Wednesday, April 29, 2020

සුභ අසුභ ඵල හෙළිකරන අත්ලේ විශේෂ සලකුණු....(Hashta rekha shasthraya අබිරහස් අඩවිය - Abirahas Adawiya - ශාස්ත්‍රීය ළිපි)

හස්ත රේඛා විද්‍යාව අනුව අත්ලක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් අත්ලේ පිහිටි රේඛාවල ස්වභාවය හා මණ්ඩලවල ප්‍රබලතා හා දුබලතා අනුව පලාපල කීමට හස්ත රේඛා ශාස්ත්‍රඥයා පියවර ගනී. මේ අතර අත්ල සියුම්ව පරික්ෂා කිරීමේදී අත්ලේ යම් යම් ස්ථානවල විශේෂ සලකුණු පිහිටා තිබෙනු දැකිය හැක. ඒ තුළින් පුද්ගලයාට ලැබෙන විශේෂ සුභ අසුභපල සාමුද්‍රික විද්‍යාවේ සඳහන් වෙයි. මේ එවැනි විශේෂ සලකුණු කීපයක් පිළිබඳ තොරතුරුයි.   

ත්‍රිශූලය 
ත්‍රිශූලය කියන්නේ උල් තුනකින් සැදුණ ලකුණකට බව අංක 1 රූප සටහනින් ඔබට පැහැදිලිවනු ඇති. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශූලයක ලකුණක් වැටී තිබේ නම් එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වෙන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බවට සලකුණකි. 
දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශූල ලකුණ විද්‍යාමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රවි මණ්ඩලයෙහි බොහෝවිට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලය මත ත්‍රිශූල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණු විය හැකි අතර චන්ද්‍ර මණ්ඩලයේ පිහිටන ත්‍රිශූල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයෙකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන ත්‍රිශූලයෙන් අභීත පුද්ගලයෙකු මූර්තිමත් වෙයි. 

කාකපාදය 
මෙම සලකුණ ඉතාම අසුභ පිහිටීමකි. ත්‍රිශූලයේ උල්තුන පහළට හැරී තිබුනොත් එය හඳුන්වන්නේ කාක පාදය ලෙසයි. 2 වෙනි අංකයෙන් කාක පාදයේ සාමාන්‍ය පිහිටීම දැන් බලන්න. කාගේ හෝ අතක කාක පාදයක ලකුණක් වැටී අැත්නම් ඔහු හෝ අැය කරන කියන හැම දෙයක්ම අසාර්ථක වන බව කිව හැකියි. 

මත්ස්‍ය 
රූපසටහනේ 3 වෙනි කොටුව දැන් බලන්න ඒකට තමයි මත්ස්‍ය ලකුණ කියල කියන්නෙ. මත්ස්‍ය (මාළු) ලකුණ මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටීමට ඉඩ ඇත. රේඛා ඛණ්ඩි ගැසීමෙන් බොහෝවිට එම ලකුණ පිහිටන බව කිව යුතුයි. මත්ස්‍ය ලකුණ ඉතාමත් සුභඵල දෙන පිහිටීමක්. අනේකවිධ භව ​ෙභා්ග සම්පත් ලැබීමට ද එය හේතුවක්. 
කාන්තාවකගේ අත්ලේ මාළුවෙකුගේ සලකුණක් දර්ශනය වේ නම් ඇයට ලක්ෂ්මි යෝගය උදා වෙන බවයි ශාස්ත්‍රිය නියමය. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපින්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය. එම සලකුණ පිහිටියේ ගුරු මණ්ඩලයේ නම් වඩාත්ම සුභඵල ගෙනදේ. 

ස්වස්තිකය 
අප භාග්‍යමත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් ශ්‍රීපාද ගතවත් විද්‍යාමාන වූ ස්වස්තික සලකුණ මහා මංගල ලක්ෂණයක් බවයි භාරත හස්ත රේඛා ශාස්ත්‍රයෙහි සඳහන් වන්නේ පුරාණ ග්‍රීක ජනතාවත් එය උත්තම ලක්ෂණයක් වශයෙන් පිළිගත් බව ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වෙයි. මොනයම් ක්‍රමයකින් හෝ උත්තරීතර භාවයට පත්වෙන පුද්ගලයෙක් ස්වස්තික ලකුණින් හඳුන්වා දෙයි. රූප සටහනේ 4 වෙනි කොටුවෙන් එහි සාමාන්‍ය පිහිටීම බවට හඳුනාගන්න හැකිවේවි. 

යව සලකුණ 
මෙම සලකුණ බොහෝවිට ඇඟිලිවලත් ඇඟිලි පුරුක් අතරත් පිහිටිය හැක. වී ඇටයක හැඩයෙන් මහපට ඇඟිල්ලේ මැද පුරුකේ පිහිටන යවාකාර ලකුණක සාමාන්‍ය පිහිටීම 5 වෙනි කොටුවෙන් දැක්වෙයි. පෙර අත්භවයන් හිදී කරන ලද නොමද පින්බල ඇති වාසනාවන්තයින්ගේ අත්වල පිහිටන ලකුණක් වශයෙන් එය විග්‍රහ කළ හැකිය. රජයේ නිලධාරීන් දේශපාලකයින් ව්‍යාපාරිකයන් වැනි අයගේ අත්වල බොහෝවිට යව සලකුණු පිහිටිය හැක. යව සලකුණ ඇති අයට කවදාවත්ම අග හිඟයක් නම් ඇති නොවේ. 

කතිර සලකුණ 
මෙම සලකුණ අත්ලේ පැහැදිලි ලෙස සටහන්වීම බොහෝවිට විපත්ති දායක වේ. සුභ ඵලයක් ඇතිවන්නේ කලාතුරකිනි. කතිර සලකුණ ගුරු මණ්ඩලයට වඩාත්ම සුභඵල ගෙන දේ. වෙනත් රේඛා එක්වීමක් නොමැතිව හුදෙකලාව කතිර සලකුණක් ගුරු මණ්ඩලයේ පිහිටියේ නම් එය වාසනාවන්ත විවාහ දිවියකට හේතු වේ. සිදුවන කාලය කතිරය පිහිටි ස්ථානය අනුව නිගමනය කළ යුතුය. ජීවන රේඛාව අසලනම් විස්සට නුදුරුවද මණ්ඩලය මැදනම් මැදි වයසේද සිදුවේ. 
දෛව රේඛාව ස්පර්ශ කරමින් ශනි මණ්ඩලයේ නම් ජීවිත හානිද මැදගිල්ලේ නිය සහිත පුරුකේ නම් දරුපල හීනවීමද රවි මණ්ඩලයේ නම් ධන හානිද බලාපොරොත්තු කඩවීම්ද බුධ මණ්ඩලය යට පිහිටි කුජ මණ්ඩලයේ නම් දරුණු තුවාල ඇතිවීමටද චන්ද්‍ර මණ්ඩලයේ නම් දියේ ගිලීමෙන් මරණය ද සිදුවීමට හැකිය. 

හිඹුටානේ පියතිලක ද අල්විස් 
158, හිඹුටාන (රෝහල ඉදිරිපිට) 
මුල්ලේරියාව නව නගරය 
lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!! 
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya

No comments:

Post a Comment