මා ඔයේ ඉවුරු දිගේ....
රස්සාව කන්දෙන් පටන් ගන්නා දිය පහර රස්සාව, බරණගල, පරගල, තිබ්බුටුපළ, කුරුපැලැල්ල, උඩහෙන්තැන්න, මොස්සින් කොළනිය, උඩුවැල්ල, ගෝනාවත්ත, ඇපලවත්ත ගම්මානයෙන් අසුපිනි ඇල්ල ලෙසින් පහත් බිමට කඩා වැටෙයි. නමුත් අසුපිනි ඇල්ල ලෙසින් කඩා හැළෙන්නට මත්තෙන් උඩහෙන්තැන්න ප්‍රදේශයේදී මෙම දිය පහරේ තවත් කොටසක් කුඩා ඔය ලෙසින් ගලා ගෙන රහල ගල වටින් ගලා ගෙන ගොස් මංකඩ ඇල්ල නමැති ස්ථානයෙන් සැලව ගම්මානය මධ්‍යයෙන් ගලා ගෙන ගොස් නැවත මා ඔයට දෙල්කිඳවත්ත යන නමින් හැඳින්වෙන හොරේවල ආසන්නයේ ඇති ප්‍රදේශයේදී මෙම කුඩා ඔය මා ඔයට එක්කාසු වෙයි.
අරම පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය |
මෙම ගංගා දෙක එක් වන ස්ථානයේ රජ කාලයේ සිට පැවත එන ඓතිහාසික මැදිලිය රජ මහ විහාරයේ පෙරහර අවසන් කිරීමෙන් පසුව දිය කැපීමේ චාරිත්‍ර කටයුතු අදටත් සිදු කරන අතර ඒ ආශ්‍රිතව පවතින ජන කථා මෙන්ම රසවත් කථාවන්ද බොහොමයකි. ඒ දක්වා මේ ගංගා පසු කරද්දී තවත් ගම් දනව් පසුකරමින් මෙම දිය කඳ ඇදී යන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය දිනක අපි මා ඔය ඉවුර දිගේ ලිපි පෙළ වෙනුවෙන් තොරතුරු එක් රැස් කරද්දි මේ සම්බන්ධයෙන් හසල දැනුමක් මෙන්ම ගවේෂකයෙකු ලෙස ඓතිහාසික වටිනාකමක් ඇති ග්‍රන්ථ ලියා පළ කර ඇති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන ශාස්ත්‍රපති ජී. ආර්. ගුණරත්න මහතාගෙන්ද තොරතුරු රැසක් ලිපිය වෙනුවෙන් සම්පිණ්ඩනය කර ගැනීමට එතුමා සමග හෝරා කිහිපයක සාකච්ජාවක නිරත වීමේ දී හැකි විය. එහිදී එතුමාගෙන් අපට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ අතර ගුණවර්ධන මහතා අසුපිනි ඇල්ල “සර්පයා වැනි ඇල්ල” යන නමින් ද හඳුන්වන බව කීය.
සර්පයා වැනි ඇල්ල කියලා එතුමා අසුපිනි ඇල්ලට කියන්නේ “නයෙකුගේ පෙනේ වාගේ ” අසුපිනි ඇල්ලේ උඩ කොටසේ හැඩය පිහිටා ඇති නිසාවෙනි. එමෙන්ම එහි පහත කොටස නාගයාගේ කඳ කොටස මෙනි. ඒ නිසා මේකට සර්පයා වැනි ඇල්ල කියලා කියන කාරණය වේලාවකට ගැළපෙනවා කියා අපට සිතුණි.
ගුණවර්ධන මහතා හඬ අවදි කළේය.
අරම පුරාණ විහාරස්ථානයේ ඇති පැරණි බෝ ගස සහ ඈතින් පෙනෙන අසුපිනි ඇල්ල |
මට හිතෙන්නේ ඒ විදිහට සර්ප ගති ලක්ෂණ නිසා තමයි මේ ඇල්ල තරමක් භයංකර ස්වභාවයෙන් තියෙන්නේ. ඒ භයංකර බව ඇල්ලට වැටි මියයන මිනිසුන් නිසා වැඩි වී තිබෙනවා. නමුත් මෑත කාලයේ අපිට ඒවැනි අවාසනාවන්ත සිදුවීම් අහන්න ලැබුණේ නැහැ. කෙසේ වෙතත් අසුපිනි ඇල්ල වැටුණාට පස්සේ මා ඔය ලෙසින් ගලා ගෙන යද්දි අසුපිනි ඇල්ල වැටෙන දෙපැත්ත හරියට නිම්නයක් වාගේ තමයි පේන්න තිබෙන්නේ. මේ ගංගා ඉවුරු දෙපස ගම්මාන රැසක් තිබෙනවා. ඒ අතර නාත්තාකන්ද, දෙයියන්වල, අරම, සැලව, රහල වැනි ගම් කිහිපයක් මෙ නිම්නය දෙපස මා ඔය ඉවුරු දෙපස පිහිටා තිබෙන අතර අදටත් ජනතාව එම ප්‍රදේශවල ජීවත් වෙනවා.
අරම කියන ගමේ මුල් කාලීනව ජනප්‍රවාදය අනුව ආර්ය ජනයා වාසය කර බව කියවුණත් ගුණවර්ධන මහතා සමග කරන ලද සාකච්ඡාවේදී එතුමා “අරම” ගම්මානය ගැන මෙලෙස අදහස් රැසක් පැවැසීය. එම කතා බොහෝමයක් අදටත් ඔප්පු කර ගත හැකි සමහර සාක්ෂි ලැබී තිබුණත් සමහර කරුණු ජනප්‍රවාදයේ මේ දක්වාම පවතින බව පෙනේ. ගුණවර්ධන මහතා අරම ගම්මානය ගැන කියන්නේ මෙවැනි කතාවකි.
අරම කියන ස්ථානය ගැන කියන්න තියෙන්නේ ආරණ්‍යයක් තිබුණු නිසයි. එහි රහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් විශාල වශයෙන් වැඩ වාසය කර හෙයින් ආරණ්‍ය යන නාමය ව්‍යවහාර පසු කාලීනව “අරම” ලෙස නම් වූ බව කියවෙනවා. නමුත් බොහෝ තැන්වල ජනකතා සහ පොත්පත්වල සඳහන්ව තියෙන්නේ එහිදී ආර්ය ජනතාව වාසය කළා කියලා පමණයි. නමුත් අරම කියන ප්‍රදේශයේ ඉස්සර රහතන් වහන්සේලා මෙන්ම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළා කියලා හිතන්න පුළුවන් සාධක ඔප්පු වෙලා තියෙනවා. අදටත් අරම පන්සල දැක ගැනීමට හැකියාව තිබෙන අතරම පන්සල් භූමියට ඔයෙන් එගොඩ සහ මෙගොඩ යන දෙපැත්තම අයිතිවෙනවා. මේ ඔය දෙපස භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් වැඩ වාසය කළා කියලා කියන්න පුළුවන් සාධක තිබෙන අතර එම ප්‍රදේශය භික්ෂුන්ට යෝග්‍ය වටපිටාවක් තමයි තියෙන්නේ. අරම පන්සලේ මළුවට ගිහින් බැලුවොත් අපිට පුළුවන් දැක ගන්න ඉතාම අලංකාර ලෙසින් පහළට කඩා හැළෙන අසුපිනි ඇල්ල විශාල දුරකින් තරමක් කුඩාවට ඒ වාගේම ඒ නිම්නයේ පිහිටීම සහ කඳු පිහිටා ඇති අාකාරය හරිම ලස්සනයි. එය බලා ඉන්නට තරම් ප්‍රියතාවක් තමයි උසුලන්නේ.
ඒ කාලයේ මා ඔය මේ තරම් විශාල ලෙස නොතිබුණු අතර ඉතා පටුව තමයි තිබුණා කියලා අපි අහලා තියෙන්නේ. අද තමයි ගස් කොළන් කැපීම ඉවුරු සේදී යෑම මගින් තමයි ඔය මේ තරම් පළල් ෙවලා තියෙන්නේ. ඒ වාගේම තමයි අදටත් දැක ගන්න පුළුවන් අරම පන්සලේ තියෙන බෝධිය පරණ බෝධියක් යන වග. අලුත් බෝධිය එක පැත්තකින් තියෙනවා පරණ බෝධිය ඒ විදිහටම විහාරස්ථාන මළුවේ පිහිටා තිබෙනවා. විහාරස්ථානයක පිහිටීමට ඉතා සුන්දර ස්ථානයක තමයි මේ පන්සල පිහිටා තිබෙන්නේ.
අරම සිය ගණනින් භික්ෂුන් වහන්සේලා හිටපු බව ඔප්පු වෙලා තියෙන එක් සාක්ෂියක් තමයි සැලව රජමහ විහාරයට ඉදිරිපිට වෙල් යායේ පසු කාලයේ හමු වූ සෙල් ලිපිය. ඒ සෙල් ලිපියේ තිබෙනවා “අරමට පුවක් සැපයෙව්වා කියලා” සැලව ප්‍රදේශයේ ජනතාවට අමුණු ගණන් පුවක් සපයන්න රජ්ජුරුවෝ නියෝග කරලා තිබුණා කියනවා. එ්කෙන්ම තේරෙනවා විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා අරම ප්‍රදේශයේ හිටියා කියන වග. මම මේ කියන්නේ 8 වැනි සහ 9 වැනි ශත වර්ෂයේ සිදු වුණායි කියන කතා. ඒ කාලයේ සිට පැවත එන පාරම්පරික ස්ථානයක් හැටියට භික්ෂුන්ගේ සංඛ්‍යාව වැඩි ෙවලා තියෙනවා. මේ වාගේ ඉපැරණි ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබුණේ සහ මහා සංඝරත්නය වැඩ වාසය කරලා තියෙන්නේ හොඳ බෞද්ධ බැතිමතුන් මෙම ප්‍රදේශයේ වැඩි පිරිසක් හිටියා කියලා හිතන්න පුළුවන් එක් සාධකයක්.
ඒ වාගේම තමයි මා ඔයෙහි ජලය උමං මාර්ග ඔස්සේ ඒ කාලයේ දියුණු වාරිමාර්ග ක්‍රමයක් උපයෝගි කරගෙන ජලය ලබාගත්තා කියලා කියනවා. නමුත් මේ ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් වර්තමානයේ විශාල කැණිම් සිදු නොවීම යන ආදිය හේතු කොට ගෙන ඒ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න අමාරුයි. නමුත් එසේ වුණේ නැහැ කියලා කියන්නත් බැහැ. අදටත් ඒ සමහර දේවල් ජනප්‍රවාදයේ තිබෙනවා. ඒ වාගේම එම උමං මාර්ග තිබෙන ස්ථාන දැක ගැනීමට වර්තමානයේ වුවද සමහර ස්ථානවලින් පුළුවන්.
අරම පන්සල අසලින් මා ඔය ගලා ගෙන යද්දී |
ඒ වාගේම තමයි මා ඔයට කිට්ටුව තිබෙන පෝඩාපේ කොටස “පෝඩාපෙත් ඉපැරණි සෙල් ලිපියක් තිබෙනවා” අපි සාමාන්‍යයෙන් වමේ ඉඳලා දකුණට ලියලා තමයි කියවන්නේ. නමුත් මෙ සෙල් ලිපිය තියෙන්නේ දකුණේ ඉඳලා වමට කියවෙන අාකාරයෙන්. සමහර පොත් ලියපු ගවේෂකයන් ඒ පොත් පත්වල මේ සෙල් ලිපිය තියෙනවා කියලා කියන්නේ අම්බලකන්ද කොටසේ. නමුත් සෙල් ලිපිය තියෙන්නේ පෝඩාපේ කොටසේ. පෝඩාපේ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ අම්බලකන්ද ආසන්නයේ නිසා එහෙම හිතලා ලියන්න ඇති කියලා හිතන්න පුළුවන්.
පෝඩාපේ කියලා කියන්නෙත් මා ඔය නිම්නයේ දෙපැත්තේ කොටසක්. එතකොට එම කොටසේ පවා පුරාණයේ සිට මිනිස්සු වාසය කරා කියලා පෙන්නුම් කරනවා. මොකද දකුණේ සිට වමට කියවාගෙන යන අකුරු තිබුණා කියලා කියන්නේ අරාබි මිනිස්සුන්ගේ. මේකට කියන්නේ “ සෙබතික් වර්ගයේ ලේඛන කලාව” කියලා ඒ කලාවේ ලක්ෂණයක් තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. එම ක්‍රමයේ අකුරු කියවන්නේ දකුණේ ඉඳන් වමට. අරාබි කාරයින්ගේ පොත් පත්වල තියෙන්නේ ඒ විදිහටයි. එතකොට එම ක්‍රමය මේ පැත්තේ මිනිස්සු දැන ගෙන හිටියා කියලා පෙන්නුම් කරනවා. පුරාණම සංස්කෘතියක් මෙහි තිබුණා කියලා කියන්න පුළුවන් ප්‍රධාන සාධකයක් තමයි ඒ සෙල් ලිපිය. සෙබතික් කියන සංස්කෘතිය බොහෝම පුරාණ සංස්කෘතියක්. ආර්ය සංස්කෘතියටත් වඩා ඉපැරණි එකක්.
ඉස්සර මහනුවර කාලයේ හිටියා දස්කොන් අධිකාරි කියලා කවියෙක්. කොළඹ ලැනරෝල් පවුලේ ඒ ප්‍රංශ සම්භවයක් තිබුණු පුද්ගලයෙක් තමයි දස්කොන් කියන්නේ. මනුෂ්‍යයාට සිංහලෙන් හොඳට කවි කියන්න පුළුවන් හැකියාවක් තිබුණා සහජයෙන්ම එන හැකියාවක්. ඒ නිසා ඒ කාලයේ රජතුමා කවි මඩුවටත් දස්කොන් අරන් තියෙනවා මහනුවර කාලයේ. ඔය දස්කොන් ගැන තියෙන පොතක තිබෙනවා පෝඩාපේ දිප්පිටිය මුදියන්සේ කියලා මනුෂයෙකුගේ දියණියක් දස්කොන් විවාහ කර ගත්තා කියලා. එ්කට කියන්නේ පෝඩාපේ තුඩ පත කියලා මාගේ මතකයේ හැටියට යැයි ගුණවර්ධන මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ ද පැවසීය.
පෝඩාපේ මා ඔයේ එක නිම්නයක තිබෙන ප්‍රදේශයක් ඒ ආසන්නයේම තිබෙන තවත් ප්‍රදේශයක් තමයි අම්බලකන්ද කියලා කියන්නේ. අම්බලකන්ද ප්‍රදේශයේ ඉස්සර අංගම්පොර කලාව තිබුණා කියලා කියනවා. අංගම්පොර ශිල්ප කලාව පුහුණු කර ප්‍රදේශය පස්සේ කාලයේ අම්බලකන්ද වුණා කියලාත් කියනවා. ගම්වල නම් සැදුණු ප්‍රභවය ගැන සෙවීමේදී මෙවැනි කතාවලින් මා ඔය නිම්නයේ මෙම ප්‍රදේශවල ඓතිහාසිකත්වය මතුවෙනවා.
අරම ආරණ්‍යයක් හැටියට තිබුණු නිසා පසු කාලයේ අරම වුණා කියලා භාවිත වුණා කියලා කියනවා. ඒ ආරණ්‍ය යන නම නිසාම අරණායක යන නමත් ලැබුණා කියලා කියමනක් ජනවහරයේ පවතිනවා. භික්ෂුන්ගේ විශාල ව්‍යාප්තිය නිසා අරමට ආසන්නයෙන් ඇති කිට්ටු ප්‍රදේශයක් නිසා අරණායක වුණා කියලාත් කියනවා. තව කථාවක් තියෙනවා යක්ෂයන් සහ නාගයන් අරක් ගත් නිසා අරණායක වුණා කියලාත්. ඒ වාගේම තමයි අරණායක සහ දිප්පිටිය අතර තිබෙන දෙමළහිරිය කියලා නම හැදිලා තියෙන්නේ දෙමළ මිනිස්සු ඔය කොටසේ තියෙන සංගිලි පාලම හැදුවා සුද්දන්ගේ කාලයේ මා ඔය හරහා. ඔය කියන කොටසේ දෙමළ මිනිස්සුත් කණ්ඩායමක් වාසය කරලා තිබෙනවා. “හීරිය” කියලා කියන්නේ එක්තරා තීරුවක කියන අර්ථයයි. එක්තරා තීරුවක දෙමළ ජනතාව පදිංචි වූ නිසා දෙමළහිරිය වුණා කියලා කියනවා. ඒ කථාව සුද්දන්ගේ කාලයේ වුණු එකක්. වර්තමානය වන විට ඒ ප්‍රදේශයේ වාසය කරන ගම්මුන් එම නමට කැමැති නැති නිසා එම ප්‍රදේශය නම් කරලා තිබෙනවා දෙමදහිරිය කියලා. දෙමළ කියන වචනයේ ළ ඇති ස්ථානයට “ද ” යන්න අකුර යොදවා එය එලෙස වෙනස් කරලා තිබෙනවා.
ඒ වාගේම තමයි අට්ටාපිටියේ බළකොටුව. සුද්දන්ගේ කාලයේ යුද ආක්‍රමණ සිදු වන කාලයේ විදේශයෙන් බලනින් තමයි ගොඩ ගියේ. කපොල්ල තිබුණේ ඒ විදිහටයි. බලන කපොල්ලෙන් යන එක වළක්වා ගන්න. ඉස්සරෝම බළකොටුවක් හැදුවා කියනවා අට්ටාපිටියේ අට්ටාල ගහලා. මා කඩවර හරියත් එහෙමයි උඩ මා කඩවර “කඩවර” කියලා කියන්නේ එම ස්ථානයේ කපොල්ලක් තිබුණු නිසා. කපොල්ල කියන තැනින් තමයි මිනිස්සු යන්නේ. එ්ක තමයි ආරක්ෂා කරන්න වුවමනා වුණේ. සිංහල රජ කාලයේ රජතුමන්ගේ ආරක්ෂාවට හා රට රාජ්‍යයේ ආරක්ෂාවට මේ පැති වලින් සතුරෝ යද්දී ඉඩ නොදි වළක්වන්න ඉදි වූ ස්ථානයක් තමයි අට්ටාපිටියේ කොටස. ඒ වාගේම තමයි ඔය ස්ථානයේ තියෙනවා කිං බළකොටුව කියලා. පස්සේ කාලයේ සුද්දෝ එකට වෙන නමක් දාලා තියෙනවා.
රජ කාලේ නීතියක් තිබුණා භික්ෂුන්වහන්සේලා ඉන්න විහාරස්ථානයකට සතුරන් ඇතුළු වෙන්න බැහැ. එ්ක රාජ නීතියක්. ඒ නිසා සතුරු උවදුරුවලදී විහාරස්ථානවල රජවරු විහාරස්ථානවල සැඟවිලා ඉඳලා තියෙන්නෙත් ඒ නිසායි. සතුරු අක්‍රමණ වූ වේලාවේ වළගම්බා රජු පවා මා ඔය නිම්නයේ පවතින ඓතිහාසික සැලව විහාරස්ථානයේ හිටියා කියලා කථාවක් තියෙනවා. පිටස්තර කෙනෙකු පන්සල් භූමියකට ඇතුළු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගල්ලෙන් විහාරස්ථානවලට රජවරු රැකවරණය පතා පැමිණ තියෙන්නේ. සැලවත් එවැනි විහාරයක්.
ඒ වාගේම එම විහාරස්ථානවල උම මාර්ග යන ආදිය ආරක්ෂාවට තිබෙන්න ඇති. අරම විහාරස්ථානය සහ සැලව විහාරස්ථානය අතර දුර සැතපුම්වලින් ගත්තොත් දෙකක් ඇති. ඒ නිසා මේ සියලු ස්ථාන මා ඔය ආශ්‍රිත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ප්‍රදේශ හැටියට අපිට හඳුනාගත හැකියි.
මෙ විදිහට අපි ජනප්‍රවාද මෙන්ම සිදුවීම් කතා කරනවා. ඒ වාගේම භූ ගර්භ විද්‍යානුකූලව කරපු සොයා ගැනීම්වලින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර ලංකාවේ තිබෙන ගංගා පද්ධති වෙනස් වෙලා තිබෙනවා භූ චලනයක් නිසා. මුලදී ගංගා ගලා ගෙන ගිය ආකාරය ගොඩාක් තැන්වලදී වෙනස් වීම් සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් වෙනවා. මෑතක අපි හිතපු සුනාමියෙන් පස්සේ කොපමණ වෙනසක් මුහුදු ආශ්‍රිතව වුණාද කියලා අපිට පේනවා. ඒ නිසා මේ මා ඔය වුනත් පොල්ගහවෙල ප්‍රදේශය කිට්ටු කරද්දී වට්ටාරමට (දැනට වට්ටාරම විහාරය පිහිටා තිබෙන ස්ථානය) ටිකක් ආසන්නයේ තිබෙන ගොඩපොල කියන ප්‍රදේශයේ වැලි තලා දැක ගැනීමට හැකියාවක් තිබෙනවා.
එම ප්‍රදේශයෙන් මා ඔය ගලා ගියා කියලා තමයි හිතන්න තියෙන්නේ. භූ ගර්භ විද්‍යාව විද්‍යාව හදන්නේ ලක්ෂ ගණන්වලින්. ඒ අයගේ කාල සීමාව එක් එක් යුග අනුව තමයි ඒ සැදීම සිදු වන්නේ. එම යුග අනුව භූ විද්‍යා විද්‍යාඥයින් සලකනවා අහවල් යුගයේ මේක සිදුවෙන්න පුළුවන් කියලා. උපකල්පනයක් කරනවා මේ කාලයේ මෙහෙම වෙන්න ඇති කියලා. දැන් ඔය පිදුරුතලාගල දිහා පවා මුහුදේ හිටපු මාළුවන්ගේ ඇට කටු හා මුහුදු වැලි සොයා ගෙන පර්ෙය්ණවලදී සොයා ගෙන තියෙනවා.
එහෙමනම් අපිට හිතන්න වෙන්නේ භූ ගර්භයේ හට ගත් වෙනසක් නිසා එය පිපිරීමක් වාගේ දෙයක් ෙවලා දැනට තිබෙන අාකෘතිය වෙනස් වෙලා තියෙනවා කියන එකයි. නමුත් ඉස්සර වෙනස් අාකෘතියකට තිබෙන්න ඇති ලංකාව. ඒ වාගේම මේ මා ඔයෙහි ගලා ගෙන යෑම. ඒ වාගේම ඉස්සර ලංකාව සහ ඉන්දියාව ඔය ආදම්ගේ පාලම කියන ස්ථානයෙන් සම්බන්ධ වෙලා තිබුණා කියලාත් කියනවා නේ. ඒ නිසා මේ ප්‍රදේශවලත් ඇළ දොළ ගංගා කඳුවල වෙනස්වීම් සිදුවෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්.
මා ඔය දෙපස පුරාණ සොහොන් තිබුණු බවට පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වෙනවා. මළ සිරුරු මිහිදන් කිරීම පසු කාලයේ මා ඔයට ආසන්නයේ සිදුවූ එම ලක්ෂණ පෙන්නුම් කර හැකි සාධක ඔප්පු වුණා. අස්මඬල (මා ඔයට සමීප ගම්මානයක්) වාගේ ප්‍රදේශවලදී අපේ රටේ ඇති ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුරාණයේ මැරුණු මිනිස්සු වෙනුවෙන් තැනූ සොහොන්වල ක්‍රමයටම අස්මඬල ප්‍රදේශයේ සොහොන් තිබෙනවා.
ආදිවාසීන්ගේ ඉතාම පැරණි ලක්ෂණයක් තමයි වළං වල මීනි තැන්පත් කිරීම සහ ගල් වලින් ඒවා වට කරලා ආරක්ෂා කිරීම. ඉතින් ඒ වාගේ ක්‍රමයක් මා ඔය දෙපස ගම්මානවලින් පසු කාලයේ හමු වෙලා තිබෙනවා. එ්කෙන් අපිට පේන්නේ ඉපැරණිම සංස්කෘතියක් මෙම ප්‍රදේශවල තිබුණා කියන එකයි. ඒ ආදිවාසීන්ගේ ව්‍යාප්තිය මා ඔය ආශ්‍රිතව සිදු වෙන්න ඇති. පස්සේ කාලයේ ගොවිතැන් යන ආදිය හොඳ සරුවට මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර ගෙන ගොස් තිබෙනවා.
අරම විහාරස්ථානයේ ඇති සෙල් ලිපිය |
මා ඔය නිම්නයේ “සඳරාජ” යනුවෙන් ඖෂධ උයනක් තිබිලා තිබෙනවා අසුපිනි ඇල්ලට ආසන්නයේ. ඒ වාගේ ඖෂධ උයනක් රාවණා රජතුමාගේ කාලයේ රහල ගලේ පවා තිබිලා තියෙනවා. පසු කාලයේ දකුණු පළාතේ ගාල්ලට ඉතා කිට්ටුවෙන් හොයා ගත්තා රාවණා රජුගේ තවත් ඉපැරණි ඖෂධ උයනක්. ඒ වාගේම තමයි රාවණා රජුගේ කාලයේ ඖෂධ උයන් හැටියට සැලකෙනවා රහල ගලේ ඖෂධ උයන සහ සඳරාජ අසුපිනි ඇල්ල නිම්නයේ ඇති ඖෂධ උයන. මේක තියෙන්නේ දෝතලුඔය පැත්තට තමයි. විශාල ලෙස මෙම ඖෂධ උයන පැතිරිලා තිබිලා තිබෙනවා. අදටත් එහි සොයා ගැනීමට අපහසු ඖෂධ තිබෙනවා.
අදටත් විශාල ඉපැරණි නෙල්ලි ගස් ඖෂධිය නෙල්ලි කියන ඒවා මේ කලාපයේ බහුලව දැක ගැනීමට හැකිවනවා. අපිත් පොඩි කාලේ මෙම ප්‍රදේශවලට ගිහින් නෙල්ලි කඩා ගෙන එනවා. නෙල්ලි ශාකය වුණත් දුර්ලභ ශාකයක්. හැම තැනම වැවෙන්නේ නැති වුනත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් දැක ගන්න පුළුවන් සරුවට වැවිලා තිබෙන ආකාරය. මෙ වන විට මෙ හැම ප්‍රදේශයකම තේ වගා කරලා තිබෙන නිසා වනාන්තර විනාශය යන ආදිය පවා සිදු කිරීමෙන් ජනාවාස ඉදිකිරීමෙන් මා ඔයට, අසුපිනි ඇල්ලට පවා හානි වෙලා තිබෙනවා.
ඇත්තෙන්ම තේ වගාව ආවාට පස්සේ තමයි අපි කඳුරට පැරණි ගස් කොළන් විනාශ වුණේ. සුදු මහත්වරුන්ගේ කාලයේ තේ හිටවන්න මේ ගස් කොළන් කපලා දැම්මා. රේල් පාරවල්වලට දැව කඳන් ගන්නට පවා මහ විශාල ගස් කොළන් කපා විනාශ කර දැම්මා. ඔවුන් විසින් ලංකාවේ තේ වගාව සිදු කරලා ඒවා පිටරට දක්වා අපනයනය කරන්න මහ විශාල පරිසර හානියක් සිදු කළා.
පැරණි ගම්වල නම් උදාහරණයක් “කොස්ලන්ද” වාගේ නම්වලින් පවා විවිධ ගස් වර්ග එක් ප්‍රදේශයක් තුළ පැතිරීම නිසා වැඩි වශයෙන් එම ප්‍රදේශවලට එම නම් පටබැඳිලා තියෙනවා. තේ වගාවට, සුදුමහත්වරුන්ගේ බංගලා හදන්න, රේල් පාරේ සිල්බර් කොටන්වලට ගැනීම යන ආදිය නිසා ඉපැරණි ගස් කොළන් විනාශ වී ගියා. එම ගස් කොළන් කපා දැමීම නිසා තමයි ඛාදනයවීම් ගංගා පිටාර ගලා ගෙන යෑම් වැනි පාරිසරික හානි වැඩි වශයෙන් සිදු වූයේ යැයිද ඔහු අප සමග පැවසීය.
අපි මේ තොරතුරු ගැන සොයා බැලීමෙන් පසුව අරම විහාරස්ථාන වෙත ගියේ පුරාණයේ රහතන් වහන්සේලා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිටි බව ගුණරත්න මහතා විස්තර රැසක් පැවසූ නිසාවෙනි. එහිදී අපට වර්තමානයේ එම විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩ වාසය කරන කල්වානේ නන්දසාර හිමිපාණන් මුණ ගැසුණු අතර උන්වහන්සේ මෙසේ පවසයි.
මලියදේව මහ රහතන්වහන්සේ වැඩ වාසය කල කාලවකවානුවට සමකාලීනව තමයි මේ ප්‍රදේශයේ රහතන් වහන්සේලා සහ තවත් භික්ෂුන් වැඩ වාසය කළා කියලා කියන්නේ. “අරම” ඉස්සර හඳුන්වාදී තිබෙන්නේ “අරහන්ත භූමිය කියලා” ඒ වාගේම අරහන්ත රාජ මහා විහාරය කියලත් මේ විහාරස්ථානයේ නාමය භාවිත කරලා තිබෙනවා. ඉස්සර විහාරස්ථානය තිබුණා කියලා කියන්නේ මා ඔයට එගොඩින්. අදටත් එම කොටසේ ගල් කණු මෙන්ම ෙඑතිහාසික තොරතුරු රැසක් තිබෙනවා පන්සල තිබුණා කියන්න පුළුවන් මට්ටමේ. වර්තමාන විහාරස්ථානය චෛත්‍ය තිබුණු තැන තිබිලා තියෙන්නේ මල් වත්තක් විදිහටයි. නමුත් ඉපැරණි බෝධින් වහන්සේ තිබිලා තියෙනවා.
දැනට විහාරස්ථානයේ තිබෙනවා සෙල් ලිපියක්. ඒ සෙල් ලිපිය කලින් තිබුණා කියලා කියන්නේ පරණ පන්සලේ. ඒ සෙල් ලිපිය ගෙනල්ලා අලුත් පන්සලේ තියෙනවා මළුවේ. පසු කාලයේ පුරා විද්‍යා එකෙන් ඇවිත් ඒ සෙල් ලිපිය සංරක්ෂණය කරලා එහි ලියා ඇති දේවල් සම්බන්ධයෙන් තොරතුරු එතන කණුවක් ගහලා ලියලා තියෙනවා.
එම සෙල් ලිපියේ තිබෙන්නේ ක්‍රි.ව. 1832 දී අරම ශ්‍රී විෂ්ණු දේවාලය ගරු පුංචි රාළ කපුවා විසින් ආරම්භ කළා කියලායි. මෙහි නම් කර ඇත්තේ “අරම පුරාණ විහාරයේ පුවරු ලිපිය” යනුවෙනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පන්සල් භූමියේ ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් සටහන් කර අදටත් පවතිනවා.
ඡායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණඩාර
.lankadeepa
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment