සිරිපාදය හෙවත් ශ්‍රී පාදස්‌ථානය ජාති, කුල, ආගම්, වර්ණ හා පන්ති භේදයෙන් තොරව මේ රටේ පොදු ජනයාගේ වන්දනා මානයට පාත්‍ර වූ පරම පූජනීය සිද්ධස්‌ථානයක් ලෙසද ශ්‍රී ලංකාවේ ඇති ස්‌වභාව සෞන්දර්යෙන් අනූන අති රමණීය ස්‌ථානයක් ලෙසද ප්‍රකටය. එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද වන්දනාමානයට මෙන්ම ගෞරවනීය ගැඹුරු අධ්‍යයනයට, විමර්ශනයට බඳුන් වී ඇත.
සිරිපා වන්දනා සමය පසුගිය උඳුවප් පුර පසළොස්‌වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර අවසන් වන්නේ වෙසක් පුර පසළොස්‌වක පොහොය දිනයෙහිය. ලෝකයේ පූජනීය සිද්ධස්‌ථානයක් වන්දනා කරන දීර්ඝතම කාලයද මෙය වෙයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ හා හින්දු බැතිමතුන් ශ්‍රී පාදය වන්දනාමාන කරන අතර ඉස්‌ලාම් හා ක්‍රිස්‌තු භක්‌තිකයෝද සමනොළ ශ්‍රීපාද සටහනට බුහුමන් දක්‌වති. බොදුනුවන්ට එය "ශ්‍රී පාදය" ය. කිතුනුවන්ට එය "ආදම්ගේ පාදය" ද, හින්දු භක්‌තිකයන්ට "ශිව දෙවියන්ගේ පාදය" ද වන අතර ඉස්‌ලාම් භක්‌තිකයන්ටද ලොව මුල්ම මිනිසා "ආදම්" ලෙස පිළිගන්නා බැවින් එය එතුමන්ගේ පාදය බව විශ්වාස කරයි.
ශ්‍රී පාදස්‌ථානය බොදුනුවන්ට "සිරිපාදය" හෙවත් "සමනොළ" කන්ද ද කිතුනුවන්ට "ඇඩම්ස්‌පීක්" (Adems Peak) ඉස්‌ලාම් භක්‌තිකයන්ට "බමාද මලෙයි" ද, හින්දු භක්‌තිකයන්ට "ශිවනොලි පාදම්" ද වෙයි. මෙම කඳු මුදුන සියලුම ආගමිකයන්ගේ ගරු බුහුමනට පාත්‍රවීම පිළිබඳව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද ලිපි ලේඛනවල සඳහන්ව ඇත.
සිරිපතුල් පහස ලබන සමනොළ බිමට රැකවරණය ලබා දෙන්නේ සමන් දෙවියන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට රැකවරණය දෙතැයි සැලකෙන සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙක් ලෙස සමන් දෙවියන් බුහුමනට ලක්‌වේ. ඉතිරි තිදෙනා වන්නේ විෂ්ණු, කතරගම හා විභීෂණ යන දෙවිවරුන්ය.
සිරිපද ලස පිහිටි සමනොළ කන්දට සමන්ත කූඨය, සමන් ගිර ආදී නම් භාවිතාවීමෙන් පෙනෙන්නේ එය සුමන සමන් දෙවියන්ගේ බල පෙදෙසක් වන බවයි. ලොව සමන් දෙවියන් පිළිබඳව පවත්නා ජනප්‍රවාද රාශියකි. "සැළලිහිණි" සන්දේශයෙහි සමන් දෙවියන් හා සමන්ගිර ගැන මෙසේ කියෑවෙයි.
පැහැනද මදාරා පරසතු මල් පතර
කැරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන හින්දු භක්‌තිකයන් සමනොළ කන්ද හඳුන්වන්නේ "සිව නොළි" පාදම් නමිනි. එහි අර්ථය ශිව "දෙ
වියන්ගේ ආලෝකය හෙවත් දීප්තිය ලබාදන පාදය" යන්නයි. ඔවුනගේ විශ්වාසය පරිදි සිරිපා කඳු මුදුනේ පිහිටා තිබෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි.
ශ්‍රී පාදස්‌ථානය පිළිබඳව ඉන්දියානුවන්ගේ අදහස්‌වලට අනුව තව විශ්වාසයක් ඇත. රාම රජුගේ සොහොයුරු "ලක්‍ෂමන්", "සමන්" නමින්ද ඔවුහු හඳුන්වති. ඔහු ලංකාවට "සීතා" සොයාගෙන පැමිණි අවස්‌ථාවේ ඔහු හමුවූ සුමන සමන් දෙවි, දෙවි කන්ද සමන්ට භාර කළේය. එබැවින් එය සමන්ගිර බවට පත්වූ බව පැවසේ.
සමනොළ කන්ද පිළිබඳව හින්දු භක්‌තිකයන් ඉදිරිපත් කරන තවත් අදහසක් ඇත. හින්දුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්‌වර්ගයට ආසන්නව තිබෙන කන්ද යන අදහස නිසා ඔව්හු ස්‌වර්ගයට යන මාර්ගයට යන අදහසින් ශ්‍රී පාද කන්ද "ස්‌වර්ගර්හන්" ලෙසද හඳුන්වති. එහි අදහස "ස්‌වර්ගයට නුදුරු" යන්නයි. සමනළ ගිරෙහි තිබෙන ගස්‌වැල් සහ සතුන් විශේෂයෙන්, අලි ඇතුන් ආදීන් ස්‌වර්ගයෙන් මිනිසාට හිමිවූ දේවල් ලෙස ඔව්හු සලකති. ජනප්‍රවාදවලට අනුව මෙම කන්ද ශිව දෙවියන් වාසය කරන මහා මේරුව සමඟ සම්බන්ධ කෙරෙන අතර සදාතනිකත්වය ලබා දෙන්නාවූ ස "සන්සෙව්" නමැති පැළෑටිය මෙහි ඇතැයිද ඇතැම් හින්දු භක්‌තිකයෝ විශ්වාස කරයි.
සිරිපා පුදබිම, එහි ස්‌වභාවික පිහිටීමෙන් ලබා ඇති අසාමාන්‍ය ස්‌වරූපය අනුව සෞන්දර්යාත්මක මුහුණුවරටද, ආගමික පූජනීය ස්‌ථානයක් ලෙස විවිධ විශ්වාස පදනම් කොට ගැනීම නිසා කිසියම් ගුප්ත ස්‌වභාවයකටද හිමිකම් කියයි. මෙයට විශාල වශයෙන් හේතුවී ඇත්තේ සිරිපා පුදබිම හා සම්බන්ධ වූ විශ්වාස පදනම් කොටගත් විවිධ ජනප්‍රවාදයන්ය.
සිරිපා පුදබිමේ ආරම්භයට පදනම්වූ ජනකතා අතර ප්‍රචලිත කතාවකට පදනම් වන්නේ "රාජාවලියේ" කියෑවෙන පුවතකි. "විජය" කුමරු සහ පිරිස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේම ඔවුන්ට ඈතදීම දක්‌නට ලැබී ඇත්තේ ඉතා උස්‌වූ දර්ශනීය කඳු මුදුනකි. ඔවුන් ලක්‌දිව තම වාසස්‌ථානය ලෙස තෝරාගත්තේ එම කඳු මුqදුනේ දර්ශනීයත්වය නිසා බව කියෑවේ.
සමනළ මුදුනේ පිහිටි සිරිපා ලකුණ සොයාගත් සැටි පිළිබඳ ජනප්‍රවාදයක් ඇත. ක්‍රි.පූ. පළමුවැනි සියවසේ ලක්‌දිව රජකළ වළගම්බා රජු මලබාර් ආක්‍රමණිකයන් විසින් සිහසුනෙන් නෙරපන ලදී. රජු වනගත විය. හේ දිගු කලක් අනාථයකු ලෙස කඳුකරයේ සැරිසැරීය. දිනක් ගුහාවක සිටිද්දී ඔහු ඈතින් මුවෙක් දුටුවේය. රජු මුවා වෙත ළංවීමට තැත්කළද රජුගේ වේගයෙන්ම මුවා දුවන්නේය. වේගයෙන් ලුහුබඳින විට වේගයෙන්ද, සෙමින් දුවන විට සෙමින්ද මුවා දුවන්නේය. රජු නැවතුණු විට මුවාද නැවතුණේය. සමනළ මුදුනට රජු ගිය විට මුවා අතුරුදන් විය. "වළගම්බා" රජ ඒ ස්‌ථානය දෙස විපරමින් බලද්දී ශ්‍රී පාද ලාංඡනය දුටුවේය. මේ අඩවියට අධිගෘහිත දෙවියන් විසින් තමන් සිරිපා අඩවියට කැඳවා ඇති බව රජු වටහා ගත්තේය.
මෙබඳු තවත් ජනප්‍රවාදයක් නම් "විජය" රජු විසින් පිටුවහල් කරන ලද "කුවේණිය" ජීවහත්ථ හා "දිසාල" නම් දරු දෙදෙනා සිරිපා භූමිය කරා ගිය වගයි. "පුලින්ද" නමැති ගෝත්‍රිකයන්ට ඔවුන් භාරදුන් බවද පැවසේ. "සබර" යනු වැද්දාට කියන නමකි. සබරගමුව යනු වැද්දන්ගේ ප්‍රදේශයයි. සබරගමුව ප්‍රදේශය ශ්‍රී පාදස්‌ථානයට අයත් වන අතර "පුලින්ද" යන නම වැද්දන්ටද යෙදෙන බව තවදුරටත් පැවසේ. එපමණක් නොව සබරගමුව ප්‍රදේශයේ ප්‍රචලිත කිරිමඩුවලදී සිදුවන කිරි ඉතිරිවීමේ ශාන්ති කර්මයේදී සිදු කෙරෙන කටයුතු වැද්දන්ගේ කිරි ඉතිරවීමේ ශාන්ති කර්ම කටයුතුවලට බෙහෙවින් සමාන බවද මෙහිදී සඳහන් කළ යුතුය.
ක්‍රි.ව. 1198 දී පොළොන්නරුවේ සිට මෙම ප්‍රදේශයට පැමිණි "නිශ්ශංකමල්ල" රජු සිරිපා බිමට නුදුරු "රංකොත් වෙහෙර" නමැති භූමිය දුටු වගද, එය රජු විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලද වගද ජනප්‍රවාදයෙහි එයි. වෙහෙරට මල් පිදීම සඳහා රජු විසින් විහාරයට ආසන්නව මල් උයනක් කරවන ලද බවද, එය සමන් මල් උයන නම් වූ බවද ජනප්‍රවාදයෙහි එයි. මේ මල් උයනෙන් එක් කලකදී මල් අතුරුදන් වන්නට පටන් ගත් බව උයන්පල්ලන්ට වැටහී ඔව්හු ඒ බව රජුට දැන්වූහ.
රජුට මල් සොරකම් කරන්නවුන් අල්ලාගත නොහැකි විය. පසුව මල් සොරුන් අල්ලාදෙන ලෙස දන්වමින් රජු අණබෙර ලෑවේය. අවසානයේ මල් සොරකම ගැන තොරතුරු කියන්නට ඉදිරිපත් වූයේ දෙපා නැති පුද්ගලයෙකි. ඔහු මඟුල් උයනෙහි කුටියක් තනවා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. කුටියෙහි හිඳින ඔහු රාත්‍රී කාලයේ බණ පොතක් කියෑවීය. මෙම බණ පද අසන්න රෑ කළ කවුරුන් හෝ පැමිණෙන බව ඔහුට වැටහිණි. පසුව එසේ පැමිණ බණ අසන්නේ සුරංගනාවන් බව ඔහු දැන ගත්තේය. එපමණක් නොව ඔවුන් මල් උයනට පැමිණ මල් නෙළා ගන්නා බවද ඔහු දුටුවේය. සුරංගනාවන්ගෙන් මේ බව ඇසූ විට ඔවුන් පැවසුවේ සිරිපා පුදන්නට එම මල් රැගෙන යන බවයි. පසුව එම පුද්ගලයාගේද රාජපුරුෂයන්ගේද උත්සාහයෙන් සිරිපා පුදබිම සොයාගත් අතර රජු එතැන් සිට එහි වන්දනාමාන සඳහා ඉඩකඩ සැලසූ බව ජනප්‍රවාදයෙහි එයි.
සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් ස්‌ථානයක් වන "ගෙත්තම්පාන" පිළිබඳවද මෙබඳු ජනකතාවක් පවතී. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරීගිය බැවින් එක් ස්‌ථානයකදී නැවතී සිවුර මසන ලද බවත්, එබැවින් එම ස්‌ථානය ගෙත්තම්පාන නමින් හැඳින්වෙන බවත්ය.
එක් ජනප්‍රවාදයකට අනුව පැවසෙන්නේ මෙතැන්හි පර්වතය මත වැඩසිට, ඉරීගිය තම චීවරය උන්වහන්සේ එළලූ බවයි. මේ බව දුටු මාරයා බුදුන් වහන්සේ විනාශ කිරීමට විශාල ජල ධාරාවක් කඳු මුදුනින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේගයකින් පහළට ඇදී ආ ජලස්‌කන්ධය බුදුන් වහන්සේ වැඩ සිටි තැනින් දෙකට බෙදී පහළට ගැලූ බවත් කියෑවේ.
ශ්‍රී පාදස්‌ථානයට බොහෝ විට භාරහාර වීම භක්‌තිමත් ජනයා අතින් සිදු වේ. රෝග පීඩාවලින් මිදීම සඳහා භාර වූ පුද්ගලයාගේ උසට සරිලන සුදු නූල් බෝලයක් ඔප්පු කිරීමට ඇතැම් වන්දනාකරුවෝ පුරුදුව සිටිති. සිරිපා කන්ද මුදුනට වැටෙන ජලයෙහි රෝග පීඩා සුව කිරීමේ අති විශේෂ බලයක් ඇති බවද විශ්වාසයකි.
සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක් ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්‌ථාවේදී කිසියම් ලෙනක් තුළ පන්සීයයක් රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්‌ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්‌ථානයක් සොයාගත නොහැකිවූ බැවින් භගවා ලෙන එම ස්‌ථානයම බව පැවසේ. "දිවා ගුහා වඳිමුද අපි කවර කළේ" යනාදියෙන් ජන කවියා පවසන්නේ මෙම ස්‌ථානයයි.
"පළාබත්දල" නමැති ගම පිළිබඳවද ඉතා ප්‍රචලිත ජනප්‍රවාදයක් පවතී. සිරිපා වඳින්නට පිටත් වූ ගම්වැසියෙක් සිය ගමන් මඟදී අනුභව කිරීමට බත් මුදලක්‌ද ගෙන ගියේය. එහෙත් ඔහු ගමන ආරම්භ කරද්දීම භික්‍ෂුන් වහ්නසේ නමක් පිඬුqසිඟා වැඩියේය. පූජා කිරීම සඳහා තමා සතුව වෙනත් කිසිවක් නොවූ බැවින් ඔහු සිය බත්මුලෙහි වූ පළා ව්‍යංජන කොටස වෙන්කොට භික්‍ෂුන් වහන්සේට බත්මුල පූජා කළේය. දිවා කාලය වන විට කුසගිනි ඇතිවූ බැවින් ඔහු ඉතිරි කළ පලා ව්‍යංජනය අනුභව කිරීමට සිsතා බැලුවේය. එහෙත් ඔහු පුදුමයට පත්කරවමින් බත් මුලෙහි වූයේ "ඇල්හාලේ" බතකි. මේ සිද්ධිය වූයේ දොළක් අසලදීය. එබැවින් "පලා" බත් බවට පත්වී පසුව "පලාබත්දළ" වූ බව පැවසේ. මෙම සිදුවීම සමන් දෙවියන්ගේ හාස්‌කමින් සිදුවූවක් බව ගැමියන්ගේ විශ්වාසයයි.
රත්නපුර හරහා වඳින්නට යන විට හමුවන ගල් පර්වත දෙකක් අසලින් ප්‍රපාතයක් හමුවේ. මෙම ස්‌ථානය පෙර හැඳින්වූයේ "ස්‌ත්‍රී පුරය" ලෙස බව ජනප්‍රවාදයෙහි එයි. ඊට හේතුව සිංහල රාජ අවධියේදී ස්‌ත්‍රියක් මෙම ස්‌ථානය තුළ සඟවා තැබීම බව පැවසේ. සමහරෙකු පවසන්නේ "රාවණා රජු" විසින් ඉන්දියාවෙන් පැහැරගෙන ආ සීතා දේවිය මෙම ස්‌ථානයේ සඟවා තැබූ බවය.
රත්නපුර මාර්ගයේම තවත් ප්‍රකට ජනප්‍රවාදයකට හේතුවූ ස්‌ථානයකි "ලිහිණි හෙළ". සිරිපා වඳින්නට වැඩිහිටියන්ගේ වරම් ලබාගත නොහැකිවූ කාන්තාවක් මෙහි ඇති හෙළෙන් පැන දිවි නසාගත් බව පැවසේ. ඇතැමෙකු ප්‍රකාශ කරන්නේ ඈත කාලයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ "ලීනි අක්‌කා" නමැති කාන්තාවක් සිය දරුවා සමඟ මෙම හෙළට වැටුණු බවයි.
වන්දනාකරුවෝ එම කන්දේ සිට "ලිහිණි අක්‌කේ... අපි යනවෝ" යෑයි පවසති. ශබ්දයෙන් දෝංකාරය එහා කන්දෙන් ඇසෙන විට එය ලිහිණි අක්‌කගේ පිළිතුරක් ලෙස ඇතැම්හු පවසයි.
එහෙත් මීට වඩා වෙනස් කතාවක්‌ද පවතී. "නිලී" නමැත්තිය වන්දනාකරුවන්ට පිළිසරණ වූ කාන්තාවකි. දිනක් ඇය තමා විසින් සෝදා වියළීමට දමන ලද රෙදි කිහිපයක් ගෙන එන්නට තම කුඩා පුතු පිටත්කොට හැරියාය. එතැනදී ගසක අත්තක නැංග දරුවා සමඟ ගස ප්‍රපාතයට බරවිය. මව දරුවා බේරා ගන්නට ගියද අවසන්හි දෙදෙනාම ප්‍රපාතයට ඇද වැටුණහ.
"ලිහිණි හෙළට" ඒ නම යෙදී ඇත්තේ වන්දනා නඩයක් සමඟ මුනි සිරිපා වඳින්නට ගිය "ලීනි" අක්‌කා නමැති කතක් ඒ මහා ප්‍රපාතයට ඇද වැටී මියගිය නිසා යෑයි තවත් කතාවකින් පැවසේ. "ලීනි හෙළ" අළලා ගෙතුණු ජනකවි දෙකක්‌ද වෙයි.
නින්ද නැතුව මහ හිමයේ යනවෝ
මන්ද දෙවියනේ අප නොබලන්නේ
කන්ද ලීනි හෙළ නැගලා යනවෝ
අක්‌ක ඉන්නේ ලීනි හෙලේ
මක්‌ක කීවත් නැත ලෝලේ
රැක්‌ක කදිම පන් සීලේ
අක්‌ක ලීනී කතා කළේ
ගල් පර්වතයේ කපන ලද පියගැට පෙළ සියයකට අධික ප්‍රමාණයක් තිබේ. එක්‌තරා කාලයක ධර්මරාජ නම්, තාපසයකු වාසය කළ බවත්, එතුමා "වෙද වනරාජ පෙරුමාල්" නම් ආරච්චිගේ උදව් ඇතිව මෙම පියගැට පෙළ කරවූ බවත් "ධර්මරාජ සෙල්ලිපියේ" සඳහන් වේ. මෙම සෙල් ලිපිය සමඟ එහි තාපසතුමාගේ රුවද කොටා තිබේ. කෙසේ වුවත් මෙම ගල්පඩි නොවරදවා ගණන් කිරීම කිසිවකුට කළ නොහැකි බව වන්දනාකරුවන්ගේ තවත් මතයකි. ධර්මරාජ ගල පිළිබඳව ගෙතුණ ජන කවියක්‌ද වෙයි.
ධර්මසේන නම් රජෙකුන් සිටියේ
ධර්ම අසා රජ පැහැදී සිටියේ
උරුම ලෙසට සිරිපා වැඳ සිටියේ
දරුම රාජ ගල නැග යමු පිරියේ
සිය වන්දනා ගමන සාර්ථක වුවහොත් සමන් දෙවියන්ට හැරමිටි පූජා කරන බවට අතීතයේදී වන්දනාවේ ගිය බැතිමතුන් පොරොන්දු වූ බව ජනප්‍රවාදයකින් කියෑවේ. මෙම ස්‌ථානයේ ඇති ප්‍රපාතාකාර බෑවුම නිසා හැරමිටිවල ආධාරයෙන් බැතිමතුන් කන්ද නැග යන්නට ඇතැයි සිතන්නට පුළුවන. දම්වැල්වල එල්ලී නැගීමට තිබුණු මහ ගිරි දඹය පාමුල පිහිටි මේ කොටසට නැග යැමට හැරමිටි භාවිතා කරන්නට ඇත. ඒ හැරමිටි කඳු පර්වත අසල ගොඩ ගැසෙන්නට වෙන්කළ අතර ඊට "හැරමිටිපාන" නම ව්‍යවහාර වූ බව මෙයින් පෙනේ.
හැරමිටිපානේ දී පසුකාලීනව නිරෝගී බව හා දීර්ඝායු පතා වන්දනාකරුවන් හැර ධර්ම පූජාකර ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉදිරියේ නැගීමට ඇති මාර්ගය දුෂ්කර එකක් නිසා "හැරමිටි පානේදී" පඬුරු පවා බැඳ ඇති බව පුරාණ හිමගත වර්ණනාවෙන් පැහැදිලි වෙයි.
සීතාවක දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ දී ශ්‍රී පාදස්‌ථානයේ පාලනය "ශිව" දෙවි භක්‌තිකයන්ට පවරන ලදී. දේවාලවල වතාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි හින්දු තාපසයන් එවක හඳුන්වන ලද්දේ "ආඬි" යන නමිනි. මොවුහු "සන්නාසි" යන නමින්ද පතළ වූහ. දෙමළ බසෙහි ගිහිගේ අත්හැර යන්න හැඳින්වීමට යොදන ලද "අන්ඩි" යන පදය මෙහිදී ව්‍යවහාරයට පත් වූ බව පෙනේ. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ "ආන්ද්‍ර" දේශයෙනි.
"සන්නාසි" යන්ගේ නායකයා මියගිය ස්‌ථානය "ආඬියා ල" තැන්න නමින් ජනවහරේ සඳහන් වෙයි. අඩි දෙකක් පමණ උස සිලින්ඩරාකාර ගලින් නිමැවුණු ස්‌ථම්භයක් වන "ඇහැල කණුව" මෙදා දැකිය හැක්‌කේ කොටස් දෙකක් වශයෙනි. අතීතයේදී මෙහි තිබෙන්නට ඇත්තේ ඇහැළ ලීයෙන් තැනූ කණුවක් විය හැකිය. එම නම ව්‍යවහාර වී ඇත්තේ ඒ අනුව බව පැවසේ. වන්දනාකරුවෝ මෙහිදීද සුදු පිරුවට අඳිති. චාරිත්‍රයක් ලෙස "ඇහැළ කණුවේදී" වන්දනාකරුවෝ හුණු තවරති.
සිරිපා ගමනේ දී හමුවන තවත් එක් ස්‌ථානයක් නම් "ගජමන්" හලයි. එය ශ්‍රී ලංකාවේ පහළ වූ සුප්‍රකට කිවිඳිය වන "ගජමන් නෝනා" විසින් කරවන ලද ගිමන් හලක් බව පැවසේ. පසු කලකදී මෙම අම්බලම තුළ රැය ගත කරන්නන්ගෙන් එක්‌කෙනෙක් හෝ අතුරුදන්වීම සිදුවීමට පටන් ගත් බව ජනප්‍රවාදයෙහි එයි. නිතර නිතර එහි පැමිණීමට පුරුදුව සිටි "ගජමන් නෝනා" කිවිඳිය මෙම ආරංචියෙන් පසුවද කණ්‌ඩායමක් සමග මාතර සිට පැමිණ ඇත. ඔවුන් අතුරින් එක්‌කෙනකුද අතුරුදන් වී ඇත. එබැවින් ඉන්පසු මෙම අම්බලම ජන පරිහරණයෙන් ඈත්වූ බව අසන්නට ලැබේ.
සිරිපා කඳු මුදුන හා ඇඳුණු තවත් විශ්වාසයක් නම්, කුමන සංඛ්‍යාවක් තරම් විශාල ප්‍රමාණයක ජනතාවක් සිරිපා මළුවට පැමිණියත් කිසි විටෙකත් එහි ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවන බවයි. සිරිපා ගමනේ දී හමුවන විශාල ගල් පුවරුවක් හා ගල් පහුරක් ගැන පැවසෙන ජනප්‍රවාදයට අනුව මෙම ගල් පහුර රැගෙන පැමිණියේ වසවර්ති මාරයා බව පැවසේ. බුදුන්ගේ අනුහසින් මාරයා ගල් පහුර එතැනම දමා පැන ගියේලු.
සිරිපාද වන්දනා කළ කීර්ති ශ්‍රී නිශ්ශංක (ක්‍රි.ව. 1198-1207) රජු ශ්‍රීපාද ස්‌ථානයට වන්දනාමාන කිරීමේදී තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්‌ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිධන් කළ බව කියෑවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා ස්‌වකීය භාණ්‌ඩ නිධන් කළ "නිස්‌සංගල ලෙන" මෙයයි.
එහෙත් මෙය සමන්ත කූඨ පර්වත මුදුනට ආසන්නව ඇතැයි ඇතැම්හු පවසති.
ශ්‍රී පාදයේ ඇති සමන් දේවාලය සම්බන්ධයෙන් ජන කතාවක් ඇත. එනම් සබරගමුවේ මැණික් ගැරීමට පැමිණි දඹදෙණියේ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) "අර්ය නාමදේව" ඇමැතිවරයා මැණික් ලැබුණහොත් සුමන දෙවියන් නමින් දේවාලයක් ඉදිකරවන බවට වූ භාරය අනුව මැණික් ලැබුණු එම රමණීය භූමි භාගයේ මුලින්ම එදා සමන් දේවාලයක් ඉදිකරවූ බවය.
අනාදිමත් කාලයක සිට මෙම ස්‌ථානයට අරක්‌ගත් ආත්මයන් සිටින බවටත්, එම ආත්මයන් පුදබිමටත්, වනාන්තරවලටත් ඇල්ම බැල්ම යොමා සිටින බවත් පැවසේ.
මල්වර වන වයසේ සිටින දැරියක් සිරිපා වන්දනාවට කැඳවාගෙන නොයා යුතු බවට විශ්වාසයක් පවතී. එසේ පැමිණි දැරියක් මල්වර වූ අවස්‌ථාවකදී වන්දනා කණ්‌ඩායමට මහත් කරදර සිදුවූ බවද, මඟ වැරැදීම් සිදුවූ බවද මෙසේ ප්‍රචලිත පුවතකි. මෙබඳු කතා බොහෝ සිද්ධාන්ත ආශ්‍රයෙන් ගෙතී ඇත.
සිරිපා මළුවේ ඝණ්‌ඨාරය නාද නැංවීම වන්දනාකරුවන් අතින් නොවරදවාම සිදුවෙයි. එසේ වුවද වන්දනාකරුවකු විසින් එය නාද කළ යුත්තේ තමන් ගිය වාර ගණන අනුව පමණි. එසේ නොමැති නම් එය නාද කළත් හඬ නොනංවන බවට මතයක් ඇතැයි කීර්තිමත් වාරිමාර්ග විද්‍යාඥයකු වූ "ආර්.එල්. බ්‍රොහියර්" සිය Seeing Ceylone පොතේ සඳහන් කරයි.
සිරිපා අඩවියේ ගංගාවන් සතරක් ගලා බස්‌නා බැවින් කඳු බෑවුම් හරහා ගලා බසින දිය ඇලිද රාශියකි. මින් එක් දිය ඇල්ලක් වන ............ ඇල්ල අඩි 571 ක් උසය. සිරිපා අඩවියේදි කිසියම් අකටයුත්තක නිරත වුවහොත් මෙම දියඇල්ල මගින් අනතුරට පත්වන බව ජනප්‍රවාදයෙහි එයි.
සිරිපා අඩවිය භාර සමන් දෙවියන් ගෞතම බුදුන් වහන්සේට තම ශ්‍රී පාදය මෙහි තැබීමට ආරාධනය කොට ඇත. එවක ශ්‍රී පාද අඩවියෙහි උසම කන්ද වී ඇත්තේ "කුණුදිය" පර්වතයයි. මෙම පර්වතය මේ සඳහා තෝරාගත් සමන් දෙවියන් තම සේවකයන්ට පර්වත මුදුන ශුද්ධ පවිත්‍ර කිරීමට උපදෙස් දී ඇත. පසුව මෙය පරීක්‍ෂා කිරීමට පැමිණි සමන් දෙවිඳුන්හට පර්වත මුදුනෙහි පොකුණට සර්පයකු වැටි එහි දිය අපවිත්‍රව ඇති බව පෙනුණි. මේ සම්බන්ධව කිපුණු සමන් දෙවි තම පාදයෙන් කුණුවූ දිව ඇති මෙම පර්වතයට පයින් ගසා කොටසක් කඩා දැමීය. අනතුරුව ශ්‍රී පාදය, සමන්ත කූට පර්වතයෙහි හෙවත් ශ්‍රී පාද කන්දෙහි තැබීමට කටයුතු කරන ලදී. ජනප්‍රවාදයෙහි පැවසෙන අයුරු එතැන් සිට මෙම කන්ද කුණුදිය පර්වතය නමින් ප්‍රසිද්ධ විය. අදත් ශ්‍රීපාද කන්දේ හැඩය ගන්නා මෙම කන්ද උඩින් කපා දමා ඇති සැටියෙන් පර්වත මස්‌තකය පිට්‌ටනියක හැඩරුව ගෙන ඇත.
සිරිපා පුදබිම වටා ඇති ගම්වල නම් ඇසුරෙන්ද බොහෝ ජනප්‍රවාද පවතී. උදාහරණයක් ලෙස "ගිලීමලේ කන්ද යනු ගිලා බැස්‌ස කන්දයි" මේ නම යෙදී ඇත්තේ මෙතැනට ගිය විට සිරිපා කන්ද නොපෙනී ගිය නිසාය. එහෙත් ඊට අදාළ තවත් ජන කතාවක් ඇත.
පුරාණයෙහි "කුණුදිය" පව්වට නැගුණු මිනිස්‌සු විශාල පිට්‌ටනියක් බඳු එහි මුදුනෙහි දැවැන්ත ගිනි ගොඩක් ගැසීම සිරිතක් කොට ගත්හ. මෙම ගිනිමැළය කොතරම් විශාල වීදයත් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ගිලීමලේ ගමට පවා ගිනිමැළය පෙනිණි. මෙම ගමට නම ආවේණික වූයේ ජනප්‍රවාදයට අනුව මෙම ගිනිමැලය නිසාය. ගිනිමැළේ පසුව "ගිලී මලේ" විය. එම ගිණිමැළයේ රස්‌නය "එරත්න" ගමට පවා දැනී තිබේ. එම ගමේ නමද සෑදී ඇත්තේ එම රස්‌නය ආභාසයෙනි. ඒ රස්‌නය පසුව එරත්නය විය.
පලාබද්දල පාරේ ඇති විශාල වංගෙඩියක් පිළිබඳවද මතයක් පවතී. එනම් එම වංගෙඩිය කිසි විටෙකත් කෝඩුකාරයන්ට සෙලවිය නොහැකි බවයි.
මෙම කඳු මුදුනේ දී "ආදම්" තම පුතා වන "ආබේල්" ගැන සිතමින් අවුරුදු පන්සීයක පමණ කාලයක් පුරා එහි වැළපුණු බව ආදි පදිංචිකරුවන් පවසා ඇති බවද ජනප්‍රවාදයකි. මෙම කන්දෙහි එක්‌තරා ස්‌ථානයක ඇති රමණීය තැනිතලාවක, අති විශාල ජල ස්‌කන්ධයකින් පිරීගිය විලක් ඇති බවද, එම විල පිරී තිබෙන්නේ ආදම් සහ ඒවා හෙළන ලද කඳුවලින් බවද පැවසේ.
මහ පොළව මත පිහිටි පාරාදීසයකට සමාන කළ හැකි එකම ස්‌ථානය සමනළ කන්ද බවත්, එබැවින් "ආදම්" පාරාදීසයෙන් නෙරපූ අවස්‌ථාවේදී ඔහු තුළ අතිවිය හැකි කම්පනය සලකා දෙවියන් වහන්සේ ඔහු, සමනළ කන්දට හෙලූ බව සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක සඳහන් වෙයි.
සිරිපා කන්දේ දී ඉතා කලාතුරකින් ඝණ්‌ටාරයක හඬක් වැනි හඬක් පැතිර යන බව පැවසේ. බොහෝ විට එමගින් අසුබ පණිවිඩයක් ගෙනෙයි. හඬ කලින් අසා ඇති අය ඉන් බියට පත්වෙයි. අවසන් වරට කන්දෙන් පණිවිඩයක් නිකුත් වූයේ ශ්‍රී පාදස්‌ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන අනාවැකිය බව තමන්ට සංඝයා වහන්සේ නමක් පැවසු බවද "ආර්. එල්. බ්‍රොaහියර්" සිය කෘතියේ Seeing Ceylone සඳහන් කරයි.
කෙසේ වුවද සිරිපා බිම හා මෑතකදී ඈඳුණු රසවත් කතාවක්‌ද ඇත. "නෝර්ටන් බ්‍රි-" ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමේදී එවකට රජයේ වැව් හා වාරිමාර්ග ඇමැතිව සිටි ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ඒ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගත හැකි වුවහොත් සමනළ මුදුනට විදුලි ආ ලෝකය සපයන බවට භාරයක් වී තිබුණි. මෙය භාරය ඔප්පු කිරීම පිළිබඳව පුවත "මේජර් ආර් රෙවන්ට් හට්" R. Raveni Hant සිය කෘතියෙහි (Ceylon History in Stone) සඳහන් කරයි. භාරය ඔප්පු කිරීමට නියමිතව තිබුණේ 1958 මාර්තු 04 වැනි පුන් පොහෝදා රාත්‍රී 8 ට යෙදුණු සුබ මොහොතිනි. සමනළ කන්දේ විදුලි ආලෝකය සැපයීමට විදුලි බොත්තම ඔබා ක්‍රියාත්මක කළ අවස්‌ථාවේදී පායා තිබූ පූර්ණ චන්ද්‍රයා වටා මහා රශ්මි මාලාවක් විනාඩි කිහිපයක් පැතිර ගියේ සියල්ලන්ම විශ්මයට පත් කරවමිනි. මේ අවස්‌ථාවට සහභාගි වූ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් ගි්‍රපික් නම් කාන්තාව එම අවස්‌ථාවේ සිදුවූ විශ්මයජනක සිදුවීම මෙසේ වාර්තා කරන්නීය.
"කඳු මුදුනේ විදුලි බුබුළු දල්වනවාත් සමඟම ඊට ඉහළින් දිස්‌වූ චන්ද්‍රයා විවිධ වර්ණ රාශියකින් වැසී ගියේය. චන්ද්‍රයා වටා රැස් වළලු මෙන් මෙම වර්ණයෙන් කැරකෙන්නට විය. මවිතයට පත්වූ දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නදින් මුළු පෙදෙසම දෙවනත් විය.
අවාරෙට කිසිවෙකු සිරිපාදේ කරුණා නොකරන්නේ සැඩ සුළං, වැසි සහ අකුණු අනතුරු බහුල බැවිනි. එහෙත් අවාර කාලයක හිමයේ මුරකරුවන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බව රහසක් නොවේ. එහෙත් මෙම මුරකරුවන් කිසිවෙකු සිරිපාදේ කරුණා නොකළත් ඇතැම් දිනවලට හිමිදිරි පාන්දර සිරිපතුල මත මල් පූජාකර ඇති බව දැක ඇත. මෙම අසිරිමත් සිදුවීම ඉර සේවයට හෝරාවක් පමණ පෙරදී සිදුවන බවද ප්‍රකටය. එසේම එම අවස්‌ථාවට පෙර සැඩ සුළං හමන අතර විශාල නඩයක් එන ශබ්දය ඇසෙන බව මුරකරුවෝ පවසති.
එක්‌තරා දිනක ඉතාමත් උපශාන්ත පෙනුමෙන් යුත් පැවිදි උතුමෙකු අවාරයේදී සිරි පතුල වෙත පැමිණ තෙල් මල් පහන් පුදා දැහැනට සමවැදී පැයක් පමණ හිඳ නැවත ආපසු යද්දී මුරකරු විසින් මහත් භක්‌තියෙන් යුතුව උන් වහන්සේට දහවල දානය පිරිනමා ඇත. දානය වැළ» සිල් ඇත්තා මුරකරුට පින්දී පඩිපෙළ ළඟදී මුරකරුට සමුදී ඇත. මොහොතකින් ආපසු හැරී බැලූ මුරකරු කිසිවෙකු නොදැක මහත් විපිලිසරයට පත්වී ඇත.
මෙම කතා ගැන මේ රටේ විසු විදේශීය ජාතිකයකු වූ කීර්තිමත් වාරිමාර්ග විශේෂඥයකු වන "ආර්.එල්. බ්‍රොaහියර්" පවසන්නේ මෙසේය.
මේ අඩවියේ ඇති සෑම පර්වතයක්‌ම, සෑම ගිරි ශිඛරයක්‌ම අතීතයේ යම්කිසි පුරාවෘත්තයකින් දිදුළන බව නොකියාම නොහැකිය. විශාල ගල් පර්වතයට විවරව ඇති ලෙන් තුළ බොහෝ ඉතිහාස කතා ගැබ්ව ඇත. මේ ඕනෑම ලෙනක් පිළිබඳව අතීතය හාර අවුස්‌සා බැලුවහොත් ලෝකයාගෙන් ඈත්ව ලෞකික ආශාවන් මැඬ පවත්වා ගනිමින් නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට බවුන් වැඩූ තවුස් උතුමන් පිළිබඳව තොරතුරු සෙයාdගත හැකිය. නවීන ලෝකයාට මේ සිද්ධාන්තය පිළිබඳ තව කීමට ඇති පැරැණි කතා බෙහෙවි. ඒවා මේ කන්ද වටා සැඟවී ඇත්තේ මිහිදුම් සළුවෙන් දැවටෙමිනි. මින් ඇතැම් කතා කොතරම් පැරැණිද යත් ඒවා දැන් මිනිස් මතකයෙන් ඈත්වී ඇත. අලුත් කතා ඒවා වෙනුවෙන් ගෙතෙමින් පවතී. බැතිමතුන් නොනැවති මේ ස්‌ථාන කරා ඇදී එන තෙක් විවිධ විසිතුරු කතා සමනොළ වටා පැතිරි පවතිනවා ඇත.
ජයතිස්‌ස තෙන්නකෝන්
divaina
================================================
උපුටා ගැනීම් සහිතයි ....!!!
දයාබර පාථක සහෘදයිනි ඔබ මෙම වෙබ් අඩවිය හා පළකෙරෙන ළිපි පිළිඹඳව සෑහීමකට පත්වේනම් like කිරීමෙන් හා share කිරීමෙන් මිතුරන් අතරේ බෙදාහැරීමට කාරුණික වන්න...ඔබගේ වටිනා අදහස් දැක්වීමද (''Comment'') අගය කොට සළකමි...ස්තුතියි....
අබිරහස් අඩවිය - Abirahas Adawiya
නොදන්න කරුනු ගොඩක් ගැන දැනුවත් උනා.... බොහොම ස්තූතිය
ReplyDelete