අයුරු ජනශ්‍රෑතියේ දැක්වේ. මෙම විජ්ජාවන් හා ලංකා සමාජයෙහි නිරත්තරයෙන් බැදෙන දේව සංකල්පය වන්නේ සූනියම් දෙවියන්ය. ජාතික දෙවි කෙනෙක් ලෙස නොව ඒ ඒ පළාත්වල සිටින දෙවි කෙනෙක් ලෙස පෙනි සිටින මෙම දේවතාවියේ සම්භවය සම්බන්ධයෙන් ඒකමිතියක් දැක ගත නොහැකියි. සාමාන්‍යයෙන් ජනශ්‍රෑතියේ දී මේ ස්වභාවය සුලභව දැක ගත හැකිය. 

සූනියන් දේව සංකල්පය පිළිබඳ දේශීය හා බටහිර දාෂ්ටි කෝණයෙන් ද විවිධ ශාස්ත්‍රීය පර්යේෂණ සිදු කර ඇති බව පෙනේ. පුර පක්ෂයේ දී දෙවියන් ලෙස ද අව පක්ෂයේ දී යක්ෂයකු ලෙස ද දැක්වේ. සූනියම් යකා, ඔඞ්ඩි යකා, වින යකා, නාග ඔඞ්ඩිස, කුමාර ඔඞ්ඩිස, ගොඩළු ඔඞ්ඩිස, රාජ ඔඞ්ඩිස යනුවෙන් හත් වාරයකින් උපදින කතාදිය ද ජනප්‍රවාදයෙහි පවතී. සූනියම් දෙවියන් ගම්භාර දෙවියන් ලෙස ද සලකන අතර අර්ධ යක්ෂ හා අර්ධ දේව යන්න ද විමසිය යුත්තකි. පෝල් වර්ස් දක්වන ආකාරයට සුනියම් කාස්සප බුදුන් දවස ඇති වූ යක්ෂයකුගේ කතා ප්‍රවෘත්තියට සම්බන්ධ කර දක්වයි. සූනියම් දේවතාවගේ ස්වභාවය පෙන්නුම් කරන ජන විඥානයෙහි දැක්වෙන්නේ 

සුරතට කඩුවකි මරුවෙස් ගනිමින් සිරසට නයි පෙන තුනක්     දරා 
වමතට ගිනි කබලක් දරමින් සිට පෙන දෙකකුත් දෙඋකුලෙහි දරා 
මුඛයට ලේ පොළගෙක් දරමින් සිටි වාහනයට තුරගෙක් ඒ වරා 
රෝස කොට වසවත් එකුමරු මේ ලෙස සවු සත බිය කරනවා එවරා 

මෙමගින් සූනියම් දෙවියන්ගේ ඇති බාහිර ස්වභාවය දැක ගත හැකි යි. කඩුවක් දරා, සිරසෙහි නයි පෙන තුනක් කරාගෙන, වම් අතින් කබලක් ගෙන, නයි පෙන දෙකක් උකුලෙහි දරා, මුඛයෙහි ලේ පොළගෙක් දරා ගෙන, අශ්වයකු වාහනයක් ලෙස භාවිත කරමින් ඉතා රෞද්‍ර විලාසයකින් පෙනී සිටින බව මෙයින් දැක්වේ. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ සූනියම් කැපිල්ල නම් කෘතියේ දී පෙන්නුම් කරන ආකාරයට සූනියම් දෙවියන් බෞද්ධ සම්ප්‍රදායට අනුගත කළ අවස්ථාවක් දැක ගත හැකියි. කාශ්‍යප බුදුන් දවස සාගල නුවර සාගල රජුගේ පුතෙක් වෙලා උත්පත්තිය ලබපු පුත් කුමරා හිමාල දේශයට ගොස් තුඹසක් ළඟ දී පොළඟුන් තිදෙනෙක් ශරීරයෙහි දරා ගෙන තවත් සර්පයෙක් කටින් ගෙන කාස්සප බුදුන් ධර්ම දේශනා කරන ස්ථානයට පැමිණි මිනිසුන්ට ලෙඩ කරන්නට වරම් ඉල්ලා සිටී. යක්ෂයන් හත් දහසක් එක්කාසු කරගෙනම මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇත. මුගලන් හිමියන් මේ අවස්ථාවේ දී සඳහන් කර ඇත්තේ මිනිසුන් ලෙඩ කිරීම සඳහා එවැනි අවස්ථාවක් නොලැබෙන බවයි. මේ ආකාරයට අවස්ථා තුනක දී ම මෙසේ පැමිණියත් කාස්සප බුදුන්ගේ තේජසින් විලංගු දා බැඳ අවීචියට යැවිය යුතු යැයි තීරණය කරයි. එසේ නොකළ යුතු යැයි කී අවස්ථාවේ දී මොහුට සඳහන් කරන්නේ නුඹ තම්මැන්නාවට යා යුතු බවයි. එහි ද ඇඳුරෙක් ඇති බවත් ඒ ඇඳුරා ළඟ මන්ත්‍රයක් ඇති අතරම එය ජප කරන ලෙසත් එවිට මිනිසුන් ඔබට පිදෙනි දෙන බවත්ය. එසේ වූ කල්හි ලෙඩ කර ඇති මිනිසුන් සුවපත් කරන ලෙසත් නියම කරන ලදි. 
මෙම ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ සූනීයන්ගේ සම්භවය ලංකා සමාජයෙහි සමාජ ගත ආකාරයකි. හැම දෙවි කෙනෙකුටම දීර්ඝ ඉතිහාසයක් ඇත. සූනියම් දෙවියන් උත්පත්තිය එකිනෙකට  වෙනස් වේ. ජනශ්‍රෑති කරුවා ඉදිරිපත් කරන මතවාදයන්ගේ ද යම් වෙනසක් දැක ගත හැකියි. වෛදික යුගයේ දී යන්ත්‍ර මන්ත්‍ර මගින් මිනිසුන්ට ලෙඩ කර වු අවස්ථා දැක ගත හැකියි. ඒ අර්ථයෙන් සූනියම් දෙවියන් අණවින වලට සම්බන්ධ වේ. ප්‍රභවය සම්බන්ධයෙන් විමසීමේ දී මැණික්පාල බිසවගේ කතාව ද මෙහි දී සඳහන් කළ යුතුයි. ඇය විෂ්ණු දෙවියන්ගේ නංගි ලෙස දක්වා ඇත. ඇයට ගැබ් ගැනීම සිදු වේ. ඇගේ දරුවා විදියට මේ සූනියම් දෙවියන් උත්පත්තිය ලබයි. තවත් කතාවක දක්වන ආකාරයට ඇයගේ ස්වාමියා යනු මහා සම්මත රජුයි. ඔහු යුද්ධයට පිටතට ගිය අවසථාවක මැණික් පාලබිසව තනියම නිවසේ සිටින විට සූනියම් නැමැත්තා ඇයට ආරාධනයක් කරනුයේ ඇය හා හිතවත් වන ලෙසයි. ඇය එය ප්‍රතික්ෂේප කරයි. ඔහු ඇයට රෝගා බාධ ඇති කරයි. මෙහිදී ශක්‍ර දෙවියන් මැදිහත් වී මේ රෝගී තත්ත්වය සුව කර ගැනීම වෙන ඍෂිවරයෙක් උතුරු කුරු දිවයිනින් ගෙනෙයි. විෂ්ණු දෙවියන් ද මේ සඳහා මැදිහත් වී ඇත. සුනියම් ශාන්ති කර්මය ලෙස හඳුන්වා ඇත්තේ ද මෙය වේ. 
රාජාවලියෙහි නොදැක්වෙන මල්සරා රාජ කුමාරයෙක් හා සම්බන්ධ ප්‍රවෘත්තියක් ඇත. මේ මල්සරා රජුට විවාහයක් කර ගත්තේ නැත්නම් දරු උත්පත්තියක් ලබා ගත්තේ නැත්නම් රටට අභාග්‍යයක් සිදු වෙන බව දෛවඥයෝ ප්‍රකාශ කළහ. ඔහුට විවාහය සඳහා කෙනෙක් සොයද්දී දස අට දේශයකයට දූතයන් පිටත් කර හරිති. එවිට වඩිග දේශයේ වඩිග රජුගේ කුමාරිකාවන් අට දෙනාගේ බාලම දියණිය මේ මල්සරා රජුට සරණ පාවා දෙන්න තීරණය කරයි. පසුව විවිධ අණ වින කොඩිවින ආදියට යොදා ගත හැකි විවිධ භාණ්ඩ ඇතුළත් තඹ වලින් සකස් කරන ලද කරඬුවක් මුහුදට මුදා හරියි. මෙය ඇයගේ සහෝදරියන් හත් දෙනා ඇගේ විවාහයට ඊර්ෂ්‍යාවෙන් කළ කටයුත්තක් ලෙස ද දැක්වේ. 
ඇය ලංකාවට පැමිණි පසුව මුහුදේ ගිය කණ්ඩායමකට මේ කරඬුව හමු වී මල්සරා රජුට බාර දෙයි. එවිට එය විවර කරන්න එපා යැය විවාහක බිරිඳ මල්සර කුමරුට කීවත් එය නොතකා එය විවර කිරීමෙන් පසුව විවිධ අණවිණ කොඩි වින ආදී නපුරු දෑ ලංකාවට  මුදා හැරුනු බව ජනශ්‍රෑතියේ දැක්වේ. එයින් පසුව ඇති වූ විවිධ අණ විණ ඉවත් කිරීම සඳහා කළ ශාන්ති කර්මය සූනියම් ශාන්ති කර්මය ලෙස ද දැක්වේ. 

අප කුඩා කාලයේදී මැදියම් රැයේ දී බල්ලන්ගේ බිරීමක් සමග ඇති වෙන ශබ්දයක් සමග ගැමි විශ්වාසය පිහිටියේ සූනියම් දෙවියන් පැමිණෙන බවයි. සුදු කමිසයක් හා සුදු සරමක් ඇඳගෙන ජටාවක් බැඳ කෙවිටක් අතින් ගෙන සැරිසරන කෙනෙක් ගැන ගම්මු තමවත් විශ්වාස කරති. රාත්‍රී නවයෙන් පසුව පහන තිබීමෙන් සූනියම් දෙවියන්ගේ ස්වරූපය දැකිය හැකි බව ගැමි විශ්වාසය වේ.
යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර අතර පිල්ලි යැවීම් ක්‍රමයක් පැවතිණි. මේ බව පෙන්නුම් කරන අවස්ථා සාහිත්‍යයෙහි ද දැක ගත හැකිය. පැරණි සමාජයෙහි තුන් කුළුඳුල් පිරිමි දරු උපතක් සිදු වූ විට එය ආරක්ෂා කර ගන්නට උත්සාහ ගනී. ඇතැම් විට එම දරුවා මිය ගිය හොත් අනව්‍යශ කොටස් ඉවත් කර සූනියම් දැහැල් වලින් මැතිරීම කර ප්‍රාණයන් දක්වා යම් කිසි කෙනෙක් විනාශ කරන්නට අවශ්‍ය කී විට එවැනි සිදු කළ කර ගත හැකි බව පුරාණයෙහි විශ්වාසය වේ. මෙවැනි අවස්ථාවක් පිළිබඳව සද්ධර්මාලංකාරයෙහි හිරණ්‍ය වෙළෙන්දාවේ කතාවෙන් හඳුනා ගත හැකිය. මෙය ඉතා අපූරු අවස්ථාවක් වේ. 

ලංකාවේ මාවටු පුරයෙහි ශිව කියන ඇමතිවරයෙකුට අයබදු එකතු කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලදී. එහිදී ශිව ඇමතියා නගරයට යන්නට සූදානම් වෙන විට නගරයේ මිනිස්සු ඔහු පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධානය කරති. ශිව ඇමතියා ද නගර සංචාරය කරයි. මේ නගරයේ ජීවත් වෙන හිරණ්‍ය නමින් යුත් වෙළෙන්දෙක් වෙයි. ඔහු වසර තුනකට වෙළෙඳ කටයුතු සඳහා මුහුදින් එතරට යෑමට පිටත් වෙයි. මේ අතර ශිව ඇමතියා වීදි සංචාරය කරන අවස්ථාවේ දී හිරණ්‍යක වෙළෙන්දාගේ බිරිය දකියි. ඈ පිළිබඳව සිතක් පහළ වී වෙනත් කාන්තාවක් අත තමන්ගේ කැමැත්ත ප්‍රකාශයට පත් කර පණිවිඩයක් යවයි. එහෙත් හිරණ්‍යක බිරිඳ ඊට අකමැත්ත ප්‍රකාශ කරමින් ජීවිතයෙහි ඇති අනියත ස්වරූපය සඳහන් කරයි. එම පණිවිඩය ශිව ඇමතිට කී කල්හි ඔහුගේ සිත දැඩි ලෙස රාගයෙන් මත්වී කල්පනා කරනුයේ හිරණ්‍යක වෙළෙන්දා මරණයට පත් කර හෝ ඇයව ලබා ගැනීමටයි. ඔහු ඇඳුරෙක් මේ කටයුත්ත භාරගෙන ශිව ඇමතියා ද රැගෙන සොහොනක් සමීපයට ගොස් මළ මිණියකට මැතීරීම සිදු කරයි. ඒ අවස්ථාවේ දී භූතාවේෂ වූ මළ මිණිය නැගිට මොකක් කළ යුතු ද යන්න අසයි. එවිට හිරණ්‍යක වෙළෙන්ඳා මහා මුහුදේ ගමන් කරන බවත් ඔහුව මේ කඩුවෙන් විනාශ කරන ලෙසත් ඉල්ලා සිටී. භූතාවේෂ වූ මළ මිණිය මහ මුහුදට යයි. හිරණ්‍යක ප්‍රමුඛ වෙළෙඳ පිරිස මුහුදේ ගමන් කරයි. එවිට ඈතින් එන භූත රූපය දැක නෑවේ සිටින සියලු පිරිස බියට පත් වෙති. එහෙත් හිරණ්‍යක සඳහන් කරනුයේ බිය නොවී සරණ ශිලයෙහි පිහිටා මෛත්‍රී වඩන්න යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. මේ භූතාත්මයට නැව සමීපයට ආසන්න සීටීමට නොහැකි වෙයි. තුන්වතාවක් මෙලෙස මතුරා භූත ආත්මය ගිය ද හිරණ්‍යක විනාශ කළ නොහැකි වෙයි. පසුව භූතාත්මය ශිව ඇමතියා ද, ඇදුරා ද මරා මළ මිනිය බිම ඇඳ වැටීම සිදු වෙයි. මේ සිදුවීමෙන් පෙන්නුම් කරනුයේ පුද්ගලයන්ගේ චර්යාත්මක ස්වභාවය නිසා වෙනත් බාහිර බලවේගවලින් විනාශ කළ නොහැකි බව යි.

රාහු කේතු දශාවන්ගේ වෙනස් වීම මත පුද්ගලයන්ගේ සිතුවිලිවල වෙනස්වීම ඇති විය හැකිය. මේ නිසා ගම්භාර දෙවියන්ට හෙවත් සූනියම් දෙවියන්ට භාරවීම සිදුවේ. ඇතැම් කරුණු විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලිය හැකි අතර ඇතැම් කරුණු ගැමි දෘෂ්ටියේ ද බැලිය යුතු වේ.  එසේම සමාජ මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් මේ දෙස බැලිය හැකිවේ. සූනියම් සංකල්පය පිළිබඳව බටහිර ඇසින් කරන ලද ප්‍රාමාණික අධ්‍යනයක් ලෙස බෘෂ් කැප්ටර්ගේ අධ්‍යන සඳහන් කළ හැකි වේ. සූනියම් දේව රූපයේ එක් පසෙක දේව රූපයත් අනෙක් පසින් යක්ෂයකුගේ මුහුණත් දැක ගත හැකියි. යක්ෂ හා දේව ගුණ දෙකම එකම මුහුණක දැකීම හොඳ නරක දෙකේම මිශ්‍ර වූ සංකල්පයක් සේ කාලය වේ. අව පක්ෂයේ දී කළුවර පක්ෂය ඇති වීමවේ. මිනිසෙක් යහපත් ක්‍රියාවන්හි නිරතවෙන කල්හි පුර පක්ෂය ද අයහපත් ක්‍රියා කරන කල්හි අවපක්ෂය නියෝජනය කිරීමක් කරයි. 
සමාජ මානව විද්‍යාත්මක දෘෂ්ටියෙන් පෙන්නුම් කරනුයේ පුද්ගලයන්ගේ චර්යාවන්ගේ සුවිශේෂිතාවකි. සෑම මනුස්ස ජීවිතයකම හොඳ හා නරක සංකල්පයකි. නූතන විද්‍යාව කෙතරම් දියුණු වුවද විශ්වයේ සියලු දෑ තවමත් සොයා ගත නොහැකියි. පරීක්ෂණ නිරීක්ෂණ මගින් ප්‍රත්‍යක්ෂ කරගත් සිද්ධාන්ත පමණක් ම පරම සත්‍ය ලෙස පිළිගත යුතු නොවේ. හිරු සඳ දෙදෙනාගේ කිරණ හේතුවෙන් පුද්ගලයාගේ චර්යාවේ වෙනස්කම ඇතිවිය හැකිය. සඳ මෝරණ කාලයෙහි මානසික රෝග උත්සන්න වේ.

 ජන සමාජයෙහි ඇස් වහ, කටවහ, හෝවා යන්න සමාජයෙහි මුල් බැස ගත් සංකල්පයක් වේ. ඇතැම් මිනිසුන්ගේ නරක සිතුවිලි තරංගයක් සේ අවකාශයට නිකුත් වේ. මෙවැනි ස්වභාවයක් සත්ව ජීවිතයට කිසියම් බලපෑම්ක සිදු විය හැකිය. ඇතැම් කෙනෙක් තමන්ගේ නිවාස සකස් කිරීමේ දී ද පඹයන් තැබීම දැක ගත හැකියි. ප්‍රථමයෙන්ම දකින මිනිසාගේ නෙත ගැටනුයේ පඹයා වේ. එයින් පුද්ගල මනසේ කිසියම් වෙනසක් ඇති විය හැකිය. මිනිසුන් සෙත් කවි හා වස් කවි යනුවෙන් ව්‍යවහාර කරනුයේ ද නරක හෝ හොඳ සිතුවිල්ලක් මුල් කර ගනිමින් කරන ක්‍රියාවක්ම වේ. මර අක්ෂර ලෙස හඳුන්වන එ,ක,ය,ම,ර,ජ,අ,ණ,ල.අං යන අක්ෂර උච්චාරණ කිරීමෙන් ශබ්ද ධ්වනියෙහි යම් වෙනසක් තිබිය හැකිය.
විශ්වයේ පවතින විශ්වාස පද්ධතිය වෙනස් කළ නොහැකිය. සමාජයට හිතකර දෑ ගැනීමටත් අහිතකර දෑ ඉවත් කිරීමටත් ශිෂ්ට සම්පන්න මිනිසාගේ වගකීම වේ. ඇතැම් මිනිසෙක් හූනියම් තමන්ම තමන්ගේ මනසේ සකස් කරගෙන ජීවත් වෙයි. එහෙත් සියලු දෘෂ්ටීන්ගෙන් පෙන්නුම් කරනුයේ පුද්ගලයාගේ මානසික ශක්තිමත් භාවය හා යහපත් චර්යාවන් ගොඩ නගා ගන්නා කල්හි බොහෝ බාහිර බලවේග පාලනය කර ගත හැකි බවයි.
ආචාර්ය 
ඔලගන්වත්තේ චන්දසිරි හිමි,
අංශ ප්‍රධාන, මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya