Saturday, February 4, 2017

එදා මෙදාතුර ලංකාවේ පුනරුප්පත්තිය ගැන වාර්තා වූ කතා 6ක්....( අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි punuruppaththiya nawatha ipadeema )

පුනරුප්පත්තිය එහෙමත් නැත්නම් නැවත ඉපදීම කියන එක ලංකාවෙ වැඩි දෙනෙක් පිළිගනු ලබන දෙයක්. මේ විශ්වාසය සඳහා ආගමික මති මතාන්තරත් යම්තාක් බලපානව වෙන්න පුලුවන්. අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත් තමන්ගේ පෙර ආත්මය කියන දරුවෙක්ගෙ කථාවකට මාධ්‍ය අවධානය යොමු වෙනවා. පුනරුප්පත්ති කතා බොහොමයක් ගැන වැඩිදුර පරීක්ෂණ කරගෙන යාමේදී මේ දේවල් ජනප්‍රියත්වය, මිල මුදල් ආදිය අරමුණු කරගෙන ගොඩනගන ලද බොරු කතන්දර හැටියට ඔප්පු වෙන එක හරිම සාමාන්‍ය සිදුවීමක්. හැබැයි එහෙම වාර්තාවන හැම පුනරුප්පත්ති කතාවක්ම බොරුවක් කියන්නත් බෑ. ආතර් සී ක්ලාක් මහතා වගේ උගත් විද්‍යාඥයින්ගේ පවා අවධානයට ලක්වුණු සමහර පුනරුප්පත්ති සිදුවීම් ලංකාව තුල වාර්තා වෙලා තියනව.
අද අපේ ලැයිස්තුව සමන්විත වෙන්නේ ලංකාවෙන් වාර්තා වී ඇති සුප්‍රකට සහ අප්‍රකට පුනරුප්පත්ති කතා එකතුවකිනුයි.
1. ආර් ප්‍රේමදාස ජනාධිපතිගේ පුනරුප්පත්තිය – සම්පත් විජේබාහු
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනයට ලක්වන්නේ 1993 වර්ෂයේදීයි. මේ සිදුවීම වෙලා අවුරුදු හයක් පමණ ගිය තැන ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නැවත උප්පත්තියක් ගැන වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ හඟුරන්කෙත ප්‍රදේශයෙන්. ඒ ප්‍රදේශයේ ගොවි පවුලක ඉපදුණු සම්පත් බණ්ඩාර විජේබාහු නම් දෙහැවිරිදි දරුවා තමයි තමන් ඉහත ආත්මයේ ප්‍රේමදාස ජනපති බවට ප්‍රකාශ කර තිබුණේ. ප්‍රේමදාස මහතාගේ රුව සටහන් රුපියලේ කාසියක් දැකීමෙන් තමයි මේ දරුවාට තමා ඉහත ආත්මයේ රණසිංහ ප්‍රේමදාස බව සිහිව තිබෙන්නේ. මේ කුඩා දරුවා ප්‍රේමදාස මහතා මෙන් සෑමදාම පාන්දරින්ම ඇහැරී ආගමික වතාවත්වල යෙදෙන බවටත්, හේමා, සජිත්, දුලා වැනි ප්‍රේමදාස මැතිතුමන්ගේ පවුලේ අයගේ නම් නිතර කියන බවටත් පුවත්පත් වලට අදහස් පලකරන ඒ දරුවාගේ දෙමවුපියන් කියා තිබුණා.
මේ ප්‍රවෘත්ති ජනප්‍රිය වීමත් සමගම නැවත උපන් සම්පත් “ප්‍රේමදාස” දැක බලාගන්නට දිවයිනේ නන් දෙසින් වැළ නොකැඩී පිරිස් ඇදී යන්නට පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සතුරන් විසින් දරුවාව පැහැරගැනීමට හෝ මරාදැමීමට උවත් පුලුවන් නිසා ඒ සඳහා සමහරු ආරක්ෂාවද ඉල්ලන්නට පටන් ගෙන තිබුණා. ප්‍රේමදාස මහතාගේ සමීපතම නිලධාරීන් පවා මේ දරුවාගේ සමහර ගති ලක්ෂණ ප්‍රේමදාස මහතාට සමාන බවට කල ප්‍රකාශ මේ පුනරුප්පත්තිය ගැන කතාබස් තවත් උණුසුම් කරන්නට සමත් උනා.
කෙසේ වෙතත් කල්යාමේදී මේ පුනරුප්පත්ති කතාව ගොතන ලද බොරුවක් බවට හෙළිදරවු කරගැනීමට ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූවන් සමත්වූ බවටයි අපට අසන්නට ලැබුණේ.
2. නිවුන්නු හැටියට නැවත ඉපදුණු 71 කැරළි සඟයින්
කීර්තිමත් විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ පවා උනන්දුවට ලක්වීමට තරම් සුවිශේෂී වූ පුනරුප්පත්ති කථා තිබ්බ කියල අපි හැඳින්වීමෙදිත් කිවුවනෙ. මේ තමයි ඒ කතාව.
ශිවන්ති සහ ශිරෝමි හෙට්ටිආරච්චි කියන නිවුන් දැරියන් දෙදෙනා උපත ලබන්නෙ 1978 නොවැම්බර් 3 වැනිදා ගාල්ලේදීයි. මේ දරුවන් දෙදෙනා අතරින් ශිවන්ති කියන දැරිය වයස අවුරුදු දෙකහමාරේ පමණ සිට පෙර ආත්මය ගැන යම් යම් දේවල් කියන්නට පටන් ගෙන තිබෙනවා. ඇගේ උදරයේ පිහිටි විශාල උපන් ලපයක් පෙන්වමින් එය ගිය ආත්මයේදී තමන්ට වෙඩි වැදුණු සලකුණක් බවටත් ගිය ආත්මයේ තමන්ගේ නම රොබට් බවටත් ඇය හෙළිකරනු ලබනවා. මේ ගැන තොරතුරු විමසීම්දී කලකට ඉහත වෙඩි පහරකින් මියගිය 71 කැරැල්ලේ සාමාජිකයෙක් වන රොබට් නැමැත්තෙක් වෙතයි අවධානය යොමු වන්නේ. මේ සොයායෑම් අතරවාරයේදී අනික් නිවුන් දැරිය වන ශිරෝමිත් තමන් 71 අවධියේ මියගිය කැරළිකරුවෙක් ලෙසට තොරතුරු පවසන්නට පටන්ගන්නවා. ඇය කියන විදිහට ඇයත් රොබට් සමග සමීපව සිටි ජොනී නැමැති කැරළිකරුවෙක්. මේ දැරියන් දෙදෙනා තමන්ගේ පෙර ජීවිත තොරතුරු හුවමාරු කරගැනීමෙන් පසුව ගිය ආත්මයේ තමන් මිතුරන් හැටියට  සිටි වගට පසක් කර ගන්නවා. කැරැල්ල අතරතුර පොලීසියට කොටුවී පලායන්නට උත්සාහ කරද්දී රොබට් වෙඩිපහරකින් මියගිය බවටත්, ජොනීට මාරාන්තික ලෙසට පහරදී පුලුස්සා දැමූ බවටත් බිහිසුණු තොරතුරු දැරියන් දෙදෙනා හෙළිකරනවා.
ශිවන්ති සහ ශිරෝමි දැරියන් තුළ තරමක් දුරට පිරිමි ගති ලක්ෂණ තිබුණු බවටත් සඳහන් වනවා. උදරය පෙනෙන ලෙසට කමිස නවාගෙන අඳින්නටත්, කෝටු කැබලි මුවේ තබාගෙන සිගරට් බීම අනුකරනය කරන්නටත් ඔවුන් පුරුදුව සිටි බවටයි පැවසෙන්නේ. ඔවුන් පෙර ආත්ම ලෙසට සඳහන් කල රොබට් සහ ජොනීගේ පවුල්වල ඥාතීන්ද මේ දරුවන් දෙදෙනා තමන්ගේ වියෝවූ ඥාතියා වශයෙන් කිසිදු සැකයකින් තොරව පිළිගෙන තිබෙනවා.
3. ලොරි අනතුරකින් මියගිය අක්මීමන මනුජ
අක්මීමන මනුජ මතීෂ නම් දරුවාගේ කථාව මෑත භාගයේ  කතාබහට ලක්වූ පුනරුප්පත්ති සම්බන්ධ සිදුවීමක්. මෙය දෙමවුපියන් විසින් බලෙන් දරුවාගේ මනසට එබ්බවූ කරුණු ඇසුරෙන් ගොඩනගන ලද කථාවක් බවටද විවිධ මත පලවුණා.
2005 වසරේ අක්මීමනදී උපත ලබන මනුෂ දරුවාත් අනෙකුත් පෙර ආත්ම වල මත පලකරන්නන් මෙන්ම කුඩා කාලයේ පටන්ම වෙනත් ජීවිතයක් ගැන කරුණු සඳහන් කොට තිබෙනවා. නිවසේ බංකු ආදිය උපයෝගී කරගෙන වාහන එළවන්නටත් විවිධ පුද්ගල සහ ග්‍රාමයන්හී නාමයන් පිළිබඳ කියන්නටත් පෙළඹී තිබෙනවා. ගිය ආත්මයේදී තමන් මිය ගියේ රිය අනතුරකින් බවට තමයි මනුජ දරුවා කියන්නේ(දරුවා අනතුර ගැන පවසන තොරතුරු කලින් කලට වෙනස් කරන ලද ඒවා බවටද මත තිබෙනවා) මේ පෙර ආත්මය පිළිබඳ මතකය දරුවාට වධයක්යැයි සිතන දෙමවුපියන් දරුවාගෙන් කියැවෙන ප්‍රදේශ නාමයන් ඔස්සේ විමසා බලන්නට අවසානයේදී තීරණය කරනවා. මේ සොයායෑම කෙළවර වන්නේ හෙට්ටිගමගේ උදය කැළුම් නම් ලොරි රථ අනතුරකින් මියගිය පුද්ගලයෙක් වෙත මනුජගේ පෙර ආත්මයේ තොරතුරු සම්බන්ධ කරමින්. රිය අනතුර නිසා කැලුම් මියගොස් තිබෙන්නේ 2001 වර්ෂයේදීයි. දෛවෝපගත ලෙස කැළුම් මියගොස් 11 වසරක් පිරෙන මොහොතක ඔහුගේ නැවත උප්පත්තිය ලෙසට සැකකෙරෙන මනුජ ඒ නිවසට ගොඩවෙනවා. කැළුම්ගේ ඥාතීන්ද, බිරිඳ සහ දරුවන්ද සමග දොඩමලු වූ මනුජ දරුවා තමන් ඔවුන් සමග ගතකල ජීවිතය ගැන තොරතුරු රාශියක් බෙදා හදාගත් බවටත් ඔවුන් මේ තමන්ගේ මියගිය කැළුම් බවට පිළිගත් බවත් තමයි එකල පුවත්පත් වාර්තා කලේ.
4. ද්‍රවිඩ බසින් පුනරුප්පත්තිය ගැන කියූ සිංහල සිසුවා ලක්ෂාන් අරවින්ද
කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලක්ෂාන් අරවින්ද රූපසිංහ නම් සිසුවා එක්වරම දෙමළ භාෂාවෙන් කතා කරන්නට පටන් ගන්නේ අනෙකුත් සිසුන් සහ ගුරුවරුන්ව පුදුමයට පත් කරමින්. මේ ගැන කලබලයට පත්වන විදුහලේ විදුහල්පතිවරයා වහාම මෙය කොච්චිකඩේ පොලීසියට දන්වනවා. කිසිදාක දෙමළ ඉගෙනීමක් ලබා නැති ලක්ෂාන් දෙමළ බසින් කියන්නේ ඔහුගේ පෙර ආත්මයක් පිළිබඳ තොරතුරු බවයි පරීක්ෂණ වලදී අනාවරණය වන්නේ. ඒ තොරතුරු වලට අනුව ලක්ෂාන් පෙර ආත්මයේදී යාපනයේ ජීවත් වූ ශ්‍රී රාජේන්ද්‍රම් රාජී නම් දැරියක් බවට තොරතුරු හෙලිවනවා. තමා වසර දොලහකට පමණ පෙර බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බවට ලක්ෂාන් ප්‍රකාශ කරන අතර ක්‍රම ක්‍රමයෙන් ලක්ෂාන් කාන්තාවක් ලෙසටද අංග චලන පල කරන්නට පටන් ගෙන තිබෙනවා. ත්‍රස්තවාදී කලබල තිබූ ඒ කාලයේදී ලක්ෂාන් යනු පිරිමි වෙස්ගෙන පාසැලට ඇතුලු වූ කොටි තරුණියක්ද යන්න සොයන්නටත් පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ මගින් ලක්ෂාන් සිංහල පිරිමි දරුවෙක් බවට සැකහැර දැනගැනීමෙන් අනතුරුවද සියලු දෙනාටම ඊළගට ඇතිවන දැවෙන ප්‍රශ්නය වන්නේ ඉහත ආත්මයකින් නොවේනම් ලක්ෂාන්ට දෙමල දැනුම ආවේ කෙසේද යන්නයි.
වැඩිදුර කරුණු සොයාගෙන යාමේදී මේ සුවිශේෂී රහසද හෙලිදරවු වන්නට පටන් ගන්නවා. එනම් ලක්ෂාන් සිසුවා කටාන විදුහලට ඇතුලත් වීමට ප්‍රථම තමන්ගේ කුඩා අවධිය ද්‍රවිඩ දරුවන්ද ගැවසුනු ප්‍රදේශයක්වූ වයික්කාල ප්‍රදේශයේ ගතකොට ඇති බවටයි. මෙහිදී ලැබුණු ද්‍රවිඩ දැනුමද, යම් මානසික දුර්වල තත්ත්වයක්ද හේතුකොටගෙන ලක්ෂාන්ගේ මේ පෙර භවය පිළිබඳ පැවසීම ක්‍රියාත්මක වූ බවටයි පසුව සොයාගනු ලබන්නේ.
5. පෙර ආත්මයේ හඳුන්කූරු වෙළෙන්දෙක්වූ පූර්නිමා දැරිය
1987 දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ නම් ග්‍රාමයේ උපත ලබන පූර්නිමා ඒකනායක නම් දැරිය යාන්තම් වයස 3 දී පමණ සිට පෙර ආත්මය ගැන තොරතුරු පවසන්නට පටන් ගෙන තිබෙනවා. වයස 4ක් වැනි කාලයකදී රූපවාහිනියෙන් කැළණි පන්සල දකින ඇය තමන් මීට පෙර ඒ පන්සලට ගොස් ඇති බවත් තමන් පෙර ආත්මයේ ජීවත් වූයේ කැළණි ගඟින් එහා ප්‍රදේශයක බවත් ප්‍රකාශ කරනු ලබනවා.
ලංකාවේ පුනරුප්පත්ති සිදුවීම් බොහොමයක් පිළිබඳ පර්යේෂණ පවත්වා ඇති අයිස්ලන්ත ජාතික අර්ලන්ඩර් හැරල්ඩ්සන් මහතාගේ අවධානය ඇයට යොමුවන විට ඇය නව හැවිරිදි දැරියක්. ගිය ආත්මයේදී තමන් අම්බිගා සහ ගැටපිච්ච නම් හඳුන්කූරු වර්ග නිෂ්පාදනය කොට විකුණූ බවත්, රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බවත් ඇය හෙලිදරවු කරනවා. ඇගේ තොරතුරු වලට අනුව කැළණිය ප්‍රදේශයේ කරන ලද සොයාබැලීමකින් අනතුරුව ඇය කියන ලද හඳුන්කූරු විශේෂය වෙළදාම් කල ජිනදාස නම් පුද්ගලයෙක් ඇගේ ඉහත ආත්මය විය හැකි බවට තොරතුරු හෙලිවෙනවා.
පූර්නිමා උපත ලබන්නට වසර 2කට කලින්, 1985 වර්ෂයේදී තමයි ජිනදාස අනතුරකින් මියගොස් තිබෙන්නේ. ජිනදාස සම්බන්ධ තොරතුරු පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සෑහෙන නිරවද්‍යතාවයකින් යුතුව පූර්ණිමා ඒවාට උත්තර දී තිබෙනවා. රිය අනතුරකින් මියගිය ජිනදාසගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් තුවාල සටහන් වලට සමාන විශාල උපන් ලප කිහිපයක්ද පූර්ණිමාගේ සිරුරේ පිහිටීම පර්යේෂකයන්ට පුදුමය දනවන්නක්ව තිබෙනවා.
6. දියේ ගිලී මියගිය ශිරෝමි දිලුක්ශි ලෙසින් උපත ලබයි
1984 දී වේයන්ගොඩ ප්‍රදේශයේ උපත ලබන දිලුක්ෂි නිස්සංක දැරිය කුඩා කල සිටම තම දෙමවුපියන්ව පිටස්තරයන් හැටියටයි දකින්නේ. ඔවුන්ට අම්මා තාත්තා නමින් කතා කිරීමටත් ඇය පැකිලෙනවා. තමන් මේ පවුලට සහ ප්‍රදේශයට අයත් නැති බව හඟින ඇය තමන්ගේ පවුලේ අය වෙත ගෙනයන්නයැයි නිතර දෙමවුපියන්ට ඇවටිලි කරනවා. තමන්ගේ නියම දෙමවුපියන් වෙසෙන්නේ දඹුල්ල ප්‍රදේශයේ බවත්, කුඩාකලදී දියේ ගිලීමෙන් තමන් මියගිය බවටත් ඇය වැඩිදුර කරුණු හෙලිකරනවා. දිලුක්ෂිගේ ක්‍රියාකලාපය ඇගේ දෙමවුපියන්ට ඉමහත් මානසික වධයක් වුවත් තම දියණිය තමන්ට අහිමිවේය බියෙන් ඔවුන් මේ තොරතුරු පිළිබඳ සොයායාමට මුලදී උනන්දුව දක්වන්නේ නැහැ.
කෙසේ වෙතත් දිලුක්ෂිගේ ප්‍රබල ඇවටිල්ල මත අවසානයේදී ඔවුන් ඇගේ පෙර ආත්මය සොයායාමට පියවර ගන්නවා. මේ අතරතුර දිලුක්ෂි පිළිබඳ පුවත්පතක පලවූ ලිපියක් කියවන දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් ඇය තමන්ගේ මියගිය දියණිය වියහැකි බවට තොරතුරු පවසමින් දිලුක්ෂිගේ දෙමවුපියන් වෙත ලිපියක් යොමු කරනවා. දිලුක්ෂිව දැකබලා ගැනීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවටත් ඔහු ඒ ලිපියෙන් පවසනවා.
තමන්ගේ පෙර ආත්මයේ දෙමවුපියන් සොයාගෙන යන ගමනේදී, ඇය ජීවත්ව සිටියායැයි කියන දඹුල්ල ප්‍රදේශයට ළගාවනවාත් සමගම රියදුරාටද මග සලකුණු පවසමින් තමන්ගේ නිවස කරා මාර්ගය පෙන්වන්නට දිලුක්ෂි සමත් වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. ඇගේ පෙර ජීවිතයට සම්බන්ධ වස්තූන් සහ ස්ථාන රැසක්ද එහිදී ඇය විසින් හඳුනාගනු ලැබ තිබෙන්නේ ඇගේ පුනරුප්පත්ති කථාව සනාථ කරන්නට තවත් සාක්ෂි සපයමින්
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

1 comment: