Tuesday, August 16, 2016

ස්වයං මෝහනය යනු කුමක්ද? ..(mohanaya අබිරහස් අඩවිය - Abirahas Adawiya )


ස්වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක්. මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි.මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව. හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව.ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද?,මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත්‍රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත්‍රපටයේ චරිත අතර සැරිසරන්න ඇති.ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව.ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව. මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල. 
ස්වයං මෝහනයේ යෙදීම්. 

01. සුවදායී නින්දක් ලබා ගැනීමට. සමහර පුද්ගලයන්ට ඇතිවන නින්ද සම්බන්ද ගැටලු නිරාකරනය කරගැනීමට ස්වයං මෝහනය පහසුවෙන් යොදවා ගත හැක. බොහෝ පුද්ගලයන්ට අවශ්‍යය වන්නේ මෝහන වාර එකක් පමණි.
02. වැරදි විශ්වාසයන්ගෙන් මිදීමට. විශේෂයෙන්ම සෘන ආකල්පයන්ගෙන් පුද්ගලයන් මුදවා ගැනීමට ස්වයං මෝහනය යොදවා ගත හැක.
03. වැරදි ඇබ්බැහිවීම් වලින් මිදීමට. දුම් පානය,නියපොතු සැපීම වැනි වැරදි පුරුදුවලින් මිදීමට ස්වයං මෝහනය භාවිතා කල හැක.
04. අනවශ්‍යය භය ඉවත් කිරීමට. සාමාන්‍යයෙන් අප සැමටම සුලු වශයෙන් හෝ බිය පවතිනව. නමුත් සමහර පුද්ගලයන්ට පවතින මකුලුවන්ට බිය වීම වැනි අනවශ්‍ය බිය නැතිකිරීමට සවයං මෝහනය භාවිතා කල හැක.
05. වේදනා නාශකයක් ලෙස.
06. මතක ශක්තිය සහ චිත්ත ඒකාග්‍රතාව වැඩිකර අධ්‍යපන කටයුතු සාර්ථක කර ගැනීමට.
07. මානසික විඩාව සහ මානසික පීඩනය ඉවත් කර ගැනීමට. පියවර 10 කින් ස්වයං මෝහනයට පත් වන ආකාරය.


STEP-01 පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න.අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න.ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න.කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි.
STEP-02 පැය 1/2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න.ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න.
STEP-03 දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න.ඔබගේ මනසේ ඇති පීඩනය,භය,විඩාව,feelings ආධිය ක්‍රමානුකූලව ඉවත්කරන්න. මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න.ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න.මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි.

STEP-04 ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න.ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක්‍රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න.මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න.මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න.මීලගට ඔබේ පාදය,කලව,බඩ,පපුව,අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න.ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි.උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක්‍රමානුකූලව ගසාගෙන යනවා දැකීම.
STEP-05 සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න.ඉන්පසු ඔබ ප්‍රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න.ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න.
STEP-06 තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව.සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක්.එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ. දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න.බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න.ඔබ 5වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න.වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත.

STEP-07 ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ.ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක්.මෙම අවස්ථාවේදී ඔබට ඇති ප්‍රශ්න සාකච්චා කල යුතුයි.ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න. උදාහරනයක් ලෙස ඔඛට අවශ්‍යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න.ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන්.
STEP-08 ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ.
STEP-09 ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න.
STEP-10 ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න. දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 



   

සීගිරිය ගල ඇතූලේ අබිරහස් මාළිගයක්...?අබිරහස් අඩවිය - Abirahas Adawiya (sigiriya)


සීගිරිය කියන්නේ යන එන සංචාරකයන්ගේ සිත් පිනවන වාගේම හිතට මහත් කුතුහලයක් ඇති කරවන ස්ථානයක්. දැඩි සුළං ප්‍රවාහයන්ට මුහුණ දෙමින්, යකඩ වැටේ එල්ලී සීගිරි ගල මුදුනට පිවිසීම තරමක් අසීරු කටයුත්තක්. වස්තුව ඉල්ලා ධාතුසේන පියරජු ඝාතනය කළ කාශ්‍යප රජු තම රාජධානිය ලෙස සීගිරිය තේරා ගැනීම එක්තරා විදියකට විශ්වාස කළ නොහැකි දෙයක් ලෙස හැඟෙනවා. සීගිරිය පර්වතය මුදුනේ මාළිගාවක් තිබූ බවට නම් ඕනෑ තරම් සාක්ෂි පේන්නට තියෙනවා. සහෝදර මුගලන් කුමරුගේ ආක්‍රමණයක් බලාපොරොත්තුව සිටි කාශ්‍යප රජු ආරක්ෂාව පතා පර්වතයක් මුදුනේ මාළිගයක් ඉදි කළා සිතීම ප්‍රායෝගිකව අනුවණ ක්‍රියාවකි. කිසිදු ආකාරයේ සටනකින් තොරව වුවත් සීගිරිය වටලා මාස කිහිපයක් සිටියේ නම් පර්වතය මුදුනේ මාළිගය වෙත යන සැපයුම් සියල්ල නතර වී කාශ්‍යප රජුට යටත් වීමට සිදු වේ. එසේ නම් කාශ්‍යප රජු ආරක්ෂාව වෙනුවෙන් සීගිරිය තෝරාගන්නට හේතුව කුමක් විය හැකිද?
පෙර ලිපියක දැක්වූ පරිදි ආචාර්ය සූරිය ගුණසේකරයන් පවසන්නේ සිංහ පාදය තිබූ තැනින් පර්වතය ඇතුලතට පිවිසීමට දොරටුවක් තිබූ බවයි.
රාවණ යුගය තෙක් ඉතිහාසයක් ඇතැයි කියනා සීගිරි පර්වතය අභ්‍යන්තරයේ රාවණයන් භාවිතා කළ අභ්‍යන්තර රජ මාළිගාවක් තිබූ බවත්, එය කාශ්‍යප රජු ආරක්ෂාව පතා පරිහරණය කරන්නට ඇතැයි යන්නත් සිතන්නට පුළුවන්. සතුරු ආක්‍රමණයන්ට බියේ පසුවන හෝ නොමැති හෝ කිසිදු රජෙක් පර්වතය පිට පැත්තෙන් දුශ්කර, අන්තරාකාරී මාර්ගයකින් පර්වතය මුදුනේ පිහිටි මාළිගය වෙත ගමන් කළා යැයි සිතන්නට බැහැ. වතුර මල් පවා ඉදි කළ විශ්මිත තාක්ෂණයක් තිබූ අතීත හෙළයන් නිසැකවම පර්වතය අභ්‍යන්තරයෙන් පර්වතය මුදුනට ආරක්ෂාකාරී මාවතක් ඉදිකරන්නට ඇත. 
ඉතිහාසගත ජනප්‍රවාදයන්ට අනුව සිංහ පාදයෙන් ඇතුළු වූ විට කර්කටක යන්ත්‍රය නමින් හැඳින් වූ රත්තරනින් නිම කළ සෝපානය උපයෝගී කරගෙන පෙර රජවරු සීගිරි මස්තකයට පිවිසි බව කියැවේ. අදටත් සීගිරි පර්වතය ඇතුලත රාවණ රජු භාවිතා කළ දඬු මොණර යන්ත්‍රයක්, අභ්‍යන්තර මාළිගයේ රහස් කුටියක ඇති බව ජනප්‍රවාදයන්හි කියැවෙනවා. කෙසේ නමුත් රාවණයන් භාවිතා කළ සීගිරිය, බොහෝ කාලයකට පසු කාශ්‍යප රජු භාවිතා කළ බව සිතන්නට පුළුවන්. කාශ්‍යප රජුගේ අන්ත:පුර බිසෝවරු පිදුරංගල විහාරය වන්දනා කිරීමටත් උමං මාර්ග භාවිතා කළ බව කියැවෙනවා. එම උමං මාර්ග ද රාවණා සමයේ ඉදි කළ ඒවා බවයි පැවසෙන්නේ.
දසිස් රාවණයන් සීගිරිය මාළිගය කරගෙන සිටින විට දී දඬු මොණරය ගුවන් ගත කළේ පිදුරංගල දී බව මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසනවා. ඒ අනුව සීගිරියත් පිදුරංගලත් අතර උමං මාර්ග පද්ධතියක් රාවණයන් ඉදි කළා යැයි එතුමා පවසනවා.බෙල් මහතාගෙන් පසුව අදටත් සීගිරිය පර්වතයේ විධිමත් ලෙස කැණීම් කටයුත් සිදුවන්නේ නැහැ. බොහෝ දුරට විදේශ ආධාර මත ක්‍රියාත්මක වන කැණීම් කටයුතු හිටි හැටියේ අත්හිටුවන අවස්ථා අප දැක තිබෙනවා. නමුත් විධිමත් ලෙස සීගිරිය ගවේශණය හා කැණීම් කටයුතු ආරම්භ කළ හොත් මෙතෙක් කල් ජන වහරේ ආ, හුදෙක් මිත්‍යාවන් යැයි සැළකූ බොහෝ දේ සත්‍ය වීමට ඉඩකඩ පවතිනවා.
උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

Monday, August 15, 2016

ගිය ආත්මයේ බිරිඳ මේ ආත්මෙත් පස්සෙන් එයි.... (holman katha -අබිරහස් අඩවිය - Abirahas Adawiya)


තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම් වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.
මේ සියල්ල අවිද්‍යාව හෙවත් නොදැනීම හේතු කොට ගෙන ලබන්නා වූ ඵලයන්ය. තණ්හාව නිසා සිතේ සිතුවිලි ගොඩ ගසා ගැනීමෙන් මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් නැවත නැවත් ඉපදෙමින් සංසාර ගමන දිගුවෙයි.


මේ අප දන්නා හඳුනන මහත්මයකුට එළඹ ඇති සංසාරික කරදරයක සංවේදී කතාවකි.

ඔහු මහනුවර දිස්ති‍්‍රක්කයේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පනස් හත් හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ බිරිය ද රජයේ රැකියාවක් කරන අතර ඔහු ව්‍යාපාරයක නියුතුව සිටී. මිනිස් ඇසට නොපෙනෙන පුද්ගලයකු ඔහු ගේ හිසට අත මිට මොළවා පහර දෙයි. පපුවට, පිටට දැලට පහර දෙයි.

හිස කෙස්වලින් හා කනෙන් අදී. නාසය තුළ පිහිටි මවිල්වලින් අදී. මෙය ඔහුට මහත් වේදනාවක් ගෙන දෙයි. හිරිහැරයක් වී පවතී. දිනක් කළුතර බෝ සමිඳුන් සෙවණේ දී මා මුණ ගැසුණු ඔහු තමන්ගේ දුක්ඛ දායක කතාව දිග හැරියේ මෙසේ ය.

“මේ සිද්ධිය පටන් අරගෙන දැනට අවුරුදු දහ අටක් වෙනවා. මම පුදුම දුකක් විඳින්නේ. මගේ ළඟ යම් කෙනෙක් නිතර ම සමීපව ගැවසෙන බව මට දැනෙනවා. හිටි හැටියේ මගේ හිස කෙස්වලින් අදිනවා. නාසය ඇතුළේ මවිල්වලින් අදිනවා. අත මිට මොළවා පහර දෙනවා.
දැන් මේකට ලංකාවේ යන්න තියෙන හැම දේවාලයකටම ගියා. කරන්න තියෙන හැම තැනකටම ගියා. ශාස්ත‍්‍ර කියන තැන්වලට ගියා. හඳහන් බලන තැන්වලට ගියා. හින්දු කෝවිල්වලට ගිහින් හින්දු ක‍්‍රමයේ පුද පූජා කළා. පල්ලිවලට ගිහින් කි‍්‍රස්තියානි ක‍්‍රමයේ පූජා විධි කළා. මුස්ලිම් ආගමේ හැටියටත් කළා.
භාවනා ක‍්‍රමවලින් සිත දියුණු කළ යෝගී වරුන් ළඟටත් ගියා. පිරිත් බලයෙන් සෙත් ශාන්ති කරන තැන්වලටත් ගියා. ඒ අය බොහෝ දෙනෙක් කියන්නේ නම් එක ම කතාවයි. “පුදුම ලස්සන කාන්තාවක් මගේ පිටුපසින් සිටිනවා” යැයි එක් යෝගී ස්වාමින් වහන්සේ නමක් කීවා. තවත් තැනකින් කීවා “හරියට හින්දි නිළියක් වගේ ලස්සන තරුණ කාන්තාවක් හින්දි ඇඳුමෙන් සැරසී සිටිනවා” ය කියා. අඳුනකින් බලන තැනකට ගියා ම ඒ අඳුන බලන එක්කෙනා පුදුම වුණා. ඒ කාන්තාවගේ ලස්නනට. “පුදුම ලස්සනක්. හරිම ලස්සන කාන්තාවක් ඔබේ ළඟ ඉන්නවා” ය කියා.
මේ ළඟ දී තවත් තැනකට ගියා. එතැනින් මගෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂ තුනක්. මේක පූරව කර්මයක් සමඟ එකට පවතින සිද්ධියක්. ඇය ඉවත් කරන්න නම් රුපියල් ලක්ෂ තුනක් ඕනෑ ය කීවා.
ඒ මුදලින් දඹදිව සිද්ධස්ථානවල පහන් ගෙවල් හදනවා”ය කියා. මට ඒ තරම් මුදලක් වැය කරන්න අපහසුයි කීවාම කීවා “එහෙම නම් මාස දෙකක් විතර ආරණ්‍ය ගත වී භාවනා කරන්න” කියා. මට ඒ දෙක ම කරන්න බැහැ. අවුරුදු දහ අටක් හම්බ කරපු සෑම සතයක් ම මේකටමයි වියදම් කළේ.
මගේ ළඟ ලක්ෂ තුනක් තියා රුපියල් තිස් දාහක්වත් දැන් නැහැ. භාවනා කරන්න යන්නත් බැහැ. මම කරන ව්‍යාපාරය අතහැරියොත් නැවත ඒක පටන් ගන්න බැහැ. මම කරන ව්‍යාපාරය වෙන කෙනෙක් පටන් ගත්තොත් ඒ වෙළෙඳ මාර්ගය මට අහිමි වෙනවා.
ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ නමක ගෙන් තුන් වේලක් පිරිත් කියවා උපදෙස් ගත්තා.
මට මෛතී‍්‍ර භාවනාව කරන්න උපදෙස් දුන්නා. මටත් සියලු සත්ත්වයනටත් මෛතී‍්‍ර කොට අවසානයේ මගේ ළඟ ඇසුරු කරන මේ අමනුෂ්‍ය බලවේගයට අවංකවම මෛතී‍්‍ර කරන්න උපදෙස් දුන්නා. මම උදේ හවස එසේ මෛතී‍්‍ර කළා.
එතකොට මට රිදවන එක නතර වුණා. ඉතා ම සියුම් සුවදායක කුරුලු පිහාටුවක් වගේ එකකින් මගේ ඇඟ පිරිමදින්න වුණා. හරිම සනීපදායක පරිදි මගේ ඇඟ අත ගානවා වගේ දැනුණා. ඒත් ව්‍යාපාරයේ කටයුතු නිසා සමහර වෙලාවට මෛතී‍්‍ර භාවනාව මඟ හැරුණා.
එතකොට නැවතත් මගේ හිස කෙස්වලින් අදින්නත් පහර දෙන්නත් පටන් ගත්තා. මොනවා කළත් කොහොම හරි කරන පිළිවෙත මඟ හැරෙන්න වැඩ සිද්ධ වෙනවා.
සුප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ළඟට මම ගියා. “ඕවා බොරු විකාර. ඕවා හිතින් මවාගත්ත විකාර” කියා මට දොස් කිව්වා.
දැන් මගේ බිරියටත් මා එපා වෙලා වගෙයි. අවුරුදු දහ අටක් ම මේක පස්සෙම දුවනවා. මේක මගේ මානසික අමාරුවක් ය කියා ඇය කේන්තියෙන් බණිනවා.
“ඉතින් ඔය ඔබේ ළඟ සිටින සුරූපී කාන්තාව කව්ද කියා ගුප්ත ශාස්ත‍්‍රවලින් කීවේ නැද්ද” මම ඔහු ගෙන් ඇසුවෙමි.
“හැම තැනින් ම වගේ කියන්නේ එක ම කතාව. මම මීට පෙර භවයෙ උතුරු ඉන්දියාවේ ඉපදිලා හිටියාලු. සාමාන්‍ය පවුලක ඉපදී ඉගෙන ගෙන උතුරු ඉන්දියාවේ අමරිත්සාර් ප‍්‍රදේශයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස රස්සාව කළාලු. අමරිත්සාර්වල ඉතාම ධනවත්, කුලවත්, බලවත් පවුලක ලස්සන තරුණියක් හිටියාලු.
ඇය සික් ජාතික තරුණියක්. ඇගේ නම පටේල් සිං. ඇය මට ආදරය කළාලු. ඇගේ පවුලේ අය ධනවත් බලවත් වුණත් මගේ රාජකාරි මට්ටම නිසා විරුද්ධ වෙලා නෑ. අප දෙදෙනා අතරේ විවාහය සිදුවෙලා. අපි දෙන්නා ඉතා ම ආදරයෙන් හා සන්තෝසයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් ජීවත් වෙලා. ඉතා ම පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කරලා.
අවුරුද්දක් විතර ඉතා ම සන්තෝසයෙන් ජීවත් වෙද්දී අපේ පවුලට තවත් තුන්වැන්නෙක් සම්බන්ධ වෙන තැනට කටයුතු යෙදී තියෙනවා.
ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න, ඇය ගර්භනී බවට පත්වෙලා. හිටි හැටියේ ම ඇගේ කුසට මාස ගණන සම්පූර්ණ වෙන්න කලින් දරු උපත සඳහා අමාරු වෙලා.
ප‍්‍රදේශයේ තියෙන ඉහළ ම රෝහලට ඇය ගෙන ගිහින්. දරුවා ප‍්‍රසූත වී තියෙන්නේ මළදරු උපතක් ලෙසින්. ඇගේ අධික රුධිර වහනය නතර කරන්න බැරිවෙලා. මගේ බිරියගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මගේ අත අල්ලා ගෙන ම ඇය මරණයට පත්වෙලා.
ඇය අවසන් මොහොතේ මා ගැන දැඩි ආදරයකින් කනගාටු වෙලා තියෙනවා. “අනේ! මම මැරුණා ම මගේ මහත්තයා මේ ලෝකයේ තනි වෙනවා නේද? මගේ මහත්තයාට සලකන්නේ කවුද?” කියා ඇය මා ගැන දැඩි ආදරයකින් තමයි අවසන් හුස්ම හෙලා තියෙන්නේ.
ඒ අතරේ මම ඇය ගැන ම දුක් වෙවී සිටියා මිසක් වෙනත් විවාහයක් කරගෙන නැහැ.
එහෙම කාලයක් ඉඳලා මාත් දුකෙන් ම මරණයට පත්වෙලා. ඊට පස්සෙ මං ලංකාවේ උපත ලබා තියෙනවා. මේ අතරේ මං ඉන්නේ කොහේද කියා සොයමින් සිටි පටේල් සිං ගේ ආත්මයට මං ඉන්නා තැන හමුවෙලා. මෙයට අවුරුදු දහ අටකට කලින් එක්තරා දිනයක ඇයට මා මුණ ගැසිලා.
ඒ වන විට මම විවාහකයෙක්. තාත්තා කෙනෙක්. දැන් ඇය මගේ සමීපයේ ම සැරිසරනවා. “මාව අරගෙන මිසක් යන්නේ නැතිලු.”මම දැන් දෙලොවක් අතර දුක් විඳිනවා. මේ සිද්ධිය කරදරයක් වෙලා.
මගේ වර්තමාන පවුල් ජීවිතයටත් අවුල්කාරී සිද්ධියක් වෙලා. මගේ වර්තමාන බිරිය මේ ගුප්ත ශාස්ත‍්‍ර පිළිගන්නෙත් නැහැ. පටේල් සිං මා අත හැර යන්නෙත් නෑ.”
“පහුගිය ආත්මයේ බිරිය ඉතා ම බලවත් ආත්මයක් බවයි වැටහෙන්නේ. ඉතා ම සුරූපී දුටුවන් මන බඳින ශරීර විලාසයක් පෙන්නුම් කරන නිසා අප‍්‍රසන්න පේ‍්‍රතාදි අමනුෂ්‍ය ආත්මයක් යැයි හිතන්නත් බැහැ. ඇය නාග කන්‍යාවියක් දැයි වෙලාවකට හිතෙනවා” යි මගේ හිතවතා ඔහුගේ සංවේදී කතාව අවසන් කළේය.
කෙසේ නමුත් බුදු දහමට අනුව කෙනකු මරණාසන්න මොහොතේ දැඩි ලෙස සිතින් අල්ලා ගෙන සිටි අවසාන සිතුවිල්ල ඊළඟ ප‍්‍රතිසන්ධියට සෘජුව ම බලපාන බව මෙයින් මොනවට පැහැදිලි වෙයි.
“තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ”

  උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya  

අවතාරයක් වාහනය තුලට අතදමයි......(holman katha) අබිරහස් අඩවිය - Abirahas Adawiya


  මිනිසා ගේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ විශ්වයේ සිදුවෙයි. ඈත අතීතයේ සිට ම මිනිසා මරණයෙන් පසු යම්කිසි පැවැත්මක් ඇතැයි යන විශ්වාසය මත පුද පූජා හා ඇදහිලි කළහ.
මිනිසාට හිතකර වූ එසේ ම ආශිර්වාද කරන්නා වූ උසස් ආත්ම භාවයක් ඇතැයි විශ්වාස කළහ. එසේ ම මිනිසාට අහිතකර වූ ලෙඩ රෝග විපත් ඇති කරන්නා වූ යක්ෂ පේ‍්‍රතාදි ආත්ම භාව ඇතැයි ද විශ්වාස කළහ.
ඇතැම් භෞතිකවාදීන් මෙවැනි දේ ගැන මිථ්‍යා ලෙස බැහැර කරමින් අවඥාවට ලක් කරතත්, බුදු දහමට, අනුව ද අනිකුත් ආගම්වලට අනුව ද මරණයෙන් පසු යම්කිසි පැවැත්මක් ඇති බව පැහැදිලි වෙයි.
සාමාන්‍ය මිනිසාගේ පියවි ඇසට නොපෙනුණ ද එවැනි සත්ත්ව කොට්ඨාස විශ්වයේ පවත්නා බවට සාධක අතීතයේ මෙන් ම වර්තමානයේ ද ඉදිරිපත් වෙමින් පවතී. එසේ ම මෙම විෂය පිළිබඳ සාකච්ඡා කිරීමට පොත පත කියැවීමට ද බොහෝ දෙනා පි‍්‍රය කරති.

අප විසින් ලියනු ලබන මෙම ලිපි පෙළ නිසා ද බොහෝ පාඨකයෝ අවදි වී සිටිති. පෙර අපර දෙදිග වෙද්‍ය විද්‍යාවනට ගෝචර නොවන ලෙඩ රෝග වැළඳුණු රෝගීහු බොහෝ විය පැහැදම් කොට වෙද්‍ය ප‍්‍රතිකාරවලින් නිසි සුවයක් නොලබා ගුප්ත ශාස්ත‍්‍රවලින්වත් පිහිටක් අපේක්ෂා කරති.

එවැනි අය මේ ලිපි පෙළ මගින් ගලිගමුවේ ඥානදීප හිමියන් පිළිබඳ දැනුම්වත්වී උන්වහන්සේ වෙතින් තමන්ගේ දුක් ගැහැටවලින් මිදීමට උපදෙස් පතති.

එසේ ම එවැනි විශ්මිත සිද්ධීන් පිළිබඳව ද අප වෙත දන්වා එවති. ගම්පහ ශී‍්‍ර බෝධි පෙදෙසේ පදිංචි ඩී.ඒ. පේ‍්‍රමදාස මහතා අප වෙත සැපයූ විශ්මිත සිද්ධියකි මේ. පේ‍්‍රමදාස මහතා හොල්මන් අවතාර පිළිගත් කෙනෙකු ද නොවේ.
පේ‍්‍රමදාස මහතා නැව් ඒජන්ත සමාගමක සේවය කළ විධායක නිලධාරියෙකි. දිනය 1990 වර්ෂයේ මැයි මස එක්තරා සෙනසුරාදාවක් බව ඔහුට මතකය. පේ‍්‍රමදාස මහතා සේවය කළ නැව් සමාගමේ ම රැකියාව කළ මිත‍්‍රයකු වූ කුරේ මහතා විවාහ වී ස්වකීය නිවසට පැමිණි දිනය යි.
ගම්පහ සිට කිලෝමීටර හතළිහක් පමණ දුරින් වූ නාවල පිහිටි කුරේ මහතා ගේ නිවසේ පැවැති එම මංගල උත්සවයට පේ‍්‍රමදාස මහතාට ද ඇරියුම් ලැබී තිබිණි. එදින සවස 5 සිට රාති‍්‍ර 10 දක්වා පැවැති එම උත්සවයට සහභාගිවීමට ප්‍රේමදාස මහතා තනිවම යෑමට සූදානම් වීය.
මේ අතර කැලණිය වරාගොඩ පදිංචිව සිටි නැන්දණිය ගේ අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බැවින් වහාම පැමිණෙන ලෙස දුරකතන පණිවුඩයක් ලැබිණි. දුරකතන පණිවුඩය ගත්තේ පේ‍්‍රමදාස මහත්මියයි. තමන්ගේ මෑණියන්ගේ අසනීප තත්ත්වය අසා කලබල වූ ඇය ද එහි යෑමට සූදානම් වූවාය.
පේ‍්‍රමදාස මහත්මයාත්, බිරියත්, පුතුන් දෙදෙනාත් තමන්ගේ ම ජීප් රථයෙන් ගමන පිටත්වූහ. පේ‍්‍රමදාස මහතා නාවල මඟුල් ගෙදර බස්සවා, මවත් පුතුන් දෙදෙනාත් වාහනයෙන් ම වරාගොඩ යෑමට යොදා ගැනිණි. එවකට දහඅට හැවිරිදි වියේ සිටි වැඩිමහල් පුතු වාහනය පදවා ගෙන ගියේය. ඒ අයුරින් ම රාති‍්‍ර 7 ට පමණ පේ‍්‍රමදාස මංගල උත්සවය පැවති නිවසට ගිය අතර, අනිත් තිදෙනා වරාගොඩ බලා පිටත්ව ගියහ. වරාගොඩ ගොස් මෑණියන් බලා ආපසු එන ගමනේදී නැවත පේ‍්‍රමදාස මහතා ඒ වාහනයෙන් ම ආපසු නිවසට පැමිණීමට ගිවිස ගෙන තිබිණි.
පේ‍්‍රමදාස මහතා හොඳින් දන්නා හඳුනන, ඒ මහතා ගේ ජීප් රථයේ අලුත්වැඩියාවන් පවා සිදු කැර ගනු ලබන නිමල් නමැති මෝටර් රථ කාර්මිකයා ද මේ මගුල් ගෙදරට ආරාධනා ලැබ පැමිණ සිටියේය. එහිදී මේ දෙදෙනා සාමීචියේ යෙදිණි.
“ආ… මහත්මයා කොහොමද ආවේ. මම නම් ආවේ බස් එකෙන්. ඒ නිසා රෑ වෙනකම් ඉන්න බැහැ. මම නම් ටිකක් ඉක්මනින් යන්න ඕනෑ”යි නිමල්, පේ‍්‍රමදාස මහතා සමඟ කීවේය.
“නිමල්ට මා එක්ක යන්න පුළුවන්. මම ආවේ ජීප් එකෙන්. නෝනයි පුතාල දෙන්නයි හදිසියකට කැලණියට ගියා. ඒගොල්ලත් එන ගමන් මෙහෙට එනවා මා එක්ක ගෙන යන්න. හැබැයි ටිකක් පරක්කුවේවි එන්න නිමල්ටත් මා එක්ක ම යන්න පුළුවන්” යැයි පේ‍්‍රමදාස මහතා කීවේය. නිමල් ද ඊට එකඟ වීය.
මේ දෙදෙනා රාති‍්‍ර ආහාරයෙන් පසු මනාල යුවළට තෑගි බෝග ද පිළිගන්වා වාහනය එනතුරු පැත්තකින් වාඩි වී සිටියහ. ඉතා ඉහළින් පැවැති මේ මංගල උත්සවයේ සංගීත කණ්ඩායමක් විසින් සපයනු ලැබු මියුරු සංගීතය නිසා මේ දෙදෙනාට කාලය ගතකිරීම අපහසු කාර්යයක් ද නොවීය.
විශාල ගෙමිදුලේ දැල්වෙන නිවෙන විදුලි බුබුලුවලින් වර්ණවත් වූ පරිසරයේ අනිකුත් අමුත්තන් අතර මේ දෙදෙනා ද කාලය ගෙවූහ. එහෙත් රාති‍්‍ර දහය වනතුරුත් ජීප් රථය පැමිණියේ නැත. උත්සවයට පැමිණි අය එක්කෙනා දෙන්නා නික්ම යමින් උත්සව ස්වභාවය අවසන් වෙමින් පැවැතිණි.
පේ‍්‍රමදාස මහතා නිමල් සමඟ උත්සව භූමියෙන් ඉවත්ව ප‍්‍රධාන මාර්ගයට පැමිණ ජීප් රථය එනතුරු බලා සිටියේය. තවත් පැයකට පමණ පසු ජීප් රථය පැමිණියේය.
රෝගියාගේ තත්ත්වය අනතුරුදායක ලෙස සීනි මට්ටම ඉහළ ගොස් තිබුණු බැවින් ඇය ජයවර්ධන රෝහලට ඇතුළත් කරන්නට සිදුවූ නිසා පැමිණෙන්නට පරක්කු වූ බව පේ‍්‍රමදාස මහතාගේ බිරිය පැවසුවාය.
යළිත් ගමන ආරම්භ වීය. දැන් ජීප් රියේ පස් දෙනෙකි. ලොකු පුතා වාහනය පදවන අතර ඉදිරිපස අනිත් ආසන්නයේ පේ‍්‍රමදාස මහතා ය. පසු පස ආසනයේ පේ‍්‍රමදාස මහත්මිය, බාල පුතා සහ නිමල් වූහ. මේ වන විට පේ‍්‍රමදාස මහතාගේ බිරිය හා පුතුන් දෙදෙනා රාති‍්‍ර ආහාරයත් නොගෙන සිටි බැවින් කඩවත නගරයේ ආප්ප කඩයක් අසල නතර කොට ආප්ප කා තේ පානය කළහ.
න් නිමල් නිවසට ඇරලිය යුතුය. ගම්පහ ජාඇල පාරේ කිලෝමීටර හතරක් පමණ ගොස් අත්තනගලු ඔය හරහා පාලමෙන් එගොඩ වී කිරිඳිවිට පිහිටි නිමල් ගේ නිවසට ගොස් ඔහු බස්සවා ආපසු එමින් සිටියහ. වේලාව රාති‍්‍ර එක පමණ වී ඇත.
මේ මාර්ගයේ කිසිම වාහනයක් පවා පෙනෙන තෙක් මානයේ නැත. මුළු පරිසරය ම මූසලය. පාළුය. ජීප් රියේ හඬ හැරෙන්නට වෙනත් කිසි ම හාහූවක් නැත. රථය මඳ වේගයෙන් ගම්පහ දෙසට ඇදෙයි. කිරිඳිවිට හන්දියේ ඇති දැවැන්ත රුක් අත්තන ගස හඳ එළියෙන් පැහැදිලිව පෙනේ.
රුක්අත්තන ගසට යාර සියයක් පමණ තිබියදී වාහනයේ වේගය මඳක් බාල විය. වාහනය පාර පුරා ගමන් කරන බවක් පෙනිණි. පුතාට නින්ද ගොස් ඇත්දැයි පේ‍්‍රමදාස මහතා බැලුවේය.
“පුතා…”
“ඇයි තාත්තා…”
“නෑ. මොකුත් නෑ. පුතාට නින්ද ගිහින්දැයි බැලුවා.”
“නැහැ.”
රුක්අත්තන ගස අසලින් විශාල විලාපයක් ඇසෙයි. “අනේ මාව බේරා ගනියෝ”යි කියන හඬ ඇසෙන්නට වීය. ඒ විලාපය මිනිස් කටහඬට වඩා බොහෝ වෙනස් බවක් දැනේ. ඒ අතර කීප දෙනකු එකවර හූ කියන හඬක් ද ඇසෙන්නට වීය.
“ගෝරියක් වගෙයි…” වාහනයේ වේගය තවත් අඩු කරමින් ලොකු පුතා කියයි.
“අපි අයින් කැරගෙන යමු යන්නැ”යි පේ‍්‍රමදාස මහතා කීවේය.
මේ අතර සුදු ඇඳුමින් සැරසුණු පස්දෙනෙක් ජීප් රථයට ඉදිරිපසින් පාර හරහා පැන්න අතර ලොකු පුතා තිරිංග තදකර වාහනය නතර කළේය. පාර හරහා පැන්න පස් දෙනාගෙන් හතර දෙනෙක් පාරෙන් එහා කුඹුරට පැන ගත් අතර එක් අයෙක් නැවතී වාහනයේ දකුණු පස රියැදුරු අසුන පැත්තේ විවර කැර තිබු වීදුරු කවුළුවෙන් අත දමා සුක්කානම වැරෙන් කරකවා වාහනය දකුණු පැත්තට හැරවීය. වම් පැත්තේ සිට පාරේ දකුණු පැත්තට සෙමෙන් ඇදී ගිය වාහනය කුඹුරට ආසන්නවම නතර කැර ගැනීමට පුතාට හැකිවිය.
නැවත වාහනය තුළට අත දැමු ඔහු සුක්කානම වැරෙන් අල්ලා ගෙන සිටියේ යළිත් කුඹුර දෙසට හරවා ගන්නටය. ඔහුගේ අත දිගට සුදු අත් වැස්මක් දමා තිබු අතර පේ‍්‍රමදාස මහතා “ගන්නවා ඕයි අත” යැයි කෑ ගසා ඒ අතට වැරෙන් පහරක් ගැසීය.
ඒ සමඟ ඔහු අත එළියට ගත්තේය. පේ‍්‍රමදාස මහතා “ඔය වීදුරුව වසා ගන්නැ”යි පුතාට කීවේය. පුතා වීදුරුව වසා ගත්තේය. වාහනය තුළ ඉතාම අපි‍්‍රයජනක දුගදක් පැවතිණි. ඔහුගේ අතට පහරදුන් පේ‍්‍රමදාස මහතාගේ අතින් ද දුගඳ හැමුවේය. මේ වන විට වාහනයේ ඇන්ජිම නතරව තිබිණි. වාහනය යළි පණ ගැන්වීමට පුතා උත්සාහ කරද්දී “හෙඩ්ලයිට් නිවලා ස්ටාර් කරන්නැ”යි පියා දුන් උපදෙසට අනුව වාහනය පණ ගැන්විණි.
සුක්කානම ඇල්ලූ පුද්ගලයා තවමත් පිටත සිටිමින් වාහනයේ දොර අසල සිටගෙන වීදුරුව පිරිමදිමින් සිටි අතර මේ වන විට කුඹුරේ සිටි සතරදෙනා ද යළිත් වාහනය වෙත එමින් සිටියහ. වාසනාවකට මෙන් වාහනය පණ ගැන්වී ඉදිරියට යෑමත් සමඟ ඔවුන් පස්දෙනාම කුඹුර මැදට දිව ගියහ.

පුරන් වූ කුඹුර සිසාරා සඳ එළිය හොඳින් වැටී ඇත. පරිසරය පැහැදිලිය. නුදුරින් බල්ලකු උඩුබුරනු ඇසේ. සුදු ඇඳුමෙන් සැරසුණු අය රවාගෙන බලා සිටිති. කුඹුර මැදින් දුමාරයක් නැගී අර පස්දෙනාම ඉහළට ඇදී නොපෙනී ගියහ.
වාහනය ඇතුළත දැඩි දුගඳක් පැතිරුණු අතර පේ‍්‍රමදාස මහතාගේ අතින් ද දැඩි දුගඳක් හැමුවේය. ඒ කිසිත් නොතකා පුතා නිහඬව ම ප‍්‍රවේශමෙන් හා දැඩි කල්පනාවකින් වාහනය පදවා ගෙන නිවසට පැමිණියේය.
වෙහෙසව සිටි පිරිස වෙහෙස නොතකා සබන් ගා ඇඟපත සෝදාගෙන නින්දට ගියහ. නිදන්නට ගිය පේ‍්‍රමදාස මහතාට සියල්ල චිත‍්‍රපටයක් සේ මැවී පෙනේ. වමේ සිට දකුණට වාහනය ඇදී යද්දී ඉදිරියෙන් හෝ පසුපසින් තවත් වාහනයක් පැමිණියා නම් මහා අනතුරක් සිදුවන්නට ඉඩ තිබිණි.

පසුදින ඉරිදාවකි. පෙර දින නිදිවරා සිටි බැවින් උදේ 8 වනතුරු පවුලේ සියලු දෙනාටම නින්ද ගොස් තිබිණි. එදා මේ ගෙරද උදවිය අවදි වූයේ නිමල් පැමිණ කතා කරන හ¾ඩිනි.

“ඇයි? නිමල් මේ පාන්දරම” පේ‍්‍රමදාස මහතා ඇසීය.
“පාන්දර නෙවෙයි මහත්තයා. දැන් අටත් පහුවෙලා” නිමල් පිළිතුරු දුන්නේය.
“ඇත්තටම මොකද? හදිස්සියක්ද?”
“නැහැ මහත්තයා. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා මගේ නෝනාගෙන් බේරෙන්න බැහැ. ගිහිල්ලා මහත්තයාලව බලල එන්න. කරදරයක් නැතුව ගියාද කියාල.”
“ඇයි? නිමල් එහෙම කියන්නෙ?”
“මහත්තයා! ඔය කිරිඳිවිට රුක්අත්තන ගහ ළඟ හරිම අනතුරු දායක තැනක්. 1988/89 කාලයේ ඔතන මිනීමැරුම් ගණනාවක් සිද්ධ වුණා. ඒ වගේ ම ඔතන මළමිනී ගණනාවක් ටයර් උඩ පිළිස්සුනා.
ඊට පස්සෙ රෑට ඔතන හරියට වාහන අනතුරු සිද්ධ වෙනවා. මේ ළඟදිත් ඔතන රෑ ලොරියක් පෙරළුණා.
ලොරියේ හිටපු අයටත් තුවාලයි. ලොරියටත් හානි සිද්ධ වුණා. ඔය ස්ථානය ගැන දන්න කෙනෙක් රෑට ඔතැනින් වාහනේකින්වත් යන්නෙ නෑ.” නිමල් එතැන පවතින අනතුරු දායක තත්ත්වය පැහැදිලි කළේය.
“නිමල්! ගිහින් අපේ ජීප් එකේ දොර ඇරලා බලන්නැ”යි පේ‍්‍රමදාස මහතා කීවේය. නිමල් වාහනය අසලට ගොස් රියැදුරු අසුන පැත්තේ දොර හැරියේය. ඔහු නාසය අතින් වසාගෙන පස්සට පැන්නේය.
“හප්පා හරිම ජරා ගඳක්.”
පේ‍්‍රමදාස මහතා ඊට පසුව වාහනයට සුවඳදුම් ඇල්ලුවේය. ඒත් ගඳ ඉවත්වූයේ නැත. නිවසේ තිබුණු සෙන්ට් පව්ඩර් ඉස්සේය. ඒත් දුගඳ එසේම පැවැතිණි. බැරිම තැන ගෙයි තිබුණු බැදපු කෝපි කුඩු පවා ඉස්සේය.
“මහත්තයා! වාහනයට ආරස්සාවක් කැර ගන්නැ”යි වැඩිදුරටත් උපදෙස් දුන් නිමල් පේ‍්‍රමදාස මහතාගෙන් සමුගෙන ආපසු ගියේය.
ඉන්පසු පේ‍්‍රමදාස මහතා වාහනය සෝදා පිරිසුදු කැර ගැනීමට සේවා ස්ථානයකට ගෙන ගියේය. වාහනය සේදු සේවකයා “මහත්තයා! වාහනයෙන් පෝර පටවාගෙන ආවාදැ”යි ඇසූ බවද පේ‍්‍රමදාස මහතාට මතකය.
පේ‍්‍රමදාස මහතා හොල්මන් නොපිළිගත් නමුත් මේ සිද්ධිය තවමත් ඒ මහතාගේ මනසේ හොල්මන් කරයි. හොල්මන් අවතාර බොරු යැයි දැඩි මතයක සිටි ඔහු තවදුරටත් ඒ මතයේ ම සිටිය හැකිදැයි අපෙන් අසයි.

මේ පිළිබඳව ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙන් විමසුයෙමු.
“ඔය වගේ මරණ සිදුවූ ස්ථානවල එහෙම සිද්ධි වෙනවා. රටේ සමහර ස්ථාන තියෙනවා අවුරුද්දකට සැරයක් බිලිගන්නා තැන් කියලා. මේවා ගැන අපේ රටේ කිසිම ගවේෂණයක් සිද්ධ වෙන්නේ නෑ.
ඔය කියන තැනත් ඒ වගේ තැනක් වෙන්න පුළුවන්. සමාජ වෙරයෙන් මැරුණු පිරිසක් එහෙම කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිනී පිච්චෙන කොට පිළිස්සෙන මිනීමස් කන්න ආ අය හෝ දැවෙන මළ මිනීවලින් නිකුත් වෙන පුරුණු තෙල් ආහාරයට ගන්න ආ අමනුස්සයෝ වෙන්නත් පුළුවන්. ලේවලට කැමති අය වෙන්නත් පුළුවන්.
එවැනි භූතයෝ තමන්ගේ අප‍්‍රසන්න ශරීර ප‍්‍රදර්ශනය කරන්නත් කැමැති නැහැ. දුර්ගන්ධය හමන කුණු වූ ශරීර ඇති අමනුස්සයෝ ඉන්නවා. ඒ ශරීරය පෙනෙනවාට අත්මේස්වලින් ආවරණයක් ඝන ශරීරයත් සමඟ මවාගත්තා වෙන්නත් පුළුවන් යැයි ද පැවසූහ.
මතුගම මහින්ද විජේතිලක

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya   

කනප්පුවක් හරහා පලිගත් භූතයා....(buthaya) අබිරහස් අඩවිය - Abirahas Adawiya



තම තමන්ට තනි තනිව ඉටු කැර ගැනීමට නොහැකි අවශ්‍යතා අනුන් ලවා ඉටු කැර ගැනීම මිනිසුන්ගේ ස්වභාවය වේ. එහෙත් මිනිසුන් ලවා ද ඉටු කැර ගන්නට බැරි අවශ්‍යතා යන්ත‍්‍ර මන්ත‍්‍ර බලයෙන් දෙවියන් හෝ අමනුෂ්‍යයන් හෝ ලවා ඉටු කැර ගන්නට පියවර ගැනීම ද සිරිතකි.
මේ කටයුතුවලදී අමනුෂ්‍යයෝ ද යම් යම් මාධ්‍ය හරහා ඉදිරිපත් වනුයේ ‘දෙවියන්’ නමිනි. ඒ භූතයන්ගේ හැටියකි. භූතයන් ගේ කපටි සටකපට නිසා රැවටෙන්නෝ ද බොහෝය. මේ එවැනි කතාවකි.
මේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදුවූ ආදර්ශමත් සිද්ධියකි. ධනයෙන් හා බලයෙන් යම්කිසි මට්ටමකට ස්ථාවර වූ එක්තරා පවුලකි. ඉතාම සමීප ඥාති සම්බන්ධකමක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ද මේ අයට සිටී.

දිනක් මේ පවුලේ අය නිවසේ නැති අවස්ථාවක විශාල සොරකමක් සිදුවීය. වහලයෙන් නිවසට ඇතුළු වූ සොරුන් මුදල් හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ රැගෙන ගොස් තිබිණි..

සතියක් පමණ ගෙවී ගියද සොරකම පිළිබඳ කිසි ම හෝඩුවාවක් පවා සොයාගත නොහැකි වූයේය.

කනප්පුවට මතුරා කනප්පුව යවා සොරුන් අල්ලා ගත හැකි බවත්, මේ කනප්පුවේ ගුරුකමට දක්ෂ ඇදුරකු හොරණ ප‍්‍රදේශයේ සිටින බවත්, පවුලේ හිතවතකුගෙන් දැන ගන්නට ලැබී, ඒ ඇදුරා ගෙන්වා ගනු ලැබීය. මේ අවස්ථාවට පොලිස් නිලධාරීහු ද සහභාගි වූහ.

මේ කනප්පුව කකුල් තුනේ එකකි. යකඩ ඇණයක් පවා නොගසා ලී ඇණවලින් සාදන ලද්දකි. ඇදුරා මල් බුලත් තටුවක් සාදා මතුරා කනප්පුවට දුම් අල්ලයි.
ළමයින් දෙදෙනකු මේ කනප්පුව දෙපැත්තේ සිට බර නොවන සේ දෙපසින් අත තබා ගත යුතුයි. එයින් කනප්පුවේ සමබර තාවය රැකෙන අතර ජීවී ගතිය සම්බන්ධ වේ. ඇදුරා මතුරන ලද දුම්කුඩු අඟුරු කබලට දමා කනප්පුවට දුම් අල්ලයි.

”හා… දේවතාවුන් වහන්ස! දැන් ගමන් කරන්න. මේ ගෙදර බඩු සොරාගත් සොරා සෙයාගෙන යන්න. දැන් ගමන් කරන්න. ගමන් කරන්නැ’යි කීප වරක් ඇදුරා පවසන විට කනප්පුව කකුල් මාරු කරමින් ගමන් කරයි. ළමයි ;දදෙනා ද කනප්පුව සමඟ ගමන් කරති.
ඇදුරා අඟුරු කබලත් රැගෙන දුම් අල්ලමින් පසුපසින් ගමන් කරයි. කනප්පුවත් ගමන් කරමින් සොරුන් අල්ලා ගැනීමේ පුදුම සිද්ධිය බලන්නට ගම්වැසියෝ ද 20-30ක් පමණ පොලිස් නිලධාරීන්ට පසුපසින් ගමන් කරති.
මේ නිවස පිහිටියේ කුඩා කඳු ගැටයක් මුදුනේය. නිවසේ සිට පහළට ආ කනප්පුව අසල්වැසි නිවසකට ගමන් කළේය.
ඒ නිවස ඉදිරිපිට ඉස්තෝප්පුවේ වයස අවුරුදු 32ක පමණ තරුණයෙක්ද වීය. හේ පියදාස නම් වීය. නිවස ඉදිරියට ආ කනප්පුව නතර වූයේය. ඇදුරා යළිත් මතුරා දුම් අල්ලන්නට වීය.

”හා.. හා.. දේවතාවුන් වහන්ස, මේ ස්ථානයේ සොරා සිටී නම් අපට පෙන්වන්නැ”යි ආයාචනා කළේය. කනප්පුව නැවත ගමන් ආරම්භ කෙළේය. පියදාස අසලට ගොස් කනප්පු කකුලකින් පියදාසගේ කකුලකට තට්ටු කළේය.

ගම්වැසියෝ මුහුණට මුහුණ බලන්නට වූහ.

”අනේ! අහිංසක ඉලන්දාරියා. මෙයා හොරකම් කරන කෙනෙක් නොවෙයි.” මිනිස්සු මුමුණන්නට වූහ.

”කවුද? දන්නේ. දහයට ගණින්නට බැරුව හිමිජ්ජා වගේ හිටියට. අද කාවද විශ්වාස කරන්න පුළුවන්” යැයි තවත් සමහරු රහසේ කතා කරන්නට වූහ.
පොලීසිය ද පියදාස දෙස බැලුවේ සැකමුසුවය. නැවත ආපසු සොරකම සිදුවූ නිවසට කනප්පුව ගෙන ගොස් යළිත් කි‍්‍රයාත්මක කරන ලෙස පොලිස් නිලධාරීහු ඇදුරාට කීහ. ඇදුරා ද එසේ කළේය.
කනප්පුව නැවතත් පියදාස ළඟට ම ගමන් කළේය. වරක් නොව දෙවරක්ම ඉහළ ගෙදර සිට පහළ ගෙදර පියදාස ළඟට ම කනප්පුව ගමන් කිරීම නිසා පොලීසිය පියදාසගෙන් ප‍්‍රශ්න කළේය.
පියදාස මේ සොරකමට තමන් සම්බන්ධ නැති බව, තරයේ ම කියා සිටියේය.

”උඹ දැන්නෙ ඔය නැහැ කියන්නෙ. අපි උඹෙන් අහගන්න හැටි දන්නවා” යැයි කී පොලිස් පරීක්ෂකවරයා පියදාස සැකපිට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගියේය. සොරකම සිදුවූ නිවසට ඥාති සම්බන්ධයක් ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයා ගේ ද උපදෙස් පරිදි පොලිසියේ ක‍්‍රම සහ විධි පාවිච්චි කරමින් පියදාසගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය. පියදාස “නෑ.. නෑ.. නෑ..ම” යැයි කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.
දින තුන හතරක් පොලිසියේ ප‍්‍රශ්න කිරීම්වලට භාජනය වූ පියදාසගෙන් මේ සොරකම පිළිබඳ හරි තොරතුරක් ලබාගන්නට බැරි ම තැන පොලිසියෙන් ඔහු එළියට දැම්මේය.
ඒ වනවිට විවිධාකාරයෙන් තාඩන පීඩනවලට ලක්ව සිටි පියදාස රෝහල්ගත කිරීමට පවුලේ අයට සිදුවීය. දින කීපයක් ප‍්‍රතිකාර ලැබූ පියදාස ආපසු ;ගදර ආවේය. තමන් සොරෙක් බවට ගම පුරා ආරංචිය පැතිර යෑම නිසා ලජ්ජාවට පත් ඔහු නිවසට ම වී කල් ගෙව්වේය.
මේ හේතුවෙන් ඔහු ඇත්තටම කායිකවත් මානසිකවත් දුර්වල වී සිටියේය. එහෙත් ඔහු අහිංසක යහපත් පුද්ගලයකු බවට ගමේ මෙතෙක් පැවැති පිළිගැනීම ද අහිමි විය.

කාලය වේගයෙන් ඉක්ම ගියේය. වසර පහක් පමණ ගතවීය. ගමේ තේ කඩය අසලට හැන්දෑවට එකතු වන තුන්හතර දෙනා විවිධ දේ පිළිබඳ කතාබහේ යෙදීම සිරිතය. එදා කඩ පිලේ කතාබහට ලක්වූයේ පෙ‍්‍ර්තයන් භූතයන් පිළිබඳවය.
කසිප්පු ටිකකින් සප්පායම් වී සිටි එක් තරුණයෙක් “මොන යක්කු පෙරේතයෝ ද බං. මම නම් ඕවා පිළිගන්නේ් නෑ. ඕවා බොරු මනස්ගාත” යැයි කීවේය.

”උඹ කොහොමද යක්කු පෙරේතයෝ නැතෙයි කියන්නේ?” යි තව තරුණයෙක් ඔහුගෙන් ඇසීය.

”ඇයි? උඹලට මතක නැද්ද? අසවල් ගෙදර හොරකමක් වුණා. අවුරුදු හතර පහකට කලින්. උඹලට මතක ඇතිනෙ කනප්පුවක් යවලා අර පියදාස අල්ලා ගත්තා. ඉතින් පියදාස ද ඒ හොරකම කළේ.
යකෝ ඒක කළේ නිමල්ලා අපි. අපරාදෙ පියදාස ගුටි කෑවා”යි ඔහු පැරැණි සිද්ධිය ගැන අනාවරණය කළේය.
එයින් ද මාස කීපයකට පසු පියදාස ගේ ඥාතියකුගේ අසනීපයක් පිළිබඳ දේවාලයක දී පූජාවක් පැවැත්විණි. එතැන පියදාසත් පියදාසගේ අම්මාත් සිටියහ. මේ අවස්ථාවේදී රෝගී ඥාතියාට භූතයකු ආවිශ්ට වූයේය. ආවිශ්ට වූ ඥාතියා පියදාස දෙස බලා සිනාසෙන්නට වූයේය.

”හෙº .. හෙº.. හෙº… මූට පොලිසියෙන් හොඳට ගුටි ඇන්නා. ඇට තැළිලා බෙහෙත් බොන්නත් වුණා නේද?”

”එහෙමයි. එහෙමයි. මගේ පුතාව ඒ හොරකමට නිරපරාදෙ අහුවුණේ”යි පියදාසගේ මව පිළිතුරු දුන්නාය.

”ඔව්! ඔව්! මාත් දන්නවා මූ ඒ හොරකම නොකළ බව. ඒ වුණාට මට ඕනෑ වුණා මුගෙන් පළිගන්න. මමයි මූට ගුටි ඇන්නෙව්වේ. පොලීසියෙන් මූට ගහනකොට මම කොයිතරම් සතුටු වුණාද?”

”අනේ! ඇයි එහෙම කළේ?”

”ආ.. උඹලට අමතක වුණා. උඹල මට කරපු දේවල් නේද? මම එදා ඉඳල බුක්ති විඳපු ඉඩමට උඹලා නඩු දැම්මා මතකද? ඒ ඉඩම කට්ටි කැඩුවාම මම බුක්ති විඳපු කොටස මට අඩු වුණා.
උඹල මට කොච්චර ලොකු පාඩුවක් ද කළේ. ඒකට හිතේ අමාරුවෙන්මයි මම මැරුණෙත්. අන්න ඒකට පළිගන්නයි එහෙම කළේ.”

”ඒ කොහොමද? පළිගත්තේ”යි තව කෙනෙක් ඇසීය.

”හෙº.. හෙº.. හෙº.. පළිගත්තෙද? පළිගත්තෙ මෙහෙමයි. එදා අර කනප්පුවෙ ගුරුකම කරපු ඇදුරා මතුරන කොට ඒකට බැඳුණෙ මමයි. මටත් වෙලාව ආවා. මං මුගෙන් පළිගත්තා. ඉඩම් ආරාවුලේ පාඩුවට මම පළිගත්තා”යි ආවේශයෙන් පැවසුණි.
එදා ඉඩකඩම්වලට ආශාවෙන් පියදාස ගේ පවුලේ අය සමඟ අමනාපයෙන් මළ ගිය ඥාතියා, කනප්පුවේ ගුරුකමට දිෂ්ටි ගෙන්වන විට ඇවිත් ඊට සම්බන්ධ වී තමන්ගේ වෛරය පිරිමසා ගත්තේය.
හොරකම නොකළ පියදාස පොලිසියෙන් පහර කෑවේය. ගමේ මිනිසුන්ගේ අවඥාවට ද ලක්වූයේය. සමහර විට මේ පවුල්වලට ඥාති සම්බන්ධයක් නැති අමනුෂ්‍යයකු එදා කනප්පුවට බැඳුණා නම් නියම සොරා අල්ලා ගන්නටත් ඉඩ තිබිණි.
ඒ නිසා කනප්පුවේ ගුරුකම හෝ වේවා වෙනත් ගුරුකමක් හෝ වේවා භූතයන්ගේ කතා බහට නොරැවටී තමන්ගේ නුවණින්ම සොයා බලා කටයුතුª කළ යුතුය.

මේ වැනි සමහර භූතයන් තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මෙවැනි දේ සිදු කරති.
භූතයෝ ද අපේ ඇසට නොපෙනුණාට ඔවුන් ද තරහ මරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවන්ගෙන් පෙළි පෙළී තමන්ට වේලාවක් එනතුරු බලා සිටිති. පුද්ගලයකු දුර්වල වන තුරු බලා සිට පළි ගනිති.
ඒ නිසා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වන අය අමනුස්සයන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගත යුතුª යැයි ගලිගමුවේ ඥානදීප හිමියෝ පැවසූහ.
මතුගම මහින්ද විජේතිලක

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya    

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ දේහය පළිඹඳ හෙලිනොවූ අබිරහස්.....(thotagamuwe sri rahula) අබිරහස් අඩවිය - Abirahas Adawiya


රාහුල හිමි අපවත් වීමට පෙර ඉතා වටිනා ඖෂධයක් පාවිච්චි කළ බවත්, ඒ බලයෙන් සිරුර දින කෝටියක් නරක් නොවී තබා ගත හැකි බවත්, එම සිරුර පෘතුගීසීන් විසින් රැගෙන යනු ලැබූ බවත්, අද ගෝවේ ශාන්ත සේවියර් තුමාගේ යැයි ප‍්‍රදර්ශනය කරන දේහය වෙන කාගේවත් නොව රාහුල හිමියන්ගේ ම යැයි සිංහලයන් තරයේ විශ්වාස කෙරෙයි. ඇත්ත වශයෙන්ම ගෝවේහි, ජේසු ජන්ම බැසිලිකා නම් පල්ලියෙහි දාසය වැනි ශත වර්ෂයේ විසූ ශාන්ත සේවියර්ගේ යැයි විශ්වාස කෙරෙන දේහයක් ඇති අතර, වාර්තාවලට අනුව මෙම දේහය කිසි දිනක එම්බාම් කර නොමැති බොහෝ කලක් ඉතාම හොඳ තත්ත්වයේ පැවත දැන් කෙමෙන් කෙමෙන් දිරාපත්වීමට පටන්ගෙන ඇති බවට වාර්තාවේ.
කතෝලික බැතිමත්හු මෙම දේහය ශාන්ත සේවියර් නමැති, 1552 නොවැම්බර් මස 20 වැනි දින චීන වෙරළබඩ ආසන්න දුපතක් වන සැන්ක්ෂන් නමැති දුපතේදී මිය ගිය, සංචාරක පූජකතුමාගේ දේහය යැයි පවසති.

ශාන්ත සේවියර් පූජකතුමා සම්බන්ධයෙන් ලියූ පොත පත අනුව ඔහුගේ ඉතිහාසය සැකෙවින් මෙසේය. ප‍්‍රැන්සිස් සේවියර් උපත ලැබුවේ 1506 අපේ‍්‍රල් මස 7 වැනි දින ස්පාඤ්ඤයේ නවාරා යන පෙදෙසෙහිය. 1537 ජුනි මස 24 වැනි දින ඔහු රෝමයේදී පූජකයකු බවට පත්වූ අතර පාප් වහන්සේ ඔහු දුරස්ථ නැගෙනහිර දිශාවේ තම නියෝජිත / පණිවිඩකරු ලෙස පත්කර හැරියේය. එතැන් පටන් ප‍්‍රැන්සිස් පියතුමා බොහෝ දුර
සංචාරය කරමින් ශුද්ධ වූ බයිබලය උගන්වමින්, ගෝවේ තම මූලස්ථානය කර ගනිමින් ආගමික කටයුතුවල නිරතවිය. ඒ කටයුතු නිසාම ඔහුට සංචාරක පූජකතුමා යැයි නමක් ද පටබැඳිනි. අවසාන කාලයේ ඔහු ජපානයට ගිය අතර, වර්ෂ 1552 දී චීනයට ගිය විට අසනීපයට පත්වී සැක්න්ෂන් දුපතෙහි 46 වියෙහි දී අභාවප‍්‍රාප්ත විය.

කැතලික් මැසෙන්ජර් නම් පුවත්පතෙහි (1931 දෙසැම්බර් 1 දා) මෙම දේහය පිළිබඳ පහත දැක්වෙන පරිදි විස්තර සඳහන් වෙයි. එම විස්තර ලබාගෙන ඇත්තේ ටි‍්‍රචිපොලෙහි පූජක කැස්ටස් පියතුමා විසින් සම්පාදනය කරන ලද කෘති‍්‍රම එම්බාම්කරණයෙන් තොරව මළ සිරුර නරක් නොවී සකස් කිරීම යන කෘතිය ආශ‍්‍රයෙනි.
ප‍්‍රැන්සිස් පියතුමාගේ දේහය සැන්ක්ෂන් දුපතේ සිකුරාදා සිට ඉරිදා දක්වා තබා, රළු මිනී පෙට්ටියක බහා එහි විශාල ප‍්‍රමාණයක් හුණු දමා (සිරුර නරක්වීමේ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට) කුඩා කන්දක් යට වළලනු ලැබීය.

මාස දෙක හමාරකට පසුව එනම් 1553 පෙබරවාරි 13 වන දින සැන්ක්ෂන් සිට මලක්කාවට නෞකා යාත‍්‍රා කිරීමේ කාලය පැමිණ ඇති බැවින් පියතුමාගේ ඇට කටු ඉන්දියාවට යැවීමට සැළසුම් කොට මිනී වළ විවෘත කරන ලදී.
මිනී පෙට්ටිය විවෘත කොට හුණු ඉවත් කළ විට සිරුර ඉතාම හොඳ තත්ත්වයෙන් තිබෙනු නිරීක්ෂණය කරන ලදී. එසේම මිහිරි සුවඳක් ද ඉන් වහනය වන්නට පටන්ගෙන තිබිණ. එය සනාථ කිරීම සඳහා කකුලේ කලවයට තුවාල කළ විට පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. සිරුර යළි පෙට්ටියට දමා හුණුවලින් ආවරණය කොට සැන්ටාක්‍රෝසෙ යන නෞකාවට පටවන ලදී.
1553 මාර්තු 27 වැනි දින සැන්ටාක්‍රෝසෙ නෞකාව මලක්කාවට සේන්දු වූ අතර එම මිනී පෙට්ටිය ඉතාම අලංකාර වර්ණවත් උත්සවයකින් අවර්ලේඩි ඩි මොන්ටෝ යන පල්ලියට ගෙන යන ලදී. මිනීපෙට්ටිය විවෘත කොට යළිත් දේහය ඉතාම හොඳින් තිබෙන බැව් නිරීක්ෂණය කොට (පැළඳු ඇඳුම් ද සහිතව) නැවත වරක් පල්ලියේ භූමියේ භූමදාන කරන ලදී.
දේහය මෙවර භූමදාන කළ අයුරු විස්තර කර ඇත්තේ මෙසේය. “දේහය ඉවතට ගෙන ඝන රෙද්දකින් ඔතා, තෙත බරිත වූ පසෙහි, මිනී පෙට්ටියක්ද නොමැතිව, හිසට කුඩා මෙට්ටයක් තබා මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් ආවරණය කොට බහාලන ලදී. මිනී වළ දේහයට වඩා ටිකක් කුඩා වූ බැවින් එය බලෙන් ඇතුළට ඔබා පස් දමා තද කරන ලදී. මේ අවස්ථාවේදී සිරුරෙහි බෙල්ල කැඩී තුවාලයක් සිදුවී රුධිරය පිටවූ අතර එයින් මිහිරි සුවඳක් ද වහනය වන්නට පටන් ගති.
එම වසරේම අගෝස්තු මස සේවියර් පියතුමාගේ හොඳ මිතුරකු වූ ජෝන් ඞී බර්ස් නමැති පියතුමා මලක්කාවට පැමිණ දේහය ට ගෞරවනීය භූමදානයක් දෙනු පිණිස එය යළි ගොඩගන්නා ලදී. එතරම් අගෞරව ලෙස කිසිදු ආරක්ෂාවක් නොමැතිව තෙත බරිත පස් ගොඩක මාස 5 ක පමණ කාලයක් තිබූ සිරුර කිසිසේත්ම
නරක් නොවී තිබෙනු ඔහුට නිරීක්ෂණය විය. එසේම ඔහු පහත සඳහන් ලෙස සිරුරේ තුවාල ද සටහන් කරගති.
“පස් දමා තද කරන විට තියුණු ගලක කොනක් වැදීම නිසා මුහුණේ වම් පැත්තේ ගැඹුරු තුවාලයක් ඇතිවී ඇති අතර නාසය තැලී හීරී ඇත. මුහුණු ආවරණය කළ රෙදි කැබැල්ල සහ හිසට තැබූ කුඩා මෙට්ටය ලෙයින් නැහැවී ඇත. ශරීරය ඇතුළේ සිදුවී ඇති තුවාලය නිසා රුධිරය මුවින් පිටවී ඇත.” යනුවෙනි.

පියතුමා සිරුර ඉන්දියාවට යැවීමට සැළසුම් සූදානම් කරන ලදී. ඒ සඳහා සේවියර්ගේ ධනවත් මිතුරකු වූ ඩියාගෝ පෙරේරා උදව් වීය. ඉතා හොඳ අලංකාර මිනී පෙට්ටියක් සාදා එහි තැන්පත් කොට ඉන්දියාවට යැවීමට යාත‍්‍රාවක් එනතුරු බලා සිටියහ. දින 18 කට පසුව එනම් 1553 සැප්තැම්බර් මස යාත‍්‍රාව මලක්කාවෙන් පිටත්වූ අතර 1554 දී මාර්තු මස 15 වැනි දින එය ගෝවේට ළඟාවිය. දේහය රාජකීය ගෞරවයෙන් පිළිගෙන ගරු කටයුතු අලංකාර ඇඳුම් අන්දවා උත්සව ශ්‍රීයෙන් ශාන්ත පෝල් ඉපැරැණි පල්ලිය වෙත ගෙන යන ලදී. එහි දින 3ක් බැතිමතුන්ගේ ගෞරවය සඳහා තබන ලදී. මෙහිදී ඉතා උසස් දෝන ඉසබෙලා ටී කැරොන් නමැති රාජකීය කාන්තාව දේහයේ පාදය සිඹින මුවාවෙන් පාදයේ කුඩා ඇඟිල්ල මුවින් හපා වෙන් කර ඇත. එවිට රුධිරය ගලා ඒමට පටන් ගති. ජනතාවගේ බුහුමන් අවසානයේ මිනී පෙට්ටිය වසා දමන ලදී.
ශාන්ත සේවියර් පියතුමාගේ දේහය පිළිබඳව ලියා ඇති බොහෝ පොත්පත් සහ පුවත්පත් වල සඳහන්ව ඇති විස්තර, එනම් ඔහු චීනයේ සැන්ක්ෂන්වල මිය ගිය දින සිට ගෝවේට ගෙන එනතුරු සිදුවූ සිදුවීම් දක්වා ඇත්තේ ඒ අයුරිනි. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.

වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ
වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.
“වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේ දී පරීක්ෂා කර බැලීමි. සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට
ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළ මුත් එහි කිසිදු දුඟඳක් නොවීය. පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහිදී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි.”
“දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින් වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැකී තිබුණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක් වූ අතර, පිටවූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේදී වියළි ගිය අතුනුබහන් ස්පර්ශ කිරීමට හැකිවිය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි.”


වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය
මේරි රැජිනගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේ හි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.
අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණ පරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේ ද යන්න පරීක්‍ෂා කිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන්ද, සමින් ද
වැසී තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි. වම් අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්ත වූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරා ගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේදී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.
කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන් හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.
මතු සබැඳි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ලියූ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ කෘතිය ඇසුරෙනි.

උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 

සමන් දෙවිඳුගේ මග පෙන්වීමෙන් දිවා ගුහාවට ගිය තරුණයෙක්..... (haskam) අබිරහස් අඩවිය - Abirahas Adawiya


   
ශ්‍රීපාදස්ථානය නැතහොත් සමනළ කන්ද ලොව පුරා බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති පූජනීය ස්ථානයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කර එහි නිල් මාණික්‍යයක් මත ශ්‍රී පතුලේ සටහන තබනු ලැබීය. එදා මෙදා තුර ගිහි පැවදි, අන්‍යාගමිකයන්ගේ මෙන්ම දෙව් බඹුන්ගේ පවා වන්දනා මානයට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය තවමත් හෙළි නොවූ කරුණු කිහිපයක් සඟවා ගෙන ඇති ස්ථානයකි. ශ්‍රීපාදස්ථානය වැඳුම් පිදුම් කරන්නට යන බෞද්ධ බැතිමතුන්ට තවමත් හරි හැටි හඳුනාගත නොහැකි වූ ස්ථානයකි, දිවා ගුහාව. බුදුරජාණන් වහන්සේ සමන්ත කූඨය වෙත වඩිනා අවස්ථාවේ දී දිවා විහරණය සිදු කළ ගුහාව දිවා ගුහාව ලෙස හැඳින්වෙයි. 
අතීතයේ සිට දිවා ගුහාව ගැන කියැවුණේ සමනළ අඩවියේ මිනිස් ඇසට නොගැටෙන ඉසව්වක දෙවිවරුන්ගේ පුද සත්කාර ලබමින් ඇති ස්ථානයක් ලෙසයි. එනමුත් පසුගිය සමයේ වර්ථමාන ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් විසින් දිවා ගුහාව යනු සිරිපා මළුවට පහතින් පිහිටි නිශ්ශංක ලෙන බව ප්‍රකාශ කළේය. නමුත් බොහෝ ඉතිහාස ගවේශකයෝ මෙන්ම බෞද්ධ ජනතාවද නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පිළිගන්නට මැළි වේ. එයට ද සාධාරණ හේතු පවතී. පළමු කරුණ වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් ඒ පිළිබඳ ව දැක් වූ අදහසයි. එතුමා පවසන්නේ නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පැවසීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැති බවයි. එම ලෙන තුල අදටද දක්නට ඇත්තේ නිශ්ශංක මල්ල රජු සමනොළ ගිර තරණය කර උතුම් වූ ශ්‍රී පාද පද්මය වැඳපුදා ගත් බව සඳහන් සෙල් ලිපියක් සහ රජුගේ රුව සහිත ශෛලමය කැටයමක් පමණි. 


තවද සිරිපා මළුව පෙනෙන මානයේ බුදුරජාණන් වහන්සේ විවේක සුවය ගත කළා යැයි සිතන්නටත් අපහසුය. එසේ නම් බුදුන් වහන්සේ දිවා විහරණය කරන ලද සැබෑ දිවා ගුහාව සමනල හිමයේ මිනිස් ඇස නොගැටෙන ලෙස අදටත් සැඟවී තිබිය යුතුය. ඇත්තෙන්ම දිවා ගුහාව තියෙන්නේ කොතනද? දිවා ගුහාව දුටු අයෙක් සිටී ද? දිවා ගුහාව පිහිටි ස්ථානය ගැන දන්නා කවරෙක් හෝ නැති ද? මේ ලිපිය ලියන විට මගේ මතකයට නැගුනේ මා කුඩා කල පුවත්පතක දුටු ලිපියකි. එහි සඳහන් වූයේ හැටේ දශකයේ දී, එවකට තරුණ පුද්ගලයෙකු දිවා ගුහාව සියැසින් දුටු කතා පුවතයි. එම ලිපිය කියවා වසර ගණනාවක් ගතව ඇතත් මාගේ මතකයේ ඇති අන්දමට ඒ කතා පුවතත් ඔබ වෙත කියන්න මට සිතුණි. 

එම තරුණයා පවුලේ එකම දරුවා විය. නාහෙට නාහන දඩබ්බර ගති පැවතුම් ඇති තරුණයෙකු වුවත් ඔහු දැඩිව ආගම දහමට නැඹුරු පුද්ගලයෙකි. සිරිපා අඩවියේ තවමත් සොයාගත නොහැකි වූ දිවා ගුහාව ගැන කතා පුවත ඇසූ ඔහුගේ සිතට අමුතුම ආකාරයේ අදහසක් පහළ විය. එනම් තමා කෙසේ හෝ දිවා ගුහාව සොයා ගත යුතුය යන්නයි. ඔහුගේ අදහස දැනගත් ඔහුගේ දෙමාපියන් කෙසේ හෝ තම පුතුගේ අදහස වෙනස් කරවීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදුනි. එම තරුණයාත් තම තීරණයේම සිටියහ. අවසානයේ දෙමාපිය ආශිර්වාදය මත දිවා ගුහාව සොයා යන ගවේශණය ආරම්භ කළේය. සතියක් පමණ කාලයක් පේ වී, ගමේ පන්සලේ හාමුදුරුවන් බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගෙන සමනළ අඩවියේ භාරකාරීත්වය හිමි සුමන සමන් දෙවියන් උදෙසා පඬුරු ගැට ගසා මහත් වූ ශ්‍රද්ධාවෙන් ඔහු තම ගමන තනිවම ආරම්භ කළේය.

තනිව බොහෝ දුර ගමන් කර ඔහු එක ස්ථානයක නතර වී මඳ වේලාවක් ගිමන් හරින්නට සූදානම් විය. තම මව විසින් සාදා දුන් අග්ගලා බෑගයෙන් එකක් ගත් ඔහු එය සෙමින් සෙමින් රස විඳින්නට විය. ඔහුට ඉදිරියේ ප්‍රපාතය දෙසට නැවී තිබුණු රූස්ස ගසකි. එම ගසේ විශාල බෙනයක් විය. මෙය දුටුවකුගේ මතකයට නගා ගත හැකි ස්ථානයකි. එයට හේතුව එම බෙනය සිංහල හෝඩියේ ‘ද‘ අක්ෂරයේ හැඩය විය.
එදෙස බලා සිටි ඔහුට එක වරම දකින්නට ලැබුනේ පුදුම දසුනකි. එනම් ප්‍රපාතය දෙසට ගමන් කරමින් සිටි සම්පූර්ණයෙන් සුදු ඇඳගත් වියපත් මිනිසෙකි. එකවරම නතර වූ එම වයසක තැනැත්තා මෙම තරුණයා දෙස එක එල්ලේ බලා සිටින්නට විය. මුහුණ පුරා වැවුණු සුදු රැවුලක් ඇති, හිසට සුදු රෙදි කඩකින් ජටාවක් බැඳි, ඉතා ශාන්ත පෙනුමක් තිබූ එම වයසක තැනැත්තා තමාට යම් දෙයක් කියන්නට උත්සාහ කරනවා යැයි මෙම තරුණයාට හැඟුණි. වහා නැගිට ගත් තරුණයා තම ගමන් මල්ල රැගෙන බලන විට ජටාදර සීයා සෙමෙන්
සෙමෙන් ප්‍රපාතය දෙසට ගමන් කරනු දුටුවේය. මෙම තරුණයාත් එම සීයා පසුපස ඇවිද යන්නට විය.
කැලේ තුලට බොහෝ දුරක් ගිය ඔවුන් එක වරටම පිවිසියේ පළතුරු වනයක් තුලටය. බලන බලන තැන ඇත්තේ ඉදුණු පළතුරු වලින් බර වූ ගස්ය. තව දුරටත් ඉදිරියට ගිය අතරේ දී එකවරම සීයා නතර විය. ඉදිරියේ තිබුනේ වැල් වලින් ස්වාභාවිකව නිර්මාණය වූ ආවරණයකි. එතනින් ඇතුලට පිවිසි තරුණයා දුටුවේ අසිරිමත් දසුනකි. එය ගල් ලෙනක් විය. විවිධාකාරයේ ආලෝක ධාරාවන් ලෙන තුළින් විහිදේ. ඇතුලත මධුර ස්වරයෙන් ඇසෙන්නේ පිරිත් සජ්ජායනාවකි. 
තමා අහම්බෙන් හෝ පැමිණ ඇත්තේ තමා සොයමින් සිටි දිවා ගුහාව වෙතට බව එම තරුණයාට අවබෝධ විය. වටපිට බලන විට ඔහු දුටුවේ ලෙනේ පසෙක බුදුන් වඳිනා ජටාදර සීයාය. තමාත් පංචශීලය සමාදන් විය යුතු යැයි සිතූ තරුණයාද පසෙකින් වාඩි වී බුදුන් වැඳ මොහොතක් භාවනාවේ යෙදුනි. දෑස් ඇර බලන විට ඔහු දුටුවේ තමන් සමඟ පැමිණි සීයා ලෙනේ දොරටුව අභියස සිටිනා බවයි. තමා දැන් පිටවී යායුතු බව වටහා ගත් තරුණයා තවත් වරක් ගුහාව ට වැඳ එළියට ආවේය. ඔහුට ඉදිරියෙන් සුදු ඇඳ ගත් ජටාදර සීයා ගමන් කරයි. බොහෝ දුර ගෙවා පැමිණි ඔවුන් එක් ස්ථානයක දී විඩා නිවා ගන්නට මඳක් වාඩි විය. ගමන් මල්ලට අත දැමූ තරුණයා අග්ගලා දෙකක් ගත්තේ එකක් සීයාට ද දෙන බලාපොරොත්තුවෙනි. පුදුමයකි..
සීයා පෙනෙන මානයක නැත. හැම දිශාවක්ම විපරම් කර බැලූ තරුණයාට එම වයස්ගත පුද්ගලයාගේ කිසිදු හෝඩුවාවක් සොයාගන්නට බැරි විය. ඔහු තවත් ඉදිරියට යන විට දුටුවේ තමන් සිටින ස්ථානයට ඉහළින් ‘ද‘ හැඩයේ බෙනය ඇති ගස තිබෙන බවයි. එතනින් සිරිපා ගමන් මාර්ගයට පිවිසි ඔහු ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගෙන නැවතත් තම නිවෙස බලා පහළට කරුණා කරන්නට විය. නිවෙසට පැමිණි ඔහු මේ බැව් තම දෙමාපියන්ට පැවසීය. දැඩි භක්තියකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව පේවී ගමන පිටත් වූ මෙම තරුණයාට හමු වූ සුදු හැඳගත් වයසක තැනැත්තා වෙන කවුරුවත් නොව සමනල අඩවියේ අධිපති සුමන සමන් දෙවියන් බව සැමට අවබෝධ විය. 
බොහෝ කළකට පසු නැවතත් අර තරුණයා තම මිතුරන් පිරිසක් සමඟ සිරිපා කරුණා කරන්නට යන අතරතුරේ දී ‘ද‘ හැඩයේ බෙනය ඇති ගස ගැන අවධානය යොමු කරන්නට සිතුවේය. අවාසනාවට කාලයත් සමඟ පාරේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගමන් මාර්ගයේ සළකුණු ඉවත් වී තිබුණි. එම ගසද ඉවත් කර තිබුණි. ගස තිබූ ස්ථානය දළ වශයෙන් හෝ හඳුනාගන්නට ද එම තරුණයාට හැකියාවක් ලැබුනේ නැත. 
ඒ දිවා ගුහාව සියැසින් දුටු බවට සඳහන් එක් කතා පුවතක් පමණි. මෙවැනි කතා පුවත් රැසක් ජන වහරේ ඇත. මේ කුමන කාරණා මත වුවද තේරුම් ගත හැක්කේ එක් කරුණක් පමණි. වර්ථමානයේ අප දිවාගුහාව ලෙස හඳුනාගෙන ඇත්තේ සැබෑ දිවා ගුහාව නොවේ. සැබෑ දිවා ගුහාව අදටත් අපෙන් වෙන්ව මහ වනයේ කොතැනක හෝ දෙවිවරුන්ගේ පුද පූජා ලබමින් තිබෙනවා ඇත. 
ලිපි රචනය - ක්‍රිෂාන් වීරසිංහ

 උපුටා ගැනීම් සහිතයි ....ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya