Friday, May 12, 2017

පෙනෙන නොපෙනෙන දේවතා එළි අරුමය.... (අබිරහස් අඩවිය - Abirahas Adawiya - haskam dewatha eli)

දෙයියන් යන මග ඔස්සේ දෙයියන්ගේ ගමට ගිය ගමනක්...
හඳ මුදුන්වී ඇත. වලාකුළින් තොර අහස පුරා බැලුවත් සඳ තනිවම එකදු තරුවක් හෝ දැකගන්නට නැති තරම්ය. කඳු පාමුලින් හමා එන සිහින් හුළං රැල්ලකින්් තේ පඳුරු අතරින් ඉහළට නැගුණු ගිනිසීරියා ගසක අතු යාන්තමට සෙලවෙයි. ඈතට පායාඹා ගිය මාවවුලන් රැලක් යළිත් දලු මඩුව ළඟ තිබෙන වල්දෙල් ගසට පියාඹා එන්නේ ක්‍රීස් හඩිනි.
එහෙත් මගේ හඬ අවදි කරවන්නට මිතුරාගෙන් තවත් මට අවසර ලැබුණේ නැත. නිහඬව නිසලව පහළ නිම්නය දෙස නෙත් යොමාගත් ඔහු නිහඬවන ලෙස මට පෑ සංඥාව තවමත් එලෙසමයි.
මමද ඔහු අනුගමනය කරමින් තවත් ඔහුට ළං වුණෙමි. ඔහුගේ විමසිලිමත් ඇස් යොමුව තිබුණේ පහළ නිම්නය දෙසටය.
මටද ඔහු අනුගමනය කරන්නට දුන්නේ නිහඬ සංඥාවකි. මම ඔහුට තවත් ළං වුණෙමි. පහළ නිම්නයේ ඇති යමක් ගැන ඔහු වඩාත් විමසිලිමත් වන බවකි මට දැනුණේ.
එහෙත් ඔහු තවමත් නිහඬය. මට දැනෙන්නේ නිහඬ බව පමණකි. සුළඟේ වැනෙන ගිනිසීරියා අතුවල අඳුරු හෙවණැලි හැරුණවිට ඉඳහිට අහසට නගින මාවවුලකු දෙන්නකු පමණක් සිදු වන්නේ කුමක්දැයි දැනගන්නට දැඩි කුතුහලයක් තිබුණත් හඬ අවදි කරන්නට තවමත් මට අවසරයක් නැත. ගෙවී ගියේ විනාඩි කීපයක් වුවත් එය මට හෝරාවකටත් වැඩි කාලයක් ලෙසය දැනුණේ.

දැක්කද?

ඔහු නිහඬතාව බිඳිමින් මගේ පිටට අත තැබුවේය.

“මොකක්ද?”

මා පෙරළා ඔහුගෙන් විමසුවේ ඇත්තටම කන්ද කපාගෙන ගලා එන හඳඑළියේ සෙලවෙන රුක්ගොමුවල හෙවණැලි හා අහසට නැගුණු මාවවුලන් හැර වෙනත් යමක් මා නොදුටු නිසාය.

දේවතාවුන් වහන්සේ මලංගම බෝධියට වැඩියා” අර එළිය පෙනෙන්නේ. එතන තමා බෝධිය. ඒ හරි අනුහස් තියෙනවා. එතනට තමා දේවතා එළි පාත් වෙන්නෙ.

ඔහු දිගටම කියාගෙන ගියත් මා දුටු එළියක් නැත. යළිත් මම පහළ නිම්නය දිහා හොඳින් බැලුවෙමි. දෙයියන්ගේ ගමට ආගන්තුක නිසා වටපිටාව ගැන මට තේරුමක් ද නොවීය.

මෙන්න මෙතනින් බලන්න. අර ඈතින් පේන්නෙ ලොකු එළියක්. ඒ ඒදණ්ඩවල හමුදා කෑම්ප් එක. ඒ එක එල්‍ලේම ඊට ටිකක් මෙහාට වන්න පෙනෙන්නෙ මලංගම බෝධිය. මෙතන හිටිනකොට මම ඉඳහිට දැකලා තියනවා දේවතා එළි එතෙන්ට වඩිනවා.

“දැනුත් මම හිටපු ගමන් ඉබේමයි දැක්කේ. විනාඩි තුනකට වඩා එතන රැඳිලා තිබුණා. කන්ද පැත්තෙන් පාවී ගෙන ගිය එළිය ගුළියක් වගේ එතන රැඳිලා තිබුණා. මම හිතුවා ඔයත් ඒක දිහා බලාගෙනයි ඉන්නෙ කියලා.”

“මම දැක්කෙ නැහැ. ඇයි ඔයා කිව්වෙ නැත්තෙ” මම මගේ මිතුරාට නෝක්කඩු කීමි.

“ඒක එහෙම කියන්න බැහැ. කිව්වොත් අත දික්කරලා පෙන්නුවොත් නිකම්ම අතුරුදන් වෙනවා. ඒ විතරක් ‍නෙවෙයි මමත් දැකපු ගමන් අන්දුන් කුන්දුන් වුණා. මේ බලන්න කියන කොටත් ඇඟේ හිරිගඩු පිපිලා.”

ඔහු තමා විඳි අත්දැකීම මට විස්තර කළේ සැබැවින්ම එහි සන්ත්‍රාසය මටද විඳගන්නා පරිදිය.
මගේ මිතුරාගේ හැසිරීම මටද හිතාගත නොහැකිය. එය අව්‍යාජය. එහෙත් පුදුමය වන්නේ ඔහු දුටු දේවතා එළිය මට නොපෙනීමය.
‍පෝය දිනයක් එනතුරු හිට මහ වැහි වහිද්දී කූඩැල්ලන් කඩ කඩා දැඩි වෙහෙසක් ගෙවා දෙයියන්ගේ ගම කන්දට රැය ගතකරන්නට ආවේ හිතේ තිබුණ ලොකු බලා‍පොරොත්තුවක් ඉටුකර ගන්නටය. එහෙත් මට ඒ වාසනාව නොලැබුණි.
මට දේවතා එළිය නොපෙනීම ගැන මගේ මිතුරාටද ඇත්තේ දැඩි කනස්සල්ලකි.

ඔහු යළිත් වරක් ගෙය තුළට ගොස් ‍පොල්තෙල් බෝතලයද රැගෙන පහන් පැලට ගියේ ටික වෙලාවකට කලින් දැල්වූ පහනට තවත් තෙල් ටිකක් දමන්නටය.

ඒ වනවිට මැදියම් රැය ඉක්ම යමින් තිබුණි. එහෙත් නිදිමතක් නොදැනෙන තරම්ය.

“අපි කහට ටිකක් බොමු. මගේ මිතුරා යෝජනා කළේ ඔහුටද නිදිවරා සිටීම එතරම් අපහසුවක් නොවුණ නිසා වන්නට ඇත.

අප ආ ගමන් ඇවුළු ගිනි මැලයේ අඟුරු තවමත් නිවී නැත. මැලයට ඉහළින් ඇති යකඩ පට්ටමින් හැදූ ළිප මතට බෝතලය තබා ළඟ තිබුණු යකඩ බටය කටට තබා දෙතුන් විටක් පිඹිද්දී ගිනිදලු ටිකෙන් ටික ඇවිළී යද්දී තෙතබරි හුළඟින් හීතලවී තිබුණු අපේ ගතටද රස්නය දැනුණි.

“ඇයි කල්පනා කරන්නෙ? ගිනිමැලයේ අයිනටම ඇන තියාගෙන වාඩිවුණු  මගේ දෑත කම්මුල් මත රඳවා ගන්නවාත් සමගම වගේ මගේ මිතුරා විමසුවේ දේවතා එළි දකින්නට පෙරුම් පුරාගෙන ආ මගේ බලා‍පොරොත්තුව ඉටු නොවීම ගැන ඔහුටද තරමක දුකක් දැනෙන නිසා විය යුතුය.

“අපි තේ ටිකක් බොමු. මම කේතලය මැ‍ලේ අයිනට තියලායි ආවේ. වතුරත් රත්වෙලා ඇති.

“නැහැ අපි දැන් බුදියමු. හුඟක් රෑවෙලානෙ. උදෙන් නැගිටලා වටපිට ඇවිදලා බලමු. මා යෝජනා කළේ නින්ද මාළඟ දවටෙන බව දැනුණ නිසාය.

එකට යාව තිබුණු ඇඳන් මත දිග ඇදෙන්නට අපි දෙදෙනාම යුහුසුලු වීමු. නිදන කොටසට යාබදව තිබෙන ගිනි මැලය කාමරයේ සීතල මකාලන බව මට දැනුණේ ඇඳමත ඇලවුණු විටය.

“රෑ එළිවෙනකම්ම ඔය ළිප පත්තු වෙනවා. ඕක හදලා තියෙන්නෙ ඒකට ගැළපෙන විදියට. ළිපේ යට කඩල තියෙන්නෙ පහළින් එන හුළඟ ඉබේම ළිප ඇතුළට එනව කබල දිගේ. එතකොට ළිප නිවෙන්නෙ නැහැ. උඩින් හොඳ අරටුව තියන දර කෑලි දෙක තුනක් දමනවා. එච්චරයි.

ඔය ක්‍රමයට තමයි ඉස්සර යකඩ උණුකරන උඳුන් හදල තියෙන්නේ. මම පසුගිය දොහක දැක්ක බළන්ගොඩ පැත්තෙ කරපු සමීක්ෂණයකදී ඉස්සර ඔය ළිප හදලා තිබුණ හැටි ගැන. ඒ ගැන හිතල මමත් මෙතන ඒ වගේ මේ ළිප හැදුවෙ අර පහළින් එන හුළං පාරට අපූරුවට මේ ළිප පත්තු කරන්න පුළුවන් නිසායි.
කතාවෙන් කතාව අප දෙදෙනාටම නින්ද ගොස් තිබුණ බව දැනුණේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී වන පෙතේ කුරුලු හඬ කන වැටෙද්දීය.
එහෙත් වෙනත් කළ යුතු දෙයක් නොවුණ නිසා අපි තවත් ටිකක් ඇඳ මතම සිටියේ කලින් දින රැයේ අත්දැකීම්ද සිහිපත් කරමිනි.
“අන්න අතනින් පහළ තමා කටුගස්ඇල්ල පටන් ගන්නෙ. ඒ ඉස්මත්තෙ තියනවා ආරණ්‍යයක්. භාවනානුයෝගී ස්වාමීන් වහන්සෙ කෙනෙක් ඉන්නවා කැ‍ලේ මැද තනියම පුංචි කුටියක. අපි උන්වහන්සේව හමුවෙමු. එතකොට හුඟක් තොරතුරු දැනගන්න පුළුවන්.” මගේ මිතුරා ගෙන ආ යෝජනාව ක්‍රියාවට නගන්නට මම වඩාත් උනන්දු වූයෙමි.
එලෙස ආරණ්‍යයට යාමට එන අතරතුරය ගමේ පැරණි පදිංචිකරුවකු වූ ජයසේන මහතා අපට හමුවූයේ.
“මම අහල තියන විදියට මේ ගමට දෙයියන්නෙ ගම කියල නම වැටිල තියෙන්නෙ සමන් දෙවියන්ට කැපවෙච්ච ගමක් හින්දයි. මේ ගම සමන් දේවාලෙ පෙරහරට බෙර ගහන්න යන අයට වෙන් කරල තිබුණ කියලත් කියනවා. කොහොම හරි මේ ගම බොහොම හාස්කම් තියන ගමක්. සබරගමුව මහ සමන් දේවාලයයි සිරිපාදය අතර තියන මේ ගම රත්නපුර නගරය කිට්ටුව තියන ඉහළම ගම්මානෙ. එන්න යන්න හුඟක් අපහසුයි. දැන් දැන්නම් ටිකක් පාරවල් හැදිලා තේ ඉඩම් නිසා දලු ලොරි යනවා.” ජයසේන මහතා දිගටම කියාගෙන ගියේය.
අපි වැඩියෙන් විස්තර හොයන්නෙ ගමේ පැරණි තොරතුරු ගැන. හුඟක් අය කියනවා දෙයියන්නෙ ගමට දේවතා බැල්ම තියනවා  දේවතා එළි එනවා පේනවා කියලා. මොකද ඒ ගැන කියන්නෙ.” මම ඔහුගේ කතාව වෙනතකට හැරවූවෙමි.
ඒක ඇත්ත හැම ‍පෝයකටම වගේ මැදියම් රාත්‍රියට මේ ගම හරහා පාට පාට එළි යනවා. ගමේ හුඟක් අය දකිනවා. මමත් දැකලා තියනවා. අපි විශ්වාස කරන්නෙ සමන් දෙවි හාමුදුරුවො සමන් දේවාලෙත් සිරීපාදෙත් අතර ගමන් කරන වෙලාවට ඒ එළි පෙනෙනවා කියලයි. සමහර වෙලාවට අර පෙනෙන කබර ගලටත් ඒ එළි පාත් වෙනවා දැකලා තියෙනවා.
ගමේ අය කියන්නෙ ඒ ග‍ලේ නිධානයක් තියනවා කියලා. ලොකු ගල් කාමරයක් තියනවලු. ඒක වැහුණ මහ ගල් දොරක් තියනවලු. හුඟක් අය ඔය ගල්ගෙයි නිධාන ගන්න ගිහින් නට්ටං වුණා. අපි දන්න කාලෙදිත් අපේ තාත්තා අපිට පුංචි කා‍ලේ කියලා තියනවා හුඟක් දවස්වලට ඔය ගලට දේවතා එළි වඩින විත්තිය. දැනටත් මේ ගමේ අය හුඟක් රෑපානට ගමන් බිමන් යන්නෙ නැහැ.”

දෙයියන්නෙ ගම ආරියලතා,

කොහොමටත් හැම ‍පෝය දවසකටමත් ගම හරහා යන දේවතා එළි ගමන් කරනවා හුඟ දෙනෙක් දැකල තියනවා.
ඉතිං ඕව දේවතා එළි කියලම කොහොම ද කියන්නෙ. විදුලි කොටනවා කියලා හිතන්න බැරි?

මම ඇසුවෙමි.

“ඇයි මහත්තයො අපිට හෙණ ගහන, විදුලිය අඳුරන්න බැරි? අපි බබ්බුද? හුඟක් අය එහෙම හිතනවා ඇති. ඒත් මේ ගමේ ජීවත්වන අපි තමා ඒක දන්නෙ. ඇත්තටම මේ ගම දෙයියන්ගෙම ගමක්. නගරයෙන් ඈත වුණාට ගමන බිමන අමාරු වුණාට ගමට ආවම තමයි ගමේ හැටි දැනෙන්නෙ. බොහෝම සුවපහසුයි. සරුසාරයි. සාමකාමියි. බාහිර කරදර මොකුත් නැහැ. ගමේ හැමෝම එකමුතුයි. ඉන්න හැමෝම දෙයියො බුදුන් අදහන අහිංසක මිනිස්සු. ඉතින් දෙයියො බලනවා කියන එක අරුමයක්යෑ.”

මහත්තයටත් ඕනනම් දවසක් දෙකක් ගමේ ඉඳලා බලන්න. මම කියන්නෙ බොරුද කියලා ජයසේන මහතා කීවේ අපේ සැකය දුරු කරවමිනි.

සූරියඇල්ල ආරණ්‍යයේ වැඩ වෙසෙන අළු‍පොත දෙණියේ ‘සුමිත්තවංශ හිමියන් හමුවූයේ ඉන් අනතුරුවය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ කටුගස්ඇල්ල වන රක්ෂිතයේ හුදකලා දිවියක් ගෙවන උන්වහන්සේගෙන් අප විමසා සිටියේ කිසිවෙකුත් නොමැති මෙම මහ වන මැද තනිවම ජීවත්වීම අනතුරු සහිත නැද්ද? කිසි බයක් නොදැනේද යන්නයි.
මට කවදාවත් එහෙම දැනුනෙ නැහැ. රාත්‍රියට සමහර වෙලාවට සතකු කෑගසන අමුතු සද්ද ඇහෙනවා. ඒත් කවදාවත් මට අනතුරක් දැනුනේ නැහැ. අමුත්තක් දැනුනෙන් නැහැ.
රාත්‍රියෙත් මම බණ භාවනා කරනවා. නොවරදීම පිරිත් සූත්‍ර දෙක තුනක් අවස්ථාවට අනුව තනිවම සජ්ක්ධායනා කරනවා. ඒ වගේම වන්දනා මාන කරල අහවර කරන හැම විටකම මම සමන් දෙවියන් ප්‍රධාන දෙවිවරුන්ට පින් දෙනවා. ඒක දවසට තුන් හතර වතාවක් කරනවා. මම හිතනවා මට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව තියනවා කියලා.
ගමේ හුඟක් අය කියනවා මේ ගමට දෙවියන්ගේ බැල්ම තියෙනවාය, දෙවියො මේ ගම ඉහළින් යනවාය, දේවතා එළි යනවාය කියලා. ඔබ වහන්සේත් එහෙම දැකල තියෙනවද අපි උන්වහන්සේගෙන් විමසුවෙමි.

මටත් ගමේ අය හුඟක් වෙලාවට එහෙම කියලා තියනවා. ඒත් මම නම් ඒවගේ දෙයක් දැකල නැහැ. මම දෙයියෙ ගැන විශ්වාසයක් නැතිව නොවෙයි.

ඒත් මට මෙහෙම දෙයක් නම් කියන්න පුළුවන්. අපි ආගමික වතාවත් කරලා අහවර දෙවියන්ට පින් දුන්නම අපට අදෘෂ්‍යමාන විදියට ඒකෙ විපාක දෙන වෙලාවල් පැහැදිලිවම දකිනවා.

පහුගිය කා‍ලේ මේ ආරණ්‍යයට විදුලිය තුබුණේ නැහැ. මෑතක තමා ලැබුනේ. මට හිතෙන්නෙ ඒකත් හාස්කමක්ද කියලා.

මේ ගමේ ඇත්තො ඒ දවස්වල මෙතන පහන් පූජාවක් සූදානම් කළා. ඒත් බලා‍පොරොත්තු නැති මහ වැස්සක් ආව. හැමෝගෙම බලා‍පොරොත්තු බිඳිලා ගියා.

අපි මේ පුංචි ශාලාවෙ රොක්වෙලා බුදුන්ට මල් පහන් පූජා කරලා දෙවියන්ට පින් දුන්නා. වැඩිවෙලාවක් ගියේ නැහැ. වැස්ස නැවතුනා. අපි බොහෝම අලංකාරයට පහන් පූජාව පැවැත්තුවා. හැමෝම සතුටු වෙලා දෙවියන්ට පින් දුන්නා.
ඒ විතරක් ‍නෙවෙයි පහන් පින්කම පවත්වලා සති දෙකක් ගියෙ නැහැ අපේ ආරණ්‍යයට විදුලිය ලබා දෙන්න කටයුතු යෙදුණා.

ඒකයි මම කියන්නෙ මේ ගමට හොඳ දේව බැල්මක් තියනවා කියලා. ස්වාමීන් වහන්සෙ අපට කිව්වෙ ඇස පනාපිටම දෙයියන්ගෙ ගම ඇත්තන්ගේ පින් පල දෙනවා කියලා උදාහරණ ඇතිව.

දෙයියන්ගෙ ගමට දේවතා එළි එනව කියලා හැමෝම කියද්දි මට රැයක් ඉඳලත් දැකගන්න බැරිවීම ගැන මට තිබුණෙ ලොකු දුකක්.

ඒ වගේම සූරිය ඇල්ල ආරණ්‍යයේ හාමුදුරුවන්ටත් දෙයියන්නෙ ගම ජනතාවට සෙත සලසන්න දෙවියන්ගෙ බැල්ම තියනවා කියලා හොඳටම දැනිලා තිබුණත් උන්වහන්සේත් දෙවියොවත්, දේවතා එළිවත් කවදාවත් දැකලා නැතිලු.
ඒත් මගේ මිත්‍රයා මා ළඟ එකටමයි හිටියෙ. දේවතා එළිය ගමන් කරන හැටි හොඳටම දැක්ක ඒත් මට පෙනුණෙ නැහැ.
ඒ ගැන හිතන කොට මට මතක් වුණා මම ඉස්සර කියවපු ජපන් කෙටිකතාවක් ගැන. ඒකෙ තියෙන්නෙ ජපානයේ එක්තරා විලකට මකරෙක් ආපු හැටි.

මකරු ගැන තියෙන්නෙ කතා කවදාවත් මකරු දැකලා නැහැ. ඒත් මකරු හිටිය කියල විශ්වාස කරනවා.
ඒත් භික්ෂූන් වහන්සේ නමක් දවසක් නගරයට ඇවිදින් මිනිසුන්ට කියනවා නගරයෙන් ඈත අසවල් තැන තියන විලෙන් අසවල් දවසෙ අසවල් වෙලාවට දැවැන්ත මකරෙක් මතුවෙනවා. ඒ මකරා දකින්න කැමැති අය ඉන්නවානම් ඒ දවසට වෙලාවට එතනට රැස්වෙන්න කියලා.

ඒ කතාව අහපු හුඟ දෙනෙක් එදා එතනට රැස්වුණා. අර පණිවුඩය ගෙනා හාමුදුරුවොත් විල ළඟ අට්ටාලයක් බැඳගෙන බෙරයක් නාද කරකර ගාථා කිය කියා මකරාට අරාධනා කරනවා මකරාගේ හැඩරුව වර්ණනා කරනවා. දැන් හැමෝගෙම හිතේ දැන් දැන් මකරා විලෙන් ගොඩ එනවා කියලා.

කටින් ගිනිදැල් පිටකරගෙන විල මැදින් මකරා මතුවෙන හැටි හැමෝම හිතේ මවාගෙන.

හිටි ගමන් හාමුදුරුවන්ගේ බෙර වාදනය මහා වේගවත් වුණා. ගාථා කීම ඉක්මන් වුණා.

ඔන්න ඔන්න මකරා මතුවෙනවා කියලා කියාගෙන යද්දි හැමෝටම පෙනුණා මහා දැවැන්ත මකරෙක් ඒ විල මැදින් අහසට නැගල අහසෙ නොපෙනී යනවා.

ඒත් හුඟදෙනෙකුට හිතාගන්න බැරි වුණා මොකක්ද එතන වුණේ කියලා. මකරා අවෙ කොහෙන්ද කොහොමද ගියේ කියලා.

පස්සෙ තමා තේරුම් ගත්තෙ අර හාමුදුරුවො මකරගෙ පැමිණීම ගැන ලොකු විශ්වාසයක් ඒගොල්ලන්ගෙ හිත් තුලට කිඳාබස්සලා ඒ අයට ඒ සිතුවිල්ලෙන් මිදෙන්න බැරි වුණා කියලා. ඒ අය ඒ මකරා ගමනය ඇහින් නොවෙයි හිතිනුයි දැක්කෙ කියලා.
මේ දේවතා එළි ගැන කතාව හොයන්න ගිය මටත් හිතුණේ දෙයියන්ගෙ ගමටත් සිද්ධ වෙන්නෙ ඒ වගේ දෙයක්ද කියලා.
ඒත් දෙයියන්නෙ ගම අයට විතරක් නොවෙයි අහල පහල ගම්වල අයත් දෙවියන්නේ ගමට උඩින් දේවතා එළි යන එන හැටි ගැන කතා කරන්නේ ලොකුම ලොකු විශ්වාසයකින්.
ධර්මප්‍රිය ලියනආරච්චි
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment