Thursday, April 2, 2020

වසර 16,000කට උරු­ම­කම් කියන කූර­ගල ප්‍රාග් ඓති­හා­සික භූමිය....(kuragala prag aithihasika natabun අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

ප්ලයි­ටෝ­සීන යුගයේ අව­සා­නයේ සිටම මානව ජනා­වා­ස­යක් වූ කූර­ගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උස­කින් පිහිටා ඇති අතර රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ බලං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශයේ, කඩ­වත් මැද කෝරළේ, හෙළ උඩ පත්තු­වට අයත් වේ. පැරණි පිය­ගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකී­ර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටු­ව­න්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූර­ගල යනු­වෙන් මෙම ස්ථාන හැඳ­න්වූ­වත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූර­ගල හා හිටු­ව­න්ගල යි.

කූර­ගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතීත ඉති­හා­ස­යක් කරා දිව­ය­න්නකි. කූර­ග­ලට ආසන්න ප්‍රාග් ඉති­හා­ස­යට අයත් ස්ථාන ලෙස උඩු­පි­යන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදු­ගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැර­ණි­ය­ගල හා ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලට අනුව බෙල්ල­න්බැඳි පැලැ­ස්සෙන් සොයා ගත් මානව අව­ශේෂ හා මෙව­ලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූර­ග­ලට තර­මක් ඈතින් පිහි­ටිය ද බළං­ගොඩ මාන­වයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දු­ම්මුල්ල, රංච­ම­ඩම සහ ගල්පාය දැක්විය හැකි ය.

බළන්­ගොඩ මාන­ව­යාගේ නිජ­බිම් වශ­යෙන් මධ්‍යම කඳු­ක­රයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූර­ගල ඇතුළු නැගෙ­න­හිර බෑවුමේ ඇති බුදු­ගල, පබ්බත, සොණ­ගල්ගේ, කිරි­ම­කු­ළු­ගොල්ල ලෙන්, පිය­න්ගි­රිය ලෙන, මනෝ­ප­ද­ස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝ­රම්‍ය ලෙන, දේව­ගිරි විහාර ලෙන ආදි වශ­යෙන් බොහෝ ස්ථාන­යන් බළං­ගොඩ මාන­ව­යාගේ වාස­ස්ථාන ලෙස භාවිතා වූ බව සඳ­හන් වේ. එමෙන්ම බළන්­ගොඩ මාන­වයා පිළි­බඳ තොර­තුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනී­මට හැකි වූ බැවින් බළන්­ගොඩ සංස්කෘ­තික සමය “හෝමෝ සේපි­යින්ස් බළන්­ගො­ඩිං­සිස්” යනු­වෙන් නම් කිරී­මට මෙම මානව අව­ශේෂ ඉව­හල් විය. කූර­ගල පර්ව­තය පාමුල ඇති බුදු­ගල ප්‍රාග් මාන­වයා විසූ ස්ථාන­යක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූ­ලය, ස්වස්ති­කය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.

කූර­ගල සෙල් ලිපි පළමු වරට පිට­පත් කිරීමේ ගෞර­වය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහ­තාට ය.


කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්
1932 දී සී.එච්. කොලින්ස් කූර­ගල ගැන තැබූ සට­හන මෙසේ ය.

“මෙයට ළඟා­විය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාර­කිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපා­තා­කාර කපොල්ල ප්‍රදේ­ශය පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් වැද­ගත්ය. කල්තො­ටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝ­ම­යක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරී­ක්ෂ­ණය කෙරුණි. හිටු­ව­න්ගල නමින් හඳු­න්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනු­වෙනි.

බළන්ගොඩ, කූර­ගල පුරා­විද්‍යා රක්ෂි­තයේ 2013 වස­රේදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගල්ලෙන් ආශ්‍රි­තව කළ කැණීම් මගින් ප්‍රාග් ඓත­හා­සික වාස­ස්ථා­න­යක් ලෙස භාවිතා කර­න්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාල­යට අයත් බව කැණිම් වළෙහි පහ­ළම ස්තාරා­ය­න­යෙන් කළ වික­ර්ණ­ශීලි දිනවලින් ගණ­නය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇට­සැ­කිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.

2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැ­ම්බර් දක්වා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇම­රිකා එක්සත් ජන­ප­දයේ බීටා ඇන­ල­යි­සීස් ආය­ත­නය විසින් කූර­ගල ප්‍රාග් ඓති­හා­සික පස් තැන්පතු සඳහා ලබා­දුන් කාල­නි­ර්ණ­යන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලා­ප­යක සිදු කරන ලද කැණීම් වලින් මෙත­රම් පැරණි සාධක අනා­ව­ර­ණය වන ස්ථානය කූර­ග­ලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේ­ෂ­යක් හමු වූ අතර ඉන් අනා­ව­ර­ණය වන්නේ මෙහි ජීවත් වූ මිනි­සුන් මුහුද සමඟ සමී­පව කට­යුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරි­සිදු තිරි­වාණා පාෂා­ණ­යෙන් සෑදු ශිලා මෙව­ලම් සුවි­ශේෂි වේ.

ගල් ලෙන් ආශ්‍ර­ම­යක් ලෙස පැවති කූර­ගල, අනු­රා­ධ­පුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍ර­ස්ථාන ලෙස ගල්ටැ­ම්යාය, බුදු­ගල, හඳ­ගි­රිය, දේව­ගි­රිය, කොට්ටි­මු­ල්වල, ලෙන්දොර, මහ සුද­ර්ශන ලෙන හා කිරි­ම­කු­ළු­ගොල්ල යනා­දිය දැක්විය හැකිය. ඒ අනුව කූර­ගල යනු හුද­ක­ලාව පිහිටි ආරණ්‍ය සේනා­ස­න­යක් නොවේ. පශ්චාත් අනු­රා­ධ­පුර යුගයේ දී කූර­ගල ලෙන්වල සිට භාව­නා­යෝගි භික්ෂූන් බුදු­ගල පධා­න­ඝර ආරණ්‍ය සේනා­ස­න­යට වැඩම කර වින­ය­කර්ම කට­යු­තු­වල නිරත වූ බවට සාධක සොයා­ගෙන තිබේ. අද­ටත් වාස්තු විද්‍යා­ත්මක නිර්මාණ රැසක නට­බුන් මෙම ස්ථාන­වල දැක ගත හැකි ය.

කූර­ගල ඓති­හා­සික භූමියේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓති­හා­සික අව­ධියේ දී විසු මාන­ව­යන් තම වාස­ස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සිය­ව­සත් ක්‍රි.ව. පළමු සිය­ව­සත් අතර කාල­යට අයත් බෞද්ධ සංඝා­රා­ම­යකි. එනම් කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය තහ­වුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­ය­නගේ අර්ථ­ක­ථ­න­යට අනුව) එනම් ;

01- කූර­ගල ලෙන් ලිපි අංක 01

පෙළ - --------- දතහ සමු­දහ ලෙනෙ

අර්ථය - දත්ත (සහ) සමු­ද්‍රගේ ලෙන

02- කූර­ගල ලෙන් ලිපි අංක 02

පෙළ - දම ගුත තෙරස ලෙන

අර්ථය - ධම්ම­ගුප්ත තෙරුන්ගේ ලෙන

03- කූර­ගල ලෙන් ලිපි අංක 03

පෙළ - (පරු­මක) සුම­නහ

පරු­ම­කලු ශුමය

අර්ථය - ප්‍රධානී සුම­න­ගේත්, සුම්මා නම් ප්‍රධා­නී­ව­රි­ය­ගේත් (ලෙනයි)

මෙම ලෙන් ලිපි මුල් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය අදින් වසර 3000කට පෙර අතී­ත­ය­කට දිව­යයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලී­නව “කුහ­ර­ගල” නමින් ද එය වත්මනේ දී “කූර­ගල” නමින් ද හඳු­න්වන අනු­රා­ධ­පුර යුගයේ මුල් අව­ධියේ සිටම ඓති­හා­සික බෞද්ධ පුද­බි­මකි.

කූර­ගල ඇති ලෙන් ලිපි සිය­ල්ලම ඉතා කෙටිය. එය විශේ­ෂ­ත්ව­යකි. සාමා­න්‍ය­යෙන් බොහෝ ලෙන් ලිපි­වල “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනා­ගත සතර දිසා­වෙන් පැමි­ණියා වූ ද නොපැ­මි­ණියා වූ ද, භික්ෂු සංඝයා වහ­න්සේ­ලාට පූජා කළ වගයි) යනු­වෙන් සඳ­හන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථ­මික අව­ධි­යට අයත් ස්ථාන­යක් විය හැකිය. මේ පිළි­බ­ඳව වට­ද්දර ඥානි­ස්සර නාහි­මි­යන් ප්‍රකාශ කර­නුයේ මහි­න්දා­ග­ම­න­යට පෙර, ප්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධි­ප­තීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කර­න්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොක­ර­න්නට ඇතැයි යන්න උන් වහ­න්සේගේ අද­හ­සයි.
කූර­ගල ලෙනෙහි කරන ලද කැණීම්

ශ්‍රී ලංකාවේ පැර­ණි­තම ආරණ්‍ය සේනා­සන ලෙන් වලට අයත් මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, රිටි­ගල, දිඹු­ලා­ගල, සිතු­ල්ප­වුව, බුද්ධං­ගල ආදිය කූර­ගල ගල් ලෙන් ආරණ්‍ය සේනා­ස­නය හා සම කාලීන අව­ධි­වල දී සංව­ර්ධ­නය වූ බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් ය.

කූර­ගල පිළි­බ­ඳව රත්න­පුර දිස්ක්‍රි­ක්කයේ එකල රාජ­කාරි කළ බ්‍රිතා­නය ජාතික දිසා­ප­ති­ව­රුන් සහ සිවිල් නිල­ධා­රීන්ගේ දින­පොත්, ස්ථානීය පරී­ක්ෂණ වාර්තා­වන් මෙන් ම සංචා­රක ගමන් විස්තර සට­හන් අනුව ද තොර­තුරු ලබා­ගත හැකි ය. ඒ අනුව රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ හිටපු දිසා­ප­ති­ව­ර­යකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූර­ගල අවට කළ සංචා­ර­ය­කින් පසු 1910.02.12 වන දින තබන ලද සට­හ­නක් මෙසේ දැක්විය හැකි ය.

“මට පෙනෙන හැටි­යට මෙම ස්ථානයේ මූලා­ර­ම්භයේ සිට ම වසර ගණ­නා­වක් යන තුරු ශුද්ධ වූ පූජ­නීය ස්ථාන­යක් වශ­යෙන් සහ භව­නා­යෝ­ගීව කට­යුතු කිරී­මට සුදුසු තැනක් ලෙස­ටත් ප්‍රසි­ද්ධව ඇත. එහෙත් එක් අයකු පම­ණක් දැන් මෙහි තාපස ජීවි­ත­යක් ගත කරයි. මගේ මත­කය නිව­රැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නග­ර­යට ආසන්න පාඨ­ලී­පුත්‍ර නග­රයේ ය.

මොහුගේ පියා එහි සිටි ශුද්ධ­වන්ත පුද්ග­ල­ය­කුගේ බිරිඳ නොමග යවා පසුව බල­හ­ත්කා­ර­ක­මින් දූෂ­ණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවා­ස­නා­වන්ත සිද්ධි­යෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරු­වකු බිහි කළාය. වය­සින් වැඩුණු දරුවා මව­ගෙන් සිය පියා ගැන අසා සිටි අව­ස්ථා­වක මව සිය පුත්‍ර­යාට සිදු වූ සියල්ල ඒ පරි­ද්දෙන් ම කියා සිටියා ය.

මින් කෝප­යට පත් පුතා තම මවට අප­රා­ධ­යක් කළ මිනී­මරු පුද්ග­ලයා හෙවත් තමන්ගේ සහ­ජා­තක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අප­රා­ධය ගැන පසු­තැ­වුණ මිනී­මරු පුද්ග­ලයා පසුව සිය ජීවි­තය බේරා ගැනීම සඳහා ලංකා­වට පැමිණ සැඟ වී සිටියේ කූර­ගල ය. පළි ගැනීමේ අද­හ­සින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රි­යක දරුණු අර­ග­ල­ය­කින් පසු මිනී­ම­රුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහි­සුණු ශබ්ද ගැන විම­සි­ල්ලෙන් සිටි පුද්ග­ල­යෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛර­යෙන් දැවෙ­මින් සිටින තාප­ස­යකු හා ගින්නෙන් දැවෙ­මින් පව­තින අළු ගොඩකි.

කූර­ගල පිළි­බඳ අව­සාන විග්‍ර­හයේ දී කූර­ගල සංස්කෘ­තිමය වශ­යෙන් මෙන් ම ආග­මික වශ­යෙන් ද ස්ථර දෙකක් නියෝ­ජ­නය කරයි. එනම් හොලෝ­සීන යුග­යට අයත් ප්‍රාග් ඓති­හා­සික සාධක සහ මූල ඓති­හා­සික යුග­යට අයත් බෞද්ධ සංඝයා වහ­න්සේ­ලාගේ සාධ­ක වශයෙනි.
රුක්ෂිලා වෙත්ත­මුණි
විශේෂාංග
silumina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

No comments:

Post a Comment