Friday, August 19, 2016

ශ්‍රී රාහුල හිමි පිළිබඳ අලුත් වටිනා තොරතුරු රැසක් හෙළි වෙයි ...( thotagamuwe sri rahula himi )..අබිරහස් අඩවිය - Abirahas Adawiya


ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී පරණවිතාන මහතා කියවා පළ කළ ශිලා ලිපි පාඨවලින් ශ්‍රී රාහුල හිමි හා ඒ අවධිය පිළිබඳ අලුත් වටිනා තොරතුරු රැසක් හෙළි වෙයි.
පරම්පරා පුස්තකය වැනි විනාශව ගිය වංසකතාවලින් උපුටා ගත් පාඨ ශිලාලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මුලින්ම පරණවිතාන මහතා 1964 කෑගල්ලේ සාහිත්‍ය දින උළෙලේදී 'හයවැනි පරාක්‍රමබාහු රජු ගැන ළඟදී සොයා ගත් කරුණු' මැයෙන් කතාවකදී හෙළි කළේය. ඉන්පසු පරණවිතාන මහතා ලිවූ 'සීගිරි කතාව' ඉංගී්‍රසි ග්‍රන්ථයේ තවත් ශිලා ලිපි සාධක එයි.
පරණවිතාන මහතාගේ සොයා ගැනීම් අනුව ශ්‍රී විජය රාජ්‍යයේ සිට ආ හයවැනි පරාක්‍රමබාහු රජු (1412-1467) ලංකාවට ඒමට පෙර ශ්‍රී විජය රාජ්‍යයේදී විවාහව එහිදී ඔහුට දාව ලැබුණු පුතා ජාවා රටේදී කුඩා කල මළේය. ලංකාවට ආ හයවැනි පරාක්‍රමබාහු වීදාගම හිමි හා සේනාවේ සහාය ලැබ අලකේශ්වර පවුලේ බලය බිඳ (පරණවිතාන මහතා කියවූ අලකේශ්වර පරම්පරා පුස්තකයේ ඒ පවුලේ විස්තර එයි) කෝට්ටේ රජ විය. රාජාවලිය අනුව ලංකාවේදී ඔහු පාවා ගත්තේ කීරවැල්ලේ කුමරියකි. ශිලා ලිපිවල ඇය දැදිගම රාජ පුත්‍ර ඨකුරගේ දූ වූ ස්වර්ණ මාණික්‍යා ලෙස හඳුන්වයි. හයවැනි පැරකුම් රජුට දාව ස්වර්ණ මාණික්‍යා ලද එකම පුතා 'පුරන්දර' කුඩා කල අකාලයේ මළේය.
රජුට දාව ස්වර්ණ මාණික්‍යා ලද දුව චන්ද්‍රවතී හෙවත් ලෝකනාථය. චන්ද්‍රවතී හා ලෝකනාථ යනු එකම කුමරියක් බව 'අලකේශ්වර යුද්ධය' ද සඳහන් කරන අතර ශිලා ලිපි මඟින් ඒ සනාථ වෙයි. ඇය පසුකල 'උලකුඩය දේවි' නමින් ප්‍රකට විය. චාර්ල්ස් ගොඩකුඹුරේ තම 'සිංහලිස් ලිට්රේචර්' ග්‍රන්ථයේ පෙන්වා දෙන පරිදි 'ලෝකනාථ' යන්නෙහි ද්‍රවිඩ රූපය 'උලකුඩය' නම් වෙයි.

චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු ලබාදෙන ලෙස උපුල්වන් දෙවි යදිමින් ශ්‍රී රාහුල හිමි තම පළමු කාව්‍ය ග්‍රන්ථය වූ පරෙවි සන්දේශය ලිපිය පරෙවි සන්දේශය ලිවීමට තුඩු දුන් හේතුව ශිලා ලිපිවල විස්තර වෙයි. චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු නොලැබුණු නිසා ඇය අම්බලන්තොට රාජ්‍යයේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුට විවාහ කරදීමට හයවැනි පරාක්‍රමබාහු රජු තීරණය කළේය. ඊට හේතුව සුන්දර පාණ්ඩ්‍ය හෙවත් තත්නුරු තුනයාර් කාලිංග හා පාණ්ඩ්‍ය යන රාජවංස දෙකටම සම්බන්ධව සිටීමයි.

එහෙත් මේ වන විට අම්බලන්තොට සුන්දර පාණ්ඩ්‍ය කුමරු ශ්‍රී විජය රාජ්‍යයට ගොස් එහි රජුගේ දූ කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙළී සිටියේය. මෙහිදී හයවැනි පරාක්‍රමබාහු රජු තම දූ කුමරිය වූ චන්ද්‍රවතී සමඟ නැව් නැඟ ස්වර්ණපුර බලා පිටත් විය. මුහුදු ගමන දුෂ්කර කාලයක මේ යන ගමන කොතැනින් කෙළවර වේදැයි කිව නොහැකි විය. මෙහිදී ශ්‍රී රාහුල හිමි පැරකුම් රජුට මුහුදට අධිපති උපුල්වන් (උපුල්වන් යනු මුහුදට අධිපති වරුණ දෙවි බව දෙවුන්දර උපුල්වන් මැදුර ඉංගී්‍රසි නිබන්ධනයේදී පරණවිතාන මහතා කියයි) දෙවිඳුගේ පිහිට යැද පරෙවි සන්දේශය ලියූ බව ශිලා ලිපි තොරතුරුවලින් පෙනී යයි.
පැරකුම් රජු ස්වර්ණපුර ගොස් යුද කොට ස්වර්ණපුර රජු පැරදවූ අතර චන්ද්‍රවතී කුමරිය දැකීමෙන් සුන්දර පාණ්ඩ්‍ය කුමරුට ඇය ගැන ආදරයක් යළි මතු විය. මේ අතර ස්වර්ණපුර රජුගේ දූ වූ සුන්දරීගේ හිත වෙනත් කුමරකුට ඇදී ගියේය. මේ නිසා හයවැනි පරාක්‍රමබාහු තම දූ වූ චන්ද්‍රවතී හා සුන්දර පාණ්ඩ්‍ය ලංකාවට කැඳවාගෙන අවුත් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී දෙදෙන 1448 අප්‍රේල් 10 විවාහ කරවූ බව ශිලා ලිපිවල එයි. ශිලා ලිපි අනුව විවාහයට පසු සුන්දර පාණ්ඩ්‍ය හයවැනි පැරකුම් රජුගේ අගමැති වූ අතර (මීට පෙර හංස සන්දේශය අනුව මහන්තේ ඒකනායකද ගුත්තිල කව අනුව සලාවත ජයපාලද අගමැතිවරු වූහ. ගුත්තිල කව ලියවෙන කල වනවිට සලාවත ජයපාල අගමැති නොවූ බව, අගමැතිව සිටි යන යෙදුමෙන් පෙනෙයි) චන්ද්‍රවතී කුමරිය උලකුඩය දේවි නමින් ප්‍රකට වූවාය.
හයවැනි පැරකුම්ට දාව ස්වර්ණ මාණික්‍යා ලද පුරන්දර මළෙන් පැරකුම් රජු පුතුන් තිදෙනකු හදා ගත්තේය. ශ්‍රී රාහුල, සපුමල්, අම්බුළුගල ඔවුන්ය. 'පැරකුම් රජු විසින් පුත්‍ර පෙමින් ඇති කරන ලද යනුවෙන් ශ්‍රී රාහුල හිමිට ඒ බව කියයි. තරුණ වියට පත් රාහුල පැවිදි විය. ශිලා ලිපි තොරතුරු අනුව ජාවා රට ආ පනික්කලනගේ (එළුසිලෝ ශතකයේ එන පනික්කි මොහු විය හැකිය) පුතා වූ සපුමල් හෙවත් චම්පක කුමරු පැරකුම් රජුට නෑ විය. තුන්වැන්නා අම්බුළුගල කුමරු හෙවත් පරනාපසිංහයි. 
ශිලා ලිපි සාධක අනුව අම්බුළුගල හෙවත් පරනාපසිංහ කුමරු යාපහු බළකොටුව භාරව සිටියේය. පරෙවි සන්දේශයේ වර්ණනා වන මායාදුනු නුවර යුවරජු යනු මේ අම්බුළුගල කුමරු බව පරණවිතාන මහතා කියයි. හයවැනි පැරකුම් රජුට පසු තන්නුර් තුනගර් හා උලකුඩය දේවිගේ පුත් ජයබාහු (ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයෙන් විභීෂණ දෙවිඳුගෙන් ලබා දුන්නා යයි සලකන කුමරු) රජ වූ විට ශ්‍රී රාහුල හිමිට සෑහෙන දේශපාලන බලයක් තිබුණා යයි අනුමාන කළ හැකිය.


එහෙත් යාපා පටුන පාලනය කරමින් සිටි සපුමල් 1470 ජයබාහු මරා හයවැනි බුවනෙකබාහු (1470-78) නමින් කෝට්ටේ රජ විය. හයවැනි බුවනෙකබාහු රජුට විරුද්ධව සිංහල පෙරළිය නමින් රටේ කැරැල්ලක් ඇතිවූ බව 'රාජාවලිය' කියයි. දැදිගම ශිලා ලිපියේ මෙම කැරැල්ල 'සිංහල සංගේ' නමින් එයි. ජී.සී. මෙන්ඩිස් අනුමාන කරන පරිදි මෙම කැරැල්ලට ශ්‍රී රාහුල හිමි සහාය විය. 'කල්‍යාණ ශිලා ලිපි' අනුව රජුට විරුද්ධව 'ගරවි' නම් ඇමැතියකු කැරැලි ගැසූ බව කියයි. කැරැල්ල මැඬලන ලදුව ශ්‍රී රාහුල හිමි රාජ සේවය අතහැර ඉදුරුලෙන වනගතව විසූ බව ජනප්‍රවාදවල එයි. හයවැනි බුවනෙකබාහු රජු කල පැමිණි රාමඤ්ඤ දූත පිරිසට උපසම්පදාව දීමේ උළෙලේදී වීදාගම හිමි හා ධර්මාචාර්ය හිමි (ගිරා සන්දේශයේ එන දහම් ඇඳුරු මාහිමි යනු මෙතුමා බව චාල්ස් ගොඩකුඹුරේ කියයි) මූලික විය.

කල්‍යාණ ශිලා ලිපි අනුව මේ වන විට ශ්‍රී රාහුල හිමි සංඝරාජව සිටියත් උපසම්පදා උළෙලේ මූලිකත්වය වීදාගම හිමි හා ධර්මාචාර්ය හිමි සතු විය. වීදාගම මෛත්‍රි හිමි මෙකල රාජපාක්ෂිකව හිතවත්ව ලැබූ පුද සත්කාරවලට අරම්කැලේ සන්නසද සාධකයකි. කෝට්ටේ කල රචිත ගිරා සන්දේශයේ ශ්‍රී රාහුල හිමි ගැන උත්කර්ෂවත් වැනුමක් එයි. එතුමා ෂඩ් භාෂා දැන සිටි වග ගිරා සන්දේශයේ එයි. ශ්‍රී රාහුල හිමි හැර උතුරුමුල හා ඉරුගල් කුලතිලක හිමිවරුන්ට ෂඩ් භාෂා පරමේශ්වර උපාධිය එදා විය.

ශ්‍රී රාහුල හිමිගේ ග්‍රන්ථ පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය (පැරකුම් රජුගේ 35 වැන්නේ ලිපිය) කවිපොත් වෙයි. පැරකුම් රජුගේ 45 වැන්නේ ලිවූ පඤ්චිකා ප්‍රදීපය යනු මොග්ගල්ලාන පාලි ව්‍යාකරණයට විවරණයකි. එතුමන් පදස්ධනටීකාවට ලිවූ විවරණය බුධිප්පසාදිනිටිකාය ඒ හැර තොටගමු නිමිත්ත හා චතුරාර්ය සත්‍ය කාව්‍යය රාහුල හිමි ලිවීයයි අනුමාන කරන බව මලලසේකර මහතා තම 'පාලි සාහිත්‍යයේ' දක්වයි. භක්ති ශතකය වෘත්තරත්නාකාර පඳචිකා, ආදී ග්‍රන්ථ කළ ශ්‍රී රාමචන්ද්‍ර කවිභාරති රාහුල හිමිගේ ශිෂ්‍යයෙකි.
ශිලා ලිපිවල රාහුල හිමි අයත් උත්තර මූලයේ ආරම්භය ගැන තොරතුරු ලැබී පරණවිතාන මහතා හෙළි කරයි. ඒ අනුව ස්වර්ණපුර බුදු දහම විය. පොළොන්නරු කල ශ්‍රී විජය රාජ්‍යයෙන් ලංකාවට ආ ශිරිපුත්‍ර හිමි මේ පරපුරේ පදනම දැමීය. ශිරිපුත්‍ර හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි උත්තර මූලය ඇරැඹීය. මේ පරපුරේ හිමිවරු සුමංගල නම් වූහ. දෙවැනි උත්තර මූල හිමිගේ ශිෂ්‍ය ශ්‍රී රාහුල හිමි දැන් සංඝරාජව තොටගමු විහාරයේ වැඩවසමින් ධර්ම විනය පුහුණු කරයි. මේ අනුව උත්තර මූලයේ උපත හා ශ්‍රී රාහුල හිමි සංඝරාජ වූ බව ශිලා ලිපි සාධකවලින් සනාථව හෙළි කරයි.
රාහුල හිමි ගැන තවත් අප්‍රකට පුවතක් ශිලා ලිපි අතර තිබි කියවා පරණවිතාන මහතා හෙළි කරයි. 1969 ජූනි 17 ශ්‍රී ලංකාදීප පත්‍රයට 'සීගිරිය තනිවුණේ නෑ' මැයෙන් ලිපියක් සපයන ඔහු ඒ තොරතුරු විස්තර කරයි. ඒ අනුව හයවැනි පැරකුම් රජුගේ බිසව වූ ස්වර්ණ මාණික්‍යාගේ ඥාතියකු වන ඨකුර සීගිරියේ එදා මාණ්ඩලික රාජයා විය. ඨකුරගේ රජමැඳුර තිබුණේ පිදුරංගලයි. පැරකුම් රජුගේ අග මෙහෙසිය-ඇගේ දූ වූ චන්ද්‍රවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු කලක් ඨකුරගේ පිදුරංගල රජවාසලේ නැවතී සිටියහ. දිනක් සීගිරි ළඳුන් දැක ප්‍රමුදිතව චන්ද්‍රවතී කුමරිය කැටපත් පවුරේ ලිවීමට ගිය ශිලා ලිපිවල එකක් කියවීම දුෂ්කරයි. කලක් පිදුරංගල විසූ මේ රාජකීය පිරිස ඉන්පසු පොළොන්නරුවට ගියහ.
සීගිරි මාණ්ඩලික පාලක ඨකුරගේ ආරාධනාවෙන් පිදුරංගල රජවාසලේ ශ්‍රී රාහුල හිමි අවුරුද්දක් වසමින් සීගිරි නැඟ සීගිරි කැටපත් පවුරේ ගී 400 කියවා අර්ථ විවරණය කරමින් කැටපත් පවුරු ගී පොතක් එකතු කළේය. සීගිරි ගී 400 එකතු කොට රාහුල හිමි ඒවාට විවරණයක් ලිවූ බව මේ ශිලා ලිපි තොරතුරුවලින් හෙළි වෙයි. ශ්‍රී විජය (ස්වර්ණපුර) රාජ්‍යයේ විසූ ආනන්ද නම් උගත් තෙර නමක් තොටගමුව විහාරයට අවුත් අර්ථ විවරණ සහිත සීගිරි ගී 700 පොතක් කියවා ඇත.
 තොටගමුව විහාරය
ආනන්ද හිමිට ලැබුණු සීගිරි ගී 700 පොතෙන් 400 කියවා විවරණය කළේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිය. ඉතිරි 300 පිටපත් කළේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි විය හැකි බව පරණවිතාන මහතා කියයි. පරණවිතාන මහතා තවදුරටත් පෙන්වා දෙන පරිදි කෝට්ටේ අටවැනි වීර පරාක්‍රමබාහු රජ කරද්දී සීගිරිය මාණ්ඩලික පාලක ඨකුරගේ ආරාධනාවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ශිෂ්‍ය භක්තිශතක සන්නස ලිවූ සුමංගල හිමි පිදුරංගල රජ වාසලේ අවුරුද්දක් පමණ වසමින් සීගිරි නැඟ ඉතිරි සීගිරි කැටපත් පවුරු ගී කියවා පිටපත් කර ඇත. ශිලා ලිපි අනුව රාහුල හිමි හා සුමංගල හිමි පිදුරංගල වසමින් සීගිරි ගී 700 කියවා අර්ථ විවරණය කරමින් ලිවූ පොත අද විනාශව ඇත. රාහුල හිමි සිංහ රුව ළඟට ගිය විට පරම්පරා පුස්තකයේ එන සීගිරි වර්ණනාව මතක් වීලු. රාහුල හිමිගේ ශිෂ්‍ය සුමංගල හිමි කැටපත් පවුර ළඟ ඉඳ බටහිර බැලූවිට සීගිරි ප්‍රවාද වන වර්ණනාව සිහිවූයේ රාහුල හිමි විසූ අඩවිය පිදුරංගල ආරණ්‍යයක් ලෙස සකස් කර තිබූ බව මින් පෙනෙයි.
රාහුල හිමිගේ අවසානය කෙබඳු වීද? අරිමද්දන නුවර නළඟනකට පෙම් බැඳ මලයාවේදී සිවුරු හල රාහුල කෙනකු ගැන කල්‍යාණ ශිලා ලිපි කියයි. මේ අනුව රාහුල හිමි අවසාන කල නිළියක් නිසා සිවුරු හැර ගියාවීදෝයි පොල්වත්තේ බුද්ධදත්ත හිමි තම ථෙරවාදී බෞද්ධාචාර්යයෝ ග්‍රන්ථයේ කියයි. ලංකාවේ ජනප්‍රවාද අනුව ඉඳුරුලෙන ගුහාවේ භාවනායෝගීව විසූ ශ්‍රී රාහුල හිමි සිද්ධාලෝකරසය වළ¼දා භූතයන්ගෙන් වැඩ ගනිමින් සිට ඉඳුරුලෙන දීම අපවත් වූයෙන් මළ සිරුර පසු කල පරංගීන්ට ලැබ අතක් කපා ගෝවට ගෙන ගිය බව කියනු ලැබේ.
එස්.කේ. ජයවර්ධන
 උපුටා ගැනීම් සහිතයි ....
ප්‍රිය මිතුරු මිතුරියනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම්  like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya 


    

1 comment: