අප බණ්ඩරවත්ත ජයවික්‍රම බූදලය වෙත ඇදුණේ තිස්සමහාරාම විහාරය අසලදී දැනගත් තොරතුරක් මතය. මහාභාරකරු යටතට පත්ව ඇති අක්කර තුන්සියපහකට අධික වෙල් යාය හා පොල් ඉඩම් සහිත එහි, අත්හළ පරණ බංගලාවට ඉදිරියෙන් ඇත්තේ අලුත් පෙනුමැති නිවෙසකි. අවට වාසී ගම්මුන්ගෙන් ඇතැමෙක් ජයවික්‍රම මුහන්දිරම්ගේ ගුණ කියූ අතර සමහරුන් ඔහුගේ හාමිනේ පිළිබඳ එතරම් පැහැදීමකින් කතා කළේ නැත. ඒ දවස්වල මෙහි නිතර ආ ගිය අය විශ්වාස කරන්නේ නාගයකු මේ බූදලය රකින බවයි. තවත් සමහර අයට අනුව ගිනි කබලක් හිසතබාගත් ගැහැනු රූපයක් මැදියම් රෑ යාය වටේ සරක්කාලමේ යෙදෙයි. පැරැණියන්ට අනුව ජයවික්‍රම මුහන්දිරම්ගේ නම ගම නොදන්නා මුල් බිරියට ඔහුගේ නොවන දරුවකු ගැබ්ගත් නිසා බෙහෙත් විදීමෙන් දරුවාත් මවත් මරුමුවට පත්ව ඇත. මුහන්දිරම් තනි නොතනියට පුතකු අරං හදාගත්තේය. දෙවැනි බිරිය ජයවික්‍රම මුහන්දිරම්ගේ මරණයෙන් පසු පාන්ගහේ මහත්තයා නමැති විශ්‍රාමලත් ප්‍රදීපාගාර නිලධරයකු හා විවාහ වූවාය. එහෙත් හය-හතර තේරෙද්දී දරුවා පණ බේරාගෙන බංගලාවෙන් පැනගත්තේ කුඩම්මාට බියෙනි.
මැටිල්ඩා පෙරේරා විජේදෝරු ජයවික්‍රම මැතිනිය ජේත්තුවට මනිපුරි සාරි ඇඳ කණ්ණාඩි පැලඳ සිටි ඇත්තියකි; උදේ වරුවේ සාරිය සවස් වරුවට මාරු කරන්නීය; රාත්‍රියට ඇන්දේ ගවුමකි. ගාල්ලට මෙහා තිබූ එකම මොරිස් ඔක්ස්ෆර්ඩ් මෝටර් රථයේ නැඟ ඇය මුහන්දිරම් සමඟ යද්දී බොහෝ පෙනුමය; පාන් මහත්තයා සමඟ යද්දීද පෙනුමය. ඇය අකුරු නොදත්තද මුදල් වටිනාකම් මැනැවින් දැනසිටියාය. වැඩි ලීලයක් නැත්තවුන්ට බොල් සතේකිනුත් සිත්ගත්තවුන්ට රුපියලකිනුත් සංග්‍රහ කරන්නේ ඒ නිසාය. අසල්වැසියන්ට සැලකුවේ එසේ වුවත් අල්මාරි පෙට්ටගම් පිරෙන්න කාසි නෝට්ටු අට්ටි ගසා තිබුණු බව සියල්ලෝ දැන සිටියහ. කෙසේ වුවත් ගොයින් සමඟ හොඳින් හිටි නිසා ඒවා රැකගැනීම අපහසු නොවීය.
අක්කර 305ක බූදලයට අයත් කුඹුරුයාය |
"ඇන්ඇම් පෙරේරාගේ මුදල් ප්‍රශ්නය කාලේ වත්ත පුරා කෝටු ඇන ඇන සල්ලි වළලලාද බැලුවාට හම්බුණේ නෑ, අපේ අම්මලා පවා ඒ සල්ලි විස්කෝතු ටින්වල දාලා කෙසෙල් පඳුරු අස්සේ හංගලා තිබ්බ නිසා..." එක් ගොයියෙක් හෙළි කළේය. ඔහු තවත් තොරතුරු බොහෝ දන්නෙකි.
"අර ‘පුතා‘ වලව්වෙන් පැනලා ගියේ තුන් වැනි වතාවටත් මැටිල්ඩා නෝනා වහ දෙන්න හදපු එක අහු වුණාට පස්සෙයි. පිටස්තරයෙක් බූදලේ බුක්තිවිඳිනවාට නෝනා කැමැති වුණේ නෑ. කාලෙකට පස්සේ ඒ මහත්තයා තමන්ගේ අක්කර හතරක් සින්නක්කර ගත්ත අය ඉන්න ඉසව්වට ආවා ඔය ඇගිිටි හාල් ටිකක් එහෙම අරන් යන්න. අපි ඇහැව්වා ඇයි පැනලා ගියේ කියලා. එතකොටයි විස්තරේ කීවේ."
ජයවික්‍රම බූදලයේ මුල් ලිපිය දුටු අපේ හිතවතියක මීට වසර විස්සකට පෙර ඒ බංගලාවේ ලද අත්දැකීමක් හෙළි කළාය. ඇය මෙන්ම ඇගේ සොහොයුරිය ඉතා උසස් රැකියාවල නිරත වන ගැඹුරින් යමක් විශ්ලේෂණය කළ හැකි අය නිසා ඔවුන්ගේ කතාව නොසලකා සිටින්නට නොහැකි විය.
"අනූගණන්වල අපි කතරගම ගියා මාමා කෙනෙක්ගේ පවුලේ අයත් එක්ක. ඒ මාමා වැඩ කළේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නිසා නවතින්න ලස්සන බංගලාවක් තියෙනවා කියලා එක්කන් ගියේ ඔතනට. ඔයාගේ ලිපිය දැකලා අම්මා තමයි අපටත් මේ සිද්ධිය මතක් කළේ. මගේ නම් ඇඟ අදටත් හිරිවැටෙනවා මතක් වෙද්දී..." මගේ උනන්දුව වැඩි කරවමින් ඇය කීවාය.
"ඉතින් යන්න කලින් මාමා දැනගෙන හිටියේ නැද්ද මේ දේවල් ගැන?"
"ඒකනේ සමහරු ඕවා පිළිගන්නෙත් නෑ නේ. සමහරු කියන්නෙත් නෑ. සමහරවිට දන්නෙත් නැතුව ඇති." එසේ කියමින් ඇය දුරකතනය මවට යොමු කළාය.
"අපි ජයවික්‍රම බංගලාවට ගියාම ඒ වටේම ලස්සන වෙල්යාය නිසා ආසාවට ඇවිදින්න ගියා. අනේ පොඩ්ඩයි එහාට ගියේ මෙන්න තඩී පිඹුරෙක් දිය පාරක මැරිලා පා වෙනවා. ඒක දැක්ක අපිට ඇවිදිල්ල එපා වෙලා ආපහු ආවා."
ඇය කියූ කතාව කිසිවක් නොදොඩා අසා සිටියද මගේ හිත කීවේ යාය පුරා ගමන් කරන හිසේ ගිනි හට්ටිය ඇති කාන්තා රුව හා බූදලය රකින නාගයා පිළිබඳ ඇතැමුන් කී කතාය. එහෙත් විසිඑක්වැනි සියවසේ වෙසෙමින් එවැනි මායාවන් ගැන ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී බැවින් මම කිසිවක් නොකීවෙමි. ඇය කතාව දිගටම කියයි.
"මල්ලි කීවා කිරින්ද ඒ කිට්ටුව නිසා බලන්න යමු කියලා. මහත්තයා ඇඟට මහන්සියි නිදාගන්න ඕනේ කියලා, අපට යන්න කීවා. ඒ පාර මමත් පොඩිදුව එක්ක බංගලාවේ නතර වුණා.
මහත්තයා කාමරේට ගියා නිදාගන්න. දූයි මායි වත්තේ ඇවිදඇවිද වටපිටාවෙ ලස්සන බලබල හිටියා. නාන කාමරේ කරාමේ ඇරලා හෝගාලා කවුද නානවා ඇහෙනවා. නිදාගන්න ගිය මනුස්සයා මේ හවස්ජාමේ නාන්නේ මොකද කියලා බලන්න යද්දි වතුර මලේ සද්දේ තදටම ඇහුණා. එත් දොර ගාවට ගියාම සද්දේ නතර වුණා. නාන කාමරේ ඇරලා, කවුරුත් ඇතුළේ නෑ. වක්කඩක සද්දයක් වෙන්න ඇති කියලා මිදුලට ආවත් ටික වෙලාවකින් ආයෙත් සද්දේ ඇහෙනවා. ඔහොම දෙපාරක්ම වුණ නිසා තුන්වැනි වතාවේ මහත්තයාවත් ඇහැරවාගෙන ගිහින් බලද්දි එක පාරටම කිසිම හුළඟක් නැතිව අඹ ගහ හෙලවිලා ගෙඩි හෝ ගාලා වහලට වැටෙන්න ගත්තා වැස්සක් වගේ. හැබැයි ඔක්කොම කුණු වෙලා. අපිට හිතාගන්න බැරි වුණා වෙන්නේ මොනවද කියලා. අපි ඉක්මනට ගමන්මලු ඔක්කොම ලැස්ති කරගෙන එළියට වුණා. මල්ලිලා ආ ගමන් කීවා මෙතන ඉන්න එක හොඳමදි කියලා. අපි රෑම පිටත් වුණා වාහනේත් තරමක් ලෙඩ දුන්නා. ඒත් අපි කොහොම හරි එතනින් බේරිලා ගිය පාර නතර වුණේ හපුතලේ."
මිතුරියගේ මව කී කතාව අපේ ගමනේදී ලද අත්දැකීමට තරමක් සමාන විය. බංගලාවත්තේ සොහොන්කොත නොදැක ඒ අසල රැඳෙමින් ගොවි මහතකු සමඟ අප කතාබහේ යෙදෙද්දී එහා වැට මායිමේ දුරකතන ඇමතුමක් සමඟ ඇවිදිමින් සිටි ඇමටියගොඩ නිලමේ බංලාවේ එහා පැත්තට යනු දිටිමි. ගියාට වඩා වේගයෙන් ආපසු පැමිණි ඔහු රැලි කරගත් නළලින් යුතුව කීවේ ‘ඉක්මනින් මෙතැනින් පිට වෙමු‘ කියාය. අපේ ප්‍රධාන ගමන ප්‍රමාද වන නිසා එය කීවායැයි සිතා මම ගොවි මහතාගේ විස්තර ඇසීම නතර නොකළෙමි. නිලමේ වත්ත මායිමෙන් එළියට ගොස් අප එන තුරු බලා සිටියේය. ඉන් පසු අප සමඟ ගිය තවත් අයෙක් බංගලාවේ අනිත් පසින් වළං ගේ පැත්තට ගොස් අධිවේගයෙන් අප සිටි දෙසට ආවේ දාඩිය බිඳු මුහුණ පුරා මතු වෙද්දීය.
"මං හිතුවේ ඔගොල්ලො මාව දාලා ගිහින් කියලා" ඔහු කීවේ දිව පැටලෙන ස්වභාවයෙනි.
"මේ තත්පරේට අපි කොහේ යන්නද?" මමත් පුරාවිද්‍යාඥ සුමිත් මහතාත් එකවර ඇසුවෙමු. ඔහු කිසිත් නොකියා කොට තාප්පෙන් පාරට පැන්නේ ගේට්ටුව ළඟ තිබියදීය. ගොවි මහතාගේ විස්තරය පසෙක ලා, නිලමේටත් මිතුරාටත් සිදු වූ විපරීතය ඇසීමට අපට අවශ්‍ය විය.
"මොකද ඔය දෙන්නට වෙලා තියෙන්නේ?" මා ඇසුවේ විමතියත් කේන්තියත් මුසුවය.
දෙවරකට වුවද ඔවුන් පිටුපසට ගොස් ඇත්තේ සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවකටය. එහෙත් කටයුත්තට පෙර ඔවුන් යමකින් තිගැස්සී ඇත. එය දැකීමේ ප්‍රබල ආශාවකින් මම පෙළෙන්නට වීමි.
"අනේ අපි යමුකො එතනට" මම යෝජනා කළෙමි.
"මගේ හතර හන්දි පණ නැති වෙන කතා කියන්න එපා. අර වවුලා..!" එතැනින් කතාව නතර කරමින් නිලමේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සැර කරන්නාක් මෙනි.
ඔවුන් පාරේ සිටියදී මමත් සුමිත් මහතාත් තවත් දෙදෙනකු සමඟ පිළිකන්න පැත්තට ගියෙමු. පිරිස ළඟම සිටියදී වුව එකවර මහා පාළු කතරක තනි වුණා වැනි හැඟීමකින් හදවත වෙලා ගත්තා සේ දැනෙන්නට විය. පාසි වැක්කිරී ජරාවාස පෙනුමක් ගත් ශාලාවක පෙනුමැති කොටසේ ජනෙල් පළු මෙන්ම දොරවල් හෝසෙට ඇර දමා තිබුණද ඇතුළත මහා අඳුරක් අරක් ගෙන තිබිණි. එයට ඇතුළු වන්නට දොරකඩට අඩිය තබද්දී දැනුණු නැහැය කඩාගෙන යන පාළු පුස් ගඳ සමඟ මුසු වූ වවුල් වසුරු සහ සිනි ගඳ නිසා මඳක් වේගය බාල කරද්දීම "කීස්" ගාමින් මුහුණ ඉදිරියට ආ වවුලන් දෙදෙනකු කන් අයිනෙන් ඉගිළුණේ මගේ කොඳු ඇටපෙළ හිරි වට්ටමිනි.
"නෝනා අපි යමු - යමු දැන් හොඳ නෑ." ගොවියකුගේ කතාවෙන් මම තිගැස්සී පියවි ලොවට ආවා වැනි විය. ඒ සමඟම ඔහු අපට පෙන්නුවේ වළං ගේ පැත්තෙන් ඇදී එන නාගයෙකි. අපි වහා ගේට්ටුවෙන් එළියට පැනගතිමු.
"පාන් ගහේ මහත්තයා එක්ක මැටිල්ඩා නෝනා වෙච්චි කතාබහක් දුරදිග ගිහින් මහත්තයා ගහපු පයින් පාර වැදිලා තියෙන්නේ නෝනාගේ පපුව ළඟට. ඒක දැකලා තියෙන්නේ වැඩ කරන්න හිටි එක්කෙනෙක් විතරයි. පාර නිසාද මන්දා පපුවේ පිළිකාවක් හැදිලා මුලින් චීනෙ කටුචිකිත්සාවත් කරලා පස්සේ මහරගම නතර කරලා තියෙනවා. ලෙඩේ සුව වුණු නිසා අවුරුද්දට බංගලාවට එන්න ඕනේ කියලා නෝනා කීවම මහත්තයා ඇහුවලු මොකද හදිසිය කියලා. ඒ පාර නෝනගේ කටින් කියවිලා තියෙනවා වළං ගේ බලන්න ඕන කියලා. ඒ වචනේ අහු වුණු නිසා මහත්තයා කීවලු තවත් ඉංජැස්සන් එකක් ගහන්න තියෙනවා කියලා දොස්තර කෙනෙක් කීවා, ඒකත් ඉවර කරලම යමු කියලා. පස්සේ දොස්තර කෙනෙක් වගේ ඇඳගත්තු කෙනෙක් ඇවිත් කියලා ‘මිසිස් ජයවික්‍රම මේ බේතත් විදලම ගෙදර යමු‘ කියලා. ඒ අව්අස්සේ පාන් මහත්තයා ඉස්පිරිතාලෙන් මෙහෙට ඇවිත්. බී මරගාතෙන් කෑගහලා වළං ගෙයි දොරට පයින් ගහපු පාර දොර ගැලවිලා. බිම තිබිච්ච කොංකිරිට් කෑල්ල එක හුස්මට ඇදලා දාලා. ඇත්තටම සල්ලි පොට්ටනි පිටින් හංගලා තිබිලා තියෙන්නේ වළං ගේයි. මැටිල්ඩා නෝනා ඒ බේතට පස්සේ ගෙදර ආවේ පෙට්ටියෙන්. ඔය 1975 අවරුද්දෙ. ඒ නෝනගෙ සොහොන්කොත තමයි ඔය අරලිය ගහ යට තියෙන්නේ. වළං ගෙට යන ඔය නයා එක සැරයක් කවුරු හරි මරලා දැම්මට ආයෙත් ආවය කියලනේ කියන්නෙ. මඩ දානේ දුන්නෙත් ඔය වළං ගේ ළඟ."
"වෙල් අද්දර ඕන තරම් නයි ඉන්නවා නේ" මම බාධා කළෙමි.
"ඒ කාලේ හැටියට රුපියල් පන්දාහක් දීලා මල් ශාලාවෙන් නෝනගෙ ආදාහනේ ලෑස්ති කරලා තිබුණේ. තිස්සමහාරාමේ මුහන්දිරම්ගේ සොහොන ළඟමයි දවලා තියෙන්නේ. රෑ මැදියම වෙනකොට මිනිය ඉඳගන්නවාලු - නැඟිටිනවාලු. දැක්ක අය දුවලා තියෙනවා. පස්සේ ආරංචියට ෂෙඩ්එක අයිති මුදලාලි පොල්පිති, භුමිතෙල් දාලා සෑය ලොකු කරලා පුච්චලා තියෙන්නේ."
"කොහොමත් මිනියක් පුච්චද්දි කොඳු නාරටියෙන් නැවෙනවා නේ" මගේ බාධාවෙන් නම්-ගම් හෙළි කිරීමට අකැමැති ගොවීන්ට වැඩක් නොවීය.
"එ් වුණාට රාජයියා පොඩි පොඩි වැඩ වගයක් කළාම ඔය බංගලාවේ කරදර අඩු වුණාය කියන්නේ..." සරත් මහතාගේ කතාව මගේ කුහුල යළි වැඩෙව්වේය.
"මොන වගේ වැඩද?"
"ඉස්සර ඔය සද්ද බද්ද එහෙම ටිකක් වැඩිපුර තිබිලා තියෙනවා නේ. මොකද තුන්-හතර දෙනාටම පින් දෙන්න කවුරුත් ඥාතියෙක් හිටියෙත් නෑ නේ. මුහන්දිරම් මහත්තයා නම් තමන් කළ දේවලට හරියන්න හොඳ වැඩ කළා. අනිත් අය කරපු කියපු දේවල්වල හැටියට පිං ගන්න බලන් ඉන්නවා වෙන්න ඇති. හැබැයි බූදලේ සල්ලිවලින් නෝනා ජයවික්‍රම ගොඩනැඟිල්ල ඉස්කෝලෙට හැදුවා. දෙබරවැව දන්තශල්‍යාගාරයක් හැදුවා. මුදලිතුමා කෝට්ටේගොඩ නිසා එහෙත් ඉස්කෝලයක් හැදුවා. තිස්සමහාරාම විහාරෙට ජෙනරේටරයක් පූජා කළා. ඒත් ජෙනරේටරේට වුණු අක්‍රමිකතාවක් නිසා බූදලය පන්සලට ලියන්න තිබුණු හිත වෙනස් වුණාලු." ආරියදාස, පියදාස සහ ආරියපාල මහත්වරුන් කතා කළේ මුහන්දිරම් ගමට මෙන්ම පන්සලට කළ සේවය අගයමිනි.
"ඒ නිසා තමයි මහාභාරකාරයාට මේ බූදලේ අයිති වුණේ. මුහන්දිරම් මහත්තයාගේ අවසාන කැමැත්තට ලියලා තිබුණේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කරන්න කියලා. උසස් අධ්‍යාපනය කරන දරුවන්ට රුපියල් 250 ගානේ ඒ කාලේ හැටියට ශිෂ්‍යත්වයක් දුන්නා."
"එතකොට මුහන්දිරම්ගේ සොහොන් කොත?"
"නිදහස් ආයුර්වේද ගොඩනැඟිල්ල ළඟ තියෙන්නේ ඒ සොහොන් කොත. එතනත් මැටිල්ඩා නෝනගෙ අළු තැන්පත් කරන්න හදපු පොඩි කුටීරයක් තිබුණා..." මුහන්දිරම් ජයවික්‍රම 1887 මැයි 12 ඉපිද මේ වික්‍රම සියල්ල කර 1957 ඔක්තෝබර් 24 මෙලොව හැර ගිය බව එහි සඳහන් වෙයි.
"නෝනගෙන් පස්සේ පාන් මහත්තයාට බූදලේ බලතල නැතත්, ඒජන්ත හැටියට කට්ටියත් එක්ක කාගෙන බීගෙන ඔහේ හිටියා. පස්සේ දොඩන්න කරන්න බැරි වෙලා සෙම හිර වෙලා ලෙඩ වුණා. ඒ මහත්තයාගේ කලින් කසාදෙ දුවෙක් කියලා නෝනා කෙනෙක් ආවා නේ. එයැයි කොතලාවල මහත්තයාගේ පින්තූර පවා වෙලට විසි කරලා දැම්මා. කාර් එක, ට්‍රැක්ටර් වගේම ගෙදර තිබුණු ඔක්කොම පොදි බැඳගෙන ගියා; මුකුත් ඉතුරු කළේ නෑ. අසනීප වුණාම පාන් මහත්තයාව එක්කගෙන ගියෙත් එයැයි තමයි. පස්සේ ආරංචි වුණා මහත්තයා මළා කියලා."
"එතකොට නයා, වවුල් අවතාරේ?" මට අවශ්‍ය වූයේ මේ ප්‍රශ්නය විසඳාගන්නය. උදය ඇමටියගොඩ කුඩා කතරගම බස්නායක නිලමේ පිළිතුරු දුන්නේය.
"මගේ අත්දැකීමෙ හැටියට නම් ප්‍රබල තරංගයි දුර්වල තරංගයි කියලා වර්ග දෙකක් තියෙනවා. දෙවිවරු කියන්නෙ ප්‍රබල තරංග. හොල්මන් අවතාර කියන්නේ දුර්වල තරංග. මට වළං ගේ ගාවදි දුර්වල තරංග තිබෙන බවක් දැනුණා."
පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ බුදදහමට අනුව ගන්ධබ්බයන්, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියවුණු සූත්‍ර ආදිය අපට සිහිපත් කළේය. ගමේ ඇතැම් අය, බුදු ගුණ සිහි කිරීමෙන් හා බලි තොවිල් ඔස්සේ මේ බලවේග ඉවත් කළ හැකි ආකාරය ගැන විවිධ මත පළ කළහ.
සමහරුන් කීවේ රෑ ගමන් වැඩිය නොයන මුත් එසේ යන අවස්ථාවක ඉතිපිසෝ ගාථාව මිමිනීම පුරුද්දක් බවයි. සමහර සතුන්ගේ වෙසින් ආත්මවලට සැරිසැරිය හැකි බව තවත් අදහසක් විය. බූදලය රකින නාගයා, වළං ගේ වවුල් අවතාරය එවන් ආත්මදැයි අපි නොදනිමු; මැටිල්ඩා නෝනාගේ අවසන් චුති චිත්තය වුයේ වළං ගේ බැලීම නිසා එය රකින්නට මඟක් සොයන්නේදැයි නොදනිමු.
එහෙත් ආරංචියේ හැටියට වළං ගේ හොරු බිඳ බොහෝ කල්ය. රෑ ගවුමෙන් ගේ පුරා ඇවිදින සුදු කොණ්ඩෙ දිග කාන්තාව හෝ ගිනි වළඳ හිස තබාගෙන යාය පුරා යන කාන්තාව හෝ හොරුන්ට පෙනුණේ නැද්ද? මේ සියල්ල සිතමින් අපි ජයවික්‍රම බූදලයෙන් සමු ගතිමු.
අරුණි මුතුමලී
සේයා රූ රුවන් ද සිල්වා - සිළුමිණ
උපුටා ගැනීම් සහිතයි .... දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
No comments:
Post a Comment