Monday, June 17, 2019

ස්පිට්ල්ගේ වැද්දන් සිටි ගල්ගේ සොයාගිය ගමන......(Vanished Trails - මැකී ගිය දඩමං - makigiya dadaman අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ඉර උද‌ාවිය. පිහිලේගොඩ ගල්ගෙයි වැසියෝ තවත් එක් බඩගිනි දවසකට මුහුණ පෑමේ ඉරණම ඇතිව එකිනෙකා අවදිවූහ.   
දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් රචිත Vanished Trails කෘතිය ඒ.පී. ගුණරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. ඒ මැකී ගිය දඩමං නමිනි. මැකී ගිය දඩමං කෘතිය ඒ.පී. ගුණරත්න මහතා ආරම්භ කරන්නේ පිහිලේගොඩ ගල්ගේට ඉර උද‌ාවීමත් සමගය.   
දොස්තර ස්පිට්ල් තම කෘතිය පෙලගස්වන්නේ පිහිලේගොඩ ගල්ගේ වැද්දන්ගේ කතාන්දරයක් ලෙසිනි.   
මහවැදිරට නමින් එකල හැඳින්වූ කඳුවලින් වටවූ නැගෙනහිර පළාතේ මෙන්ම ඌව පළාතේ මහ කැලෑවල ගල්ලෙන්වල මේ වැදි පවුල් ජීවත්වූහ. හීතල වන්නිය, නුවරගල, බලාන, වාලිඹේ හෙළ, බණ්ඩාරදූව, බිංගොඩ, හේනෙබැද්ද, නිල්ගල යන ප්‍රදේශ මේ වැද්දන්ගේ වාසභූමි බවට පත්ව තිබිණි. මේ වැදි කණ්ඩායම් පිළිබඳ ප්‍රථම වරට ලොවට අනාවරණය කරන ලද්දේ සී.ජී. සෙලිග්වාන් නම් බ්‍රිතාන්‍ය ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඒ වර්ෂ 1900 දී පමණය. සෙලිග්මාන් විසින් මේ වැදි කණ්ඩායම් සිය ගල් ගෙවල් තුළදීම දැක බලා ගන්නා ලදී.   
ඔහුගේ The Veddas නම් ග්‍රන්ථයේ ඇති ඡායාරූපවල වැද්දන් සිය ගල් ගෙවල්වල ජීවත්ව සිටි ආකාරය අපට දැක බලාගත හැක. මේ ගල්ගෙවල් සහිත ප්‍රදේශ අදටත් ඝන වනාන්තර වේ.   
නීලා නම් මහවැදිරාලගේ නායකත්වයෙන් යුත් එක් වැදි කණ්ඩායමක් මේ වනාන්තර තම වාස භූමි කරගෙන ජීවත්වූහ. නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නිය නම් ප්‍රදේශය තම වාසභූමිය කරගත්හ.   
වර්තමානයේ ගොඩනගන ලද රඹකැන්ඔය ජලාශයෙන් නැගෙනහිරට වන්නට පිහිටි වනාන්තර ප්‍රදේශය එකල හීතල වන්නිය ලෙස හැඳින්වූ බව සඳහන් වේ.   
නීලාගේ වැදි කණ්ඩායම හීතල වන්නියේ මහගල්කුළු අතර දඩයමේ යමින් ඒවා තුළ පිහිටි ගල් ගෙවල්වල ජීවත්වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රධාන ගල්ගෙයක් වන්නේ මනස්කාන්ත රඹකැන් ඔය ජලාශයේ සිට සැතපුම් තුනක් පමණ නැගෙනහිරට වන්නට පිහිටි පිහිලේගොඩ ගල්ගෙයයි. 
පිහිලේගොඩ ගල්ලෙන

මීට අමතරව ඔවුන් ජීවත්වූ අනෙක් ගල්ගෙවල් වන්නේ නුවරගලකන්ද මුදුනේ පිහිටි ගල්ගෙය, දික්ගල්ගෙය, බලාන තලාවේ පිහිටි බලාන ගල්ගෙය සහ වාලිඹේ හෙලේ පිහිටි ගල් ගෙයයි.   
මෙවර අපගේ අරමුණ වූයේ පිහිලේගොඩ ගල්ගේ සොයා යාමයි. උද‌ා හිරුගේ මන්ද‌ාලෝකයත් සමග අපි අපගේ සංචාරය ආරම්භ කළෙමු. අප මහඔයට ළඟාවන විට උදෑසන දහය පසුවී තිබිණි.   
වැද්දන්ගේ තොරතුරු පිළිබඳ පුවත්පත් ලිපි සහ ​ෙපාත් ගණනාවක් පළ කළ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ සඳරුවන් ලොකුහේවා මහතා අපගේ සංචාරයට අවශ්‍ය සියලු දේ පිළියෙළ කර තිබිණි. එතුමා පොල්ලෙබැද්ද ආදිවාසි ගම්මානය අසල නිල්ඔබ නම් ගමේ අද විශ්‍රාම සුවයෙන් දිවිගෙවයි. එතුමා විසින් අපගේ ගමනට මග පෙන්වන්නෙකු ලෙස පොල්ලෙබැද්ද ආදිවාසී සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ද‌ානිගල මහ බණ්ඩාරලගේ අප්පුවලැත්තෝ සහ තවත් වැදි තරුණයකු වන ගමා සූද‌ානම් කර තිබිණි.   
පනස් හත්වන වියේ පසුවන අප්පුවලැත්තෝ සහ හතළිස් හැවිරිදි ගමා නීලගේ වැදි පරපුරෙන් පැවතගෙන එන්නන් වේ.   
වනාන්තරවල අනේක දුක් ගැහැට විඳි මේ ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ මුතුන් මිත්තන් එක්දහස් නවසිය තිස්පහේදී පමණ පොල්ලෙබැද්දේ පදිංචි කරවූයේ දොස්තර ස්පිට්ල්ය.   
 පොල්ලෙබැද්ද ගමේ අමිශ්‍ර වැදි පවුල් 20-25 පමණ වෙසෙන බව අපට දැනගන්නට ලැබිණි.   
අපගේ සංචාරයේ ආරම්භක මාර්ගය පොල්ලෙබැද්ද හරහා රඹකැන් ඔය ජලාශය දක්වා වැටී තිබිණි. රඹකැන් ඔය ජලාශය ඉදිකිරීම නිසා වැද්දන්ගේ මෙන්ම සිංහල ජනයාගේද හේන් ගොවිතැන් දියුණුවූ බව වැද්දන් අප සමග පැවසීය.   
රඹකැන් ඔය ජලාශය දක්වා වැටී ඇති ගුරු පාරට වම්පසින් යෝදයන් සේ ඉහළට නැගි කඳු පන්තීන් තුළ ඇති ගල් ගෙවල්වලද වැද්දෝ ජීවත් වූහ. ඒවායින් එක් ගල් ලෙනක් වන්නේ මුත්තාකඩ ගල්ලෙනයි. එය ගොරිකාන කන්දේ පිහිටා ඇත. මීට පෙර වතාවක අපි එම ගල් ගෙය දැකබලා ගත්තෙමු.   
වැද්දන් ජීවත්වූ නුවරගල කන්ද දක්වා වැටී ඇති මාර්ගයේ මෙම ගල් ගෙය පිහිටා ඇත. අප ගමන් කළ මාර්ගයේ දෙපස පිහිටි වනාන්තර එළිපෙහෙළි කර හේන් ගොවිතැන ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබිණි.   
මීට පෙර වතාවක (වසර 13 කට පෙර) අප පොල්ලෙ බැද්දේ කළ සංචාරයේදී දක්නට ලැබුණු හේන්වලට වඩා මෙවර අප දුටු හේන් වඩාත් විධිමත්ව සශ්‍රීකව සිදුකරන බව අපට දක්නට ලැබිණි.   
අප ගමන් ගත් මාර්ගයට වම්පසින් හේන් යායට ඔබ්බෙන් රඹකැන් ඔය ජලාශයෙන් ගලායන දිය පහර රැගත් රඹකැන් ඔය ගලායයි.
පිහිලේගොඩ ගල්ලෙන
 
අපගේ ගමනේ එක් සංදිස්ථානයක් වන රඹකැන් ඔය ජලාශයට ළඟා වන විට දහවල් දොළහ පසුවී තිබිණි. නිල්වන් රඹකැන් ඔය ජලාශයේ ජලස්කන්ධය ඉපැරණි ගම්මාන වූ කලුවින්න, කුරුඳුවින්න සහ දමනේගම ලංකා සිතියමෙන් මකා දමා ඇත්තේ සිත්පිත් නැති එකෙකු ලෙසයි.   
එද‌ා හීතල වන්නියේ ගල් ගෙවල්වල ජීවත්වූ වැද්දන් ඔවුන්ට අවශ්‍ය ලුණු මිරිස්, වෙඩි බෙහෙත් රෙදිපිළි ආදිය ලබාගැනීමට මේ ගම්මානවලට පැමිණි බව දොස්තර ස්පිට්ල් සඳහන් කරයි. ඔවුන්ට අවශ්‍ය ඊතල සාද‌ා ගැනීමට කලුවින්න නම් ගමේ කම්මල්කරුවෙකු වෙත පැමිණි බව සඳහන් වේ. මේ ගම්මාන අද දක්නට නොමැත. මේ පැරණි ගම්මානවල මතකය හිත් තුළ රඳවා ගනිමින් අපගේ සංචාරයේ දෙවන අදියරය ආරම්භ කළෙමු.   
රඹකැන් ඔය ජලාශයේ වැව් බැම්ම මතින් ගමන් ගත් අප එකල හීතල වන්නිය නම් වැද්දන් ජීවත්වූ වනාන්තර ප්‍රදේශයට ඇතුළු වුණෙමු. රඹකැන් ඔය ජලාශයේ බැම්ම ඉදිකිරීමට මේ වනාන්තර ප්‍රදේශ එළිකර පස් කපා දමා තිබෙන අයුරු දක්නට ලැබිණි. එය අප සමග ගමන්ගත් ගමාගේ සහ අප්පුවලැත්තන්ගේ නොමනාපයට හේතුවක් බව ඔවුන්ගේ මුහුණුවලින් දිස්විය.   
ට්‍රැක්ටර් ගමන් කළ හැකි මාර්ගයක් ඔස්සේ දිවා හිරු රැසින් පීඩා විඳිමින් ගමන්ගත් අපි තරමක් ලඳු කැලෑ භූමියකට අවතීර්ණ වුණෙමු. දැන් අප ඉදිරියේ සැතපුමක් තරම් දුරින් පිහිලේගොඩ ගල්ගේ පිහිටි කන්ද අප සාදරයෙන් පිළිගැනීමට බලා සිටින අයුරු දර්ශනය විය.   
කටු පඳුරු පීරමින් ගමාගේ නායකත්වයෙන් සහ මග පෙන්වීමෙන් දහඩිය මුගුරු දමමින් පිහිලේගොඩ ගල් ගෙය පිහිටි හීතල වන්නිය කඳු පාමුලට අප ළඟා වන විට අපට වනයට ඇතුළු වීමට ඉඩ දෙමින් ඒ මොහොතේම එතැනින් නික්ම ගිය අලියකුගේ සලකුණු දක්නට ලැබිණි.   
කන්ද නැගීමට පෙර තම නෑ යකුන්ගෙන් ගමා වැඳ අවසර ලබාගත්තේ කොළ අතු කඩා අසල පිහිටි කුඩා ගල් කුළක ඒවා රැඳවීමෙනි. පනස් හත් හැවිරිදි අප්පුවලැත්තෝ ශක්තිමත්ව ගමනට එක්වෙමින් අපගේ කාන්සිය නිවා දැමීය. ඒ ඔහු දන්නා වැදි ගී ගයමින් සහ තම මුතුන් මිත්තන්ගේ තොරතුරු අප සමග පැවසීමෙනි.   
අපි කන්ද නැගීම ආරම්භ කළෙමු. දැන් අප පැමිණ ඇත්තේ ගමනේ දුෂ්කරම කොටසට බව ගමා පැවසීය. ගමාට ගල් ගුහාව සොයාගත හැකි දැයි මම කීපවිටක්ම ඇසුවෙමි. ඔහු එක හෙළාම පැවසීයේ එය කිරීමට හැකි බවයි.   
ගල්ලෙනේ ඇති ඉපැරණි වැදි චිත්‍ර
එහිදී මාගේ මතකයට නැගුණේ දොස්තර ස්පිට්ල්ට පිහිලේගොඩ ගල්ගේ පෙන්වීමට උපකාර කළ නීලාගේ පුත්‍රයකු වූ කයිරා නම් වැද්ද‌ාට පිහිලේගොඩ ගල්ගේ සොයාගැනීම තරමක් අපහසු වූ ආකාරයයි.   
දොස්තර ස්පිට්ල් සහ වන්නකු තිසාහාමි නම් වැද්ද‌ාගේ පුත් ටිකිරි ද මේ ගමනට සහභාගි විය. පැයක් පමණ එ් මේ අත ඇවිදමින් සිටි කයිරා පසුව ගල්ගේ සොයා ගත්තේ දැන් මේ පැති හොඳටම වෙනස්වෙලා යැයි පවසමිනි.   
එහෙත් අපගේ මග පෙන්වන්නා වූ ගමා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කැලෑව පීරමින් අප රැගෙන ඉදිරියට ගමන් ගත්තේය.  
එය අපගේ සිහියට නැගුණේ වැද්ද‌ා අඩි සළකුණු ඔස්සේ සතකු එළා ගැනීමට සුපරික්ෂාකාරීව ගමන් කරන ආකාරයයි.  
ස්වල්පවේලාවකින් අපි එක්තරා උස් වටකුරු ගල්තලාවක් අසලට පැමිණියෙමු.  
ගමා තම කටහඬ අවදි කළේ අපගේ සිත් තුළ තිබුණු බිය මදකට අඩු කරමින්ය.  
හූරා මේ තමයි වාඩිපොළ. මෙතෙන්ට වෙළෙන්දෝ එනවා තවලම් බැඳගෙන. ඇවිල්ල ගල්ගේ ඉන්න අපේ ඇත්තන්ට ඇහෙන්න හූ තළනවා. එතකොට ගල්ගේ ඉන්න ඇත්තන් හුවමාරුවට එකතු කරගත් වේළපු මස්, මී පැණි, බිංකොහොඹ, වැහිලිහිණි කූඩු වගේ දේවල් අරන් පල්ලම් බහිනවා. ඒවාට ලුණුමිරිස්, රෙදිපිළි ආදිය හුවමාරු කරගන්නේ මේ වාඩිපොළෙ​්දී.  

අප සියලු දෙනාම ගල මතට නැග්ගෙමු. නැගෙනහිර මුස්ලිම් ගම්මානවල සිට එන වෙළෙන්ඳන් වැද්දන්ගේ බඩු භාණ්ඩ සමග තම බඩු හුවමාරුවට මේ වනාන්තරවලට ඇතුළුවේ. වැද්දන් කිසිදිනෙක තම ගල්ගෙවල්වලට මේ වෙළෙන්ඳන් රැගෙන නොගිය බව සෙල්ග්මාන් සඳහන් කරයි.  
වරක් නීලා වැදිරාල තම පුත්‍රයකු වන පොරමොලාගේ මංගල තෑග්ග වන චීත්තයක් සහ මාල පොටක් මේ ස්ථානයේදී ලබාගත් බව ස්පිට්ල් සඳහන් කරයි.  
ගමා සහ අප්පුවලැත්තෝ
ස්පිට්ල් පිහිලේගොඩ ගල්ගේ පිළිබඳ බොහෝ තොරතුරු ලබාගෙන ඇත්තේ කයිරාගෙන් වන්නට ඇත. එහෙත් ඔහුගේ පොත්වල ගල්ගේ ඡායාරූප කිසිත් දක්නට නොමැත. ස්පිට්ල් වන සංචාරය කරන කාලයේදී (1930 දී පමණ) වැද්දන් ජීවත්ව සිට ඇත්තේ පැල්කොට තුළය.  
එහෙත් සෙලිග්මාන්ට වැද්දන් පිහිලේගොඩ ගල්ගේ තුළ ජීවත්වන අයුරු සියැසින්ම දැකබලා ඡායාරූප ගැනීමට වාසනාව ලැබී ඇත. ඒ වර්ෂ 1900 දී පමණය. එම ඡායාරූප ඔහුගේ වැද්දෝ පොතේ පළ කර ඇත.  
වාඩිපොළෙන් සමුගත් අප අපගේ සංචාරයේ දුෂ්කරම වූද අවසන් භාගයට අවතීර්ණ වුණෙමු. ගල් කුළුවලින් ගහන මේ ප්‍රදේශය පසු කරත්දී දැඩි නිහඬතාවයක් අප අතර පැවතිණි. වැද්දන් පවා ඉතාමත් විමසිල්ලෙන් මේ ප්‍රදේශය පසුකරද්දී අපි බියෙන් ඇළලී සිටිමු. කොයි මොහොතක හෝ වලසකු ගේ ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබිණි.  
පැටවුන් සමග වැලහින්නක් මුණගැසුනි නම් තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ඉඩ තිබෙන බව වැද්දෝ අප සමග පැවසූහ. ගලින් ගලට පනිමින් වැල්වල එල්ලෙමින් කන්ද නැග්ග අප වැද්දන් විසින් එක්තරා ස්ථානයක නවතනු ලැබිණ. ඒ විශාල නුගයක් අසලය.  

ගමා නැවතත් හඬ අවදි කළේය.   
මෙන්න මේ නුගේ යටදී ළමයෙක් ලැබෙන්න හිටිය දැරිවියක් ඒ කාලෙ මැරිල තියෙනව. ඒ අපේ නීල මුත්ත මේ ගල්ගේ ඉන්න කාලෙ.  
එය සිදුවී ඇත්තේ මෙසේය. නීලාගේ වැදි කණ්ඩායම පිහිලේගොඩ ගල් ගෙයි ජීවත්ව සිටි කාලයේ දිනක් රාත්‍රියේ පහළ කැලේ ගැහැනියකුගේ කෙඳිරිලි හඬක් ඇසී ඇත. ගල්ගෙයි වැසියෝ බියෙන් ඇළලී ගියහ. ඒ හැඳයා යැයි සැවොම මිමිනූහ. නිදි නොමැති රාත්‍රියක් ගතකරමින් සිටි ඔවුහු වටින් ගොඩින් එළිය වැටෙන විට නීලා ප්‍රමුඛ පිරිමි ටික පල්ලම් බසින්නට විය. ඔවුන් ගමන් කළේ ඒ කෙඳිරිලි හඬ ආ ඉසව්ව දෙසටය.  
ඔවුන් අතර බණ්ඩාරදුවාරාල නම් නීලාගේ වයසේ සිටි වැද්දෙක් විය. ඔහුද මේ සෙවිල්ලට එකතුවී සිටියේය. අවසානයේ ඉහත කී නුගය අසල මැරී සිටි වයස පහළොවක පමණ තරුණියක් ඔවුන්ට හමුවිය. නිර්වස්ත්‍රයෙන් වකුටුවී සිටි තරුණිය කවුදැයි බැලීමට ඔවුහු නුගය අසලට සමීප වූහ.  
හීතලවන්නිය කඳු
මළ සිරුරට තුරුලු වී අලුත උපන් බිළිඳෙක් ඔවුනට දක්නට ලැබිණි. ඔවුන් වහ වහාම ඒ බිළිඳ‌ා රැගෙන ගල්ගෙට ගියහ. බිළිඳ‌ාගේ හුස්ම යාන්තම් තිබිණි. ගල්ගේ ගිනිමැලයෙන් උණුසුම් වූ බිළිඳ‌ා ක්‍රමයෙන් හුස්ම ගත්තේය. එකියක් බිලිඳ‌ාට තම තන කිරි පෙව්වාය. බිළිඳ‌ා සුවපත්විය. පසු කලෙක කළු වැද්ද‌ා නම් මේ වැදි කණ්ඩායමට නායකත්වය ලබා දුන් ගමා (අපගේ සංචාරයට එක්වූ ගමා නොව ගමා නම් වැද්ද‌ා මේ වැදි කණ්ඩායමට එක්වූයේ එලෙස ගමනේදී උපන් නිසා ගමා යන නම එ් බිළිඳ‌ාට තබන ලදී.  
මේ මියගිය දැරිවිය කාගේ කවුද ඇයට මේ අපරාධය කළේ කවුද යනවග ගල්ගේ වැසියෝ දැන සිටියේ නැත. එහෙත් එක් වැද්දෙක් ඒ කවුද යනවග දැන සිටියේය. ඒ මා මුලින් කියූ බංඩාර දුවාරාලයි. මිය ගිය දැරිවි බංඩාර දුවාරාලගේ පළමු කසාදේ දරුවෙකි. ඇයට මේ අපරාධය කර ඇත්තේ වන්නකු තිසාහාමි නම් පසුකාලයේ රටම බියවැද්දූ මිනීමැරුම් කිහිපයකටම සම්බන්ධ ඇඹිලිනාකුඹුර තම වාසභූමිය කරගෙන සිටි වැද්ද‌ා බව ස්පිට්ල් සඳහන් කරයි.  

බංඩාර දුවාරාල මේ සිද්ධිය තමා පමණක්ම දන්නා රහසක් ලෙස සඟවාගත්තේය.  
ගමනේ අවසානයට අපි ළඟා වුනෙමු. එකිනෙකා ගේ දෑත් පටලවාගෙන ප්‍රපාතාකාර කන්ද නැග්ග අපි පොතපතින් කියවා මනසින් දැකබලාගත් පිහිලේගොඩ ගල්ගේ එළිපත්තට ළඟා වුණෙමු. දැන් පිහිලේගොඩ ගල්ගේ අපගේ ඇස් ඉදිරිපිට විරාජමාන වේ.  
පිහිලේගොඩ ගල්ගේ විශාල ගල්ගෙයකි. එය දිගින් අඩි 30ක් පමණ වේ. එහි උස ඉදිරියෙන් අඩි 10ක් පමණ වේ. පසුපසට වන්නට ක්‍රමයෙන් උස අඩුවේ. මිනිසකුට සිට ගැනීමට පවා අපහසු තරමට පසුපස උසින් අඩුය. ගල් ගෙයි ඉදිරිපස භූමිය සමතලාය. ගල්ගේ ඉහළ සිට පහළට නුගමුල් වැටී තිබිණ. මිනිසකුට ඉහළට නැගීමට තරම් ඒවා ශක්තිමත්ය.  
කයිරා සහ ගමා කුඩා කල බඹර කැඩීමට පුරුදු පුහුණු වන්නේ මේ නුගමුල් දිගේ ඉහළට නැගීමෙන් බව කයිරා ස්පිට්ල්ට විස්තර කරයි. මේ ගල්ගේ කටාරම් කොටා නැත. ඇතුළත බිම බොහෝදුරට සමතලාය. තැනින් තැන සතරැස් පැතලි ගල් දක්නට ඇත. එක් කෙළවරක් තරමක් අඳුරුය. එම අඳුරු ප්‍රදේශයට මා ඇතුළුවීමට දැරූ උත්සහය වැද්දන් විසින් වළකා ලනු ලැබීය. වලස්සු ඇතිහුරා හිටින්න මා ගොහින් බලන්නම් කියා පවසමින් අප්පුලැත්තෝ චෝ චෝ කියා කෑගසමින් එදෙසට ගමන් කළේය.  
පසුපස ගලේ බිත්තියේ වැදි චිත්‍ර දක්නට ලැබිණි. සතකු පිට යන මිනිසකු යැයි සිතිය හැකි රූපයක් සහ තවත් මිනිස් රූප දක්නට ලැබිණි. ඒවා ඉපැරණි ඒවා වන්නට පුළුවන. එකල වැද්දන් ඒවා අඳින්නේ අලු හා කෙළ මිශ්‍ර කර බව පැවසේ. එය එසේ නම් මෙතරම් කාලයක් මේ චිත්‍ර ආරක්ෂාවී පවතීවි යැයි සිතිය නොහැක.  
මාගේ අදහස අනුව නම් තවත් ගලකින් මේ බිත්තිය සූරා ඒවා අඳින්න ඇතැයි සිතිය හැක. මෑතකදී කවුරුන් හෝ අඳින ලද චිත්‍ර යැයි සිතිය නොහැක.  
ගමා මේ මිනිස්සු ඒ කාලේ වතුර ගත්තේ කොහෙන්ද? මේ ළඟ වතුර කොහෙවත් නැහැනේ. මම ඇසීමි. එයට පිළිතුරු දුන්නේ අප්පුවලැත්තෝය. අාං අර බිත්තිය දිගේ වතුර සීරාව වැටෙනව හූරාට පේනවද? ලබුකට්ට ඔතන තබල වතුර එකතු කරනවා. ගල දිගේ වතුර පහළට වෑස්සී එතන දිය සෙවල බැඳී ඇති අයුරු අපි දුටුවෙමු.  
සෙල්ග්මාන්ගේ වැද්ද‌ා කෘතියේ මේ ගල්ගේ පිළිබඳ ඡායාරූප සහිතව මනා විග්‍රහයක් ඔහු විසින් පළ කර ඇත. ඔහු පැහැදිළි කරන අයුරින් මේ ගල්ගේ එක් එක් වැද්ද‌ා විසින් තම කොටස වෙන්කර ගෙන ජීවත්ව සිට ඇත.  
මා මුලින් කියූ අඳුරු කෙළවර නීලාට අයත් කොටසයි. ඊළඟ කොටස කයිරාටයි. ඊළඟට රන්දුනා, පෙමා සහ වේලා තම කොටස් වෙන්කර ගෙන ඇත. දඩයමේ ගොස් පැමිණෙන පිරිමි තම තමන්ට අයත් කොටස්වල තම බිරින්දෑවරු සහ දරුවන් සමග සැතපෙනි.
කිසිදිනක වැද්දන් අඳුරේ ගිනිමැලයක් නොමැතිව රාත්‍රිය ගත නොකරන බව සෙලිග්මාන් පවසයි. 
එද‌ා ගල්ගේ එක් කෙළවරක විශාල තුඹසක් තිබූ බව සෙලිග්මාන් පවසයි. එය ඔහු විසින් ගන්නා ලද ඡායාරූපවල පවා දක්නට ඇත. කිසිම දිනක වැද්දන් තම දුනු ඊතල ඔවුන් නිද‌ාගන්නා කොටසේ තබා නොගනී. ඒවා වෙනමම කොටසක තැන්පත් කරයි. පිහිලේගොඩ ගල්ගේ ඒවා තබා ඇත්තේ මා මුලින් කියූ තුඹස මතය. අදටත් එම තුඹස එද‌ා තරම් විශාලව නොවුණත් දක්නට තිබිණි.  
ගල්ගේ මිදුල වැනි කොටසේ හොඳින් ඉර එළිය වැටුණ ස්ථානයක බඳින ලද මැසිවල ඔවුන් මස් වේළයි.  
මේ ගල්ගෙයි වැදි කණ්ඩායම අතර කන්හෙරලියා යැයි වැද්දෙක් තම බල්ලාත් සමග ජීවත්ව ඇත. දිනක් උදෑසනම අවදිවූ පිරිමින් කෑමට යමක් සොයා යාමට කන්හෙරලියාට කතා කර ඇත. එහෙත් කන්හෙරලියා අවදිවූයේ නැත. කන්හෙරලියා මැරී සිටියේය. ඔහුගේ බල්ලාද අසල මැරී සිටියේය. බල්ලා අසලම විශාල නාගයෙක්ද බල්ලා විසින් හපා දමා මැරී සිටියේය.  
වැදි නඩය කලබල විය. තම සාමාජිකයන් ගල්ලෙන තුළ මිය ගියහොත් ඔවුහු වහාම එම ගල්ගෙය අත්හැර දමති. නීලා වැදිරාල තීරණයක් ගත්තේය. තම හරුබස්ස පොදි බැඳගත් වැද්දෝ ගල්ගේ අතහැර පල්ලම් බැස්සහ.  
අපටද දැන් පිහිලේගොඩ ගල්ගෙට සමුදීමට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ඒ සවස් ජාමය සතා සීපාවන් එළිබහින වේලාව වීමයි. ඔවුන්ගේ නිජභූමිය ඔවුනට ඉඩදී අප දැන් නික්ම යා යුතුය.  
එද‌ා නීලා වැදිරාලගේ නායකත්වයෙන් යුත් වැදි කණ්ඩායමේ එක් නිවහනක් වූ හීතල වන්නියේ පිහිලේගොඩ ගල්ගේ අප්‍රමාණ සතුටකින් අපි නැරඹුවෙමු. ඔවුන් මේ ගල් ලෙනේ ජීවත්ව සිටි අයුරු මනසින් මවාගනිමින් අපි පිහිලේගොඩ ගල් ගෙට සමුදුනිමු.  
අපගේ සංචාරය සාර්ථක කර ගැනීමට මහඟු ද‌ායකත්වයක් ලබා දුන් ගමාටත් අප්පුවලැත්තන්ටත් සඳරුවන් ලොකු හේවා මහතාටත් මා මිත්‍ර වෛද්‍ය කනිෂ්ක හේරත් මහතාටත් මාගේ හද පිරි ස්තූතිය පුද කරමි.  
වෛද්‍ය චාමිකර මීවද්දන  
ශික්ෂණ රෝහල කුරුණෑගල  
lankadeepa
=====================================================
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment