ගනේවල්පොළින් හැරුණු වාහනය ගමන් කරන්නේ වනගත පෙදෙසකට ය. මඟ දෙපස වනගහනය එන්ට එන්ට ම දැඩි වෙයි. අප යන මඟ ද එන්ට එන්ට ම රළු වෙයි. මඳක් දුරින් පෙනෙන රිටිගල කන්ද දෙස බලමින් යන මට රිටිගල අරභයා ගෙතුණු විවිධ කතා මතක් වෙයි. රිටිගල කන්ද හා සම්බන්ධ කතාවලට අනුව ඒ හා බැඳුණු මුල් ම චරිතය රාමායණයේ එන හනුමන් ය. එක් කතාවකට අනුව හනුමන් දකුණු ඉන්දියාවට පනින්නේ රිටිගල කන්දේ සිට ය. තවත් කතාවකට අනුව රාවණා හා යුද වැදී සිටින රාම කුමරුගේ සොහොයුරු ලක්ෂ්මනට තුවාල වෙයි. බෙහෙත් පිණිස හිමාල වනයෙන් කිසියම් ඔසුවක් ගෙනෙන්නැයි රාම නියම කරන්නේ හනුමන්ට ය. අභාග්‍යයක මහත! හිමාලයට පිවිසෙන හනුමන්ට බෙහෙත් පැළෑටියේ නම අමතක වෙයි. බෙහෙත් පැළෑටියේ නම පමණක් නො වේ. පහසුවෙන් හඳුනාගනු පිණිස කියන ලද කොළවල හා පැළයේ ස්වභාවය ද අමතක වෙයි. හනුමන් පත්වන්නේ ඉමහත් අබග්ගයකට ය. බෙහෙත කෙසේ හෝ රැගෙන යා යුතු ය. හනුමන් හිමාලයෙන් කොටසක් උගුළුවා ගෙන සිය වලිගය හා දෙපා අතර රුවාගෙන ලක්දිවට යයි. ලක්දිවට යන හනුමන් තමන් ගෙන ආ හිමාලය කඳුකරයේ කොටස රිටිගල කන්ද මතට අතහැරියේ ලු. එසේ අතහැර අවශ්‍ය බෙහෙත තෝරා ගන්නැයි කීවේ ලු. රිටිගල කන්දේ ඉන් පහළ ප්‍රදේශයේ ගහකොළවලට වඩා වෙනස් විදිහේ නැත්නම් රිටිගල වැනි පෙදෙසක නො වැවෙන ගහකොළ කඳු මුදුනේ වැවෙන්නට හේතුව හනුමන් විසින් අත හරින ලද හිමාලයේ කඳු කැබැල්ලලු.
තාර දමන ලද පාරක් දිගේ මඟහසර අසා දැනගන්නට කෙනෙක් නැති. වනගහනය මැදින් ගොස් රිටිගලට යන ගුරුපාරට හැරෙන තැන දී වියපත් දුබල තැනැත්තෙක් අතින් සංඥා කොට රිය නතර කරවයි.
“මහත්තුරු, මෙතනින් තමයි රිටිගලට යන්නෙ. දැනුත් ලොකු බස් දෙකක් ගියා. දෙයියන්ගෙ පිහිටයි.”
අනතුරුව සීයා දොඩමලු වන්නේ තමා පත් විපත පිළිබඳව ය.
“අනේ මහත්තුරු, පැලකින් වැටිලයි මට මේ ඇබැද්දිය වුණේ.”
වාහනයෙන් දෙන කීයක් හෝ මිට මොලවා ගන්නා ඔහු නැවතත් අපට දෙවියන්ගේ සියලු ආශීර්වාදය ප්‍රාර්ථනා කරයි. එක් අතෙකින් මඟහසර අහන්නට කෙනෙක් නැති මඟක ඔහු හෝ සිටීම රිටිගල මින් පෙර නොගිය අයට ඉමහත් ආශීර්වාදයකි.
රළු මග දිගේ යන විට මට මහාවංශයේ ද රිටිගල ගැන සඳහන් වන බව සිහිපත් වෙයි. පණ්ඩුකාභය කුමාරයා ඔහුගේ මාමාවරුන් සමඟ මහ සටනකට එළඹෙන්නේ රිටිගල දී ය. පණ්ඩුකාභය කුමරුන්ට අවනත වූ යක්ෂණියක් වෙළඹකගේ වෙස් ගෙන කුමරුට සහයට පැමිණෙන්නේ එහිදී ය. මේ කතාව සනාථ කරන්නේ රිටිගල යක්ෂයන්ට වාසභූමි වූ බවයි.
රළු ගමන් මඟ නිමා වී රිටිගල කඳු සිරස තරණය කිරීම අරඹන තැනට අපි පැමිණ සිටිමු. කන්ද නඟින තැන පිහිටි පුරාවිද්‍යා කුටිය පිටුපස කරාමයෙන් වතුර ටිකක් පානය කළෙමි. සීතල ජලය ගත සිත පිනවයි. එතරම් සීතල, මිහිරි ජලය කර්කශ වියළි කලාපයේ ශුෂ්ක දේශගුණයකට නෑකම් කියන පෙදෙසක පිහිටි කඳු මුදුනකින් ගලා එන්නේ කෙසේ ද?
රිටිගල පැමිණි විට රිටිගල ජයසේන අමතක කරනු කෙලෙස? රිටිගල ජයසේන දුටුගැමුණු රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති සාදයක දී සුරාවෙන් මත්ව ගෝඨයිම්බර යෝධයාගේ දේවියට නොමනා විහිළුවක් කළේ ලු. කෝපයට පත් ගෝඨයිම්බර ජයසේනට ද්වන්ද සටනකට අභියෝග කළේ ය. ද්වන්ද සටනේ දී ගෝඨයිම්බර එල්ල කළ පා පහරකින් ජයසේන හිස කඳෙන් වෙන් වී ඈතට විසිවිය. මියයන්නට පෙර ජයසේනගේ හිස කඳට සවි කරන්නට හිස සෙවූ ජයසේනගේ යහළුවා වූ සෙනසුරුට එය සොයාගත නොහැකි විය. සෙනසුරා වලහකු මරා වලස් හිසගෙන යුහුව ජයසේනගේ කඳට සවි කළේ ය. හදිසියට එය සවි කළේ ද වැරදි අතට ය. එනම් මුහුණ පසුපසට සිටින සේ ය. මුහුණ පසුපසට සවි කළ වලස් හිසක් ඇති ජයසේන දකින විට මිනිස්සු බියවන්නට වූහ. එතැන් සිට ජයසේන මහසෝනා වූයේ ලු. (මහසෝනාගේ රූපයේ අඹන විට හිස පිටුපසට වන සේ අඹා ඇති අයුරු සිහිපත් කර ගන්න.)
වයස් ගත වන විට ඇතිවන සන්ධි රෝග, වාත රෝගාදී කුදු මහත් අසනීප රිටිගල තරණය කරන්නට කම්මැලි හැඟීම් ඇති කරවයි. ටික දුරක් ගිය විට මා පැමිණ සිටියේ බන්දා පොකුණ අසලට ය. බන්දා පොකුණ විසල් පොකුණකි. එය ශෛලමය නිර්මාණයකි. බන්දා පොකුණ යන නම එයට ලැබෙන්නේ ගලින් ගල ළං කොට බැඳ ඇති බැවින් ලු. මට බන්දා පොකුණ අසල සිටින විට රිටිගල ගැන අසා ඇති තවත් ජනප්‍රවාදයක් සිහිපත් වෙයි.
රිටිගල ආසන්නයේ ජීවත් වූ මිනිසෙක් දිනක් කඳු පාමුල වනාන්තරයේ මංමුළා විය. රෑ බෝ වූ පසු අතරමං වූ මිනිසා යා හැකි අතක් නොමැතිව ගසක් පාමුළ වාඩි වී සිටියේ ය. ටික වෙලාවකින් ඔහුට බල්ලන්ගේ බිරුම් හඬ ඇසිණි. ළමයින් හඬන හඬ, මිනිසුන් කතා කරන හඬ ආදී ගම්මානයක ශබ්ද ඔහුට ඇසිණි. එහෙත් ගම්මානයක් අසලක නැති බව දත් ඔහුට දැනුණේ බියකි. මඳ වෙලාවකින් හුළු අත්තක් අතින් ගත් මිනිහෙක් පැමිණ ඔහුට ආහාරයට බත් මුළක් ද, පලතුරු ද දුන්නේ ය. ඉතිරි වෙන ආහාර හෝ වනයෙන් කිසිවක් හෝ රැගෙන නොයන ලෙස තරයේ දැනුම් දුන් මිනිසා කීවේ රැය පහන් වූ පසු දකුණු දිසාව බලා යන ලෙසයි. තමන්ට ආහාර දුන්නේ හා මඟහසර කියා දුන්නේ මිනිස් වෙස් ගත් යක්ෂයෙක් බව අතරමංවූ තැනැත්තා විශ්වාස කළේ ය. ඔහුගෙන් විස්තර දැනගත් මිනිස්සු රිටිගල යන්නට බිය වූහ.
රිටිගල හා බැඳී ඇති යක්ෂ විශ්වාස රිටිගල ඇති දුර්ලභ ගණයේ වන වියන ආරක්ෂා වන්නට හේතු වන්නට ඇතැයි සිතෙයි. යක්ෂයන්ගේ හිරිහැරයට ලක්වන්නට මිනිස්සු කොහොමටත් බියවෙත්. රිටිගල කන්ද නඟින විට හමුවන්නේ මැනවින් සකස් කරන ලද අතීත සංඝාවාසවල සලකුණ ය. සකසා ඇති පෙත් මඟ ගමන් පහසුව ඇති කරවයි. ගිමන් නිවන්නට ගිමන්හල් ද සකසා ඇත. මැනවින් සකසන ලද ජන්තාගාරයක් සහිත සංඝාවාසයක් ද හමුවේ. (ජන්තාගාරය යනු හුමාලය සහිත උණුදිය ඇති ස්නානාගාරයකි.) රිටිගල කන්ද නඟින අය සංඝාවාසය අසල වාඩි වී වෙහෙස නිවා ගනිත්.
කඳු මුදුනට නඟින අය සකසා ඇති අලිවැට අසල නතර වෙත්. දණහිසක දුබලතාවයකින් පෙළෙන මම ද වෙහෙසට පත්ව සිටියෙමි. එහෙත් සිය Seeing Ceylon කෘතියේ (බ්‍රෝහියර් දුටු ලංකාව පරිවර්තනය - අභය හේවාවසම්) ආර්. එල්. බ්‍රෝහියර් කඳු මුදුනට (ත්‍රිකෝණමිතික ස්ථානයට) පෙනෙන සුන්දර දර්ශනය විස්තර කරයි. පසෙකින් කලාවැව, මින්නේරිය වැව, අනුරාධපුර දාගැබ් හා වැව්, වනගහනය ආදී වශයෙන් ඔහු විස්තර කරන්නේ චමත්කාරජනක දසුනකි. කොහෙමටත් වියළි කලාපීය ශේෂ කන්දකට පෙනෙන දර්ශනය අතිශයින් සුන්දර ය. (කලකට පෙර මින්නේරියේ නාගලකන්ද තරණය කළ මා දුටු මින්නේරි වැවේ හා කවුඩුලු වැවේ ගුවන් සේයාරුවක් වන් සුන්දර දර්ශනය මට අමතක කළ නොහැක.) එහෙත් අලිවැටෙන් එපිට වනගහනයට යන්නෝ නැත. වෙහෙසට පත් මම ද දකින්නට රිසි සුන්දර දසුන සිතින් අත් හළෙමි.
රිටිගල දක්නට ලැබෙන වනස්පති රුක් ද බොහෝ ය. දියවැඩියාවට ගුණදායක රුධිරය වන් රත් පෑ දියරයක් වැගිරෙතැයි කියන දැවැන්ත වන මී ගස එහි රුක් අතර විශේෂිත ය. යෝධ පිඹුරන් මෙන් වනස්පති රුක් වෙලාගත් වෙම්බඩංගා නම් වැල් තවත් විශේෂයකි. කඳු මුදුනට නැඟ වෙදුන් විසින් සොයනු ලබන බව කියන මිනිසුන්ගේ සියලු වේදනාවලට සහනය දෙන ‘සන්සෙව්’ නම් ඔසු පැළයක් පිළිබඳව ද කතා ඇත්තේ ය. රිටිගල සංචාරය වනාහි සංචාරයේ දී විඳින්නට ලැබෙන වෙනස් එසේ ම සුන්දර අත්දැකීමකි. ඒ අත්දැකීම වියළි කලාපීය පරිසරයේ ඇවිදින අයට වෙනස් අත්දැකීමක් වනු ඇත.
මහානාම දුනුමාල
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
nice work
ReplyDelete